සිවුමංසල කොලු ගැටයා #371: සමූහ සම්මාදම් නවීකරණය හා විවිධාංගීකරණය ඕනෑ කර තිබේ!

‘Crowdfunding’ is the practice of funding a project or venture by raising small amounts of money from a large number of people. The idea has been around for a long time, in one way or another, but modern day crowdfunding using digital and web technologies has a history of just two decades. As the Internet use began to spread in the 1990s, some creative artistes soon realised the potential of appealing – and receiving – donations online.

The first dedicated web-based crowdfunding platform called ArtistShare in 2000. Since then, dozens of such platforms have emerged. These are being used to raise public support for many entrepreneurial ventures, artistic and creative projects, medical expenses, travel, or social enterprises.

In this week’s Ravaya column, published in the newspaper edition of 15 July 2018, I explore the potential for online #crowdfunding for charitable and artistic needs work in Sri Lanka. I also draw on Dr Tom Widger’s 2011-12 research on philanthropic trends in Sri Lanka to ask the question: how can we diversify local fund raising for good causes (besides large amounts of money already being donated to religious and humanitarian causes)?

Crowdfunding has been around for a long time. Technology can help reinvent the practice

පොදු වැඩකට නැතිනම් සාමයික/යහපත් කාරියකට මහජනයාගෙන් සම්මාදම් එකතු කිරීම කලක් තිස්සේ මෙරට සිදු වන්නක්.

එහෙත් බොහෝ විට මෙවැනි ‘ආධාර එකතු කිරීම්’ හරහා ඒකරාශී වන මුදල් කෙසේ වියදම් කරනවාද හා අවසාන ප්‍රතිඵලය කුමක්ද යන්න ගැන ප්‍රසිද්ධියේ වගවීමක් නැහැ.

ආගමික සිද්ධස්ථාන හා පුන්‍යායතනවලට මහජනයා ලබා දෙන මූල්‍යමය දායකත්වය ගැනත් වගකීම හා වගවීම මදි.

ශ්‍රී ලංකාවේ දානපති (philanthropic) ප්‍රවනතා ගැන මීට වසර කීපයකට පෙර අධ්‍යයනයක් කළ ආචාර්ය ටොම් විජර් (Dr Tom Widger) නම් බ්‍රිතාන්‍ය මානව විද්‍යාඥයා පෙන්වා දුන්නේ දානපති ක්‍රියා සඳහා (අපේ රටේ ආදායම් මට්ටම්වලට සාපේක්ෂව) නොමසුරුව ආධාර කිරීම සිදු වෙතත් එහි සීමා ගණනාවක් ද ඇති බවයි.

දානපති ක්‍රියා බහුතරයක් ආගමික පූජ්‍යස්ථානවලට හෝ තමන් උගත් පාසලට ඉලක්ක වන අතර, සංස්කෘතික හෝ පර්යේෂණාත්මක වැඩට ප්‍රමුඛත්වයක් නොලැබෙන බව ඔහු සොයා ගත්තා.

එසේම ආපදා සහනාධාර වැනි කෙටි කාලීන අවශ්‍යතා සඳහා ආධාර කිරීම මුල් තැනක් ගන්නා අතර සමාජීය වශයෙන් වැදගත් එහෙත් දිගු කාලීන විසඳුම්වලට රටේ දානපති ආධාර ලැබෙන්නේ ඉතා සීමිතව බවත් ඔහු සංඛ්‍යා ලේඛන සමග පෙන්වා දුන්නා.

මේ ප්‍රවනතා වෙනස් කොට වඩාත් පුළුල් වූත්, දිගු කාලීන වූත් අවශ්‍යතා වැඩි ප්‍රමාණයකට මහජන ආධාර ආකර්ශනය කර ගැනීමට කුමක් කළ හැකිද? මේ සඳහා නවීන සන්නිවේදන ක්‍රමයන් උපකාරී වන්නේ කෙසේද?

තාක්ෂණයත් සමග මෑත කාලයේ ලොව ජනප්‍රිය වූ සංකල්පයක් තිබෙනවා. සාපේක්ෂව කුඩා මුදල් ප්‍රමාණයක් බොහෝ දෙනකු විසින් එක් නිශ්චිත නිමිත්තකට පරිත්‍යාග කිරීම දැන් හඳුන්වන්නේ crowdfunding කියායි.

මෙයට නිල සිංහල යෙදුමක් තවම නැහැ. සමාජ මාධ්‍ය හරහා මා කළ විමසීම්වලදී යෝජනා කිහිපයක් ලැබුණා. ජන ආයෝජන, ප්‍රජා අයෝජන, සමූහ සම්මාදම් හා විවෘත සම්මාදම් ආදී වශයෙන්. මෙයින් මා වඩාත් කැමති සමූහ සම්මාදම් යෙදුමටයි. (මෙතනදි ආයෝජනයේ ප්‍රතිලාභ ලබන්නේ සමස්ත සමාජයම මිස ආධාර කරන්නා නොවෙයි.)

නූතන යුගයේ සමූහ සම්මාදම් සඳහා ස්මාර්ට්ෆෝන් ආකාරයේ ජංගම දුරකතන හා ඉන්ටර්නෙට් යොදා ගන්නවා.

මේ ආකාරයට සමූහ සම්මාදම් එකතු කිරීම ඇරඹුණේ 1990 දශකයේ වෙබ් භාවිතය කෙමෙන් ප්‍රචලිත වීමත් සමගයි.

වාර්තාගත මුල්ම සාර්ථක උත්සාහය සිදුව ඇත්තේ 1997දී. මැරිලියන් නම් බ්‍රිතාන්‍ය රොක් සංගීත කණ්ඩායම ඇමරිකාවේ සංචාරය කරමින් සංගීත ප්‍රසංග පැවැත්වීමට අවශ්‍ය වූ ඩොලර් 60,000ක සමස්ත වියදම වෙබ්ගත ආධාර ඉල්ලීමක් හරහා සොයා ගත්තා.

එයින් පසු එම ක්‍රමවේදය වෙනත් කලාකරුවන් හා සමාජ ක්‍රියාකාරිකයන් ද ටිකෙන් ටික අනුගමනය කිරීම ඇරඹුණා. මේ සඳහාම වෙන් වූ මුල්ම වෙබ් වේදිකාව ArtistShare නමින් 2000දී විවෘත කෙරුණා.

ගෙවී ගිය දශක දෙකක පමණ කාලය තුළ වෙබ් හරහා සමූහ සම්මාදම් එකතු කිරීමට වේදිකා රාශියක් බිහි වී ඇති අතර පොදු වැඩට මෙන්ම පෞද්ගලික හදිසි අවශ්‍යතා (උදා- වෛද්‍ය ප්‍රතිකාර වියදම්) සඳහා ද සමූහ සම්මාදම් එකතු කරනු ලබනවා.

මේ ඉල්ලීම් හැම එකක්ම සත්‍යවාදී ද යන්න තහවුරු කිරීම අපහසුයි. එහෙත් යම් තරමක විමර්ශනයක් කිරීමට වෙබ්ගත වේදිකා බහුතරයක් තැත් කරනවා.

ආධාර ඉල්ලීම හා එකතු කිරීම පමණක් නොකර තමන්ට උපකාර කරන සියලු දෙනා සමග සබඳතා පවත්වා ගනිමින් සමූහ සම්මාදමේ ප්‍රතිඵල කෙසේ වේදැයි වාර්තා කිරීමට සමහර සමූහ සම්මාදම් වෙබ් වේදිකාවල ඉඩ සළසා තිබෙනවා.

Kickstarter.com එවැනි ප්‍රකට ගෝලීය වේදිකාවක්. ඒ හරහා කලා කෘතියකට, නව නිපැයුමකට, සොබා ගවේෂණයකට හෝ විද්‍යාත්මක පර්යේෂණයකට වුව සමූහ සම්මාදම් ඉල්ලීමට හැකියි.

එසේ ඉල්ලීමක් පළ කරන විට තමන් අපේක්ෂා කරන මුළු මුදල හා එය එකතු වීමට අපේක්ෂා කරන කාල වකවානුව (මාස කීයක් ද යන්න) එහි සඳහන් කළ යුතුයි. ඩොලර් 5 සිට ඉහළ විවිධ අගයන්ගෙන් සම්මාදම් ලබා දිය හැකි වුවත් අපේක්ෂකයාට මුදල් ලැබෙන්නේ නියමිත කාලය තුළ ඉලක්කය සපුරා ගතහොත් පමණයි. නැත්නම් සියලු මුදල් නැවත දායකයන්ටම හරවා යවනවා.

ඉලක්ක සපුරා ගත්තොත් වේදිකා පරිපාලන වියදම් සඳහා සුළු ප්‍රතිශතයක් අය කර ගත් පසු ඉතිරි මුදල අපේක්ෂකයාට ලැබෙනවා.

Kickstarter.com ඇරඹු 2009 සිට 2017 අවසන් වන තෙක් ඩොලර් බිලියන් 3.18ක් විවිධාකාර ඉල්ලීම් දහස් ගණනක් වෙනුවෙන් සමූහ සම්මාදම් ලෙස එකතු කොට තිබෙනවා.

මේ කාලය තුළ සාර්ථකව නිම වූ ඉල්ලීම් ප්‍රතිශතය 36%යි. එනම් බහුතරයක් ඉල්ලීම් තම ඉලක්කය සපුරා නොගැනීම නිසා සතයක්වත් නොලැබී යනවා.

එහෙත් වෙනත් සමූහ සම්මාදම් වේදිකා වල මෙම කොන්දේසිය නැති නිසා එකතු වූ කුමන හෝ මුදල් ප්‍රමාණය අපේක්ෂකයාට ලැබෙනවා. මෙවන් ගෝලීය වේදිකා වලට පිවිසී ශ්‍රී ලංකාවේ නමින් සෙවිල්ලක් කළොත් සමහර ලාංකිකයන් ද මේ හරහා යම් නිමිති සඳහා සමූහ සම්මාදම් එකතු කොට ඇති බව පෙනී යනවා.

ශ්‍රී ලංකාව තුළ ද වෙබ්ගත සමූහ සම්මාදම් වේදිකා මතු වී තිබෙනවා. Help.lk එබන්දක්. එහෙත් බැලූ බැල්මට නම් මේවා එතරම් ජනප්‍රිය වී නැහැ.

විදේශ රටවල දානපතියන් හෝ විදේශ රාජ්‍යයන් වෙතින් මෙරට සුබසාධන හා පුණ්‍යමය අවශ්‍යතා සඳහා ලැබෙන ආධාර අඩු වෙමින් තිබෙනවා. මේ අඩුවට එක් ප්‍රතිචාරයක් නම් දේශීය දානපති ක්‍රියාකාරීත්වය වඩා විධිමත් කිරීමයි.

Give2Lanka logo

මේ අරමුණෙන් බිහි වූ ලාබ නොතකන ආයතනයක් Give2Lanka.org නම් වෙනවා. එහි ආරම්භක හා සභාපති වන දුලාන් ද සිල්වා පුණ්‍යායතන හා රාජ්‍ය නොවන ෙක්ෂත්‍රය සඳහා අරමුදල් ජනනය විවිධාංගීකරණයටත්, නවීකරණයටත් ක්‍රමවේද සොයන්නෙක්.

ඔහු කියන හැටියට මෙරට සමහර (සාපේක්ෂව) විශාල පුණ්‍යායතන තමන්ගේම වෙබ් අඩවිවල සුරක්ෂිතව ආධාර දිය හැකි බැංකු පහසුකම් (Payment Gateways) ලබා දී තිබෙනවා. එවිට ක්‍රෙඩිට් කාඩ් හරහා තමන් කැමති මුදලක් අදාළ ආයතනයට ලෙහෙසියෙන් පරිත්‍යාග කළ හැකියි.

”එහෙත් ක්‍රෙඩිට් කාඩ් භාවිත කරන බොහෝ ලාංකිකයන් පවා වෙබ් හරහා එයින් ගනුදෙනු කිරීමට තවමත් මැලි වෙනවා. එබැවින් වෙබ්ගත ආධාර ඉල්ලීම් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය හා සමාජ මාධ්‍ය හරහා ප්‍රවර්ධනය කිරීම ඉතා වැදගත්” යයි දුලාන් ද සිල්වා කියනවා.

තමන්ගේම වෙබ් අඩවියට විද්‍යුත් වාණිජමය බැංකු පහසුකම් ලබා ගැනීම වියදම් සහගත වැඩක්. එසේ කළ නොහැකි කුඩා හා මධ්‍යම පරිමාණයේ සිවිල් සමාජ සංවිධානවලට මෙන්ම කලාකරුවන් හා නව නිපැයුම්කරුවන් වැනි පුද්ගලයන්ට විකල්ප දෙකක් තිබෙනවා.

එක්කෝ Give2Lanka.org වැනි දේශීය සමූහ සම්මාදම් වේදිකාවක තම ඉල්ලීම් ප්‍රකාශයට පත් කිරීමයි.

අනෙක් ක්‍රමය නම් ගෝලීය වේදිකාවක තම ඉල්ලීම පළ කිරීමයි. JustGiving.com වැනි වේදිකාවක මෙරට විවිධාකාර පොදු හා පෞද්ගලික අවශ්‍යතා වෙනුවෙන් ප්‍රකාශිත ඉල්ලීම් ගණනාවක් හමු වනවා. (හැම එකක්ම සාර්ථක නැහැ.)

දුගී දරුවන්ට අධ්‍යාපනයට උදව් වීම, ආබාධිත අයට පිහිට වීම, කාන්තා ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය වැනි නිමිති රැසක් මෙවන් ලාංකික ඉල්ලීම් අතර තිබෙනවා. සමහර පර්යේෂකයන් හා සොබා ගවේෂකයන්ද තම වියදම් කොටසක් පතමින් වෙබ්ගත ඉල්ලීම් පළ කරනවා.

මා දන්නා තරමට මෙය තවමත් පුළුල්ව නියාමනයට ලක් වන ක්‍රමවේදයක් නොවෙයි. එහෙත් සමූහ සම්මාදම් ප්‍රචලිත වීම සමග දියුණු රටවල් ගණනාවක එයට අදාළ නීති හා නියාමන හඳුන්වා දී තිබෙනවා.

තමන්ට ලැබෙන හැම ආධාර ඉල්ලීමක්ම වෙබ්ගත සමූහ සම්මාදම් වේදිකා පළ කරන්නේ ද නැහැ. ඔවුන් යම් නිර්ණායක භාවිත කරනවා. සමහර වේදිකාවලට ප්‍රමුඛතා තිබෙනවා. Give2Lanka.org වේදිකාව ළමුන් සුබසාධනය, තරුණයන් සවිබල ගැන්වීම හා අධ්‍යාපන අවශ්‍යතා වලට කැප වී සිටිනවා.

”ශ්‍රී ලංකාවේ පුණ්‍යායතන හා සිවිල් සංවිධාන අධාර සෙවිමට ඩිජිටල් හා වෙබ් තාක්ෂණයන් තවමත් යොදා ගන්නේ බෙහෙවින් සීමිතවයි. එහි විභවය ගැන බොහෝ ආයතනවලට හරිහැටි අවබෝධයක් නැහැ” යයි දුලාන් කියනවා.

එහෙත් ක්‍රෙඩිට් කාඩ් භාවිතය මෙන්ම වෙබ් භාවිතයත් ඉහළ යන සමාජයක මේ සමූහ සම්මාදම් ක්‍රමවේදය ටිකෙන් ටික ස්ථාපිත වීමට ඉඩ කඩ තිබෙනවා. එයට නිසි ප්‍රවර්ධනය හා නවෝත්පාදනය අවශ්‍යයි. ආධාර දීම ලෙහෙසි වූ තරමට එසේ කිරීමට පෙළඹෙන ජන පිරිසද වැඩි වේවි.

L to R – Dr Tom Widger, Dulan de Silva, Asoka Handagama

මේ විභවය යම් තාක් දුරට උරගා බලන්න අපේ කලාකරුවන් හා නව නිපැයුම් කරුවන් යොමු වනු ඇතැයි මා සිතනවා. හැම නිර්මාණයකටම රාජ්‍ය අනුග්‍රහය හෝ ව්‍යාපාරික අනුග්‍රාහකත්වය ලැබෙන තුරු බලා නොසිට සමූහ සම්මාදම් කිරීමේ විකල්පයක් ද තිබෙන බව සිහිතබා ගැනීම වැදගත්.

මෙයට හොඳ පූර්වාදර්ශයන් ද මෑත ඉතිහාසයේ අපට සොයා ගත හැකියි. 1940 ගණන්වල මොරටුවෙන් මතුව ආ ඇල්බට් පෙරේරා නම් ගායනයට අති දක්ෂ තරුණයකු ඉන්දියාවේ භාත්ඛණ්ඩේ ආයතනයේ වැඩිදුර සංගීතය අධ්‍යයනයට යැවීමට මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර හා පත්‍රකලාවේදී ඩී බී ධනපාල තීරණය කළා.

එයට අවශ්‍ය අරමුදල් සපයා ගැනීමට ධනපාල සිය ලංකාදීප පුවත්පත හරහා සමූහ සම්මාදමක් දියත් කළා. එයට රට පුරා ජනයාගෙන් ලොකු හා කුඩා ආධාර රැසක් ලැබුණා. ඒවායේ උපකාරයෙන් 1954 සිට වසර කීපයක් ඉන්දියාවේ උගත් තරුණ ගායකයා යළි මෙරටට ආවේ පණ්ඩිත් අමරදේව ලෙසින්. තමන් උගත්තේ රටේ පොදු ජනයාගේ සම්මාදමින් බව අමරදේවයන් කිසිදා අමතක කළේ නෑ.

Crowdfunding helped educate W D Amaradeva in the 1950s

නූතන යුගයේ මෙබන්දක් කළ හැකිද?

දැනටමත් මෙය උත්සාහ කළ ප්‍රකට කලාකරුවකු නම් සිනමාවේදී අශෝක හඳගමයි. 2016 දී ප්‍රදර්ශනයට ආ ‘ඇගේ ඇස අග‘ චිත්‍රපටය නිර්මාණය කරමින් සිටින කාලයේ ඔහු සමූහ සම්මාදම් ඉල්ලීමක් පළ කළා. ඒ නිව්යෝක් නුවර කේන්ද්‍ර කර ගත් Crimso නම් වේදිකාව හරහායි. එය කලා, ව්‍යාපාරික මෙන්ම ප්‍රජා ඉල්ලීම්වලටත් විවෘතයි.

2014 මාස කිහිපයක් තිස්සේ විවෘතව තිබූ මේ ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන් ඇමරිකානු ඩොලර් 6,000ක් පමණ එකතු වූ බව අසෝක කියනවා. එහෙත් චිත්‍රපටයේ සමස්ත නිෂ්පාදන වියදම වූ ඩොලර් 120,000න් එම සම්මාදම පියවූයේ 5%ක් පමණයි. චිත්‍රපටයේ සංස්කරණ වියදම් සමහරක් ගෙවීමට තමා එය යොද ගත් බව අසෝක පැවසුවා.

සමූහ සම්මාදම් ක්‍රමය අත්හදා බැලන්නට සිතන සෙසු ලාංකිකයන්ටද  අසෝක හඳගමගේ උපදෙස මෙයයි. ” වෘතාන්ත චිත්‍රපටයක් නිපදවීම වැනි අවශ්‍යතාවක් සඳහා සමූහ සම්මාදම් ක්‍රමය තවමත් ශ්‍රී ලංකාවේ ප්‍රයෝගිකව යොදා ගැනීම දුෂ්කරයි. නිෂ්පාදන වියදම සාපේක්ෂව අඩු වාර්තා චිත්‍රපටයකට සමහර විට මේ ක්‍රමයෙන් මුදල් සොයා ගත හැකි වේවි. ප්‍රජා මූලික කලා කටයුතු සඳහා නම් වෙබ්ගත සමූහ සම්මාදම් ඉල්ලූ විට සැළකිය යුතු ප්‍රතිචාරයක් ලැබීමට ඉඩ තිබෙනවා. එහෙත් ඒ සඳහාත් අදාළ වේදිකාවේ ඉල්ලීම පළ කළාට පසුව මාධ්‍ය හා සමාජ මාධ්‍ය හරහා දිගටම ප්‍රසිද්ධිය ලබා දීම අවශ්‍ය වනවා. වේදිකාවක ඉල්ලීම පළ කිරීම යනු මුල් පියවර පමණයි.”

In 2014, noted Lankan filmmaker Asoka Handagama tried his hand in crowdfunding for a feature film – with limited success

මෙරට පදිංචි ජනගහනය මිලියන් 21ට අමතරව රැකියා සඳහා හෝ සදහටම හෝ විදෙස්ගත වූ ලාංකිකයන් ඇස්තමේන්තුගත මිලියන් 2ක් පමණ සිටිනවා. මේ අයගෙන් මෙරට පොදු අවශ්‍යතා, කලා නිර්මාණ, නව නිපැයුම් හෝ පුණ්‍යායතන සඳහා සමූහ සම්මාදම් ලබා ගත හැකිද? මෙයද අප විමසා බැලිය යුත්තක්.

විදෙස්ගත අපේ ශ්‍රමිකයන් නිතිපතා මෙරටට එවන විදේශ විනිමය අපේ ආර්ථීකයේ වැදැගත් හා තීරණාත්මක සාධකයක්. 2009දී ඩොලර් බිලියන් 3.33ක් වූ මේ ගලා ඒම 2017දී ඩොලර් බිලියන් 7.16ක් දක්වා ඉහළ ගිය බව මහ බැංකු ලේඛන පෙන්වා දෙනවා.

මේ මුදල් නිසාම යැපෙන පවුල් ලක්ෂ ගණනක් සිටිනවා. එසේම එම මුදල්වලින් කොටසක් ආගමික සිද්ධස්ථානවලට යොමු වනවා කියාත් අනුමාන කළ හැකියි.

එලොවට පමණක් නොව මෙලොවටත් සෙත් දෙන පොදු වැඩට දැනට වඩා දේශීය දානපති පරිත්‍යාග වැඩි කළහොත් විදෙස් ආධාර හා පරිත්‍යාග මත යැපීම අඩු කළ හැකියි.

සිවිල් සමාජයට, පුණ්‍යායතනවලට, කලාකරුවන්ට හා නව නිපැයුම්කරුවන්ට මීට වඩා දේශීය අනුග්‍රහය ලැබිය යුතුයි. තාක්ෂණය හරහාවත් අපට සමූහ සම්මාදම් ක්‍රමවේද මීට වඩා මුවහත් කර ගත හැකි නම්, දේශීය දානපති ක්‍රියාවලට එය රුකුලක් විය හැකියි.

සිවුමංසල කොලූගැටයා #240: සියවසක් පැරණි පුවත් ආකෘතියෙන් ඔබ්බට අපේ මාධ්‍ය පරිනාමය වේද?

On 2 October 2015, I gave a talk to a group of provincial level provincial journalists in Sri Lanka who had just completed a training course in investigative journalism.

I looked at the larger news media industry in Sri Lanka to which provincial journalists supply ground level news, images and video materials. These are used on a discretionary basis by media companies mostly based in the capital Colombo (and some based in the northern provincial capital of Jaffna). Suppliers have no control over whether or how their material is processed. They work without employment benefits, are poorly paid, and also exposed to various pressures and coercion.

I drew an analogy with the nearly 150-year old Ceylon Tea industry, which in 2014 earned USD 1.67 billion through exports. For much of its history, Ceylon tea producers were supplying high quality tea leaves in bulk form to London based tea distributors and marketers like Lipton. Then, in the 1970s, a former tea taster called Merrill J Fernando established Dilmah brand – the first producer owned tea brand that did product innovation at source, and entered direct retail.

He wanted to “change the exploitation of his country’s crop by big global traders” – Dilmah has today become one of the top 10 tea brands in the world.

The media industry also started during British colonial times, and in fact dates back to 1832. But I questioned why, after 180+ years, our media industry broadly follows the same production model: material sourced is centrally processed and distributed, without much adaptation to new digital media realities.

In this week’s Ravaya column, (appearing in issue of 11 Oct 2015), I have adapted my talk into Sinhala.

Ceylon Tea industry pioneers and innovator: L to R - James Taylor, Thomas Lipton, Merril Fernando
Ceylon Tea industry pioneers and innovator: L to R – James Taylor, Thomas Lipton, Merrill Fernando

ප‍්‍රාදේශීය මාධ්‍යවේදීන් සිය ගණනක් අපේ දිවයිනේ නන් දෙස විසිර සිටිනවා. තම ගමේ, නගරයේ හා අවට ප‍්‍රදේශවල සිදුවීම් ගැන තොරතුරු හා රූප/වීඩියෝ දර්ශන පුවත්පත් ආයතන හා විද්‍යුත් මාධ්‍ය ආයතනවලට නිරතුරුව ලබා දෙන්නේ මේ අයයි.

මේ නිසා ප‍්‍රාදේශීය මාධ්‍යවේදීන් බිම් මට්ටමින් සක‍්‍රීය හා සංවේදී පිරිසක්. ඔවුන් බහුතරයක් කොළඹ පිහිටි මාධ්‍ය ආයතනවලටත්, සෙසු අය යාපනයේ පිහිටි මාධ්‍ය ආයතනවලටත් වාර්තා කරනවා.

මේ කේන්ද්‍ර ද්විත්වයේදී ඔවුන්ගේ දායකත්වය නිසි තක්සේරුවකට හෝ සැලකීමකට හෝ ලක් වන්නේ නැහැ. ඇත්තටම ප‍්‍රාදේශීය මාධ්‍යවේදීන් ඉතා අඩු ගෙවීම්වලට ලොකු අවදානම් ගනිමින් සේවයේ නිරත වනවා යයි කිව හැකියි.

ප‍්‍රාදේශීය මාධ්‍යවේදීන් 75 දෙනකුට ගවේෂණාත්මක වාර්තාකරණය පිළිබඳ පුහුණුවක් අවසානයේ සහතික ප‍්‍රදාන උත්සවයක් පසුගිය සතියේ කොළඹදී පැවැත්වුණා. එය සංවිධානය කළේ ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ‍්‍රී ලංකා කාර්යාලය හා ශ‍්‍රී ලංකා පුවත්පත් ආයතනයයි. එහිදී දේශන පැවැත්වීමට මහාචාර්ය රොහාන් සමරජීවටත්, මටත් ඇරයුම් කර තිබුණා.

ප‍්‍රාදේශීය මාධ්‍යවේදීන් විවිධාකාරයෙන් හඳුන්වා දිය හැකියි. ප‍්‍රවෘත්ති මාධ්‍ය කලාවේ බිම් මට්ටමේ සංවේදකයෝ, ජන හද ගැස්ම හඳුනන්නෝ හා සමාජ ප‍්‍රවණතා කල් තබා දකින්නෝ ආදී වශයෙන්. මගේ කතාවේ මා මීට අමතරව ඔවුන් දරු පවුල් ඇත්තෝ හා දිවි අරගලයක නිරත වූවෝ කියා ද හැඳින් වූවා.

2015 සැප්තැම්බර් මුලදී මින්නේරිය සමඟිපුරදී වල් අලි ප‍්‍රහාරයකට ලක්ව ඉතා අවාසනාවන්ත ලෙසින් මිය ගිය කේ. එච්. ප‍්‍රියන්ත රත්නායක නම් ප‍්‍රාදේශීය මාධ්‍යවේදියා මා සිහිපත් කළා. එම අනතුර ගැන සටහනක් ලියූ සමාජ විචාරක හා බ්ලොග් රචක අජිත් පැරකුම් ජයසිංහ කීවේ මෙයයි.

Priyantha Ratnayake, Sri Lanka provincial journalist who died of an elephant attack in September 2015
Priyantha Ratnayake, Sri Lanka provincial journalist who died of an elephant attack in September 2015

“සාමාන්‍යයෙන් ප්‍රාදේශීය මාධ්‍යකරුවෝ විවිධ ආකාරයෙන් මාධ්‍ය ආයතන ගණනාවකට එක වර සේවය සපයති. සපයනු ලබන ප්‍රවෘත්තිවලට පමණක් සුළු ගෙවීමක් ලබන ඔවුන්ට පැවැත්මක් තිබෙන්නේ එවිටය. අඩු තරමේ ඔවුන්ගේ නම හෝ ප්‍රචාරය වන්නේ දේශපාලකයකුගෙන් ගුටි කෑම වැනි අනතුරුදායක කටයුත්තකදී පමණි.

“ප්‍රාදේශීය මාධ්‍යකරුවන් යනු මාධ්‍ය ආයතනවල සූරාකෑමට දරුණු ලෙස ගොදුරු වන පිරිසකි. ඔවුන්ට සාමාන්‍යයෙන් ගත් කල කිසිදු පුහුණුවක් නැත. මාධ්‍යකරුවන්ට ලබා දෙන විධිමත් ආරක්ෂක පුහුණුවකදී නම් වාර්තාකරණයේදී ආත්මාරක්ෂාව සපයා ගන්නා ආකාරය පුහුණු කරනු ලැබේ. එහෙත් ලංකාවේ බහුතරයක් ප්‍රාදේශීය මාධ්‍යකරුවන්ට ප්‍රවෘත්ති පිළිබඳ මූලික අවබෝධය පවා නැත. බොහොමයක් මාධ්‍යකරුවන් එවන ප්‍රවෘත්ති නැවත ලියන්නට සිදු වේ.

“මාධ්‍ය ආයතනවලට ප්‍රාදේශීය මාධ්‍යකරුවා තවත් එක් උපකරණයක් පමණි. මොන යම් ආකාරයකින් හෝ ප්‍රාදේශීය ප්‍රවෘත්ති ලැබෙනවා නම් මාධ්‍ය ආයතනවලට ඇතිය. රටේම මිනිසුන්ට වන අසාධාරණකම් විවේචනය කරන මාධ්‍ය ආයතනවල ප්‍රාදේශීය මාධ්‍යකරුවන් සූරාකෑම නැවැත්වීමට කටයුතු කළ යුතුය.”

Full text: ප්‍රාදේශීය මාධ්‍යකරුවන්ගේ ජීවිත සූරා කන මාධ්‍ය ආයතන

මේ විග‍්‍රහයට මා එකඟයි. මාධ්‍යවේදීන්ට “මාධ්‍ය කම්කරුවන්’’ මට්ටමින් සැලකීම හුදෙක් ප‍්‍රාදේශීය වාර්තාකරුවන්ට පමණක් සීමා වී නැතත්, එය වඩාත් බරපතළ වන්නේ ඔවුන් සම්බන්ධයෙනුයි.

හොඳින් ලාභ ලබන මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ආයතන පවා ප‍්‍රාදේශීය මාධ්‍යවේදීන්ට ගෙවන්නේ ඉතා අඩුවෙන්. එය ද ඔවුන් සපයන තොරතුරක් හෝ රූපයක් හෝ භාවිත වූවොත් පමණයි. එයට අමතරව නිවාඩු, රක්ෂණ ආවරණ ආදී කිසිවක් ඔවුන්ට හිමි නැහැ.

මේ අසාධාරණයට ලක් වන රාදේශීය මාධ්යවේදීන්ට සිය මාධ්යකරණයේ නියැලීමට විකල්ප රමවේද හා අවකාශයන් තිබේද? ඒවා විවර කර ගැනීමට කුමක් කළ යුතුද?

මේ ගැන මගේ කතාවේදී මා මෙනෙහි කළා. එහිදී මාධ්‍ය කර්මාන්තයේ පුවත් සම්පාදන ආකෘතිය සමීපව විමර්ෂනය කළ යුතු බව මගේ අදහසයි.

Colombo Journal, first newspaper in Ceylon, founded in January 1832
Colombo Journal, first newspaper in Ceylon, founded in January 1832

(1802 දී ආරම්භ කළ ගැසට් පත‍්‍රය මාධ්‍ය අංගයක් ලෙස නොසැළකුවොත්) ශ‍්‍රී ලංකාවේ නූතන මාධ්‍යකරණය ඇරැඹුණේ 1832 ජනවාරියේදී. කලම්බු ජර්නල් (Colombo Journal) නම් සති දෙකකට වරක් පළ වූ ඉංග‍්‍රීසි සඟරාව මෙරට මුල්ම වාරික ප‍්‍රකාශනයයි. එවකට බි‍්‍රතාන්‍ය යටත් විජිත රජයේ මුද්‍රණාලයාධිපතිව සිටි ජෝර්ජ් ලී එහි කතුවරයා වූවා. එකල ආණ්ඩුකාරයා වූ රොබට් විල්මට් හෝට්න් ද එයට ලිපි සැපයුවා.

මෙබඳු රාජ්‍ය සබඳතා තිබුණත් පෞද්ගලික මට්ටමින් පවත්වා ගෙන ගිය කලම්බු ජර්නල් සඟරාව පැවති රජය විවේචනය කිරීම නිසා ටික කලකින් පාලකයන්ගේ උදහසට ලක් වූවා. (රජය හා මාධ්‍ය අතර මත අරගලය මාධ්‍ය ඉතිහාසය තරම්ම පැරණියි!) මේ නිසා 1833 දෙසැම්බර් මස සඟරාව නවතා දමනු ලැබුවා.

දෙමළ බසින් මුල්ම වාරික ප‍්‍රකාශනය වූ “උදය තාරකායි’’ 1841දී යාපනයෙන්ද, මුල්ම සිංහල පුවත්පත ලෙස සැලකෙන “ලංකාලෝක’’ 1860දී ගාල්ලෙන්ද අරඹනු ලැබුවා. (මෙයින් පෙනෙන්නේ මුල් යුගයේ මාධ්‍ය ප‍්‍රකාශනය කොළඹට පමණක් කේන්ද්‍ර නොවූ බවයි.)

The first Tamil newspaper in Sri Lanka, Udaya Tharakai, was started in 1841 from Jaffna
The first Tamil newspaper in Sri Lanka, Udaya Tharakai (=Morning Star), was started in 1841 from Jaffna

1832 ආරම්භය ලෙස ගත් විට වසර 180කට වඩා දිග ඉතිහාසයක් අපේ මාධ්‍ය කර්මාන්තයට තිබෙනවා. එය වඩාත් සංවිධානාත්මක කර්මාන්තයක් බවට පත් වූයේ 20 වන සියවසේදී. 1925දී රේඩියෝ මාධ්‍යයත්, 1979දී ටෙලිවිෂන් මාධ්‍යයත්, 1995දී ඉන්ටර්නෙට් සබඳතාවත් මෙරටට හඳුන්වා දෙනු ලැබුවා.

මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යවලට දශක ගණනක ඉතිහාසයක් ඇතත් එහි පුවත් එකතු කිරීමේ ආකෘතිය තවමත් වෙනස් වී නැහැ. එහි සැපයුම්දාමය ප‍්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ සිට කොළඹ/යාපනය ප‍්‍රධාන කාර්යාලවලට එනවා. එතැනදී තේරීමකට හා ප‍්‍රතිනිර්මාණයට ලක් වනවා. ඉන් පසු රටටම බෙදා හරිනවා.

එම ක‍්‍රියාවලියේදී ප‍්‍රාදේශීය මාධ්‍යවේදීන්ට තීරක බලයක් නැහැ. කලකට පෙර නම් ඔවුන්ගේ නම පවා පත්තරවල පළ කළේ කලාතුරකින්. පුවත් ප‍්‍රමුඛතාව හා කුමන ආකාරයේ පුවත් පළ කරනවා ද යන්න ගැන න්‍යාය පත‍්‍රය මුළුමනින්ම තීරණය කරන්නේ කේන්ද්‍රීය කාර්යාල විසින්. ගතානුගතිකත්වය හා වැඩවසම් ආකල්ප තවමත් අපේ මාධ්‍ය කර්මාන්තයේ බහුලයි.

මෙය කෙසේ වෙනස් කළ හැකිද? මාධ්‍ය කර්මාන්ත ආකෘති කෙසේ නවෝත්පාදනයට ලක් කළ හැකිද? වෙනත් කර්මාන්තවලින් ආදර්ශයක් ගත හැකි දැයි මා ටිකක් විපරම් කළා.

තේ කර්මාන්තය ද බි‍්‍රතාන්‍ය පාලන සමයේ ඇරැඹි මේ වන විට ඉතා සංවිධානාත්මකව ක‍්‍රියාත්මක වන දැවැන්ත කර්මාන්තයක්. 2014දී ඇමෙරිකානු ඩොලර් බිලියන 1.67ක් (රුපියල් බිලියන 231) ආදායම් ලද මේ කර්මාන්තය ඍජුව ලක්ෂ හත හමාරකට ජීවිකාව සපයනවා.

චීනයේ සිට මුලින්ම තේ පැළයක් මෙරටට ගෙනාවේ 1824දී වුවත්, වැවිලි කර්මාන්තයක් ලෙස තේ වැවීම පටන් ගත්තේ කෝපි වගාව දිලීර රෝගයකින් විනාශ වූ විටයි. මුල්ම තේ වත්ත 1867දී මහනුවර දිස්ත‍්‍රික්කයේ අරඹන ලද ලූල්කඳුර වත්තයි. එය ඇරැඹු ජේම්ස් ටේලර් (James Taylor: 1835-1892) තේ වගාවෙ පුරෝගාමියා ලෙස සැලකෙනවා.

සුළුවෙන් පටන් ගත් තේ වගාව ටිකෙන් ටික උඩරට හා පහතරට වෙනත් ප‍්‍රදේශවලට ව්‍යාප්ත වුණා. මෙරට භාවිතයට මෙන්ම පිටරට යැවීමටත් තේ කොළ නිෂ්පාදනය කරනු ලැබුවා.

සන්ධිස්ථානයකත් වූයේ තොමස් ලිප්ටන් (Thomas Lipton: 1841-1931) නම් බි‍්‍රතාන්‍ය ව්‍යාපාරිකයා 1890දී මෙරටට පැමිණ ජේම්ස් ටේලර් ඇතුළු තේ වැවිලිකරුවන් මුණ ගැසීමයි. තොග වශයෙන් ලංකා තේ මිලට ගෙන ලන්ඩනයට ගෙන ගොස් එහිදී පැකට් කර ලොව පුරා බෙදාහැරීම හා අලෙවිකරණය ඔහු ආරම්භ කළා. ලිප්ටන් තේ ලොව ප‍්‍රමුඛතම වෙළඳ සන්නාමයක් වූ අතර අපේ තේවලින් වැඩිපුරම මුදල් උපයා ගත්තේ එබඳු සමාගම්.

Lipton Advertisement for Ceylon Tea in 1892
Lipton Advertisement for Ceylon Tea in 1892

මේ තත්ත්වය නිදහසෙන් පසුද දිගටම පැවතියා. ගෝලීය මට්ටමෙන් තේ බෙදා හැරීමේ හැකියාව හා අත්දැකීම් තිබුණේ යුරෝපීය සමාගම් කිහිපයකට පමණයි.

තේ රස බලන්නකු ලෙස වෘත්තීය ජීවිතය ඇරැඹු මෙරිල් J ප‍්‍රනාන්දු නම් ලාංකික තරුණයා ලන්ඩනයේ 1950 ගණන්වල පුහුණුව ලබද්දී මේ විසමතාව ඉතා සමීපව දුටුවා. යළි සිය රට පැමිණ තේ කර්මාන්තයේ සියලූ අංශවල අත්දැකීම් ලත් ඔහු 1988දී ගෝලීය දැවැන්තයන්ට අභියෝග කිරීමට තමාගේම සමාගමක් ඇරැඹුවා. එහි නම ඩිල්මා (Dilmah Tea: www.dilmah.com)

ඩිල්මා සමාගම කළේ මෙරට නිපදවන තේ කොළ මෙහිදීම අගය එකතු කොට, තේ බෑග් එකක් ඇසුරුම් කොට ඔවුන්ගේ වෙළඳනාමයෙන් ගෝලීය වෙළඳපොළට යැවීමයි. මුලදී දැවැන්ත බහුජාතික සමාගම් සමග තරග කිරීමට ඉතා දුෂ්කර වුවත් නවෝත්පාදනය හා නිර්මාණශීලී අලෙවිකරණය හරහා ලෝක වෙළඳපොළ ජය ගන්නට ඩිල්මා සමත්ව සිටිනවා.

අද ලොව රටවල් 100කට ආසන්න ගණනක සුපර්මාර්කට්වල ලිප්ටන් වැනි තේ අතර ඩිල්මා ද අලෙවි කැරෙනවා.

ඩිල්මා යනු මෙරටින් බිහි වූ විශිෂ්ටතම වෙළඳ සන්නාමයන්ගෙන් එකක්. එහි සාර්ථකත්වයට මුල දශක ගණනක් පැවැති තේ කර්මාන්ත ආකෘතිය අභියෝගයට ලක් කිරීමයි.

Image courtesy Dilmah.com website
Image courtesy Dilmah.com website

තේ කර්මාන්තය මෙසේ නවෝත්පාදනයට ලක් වෙමින් විවිධාංගීකරණය වෙද්දී අපේ මාධ් කර්මාන්ත ආකෘතිය සියවසක් තිස්සේ එතරම් වෙනස් වී නැහැ. මුද්රණ තාක්ෂණය හා ඩිජිටල් උපාංග අතින් නවීකරණය වුවද රාදේශී් පුවත් කේන්ද්රයකට ලබා ගෙන, පෙරහන් කොට රටටම එතැනින් බදීම එදත් අදත් එසේම කර ගෙන යනවා.

මේ ක‍්‍රියාදාමය තුළ ප‍්‍රාදේශීය මාධ්‍යවේදීන් මා සම කළේ කුඩා තේ වතු හිමිකරුවන්ටයි. අක්කර 10ට වඩා අඩු බිම්වල තේ වවන මොවුන් ලක්ෂ 4ක් පමණ සිටිනවා. 2013 මෙරට සමස්ත තේ නිපැයුමෙන් 60%ක් වගා කළේ ඔවුන්.

තමන්ගේ තේ දළු අවට තිබෙන ලොකු තේ වත්තකට විකිණීම ඔවුන්ගේ ක‍්‍රමයයි. එතැනින් ඔබ්බට තම ඵලදාව ගැන පාලනයක් ඔවුන්ට නැහැ.

මේ උපමිතිය මා සඳහන් කළ විට මගේ සභාවේ සිටි එක් ප‍්‍රාදේශීය මාධ්‍යවේදියෙක් කීවේ තමන් සුළු තේ වතු හිිමියන්ටත් වඩා අසරණ බවයි. තේ දළු විකුණා ගැනීම සාමාන්‍යයෙන් ප‍්‍රශ්නයක් නොවෙතත්, තමන් සම්පාදනය කරන පුවත් හා රූපවලින් භාවිතයට ගැනෙන්නේ (හා ගෙවීම් ලබන්නේ) සමහරකට පමණක් බව ඔහු කියා සිටියා.

මෙරට මාධ්‍ය කර්මාන්තය සමස්තයක් ලෙස පර්යේණාත්මකව හදාරමින් සිටින මා මතු කළ ඊළඟ ප‍්‍රශ්නය මෙයයි. තේ කර්මාන්තයේ පිළිගත් ආකෘතියට අභියෝග කළ මෙරිල් ප‍්‍රනාන්දුට සමාන්තරව මාධ්‍ය කර්මාන්තයේ මුල් බැස ගත් ආකෘතිය අභියෝගයට ලක් කරන්නේ කවුද?

යම් තාක් දුරට මෙය පුරවැසි මාධ්‍යවේදීන් කරනවා. බ්ලොග් ලේඛකයන්, සමාජ ජාල මාධ්‍ය භාවිත කරන්නන් ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍ය ගැන නොතකා කෙලින්ම තම තොරතුරු, අදහස් හා රූප ලොවට මුදා හරිනවා. රටේ ජනගහනයෙන් 20%ක් ඉන්ටර්නෙට් භාවිත කරන නිසා මෙය තරමක් දුරට සීමිත වූවත් (මා මීට පෙර විග‍්‍රහ කර ඇති පරිදි) එසේ සම්බන්ධිත වූවන් හරහා සමාජයේ තව විශාල සංඛ්‍යාවකට එම තොරතුරු ගලා යනවා.

මෙය දිගු කාලීනව ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍යවලට අභියෝගයක්. එහෙත් අපේ බොහෝ මාධ්‍ය එය හරිහැටි වටහාගෙන නැහැ. ඔවුන් තවමත් සිටින්නේ ලිප්ටන් ආකෘතියේ මානසිකත්වයකයි.

හැකි පමණට වෙබ් හරහා තම තොරතුරු හා රූප මුදාහැරීම සමහර ප‍්‍රාදේශීය මාධ්‍යවේදීන් ආරම්භ කොට තිබෙනවා. උදාහරණ ලෙස මා ගෙන හැර දැක්වූයේ ගාල්ලේ බෙහෙවින් සක‍්‍රීය හා උද්‍යෝගීමත් මාධ්‍යවේදී සජීව විජේවීරයි. ඔහු ෆේස්බුක් හරහා බොහෝ දේ බෙදා ගන්නා අතර Ning.com නම් සමාජ මාධ්‍ය වේදිකාව හරහා ගාලූ පුරවැසියෝ නම් එකමුතුවක්ද කලක් කර ගෙන ගියා.

Example from journalist in Matara Facebook group: Catching a crocodile in Kamburugamuwa, Matara, 23 Sep 2015
Example from journalist in Matara Facebook group: Catching a crocodile in Kamburugamuwa, Matara, 23 Sep 2015

මේ අතර මාතර දිස්ත‍්‍රික්කයේ ප‍්‍රාදේශීය මාධ්‍යවේදීන් 70 දෙනෙකු එක් වී Journalist in Matara නම් විවෘත ෆේස්බුක් පිටුවක් කරනවා. ඒ හරහා තමන් එකතු කරන තොරතුරු හා රූප බෙදා ගන්නවා. ප‍්‍රාදේශීය වශයෙන් වැදගත් එහෙත් සැම විටම ජාතික මාධ්‍යවලට අදාළ නොවන බොහෝ දේ එහි හමු වනවා.

මෙබඳු තවත් උදාහරණ වෙනත් ප‍්‍රදේශවලද සිංහලෙන් හා දෙමළෙන් තිබෙනවා. එහෙත් මේ කිසිවකුට තවම ඒ හරහා ජීවිකාව උපයා ගන්නට බැහැ. හොඳ මාධ්‍ය අංග සඳහා පාඨකයන් කැමති ගානක් ගෙවා නඩත්තු කරන ආකාරයේ සමූහ සම්මාදම් නැතිනම් ජනතා ආයෝජන ක්‍රමවේදයන් (crowd-funding) වඩාත් දියුණු රටවල දැන් තිබෙනවා. එම ආකෘති අප අධ්‍යයනය කොට හැකි නම් අදාළ කර ගත යුතුයි.

මේ කිසිවක් ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍යවලට ඍජුව අභියෝග කිරීමක් නොවේ. එහෙත් නිසි පිළි ගැනීමකට හෝ සාධාරණ ගෙවීමකට ලක් නොවී සිටින ප‍්‍රාදේශීය මාධ්‍යවේදීන් තාක්ෂණය හරහාවත් බලාත්මක කොට ඒ හරහා අපේ තොරතුරු සමාජය වඩාත් සවිමත් කළ හැකි නම් කොතරම් අපූරුද?

A tale of two industries:  one that evolved, and the other that hasn't quite done so...
A tale of two industries: one that evolved, and the other that hasn’t quite done so…