සිවුමංසල කොලූගැටයා #168: නින්දෙන් ඇවිදින ලක් සමාජය හේතුවාදීන්ට අවදි කළ හැකිද?

In this week’s Ravaya column (in Sinhala), I introduce a recent anthology of rationalist essays compiled and edited by leading Sinhala language writer Ajith Thilakasena. I was asked to talk about the book at a recent meeting of the Sri Lanka Rationalists’ Association. Since I too have contributed a chapter, I cannot review the book; this is merely an exploration of the book’s provocative contents.

I have covered similar ground in an English op-ed in January 2012:
Can Rationalists Awaken the Sleep-walking Lankan Nation?

Hethuwaadi Lipi (Rationalist Essays in Sinhala). Edited by Ajith Thilakasena. Sarasavi Publishers, Sri Lanka. 2014
Hethuwaadi Lipi (Rationalist Essays in Sinhala). Edited by Ajith Thilakasena. Sarasavi Publishers, Sri Lanka. 2014

 

අජිත් තිලකසේන සූරීන් මෙරට සිටින ප‍්‍රතිභාපූර්ණ නිර්මාණශීලී ලේඛකයෙක්. දක්‍ෂ ප‍්‍රබන්ධ රචකයකු, කවියකු වනවාට අමතරව ඔහු වඩාත් සරල ලෙසින් සිංහල බස ලිවීමට පිලි සහ හල් කිරීම් සමරූපීකරණය කිරීමේ සම්ප‍්‍රදායක් යෝජනා කොට එය ප‍්‍රගුණ කරන්නෙක්.

මෙයට සමාන්තරව තිලකසේන සූරීන් අදීන හා අතිශයින් විචාරශීලී චින්තනයක් ඇති හේතුවාදියකු ද වනවා. ඔහු සංස්කරණය කළ ‘‘හේතුවාදී ලිපි’’ නම් කෘතිය එළි දැක්වීමේ රැස්වීමක් මාර්තු මස අගදී හේතුවාදී සංගමයේ අනුග‍්‍රහයෙන් කොළඹදී පවත්වනු ලැබුවා. එහිදී මේ අළුත් පොත ගැනත්, පොදුවේ මෙරට හේතුවාදී සාහිත්‍යය ගැනත් කථා කිරීමට එස්. එම්. බන්දුසීල සූරීන්ට හා මට ඇරැයුම් කොට තිබුණා.

අප දෙදෙනාගේ ම ලිපි ‘‘හේතුවාදී ලිපි’’ සංග‍්‍රහයේ තිබෙනවා. මේ නිසා පොත පිළිබඳව විචාරයක් අපට කළ නොහැකි වුවත් සරසවි ප‍්‍රකාශනයක් වන මෙය හඳුන්වාදීම හා එහි කාලීන වැදගත්කම පෙන්වාදීම අපේ කථාවල මූලික හරය වූවා.

පසුගිය දශක කිහිපයක් තුළ මෙරට පුවත්පත් හා සඟරාවල පළ වූ හේතුවාදී හා විචාරශීලි ලිපි රැසක් ද මේ පොතේ එකතු කොට තිබෙනවා. මුල් අවස්ථාවේ එම ලිපි කියවීමට නොලැබුණු පාඨකයන්ටත්, ඒවා යළි කියවනු රිසි අයටත් මේ පොත මාහැඟි සංග‍්‍රහයක්.

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, මහාචාර්ය කාලෝ ෆොන්සේකා, මහාචාර්ය ඔස්මන්ඞ් ජයරත්න, වෛද්‍ය රූමි රූබන්, ආචාර්ය ඒබ‍්‍රහම් ටී. කොවූර්, එස්. එම්. බන්දුසීල හා ආචාර්ය කාවන් රත්නතුංග වැනි විද්වතුන්ගේ ලිපි මේ පොතේ හමු වනවා. එසේ ම මෙරට මාධ්‍ය හරහා හේතුවාදී විමර්ශන හා මත දැක්වීම්වලට ප‍්‍රකට තිලක් සේනාසිංහ, තිඹිරියාගම බණ්ඩාර, කේ ආර් අභයසිංහ, තාරක වරාපිටිය, සුසිලා දොඩංගොඩ හා කේ ඒ ඞී වංශරත්න වැනි ලේඛක ලේඛිකාවන්ගේ ලිපි ද එහි අඩංගුයි.

පොතේ පරිච්ෙඡ්ද 27 සමන්විත වන්නේ ලිපි 20කින් සහ දේශන හා සම්මුඛ සාකච්ඡාසටහන් 7කින්. එයට අමතරව ලේඛනගත විය යුතු කෙටි සටහන් 31ක් ද හේතුවාදී චින්තනයට අදාල සරල ඉංග‍්‍රීසි – සිංහල ශබ්දමාලාවක් ද පොතේ තිබෙනවා.

Ajith Thilakasena
Ajith Thilakasena

සංස්කාරක අජිත් තිලකසේන හේතුවාදී හා විචාරශීලී චින්තනයක් අපට අවශ්‍ය ඇයි ද යන්න පූර්විකාවේ මැනවින් පහදා දෙනවා.

‘‘ජ්‍යෙතිර් ඇඳුරන්ට, පේනකරුවන්ට ස්ථිරව යමක් කියන්න බැරි බව දැන දැනත්, කියාපු දේවල් බොරු වූ අවස්ථා දැක දැකත්, ඒ පසු පස යන්නන්ගේ අඩුවක් ශ‍්‍රී ලංකා සමාජය තුළ දැක ගන්න නැහැ…. එසේම තම අවශ්‍යතා ඉටුකර ගන්න විවිධ දේවි දේවතාවන් කරා ගොස් බාරහාර වන ජනයින්ගේ අඩුවක් දැක ගන්නත් නැහැ’’ ඔහු කියනවා.

පූර්විකාවේ ඔහු මෙසේ ද කියනවා. ‘‘60දශකය ආරම්භ වෙනවාත් එක්කම ඒබ‍්‍රහම් ටී. කොවූර් දැඩි ආගමික හික්මීම්වලටත්, මිථ්‍යා විශ්වාසවලටත් ගැලී සිටි ලක් වැසි ජනතාවගේ චින්තන ලෝකය ආක‍්‍රමණය කළා. ඔවුන්ගේ පිළිගැනීම් දැඩි ප‍්‍රශ්න කිරීම් මාලාවකට ලක් කළා. මෝහාන්ධකාරයේ ගැලී සිටි ජනතාවගේ ගැටලූවලට බුද්ධියෙන් හා විද්‍යාවෙන් පිළිතුරු සොයා තම නිගමන පොදු මහජනතාවට තේරෙන බසින් සහ නිරවුල් සුගම ශෛලියකින් ඉදිරිපත් කරන්නට හැකි වීම කොවුර් සතු වූ විශිෂ්ට ගුණාංගයක්.’’

1964දී කොවූර් මුල් වරට ප‍්‍රසිද්ධ කළ 23 ආකාරයේ අභියෝග පත‍්‍රය මේ පොතේ නැවත පළ කොට තිබෙනවා. අනාවැකි කීමේ හැකියාව, දේව බල හෝ වෙනත් අද්භූත බල හෝ ප‍්‍රාතිහාර්යජනන ශක්ති ඇතැයි කියා ගන්නා ඕනෑම කෙනෙකුට ‘‘හැකි නම් කර පෙන්වන්න’’ යය මේ අභියෝග ඉදිරිපත් කළේ රුපියල් දස ලක්‍ෂයක් ද ත්‍යාගයක් ලෙස පිරිනමමින්. එහෙත් එදා මෙදා තුර එතෙර මෙතෙර කිසිවකුත් මේ අභියෝග භාර ගෙන නැහැ.

Dr Abraham T Kovoorකොවූර්ගේ තවත් වැදගත් ලිපියක් මේ පොතේ අඩංගුයි. 1960ගණන්වල මහාචාර්ය කේ. එන්. ජයතිලක නූතන තාරකා විද්‍යාව හා බෞද්ධ ඉගැන්වීම් සසඳමින් මේ දෙකෙහි සමාන්තර බවක් පෙන්වා දීමට උත්සාහ කළා. Buddhist Cosmologyහෙවත් බෞද්ධ විශ්වවේදය නමින් හුවා දක්වන්නට තැත් කළ එය, සැබෑ නොවන බව බෞද්ධ ධර්ම ග‍්‍රන්ථ අධ්‍යයනයෙන් පසු කොවූර් සාවධානව හා ආචාරශීලීව පෙන්වා දුන්නා.

එසේ කරමින් කොවූර් කීවේ මෙයයි:‘‘අභාවයට ගිය හෝ තවමත් පවත්නා ආගම් අතුරෙන් අනාත්ම ධර්මයන්, නිර්මානී දෙවියකු නොසිටීමත්, අනගි සදාචාර ශික්‍ෂාත් නිසා බෞද්ධ දර්ශනය වඩාත් හේතුවාදීයි. එහෙත් බුද්ධිමය වංචා මාර්ගයෙන් සත්‍ය කරුණු විකෘති කොට බුද්ධාගමට බලකණු සපයන්න යාමෙන් එයට යහපතට වඩා සිද්ධ වන්නේ අයහපතක්.’’

22 Jan 2012: සිවුමංසල කොලූගැටයා #50: අවිචාරයේ සැඩසුළගට මැදිවුණු හේතුවාදී පහන්සිළුව

බොරු ඇදහිලි ගැන මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් 1968වසරේ පේරාදෙණිය සරසවියේ අධ්‍යාපනවේදීන්ගේ සංගමය අමතා කළ දේශනයක සටහන් ද මෙහි වැදගත් පරිච්ෙඡ්දයක්. සාහිත්‍ය විචාරයට පමණක් නොව තියුණු ලෙස සමාජ විචාරයටත් ඔහු යොමු වූ සැටි මෙයින් මනාව පෙනෙනවා.

‘‘දෙවිවරුන් විසින් ද යකුන් වැනි භූතයන් විසින් ද කරන ලදැයි විශ්වාස කළ බොහෝ දේ ස්වභාවයෙන් සිදු වන දේ ලෙස සළකා ඒවා හසුරුවන්නට විද්‍යාව උපයෝගී කර ගත හැකි බව දැන් පිළිගෙන තිබේ. මනුෂ්‍යයාගේ ප‍්‍රශ්න මනුෂ්‍යයාට ම පාලනය කළ හැකි යයි ඔහු පිළිගනී. එකිනෙකාගේ සමාජ හා ආර්ථික තත්ත්වය වෙනස් වන්නේ පෙර කරන ලද පින් පව් අනුව යයි එදා තිබුණු විශ්වාසය දැන් මිථ්‍යාවක් බවට පත් වී තිබේ.’’

‘‘සත්‍යය, මුසාව, රැවටීම, අවංකකම – මෙවැනි යහගුණ හා නුගුණ අවශ්‍ය වන්නේ පරලොව උදෙසා ද එසේ නැත්නම් තමා ජීවත්වන සමාජයේ ඔවුනොවුන් අතර පැවතිය යුතු සම්බන්ධය උදෙසා ද? මානව භක්තිය ඇති කෙනකුට තවත් කෙනකු බොරුවෙන් රැවටීමට හෝ ඔහුගේ ජීවිතය විනාශ කර දැමීමට හෝ ශක්තියක් නැත…. පරලොව උදෙසා අවශ්‍ය බව කියන පින් පව් මෙලොව සමාජ ජීවිතය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වූ චර්යාධර්ම වශයෙන් පෙන්වා දිය හැකිය.’’

මෙතැනදී සරච්චන්ද්‍රයන් මතු කරන්නේ ප‍්‍රායෝගික වූත්, නිර්ආගමික වූත් දර්ශනයක්. හේතුවාදීන්ගේ චින්තනයේ හරයත් මෙයයි.

හේතුවාදීන් යනු ආගම් විරෝධීන් යයි සරල ලෙස ලඝු කිරීම යම් තරමකට සම කළ හැකි වන්නේ මාක්ස්වාදීන් යනු රාජ්‍ය විරෝධීන් යයි කලකට පෙර ඇතැම් දෙනා තුළ තිබූ දුර්මතයටයි. මේ දෙක ම වැරදියි.

හේතුවාදයේ මූලික ප‍්‍රවේශය නම් කියන්නා කෙසේ කීවත් අසන්නා සංශයවාදීව හා විචාරශීලිව හැම දෙයක් ම ප‍්‍රශ්න කිරීමයි. එහිදී ආගම්, සාමයික දර්ශන, දේශපාලන මතවාද, විද්‍යාත්මක සොයා ගැනීම් ඇතුළු අන් හැම දෙයක්මත් ප‍්‍රශ්න කිරීමට පාත‍්‍ර වනවා.

දේශපාලන මතවාද හා ආර්ථික ක‍්‍රමවේද සියුම්ව විවේචනය කිරීමට සමත් අපේ බොහෝ උගතුන් පවා ආගම් අරභයා එවන් විචාරශීලි බවක් පෙන්වන්නේ නැහැ. සාමයික හා ආගමික ඉගැන්වීම් යයි පූජකයන් විග‍්‍රහ කරන හැම දෙයක්ම දොහොත් මුදුනින් පිළි ගැනීම බොහෝ විට කරනවා. බුදු දහමේ නම් මෙසේ නොකරන මෙන් තරයේ අවවාද කොට තිබෙනවා (කාලාම සූත‍්‍රය).

Cartoon courtesy Daily Mirror newspaper, Sri Lanka
Cartoon courtesy Daily Mirror newspaper, Sri Lanka

හේතුවාදීන් කරන්නේ දේශපාලනික, ආර්ථික හා වෙනත් ක්‍ෂෙත‍්‍රයන් මෙන්ම සියළු ආගමික හා සාමයික ඉගැන්වීම් හා විග‍්‍රහයන් ද විචාරශීලීව හා තර්කානුකූලව විමර්ශනය කිරීමයි (එනම් කාලාම සූත‍්‍රය හරිහැටි පිළිපැදීමයි!).

මෑතදී මිය ගිය ප‍්‍රකට ඉන්දියානු ලේඛක කුෂ්වාන්ත් සිං (1915-2014) වරක් දලයි ලාමාතුමා සමග කළ සංවාදයක් සිංහලට පෙරළා මේ පොතෙහි ඇතුළත් කොට තිබෙනවා. පාප්තුමා හැරුණු කොට රාජ්‍ය නායක මට්ටමේ සිටින ලොව එකම සාමයික නායකයා වූත්, ලොව ඉතාම ප‍්‍රකට බෞද්ධ නායකයා වූත්, නොබෙල් සාම ත්‍යාගලාභී දලයි ලාමාතුමා බුදුදහම හා නූතනත්වය තුලනය කරන්නට මහත් සේ වෙර දරන කෙනෙක්.

එම තනතුරට පත් 14වැනියා වන ඔහු ඊට පෙර සිටි දලයි ලාමාතුමාගේ නැවත ඉපදීමක් සේ නිර්ණය කරනු ලැබ දලයි ලාමා ලෙස පත් කර ගනු ලැබුවේ 1950දී. 1959දී චීනය විසින් ටිබෙටය ආක‍්‍රමණය කොට අල්ලා ගත් පසු ඉන්දියාවට පලා ගිය දලයි ලාමාතුමා හා අනුගාමිකයන්ට එදා පටන් ඉන්දීය රජයේ විශේෂ රැකවරණය ලැබෙනවා.

ජේ්‍යෂ්ඨ ඉන්දීය මාධ්‍යවේදියකු ලෙස දලයි ලාමාතුමා සමග සාකච්ඡා කරන කුෂ්වාන්ත් සිං, පුනරුත්පත්තිය ගැන තමා කිසිසේත් විශ්වාස නොකරන බව කියනවා. මේ ගැන කලබල හෝ කෝප නොවී ඉතා සන්සුන් ලෙසින් දලයි ලාමා සිං සමග සංවාද කරනවා. ජීවිතයේ දුක සැප, මරණය ආදිය ගැන දෙදෙනාගේ අදහස් හොඳට ම වෙනස්. නිර්ආගමික වූ සිං, ලෞකික දර්ශනයකින් ලෝකය විග‍්‍රහ කරනවා. එකිනෙකාට ගරු කරමින් එහෙත් එකඟ නොවෙමින් මේ කරන කථා බහ කියැවීම ම මනසට ප‍්‍රබෝධයක්.

වෙනත් බොහෝ ආගමික හා සාමයික නායකයන්ට වඩා පුළුල් වූ මනසක් හා හාස්‍යලොලී පෞරුෂයක් දලයිලාමාට ඇති බව පෙනී යනවා. කථාව අවසානයේ පුනරුත්පත්තිය කිව හැකි (එනම් පසුගිය ආත්ම මතකයට නගා ගත හැකි)එකදු මුස්ලිම් දරුවකු ගැන දන්නවාදැයි සිං අසනවා. (ඉස්ලාම් ධර්මයේ නැවත ඉපදීමක් කියැවෙන්නේ නැහැ.)

එතැනදී දලයි ලාමා මහ හයියෙන් සිනාසෙමින් මෙසේ පිළිතුරු දෙනවා. ‘‘එතන ඇත්තක් තියෙනවා තමා. ඒ උනත් මම පුනරුත්පත්තිය විශ්වාස කළේ නැත්නම් මට වැඩ නැතුව යනවා!!’’

මේ තරම් නිර්ව්‍යාජ හා විවෘත ලෙස තම ධර්මය ගැන කථා කළ හැකි ආගමික නායකයන් ඉන්නේ කී දෙනා ද?

‘‘හේතුවාදී ලිපි’’ පොතෙහි ඇත්තේ ආගම් ගැන විචාරශීලීව විමසීම පමණක් නොවෙයි. සමහර ලේඛකයෝ ඇදහිලි හා ජන විශ්වාස (නාඩි වාක්‍ය, පිරිත් නූල්, අංජනම් එළි, අල්ලේ රේඛා මගින් සාස්තර කීම, කේන්දර බැලීම ආදිය)ගැන ප‍්‍රශ්න කරනවා – විවෘතව මත දක්වනවා. තවත් ලිපිවලින් අද්භූත හෝ පාරභෞතික යයි සැළකෙන (භූතයෝ, යකුන්, අවතාර, ආවේශවීම)ආදී සංසිද්ධීන් විග‍්‍රහ කැරෙනවා.

‘‘දේශීය දැනුම’’ හා ‘‘සාම්ප‍්‍රදායික ඥානය’’ වැනි කඩතුරාවලට මුවා වෙමින් කිසිදු තාර්කික ප‍්‍රශ්න කිරීමකින් හෝ නීතිමය නියාමනයකින් තොරව ලක් සමාජයේ කැරෙන ගුප්ත ව්‍යාපාරයන්ගේ පදනම සමහර ලිපි මගින් සියුම් ලෙස විමර්ශනය කරනවා.

පොතට ලිපි සපයා ඇති වෛද්‍යවරුන් තමන්ගේ ක්‍ෂෙත‍්‍රයට අදාල කාලීන මාතෘකා ගැන නිවහල් මත දක්වනවා. විශ්ව ශක්තියෙන් හෝ යාඥා බලයෙන් බරපතල (පිළිකා ඇතුළු) නිදන්ගත රෝග සුව කළ හැකි ද? කැඩුම් බිඳුම් ප‍්‍රකෘති තත්ත්වයට පත් කළ හැකි ද?

යන්නන් වාලේ අන් අය පසුපස යාම නිසා බුද්ධියෙන් මෙතරම් දියුණු යුගයක පවා ප‍්‍රාථමික සිතුම් පැතුම්වලට ඇබ්බැහිව එල්බෙමින් සිටින අති විශාල පිරිසක් ලොව සිටින බව මහාචාර්ය කාලෝ ෆොන්සේකා සිය ලිපියේ කියනවා.

ඔහු එය අවසන් කරන්නේ මෙසේයි. ‘‘මගේ පෞද්ගලික අදහස්වල හැටියට මගේ කිසිදු වැඩක් නැකතට කරලා නැහැ. පොරොන්දම් බලලා නැහැ. ජ්‍යෙතිෂය පසුපස හති දම දමා දුවලා නැහැ. මම මෙතෙක් කටයුතු කරලා තියෙන්නේ ඕවා සියල්ල මිථ්‍යා කාරණා හැටියට සළකලායි.’’

පූර්විකාවේදී අජිත් තිලකසේනයන් තව වැදගත් කරුණක් මතු කරනවා. මෙරට ඉතිහාසයේ වාර්තාගත ලොකුම ව්‍යසනය වූ 2004 දෙසැම්බර් 26 වනදා සුනාමිය පුරෝකථනය කරන්නට කිසිදු ජ්‍යොතිර් ඇදුරකුටවත් හැකි වූයේ නැහැ.

ඔහු කියන හැටියට ‘‘ජ්‍යොතීර් ඇදුරන්ට, පේනකරුවන්ට ස්ථිරව යමක් කියන්න බැරි බව දැන දැනත්, කියන දේවල් බොරු වූ අවස්ථා දැක දැකත් ඒ පසුපස යන්නන්ගේ අඩුවක් ශ‍්‍රී ලංකා සමාජය තුළ දැක ගන්න නැහැ.’’

පුර්විකාවේ ඔහු මෙසේ ද කියනවා. ‘‘බෞද්ධ සංස්කෘතිය ශ‍්‍රී ලංකා සමාජය තුළ හිමි කර ගෙන ඇති තැන ප‍්‍රශ්න කළ යුතු නෑ. එහෙත් ආගම (ඇදහිල්ල) ඇතුළත් විය යුත්තේ කෙනකුගේ පුද්ගලික පරිමණ්ඩලයට. ආගමක් ඇදහීම හෝ නොඇදහීම ඔහුගේ/ඇයගේ කැමැත්ත පරිදි විය යුතුයි….’’

රාජ්‍යය නිර්ආගමික වීමේ වැදගත්කම ඔහු පෙන්වා දෙනවා. ‘‘ආණ්ඩුවට ආගමක් නැහැ’’ යන්න ප‍්‍රථම අගමැති ඞී. එස්. සේනානායක කී බව මතක් කරමින් ඔහු කියන්නේ, ‘‘එක් ආගමකට ප‍්‍රමුඛස්ථානය දෙන වගන්තියක් 1972ව්‍යවස්ථාවට ඇතුළත් කිරීම ඛේදයක්. එයට මුල් වූයේ මාක්ස්වාදී නායකයෙක් වීම උත්ප‍්‍රාසය දනවන්නක්. එයින් පස්සේ හැම ආණ්ඩුවක්ම ක‍්‍රියාවෙන් ‘සර්ව ආගමික’ වුණා.’’

Ceylon Rationalist Association: 1970 Memorandum on a New Constitution for Sri Lanka (letter from Dr Abraham T Kovoor to Dr. Colvin R. De Silva, Minister of Constitutional Affairs)

පූර්ණ ආගමික වූ මහත්මා ගාන්ධි පවා කටයුතු කළේ ඉන්දියාව ඓහික (secular) රාජ්‍යයක් කරනු සඳහායි. ඇදහිල්ල පුද්ගලික දෙයක් කොට ඔහු සැළකුවා. ආගමික ආයතනය නඩත්තුවට රාජ්‍ය භාණ්ඩාගාරයෙන් මුදල් ප‍්‍රතිපාදන වෙන් කිරීම ගාන්ධි අනුමත කළේ නැති බවත් තිලකසේනයන් සිිහිපත් කරනවා.

මේ අයුරින් පුළුල් මහජන සංවාදයට ලක් විය යුතු තේමා රැසක් මේ පිටු 166ක කුඩා පොතේ අඩංගුයි. නමින් ‘‘හේතුවාදී ලිපි’’ වුවත් හේතුවාදී තලයෙන් ඔබ්බට මේ විචාරශීලී දැක්ම ගෙන යාම හදිසි කාලීන අවශ්‍යතාවයක් බව නම් පැහැදිලියි.

පොත රැගෙන කියවා බලන්න!

See also:

25 Sep 2011: සිවුමංසල කොලූගැටයා #33: නොබියව ඇත්ත කතා කළ ජනතාවාදී විද්‍යාඥයා, මහාචාර්ය ඔස්මන්ඞ් ජයරත්න

22 Jan 2012: සිවුමංසල කොලූගැටයා #50: අවිචාරයේ සැඩසුළගට මැදිවුණු හේතුවාදී පහන්සිළුව

29 Jan 2012: සිවුමංසල කොලූගැටයා #51: ඔබේ විචාර බුද්ධිය දැන් අක‍්‍රීය කරන්න!

18 March 2012: සිවුමංසල කොලූගැටයා #58: විනාශයක් ළග එනවා –  ඒකට අපි සැරසෙනවා!

25 March 2012: සිවුමංසල කොලූගැටයා #59: වදකහ සුදියේ සිට ලෝක විනාශය දක්වා…

24 March 2013: සිවුමංසල කොලූගැටයා #110: ජාතියේ ව්‍යාධියට ප්‍රතිකාර කරන අපූරු ජීවකයා: කාලෝ ෆොන්සේකා

18 Dec 2013: “ආගමික උමතුවෙන් ලෝකය ගලවා ගැනීමේ එකම මග සියලුම ආගම් ප්‍රතික්ෂේප කිරීමයි” – එස්. එම්. බන්දුසීල

6 April 2014: සිවුමංසල කොලූගැටයා #163: අභීත පෑනෙන් භාරතය කිති කැවූ කුෂ්වාන්ත් සිං

ක්‍රිව 2500දී පෘථිවිය දෙස බැලීමක්: ආතර් සී ක්ලාක් ලියු අවසාන කෙටිකථාව

In his last published short story, written only a few months before his death, Sir Arthur C Clarke envisioned a world without religions by the year 2500.

Yes, ALL organised, institutionalised religions (i.e. those with holy scripture, priests and places of worship) will gradually go into oblivion! No exceptions.

He offered this in a futuristic story titled The View From 2500 A.D., published in Forbes.com in November 2007, as part of a special online edition on the future.

In it, Sir Arthur described the development of reliable psychological probes, using which any suspected individual could be ‘painlessly and accurately interrogated, by being asked to answer a series of questions’. While its original purpose is to keep the world safe from criminals and terrorists, the “Psi-probe” soon proves to be useful on another front: to weed out religious fanaticism – and all religions themselves – which is a greater threat to humanity.

Read the original English story: The View from 2500 A.D. by Arthur C Clarke

S M Banduseela with Sir Arthur C Clarke
S M Banduseela with Sir Arthur C Clarke

A few weeks ago, with the concurrence of the Arthur C Clarke Estate, I invited S M Banduseela, the most prolific translator of Clarke’s work in Sri Lanka, to render this last story into Sinhala. Here it is, being published for the first time here:

 ක්‍රිව 2500දී පෘථිවිය දෙස බැලීමක්

ආතර් සී ක්ලාක් ලියු අවසාන කෙටිකථාව

පරිවර්තනය එස්.  එම්.  බන්දුසීල

අවුරුදු 2,500කට පසු අද අප සිටින වාසිදායක තත්වයේ සිට, බියකරු 21  වැනි සියවස දෙස ආපසු හැරී බලන විට එවැනි දුක්ඛිත යුගයක් පසු කර මිනිස් වර්ගයා තවමත් පැවතීම ඇදහිය නොහැකි දෙයක් ලෙස පෙනේ. ඉතාම අනතුරුදායක මොහොත වූයේ 2010 වර්ෂය බව දැන් නිවැරදිව කිව හැකියි.

ඉන් අවුරුදු පනහකට පමණ පෙර ප්‍රධානම තර්ජනය වූයේ තාප න්‍යෂ්ටික ආයුධයි. කෙසේ වෙතත් මේවා නිපදවිය හැකි වූයේ විශාල මූල්‍ය සම්පත් හා උසස් මට්ටමේ තාක්ෂණයක් යන දෙකම ඇති ධනවත් රටවලට පමණි.

නමුත් සම්පූර්ණයෙන්ම අනපේක්ෂිත ලෙස එක්වරම විද්යුත්-චුම්බක ස්පන්ද බෝම්බය නිපදවීමත් සමග තත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වූයේය. මෙම භයංකර උපක්‍රමයේ මූලාරම්භය පැහැදිලි නැත. සංකල්පයකට නියම කාලය පැමිණි විට, සෑම අවස්ථාවකම සිදු වී ඇත්තාක් මෙන් එය එකිනෙකාගෙන් ස්වාධීනව කීප තැනකම සොයා ගන්නට ඇත.

කෙසේ වෙතත් මේ පිළිබඳ ප්‍රසිද්ධ විස්තරයක් පළ වූයේ “පොපියුලර් මැකනික්ස්” නම් සඟරාවේ 2001 සැප්තැම්බර් කලාපයේයි. එයට සංස්කාරක යොදා තිබු ශීර්ෂපාඨය වඩාත් භාවෝද්දීපක විය:“ඉ-බෝමබය: ඇසිපිය ගසන තරම් ඉක්මනින් ශිෂ්ටාචාරය අවුරුදු200ක් ආපස්සට යැවිය හැකි විද්යුත්-චුම්බක බෝම්බයක් සෑදීමට ඕනෑම ත්‍රස්තවාදියෙකුට අවශ්‍ය වන්නේ ඩොලර්400ක් පමණයි!”

ඉ-බෝම්බයේ හදවත වුයේ ඉතා සරල උපක්‍රමයකි. අවශ්‍ය වුයේ තඹ දඟරයක් හා එය වටා දැමීමට පුපුරන ද්‍රව්‍යයක් පමණි. එය පිපිර වූ විට ඇති වන ප්‍රබල චුම්බක ස්පන්දය සියලු ඉලෙක්ට්‍රොනික පද්ධති අක්‍රිය කරනවා පමණක් නොව එය ඕනෑම තැනකට නිවැරදිව ඉලක්ක කර යැවිය හැකි වේ.

මෙම ලිපියේ රූපසටහන්ද සහිතව සියලු විස්තර අඩංගු වූ බැවින් ඕනෑම කෙනෙකුට සාර්ථක ඉ-බෝම්බයක් නිපදවිය හැකි වූයේය. ඇත්ත වශයෙන්ම සිදු වූයේත් එයයි!

පළමුවැනිමෙන් ම වාසනාවකට මෙන් අවසාන ඉ-බෝම්බය සාදන ලද්දේ කලින් දැන නොසිටි ආසියානු ත්‍රස්තවාදීන් කණ්ඩායමක් විසිනි. කුඩා බඩුනැවක එය නිවියෝර්ක් වරායට ගෙන ගිය ඔවුන් උපරිම අවුල්සහගත තත්වයක් නිර්මාණය කිරීම සඳහා එය පුපුරවා හැරියේ මධ්‍යම රාත්‍රියේයි.

මෙහොතකින් සියලු විදුලි උපකරණ ක්‍රියා විරහිත විය. මෙයට ආලෝක පද්ධති පමණක් නොව සියලු විදුලි සංදේශ හා පරිගණක උපකරණ ද ඇතුළත් විය. සියලු ගුවන්විදුලි හා රූපවාහිනි මධ්‍යස්ථාන අක්‍රිය වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස ජනතාවට තොරතුරු නොලැබීමෙන් අවුල දෙගුණ තෙගුණ වුයේය. වහාම මිය ගියේ හෘදඋත්තේජක පැලඳ සිටි සිය ගණනක් පමණි.

එක් අතකින් ඔවුන් වාසනාවන්ත යයි කිව හැකියි. ඊළඟ දින කීපය තුළදී කිසිම ආහාරයක් ලබා ගත නොහැකි වූ අතර ඒවා බෙදා හැරීමේ මගක් ද නොවීය. සියලු ජලපොම්පාගාර පද්ධති කියාවිරහිත වූ බැවින් පානීය ජලය ලබා ගත හැකි වූයේ නැත. අසල ප්‍රදේශවලින්   මුදවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට පෙර පිපාසය හා කුසගින්න නිසා සිය ගණනක් මිය ගොස් තිබුණි.

නමුත් 2001 ලෝක වෙළඳ මධ්‍යස්ථානයට එල්ල වූ යෝධ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසු ඉතා ඉක්මනින් යථා තත්වයට පත් වීමෙන් නිව්යෝර්ක නගරය ප්‍රදර්ශනය කළ ශ්‍රේෂ්ඨත්වය එය නැවතත් වරක් පෙන්නුම් කළේය.

එක්සත් ජාතීන්ගෙන් ලැබුන සහයෝගය ද මෙහිදී බොහෝ දුරට උපකාරී විය. මෙයට හේතු වූයේ මෙවැනි පහරදීමක අවදානම ලෝකය පුරාම ඇති බව සෑම රටක්ම අවබෝධ කර ගැනිමයි.

ඊළඟට පැන නැගුණ ප්‍රශ්නය වුයේ මෙවැනි ආයුධයකින් ආරක්ෂා වන්නේ කෙසේ ද යන්නයි. විශේෂ පුද්ගලයන් පොළොව යට ලෝහ කුටි තුළ ආරක්ෂා කළ හැකි වුවත් මුළු ජනගහනය සඳහා එය ප්‍රායෝගික පියවරක් නොවීය.

වාසනාවකට මෙන් අවසාන විසඳුම ලැබුණේත් ප්‍රශ්නය ඇති කළ තාක්ෂණය තුළින්මයි. විශ්වසනීය මානසික පරීක්ෂක (psychological probes) නිපදවීමත් සමග ඕනෑම සැකසහිත පුද්ගලයෙක් ඉතා පහසුවෙන් හා කිසිම වේදනාවකින් තොරව මේ මගින් විමර්ශනයට ලක් කළ හැකි වූයේය. අවශ්‍ය වූයේ ප්‍රශ්නමාලාවකට පිළිතුරු ලබා ගැනීම පමණි.

මෙම ප්‍රශ්නවලින් බොහොමයක් ඉතා අහිංසක ඒවා වූ අතර සමහරක් අමූලික අසත්‍යයන් විය. නමුත්  ඒ ඒ පුද්ගලයා සම්බන්ධයෙන් මානසික පරීක්ෂකය ක්‍රමාංකනය කර ගැනීමට ඒවා අවශ්‍ය විය.

ඊළඟ පියවර නම් ඉතා විවාදාත්මක විය. අහඹු ලෙස තෝරා ගත් පුද්ගලයන් ප්‍රශ්න කිරීමට ලක් කරන ලද අතර ඔවුන දැක්වූ සහයෝගයට ගෙවීමක් කරන ලදී. මෙහිදී දුෂ්කරතාවය වූයේ සම්පුර්ණ ප්‍රතිඵලය නිවැරදි බව සහතික කිරීමට යම් කිසි ජාතියක   පරීක්ෂාවට ලක් කළ යුතු නියැදියේ ප්‍රමාණය තීරණය කිරීමයි.

මිනිස් ඉතිහාසයේ සිදු වූ මෙම යෝධ මානසික සමීක්ෂණයේ එක් ප්‍රතිපලයක් වූයේ ශිෂ්ටාචාරයට ඇති ප්‍රධාන අනතුර ආගමික අන්තවාදය පමණක් නොව ආගම් බවයි. “යක්ෂයා විසින් සියලු ආගම් නිපදවන ලද්දේ මිනිස් වර්ගයාගෙන් දෙවියන් වසං කිරීමටය” යන සුප්‍රසිද්ධ කියමනෙන් මෙය කැටි කොට දැක් වේ. (“All Religions were invented by the Devil to conceal God from Mankind.”)

රාජ්‍ය තාන්ත්‍රිකයන්, පූජකයන් හා දේශපාලනඥයින් යුග ගණනාවක් තිස්සේ දේශනා කර ඇති වචන බිලියන ගණනක් වූ භක්තිමත් කුණුකසල, වංචනික විලම්බීත හෝ (ඔවුන් අවංක වී නම්) උන්මත්තකයන්ගේ නන්දෙඩවිලි බව මෙයින් සක්සුදක් සේ පැහැදිලි විය.

මානසික පරීක්ෂකය තුළින් ලබා ගත් අලුත් තොරතුරු නිසා, මිනිස් මනස ආසාදනය කළ ඉතාම දරුණු “චිත්ත වයිරසය” සංවිධානාත්මක ආගම් බව අවබෝධ කර ගැනීමට මිනිස් වර්ගයාට හැකි වූයේය.

දැන් මෙම උපකරණය අපට මිනිස් සිත් මිලියන ගණනක් ඉලෙක්ට්‍රොනික ලෙස සම්බන්ධ කිරීමේ හැකියාව ලබා දී ඇති බැවින් සුපිරි මනසක් (“supermind”) තැනීමට ප්‍රයත්නයක් දැරිය යුතු යයි අදහසක් ඉදිරිපත් වී තිබේ. මෙයින් එයට සම්බන්ධ වන අයගේ පුද්ගලිකත්වය නැති වී යෑමේ අවදානමක් තිබේ. මේ නිසාම මෙහි හොඳනරක පිළිබඳව නිමක් නැති වාදවිවාද පැවැත්වෙයි.

සමහරුන්ගේ අදහස වී ඇත්තේ එවැනි මිනිස් සිත් ඒකාබද්ධ වීමක් ආශීර්වාදයක් විය හැකි බවයි. නියම යුතෝපියාවකට යා හැකි එකම මග ද එය විය හැකියි.

ඉන් ඔබ්බටත් යමින් සමහර විටක මෙම සුපිරි මනස, තරු වෙතට දූරානූභූතික සංඥාවක් (telepathic signal) යැවීමට ඉඩ තිබේ. එයින් කියවෙනු ඇත්තේ ගැලැක්සීය ප්‍රජාව සමග සම්බන්ධ වීමට පෘථිවි ග්‍රහලෝකය දැන් සූදානම් බවයි…

සුපිරි මනස සාදරයෙන් පිළිගනිමු!

Read interview God, Science, and Delusion: A Chat With Arthur C. Clarke in Free Inquiry magazine (Vol 19, No 2; 1999)

Read Arthur C Clarke’s well known quotes on religion

“ආගමික උමතුවෙන් ලෝකය ගලවා ගැනීමේ එකම මග සියලුම ආගම් ප්‍රතික්ෂේප කිරීමයි” – එස්. එම්. බන්දුසීල

Cartoon courtesy Daily Mirror newspaper, Sri Lanka
Cartoon courtesy Daily Mirror newspaper, Sri Lanka