සිවුමංසල කොලූගැටයා #195: අපේ රටේ බලවත්ම පුද්ගලයෝ ජ්‍යොතිර් ඇදුරන්ද?

In this week’s Ravaya column (in Sinhala), published on 23 November 2014, I ask whether astrologers are the most powerful persons in Sri Lanka. This is because all important decisions of the state, including the ceremonial opening of Parliament and scheduling of elections, is done strictly on astrological advice.

Speaking at a recent meeting of the Sri Lanka Rationalists’ Association to discuss my latest book, writer and political commentator Gamini Viyangoda said astrology determines so many personal and public decisions in Sri Lanka. In this obsession, ruling party and opposition party politicians seem united.

Cartoon by Awantha Artigala
Cartoon by Awantha Artigala

‘‘අද අපේ රටේ රාජ්‍ය පාලනයට ජ්‍යොතිෂය සෘජුවම බලපෑම් කරනවා. එයට හේතුව රාජ්‍ය නායකයා මේවා දැඩි ලෙස විශ්වාස කරන්නකු වීම නිසා. එපමණක් නොවෙයි, පාලක හා විරුද්ධ පක්‍ෂ සියල්ලේම පාහේ සිටින බොහෝ නායකයෝ හා අපේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට යන ජනතා නියෝජිතයෝ ජ්‍යෙතිෂයට අනුව තමයි රටේ තීරණාත්මක පියවර හා ප‍්‍රතිපත්ති නිර්ණය කරන්නේ.’’

ප‍්‍රවීණ ලේඛක හා දේශපාලන විචාරක ගාමිණී වියන්ගොඩ මේ ප්‍රකාශය කළේ මගේ අලූත්ම පොත ‘කාල බෝම්බ ඕනෑකර තිබේ’ නිමිත්ත කර ගෙන ශ‍්‍රී ලංකා හේතුවාදීන්ගෙ සංගමය 2014 ඔක්තෝබර් 23දා කොළඹ එන්. එම්. පෙරේරා කේන්ද්‍රයේ පැවැත්වූ සංවාද මණ්ඩපයේදී.

සිවුමංසල කොලූ ගැටයා තීරු ලිපියේ හේතුවාදී දැක්මක් තිබෙනවා. මා හේතුවාදීන්ගෙ සංගමයේ සාමාජිකයකු නොවූවත් ඔවුන්ගේ තර්කානුකූල හා විචාරශීලි ප‍්‍රවේශය මට ද සමීපයි. ඇත්තටම මා මේ තීරු ලිපිය ලියන්නේ හේතුවාදීන් නොවන බහුතරයක් ලාංකිකයන්ගේ මනැස ටිකක් හෝ විවෘත කිරීමේ අරමුණින්.

හේතුවාදීන්ගෙ සංගමයේ වත්මන් සභාපති සූරපාල රණතුංගත්, ලේකම් තාරක වරාපිටියත් මූලික හැඳින්වීමක් කළ පසු හේතුවාදී ක‍්‍රියාකාරිකයන් හා ලේඛකයන් වන ගාමිණි වියන්ගොඩ හා එස්. එම්. බන්දුසීල දෙදෙනා මගේ පොත හා තීරු ලිපි ගැන අදහස් දැක්වූවා.

Rationalists Association of Sri Lanka discussion on කාල බෝම්බ  ඕනෑකර තිබේ book, 23 October 2014
Rationalists Association of Sri Lanka discussion on කාල බෝම්බ ඕනෑකර තිබේ book, 23 October 2014

ගාමිණි වියන්ගොඩ තව දුරටත් මෙසේ කියා සිටියා: ‘‘අපේ මැතිවරණ පවත්වන්නේ, පාලකයාගේ කේන්දරයට වඩාත්ම සුබදායි යයි කියන දිනයක මිස වෙනත් කිසිදු සාධකයක් සළකා බලා නොවෙයි. මේ නිසා පාලකයන්ටත් වඩා ඉහලින් බලපෑම් කිරීමේ හැකියාව සමහරු ජ්‍යෙතිෂකාරයන්ට අද ලැබී තිබෙනවා.’’

‘‘අද අපේ රටේ බොහෝ දෙනකු නොදන්නා හෝ නූගත් හෝ උදවිය නොවෙයි. ආගම් ඇදහීමේදීත්, ජ්‍යොතිෂය ඇතුලූ ගුප්ත විද්‍යා දැඩි ලෙස විශ්වාස කිරිමේදීත් ඔවුන් තම දැන උගත්කම පසෙක තබා ඔහේ කි‍්‍රයා කරනවා.’’

‘‘මා මෙය දකින්නේ මොළය වෙහෙසවීමට ඇති අලසකම ලෙසයි. මොළය වෙහෙසා තර්කානුකූලව හා බුද්ධිගෝචරව යථාර්ථය විග‍්‍රහ කරනවාට වඩා ඉතා ලෙහෙසිනේ මොළය නිද්‍රාශීලීව තබා ගෙන තමන්ගේ වැදගත්ම තීරණ ආගමට හෝ ජ්‍යොතිෂයට හෝ ඒ දෙකටම භාර දීම.’’

‘‘එසේ මොළය නිද්‍රාශීලීවීමට ඉඩ නොදී, අලස නොවී ස්වාධීනව සිතන ටික දෙනකු නිසා තමයි ලෝකය ඉදිරියට යන්නේ. විද්‍යාව හා ශාස්ත‍්‍ර දියුණු වන්නේත්, ශිෂ්ටාචාරය වර්ධනය වන්නේත් එබන්දන්ගේ පිහිටෙන්. අපට තව තවත් අවශ්‍ය මේ අවධි වූ සිහියෙන් සිටින අයයි.’’

‘‘මොළය අලසව නිද්‍රාශීලීව සිටින උදවිය අවධි කිරීමේ ලොකු වගකීමක් අපට තිබෙනවා. සමාජය විවෘත හා විචාරශීලී කිරිමට මග පෙන්වීම තමයි හේතුවාදීන්ගේ සැබෑ කාර්ය භාරය. හේතුවාදීව සිතිය හැකි දේශපාලනික නොවන කාරණා ඕනෑ තරම් තිබෙනවා. හේතුවාදීන් පුළුල් පරාසයකට යොමු කරන්නට සිවුමංසල කොලූ ගැටයා තීරු ලිපිය හා පොත් මහත් සේ උපකාර වනවා.’’

අපේ ඇතැම් දෙනා ක‍්‍රියා කරන ආකාරය දෙස බලන විට ශ්‍රී ලංකා දුපතේ බුද්ධිමත් ජීවීන් සිටිනවා ද යන්න සැක සහිතයි. මේ තරම් සාක්‍ෂරතාවය ඉහළ හා මාධ්‍ය භාවිතය ප‍්‍රචලිත වූ රටක, මේ තරම් ලෙහෙසියෙන් මුලා කළ හැකි ජනතාවක්, හමු වන්නේ ඇයි?

පසුගිය මැයි මාසයේ මට විද්යුත් ලියුමක් එවමින් රාවය පාඨක නිමල් ජයසිංහ මෙසේ කියා සිටියා: ‘‘අද ශ්‍රී ලාංකිකයෝ පුදුම ගණයේ ආත්මාර්ථකාමියෝය. උගුලෙන් බැරිනම් කෙමණෙන් හෝ තම කාර්ය සිදු වන්නේ නම් එයින් සතුටු වන නරුමයෝය. එබැවින් ඔවුන්ට හැම දෙයක්ම ඕනෑය. උදේ පන්සිල් ගෙන ගෙදරින් පිට වන ඔවුන් ශාන්ත අන්තෝනි පල්ලියේ ද ඉටිපන්දමක් දල්වා වැඩට යති. කාගෙන් හෝ වැඩේ කෙරුනොත් ඇති යන සිතුවිල්ලෙන් කල් ගෙවන මොවුන් විමර්ශනශීලී මිනිසුන් හෝ ගැහැණුන් නොවේ. මොවුන්ට මම ආමන්ත්‍රණය කරන්නේ රැළේ යන්නෝ කියලාය!”

මේ විග්‍රහය මටත් පිලිගන්න සිදු වනවා. මෙවැනි අදහස් අද විවෘතව පල කැරෙන්නේ ද කලාතුරකින්.

‘‘හේතුවාදී ලිපි’’ නමින් 2013දී ප‍්‍රකාශිත ග‍්‍රන්ථයට පූර්විකාවක් ලියමින් එහි සංස්කාරක හා ප‍්‍රවීණ ලේඛක අජිත් තිලකසේන මෙසේ කියනවා:

‘‘අපේ රටටත්, කලාපීය රටවල් ගණනාවකටත් බලපාපු 2004 දෙසැම්බර් 26 සුනාමිය මෙහි 50,000ක පමණ ජනයින්හට මරු කැඳවමින්, සිද්ධ කරපු දේපල හානිය ද විශාලයි. මෙය මතක ඇති ඉතිහාසයේ සිද්ධ නොවු බිහිසුනු ස්වාභාවික විපතක් වුවත් එය පුරෝකථනය කරන්න (එනම් කල් තබා අනතුරු ඇඟවීමට) කිසිම ජ්‍යොතිර් ඇදුරෙක්ට පුලූවන් උනේ නෑ!’’

‘‘ජ්‍යොතිර් ඇදුරන්ට, පේනකරුවන්ට ස්ථිරව යමක් කියන්න බැරි බව දැන දැනත්, කියාපු දේවල් බොරු වූ අවස්ථා දැක දැකත්, ඒ පසු පස යන්නන්ගේ අඩුවක් ශ‍්‍රී ලංකා සමාජය තුළ දැක ගන්න නැහැ…. එසේම තම අවශ්‍යතා ඉටු කර ගන්න විවිධ දෙවි දේවතාවන් කරා ගොස් බාරහාර වන ජනයින්ගේ අඩුවක් දැක ගන්නත් නැහැ’’ ඔහු තව දුරටත් කියනවා.

මා කවදත් කියන්නේ මෙයයි. තනි පුද්ගල මට්ටමින් ඕනෑ කෙනෙකුට ඕනෑම අභව්‍ය දෙයක් ඇදහීමට හා ඒ සඳහා තම කාලය හා මුදල් වැය කරන්නට නිදහස තිබෙනවා. එහෙත් එම ඇදහිලි හා විශ්වාස සෙසු සමාජයට බලෙන් ආරෝපණය කිරීමට හෝ රාජ්‍ය ප‍්‍රතිපත්ති හා රාජ්‍ය පාලනයට ඒවා හරහා බලපෑම් කිරීමට හෝ නිදහසක් නැහැ.

මිථ්‍යාවට මුවා වී, ජනයා බියපත් කර මුදල් ගසා කන වංචනික ජ්‍යෙතිෂවේදීන් හා වෙනත් ගුප්ත ශාස්ත‍්‍රකරුවන් මෑතක සිට තමන්ගේ සටකපට කි‍්‍රයා සඟවන්නට තැත් කරන්නේ ‘සාම්ප‍්‍රදායික දැනුම’ නම් තිරයට මුවා වෙමින්.

දේශීය උරුමය හා පාරම්පරික දැනුම වුව වර්තමානයේ තර්කානුකූල විවාදයට ලක් විය යුතුයි. ආසියාවේ බිහි වූ විශිෂ්ඨතම හේතුවාදියෙකු හා නිදහස් චින්තකයෙකු ලෙස සැලකෙන ආචාර්ය ඒබ‍්‍රහම් තෝමස් කොවූර් (1898 – 1978) එදා කී දේ අදටත් හරියටම ගැලපෙනවා. ‘‘තමන්ගේ ආශ්චර්යයන් පරීක්‍ෂා කිරීමට ඉඩ නොදෙන්නා වංචනිකයෙක්. එබඳු දේ විමසීමට ධෛර්යය නොමැත්තා පහසුවෙන් රැවටිය හැකි කෙනෙක්. එබඳු ආශ්චර්යයන් හා මතවාදයන් ඉස්මුදුනින් පිළිගෙන අදහන්නා මෝඩයෙක්.’’

කොවූර් ශ්‍රී ලංකා හේතුවාදී සංගමය ආරම්භ කළේ 1960දී. විවෘත මනසකින් යුත් විචාරශීලී ලාංකිකයන් රැසක් එයට ඇද ගන්නට ඔහු සමත් වුණා. එනයින් බලන විට කොවූර් හේතුවාදී සංගමයෙන් හා ව්‍යාපාරයෙන් ඔබ්බට ගිය විද්‍යාත්මක චින්තන විප්ලවයකට මුල පිරුවා යයි කිව හැකියි. මේ සදහා විද්‍යාව ඉහළට උගත් එහෙත් ඒ උගත්කමින් මනස මොට කර නොගත් බුද්ධිමතුන් ගණනාවක් මෙන්ම සිංහලෙන් හා දෙමලෙන් ජන සමාජයට මේ පණිවුඩ ගෙන යා හැකි ලේඛන හැකියාව ඇති කලාකරුවන් කිහිප දෙනකු ද ඔහු සම්බන්ධ කර ගත්තා.

එයින් මුල් ගණයට වැටුණු අයගෙන් වඩාත් ප‍්‍රකට වූ චරිතයක් වෛද්‍ය කාලෝ ෆොන්සේකා. තරුණ වෛද්‍යවරයකු හැටියට 1970දී පමණ ඔහු ගිනි පෑගීමේ විද්‍යාත්මක පදනම ගවේෂණාත්මකව ඔප්පු කළේ එය කිසිදු හාස්කමක් හෝ දේවබලයක් හෝ නැතිව කළ හැකි බව ප‍්‍රායෝගිකව පෙන්වා දෙමින්.

කොවූර් වටා ඒකරාශී වූ චරිත අතර ප‍්‍රවීණ ලේඛකයන් වූ අජිත තිලකසේන හා අමුණුගොඩ තිලකරත්න ද සිටියා. පසු කලෙක ශ්‍රී ලංකා හේතුවාදී සංගමයේ සභාපති ලෙස ක‍්‍රියා කළ නීතිඥ ධර්මපාල සේනාරත්න තරුණයකු හැටියට හේතුවාදී ව්‍යාපාරයට ඇදී ආවේ ද 1960-1970 යුගයේයි.

Keepers of Rationalist Flame L to R - Abraham Kovoor, Carlo Fonseka, Dharmapala Senaratne
Keepers of Rationalist Flame L to R – Abraham Kovoor, Carlo Fonseka, Dharmapala Senaratne

මෙරට හේතුවාදී ව්‍යාපාරයේ ස්වර්ණමය යුගය වූයේ ද ඒ දශක දෙකයි. එයට එක් හේතුවක් නම් කොවූර් හා ඔහු වටා එක් වූ දක්‍ෂයන් පිරිසයි. එහෙත් එවකට ලක් සමාජය අදට වඩා එදා විවෘත හා බුද්ධිගෝචර වූ බවට ද තර්ක කළ හැකියි. ඒ ඇයි?

1963 ජන සංගණනයට අනුව මෙරට ජනගහනයෙන් සියයට 76.8ක් දෙනා සාක්‍ෂරතාවය ලබා සිටියා. 1971 සංගණනය වන විට එය සියයට 78.5 දක්වා දියුණු වූ අතර මේ වන විට එය සියයට 92ක් පමණ වනවා. මෙරට අධ්‍යාපන මට්ටම් හා ඒවාට යොමු වන ජන සංඛ්‍යාව හා ප‍්‍රතිශතයන් ඉහළ ගොස් ඇති බව පැහැදිලියි.

සන්නිවේදන තාක්‍ෂණයය පැත්තෙන් බැලූ විට ද සංඛ්‍යාත්මකව විශාල වැඩිවීමක් සිදු වී තිබෙනවා. දුරකථන, රේඩියෝ හා පුවත්පත් පරිශීලනය කරන ජන සංඛ්‍යාව හා ප‍්‍රතිශතය වැඩි අතර එදා නොතිබුණු ටෙලිවිෂන් හා ඉන්ටර්නෙට් මාධ්‍යත්, ජංගම දුරකථනත් අද සමාජයේ ස්ථාපිත වෙලා. තොරතුරු හා දැනුම ලබා ගන්නට හා බෙදා ගන්නට හැකියාව මීට වසර 50කට වඩා අද පැහැදිළිව ම වැඩියි.

"Modern" Lankan? Cartoon by Awantha Artigala
“Modern” Lankan? Cartoon by Awantha Artigala

මේ ප‍්‍රමාණාත්මක දියුණවත් සමග ගුණාත්මකව දියුණුවක් ඇති වී තිබේ ද යන්න විවාදත්මකයි. අපේ ඇතැම් අය මෙන් මා යටගියාව ගැන රොමෑන්ටික් ලෙසින් අතිශයොක්තියෙන් දකින්නකු නොවේ. එහෙත් හේතුවාදීන්ගේ ස්වර්ණමය යුගයේ ඔවුන්ගේ සමාජ මෙහෙවරට අනුබල දෙන්නට, දිරි ගන්වන්නට මෙරට බුද්ධිමතුන්, කලාකරුවන්, වෘත්තිකයන් හා පුවත්පත් කතුවරයන් රැසක් ඉදිරිපත්ව සිටියා.

කොවුර් නඬේ ගුරා වූවත් ඔහු ඒ අභීත බුද්ධිමය චාරිකා ගියේ ලොකු කුඩා බොහෝ දෙනාගේ ආශිර්වාදය හා සහයෝගය ඇතිවයි. එවන් පිරිසක් අද සිටී ද?

2012 ජනවාරියේ ලිපියකින් මා කීවේ මෙයයි: “අපේ මවුපියන්ගේ තරුණ අවධියේ කෙටි කලෙකින් ලක් සමාජයේ බුද්ධිමත් ස්ථරයන්ගේ පිළි ගැනීමට පාත‍්‍ර වූ ආචාර්ය කොවූර් බැරි වෙලාවත් අද මුල් වරට මෙරටට පැමිණ ඒ මෙහෙවර ම ඉටු කරන්නට තැත් කළොත් ප‍්‍රතිචාරය කෙබඳු වේවිද?”

“ඔහු කියන දෙයට සවන් දෙනවා වෙනුවට ඔහුගේ සම්භවය, පෙනුම හා පසුබිම ගැන වැඩි අවධානය යොමු වෙයි. රැවුල වවා ගත්, දකුණු ඉන්දියානු සම්භවය ඇති මලයාලි ජාතිකයෙකු අපේ සංස්කෘතික උරුමයට හා ජාතික අනන්‍යතාවයට (සමහර විට ජාතික ආරක්‍ෂාවට පවා!) තර්ජනයක් කරන බවට චෝදනා එල්ල විය හැකියි.”

“නැතහොත් පුවත්පත් සාකච්ඡාවල දී ඔහුට ජාතිද්‍රෝහී, රාජ්‍ය විරෝධි ලේබල් ලෙහෙසියෙන් ඇලවිය හැකියි! අදෘශ්‍යමාන භුත අවතාර හා පිල්ලි වෙනුවට නාඳුනන තුවක්කුකරුවන්ගේ තර්ජනයට ඔහු ලක් විය හැකියි!”

අපි කුමක් කරමුද? මේ ප්‍රශ්නය යලි යලිත් ඇසීමට කාලයයි.

See also:

22 Jan 2012: සිවුමංසල කොලූගැටයා #50: අවිචාරයේ සැඩ සුළගට මැදි වුණු හේතුවාදී පහන් සිළුව

29 Jan 2012: සිවුමංසල කොලූගැටයා #51: ඔබේ විචාර බුද්ධිය දැන් අක‍්‍රීය කරන්න!

18 May 2014: සිවුමංසල කොලූගැටයා #168: නින්දෙන් ඇවිදින ලක් සමාජය හේතුවාදීන්ට අවදි කළ හැකිද?

Cartoon by Awantha Artigala
Cartoon by Awantha Artigala

සිවුමංසල කොලූගැටයා #168: නින්දෙන් ඇවිදින ලක් සමාජය හේතුවාදීන්ට අවදි කළ හැකිද?

In this week’s Ravaya column (in Sinhala), I introduce a recent anthology of rationalist essays compiled and edited by leading Sinhala language writer Ajith Thilakasena. I was asked to talk about the book at a recent meeting of the Sri Lanka Rationalists’ Association. Since I too have contributed a chapter, I cannot review the book; this is merely an exploration of the book’s provocative contents.

I have covered similar ground in an English op-ed in January 2012:
Can Rationalists Awaken the Sleep-walking Lankan Nation?

Hethuwaadi Lipi (Rationalist Essays in Sinhala). Edited by Ajith Thilakasena. Sarasavi Publishers, Sri Lanka. 2014
Hethuwaadi Lipi (Rationalist Essays in Sinhala). Edited by Ajith Thilakasena. Sarasavi Publishers, Sri Lanka. 2014

 

අජිත් තිලකසේන සූරීන් මෙරට සිටින ප‍්‍රතිභාපූර්ණ නිර්මාණශීලී ලේඛකයෙක්. දක්‍ෂ ප‍්‍රබන්ධ රචකයකු, කවියකු වනවාට අමතරව ඔහු වඩාත් සරල ලෙසින් සිංහල බස ලිවීමට පිලි සහ හල් කිරීම් සමරූපීකරණය කිරීමේ සම්ප‍්‍රදායක් යෝජනා කොට එය ප‍්‍රගුණ කරන්නෙක්.

මෙයට සමාන්තරව තිලකසේන සූරීන් අදීන හා අතිශයින් විචාරශීලී චින්තනයක් ඇති හේතුවාදියකු ද වනවා. ඔහු සංස්කරණය කළ ‘‘හේතුවාදී ලිපි’’ නම් කෘතිය එළි දැක්වීමේ රැස්වීමක් මාර්තු මස අගදී හේතුවාදී සංගමයේ අනුග‍්‍රහයෙන් කොළඹදී පවත්වනු ලැබුවා. එහිදී මේ අළුත් පොත ගැනත්, පොදුවේ මෙරට හේතුවාදී සාහිත්‍යය ගැනත් කථා කිරීමට එස්. එම්. බන්දුසීල සූරීන්ට හා මට ඇරැයුම් කොට තිබුණා.

අප දෙදෙනාගේ ම ලිපි ‘‘හේතුවාදී ලිපි’’ සංග‍්‍රහයේ තිබෙනවා. මේ නිසා පොත පිළිබඳව විචාරයක් අපට කළ නොහැකි වුවත් සරසවි ප‍්‍රකාශනයක් වන මෙය හඳුන්වාදීම හා එහි කාලීන වැදගත්කම පෙන්වාදීම අපේ කථාවල මූලික හරය වූවා.

පසුගිය දශක කිහිපයක් තුළ මෙරට පුවත්පත් හා සඟරාවල පළ වූ හේතුවාදී හා විචාරශීලි ලිපි රැසක් ද මේ පොතේ එකතු කොට තිබෙනවා. මුල් අවස්ථාවේ එම ලිපි කියවීමට නොලැබුණු පාඨකයන්ටත්, ඒවා යළි කියවනු රිසි අයටත් මේ පොත මාහැඟි සංග‍්‍රහයක්.

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, මහාචාර්ය කාලෝ ෆොන්සේකා, මහාචාර්ය ඔස්මන්ඞ් ජයරත්න, වෛද්‍ය රූමි රූබන්, ආචාර්ය ඒබ‍්‍රහම් ටී. කොවූර්, එස්. එම්. බන්දුසීල හා ආචාර්ය කාවන් රත්නතුංග වැනි විද්වතුන්ගේ ලිපි මේ පොතේ හමු වනවා. එසේ ම මෙරට මාධ්‍ය හරහා හේතුවාදී විමර්ශන හා මත දැක්වීම්වලට ප‍්‍රකට තිලක් සේනාසිංහ, තිඹිරියාගම බණ්ඩාර, කේ ආර් අභයසිංහ, තාරක වරාපිටිය, සුසිලා දොඩංගොඩ හා කේ ඒ ඞී වංශරත්න වැනි ලේඛක ලේඛිකාවන්ගේ ලිපි ද එහි අඩංගුයි.

පොතේ පරිච්ෙඡ්ද 27 සමන්විත වන්නේ ලිපි 20කින් සහ දේශන හා සම්මුඛ සාකච්ඡාසටහන් 7කින්. එයට අමතරව ලේඛනගත විය යුතු කෙටි සටහන් 31ක් ද හේතුවාදී චින්තනයට අදාල සරල ඉංග‍්‍රීසි – සිංහල ශබ්දමාලාවක් ද පොතේ තිබෙනවා.

Ajith Thilakasena
Ajith Thilakasena

සංස්කාරක අජිත් තිලකසේන හේතුවාදී හා විචාරශීලී චින්තනයක් අපට අවශ්‍ය ඇයි ද යන්න පූර්විකාවේ මැනවින් පහදා දෙනවා.

‘‘ජ්‍යෙතිර් ඇඳුරන්ට, පේනකරුවන්ට ස්ථිරව යමක් කියන්න බැරි බව දැන දැනත්, කියාපු දේවල් බොරු වූ අවස්ථා දැක දැකත්, ඒ පසු පස යන්නන්ගේ අඩුවක් ශ‍්‍රී ලංකා සමාජය තුළ දැක ගන්න නැහැ…. එසේම තම අවශ්‍යතා ඉටුකර ගන්න විවිධ දේවි දේවතාවන් කරා ගොස් බාරහාර වන ජනයින්ගේ අඩුවක් දැක ගන්නත් නැහැ’’ ඔහු කියනවා.

පූර්විකාවේ ඔහු මෙසේ ද කියනවා. ‘‘60දශකය ආරම්භ වෙනවාත් එක්කම ඒබ‍්‍රහම් ටී. කොවූර් දැඩි ආගමික හික්මීම්වලටත්, මිථ්‍යා විශ්වාසවලටත් ගැලී සිටි ලක් වැසි ජනතාවගේ චින්තන ලෝකය ආක‍්‍රමණය කළා. ඔවුන්ගේ පිළිගැනීම් දැඩි ප‍්‍රශ්න කිරීම් මාලාවකට ලක් කළා. මෝහාන්ධකාරයේ ගැලී සිටි ජනතාවගේ ගැටලූවලට බුද්ධියෙන් හා විද්‍යාවෙන් පිළිතුරු සොයා තම නිගමන පොදු මහජනතාවට තේරෙන බසින් සහ නිරවුල් සුගම ශෛලියකින් ඉදිරිපත් කරන්නට හැකි වීම කොවුර් සතු වූ විශිෂ්ට ගුණාංගයක්.’’

1964දී කොවූර් මුල් වරට ප‍්‍රසිද්ධ කළ 23 ආකාරයේ අභියෝග පත‍්‍රය මේ පොතේ නැවත පළ කොට තිබෙනවා. අනාවැකි කීමේ හැකියාව, දේව බල හෝ වෙනත් අද්භූත බල හෝ ප‍්‍රාතිහාර්යජනන ශක්ති ඇතැයි කියා ගන්නා ඕනෑම කෙනෙකුට ‘‘හැකි නම් කර පෙන්වන්න’’ යය මේ අභියෝග ඉදිරිපත් කළේ රුපියල් දස ලක්‍ෂයක් ද ත්‍යාගයක් ලෙස පිරිනමමින්. එහෙත් එදා මෙදා තුර එතෙර මෙතෙර කිසිවකුත් මේ අභියෝග භාර ගෙන නැහැ.

Dr Abraham T Kovoorකොවූර්ගේ තවත් වැදගත් ලිපියක් මේ පොතේ අඩංගුයි. 1960ගණන්වල මහාචාර්ය කේ. එන්. ජයතිලක නූතන තාරකා විද්‍යාව හා බෞද්ධ ඉගැන්වීම් සසඳමින් මේ දෙකෙහි සමාන්තර බවක් පෙන්වා දීමට උත්සාහ කළා. Buddhist Cosmologyහෙවත් බෞද්ධ විශ්වවේදය නමින් හුවා දක්වන්නට තැත් කළ එය, සැබෑ නොවන බව බෞද්ධ ධර්ම ග‍්‍රන්ථ අධ්‍යයනයෙන් පසු කොවූර් සාවධානව හා ආචාරශීලීව පෙන්වා දුන්නා.

එසේ කරමින් කොවූර් කීවේ මෙයයි:‘‘අභාවයට ගිය හෝ තවමත් පවත්නා ආගම් අතුරෙන් අනාත්ම ධර්මයන්, නිර්මානී දෙවියකු නොසිටීමත්, අනගි සදාචාර ශික්‍ෂාත් නිසා බෞද්ධ දර්ශනය වඩාත් හේතුවාදීයි. එහෙත් බුද්ධිමය වංචා මාර්ගයෙන් සත්‍ය කරුණු විකෘති කොට බුද්ධාගමට බලකණු සපයන්න යාමෙන් එයට යහපතට වඩා සිද්ධ වන්නේ අයහපතක්.’’

22 Jan 2012: සිවුමංසල කොලූගැටයා #50: අවිචාරයේ සැඩසුළගට මැදිවුණු හේතුවාදී පහන්සිළුව

බොරු ඇදහිලි ගැන මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් 1968වසරේ පේරාදෙණිය සරසවියේ අධ්‍යාපනවේදීන්ගේ සංගමය අමතා කළ දේශනයක සටහන් ද මෙහි වැදගත් පරිච්ෙඡ්දයක්. සාහිත්‍ය විචාරයට පමණක් නොව තියුණු ලෙස සමාජ විචාරයටත් ඔහු යොමු වූ සැටි මෙයින් මනාව පෙනෙනවා.

‘‘දෙවිවරුන් විසින් ද යකුන් වැනි භූතයන් විසින් ද කරන ලදැයි විශ්වාස කළ බොහෝ දේ ස්වභාවයෙන් සිදු වන දේ ලෙස සළකා ඒවා හසුරුවන්නට විද්‍යාව උපයෝගී කර ගත හැකි බව දැන් පිළිගෙන තිබේ. මනුෂ්‍යයාගේ ප‍්‍රශ්න මනුෂ්‍යයාට ම පාලනය කළ හැකි යයි ඔහු පිළිගනී. එකිනෙකාගේ සමාජ හා ආර්ථික තත්ත්වය වෙනස් වන්නේ පෙර කරන ලද පින් පව් අනුව යයි එදා තිබුණු විශ්වාසය දැන් මිථ්‍යාවක් බවට පත් වී තිබේ.’’

‘‘සත්‍යය, මුසාව, රැවටීම, අවංකකම – මෙවැනි යහගුණ හා නුගුණ අවශ්‍ය වන්නේ පරලොව උදෙසා ද එසේ නැත්නම් තමා ජීවත්වන සමාජයේ ඔවුනොවුන් අතර පැවතිය යුතු සම්බන්ධය උදෙසා ද? මානව භක්තිය ඇති කෙනකුට තවත් කෙනකු බොරුවෙන් රැවටීමට හෝ ඔහුගේ ජීවිතය විනාශ කර දැමීමට හෝ ශක්තියක් නැත…. පරලොව උදෙසා අවශ්‍ය බව කියන පින් පව් මෙලොව සමාජ ජීවිතය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වූ චර්යාධර්ම වශයෙන් පෙන්වා දිය හැකිය.’’

මෙතැනදී සරච්චන්ද්‍රයන් මතු කරන්නේ ප‍්‍රායෝගික වූත්, නිර්ආගමික වූත් දර්ශනයක්. හේතුවාදීන්ගේ චින්තනයේ හරයත් මෙයයි.

හේතුවාදීන් යනු ආගම් විරෝධීන් යයි සරල ලෙස ලඝු කිරීම යම් තරමකට සම කළ හැකි වන්නේ මාක්ස්වාදීන් යනු රාජ්‍ය විරෝධීන් යයි කලකට පෙර ඇතැම් දෙනා තුළ තිබූ දුර්මතයටයි. මේ දෙක ම වැරදියි.

හේතුවාදයේ මූලික ප‍්‍රවේශය නම් කියන්නා කෙසේ කීවත් අසන්නා සංශයවාදීව හා විචාරශීලිව හැම දෙයක් ම ප‍්‍රශ්න කිරීමයි. එහිදී ආගම්, සාමයික දර්ශන, දේශපාලන මතවාද, විද්‍යාත්මක සොයා ගැනීම් ඇතුළු අන් හැම දෙයක්මත් ප‍්‍රශ්න කිරීමට පාත‍්‍ර වනවා.

දේශපාලන මතවාද හා ආර්ථික ක‍්‍රමවේද සියුම්ව විවේචනය කිරීමට සමත් අපේ බොහෝ උගතුන් පවා ආගම් අරභයා එවන් විචාරශීලි බවක් පෙන්වන්නේ නැහැ. සාමයික හා ආගමික ඉගැන්වීම් යයි පූජකයන් විග‍්‍රහ කරන හැම දෙයක්ම දොහොත් මුදුනින් පිළි ගැනීම බොහෝ විට කරනවා. බුදු දහමේ නම් මෙසේ නොකරන මෙන් තරයේ අවවාද කොට තිබෙනවා (කාලාම සූත‍්‍රය).

Cartoon courtesy Daily Mirror newspaper, Sri Lanka
Cartoon courtesy Daily Mirror newspaper, Sri Lanka

හේතුවාදීන් කරන්නේ දේශපාලනික, ආර්ථික හා වෙනත් ක්‍ෂෙත‍්‍රයන් මෙන්ම සියළු ආගමික හා සාමයික ඉගැන්වීම් හා විග‍්‍රහයන් ද විචාරශීලීව හා තර්කානුකූලව විමර්ශනය කිරීමයි (එනම් කාලාම සූත‍්‍රය හරිහැටි පිළිපැදීමයි!).

මෑතදී මිය ගිය ප‍්‍රකට ඉන්දියානු ලේඛක කුෂ්වාන්ත් සිං (1915-2014) වරක් දලයි ලාමාතුමා සමග කළ සංවාදයක් සිංහලට පෙරළා මේ පොතෙහි ඇතුළත් කොට තිබෙනවා. පාප්තුමා හැරුණු කොට රාජ්‍ය නායක මට්ටමේ සිටින ලොව එකම සාමයික නායකයා වූත්, ලොව ඉතාම ප‍්‍රකට බෞද්ධ නායකයා වූත්, නොබෙල් සාම ත්‍යාගලාභී දලයි ලාමාතුමා බුදුදහම හා නූතනත්වය තුලනය කරන්නට මහත් සේ වෙර දරන කෙනෙක්.

එම තනතුරට පත් 14වැනියා වන ඔහු ඊට පෙර සිටි දලයි ලාමාතුමාගේ නැවත ඉපදීමක් සේ නිර්ණය කරනු ලැබ දලයි ලාමා ලෙස පත් කර ගනු ලැබුවේ 1950දී. 1959දී චීනය විසින් ටිබෙටය ආක‍්‍රමණය කොට අල්ලා ගත් පසු ඉන්දියාවට පලා ගිය දලයි ලාමාතුමා හා අනුගාමිකයන්ට එදා පටන් ඉන්දීය රජයේ විශේෂ රැකවරණය ලැබෙනවා.

ජේ්‍යෂ්ඨ ඉන්දීය මාධ්‍යවේදියකු ලෙස දලයි ලාමාතුමා සමග සාකච්ඡා කරන කුෂ්වාන්ත් සිං, පුනරුත්පත්තිය ගැන තමා කිසිසේත් විශ්වාස නොකරන බව කියනවා. මේ ගැන කලබල හෝ කෝප නොවී ඉතා සන්සුන් ලෙසින් දලයි ලාමා සිං සමග සංවාද කරනවා. ජීවිතයේ දුක සැප, මරණය ආදිය ගැන දෙදෙනාගේ අදහස් හොඳට ම වෙනස්. නිර්ආගමික වූ සිං, ලෞකික දර්ශනයකින් ලෝකය විග‍්‍රහ කරනවා. එකිනෙකාට ගරු කරමින් එහෙත් එකඟ නොවෙමින් මේ කරන කථා බහ කියැවීම ම මනසට ප‍්‍රබෝධයක්.

වෙනත් බොහෝ ආගමික හා සාමයික නායකයන්ට වඩා පුළුල් වූ මනසක් හා හාස්‍යලොලී පෞරුෂයක් දලයිලාමාට ඇති බව පෙනී යනවා. කථාව අවසානයේ පුනරුත්පත්තිය කිව හැකි (එනම් පසුගිය ආත්ම මතකයට නගා ගත හැකි)එකදු මුස්ලිම් දරුවකු ගැන දන්නවාදැයි සිං අසනවා. (ඉස්ලාම් ධර්මයේ නැවත ඉපදීමක් කියැවෙන්නේ නැහැ.)

එතැනදී දලයි ලාමා මහ හයියෙන් සිනාසෙමින් මෙසේ පිළිතුරු දෙනවා. ‘‘එතන ඇත්තක් තියෙනවා තමා. ඒ උනත් මම පුනරුත්පත්තිය විශ්වාස කළේ නැත්නම් මට වැඩ නැතුව යනවා!!’’

මේ තරම් නිර්ව්‍යාජ හා විවෘත ලෙස තම ධර්මය ගැන කථා කළ හැකි ආගමික නායකයන් ඉන්නේ කී දෙනා ද?

‘‘හේතුවාදී ලිපි’’ පොතෙහි ඇත්තේ ආගම් ගැන විචාරශීලීව විමසීම පමණක් නොවෙයි. සමහර ලේඛකයෝ ඇදහිලි හා ජන විශ්වාස (නාඩි වාක්‍ය, පිරිත් නූල්, අංජනම් එළි, අල්ලේ රේඛා මගින් සාස්තර කීම, කේන්දර බැලීම ආදිය)ගැන ප‍්‍රශ්න කරනවා – විවෘතව මත දක්වනවා. තවත් ලිපිවලින් අද්භූත හෝ පාරභෞතික යයි සැළකෙන (භූතයෝ, යකුන්, අවතාර, ආවේශවීම)ආදී සංසිද්ධීන් විග‍්‍රහ කැරෙනවා.

‘‘දේශීය දැනුම’’ හා ‘‘සාම්ප‍්‍රදායික ඥානය’’ වැනි කඩතුරාවලට මුවා වෙමින් කිසිදු තාර්කික ප‍්‍රශ්න කිරීමකින් හෝ නීතිමය නියාමනයකින් තොරව ලක් සමාජයේ කැරෙන ගුප්ත ව්‍යාපාරයන්ගේ පදනම සමහර ලිපි මගින් සියුම් ලෙස විමර්ශනය කරනවා.

පොතට ලිපි සපයා ඇති වෛද්‍යවරුන් තමන්ගේ ක්‍ෂෙත‍්‍රයට අදාල කාලීන මාතෘකා ගැන නිවහල් මත දක්වනවා. විශ්ව ශක්තියෙන් හෝ යාඥා බලයෙන් බරපතල (පිළිකා ඇතුළු) නිදන්ගත රෝග සුව කළ හැකි ද? කැඩුම් බිඳුම් ප‍්‍රකෘති තත්ත්වයට පත් කළ හැකි ද?

යන්නන් වාලේ අන් අය පසුපස යාම නිසා බුද්ධියෙන් මෙතරම් දියුණු යුගයක පවා ප‍්‍රාථමික සිතුම් පැතුම්වලට ඇබ්බැහිව එල්බෙමින් සිටින අති විශාල පිරිසක් ලොව සිටින බව මහාචාර්ය කාලෝ ෆොන්සේකා සිය ලිපියේ කියනවා.

ඔහු එය අවසන් කරන්නේ මෙසේයි. ‘‘මගේ පෞද්ගලික අදහස්වල හැටියට මගේ කිසිදු වැඩක් නැකතට කරලා නැහැ. පොරොන්දම් බලලා නැහැ. ජ්‍යෙතිෂය පසුපස හති දම දමා දුවලා නැහැ. මම මෙතෙක් කටයුතු කරලා තියෙන්නේ ඕවා සියල්ල මිථ්‍යා කාරණා හැටියට සළකලායි.’’

පූර්විකාවේදී අජිත් තිලකසේනයන් තව වැදගත් කරුණක් මතු කරනවා. මෙරට ඉතිහාසයේ වාර්තාගත ලොකුම ව්‍යසනය වූ 2004 දෙසැම්බර් 26 වනදා සුනාමිය පුරෝකථනය කරන්නට කිසිදු ජ්‍යොතිර් ඇදුරකුටවත් හැකි වූයේ නැහැ.

ඔහු කියන හැටියට ‘‘ජ්‍යොතීර් ඇදුරන්ට, පේනකරුවන්ට ස්ථිරව යමක් කියන්න බැරි බව දැන දැනත්, කියන දේවල් බොරු වූ අවස්ථා දැක දැකත් ඒ පසුපස යන්නන්ගේ අඩුවක් ශ‍්‍රී ලංකා සමාජය තුළ දැක ගන්න නැහැ.’’

පුර්විකාවේ ඔහු මෙසේ ද කියනවා. ‘‘බෞද්ධ සංස්කෘතිය ශ‍්‍රී ලංකා සමාජය තුළ හිමි කර ගෙන ඇති තැන ප‍්‍රශ්න කළ යුතු නෑ. එහෙත් ආගම (ඇදහිල්ල) ඇතුළත් විය යුත්තේ කෙනකුගේ පුද්ගලික පරිමණ්ඩලයට. ආගමක් ඇදහීම හෝ නොඇදහීම ඔහුගේ/ඇයගේ කැමැත්ත පරිදි විය යුතුයි….’’

රාජ්‍යය නිර්ආගමික වීමේ වැදගත්කම ඔහු පෙන්වා දෙනවා. ‘‘ආණ්ඩුවට ආගමක් නැහැ’’ යන්න ප‍්‍රථම අගමැති ඞී. එස්. සේනානායක කී බව මතක් කරමින් ඔහු කියන්නේ, ‘‘එක් ආගමකට ප‍්‍රමුඛස්ථානය දෙන වගන්තියක් 1972ව්‍යවස්ථාවට ඇතුළත් කිරීම ඛේදයක්. එයට මුල් වූයේ මාක්ස්වාදී නායකයෙක් වීම උත්ප‍්‍රාසය දනවන්නක්. එයින් පස්සේ හැම ආණ්ඩුවක්ම ක‍්‍රියාවෙන් ‘සර්ව ආගමික’ වුණා.’’

Ceylon Rationalist Association: 1970 Memorandum on a New Constitution for Sri Lanka (letter from Dr Abraham T Kovoor to Dr. Colvin R. De Silva, Minister of Constitutional Affairs)

පූර්ණ ආගමික වූ මහත්මා ගාන්ධි පවා කටයුතු කළේ ඉන්දියාව ඓහික (secular) රාජ්‍යයක් කරනු සඳහායි. ඇදහිල්ල පුද්ගලික දෙයක් කොට ඔහු සැළකුවා. ආගමික ආයතනය නඩත්තුවට රාජ්‍ය භාණ්ඩාගාරයෙන් මුදල් ප‍්‍රතිපාදන වෙන් කිරීම ගාන්ධි අනුමත කළේ නැති බවත් තිලකසේනයන් සිිහිපත් කරනවා.

මේ අයුරින් පුළුල් මහජන සංවාදයට ලක් විය යුතු තේමා රැසක් මේ පිටු 166ක කුඩා පොතේ අඩංගුයි. නමින් ‘‘හේතුවාදී ලිපි’’ වුවත් හේතුවාදී තලයෙන් ඔබ්බට මේ විචාරශීලී දැක්ම ගෙන යාම හදිසි කාලීන අවශ්‍යතාවයක් බව නම් පැහැදිලියි.

පොත රැගෙන කියවා බලන්න!

See also:

25 Sep 2011: සිවුමංසල කොලූගැටයා #33: නොබියව ඇත්ත කතා කළ ජනතාවාදී විද්‍යාඥයා, මහාචාර්ය ඔස්මන්ඞ් ජයරත්න

22 Jan 2012: සිවුමංසල කොලූගැටයා #50: අවිචාරයේ සැඩසුළගට මැදිවුණු හේතුවාදී පහන්සිළුව

29 Jan 2012: සිවුමංසල කොලූගැටයා #51: ඔබේ විචාර බුද්ධිය දැන් අක‍්‍රීය කරන්න!

18 March 2012: සිවුමංසල කොලූගැටයා #58: විනාශයක් ළග එනවා –  ඒකට අපි සැරසෙනවා!

25 March 2012: සිවුමංසල කොලූගැටයා #59: වදකහ සුදියේ සිට ලෝක විනාශය දක්වා…

24 March 2013: සිවුමංසල කොලූගැටයා #110: ජාතියේ ව්‍යාධියට ප්‍රතිකාර කරන අපූරු ජීවකයා: කාලෝ ෆොන්සේකා

18 Dec 2013: “ආගමික උමතුවෙන් ලෝකය ගලවා ගැනීමේ එකම මග සියලුම ආගම් ප්‍රතික්ෂේප කිරීමයි” – එස්. එම්. බන්දුසීල

6 April 2014: සිවුමංසල කොලූගැටයා #163: අභීත පෑනෙන් භාරතය කිති කැවූ කුෂ්වාන්ත් සිං

අජිත් තිලකසේන සංස්කරණය කළ ‘හේතුවාදී ලිපි’ පොත නිකුත් වෙයි

Hethuwaadi Lipi (Rationalist Essays in Sinhala). Edited by Ajith Thilakasena. Sarasavi Publishers, Sri Lanka. 2014
Hethuwaadi Lipi (Rationalist Essays in Sinhala). Edited by Ajith Thilakasena. Sarasavi Publishers, Sri Lanka. 2014

‘‘දෙවිවරුන් විසින් ද යකුන් වැනි භූතයන් විසින් ද කරන ලදැයි විශ්වාස කළ බොහෝ දේ ස්වභාවයෙන් සිදු වන දේ ලෙස සළකා ඒවා හසුරුවන්නට විද්‍යාව උපයෝගී කර ගත හැකි බව දැන් පිළිගෙන තිබේ.  මනුෂ්‍යයාගේ ප‍්‍රශ්න මනුෂ්‍යයාට ම පාලනය කළ හැකි යයි ඔහු පිළිගනී.  එකිනෙකාගේ සමාජ හා ආර්ථික තත්ත්වය වෙනස් වන්නේ පෙර කරන ලද පින් පව් අනුව යයි එදා තිබුණු විශ්වාසය දැන් මිත්‍යාවක් බවට පත්වී තිබේ.’’

මේ වටිනා ප‍්‍රකාශය කළේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර 1968දී.  පේරාදෙණිය සරසවියේ අධ්‍යාපනවේදීන්ගේ සංගමය අමතා ‘20 වන සියවසේ බුද්ධිමතාගේ ඇදහීම කුමක් විය යුතුද?’ යන මැයෙන් දේශනයකදී.

ඒ දේශනයේ උධෘත කිහිපයක් අජිත් තිලකසේන ලේඛකයා විසින් සංස්කරණය කරන ලද ‘හේතුවාදී ලිපි’ නම් අළුත් පොතේ අඩංගුයි.  එය සරසවි ප‍්‍රකාශනයක් ලෙස 2014 ජනවාරියේ නිකුත් වුණා.

ලෝකයේ ප‍්‍රකට හා සම්භාවනීය නිදහස් මතධාරින් ගණනාවකගේ සහ මෙරට අදීන චින්තකයන් කිහිප දෙනෙකුගේ විවෘත මත දැක්වීම් පෙළ ගස්වා ඇති මේ පොතේ පිටු 166යි.  ශ‍්‍රී ලංකා හේතුවාදී සංගමයේ අනුදැනුම ද ඇතිව මේ පොත සකස් කොට තිබෙනවා.

මහාචාර්ය සරච්චන්ද්‍රයන්ට අමතරව මහාචාර්ය කාලෝ ෆොන්සේකා, මහාචාර්ය ඔස්මන්ඞ් ජයරත්න, වෛද්‍ය රූමි රූබන්, ආචාර්ය ඒබ‍්‍රහම් ටී. කොවූර්, එස්. එම්. බන්දුසීල හා ආචාර්ය කාවන් රත්නතුංග වැනි විද්වතුන්ගේ ලිපි මේ පොතේ හමු වනවා.

එසේ ම මෙරට මාධ්‍ය හරහා හේතුවාදී විමර්ශන හා මත දැක්වීම්වලට ප‍්‍රකට තිලක් සේනාසිංහ, තිඹිරියාගම බණ්ඩාර, කේ ආර් අභයසිංහ, තාරක වරාපිටිය, සුසිලා දොඩංගොඩ හා කේ ඒ ඞී වංශරත්න වැනි ලේඛක ලේඛිකාවන්ගේ ලිපි ද එහි අඩංගුයි.

පුනරුත්පත්තිය ගැන දලයි ලාමා තුමාගේ අදහස්, ඇදහිලි ගැන මහත්මා ගාන්ධිතුමාගේ විග‍්‍රහයක් මෙන්ම අද්භූත හා ප‍්‍රාතිහාර්ය ලෙස සැළකෙන දේ අරඹයා 1962දී ආචාර්ය කොවූර් නිකුත් කළ ප‍්‍රසිද්ධ අභියෝගය ද සරල හා ලිහිල් සිංහලෙන් මේ පොතෙන් කියවිය හැකියි.

අජිත් තිලකසේනයන්ගේ ඇරයුමෙන් මේ පොතට එක් ලිපියක් මා රචනා කළා. එහි මාතෘකාව ‘මිනිසුන් උමතු කරන මනෝ වයිරසය’. ශී‍්‍රමත් ආතර් සී ක්ලාක් සියළු සංවිධානගත ආගම් ගැන ජීවිත කාලය පුරා කියු හා ලියු අදහස්වල සම්පිණ්ඩනයක් මේ ලිපියේ මා ගොනු කළා.

ක්ලාක්ගේ ජිවිතයේ අවසන් වසර 21 (1987-2008) කාලයේ පර්යේෂණ සහායක ලෙස සමීපව වැඩ කිරීමෙන් මා ලද වටිනා දායාදයක් නම් ආගම් දර්ශන ඇතුළු වෙනත් බොහෝ විෂයයන් හා තේමාවන් ගැන ඔහුගේ නිවහල් අදහස් උකහා ගත හැකි වීමයි.

මේ ලිපිය මා ලිව්වේ ඉංගී‍්‍රසියෙන් ඇති ඔහුගේ ප‍්‍රකාශිත පොත්පත්, මාධ්‍ය සාකච්ඡා හා අප‍්‍රකාශිත දේශන පිටපත් වැනි මූලාශ‍්‍ර රැසක් සීරුවෙන් පරිශීලනය කිරීමෙන් පසුවයි.

ආගම් ගැන විවෘත මත දැක්වීමකදී බොහෝ දැන උගත් අය පවා අනවශ්‍ය තරම් ආවේගශීලි වන නිසා සාවධානව මේ ගැන  ක්ලාක්ගේ අදහස් කැටි කිරීමට මා උත්සාහ කළා.  මගේ පෞද්ගලික අදහස් මෙහි නැහැ.  මා හුදෙක් ඔහුගේ අදහස් සිංහලෙන් බෙදා ගන්නා සන්නිවේදකයා පමණයි.

මගේ ලිපියට අමතරව ක්ලාක්ගේ තවත් බුද්ධිමය දායකත්වයක් මේ පොතේ තිබෙනවා එනම් ‘රාජ්‍ය පාලනය හා ආගම’ ගැන ඔහුගේ අදහස්වල සිංහල අනුවාදයක්. 2007 දෙසැම්බරයේ ඔහුට වයස 90 පිරුණු අවස්ථාවේ බි‍්‍රතාන්‍යයේ FOCUS විද්‍යා සඟරාව සමග කළ මාධ්‍ය සාකච්ඡාවක උධෘතයක්.  එය ඔහු කළ අවසන් සාකච්ඡාවලින් එකක්.

See also:

“ආගමික උමතුවෙන් ලෝකය ගලවා ගැනීමේ එකම මග සියලුම ආගම් ප්‍රතික්ෂේප කිරීමයි” – එස්. එම්. බන්දුසීල

Arthur C Clarke’s last story: A world without religion in 2500 A.D.

සිවුමංසල කොලූගැටයා #50: අවිචාරයේ සැඩ සුළගට මැදි වුණු හේතුවාදී පහන් සිළුව

The ascent or descent of Man?
The ascent or descent of Man?