සිවුමංසල කොලූගැටයා #59: වදකහ සුදියේ සිට ලෝක විනාශය දක්වා…

In this week’s Sunday column, published in Ravaya newspaper of 25 March 2012, I
return to take another critical look at the hype and hysteria surrounding the world ‘ending’ in December 2012.

Last week’s column elicited several reader responses online and offline. While many agreed with my rational reasoning, some were miffed by my puncturing their inflated obsession! A few challenged me to provide an assurance that there won’t be any major disasters in 2012 — we were NOT talking about random disasters, but a planetary scale one which qualifies as End of the World.

This week, we look at how certain environmentalists are linking global warming and 2012 world ending myth, adding to existing public confusion about climate change. I cite as an example of this green alarmism a highly distorted article Sinhala published by Practical Action Sri Lanka, a usually moderate and sensible development organisation. Its country director admits it was an ill-advised public outreach effort.

I also refer to a recent scientific analysis that probed whether highly destructive large-scale earthquakes in the past few years, in countries bordering the Pacific and Indian oceans, indicate an increased global risk of these deadly events. Its conclusion: there is no such evidence.

‘2012 ලෝක විනාශය’ ගැන ලෝක ව්‍යාප්ත මිථ්‍යාව විග‍්‍රහ කරමින් පසුගිය සතියේ මා ලියූ කොලමට ප‍්‍රතිචාර රැසක් ලැබුණා. එයින් බහුතරයක් මගේ විචාරශීලී ප‍්‍රවේශයත් සමග එකග වූ නමුත් ටික දෙනකු මට අභියෝග කළේ 2012දී කිසිදු ව්‍යසනයක් සිදු නොවන බවට සහතික විය හැකිදැයි විමසමින්.

අප කථා කළේ හැම වසරක ම ලොව තැනින් තැන සිදු වන ආපදා ගැන නොවෙයි. මුළු මහත් පෘථිවිය ම විනාශ වී යන, අඩු තරමින් මිහිපිට ජීවීන් හැම දෙනා ම හදිසි මරණයට පත් වන මට්ටමේ මහා විනාශයක් ගැනයි. එබන්දක් ඇති කිරිමට හැකි යයි ජනප‍්‍රිය විද්‍යා ප‍්‍රබන්ධ චිත‍්‍රපටවල යෝජිත සංසිද්ධීන්ගේ විය නොහැකියාව හෝ සම්භාවිතාවේ ඉතා අඩුවීමයි අප පැහැදිලි කළේ.

කොළම මගේ බ්ලොග් අඩවියේ පළ වූ පසු ඉන්ටර්නෙට් හරහා එය කියවන පාඨකයන් ඒ වටා සංවාදයක් ගොඩ නගමින් සිටිනවා. ඔවුන් අතරින් මුලින් අදහස් දැක් වූ ලිෂාන් පුවක්ඕවිට නම් පාඨකයා මතු කළ පැතිකඩ මීට පෙර මගේ අවධානයට ලක් වී තිබුණේ නැහැ: “මේ 2012 අනිසි බිය ගන මගේ මිතුරන් කිහිප දෙනෙකු ද බිය වී සිටිනවා. විවාහයට පත් වී දරුවන් ලබන්නට බිරිඳ කොතරම් කැමති වුවත් වෘත්තියෙන් අලෙවි විධායකයෙකු ලෙස සේවය කරන මා මිතුරා පවසා සිටින්නේ 2012 දෙසැ 22 පසුව ඒ ගැන කල්පනා කල යුතු බවත්, දැන් කල යුත්තේ මේ මහා විනාශයෙන් ගැලවීමට ක්‍රම සෙවීම බවත්!” http://tiny.cc/2012Boom

ලෝක විනාශය ගැන මහජනයා තුළ හට ගන්නා බිය අවස්ථාවාදී ලෙස තමන්ගේ අරමුණු සදහා හරවා ගන්නා නොයෙක් පුද්ගලයන් මෙන් ම කණ්ඩායම් ද සිටිනවා. මෙයින් වඩාත් සූක්‍ෂම හා සටකපට උත්සාහයන් අපට දැකිය හැක්කේ විවිධ ආගම්වලයි.

ඇතැම් අන්තවාදී ඇදහීම් (cults) මෙන් ම ප‍්‍රධාන පෙළේ ආගම් ද ලෝක විනාශය ගැන බියක් පතුරුවා තම අනුගාමික පිරිස වැඩි කරගන්නට උත්සාහ කරනවා. යම් දිනෙක ‘නියතව’ හට ගන්නා ලෝක විනාශයක් ගැන විස්තරාත්මක අනාවැකි කියා, ඇතැම් විට ඒවා විචිත‍්‍ර ලෙසින් සිතුවම්වලට නගා අනුගාමිකයන් බිය කරනවා. ඉන් පසු හීන්සීරුවේ ඔවුන්ට කියන්නේ තම ආගම තරයේ අදහන (එනම් පූජකයන් කියන දේ අවිචාරශීලීව කරන) අය පමණක් ආශ්චර්යමත් ලෙසින් බේරා ගනු ලබන බවයි! මුළු ලෝකය ම විනාශ වන විට ටික දෙනකු පමණක් දිවි ගලවා ගන්නේ කෙසේද? එය දන්නේ වරප‍්‍රසාදලාභී පූජකයන් කිහිප දෙනකු පමණයි.

ලෝක විනාශය සංකල්පයට මුවා වී බඩ වඩා ගන්නේ ආගම්වාදීන් පමණක් නොවෙයි. අද කාලයේ දේශපාලන ක‍්‍රියාකාරිකයන්, සමාජ ශෝධකයන් මෙන් ම පරිසරවේදීන් ද මේ අන්තගාමී ක‍්‍රමෝපායට නැඹුරු වී තිබෙනවා. අන් අය කෙසේ වෙතත් පරිසරවේදීන් ආවේගශීලීව හා අතිශයෝක්තියෙන් සන්නිවේදනය කිරීම මා අනුමත කරන්නේ නැහැ.

විවෘත ආර්ථික ක‍්‍රමයේ හා අදහස් ප‍්‍රකාශනයට නිදහස ඇති මේ ලෝකයේ, විවිධාකාර වෙළඳ ප‍්‍රචාර හෝ මතවාදයන් හෝ පැතිරවීමට ඉඩකඩ තිබෙනවා. මහජනයා මුලා කොට ඔවුන්ගෙන් මුදල් වංචා නොකරන තුරු, කැමති අය ස්වයංමුලාවකට පත් කිරීම නීති විරෝධී නැහැ. එහෙත් එය සදාචාර විරෝධීයි.

අතිශයෝක්තිය, සත්‍යය හා බොරුව මුසු කළ අර්ධ-ප‍්‍රබන්ධ ආදිය හරහා පෙරට එන්නේ අන්ධ භක්තිය හා අයාලේ දිවීමයි. බෙහෙත් තෙල් හා වාජීකරණ වෙළෙන්දන්ට වඩා වගකීමක් විද්වතුන්ගෙන් හා සමාජ ක‍්‍රියාකාරීන්ගෙන් අප බලාපොරොත්තු වනවා. එහෙත් අද ලෝකයේ මහා පාරිසරික ප‍්‍රශ්න හා අභියෝග ගැන ඇතැම් පරිසරවේදීන්ගේ ක‍්‍රියාකලාපය බලාගෙන ගියාම ආගම් ප‍්‍රචාරකවාදීන්ට දෙවැනි නැහැ.

දේශගුණ විපර්යාස උදාහරණයකට ගනිමු. මේ ප‍්‍රශ්නයට මුලල බලශක්ති ජනනය සඳහා පෙට්‍රෝලියම් හා ගල් අගුරු අධික ලෙස දහනය කිරීම නිසා වායුගෝලයේ කාබන්ඩයොක්සයිඞ් ප‍්‍රමාණය ඉහළ යාම හා ඒ මගින් හිරුගේ උණුසුම වැඩිපුර රඳවා ගැනීමයි. මිහිතලය රත් වීම නියත වශයෙන් ම සිදුවන බව විද්‍යාඥයන් අද පිළිගන්නවා. එය නිරීක්‍ෂණ රැසකින්ද සනාථ වෙනවා. එහෙත් මේ රත්වීමෙන් ඇති වන විපාක ගැන පූර්ණ අවබෝධයක් තවමත් නැහැ. අපට සිතා ගත හැකි ආකාරයට මෙන් ම නොසිතූ විරූ අන්දමින් ද මිහිතලය රත්වීම අපටත්, අනෙක් ජීවීන්ටත්, සමස්ත ග‍්‍රහලෝකයටත් බලපෑ හැකියි.

ආපදා උත්සන්න වීම, ආහාර හා ජල හිගයන් උග‍්‍රවීම මෙන් ම ඇතැම් පරිසර පද්ධති (උදා: කොරල්පර) සහමුලින් විනාශ වී යාම ද සිදු විය හැකියි. එහෙත් මේ විපාකවල කාල පරාසය හා සීඝ‍්‍රතාවය අප තවමත් හරිහැටි දන්නේ නැහැ. ලොව පුරා විද්‍යාඥයන් පර්යේෂණ කරමින් කරමින්, පරිගණක ආකෘති අධ්‍යයනය කරමින් වෙර දරන්නේ කෙමෙන් උණුසුම් වන ලෝකයක ගති සොබා තේරුම් ගන්නටයි.

මේ අතරට කඩා පනින සමහර පරිසරවේදීන් කියන්නෙ දැනටමත් අප ප‍්‍රමාද වැඩි බවයි. මොනවා කළත් – නොකළත් අප හැමදෙනාගේ ඉරණම දැනටමත් තීන්දු වී හමාර බවයි. සමහර පරිසරවේදීන් දැන් ලෝක විනාශ සංකල්පයත් එයට සම්බන්ධ කරනවා. මෙබදු අන්තගාමී මතයක එල්බ සිටින්නට ඔවුන්ට නිදහස ඇතත්, එබදු කථා කියමින් මහජනයා බියපත් කරන්නට ඉඩ දිය යුතු ද?

දේශගුණ විපර්යාස සුළු කොට තැකිය යුතු නැහැ. එහි කෙටි කාලීන හා දිගුකාලීන ප‍්‍රතිඵල භායානකයි. එහෙත් එය ලෝක විනාශයකට සම කිරීම පිළි ගත හැකි තර්කයක් නොවෙයි. ළිඳට වැටුණු මිනිසකු ළිං කටෙන් ගොඩ ආ යුතු සේ දේශගුණ විපර්යාසවලට තුඩු දුන් බලශක්ති ජනන ක‍්‍රමයන් හා සම්පත් පරිභෝජන රටා වෙනස් කර ගෙන ඒ මහා ප‍්‍රශ්නයෙඅපන් ටිකෙන් ටික අත්මිදිය හැකි ක‍්‍රම විද්වතුන් සොයමින් සිටිනවා.

අවාසනාවකට ලොව පිළිගත් විද්වත් ආයතන පවා ඇතැම් විට අතිශයෝකිතියට හා ආවේගයන්ට නතු වනවා. විකල්ප සංවර්ධනයක් සඳහා අවංකව ම කැපවුණුල ප‍්‍රැක්ටිකල් ඇක්ෂන් (Practical Action) නම් ලෝක ව්‍යාප්ත සංවිධානයක් තිබෙනවා. ‘පුංචි නම් ලස්සනයි’ (Small is Beautiful) පොත ලියූ ජර්මන් ආර්ථික විද්‍යාඥ අර්න්ස්ට් ෂූමාකර් පිහිට වූ මේ ආයතනයේ ශ්‍රී ලංකා කාර්යාලය 2008දී නිකුත් කළ “ජන තාක්‍ෂණ පුවත්” නම් සිංහල වාරිකය (2 වෙලූම, 3 කලාපය) දැක මා කම්පාවට පත් වුණා.

Jana Thakshana Puwath 2008 Vol 2 No 3 - p13
දේශගුණ විපර්යාස ගැන තොරතුරු රැුගත් මේ සගරාවේ විග‍්‍රහයන් බොහෝ ආවේගශීලීයි. පාඨකයන් බියපත් කරවන වදන් හරඹයක් ඔවුන් කරනවා. 2012දී ලෝක විනාශය මැයෙන් 13 පිටුවේ මෙසෙ කියනවා:

“2012 වසරේදී ලෝක විනාශය සිදු ව බව අද්විතීය මානව සංස්කෘතියක් ලෙස සැලකෙන මායාවරුන්ගේ දින දර්ශනයේ සහ අදින් සියවස් දහතුනකට පෙර විසූ පාකල් වෝලටන් නැමැති මහ පඩිවරයා විසින් පළ කරන ලද අනාවැකිවල සඳහන් වේ. මිනිසුන් පාපයේ නියැලෙන විට ලෝක විනාශය සිදුවෙන බව ඇතැම් ආගමික ශාස්තෘවරුන්ගේ ඉගැන්විමයි. වර්තමානයේදී ලෝකයේ දැවෙන ගැටලූවලින් එකක් බවට පත් වී ඇත්තේ දේශගුණික විපර්යාසවල බලපෑමෙන් සිදුවන දරුණු ස්වභාවික අපදා හේතුවෙන් මානවයාගේ පැවැත්ම අවිනිශ්චිත වීමයි. සුනාමි ව්‍යසන, සුළි කුණාටු හා වෙනත් ස්වභාවික ආපදා හේතුවෙන් ලෝකයේ විවිධ ප‍්‍රදේශවල ස්ථාපනය වුණු මානව ජනාවාස සහමුලින්ම විනාශයට පත් වුණු බව නිතර නිතර වාර්තා වේ. මේ ලෝක විනාශය අතළග බවට ඉගි කරන අනතුරු ඇගවීම්ද? මිනිසුන් විසින් මහපොළොවට සහ පරිසරයට කරන ලද වධ බන්ධන හේතුවෙන් මානව සංහතිය මිහිතලයෙන් වඳ වී යයි ද?”

මේ ත‍්‍රාසජනක ප‍්‍රබන්ධයක පිටපතක් ද? මෙබදු සන්නිවේදන කරන්නට වගකිවයුතු ආයතන ඉඩ දෙන්නේ ඇයි?

ප‍්‍රැක්ටිකල් ඇක්ෂන් ශ්‍රී ලංකා අධ්‍යක්‍ෂවරිය වන ආචාර්ය විශාඛා හැදැල්ලගේ වෙතින් මා මේ ගැන විමසුවා. මනා සංස්කරණ අධීක්‍ෂණයකින් තොරව ජන සමාජයට ගිය මේ ප‍්‍රකාශනය පිළිබඳ මගේ විවේචනය ඇය පිළි ගත්තා. මෙය සිය ආයතනයේ නිල ස්ථාවරය නොවන බවත්, එය ලියූ නිදහස් ලේඛකයාගේ තනි අදහසක් බවත් ඇය කියනවා. (මේ ආයතනය පරිසර සංවිධානයක් ද නොවේ.)

ලෝක විනාශය හා දේශගුණ විපර්යාස එකට මිශ‍්‍ර කිරීම හැරුණු විට විද්‍යාත්මකව වැරදි තවත් කරුණු එම ප‍්‍රකාශනයේ තිබෙනවා. සැබෑ තත්ත්වය හතර පස් ගුණයකින් වැඩිකොට පැවසීම හා ලිවීම අපේ පරිසරවේදීන් අතර සුලභ පුරුද්දක්. ඇත්ත ඇති සැටියෙන් කීමට හා නොදන්නා දේ එසේ පිළිගැනීමට ඔවුන් මැලි ඇයි?

අභව්‍ය දේ ගැන අතිශයෝක්ති ගොතා මිනිසුන් බියපත් කර තමන්ගේ ඇදහිලිවලට ඇද ගන්නට තැත් කරන විවිධ ආගම්වාදීන් සහ මෙබදු පරිසරවේදීන් අතර එතරම් වෙනසක් නැහැ.මේ දෙපිරිසේ ම විශ්වසනීයත්වය පලූදු වී ඇති බව පැහැදිලියි. ඇරත් 2012 ලෝක විනාශය ඔවුන් කියන පරිදි සිදු නොවූ විට ඔවුන් යළිත් සමාජයට මුහුණ දෙන්නේ කෙසේ ද?

මින් පෙර නොවූ වීරූ අසාමාන්‍ය ගණයේ භූචලන ලෝකයේ සිදු වෙමින් පවතිනවා ද? නැතිනම් අද ඒ ගැන ජනමාධ්‍යවලින් කැරෙන වාර්තාකරණය තීව‍්‍ර වී ඇත් ද? ලෝකයේ ප‍්‍රමුඛ පෙළේ භූවිද්‍යාඥයන් කියන්නේ මිහිතලය උණුසුම් වීමෙන් පොළව මතුපිට යම් විපර්යාස සීඝ‍්‍ර වී ඇතත් පෘථිවි අභ්‍යන්තරයේ එබදු ප‍්‍රවණතාවක් තවමත් දැකිය නොහැකි බවයි.

එසේ නම් 2001-2011 කාලය තුළ ප‍්‍රබල භූමිකම්පා ගණනාවක් චීනය, චිලී, ජපානය හා ඉන්දුනීසියාව වැනි රටවලින් වාර්තා වූයේ ඇයි? 1900 සිට 2010 දක්වා භූකම්පන මානයේ අංක 7ට වඩා ඉහළින් සිදු වූ සියළු ම භූ චලනයන් විස්තරාත්මකව අධ්‍යයනය කළ අමෙරිකාවේ විද්‍යාඥ දෙපළක් 2011 අගදී කියා සිටියේ භූමිකම්පාවල ප‍්‍රබලත්වයේ උත්සන්න වීමක් සංඛ්‍යාත්මකව නොදකින බවයි.

අමෙරිකාවේ ස්ක‍්‍රිප්ස් සාගර විද්‍යා පර්යේෂණායතනයේ භූවිද්‍යාඥ පීටර් ෂියරර් හා කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ (බර්ක්ලි) ෆිලිප් ස්ටාක් සිය විශ්ලේෂණය 2011 දෙසැම්බර් 19දා එරට විද්‍යා ඇකඩමියේ වෙබ් අඩවිය හරහා ප‍්‍රකාශයට පත් කළා. වසර 110ක භූමිකම්පා දත්ත පදනම් කර ගෙන නම් පෘථිවි අභ්‍යන්තරයේ ප‍්‍රචන්ඩත්වයේ වැඩිවීමක් දැකිය නොහැකි බවත්, එබන්දක් ගැන හරි හැටි කීමට ඊටත් වැඩි කාල පරාසයක දත්ත විමසා බැලිය යුතු බවත් ඔවුන් කියනවා. ඔවුන්ගේ අවසන් නිගමනය නම් මෑත වසරවල අත්දුටු මහා පරිමානයේ භූමිකම්පා එසේ කෙටි කලක් තුළ ඇති වීම හුදෙක් අහඹු සිදුවීමක් මිස පෘථිවි අභ්‍යන්තරයේ විපර්යාසයක ඉගියක් නොවන බවයි. http://tiny.cc/MegaQ

සිදු වන්නට හැකියාව ඉතා අඩු, වඩාත් ම බිහිසුණු සිදුවීම් ගැන මේ තරම් කලබලවීමක් හා භිතියක් ඇති කර ගන්නට අපේ ඇත්තන් නැඹුරු වන්නේ ඇයි? ස්වයංමුලාව හා ස්වයංභීතිය ඒ තරමට අපේ තනි හා සාමුහික චින්තනයට සමීප වෙලාද?

1955 ජුනි 20 වනදා අපේ දිවයිනට අවසාන වරට පූර්ණ සූර්යග‍්‍රහණයක් දිස් වූ අවස්ථාවේ ලස්සන වන්නට යයි සිතා ගෙන වදකහ බී රෝහල් ගත වූ කථාව අප අසා තිබෙනවා. අදට වඩා අධ්‍යාපන මට්ටම් අඩු වූ එවකට එබන්දකට හසු වූවත්, තොරතුරු සමාජයේ ඇලී ගැලී වාසය කරන වත්මන් ලාංකිකයන් 2012 ලෝක විනාශය ගැන මෙතරම් දැඩිව අදහන්නේ ඇයි? විචාරශීලිව හා තුලනාත්මකව යමක් විග‍්‍රහ කිරීමේ හැකියාව ඒ තරමට අප සමාජයේ මොට වී ගිහින් ද?

සිවුමංසල කොලූගැටයා #58: විනාශයක් ළග එනවා – ඒකට අපි සැරසෙනවා!

In this week’s Sunday column, published in Ravaya newspaper of 18 March 2012, I take a critical look at the mounting hype and hysteria about the world ending in December 2012.

The Wikipedia describes the ‘2012 phenomenon’ as comprising a range of eschatological beliefs according to which cataclysmic or transformative events will occur on 21 December 2012. In reality, it’s a blockbuster Hollywood movie, rather than any ancient prophecy, that triggered this wave of public concern!

Much of this information was drawn from NASA’s webpage on the topic where reputed scientists answer questions that they are frequently asked regarding 2012.
See also my English blogpost on this, written on 5 Jan 2012.

2012දී ලෝක විනාශයක් සිදු වෙයි ද? එසේ වන බවට අතීත ශිෂ්ටාචාරයක් හෝ පිටසක්වල ජීවීන් හෝ කල් තබා අනතුරු අගවා ඇත් ද? එසේ නම් අපි පණ බේරා ගන්නේ කොහොමද?

මේ දිනවල නිතර කථා බහට තේමා වන ප‍්‍රශ්න අතර මේවා ද තිබෙනවා. ලෝකයේ ආර්ථික ප‍්‍රශ්නල පාරිසරික ප‍්‍රශ්නල යුද්ධ අරගල ආදිය මදිවාට ලෝක විනාශය ගැනත් අප බිය විය යුතු ද? මොකක්ද මෙහි සැබෑ කථාව?

ලෝකය විනාශ වීම අතීතයේ සිට මිනිසුන් තුළ තිබූ බියක්. ලෝකය හා විශ්වය ගැන විද්‍යාත්මක තොරතුරු දැන ගත් පසුවත් බොහෝදෙනා තුළ තවමත් යන්තමින් හෝ මෙබදු භීතියක් තිබෙනවා. විද්‍යාව හා තර්කානුකූල චින්තනය හෙළා දකින ඇතැම් දෙනාල ස්වයංමුලාවකට පත් වීමටත්, අන් අය බිය වැද්දීමටත් භාවිත කරන එක් සංකල්පයක් නම් යම් නිශ්චිත දිනෙක ලෝකය විනාශ වීමයි.

ලෝක විනාශය ගැන විග‍්‍රහයේදී භෞතික විද්‍යාවට අමතරව සමාජ විද්‍යාව හා මනෝ විද්‍යාව ද යොදා ගත යුතු වන්නේ මේ නිසයි. මගෙන් මේ ගැන විමසන අයට මා කියන්නේ ලෝක විනාශ ව්‍යාපාරය (End of the World Industry) නම් අළුත් වෙළදාමක් බිහි වී ඇති නිසා එයට හසු නොවන ලෙසයි.

එහෙත් අසුබවාදී දෙය අදහන්නට අපේ ඇත්තන්ට ලොකු ඕනෑකමක් තිබෙනවා. ‘2012 ලෝක විනාශය’ ගැන විමසීම් රැසක් ලැබෙන්නට පටන් ගත් විට අමෙරිකාවේ අභ්‍යවකාශ කටයුතු භාර නාසා ආයතනය ඒ ගැන විද්වත් තොරතුරු ඇතුළත් වෙබ් පිටුවක් 2011 නොවැම්බරයේ ආරම්භ කළා. බලන්න: http://www.nasa.gov/topics/earth/features/2012.html

ඉංග‍්‍රීසි බසින් ඇති මේ වෙබ් පිටුවේ මුල් ම ප‍්‍රශ්නය හා උත්තරය මෙයයි.
ප‍්‍රශ්නය: 2012 දෙසැම්බරයේ ලෝක විනාශය සිදුවන බවට බොහෝ දෙනා හා ඇතැම් වෙබ් අඩවි කියනවා. මෙහි ඇත්ත කුමක් ද?

උත්තරය: 2012 දී පෘථිවියට එසේ විපතක් හෝ අන්තරායක් ඇති වේ යයි කීමට පදනමක් නැහැ. වසර බිලියන් 4කට වැඩි කලක් තිස්සේ පැවත එන පෘථිවිය 2012 මහා තර්ජනයකට ලක් වන බවට ලොව කිසිදු විද්‍යාඥයකු ප‍්‍රකාශ කර නැහැ.

2012 ලෝක විනාශය ගැන ලෝක ව්‍යාප්ත විශ්වාසයේ අගමුල නාසා වෙබ් අඩවිය විග‍්‍රහ කරනවා. එය ඇරඹුණේ නිබිරු (Nibiru) නම් අයාලේ යන ග‍්‍රහලෝකය ගැන ප‍්‍රබන්ධයකින්. තාරකා විද්‍යාඥයන් නොදන්නා මේ අද්භූත ග‍්‍රහලෝකයල පෘථිවියේ ගැටෙනවා යයි මුලින් ‘අනාවැකි’ පළකර තිබුණේ 2003දි. එහෙත් එය සිදු නොවූ විට ලෝක විනාශ සංකල්පවාදියෝ කිසි ලැජ්ජාවකින් තොරව ඒ දිනය 2012 දෙසැම්බරයට මාරු කළා!

මධ්‍යම ඇමෙරිකාවේ අද හොන්ඩුරාස්, ගුවාතමාලා, නිකරාගුවා සහ මෙක්සිකෝව නමින් හැදින්වෙන ප‍්‍රදේශවල සියවස් ගණනක් තිස්සේ පැවති මායානු ශිෂ්ටාචාරයත් මේ ලෝක විනාශ කතන්දරයට ඈදා ගෙන තිබෙනවා. මායාවරුන්ගේ ඓතිහාසික කැලැන්ඩරය අපේ සම්මත වර්ෂවලින් 5,125ක් දිගු බවත්, එය අවසන් වන්නේ 2012 දෙසැම්බර් 21 වනදා බවත් පෙන්වා දෙන උදවිය, එයින් සංකේතවත් කැරෙන්නේ මානව සංහතියෙ අවසානය බවත් කියනවා. මේ සඳහා ඔවුන්ට තර්කානුකූල සාක්‍ෂි නැතත්, අද්භූත හා විනාශකාරී තොරතුරුවලට ලොල් බවක් දක්වන ජනයා අතරේ ජනප‍්‍රිය වීමට හැකිව තිබෙනවා.

නාසා වෙබ් අඩවිය කියන්නේ යම් අවස්ථාවක නිබිරූ ප‍්‍රබන්ධය හා මායා කැලැන්ඩරයේ ප‍්‍රබන්ධය එකිනෙකට බද්ධ වී වඩාත් බිහිසුණු ලෝකවිනාශ ”අනාවැකියක්” බවට පත් වී ඇති බවයි.

පුරාණ මායාවරුන්ගේ කැලැන්ඩරය 2012න් අවසන් වූවත්, අප දැන් භාවිත කරන වර්ෂ ක‍්‍රමයේ අළුත් වසරක් හැම ජනවාරි 1වනදා ම ඇරඹෙන අයුරින් ඔවුන්ගේ ද නව දිනවකවානු චක‍්‍රයක් ඇරඹිය හැකියි. කැලැන්ඩරයක් හමාර වූ පලියට ලෝකය හමාර නොවන බව නාසා අපට මතක් කර දෙනවා. ඒ අතර මායාවරුන්ගේ කැලැන්ඩරය 2012න් අවසන් වීමට තවත් හාස්‍යජනක හේතූන් දක්‍ෂ කාටූන් ශිල්පීන් ද මතු කර තිබෙනවා!

Simple explanations are always the best – but not entertaining enough?

2012 දී ලොව විනාශ වන බවට කිසිදු සඳහනක් අතීත මායාවරුන්ගේ ලේඛනවල හෝ පුරාවස්තු නටඹුන්වලින් හමු වී නැති බව මායා ශිෂ්ටාචාරය ගැඹුරින් අධ්‍යයනය කළ මානව විද්‍යාඥයෝ හා පුරා විද්‍යාඥයෝ කියනවා.

‘ලෝක විනාශය’ නොයෙක් දෙනා තේරුම් ගන්නේ විවිධාකාරයෙන්ග සමහරුන් එය දකින්නේ අපේ ග‍්‍රහලෝකය ම පුපුරා කැබලි වී යන හැටියට. ඇතමුන් එය මිහිතලය මත ජීවය විනාශ වී ගොස් අජීවී ද්‍රව්‍ය පමණක් ඉතිරි වීමක් ලෙස සළකනවා. මේ දෙක අතර තවත් විවිධ විය හැකියාවන් පරිකල්පනය කළ හැකියි. එයින් ඇතැම් ඒවාට විද්‍යාත්මක පදනමක් ඇතත් විය හැකියාව අඩුයි.

උදාහරණයක් නම් ලෝක ව්‍යාප්ත න්‍යෂ්ටික යුද්ධයක්. මුළු මහත් ජීවීන් සියළු දෙනා මිහිපිටින් අතු ගා දමන්නට නම් ඉතා අධික විකිරණශීලිතාවයක් ග‍්‍රහලෝකය පුරා පැතිරිය යුතුයි. සීතල යුද්ධයේ ඇතැම් අවස්ථාවල එබදු තුන්වන ලෝක යුද්ධයක අභිමුඛයට ආවත් එබන්දක් සිදු වූයේ නැහැ.

2012 දී ග‍්‍රහලෝක එක ම හෝ ආසන්න හෝ රේඛාවක පිහිටීමෙන් පෘථිවියට අහිතකර බලැපෑම් ඇති විය හැකි ද? මේ පැනයටත් නාසා පිළිතුරු දෙනවා. එවැනි ග‍්‍රහ පිහිටීමක් 2012දී හෝ තවත් දශක ගණනාවකට සිදු නොවන බවත්, එබන්දක් සිදු වන විට පවා (ග‍්‍රහලෝක අතර ඇති අති විශාල දුර ප‍්‍රමාණ නිසා) කිසිදු බලපෑමක් ඇති නොවන බවත් ඔවුන් අවධාරණය කරනවා.

අපේ චක‍්‍රාවාටයේ (ගැලක්සියේ) තලයට සාපේක්‍ෂව පෘථිවියේ පිහිටීම ගැන විවිධ අද්භූත මත ප‍්‍රචලිත වී ඇතත් එබදු කිසිවක් අපේ ලෝකයට දැනෙන ආකාරයේ බලපෑමක් කළ නොහැකි යයි නාසා කියනවා.

අයාලේ යන ග‍්‍රහ කැබැල්ලක් හෝ උල්කාපාතයක් හෝ පෘථිවියේ ගැටීමෙන් මහ විනාශයක් සිදුවිය හැකි ද? මෙය විද්‍යාත්මක පදනමක් ඇති ප‍්‍රශ්නයක්. පෘථිවි ඉතිහාසය පුරා මෙබදු ගැටුම් විටින් විට සිදු වී ඇති බවට භූ විද්‍යාත්මක සාක්‍ෂි තිබෙනවා. එහෙත් මහා පරිමානයේ ගැටුම් ඉතා විරලයි. අවසන් වරට එබන්දක් සිදුව ඇත්තේ වසර මිලියන් 65කට පෙර. ඩයිනසෝරයන් ඇතුළු බොහෝ ජීවීන් වඳ වී යාමට තුඩු දුන් ඒ ගැටුමෙන් ද මිහිපිට ජීවය තුරන් වූයේ නැහැ.

පෘථිවිය ආසන්නයට එන හා ගැටීමේ ඉඩ ඇති සියළුම ග‍්‍රහවස්තු ගැන ලොව පුරා තාරකා විද්‍යාඥයෝ නිරතුරුව විමසිල්ලෙන් සිටින නිසා අද දවසේ එබදු අනතුරක් වසර ගණනකට පෙර දත හැකියි. එබන්දක් දැන ගත් විට එයට ගත හැකි ක‍්‍රියාමාර්ග තිබෙනවා. 2012දී එබදු ග‍්‍රහ ගැටුමක සේයාවක්වත් නැහැ. මේ සියළු තාරකා විද්‍යා තොරතුරු ඕනෑ ම කෙනකුට බලාගත හැකි පරිදි වෙබ් අඩවිගත කර තිබෙනවා. කුමන්ත‍්‍රණවාදී වෙබ් අඩවි වෙනුවට පිළිගත් විද්‍යාත්මක වෙබ් අඩවිවලින් තොරතුරු ලබා ගන්න.

මහජනයා බිය කර භාණ්ඩ හා සේවාවන් විකුණන අයට නම් මේ වසර හොඳ අවස්ථාවක්. 2012 ලෝක විනාශය පිළිබඳ මිථ්‍යාවලට බෙහෙවින් දායක වූයේ ද මීට තෙවසරකට පෙර හොලිවුඞ් නිපද වූ චිත‍්‍රපටයක් ‘2012’ නම් වූ එය ඉතා ත‍්‍රාසජනක ලෙසින් ඉදිරිපත් කළේ මේ වසරේදී භූමිකම්පා, ගිනිකදු විදාරණය ඇතුළු භූවිද්‍යාත්මක ව්‍යසනයන් රැසක් සිදු වී මිහිපිට බොහෝ ජනාවාස විනාශ වී යන සැටියි.

තනිකර ම ප‍්‍රබන්ධයක් වන මේ චිත‍්‍රපටයේ අලෙවිකරණ උපක‍්‍රමයක් ලෙස ලෝක විනාශය ගැන ‘විද්‍යාත්මක’ ගවේෂණ කරන වෙබ් අඩවියක හැඩ රුව රැගත් බොරු වෙබ් අඩවියක් මුදා හරිනු ලැබුවා. Institute for Human Continuity නම් කල්පිත ආයතනයක නමින් පවත්වාගෙන ගිය මේ වෙබ් අඩවියල නිර්මාණශීලී උත්සාහයක් වූවත් එය සැබෑවක් ලෙස වරදවා වටහා ගත් බොහෝ දෙනා බියපත් වී සිටිනවා.

සැබෑ විද්‍යාඥයන් හා අධ්‍යාපනවේදීන් මේ ප‍්‍රචාරණ ක‍්‍රමය දැඩි සේ විවේචනය කළත් අන්තිමේදී 2012 චිත‍්‍රපටය ඩොලර් මිලියන් 770ක ආදායමක් ලබා ගත්තා. මේ දෙස බලා සිටි ටෙලිවිෂන් ආයතන, පොත් ප‍්‍රකාශකයෝ හා වෙනත් ව්‍යාපාරිකයෝ ද මේ 2012 භීතියෙන් ආදායම් උපදවා ගැනීමේ උපක‍්‍රම දියත් කළා.

අද බොහෝ දෙනකු මංමුලා වී සිටින්නේ සැබෑව හා මිථ්‍යාව තෝරාගත නොහැකිවයි. නිල මූලාශ‍්‍රයන් හා විද්වත් ආයතන කියන දේට වඩා කුමන්ත‍්‍රණවාදීන් කියන දේ අදහන්නට කවදත් කැමති පිරිසකුත් හැම සමාජයක ම සිටිනවා. කණගාටුව නම් පුරාණ මායාවරුන් ද මේ නූතන භීතිකා ව්‍යාපාරයට සම්බන්ධ කර ගැනීමයි.

එමෙන්ම 2012 ලෝක විනාශයක් ගැන කථා කිරීමෙන් අද ලොව හමුවේ තිබෙන සැබෑ අභියෝගවලට ලැබිය යුතු අවධානය අඩුවන බවත් මැදහත් විද්‍යාඥයන්ගේ මතයයි. ගෝලීය දේශගුණ විපර්යාස,ජීවී විශේෂ වඳ වී යාමේ තර්ජනය හා ආහාර-ජලය-බලශක්ති පිළිබඳ හිගයන් අද අපට මුහුණ දීමට ඇති මහා ප‍්‍රශ්න අතර තිබෙනවා. 2012 දෙසැම්බරයේ අප සියළු දෙනා විනාශ වනවා නම් මේ ප‍්‍රශ්න විසදීමට උත්සාහ කිරීමේ තේරුමක් ඇත් ද? මේ අයුරින් බලන විට සංත‍්‍රාසය ඇති කිරීමට සමහරුන් ගෙන යන ලෝක විනාශ සංකල්පවාදය මුළුමනින් විචාර බුද්ධියට හා තර්කානුකූල චර්යාවන්ට එරෙහි බව පැහැදිලියි.

2012 දෙසැම්බර් 21දා ‘ලෝක විනාශය’ ගැන කෙළවරක් නැති ප‍්‍රලාඵයන්ගෙන් විඩාවට පත් තාරකා විද්‍යාඥ ආචාර්ය කාවන් රත්නතුංග, ඒ ගැන තර්ක කරන අයට විවෘත අභියෝගයක් කරනවා. 2011 නොවැම්බර් 15දා රූපවාහිනියේ ‘බටහිර අහස’ සජීව වැඩසටහන ඔස්සේ ඔහු කීවේ මෙයයි: “ලෝක විනාශයක් ගැන ඔය තරමට දැඩි සේ අදහනවා නම් 2012 දෙසැම්බර් 22 වනදා සිට බල පවත්වන පරිදි ඔබ සතු දේපළ මට උරුම වන්නට නීත්‍යානුකූලව පවරන්න. එසේ කරන කෙනකුට ඒ දේපොල වටිනාකමින් සියයට 10ක් දැන් ගෙවීමට මා සූදානම්!”

2012 මාර්තු 15දා වන තුරුත් කාවන්ගේ අභියෝගය කිසිවකු භාර ගෙන තිබුණේ නැහැ. එහෙත් 2012 ලෝක විනාශ ප‍්‍රබන්ධය රස කරමින් පතුරුවන අයගේ අඩුවක් ද නැහැ. ඉදිරි මාස කිහිපයේ මේ ප‍්‍රබන්ධය හරහා ස්වයංමුලාවට පත් වන අය මෙන් ම එයින් අවස්ථාවාදී ලෙස බඩ වඩා ගන්නා අය ගණනත් ඉහළ යනු ඇති. මුළු මහත් ලොව ම වැනසෙන විට ආනුභාව සම්පන්න ලංකා දිවයින පමණක් කෙසේ හෝ නොනැසී පවතිනු ඇතැයි අපේ ජ්‍යොතිෂකාරයකු කියන්නටත් ඉඩ තිබෙනවා!

2012 දෙසැම්බර් 22දාට පසු යළිත් මේ ගැන කථා කරමු.