In this week’s Ravaya column (in Sinhala), I return to discuss social media in Sri Lanka, with focus on safe practices.
I covered similar ground in English in this column: 30 March 2014:
When Worlds Collide #101: Safely Riding the Social Media Dragon

‘සමාජ මාධ්‍යවලට ඇයි මේ තරම් බය’ මැයෙන් 2014 මාර්තු 23 වනදා මා කළ විග‍්‍රහයට ලැබුණු එක් ප‍්‍රතිචාරයක් වූයේ ලක් සමාජයේ ‘වරප‍්‍රසාද ලත් ටික දෙනෙකුගේ මාධ්‍යයක්’ ගැන මෙතරම් කථා කළ යුතු ද කියායි.
ඉන්ටර්නෙට් භාවිතය පරිගණක හිමි, නාගරික, ඉසුරුබර උදවියට පමණක් සීමා වූ ප‍්‍රවණාතාවක් යයි ද තමන් වැනි මධ්‍යම පාංතිකයන්ට පවා එහි ආයෝජනය දරා ගත නොහැකි යයි ද සරසවි ඇදුරෙක් මා සමග තර්ක කළා.
ඉන්ටර්නෙට් තවමත් ටෙලිවිෂන් හා රේඩියෝ තරම් මෙරට ප‍්‍රචලිත වී නැති බව සැබෑයි. එහෙත් සමහරුන් සිතන තරම් අතලොස්සකට එය සීමා වී ද නැහැ.
මෙරට ඉන්ටර්නෙට් භාවිතය ගැන ගැන සංඛ්‍යාලේඛන ඕනෑම කෙනකුට බලා ගත හැකි පරිදි නිල මූලාශ‍්‍රවල තිබෙනවා. දත්ත ආශ‍්‍රයෙන් නිගමනවලට එළඹීම වඩා හොඳයි.
විදුලි සංදේශ නියාමන කොමිසමේ අළුත්ම සංඛ්‍යා ලේඛන වලට අනුව 2013සැප්තැම්බර් අග වන විට මෙරට ස්ථාවර ඉන්ටර්නෙට් ගිණුම් 482,651ක් හා ජංගම ඉන්ටර්නෙට් ගිණුම් 1,210,862ක් තිබුණා. මේ දෙක එකතු කළ විට සමස්ත ගිණුම් සංඛ්‍යාව 1,693,513යි. www.trc.gov.lk/index.php/information/statistics.html
එක ගිණුමක් සාමාන්‍යයෙන් දෙදෙනෙකු පාවිච්චි කරනවා යයි උපකල්පනය කළොත් නිතිපතා ඉන්ටර්නෙට් භාවිතා කරන ජන සංඛ්‍යාව මිලියන 3.38ක් පමණ වෙනවා.
අද මෙරට වඩාත් ම ප‍්‍රචලිත සමාජ මාධ්‍යය ෆේස්බුක් Facebook නම් පෞද්ගලික තොරතුරු හා සාමිචී හුවමාරු පොළයි. 2012 අග වන විට මෙරට ෆේස්බුක් ගිණුම් සංඛ්‍යාව 1,515,720ක් වී යයි ජාත්‍යන්තර වෙබ් දත්ත හරහා අපට සොයා ගත හැකියි.
ස්මාට්ෆෝන් හරහා ඉන්ටර්නෙට් සබඳතා ලද හැකිවීම නිසා එය පරිහරණය කරන සංඛ්‍යාව සීඝ‍්‍රයෙන් වැඩිවී තිබෙනවා. එසේම පාසල්, සරසවි, කාර්යාල හා නැණසල/සයිබර් කැෆේ හරහා තමන්ගේම නොවූ පොදු සබඳතා භාවිත කරන සැළකිය යුතු සංඛ්‍යාවක් ද සිටිනවා.
2012 ජන සංගණනයේ මෙරට මුළු ජන සංඛ්‍යාව 20,277,597යි. දළ වශයෙන් ජනගහනයෙන් සියයට 15-20ක් ඉන්ටර්නෙට් භාවිතා කරනවා යයි කිව හැකියි.
එහෙත් නව මාධ්‍යයේ බලපෑම මීටත් වඩා පුළුල් වන්නේ එම භාවිතා කරන්නන් අතර ගුරුවරුන්, පර්යේෂකයන්, මාධ්‍යවේදීන් හා සිසුන් ද සිටින නිසා. ඔවුන් ලබා ගන්නා දැනුම ඔවුන් හරහා තවත් බෙහෝ අයට පැතිරෙනවා.
පරිගණක හා ජංගම දුරකථන හරහා ඉන්ටර්නෙට් පරිශීලනයට කිසිදු විශේෂඥ තාක්‍ෂණික දැනුමක් අවශ්‍ය නැහැ. අද කාලේ වයස පහේ හයේ දරුවොත් එයට සමත්. එහෙත් ඒ හැකියාව පුහුණු කර නොගත් වයස 40න් පමණ වැඩි ලාංකික වැඩිහිටියන් මේ තාක්‍ෂණය ගැන අස්ථාන භීතියකින් පසු වනවා.
‘‘අනේ අපි විද්‍යාව/තාක්‍ෂණය උගත් අය නොවෙයි. අපට මේ කොම්පියුටර්, ඉන්ටර්නෙට් ගැන තේරුමක් නැහැ’’ ආකාරයේ ප‍්‍රකාශ කරන ශාස්ත‍්‍රාලීය උගතුන් හා වෘත්තිකයන් මට නිතර හමු වනවා.
මා ඔවුන්ගෙන් අසන්නේ ඔවුන් භාවිත කරන මෝටර්රථ පිළිබඳ කාර්මික දැනුමක් තිබේ ද කියායි. බොහෝ දෙනාට එබන්දක් නැහැ. එහෙත් වාහනයක එදිනෙදා නඩත්තුව, රැක ගැනීම හා මහමග පදවාගෙන යාම පිළිබඳ අවබෝධයක් තිබෙනවා.
නූතන සන්නිවේදන මෙවලම් හරහා සයිබර් අවකාශයේ සැරිසැරීම සඳහාත් මෙයට සමාන අවම දැනුමක් හා කුසලතා සමුදායක් අවශ්‍යයි. මෙය තව දුරටත් පරිගණකවේදීන්ට පමණක් භාර දිය හැකි වගකීමක් නොවෙයි.

සයිබර් ලෝකය එයට ම ආවේණික ලක්‍ෂණවලින් යුක්තයි. එහෙත් එය හඳුනා ගැනීමේදී භෞතික ලෝකය සමග සැසදීම අපට උදව් වනවා. මාර්ග ආරක්‍ෂාව හා සයිබර් ආරක්‍ෂාව අතර සමානකම් රැසක් තිබෙනවා.
මාර්ග ආරක්‍ෂාව සාමුහිකව වගකීමක්. මාර්ග සැළසුම්, ඉදිකිරීම් හා නඩත්තු කරන රාජ්‍ය ආයතන, මාර්ග දෙපස පදිංචි නිවැසියන් හා ව්‍යාපාර, මහපාරේ ගමන් කරන පදිකයන් හා සියළු ආකාරයේ වාහන පදවන රියදුරන් අතර අඩු වැඩි වශයෙන් මේ වගකීම බෙදී යනවා. රථවාහන පොලිසියට පමණක් මාර්ග ආරක්‍ෂාව සැළසිය නොහැකියි.
පාරට බසින හැම විටෙක ම අප සැම දැන හෝ නොදැන යම් අවදානමකට මුහුණ දෙනවා. ඒ අවදානම සාධාරණ පරාසයක් තුළ පවත්වා ගන්නට අප දායක විය යුතුයි. අපේ ආරක්‍ෂාව පිළිබඳ අවධි වූ සිහියෙන්, මාර්ග නීති පිළිපදිමින්, විනීතව හා විනයානුකූලව පාරේ ගමන් කිරීමෙන් එකී අවදානම සමනය කළ හැකියි. එහෙත් අනතුරුවීමේ හැකියාව තවමත් පවතිනවා.
මේ ආකාරයේ යථාර්ථයක් සයිබර් අවකාශයේත් තිබෙනවා. එහි සැළසුම, නිර්මාණය හා නඩත්තුවට තනි අප එතරම් සම්බන්ධ නැති වුවත්, ඒ තුළ සැරිසරන විට ප‍්‍රවේශම්කාරි, ආචාරශීලි හා විනයගරුක වීමේ වගකීම අප සැමට තිබෙනවා. එසේ නොකරන විට අනවශ්‍ය අවදානම්වලට අප මුහුණ දෙනවා.
එසේම කෙතරම් ප‍්‍රවේශම් වුවත් යම් අන්තරායන් තවමත් පැවතිය හැකියි. සයිබර් අවකාශය තුළ නීතිය ක‍්‍රියාත්මක කිරීමේ හා මහජන ආරක්‍ෂාව සැපයීමේ බලධාරින් වඩාත් සක‍්‍රීයව සිටින්නේ මේ නිසා.
එහෙත් හැම ලයිට් කණුවක් හෝ හන්දියක් ගානේ රථවාහන පොලිසියට සිටිය නොහැකි සේ සයිබර් අවකාශයේ හැම තැනක ම බලය ලත් ආරක්‍ෂකයන්ට සැරිසැරිය නොහැකියි. සාමූහික වගකීම හා තනි තනිව අපේ පරෙස්සම ද අවශ්‍යයි.
මහපාරේ මෙන් ම සයිබර් අවකාශයේ ද පරෙස්සමින් සැරිසැරීම වැඩිහිටියන්ට පවා අභියෝගයක් වන පසුබිම තුළ එයට වයසින් නොමේරූ දරුවන්ට ඊටත් වඩා අසීරු කාරියක්. දරුවන් නව තාක්‍ෂණයට වඩා ලෙහෙසියෙන් හුරු වන බව ඇත්තයි. එහෙත් තාක්‍ෂණය හරහා මතුවිය හැකි අවදානම් හා ගත යුතු ආරක්‍ෂක උපක‍්‍රම ගැන ඔවුන්ගේ දැනුම හා අවබෝධය සීමිතයි.
මෙයට නිසි පිළියම නව තාක්‍ෂණයන්ගෙන් ඔවුන් ඈත් කර තැබීම නොවෙයි. පරෙස්සමින් සැරිසැරීමේ හැකියාව වඩාත් ප‍්‍රගුණ කිරීමයි.
මාර්ග අනතුරු හා රථවාහන සොරකම් ආදිය වාර්තා වූ පමණට අප ගෙදරට වී දොරගුලූ ලාගෙන බියෙන් සිටින්නේ නැහැ. මහපාරේ පරෙස්සමින් යන්නා සේ සයිබර් අවකාශයෙත් පරෙස්සමින් සැරිසැරිය යුතුයි. ඉන්ටර්නෙට් හා සමාජ මාධ්‍ය අරභයා ප‍්‍රවේශම්කාරි හා දැනුවත් වූ ලක් සමාජයක් බිහි කර ගැනීම අවශයයි.
අවසන් විනිශ්චයේදී හැම මාධ්‍යයක්ම අදාල ජන සමාජයේ ගති සොබා පිළිබිඹු කරන කැඩපතක් වගෙයි. කැඩපතෙහි අප දකින ඡුායාවට අප කැමති නැති නම් එහි අරුත කුමක් ද?
සයිබර් ආරක්‍ෂාව පිළිබඳව විවෘත හා පුළුල් සමාජ සංවාදයක් අපට අවශ්‍යයි. සමාජ මාධ්‍ය ගැන සංවාදවලට අපේ සමාජ විද්‍යාඥයන් සම්බන්ධ වනවා මදි. මාධ්‍යවලිනුත් මේ ගැන විමසන්නේ තාක්‍ෂණවේදීන්ගෙන් හා ඉංජිනේරුවන්ගෙන්. ඒ අය මේ ප‍්‍රශ්නයේ තාක්‍ෂණික පැතිකඩ විග‍්‍රහ කළත් සමාජයීය බලපෑම විනිවිද දකින්නේ කලාතුරකින්.

මේ ගැන විවෘතව අදහස් දක්වා ඇති සමාජ විද්‍යාඥයින් ටික දෙනාගෙන් මගේ අවධානයට යොමු වූයේ ආචාර්ය හරිනි අමරසූරියගේ විග‍්‍රහයක්. විවෘත සරසවියේ සමාජ විද්‍යාව පිළිබඳ ජේ්‍යෂ්ඨ කතිකාචාරිනියක් වන ඇය කියන්නේ අප කැමති වුවත් නැතත් සමාජ මාධ්‍ය අද ලක් සමාජයේ සීඝ‍්‍රයෙන් පැතිරෙන බවයි.
‘‘එය මෙවලමක් පමණයි. එයින් වැඩක් හෝ අවැඩක් සිදුවීම රඳා පවතින්නේ භාවිත කරන අය අතේ. අපේ ළමයින් හා තරුණ තරුණියන් මේ සමග වැඩියෙන් කාලය ගත කරන නිසා එය නැණවත්ව ප‍්‍රවේශමින් පරිහරණය කරන සැටි පෙන්වා දීම වැදගත්.’’
Facebook සමාජ මාධ්‍යයට නැගෙන චෝදනා ගැන ඇගේ මතය: ‘‘අප ඇසිය යුත්තේ ෆේස්බුක් එකේ වරද කුමක් ද කියා නොවෙයි. අපේ සමාජයේ වැරදි මොනවා ද කියායි.’’
මනෝවිද්‍යාත්මකව හෝ සමාජ විද්‍යාත්මකව හෝ බලන විට තහංචි, සීමා දණ්ඩන පෙරටු කර ගත් ප‍්‍රවේශයක් මේ ප‍්‍රශ්නයට කිසිසේත් නොගැලපෙන බව ඇය අවධාරණය කරනවා. නව යොවුන් වියේ හා තරුණ වියේ පසු වන අය සමාජ මාධ්‍ය හරහා එකිනෙකා සමග සාමිචියේ යෙදීම බෙහෙවින් සාමාන්‍ය දෙයක් බවත්,මේ යථාර්ථයට ලක් සමාජය මුහුණදිය යුතු බවත් ඇය කියනවා.
සමාජ මාධ්‍ය එන්නට පෙර SMS හරහාත් ඊට කලින් තැපෑල හරහාත් තරුණ තරුණියන් සන්නිවේදනය කළා. මෙය නීති විරෝධී හෝ සමාජ විරෝධී ක‍්‍රියාවක් නොවෙයි. (එසේම තැපෑලෙන් පෙම් හසුන් හුවමාරු වූවා කියා කිසිවකු තැපැල් සේවය තහනම් කරන්නට කීවේත් නැහැ!)
කෙන්ද කන්ද කොට මහා ප‍්‍රශ්නයක් බවට පත් කර නොගෙන සමාජ මාධ්‍යවලට අපේ සමාජය ප‍්‍රශස්තව බද්ධ විය යුත්තේ කෙසේදැයි විමසා බැලීමයි වඩාත් වැදගත් හා අවශ්‍ය වන්නේ.
සමාජ මාධ්‍ය පොදු උන්තතියට උපක‍්‍රමශීලිව යොදා ගැනීමේ පුරෝගාමීන් හැටියට දකුණු කොරියාව, මැලේසියාව, ඉන්දුනිසීයාව හා තායිලන්තය දැක්විය හැකියි. ලිංගික ප‍්‍රචණ්ඩත්වය, කම්කරු අයිතිවාසිකම්, පාරිසරික ප‍්‍රශ්න, පාරිභෝගික උද්ඝෝෂණ ආදී බොහෝ කරුණු සම්බන්ධයෙන් ඒ රටවල සමාජ කි‍්‍රයාකාරිකයන් සමාජ මාධ්‍ය දක්‍ෂ ලෙස යොදා ගන්නවා.
මධ්‍යම පාතිකයන් මිලියන් 300කට වඩා වෙසෙන ඉන්දියාවේද සමාජ මාධ්‍ය හා ඉන්ටර්නෙට් භාවිතය ජන සමාජයට පුළුල් වශයෙන බලපෑම් කිරීම ඇරඹිලා. විශේෂයෙන් අල්ලස හා දුෂණයට එරෙහිවත් කාන්තාවන්ට නිසි රැකවරණය සඳහාත් මෑත කාලයේ ඉන්දියාව හරහා පැතිර ගිය මහා පරිමාණයේ ජනතා උද්ඝෝෂණ තීව‍්‍ර කළේ සමාජ මාධ්‍ය භාවිතයයි. 2014ඉන්දියානු මහා මැතිවරණයේදී සමාජ මාධ්‍ය තීරණාත්මක සාධකයක් විය හැකියි.
ඉන්ටර්නෙට් මෙරටට හඳුන්වා දුන් මුල් කාලයේම මා යෝජනා කළ ඔවදනක් සමාජ මාධ්‍යවලටත් අදාලයි.
දැන ගියොත් ඉන්ටර්නෙට්.
නොදැන ගියොත් අතරමග.
එයට දැන් යමක් එකතු කළ හැකියි.
අවධියෙන් ගියොත් ඉන්ටර්නෙට්
අවසිහියෙන් ගියොත් මංමුලාවේ!