සිවුමංසල කොලූගැටයා #254: ලක් සමාජයේ නිදන්ගත රාජ උන්මාදය තුරන් කරමු!

Last king of Ceylon, Sri Wickrama Rajasinghe's court
Last king of Ceylon, Sri Wickrama Rajasinghe’s court

In this week’s Ravaya column (appearing in issue of 24 January 2016), I wonder why some people in Sri Lanka – including educated ones – keep clamouring for a return to monarchy that ended 200 years ago.

The Lankan monarchy always remained absolute until it ended in 1815. There were no formal limits to the monarch’s powers, even though Dasa-Raja-Dhamma or the ‘Ten Royal Virtues’ in Buddhism were meant to moderate that power. In practice, many monarchs ignored it.

There was never a local equivalent of the Magna Carta, adopted in medieval England in 1215 as the first formal document stating that a King had to follow the laws of the land (‘Rule of Law’). It guaranteed the rights of individuals against the wishes of the King. This paved the way for trial by jury which means people are tried by their peers and guaranteed the civil rights of the individual.

This was never the case in Sri Lanka where all powerful and feudal king could – and often did – execute anyone who disagreed with him.

Those who clamour for the restoration of monarchy in Sri Lanka don’t know or overlook how feudal, unrestrained and unaccountable the monarchy was. And shrewd politicians use this misplaced desire to project themselves as modern-day monarchs, i.e. figures of veneration who by historical implication need to be treated as ‘above the law’, and custodian of all the state’s wealth. Hmm…

I also look at how Nepal abolished its monarchy in 2008 and Bhutan became a Constitutional Monarchy in recent years – steps towards modernity and democracy.

Controversial song to mark first anniversary of Maithripala Sirisena - later disowned by the Presidential Secretariat of Sri Lanka
Controversial song to mark first anniversary of Maithripala Sirisena – later disowned by the Presidential Secretariat of Sri Lanka

මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපති පදවියට පත්වී පළමුවන සංවත්සරය නිමිති කර ගෙන නිර්මාණය කළ ‘නුඹ අපේ මිනිහෙක්’ ගීතය මහත් ආන්දෝලනයක් ඇති කළා.

ජනපතිගේ නිජබිම වන පොළොන්නරුවේ අතීත ශ‍්‍රී විභූතිය හා රාජධානිය නිරූපණය කළ මේ ගීතය මගින් සිරිසේන චරිතයට රාජභාවයක් ආරෝපණය කරන්නට තැත් කරනවා යන හැඟීම එය දුටු සමහරුන් තුළ හට ගත්තා.

එවන් අරමුණක් තමන්ට නොතිබිණියැ’යි නිෂ්පාදකයන් පසුව කියා සිටි අතර මෙය කිසිසේත්ම නිල ගීතයක් නොවේයැ’යි ජනාධිපති ලේකම්වරයාට කීමට සිදු වුණා.

මගේ අරමුණ මේ තර්ක විතර්ක ප‍්‍රශ්න කිරීම නොවෙයි. ශ‍්‍රී ලංකාවේ රාජ පෙළපත අවසන් වී වසර 200ක් ගත වූ පසුත් අප සමාජයේ ඇතැම් තලයන්හි රජ කාලයට හා රාජ පාලනයකට ඇති නොමඩනා ලද අතීතකාමය (රාජ-කාමය?) ගැන විග‍්‍රහ කිරීමයි.

මෙය හුදෙක් ශාස්ත‍්‍රීය ගැටලූවක් පමණක් නොවෙයි. රාජකාමය මගින් අපේ සමහරුන්ගේ තර්ක බුද්ධිය මොට කිරීම හෝ අන්ධ කිරීම හෝ සිදු වන බව පෙනෙනවා. ශාස්ත‍්‍රාල උගතුන් ඇතැම් දෙනා පවා මේ අන්ධානුභක්තියට දායක වන්නේ ඉතිහාසය සීරුවෙන් ප‍්‍රතිවිග‍්‍රහ කිරීමෙන්. පුරා විද්‍යාත්මක සාක්ෂිවලට වඩා අර්ධ-ප‍්‍රබන්ධාත්මක හා අතිශයෝක්තිවලින් ගහන වංශ කතා යොදා ගනිමින් මෙරට අතීත ශ‍්‍රී විභූතිය වර්ණනා කරනවා.

අපේ සංස්කෘතික උරුමය හා තාක්ෂණික හපන්කම් ගැන කිසිදු විවාදයක් නැහැ. එය මැදහත් පර්යේෂකයන් විසින් ගවේෂණාත්මකව තහවුරු කර තිබෙනවා.

එහෙත් අතිශයින්ම වැඩවසම් වූ රාජ පාලන ක‍්‍රමය යටතේ සාමාන්‍ය ජනයාගේ ජීවිතය කෙසේ වීද?

රජ පවුලට හා රභූන් සීමිත පිරිසකට දිවි ඇති තෙක් යටත්වැසියන්ව, බයෙන් හා පක්ෂපාතීකමින් සිටි ඔවුන්ට ලොකු සිහින දකින්නට ඉඩක් හෝ කිසිදු මූලික මානව අයිතිවාසිකමක් හෝ තිබුණේ නැහැ. මේ පැතිකඩ යන්තමින් හෝ අපට හෙළි වන්නේ රොබට් නොක්ස් වැනි පිටස්තරයන් තැබූ වාර්තාවල පමණයි.

Painting by Lankan artist Prasanna Weerakkody. http://prasannaweerakkody.com
Painting by Lankan artist Prasanna Weerakkody. http://prasannaweerakkody.com

රජුගේ බලතල සාධාරණව සීමා කැරෙන, බි‍්‍රතාන්‍යයේ 1215දී සම්මත කරගත් මැග්නා කාටාව (Magna Carta) වැනි ලේඛනයක් කිසි දිනෙක අපේ රටේ මතුව ආයේ නැහැ. රජු යම් තරමකට හෝ සවන් දුන්නේ පූජකයන්ට පමණයි. මේ වරප‍්‍රසාදයෙන් පූජකයන් බොහෝ අනිසි ප‍්‍රයෝජන ගත්තා.

සිවුමංසල කොලූගැටයා #217: වසර 800කට පෙර යහපාලන අඩිතාලම දැමූ මැග්නා කාටාව

රජුට එරෙහිව කලාතුරකින් හෝ ප‍්‍රශ්න කළ සියලූ අය රාජ ද්‍රෝහීන් යයි සළකා අත්තනෝමතික ලෙස මරා දමනු ලැබුවා. රාජ්‍යය යනු රජුය යන ප්‍රාථමික අදහස හැමදාමත් පැවතියාග විකල්ප මතවාදයන් හා ස්වාධීන චින්තනය වැනි දෙයට කිසිදු ඉඩක් තිබුණේ නැහැ.

මහරජාණෙනි කියා ගීතවලින් ප‍්‍රශස්ති ලද හිටපු පාලකයන් අප කැඳවා ගෙන යන්නට තැත් කළේත් එබඳු යුගයකටද?

වත්මන් දේශපාලනයට එහා මානයකට අයත් සමාජ විද්‍යාත්මක ප‍්‍රවණතාවක් මෙහි තිබෙනවා.

තමන් පැරණි රජ පෙළපතකින් පැවත එන බව ප‍්‍රසිද්ධියේ කීමට පුරුදු වූ ටික දෙනකු මෑතක් වන තුරු මෙරට සිටියා. එයින් සමහරුන් එය සනාථ කිරීමට පෙළපත් පවුල් ගස් පවා ඉදිරිපත් කළා. එහෙත් ඒ කතා පම්පෝරිවලින් ඔබ්බට ගියේ නැහැ.

වඩා මෑතදී මහජන ඡන්දයෙන් පත්වූ නායකයන්ට පැරණි වැඩවසම් රාජ තත්ත්වය දීමට අදූරදර්ශී වන්දිභට්ටයන් හා සටකපට කලාකරුවන් උත්සාහ කළ සැටි අප දන්නවා.

(හීනමානයක් ඇති?) නායකයන් මේ උත්සාහයන් ඉවසන්නේ හා සමහර රටවැසියන් මේ ප‍්‍රලාප අදහන්නේ ඇයි? ප‍්‍රබන්ධාත්මක රාජ කතා රූප ගතකොට චිත‍්‍රපට යයි ලේබල් ගසා මහජන ප‍්‍රදර්ශනය කරන විට දහස් ගණනින් පෙළ ගැසී ඒවා නරඹන්නේ ඇයි? අවශේෂ වූ රාජකාමය (residual monarchism) මෙයට හේතු විය යුතුයි.

මේ ඓතිහාසික ඇබ්බැහිය නිසාදෝ රජකු හා රාජාණ්ඩුවක් නැවත ලබා ගැනීමේ සිහින දකින සමහර ලාංකිකයන් තවමත් සිටිනවා. ජන ප්‍රවාදයෙන්ද මීට උඩගෙඩි ලැබෙනවා.

1815 මාර්තු 2 වනදා කන්ද උඩරට ගිවිසුම අත්සන් තැබීම සමග සමස්ත ලංකා දිවයින බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යයට යටත් වුණා. එයින් ටික දිනකට පසු කුංකුනාවේ හිමියන් බිම දිගේ සීරුවෙන් ඇදී යන කුහුඹු පෙළක් දැක ‘අනේ කූඹියනේ, තොපටත් රජෙක් ඉන්නේ’ නම් කව කී බව කියැවෙනවා.

ඔහු තව දුරටත් මෙසේ කීවාලු:

‘රජෙක් ලැබුණෝතින්

එදා කිරිබත් කන්නේ

පෙරහැර කරන්නේ

සාදු නාදෙන් ගිගුම් දෙන්නේ’

එහෙත් මෙහි සත්ත්ව විද්යාත්මක පදනමක් නම් නැහැ. ලෝකයේ මේ දක්වා කුහුඹු විශේෂ 20,000කට වඩා සොයා ගෙන තිබෙනවා. මානවයන්ට පසුව වඩාත්ම සමාජ සංවිධානයක් ඇත්තේ කුහුඹියන්ට බව ඔවුන් අධ්‍යනය කරන කීට විද්‍යාඥයන්ගේ අදහසයි.

Queen Ant and worker ants
Queen Ant and worker ants

ඇත්තටම කුහුඹි ගුලක ඉන්නේ රජෙක් නොවෙයි රැජිනක්. රැජිනට කිසිදු පරිපාලන හෝ විධායක බලයක් නැහැ. ඇගේ එකම කාරිය රජනනයයි. කුහුඹි ප‍්‍රජාවක් ගොඩ නැගුණු විට ඇය දිගටම බිත්තර දැමීම කරනවා. ඇයට අවශ්‍ය ආහාර ලබා දීමත්, අපද්‍රව්‍ය ඉවත ගෙන යාමත් අනෙක් කුහුඹුවන් විසින් කරනු ලබනවා. මෙය ඇගේ සමාජ තත්ත්වයට වඩා වර්ගයාගේ පැවැත්ම සඳහා ක‍්‍රියාත්මක වන පරිණාමීය ආවේගයක් පමණයි.

කුහුඹි රැජින කොලනියක හෙවත් ගුලක සෙසු සියලූ කුහුඹින්ගේ මාතාවයි. සමහර කුහුඹි විශේෂ විරුද්ධ ලිංගිකයන්ගේ සහායකින් තොරව ජෛව පිටපත් බිහි කිරීමට (cloning) සමත්. කුහුඹි විශේෂය අනුව එක ගුලක එක් රැජින කුහුඹියකු හෝ රැජිනන් ගණනාවක් සිටිය හැකියි. මිනිසුන් විසින් රැජින යන නාමය (Queen Ant) යෙදුවත් එහිදී සිදු වන ක‍්‍රියාවලිය මිනිස් සමාජවල රජ පරපුරකට සම කරන්නට බැහැ.

රාජ පාලනය මානව සමාජ පරිණාමයේ එක් අවස්ථාවක් සටහන් කරනවා. එහෙත් අද වන විට බහුතරයක් සමාජ එම අවධිය පසු කර ඉදිරියට ගොස් තිබෙනවා.

21 වන සියවස 2001දී ඇරඹෙන විට දකුණු ආසියානු (සාක්) කලාපයේ රජුන් සහිත රටවල් දෙකක් තිබුණා. එනම් භූතානය හා නේපාලයයි. මේ හිමාලයානු රාජධානි දෙකම ගෙවී ගිය දශක එක හමාර තුළ ලොකු විපර්යාසවලට බඳුන් වුණා. ඔවුන්ගේ අත්දැකීම කෙටියෙන් විමසීම වැදගත්.

භූතානයේ රජ පෙළපතට එතරම් දිගු ඉතිහාසයක් නැහැ. ප‍්‍රාදේශීයව එරට බලයක් තිබූ ප‍්‍රභූවරයකු වූ උග්යන් වංචුක් (Ugyen Wangchuck) 1907දී බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යයේද උදව් ඇතිව සෙසු ප‍්‍රභූන් අබිබවා නැගී සිටියා. එතැන් පටන් ඔහු භූතානයේ මකර රාජ වංශය ඇරඹුවා.

භූතානය කිසි දිනෙක බි‍්‍රතාන්‍ය යටත්විජිතයක් වූයේ නැහැ. එහෙත් භූතානයේ රජුන් බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යය සමග සහයෝගිතා ගිවිසුමක් අත්සන් කළා. ඒ අනුව ඉන්දියාවේ මහරාජාවරුන්ට බි‍්‍රතාන්‍ය පාලනය යටතේ දී තිබූ නිදහසට සමාන ස්වයංපාලන අයිතියක් භූතානයට ද ලැබුණා. එහෙත් විදේශ සබඳතා හා ජාතික ආරක්ෂාව බි‍්‍රතාන්‍ය අධීක්ෂණය යටතේ පැවතුණා. මේ තත්ත්වය අවසන් වූයේ 1949දීයි.

1907 සිට මේ දක්වා භූතානයේ රජවරුන් පස්දෙනකු රජකම් කොට තිබෙනවා. ඒ අතරින් 1972 සිට 2006 දක්වා රජ කළ ජිග්මේ සිංයේ වංචුක් (Jigme Singye Wangchuck) රජු එරට සෙමින් හා සීරුවෙන් නවීකරණය කිරීම ඇරඹුවා. ලොව ප‍්‍රකට වූ දළ ජාතික සන්තුෂ්ටිය (Gross National Happiness) පිළිබඳ සංකල්පයේ නිර්මාතෘවරයා වූ ඔහු එරටට නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කළා.

එහෙත් එය සම්මත කරගත්තේ ඔහුගේ පුත් ජිග්මේ කේසර් නම්යල් වංචුක් (Jigme Khesar Namgyel Wangchuck) 2006 දෙසැම්බරයේ කිරුළ භාර ගත් පසුවයි. මේ දක්වාත් රජ කරන මේ පස්වන භූතාන රජු, සිය රටට ප‍්‍රජාතන්ත‍්‍රවාදය හඳුන්වා දුන්නා.

ඒ අනුව අසීමිත බලතල සහිත රජකු වෙනුවට දැන් භූතානයේ ඇත්තේ ව්‍යවස්ථානුකූල රාජ්‍ය පාලනයක් (Constitutional Monarchy). මහජන ඡන්දයෙන් තේරී පත් වන පාර්ලිමේන්තුවක් ආණ්ඩු කරනවා. රටේ රාජ්‍ය නායකයා ලෙස සීමිත හා නිශ්චිත බලයක් රජුට තිබෙනවා. මෙය බි‍්‍රතාන්‍යයේ හා තායිලන්තයේ රජුන්ට සම කළ හැකියි.

සියවස් ගණනක් පැවති වැඩසම් සම්ප‍්‍රදායකින් නූතන ජනසම්මතවාදී රාජ්‍ය පාලනයකට එක් පරම්පරාවක් තුළ පිවිසෙන්නට භූතානයට හැකිව තිබෙනවා. හොඳ අධ්‍යාපනයක් ලැබූ, රට ලෝකය ගැන අවබෝධයක් ඇති රජ පෙළපතක් සිටීම ඔවුන්ගේ භාග්‍යය වුණා.

එහෙත් ඔවුන්ගේ අසල්වැසි නේපාලයේ තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස්.

නේපාලය රාජධානියක් ලෙස පිහිටුවනු ලැබුවේ 1788දී. වෙනම පාලනය වූ ප‍්‍රාදේශීය රාජධානි කිහිපයක් එක්සත් කළ ප‍්‍රථම රජු වූයේ ප‍්‍රිත්වි නාරයන් ෂා (Prithvi Narayan Shah). එතැන් පටන් 2008 දක්වා වසර 220ක කාලයක් පුරා ෂා පෙළපතේ රජුන් 14 දෙනකු නේපාලය පාලනය කළා. මෙයින් යම් වකවානුවකදී බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යයේ ආරක්ෂාව ලබා ගත්ත ද නේපාලය ද කිසි දිනෙක යටත් විජිතයක් වූයේ නැහැ.

බොහෝ කාලයක් පුරා අසීමිත බලැති වැඩවසම් රාජ පාලනයක් තිබූ නේපාලයේ ජන උද්ඝෝෂණවලට ප‍්‍රතිචාරයක් ලෙස 1990දී ව්‍යවස්ථාවක් හඳුන්වා දෙනු ලැබුවා. මේ අනුව ඡන්දයෙන් තෝරා පත් කර ගන්නා පාර්ලිමේන්තුවකට ආණ්ඩුකරණය භාර වූ අතර රජු ව්‍යවස්ථානුකූලව රජකු බවට පත්වුණා.

1996දී මාවෝවාදී නේපාල කොමියුනිස්ට් පක්ෂය, එරට රාජ පෙළපත මුළුමනින්ම ප‍්‍රතික්ෂේප කරමින් රට ජනරජයක් බවට පත් කිරීම සඳහා සන්නද්ධ අරගලයක් ඇරඹුවා. 1996-2006 දශකය තුළ ඇවිලී ගිය නේපාල සිවිල් යුද්ධයෙන් 12,000කට වැඩි සංඛ්‍යාවක් මිය ගොස් රට අරාජික තත්ත්වයට මුහුණ දුන්නා.

තත්ත්වය බැරෑරුම් වූ විට රටේ ව්‍යවස්ථාව අත්හිට වූ ඥානේන්ද්‍ර රජු, 2005 පෙබරවාරි 1 වනදා සිට ආඥාදායක ඍජු පාලනයක් ඇරඹුවා.

ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ අඩුපාඩු ඇතත් නැවතත් වැඩවසම් රාජ්‍ය පාලනයකට නතු වීමට නොකැමැති වූ ලක්ෂ සංඛ්‍යාත නේපාල ජාතිකයෝ රජුට එරෙහිව දිගින් දිගටම වීදි උද්ඝෝෂණ කළා. දැඩි මර්දනයක් හරහාත් තත්ත්වය සමනය කර ගන්නට බැරි වූ විට රජු පියවරක් ආපස්සට ගත්තා.

2006 අපේ‍්‍රල් මස අසීමිත බලතල අත්හැරි රජු නැවත එරට පාර්ලිමේන්තුවට ආණ්ඩුකරණයට ඉඩ දුන්නා. 2006 නොවැම්බර් 21දා සිවිල් යුද්ධය හමාර වූයේ මාවෝවාදීන් හා නව රජය අතර සාම ගිවිසුමක් අත්සන් කිරීමෙන්.

2007 ජනවාරියේ එරට පාර්ලිමේන්තුව නීත්‍යනුකූල ලෙස රජුගේ බලතල සියල්ල අත්හිට වූවා. අන්තිමේදී 2008 මැයි 28 වැනිදා රාජ පාලනය මුළුමනින් තුරන් කොට, නේපාලය ජනරජයක් බවට ව්‍යවස්ථානුකූලව පත් වුණා.

මෙසේ මා සම්පිණ්ඩනය කළේ සංකීර්ණ ක‍්‍රියාවලියක්. එය තවමත් පරිපූර්ණ වී නැහැ. එහෙත් අසීමිත බලැති වැඩවසම් රජකු හා රජ පෙළපතක් නූතන රාජ්‍යයකට අවශ්‍ය නැති බව නම් නේපාල වැසියන් අති බහුතරයකගේ පිළිගැනීමයි.

මේ දකුණු ආසියාතික දෙරටේම ජාතික මට්ටමේ රාජ පාලනයක් පැවතියේ සාපේක්ෂව කෙටි කාලයක් බවත්, එනිසා එරටවල රාජ ඇබ්බැහිය එතරම් කිඳා බැස නොතිබූ බවත් කියා යමකුට තර්ක කළ හැකියි. එහෙත් අපටත් වඩා දිගු හා ප්‍රෞඨ රාජ වංශයන් පැවති ඊජිප්තුව, ඉරානය (පර්සියාව) හා භාරතය වැනි රටවල අපේ මෙන් රාජ උන්මාදයක් දක්නට නැහැ. මේ ඇයි?

ඊජිප්තුවේ 1 වන ෆාරුක් රජු (1920-1965) වරක් කීවේ ‘අන්තිමේදී ලෝකයේ ඉතිරි වනු ඇත්තේ බි‍්‍රතාන්‍ය රජුත්, කාඞ් කුට්ටමේ රජුන් හතර දෙනාත් පමණයි.’ සමහර විට මෙය යම් දිනෙක සැබෑ වේවි. එහෙත් අසීමිත බලතල සතු වැඩවසම් රජවරුන්ට නම් ශිෂ්ට ලෝකයේ තව දුරටත් ඉඩක් නැති බව නම් පැහැදිලියි.

මේ රාජ උන්මාදය වත්මන් සමාජයට උචිත වූවක් නොවෙයිග ඉතිහාසඥ ආචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරි මෙයට අදාලව 2015 මැදදී මෙසේ කීවා:

“රජෙක් සදහා වන ෆැන්ටසිමය ආකර්ශනය මිනිස් විෂයේ සැකැස්ම සමග සම්බන්ධිත වූවකි. මෙම ෆැන්ටසිය නවීන ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පරිකල්පනය සමග ප්‍රතිවිරෝධී වේ. කෙසේ වෙතත් දේශපාලන වශ‍ෙයන් ප්‍රජාතන්ත්‍රීකරණය මුහුකුරා ගිය සමාජවල මේ ගැටලුවට ප්‍රායෝගික විසදුමක් සොයාගෙන ඇත. ඒ රජෙක් හෝ රැජනක් සංකේතාත්මක වශයෙන් දේශපාලන ධූරාවලියේ ඉහලින් තබා ගැනීමෙනි. මේ මගින් පොදුජන දේශපාලන ෆැන්ටසිය සහ ප්‍රජාතන්ත්‍රීය ආණ්ඩුකරණය අතර ඇති විය හැකි ආතතිය සමනය කර ගෙන ඇත.

“අරාබි ලොකය මේ ගැටලුව විසදා නොගැනීම පිළිබද වර්තමානයේ හොදම උදාහරණයයි. ජර්මනියේ හිට්ලර් පිළීබද උදාහරණයද එවැන්නකි. ලංකාවේ මහින්දවාදයද මේ ගැටලුව තුළ හිරවී ඇත. එය විසින් රජෙක් පිළිබද පොදුජන ෆැන්ටසිය හා දේශප්‍රෙමය පිළිබද ව්‍යාජ දෘෂ්ටිවාදී පිරිවැස්ම උපයෝගී කර ගෙන ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය අඩස්සිගත කරනු ලැබ ඇත. මේ ප්‍රවණතාවය පරාජය කිරීම වර්තමානයේ ලංකාවේ ප්‍රමුඛ දේශපාලන අවශ්‍යතාවයයි.”

සිවුමංසල කොලූගැටයා #217: වසර 800කට පෙර යහපාලන අඩිතාලම දැමූ මැග්නා කාටාව

In this week’s Ravaya column (in Sinhala, published in issue of 3 May 2015), I talk about the Magna Carta, one of the most famous documents in the world. This years marks the 800th anniversary of its adoption in medieval England in 1215.

It was the first formal document stating that a King had to follow the laws of the land (‘Rule of Law’). It guaranteed the rights of individuals against the wishes of the King. This laid the way for trial by jury which means people are tried by their peers and guaranteed the civil rights of the individual.

The Magna Carta established the principle that the people of England, at this stage represented by the Barons, could limit the power of a King, if he was doing things that were not good for the country. It had far-reaching influence on both sides of the Atlantic over the centuries.

However, the Lankan monarchy always remained absolute until it ended in 1815. There were no formal limits to the monarch’s powers, even though Dasa-Raja-Dhamma or the ‘Ten Royal Virtues’ in Buddhism were meant to moderate that power. In practice, many monarchs ignored it.

Those who clamour for the restoration of monarchy in Sri Lanka don’t know — or overlook — just how feudal, unrestrained and unaccountable the monarchy was.

King John seals the Magna Carta on 15 June 1215. Photo by Universal History
King John seals the Magna Carta on 15 June 1215. Photo by Universal History

මෙබඳු තත්ත්වයක් මොහොතකට පරිකල්පනය කරන්න.

යම් රටක සර්වබල සම්පන්න රජෙක් සිටිනවා. රාජ්‍ය ආරක්ෂාව හා රාජ්‍ය පාලනය ගැන වග කියනවාට අමතරව ඔහු රටේ සියලූ භූමියේ තනි හිමිකරුවායි. රටේ භාණ්ඩාගාරය ඔහුගේ පෞද්ගලික ධන සම්පත ලෙස සිත් සේ වියදම් කරනවා.

ඔහුට, රජ පවුලට හා ඔහුගේ සමීපතයන්ට රටේ අන් අයට බලපාන නීතිරීති අදාළ වන්නේ නැහැ. ඉහළට එන සියලූ නඩු අසන්නේත්, තීන්දු දෙන්නේත් රජු විසින්. එපමණක් නොවෙයි. රටේ ඕනෑම පුරවැසියකුගෙන් වේතනයක් නොගෙවා බලහත්කාරයෙන් වැඩ කරවා ගැනීමට රජ වාසලට හැකියි. එයට රාජකාරිය යයි කියනවා. රජුට හා ඔහුගේ පුත‍්‍රයන්ට රටේ ඕනෑම කාන්තාවක් හිතුමතයට අන්තඃපුරයට ගෙන යා හැකියි. එම කතුන් පුරවැසියකුගේ දියණියන් හෝ බිරිඳන් වීම ඔවුන්ට ප‍්‍රශ්නයක් නොවෙයි.

කොටින්ම කිවහොත් රටේ වැසියන්ට කිසිදු අයිතිවාසිකමක් නැහැ. මේ කිසිවක් ගැන ප‍්‍රශ්න කළොත් හෝ විවේචනය කළොත් හිරබත් කන්නට හෝ හිස ගසා දැමීමට ලක් වනවා. රජු යම් තරමකට හෝ සවන් දෙන්නේ ආගමික පූජකයන්ට පමණයි. මේ වරප‍්‍රසාදයෙන් පූජකයන් බොහෝ අනිසි ප‍්‍රයෝජන ගන්නවා.

සියලූ සැප සම්පත් හා බලතල ඇතත් රජු නිතරම සිටින්නේ කුමන්ත‍්‍රණ හා පරලොව ගැන බියෙන්…

ඉතිහාසයේ වැඩි කලක් තිස්සේ බොහෝ පාලකයන්ට සීමාරහිත බලතල හිමිව තිබුණා. මේ නිසා බලකාමයෙන් මත් වූ ඇතැම් පාලකයො අත්තනෝමතික හා අන්තවාදී ලෙස ක‍්‍රියා කළා. ඔවුන් නීතියට, සදාචාරයට ඉහළින් යන විට සමනය කර ගන්නට ක‍්‍රමවේදයක් තිබුණේ නැහැ.

පාරම්පරිකව හෝ කුමන්ත‍්‍රණයකින් හෝ යටත් කර ගැනීමකින් හෝ රටක බලයට පත් වන පාලකයා හිතුමතේ ක‍්‍රියා කිරීම ඉතිහාසයේ බොහෝ කලක් පැවතුණු සම්ප‍්‍රදායක්. (ශී‍්‍ර ලංකාවේ 1815න් අවසන් වූ රාජ වංශයටත් එය අදාළයි.)

අද රාජාණ්ඩු ලෝකයේ ඉතිරිව ඇත්තේ කිහිපයක් පමණක් වුවත් අසීමිත බලය අතට ගත් ජනාධිපතිවරුන්, අගමැතිවරුන් හෝ හමුදා පාලකයන් ගැන අපට විටින් විට අසන්නට ලැබෙනවා.

එහෙත් මෙය ශිෂ්ට සමාජවලට කිසිසේත් නොගැලපෙන බවත්, පාලකයා රටේ නීතියට යටත් විය යුතු බවත් අද ලෝක සම්මත පිළිගැනීමයි. දේශපාලන චින්තනය මෙතැනට ගෙන ඒමට තීරණාත්මකව වූ වැදගත් ලියවිල්ලකට 2015දී වසර 800ක් සපිරෙනවා.

එය මැග්නා කාටා (Magna Carta) හෙවත් මහා ප‍්‍රඥප්තිය නමින් 1215දී මධ්‍යකාලීන එංගලන්තයේ සම්මත කරනු ලැබූවක්. පසු කලෙක එය ලෝකයටම බලපෑමක් කළා. මැග්නා කාටාව මානව ඉතිහාසයේ යුක්තිය, සාධාරණත්වය හා මූලික අයිතිවාසිකම් නිරවුල්ව පැහැදිලි කළ හා ප‍්‍රබලව ලේඛනගත කළ මුල්ම ලියවිල්ලයි.

The Magna Carta of 1215, written in iron gall ink on parchment in medieval Latin, using standard abbreviations of the period, authenticated with the Great Seal of King John (image courtesy Wikipedia)
The Magna Carta of 1215, written in iron gall ink on parchment in medieval Latin, using standard abbreviations of the period, authenticated with the Great Seal of King John (image courtesy Wikipedia)

පාර්ච්මන්ට් කඩදාසියේ මුළුමනින්ම ලතින් බසින් ලියැවුණු එය වචන 3,550ක් දිගයි. (එකල ගරු ගාම්භීර භාෂාව වූයේ ලතින්.) කෙටි පරිච්ෙඡ්ද 63කට එය බෙදා තිබෙනවා.

http://www.bl.uk/magna-carta

එංගලන්තයේ එවකට සිටි ජෝන් රජු 1215 ජූනි 15 වනදා තම රාජකීය මුද්‍රාව තබා එය නිල ලියවිල්ලක් බවට පත් කළා. එයට පසුබිම වූයේ ඔහුට එරෙහිව රටේ ප‍්‍රභූන් හා මහජනතාවගෙන් මතු වී ආ ප‍්‍රබල විරෝධයයි.

ප්‍රංශයේ නෝමැන්ඩියේදී ලද හමුදාමය පරාජයත්, රජු විසින් රට වැසියන්ට නිර්දය ලෙස සැලකීමත් නිසා දැඩි කලකිරීමට පත් බොහෝ දෙනා ඔහුට එරෙහිව කැරලි ගසන්නට ආසන්න වෙමින් තිබුණා. කිරුල හා පණ බේරා ගැනීම සඳහා යහපාලන ප‍්‍රතිඥා ගණනාවක් දීමට රජුට සිදු වුණා.

ජෝන් රජුගේ මේ පියවරෙන් වුවද ඔහුට රජකම රැක ගත හැකි වූයේ ටික කාලයකට පමණයි. 1216 ඔක්තෝබරයේ ඔහු මිය ගියා. ඔහුගේ අනුප‍්‍රාප්තික ලාබාල තුන්වන හෙන්රි රජු වඩාත් ප‍්‍රගතිශීලි මැග්නා කාටා සංශෝධනයක් සම්මත කළා. 1225දී යළිත් සංශෝධනය කරනු ලැබූ ලියවිල්ල තමයි දැන් ඓතිහාසිකව පිළි ගැනෙන්නේ.

මධ්‍ය කාලීන එංගලන්තයට වැදගත් වූ බොහෝ දේ එහි ඇතුළත් වුවද සදාතනික වටිනාකමක් ඇති ප‍්‍රධානතම සංකල්පය ලෙස එයින් මතු වූයේ නීතියේ ආධිපත්‍යයයි (Rule of Law). එනම් රජුට හිතුමතයට නීති හෝ බදු පැනවීමට නොහැකි බව හා අන් සෑම දෙනා මෙන්ම රජු හා ඔහුගේ පවුල, ඇමතීන් හා ප‍්‍රභූන් ද එක සේ රටේ නීතියට යටත් වන බව පැහැදිලිව පිළිගැනීමයි.

What is the Rule of Law? Simplified explanation

මෙය අද කාලේ ලෝක සම්මත ශිෂ්ට සම්ප‍්‍රදායක් ලෙස අප දැන සිටියත්, ඒ වන තුරු එය සිදු වූයේ නැහැ. රාජ්‍යය යනු තමාය (“I am the State!”) යන අතිශය උද්ධච්ච උපකල්පනය මත පිහිටා තමන් රිසි ඕනෑම දෙයක් කිරීමට රජුට බලය තිබුණා.

ඕනෑම කෙනකු අත්අඩංගුවට ගන්නට, දඬුවම් කරන්නට, මරා දමන්නට, අත්අඩංගුවට ගන්නට, දේපල සින්න කර ගැනීමට හා වෙනත් බලහත්කාරකම් කිරීමට කිසිදු නීතිමය සීමාවක් තිබුණේ නැහැ. කිසිදු හේතුවක් හෝ පදනමක් උවමනා වූයේත් නැහැග

මැග්නා කාටා ප‍්‍රඥප්තියේ 12 හා 14 වන පරිච්ෙඡ්ද මගින් රජුට රිසි පරිදි රටවැසියන්ගෙන් බදු අය කිරීම සීමාවන්ට යටත් කළා. එය යුක්ති යුක්ත විය යුතු බවත්, ජන සම්මත විය යුතු බවත් කියැවුණා.

ඊටත් වඩා වැදගත් වූයේ 39 වන පරිච්ෙඡ්දයයි. ‘රටේ සම්මත නීතියට හා එම නීති මත පදනම් වී කරන නඩු විභාගයකින් මිස වෙනත් කිසිම අයුරකින් මිනිසකු අත්අඩංගුවට ගැනීම, සිරිගත කිරීම, දේපල පවරා ගැනීම, පිටුවහල් කිරීම හෝ කිසි අයුරකින් විනාශ කිරීම නොකළ යුත්තේය.’ යැයි එහි කියැවුණා.

ඊළඟ 40 වන පරිච්ෙඡ්දයේ මෙසේ ප‍්‍රතිඥා දෙනු ලැබුවා. ‘‘මානව අයිතිවාසිකම් හා යුක්තිය කිසිවකුට පමා කිරීම, නොදී සිටීම හෝ මිලකට විකිණීම නොකළ යුත්තේය.’’

අද ලෝකයේ නීතියේ ආධිපත්යය හා මූලික මිනිස් අයිතිවාසිකම් පිළිබඳ මූලධර්ම බවට පත්ව ඇති මේ රතිඥා මීට වසර 800කට පෙර පැවති වැඩවසම් යථාර්තයට සාපේක්ෂව බෙහෙවින් රගතිශීලි වූවා.

එසේම මේ හරහා එංගලන්තයේ (පසු කලෙක සමස්ත බි‍්‍රතාන්‍යයේම) රජුගේ බලතල පැහැදිලිව නීතිවලට යටත් කරනු ලැබුවා. රජු නීතියට ඉහළින් හෝ බාහිරින් හෝ සිටීමට ඇති ඉඩකඩ අසුරනු ලැබුවා. මෙය එංගලන්තයට හා බි‍්‍රතාන්‍යයට පමණක් නොව සමස්ත ලෝකයටම ඉතා වැදගත් යහපාලන මූලධර්මයක් හඳුන්වා දුන්නා.

What is Magna Carta? Short animation by the British Library

පාලකයා රටේ නීතියට අනුකූල විය යුතු බව ඊටත් සියවස් ගණනකට පෙර පටන් යුරෝපයේ කෙමෙන් මතුව ආ සංකල්පයක්. පුරාණ රෝමයේත්, ඉන් පසුව ස්පාඤ්ඤය, හංගරිය හා ප‍්‍රංශයේත් විද්වතුන් මේ ස්ථාවරය ප‍්‍රවර්ධනය කළා.

එහෙත් බුද්ධිමය තර්කයක් වශයෙන් පමණක් පැවති එය නීති පොතකට නිල වශයෙන් එක් වූයේ මැග්නා කාර්ටාවේ. එය එතැන් පටන් වඩාත් ශිෂ්ට දේශපාලන හා නීති සම්ප‍්‍රදායක අඩිතාලම බවට පත් වුණා.

ඉනික්බිති එලැඹි සියවස්වල ඇතැම් රජවරුන් නීතියේ නොතකා ක්‍රියා කරන්න තැත් කළ විට ප්‍රභූන් හා විද්වතුන් උද්ඝෝෂන කළා. 17 සියවසේ පටන් බි‍්‍රතාන්‍යය යටත් කර ගත් රටවලට ද නීතියේ ආධිපත්‍යය හඳුන්වා දෙනු ලැබුවා. ආණ්ඩුකාරයාට අසීමිත බලතල තිබුනේ නැහැ. නීතියට යටත්ව හා අධිකරණ ක්‍රමයකට යටත්ව ඔහු යටත් විජිත පාලනය කළා.

1776දී අමෙරිකානු යටත් විජිත නිදහස ප්‍රකාශ කොට අමෙරිකන් එක්සත් ජනපදය පිහිටු වන විට එයට මුල් වූ ප්‍රාරම්භකයෝ නීතියේ ආධිපත්‍යයට සුවිශේෂ තැනක් දුන්නා. පාලකයන්ට වඩා නීතිය ඉහලින් තිබීම එරට මූලිකයි. වැරදි වැඩ කළ ජනාධිපති නික්සන්ට ඉල්ලා අස් වන්නට පවා සිදු වුණා.

1800 ගණන්වල පුවත්පත් නිදහස වෙනුවෙන් අරගල කරන බි‍්‍රතාන්‍ය කතුවරු හා ප්‍රකාශකයෝ මැග්නා කාටාව පදනම් කර ගනිමින් රජු හා රජ පවුල විවේචනය කිරීමේ අයිතිය තමන්ට ඇතැයි තර්ක කළා. සර්වජන ඡන්ද බලය ලබා ගැනීමේ දශක ගණනක ජන අරගලයේදීත් බොහෝ ක්‍රියාකාරිකයෝ මේ ලියවිල්ලේ බුද්ධිමය ආභාෂය ලබා ගත්තා.

"It is a struggle for the right to live" - Nelson Mandela address from the dock as first accused at the Rivonia Trial
“It is a struggle for the right to live” – Nelson Mandela address from the dock as first accused at the Rivonia Trial

දකුණු අප්‍රිකාවේ වර්ණභේදවාදයට එරෙහිව අරගල කළ නෙල්සන් මැන්ඩෙලා ඇතුලු පිරිස තම රටටත් මැග්නා කාටාවේ ලෙසින් නීතිය කාටත් එක සමානව අදාල වන අනාගතයක් ගැන සිහින දුටුවා. රජයට එරෙහිව කැරලි ගසා බරපතල චෝදනා ලබා 1962-64 වකවානුවේ දීර්ඝ නඩු විභාගයකට ලක් වූ මැන්ඩෙලා එහිදී චෝදනා ප‍්‍රතික්ෂේප කරමින්, තමන් නිවැරදි බවත්, වරද ඇත්තේ අසාධාරණ රාජ්‍ය තන්ත‍්‍රයේ බවත් තර්ක කරන්නට මැග්නා කාටාව ගෙන හැර දැක්වූවා.

මෙසේ සියවස් අටක් ලොව විවිධ රටවල මානව අයිතීන් හා සාධාරණය උදෙසා මැග්නා කාටාව ප්‍රබෝධක ආවේගය ලබා දී තිබෙනවා.

අවාසනාවකට මෙවැනි බලය සීමා කිරීමක් අපේ රටේ රාජ ඉතිහාසයේ සිදු වුණේ නැහැ. රාජ පාලනය යටතේ අතිශයින් වැඩවසම් රමයක අන්ත අසරණ යටත් වැසියන් ලෙස ඉතිහාසයේ වැඩි කාලයක් අපේ මුතුන් මිත්තෝ ජීවත් වුණා.

මෙරට රාජාවලිය හා ඉතිහාසය දෙස බලන විට දසරාජ ධර්මයෙන්, දැහැමින් සෙමෙන් රජකම් කළ රජුන් සිටියේ කිහිප දෙනකු පමණයි. බහුතරයක් ඉවක් බවක් නොමැතිව බලකාමයෙන් රාජ පාලනය කළ අයයි.

මේ ඓතිහාසික ඇබ්බැහිය නිසාදෝ රජකු හා රාජාණ්ඩුවක් නැවත ලබා ගැනීමේ සිහින දකින සමහර ලාංකිකයන් තවමත් සිටිනවා. එසේම ඡන්දදායකයන් මුසපත් කිරීමේ හොඳ උපකරමයක් ලෙස තමන් කිරුළු නොපැළ රජකුලෙස පෙනී සිටීමට අපේ ඇතැම් දේශපාලකයන් දක්ෂයි

ජන ප්‍රවාදයෙන්ද මීට උඩගෙඩි ලැබෙනවා. 1815 මාර්තු 2 වනදා කන්ද උඩරට ගිවිසුම අත්සන් තැබීම සමග සමස්ත ලංකා දිවයින බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යයට යටත් වුණා. එයින් ටික දිනකට පසු කුංකුනාවේ හිමියන් බිම දිගේ සීරුවෙන් ඇදී යන කුහුඹු පෙළක් දැක ‘අනේ කූඹියනේ, තොපටත් රජෙක් ඉන්නේ’ නම් කව කී බව කියැවෙනවා.

ඔහු තව දුරටත් කීවේ මෙයයි:
‘රජෙක් ලැබුණෝතින්

එදා කිරිබත් කන්නේ

පෙරහැර කරන්නේ

සාදු නාදෙන් ගිගුම් දෙන්නේ’

Dr Nirmal Ranjith Dewasiri
Dr Nirmal Ranjith Dewasiri

මේ රාජ උන්මාදය වත්මන් සමාජයට උචිත වූවක් නොවෙයි. ඉතිහාසඥ ආචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරි මෙයට අදාලව මෑතදී ඔහුගේ ෆේස්බුක් එකේ මෙසේ කියා තිබුණා:

“රජෙක් සදහා වන ෆැන්ටසිමය ආකර්ශනය මිනිස් විෂයේ සැකැස්ම සමග සම්බන්ධිත වූවකි. මෙම ෆැන්ටසිය නවීන ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පරිකල්පනය සමග ප්‍රතිවිරෝධී වේග කෙසේ වෙතත් දේශපාලන වශ‍ෙයන් ප්‍රජාතන්ත්‍රීකරණය මුහුකුරා ගිය සමාජවල මේ ගැටලුවට ප්‍රායෝගික විසදුමක් සොයාගෙන ඇත. ඒ රජෙක් හෝ රැජනක් සංකේතාත්මක වශයෙන් දේශපාලන ධූරාවලියේ ඉහලින් තබා ගැනීමෙනි. මේ මගින් පොදුජන දේශපාලන ෆැන්ටසිය සහ ප්‍රජාතන්ත්‍රීය ආණ්ඩුකරණය අතර ඇති විය හැකි ආතතිය සමනය කරගෙන ඇත. අරාබි ලොකය මේ ගැටලුව විසදා නොගැනීම පිළිබද වර්තමානයේ හොදම උදාහරණයයි. ජර්මනියේ හිට්ලර් පිළීබද උදාහරණයද එවැන්නකි. ලංකාවේ මහින්දවාදයද මේ ගැටලුව තුළ හිරවී ඇත. එය විසින් රජෙක් පිළිබද පොදුජන ෆැන්ටසිය හා දේශප්‍රෙමය පිළිබද ව්‍යාජ දෘෂ්ටිවාදී පිරිවැස්ම උපයෝගී කර ගෙන ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය අඩස්සිගත කරනු ලැබ ඇත. මේ ප්‍රවණතාවය පරාජය කිරීම වර්තමානයේ ලංකාවේ ප්‍රමුඛ දේශපාලන අවශ්‍යතාවයයි.”

සියවස් අටකට පෙර මැග්නා කාටාවෙන් පටන් ගත් පුරවැසි පරමාධිපත්‍යයේ දිගු ගමන තවම හමාර නැහැ!

 

සිවුමංසල කොලූගැටයා #148: වර්ණභේදවාදය පිටු දැකීමට ලැබුණු ලාංකික දායකත්වය

In this Ravaya column, I look back at Sri Lanka’s support for the anti-Apartheid struggle, extended in various ways — both officially and personally. Three times Prime Minister Mrs Sirimavo Bandaranaike was vocal in international forums, and also wrote personal letters to Nelson Mandela when he was in prison.

At a scholarly level, Lankan-born legal scholar Dr Christopher Weeramantry wrote a book titled ‘Apartheid: The closing phases?’ in 1980 which had far-reaching influence in the prolonged campaign against Apartheid.

Justice C G Weeramantry & Mrs Sirimavo Bandaranaike
Justice C G Weeramantry & Mrs Sirimavo Bandaranaike

නෙල්සන් මැන්ඩෙලා සිය දිගු ගමන නිමා කොට නික්ම ගියා. ඔහුගේ පරමාදර්ශී චරිත කථාව හා නොනිමි අරගලය ගැන මේ මාසය පුරා බොහෝ මාධ්‍ය හා සභාවන්හි කථා කැරෙනවා.

අපට කිලෝමීටර් දහස් ගණනක් ඈත රටක් වූ දකුණු අපි‍්‍රකාවේ අඩ සියවසක් පමණ කලක් කි‍්‍රයාත්මක වූ මර්දනකාරී වර්ණභේදවාදය (Apartheid) එකල අපේ අවධානයට ලක් වූයේ ඉඳහිටයි. 1982දී අපේ ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩකයන් කිහිප දෙනකු නිල නොවන කි‍්‍රකට් සංචාරයකට එරටට යාම මහත් ආන්දෝලනයක් ඇති කළා.

වර්ණභේදවාදය නිසා කී‍්‍රඩා ලෝකයෙන් කොන් කර සිටි දකුණු අපි‍්‍රකාවේ පාලකයන් මුදල් වීසි කරමින් මෙසේ කී‍්‍රඩා කණ්ඩායම් ගෙන්වා ගැනීම සිදු වුණා. ඒ සංචාරයට සහභාගී වූ සියඵ ලාංකික කී‍්‍රඩකයන්  වසර 25ක කී‍්‍රඩා තහනමකට ලක් වූ බව අප දන්නවා. ඒ හරහා අපේ කි‍්‍රකට් කී‍්‍රඩාවට ඇති වූ පසුබෑම විශාලයි. එහෙත් ඒ මොහොතේ ශී‍්‍ර ලංකාව ගත් ප‍්‍රතිපත්තිමය ස්ථාවරය ප‍්‍රගතිශීලී ලෝකයේ හා දකුණු අපි‍්‍රකානු විමුක්ති නායකයන්ගේ ප‍්‍රසාදයට හේතු වුණා.

1960 හා 1970 දශකවලදී ශී‍්‍ර ලංකාව ඉඩක් ලද සැම විටෙක ම ජාත්‍යන්තර තලයේදී දකුණු අපි‍්‍රකාවේ සමාජ සාධාරණත්වය වෙනුවෙන් කථා කළා. නොබැදි ව්‍යාපාරය, එක්සත් ජාතීන්ගේ සංවිධානය හා වෙනත් සභාවලදී ශී‍්‍ර ලංකා විදේශ ප‍්‍රතිපත්තිය පැහැදිලිව වර්ණභේදවාදයට එරෙහි වුණා. 1977 බලයට පත් රජය ද මේ ස්ථාවරය දිගට ම පවත්වා ගත්තා.

ශී‍්‍ර ලංකා අග‍්‍රාමාත්‍ය තනතුරට අමතරව විදේශ අමාත්‍ය ධූරය ද හෙබ වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය නිල මෙන්ම පෞද්ගලික මට්ටමින් ද අපේ රට ගැන හිතකර ප‍්‍රතිරූපයක් විදෙස් රටවල ඇති කරන්නට සමත් වුණා. සිරගතව සිටි නෙල්සන් මැන්ඩෙලාට ඇය ලියුම් ගණනාවක් යැවූ අතර තමන් එය මහත් සේ අගය කළ බව මැන්ඩෙලා පසු කලෙක ප‍්‍රකාශ කළා.

බණ්ඩාරනායක මැතිනිය හා මැන්ඩෙලා කිසි දිනෙක මුණ ගැසුණේ නැතත් ඇය ගැන ගෞරවාන්විත හැගීමක් මැන්ඩෙලා තුළ තිබුණා. ඒ බව චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනිය හමු වූ දෙවතාවක ම මැන්ඩෙලා මහත්  ඕනෑකමින් කියා තිබෙනවා.

රටක යහපත් ප‍්‍රතිරූපය ගොඩ නංවන්නට රාජ්‍ය නායකයන්, තානාපතිවරුන් හා වෙනත් නිලධාරීන් පමණක් නොව එරටින් බිහි වන බුද්ධිමතුන් හා කලාකරුවන් ද දායක වනවා.

වර්ණභේදවාදය එරෙහිව වැදගත් බුද්ධිමය මෙහෙවරක් කළ කීර්තිමත් ලාංකිකයකු නම් ආචාර්ය කි‍්‍රස්ටෝෆර් වීරමන්තී‍්‍රයි. මෙරට ශෙෂ්ඨාධිකරණ විනිසුරුකරුවකු ලෙස කලක් (1967-72) කි‍්‍රයා කොට පසුව  ඕස්ටේ‍්‍රලියාවේ නීති මහාචාර්යවරයකු ලෙස පත්ව ගිය ඔහු ජාත්‍යන්තර නීති හා අධිකරණ ක්‍ෂෙත‍්‍රයේ ගෞරවනීය චරිතයක්. මානව හිමිකම් සුරැකීමට හා ලෝක නීතියේ ආවරණය පුඵල් කිරිමට ඔහු දශක ගණනක මෙහෙවරක් කොට තිබෙනවා.

ඔහු වර්ණභේදවාදයට එරෙහි අරගලයට සම්බන්ධ වූයේ 1980දී ඒ ගැන පොතක් ලිවීමෙන්.

1970 දශකය මැදදී දකුණු අපි‍්‍රකාවේ ස්ටෙලන්බෝච් සරසවියේ (Stellenbosch University) රෝමන් ලන්දේසි නීතිය ඉගැන්වීමට ආරාධිත මහාචාර්යවරයකු ලෙස ආචාර්ය වීරමන්තී‍්‍රට ඇරැයුමක් ලැබුණා. තනතුරට සරිලන ගෙවීම් හා වරප‍්‍රසාදවලට අමතරව ‘ගරු සුදු ජාතිකයකු’ ලෙස ඔහු සැළකීමට ද සරසවිය ප‍්‍රතිඥා දුන්නා.

වීරමන්තී‍්‍ර මේ ශාස්තී‍්‍රය ඇරැයුම පිළිගත්තේ කොන්දේසි සහිතවයි. එනම් දේශනාගාරවල තමන් උගන්වන කිසිවක් වාරණය කළ නොහැකි බව හා තමා කැමති  ඕනෑ ම තැනකට ගොස් එරට  ඕනෑ ම කෙනකු සමග කථාබහ කිරීමේ අවකාශය තිබිය යුතු බවට. පවතින දැඩි වර්ණභේදවාදී රාමුව තුළ වුව ද සරසවිවලට යම් නම්‍යශීලිතාවක් හා නිදහසක් තිබූ බැවින් සරසවි පාලකයන් මේ කොන්දේසිවලට එකඟ වුණා.

මේ අනුව ඔහු පූර්ණකාලීනව සේවය කළ  ඕස්ටේ‍්‍රලියානු සරසවියෙන් නිවාඩු ලබා දකුණු අපි‍්‍රකාවට ගිය වීරමන්තී‍්‍ර, එහි මාස කිහිපයක් ගත කළා. මානව හිමිකම් නීති ගැන පර්යේෂකයකු ලෙස එම හිමිකම් මුඵමනින් ම පාහේ බහුතර ජනතාවකට අහිමි කළ රටකට ගොස් සැබෑ තත්ත්‍වය සියැසින් දැක බලා ගැනීමේ අවස්ථාව ඒ හරහා ඔහු ලබා ගත්තා.

සමේ වර්ණය මත පදනම් වී සමස්ත ජන සමාජයක් බෙදා වෙන් කොට දැඩි ලෙස ස්ථරීයකරණය කිරීම හරහා පාලනය කරන එරට ගැන පොතපතින් කියවා තිබුණත් එය අත්විදීම තමා තුළ බලවත් කම්පනයක් ඇති කළ බව වීරමන්තී‍්‍ර සිහිපත් කරනවා.

සුදු සුඵතරයකට රටේ හොඳම ප‍්‍රදේශවල පදිංචිවීමට, ඉහළ ම අධ්‍යාපනික හා ව්‍යාපාරික අවස්ථා භුක්ති විදීමට නීතියෙන් ඉඩ සළසා තිබූ අතර සම කඵ හා දුඹුරු බහුතරයට දැඩි සීමා බන්ධනවලට යටත්ව දුක සේ ජීවත් වීමට සිදුව තිබුණා. පොදු ස්ථානවලදී පවා සුදු ජාතිකයන්ට එක් දොරටුවකුත් අන් අයට තවත් දොරටුවකුත් නියම කැරුණා.

‘‘යුක්තිය, සාධාරණත්වය හා සමානාත්මතාවය ගැන මා දැන සිටි සියඵ ම මූලධර්මවලට මුඵමනින් එරෙහි වූ ක‍්‍රමයක් එවකට දකුණු අපි‍්‍රකාවේ කි‍්‍රයාත්මක වුණා.  ඕනෑ තැනෙකට යාමේ අසාමාන්‍ය නිදහසක් මට තිබූ නිසා මා කඵ ජාතිකයන්ගේ ජනාවාස, පතල් හා ගොවිපළවලට ගියා. එසේම ඉහළ මධ්‍යම පාංතික සුදු ජාතිකයන්ගෙන් සැදුම් ලත්  ශෙෂ්ඨාධිකරණය හා අනෙක් නීති ක්‍ෂෙත‍්‍රවල මා සංසරණය වුණා. එක ම රටේ අන්ත දෙකක යථාර්ථය මේ හරහා මා පෞද්ගලිකව අත් දුටුවා,’’ යයි වීරමන්තී‍්‍ර කියනවා.

වර්ණභේදවාදයට විරුද්ධ වූ සුදු ජාතිකයන් ගණනාවක් ද තමා දැන හඳුනා ගත් බවත්, ඔවුන් සමග රටේ නොයෙක් ප‍්‍රදේශවල සංචාරය කළ බවත් ඔහු සිහිපත් කරනවා.

‘‘මා එහි ගත කළ කාලයේ නෙල්සන් මැන්ඩෙලා ජීවිතාන්තය දක්වා සිරදඩුවම් නියම වී රොබන් දුපතේ දැඩි ආරක්‍ෂිත බන්ධනාගාරයේ සිටියා. එහෙත් ඔහු ඇතුඵ දේශපාලන සිරකරුවන්ගේ නම් එරට සාමාන්‍ය ජනතාව හොදින් දැන සිටියා. ඔවුන් ගැන නිතර ගෞරවයෙන් කථා බහ කැරුණා.’’

මැන්ඩෙලා හමුවීමට වීරමන්තී‍්‍ර ගත් උත්සාහය සාර්ථක වූයේ නැහැ. ඒ කාලයේ පවුලේ අයටවත් මැන්ඩෙලා බලන්නට ඉඩක් තිබුණේ නැහැ.

වීරමන්තී‍්‍ර පසුව සිය චරිත කථාවේ ලියූ හැටියට: ‘‘වර්ණභේදවාදී ක‍්‍රමය දැඩි ලෙස ස්ථාපිත වී ඇතැයි මතුපිටින් බැලූ විට පෙනුණත් එයට දිගු කල් පැවතීමට බැරි බව මා තේරුම් ගත්තා. යුක්තිය හා සාධාරණත්වය ගරු කරන කඵ, දුඹුරු හා සුදු සමැති සියඵ දෙනා මේ ක‍්‍රමය පිළිකුල් කළා. එයට එරෙහි ජන විරෝධය කැකෑරෙමින් තිබූ සැටි මා දුටුවා.’’

Apartheid, the closing phases - book cover
Apartheid, the closing phases – book cover

තම ඉගැන්වීම හමාර කොට ආපසු  ඕස්ටේ‍්‍රලියාවට ගිය වීරමන්තී‍්‍ර, තම අත්දැකීම් කැටි කොට වර්ණභෙදවාදය අවසන් කිරීමට කුමක් කළ යුතු ද නමින් පොතක් ලිව්වා. (‘Apartheid: The closing phases?’, 1980). වර්ණභේදවාදය සාධරණීකරණය කරන්නට දකුණු අප‍්‍රිකාවේ සමහර අවස්ථාවාදී උගතුන් මතු කර තිබූ තර්ක සියල්ල නිෂ්ප‍්‍රභ කරමින්, මේ නීතිගත අසාධාරණයේ දැවැන්ත සමාජ, ආර්ථික හා මානුෂික හානි පිටස්තරයකුගේ විග‍්‍රහයක් ලෙස පෙන්වා දුන්නා.

අපි‍්‍රකාවේ ස්වදේශිකයන් ම්ලේච්ඡ පිරිසක් බවත්, ස්වයං පාලනයකට හෝ සම අවස්ථා භුක්ති විදීමට ඔවුන්ට හැකියාවක් නැති බවත් කියමින් වර්ණභේදවාදී පාලකයන් ලෝක ප‍්‍රජාව නොමඟ යවමින් සිටි ඒ වකවානුවේ ස්වාධීන ආසියාතික උගතකු මෙසේ තර්කානුකූලව හා සාවධානව වර්ණභේදවාදය විවේචනය කිරීමේ ලොකු වැදගත්කමක් තිබුණා.

වර්ණභේදවාදය පිටුදැකීමට ප‍්‍රචණ්ඩත්වය වෙනුවට දේශපාලන කි‍්‍රයාදාමයකට යොමු වීමේ වැදගත්කමත්, ඒ සඳහා එරට තුළ හා එරටින් පිටත ගත හැකි නිශ්චිත පියවර 51කුත් වීරමන්තී‍්‍ර සිය පොතෙන් පෙන්වා දුන්නා.

සුදු ජාතික සුඵතර පාලනය ලෝක ප‍්‍රජාවෙන් කොන් කිරීමට ඔහු යෝජනා කළ පියවර අතර විදේශ ආයෝජන නොකර සිටීම, රටට විදේශීය බැංකු ණය දීම ප‍්‍රතික්‍ෂෙප කිරීම, එරටින් ඉදිරිපත් කැරෙන බුද්ධිමය දේපළ සඳහා පේටන්ට් ඉල්ලූම්පත් ප‍්‍රදානය නොකිරීම, හා ජනමතයට ප‍්‍රබලව බලපෑ හැකි කි‍්‍රස්තියානි පල්ලිය මේ සමාජ අරගලයට සෘජුව මැදිහත්වීම ආදිය ද වූවා.

මෙකී නොකී පියවර හරහා පාලකයන්ට බලපෑම් කරන අතර සාධාරණත්වය අගය කරන, නිර්දේශපාලනික සුදු ජාතික දකුණු අපි‍්‍රකානුවන් හැකි තරම් දෙනා උපක‍්‍රමශීලිව හවුල් කරගත යුතු යැයි ද වීරමන්තී‍්‍ර නිර්දේශ කළා.

1990දී නිදහස ලබා පැමිණී මොහොතේ පටන් මැන්ඩෙලා ගෙන ගියේ ද සුදු විරෝධී හෝ අධිරාජ්‍ය විරෝධි අරගලයක් නොවෙයි. සුදු-කඵ-දුඹුරු හැම දෙනාට සම අයිතිවාසිකම් දීමේ සාරධර්මීය ප‍්‍රයන්තයක්.

‘‘කෙතරම් දැඩි ලෙස කොපමණ කලක් කි‍්‍රයාත්මක කළත් අසාධාරණ පාලන ක‍්‍රමයක් සංවිධානාත්මක හා ප‍්‍රතිපත්තිගරුක විරෝධතාවයක් හරහා අවසන් කළ හැකි බව මා පෙන්වා දුන්නා. මගේ පොතේ බුද්ධිමය හා චින්තනමය බලපෑම් බොහෝ දුර විහිදුණු බව එරටින් ලැබුණු ප‍්‍රතිචාරවලින් මට පෙනී ගියා,’’ යයි වීරමන්තී‍්‍ර කියනවා.

පොත ප‍්‍රකාශයට පත් වූ විගස එය දකුණු අපි‍්‍රකාවට ගෙන ඒම හා ළඟ තබා ගැනීම එරට රජය විසින් තහනම් කරනු ලැබුවා. එහෙත් පොතේ මයික්‍රෝෆිල්ම් පිටපතක් පෑනක් තුළ සඟවා ගෙන එරටට හොරෙන් ගෙන යන ලදුව එය යටිබිම්ගත දේශපාලන කි‍්‍රයාකාරිකයන් විසින් රහසේ මුද්‍රණය කර බෙදා හරිනු ලැබුවා.

මේ පොත ලිවීම නිසා වර්ණභේදවාදී පාලකයන්ගේ උදහසට ලක් වූ වීරමන්තී‍්‍රට යළිත් එරටට යා හැකි වූයේ 1994 මැන්ඩෙලා ජනාධිපති වීමෙන් පසුවයි.

1994 එරට බහුතර ඡන්දයෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී රජයක් බලයට පත් වූ පසු වීරමන්තී‍්‍ර තමන් කලකට පෙර ඉගැන් වූ ස්ටෙලන්බෝච් සරසවියට ගියා. ඒ වන විට හේග් නුවර ලෝක අධිකරණයේ  උපසභාපති ලෙස ජාත්‍යන්තර සම්මානයට පත්ව සිටි ඔහු ඒ සරසවියේදී මහ ඉහළින් පිළිගනු ලැබුවා. කලක් තහනම් කරන ලද තමාගේ පොතේ පිටපත් දැන් එහි ආඩම්බරයෙන් ප‍්‍රදර්ශනය කැරෙන බව ඔහු දුටුවා.

images

මැන්ඩෙලා ගැන මෙරට මාධ්‍ය හරහා ගුණකථන හා විග‍්‍රහයන් කළ සමහරුන් ඔහු අධිරාජ්‍ය විරෝධියකු හා සුදු විරෝධියකු ලෙස ලඝු කළත් එය වැරදියි. ඔහු සියඵ අධිපතිවාද විරෝධියෙක්.

දකුණු අපි‍්‍රකාවේ වර්ණභේදවාදය 1948-1990 කාලයේ කි‍්‍රයාත්මක කළේ පිටතින් පැමිණ එරට අල්ලා ගත් පිරිසක් නොවෙයි. පරම්පරා ගණනක් එරට පදිංචිව සිටින, යුරෝපීය සම්භවයක් සහිත අෆි‍්‍රකානර් (Afrikaners) නමින් හඳුන්වන සුඵ ජාතිකයන් පිරිසක්. (මේ අය යම් තරමකට අපේ රටේ බර්ගර් ජාතියන්ට සම කළ හැකියි. අප තව දුරටත් බර්ගර්වරුන්ට යුරෝපීයයන් හෝ අධිරාජ්‍යවාදීන් යයි කියන්නේ නැහැ. ඒ අයත් අපේ ම මිනිස්සු.)

වර්ණභේදවාදී පාලනයට එරෙහිව මතවාදීව අරගල කොට ඉනික්බිති යටිබිම්ගත දේශපාලනයට පිවිසි මැන්ඩෙලා ඇතුඵ ANC සාමාජිකයෝ යම් ප‍්‍රචණ්ඩකාරී කි‍්‍රයාවල ද නිරත වුණා. මේ හේතුවෙන් අත්අඩංගුවට පත් වූ ඔහු ඇතුඵ පිරිසක් බරපතල චෝදනා ලබා 1963-64 වකවානුවේ දීර්ඝ නඩු විභාගයකට ලක් වුණා.

එහිදී චෝදනා ප‍්‍රතික්ෂේප කරමින්, තමන් නිවැරදි බවත්, වරද ඇත්තේ අසාධාරණ රාජ්‍ය තන්ත‍්‍රයේ බවත් මැන්ඩෙලා තර්ක කළා. නඩු තීන්දුව දෙන දවසේ ඔහු අධිකරණයේ චූදිතයකු ලෙස සාවධානව හා අභිමානවත් ලෙසින් කළ කථාව ලෝක ඉතිහාසයේ හොද ම කථා කිහිපය අතරින් එකක් ලෙස සැළකෙනවා.

ඔහු එය අවසන් කළේ මෙසේයි: ‘‘අපි‍්‍රකානුවන් සැමගේ නිදහසේ අරගලය වෙනුවෙන් මා මගේ මුඵ ජීවිතය ම කැප කොට තිබෙනවා. සුදු අධිපතිවාදයට එරෙහිව මෙන් ම කඵ අධිපතිවාදයට එරෙහිවත් මා සටන් වැදුණා. මගේ සිහිනය හා අරමුණ නම් සියඵ දෙනා සම අයිතිවාසිකම් හා සම අවස්ථා භූක්ති විදිමින් සාමකාමීව වෙසෙන සැබෑ ප‍්‍රජාතන්ත‍්‍රවාදී නිදහස් සමාජයක් බිහි කිරීමයි. මේ පරමාදර්ශය සාක්ෂාත් කර ගන්නා තුරු ජීවත්වීම මගේ බලාපොරොත්තුවයි. එහෙත්  ඕනෑ වුවහොත් ඒ වෙනුවෙන් මිය යන්නට වුවත් මා සූදානම්!’’

Nelson Mandela (1918 - 2013) - Thank you & Goodbye!
Nelson Mandela (1918 – 2013) – Thank you & Goodbye!