සිවුමංසල කොලූගැටයා #226: ඉක්මන් ආහාරයේ දිගුකාලීන විපාක රැසක්

Instant noodles on sale in India
Instant noodles on sale in India

The recent controversy involving Maggi noodles in India is an eye opener for the entire region. The popular instant food, which has been sold for over three decades, was banned in early June by India’s food safety regulator after tests found excessive levels of lead.

Some samples also found Monosodium Glutamate (MSG), a flavor enhancer.

This episode brings into focus the need for tighter food safety regulations, as well as more responsible conduct by companies – both multinational and national – that produce and promote food products.

Eating is a personal and cultural activity where experts and regulators can go only so far. However, governments and corporations can do more to enable informed choices – by ensuring consumers have sufficient information through food labelling and are educated about health implications of diet.

To deal with growing concerns about processed food, South Asia needs greater consumer awareness, better regulation and product innovation.

Without this combination, the health of 1.5 billion people could be compromised by bad dietary habits.

This is the essence (no pun intended!) of my latest Ravaya column (in Sinhala, published on 5 July 2015). I covered similar ground in English in this essay:

SciDev.Net 30 June 2015: Processed food under scanner in South Asia

Indian public protests against Maggi noodles, found to have higher than safe levels  of lead and MSG
Indian public protests against Maggi noodles, found to have higher than safe levels of lead and MSG

කඩිමුඩියේ පිළියෙල කර ගත හැකි ආහාරයක් ලෙස ප‍්‍රකට මැගී නුඞ්ල්ස් මෑත සති කිහිපයේ ඉන්දියාවේ හා වෙනත් ආසියානු රටවල මහත් ආන්දෝලනයට ලක් වුණා. මේ වන විට ඉන්දියාව පුරා එය තහනම් කොට තිබෙනවා.

මොකක්ද මෙහි පසුබිම් කතාව? එක් ආහාර වෙළඳ නාමයකට හෝ වර්ගයකට හෝ සීමා නොවී මේ සිදුවීම් මාලාවෙන් ගත හැකි පොදු පාඩම් තිබේද? ඇත්තටම අප කන බොන බොහෝ ආහාර අපට දිගු කාලීනව කරන බලපෑම් ගැන අප ඇති තරම් දැනුවත් හා සංවේදී ද?

මැගී නූඞ්ල්ස් ඉන්දියාවේ අලෙවිය ඇරැඹුණේ 1983දී. සිනමා තරු යොදා ගත් දැවැන්ත අලෙවිකරණයක් හරහා එය ප‍්‍රවර්ධනය කෙරුණා. කෙටි කලෙකින් එය එරට සමාජ තරාතිරම් හැම එකකම භාවිත වන ඉක්මන් ආහාරයක් (convenience food) බවට පත් වුණා.

තවත් ක්ෂණික නූඞ්ල්ස් වර්ග කිහිපයක්ම තිබුණත් ඉන්දියාවේ වෙළඳපොළෙන් 80%කට වඩා හිමි කර ගෙන සිටියේ නෙස්ලේ නම් ජාත්‍යන්තර සමාගම නිපදවන මැගී නූඞ්ල්ස් වර්ගයි. මැගී ප‍්‍රභේද 9ක් එරට අලෙවි කෙරුණා.

මැගී නූඞ්ල්ස් තුළ ශරීරයට අහිතකර ද්‍රව්‍ය තිබේ දැයි රසායනාගාර පරීක්ෂණ ඇරඹුණේ මීට වසර එකහමාරකට පමණ පෙර. ක‍්‍රමානුකූලව කරන ලද මේ පරීක්ෂණවලින් තහවුරු වූයේ අනුමත උපරිම මට්ටම් බෙහෙවින් ඉක්මවා ගිය අන්දමේ ඊයම් ප‍්‍රමාණයක් එහි තිබෙන බවයි.

එසේම තම නිෂ්පාදනයේ මොනොසෝඩියම් ග්ලූටමේට් (MSG හෙවත් අජිනොමොටෝ) නම් රසකාරකය නැතැයි නිෂ්පාදක සමගම කීවත් සමහර සාම්පල්වල එය ද තිබූ බව සොයා ගැනුණා.

මේ අනුව පාරිභෝගික ආරක්ෂාව සඳහා මැගී නූඞ්ල්ස් අලෙවිය තහනම් කිරීමට ඉන්දියාවේ ආහාර ආරක්ෂාව හා ප‍්‍රමිතීන් පිළිබඳ අධිකාරිය (FSSAI) ජුනි මස මුලදී තීරණය කළා.

Maggi and other instant noodles on sale in Colombo supermarkets in late June 2015
Maggi and other instant noodles on sale in Colombo supermarkets in late June 2015

නෙස්ලේ සමාගම මේ තීරණයට එකඟ වූයේ නැහැ. ඉන්දියානු ආහාර ආරක්ෂණ නීතිරීති හා ප‍්‍රමිතීන් සියල්ලට තම සමාගම අනුකූල වී ඇති බවත්, එහෙත් නියාමන අධිකාරියේ තීරණයට අනුව මැගී නූඞ්ල්ස් වෙළඳපොළෙන් ඉවත් කර ගන්නා බවත් ඔවුන් ප‍්‍රකාශ කළා. ඒ අතර එම නියාමන තීරණය අධිකරණ මට්ටමින් ඔවුන් අභියෝග කොට තිබෙනවා.

ඉන්දියාවේ මේ සිදුවීම් ආසියාවේ අනෙකුත් රටවලටත් බලපෑමක් කළා. මාලදිවයින හා නේපාලය ඉක්මනින්ම මැගී නූඞ්ල්ස් රටට ගෙන ඒම හා රට තුළ අලෙවිය තාවකාලිකව තහනම් කළා. සිංගප්පූරුව ද ප‍්‍රවේශම්කාරී ප‍්‍රතිපත්තියක් අනුව අලෙවිය නැවත දැනුම් දෙනතුරු නතර කළා. මේ අතර බංගලාදේශය හා ශ‍්‍රී ලංකාව සිය රට තුළ අලෙවි කැරෙන මැගී නූඞ්ල්ස් සාම්පල් රසායනාගාර පරීකෂණවලට ලක් කළා.

ශ‍්‍රී ලංකා කාර්මික පර්යේෂණ ආයතනය (ITI), පාරිභෝගික ආරක්ෂණ අධිකාරියේ ඉල්ලීම මත සිදු කළ පරීක්ෂණවලින් හෙළි වූයේ මෙරට වෙළඳපොළේ අලෙවි කැරෙන ක්ෂණික නූඞ්ල්ස් වර්ගවල ඊයම් මට්ටම ඉතා පහළ අගයක් ගන්නා බවයි. එනිසා එය භාවිතයෙන් අහිතකර සෞඛ්‍ය බලපෑමක් සිදු වීමට ඉඩක් නැතත්, මෙරට අලෙවි වන ආහාරපානවල තිබිය හැකි උපරිම ඊයම් (ක්ෂුද්‍ර) මට්ටම ගැන කිසිදු ප‍්‍රමිතියක් නීතිගත කර නැහැ.

මේ නිසා ITI පරීක්ෂණ ප‍්‍රතිඵල සංසන්දනය කර ඇත්තේ මැලේසියාව, සිංගප්පූරු හා ඕස්ටේ‍්‍රලියාව යන රටවල අදාළ ප‍්‍රමිතීන් සමගයි. ඒ අනුව ඊයම් ප්‍රමාණය කිලෝග්‍රෑම් එකකට මිලිග්‍රෑම් දශම තුනක් නොඉක්මවිය යුතුයි (0.3mg/kg).

මෑතදී සෞඛ්‍ය හා පාරිභෝගික ආරක්ෂණ බලධාරීන් තීරණය කර ඇත්තේ මෙරටට පිටරටින් ගෙන එන සියලූ ක්ෂණික නූඞ්ල්ස් අලෙවියට පෙර ඊයම්, කැඞ්මියම්, රසදිය හා අනෙකුත් බැර ලෝහ මට්ටම් සඳහා නීතිගත පරීක්ෂාවට ලක්විය යුතු බවයි. එසේම රජය විසින් සියළු ක්ෂණික නූඞ්ල්ස් වෙළද දැන්වීම් තාවකාලිකව නතර කොට තිබෙනවා.

මේ පරීක්ෂාවන්ට අමතරව MSG මෙරට අධික ලෙස භාවිත වීම ද නියාමන අධීක්ෂණයන්ට ලක් විය යුතුයි. MSG ආහාර රසකාරකයක් ලෙස බොහෝ අවන්හල්වල හා ආහාර විකුණන වෙළඳසැල්වල යොදා ගන්නවා. පාරිභෝගික ආරක්ෂාව ගැන දැඩි සැළකිල්ලක් දක්වන යුරෝපා රටවල් MSG භාවිතයට ඉඩදී ඇතත් එය නිරතුරු නිරීක්ෂණයට හා යම් ප‍්‍රමිතීන්ට යටත් වෙනවා. අපේ රටේ මෙතෙක් එවැනි සීමා නැහැ.

එසේම ක්ෂණික නූඞ්ල්ස්වලින් ඔබ්බට ගොස් නූතන ආහාරපාන රටාවන් දිගු කාලීනව සිදු කරන අහිතකර සෞඛ්‍ය බලපෑම් ගැන පුළුල් සමාජ සංවාදයක් කළ යුතුයි. මෙය එක් බහුජාතික සමාගමක ආහාර වර්ගයක් හෙළා දැකීමේ උද්ඝෝෂණයකට පමණක් සීමා නොවිය යුතුයි.

Fastfood offers a fast track to ill health!
Fastfood offers a fast track to ill health!

ආහාර ගැනීම පෞද්ගලික වූත්, සංස්කෘතික වූත් කාරියක්. තමන් කන බොන හැටි තම රුචි අරුචිකම් අනුව හා ආර්ථික මට්ටමට සරිලන පරිදි තීරණය කිරීමට පුද්ගල නිදහස තිබෙනවා.

එහෙත් ආහාර ගැනීමේ රටා නිසා කල්ගත වීමේදි දියවැඩියාව, හෘද රෝග හා ආඝාතය (stroke) වැනි රෝග බහුල වන විට ඒවාට ප‍්‍රතිකාර කිරීමේ බරෙන් වැඩි කොටසක් පැටවෙන්නේ මහජන මුදලින් නඩත්තු වන සෞඛ්‍ය සේවාවටයි. මේ නිසා හැකි තාක් ජනතාව දැනුවත් කොට, හිතකර ආහාර රටාවලට යොමු කිරීමේ ලොකු සමාජයීය අවශ්‍යතාවක් තිබෙනවා.

පෙර කිසිදා නොකළ තරමට දකුණු ආසියාතික ජනයා දැන් මේදය, සීනි, ලූණු, රසකාරක (flavour enhancers) හා ආහාර කල් තබා ගැනීමට යොදන විවිධ රසායන ද්‍රව්‍ය (preservatives) අඩංගු වූ කල් තබා පිළියෙල කරන ලද ආහාර (processed food) කෑමට ගන්නවා. මේ ආහාර රටාවල විපාක දැනටමත් පෙනෙනවා. ස්ථුලභාවය හා දියවැඩියාව තරුණ වියේ මෙන්ම ළමා වියේ සිටින අය අතර ද හමු වනවා.

මේ ප‍්‍රවණතාවලට ප‍්‍රතිචාර දැක්විය යුත්තේ ආවේගශීලීව නූතන ආහාර රටා හෙළා දැකීමෙන් නොව විද්‍යාත්මක කරුණු එක් රැස් කොට, විශ්ලේෂණය හරහා ප‍්‍රතිවිපාක සමාජයට පෙන්වා දීමෙන්.

ඉන්දියාවේ නාගරික හා අර්ධ නාගරික ප‍්‍රදේශවල ජනප‍්‍රිය වී ඇති කඩිනම් ආහාර (fastfood) වර්ග ගණනාවක් 2012දී විද්‍යාව හා පරිසරය පිළිබඳ කේන්ද්‍රය නම් ස්වාධීන පර්යේෂණායතනය (Centre for Science and Environment, CSE) විසින් සිය රසායනාගාරයේ පරීක්ෂාවට ලක් කැරුණා. ෆ්‍රෙන්ට් ෆ‍්‍රයිස් හා පොටැටෝ චිප්ස් නම් අර්තාපල් පදනම් කර ගත් ආහාරත්, හැම්බර්ගර් හා පීට්සා විශේෂත්, ක්ෂණික නූඞ්ල්ස් වර්ගත් ඔවුන් විමර්ශනය කළා.

ඔවුන් සාක්ෂි සහිතව සොයා ගත්තේ ඒ සියල්ලේම ට‍්‍රාන්ස් ෆැට්ස් (trans fats, or trans-unsaturated fatty acids) නම් අහිතකර මේදයත්, ලූණුත් හිතකර මට්ටම්වලට වඩා බෙහෙවින් ඇති බවයි.

ආහාර අරභයා හිතකර මට්ටම් (safe limits) කියන්නේ කුමක්ද? යම් සුළු මාත‍්‍රාවලින් ආහාරයේ ඇති සංඝටක ජීර්ණය කොට එක්කෝ බැහැර කිරීමට නැතිනම් අවශෝෂණයට ශරීරයට හැකියි. එහෙත් සීමා ඉක්ම වූ විට එම හැකියාව බිඳ වැටෙනවා. එසේම අහිතකර මට්ටම්වලින් නිතර එම සංඝටක ශරීරගත වන විට දිගු කාලීන නිදන්ගත රෝගවලට තුඩු දෙනවා.

fast_food_kills

සිය සොයා ගැනීම් ගැන CSE ආයතනයේ කර්මාන්ත හා පරිසරය ගැන ප‍්‍රධානී චන්ද්‍ර භූෂන් කිවේ, ‘‘මේ අහිතකර ආහාර බොහොමයක් ජාත්‍යන්තරව ක‍්‍රියාත්මක වන ආහාර සමාගම් විසින් නිෂ්පාදිතයි. ඒ වෙළඳනාම ලෝක ප‍්‍රසිද්ධයි. මේ සමාගම් ඇමරිකාවේ මෙම නිෂ්පාදනම අලෙවි කරන විට අන්තර්ගතය ගැන නිවැරදිව හා විස්තරාත්මකව ලේබල්වල තොරතුරු සඳහන් කරනවා. එහෙත් ආහාර ලේබල් කිරීම ගැන ලිහිල් නීතිරීති ඇති අපේ වැනි රටවල ඔවුන් එය යන්තමින් කරනවා. මේවාට එරෙහිව නඩු පැවරුවොත් ඔවුන් උසාවියේදී කියන්නේ රටේ නීතියට අනුකූලව ක‍්‍රියාකරන බවයි.’’

මේ අනුව අහිතකර ආහාරවලින් පාරිභෝගිකයා රැක ගන්නට මුල් පියවර ගත යුත්තේ අපේ රටවල නීති හා රෙගුලාසි වඩාත් තද කිරීමෙන් හා ඒවා හරිහැටි ක‍්‍රියාත්මක කිරීමෙන්.

මේ ගැන CSE ඉන්දියානු බලධාරීන්ට කර ඇති නිර්දේශ එලෙසින්ම අපටත් අදාළ කර ගත හැකියි.

  • සියලූ ක්ෂණික හා කඩිනම් ආහාර වර්ග පාසල් කැන්ටින් මෙන්ම ළමයින් ගැවසෙන වෙනත් ස්ථානවල අලෙවිය තහනම් කරන්න.
  • සෞඛ්‍යයට දිගු කාලීනව අහිතකර බවට වෛද්‍යවරුන් තහවුරු කළ සියලූ ආහාර මාධ්‍ය හරහා ප‍්‍රචාරණය කිරීමේදී දැඩි සීමාවලට යටත් කරන්න.
  • ආහාරපාන අලෙවියට සකසන විට විස්තරාත්මක තොරතුරු පැකට්ටු හෝ ලේබල්වල අඩංගු කිරීම අනිවාර්ය කරන්න. විශේෂයෙන් සංතෘප්ත මේද, ට‍්‍රාන්ස් ෆැට්ස්, සීනි හා ලූණු අන්තර්ගතය මෙන්ම පෝෂණ සංඝටක ගැන ද විස්තර සඳහන් විය යුතුයි.
  • අවන්හල්, සුපර් මාකට් හෝ සාමාන්‍ය කඩ හරහා විකුණන ක්ෂණික හා ඉක්මන් ආහාර සියල්ලේ ලූණු, සීනි හා මේද ප‍්‍රතිශතය අඩු කිරීම නීතිගත කරන්න.
  • ඩෙන්මාර්කය හා හංගරිය වැනි රටවල් දැනටමත් කර ඇති පරිදි මේද අධික ලෙස අඩංගු ආහාරවලට මේද බද්දක් (fat tax) අය කිරීම හරහා ඒවායේ මිල වැඩිවීමට සලස්වන්න.

ගෙවී යන හැම වසරකම අනිසි ආහාර රටා නිසා නිදන්ගත රෝග සෑදීම වැඩිවන බව පෙර අපර දෙදිගම කැරෙන වෛද්‍ය පරීක්ෂණවලින් සනාථ වෙනවා. අප මෙහිදී කතා කරන්නේ ආහාරවලට මුසුව එන වසවිස ශරීරගත වීමෙන් ඇතිවන දිගු කාලීන හානි ගැන නොවෙයි. ඒ බලපෑම්වලට අමතරව ජන සමාජය වසවිස ලෙසින් නොදකින සීනි, ලූණු හා මේද විශේෂයන් ද අධික භාවිතයෙන් දිගුකාලීන බරපතළ රෝග ඇතිවීම ගැනයි. මේ දෙකම මීට වඩා සමාජ අවධානයට හා ප‍්‍රතිපත්ති තීරක අවධානයට ලක් විය යුතුයි.

මෙහිදී වෛද්‍යවරුන් නොවන සෙසු විද්‍යාඥයන්ට ද කළ හැකි කාර්ය භාරයක් තිබෙනවා. පාරිභෝගික ආරක්ෂාවට කැප වුණු රාජ්‍ය හා සිවිල් සමාජ ආයතන සමග එක්වී වෙළෙඳපොලේ අලෙවි කැරෙන සංරක්ෂිත ආහාර හා ඉක්මන් ආහාරවල අන්තර්ගතය නිතිපතා රසායනාගාර පරීක්ෂාවන්ට ලක් කළ යුතුයි. බැර ලෝහ ඇතුළු විවිධ රසායන ද්‍රව්‍ය ආහාරවල තිබිය හැකි උපරිම ආරක්ෂිත මට්ටම් දේශීය වශයෙන් ප‍්‍රමිතිගත කළ යුතුයි. (බොහෝ ආහාරපාන රසායන ද්‍රව්‍ය සඳහා එබඳු උපරිම මට්ටම් ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්ණය කර තිබෙනවා.)

ආන්දෝලනයට තුඩු දෙන කිරිපිටි විස වීමක් හෝ ආහාර ආරක්ෂාව පිළිබඳ වෙනත් ප‍්‍රශ්නයක් මතු වූ අවස්ථාවල මේවා හරිහැටි පිිරික්සන්නට මෙරට රසායනාගාර පහසුකම් නැතැයි කියවෙනවා. පිටරට යවා පිරික්සූ විට එම ක‍්‍රියාදාමයේ විශ්වසනීයත්වය සමහරුන් ප‍්‍රශ්න කරනවා.

හැමදාමත් මේ නැති බැරිකම් කියමින් සිටිනු වෙනුවට අඩු තරමින් එක් අංග සම්පූර්ණ රසායනාගාරයක් මෙරට පිහිටුවා එය පවත්වා ගෙන යන්නට අවශ්‍ය ප‍්‍රතිපාදන වෙන් කළ යුතුයි. රටක් දියුණු වනවා කියන්නේ අධිවේගී මාර්ග හා වෙනත් කොන්ක‍්‍රීට් යටිතල පහසුකම් සැදීම පමණක් නොවෙයි. මෙවැනි පහසුකම් ද අප සාදා ගත යුතුයි.

එසේම අද කාලේ බොහෝ දෙනාට ඉක්මනින් ආහාර පිළියෙල කර ගැනීමට වුවමනාවීම සමාජ යථාර්ථයක් ලෙස පිළි ගෙන එයට උපකාර වන එහෙත් සිරුරට අහිතකර නොවන ආහාර විශේෂ නවෝත්පාදනය කර ප‍්‍රවර්ධනය කළ යුතුයි.

පෝෂණ ගුණය නොනසා, රසකාරක හා සංරක්ෂක රසායන නොයොදා යම් ආහාර සැකසුම් බිහි කරන්නටත්, ඒවා වැඩි වෙහෙසකින් තොරව ඉක්මනින් පිළියෙල කරන්නටත් හැකි වූවොත් එබන්දකට හොඳ වෙළඳපොළ විභවයක් තිබෙනු ඇති. අපේ නව නිපැයුම්කරුවන්ට මේ අභියෝගයට ප‍්‍රතිචාර දැක්විය හැකිද?

Maggi and other instant noodles offer convenient, affordable meals
Maggi and other instant noodles offer convenient, affordable meals

ඉන්දියානු කළමනාකරණ ආයතනය නම් ප‍්‍රකට සරසවියේ ව්‍යාපාරික ක‍්‍රමෝපායන් පිළිබඳ මහාචාර්ය එස්. රඝුනාත් කියන්නේ මැගී ඇතුළු ක්ෂණික නූඞ්ල්ස් වර්ග ඉන්දියාවේ දුගී ජන කොටස් අතර මහත් සේ ජනප‍්‍රියවීමට (ප‍්‍රචාරණයට අමතරව) සමාජ-ආර්ථික සාධක ද තිබූ බවයි.

සාම්ප‍්‍රදායික ආහාර වේලක් (බත් සහ ව්‍යංජන හෝ රොටි වර්ග) පිළියෙල කිරීමට වැඩි කාලයක් මෙන්ම වියදමක්ද අවශ්‍යයි. උසස් අධ්‍යාපනයට හෝ රැකියා කිරීමට හෝ වඩ වඩාත් ඉන්දියානුවක් යොමු වීම සමග කාලය සොයා ගැනීමේ අභියෝගයට ඔවුන් මුහුණ දුන්නා. එහිදී ඔවුන්ගේ උදව්වට ආවේ ඉක්මනින් ගෙදරදී සාදා ගත හැකි මැගී වැනි ක්ෂණික ආහාරයි. බත් වේලක වියදමෙන් තුනෙන් එකක් වීම අමතර වාසියක් වුණා.

නූතන කලබලකාරී සමාජයේ බොහෝ දෙනකු කාලය පිරිමසන උපක‍්‍රම සෙවීම සුලබ දෙයක්. එයට හේතුව අලස බව නොව ඉතිරි කර ගන්නා කාලයෙන් අමතර යමක් ඉගෙනීමට හෝ ආදායමක් ඉපැයීමට හැකි වීමයි. මේ නිසා ගුණදායක හා පෝෂ්‍යදායක ආහාර ප‍්‍රවර්ධනය කිරීම පමණක් සෑහෙන්නේ නැහැ. එවන් ආහාර දරා ගත හැකි (අඩු) මිලකට ගත හැකි වීමත්, ලෙහෙසියෙන් පිළියෙල කර ගත හැකි වීමත් ඉතා වැදගත්.

සිවුමංසල කොලූගැටයා #154: ‘ක්ෂනික කෑමට’ ප‍්‍රතිරෝධයක් ලෙස මතු වූ ‘ලැසි ආහාර’

In this week’s Ravaya column (in Sinhala), I discuss the merits of Slow Food, a concept that originated from Italy in 1986 in defiance of fastfood — but has since grown into a worldwide social movement that critiques industrialised food production and consumption. It has also inspired other pursuits of doing things more reflectively and deliberately slowly – such as Slow Cities, Slow Reading, Slow Travel and Slow Art.

I explored similar grounds in English in a July 2013 column: Stuck in Fast Forward? Slow Down!

slowfood-logo2

‘සුද්දෝ නම් හැම වේලට ම මැක්ඩොනල්ඞ්ස් හා KFC කනවා ඇති නේද?’

අපේ රටට පසුගිය දශකය පමණ කාලය තුළ හදුන්වා දී ඇති හා මහත් සේ ප‍්‍රවර්ධනය කැරෙන ක්ෂනික ආහාර (fastfood) ගැන කුතුහලයක් ඇති තරුණයෙක් මෑතදී මගෙන් එසේ විමසුවා.

මගේ උත්තරය: ‘ඇත්තට ම බොහෝ බටහිර රටවල හැම්බර්ගර් වැනි කෑමවලට එතරම් පිළිගැනීමක් නැහැ.’

බටහිර රටවල් මෙන් ම සුද්දන් ලෙස ද තනි කාණ්ඩයක් නැහැ. අතිශයින් විවිධාකාර සමුහයක් අප එසේ එක් ගොඩකට ගොනු කළත් සමහර දියුණු රටවල ඔවුන්ට ආවේණික ප්‍රෞඩ ආහාරපාන සම්ප‍්‍රදායන් හා එය වටා ජන සංස්කෘතීන් තිබෙනවා. ප‍්‍රංශය, ඉතාලිය හා ජපානය මීට හොඳ උදාහරණයි.

ලෙහිසියට වාසියට සරල සිල්ලර මට්ටමින් අලෙවි කැරෙන ක්ෂනික ආහාර හා ඒවා වටා ගොනු වූ අධිවේගකාරී ජීවන රටාවට එරෙහිව දියුණු රටවලින් ම විකල්ප මතු වී තිබෙනවා. ලැසි ආහාර සම්ප‍්‍රදාය (Slow Food Movement) එයට හොඳ උදාහරණයක්.

1986 වසරේ ඇමරිකානු මැක්ඩොනල්ඞ්ස් සමාගම හැම්බර්ගර් අලෙවි කරන තවත් අවන්හලක් ඉතාලියේ රෝම අගනුවර ඓතිහාසික ස්ථානයක් වන ස්පාඤ්ඤ පියගැටපෙළ (Spanish Steps) අසල පිහිටුවන්නට සැලසුම් කළා. ඒ වන විටත් ඉතාලිය පුරා තැනින් තැන මැක්ඩොනල්ඞ්ස් අවන්හල් ගණනාවක් තිබුණා. එහෙත් මෙතරම් සංස්කෘතික වශයෙන් වැදගත් තැනෙකත් මේ ක්ෂනික කෑම විකුණන්නට තැත් කිරීම ගැන සමහර ජාතිමාමක ඉතාලි ජාතිකයන්ට සියුම් කෝපයක් මතු වුණා.

ඉතාලියට ආවේණික වූ ප‍්‍රබල හා විචිත‍්‍ර ආහාරපාන සම්ප‍්‍රදායන් හා එය වටා බැදුණු ජන සංස්කෘතියක් තිබෙනවා. ඉතාලි සූපවේදයට සුවිශේෂ වූ ඉක්මනින් සාදා අනුභවයට ගත හැකි ක්ෂනික කෑම තිබෙනවා. පීට්සා (Pizza) හා පාස්ටා (pasta) පදනම් කර ගත් මේ ආහාර හදා ගන්නා සැටි ඉතාලියේ ගැහැණු, පිරිමි හා ළමුන් බහුතරයක් කුඩා කල සිට ම දන්නවා. අසල්වැසි ප‍්‍රංශයේ මෙන් සංකීර්ණ සූප සම්ප‍්‍රදායකට වඩා ජනතාවාදී සූප උරුමයක් ඉතාලියේ ඇති බව මේ දෙරටේ ම දශක දෙකක සිට සංචාරය කරන මට අත්දැකීමෙන් කිව හැකියි.

නමුත් මේ සූප උරුමය ඇමරිකානු වාණීජකරණයෙන් තර්ජනයට ලක්වන බව දුටු කාලෝ පෙටී‍්‍රනි (Carlo Petrini) නම් ඉතාලි ජාතික පත‍්‍රකලාවේදියා ඒ ගැන යමක් කළ යුතු යැයි තීරණය කළා. (ඉතිහාසය සැම විට ම වෙනස් වන්නේ අතෘප්තිමත් වූ මිනිසුන් හා ගැහැණුන් එයට ප‍්‍රතිචාර දක්වන විටයි.)

Slow Food founder Carlo Petrini
Slow Food founder Carlo Petrini

ඉතාලි ජාතිකයන්ගේ ආවේණික කෑම බීම හා ඒ වටා බැදුණු සමාජශීලි සම්ප‍්‍රදායන් අගය කරමින් ඒවා රැක ගන්නට සෙමින් කෑමේ හෙවත් ලැසි ආහාර නම් ජනතා ව්‍යාපාරයක්  පෙටී‍්‍රනි ආරම්භ කළා.

ඉතාලියේ දේශීය ආහාර අනන්‍යතාවය වෙනුවෙන් උද්ඝෝෂණය කරන්නට පෙර කාලෝ පෙටී‍්‍රනි එරට ගම් නගර සංචාරය කරමින් කුඩා අවන්හල් හා ප‍්‍රජා මට්ටමේ ආහාර නිෂ්පාදකයන් ගැන එරට පුවත්පත් වලට ලියු කෙනෙක්. පීට්සා, පාස්ටා, චීස් හා වයින්වලට සමීපව බැදුණු ඉතාලියානු සූප උරුමය ගැන ඔහුට හොඳ ප‍්‍රායෝගික දැනුමක් තිබුණා.

ඉතාලි ජාතිකයෝ බොහෝ දෙනකු පවුල හා හිත මිතුරන් බෙහෙවින් අගය කරන අය. ඔවුන් තනිව ආහාර ගන්නවාට වඩා දෙතුන් දෙනෙකුවත් එකට එකතු වී සතුටු සාමිචියෙන් නිවී සැනසිල්ලේ කෑම වේලක් ගන්නට ආසයි. එයට පැයක් හෝ දෙකක් ගත කරන්නට ඔවුන් සුදානම්.

Italian food - Photo courtesy globerove.com
Italian food – Photo courtesy globerove.com

මේ සංස්කෘතික නැඹුරුව පණ ගන්වමින් පෙටී‍්‍රනි කළේ  ඕනෑකමින් ඉතා සෙමින් ආහාර ගන්නා කණ්ඩායම් ද එයට අනුබල දෙන අවන්හල් ද පිහිටුවා ගැනීමයි. තනිකර ස්වේච්ඡා ජනතා ව්‍යාපාරයක් ලෙස ඇරඹුණු  ‘ලැසි ආහාර’ ටික කලකින් අතිශය ජනපි‍්‍රය වූවා.

ලැසි ආහාර ව්‍යාපාරය හුදෙක් කෑම වේලකට බොහෝ කල් ගත කරන සාමීචියක් පමණක් නොවෙයි. තිරසාර නොවූ, යාන්ති‍්‍රක හා වාණීජකරණය වූ ආහාර නිෂ්පාදන හා බෙදා හැරීමේ ක‍්‍රම සියල්ලට මතවාදීව එරෙහි වීමක්. එසේ ම සුළු පරිමාන ගොවීන් හා කුඩා කඩපිල් හා පොල සමග සහයෝගීතාව දැක්වීමක්.

ඉතාලි විරෝධය හමුවේ මැක්ඩොනල්ඞ්ස් සමාගම ඓතිහාසික රෝම ස්ථානවල හැම්බර්ගර් විකිණීමේ සැලසුම් අත් හැරියා. එහෙත් ඒ ජයග‍්‍රහණයෙන් උද්දාම වී නතර නොවු ලැසි ආහාර කි‍්‍රයාකාරිකයෝ එය වඩාත් පුළුල් හා ගැඹුරු මට්ටමකට ගෙන ගියා.

1989 නොවැම්බරයේ මුල් වතාවට මේ සංකල්පයට ලැදි කි‍්‍රයාකාරිකයන් රැසක් ප‍්‍රංශයේ පැරිසියේදී මුණ ගැසී සමුළුවක් පැවැත් වූවා. මේ වන විට ඉතාලි උද්ඝෝෂණයේ යශෝ රාවය යුරෝපය පුරා පැතිර ගොස් තිබුණා. පෙට්‍රිනීගේ මූලිකත්වයෙන් හා ෆොල්කෝ පෝටිනාරි (Folco Portinari) නම් ඉතාලි කවියෙකුගේ ද උදවුවෙන් ඔවුන් ලැසි ආහාර ප‍්‍රඥප්තිය (Slow Food Manifesto) නම් ලියවිල්ලක් පැරිසියේදී කෙටුම්පත් කළා.

එහි මුලික ප‍්‍රවේශය: ‘‘කාර්මිකරණය හා යාන්තී‍්‍රකරණය අපට ප‍්‍රයෝජනවත් වුවත් 20 වන සියවසේදී එදිනෙදා ජීවිතය අධිවේගීකරණයට හා අධියාන්තී‍්‍රකරණයට අප ඉඩ දී තිබෙනවා. ඉවක් බවක් නැතිව හැම කාරිය ම මහා වේගයෙන් කරන්නට වත්මන් සමාජය තැත් කරනවා. මේ අධිවේගය අපේ ජන ජීවිතය, මානසික සුවය හා පෞද්ගලිකත්වයට තර්ජනයක්. ලෞකික සම්පතක් වන ආහාර භුක්ති විදීම නිවි සැනසිල්ලේ කිරීමට ඓතිහාසිකව මිනිසුන්ට තිබු අවකාශය නැවත පාදා ගැනීම අපේ අරමුණයි.’’

slow-food-cover1යුරෝපය පුරා විසිරී පවතින අප‍්‍රකට සූප ශාස්ත‍්‍රයන්, ආහාර වට්ටෝරු, සූප නවෝතපාදන, නව ආරයේ අවන්හල් ආදිය ගැන තොරතුරු රැස් කර බෙදා හදා ගැනීමට ලැසි ආහාර ජනතා ව්‍යාපාරය උත්සුක වුණා. අද මෙන් ඉන්ටර්නෙට් පුළුල් නොවු එකල එය පොත්, සඟරා, පති‍්‍රකා හා වෙනත් මාධ්‍ය හරහා කරනු ලැබුවා.

ලැසි ආහාර සංකල්පය යුරෝපයේ ඉක්මනින් පැතිර ගියේ වීදි ආහාර හා විවේකී ලෙසින් ආහාර ගැනීම හරහා සල්ලාපයේ යෙදීම ඔවුන්ගේ ජන ජීවිතයේ සමීප අංගයක් නිසා. එය යුරෝපයේ දුගී හා පොහොසත් කාටත් පොදු සම්ප‍්‍රදායක්. ඉන් පසු මේ සංකල්පය යුරෝපයෙන් ඔබ්බට ද විහිදී ගියා. http://www.slowfood.com

අද වන විට ආසියාවේ, අපි‍්‍රකාවේ මෙන් ම අමෙරිකාවේ ද මේ සංකල්පය ප‍්‍රවර්ධනය කරන ස්වේච්ඡ කණ්ඩායම් රැසක් බිහි ව තිබෙනවා. ලොව රටවල් 50ක සාමාජිකයන් ලක්‍ෂකය ට වඩා සිටිනවා. ලැසි ආහාර ව්‍යාපාරයේ ලෝක ව්‍යාප්ත සංකේතය ගොළුබෙල්ලායි.

හරිත විප්ලවයේ ධාන්‍ය වර්ග වෙනුවට සාම්ප‍්‍රදායික ධාන්‍ය ප‍්‍රභේද වචන සුළු ගොවීන් දිරිමත් කිරීම හා ජාලකරණය කිරීම ද ඔවුන් සිදු කරනවා. ලැසි ආහාර ව්‍යාපාර, කාබනිකව ආහාර වැවීමේ (organic farming) ව්‍යාපාරයට සමාන්තරයි. මේ දෙපිරිස අතර සහයෝගයක් හා මිතුදමක් ගොඩනැගී තිබෙනවා.

ආහාර වැවීම, ආහාර බෙදා හැරීම, අලෙවිය හා කෑම පිසීම යනු එක ම ප‍්‍රවාහයක පියවර හැටියටයි මේ පිරිස දකින්නේ. ආර්ථික විද්‍යාඥයන් හෝ සමාජ විද්‍යාඥයන් මෙන් මේ කි‍්‍රයාදාමය වෙන් කොට විග‍්‍රහ කරන්නේ නැහැ.

Image from www.wikihow,com
Image from http://www.wikihow,com

‘‘පරිසරවේදීන් හා අප අතර ලොකු ම වෙනස නම් අප ආහාර වැවීම, පිළියෙල කිරීම හා පරිභෝජනය ඉතා  ඕනෑකමින් පී‍්‍රතිදායක ලෙස කිරිමයි. මේ දිව පිනවීම නරක දෙයක් හෝ ප‍්‍රභූ ගතිගුණයක් නොවෙයි. පමණ දැන කරන තාක් කල් පසිඳුරන් පිනවීම මානව පැවැත්මේ වැදගත් අංගයක්. මෙයට දුගී හා ධනවත් කියා භේදයක් නැහැ.’’ පෙටී‍්‍රනි කියනවා.

ලැසි ආහාර කෑමේ විසිතුරු බව මා මුලින් අත් වින්දේ 2003දී ඉතාලියේ ටස්කනි නිම්නයේ රැපලානෝ ටර්මේ (Rapolano Terme) නගරයේ දින කිහිපයක් ගත කළ අවස්ථාවේ. නූතන පහසුකම් හා ජන සංස්කෘතික උරුමය ගැටෙන්නට ඉඩ නොදී මනාව තුලනය කර ගත් ප්‍රෞඪ ඉතාලි ප‍්‍රජාවක් තමන්ගේ ආහාර පාන ජාත්‍යන්තර අමුත්තන් සමග ඉතා සුහදව හා නිර්ව්‍යාජව බෙදා ගත් හැටි ගැන මිහිරි මතකයන් තිබෙනවා.

මෙය ඇමරිකානු විරෝධයක් ද? මා කලක සිට හඳුනන ඉතාලි මිතුරෙකුගෙන් විමසුවා.

ඔහු කියන්නේ මෙය එක් රටකට හෝ ජාතියකට එරෙහි වීමක් නොවෙයි. පාරිභෝගික සමාජය තුළ තමන් රිසි ආකාරයේ ආහාරපාන තමන් ලැදි ශෛලියකින් භුක්ති විදින්නට හැම කෙනෙකුට ම ඇති අයිතිය තහවුරු කර ගැනීමක් පමණයි.

1996 සිට දෙවසරකට වරක් ඉතාලියේ ටොරීනෝ නගරයේ ලැසි ආහාර උත්සවයක් පවත්වනවා (Salone del Gusto). ලොව දසතින් සූපවේදීන්, අවන්හල් හිමියන්, මාධ්‍යවේදීන් හා ආහාරලෝලීන් සිය වියදමින් එහි එනවා. මහා පරිමාණයේ ආහාර සමාගම් නොව පවුල් හිමිකමින් කරන කුඩා පරිමාණ සමාගම් එහි එන්නේ නව දැනුම, අදහස් හා අත්දැකීම් බෙදා ගන්නට.

‘‘සූපවේදය කියන්නේ කලාවක් මෙන් ම විද්‍යාවක් ද වන කාරියක්. එය කෝකියා හෝ අරක්කැමියා මට්ටමෙන් ඔබ්බට යන ජන සංස්කෘතියේ අංගයක්. ගෙදර ගෘහණිය ආහාර පිසුවත්, අවන්හලක නැත්නම් හෝටලයක ආහාර පිසුවත් ඒ හැම දෙනා ම කරන්නේ සියවස් ගණනක උරුමයක් පවත්වා ගෙන යාමයි. අපේ පෞරාණික සිද්ධස්ථාන, මාලිගා හා නටබුන් වගේ මේ සජීව ජන සංස්කෘතියත් වටිනවා. එය රැකෙන්නේ අගය කිරීමෙන් හා ප‍්‍රගුණ කිරීමෙන් පමණයි’’ පෙටී‍්‍රනි කියනවා.

ලැසි ආහාර ව්‍යාපාරය මෑතදී ශී‍්‍ර ලංකාවටත් පැමිණ තිබෙනවා. කුඩා පරිමාණයේ ගොවීන් හා දේශීය ආහාර වට්ටෝරු පෙරමුණට ගනිමින් අපේ කලබලකාරී හා විකාරරූපී ආහාර නිෂ්පාදන හා පරිභෝජන රටාවලට විකල්පයක් මතු කර ගැනීම මේ සඳහා යොමුව සිටින අයගේ අරමුණයි. සූපවේදී දුමින්ද අබේසිරිවර්ධන 2013දී මේ සඳහා එකමුතු (Convivium) සංවිධානය කළා.

Chef Duminda at Salone del Gusto in Torino, 2012: Photo courtesy: http://www.chefduminda.lk
Chef Duminda at Salone del Gusto in Torino, 2012: Photo courtesy: http://www.chefduminda.lk

මේ අතර දේශීය සහල් ප‍්‍රභේද (ජන වී වර්ග) වගා කිරීම හරහා රැක ගැනීමේ නිරතව සිටින පරිසරවේදී තිලක් කාරියවසම් ඒ සම්බන්ධ ජෛව විද්‍යාත්මක හා සංස්කෘතික උරුමය සෙමින් කෑම ව්‍යාපාරය හරහා ලෝකයත් සමග බෙදා ගන්නට උත්සහ කරනවා.

2012දී මුල් වතාවට ටොරීනෝ නුවර ලෝක ලැසි ආහාර උත්සවයේ ලාංකික නියෝජනයක් ද තිබුණා. එයට මුල් වූයේ මෙරට සූප උරුමයේ අක්මුල් සොයා යන්නට උත්සහ කරන සූපවේදීන් පිරිසක්. මෙරට ආහාර පිසීමේදී යොදා ගන්නා දේශීය සහල් වර්ග 8ක්, කුළුබඩු විශේෂ 21ක් හා වෙනත් ධාන්‍ය වර්ග 9ක් ඔවුන් විසින් හුවා දක්වනු ලැබුවා.

එයට අමතරව මෙරට විවිධාකාර ආහාර හා ඖෂධ අවශ්‍යතා සඳහා යොදා ගන්නා මී පැණි සැකසුම් තුනක් ද ප‍්‍රදර්ශනය කෙරුණා. වැදි ජනතාවගේ ආවේණික ක‍්‍රමයකට සකස් කර ගත් මී පැණි ද ඒ අතර වුවා.

සුළු ගොවීන්, සූපවේදීන්, කුඩා ව්‍යාපාරිකයන් හා පරිසරවේදීන් හරහා මුළුමනින් නිල නොවන මට්ටමින් මේ ව්‍යාපාරය මෙරට මතුව ඒම හොඳ ප‍්‍රවණතාවක්. හැම දෙයක් ම මහා පරිමාණයෙන් හා අධිවේගීව කරන්නට රාජ්‍ය ආයතන හා ලොකු ව්‍යාපාරිකයන් කැස කවන මේ යුගයේ ලැසි ආහාර සංකල්පය සෙමින් සෙමින් හෝ වත්මන් ලක් සමාජයේ ඇගැයීමට ලක් වනු ඇති.

(ස්තූතිය: එස්. එම්. බන්දුසීල හා තිලක් කාරියවසම්)

Image courtesy - www.slowfood.com
Image courtesy – http://www.slowfood.com