සිවුමංසල කොලූගැටයා #266: තොරතුරු නීතියේ වැඩිම ප‍්‍රයෝජන සාමාන්‍ය පුරවැසියන්ටයි!

In this week’s Ravaya column (appearing in the print issue of 1 May 2016), I return to the topic of Sri Lanka’s new Right to Information (RTI) law that has recently been tabled in Parliament.

Over 15 years in the making, the RTI law is to be debated in June and expected to be adopted with multi-party consensus. The law represents a transformation across government by opening up hitherto closed public information (with certain cleared specified exceptions).

While media can also benefit from RTI, it is primarily a law for ordinary citizens to demand and receive information related to everyday governance (most of it at local levels). For this, citizens need to understand the RTI process and potential benefits. Media can play a major role in explaining RTI law, and promoting its use in many different ways to promote the public interest and to nurture a culture of evidence-based advocacy for good governance and public accountability.

In this column, I look at how RTI can benefit citizens, and share examples from other South Asian countries where even school children are using RTI to solve local level problems that affect their family, school or local community.

RTI Law is like a key that opens government information

RTI Law is like a key that opens government information

වසර 15ක පමණ සිවිල් සමාජ අරගලයකින් පසුව ශ‍්‍රී ලංකාවේ තොරතුරු අයිතිය තහවුරු කැරෙන නව නීතිය කෙටුම්පතක් ලෙස පාර්ලිමේන්තුවේ සභාගත කොට තිබෙනවා. ඉදිරි සති කිහිපය තුළ මෙය විවාදයට ගෙන සම්මත වීමට නියමිතයි.

2015 අපේ‍්‍රල් මාසයේ සම්මත වූ 19 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් දැනටමත් තොරතුරු දැන ගැනීමේ අයිතිය මෙරට මූලික මානව අයිතියක් ලෙස පිළිගෙන හමාරයි. මේ නීතිය කරන්නේ එය ප‍්‍රායෝගිකව ක‍්‍රියාත්මක කිරීමට අවශ්‍ය ක‍්‍රමවේදය බිහි කිරීමයි.

එසේම තොරතුරු අයිතියට අදාළ වන්නේ කුමන රාජ්‍ය ආයතන හා කිනම් ආකාරයේ තොරතුරුද, හෙළිදරව් කළ නොහැකි තොරතුරු වර්ග මොනවාද (ව්‍යතිරේක) හා හෙළිදරව් කළ යුතු තොරතුරු නොදී සිටින රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව පුරවැසියන්ට ගත හැකි පරිපාලනමය ක‍්‍රියාමාර්ග මොනවාද ආදිය මේ පනතෙන් විස්තර කැරෙනවා.

මේ කෙටුම්පත භාෂා තුනෙන්ම පාර්ලිමේන්තුවේ වෙබ් අඩවියෙන් බලාගත හැකියි. http://www.parliament.lk/uploads/bills/gbills/english/6007.pdf

මේ හැකියාව තිබියදීත් පනත් කෙටුම්පත නොකියවා අනුමාන හෝ  ඕපාදුප මත පදනම් වී මේ ගැන දුර්මත පතුරු වන අයත් සිටිනවා. (මෑතදී මට දුරකථනයෙන් කතා කළ එක් ජාතික පුවත්පතක මාධ්‍යවේදියෙක් ඇසුවේ තොරතුරු පනත මගින් මාධ්‍යවේදීන්ට හා සෙසු පුරවැසියන්ට දඬුවම් දීමට අදහස් කරනවාද කියායි!)

තොරතුරු අයිතිය හා නීතිය ගැන මීට පෙර කිහිප වතාවක් අප මේ තීරු ලිපියේ සාකච්ඡා කළා. යළිත් මේ තේමාවට පිවිසෙන්නේ තවමත් මේ සංකල්පය ලක් සමාජයට ආගන්තුක නිසායි.

ලෝකයේ මුල්ම තොරතුරු නීතිය සම්මත වී 2016ට වසර 250ක් සපිරෙනවා. 1766දී එම නීතිය හඳුන්වා දුන්නේ ස්වීඩනයේ. එදා මෙදාතුර රටවල් 100කට වැඩි ගණනක තොරතුරු නීති සම්මත කරගෙන තිබෙනවා.

අපේ සාර්ක් කලාපයේ තොරතුරු නීතියක් නොමැතිව සිටි එකම රට ශ‍්‍රී ලංකාවයි. ශිෂ්ට සම්පන්න ජන සමාජයකට හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍ය පාලනයකට අත්‍යවශ්‍ය යැයි සැලකෙන මේ නීතිය ප‍්‍රමාද වී හෝ අපට ලැබීම හොඳයි. එහෙත් මේ නීතිය සාර්ථක වන්නේ එය ගැන සමස්ත ජන සමාජයම දැනුවත් හා උද්‍යෝගිමත් වූ විට පමණයි.

බොහෝ නීති පනවන්නේ රජයට යම් ඉලක්ක හා අරමුණු සාක්ෂාත් කර ගන්න. එහෙත් තොරතුරු නීතිය මහජනයා අතට ලැබෙන, ඔවුන් බලාත්මක කළ හැකි නීතියක්.

A009-001(1)

තොරතුරු නීතිය මාධ්‍යවේදීන් සඳහා යයි මතයක් පවතිනවා. හිටපු ජනාධිපතිවරයා වරක් කතුවරුන් අමතමින් කීවේ ‘ඔබට තොරතුරු නීතියක් මොකටද?  ඕනෑ දෙයක් මගෙන් අහන්න’ කියායි!

මාධ්‍යවේදීන්ටද තොරතුරු නීතිය උපකාර වෙතත් තමන්ට අවශ්‍ය සැඟවුණු තොරතුරු සොයා යෑමේ උපක‍්‍රම ඔවුන් සතුව තිබෙනවා. එවැනි ආයතනික හෝ සිවිල් බලයක් නොමැති සාමාන්‍ය පුරවැසියන්ට රාජ්‍ය ආයතන සතු තොරතුරු ඉල්ලා ලබාගන්නට අයිතියක් තහවුරු කරන්නේ තොරතුරු නීතිය මගින්.

මහජන මුදලින් නඩත්තු කැරෙන මහජන සේවයට පිහිටුවා ඇති රාජ්‍ය ආයතනවල ක‍්‍රියාකලාපය විමර්ශනය කිරීමට එම මහජනයාට ඇති අයිතිය තහවුරු කිරීමයි  තොරතුරු නීතිය මගින් කරන්නේ.

ඕනෑම රටක තොරතුරු නීතියක් සාර්ථක වන්නේ එහි තමන්ට තිබෙන ප‍්‍රායෝගික වැදගත්කම හා එය භාවිතය ගැන මහජනයා දැනුවත් වූ තරමටයි.

නීතිඥ ගිහාන් ගුණතිලක 2014දී ලියූ, ශ‍්‍රී ලංකා පුවත්පත් ආයතනය පළ කළ තොරතුරු නීතිය පිළිබඳ අත්පොතෙහි මේ ප‍්‍රයෝජන උදාහරණ කිහිපයකින් පැහැදිලි කරනවා.

උදාහරණ 1: අපේ නිවෙස ඉදිරියෙන් දිවෙන පාර අබලන් වී තිබූ නිසා එය පිළිසකර කරනු ලබනවා. එහෙත් එහි ප‍්‍රමිතිය හා නිමාව සැක සහිතයි. මේ ගැන පුරවැසියන් ලෙස අපට කුමක් කළ හැකිද?

තොරතුරු අයිතිය යටතේ පාර පිළිසකර කිරීමට අදාළ පළාත් පාලන ආයතනයෙන් හෝ මාර්ග සංවර්ධන අධිකාරියෙන් හෝ විමසිය හැකි වනවා. ඒ සඳහා කොපමණ මහජන මුදල් ප‍්‍රතිපාදන වෙන් කළාද, කොන්ත‍්‍රාත් දීමට ටෙන්ඩර් කැඳ වූවාද, වැය කළ මුදල් ද්‍රව්‍යවලට හා වේතනවලට බෙදී ගියේ කෙසේද ආදි සියල්ල හෙළි කිරීමට අදාළ ආයතනයට සිදු වනවා.

බොහෝ විට මේ තොරතුරු පිටු රැසකින් සමන්විත ෆයිල් එකක් විය හැකියි. එය ලද පසු අධ්‍යයනය කොට මහජන මුදල් නිසි ලෙස වැය වී ඇත්ද හා එසේ නැතිනම් ඇයිද යන්න දත හැකියි. මේ දක්වා සැකය හා අනුමානය පදනම් කර ගෙන කළ තර්ක හා චෝදනා මින් පසු තොරතුරු සාක්ෂි මත පදනම්ව කළ හැකි වනවා.

උදාහරණ 2: හැම වසරකම රටේ මහත් ආන්දෝලනයක් ඇතිකරන ක‍්‍රියාදාමයක් නම් රජයේ පාසල්වලට දරුවන් ඇතුළු කර ගැනීමයි. ක‍්‍රමවේදයක් ස්ථාපිත කොට තිබෙත්, නිසි පාරදෘශ්‍යභාවයක් නැති නිසා අක‍්‍රමිකතා හා දුෂණ රැසකට ඉඩ පෑදී තිබෙනවා.

තොරතුරු නීතිය යටතේ මේ ක‍්‍රමවේදය ගැන  ඕනෑම රජයේ පාසලකින් විස්තරාත්මක තොරතුරු ඉල්ලා සිටීමට පුරවැසි අපට හැකි වනවා. දරුවන් ඇතුළු කිරීමට යොදා ගත් නිර්ණායක මොනවාද, ඉල්ලූම් කළ සමස්ත සංඛ්‍යාව අතරින් තෝරා ගත් දරුවන් ඒ නිර්ණායක සියල්ල සපුරා සිටියාද, ප‍්‍රතික්ෂේප කිරීමට නිශ්චිත හේතු මොනවාද ආදි සියලූ තොරතුරු හා තීරණ හෙළි කරන ලෙස තොරතුරු නීතිය යටතේ අපට බල කළ හැකියි.

උදාහරණ 3: ගොවිතැන් වැඩිපුර කරන ප‍්‍රදේශයක ගොවීන්ට ජලය ලබා දීමට නව ඇළ මාර්ග ඉදි කිරීමට මහජන මුදල් වෙන් කැරෙනවා. එය එසේ කළ බවත්, මාධ්‍ය හරහා වාර්තා වනවා. එහෙත් මාස හා වසර ගණනක් ගෙවී ගියත් ඇළ මාර්ග ඉදි වන්නේ නැහැ. කුමක් වූවාදැයි නොදැන ගොවීන් වික්ෂිප්තව සිටිනවා.

තොරතුරු නීතිය යටතේ තව දුරටත් නොදන්නාකමින් හා අවිනිශ්චිත බවින් කල් ගෙවිය යුතු නැහැ. වාරි ඇළ මාර්ග සඳහා වෙන් කළ ප‍්‍රතිපාදනවලට කුමක් වූවාද,  එය වෙනත් දෙයකට යොදා ගත්තාද, නැතිනම් වැය නොකිරීම නිසා යළිත් භාණ්ඩාගාරයට ගියාද, එසේ නම් ඒ සඳහා වගකිව යුත්තේ කවුද ආදි මේ සියල්ල ගැන පරිපාලන තොරතුරු  ඕනැම පුරවැසියකු ඉල්ලා සිටියොත් හෙළි කිරීමට අදාළ රාජ්‍ය ආයතනයට සිදු වනවා. එහිදී තොරතුරු ඉල්ලීම පීඩාවට පත් ගොවීන්ට පමණක් නොව සියලූ පුරවැසියන් සතු අයිතියක්.

උදාහරණ 4: රටේ බහුතරයක් ජනයා සෞඛ්‍ය සේවා සඳහා යන්නේ රජයේ රෝහල්වලට. මහජන මුදලින් නඩත්තු කැරෙන රාජ්‍ය සෞඛ්‍ය සේවා පද්ධතියේ අඩුපාඩු තිබෙනවා. වාර්ෂිකව සෞඛ්‍ය ක්ෂේත‍්‍රයට අති විශාල මුදලක් වෙන් කළත්, පරිපාලන දුර්වලතා නිසා හැම විටම නිසි ප‍්‍රතිඵල ලැබෙන්නේ නැහැ.

තමන්ට අදාළ රජයේ රෝහලක කටයුතු සිදු වන ආකාරය ගැන සෑහීමකට පත්විය නොහැකි නම් ආයතනයේ පරිපාලන තොරතුරු ඉල්ලීමට නව නීතිය යටතේ පුරවැසියන්ට අයිතියක් ලැබෙනවා.

බෙහෙත් හිඟය, රෝග විනිශ්චයට උපකාර වන පරීක්ෂණ පහසුකම් ක‍්‍රියාත්මක නොවීම, වෛද්‍යවරුන් අනුයුක්ත නොකිරීම ආදි  ඕනෑම කරුණක් ගැන අනුමාන හා සැකයක් මත පදනම් වී චෝදනා කරනු වෙනුවට සැබෑ තොරතුරු ලබා ගෙන, ඒවා විමර්ශනය කොට වඩාත් නිවැරදි නිගමනවලට එළැඹීමට හැකි වනවා.

තවත් උදාහරණ  ඕනෑ තරම් අපට පරිකල්පනය කළ හැකියි.

Cartoon by Awantha Artigala, Daily Mirror newspaper Sri Lanka

Cartoon by Awantha Artigala, Daily Mirror newspaper Sri Lanka

රජයේ ආයතනයක ඇති වන පුරප්පාඩු පිරවීමේදී නිසි ක‍්‍රමවේදයක් අනුගමනය කළාද කියා දැන ගැනීමට එම තනතුරුවලට ඉල්ලූම් කළ, එහෙත් නොලද  ඕනෑම කෙනකුට හැකි වනවා. පොලිසිය සමග කැරෙන ගනුදෙනුවලදී දැනට වඩා පාරදෘශ්‍ය වීමට පොලිස් තන්ත‍්‍රයට තොරතුරු නීති හරහා බල කළ හැකියි.

තොරතුරු ඉල්ලා සිටින මහජනයා නොතකා සිටීමට හෝ අනවශ්‍ය ලෙස කල් දමමින් රස්තියාදු කිරීමට ඇති අවකාශ ඇහිරීම අලූතෙන් පිහිටුවීමට නියමිත තොරතුරු කොමිසමේ වගකීමයි. ව්‍යතිරේකවලට සම්බන්ධ නොවූ වෙනත්  ඕනෑම තොරතුරක් නොදී සිටින (මධ්‍යම, පළාත් සභා හා පළාත් පාලන ආයතන මට්ටමේ) රාජ්‍ය ආයතන ගැන මෙකී තොරතුරු කොමිසමට පැමිණිලි කළ හැකි වනවා.

තොරතුරු නීතිය මෙවලමක් කර ගෙන යහපාලනය ඉල්ලා සිටීම පුරවැසි අප සැමගේ යුතුකමක් හා වගකීමක්.

තොරතුරු නීතිය ප‍්‍රාන්ත මට්ටමින් 1990 දශකයේ මැද භාගයේ පටන්ද ජාතික මට්ටමින් 2005 සිටද ක‍්‍රියාත්මක වන ඉන්දියාවේ එම නීතිවලින් වැඩිපුරම ප‍්‍රයෝජන ගන්නේ සාමාන්‍ය පුරවැසියෝ. මාධ්‍ය හෝ සිවිල් සංවිධානවලට වඩා ඉදිරියෙන් සිටින්නේ ඔවුන්.

තොරතුරු අයිතිය බාල මහලූ, උගත් නූගත් හැම පුරවැසියෙකුටම හිමි වන්නක්. ඡන්ද බලය මෙන් යම් වයස් සීමාවකින් ඔබ්බට ගිය පසු ලැබෙන්නක් නොවෙයි.

foi-laws

ඉන්දියාවේ පාසල් සිසුන් හා ළාබාල දරුවන් පවා තොරතුරු නීතියෙන් ප‍්‍රයෝජන ගන්නවා. මේ ගැන රසවත් උදාහරණයක් ගිය වසරේ වාර්තා වුණා.

දකුණු ඉන්දියාවේ හයිද්‍රාබාද් නුවරට සමීප නිසාමාබාද් දිස්ත‍්‍රික්කයේ වයස 10-12 අතර පාසල් සිසුන් තොරතුරු නීතිය යටතේ මහජන තොරතුරු ඉල්ලා අවස්ථා හතරකදී සාර්ථකව එය ලබා ගත්තා.

දස හැවිරිදි මනෝජ්ට තිබූ ප‍්‍රශ්නය බීඩි එතීමේ නිරත වූ මව්පියන්ගේ දරුවන්ට කම්කරු දෙපාර්තමේන්තුව දෙන ඉන්දියානු රුපියල් 1,000ක වාර්ෂික ශිෂ්‍යාධාරය නොලැබීමයි. මව්පියන් සුසුම් හෙළමින් සිටින අතර මනෝ්ජ් මේ අසාධාරණයට අදාළ තොරතුරු ඉල්ලා කම්කරු දෙපාර්තමේන්තුවට ගියා. මෙයින් කලබලයට පත් කම්කරු නිලධාරීන් ශිෂ්‍යාධාර හිඟ මුදල් ලබා දී ප‍්‍රමාදයට හේතු දක්වන ලියුමක් ද මේ දරුවාට යැව්වා.

මෙයින් දිරිමත් වූ මනෝජ් තම ප‍්‍රදේශයේ පුරාවිද්‍යාත්මක වැදගත්කම ගැන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් තොරතුරු ඉල්ලා එය ලබා ගත්තා. එයද තොරතුරු නීතිය යටතේයි.

මේ දෙස බලා සිටි ඔහුගේ පාසල් සගයෝ වෙනස් ප‍්‍රශ්න ගැන තොරතුරු ඉල්ලීම් ගොනු කරන්න පටන් ගත්තා. කවීතා නම් ළාබාල දැරිය තම ගමට හරියට බස් සේවාවක් නොතිබීමට හේතු විමසා සිටියා. අදාළ නිලධාරීන් ප‍්‍රතිචාර නොදැක් වූ විට ඇය තොරතුරු නීති ඉල්ලීමක් ගොනු කළා.

ප‍්‍රාන්ත රජයට හිමි බස් සමාගම මුලින් කීවේ එම මාර්ගයේ බස් ධාවනය පාඩු ලබන බවයි. එහෙත් දැරිය ඉල්ලූ තොරතුරුවලින් එය එසේ නොවන බව ගම්වාසීන්ට පෙනී ගියා. අන්තිමේදී බස් සේවය නැවත ස්ථාපිත කිරීමට රාජ්‍ය බස් සමාගමට සිදු වුණා. මේ නිසා ඒ ගමින් අවට පාසල්වලට යන ශිෂ්‍ය සංඛ්‍යාව වැඩිවුණා.

මෙවන් උදාහරණ විශාල ගණනක් ගෙවී ගිය දශකයේ ඉන්දියාවෙන් වාර්තාගතයි. අපට වඩා සාක්ෂරතාවෙන් අඩු ඉන්දීය මහජනයා මෙතරම් නිර්මාණශීලීව හා ධෛර්යමත්ව තොරතුරු නීතිය තම ප‍්‍රශ්න විසඳීමට යොදා ගන්නා සැටි තොරතුරු නීතිය ලැබීමට ආසන්න ලක් සමාජයට මාහැඟි ආදර්ශයක්.

සිවුමංසල කොලූගැටයා #246: තොරතුරු අයිතිය විවෘත ආණ්ඩුකරණයට මුල් පියවරයි

Illustration by Echelon magazine, http://www.echelon.lk

Illustration by Echelon magazine, http://www.echelon.lk

After many years of advocacy by civil society groups and journalists, Sri Lanka is set to soon adopt a law guaranteeing citizens’ Right to Information (RTI, also known as freedom of information laws in some countries). With that, we will join over 100 other countries that have introduced such progressive laws.

The first step is already taken. The 19th Amendment to the Constitution, passed in Parliament in April 2015, made the right to information a fundamental right. The Right to Information Act is meant to institutionalize the arrangement – i.e. put in place the administrative arrangement where a citizen can seek and receive public information.

RTI signifies unleashing a new potential, and a major change in status quo. First, we need to shake off a long historical legacy of governments not being open or accountable to citizens.

In this week’s Ravaya column, (appearing in issue of 22 Nov 2015), I explore how RTI can gradually lead to open government. I also introduce the 9 key principles of RTI.

I have covered the same ground in English here:

20 Nov 2015: Right to Information should be a step towards Open Government

L to R - Wijayananda Jayaweera, Gamini Viyangoda, Nalaka Gunawardene, Shan Wijetunge. At Right to Information public forum on 17 Nov 2015 in Colombo. Photo by Sampath Samarakoon

L to R – Wijayananda Jayaweera, Gamini Viyangoda, Nalaka Gunawardene, Shan Wijetunge. At Right to Information public forum on 17 Nov 2015 in Colombo. Photo by Sampath Samarakoon

තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කැරෙන නීතිය සම්මත වන තුරු මේ වසර පුරාම අපි බලා සිටිනවා. ‘අද නෑ හෙට’ වගේ වැඩක්!

යහපාලනයේ එක් ප‍්‍රධාන පොරොන්දුවක් වූයේද තොරතුරු අයිතියයි. එක් අඩක් ඉටු වී තිබෙනවා කිව හැකියි. මන්ද 2015 අපේ‍්‍රල් 28දා පාර්ලිමේන්තුවේ සම්මත වූ 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ තොරතුරු අයිතිය මූලික අයිතිවාසිකමක් ලෙස පැහැදිලිවම පිළිගෙන තිබෙනවා.

මේ අයිතිය ප‍්‍රායෝගිකව ක‍්‍රියාත්මක කිරීමට තොරතුරු නීතිය අවශ්‍යයි. ඒ හරහා සමස්ත රාජ්‍ය පරිපාලන තන්ත‍්‍රයේම වෙනසක් සිදු කැරෙනවා. හැකි තාක් මහජනයාට රහසිගතව කටයුතු කිරීමේ ඓතිහාසික සම්ප‍්‍රදායෙන් මිදී වඩාත් විවෘත හා තොරතුරු බෙදා ගන්නා රාජ්‍ය පාලනයකට යොමුවීමේ ක‍්‍රමවේදයක් මේ නීතිය හරහා හඳුන්වා දීමට නියමිතයි.

තොරතුරු නීති කෙටුම්පත් හරිහැටි හදා ගන්නට මෙතරම් කල් ගත වන්නේ ඇයි?

මනා නීති සම්පාදනය සඳහා ආදර්ශයට ගත හැකි තොරතුරු නීති දකුණු ආසියාවේත්, ඉන් පිටතත් රටවල් 100ක තිබෙනවා. මේ නිසා හැම නීති වැකියක්ම අලූතෙන්ම වචන ගැලපිය යුතු නැහැ. තොරතුරු අයිතිය පිළිබඳ ජාත්‍යන්තර යහ සම්ප‍්‍රදායන් ගැන බොහෝ ලේඛනද තිබෙනවා. යුනෙස්කෝ ආයතනය මේ ගැන විශේෂ අවධානය යොමු කොට තිබෙනවා.

මෙතැන ඇත්තේ නීති හැකියාවන් පිළිබඳ ගැටලූවක් නොව ආකල්පමය එල්බ ගැනීම් බවයි දැන ගන්නට තිබෙන්නේ. අපේ නීතිපති දෙපාර්තමේන්තුව හා නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව බෙහෙවින් ගතානුගතික පදනමක පිහිටා ක‍්‍රියාකිරීම නිසා තොරතුරු බෙදා ගන්නවාට වඩා බදා ගන්නට නැඹුරු වූ නීතියක් බිහි වීමේ අවදානම තිබෙනවා. මේ අවසාන අදියරේදී ස්වාධීන නීති විශාරදයන් හා සිවිල් සමාජ ක‍්‍රියාකාරිකයන් අවදියෙන් හා අවධානයෙන් සිටීම අත්‍යවශ්‍යයි. නැතිනම් එතරම් ප‍්‍රයෝජනයක් ගත නොහැකි නාමමාත‍්‍රික තොරතුරු නීතියක් සම්මත විය හැකියි.

රාජ්‍ය දෙපාර්තමේන්තු දෙකක පටු මානසිකත්වයට වඩා පුළුල් අභියෝගයක්ද මෙහිදී මා දකිනවා. එනම් අපේ ඉතා වැඩවසම් ඓතිහාසික උරුමය හා නූතනත්වය අතර අරගලයයි.

සියවස් 25ක ලිඛිත ඉතිහාසයක් ඇති අපේ රටේ විවෘත හා මහජනතාවට වගකියන ආණ්ඩුකරණයක් ඉතා මෑතක් වන තුරු කිසි දිනෙක පැවතියේ නැහැ. මැග්නා කාර්ටා (Magna Carta) වැනි සම්මුතියක් හරහා අපේ රජුන්ගේ බලතල කිසි ලෙසකින් හෝ සමනය වූයේ ද නැහැ.

1 May 2015: සිවුමංසල කොලූගැටයා #217: වසර 800කට පෙර යහපාලන අඩිතාලම දැමූ මැග්නා කාටාව

සීමාන්තික බලතල සහිත රජවරුන් අපේ රට පාලනය කළ වසර 2,000ක පමණ කාලයක් තුළ රටේ කිසිදු පරිපාලන තොරතුරක් (හෝ වෙනත් කිසිම අයිතිවාසිකමක්) ඉල්ලීමේ වරම ජනතාවට තිබුණේ නැහැ. අපේ පැරැන්නෝ යටත් වැසියන් මිස කිසි දිනෙක පුරවැසියන් වූයේ නැහැ.

ඉන්පසු එළැඹුණු යටත් විජිත පාලන යුගවලත් එම පාලකයන් කිසි විටෙක තොරතුරු හෙළි කිරීමට බැඳී සිටියේ නැහැ. බි‍්‍රතාන්‍ය පාලන තන්ත‍්‍රය තුළ ලේඛන පවත්වා ගැනීම ඉතා හොඳින් සිදු කළත්, ඒ ලේඛන ඔවුන්ගේ ලන්ඩනයේ යටත් විජිත පරිපාලකයන්ට මිස මෙරට සාමාන්‍ය ජනයාට පරිශීලනය කළ හැකි වූයේ නැහැ. (මේ වාර්තා දැන් නම් බි‍්‍රතාන්‍ය කෞතුකාගාරයේ ඕනෑම කෙනෙකුට කියවිය හැකියි. බි‍්‍රතාන්‍ය පාලන යුගය දැඩි ලෙස විවේචනය කරන හැම දෙනෙකුම පාහේ තම මූලාශ‍්‍ර යොදා ගන්නේ එම වාර්තායි.)

නිදහසින් පසුව රට පාලනය කළ අපේම ආණ්ඩුත් බොහෝ දුරට රටවැසියන්ට තොරතුරු කැමැත්තෙන් දෙනවා වෙනුවට හැකි තාක් වසන් කිරීමේ සම්ප‍්‍රදාය දිගටම ගෙන ගියා. යටත් විජිත සමයේ ආභාෂය මෙන්ම ඉතිහාසයේ කිසි දිනෙක රටවැසියාට විවෘත වූ ආණ්ඩුකරණයක් (Open Government) නොතිබීම ද එයට හේතු වූවා විය හැකියි.

Part of the audience at RTI Public Forum on 17 Nov 2015 in Colombo

Part of the audience at RTI Public Forum on 17 Nov 2015 in Colombo

මෙයින් අදහස් කැරෙන්නේ නිදහසින් පසු අපට තිබූ සියලූ රජයන් දුර්දාන්ත හෝ දරදඬු පාලනයන් වීය කියා නොවෙයි. ඇතැම් ප‍්‍රජාතන්ත‍්‍රවාදී නායකයන් පවා රට වැසියන්ට සැලකුවේ හරියට දෙමවුපියන් ළමයින් දෙස බලන ආකල්පයට සමාන මානසිකත්වයකින්. වැසියන් රැක බලා ගෙන ඔවුන්ට අවශ්‍ය සම්පාදන කර දීම විනා ඔවුන් ස්වාධීනව සිතන පතන “වැඩිහිටියන්” වීම අවශ්‍ය යැයි ඩී එස් හා ඩඩ්ලි වැනි නායකයන්ට නොසිතෙන්නට ඇති.

සමාජ ක‍්‍රියාකාරික හා ලේඛක ගාමිණී වියන්ගොඩගේ මතය නම් තොරතුරු උවමනාවෙන්ම රටවැසියන්ට නොදී සිටින්නේ තොරතුරු හරහා රටවැසියන් බලාත්මක වන නිසායි. වසන් කළ යුතු අමිහිරි හා අශෝබන බොහෝ දේ හැම රාජ්‍ය පාලනයකම තිබෙන බවත්, මේ තොරතුරු පිට වීම හා ගලා යාම පවතින බල සංකේන්ද්‍රයන්ට බරපතල ප‍්‍රශ්නයක් බවත් ඔහු කියනවා.

Writer and activist Gamini Viyangoda speaks at RTI Public Forum on 17 Nov 2015

Writer and activist Gamini Viyangoda speaks at RTI Public Forum on 17 Nov 2015

කාලානුරූපව වෙනස් වෙන්නට කාලය ඇවිත්! අපේ ඓතිහාසික උරුමය කිසි දිනෙක විවෘත ආණ්ඩුකරණයකට නැඹුරු නොවූවත්, 21 වන සියවසේ යහපාලනයට හා ප‍්‍රජාතන්ත‍්‍රවාදයට එය අත්‍යවශ්‍ය ගුණයක් ලෙස දැන් සැලකෙනවා.

විවෘත ආණ්ඩුකරණයේ සංකල්පය 18 වන සියවසේ බටහිර යුරෝපයේ පුනරුදය (Age of Enlightenment) වෙත දිවෙනවා. සීමාන්තික බලතල සහිත රාජාණ්ඩු වඩාත් බල තුලනයකට යටත් කළ යුතු බවටත්, මහජන මතයට සංවේදී ආණ්ඩුකරණයක් බිහි විය යුතු බවටත් ප‍්‍රංශ හා ජර්මන් දාර්ශනිකයන් තර්ක කිරීම ඇරඹුණේ ඒ සමයේයි.

මෙය නීතිගත කරමින් ලොව මුල්ම තොරතුරු නීතිය 1766දී හඳුන්වා දුන්නේ ස්වීඩනයයි. මාධ්‍ය නිදහස හා තොරතුරු අයිතිය නීතියෙන් තහවුරු කිරීම ඉන් පසු එළැඹි දශකවල බොහෝ බටහිර රටවල සිදු කෙරුණා. රාජ්‍ය පාලනයේ රහසිගත බව වඩ වඩාත් පටු පරාසයකට සීමා කිරීමෙන්, විවෘත බව සාමාන්‍යකරණය කිරීමට 20 වන සියවස පුරා පරිණත ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටවල නීතිමය, ප‍්‍රතිපත්තිමය මෙන්ම යහ සම්ප‍්‍රදායික පියවර ගෙන තිබෙනවා.

මේ ගෝලීය ඓතිහාසික පසුබිම තුළ මා තොරතුරු නීතිය දකින්නේ මෙරට සමස්ත ආණ්ඩුකරණය වඩාත් විවෘත හා මහජනතාවට වගකියන තත්ත්වයට පත් කරන්නට දායක වන එක් පියවරක් හැටියටයි.

මෙයට සමාන්තරව සමාලෝචනයට ලක් විය යුතු හා සංශෝධනය කළ යුතු තවත් නීති තිබෙනවා. 1955 අංක 32 දරණ රාජ්‍ය රහස් පනත එයින් ප‍්‍රමුඛයි. 1911දී බි‍්‍රතාන්‍යයේ සම්මත වූ නීතියක් ආශ‍්‍රයෙන් සම්පාදිත අපේ 1955 රාජ්‍ය රහස් නීතිය යල්පැන ගිය, නූතන ප‍්‍රජාතන්ත‍්‍රවාදී සම්ප‍්‍රදායන්ට කිසිසේත් නොගැළපෙන එකක්.

එහි රාජ්‍ය රහස් යන්න අනවශ්‍ය තරම් පුළුල්ව නිර්වචනය කැරෙන බවත්, එය නිදහසට කාරණයක් ලෙස දක්වමින් දශක ගණනාවක් පුරා රාජ්‍ය නිලධාරීන් සැබැවින්ම රහසිගත නොවිය යුතු බොහෝ තොරතුරු ද වසන් කරන බවත් නීති පර්යේෂකයන් කියනවා.

‘1911 රාජ්‍ය රහස් නීතිය 1989දී බි‍්‍රතාන්‍යය සංශෝධනය කළා. එය වඩාත් ජන සම්මතවාදී ප‍්‍රමිතියකට ඔවුන් දැන් ගෙනැවිත් තිබෙනවා. අප තවමත් 1911 බි‍්‍රතාන්‍ය නීතියට සමාන වන නීතියක එල්බ ගෙන සිටීම ඛෙදජනකයි.’ නීතිඥ හා පර්යේෂිකා කිෂාලි පින්ටෝ ජයවර්ධන කියනවා.

තොරතුරු නීතිය ගැන මෑතදී පොතක් ලියා ඇති නීති පර්යේෂක ගිහාන් ගුණතිලක කියන්නේ හොඳ තොරතුරු නීතියක ගැබ් විය යුතු මූලධර්ම 9ක් තිබෙන බවයි. ඒවා සැකෙවින් මෙසේයි.

  1. රජයක් හැම විටම හැකි තාක් තොරතුරු හෙළි කිරීමට නැඹුරු විය යුතුයි (Maximum Disclosure). බදා ගෙන සිටිනවා වෙනුවට බෙදා ගැනීමට මුල් තැන දිය යුතුයි.
  2. යම් කෙනකු තොරතුරක් ඉල්ලන තුරු නොසිට, ස්වේච්ඡුාවෙන්ම මහජන තොරතුරු පළ කිරීම කළ යුතුයි (Obligation to Publish). මෙයට පරිපාලන මෙන්ම මූල්‍ය තොරතුරු හා වෙනත් දත්තද ඇතුළත් විය හැකියි. (තම වෙබ් අඩවි හරහා මෙසේ කරන රාජ්‍ය ආයතන ගණනාවක් තිබෙනවා.)
  3. මහජන ආයතන සියල්ලම විවෘත ආණ්ඩුකරණය ^Open Government& සංකල්පයට අනුගත විය යුතුයි. රහසිගතභාවය පෙරටු කොට ගත් පරිපාලන සම්ප‍්‍රදායන් ඉවත දමා විවෘත භාවය මුල් කර ගත් ක‍්‍රමවේදයන් හඳුන්වා දිය යුතුයි.
  4. නිශ්චිත හේතු නිසා මහජනයාට තොරතුරු දිය නොහැකි අවස්ථා හෙවත් ව්‍යතිරේක (Exceptions) හැකි තාක් සීමා කළ යුතුයි. එසේ නොදී සිටීමට පැහැදිලි සාධාරණීකරණයක් තිබිය යුතුයි.
  5. තොරතුරු අයිතිය ප‍්‍රායෝගිකව ක‍්‍රියාත්මක වීමට නිශ්චිත පරිපාලන ක‍්‍රමවේදයක් බිහි කළ යුතුයි. තොරතුරු සොයා එන මහජනයා රස්තියාදු නොකර කාර්යක්ෂමව හා ආචාරශීලීව තොරතුරු ලබාදෙන ක‍්‍රමයක් මේ නීතිය හරහා ස්ථාපිත විය යුතුයි. එසේම තොරතුරු සම්පාදනය කොට ලබාදීමට නීතියෙන් සීමිත කාලයක් නිශ්චය කළ යුතුයි. එසේම හරිහැටි ඉටු නොකෙරෙන තොරතුරු ඉල්ලීම් ගැන විමර්ශනය කළ හැකි ස්වාධීන ආයතනයක් පිහිටුවිය යුතුයි. (තොරතුරු කොමිසම නම් වන්නේ එයයි.)
  6. තොරතුරු ලබා ගැනීමේදී එයට යම් ගෙවීමක් කළ යුතු වුවත්, එම අය කිරීම සාධාරණ හා මහජනයාට දරා ගත හැකි එකක් විය යුතුයි. එහිදී මූලික සංකල්පය විය යුත්තේ තොරතුරුවලින් සන්නද්ධ වන ජන සමාජයේ වටිනාකම, එම තොරතුරු සම්පාදනය කිරීමට වැය වන මුදලට වඩා බෙහෙවින් වැඩි බවයි.
  7.  සියලූ රාජ්‍ය ආයතනවල සියලූ රැස්වීම් මහජනතාවට විවෘත විය යුතුයි (Open Meetings). මන්ද තමන්ගේ නාමයෙන් නිලධාරීන් කුමක් කරන්නේද යන්න දැන ගැනීමට ජනතාවට අයිතියක් ඇති නිසා. ඉඳහිට ඇතැම් රැස්වීම් මහජනයාට විවෘත නොවුවත්, ඒවා පැවැත් වූ බව ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කළ යුතුයි. සංවෘත රැස්වීම් පැවැත්වීම සාධාරණීකරණය කළ හැකි විය යුතුයි.
  8. තොරතුරු නීතිය සම්මත කර ගත් පසුව, රටේ පවතින අන් සියලූ නීති එයට අනුගත වන පරිදි නැවත විග‍්‍රහ කළ යුතුයි. ඉදිරියේදී සම්මත වන කිසිදු නීතියක් මගින් තොරතුරු හෙළි කිරීම සීමා නොකළ යුතුයි. එසේම යහ චේතනාවෙන් තොරතුරු මහජනයාට ලබා දෙන රාජ්‍ය නිලධාරීන්ට නිසි ආරක්ෂාව ලැබිය යුතුයි. නොබියව තම රාජකාරිය නීති ගරුකව කිරීමට රාජ්‍ය සේවකයන් සැමට හැකි වන පරිසරයක් තිබිය යුතුයි.
  9. රාජ්‍ය තන්ත‍්‍රයේ සේවය කිරීම නිසා තමන් අතට පත් වන, පොදු උන්නතියට වැදගත් තොරතුරු හෙළිදරවු කරන පුද්ගලයන්ට නීතිමය රැකවරණ ලැබිය යුතුයි (Protection for Whistle-blowers). රජයේ ආයතන තුළ කැරෙන අකටයුතුකම් ගැන තොරතුරු මාධ්‍යවලට හෝ වෙනත් පිරිසකට හෝ ලබා දීම අපරාධයක් හෝ විනය විරෝධී ක‍්‍රියාවක් ලෙස නොව පොදු උන්නතියට උදව් කිරීමක් ලෙස සැලකිය යුතුයි. එහිදී ආයතන සංග‍්‍රහයේ විධිවිධාන උල්ලංඝනය වුවත් එයට ඔබ්බට යන විනිශ්චයක් හරහා අදාළ තොරතුරු මුදා හරින පුද්ගලයන් එසේ කිරීමේ පොදු වැදගත්කම සැලකිල්ලට ගත යුතුයි.

තොරතුරු නීතිය පිළිබඳව නොවැම්බර් 17 වැනිදා කොළඹදී පැවති මහජන සංවාදයකදී මා කීවේ මෙයයි:

තොරතුරු අයිතිය දිනා ගැනීම දශක එක හමාරක පමණ සිවිල් ක‍්‍රියාකාරීත්වයේ මංසළකුණක්. එහෙත් නීතිය සම්මත කර ගත් පමණීන් අභියෝග හමාර වන්නේ නැහැ.

වඩාත් විවෘත වුත්, මහජනයාට වග වන්නා වුත් ආණ්ඩුකරණයකට දේශපාලකයන් හා රාජ්‍ය නිලධාරීන් සැවොම ආකල්පමය වශයෙන් ප‍්‍රවේශ විය යුතුයි.

තොරතුරු සොයා යන, තොරතුරු ලද විට ඒවා නිසි ලෙස විග‍්‍රහ කොට නිගමනවලට එළැඹීමේ හැකියාව හෙවත් තොරතුරු සාක්ෂරතාව (information literacy) සමාජයේ ප‍්‍රවර්ධනය කිරීම අප කාගේත් වගකීමක්.

ආවේග, අනුමාන, කුමන්ත‍්‍රණ තර්ක හෝ විශ්වාස මත පදනම් වනවා වෙනුවට දත්ත හා විග‍්‍රහයන් මත පදනම් වී නිගමනවලට එළඹීමටත්, ඒ හරහා අපේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වඩාත් සවිබල ගැනීවීමටත් ලොකු වගකීමක් පුරවැසි හැමට තිබෙනවා.

See also:

15 October 2015: Exploring Open Data and Open Government in Sri Lanka

23 July 2015: සිවුමංසල කොලූගැටයා #227: භාෂණයේ නිදහසට හා ප‍්‍රශස්ත මාධ්‍යකරණයට දේශපාලන කැපවීමක් ඕනෑ!

21 Feb 2015: සිවුමංසල කොලූගැටයා #208: තොරතුරු අයිතිය තහවුරු කරන්නට තොරතුරු සාක්ෂරතාව අත්‍යවශ්‍යයි!

17 Feb 2015: සිවුමංසල කොලූගැටයා #207: “තොරතුරු නීතිය ලැබුණාට මදි. එයින් නිසි ඵල නෙළා ගත යුතුයි!”

 

සිවුමංසල කොලූගැටයා #232: මන්ත‍්‍රී කෙරුවාව පුරවැසි අධීක්ෂණයට ලක් කරන්නට තාක්ෂණයේ පිහිට

March 12 Movement for Cleaner election candidates in Sri Lanka

March 12 Movement for Cleaner election candidates in Sri Lanka

Sri Lanka will hold a general election on 17 August 2015 to elect a new Parliament. It has been preceded by a high level of citizen and civil society advocacy for raising the standard for who should be elected to represent the people as their Members of Parliament.

Public concerns about deteriorating Parliamentary debate and the overall decline and degradation in representative politics were captured by the ‘March 12 Movement’, a mission to elect clean and corruption-free politicians to Parliament.

The Movement was initiated by People’s Action for Free and Fair Elections (PAFFREL) and supported by Transparency International, Sarvodaya Movement, Sri Lanka Chamber of Commerce, Sri Lanka Administrative Officers’ Association and trade unions.

Parallel to this advocacy, data analysis tools have been used by citizens to probe the conduct of MPs in the last Parliament, which was dissolved on 26 June 2015.

Manthri.lk is a trilingual website that tracks the performance of the 225 Members of Parliament in Sri Lanka. It goes by the official record (Hansard), analysing and coding each statement which is fed into a customised system developed by the website owner and operator – Verite Research, a thinktank that provides strategic analysis and advice for decision-makers and opinion-formers.

In this week’s Ravaya column, (in Sinhala, appearing in issue of 16 August 2015), I share some of the key findings by Manthri.lk website on the conduct of 225 MPs in the last Parliament – 202 of whom are seeking re-election.

See also:

සිවුමංසල කොලූගැටයා #231: ඡන්දදායකයා වඩාත් බලගතු කැරෙන නව සංකල්ප දෙකක්

සිවුමංසල කොලූගැටයා #229: සමාජ මාධ්‍ය යුගයේ අපේ දේශපාලන සන්නිවේදනය

Sri Lanka Parliamentary Complex

Sri Lanka Parliamentary Complex

පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබුවේ 2015 ජුනි 26 වනදා මධ්‍යම රාත‍්‍රියේ සිටයි. 2015 සැප්තැම්බර් 1 වනදා අභිනව පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි. එයට මන්ත‍්‍රීවරුන් 225ක් තෝරා ගැනීමට මහමැතිවරණය 2015 අගෝස්තු 17 වනදා පැවැත්වෙනවා.

පිරිසිදු දේශපාලනයක් සඳහා නිසි නාමයෝජනා හරහා වඩාම උචිත ජනතා නියෝජිතයන් පාර්ලිමේන්තුවට (හා අනෙක් ජනතා නියෝජිත ආයතනවලට) පත් කර යැවීම මාර්තු 12 පුරවැසි ව්‍යාපාරයේ අරමුණයි.

මේ සඳහා දැනුවත් වූ, බලාත්මක වූ හා තාර්කිකව සිතන ඡන්දදායකයන් අවශ්‍ය වනවා. ඡන්ද අපේක්ෂකයන් කිරා මැන බැලීමට හා ඇගයීම සඳහා මූලික සාධක 8ක් මාර්තු 12 ව්‍යාපාරය ප‍්‍රවර්ධනය කරනවා. අපරාධ සඳහා දඬුවම් ලද්දකු නොවීම, දූෂණ හා වංචාවලින් තොර වීම, සමාජ විරෝධී (මත්පැන්, කැසිනෝ, ගණිකා ආදී) ව්‍යාපාරවල නිරත නොවීම, බලය අනිසි ලෙස භාවිත නොකළ අයකු වීම ආදිය මේ අතර වනවා.

පාර්ලි‌මේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් තේරී පත්වීම සඳහා නීතිමය සුදුසුකම්

මෙයට සමාන්තරව මෙවර පාර්ලිමේන්තු මැතිවරණය අරභයා මාර්තු 12 ව්‍යාපාරයට සම්බන්ධ සිවිල් සමාජ සංවිධාන ඡුන්දදායකයන්ගෙන් ඉල්ලා සිටින්නේ පාර්ලිමේන්තුවට ගොස් එහි ප‍්‍රධාන කාර්යය වන නීති තැනීමට අවශ්‍ය දැනුම හා හැකියාව මන්ත‍්‍රී ධුර අපේක්ෂකයන්ට ඇත්දැයි විමසා බලන ලෙසයි.

මේ හැකියාව සොයා බැලීම හැමවිටම ලෙහෙසි නැහැ. මෙහිදී අපට උදව් වන්නේ මන්ත‍්‍රී.lk වෙබ් අඩවියයි (www.manthri.lk).

ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුවට හොඳින් පවත්වාගෙන යන ත්‍රෛභාෂික නිල වෙබ් අඩවියක් ද තිබෙනවා (www.parliament.lk). පාර්ලිමේන්තු දින දර්ශනය, කාරක සභා කටයුතු, මැති සබයේ විවාද නිල වාර්තා (හැන්සාඞ්), මන්ත‍්‍රීවරුන්ගේ ජීව දත්ත, පාර්ලිමේන්තු පුවත් හා ඡායාරූප ආදිය මෙහි ඇතුළත්. පාර්ලිමේන්තු මහ ලේකම්වරයා ප‍්‍රමුඛ කාර්ය මණ්ඩලය විසින් සපයන සේවාවන්ගෙන් එකක් වන මේ වෙබ් අඩවිය මන්ත‍්‍රීවරුන්ගේ මෙන්ම මහජනයාගේ ද තොරතුරු අවශ්‍යතා සම්පාදනය කරන්නට කැප වී සිටිනවා.

එහෙත් මේ නිල වෙබ් අඩවිය තුළ එක් එක් මන්ත‍්‍රීවරයකුගේ කාර්ය භාරය ගැන හෝ යම් තේමාවක් ගැන සිදු වූ සියලූ වාද විවාද ගැන හෝ ලෙහෙසියෙන් තොරතුරු සොයා ගැනීම අපහසුයි. එසේම මන්ත‍්‍රීන් සංසන්දනය කිරීම හෝ යම් නිර්ණායකයක් මත විවාද ලැයිස්තු ගත කිරීම ආදිය නිල වෙබ් අඩවියකට කළ නොහැකියි.

මන්ත‍්‍රී.lk වෙබ් අඩවිය මේ හිදැස පුරවමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රීන් ගැන මහජන අධීක්ෂණය වඩාත් හරවත් හා තීව‍්‍ර කිරීමට උපකාර වනවා.

පාර්ලිමේන්තු වාද විවාද කාරක සභා කටයුතු හා මන්ත‍්‍රීවරුන්ගේ දායකත්වය ස්වාධීනව විශ්ලේෂණය කරන පර්යේෂණායතන ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටවල් සමහරක තිබෙනවා. පක්ෂ දේශපාලනයෙන් බාහිර වූ ද හා රාජ්‍ය සේවකයන් වන පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සීමාවලින් ඔබ්බට යන්නා වූ ද මේ විශ්ලේෂණ හා විග‍්‍රහයන් පාර්ලිමේන්තු ක‍්‍රියාදාමය නඩත්තු කිරීමට මුදල් සපයන මහජනතාවට වැදගත් ප‍්‍රතිශෝෂණයක් (feedback) ලබා දෙනවා.

ව්‍යවස්ථාදායක පර්යේෂණ (legislative research) නමින් හැදින්වෙන මෙම ක්ෂේත‍්‍රයේ ක‍්‍රියාත්මක වන විද්වත් ආයතන, පර්යේෂණායතන ඉන්දියාව, පාකිස්ථානය වැනි රටවල මෙන්ම බි‍්‍රතාන්‍ය, ජපානය, අමෙරිකා එක්සත් ජනපදය වැනි රටවල ද හමුවනවා.

2010-2015 පාර්ලිමේන්තුවේ වඩාත්ම සක්‍රිය මන්ත්‍රීවරුන් - Data analysis by Manthri.lk

2010-2015 පාර්ලිමේන්තුවේ වඩාත්ම සක්‍රිය මන්ත්‍රීවරුන් – Data analysis by Manthri.lk

මෙතෙක් ශ‍්‍රී ලංකාවේ එබන්දක් නොතිබීමේ අඩුව යම් තාක් දුරට සපුරාලන්නේ ස්වාධීනව ආර්ථික ප‍්‍රතිපත්ති පර්යේෂණ කරන වෙරිටේ පර්යේෂණායතනයයි (Verité Research, www.veriteresearch.org).

සබීරියන් Saberion (Pvt) Ltd නම් තොරතුරු තාක්ෂණ සමාගම සමග සහයෝගයෙන් 2012දී වෙරිටේ ඇරැඹූ මන්ත‍්‍රී.lk වෙබ් අඩවිය, පාර්ලිමේන්තු කටයුතු දත්ත මත පදනම් වූ විශ්ලේෂණයට ලක් කරනවා. ඒ ප‍්‍රතිඵල නීතිගත වෙබ් අඩවිය හරහා සාමාන්‍ය මහජනයාට තේරෙන ලෙසින් සන්නිවේදනය කැරෙනවා. මෙය ඉතා වැදගත් සේවාවක්.

ඔවුන්ගේ මූලාශ‍්‍රය පාර්ලිමේන්තුවේ නිල වාර්තාව වන හැන්සාඞ් ප‍්‍රකාශනයයි. පාර්ලිමේන්තුවේ හැම සැසි වාර දිනයකම කැරෙන සියලූම ප‍්‍රකාශයන් හා විවාදයන් හැන්සාඞ් වාර්තාවට අනුව යමින් වෙරිටේ පර්යේෂණායතනයට ආවේණික වූ ක‍්‍රමයකට වර්ගීකරණය කරනු ලබනවා. පරිගණක ගත කරන මේ වාර්තා විවිධ මූලපද (keywords) හරහා සෙවිල්ලට ලක් කළ හැකියි.

මන්ත‍්‍රීවරයකු පාර්ලිමේන්තු වැඩ කටයතුවලට කරන දායකත්වය 15 ආකාරයකට වර්ග කිරීම මේ විශ්ලේෂණයේ මූලික පදනමයි. මේ 15 ආකාරය වන්නේ: 1. ලිඛිත ප‍්‍රශ්න මතු කිරීම; 2. ලිඛිත ප‍්‍රශ්නවලට ප‍්‍රතිචාර දැක්වීම; 3. ලිඛිත ප‍්‍රශ්නවලින් මතු වන අනුබැඳුණු ප‍්‍රශ්න මතු කිරීම; 4. අනුබැඳුණු ප‍්‍රශ්නවලට වාචිකව පිළිතුරු දීම; 5. ලිඛිත පිළිතුරු බැඳීම; 6. කෙටුම්පතක්/රෙගුලාසියක්/ආඥාවක් සභාගත කිරීම; 7. කෙටුම්පතක්/රෙගුලාසියක්/ආඥාවක් විවාද කිරීමේදී වාචික සහභාගිත්වය; 8. රීති ප‍්‍රශ්න මතු කිරීම (තාක්ෂණික හෝ පටිපාටිය සම්බන්ධ); 9. වෙනත් රීති ප‍්‍රශ්න මතු කිරීම; 10. සභාව කල් තැබීමේ යෝජනා – වාචික දායකත්වය; 11. පුරවැසියන් වෙනුවෙන් පෙත්සම් සභාගත කිරීම; 12. සභාවේ වැඩ කටයුතුවලට බාධා කිරීම; 13. නිල සභා වාර්තාවෙන් ඉවත් කරන ලද ප‍්‍රකාශ කිරීම; 14. වාචික දායකත්වය; 15. වාචික දායකත්වය – සාරවත් ප‍්‍රකාශයන්

Standing Orders of Sri Lanka Parliament

පාර්ලිමේන්තුවේ ස්ථාවර නි‌‌යෝග

When Indian PM Narendra Modi addressed Sri Lanka Parliament, 13 March 2015

When Indian PM Narendra Modi addressed Sri Lanka Parliament, 13 March 2015

මන්ත‍්‍රී.lk වෙබ් අඩවියේ 2012 මැයි සිට 2015 ජුනි දක්වා වකවානුවට අයත් පාර්ලිමේන්තු හැන්සාඞ් වාර්තා 28,000කට වඩා විශ්ලේෂණය කොට දත්ත බවට පත් කොට ගබඩා කර තිබෙනවා.

හැන්සාඩ් වාර්තාවල වචන ලක්ෂ ගණනක් තුළ ඇති කරුණු මෙහි වඩාත් සරල හා සංසන්දනාත්මක ලෙසින් හමු වීම සුවිශේෂයි. යහපාලනයට තොරතුරු තාක්ෂණය හරිහැටි යොදා ගන්නට නම් මෙවැනි පුරවැසි උත්සාහයන් තව තවත් ඕනෑ!

මේ වෙබ් අඩවිය යොදා ගනිමින් හිටපු මන්ත්‍රීන් දෙදෙනකු හෝ වැඩි දෙනකු සසදන්නට ද හැකියි. එසේම තෝරා ගත් මාතෘකාවක් ගැන වැඩිපුරම කථා කළ මන්ත්‍රීන්, වඩාත්ම අක්‍රිය හා නිහඩව සිටි මන්ත්‍රීන් ආදී බොහෝ තොරතුරු මෙහි තිබෙනවා.

“මේ දත්ත හා වැදගත් සභාවාරවලදී මන්ත‍්‍රීවරුන් සභාවේ ඡන්දය භාවිත කළ ආකාරය සලකා බලන විට පසුගිය පාර්ලිමේන්තුවේ අපේ මන්ත‍්‍රීවරුන්ගේ කෙරුවාව ගැන විස්තරාත්මක චිත‍්‍රයක් අපට පෙනී යනවා” යයි වෙරිටේ පර්යේෂණායතනයේ ආණ්ඩුකරණය පිළිබඳ විශේෂඥ හා මන්ත‍්‍රී වෙබ් අඩවියේ මොළකාරයා ද වන අසෝක ඔබේසේකර කියනවා.

පසුගිය පාර්ලිමේන්තුවේ සිටි මන්ත‍්‍රීන්ගෙන් 202 දෙනෙකු නැවතත් මෙවර 2015 මැතිවරණයේ තරග කරනවා. මේ අය පසුගිය පාර්ලිමේන්තුව තුළ නීති සම්පාදන හා වෙනත් මන්ත‍්‍රී වගකීම් කෙතරම් කැපවීමකින් ඉටු කළා ද යන්න සාක්ෂි මත පදනම්ව දැන් ඡන්දදායකයන්ට අපේ වෙබ් අඩවිය හරහා බලාගත හැකියි.”

පසුගිය පාර්ලිමේන්තුව මුල් වරට රැස්වූයේ 2010 අපේ‍්‍රල් 22 වනදායි. නිල මූලශ්‍රයකට අනුව පාර්ලිමේන්තු සැසිවාර පැවැත් වූ සමස්ත දින ගණන 466යි.

පාර්ලිමේන්තු නිල වෙබ් අඩවියට අනුව ප‍්‍රථම වතාවට මන්ත‍්‍රී ධුරයට පත් වූ මන්ත‍්‍රීවරුන් 83 දෙනකු එම පාර්ලිමේන්තුවේ සිටියා. එනම් ඉතිරිය (බහුතරය) ඉන් පෙර ද වරක් හෝ කිහිප වරක් මන්ත‍්‍රී ධුරයක් හොබවා අත්දැකීම් තිබූ අය බවයි.

මන්ත‍්‍රී.lk විශේලේෂණයට අනුව පසුගිය පාර්ලිමේන්තුවේ සිට නැවත ඡන්දය ඉල්ලන මන්ත‍්‍රීන් 202 දෙනාගෙන් 30%ක් වසර පහක් පුරා කිසිදු ඡන්දදායකයකු වෙනුවෙන් මහජන පෙත්සමක් ඉදිරිපත් කොට නැහැ. තවත් 30% එසේ කොට ඇත්තේ එක් වරක් පමණයි.

මේ මහජන පෙත්සම්වල (public petitions) වැදගත්කම නම් පරිපාලන තන්ත‍්‍රයේ දුර්වලතා රජයේ අවධානයට යොමු කිරීම හරහා නිලධාරිවාදය සම්බන්ධ පුරවැසියන් අත් විඳින දුක්ගැහැටවලට විසඳුම් සෙවීමයි.

මේ අනුව සිය ඡන්දදායකයන් වෙනුවෙන් කළ හැකි මේ නිශ්චිත මෙහෙය මන්ත‍්‍රීන් 43%ක් පැහැර හැර ඇති බව මන්ත‍්‍රී.lk කියනවා.

Asoka Obeyesekere

Asoka Obeyesekere

හැම අමාත්‍යංශයකම ප‍්‍රගතිය සමාලෝචනය හා අධීක්ෂණයට කාරක සභා තිබෙනවා. හැම මන්ත‍්‍රීවරයකුම කාරක සභා කිහිපයකට අනුයුක්ත කැරෙනවා. 2014 මැයි-සැප්තැම්බර් කාලය සඳහා කාරක සභා සහභාගිත්වය අධ්‍යයනය කළ මන්ත‍්‍රී’lk සොයා ගත්තේ නැවත තරග කරන මන්ත‍්‍රීවරුන්ගෙන් 30%ක් කිසිදු කාරක සභාවකදී කිසිදු ප‍්‍රශ්නයක් හෝ මතු කර නැති බවයි. තවත් 45%ක් දෙනා මතු කළ ප‍්‍රශ්නවල සාමාන්‍යය මාසයකට එකකටත් අඩුයි.

“මේ අක‍්‍රිය හා උදාසීන බව දැඩි ලෙස පුරවැසි අවධානයට ලක් විය යුතුයි. මන්ත‍්‍රීවරුන් තමා අනුයුක්ත කැරෙන කාරක සභාවල වඩාත් සක‍්‍රීය විය යුතු මෙන්ම ඒ හරහා නීති සංශෝධනයට හෝ නව නීති සම්පාදනයට යොමු විය යුතුයි,” මන්ත‍්‍රී’lk වෙබ් අඩවියේ ප‍්‍රධාන නියමුවා කියනවා.

වඩාත් සුබදායක ආරංචිය නම් යළිත් තරග කරන හිටපු මන්තරීන්ගෙන් 37%ක් දෙනා පසුගිය පාර්ලිමේන්තුවේ කිසි විටෙක සභාවට බාධා වන පරිදි හැසිරී නැති බවයි. තවත් 14%ක් එසේ කොට ඇත්තේ කලාතුරකින් පමණයි.

“බහුතරයක් මන්ත‍්‍රීන් සභාවට බාධා කරන, කලහකාරී අය බවට පැතිර තිබෙන පොදු මතය නිවැරදි නැහැ. ඇත්තටම ඔවුන් වැඩි දෙනෙක් ස්ථාවර නියෝගවලට අනුව හැසිරී තිබෙනවා. එහෙත් කලබලකාරී මන්ත‍්‍රීන් ටික දෙනෙකුට සභාවේ වැඩට නිතර බාධා කළ හැකි බව නම් පසුගිය පාර්ලිමේන්තුවේ සමස්ත වාර්තා දෙස බලන විට පෙනී යනවා,” යයි අසෝක ඔබේසේකර කියනවා.

නැවත තරග කරන හැම මන්තී‍්‍ර කෙනෙකුගේම ප‍්‍රගති වාර්තාව හෙවත් ‘රිපෝට් කාඞ්’ එක දත්ත විශ්ලේෂණය හරහා මන්ත‍්‍රී’lk සම්පාදනය කොට තිබෙනවා. පසුගිය පාර්ලිමේන්තුවේ වැදගත්ම ඡන්ද විමසීම්වලදී මන්ත‍්‍රීන් ගත් ස්ථාවරයන් ද එයට ඇතුළත්. එනම් ජනාධිපති ධුර කාල සීමාව ඉවත් කළ 18 වන ව්‍යවස්ථා සංශෝධනය, අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහි දෝෂාභියෝගය, 19 වන ව්‍යවස්ථා සංශෝධනය හා කැසිනෝ හඳුන්වාදීමේ පනත (අවස්ථා තුනකදී) විවාදය යන අවස්ථායි.

අද යහපාලනය ගැන කතා කරන සමහර හිටපු මන්තරීන් මේ තීරණාත්මක සංධිස්ථානවලදී එම යෝජනාවලට පක්ෂ වූවාද, විපක්ෂ වූවාද, සභාවේ නොසිටියාද යන්න ලෙහෙසියෙන්ම බලා ගත හැකියි.

දැනුවත් වූ ඡන්දදායකයන් බිහි කිරීමට පාර්ලිමේන්තු දත්ත විශ්ලේෂණනය ප‍්‍රයෝජනවත්. මේ විග‍්‍රහයන් හැකි තාක් සමාජගත කිරීම සියලූ මාධ්‍යවලට හා ප‍්‍රජාතන්ත‍්‍රවාදයට හිතකාමී ක‍්‍රියාකාරිකයන්ට පැවරෙන වගකීමක්.

ජනතා සේවකයන් යයි කියමින් මහජන මුදලින් ඉහළ වරප්රසාද ලබන මන්ත්රීන්ගේ කයිවාරුව හා කෙරුවාව අතර හිදැස කොපමණ දැයි එවිට පුරවැසියන්ට බලා ගත හැකියි!

අපේ ඡන්දය නැණවත්ව භාවිත කරමු!

වගකීම් දැරීමට හැකි හා කැප වූවන් පමණක් පාර්ලිමේතුවට යවමු.

ඉන් පසුවත් ඔවුන්ගේ කෙරුවාව දිගටම අධීක්ෂණය කරමු!

Sri Lankans join March 12 Movement for Cleaner Politicians

Sri Lankans join March 12 Movement for Cleaner Politicians – Photo courtesy March 12 Movement Facebook page

 

Posted in Campaigns, Corruption, Democracy, Education, Future, good governance, ICT, Information Society, Internet, public interest, Ravaya Column, Sri Lanka. Tags: , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , . 8 Comments »