Disasters & media response: මාධ්‍ය මූලික වගකීම් අතපසු කොට ආධාර එකතු කිරීම වැරදියි!

My comments (in Sinhala) on mass media’s role in disaster response, published by Ravaya broadsheet newspaper on 4 June 2017.

Summary: In the aftermath of all recent disasters in Sri Lanka, private broadcast media houses have been competing with each other to raise and deliver disaster relief. All that is well and good – except that news coverage for their own relief work often eclipses the journalistic coverage of the disaster response in general. In such a situation, where does corporate social responsibility and charity work end and opportunistic brand promotion begin? I argue that media houses must be free to embark on relief efforts, but ideally they should do so having fulfilled their primary responsibility of reporting on and critiquing the post-disaster realities. Sri Lanka’s media reporting of disasters is often superficial, simplistic and incident-driven, which needs to improve to become more investigative, reflective and sustained beyond the immediate news cycle of a disaster. Without fixing these deficiencies, media houses getting into aid collection and donation is a sign of wrong priorities.

මාධ්‍ය මූලික වගකීම් අතපසු කොට ආධාර එකතු කිරීම වැරදියි!

නාලක ගුණවර්ධන, විද්‍යා ලේඛක හා මාධ්‍ය පර්යේෂක

Cartoon by Namal Amarasinghe, Daily Mirror, 31 May 2017

සොබාවික උවදුරු මානව සමාජයන්ට හානි කරන විට එයට ආපදා යයි කියනවා. ආපදාවකට පෙර, ආපදාව දිග හැරෙන විට ආ ඉන් පසුව ටික කලක් යන තුරු ප්‍රශස්ත සන්නිවේදනවලට මාහැඟි මෙහෙවරක් ඉටු කළ හැකියි. ජන මාධ්‍යවලට මේ සඳහා ලොකු විභවයක් මෙන්ම වගකීමක් ද තිබෙනවා.

ආපදා පෙර සූදානම හා කඩිනමින් මතු වන සුනාමි වැනි ආපදා ගැන නිල අනතුරු ඇඟවීම් බෙදා හැරීම සදහා මාධ්‍ය දායකත්වය වැදගත්. ආපදා සිදු වූ පසුත් මාධ්‍යවලට තීරණාත්මක කාර්ය භාරයක් හිමි වනවා.

ඉතා වැදගත් හා ප්‍රමුඛ වන්නේ සිදුවීම් නිවැරදිව හා නිරවුල්ව වාර්තා කිරීම. වුණේ මොකක්ද, වෙමින් පවතින්නේ කුමක්ද යන්න සරලව රටට තේරුම් කර දීම. එයට රාජ්‍ය, විද්වත් හා ස්වේච්ඡා ආයතනවල තොරතුරු හා විග්‍රහයන් යොදා ගත හැකියි. මේවායේ නිල තොරතුරු හා විග්‍රහයන් තිබෙන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ආපදා කළමණාකරන කේන්ද්‍රය වැනි ආයතනවලට වඩා කඩිනමින් හා කාර්යක්ෂමව තොරතුරු ජනගත කරන්න මාධ්‍ය (හා සමාජමාධ්‍ය) වලට ධාරිතාව තිබෙනවා.

ගංවතුර හා නායයාම් වැනි ආපදා දිග හැරෙන විට දෙස් විදෙස් මූලාශ්‍රවලින් අලුත්ම තොරතුරු ලබා ගෙන, ඒවා සරලව හා නිරවුල්ව මාධ්‍ය ග්‍රාහකයන්ට ලබා දීම හරහා බොරු භීතිකා අවම කර ගන්නා අතර ජීවිත බේරන්න පවා මාධ්‍යවලට හැකියි.

ඉන් පසු මාධ්‍යවල වැදගත්ම කාරිය නම් ආපදා ප්‍රතිචාරයට හැකි උපරිම මාධ්‍ය ආවරණය සැපයීමයි. විපතට පත් වූවන් බේරා ගැනීම්, තාවකාලික රැකවරණ, ආධාර බෙදා හරින ක්‍රම හා තැන්, ලෙඩරෝග පැතිර යාම ගැන අනතුරු ඇඟවීම්  ආදි බොහෝ තොරතුරු මාධ්‍යවලට බෙදා හැරිය හැකියි. මේවා පොදු උන්නතියට සෘජුවම අදාලයි.

ආපදා කළමනාකරණය හා සමාජසේවා ගැන නිල වගකීම් ලත් රාජ්‍ය ආයතන මෙන්ම හමුදාවත්, රතු කුරුසය හා සර්වෝදය වැනි මහා පරිමාන ස්වේච්ඡා ආයතනත් පශ්චාත් ආපදා වකවානුවල ඉමහත් සේවයක් කරනවා. මාධ්‍යවලට කළ හැකි ලොකුම මෙහෙවර මේ සැවොම කරන කියන දේ උපරිම ලෙස සමාජගත කිරීමයි. ඊට අමතරව අඩුපාඩු හා කිසියම් දූෂණ ඇත්නම්, තහවුරු කර ගත් සාක්ෂි මත ඒවා වාර්තා කිරීමයි.

Disaster reporting, Sri Lanka TV style! Cartoon by Dasa Hapuwalana, Lankadeepa, May 2016

ආපදා පිළිබඳ තොරතුරු වාර්තාකරණයෙන් හා විග්‍රහයෙන් ඔබ්බට ගොස් විපතට පත් වූවන්ට ආධාර එකතු කිරීම හා බෙදා හැරීම වැනි ක්‍රියාවල මාධ්‍ය නිරත විය යුතු ද? මෙය බෙහෙවින් විවාදාත්මක කරුණක්. මෑත වසරවල කුණාටු, ගංවතුර, නායයෑම් ආදී ආපදා සිදු වූ පසුව සමාජ සත්කාරයන් ලෙස ආධාර එකතු කොට බෙදා දීමට විද්‍යුත් මාධ්‍ය ආයතන ප්‍රවේශ වනු අප දුටුවා. මෙවරද ඔවුන් එය පටන් අරන්.

මෙසේ කරන්නට මාධ්‍ය සමාගම්වලට නිදහසක් තිබෙනවා. එය පැවතිය යුතුයි. මගේ මතය නම් තම මූලික වගකීම් සියල්ල ඉටු කළ පසු, ඉඩක් හා කාලයක් ඉතිරිව තිබේ නම් තමන් ද ආධාර එකතු කොට බෙදීමට මාධ්‍ය යොමු වුණාට කමක් නැතැයි කියායි.

මාධ්‍ය පර්යේෂකයෙක් හා විචාරකයෙක් හැටියට මා එහිදී විමසන්නේ එබඳු සුබසාධන ක්‍රියා, එකී මාධ්‍ය ආයතනයේ ප්‍රධාන වගකීම්වලට සමානුපාතිකව කෙතරම් ප්‍රමුඛතාවක් ගනීද යන්නයි.

ආපදා පිළිබඳ මෙරට මාධ්‍යකරණයේ ලොකු අඩුපාඩු තිබෙනවා. ප්‍රධාන දුර්වලකමක් නම් තනි ආපදා සිදුවීම් ගැන බහුලව වාර්තා කළත් ඒවාට තුඩු දෙන සමාජ-ආර්ථීක හා පාරිසරික ප්‍රවාහයන් ගැන ඇති තරම් විමර්ශන නොකිරීමයි.

එසේම ආපදාවක ප්‍රවෘත්තිමය උණුසුම දින කිහිපයකින් පහව ගිය පසු බොහෝ මාධ්‍යවලට එය අමතක වනවා. ආපදාවෙන් බැට කෑ ජනයාගේ නොවිසඳුණු ප්‍රශ්න හා ආපදාවට පසුබිම් වූ සාධක තව දුරටත් පැවතීම ගැන මාධ්‍ය පසුවිපරමක් කරන්නේ  කලාතුරකින්. පුවත්පත් යම් පමණකට කළත් විද්‍යුත් මාධ්‍ය මෙය බොහෝ දුරට නොතකා හරිනවා.

මාධ්‍යකරණයේ මේ මූලික අඩුපාඩු හදා ගන්නේ නැතිව මාධ්‍ය ආයතන සිය පිරිස් බලය හා මූල්‍යමය හැකියාවන් ආපදා ආශ්‍රිත සමාජ සුබසාධන ක්‍රියාවලට යොමු කරනවා නම් ඔවුන්ගේ ප්‍රමුඛතා ඇත්තේ වැරදි තැනකයි.

ජනතාවගේ ලේ, කඳුලු හා අකල් මරණවලින්ම නඩත්තු වන ටෙලිවිෂන් නාලිකා දෙක තුනක් මෙරට තිබෙනවා. ඔවුන්ට අවශ්‍ය ත්‍රාසජනක හා සන්වේගදායක පුවත් පමණයි. නාලිකා අතර බිහිසුනු රේටින් (ජනප්‍රියතාව ශ්‍රේණිගත කිරීමේ) බලු පොරය මෙයට ප්‍රධාන හේතුවක්. සියලු ටෙලිවිෂන් හා රේඩියෝ නාලිකාවල ප්‍රවෘත්ති ප්‍රකාශයන් රේටින්වලින් නිදහස් කළ යුතු යයි මා විශ්වාස කරනවා.

එසේම සමාජ සුබසාධනයට යොමු වන මාධ්‍ය, එතැනදී තම වාර්තාකරණය සමස්ත ආපදා ප්‍රතිචාරය ගැන මිස තමන්ගේම සමාජ සත්කාරය හුවා දැක්වීමට භාවිත නොකළ යුතුයි. මාධ්‍ය සන්නාම ප්‍රවර්ධනයට ආපදා අවස්ථා යොදා ගැනීම නීති විරෝධී නොවූවත් සදාචාර විරෝධීයි.

”මේවා කරන්නේ අපේ ගුවන් කාලයෙන්, අපේ පරිශ්‍රමයෙන් හා සම්පත්වලින්. ඒ ගැන කාටවත් කැක්කුමක් ඇයි?” සමහර මාධ්‍ය ආයතන ප්‍රශ්න කළ හැකියි.

රාජ්‍ය හා පෞද්ගලික රේඩියෝ ටෙලිවිෂන් නාලිකා සියල්ල භාවිතා කරන්නේ මහජන දේපළක් වන විද්‍යුත් තරංග සංඛ්‍යාතයි. මේ නිසා හිතුමතේ තම සන්නාම ප්‍රවර්ධනය කරමින් වටිනා ගුවන්කාලය එයට වෙන් කිරීම, ආපදා මාධ්‍යකරණය වඩාත් ප්‍රශස්තව කිරීමට තිබෙන වගකීම පැහැර හැරීමක්.

See also, 3 Oct 2016: සිවුමංසල කොලු ගැටයා #286: ආපදා අවස්ථාවල මාධ්‍ය වගකීම හා ප්‍රමුඛතාව කුමක් විය යුතු ද?

සිවුමංසල කොලු ගැටයා #286: ආපදා අවස්ථාවල මාධ්‍ය වගකීම හා ප්‍රමුඛතාව කුමක් විය යුතු ද?

Disaster reporting, Sri Lanka TV style! Cartoon by Dasa Hapuwalana, Lankadeepa
Disaster reporting, Sri Lanka TV style! Cartoon by Dasa Hapuwalana, Lankadeepa

What is the role of mass media in times of disaster? I have written on this for many years, and once edited a regional book on the subject (Communicating Disasters: An Asia Pacific Resource Book, 2007).

The question has come up again after Dr Ranga Kalansooriya, Director General of the Lankan government’s Department of Information, wanted the media to give preeminence to its watchdog function and pull back from supplying relief in the aftermath of disasters.

As Dr Rohan Samarajiva, who was present at the event, noted, “Some of his comments could even be interpreted as suggestive of a need to prohibit aid caravans being organized by the media. But I do not think this will happen. The risks of being seen as stifling the natural charitable urges of the people and delaying supplies to those who need help are too high…”

Ranga raised a valid concern. In the aftermath of recent disasters in Sri Lanka, private broadcast media houses have been competing with each other to raise and deliver disaster relief. All well and good – except that coverage for their own relief work often eclipsed the journalistic coverage of the disaster response in general. In such a situation, where does corporate social responsibility and charity work end and opportunistic brand promotion begin?

For simply raising this concern in public, some broadcast houses have started attacking Ranga personally. In my latest Ravaya column (in Sinhala, appearing in the print issue of 2 October 2016), I discuss the role and priorities of media at times of disaster. I also remind Sirasa TV (the most vocal critic of Ranga Kalansooriya) that ‘shooting the messenger’ carrying unpalatable truths is not in anybody’s interest.

Dr Ranga Kalansooriya, journalist turned government official, still speaks his mind
Dr Ranga Kalansooriya, journalist turned government official, still speaks his mind

ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රංග කලන්සූරිය අද මෙරට මාධ්‍ය ක්ෂේත්‍රයේ දැනුම මෙන්ම අත්දැකීම් ද බහුල විද්වතෙක්.

කිසි දිනෙක නිවුස් රූම් එකක් දැකලාවත් නැති පොතේ ගුරුන් මාධ්‍ය විශේෂඥයන් යයි කියා ගන්නා රටක ප්‍රවෘත්ති කලාවේ සිද්ධාන්ත මෙන්ම ප්‍රායෝගිකත්වය ද එක් තැන් කරන රංග වැනි අය දුර්ලභයි.

මෑතදී ආපදා කළමනාකරණ කේන‍ද්‍රය (DMC) සංවිධානය කළ මාධ්‍ය වැඩමුළුවකදී රංග කළ ප්‍රකාශයක් ආන්දෝලනයට තුඩු දී තිබෙනවා.(එම වැඩමුළුවට මටද ඇරැයුම් කර තිබුණත් ප්‍රතිපත්තිමය හේතුවක් මත මා එහි ගියේ නැහැ. ඒනිසා ඔහුගේ ප්‍රකාශය මා දැනගත්තේ මාධ්‍ය වාර්තාවලින් හා එතැන සිටි මහාචාර්ය රොහාන් සමරජීව හරහා.)

ආපදාවක් සිදු වූ විටෙක මාධ්‍යවල කාර්ය භාරය කුමක්දැයි සාකච්ඡා කරන විට රංග විවෘත අදහස් දැක්වීමක් කළා. ආපදාව පිළිබඳ තොරතුරු වාර්තාකරණයෙන් හා විග්‍රහයෙන් ඔබ්බට ගොස් විපතට පත් වූවන්ට ආධාර එකතු කිරීම හා බෙදා හැරීම වැනි ක්‍රියාවල මාධ්‍ය නිරත විය යුතු දැයි ඔහු ප්‍රශ්න කළා.

මෙයට පසුබිම වන්නේ මෑත වසරවල කුණාටු, ගංවතුර, නායයෑම් ආදී ආපදා සිදු වූ පසුව සමාජ සත්කාරයන් ලෙස ආධාර එකතු කොට බෙදා දීමට විද්‍යුත් මාධ්‍ය ආයතන කිහිපයක් යොමු වීමයි.

රංග කළ ප්‍රකාශය සංවාදයකට නිමිත්තක් වී තිබෙනවා. මාධ්‍ය ප්‍රතිව්‍යුහකරණය ගැන අවධාන යොමු වී ඇති මේ කාලයේ මෙබඳු සංවාද අවශ්‍යයි.

Communicating Disasters - 2007 book co-edited by Nalaka Gunawardene & Frederick Noronha
Communicating Disasters – 2007 book co-edited by Nalaka Gunawardene & Frederick Noronha

ආපදා අරභයා මාධ්‍ය කාර්යභාරය කුමක්ද? මේ ගැන මා දේශීයව හා ජාත්‍යන්තරව වසර 20කට වඩා සංවාද කොට තිබෙනවා. 2004 සුනාමියෙන් මාස 18ක් ඉක්ම ගිය පසු මේ ගැන එක්සත් ජාතීන්ගේ ආසියානු කලාපීය සන්නිවේදක රැස්වීමක් මෙහෙවීමෙන් හා කලාපීය ග්‍රන්ථයක් (Communicating Disasters: An Asia Pacific Resource Book, 2007) සංස්කරණයෙන් ලත් අත්දැකීම් මා සතුයි.

ආපදා පෙර සූදානම හා කඩිනමින් මතු වන ආපදා ගැන නිල අනතුරු ඇඟවීම් බෙදා හැරීම සදහා මාධ්‍ය දායකත්වය ගැන මීට පෙර අප කථා කොට තිබෙනවා.

ආපදා සිදු වූ පසුත් මාධ්‍යවලට ලොකු වගකීම් සමුදායක් හා තීරණාත්මක කාර්යභාරයක් හිමි වනවා. ඉතා වැදගත් හා ප්‍රමුඛ වන්නේ සිදුවීම් නිවැරදිව හා නිරවුල්ව වාර්තා කිරීම. වුණේ මොකක්ද, වෙමින් පවතින්නේ කුමක්ද යන්න සරලව රටට තේරුම් කර දීම. එයට රාජ්‍ය, විද්වත් හා ස්වේච්ඡා ආයතනවල තොරතුරු හා විග්‍රහයන් යොදා ගත හැකියි.

ඉන් පසු වැදගත්ම කාරිය ආපදා ප්‍රතිචාරයට හැකි උපරිම ආවරණය සැපයීමයි. මෙයට බේරා ගැනීම්, තාවකාලික රැකවරණ, ආධාර බෙදා හරින ක්‍රම හා තැන්, ලෙඩරෝග පැතිරයාම ගැන අනතුරු ඇඟවීම්  ආදිය ඇතුළත්.

ආපදා කළමනාකරණය හා සමාජසේවා ගැන නිල වගකීම් ලත් රාජ්‍ය ආයතන මෙන්ම හමුදාවත්, රතු කුරුසය හා සර්වෝදය වැනි මහා පරිමාන ස්වේච්ඡා ආයතනත් පශ්චාත් ආපදා වකවානුවල ඉමහත් සේවයක් කරනවා. මාධ්‍යවලට කළ හැකි ලොකුම මෙහෙවර මේ සැවොම කරන කියන දේ උපරිම ලෙස සමාජගත කිරීමයි. ඊට අමතරව අඩුපාඩු හා කිසියම් දූෂණ ඇත්නම් තහවුරු කර ගත් තොරතුරු මත ඒවා වාර්තා කිරීමයි.

මේ සියල්ල කළ පසු මාධ්‍ය තමන් ආධාර එකතු කොට බෙදීමට යොමු වුණාට කමක් නැතැයි මා සිතනවා. කැමති මාධ්‍යවලට එයට නිදහස තිබිය යුතුයි. මාධ්‍ය පර්යේෂකයෙක් හා විචාරකයෙක් හැටියට මා එහිදී විමසන්නේ එබඳු සුබසාධන ක්‍රියා මාධ්‍යයේ ප්‍රධාන සමාජ වගකීම්වලට සමානුපාතිකව කෙතරම් ප්‍රමුඛතාවක් ගනීද යන්නයි.

උදාහරණයක් ගනිමු. 2016 මැයි මස මැදදී රෝනු සුළිසුළඟ (Cyclone Roanu) සමග පැමිණි මහ වැසි නිසා මහා කොළඹ ඇතුළු තවත් ප්‍රදේශ රැසක ජලගැලීම්, ගංවතුර හට ගත්තා. නායයාමට ඉඩ ඇති සමහර ප්‍රදේශවල බරපතළ නායයෑම් සිදු වුණා.

Satellite image of storm clouds over Sri Lanka and India, 15 May 2016
Satellite image of storm clouds over Sri Lanka and India, 15 May 2016

මේ ආපදා හමුවේ DMC දැක් වූ ප්‍රතිචාරය රජය තුළින්මත්, විපත පත් මහජනතාව අතරත් දැඩි විවේචනයට ලක් වුණා. නිසි සූදානමක් හා සම්බන්ධීකරණයක් නොතිබූ බව පැහැදිලියි.

ආපදා ප්‍රතිචාරයේ නිල වගකීම දරණ රාජ්‍ය තන්ත්‍රය දුර්මුඛව, අකර්මන්‍යව සිටින අතරේ ඒ හිදැස පිරවීමට ඉදිරිපත් වූයේ හමුදාව, ස්වේච්ඡා ආයතන මෙන්ම එවේලේ ස්වකැමැත්තෙන් (spontaneously) එක් වූ පුරවැසි කණ්ඩායම්.

විපතට පත් වූවන් බේරා ගන්නට, ආධාර බෙදන්නට හා වෙනත් සහනසේවා සපයන්නට මේ පිරිස් නොමසුරුව පෙරට ආවා. මේ අතර මාධ්‍ය ආයතන ගණනාවක් ද සිටියා.

පුළුල් පෙදෙසක් හරහා පැතිරී මහා පරිමානයක හානි සිදුව තිබුණා. DMC වඩාත් සූදානම්ව හා කාර්යක්ෂමව සිටියා යැයි මොහොතකට උපකල්පනය කළත් මෙම ආපදාවට සියලු ප්‍රතිචාර ලබා දෙන්නට එයට හැකි වන්නේ නැහැ.

ආපදා ප්‍රතිචාරය  හා කළමනාකරණය රාජ්‍ය ආයතනයක ඒකාධිකාරයක් නොවිය යුතුයි. රාජ්‍ය මැදිහත්වීම හා නිල තීරණ ගැනීම අත්‍යවශ්‍ය තැන්හිදී (උදා: අන්තරාදායක තැන්වලින් ජනයාට තාවකාලීකව ඉවත් වන්නට යයි කීම) ඔවුන් මුල් තැන ගන්නා අතර අන් අවස්ථාවල පහසුකම් සළසන්නා (Facilitator) වීමයි වැදගත්.

Sri Lankans wade through a road submerged in flood waters in Colombo, 18 May 2016 (Photo by Eranga Jayawardena, AP)
Sri Lankans wade through a road submerged in flood waters in Colombo, 18 May 2016 (Photo by Eranga Jayawardena, AP)

අකාර්යක්ෂම, අසංවේදී හා අධිනිලධාරීවාදී රාජ්‍ය ආපදා ප්‍රතිචාර හමුවේ විපතට පත් පුරවැසියන්ට පිහිට වීමට පෙරට ආ සියලු රාජ්‍ය නොවන පාර්ශවයන්ට අපේ ප්‍රණාමය හිමි වනවා. මේ අතර මාධ්‍ය ආයතනද සිටිනවා.

ආපදා පිළිබඳ මෙරට මාධ්‍යකරණයේ අඩුපාඩු තිබෙනවා. ප්‍රධාන දුර්වලකමක් නම් සිදුවීම් ගැන බහුලව වාර්තා කළත් ඒවාට තුඩු දෙන සමාජ-ආර්ථීක හා පාරිසරික ප්‍රවාහයන් ගැන ඇති තරම් විමර්ශන නොකිරීමයි.

එසේම ආපදාවක ප්‍රවෘත්තිමය උණුසුම දින කිහිපයකින් පහව ගිය පසු බොහෝ මාධ්‍යවලට එය අමතක වනවා. ආපදාවෙන් බැට කෑ ජනයාගේ නොවිසඳුණු ප්‍රශ්න හා ආපදාවට පසුබිම් වූ සාධක තව දුරටත් පැවතීම ගැන මාධ්‍ය පසුවිපරමක් කරන්නේ  කලාතුරකින්. පුවත්පත් මෙය යම් පමණකට කළත් විද්‍යුත් මාධ්‍ය නොතකා හරිනවා.

මාධ්‍යකරණයේ මේ මූලික අඩුපාඩු හදා ගන්නේ නැතිව මාධ්‍ය ආයතන සිය පිරිස් බලය හා මූල්‍යමය හැකියාවන් ආපදා ආශ්‍රිත සමාජ සුබසාධන ක්‍රියාවලට යොමු කරනවා නම් ඔවුන්ගේ ප්‍රමුඛතා කොතැනදැයි අප ප්‍රශ්න කළ යුතුයි.

එසේම සමාජ සුබසාධනයට යොමු වන මාධ්‍යල එතැනදී තම වාර්තාකරණය සමස්ත ආපදා ප්‍රතිචාරය ගැන මිස තමන්ගේම සමාජ සත්කාරය හුවා දැක්වීමට භාවිත නොකළ යුතුයි. මාධ්‍ය සන්නාම ප්‍රවර්ධනයට ආපදා අවස්ථා යොදා ගැනීම නීති විරෝධී නොවූවත් සදාචාර විරෝධීයි.

”මේවා කරන්නේ අපේ ගුවන් කාලයෙන්, අපේ පරිශ්‍රමයෙන් හා සම්පත්වලින්. ඒ ගැන කාටවත් කැක්කුමක් ඇයි?” සමහර මාධ්‍ය ආයතන ප්‍රශ්න කළ හැකියි.

රාජ්‍ය හා පෞද්ගලික රේඩියෝ ටෙලිවිෂන් නාලිකා සියල්ල භාවිතා කරන්නේ මහජන දේපළක් වන විද්‍යුත් තරංග සංඛ්‍යාතයි. මේ නිසා හිතුමතේ තම සන්නාම ප්‍රවර්ධනය කරමින් වටිනා ගුවන්කාලය එයට වෙන් කිරීම, ආපදා මාධ්‍යකරණය වඩාත් ප්‍රශස්තව කිරීමට තිබෙන වගකීම යම් තරමකට පැහැර හැරීමක් යැයි තර්ක කළ හැකියි.

තවත් මානයක් මා මෙහිදී දකිනවා. මාධ්‍යවලට සමාජයක පෙර ගමන්කරුවා විය හැකියි. අහිතකර ප්‍රවණතා අන්ධානුකරණය කරනු වෙනුවට අභීතව සමාජය හරි මගට යොමු කළ හැකියි.

අපේ දේශපාලකයන් හැම පොදු කටයුත්තක්ම අතිශයෝක්තිමය සංදර්ශනාත්මක වැඩක් බවට පත් කර ගන්නවා. හැමදේම “අහවල්තුමාගේ උතුම් සංකල්පයක් මත, සිදු කරනවා”ලු…

මහජන මුදලින් පාරක්, පාලමක්, ගොඩනැගිල්ලක් තනන විට මුල්ගලේ සිට විවෘත කිරීම දක්වා තමන්ගේ නම් හා රූප යොදා ගනිමින් පාරම් බානවා. රාජපක්ෂ රෙජීමය මහජනතාවට තිත්ත වීමට එක් හේතුවක් වූයේත් මේ සංදර්ශනකාමයයි.

හොඳ වැඩක් කොට නිහඬව හා නිහතමානීව එහි ප්‍රතිඵල අත් විඳීමට හැකි සමාජයක් කරා යා හැකි නම් කෙතරම් අපූරුද? එහෙත් ආපදා වැනි කණගාටුදායක අවස්ථාවල පවා සමාජ සුබසාධනය වටා සංදර්ශනාත්මක පම්පෝරියක් ද මුදා හැරීම නිර්ලජ්ජිත දේශපාලකයන් කරනවා. එහෙත් මාධ්‍ය ආයතන එම රැල්ලටම හසු විය යුතුද?

මෙලොව හා එලොව හිත සුව පිණිස පුද්ගලිකව සමාජ සුබසාධනයේ නියැලෙන මාධ්‍යවේදීන් ද සිටිනවා. ගිය සතියේ මා සහභාගී වූ වැඩමුලුවකට ආ ප්‍රාදේශීය මාධ්‍යවේදියෙක් ආඩම්බරයෙන් කීවේ තම ප්‍රදේශයේ නැති බැරි අයට තමා මේ දක්වා නිවාස 48ක් සාදා දී ඇති බවයි. මෙය යහපත් වැඩක් වුවත්, මාධ්‍යවේදියාගේ කාර්යභාරයට අයත් වේදැයි එහි සිටි අනෙක් මාධ්‍යවේදීන් වාදවිවාද කළා.

Sri Lanka's floods in Colombo suburbs, May 2016 - Photo by Uchinda Padmaperuma, from Facebook
Sri Lanka’s floods in Colombo suburbs, May 2016 – Photo by Uchinda Padmaperuma, from Facebook

මේ සියල්ල මෙසේ වෙනත්, සමාජ සුබසාධන කටයුතුවල යෙදීමට මාධ්‍යවේදීන්ට ඇති අයිතිය මා පිළිගන්නවා. අවශ්‍ය වන්නේ ප්‍රමුඛතා හා වගකීම් හරිහැටි තෝරා බේරා ගෙන කළමනාකරණය කිරීම පමණයි. එසේම එකතු කරන මහජන ආධාර සියල්ලට වග විය යුතුයි.

ඒ අතර කාලීනව හා සමාජයීයව වැදගත් ප්‍රශ්නයක් ඇසූ රංග කලන්සූරිය ඉලක්ක කර ගෙන පෞද්ගලිකව ඔහුට වාග් ප්‍රහාර එල්ල කිරීම නම් පිළිගත නොහැකියි. ඔහුගේ මතයට විකල්ප මත හූවා දැක්වීමෙන් නතර නොවී ඔහුගේ මානසික සෞඛ්‍යය පවා ප්‍රශ්න කරන තැනකට සිරස මාධ්‍ය ආයතනය යොමු වීම කණගාටුදායකයි.

සිරස පන්න පන්නා රංග කලන්සූරියට පහරදීම මා දකින්නේ තමන් අසන්නට නොකැමති විග්‍රහයක් ගෙනා අයකු ගැන කිපී, ඔහුට සියලු වැර දමා ප්‍රහාරයක් දියත් කිරීමක් ලෙසයි.

‘Don’t shoot the messenger’ හෙවත් අමිහිරි පුවතක් රැගෙන එන පණිවුඩකරුවාට වෙඩි නොතබන්න යයි ප්‍රකට ඉංග්‍රීසි කියමනක් තිබෙනවා.

2009 ජනවාරියේ පන්නිපිටියේ සිරස මැදිරි සංකීර්ණයට සංවිධානාත්මක මැර ප්‍රහාරයක් එල්ල වූ අවස්ථාවේ ඔවුන්ගේ ප්‍රකාශන අයිතිය වෙනුවෙන් ප්‍රසිද්ධ අවකාශයේ පෙනී සිටිමින් මා හුවා දැක්වූයේත් මෙයයි.

ගෙවී ගිය ගනඳුරු දශකයේ (2005-2014) අධිකතම ඝනාන්ධකාරය පැවති 2009 වසරේ එබඳු ප්‍රසිද්ධ ස්ථාවරයක් ගැනීම පවා අවදානම් සහගත වූවා. එහෙත් ඒ අවදානම ගනිමින්, සිරසට එල්ල වූ ප්‍රහාරය සමස්ත මාධ්‍ය නිදහසට එරෙහි ප්‍රහාරයක් බව 2009 ජනවාරි 7 වනදා මගේ බ්ලොග් එක හරහා කියා සිටියා.

7 January 2009: Attack on Sirasa TV: Who wants to create a headless Sri Lankan nation?

”දකුණු ආසියාව පුරා පැතිර යන ඉතා අහිතකර ප්‍රවණතාවක් නම් දිරවා ගන්නට නොහැකි පුවත් හා මතයන් ගෙන එන මාධ්‍යවලට පහර දී ඔවුන් නිහඬ කිරීමට තැත් කිරීමයි. ඒ හරහා සෙසු මාධ්‍යවලටද හීලෑවීමට බරපතළ අනතුරු ඇඟවීමක් කිරීමයි.”

මා ඉංග්‍රීසියෙන් පමණක් ලියු යුගයේ කළ එම ප්‍රකාශය පසුව ප්‍රකාශන නිදහස ගැන ක්‍රියාත්මක වන විදෙස් ආයතන පවා උපුටා දක්වා තිබුණා.

එදා සිරසට ප්‍රහාර එල්ල කළ විට කී වැකියම අද සිරස රංගට (වාග්) ප්‍රහාර දෙන විටත් කීමට මට සිදු වනවා. ඔබට දිරවා ගත නොහැකි යමක් රංග කීවා නම් එහි හරය මෙනෙහි කරන්න. එසේ නැතිව එය ප්‍රකාශ කළ පුද්ගලයා ඉලක්ක නොකරන්න.

පොදු අවකාශයේ අප කරන කියන සියල්ල සංවාදයට විවෘතයි. එහෙත් එම සංවාද සංයමයෙන්, තර්කානුකූලව හා බුද්ධිගෝචරව කිරීමේ වගකීම අප කාටත් තිබෙනවා.

Nalaka Gunawardene blog post condemning  military style attack on Sirasa TV complex in Jan 2009
Nalaka Gunawardene blog post condemning
military style attack on Sirasa TV complex in Jan 2009

 

ආපදා අවස්ථාවල මානුෂික ආධාර එකතු කිරීම හා බෙදීම මාධ්‍යවලට සුදුසුද? එසේ කළත් ඒ ගැන පම්පෝරි ගැසීම හරිද?

Disaster reporting, Sri Lanka TV style! Cartoon by Dasa Hapuwalana, Lankadeepa
Disaster reporting, Sri Lanka TV style! Cartoon by Dasa Hapuwalana, Lankadeepa

ආපදා අවස්ථාවල මාධ්‍යවලට ලොකු වගකීම් සමුදායක් හා තීරණාත්මක කාර්යභාරයක් හිමි වනවා. ඉතාම වැදගත් හා ප්‍රමුඛ වන්නේ සිදුවීම් නිවැරදිව හා නිරවුල්ව වාර්තා කිරීම. වුණේ මොකක්ද, වෙමින් පවතින්නේ කුමක්ද යන්න සරලව රටට තේරුම් කර දීම. එයට රාජ්‍ය, විද්වත් හා ස්වේච්ඡා ආයතනවල තොරතුරු හා විග්‍රහයන් යොදා ගත හැකියි.

ඉන් පසු වැදගත්ම කාරිය ආපදා ප්‍රතිචාරයට හැකි උපරිම ආවරණය සැපයීම. මෙයට බේරා ගැනීම්, තාවකාලික රැකවරණ, ආධාර බෙදා හරින ක්‍රම හා තැන්, ලෙඩරෝග පැතිරයාම ගැන අනතුරු ඇගවීම් ආදිය ඇතුළත්.

ආපදා කළමනාකරණය හා සමාජසේවා ගැන නිල වගකීම් ලත් රාජ්‍ය ආයතන මෙන්ම හමුදාවත්, රතු කුරුසය හා සර්වෝදය වැනි මහා පරිමාන ස්වේච්ඡා ආයතනත් පශ්චාත් ආපදා වකවානුවල ඉමහත් සේවයක් කරනවා. මාධ්‍යවලට කළ හැකි ලොකුම මෙහෙවර මේ සැවොම කරන කියන දේ උපරිම ලෙස සමාජගත් කිරීමයි. ඊට අමතරව අඩුපාඩු හා කිසියම් දූෂණ ඇත්නම් තහවුරු කරගත් තොරතුරු මත ඒවා වාර්තා කිරීමයි.

මේ සියල්ල කළ පසු මාධ්‍ය තමන් ආධාර එකතු කොට බෙදීමට යොමු වුණාට කමක් නැතැයි මා සිතනවා. එතැනදීත් තම වාර්තාකරණය සමස්ත ආපදා ප්‍රතිචාරය ගැන මිස තමන්ගේම සමාජ සත්කාරය හුවා දැක්වීමට නොකළ යුතුයි.

මාධ්‍ය සන්නාම ප්‍රවර්ධනයට ආපදා අවස්ථා යොදා ගැනීම නීති විරෝධී නොවූවත් සදාචාර විරෝධීයි. රාජ්‍ය මාධ්‍ය කළත්, පුද්ගලික මාධ්‍ය කළත් වැඩේ වැරදියි.

සිවුමංසල කොලුගැටයා #281: සූර්යබල සංග්‍රාමය සාර්ථක වීමට නම්….

Soorya Bala Sangramaya - සූර්යබල සංග්‍රාමය Image courtesy Ministry of Power and Renewable Energy, Sri Lanka
Soorya Bala Sangramaya – සූර්යබල සංග්‍රාමය Image courtesy Ministry of Power and Renewable Energy, Sri Lanka

In this week’s Ravaya column (in Sinhala, appearing in the print issue of 28 August 2016), I applaud the Sri Lanka government’s new solar power generation programme, and suggest ways in which it can be made more effective in securing energy independence of the nation.

The global trend, especially for domestic and small scale electricity users, is towards decentralized and distributed energy systems. In this scenario, users generate power on site, tapping into renewable sources available locally.

How can our tropical island plug into the sun, wind, trees and the ocean to meet more of our energy needs? Why don’t renewable energies produce a larger share of our energy mix? Who or what are the bottlenecks? I discuss these and other related issues in the column this week.

Self-generating electricity from renewables is slowly picking up, partly encouraged by the introduction in 2009 of net metering. This allows private individuals or companies to “sell” their surplus power to the national grid (the transaction happens in kind, not cash). A two-way electricity meter enables this process.

In August 2016, the Cabinet approved a community based solar power generation programme. Known as “Soorya Bala Sangramaya” (Battle for Solar Energy), it is expected to make at least 20% of electricity consumers to also generate electricity using solar panels – they will be able to sell their excess to the national grid under a guaranteed tariff.

Announcing the Cabinet decision, the government said: “Currently 50% of electricity production in Sri Lanka is done by renewable energy sources and it is expected to increase this percentage to 60% in 2020 and to 70% in 2030. Accordingly, it is required to build wind power plants of 600 MW and solar power plants of 3,000 MW within the next 10 years. It is expected to join consumers in power generation and to promote small solar power plants established on the roof of their houses by the project called ‘Soorya Bala Sangramaya’. It is expected to make at least 20% of consumers to produce electricity and it is expected pay for the excess electricity generated by the consumer.”

Read government document: Implementation of a community based power generation program “Soorya Bala Sangramaya” (Battle for Solar energy) to purchase electricity generated by the electricity customers

සූර්යබල සංග්‍රාමය සාර්ථක වීමට නම්.... http://ravaya.lk/?p=16851
සූර්යබල සංග්‍රාමය සාර්ථක වීමට නම්…. http://ravaya.lk/?p=16851

ජාතික රජයේ හැම ප්‍රතිපත්තියක්ම මා විවේචනය කරනවාදැයි මගේ පාඨකයෙක් ගිය සතියේ ඇසුවා. පොදු උන්නතිය වෙනුවෙන් බොහෝ දේ ප්‍රශ්න කළත් වැරදි සොයා ගෙන යාම මගේ අරමුණ නොවෙයි.

රජයට වසරක් පිරීම නිමිත්තෙන් මගේ අදහස් විමසූ එක් මාධ්‍ය ආයතනයකට මා කීවේ යහපත් ප්‍රතිපත්ති හා ක්‍රියාමාර්ග රැසක් කෙටි කලක් මේ රජය තුළ ගෙන ඇතත් ඒවා රටට සන්නිවේදනය කිරීම දුර්වල බවයි.

වන්දිභට්ටකරණය වෙනුවට තර්කානූකූලව හා නිර්මාණශීලීව සමාජය හා බෙදා ගත හැකි බොහෝ තොරතුරු රාජ්‍ය ආයතන තුළ සැඟවී තිබෙනවා.

රටේ බලශක්ති ප්‍රතිපත්තිය හා ප්‍රවේශය නවීකරණය කිරීම මෙවන් යහ ප්‍රවනතාවක්. පිටරටින් ගෙනෙන ඛණිජ තෙල් හා ගල් අඟුරු මත දැඩි ලෙස යැපීම වෙනුවට බලශක්ති ප්‍රභව විවිධාංගීකරණයකට යොමු වෙමින් තිබෙනවා. මෙය දිරිමත් කළ යුතුයි.

විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය සූර්යබල සංග්‍රාමය නම් ව්‍යාපෘතියක් දියත් කොට තිබෙනවා. රටේ නිවාස දස ලක්ෂයකට සූර්ය බලය හරහා විදුලි ජනනය කිරීමේ හැකියාව ලබා දීම මෙහි අරමුණයි.

මේ ගැන 2016 අගෝස්තු 16 වනදා කැබිනට් තීරණ පිළිබඳ මාධ්‍ය ප්‍රකාශනයේ මෙසේ සඳහන් වූණා.

දැනට ශ්‍රී ලංකාවේ විදුලිබල නිෂ්පාදනයෙන් 50%ක පමණ ප්‍රමාණයක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභව මඟින් නිෂ්පාදනය කෙරෙන අතර, එම ප්‍රමාණය 2020 වන විට 60%ක් දක්වාද, 2030 පමණ වන විට 70%ක් දක්වාද වැඩි කිරීම රජයේ අපේක්ෂාවයි. මේ අනුව ඉදිරි වසර 10 ඇතුළත මෙගාවොට් 600ක පමණ සුළං බලාගාරද, මෙගාවොට් 3,000ක පමණ සූර්ය බලාගාරද ඉදි කිරීම අවශ්‍ය වේ.

 “මෙහිදී විදුලි පාරිභෝගිකයන්ද විදුලි නිෂ්පාදකයින් වශයෙන් විදුලි ජනන ක්‍රියාවලියට සම්බන්ධ කර ගනිමින් විශේෂයෙන්ම තම නිවෙස්වල වහල මත ඉදි කෙරෙන කුඩා සූර්ය බලාගාර ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක් සූර්ය බල සංග්‍රාමයනමින් ක්‍රියාවට නැංවීමට සැලසුම් කර ඇත.

 “මේ යටතේ විදුලි පාරිභෝගිකයින්ගේ 20%ක්වත් විදුලි නිෂ්පාදකයින් බවට පත් කිරීමට අපේක්ෂිත අතර, නිෂ්පාදනය කරනු ලබන අතිරික්ත විදුලිය සඳහා ගෙවීම් කිරීමටද නියමිතය.

බලශක්ති සන්සදය කියන හැටියට නිවෙස් මට්ටමේ සූර්ය බලය භාවිත කරන නිවාස ලක්ෂයකට වඩා දැනටමත් මෙරට තිබෙනවා.

1980 දශකය මැද පටන් මෙරට සූර්ය තාක්ෂණය ප්‍රවර්ධනය කරනු ලැබුවේ එවකට ජාතික විදුලි ජාලය අහලකටවත් නොපැමිණි දුර බැහැර ප්‍රදේශවල ජනයාට යම් මට්ටමක (ආලෝකයට මූලික වූ) විදුලිබලයක් ලබාදීමටයි. අද යථාර්ථය මීට වෙනස්.

විදුලිය නැති නිවෙසකට එය ලබා දෙන්නට සූර්ය කෝෂවලට හැකි වුවත් ධාරිතාවේ සීමා තිබෙනවා. විදුලි බල්බ, ටෙලිවිෂන්, රේඩියෝ ක්‍රියා කරන්න සෑහුනද ඉස්තිරික්කල ශීතකරන ආදියට කුඩා සූර්ය ඒකකවලින් ලැබෙන විදුලිය මදි. එහෙත් එයට ඉහළ ධාරිතාවේ, වැඩි මිළැති සූර්ය බල පද්ධති අද තිබෙනවා.

සූර්ය බලය නිවෙසක සවි කිරීමට යන වියදම එහි ධාරිතාව මත වෙනස් වනවා. වායුසමන යන්ත්‍ර ඇතුලුව වැඩි විදුලිය බලයකින් ක්‍රියා කරන උපකරණ පවා බල ගැන්විය හැකි තරම් ඉහල සූර්ය පුවරු පද්ධති (solar panel systems) අද තිබෙනවා. ඒත් මූලික පිරිවැය අධිකයි. මා දන්නා මධ්‍යම පාන්තික නිවෙසක විදුලි ඒකක 350-400ක් ජනනයට අවැසි තරම් සූර්ය පුවරු සවි කොට ගෙන තිබෙනවා.

බලශක්ති අමාත්‍යංශයේ වෙබ් අඩවියට අනුව සූර්ය කෝෂ වහලය මත සවි කර ගන්නා නිවාසවලට එයට යන මූලික වියදමට බැංකු ණය නිර්දේශ කිරීමට නියමිතයි. එසේම තම අවශ්‍යතාව ඉක්මවා විදුලිය ජනනය වන අවස්ථාවල එය ජාතික විදුලිබල ජාලයට සැපයීමේ පහසුකමද හිමිවනවා.

මෙයට පදනම 2010 දී මෙරට හඳුන්වා දුන් ශුද්ධ මනුකරණ (Net Metering) නම් ක්‍රමවේදයයි. මේ යටතේ නිවසේ විදුලිබල මීටරය ඉදිරියට මෙන්ම ආපස්සටත් යා හැකියි. මෙහිදී පාරිභෝගිකයා ජාතික විදුලි ජාලය බලශක්ති “ගබඩාවක්” ලෙස භාවිත කරනවා.

How Net Metering works
How Net Metering works

පාරිභෝගිකයා නිවසේ වහලය මත සවි කර ගන්නා සුර්ය බලශක්ති පැනල මගින් දිවා කාලයේ නිපදවන විදුලි අතිරික්තය, ජාතික විදුලිබල ජාලයට ලබා දෙනවා. වැඩිපුර විදුලිබල පාවිච්චි වන සන්ධ්‍යා හා රාත්‍රී කාලයේ තම පරිභෝජනය සදහා ජාලයෙන් විදුලිය ලබා ගන්නවා. මාසය අවසානයේ මුදල් ගෙවිය යුත්තේ තමන් වැඩිපුර භාවිත කර ඇති ඒකක ගණන සදහා පමණයි.

ශුද්ධ මනුකරණ සංකල්පය මෙරට පිළිගැනීමෙන් පසු විදුලිබල මණ්ඩලය CEB මෙන්ම සමහර නාගරික ප්‍රදේශවලට විදුලිය බෙදන LECO සමාගම ද යම් කොන්දේසිවලට යටත්ව මෙය ක්‍රියාත්මක කරනවා.

එහෙත් ජාලයට දුන් විදුලි ඒකක ගණනට වඩා අඩුවෙන් පාරිභෝගිකයා එයින් විදුලිය යළි ගත හොත් ඒ සදහා පාරිභෝගිකයාට මුදල් නොගෙවයි. (එම ඒකක ගණන ඉදිරි මාසවලදී පරිභෝජනයට ගත හැකියි.)

දැනට ක්‍රියාත්මක වන ශුද්ධ මනුකරණ ක්‍රමවේදය විදුලි ඒකක 200කට වඩා පරිභෝජනය කරන ඕනෑම විදුලි පාරිභෝගිකයකුට වාසිදායකයි.

එහෙත් මේ වසරේ සිට හදුන්වා දෙන නෙට් එකවුන්ටින් (Net Accounting) නව ක්‍රමයේදී පාරිභෝගිකයා වැඩිපුර නිපදවන විදුලි ඒකක සදහා

CEB/LECO ගෙවීමටද නියමිතයි. එම ක්‍රමය මගින් අඩු විදුලි ඒකක සංඛ්‍යාවක් භාවිත කරන විදුලි පාරිභෝගිකයන්ට අමතර ආදායමක් උපයා ගැනීමට හැකි වනවා.

අලුතින් එකතු වන තවත් ක්‍රමවේදයක් නම් Net Plus. එනම් වහල මත සූර්ය බලශක්තියෙන් විදුලිය නිෂ්පාදනය කරන නිවාස, එසේ ජනනය කරන සමස්ත විදුලි ඒකක ගණන ජාතික විදුලි ජාලයට ලබා දුන් විට එයට යම් සම්මත මිළක් ගෙවීම.

මෙහිදී ශුද්ධ මනුකරණ ක්‍රමය යටතේ මෙන් නොව පාරිභෝගිකයාගේ ජනනය, විදුලි පරිභෝජනයෙන් නිදහස්. ඒ අනුව පාරිභෝගිකයා තම පරිභෝජනයට පවතින ගාස්තු ක්‍රමය යටතේ විදුලි ගාස්තු ගෙවිය යුතු අතර ඔහුගේ මුළු විදුලි ජනනයම CEB/LECO විසින් යම් ගණන්වලට මිළයට ගන්නවා.

සූර්යබල සංග්‍රාමය නිසි ලෙස ක්‍රියාත්මක වූ විට රටේ නිවාස දස ලක්ෂයක් කුඩා විදුලිබලාගාර බවට පත් වන බවයි බලශක්ති අමාත්‍යවරයා හා නියෝජ්‍ය අමාත්‍යවරයා කියන්නේ.

එසේම සමහරක් මේ නිවාසවලට තමන්ගේ සමස්ත විදුලි පරිභෝජනයට වඩා සූර්ය බලශක්තිය නිපදවා ජාතික ජාලයට සපයා අමතර ආදායමක් ලද හැකි යයි ඔවුන් කියනවා.

ආර්ථීකයටත්, ජන සමාජයටත් එක සේ වැදගත් මේ ව්‍යාපෘතිය නිලධාරිවාදයට යට වීමට ඉඩ නොදී නිසි ලෙස සන්නිවේදනය කොට ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍යයි.

පාරිභෝගිකයන් ලෙස අප සැවොම සොයන්නේ ආරක්ෂිත, පිරිසිදු, දිගටම ලැබෙන හා ලාබදායක බලශක්තියයි. මේ අවශ්‍යතා පිරිමසන හොඳම ශක්ති විශේෂය නම් විදුලි බලයයි.

2015 සැප්තැම්බර් වන විට රටේ දිස්ත්‍රික්ක 4ක් (මඩකලපුව, මන්නාරම, කිලිනොච්චි හා මුලතිව්) හැර අන් සියල්ලේම 90%කට වැඩි විදුලිබල ආවරණයක් තිබූ බව බලශක්ති අමාත්‍යංශ වෙබ් අඩවිය කියනවා.

2012 ජන සංගණනයට අනුව රටේ නිවාස ඒකකවලින් 87%ක් ආලෝකය සඳහා විදුලිබලය යොදා ගත් අතර භූමිතෙල් 12.2%ක්, සූර්ය බලය 0.6% ක් හා අනෙකුත් ප්‍රභවයන් 0.2% ක් වාර්තා වුණා.

මෑත දශකවල විදුලිබල ජාතික ජාලයේ ආවරණය බෙහෙවින් පුළුල් වූවත් විදුලිබලය තව දුරටත් ලාබදායක නැහැ. ගමට ලයිට් ආවත් එය භූක්ති විඳින්නට අවශ්‍ය මූලික ආයෝජනය හා මාසික වියදම දැරීමට නොහැකි පවුල් එමට සිිටිනවා.

අනෙක් අතට වැඩි වන විදුලිබල ඉල්ලුමට සරිලන සැපයුමක් ජනනය කිරීම රජයට ලොකු අභියෝගයක්. ඉතා හොඳ වර්ෂාපතනයක් ලබන වසරකදී වුවත් සමස්ත ඉල්ලුමෙන් 40%කට වඩා ජල විදුලි බලාගාරවලින් ජනනය කරන ගත නොහැකියි.

ඉතිරියෙන් බහුතරයක් ජනනය කැරෙන්නේ ඛණිජතෙල් හා ගල් අඟුරු යොදා ගෙනයි. මේවා දේශීයව හමු නොවන නිසා විදේශයන්ගෙන් මිළට ගත යුතුයි. ඒවා දහනයෙන් පිට වන කාබන්ඩයොක්සයිඩ් වායුව ගෝලීය උණුසුම්වීමට දායක වනවා.

ටිකෙන් ටික හෝ මේ ඛණිජතෙල් හා ගල් අඟුරු මත යැපීම අඩු කළ යුතු බව කලෙක සිටම සමහර විද්වතුන් පෙන්වා දී තිබෙනවා. අපට දේශීයව සම්පාදනය කර ගත හැකි පූනර්ජනනීය හෙවත් සුනිත්‍ය බලශක්ති ප්‍රභවයන් (renewable energy sources) දියුණු කර ගැනීම ගැන 1970 ගණන්වල පටන් කථා කළත් ප්‍රගතිය සීමිතයි.

මෙයට හේතු රැසක් තිබෙනවා. ජල විදුලිය හැරුණු කොට අනෙකුත් සුනිත්‍ය බලශක්ති සඳහා තාක්ෂණය ප්‍රචලිත  නොවීම හා මිළ අධිකව පැවතීම එකක්. (මෙය පසුගිය දශකයේ බෙහෙවින් වෙනස් වී තිබෙනවා.)

තව ප්‍රධාන හේතුවක් නම් විදුලි බල මණ්ඩලයට සුනිත්‍ය ප්‍රභවයන් ගැන සැබෑ උනන්දුවක් නොතිබීමයි.

මහා පරිමාණ, මධ්‍යගත බලශක්ති ජනනයේ මානසිකත්වයට මුළුමනින්ම නතු වූ විදුලිබල මණ්ඩලය විකල්ප බල ශක්ති ගැන කවදත් දැරුවේ අවඥා සහගත ආකල්පයක්. මෙය වෙනස් කිරීමට බොහෝ බලශක්ති අමාත්‍යවරුන්ට පවා හැකි වූයේ නැහැ.

මෙයින් ඔබ්බට යන දිගු කාලීන වූත්, වඩාත් පරිසර හිතකාමී වූත් බලශක්ති පිළිවෙතකට සංක්‍රමණය වීමේ පෙර නිමිති තිබෙනවා. සූර්යබල සංග්‍රාමය එැන්නක්.

එහෙත් මාධ්‍ය ප්‍රචාරණයෙන් ඔබ්බට ගිය තාක්ෂණික උපදෙස් හා මූල්‍ය පහසුකම් නිලධාරිවාදයෙන් තොරව සපයන ව්‍යාපෘති කළමනාකරණයක් එහි සාර්ථකත්වයට අවශ්‍යයි. යහපත් සංකල්ප අසංවේදී හෝ සංකීර්ණ හෝ ක්‍රමවේදයන් හරහා ක්‍රියාත්මක කිරීමට ගොස් අසාර්ථක වීමේ අත්දැකීම් මෙරට විවිධ ෙක්ෂත්‍රවල අපට හමු වනවා.

සූර්ය බලශක්ති ප්‍රවර්ධනයට අදාළ සමාජ විද්‍යාත්මක හා ආර්ථීක විද්‍යාත්මක සාධක තිබෙනවා. සූර්ය තාක්ෂණය සංකීර්ණ එකක් නොවූවත් යම් නඩත්තු කිරීමක් හා තාක්ෂණික දැනුමක් අවශ්‍යයි.

Cartoon by Ron Tandberg
Cartoon by Ron Tandberg

සූර්ය බලය ගෘහස්ත මට්ටමින් විදුලිබල ජනනයට යොදා ගැනීමේ වසර 30කට ආසන්න අත්දැකීම් මෙරට තිබෙනවා. මේ අත්දැකීම් ලැබුවේ එම ක්ෂේත්‍රයේ පුරෝගාමී වූ පෞද්ගලික සමාගම්  හා රාජ්‍ය නොවන සංවිධාන විසින්. (මේ ඉතිහාසය ඉදිරි තීරු ලිපියක සැකෙවින් විස්තර කිරීමට මා අදහස් කරනවා.)

සර්වෝදය, සෝලංකා, පවර් ඇන්ඩ් සන්, Solar Electric Light Fund ආදී දෙස් විදෙස් ආයතන මෙරට නිවාස මට්ටමේ සූර්ය බලශක්ති ප්‍රවර්ධනයේ පුරෝගාමීන්. ඔවුන් උගත් පාඩම්වලින් අද ප්‍රතිපත්ති සම්පාදකයන්ට හා නිලධාරීන්ට ප්‍රයෝජන ගත හැකියි.

සූර්ය කෝෂ හා සම්බන්ධිත තාක්ෂණය මෙරටම නිපදවා ගන්නවාද? නැත්නම් චීන, ජර්මන් හෝ වෙනත් සැපයුම් කරුවන්ගෙන් ලබා ගන්නවා ද? මෙරට සූර්ය තාක්ෂණයට අත හිත දීමට අපේ බැංකු කොතරම් උත්සුක වේද? සමස්ත සුනිත්‍ය බලශක්ති ක්ෂේත්‍රය නිසි නියාමනයට හා විමර්ශනයට ලක් කිරීමට මහජන උපයෝගිතා කොමිසමට (PUCSL) හැකි ද?

ගතවූ වසර 25කට අධික කාලය තුළ සුනිත්‍ය බලශක්ති ගැන මා විවිධ මාධ්‍යවලින් මෙවැනි ප්‍රශ්න මතු කොට තිබෙනවා. මේ ප්‍රශ්න අසන්නේ කිසිවකු අපහසුතාවට පත් කිරීමට නොව යහපත් ප්‍රතිපත්ති ප්‍රශස්තව ක්‍රියාත්මක වනු දැක්මේ පොදු අරමුණින්.

Read also: සූර්ය බලයෙන් ඔබේ විදුලි බිල සුන් කල හැකිද? ඔබ දැන ගත යුතු කරුණු 9ක්

Image courtesy Aniwa.lk Image source - www.aniwa.lkwp-contentuploads201609SolarPower-05.jpg
Image courtesy Aniwa.lk
Image source – http://www.aniwa.lkwp-contentuploads201609SolarPower-05.jpg

සිවුමංසල කොලූගැටයා #245: මැන්ඩෙලා කෙනකු හමු නොවූ සෝභිත හිමියෝ

In this week’s Ravaya column, (appearing in issue of 15 Nov 2015), I pay tribute to Maduluwawe Sobitha thero (1942 – 2015), a Buddhist monk who led an extraordinarily political life.

The fearless and politically engaged Buddhist monk stood up to every Lankan head of state beginning with President J R Jayewardene (in office: 1977-1988). He never hesitated or minced his words when he sensed that elected leaders were overstepping their mandate.

For over four decades, Sobitha used his powerful oratorical and organisational skills to mobilise people into peaceful political resistance. He won some battles and lost others, but never stopped fighting for people’s rights. With every struggle, he became more resolute and resourceful.

At certain times, this monk was more formidable – and also more feared by rulers – than the divided and endlessly bickering opposition political parties of Sri Lanka.

To my mind, Sobitha was like a saffron version of Desmond Tutu, the Anglican cleric who became an unstoppable force for social justice, equality and political reforms in South Africa. Both used their oratory and sense of justice to fight for all oppressed people. Neither sought any personal gains from it.

See also my tribute in English, published by Groundviews.org

Maduluwawe Sobitha Thero (1942-2015): The Monk Who Ended Sri Lanka’s Decade of Darkness

Mandela, Tutu and Sobitha
Mandela, Tutu and Sobitha

මාදුළුවාවේ සෝභිත හිමි (1942 – 2015) පිළිබඳ ගුණ කථන හා විග‍්‍රහයන් රැසක් මේ සතියේ අපට අසන්නට හා දකින්නට ලැබුණා.

මෑත යුගයේ රටේ ජාතික, සමාජයීය හා දේශපාලන ප‍්‍රශ්නවලදී පටු වාසි තකා හෝ අන්තවාදී ස්ථාවරයන් සඳහා හෝ පෙනී නොසිට ජනතාවාදී වීම නිසාම එහිමියන්ගේ වියෝව ලක් සමාජයම කම්පාවට ලක් කළා.

මා කිසි දිනෙක සෝභිත හිමියන් පෞද්ගලිකව දැන හඳුනා ගත්තේ නැහැ. එහෙත් මුළුමනින් නිර්ආගමික මා වැන්නවුන්ටත්, රටේ බෞද්ධ හෝ වෙනත් ආගම්වලට අයත් අති බහුතරයකටත් සෝභිත හිමියන් වීරයකු වූයේ සාමයික බෙදීම් හා පක්ෂ දේශපාලනය ඉක්මවා ගිය ඔහුගේ ප‍්‍රතිපත්ති නිසායි.

සෝභිත හිමියන් මා ජීවමානව අවසන් වරට දුටුවේ ගිය වසරේ මැදදී. 2014 අගෝස්තු 4 වනදා කොළඹ BMICH ශාලාවේ පැවති සර්වෝදය දෙවැනි ජාතික දේශෝදය සම්මේලනයේදී. මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමි, ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න, මහාචාර්ය සරත් විජේසූරිය හා ආචාර්ය ඒ. ටී. ආරියරත්න ඇතුළු විද්වතුන් සභාව ඇමතූ අතර මට පැවරී තිබුණේ සංවාද සැසියක් මෙහෙයවීමටයි.

යහපාලනය සංකල්පීය හා ප‍්‍රායෝගික වශයෙන් කෙසේ විය යුතුද යන්න ගැන අප එදා කතා කළේ ශ‍්‍රී ලංකාවේ 2005 සිට පැවති නීතිය වල් වැදීම, දුෂණය රජ කිරීම හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් නොතකා රජය අත්තනෝමතිකව ක‍්‍රියා කිරීම ආදිය උච්චස්ථානයකට පත්ව තිබි මොහොතකයි. මෙරට ගනඳුරු දශකය කවදා කෙලෙසකින් නිම වේදැයි අප කිසිවකුත් ඒ වන විට දැන සිටියේ නැහැ.

Sarvodaya leader Dr A T Ariyaratne presenting his autobiography to Ven Sobitha at BMICH on 4 Aug 2014 (Sarvodaya photo)
Sarvodaya leader Dr A T Ariyaratne presenting his autobiography to Ven Sobitha at BMICH on 4 Aug 2014 (Sarvodaya photo)

එදින රැස්වීමට දිවයිනේ හැම දිස්ත‍්‍රික්කයක්ම නියෝජනය කරමින් සිවිල් සමාජ සාමාජිකයන් 1,500කට වැඩි පිරිසක් පැමිණ සිටියා. ඔවුන් හා අප සැම දෙනා ප‍්‍රමෝදයට පත් වූයේ ටික වේලාවකට හෝ සෝභිත හිමියන් එහි පැමිණි විටයි. එහිමියන් ඉතා කෙටියෙන් එම තීරණාත්මක හෝරාවේ රට යා යුතු මග ගැන කතා කළ බව මට මතකයි.

ඒ වනවිට සෝභිත හිමියන් නිරතව සිටියේ ඔහුගේ ජීවිතයේ දැවැන්තම අරගලයේයි. නිදහස් හා සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය බිහිකොට එයට නායකත්වය දෙමින් සිටි ඔහුට ඕනෑ වූයේ හුදෙක් පවතින රජය පෙරළා වෙනත් රජයක් ප‍්‍රජාතන්ත‍්‍රවාදීව පත් කර ගන්නට නොවෙයි. ඉන් ඔබ්බට හා ගැඹුරින් දිවෙන ක‍්‍රමීය වෙනසක් කරන්නටයි.

විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමේ අරමුණින් ඇරැඹි ව්‍යාපාරය පසුව යහපාලනය සඳහා මහජන රැල්ලක් හා බලවේගයක් බවට පත්වීමට දායක වූ ප‍්‍රධානතම සමාජ ක‍්‍රියාකාරිකයා ඔහුයි.

Sobitha (with microphone in hand) was always at the forefront in public agitations for political reform
Sobitha (with microphone in hand) was always at the forefront in public agitations for political reform

සෝභිත හිමියන් සමීපව ඇසුරු කළ මාධ්‍යවේදී ධර්මන් වික‍්‍රමරත්න කියන්නේ ජනතා අරගලවලට සක‍්‍රියව සහභාගි වීම එහිමියන් ඇරැඹුවේ 1960 දශකයේ ශ‍්‍රී ජයවර්ධනපුර සරසවියේ (එවකට විද්‍යොදය) ශිෂ්‍ය නායකයකුව සිටි අවදියේ බවයි.

යහපත් වැඩකිරීම සඳහා පක්ෂ භේද නොතකා දේශපාලකයන්ට අනුබලය දුන් අතර අයුක්තිය හා අසාධාරණත්වයට එරෙහිව ඕනෑම ජගතෙකුට නොබියව විරුද්ධ වීම සෝභිත හිමියන්ගේ අදීන චරිත ගතියයි. එහිදී කලක් තමන් සමග සමීපව ක‍්‍රියා කළ දේශපාලකයන් පවා පසු කලෙක අයාලේ ගිය විට ඔවුන්ව ප‍්‍රසිද්ධියේම විවේචනය කළා.

‘සෝභිත හිමියන් කිසිදා කිසිදු දේශපාලන පක්ෂයකට බැඳුනේ නැහැ. එසේම කිසිදු නායකයකුට එරෙහි වීමට පසුබට වූයේද නැහැ. එසේ කරන විට මතුවූ තර්ජන, ගර්ජන, බාධක රැසක් හමුවේ ප‍්‍රතිපත්තිගරුක ස්ථාවරයන් වෙනස් කළේද නැහැ’ ධර්මන් කියනවා.

එනයින් බලන විට සෝභිත හිමියන් ජීවිත කාලය පුරාම විවිධාකාර අධිපතිවාදයන්ට එරෙහි වූවා යැයි කිව හැකියි. 20 වන සියවසේ සමාජයීය හා දේශපාලන අරගලයන්ට නායකත්වය හෝ මඟපෙන්වීම සැපයූ යක්කඩුවේ ප‍්‍රඥාරාම, කොටහේනේ පඤ්ඤාකිත්ති, උඩකැන්දවල සරණංකර (1902-1966) හා වල්පොල රාහුල (1907-1997) යන අසාමාන්‍ය ගණයේ හිමිවරුන්ට සෝභිත හිමියන් සම කළ හැකි බව ධර්මන්ගේ අදහසයි.

ජාත්‍යන්තරවද සෝභිත හිමියන්ගේ අද්විතීය චරිතයට සම කළ හැකි චරිතයක් මා දකිනවා. එනම් දකුණු අප‍්‍රිකාවේ වර්ණභේදවාදයට හා සෙසු සියලූ සමාජ අසාධාරණකම්වලට එරෙහිව අඩ සියවසකට වැඩි කලක් නිරායුධ හා මතවාදී අරගල කරන කේප්ටවුන් නුවර හිටපු ආච්බිෂොප්වරයා වන ඩෙස්මන්ඞ් ටූටූ (Desmond Tutu)’

ඔහු ඇංග්ලිකානු නිකායේ ක‍්‍රිස්තියානි පූජකවරයකු වුවත් එරට හා ලෝකයම හඳුනන්නේ පූජක මට්ටමකින් ඔබ්බට ගොස් මානව අයිතීන් හා සමාජ සාධාරණත්වයට කැප වූ මානව හිතවාදියකු ලෙසයි.

නෙල්සන් මැන්ඩෙලා දකුණු අපි‍්‍රකාව යළි ගොඩ නැංවීමේ දුෂ්කර කාරියේ නඬේ ගුරා වන විට ඔහුට දේශපාලන කරලියෙන් පිටත සිට ඉතා තීරණාත්මක සහයෝගයක් දුන්නේ ටූටූයි.

Former South African President Nelson Mandela, right, reacts with Archbishop Desmond Tutu, left, during the launch of a Walter and Albertina Sisulu exhibition, called, 'Parenting a Nation', at the Nelson Mandela Foundation in Johannesburg, South Africa, on 12 March 2008 (AP Photo/Themba Hadebe)
Former South African President Nelson Mandela, right, reacts with Archbishop Desmond Tutu, left, during the launch of a Walter and Albertina Sisulu exhibition, called, ‘Parenting a Nation’, at the Nelson Mandela Foundation in Johannesburg, South Africa, on 12 March 2008 (AP Photo/Themba Hadebe)

1931 උපන් ඔහු බි‍්‍රතාන්‍යයේ දේවධර්මවාදය උගත්, කථාවෙහි හා විවාදයෙහි අති දක්‍ෂ කඵ ජාතිකයෙක්. වර්ණභේදවාදයේ උච්චතම වකවානුවේ (1970 – 1980 දශකවල) ඔහු එහි ම්ලේච්ඡ ස්වභාවය බටහිර රටවලට මනා සේ පැහැදිලි කර දුන්නා.

දකුණු අපි‍්‍රකාවේ නිදහස් අරගලය සුදු, කඵ, මිශි‍්‍රත හැමගේ අරගලයක් බවට දිගින් දිගට ම ඔහු හඩ නැගුවේ මැන්ඩෙලා නිහඩ කොට සිරගත කොට සිටින කාලයේ පටන්. පලිගැනීමේ හා වෛරයේ දේශපාලනයෙන් ANC පාක්‍ෂිකයන් මුදවා ගෙන සමාව දීමේ මාර්ගයට යොමු කරන්නට සාමයික හා දාර්ශනික මට්ටමෙන් ද ටූටූ ඉතා විශාල මෙහෙවරක් ඉටු කළා.

සාමය හා සාධාරණත්වය උදෙසා අවිහිංසාවේ හඩ නැගීම වෙනුවෙන් 1984 නොබෙල් සාම ත්‍යාගය ඔහුට පිරි නැමුණා.

දකුණු අප‍්‍රිකාවේ හා ශ‍්‍රී ලංකාවේ දේශපාලන හා ඓතිහාසික යථාර්ථයන් බෙහෙවින් වෙනස්. එහෙත් පුළුල් චිත‍්‍ර මට්ටමින් බලන විට දෙරටෙහිම සමාජ සාධාරණත්වය සඳහා නොනිමි අරගලයක් ඉදිරියට ඇදෙන බව මා දකිනවා.

දකුණු අප‍්‍රිකාවේ එම අරගලයට දේශපාලන නායකත්වය දුන් නෙල්සන් මැන්ඩෙලා ප‍්‍රමුඛ අප‍්‍රිකානු ජාතික කොංග‍්‍රස් නායකයන් ගණනාවක් සිටියා. මේ උදවිය කෙටි කාලීනව ජනප‍්‍රිය නමුත් දිගු කාලීනව අහිතකර ප‍්‍රතිපත්ති හා තීරණවලට එළඹෙන විට විචාරශිලීව ඔවුන්ට එය පෙන්වා දී වළක්වා ගැනීමේ හැකියාව තිබූ කලාකරුවන්, විද්වතුන් හා සමාජ ක‍්‍රියාකාරිකයන් ගණනාවක් මැන්ඩෙලාට සවියක් වූ සැටි මීට පෙර කොලමකින් මා විස්තර කළා.

නෙල්සන් මැන්ඩෙලාගේ හා දකුණූ අපි‍්‍රකාවේ වාසනාවට මෙන් නැඞීන් ගෝඩිමර්, ඩෙස්මන්ඞ් ටූටූ වැනි සම්මානීය, නිදහස් මතධාරීන් ගණනාවක් වර්ණභේදවාදය පිටු දකින්නට හා ඉන් පසු නව දේශයක් බිහි කරන්නට ඒක රාශී වුණා. මැන්ඩෙලා දේශපාලන ගනුදෙනු කරමින් පාක්‍ෂිකයන් සතුටු කරන්නට ඇතැම් විට කෙටිකාලීන පියවර ගන්නට යන විට ඔහුව දේශපාලන මඩගොහොරු හා බොරු වලවලින් බේරා ගත්තේ මෙබදු විචාරශීලි සහෘදයන්.

මෙසේ දේශපාලන නායකයන්ට තිරසාර මග පෙන්වීමක් කළ, ඔවුන් අයාලේ යන විට මුලින් පෞද්ගලිකවත් පසුව ප‍්‍රසිද්ධියේත් ඔවුන්ට දැඩි අවවාද හෝ අවලාද කොට හරිමඟට ගැනීමේ හැකියාව තිබූ අය අතර ටූටූ ප‍්‍රමුඛයා වුණා.

මැන්ඩෙලා වුවත් ඉඳහිට නොමනා තීරණ ගත්විට හෝ නිසිකලට ප‍්‍රශ්න නොවිසඳා ‘වැට උඩ සිටින විට ඔහු යහමගට ගැනීමේ හැකියාව ටූටූ සතු වුණා.

Tutu and Mandela complemented each other
Tutu and Mandela complemented each other

1994දි ප‍්‍රථම වතාවට සර්ව ජන ඡන්දය සියලූ වැඩිහිටියන්ට හිමිවූ මැතිවරණයකින් ප‍්‍රජාතන්ත‍්‍රවාදී රජයක් බලයට පත්වූ පසු ටූටූ සිය අවධානය යොමු කළේ සංහිඳියාව සඳහායි. දහක පහකට වඩා දැඩි ලෙස බෙදී, ධ‍්‍රැවීකරණය වී තිබූ බහුවාර්ගික හා බහුආගමික දකුණු අප‍්‍රිකානු සමාජය ටිකෙන් ටික සුවපත් කිරීමේ වගකීමට ඔහු උර දුන්නා. ඒ පූජකයකු ලෙස නොව දාර්ශනිකයකු, මානව හිතවාදියෙකු හා ජාතියේම ප‍්‍රණාමයට පත් ජ්‍යෙෂ්ඨ පුරවැසියකු ලෙසින්.

1994න් පසු බිහි වෙමින් පවතින නව දකුණු අප‍්‍රිකාවට දේදුනු දේශය (Rainbow Nation) ලෙස නම් තැබුවේත් ඔහුයි. විවිධ ජාතීන් හා ගෝත‍්‍ර දුසිම් ගණනක් එක් කැරෙන මේ දේශය සංස්කෘතික හා සමාජයීය විවිධත්වයේ ප‍්‍රතිමූර්තියක් විය යුතු බව ඔහුගේ දැක්ම වුණා. මේ නම ගැන සමහරුන්ට විවේචන ඇතත් එක් ධජයක් යට ජාතික අනන්‍යතාවක් බිහි කරන්නට දකුණු අප‍්‍රිකාවට දශක දෙකකට වැඩි කාලයක් ගුරුහරුකම් දෙන්නේ ටූටූ.

වර්ණභේදවාදය නිමා කරන්නට ටූටූ මහත් සේ දායක වූවත් 1994න් පසු කිසිදු දේශපාලන හෝ පොදු ආයතනික තනතුරක් භාර ගත්තේ නැහැ. 1996-2000 වකවානුවේ සත්‍යය හා සංහිඳියාව පිළිබඳ කොමිසමේ සභාපතිවරයා ලෙස නම් අතිශයින් වැදගත් මෙහෙවරක් ඔහු ඉටු කළා.

මෙකී නොකී බොහෝ සාධක නිසා දකුණු අප‍්‍රිකාවේ හෘද සාක්ෂිය ලෙස සැලකෙන්නේ දැනට 84 වියැති ටූටූයි.

වරක් මැන්ඩෙලා ඔහු ගැන මෙසේ කීවා. ‘ටූටූ විටෙක ඉතා මෙලෙක්. තවත් විටෙක ඉතා දැඩියි. කිසි විටෙක බිය නැහැ. එසේම බොහෝ විට සිනාමුසු හා හාස්‍යලෝලී චරිතයක්. මිලියන ගණනක හඬක් නැති අපේ ජනයාගේ හඬ වන්නේ ඔහුයි.’

ඩෙස්මන්ඞ් ටූටූ 1994 සිට බලයට පත් හැම දකුණු අපි‍්‍රකානු රජයක් ම නොබියව විවේචනය කරන අයෙක්. සිවිල් සමාජ කි‍්‍රයාකාරිකයකු ලෙස මානව හිමිකම්, HIV/AIDS, කාන්තා අයිතිවාසිකම්, පාරිසරික ප‍්‍රශ්න, දුප්පත්කම පිටුදැකීම ආදී බොහෝ වැදගත් සමාජ අරගලයන්ට අනුබල දෙනවා.

මැන්ඩෙලා සමග විවෘතව කිසි දිනෙක නොගැටුනත් 1999 මැන්ඩෙලා විශ‍්‍රාම යාමෙන් පසුව පත් වූ හැම දකුණු අප‍්‍රිකානු රාජ්‍ය නායකයකුම විටින් විට සහේතුකව ටූටූ විවේචනය කොට තිබෙනවා. ඔහු පෞද්ගලික කෝන්තර හෝ න්‍යාය පත‍්‍ර නැතිව ක‍්‍රියා කරන බව දන්නා නිසා ඔහුව එතරම් නොරිසි අයට පවා ඔහු ගැන ගෞරවයක් තිබෙනවා.

1994දී නව දකුණු අප‍්‍රිකාවක් බිහිකිරීමට උතුම් සිහින මැවූ බොහෝ දෙනා මේ වන විට ඇති-නැති පරතරය විශාල වීම හා මහා පරිමාණ දුෂණ ඉහවහා යාම ගැන දැඩි කලකිරීමට පත්ව සිටිනවා.

2013 දෙසැම්බරයේ මැන්ඩෙලා මියගිය පසු එරට ඉතිරිව සිටින දැවැන්තම ජීවමාන ජන නායකයා දැනට විශ‍්‍රාමිකව සිටින මේ පූජකවරයායි.

සෝභිත හිමි හා ඩෙස්මන්ඞ් ටූටූගේ ලෝක දෙක බෙහෙවින් වෙනස් වූවත් ඔවුන්ගේ පොදු සාධක රැසක් මා දකිනවා. දෙදෙනාම තම ප‍්‍රතිපත්ති හා ක‍්‍රියාකාරකම් නිසා රාජ්‍ය මර්දනයට ලක්වූවා. බන්ධනාගාරයේ කල් ගත කළා. දෙදෙනාම විචිත‍්‍ර කථිකයන්. එසේම ජනකාන්ත (charismatic) පෞර්ෂයක් සතුයි.

දේශපාලන ප‍්‍රතිසංස්කරණවලින් ඔබ්බට ගිය සමාජ සේවා කටයුතුවලද දෙදෙනාම පුළුල්ව නිරත වූවා. ටූටූ සිය රටේ HIV පැතිරීමට එරෙහිව සමාජ බලවේග ගොඩ නැගූ අතර, සෝභිත හිමි අමද්‍යප ව්‍යාපාරයට නායකත්වය දුන්නා. මත්පැන්, මත්ද්‍රව්‍ය සමාජය ගිල ගැනීමට එරෙහිව හඬ නැංවූවා. මත්ද්‍රව්‍ය හා දේශපාලනය අතර නොමනා සබඳතාව බිඳින්නට තැත් කළා.

මීට දින කිහිපයකට පෙර පුවත්පත් සම්මුඛ සාකච්ඡාවකදී මහාචාර්ය සරත් විජේසූරිය කීවේ එතනෝල්, කුඩු ඡාවාරම් සිදුකළ බවට නම් දැරූ දේශපාලකයන් යහපාලන රජයේ ලොකු පුටුවලට පත්වීම සෝභිත හිමියන්ට දැඩි ලෙස මානසික පීඩාවක් ඇති කළ බවයි. ‘මගේ පෞද්ගලික අදහස තමයි සෝභිත හිමියන් බරපතළ ලෙස අසාධ්‍ය වෙන්න, මානසික පීඩාවට පත් වෙන්න ඔය කාරණය දැඩි ලෙස බලපෑවා කියන එක’ ඔහු කියනවා.

Sobitha was a genius of one-liners in Sinhala, like this one
Sobitha was a genius of one-liners in Sinhala, like this one

හුදු සිවිල් සමාජ ක‍්‍රියාකාරිකයන්ගේ සංකල්පයක්ව තිබූ යහපාලනය මෙරට සාමාන්‍ය ජනයා අතර සමාජ ගත කරන්නට මහත් සේ දායක වූ සෝභිත හිමියන්, යහපාලනය අයාලේ යන සැටි බලා මහත් සේ කම්පා වන්නට ඇති.

ඩෙස්මන්ඞ් ටූටූට අවශ් විටෙකදී ටිකක් සැරවැර කොට හදා ගන්නට හැකි නෙල්සන් මැන්ඩෙලා කෙනෙකු සිටියා. මැන්ඩෙලාගාන්ධි රූප සිය මැතිවරණ ව්යාපායේ භාවිත කළත් මෛතරීපාල සිරිසේන එකී පරමාදර්ශී චරිත සතු වූ රතිපත්ති ගරුක බව රියාවෙන් පෙන්වීමට අසමත්ව සිටිනවා.

සෝභිත හිමියන්ට මැන්ඩෙලා කෙනෙකු මෙරට නොසිටීම එහිමියන්ගේ පමණක් නොව අප සැමගේ ඛේදවාචකයයි.

යහපාලනය යනු මැතිවරණ උද්යොග පාඨයක් නොව දිනපතා පිළිපැදිය යුතු රතිපත්ති හා රියා සමුදායක් බව වත්මන් ජනපති හා අගමැති දෙපලට දැන්වත් තේරුම් ගියොත් හොඳයි!

සෝභිත හිමියන්ට කළ හැකි ලොකුම උපහාරයද එයයි.

See also:

21 July 2013: සිවුමංසල කොලූගැටයා #126 නෙල්සන් මැන්ඩෙලා: ගමන නොනිමෙයි!

28 July 2013: සිවුමංසල කොලූගැටයා #127: මැන්ඩෙලාට සවියක් වූ නිදහස් මතධාරියෝ

Sobitha meme - Sinhala

සිවුමංසල කොලූගැටයා #193: ආපදා වැඩි වන ලෝකයක පණ කෙන්ද රැක ගන්නේ කෙලෙසද?

In this week’s Ravaya column (in Sinhala), published on 9 November 2014, I reflect on the recent landslide in Meeriyabedda, Koslanda, Sri Lanka on 29 October. The disaster wiped out an entire settlement of plantation workers whose houses were built on a hill already identified as prone to landslide hazards.

I discuss landslide hazard mapping being done for two decades by National Building Research Organisation (NBRO) and ask what failures in risk communication led to this preventable tragedy. I also quote NBRO scientists as saying how climate change and resulting increase in extreme rainfall events can trigger more landslides.

hazard-sign-626x380

සකී‍්‍රය ග‍්‍රහලෝකයක් මත ජිවත් වන අපට විවිධ උවදුරු සමග ගැටෙමින් ඒවායින් හැකි තරම් බේරී පණ කෙන්ද රැක ගන්නට සිදුව තිබෙනවා. මෙය අලූත් යථාර්ථයක් නොවෙයි. ඉතිහාසය පුරා තිබුණු අභියෝගයක්.

උවදුරක් (hazard) ආපදාවක් (disaster) බවට පත් වන්නේ එය යම් තැනෙක යම් ජන පිරිසකට හානි කළ විටයි. උවදුරු කිසිවක් නැති කිසිදු රටක් ලෝකයේ නැහැ. අවශ්‍ය වන්නේ උවදුරු කල් තබා නිසි ලෙස හඳුනා ගෙන ගත හැකි ආරක්‍ෂාකාරී පියවර ගැනීමයි. එසේම ආපදාවක් සිදු වන මොහොතේ කුමක් කළ යුතු ද යන්න ගැන පෙර සූදානමක් තිබීමයි.

මේ තමයි ආපදා කළමණාකරණයේ හරය. 2004 සුනාමියට පසු විශේෂයෙන් මේ ක්‍ෂෙත‍්‍රය ගැන දැඩි අවධානයක් යොමු වුණා. 2005දී ආපදා කළමණාකරණය නව පනතක් නීතිගත කොට ඒ හරහා ආපදා කළමණාකරණ කේන්ද්‍රය (DMC) පිහිටුවනු ලැබුවා.

එහෙත් පසුගියදා කොස්ලන්දේ මීරියබැද්ද නාය යාමේදී අපට පෙනී ගියේ අපේ රටේ ආපදා කළමණාකරණයේ තවමත් දුර්වලතා ඇති බවයි.

කොස්ලන්දේ ඛේදවාචකය විවිධ අයුරින් විග‍්‍රහ කැරෙනවා. එහි නාය යාමේ අවදානම කලක පටන් හඳුනා ගෙන තිබුණා. ඒ ගැන ජාතික ගොඩනැගිලි පර්යේෂණායතය (NBRO) ගවේෂණ හරහා අනතුරු ඇඟවීමක් කර එතැනින් ජනාවාස ඉවත් කර ගත යුතු බවට නිර්දේශ කොට තිබුණා.

දැනට ඇති බලතල අනුව ඉන් ඔබ්බට ක‍්‍රියාත්මක වීමේ හැකියාවක් NBROට නැහැ. එම වගකීම පැවරෙන්නේ රාජ්‍ය පරිපාලන නිලධාරින්ට. ඔවුන් ජනාවාස ඉවත් කිරීමේ විධිවිධාන යෙදු බවත්, විකල්ප ඉඩම් පවා හඳුනා ගෙන තිබූ බවත් කියනවා. සමහර මාධ්‍ය වාර්තා කළේ විකල්ප ඉඩම් ලබා ගත්ත ද සමහර නිවැසියන් මීරියවත්ත ඉඩම් ද අත් නොහළ බවයි.

ඛේදවාචකයකින් පසු වරද කාගේද සෙවීම ලෙහෙසි නැහැ. වගකීමේ පංගුකරුවන් හරිහැටි හඳුනා ගන්නට ද අපහසුයි. නාය යාමේ අවදානම දැන දැනම එතැන තව දුරටත් විසූ ජනයා බලහත්කාරයෙන් හෝ ඉවත් කළ යුතුව තිබුණා යයි සමහරුන් දැන් තර්ක කරනවා. එහෙත් සංකීර්ණ සමාජ ප‍්‍රශ්නවලදී රාජ්‍ය හා මිලිටරි බලහත්කාරය යොදා ගැනීම කිසි විටක තිරසාර විසඳුමක් නොවෙයි.

නිලධාරීන් රාජකාරිය කරද්දී එයින් බලපෑමට පත් වන ජනයාගේ ජීවිකාවන් හා අපේක්‍ෂාවන් ගැන එතරම් හෝ කිසිදු හෝ තැකීමක් කරන්නේ නැහැ. අන්තිමේදී “අපි කළ හැකි සියල්ල කළා. මේ මිනිස්සු අපි කී දෙය ඇසුවේ නැහැ” කීම ප‍්‍රමාණවත් නැහැ.

ජීවිත හානියේ ලොකු අවදානමක් ගැන දැන දැනම එබඳු තැන්වල සමහරුන් රැඳී සිටින්නේ තන්හාවටද? මෝඩකමටද? නැත්නම් මෙබඳු මතුපිට සාධකවලට වඩා ගැඹුරට විහිදෙන සමාජ විද්‍යාත්මක හේතු තිබේද?

විද්‍යාත්මකව සොයා ගන්නා අන්තරායන් පිළිබඳ තක්සේරු කිරීම් සාමාන්‍ය ජනයාට සන්නිවේදනය කිරීමේදී එය කෙසේ කළ යුතුද යන්න ගැන බොහෝ අධ්‍යයන සිදු කොට තිබෙනවා (public communication of risk). පවතින සමාජ ආර්ථික යථාර්ථයන්ට විශේෂඥයන්ගේ දැනුම අදාල කොට තේරෙන බසින් හා සුහද ලෙසින් (තර්ජනාත්මක නොවන විදියට) ගෙන යාම වඩාත් සාර්ථක ප‍්‍රතිඵල ගෙන දෙන බව ආපදා සන්නිවේදනය ගැන ලොව පුරා රටවල අත්දැකීමයි.

එසේම විද්‍යාඥයන් හා රාජ්‍ය නිලධාරීන්ට අමතරව ජන සංවිධානවල නියෝජිතයන් මෙබඳු කතිකාවන්ට සම්බන්ධ කර ගැනීම ඉතා වැදගත්. රතු කුරුස සංගමය හා සර්වෝදය වැනි සංවිධානවලට බිම් මට්ටමේ ජනයා සමග සාමූහිකව වැඩ කිරීමේ හැකියාව තිබෙනවා.

රාජ් හෝ මිලිටරි බලහත්කාරකමට වඩා මෙබඳු ජන සංවිධානවල මැදිහත්වීමෙන් ආපදාවක සේයාවේ වෙසෙන ජනයා ගැන ඒත්තු ගන්වා කැමැත්තෙන් ඉවත් කර ගත හැකියි. (ජන සංවිධානවල සහයෝගය අවශ් වන්නේ ආපදාවක් සිදු වූ පසු සහන සැළසීමට පමණක් නොවෙයි.)

භු විද්‍යාත්මක සාධක නිසා හට ගන්නා ආපදා නම් භූමිකම්පා, සුනාමි, ගිනිකඳු විදාරණය හා නාය යාම්, මේ අතරින් ශ‍්‍රී ලංකාවේ වඩාත්ම බහුලව හමු වන්නේ නාය යාම්.

Prof Kapila Dahanayake
Prof Kapila Dahanayake

පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ භූගර්භ විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල දහනායක කියන්නේ: “ස්වභාවික හේතු නිසා ඉහළ බිම් පෙදෙස්වල පැලීම් ඇති වෙනවා. මේ පැලීම් අප හඳුනාගත යුතුයි. හදුනාගෙන ප්‍රතිකර්ම නොකරන ලද ඉහළ බිම් පෙදෙස්වල ඇතිවන පැලීම් අතරට ජලය කිදා බැස්ස විට කඳු නාය යනවා. ඉහළ බිම් ප්‍රදේශවල ගල් වැටි දමා කරන වගා ක්‍රමත් හෙල්මළු ක්‍රමයට කෙරෙන වගා රටා නිසාත් සෝදාපාළුව අවම වෙනවා. එවිට නායයාම් හා ගිලා බැසීම් පාලනය වෙනවා. එසේ නැතිව ඉවක් බවක් නැතිව උස් කඳුවල හදන ගොඩනැගිලිත් වගාවනුත් ඒ බිම්වල පැවැත්මට කරන්නේ විශාල හානියක්.”

මෙරට නාය යාමේ උවදුර පවතින ප‍්‍රදේශ විද්‍යාත්මක ගවේෂණ හරහා හඳුනාගෙන සිතියම් ගත කිරීමේ භාරදුර හා මහා පරිමාණ ප‍්‍රයත්නයක් NBRO විසින් දශක දෙකක පමණ කාලයක් තිස්සේ කර ගෙන යනවා.

ශ‍්‍රී ලංකාවේ නාය යාම් ගැන වසර 20ක් පමණ තිස්සේ සමීපව අධ්‍යයනය කරන NBRO ආයතනය, එම අවදානමට ලක් වන දිස්ත‍්‍රික්ක 10ක් හඳුනාගෙන තිබෙනවා. නම් කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට, මහනුවර, නුවර එළිය, මාතලේ, කෑගල්ල, රත්නපුර හා බදුල්ල දිස්ත‍්‍රික්කයි. මේ අතරින් මෑත කාලයේ වැඩිම නාය යාම් වාර්තා වී තිබෙන්නේ බදුල්ල නුවර එළිය, කෑගල්ල හා රත්නපුර දිස්ත‍්‍රික්කවලින්.

මෙහිදී නාය යාම් වැඩි ප‍්‍රවණතාවක් ඇති ප‍්‍රදේශ දැක්වෙන සිතියම් එම උවදුරු හමු වන දිස්ත‍්‍රික්ක 10 සඳහා 1:50,000 මෙන්ම 1:10,000 පරිමාණයන් සඳහා සම්පාදනය කොට තිබෙනවා. දැනට මාතලේ, මහනුවර, බදුල්ල, කෑගල්ල, රත්නපුර හා කළුතර දිස්ත‍්‍රික්ක සඳහා 1:50,000 නාය යාමේ ආපදා කලාප සිතියම් ලබා ගන්නට සැළසුම්කරුවන්ට, රාජ්‍ය නිලධාරින්ට මෙන්ම මහජනතාවටත් හැකි බව NBRO කියනවා.

වඩාත් විස්තරාත්මක තොරතුරු ඇතුළත් 1:10,000 පරිමානයේ සිතියම්, නාය යාමේ හැකියාව වඩාත් පවතින ප‍්‍රදේශ සඳහා සීමා කොට සම්පාදනය කැරෙනවා.

Guide to areas where NBRO has been mapping landslide hazards in Sri Lanka
Guide to areas where NBRO has been mapping landslide hazards in Sri Lanka

මේ සිතියම්වල වර්ණ හතරක් සංකේත ලෙස යොදා ගන්නවා. තද දුඹුරු වර්ණයෙන් දැක්වෙන ප‍්‍රදේශවල නාය යාමට වඩාත් ඉඩ තිබෙනවා. ජීවීත හා දේපල හානියේ අවදානම ඉහළයි. මේ නිසා නව ඉදිකිරීම්වලට අවසර නොදිය යුතු බවත්, පළපුරුදු විශේෂඥයන් විසින් භූමිය පරික්‍ෂා කිරීමෙන් පසු තීරණය කරන ආරක්‍ෂක විධිවිධාන සහිතව පමණක් දැනට පවතින ගොඩනැගිලිවලට එකතු කිරීම් සඳහා ඉඩ දිය හැකි බව NBRO කියනවා.

ඊලඟට උවදුර වීමේ හැකියාව අනුව තවත් ප‍්‍රදේශ තද කහ පාට, ලා කහ පාට හා කොළ පාට වශයෙන් සිතියමේ දක්වනවා. තද කහපාට ප‍්‍රදේශවල නාය යාමේ මධ්‍යස්ථා මට්ටමේ ඉඩක්ද, ලා කහපාට ප‍්‍රදේශවල ඉතා සුළු වශයෙන් ඉඩක් ද තිබෙනවා. මේ ප‍්‍රදේශ සියල්ලේම නව ඉදිකිරීම් කළ යුත්තේ විශේෂඥ උපදෙස් මත පමණයි. මෙය පොදු හා පෞද්ගලික ඉඩම් සියල්ලට අදාලයි.

කොළ පාට සංකේතවත් කරන්නේ දැනට දන්නා තොරතුරුවලට අනුව නාය යාමේ අවදානමක් නැති හා බෑවුම් අස්ථාවරත්වයක් නැති ප‍්‍රදේශයි.

මේ සිතියම් ද නාය යාමට ඉඩ ඇති ප‍්‍රදේශවල ඉදි කිරීම් සඳහා මාර්ගෝපදේශ ප‍්‍රකාශන ද භඊඍධ වෙතින් ලබා ගත හැකියි. http://www.nbro.gov.lk/web/

මානව ක්‍රියාකාරකම් අධික වීම සහ කඳුකර ප්‍රදේශවල සැලසුමකින් තොර සංවර්ධන කටයුතු නිසා බදුල්ල දිස්ත්‍රික්කයේ නාය යාම වැඩි වශයෙන් සිදුවන බව NBRO නාය යාම් අධ්‍යයනයන්ට අනුව පෙනී ගොස් තිබෙනවා.

නාය යාමට ලක්වන කඳු බෑවුම් ව්‍යුහාත්මකව ස්ථායි කිරීමේ ප‍්‍රධාන ව්‍යාපෘති හතරක් පේරාදෙණිය, පදියපැලැල්ල, මහවැව හා ගැරඩිඇල්ල යන ප‍්‍රදේශවල NBRO විසින් සිදු කර තිබෙනවා. මීට අමතරව වඩාත් උචිත ඉඩම් පරිහරණ පිළිවෙත් හරහා නාය යාමේ හැකියාව අවම කිරීමට ව්‍යාපෘති දෙකක් බදුල්ල හා මාතලේ දිස්ත‍්‍රික්කවල සිදු කර ඇතැයි භඊඍධ කියනවා.

මේ විසඳුම් වියදම් අධිකයි. බොහෝ විට පෞද්ගලික ඉඩම් හිමියන්ට දරා ගත නොහැකියි. රජයට වුවත් හැම තැනෙකම කළ නොහැකියි.

නාය යාමේ උපද්‍රවය දේශගුණ විපර්යාස සමග වඩාත් තීව‍්‍ර වී තිබෙනවා. මෙයට හේතුව ගෝලීය වෙනස්වීම් සමග ආන්තික කාලගුණ තත්ත්වයන් (එනම් අධික වර්ෂාපතනයක් කෙටි වේලාවක් තුළ පතිත වීම) ඉහළ යාමයි.

NBRO ජ්‍යෙෂ්ඨ පර්යේෂක ආචාර්ය ගාමිණී ජයතිස්ස කියන්නේ මෙසේ අධික වර්ෂාපතනය සමග නාය යාම් වඩාත් සුලබ වන බවයි. අපේ රටේ භූමියෙන් සියයට 20ක් පමණ ගල් පර්වත බහුල කඳුකර ප‍්‍රදේශයි. මේ ප‍්‍රදේශවල වසන ජනයාගෙන් තුනෙන් එකක් පමණ නායයාම්වලට ලක්වීමේ අවදානමට මුහුණ දෙනවා.

2002 වන තුරු මෙරට වාර්ෂිකව නායයාම් 50ක් හෝ ඊට අඩු සංඛ්‍යාවක් වාර්තා වුණා. මිනිස් ජනාවාස ඇති තැන්වල මෙන්ම ජන ශූන්‍ය තැන්වලත් නායයාම් සිදු විය හැකියි. 2003න් පසු වාර්ෂික නායයාම් සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා. මෝසම් වැසි ලැබෙන මැයි – ජුනි හා නොවැම්බර් – ජනවාරි කාලවල මේවා වැඩිපුරම වාර්තා වනවා. වර්ෂාපතනය සමග ඇති සෘජු සබඳතාව ඒ හරහා තහවුරු වනවා.

වසරේ මාසවලින් මෙරට නාය යාම් වැඩිපුරම සිදුව ඇත්තේ නොවැම්බර් මාසයේ බව පසුගිය දශක කිහිපයක වාර්තා අධ්‍යයනයෙන් පෙනෙනවා.

හැම නාය යාමකින්ම එක හා සමාන සමාජයීය බලපෑමක් සිදුවන්නේ නැහැ. මන්ද ජනාවාස හැම තැනෙකම එක ලෙස පැතිර නැති නිසා. 1974 සිට 2008 දක්වා වකවානුවේ නාය යාම් හරහා වැඩිම වාර්ෂික ජීවිත හානිය (මරණ 225ක් පමණ) සිදුව ඇත්තේ 1989දී. ඊලඟට වඩාත් ජීවිත හානි 2003දී (මරණ 150).

Inventory of Landslides in Sri Lanka since mid 20th century

සිවුමංසල කොලූගැටයා #170: අසහාය මානුෂික මෙහෙයුමක් කළ වෛද්‍ය හඞ්සන් සිල්වා

In this week’s Ravaya column, in Sinhala, I further explore the origins and evolution of Sri Lanka Eye Donation movement, with emphasis on its founder and leader for 40 years, Dr Hudson Silva (1929-1999).

I have covered the same grounds in English at: When Worlds Collide #108: Eye Donation at 50 – Promoting Lanka’s Soft Power

Dr Hudson Silva stamp issued in 2009
Dr Hudson Silva stamp issued in 2009

අක්ෂිදාන ව්‍යාපාරයේ නිර්මාතෘ වෛද්‍ය හඞ්සන් සිල්වා ගැන ගිය සතියේ කොලමට හොඳ ප‍්‍රතිචාර රැසක් ලැබුණා. ලෝකයට අපේ හොඳ නම ප‍්‍රවර්ධනය කරන මේ ජනතා ව්‍යාපාරය ගැන විස්තර කළත් එහි ආරම්භකයාගේ ජීවන තොරතුරු ඇති තරම් කථා නොකළ බව සමහර පාඨකයන්ගේ මතය වුණා. ප‍්‍රශංසා, ගැරහුම් හා බාධක මැද වෛද්‍ය හඞ්සන් මේ දිගු ගමන ගිය සැටි තව ටිකක් විපරම් කිරීම වටිනවා.

වෛද්‍ය හඞ්සන් සිල්වා නූතන ලෝකයේ මානුෂික අවශ්‍යතාවයකට සමාජයීය නව්‍යකරණයක් හරහා විසඳුමක් ලබා දුන්නා. එතැනින් නොනැවතී ජීවිත කාලය පුරා එය ප‍්‍රවර්ධනය කළා. රැක බලා ගත්තා. ආයතනයක් ඉතිරි කර ගියා.

අපේ සාරධර්ම හා නූතනත්වය මනා සේ සංයෝජනය කළ අක්‍ෂිදානය ජාත්‍යන්තර වශයෙන් ශී‍්‍ර ලංකාවේ හොඳ නමට කර ඇති මෙහෙවර තානාපති නිලධාරින් සිය ගණනකටවත් කළ හැකි වික‍්‍රමයක් නොවෙයි.

ප‍්‍රැන්සිස්කු හෙට්ටිගේ ජෙරල්ඞ් හඞ්සන් සිල්වා උපන්නේ 1929 දෙසැම්බර් 18 වනදා මොරටුවේ ඉඳිබැද්දේ. ඔහු මුලින්ම පාසල් ගියේ මොරටුවේ ධර්මරතන විද්‍යාලයට. ඉනික්බිතිව කොළඹ නාලන්දා විද්‍යාලයටත්, එතැනින් ආනන්ද විද්‍යාලයටත් යොමු වුණා.

කුඩා වියේ පටන් ඔහු ඉගැනුමටත්, බාහිර ක‍්‍රියාවලටත් දක්‍ෂයෙක්. පන්තියේ පළමුවැනියා වන අතරම බාලදක්‍ෂ වැඩ, විවාද හා කථික තරඟ ගායනා හා කවි ලිවීම ආදියටත් හවුල් වුණා. ලංකා ගුවන් විදුලියේ සිරි අයියාගේ ළමා මණ්ඩපයට සහභාගී වෙමින් දස්කම් පෑවා.

මේ කලා නැඹුරුව නිසා 1948දී මුල් වරට කලා විෂයන්ගෙන් ජ්‍යෙෂ්ඨය (එවකට HSC) පෙනී සිට සරසවි වරම් ලැබුවත් ඉන් පසු විද්‍යා විෂයයන්ට යොමු වුණා. ජීව විද්‍යාවෙන් ජ්‍යෙෂ්ඨය සමත්ව ඔහු කොළඹ වෛද්‍ය විද්‍යාලයට පිවිසියේ 1951දී.

වෛද්‍ය ශිෂ්‍යයකු ලෙසත් ඔහු පොතේ ඇලී ගැලී සිටියේ නැහැ. සමකාලීනයන් ඔහුව සිහිපත් කරන්නේ බොහෝ කි‍්‍රයාශීලි හා සමාජශීලි චරිතයක් හැටියට. සරසවි ඉගෙනුම කරන අතරේ ලඝුලේඛනය, ටයිප් කිරීම ආදී ශිල්ප ද ඕනෑකමින් ප‍්‍රගුණ කළා.

වරක් ඔහු අක්‍ෂි රෝග ගැන මහාචාර්යවරයෙකුගේ දේශනයකට සවන් දුන්නා. සමහරක් දෘශ්‍යාබාධ (සියල්ලම නොවේ) සුවපත් කිරීමට ඇසේ ස්වච්ඡ මණ්ඩලය හෙවත් කුණිතය බද්ධ කිරීමෙන් හැකි බවත්, එහෙත් කුණිතයන් ඇති තරම් සොයා ගත නොහැකි නිසා සැත්කම් කළ නොහැකිව කල් දමන බවත් ඔහු දැන ගත්තා.

දේශනයෙන් කම්පනයට පත් හඞ්සන් එදා ගෙදර ගොස් මව සමග මේ ගැන කථා කළා. තමා මිය ගිය පසු තම ඇස්වලින් තව අයෙකුට පෙනීම දිය හැකි බව කීවා. එවිට මව කීවේ ‘‘පුතා, ඔබට කලින් මා මිය යා හැකියි. මගේ ඇස් දෙකෙන් දන්දීම අරඹන්න’’ කියායි.

අක්‍ෂි සැත්කම්, කුණිත බද්ධය ආදිය ගැන බොහෝ දෙනා දැන සිටියේ නැහැ. මේ ගැන කරුණු ගවේෂණය කළ හඞ්සන්, එය පුවත්පත් ලිපියකට ගොනු කළා. 1958 ජනවාරි 19 වනදා ලංකාදීපයේ ‘‘මළ නෙතට පණ’’ නමින් පළ වූයෙ එයයි.

8 July 2012: සිවුමංසල කොලූගැටයා #74: පත්තර ලිපිවලින් විප්ලව කළ හැකිද?

Sri Lanka Eye Donation Society Logo
Sri Lanka Eye Donation Society Logo

අක්‍ෂිදාන ව්‍යාපාරය මෙරට ස්ථාපිත වූයේ විවිධ බාධක හා හිරිහැර මැද. මේ සංකල්පය ප‍්‍රායෝගික නොවන මනෝ විකාරයක් යැයි සමහර ජේ්‍යෂ්ඨ වෛද්‍යවරුන් මුල් යුගයේ ප‍්‍රසිද්ධියේ කියා සිටියා. අක්‍ෂිදාන කටයුතු හරහා ඔහුට සමාජ පිළිගැනීමක් ගොඩ නැගෙනු දුටු සමහර ජ්‍යෙෂ්ඨයන්ට ඉරිසියාවක් පහළ වන්නට ඇති.

උද්‍යොගිමත් තරුණ වෛද්‍යවරයකු ලෙස හඞ්සන් සිල්වා සෞඛ්‍ය ක්‍ෂෙත‍්‍රයේ අක‍්‍රමිකතා සහ අකාර්යක්‍ෂමතා පෙන්වා දීම ගැන නිලධාරින් නොසතුටු වූවා.

ප‍්‍රතිඵලය වූයේ දිගින් දිගටම පරිපාලනමය වශයෙන් ඔහුට හිරිහැර කිරීමයි. තමන්ගේ රාජකාරිය කිසි විටෙක අතපසු නොකොට, පෞද්ගලික වියදමින් අක්‍ෂිදාන වැඩ කළත් ඔහුගේ වැරදිම සෙවූ නිලධාරින් සිටියා.

ඔහුව තැනින් තැනට මාරු කරනු ලැබුවා. මේ ස්ථානමාරු නිහඬව බාර ගත් වෛද්‍ය හඞ්සන් වරෙක කීවේ ‘‘මේ ලංකාවේ කියන ඕනෑම තැනකට යන්නම්. නමුත් මට නිදහසේ රාජකාරිය හා අක්‍ෂිදාන කටයුතු කරන්න ඉඩ දෙන්න!’’

ඇස් ගලවා ගැනීමෙන් පසු අක්‍ෂි කුහරවලට පුළුන් පුරවා කිසිදු වෙනසක් නොපෙනන අයුරින් මෘත ශරීරය සැකසීම සම්ප‍්‍රදායයි. එහෙත් අක්‍ෂිදානය කළ අයගේ සිරුරු එම්බාම් කළ නොහැකි යයි සමහර මල්ශාලා හිමියන් වරක් බොරු තර්කයක් මතු කළා. එයින් නොසැලූණු වෛද්‍ය හඞ්සන් කීවේ එසේ නම් අක්‍ෂිදාන සංගමය හරහා නොමිළයේ එම්බාම් කිරීමේ සේවයක් ද අරඹන බවයි. නොමග යවනු ලැබ සිටි මල්ශාලා හිමියන්ගේ විරෝධය එතැනින්ම නතර වුණා!

1965දී වැඩිදුර අධ්‍යාපනයට ඇමෙරිකාවට යාමට ඔහුට ෆුල්බ‍්‍රයිට් ශිෂ්‍යත්වයක් ලැබුණා. විදේශකයන් තරගකාරීව කළ මේ තේරීම අපේ සෞඛ්‍ය බලධාරින් පිළිගන්නට මැලි වූ නිසා අවසන් තීරණය අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක දක්වා ගියා. එයට ඇගේ අනුමැතිය ලැබුණා. මේ අනුව විදේශගත වූ වෛද්‍ය හඞ්සන් අක්‍ෂි සැත්කම් හා අක්‍ෂි වෛද්‍ය ක්‍ෂෙත‍්‍රය ගැන නව දැනුම හා නව ප‍්‍රබෝධයක් ලබා ගෙන යළිත් සිය රට ආවා.

එහෙත් සෞඛ්‍ය බලධාරින්ගේ කෙනෙහිලිකම් නතර වූයේ නැහැ. දන් දෙන අක්‍ෂි කුණිත රජයේ රෝහල්වලට ලබා දුන් පසු හරිහැටි පරිහරණය නොකිරීම නිසා අපතේ යන බව තහවුරු කර ගත් වෛද්‍ය හඞ්සන්, ඒ ගැන ප‍්‍රසිද්ධියේ කථා කළා.

මේ ගැන කුපිත වූ සෞඛ්‍ය ලොක්කෝ ඔහුගේ වැඩ තහනම් කළා. අන්තිමේදී 1967දී අනිවාර්ය විශ‍්‍රාම ගන්වනු ලැබුවා. රජයේ සෞඛ්‍ය සේවයේ කිසි දිනෙක තමන්ට මහජන අභිවෘද්ධියට වැඩ කරන්නට නොලැබෙන බව තේරුම් ගත් ඔහු, පූර්ණ කාලීනව අක්‍ෂිදාන වැඩට යොමු වුණා.

Eye cornea ready at Sri Lanka Eye Donation Society in Colombo, to be sent to a foreign country - Photo by Janaka Sri Jayalath
Eye cornea ready at Sri Lanka Eye Donation Society in Colombo, to be sent to a foreign country – Photo by Janaka Sri Jayalath

1965දී අක්‍ෂිදාන සංගමය රජය පිළිගත් පුණ්‍යායතනයක් වූ පසු ටිකෙන් ටික දෙස් විදෙස් දානපති ආධාර ලැබෙන්නට පටන් ගත්තා. එහෙත් මුල් වසර 20ක් පමණ අක්‍ෂිදාන කටයුතු කරගෙන ගියේ ඉතා සීමිත පහසුකම් මැද, ස්වේච්ඡා සේවක ආධාරයෙන්. හඞ්සන් සිල්වාගේ වෝඞ් පෙදෙසේ කුඩා නිවස අක්‍ෂිදාන කාර්යාලය ලෙස දිගු කලක් පැවතුණා.

මේ සඳහා සියළු සහයෝගය ලබා දෙමින් අක්‍ෂිදානයට මාතාවක් වූයේ ඔහුගේ බිරිඳ අයිරාංගනී සිල්වා මහත්මියයි. 1961දී ඔවුන් විවාහ වන අවස්ථාවේදීම අක්‍ෂිදානයට පූර්ණ සහයෝගය දෙන බවට ඈ පොරොන්දු වී සිටියා. ඇය ජීවිත කාලයම කැප කළේ මේ සඳහායි. වෛද්‍ය හඞ්සන්ගේ වියෝවින් පසු වසර කිහිපයක් ඇය අක්‍ෂිදාන සභාපති තනතුර හෙබවූවා.

වෛද්‍ය හඞ්සන් සිල්වාගේ ජිවිතයේ අවසාන දශකයේ ඔහු හඳුනාගෙන විටින් විට ඔහුගේ වැඩ කටයුතු ගැන මාධ්‍ය හරහා වාර්තා කරන්නට මට අවස්ථාව ලැබුණා. එවකට ලෝකයේ ප‍්‍රමුඛතම මාධ්‍යවලින් ආවරණය ලබා තිබුනත් ඔහුගේ කිසිදු උඩගුකමක්, පුහු මාන්නයක් තිබුණේ නැහැ.

පුවත්පත් සමග ඔහු ජිවිත කාලය පුරා සමීප සබඳතා පැවැත්වූවා. ලංකාදීපයේ මුල් ලිපිය පළ නොවූවා නම් අක්‍ෂිදානයක් බිහි නොවන බව ඔහු දැන සිටියා. මාධ්‍ය ආයතන සමග සුහදව ගනුදෙනු කළ ඔහු ඕනෑම වෙලාවක මාධ්‍යවේදී ප‍්‍රශ්නවලට පිළිතුරු දීමට සූදානමින් සිටින බව මා අත්දැකීමෙන් දන්නවා.

ඉඳහිට මාධ්‍ය හරහා අභූත චෝදනා හා මඩ පාරවල් එල්ල වූ විට ද ඔහු සැලූණේ නැහැ. මාධ්‍ය සමග ගැටුම් ඇති කර ගත්තේ නැහැ. නිහඬව තමන්ගේ වැඩ කරගෙන ගියා.

එහෙත් එසේ කරන්නට බැරි වූ නරක කාලයක් 1990-92දී උදා වුණා.  ජනාධිපති පේ‍්‍රමදාස ඔහුට නොරිස්සූ ජන සංවිධානයක් මට්ටු කරන්න රාජ්‍ය නොවන සංවිධාන (NGO) විමර්ශන කොමිසමක් පත් කළා. එහෙත් කොමිසමේ සාමාජිකයකු වූ වෛද්‍ය මහාචාර්යවරියක් ඒ අවස්ථාව යොදා ගත්තේ අක්‍ෂිදාන සංගමයටත්, එහි නිර්මාතෘවරයාටත් හිරිහැර කරන්නයි.

මෙය වෘත්තීමය ඉරිසියාවෙන් මතු වූ කි‍්‍රයාවක් බව පෙනුනත් සියඵ තොරතුරු හා ගිණුම් නොවලහා ඉදිරිපත් කිරීමට අක්‍ෂිදානය ඉදිරිපත් වුණා. චෝදනා කිසිවක් ඔප්පු නොවූවත් සභා සැසිවාරවලදී එල්ල කළ මඩ ප‍්‍රහාර මාධ්‍ය හරහා රටටම වාර්තා වුණා.

ජනාධිපති විජේතුංග ගත් මුල්ම නිල පියවරක් වූයේ NGO කොමිසම නතර කිරීමයි. එහෙත් ඒ වන විට දෑවුරුද්දකට වැඩි කාලයක් අක්‍ෂිදානය තමන්ගේ නිර්දෝශීභාවය තහවුරු කිරීමට වැය කර තිබුණා.

‘‘NGO කොමිසම පටන් ගත්තේ මට පහර ගසන්න. එහෙත් අහිංසකයා හඞ්සන් එයින් බැට කෑවා. කොමිසමේ නීතිඥයන් මේ ලෝක පූජිත ලාංකිකයාට ඒ දිනවල සැළකුවේ ඉතා පහත් විදියට’’ යයි ඒ අමිහිරි යුගය සිහිපත් කරමින් සර්වෝදය නායක ආචාර්ය ඒ. ටී. ආරියරත්න ගිය වසරේ මා සමග ටෙලිවිෂන් සාකච්ඡාවකදී පැවසුවා.

Dr Hudson Silva (1929-1999), Founder of Sri Lanka Eye Donation Society
Dr Hudson Silva (1929-1999), Founder of Sri Lanka Eye Donation Society

වෛද්‍ය හඞ්සන් හා ආරියරත්න මිතුදම බොහෝ කල් පැවති සමීප සබඳතාවක්. සර්වෝදය හා අක්‍ෂිදානය ඇරඹුණේ එකම වසරේ (1958) මේ ව්‍යාපාර දෙකම බිම් මට්ටමින් ස්වේච්ඡාව්‍යාපාර ලෙස ටිකෙන් ටික ලක් සමාජයේ ස්ථාපිත වුණා. මේ නායකයන් දෙපලට ලෝකයෙන් ප‍්‍රශංසා හා සම්මාන ලැබෙද්දී මෙරටින් බොහෝ විට ලැබුණේ බාධක, ගැරහිලි හා කොන් කිරීම්. එහෙත් එයින් අධෛර්්‍යය නොවී ඉදිරියට යාමේ අධිෂ්ඨාන ශක්තිය ඔවුන් සතු වුණා.

1970 දශකය මුලදී මෙරට සෞඛ්‍ය නිලධාරින් අක්‍ෂිදාන සංගමයට කළ බාධා නිසා කළකිරුණු වෛද්‍ය හඞ්සන් පිලිපීනයේ ඇස් බැංකුවක් බිහි කිරීමට කලක් විදේශගත වන්නට තීරණය කළා. එරට සංචාරයකට ගිය ආචාර්ය ආරියරත්නට මෙය ආරංචි වුණා. ‘‘හඞ්සන් ලංකාවට අවශ්‍යම පුද්ගලයෙක්’’ යයි කියමින් ඔහු අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායකට මතු වී ඇති ප‍්‍රශ්න ගැන කියා සිටියා. මැතිනිය මැදිහත් වී නිලධාරි ප‍්‍රශ්න සමනය කළ නිසා වෛද්‍ය හඞ්සන් විදේශගත වීමේ අදහස අත් හැරියා.

වෛද්‍ය හඞ්සන් ඉතා කාර්යශූර හා ‘වැඩ කිරීමට ලොකු උණක්’ තිබූ කෙනෙක්. දොස්තර මහත්තයා හෝ ආයතන ප‍්‍රධානියා කියා පංගු බේරුවක් ඔහුට තිබුණේ නැහැ. ටයිප් කරන්නට, ඡායාරූප ගන්නට, වාහන එලවන්නට මෙන් ම බොහෝ උපකරණ අඵත්වැඩියාවටත් ඔහු සමතෙක්. ලෝකයේ විවිධ රාජ්‍ය නායකයන් හා ප‍්‍රභූවරුන්ගේ පටන් මෙරට ඉතා අසරණ පුද්ගලයා දක්වා කොයි කවුරුත් සමග තරාතිරම් නොබලා අධිෂ්ඨාන පූර්වකව වැඩ කළ අයෙක්.

එසේම ඔහු සන්නිවේදනයේ අගය දැන එය මනා ලෙස යොදා ගත්තා. ඕනෑම මරණ ගෙදරක, උත්සව සභාවක හෝ විද්්‍යුත් මාධ්‍යයක අක්‍ෂි සෞඛ්‍යය හා අක්‍ෂිදානය ගැන රසවත් හා හරවත් ලෙසින් කථා කිරීමට කිසිදු සූදානමක් අවශ්‍ය වූයේ නැහැ.

අක්‍ෂිදානයේ නිර්මාතෘවරයා ලෙස වෛද්‍ය හඞ්සන්ට රටවල් රැසකින් ගෞරව, ත්‍යාග හා පිළිගැනීම් ලැබුණා. ජෝර්දානය, තායිලන්තය හා ඉන්දියාවෙන් විදේශිකයන්ට පිරිනැමෙන ඉහළම සම්මානයත්, 1981දී ලෝකයේ විශිෂ්ටයන්ට පිදෙන ඩැග් හැමර්ෂල්ඞ් ත්‍යාගයත් ලැබූ ඔහුට උපන් රටින් උපහාර ලැබුණේ කල් ගත වීයි. 1987දී ජනාධිපති ජයවර්ධන දේශබන්දු සම්මානය පිරිනැමුවා.

ලෝ ප‍්‍රකට රීඩර්ස් ඩයිජෙස්ට් (Reader’s Digest) සඟරාව කිහිප වතාවක් අක්‍ෂිදානය ගැන ප‍්‍රශංසාත්මකව ලිවීම හරහා ශී‍්‍ර ලංකාවට මිළ කළ නොහැකි තරම් වටිනා ලෝක ප‍්‍රචාරයක් ලැබුණා. 1994 ඔක්තෝබරයේ මේ සඟරාව, වෛද්‍ය හඞ්සන් ‘අපේ කාලයේ වීරයෙක්’ (Hero for Today)යයි නම් කළා.

අක්‍ෂිදාන ව්‍යාපාරය ගැන දැඩි පැහැදීමෙන් එයට අනුග‍්‍රහය දැක්වූ අය අතර ශ‍්‍රීමත් ආතර් සී. ක්ලාක් ද සිටියා. ඔහු එය දුටුවේ නවීන තාක්‍ෂණය මානූෂිය අවශ්‍යතාවයක් සඳහා සංවිධානාත්මක ලෙස යොදා ගන්නාට කළ ප‍්‍රශංසනීය ව්‍යාපාරයක් ලෙසයි. අක්‍ෂිදාන සංගමයට ඉඳහිට නිහඬව මූල්‍ය ආධාර කරන අතර ඔහු මේ සද් කාර්යය ගැන විදෙස් රටවලදී උද්‍යෝගයෙන් කථා කළා.

ඊට අමතරව 1990දී ක්ලාක් ලියූ Ghost from the Grand Banks නම් ප‍්‍රබන්ධ නවකථාවේ එක් තැනක වෛද්‍ය හඞ්සන් සිල්වා ගැන කෙටි සඳහනක් හමු වනවා. මිනිසුන් දහස් ගණනකගේ දන් දුන් ඇස් සිය දෑතින්ම ගලවා ගත් මේ වෛද්‍යවරයා මිය ගිය තම මවගේ දෑස් උකහා ගන්නට තරම් චිත්ත සමාධියකින් යුතු වූ බව එහි කියැවෙනවා.

Dr Hudson Silva (left) and Arthur C Clarke with then Prime Minister R Premadasa and Minister Tyronne Fernando at Eye Donation Society function circa mid 1980s [Photo courtesy Arthur C Clarke Archive]
Dr Hudson Silva (left) and Arthur C Clarke with then Prime Minister R Premadasa and Minister Tyronne Fernando (extreme right) at Eye Donation Society function circa mid 1980s [Photo courtesy Arthur C Clarke Archive]
අක්‍ෂිදාන බෞද්ධ සංකල්පයක් මත පදනම් වුවත් වෛද්‍ය හඞ්සන් මුල පටන්ම මේ ව්‍යාපාරය ගොඩ නැංවූයේ ජාති, ආගම් හෝ දේශපාලන භේද කිසිවක් නොමැතිවයි. එක් උතුම් අරමුණක් සඳහා විවිධාකාර පුද්ගලයන් හා ආයතන එක්සත් හා එක්සිත් කර ගැනීමේ හැකියාව ඔහු සතු වුණා.

මා එය දකින්නේ පෙරහැරක් ගියා වගේ. (නිලධාරිවාදය නොතකා) සෞඛ්‍ය ක්‍ෂෙත‍්‍රයේ ලොකු පොඩි සැවොම, විවිධ ආගම්වල පූජක පක්‍ෂය, සියළු දේශපාලන පක්‍ෂ නායකයන්, නොයෙක් ස්වේච්ඡා ආයතන (සිංහ සමාජ, සර්වෝදය, රොටරි ආදි), හමුදා නිලධාරින්, ගම් හා නගරවල බාල – මහලූ ගැහැණු – පිරිමි හැම දෙනා මේ පෙරහැරට සම්බන්ධ වූවා. ප‍්‍රධාන සංවිධායකයා වුණත් වෛද්‍ය හඞ්සන් පෙරහැරේ නිලමේට ඇන්දේ නැහැ. බොහෝ විට ඔහු සිටියේ පසුබිමින්.

රටට හා ලෝකයට වැඩක් කරන, පොදු උන්නතියට කැප වූ විද්වතුන්ට අපේ සමාජය හා නිලධාරි තන්ත‍්‍රය සළකන ආකාරය මේ චරිතයෙන් මනාව පිළිබිඹු වනවා. ඉරිසියාවෙන් හා කුහක බවින් ඉතිරෙන අපේ සමාජයේ හොඳ වැඩක් කරන්නට යන ඕනෑම කෙනකු මේ අභ්‍යන්තර ප‍්‍රතිරෝධය ජය ගත යුතු වනවා.

Hiru TV’s biographical programme on Dr Hudson Silva, presented by Nalaka Gunawardene (first broadcast in April 2013):

සිවුමංසල කොලූගැටයා #123: පුරවැසි මාධ්‍ය සහ අධිපති මාධ්‍ය

Who is a citizen journalist? Does everyone who blogs and tweets automatically become one? If not, who qualifies? Who judges this on what criteria? And what niche in media and public sphere do citizen journalists fill when compared with salaried journalists working for more institutionalised or mainstream media?

These have been debated for years, and there is no global consensus. They are belatedly being asked and discussed in Sri Lanka, and form the basis of my latest Ravaya column (in Sinhala).

My views were summed up sometime ago in this comment I left on a blog: “Just as journalism is too important to be left solely to full-time, salaried journalists, citizen journalism is too important to be left simply to irresponsible individuals with internet access who may have opinions (and spare time) without the substance or clarity to make those opinions count.”

See also my English language posts on this topic in the past:
7 Aug 2009: Can Citizen Kane and Citizen Journalist join hands in the public interest?

10 June 2008: Who’s Afraid of Citizen Journalists 2: Reflections from Asia Media Summit 2008

3 May 2008: Who is afraid of Citizen Journalists? Thoughts on World Press Freedom Day

Lots of chat

‘තමුසෙ කවුද?’

අපේ රටේ පොදු අවකාශයේ, පොදු උන්නතිය උදෙසා පෙරට එන ටික දෙනාට බොහෝ විට මුහුණ දෙන්නට සිදුවන පොදු ප‍්‍රශ්නයක්.

තවමත් වැඩවසම් හා අධිපතිවාදී මානසිකත්වයන් කරපින්නා ගත් අපේ සමාජයේ සැබෑ ගති සොබා මැනවින් විදහා පාන්නක් මේ ප‍්‍රශ්නය. එයින් අදහස් කැරෙන්නේ යමකුගේ පැටිකිරිය, සමාජයීය හා අධ්‍යාපනික පසුබිම වඩා වැදගත් බවත්, කැපවීම, උද්‍යොගය හා බැවහර ඥානය එතරම් වැදගත් නැති බවත්.

පුරවැසි මාධ්‍යවේදයේ (Citizen Journalism) නිරත වන ලාංකිකයන් ද මේ ප‍්‍රශ්නයට නිතර මුහුණ දෙනවා. නවීන සන්නිවේදන තාක්‍ෂණයන් හරහා සමාජයේ පොදු ප‍්‍රශ්න ගැන වාර්තාකරණයට, විග‍්‍රහයට හා සන්නිවේදනයට මේ අයට ඇති අයිතිය හා සුදුසුකම් මොනවාදැයි වැඩිපුර ම අසන්නේ මාධ්‍ය ආයතනවල වැටුපට රැකියාව කරන, වෘත්තීය මාධ්‍යවේදීන්. මේ වෘත්තිකයන්, ස්වේච්ඡුාවෙන් කි‍්‍රයා කරන පුරවැසි මාධ්‍යවේදීන් ලෙස බොහෝ විට බලන්නේ අවඥාවෙන්, සැකයෙන් නැතිනම් විමතියෙන්.

පුරවැසි මාධ්‍යකරණය ගැන විවිධ අර්ථ දැක්වීම් හා විග‍්‍රහයන් තිබෙනවා. සරලතම විදියට කිවහොත් මාධ්‍ය ආයතනගතව, වැටුප් ලබමින් මාධ්‍යකරණයේ නියැලෙනවා වෙනුවට එම කාරිය ම නොමිලයේ, උද්යෝගයෙන් කරන අය පුරවැසි මාධ්‍යවේදීන්. පොදු අවකාශයේ තොරතුරු, රූප, හඬ, වීඩියෝ හා මේවායේ සංකලයන් ඔවුන්ට නිර්මාණය කළ හැකියි.

නව සන්නිවේදන තාක්‍ෂණ මෙවලම් ප‍්‍රචලිත හා ලාබදායක වීම නිසා රටේ හා ලෝකයේ තමන් අවට සිදු වන දේ ලිඛිතව හා රූප හරහා හසු කර ගනිමින් ‘සාක්‍ෂි දැරීමේ’ (bearing witness) හැකියාව අද බොහෝ දෙනකුට ලැබී තිබෙනවා. කැමරාවක් සහිත ජංගම දුරකථනයක් වුවත් මෙයට සෑහෙනවා.

මේ හැකියාව ලැබී තවමත් දශක දෙකක්වත් ගත වී නැහැ. ඓතිහාසිකව මෙසේ සාක්‍ෂි දැරීමේ හා වාර්තා කිරීමේ හැකියාව තිබුණේ ආයතනගත මාධ්‍යවේදීන්ට පමණයි. ඒ සීමිත බලය හරහා ඔවුන්ට යම් ප‍්‍රතාපවත් බවක් හා අධිපති බවක් ද ආරෝපණය වූවා. පුරවැසි මාධ්‍යකරුවන්ගේ ආගමනය හරහා ඒ යථාර්ථය උඩුකුරු වනවා. අධිපති මාධ්‍යවේදයේ සමහරුන් තමන්ගේ සමාජ තත්ත්වය දියාරු වීම හා නැතිවීම ගැන කැමැති නැහැ.

පුරවැසි මාධ්‍යවේදීන් ආධුනිකයන් ද? සමහර ආයතනගත මාධ්‍යවේදීන් තමන් වෘත්තිකයන් බවත්, එතැනට පැමිණීමට පුහුණුවක් හා අභ්‍යාසයක් කලක් ප‍්‍රගුණ කළ බවත් කියමින් පුරවැසි මාධ්‍යවේදීන් හෑල්ලූ කරන්නට තැත් කරනවා. එහෙත් අද වනවිට මේ ආධුනික/වෘත්තික බෙදුම බොඳ වී ගිහින්.

වැටුපට කී‍්‍රඩා කරන කී‍්‍රඩකයන් වෘත්තීමය වන අතර එසේ නොකරන්නවුන් ආධුනික යයි සැළකෙනවා. ඔලිම්පික් තරග මුඵමනින් වෙන් වන්නේ ආධුනික කී‍්‍රඩකයන්ටයි. එයින් ඔවුන්ගේ කුසලතාවය හා කැපවීම අවතක්සේරු වන්නේ නැහැ.

මෙනයින් බලන කල පුරවැසි මාධ්‍යවේදීන් මාධ්‍ය කලාවේ ඔලිම්පික් පරමාදර්ශයන් මූර්තිමත් කරනවා යයි කිව හැකියි. වැදගත් වන්නේ ඔවුන් නිරවද්‍යාතවය, සමබරතාවය හා සදාචාරාත්මක රාමුවක් මත කි‍්‍රයා කරනවා ද යන්නයි.

වෙබ්ගත සමාජ මාධ්‍ය (Social Media) භාවිත කරන හැම අයකු ම පුරවැසි මාධ්‍යකරුවකු වන්නේ ද නැහැ. බහුතරයක් දෙනා ගැවසෙන Facebook ජාලය බොහෝ කොට සංවෘත කලාපයක්. එහි විවෘත පිටු යම් තරමක් තිබුණත්, අති විශාල පරාසයකට පිවිසීමට තමන්ගේ ගිණුමක් හා අන් අයගේ අනුමැතිය (friend වීම) අවශ්‍යයි.

සමස්ත වෙබ් අවකාශය සැබෑ ලෝකයේ ඝෝෂාකාරී, ඕනෑ ම කෙනකුට විවෘත පොළකට සම කළහොත්, Facebook එක සාමාජිකයන්ට පමණක් විවෘත, අවසරයෙන් පමණක් පිවිසිය හැකි සමාජශාලා (clubs) වගෙයි.

ක්ලබ් ඇතුළේ සිට රටේ ලෝකයේ ප‍්‍රශ්න ගැන මහ ලොකුවට කථා කරන බොහෝ උදවිය විවෘතව පොදු අවකාශයේ එම අදහස් පවසන්නට පැකිළෙනවා. මෙබඳු ප‍්‍රවණතාවක් Facebook තුළත් තිබෙනවා.

තියුණු සමාජ දේශපාලන දැක්මක් තිබෙන හා මැනවින් අදහස් පැවසීමේ කුසලතාව ඇති මගේ මිතුරෙක් දිනපතා ම පාහේ සිය Facebook කණ්ඩායම තුළ රටේ ප‍්‍රශ්න ගැන ඉතා වැදගත් අදහස් දැක්වීමක් කරනවා. එහෙත් එය ග‍්‍රහණය වන්නේ ඔහුගේ කණ්ඩායමට පිවිසීමේ වරම ලද තුන් හාර සිය දෙනෙකුට පමණයි. (එසේ ස්වයං සීමිතව අදහස් පැවසීමට ඔහුට ඇති අයිතිය මා පිළිගන්නවා.)

පුරවැසි මාධ්‍යකරණයට නම් කොයි කාටත් පෙනෙන මානයේ, විවෘතව සිට තොරතුරු, අදහස් හා රූප බෙදාහදා ගත යුතුයි. විවෘත වෙබ් ‘පොලේ’ ගාල ගෝට්ටිය වැඩි වුවත් පුරවැසි මාධ්‍යවේදීන් එබඳු පොදු අවකාශයේ ම සැරිසරිය යුතුයි. සංවෘත ක්ලබ් ඇතුළේ පඩි කථා හෝ චණ්ඩි කථා කීම සෑහෙන්නේ නැහැ!

Groundviews.org වෙබ් අඩවිය ගැන මා ගිය සතියේ කළ විග‍්‍රහය නොපිළිගත් පාඨකයන් ද සිටිනවා. Groundviews මුඵමනින් ම වෙබ් හරහා ප‍්‍රකාශිත වූවත්, එහි බරපැන උසුලන්නේ රාජ්‍ය නොවන සංවිධානයක් (විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය) වීම සමහරුන්ට ප‍්‍රශ්නයක්.

මා ගරු කරන මගේ විද්වත් මිතුරකු වන සන්නිවේදන විශෙෂඥ මහාචාර්ය රොහාන් සමරජීව කියන්නේ Groundviews පුරවැසි මාධ්‍යයක් නොවන බවයි. 2012දී රාවයේ 25වන සංවත්සරය වෙනුවෙන් පළ කෙරුණු ‘ජනමාධ්‍ය සංස්කෘතිය: විවේචනාත්මක ඇගැයීමක්’ ග‍්‍රන්ථයට ලිපියක් ලියමින් ඔහු මෙසේ කියනවා:

“ග්‍රවුන්ඩ්වීව්ස් තමන් හඳුන්වාගන්නේ පුරවැසි මාධ්‍ය කලාවෙන් යුත් වෙබ් අඩවියක් ලෙසිනි. මේ හඳුන්වා ගැනීම තුලින් මූලාශ්‍ර එකකට වැඩි ගණනක් යොදා ගැනීම සහ කරුණුවල සත්‍යාසත්‍යතාවය පරීක්ෂා කිරීම වැනි සාමාන්‍ය මාධ්‍ය කලාවේ වගකීම් ඉටු කිරීමෙන් ඔවුන් තමන් නිදහස් කර ගෙන තිබේ. කෙසේ වුවත්, එය කතුවරුන්ට ගෙවන වැටුප් සහ සැලසුම සහ බෙදා හැරීම සඳහා කර ඇති ආයෝජන වැනි සියළු ම ආකාරවලින් සාමාන්‍ය මාධ්‍යයකි. සැම මාධ්‍යයක මෙන් පල කරන කරුණු සහ මතවාදයන් අනුමත කරන්නේ කර්තෘ කෙනෙක්ය. වෙනස ව්‍යාජ ලෙස පුරවැසි පුවත්පත් කලාවේදී නම ආරූඪ කර ගෙන සම්මාන ලබා ගැනීම ය. මේ පුවත්පතේ එන කරුණු සහ මතවාද බොහෝ විට සපයනු ලබන්නේ සාම්ප්‍රදායික පුවත්පත්වලට නිතර ලිපි සපයන ලේඛක මහත් මහත්මීන්ම ය. පුරවැසි පුවත්පතේ නැත්තේ පුරවැසියන්ය.”

විකල්ප මතවාද හා සංවාද සඳහා ඇති තරම් අවකාශ ලැබේ නම් ධනපති, අධිපති හෝ NGO අනුග‍්‍රහය යටතේ පවත්වා ගෙන යාම එතරම් ලොකු සීමාකාරී සාධකයක් යයි මා නම් සිතන්නේ නැහැ.

වෙබ්ගත සමාජ මාධ්‍ය හරහා පෞද්ගලික හා පොදු සංවාද සුවහසක් දිවා රැයේ සිදුවීම හරහා නූතන තොරතුරු සමාජය අඵත් ආකාරයේ ගෝලීය පරිසරයක් බිහි කරනවා. නිතිපතා වෙබ් භාවිතයේ නියැලෙන බිලියන් 2.7ක් ජනයා ලොව පුරා මේ නව ප‍්‍රපංචයට දායක වනවා. ඉන්ටර්නෙට් හා බද්ධ වන මිලියන් 3ක් පමණ වන ලාංකිකයන් ද මේ ප‍්‍රවාහයේ කොටසක්.

Chat Republic by Angelo Fernando
Chat Republic by Angelo Fernando
මේ නව තොරතුරු සමාජය බෙහෙවින් ශාස්තී‍්‍රය මට්ටමින් මෙන් ම ලිහිල් හා සරල වෙනත් මානයන්ගෙන් ද විග‍්‍රහ කළ හැකියි. අලෙවිකරණය හා සමාජ ජාලකරණය (Marketing and Social Networking) කෝණයෙන් මෙය විග‍්‍රහ කැරෙන අඵත් පොතක් ලාංකික සන්නිවේදන හා අලෙවිකරණවේදියකු වන (අමෙරිකාවේ කලෙක සිට වාසය කරන) ඇන්ජලෝ ප‍්‍රනාන්දු මෑතදී ලියා තිබෙනවා.

ඔහු පොත නම් කොට ඇත්තේ Chat Republic යනුවෙන්. තොර තෝංචියක් නැතිව අසීමිත දේ ගැන ලිහිල්ව හෝ ගැඹුරින් හෝ ‘චැට්’ කරන නූතන තොරතුරු සමාජය, ඉතිහාසයේ නොතිබූ ආකාරයේ, දේශසීමා ඉක්මවා යන අඵත් ගෝලීය සබැදියාවක් බිහි කරමින් සිටින බව ඔහුගේ අදහසයි.

ආණ්ඩු හා වෙනත් බලාධිකාරයන් කැමති වුණත් නැතත් මෙය සිදු වනවා. (ශී‍්‍රමත් ආතර් සී. ක්ලාක් කලෙකට ඉහත මෙය නුවණැසින් දැක අවවාද කළේ ප‍්‍රතිරෝධය දක්වනු වෙනුවට සුක්‍ෂම ලෙස මේ නව ලොවට අනුගත වන ලෙසයි: “Exploit the inevitable!”)

ඇන්ජලෝගේ පොතේ යම් කොටසක් වෙන් කොට ඇත්තේ පුරවැසි මාධ්‍යවේදයේ පැතිකඩ කිහිපයක් විස්තර කරන්නයි. ඔහු ලෝක මට්ටමෙන් විවිධ රටවල අත්දැකීම් විස්තර කරන අතර ශී‍්‍ර ලංකාවෙන් ද උදාහරණ ගන්නවා. නම් වශයෙන් හඳුන්වා දී අදහස් උපුටා දක්වා තිබෙන්නේ සංජන හත්තොටුව හා ඉන්ද්‍රජිත් (ඉන්දි) සමරජීව යන තරුණ සයිබර් කි‍්‍රයාකාරිකයන් දෙදෙනායි.

මෙයට අමතරව සර්වෝදය සංවිධානයේ නව මාධ්‍ය භාවිතය ගම් මට්ටමෙන් ලාංකික සුඵ ව්‍යාපාරිකයන්ට නව වෙළඳපොළ විවෘත කරන සැටිත් එහි වාර්තාගතයි. http://chatrepublic.wordpress.com

2013 ජූනි 12දා Chat Republic එළි දැක්වීමට කොළඹ පැවති සංවාදයකට මාත් සහභාගී වුණා. ඇන්ජලෝ එහිදී කීවේ ඕපාදුප (gossip) යනු මානව සමාජයේ පැරණි ම සන්නිවේදන ක‍්‍රමයක් බවයි. අද වෙබ් මාධ්‍ය හරහා එයට නව පණක් හා වේගයක් ලැබී තිබෙනවා.