සිවුමංසල කොලුගැටයා #279: ආණ්ඩු හා මාධ්‍ය අතර ගැටුම සදාකාලිකයි. ප්‍රජාතන්ත්‍රවාදයට එය අවශ්‍යයි.

Sivu Mansala Kolu Getaya column by Nalaka Gunawardene, Ravaya 14 Aug 2016

Sivu Mansala Kolu Getaya column by Nalaka Gunawardene, Ravaya 14 Aug 2016

In this week’s Ravaya column (appearing in the print issue of 14 August 2016), I take a close look at the perennial tension between governments and the media.

I open with an extract from late Gunadasa Liyanage (1930-1997), one of Sri Lanka’s most accomplished and respected editors of the 20th century. In his 1993 book on ‘Taming the Press in Sri Lanka’ (in Sinhala), he argued that the never-ending confrontation between the government and media is, in fact, a protection for democratic freedoms. If either party wins, it is a set back for democracy.

“If a government controls the media that marks the end of human freedoms in that country. On the other hand, if the media behaves without any responsibility, that too threatens freedoms in society,” he wrote.

So the tension between these two continues in 21st century Sri Lanka, even as we recover from a Decade of Darkness (2005-2014) under the authoritarian rule of Mahinda Rajapaksa. As the government elected in 2015 tries to balance media freedoms with economic growth and political reforms, it faces some familiar challenges.

How much can or should the government allow ultra-nationalists and other political opportunists to exploit media freedom? What are the sane and safe limits to which media houses should accommodate partisan agendas and vitriolic messages emanating from sections of the (serving and retired) military, clergy and electorally defeated political parties?

This column also quotes Vijitha Yapa, one of Sri Lanka’s most senior journalists who was founder editor of The Island, The Sunday Island and the (revived) Sunday Times – all of which positions he quit when he could no longer operate with editorial independence.

I also raise a related point: how far can the President and Prime Minister be criticized in the media?

ගුණදාස ලියනගේ  'ලංකාවේ පුවත්පත් මෙල්ල කිරීම' Taming the Press in Sri Lanka, by Gunadasa Liyanage (1993)

‘ලංකාවේ පුවත්පත් මෙල්ල කිරීම’ – Taming the Press in Sri Lanka, by Gunadasa Liyanage (1993)

”නිදහස් රටක ඒ නිදහස සුරක්ෂිත කර ගැනීමට ඇති හොඳම මාර්ගය නම් ආණ්ඩුව සහ පුවත්පත් අතර පවතින සදාකාලික ගැටුමය. එය ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්මට අත්‍යවශ්‍ය දෙයකි. මේ දෙපක්ෂයම සදාකාලිකව සටන් කරනවා විනා යම් විදියකින් එක් පක්ෂයක් ජයග්‍රහණය කළොත් එය ප්‍රජාතන්ත්‍රවාදයේ පරාජයකි.

”රජයක් මගින් යම් රටක පුවත්පත් පාලනය කරයි නම් එය ඒ රටේ නිදහසේ අවසානයයි. එමෙන්ම පුවත්පත් පළ කිරීමට සම්බන්ධ භාරදූර ජාතික වගකීම්වලට ගරු නොකරමින් යම් පුවත්පත් පළ කරත් නම් එයද නිදහස් රටක අවසානයයි.”

මේ ඉතා හරබර ප්‍රකාශය කළේ මේ රටේ විසූ දක්ෂතම හා ස්වාධීනත්වය ඉහළින්ම අගය කළ පත්‍රකලාවේදියෙක් හා කතුවරයකු වූ ගුණදාස ලියනගේ සූරීන්.

‘ගුලි’ යන කෙටි නමින් ප්‍රකට වූ ඔහු මෙරට ජාතික පත්තර ආයතන ගණනාවකම ප්‍රධාන කර්තෘ හා ඉහළ තනතුරු හෙබවූ, එහෙත් කර්තෘ මණ්ඩල ස්වාධීනත්වයට බලපෑම් එල්ල වූ සැම විටම ඒ සියල්ල දමා ගසා ඉල්ලා අස් වී යෑමට බිය නොවූ අයෙක්.

Gunadasa Liyanage (1930-1997)

Gunadasa Liyanage (1930-1997)

මේ ප්‍රකාශය හමු වන්නේ ඔහු 1993දී ලියූ ‘ලංකාවේ පුවත්පත් මෙල්ල කිරීම’ නම් පොතේ අවසානයේදී. 1948 සිට 1992 දක්වා දශක හතර හමාරක පමණ කාලය තුළ අපේ රටේ පුවත්පත් හා රජය අතර නොනිමි අරගලය ඔහු එම පොතෙහි මැනවින් විග්‍රහ කරනවා.

ඒ ජනමාධ්‍ය ඇදුරන් කරන පරිදි හුදෙක් න්‍යායාත්මකව නොවෙයි, ප්‍රායෝගික යථාර්ථයන් අත්දැකීම් හරහා ගෙන හැර දක්වමින්.

මේ පොත මා යළිත් කියවූයේ වත්මන් රජය හා මාධ්‍ය අතර පවතින නොසන්සුන් බව හා ආතතිය තේරුම් ගැනීමටයි.

එදාට වඩා අද මාධ්‍ය ක්ෂේත්‍රයේ විවිධත්වය හා සංකීර්ණත්වය වැඩි වී ඇතත් මූලධර්මීය ලෙසින් එකල පැවති බලඅරගලය අදත් එසේම පවතිනවා යැයි කිව හැකියි.

ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්මට හා තහවුරු වීමට මාධ්‍ය නිදහස අවශ්‍යයි. එහෙත් ඒ නිදහසට සමාන්තර මාධ්‍ය වගකීම් සමුදායක්ද තිබෙනවා. මේ සාධක දෙක තුලනය කර ගැනීම ලෙහෙසි නැහැ – විශේෂයෙන්ම වෙළඳෙපොළ තරගකාරීත්වය හමුවේ.

පසුගිය මාස කිහිපය තුළ අගමැතිවරයා අවස්ථා ගණනාවකදී මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමහරකගේ නම්ද සඳහන් කරමින් දැඩි විවේචනයන් කළා. ඔහුගේ විවේචනවලට සාක්ෂිමය පදනමක් ඇතත් පුද්ගල-කේන්ද්‍රීය වාග් ප්‍රහාර අනවශ්‍ය බව මගේ අදහසයි.

ඒ අතර රජයේ සංවර්ධන වැඩ ගැන ප්‍රමාණවත් ආවරණයක් බොහෝ මාධ්‍ය හරහා නොලැබෙන බව ජනාධිපතිවරයා කියනවා.

ඔහුගේ කෝණයෙන් බැලූ විට එසේ පෙනී යා හැකියි. එහෙත් තමන් ආවරණය කරන්නේ කුමක්ද හා එයට ලබා දෙන සාපේක්ෂ වැදගත්කම තීරණය කිරීමේ පූර්ණ අභිමතය ඇත්තේ මාධ්‍ය කතුවරුන්ටයි.

එයට දේශපාලකයන්, නිලධාරීන් හෝ පිටස්තර වෙන කිසිවකුත් බලපෑම් නොකළ යුතුයි. මාධ්‍යවල සංලේඛ්‍ය නිදහස (editorial independence)  සුරැකෙන්නේ එවිටයි.

හිමිකරුවන්ගේ බලපෑම් පවා නොතකා සිටීමට මේ මූලධර්මය යටතේ කර්තෘ මණ්ඩලයට නිදහස තිබිය යුතුයි. (එහෙත් මෙය ප්‍රායෝගිකව සිදු නොවන බවත් හොඳාකාර පෙනෙනවා.)

Vijitha Yapa, photo from Wikimedia Commons

Vijitha Yapa, photo from Wikimedia Commons

”තුන්වන ලෝකයේ බොහෝ රටවල් පුවත්පත් නිදහස ගැන කතා කරතත්, සත්‍යය හාරා අවුස්සා එළිදරව් කිරීම පිණිස පත්‍රකලාවේදීන්ට අවශ්‍ය වාතාවරණය ඇති කිරීමට උපකාර නොකරති.” ගුලිගේ පොතට පසුවදනක් ලියන හිටපු ජ්‍යෙෂ්ඨ කතුවර විජිත යාපා කියනවා.

ඔහු ‘දි අයිලන්ඩ්’ සහ (වර්තමාන) ‘සන්ඩේ ටයිම්ස්’ පත්‍ර දෙකෙහිම ආරම්භක කතුවරයා. නිදහසේ වැඩ කිරීමට නොහැකියැ’යි හැඟුණු විට තනතුරුවලින් නොපැකිළ ඉල්ලා අස් වූ ගුලිගේ ජාතියේම දුර්ලභ චරිතයක්.

විජිත යාපා මෙසේද කියනවා. ”ලෝකය ජීවත්වීමට තරම් ආරක්ෂිත ස්ථානයක් බවට පත් වී ඇත්තේ පුවත්පත් කලාවේදියාගේ සත්‍ය ගවේෂණය නිසා බව බොහෝ දෙනෙක් අවබෝධ කර නොගනිති. මෙම කටයුත්ත සඳහා ඉදිරිපත් වන පුවත්පත් කලාවේදියාගේ ජීවිතය රෝසමල් යහනාවක් නොවේ. වරෙක නොමසුරුව ඔහුට ප්‍රශංසා කරන දේශපාලනඥයන් ගැන සත්‍ය කරුණු ඇතුළත් එහෙත් අප්‍රසාදජනක යමක් ප්‍රකාශ කළ විට පත්‍රකලාවේදියාගේ බොටුව කඩා ලේ උරා බීමට මුලින්ම ඉදිරිපත් වන්නේත් එම දේශපාලනඥයන්මය. පළ කිරීමට සුදුසු ප්‍රවෘත්ති හැටියට ඔවුන් සලකන්නේ ඔවුන්ගේ පුරාජේරුව සහ ඔවුන්ගේ ඉරිතැලී ගිය කණ්ණාඩිවලින් දකින ආකාරය අනුව ප්‍රවෘත්ති යයි ඔවුන් නිගමනය කරන දේ පමණකි.”

ගුලිගේ පොතේ වැදගත්කම නම් විවිධ එජාප, ශ්‍රී ලංකා සහ හවුල් රජයන් යටතේ මෙරට පුවත්පත් මෙල්ල කරන්නට නීති, නියාමන හා ව්‍යාපාරික බලපෑම් හරහා ගත් උත්සාහයන් ගැන දේශපාලන භේදයකින් තොරව ලේඛනගත කර තිබීමයි.

1960-65 රජය පුවත්පත් පනතක් ගෙන ඒමට කළ උත්සාහය හා ඒ හරහා අර්බුදයකට ගොස් තමන්ට තිබූ පාර්ලිමේන්තු බහුතරය අහිමි වූ සැටිත්, පත්තර නිදහස මුල් කර ගෙන පැවති මෙරට ප්‍රථම මහ මැතිවරණය ලෙස සැලකිය හැකි 1965 මාර්තු මැතිවරණය ගැනත් ගුලි විස්තරාත්මකව විග්‍රහ කරනවා.

එසේම 1970දී බලයට පත් තුන් හවුල් රජය ලේක්හවුස් ආයතනය ජනසතු කළ සැටිත්, මාධ්‍යවේදීන්ට දැඩි දඬුවම්දීමේ බලය ඇති පුවත්පත් මණ්ඩලය නම් මර්දනකාරී රාජ්‍ය ආයතනය 1973 පනතක් හරහා කඩිමුඩියේම පිහිට වූ සැටිත් එයට තුඩුදුන් දේශපාලනමය, ව්‍යාපාරික හා පෞද්ගලික සාධකත් ඔහු විස්තර කරනවා.

පත්‍රකලාවේදීන් සැම දෙනා සැම විට පරමාදර්ශී නොවන බවත්, ඔවුන් අතරින් සමහරුන් දේශපාලන පක්ෂවල හා දේශපාලන චරිතවල අවශ්‍යතා සඳහා ඍජුව හෝ වක්‍රව පෙනී සිටින බවත් ගුලි උදාහරණ සහිතව පෙන්වා දෙනවා. ඒ කියන්නේ කාගෙ කාගෙත් කිල්ලෝටවල හුණු අඩු වැඩි පමණට ඇති බවයි!

වසර 139ක් පැවති, මෙරට පැරණිම පුවත්පත් ආයතනයක් වූ ටයිම්ස් ඔෆ් සිලෝන් සමාගම සිය ප්‍රකාශන දේශපාලන න්‍යාය පත්‍රයන්ට දැඩි ලෙස නතු කිරීමට යාම හරහා ගරා වැටී, පාඨක විශ්වාසය හානි කොට ගෙන, රජයට පවරා ගනු ලැබ 1985 ජනවාරි 31 වැනිදා වසා දැමීමේ ඉතිහාසය ගුලි කම්පාවෙන් යුතුව වාර්තා කරනවා.

එසේම ගුණසේන සමාගම යටතේ 1960 ගණන්වල ඇරැඹි ස්වාධීන පුවත්පත් සමගම (දවස නිවස) 1974 අප්‍රේල් සිට 1977 පෙබරවාරි දක්වා රජය විසින් සීල් කොට තැබීමේ කුප්‍රකට ඉතිහාසයත්, නැවත පණ ගැන්වුණු දවස නිවස අන්තිමේදී 1990 දෙසැම්බර් 26 වැනිදා අභ්‍යන්තර ප්‍රශ්න නිසා වසා දැමීමත් ගුලි සටහන් කර ඇත්තේ එම ආයතනයේ මහ පුටුව කලක් හෙබවූවකුගේ පරිණත දෘෂ්ටි කෝණයෙන්.

කලක් මෙරට ජන ජීවිතයට ලොකු බලපෑම් කළ ප්‍රධාන ප්‍රවාහයේ මාධ්‍ය ආයතන දෙකක ඛේදජනක අවසානයට තුඩු දුන් සාධක අද දක්වාත් මාධ්‍ය ක්ෂේත්‍රය තුළ විවිධාකාරයෙන් ක්‍රියාත්මක වනු දැකිය හැකියි.

අද වන විට පුවත්පත් අභිබවා රේඩියෝ – ටෙලිවිෂන් මාධ්‍ය පෙරට විත් තිබෙනවා. වෙබ්ගත නව මාධ්‍යකරණයක ඉදිරි පියවරද තබමින් සිටිනවා. එහෙත් නිදහස් හා හරවත් මාධ්‍යකරණයකට බාධා කරන අභ්‍යන්තර හා බාහිර බලපෑම්වලින් මේ කිසිදු මාධ්‍යයක් අත්මිදී නැහැ.

ලෝකයේ කොතැනකවත් මුළුමනින්ම ස්වාධීන මාධ්‍ය නැතිවා සේ ම ලොව කිසිම රජයක් මාධ්‍ය නිදහසට ඉත සිතින්ම ඉඩ දී සියලු විවේචන විඳ දරා ගෙන උපේක්ෂා සහගතව සිටින්නේද නැහැ. මේ යථාර්ථය තුළ ‘සදාකාලික ගැටුම’ දිගටම පවතිනවා. ගුලි තර්ක කරන්නේ එයින් සමාජයට යහපතක් සිදුවන බවයි.

ගුලිගේ වචනවලින්ම කිවහොත්: ආණ්ඩුවට අයත් කාරිය වන්නේ රට ආණ්ඩු කිරීමය. පුවත්පත්වලට අයත් කාර්යය වන්නේ තොරතුරු වාර්තා කිරීමෙන් ජනතාව දැනුවත් කිරීමය. අවුල ඇති වන්නේ මේ දෙක පටලවා ගත් විටය. නිදහස් පුවත්පත් පවත්වා ගෙන යෑම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම සහතික කොට ඇති බව බොහෝ අවස්ථාවලදී දේශපාලනඥයන්ට අමතක වන බව පෙනේ.

තවත් ආන්දෝලනාත්මක පැතිකඩක් විමසන්නට මා කැමතියි. එනම් රටේ නායකයා කෙතරම් විවේචනය කළ යුතුද යන්නයි.

තනතුර හොබවන රාජ්‍ය නායකයාට හා ආණ්ඩු නායකයාට විශාල මාධ්‍ය අවධානයක් නිතැතින්ම ලැබෙනවා. එය ඔවුන්ගේ වරප්‍රසාදයක් නොව ඔවුන් එම තනතුරේ ක්‍රියා කරන ආකාරය පිළිබඳ විමර්ශනයක්.

රාජ්‍ය මාධ්‍ය වන්දිභට්ටකම් කළත් සෙසු මාධ්‍ය එසේ කිරීමට බැඳී නැහැ. (රාජ්‍ය මාධ්‍ය ද මේ නරක පුරුද්දෙන් කවදා හෝ අත්මිදිය යුතුයි.) රටේ නායකයන් කියන කරන දේ විවේචනය කිරීමට මාධ්‍යවලට මෙන්ම සියලු පුරවැසියන්ට අයිතියක් තිබෙනවා.

මුළු රටම “රාජපක්ෂ වලව්වක්” යයි සිතා පාලකයා ක්‍රියා කළ අඳුරු දශකයේ ආභාසය හා අහිතකර සෙවණැලි තවමත් සමහරුන්ගේ මනසේ රැඳී ඇති. එහෙත් මේ වැඩවසම්, නිවට මානසිකත්වය දුරු කළ යුතුයි.

අසාධාරණ ලෙස තමන්ට අපහාස කළොත් අපහාස නීතිය යටතේ සිවිල් නඩුවක් පැවරීමේ අයිතිය රටේ නායකයන්ටද තිබෙනවා. (හිටපු සමහර නායකයෝ එසේ නඩු කියා විශාල වන්දි මුදල් පවා ලබා ගත් බව මතකයි.) එහෙත් සැබෑ ලිබරල් හා පරිණත නායකයෝ මහජන හා මාධ්‍ය විවේචන ඉවසා සිටීමේ හැකියාව ඇත්තෝයි.

මෙයට ප්‍රධාන පක්ෂ දෙකේම ඉතිහාසයෙන් උදාහරණ හමුවෙනවා.

1953-56 වකවානුවේ අගමැති ධුරය හෙබ වූ ශ්‍රීමත් ජෝන් කොතලාවල කෙළින් කතා කරන, යකාටවත් බය නැති කෙනෙක්.

G S Fernando, cartoonist

G S Fernando, cartoonist

වරක් ඔහු පොල්ගොල්ලේ පශු ගොවිපළක් නිරික්සීමට ගියා. එහිදී සුන්දර යුවතියන් මහත් ඕනෑකමින් ගවයන් හා එළදෙනුන් රැක බලා ගන්නා ආකාරය දැක ‘අනේ මටත් ගවයෙක් වෙලා උපදින්න ආසයි’ යයි විහිලුවට  කීවා.

මේ ආරංචිය ලැබුණු ටයිම්ස් සමාගමේ ප්‍රධාන කාටූන් ශිල්පියා වූ ජී. එස්. ප්‍රනාන්දු පසුවදා ලංකාදීපයට අපූරු කාටූනයක් ඇන්දා. කොතලාවලගේ මුහුණ සහිත ගවයකු වට කර ගත් යුවතියන් පිරිසක් එහි සිටියා.

එදා උදෙන්ම ලංකාදීප කතුවර ඩී. බී. ධනපාල සූරීන්ට කතා කළ අගමැති, වහාම කාටූන් ශිල්පියා තම නිවසට (කඳවල වලව්වට) එවන මෙන් ඉල්ලා සිටියා. කෙසඟ සිරුරින් හෙබි ජී. එස්. එහි ගියේ දැඩි බියකින්.

ඒත් ඔහුව ඉතා ආදරයෙන් පිළිගත් කොතලාවල ‘උඹද මේ කාටූන් එක ඇන්දේ’ යැයි ඇසුවා. (ඔහුගේ කතා ශෛලිය එසේයි.)

‘ඔව් සර්’ යැයි ජී. එස්. පහත් හඬකින් කී විට මහ හඬින් සිනාසුණු කොතලාවල ‘උඹ තමයි මිනිහා!’ යයි කියා ජී.එස්ගේ කරට උඩින් අත දැමුවා.

එම කාටූනයේ මුල් පිටපත ඉල්ලා සිටි අගමැති කොතලාවල තමා සමග උදෑසන ආහාරය ගන්නට ජී.එස්.ට ඇරැයුම් කළා.

කොයි තරම් නිර්දය ලෙස තමාට පුවත්පත් පහර ගැසුවත් අගමැති කොතලාවල කලබල වුණේ නැහැ. ඒවා සිනාසී ඉවසුවා.

1956 අප්‍රේල් මහ මැතිවරණයෙන් ජය ගත් එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායකගේ නායකත්වයෙන් යුත් මහජන එක්සත් පෙරමුණට එවකට ලංකාදීපයේ පූර්ණ සහයෝගය ලැබුණු සැටි ගුලිගේ පොතේ සඳහන් වනවා.

ගුලි කියන හැටියට: ”බණ්ඩාරනායක මහතා අගමැති වීමෙන් පසු ‘දිනමිණ’ සහ අනෙකුත් ලේක්හවුස්  පුවත්පත් ඔහුට නිර්දය ලෙස පහර දුන්නේ කෙසේ හෝ ඔහුගේ ආණ්ඩුව කඩා නැවත වරක් එජාපය බලයට පත් කිරීමේ අරමුණ ඇතිවය. තමාට කොතරම් පහර දුන්නත් පුවත්පත් නිදහස මහත් සේ අගය කළ ශ්‍රේෂ්ඨ ප්‍රජාතන්ත්‍රවාදියකු වූ බණ්ඩාරනායක මහතා රාජ්‍ය බලය යොදවා පුවත්පත් මෙල්ල කිරීමට කිසි අවස්ථාවක කටයුතු කළේ නැත.”

Sri Chandrarathna Manawasinghe

Sri Chandrarathna Manawasinghe

සමස්තයක් ලෙස ලංකාදීපය මඑපෙ රජයට හිතවාදී වුවත් එහි ජනප්‍රිය තීරු ලිපියක් වූ ‘වගතුග’ ලියූ ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ ටික දිනකින්ම නව රජය ද හේතු සහිතව විවේචනය කිරීම ඇරඹුවා. මෙය අගමැතිට කෙසේ වෙතත් ඔහු වටා සිටි පිරිසට නම් ඇල්ලුවේ නැහැ.

මේ නිසා මානවසිංහ රාජ්‍ය විරෝධියකු ලෙස ලේබල් කරනු ලැබුවා. මෑතදී ලියූ ලිපියක ඔහුගේ පුත් උදය මානවසිංහ ආවර්ජනය කළේ මෙසේයි.

“1956 ජයග්‍රහණයෙන් පසු වැඩිකල් යන්නට පෙර…‘වගතුග’ තීරයේ සුපුරුදු විචාරක්ෂිය බණ්ඩාරනායක රජයට ද එල්ල වන්න විය. මෙහිදී බණ්ඩාරනායක මහතාගේ උසස් ගුණාංගයක් මතු වුණු සිද්ධියක් උපුටා දැක්වීම මැනවැයි සිතේ.

“2500 බුද්ධ ජයන්තිය නිමිත්තෙන් ඉන්දීය රජයේ ආරාධනයක් පිට සිනමාවේදී බිමල් රෝයි විසින් නිපදවන ලද බෞද්ධ චිත්‍රපටයක පිටපතක් ලංකාවට ද දෙනු ලැබීය. ගෞතම බුද්ධ නම් වූ එම චිත්‍රපටය සිංහලෙන් හඬ කවා රට පුරා ප්‍රදර්ශනය කරන ලෙස බණ්ඩාරනායක මහතා සංස්කෘතික බලධාරීන්ට උපදෙස් දුන්නේය.

“වරක් බණ්ඩාරනායක අගමැතිතුමා එම කටයුත්තේ ප්‍රගතිය පිළිබඳව එය පැවරුණු නිලධාරියාගෙන් විමසන විට ඒ සඳහා සුදුසු කෙනෙක් සොයා ගන්නට බැරි වුණා යයි නිලධාරියා කියා ඇත. ‘ඇයි මානවසිංහට දුන්නෙ නැද්දැයි’ අගමැතිතුමා යළි විමසන විට ‘දැන් මානවසිංහ සර්ට විරුද්ධයිනෙ’ යන්න ඊට නිලධාරියාගේ පිළිතුර විය.

“කෝපයට පත් බණ්ඩාරනායක මහතා ‘අයිසෙ එයා මට විරුද්ධ වුණත් බුදු හාමුදුරුවන්ට විරුද්ධ නැහැ! ගිහින් මේක එයාට දෙන්න’ යනුවෙන් ගුගුළේය. සිංහල භාෂාවට පරිවර්තනය කරන ලද එම චිත්‍රපටය තාත්තාගේ කටහඬින් ම පසුබිම් කථනය සහිතව එකල ‘බෝධාලෝකය’ නමින් රට පුරා පන්සල්වල ප්‍රදර්ශනය කෙරිණ.”

සැබෑ ලිබරල් ජන නායකයන්ගේ හැටි එහෙමයි.

 

Advertisements

සිවුමංසල කොලූගැටයා #224: මහත්මා ගාන්ධි: ඉතිහාසය වෙනස් කළ සඟරා කතුවරයා

Mahatma Gandhi writing an article

Mahatma Gandhi writing an article

Besides being a political leader and social reformer, Mahatma Gandhi was also a prolific writer, journalist and editor for much of his life. He was the editor of three English weeklies, namely Indian Opinion (in South Africa during 1903-1915), Young India (1919- 1931), and Harijan (1933-1942 and 1946-January 1948).

These journals, which he described as “viewspapers”, were means of political and social movements. But they were also printed, distributed and sold in the open market just like other journalistic products.

What can today’s journalists and publishers learn from Gandhi? I revisit this again in this week’s Ravaya column (published on 21 June 2015), continuing an exploration started last week.

See also: සිවුමංසල කොලූගැටයා #223: මෝහන්දාස් කේ. ගාන්ධි නම් වූ ජන සන්නිවේදකයා

The Typewriter used by Mahatma Gandhi while  living and working in South Africa

The Typewriter used by Mahatma Gandhi while living and working in South Africa

මහත්මා ගාන්ධි තරුණ වියේදී වසර 21ක් දකුණු අප‍්‍රිකාවේ ගත කළ සැටිත්, ඒ වකවානුවේදී පොදු උන්නතිය හා සමාජ සාධාරණත්වය උදෙසා අරගල කරන්නට ලිඛිත සන්නිවේදනය හා පුවත්පත් කලාව යොදා ගැනීම ප‍්‍රගුණ කළ සැටිත් අප ගිය සතියේ කතා කළා.

මුළුමනින්ම ආචාරධර්මීය රාමුවක් තුළ සිය සඟරා පවත්වා ගෙන යන්නටත්, සැම විටම ආචාරශීලී බස් වහරකින් දේශපාලනික හා සමාජයීය ප‍්‍රශ්න ගැන විග‍්‍රහයන් හා සංවාද කිරීමටත් ඔහු වග බලා ගත්තා.

පත්‍ර කලාව ඉතා වැදගත් හා උතුම් සමාජ කාරියක් ලෙස ඔහු සැළකුවා. වරෙක ඔහු කීවේ: “බයිබලය, කෝරානය, භගවත් ගීතාව වැනි සාමයික ග‍්‍රන්ථ තරම්ම ජන සමාජයට වැදගත් තැනක් අපේ කාලයේ පුවත්පත් ලබා ගනිමින් සිටිනවා. මේ වැදගත්කම හා ගාම්භීර බව රැක ගත යුතුයි. හොඳ පත‍්‍රකලාවේදියකු සිය පාඨකයන් බිය නොවද්දා, නොරවටා ඒ වෙනුවට ඔවුන්ට තොරතුරු හා විග‍්‍රහයන් ලබා දෙමින් හරි දේ සඳහා පෙනී සිටිය යුතුයි.’’

සිය ජීවිත කාලය (1869 – 1948) තුළ සංස්කාරක හෝ තීරක මට්ටමෙන් වාරික ප‍්‍රකාශන හයක් සමග ගාන්ධි සමීපව සම්බන්ධ වුණා. දකුණු අප‍්‍රිකාවේ කළ Indian Opinion සඟරාව එයින් පළමුවැන්නයි. ජොහැනස්බර්ග් නුවර කේන්ද්‍ර කර ගෙන සඟරාව කරමින් හා වෙනත් දේශපාලන කටයුතුවල නියැලෙමින් සිටි ගාන්ධි, විටින් විට සුදු ජාතික බලධාරීන් සමග මතවාදීව ගැටුණා.

Mohandas Gandhi (center) sits with co-workers at his Johannesburg law office in 1902

Mohandas Gandhi (center) sits with co-workers at his Johannesburg law office in 1902

1906දී හඳුන්වා දුන් ‘ආසියාතික ආඥා පනත’ යටතේ දකුණු අප‍්‍රිකාවේ සිටි සියලූ ආසියාතිකයන් ලියාපදිංචි විය යුතු බව හා සැම විටම අනන්‍යතා පත‍්‍රිකා රැගෙන යා යුතු බවට නියම වුණා. සුදු යුරෝපීයයන්ට නොතිබි මේ නීතීයට එරෙහිව ගාන්ධි ප‍්‍රමුඛ ආසියාතිකයන් උද්ඝෝෂණය කළා.

ලියාපදිංචි වීම ප‍්‍රතික්ෂේප කළ ගාන්ධි ඇතුළු ඉන්දියානුවන් කිහිප දෙනකු 1908 ජනවාරියේ සිරගත කරනු ලැබුවා. ඔහුගේ ජීවිතයේ දේශපාලන සිරකරුවා වූ වාර ගණනින් මුල් වතාව එයයි.

ගාන්ධිට එරෙහිව තීන්දුව ප‍්‍රකාශ වූ දිනයේ ඔහුගේ Indian Opinion සඟරාව සිය පාඨකයන්ගෙන් ඉල්ලීමක් කළා. “සිවිල් අකීකරුකම හා සාමකාමී විරෝධය යන සංකල්ප දෙක කැටි කර ගත්, ඉන්දීය භාෂා උරුමයෙන් සකසා ගත් යෙදුමක් යෝජනා කරන්න.’’

පාඨක යෝජනා අතරින් ගාන්ධි තේරීමක් කළා. ‘සත්‍යාග‍්‍රහ’ (satyagraha) නම් යෙදුම හැදුණෙත්, භාවිතයට ආවේත් එලෙසයි. ඒ යෙදුම වටා අවිහිංසාවාදී උද්ඝෝෂණ සඳහා සංකල්පීය රාමුවක් ගාන්ධි හඳුන්වා දුන්නා.

පසු කලෙක ඉන්දීය නිදහස් අරගලය, අමෙරිකාවේ කළු ජාතිකයන්ගේ සමානතා අරගලය මෙන්ම දකුණු අප‍්‍රිකාවේ වර්ණභේදවාදයට එරෙහි අරගලය යන සියල්ලට මතවාදීව විශාල බලපෑමක් කළේ මේ සත්‍යාග‍්‍රහ සංකල්පයයි.

සිය පුවත්පත් හා සඟරාවලට වෙළෙඳ දැන්වීම් භාර නොගැනීම ගාන්ධි ප‍්‍රතිපත්තියක් සේ දිගටම පවත්වා ගත්තා. අමාරුවෙන් වුවත් පිටපත් අලෙවියෙන් ලැබෙන ආදායම, ස්වේච්ඡා ශ‍්‍රම දායකත්වය හා (ඇතැම් විට) දානපති ආධාර සංකලනය කොට ඔහු එම ප‍්‍රකාශන නඩත්තු කළා.

මේ ගැන ඔහු පසුව ආවර්ජනය කළේ මෙසේයි. ‘‘දැන්වීම් නොගත් නිසාවට අපට එතරම් ලොකු පාඩුවක් වූයේ නැහැ. අප කෙසේ හෝ අය-වැය පියවා ගත්තා. එහෙත් දැන්වීම් නැති නිසා කිසිදු බලපෑමකින් තොරව ස්වාධීනව මත දැක්වීමේ නිදහස අපට ලැබුණා.’’

Indian postage stamps issued in 2006 to mark the centenary of Satyagraha

Indian postage stamps issued in 2006 to mark the centenary of Satyagraha

1914දී ආපසු ඉන්දියාවට පැමිණි පසු ගාන්ධි Young India සහ Navjivan නම් සඟරා දෙකක් සඳහා වගකීම භාර ගත්තා. 1919-1932 කාලයේ සතිපතා පළකරනු ලැබූ Young India හරහා බි‍්‍රතාන්‍ය යටත්විජිත පාලකයන්ගේ අත්තනෝමතික ක‍්‍රියා ක‍්‍රමානුකූලව විවේචනය කළා. එසේම අවිහිංසාවාදී විරෝධය පළ කිරීමට සත්‍යාග‍්‍රහ කිරීම ගැන ජනමතයක් ප‍්‍රවර්ධනය කළා.

ඉංග‍්‍රීසියෙන් කරන සඟරා කලාව ඉන්දීය ප‍්‍රභූ පැළැන්තිය නිදහස් අරගලය සඳහා ඒකරාශී කිරීමට වැදගත් වූවත්, එතැනින් නතර නොවූ ගාන්ධි හින්දි හා (ඔහුගේ මවු බස වූ) ගුජරාටි බසින් නව්ජීවන් සඟරාව පළ කළා. මේ ස්වභාෂා සඟරාවේ බහුතරයක් පාඨකයන් ඉන්දියාවේ හද ගැස්මට වඩා සමීප ගොවීන් හා කම්කරුවන් බව ඔහු නිතර කියා සිටියා.

සඟරා සංස්කරණය, මුද්රණය හා බෙදාහැරීම ගැන ඔහු අධීක්ෂණය කළේ වෙනත් බොහෝ දේශපාලනික හා සමාජයීය වගකීම්වලට උර දෙන අතරයි. ඔහු කෙතරම් කාර්යශූර කෙනකු වී ද යන්න අපට සිතා ගත හැකියි.

ඉංග‍්‍රීසි ලිපි ටයිප් කළත් ගුජරාටි හා හින්දි ලිපි ඔහු ලිව්වේ අත් අකුරින්. සමහර දිනවල ඔහු නිදි වරාගෙන පාන්දර යාමය වන තුරු ලියනවා. ඔහුගේ ජීවන තොරතුරුවලට අනුව දකුණතින් ලියා වෙහෙස වූ විට වමතින් ද ලිවීමට ඔහු සමත් වුණා.

Young India, Edited by M K Gandhi

Young India, Edited by M K Gandhi

රටේ දුර ප‍්‍රදේශවලට දුම්රියෙන් යන විටද ඔහු ලිපි ලිව්වා. සමහර ප‍්‍රසිද්ධ ලිපි හා ප‍්‍රකාශ ඔහු ලියා ඇත්තේ මෙබඳු ගමන්වලදී. ඔහු වචන හරඹයේ සංයමය මෙන්ම ලිවීමට පටන් ගත් විට කාලය කළමනාකරණය කර ගැනීමේ විනය ද තිබූ අයෙක්. වරෙක දුම්රිය ගමනකදී ලියා නිම කළ යුතු වූ ලිපියක් වෙත පූර්ණ අවධානය යොමු කරන්නට ඔහු දුම්රිය වැසිකිළියට වී දොර වසා ගෙන වැඩ කළ බව වාර්තා වී තිබෙනවා.

Harijan magazine

Harijan magazine

කුල පීඩිත යැයි කොන් කර සිටි මිලියන් ගණනක් ඉන්දීය ජනයාගේ අයිතීන් හා අභිවෘද්ධිය උදෙසා ඔහු 1932 පෙබරවාරියේ හරිජන් Harijan නම් සඟරාවක් සතිපතා ඉංග‍්‍රීසි, හින්දි හා ගුජරාටි බසින් ඇරැඹුවා. මාස දෙකක කාලයක් තුළ වෙළෙඳපොළේ පිටපත් අලෙවියෙන් පමණක් සඟරාව පාඩු නැතිව කරන්නට ඔහුට හැකි වුණා. හරිජන් ජනප‍්‍රිය වීමත් සමග ස්වේච්ඡුා සේවකයන්ගේ උපකාර ඇතිව එහි තවත් මුද්‍රණ උර්දු, දෙමළ, තෙළිඟු, මරාති. කන්නඩා හා බෙංගාල භාෂාවලින්ද පළ කළා.

ගාන්ධි සඟරා නිෂ්පාදන හා වෙළදපොල පැතිකඩ ද අත්දැකීමෙන් ප්‍රගුණ කළා.

‘‘දකුණු අප‍්‍රිකාවේ සඟරා කතුකම හරහා මා හොඳින් තේරුම් ගත්තේ මෙබඳු ප‍්‍රකාශනයකට තමන්ගේම මුද්‍රණාලයක් අවශ්‍ය බවයි. බි‍්‍රතාන්‍ය පාලකයන් යටතේ මුද්‍රණාල පිළිබඳ නීතිරීති තදින් ක‍්‍රියාත්මක වූ බැවින් මා වැනි නිවහල් අදහස් ලියන්නකුගේ ප‍්‍රකාශන මුද්‍රණය කිරීමට වාණිජ මට්ටමේ මුද්‍රණාල හිමියන් පසුබට වන බව මා දන්නවා. මේ නිසා අපේම මුද්‍රණාලයක් අප අහමදාබාද්හි ඇරඹුවා.’’

ඒ වන විටත් නවජීවන් සඟරාව අහමදාබාද් කේන්ද්‍ර කරගෙන පළ කරමින් තිබුණා. මුලදී බොම්බායෙන් පළ වූ ශදමබට ෂබාස් සඟරාව ද එනුවරට ගෙන ඒමට ගාන්ධි ක‍්‍රියා කළා.

දැන්වීම් නැතිව වුවත් සඟරා පාඩු නොලබා කර ගෙන යන්නට කාර්යශූර වූ ඔහුට ඉංග‍්‍රීසි හා ස්වභාෂා සඟරාවලින් පිටපත් 40,000ක් පමණ අලෙවි කරන්නට හැකි වුණා. ඔහු සිරගත කරනු ලැබූ වකවානුවල අනුගාමිකයන් හා සහෘදයන් ප‍්‍රකාශන නොකඩවා පළ කළා.

දේශපාලන අරගල හා සත්‍යග‍්‍රහයන් කිරීම නිසා 1920-1940 වකවානුවේ ගාන්ධි ඇතුළු නායකයන් විටින් විට කෙටි කලකට සිර ගත කැරෙනවා. එවිට ඔහුගේ අනුගාමිකයන් සඟරා දිගටම පවත්වා ගෙන යතත් අලෙවිය පහත වැටෙනවා. සිරෙන් නිදහස් වූ විගස ගාන්ධි යළිත් සඟරා අලෙවිය වැඩි කිරීමට වෙහෙස වනවා.

This was first serialised in Gandhi's magazines

This was first serialised in Gandhi’s magazines

පළමුවරට ඉන්දියාවේ සිරබත් කා නිදහස් වූ පසු ගාන්ධි ඒ දක්වා තම චරිත කථාව කොටස් වශයෙන් සිය සඟරාවල පළකිරීමට පටන් ගත්තා. වසර තුනක් සතිපතා පළවූ මේ චරිතාපදානය ඉන්දියාවේ පමණක් නොව ලොව පුරා පාඨක අවධානයට යොමු වුණා. පසුව මෙය පොතක් ලෙස (The Story of My Experiments with Truth, 1927) නමින් ප්‍රකාශ කෙරුණා.

සිරගත කරනු ලැබු කිසි විටෙක රජයේ කොන්දේසි මත ලිපි ලිවීමට ඔහු එකඟ වූයේ නැහැ. වාරණය පිළිගනු වෙනුවට නොලියා සිටීමට ඔහු තීරණය කළා. තම සඟරා යටත්විජිත රජය විසින් නවතනු ලැබුවහොත් තම අදහස් තව දුරටත් සමාජයේ සංසරණය වනු ඇති බව ද ඔහු දැන සිටියා.

එසේම අතිශයින් දුෂ්කර වූ 1920 හා 1930 දශකවල තමන්ගේ මානසික ඒකාග‍්‍රතාව පවත්වා ගන්නට ද පුවත්පත් ලිපි ලිවීම හා කතුකම උපකාර වූ බව ඔහු කියනවා.

‘‘මේ සඟරා කිරීම හරහා මට මානසික සුවයක් ලැබුණා. බි‍්‍රතාන්‍ය පාලනයට එළිපිටම එරෙහි වෙමින් සත්‍යාග‍්‍රහ කිරීමට නීතිමය බාධා එළැඹුණු විටදී පවා මතවාදීව හා බුද්ධිමය වශයෙන් ඔවුන්ට එරෙහිව ජනමතය ගොඩ නංවන්නට මට මේ සඟරා වේදිකාවක් ලබා දුන්නා. දැඩි මර්දනකාරී මාෂල් නීතී වාතාවරණයක් තුළ අපට නිදහස් අරගලය ටිකෙන් ටික හෝ ඉදිරියට ගෙන යාමට සඟරා හරහා අප අවකාශයක් සොයා ගත්තා.’’

ගාන්ධිගේ පත කලාව සමීපව අධ්යයනය කළ පර්යේෂකයන් කියන්නේ ඔහු උද්වේගකාරී, භාව රකෝපකාරී කිසිවක් නොලියූ හා පළ නොකළ බවයි. ඔහු යළි යළිත් මහත් ඕනෑකමින් ප‍්‍රවර්ධනය කළ මාතෘකා අතර හින්දු-මුස්ලිම් සමගිය, අවිහිංසාව, සත්‍යග‍්‍රහ හරහා අධිරාජ්‍යවාදයට එරෙහිවීම. නිසි පෝෂණය, ස්වභාවික බෙහෙත් මගින් රෝග නිවාරණය, මත්පැන් පිටු දැකීම, තමන්ගේ කපු ඇඳුම් තමන්ම වියා ගැනීම, ස්වදේශිකත්වය හා දේශීය කර්මාන්ත නගා සිටුවීම ආදිය වූවා.

Mahatma Gandhi As A Journalist

නිදහස හුදු දේශපාලනික සංකල්පයක් නොවී ආර්ථික, සමාජයීය හා චින්තනමය ස්වාධිපත්‍යය ද ලබා ගත යුතු බවට ඔහුගේ දැක්ම මේ මාතෘකා විදහා දක්වනවා.

පත‍්‍ර කලාව හා කර්මාන්තය ගැන ගාන්ධිගේ අදහස් පරමාදර්ශී මට්ටමේ තිබුණා යැයි කිව හැකියි.

‘‘ජන සමාජයට ඉමහත් බලපෑමක් කළ හැකි ඇතැම් කාර්යයන් රැකියාවක් ලෙස පමණක් කිරීමෙන් එහි අරමුණු අයාලේ යන්නට ඉඩ තිබෙනවා. පුවත්පත් කලාව එබන්දක්. එසේම පුවත්පත් පළ කිරීම ලාබ ලැබීමේ අරමුණින් ව්‍යාපාරයක් ලෙස පමණක් කිරීමෙන් නොයෙක් අකටයුතුකම් සිදු විය හැකියි.’’

Gandhi reading newspaper in 1947

Gandhi reading newspaper in 1947

ගාන්ධි දිගටම ගත් ස්ථාවරය වූයේ පුවත්පතේ ප‍්‍රධාන වගකීම තත්කාලීන සිදුවීම් හා සමාජ ප‍්‍රශ්න ගැන ජනයා දැනුවත් කිරීම හා ජන අවබෝධය පුළුල් කිරීම බවයි.

‘‘මෙය අති භාරදුර වගකීමක්. එසේම පුවත්පත් සැම විට විශ්වාස කළ නොහැකි බවත් පාඨකයන් දන්නවා. සමහර පුවත්පත් වාර්තා කරන දෙය සැබෑ සිදුවීමකට වඩා හාත්පසින් වෙනස්. මෙයට එක් හේතුවක් නම් කඩිමුඩියේ ප‍්‍රවෘත්ති හා වෙනත් ලිපි සම්පාදනය කිරීමට සිදු වීමයි. දුෂ්කර තත්ත්වයන් යටතේ ප‍්‍රවෘත්ති සොයා ගෙන, පෙළ ගස්වා, පළ කිරීම කතුවරුන් නිතිපතා මුහුණ දෙන අභියෝගයක්. ඇත්ත නැත්ත තෝරා බේරා ගන්නට ඔවුන්ට බොහෝ විට ලැබෙන්නේ ඉතා කෙටි කාලයක්. මේ සියල්ල එසේ වූවත් මගේ අදහස නම් යම් තහවුරු කිරීමකින් තොරව කිසිදු වාර්තාවක් පළ කිරීමට වඩා නොකර සිටීම වඩා හොඳ බවයි.’’

තම පුවත්පතේ සමස්ත අන්තර්ගතය ආචාර ධර්මවලට අනුකූලව පවත්වා ගත යුතු බව ඔහු විශ්වාස කළා. පත්තරය හා සඟරාවක අන්තර්ගතය තරමටම එහි කතුවරුන්ගේ සමාජ දැක්ම හා ප‍්‍රතිපත්තිමය ස්ථාවරයන් ද සංකේතාත්මක වැදගත්කමක් ගන්නා බව ඔහු විශ්වාස කළා.

ඔහු කීවේ: ‘‘පිටපත් අලෙවියෙන් පමණක් පුවත්පතක් පවත්වා ගෙන යාම අසීරුයි. මේ නිසා වෙළෙඳ දැන්වීම් හරහා ආදායම් ඉපැදවීමට බොහෝ පුවත්පත්වලට සිදු වනවා. ඒ හරහා නොදැනුවත්වම පරස්පර විරෝධී තත්ත්වයන් පැන නගිනවා. පත‍්‍රයක කතුවැකිය හෝ ලිපි මගින් සමාජයට අහිතකර යයි විවේචනය කැරෙන දේ එම පත‍්‍රයේම දැන්වීම් මගින් ප‍්‍රවර්ධනය කළ හැකියි.’’

‘‘වෛද්‍ය හා සෞඛ්‍ය ක්ෂේත‍්‍රයට සම්බන්ධ බොහෝ දැන්වීම් මා පත‍්‍රවල දකිනවා. මේවා බහුතරයක් අපේ ජනයාගේ සෞඛ්‍යයට දිගුකාලීනව හානිකරයි. මහජනයා යහමඟට යොමු කිරීමේ වගකීම ඇති පුවත්පත් ඔවුන්ට වැරදි පණිවුඩ දීම කෙතරම් වැරදිද? වෙළෙඳපොල බලපෑම් හමුවේ පත‍්‍ර කලාව තවදුරටත් මහජන සේවයක් ලෙස කරන්නට අපහසු වී තිබෙනවා. නොයෙක් වැල්වටාරම් හෝ ප‍්‍රලාපයන් සමාජගත කර ජන මනස කිලිටි නොකිරීමට හැම පුවත්පතක්ම දැඩි සංයමයකින් ක‍්‍රියා කළ යුතු වනවා.’’

පත‍්‍රකලාව හා ජනසන්නිවේදනය ගැන ඔහු නොයෙක් විට ලියා හා කතා පවත්වා තිබෙනවා. වරෙක ඔහු කීවේ: ‘‘හොඳ පත‍්‍රකලාවේදියෙක් හරියට ඉක්මනින් පැතිරෙන බෝවන රෝගයක් මෙන් විය යුතුයි. එක් සමාජ ස්ථරයකට සීමා නොවී ජන සමාජයේ හැම තැනකටම කාර්යක්ෂමව සංසරණය වන ප‍්‍රකාශන බිහි කළ යුතුයි.’’

ගාන්ධිගේ පත‍්‍රකලා ජීවිතය පුරාම ඔහු ප‍්‍රගුණ කළ මූලික ගුණාංග තුන වූයේ සංලේඛ්‍ය නිදහස (editorial independence), සත්‍යගරුක වීම හා සංයමයෙන් බස හැසිරවීමයි. මේ ගුණාංග අදත් මාධ්‍යකරණයකට අත්‍යවශ්‍ය වෙනවා.

එසේම සමාජ උන්නතිය සඳහා පෙනී සිටි පමණට පුවත්පත් පූජනීය තත්ත්වයකින් සැලකිය යුතු නොවන බවත් ගාන්ධිගේ අදහස වුණා. පුවත්පත් හා සඟරා වැරදි ස්ථාවරයන් ගත් විට සමාජයේ වියතුන් හා සෙසු පාඨකයන්ට ඒවා විවේචනය කිරීමේ පූර්ණ අයිතිය ඇති බව ඔහු කියා සිටියා.

ගාන්ධි වෙබ් ලේඛනාගාරය https://www.gandhiheritageportal.org/