This week’s Ravaya column (in Sinhala) looks at the widespread practice of toxic waste dumping in Italy (and overseas) by mafia groups contracted for the task by polluting industries. In the 1990s, this gave rise to what is now called Ecomafia.
I covered similar ground in this English column on 24 Nov 2013: When Worlds Collide #92: When Mafia Goes ‘Green’, Nobody is Safe!
Thanks to Greenaccord for all the information and some images.
මාෆියා!
මේ වචනය මෑත කාලයේ වඩාත් අපේ රටේ ජනමාධ්‍ය හරහාත්, දේශපාලන ක්‍ෂෙත‍්‍රයේත් භාවිතා වනු දැකිය හැකියි. නීතියට ඉහළින් හා සංවිධානගතව කැරෙන ඕනෑ ම කි‍්‍රයාවක් හඳුන්වන්නට අප මාෆියා යයි කීවත් එය ඇරැඹුණු ඉතාලියේ ඒ සඳහා නිශ්චිත තේරුමක් තිබෙනවා.
මුල් අරුතින් මාෆියා (mafia) කියන්නේ සංවිධානගතව අපරාධ කි‍්‍රයාවල යෙදෙන, ඒ හරහා යම් භූමි ප‍්‍රදේශයක් පුරා සිය අණසක පතුරුවා ගෙන සිටින කල්ලිවලටයි. ඔවුන් එසේ කරන්නේ රාජ්‍ය නිලධාරීන් හා ජනතාවගේ ඡන්දයෙන් පත් වූ නියෝජිතයන් බිය වැද්දීමෙන්. නැත්නම් ඔවුන්ට තෑගිබෝග හා මුදල් ලබා දී නතු කර ගැනීමෙන්.
මේ සංකල්පීය නිරවුල් බව මා ලැබුවේ නොවැම්බරයේ දින කිහිපයක් ඉතාලියේ දකුණු දිග නේපල්ස් නගරයේ පැවති ජාත්‍යන්තර සමුඵවකට සහභාගි වීමෙන් පසුවයි. Greenaccord නම් ඉතාලියානු විද්‍යාත්මක හා පාරිසරික ආයතනයක් විසින් සංවිධානය කරන ලද මේ සමුඵවේ එක් සැසියක් මුඵමනින් වෙන් වූයේ ඉතාලිය මුහුණ දී සිටින බරපතල හරිත මාෆියාව (ecomafia)ගැන සාකච්ඡා කරන්නයි.
මාෆියා සියවස් ගණනක් පුරා ඉතාලියේ යම් ප‍්‍රදේශවල කි‍්‍රයාත්මක වූවත් හරිත මාෆියා බිහිව ආයේ 1990 දශකයේ පටන්. සාම්ප‍්‍රාදායිකව මත්ද්‍රව්‍ය, හොර සල්ලි හා කප්පම් ගැනීම ආදියේ නිරතව සිටි මාෆියා කල්ලි කෙමෙන් තම ආදායම් මාර්ග පුඵල් කිරීමට අවස්ථා සොයා ගියා. එහිදී ඔවුන් සොයා ගත්තේ පරිසර දුෂණය අවම කිරීම සඳහා අඵතෙන් හඳුන්වා දුන් හෝ වඩාත් දැඩි කළ නීතිරීති නිසා අපද්‍රව්‍ය ඉවතලීම බොහෝ කර්මාන්තවලට ප‍්‍රශ්නයක් වී ඇති බවයි.
කම්හල් දුමාරය පිට කිරීමේදී එය පිරිසිදු කරන විශෙෂිත දුම්බට සවි කිරීමටත්, ඝන හා ද්‍රව අපද්‍රව්‍ය විස ඉවත් කිරීමෙන් පසුව පමණක් මුදා හැරීමටත් සියඵ කර්මාන්තවලට නියම වුණා. මේ සඳහා අවශ්‍ය තාක්‍ෂණයට සැළකිය යුතු අමතර වියදමක් දැරීමට කර්මාන්ත හිමියන්ට සිදු වුණා. බොහෝ හිමියන් එය වැය කළත්, මේ නීතිගරුක පියවර මග හැරීමට හොර පාරක් ඇත්දැයි මුදල් තණ්හාවෙන් පෙඵණු සමහර කර්මාන්තකරුවන් විපරම් කළා.
ඉතාලි මාෆියා කල්ලි හීන්සීරුවේ එබඳු කම්හල් හිමියන්ට කීවේ ‘නිසි ලෙස ඉවතලීමට වැය වන මුදලට වඩා අඩු ගෙවීමක් අපට කරන්න. අප ඔබේ කම්හල් අපද්‍රව්‍ය අතුරුදහන් කරන්නම්!’ කියායි.
කොයිකාටත් හොරෙන් කම්හල් අපද්‍රව්‍ය මහා පරිමාණයෙන් භාර ගත් මාෆියා කල්ලි කළේ ඉතාලියේ ම ජනශුන්‍ය දුර බැහැර ප‍්‍රදේශවලට ගොස් ඒවා ඉවතලීමයි. මේ බොහෝ අපද්‍රව්‍යවල අධික ලෙස විස සහිත රසායනික ද්‍රව්‍ය අඩංගු බව කම්හල් හිමියන් මෙන් ම මාෆියා කල්ලි ද දැන සිටියා. එහෙත් ඔවුන් ඒ ගැන කිසිදු තැකීමක් කළේ නැහැ.
එපමණක් නොවෙයි. මාෆියාවට අනුබද්ධිත නීත්‍යානුකූල යම් ව්‍යාපාරවල අමුද්‍රව්‍ය ලෙස ද අධික විස සහිත අපද්‍රව්‍ය යොදා ගත්තා. උදාහරණ නම් මහාමාර්ග තැනීමට හා ගොඩනැගිලි ඉදිකිරීමට. එබඳු තැන්වලදී ඔවුන් රහසිගතව සිමෙන්ති හෝ කොන්කී‍්‍රට් මිශ‍්‍රණවලට විස අපද්‍රව්‍ය යම් ප‍්‍රමාණයක් එකතු කළා. එක් අවස්ථාවකදී ප‍්‍රාථමික පාසල් ගොඩනැගිල්ලක් තැනීමේදීත් මෙසේ කළ බව පසුව හෙළි වුණා.

වසර ගණනක් තිස්සේ මේ සාපරාධී කි‍්‍රයාව කර ගෙන යන්නට හරිත මාෆියාවන්ට හැකි වූයේ පොලීසිය, වෙනත් රාජ්‍ය නිලධාරීන් හා ප‍්‍රාදේශීය දේශපාලකයන්ගේ අනුදැනුම හා රැකවරණය යටතේ බව මේ ගැන ගවේෂණාත්මකව අධ්‍යයනය කළ ලෙගාම්බියන්තේ (Legambiente) නම් ඉතාලි පාරිසරික සංවිධානය කියනවා. 1993දී මේ ප‍්‍රවණතාව මුල් වරට හඳුනා ගෙන ecomafia යන යෙදුම යෝජනා කළේ ඔවුන් විසින්.
එවක් පටන් ඉතාලියේ මාෆියා විරෝධී විශෙෂ පොලිස් හා අධිකරණ කණ්ඩායම් සමග සමීපව කි‍්‍රයාකරමින් හරිත මාෆියාවේ අපරාධ නිරාවරණය කරන්නට ලෙගාම්බියන්තේ කි‍්‍රයා කරනවා.
ලෙගාම්බියන්තේ සංවිධානයේ ඇන්ටෝනියෝ පර්ගොලිසි (Antonio Pergolizzi) කියන හැටියට: ‘‘විස අපද්‍රව්‍ය ඉවතලීමේ අභියෝගයට මුහුණ දී සිටි කර්මාන්තකරුවන් දුටු මාෆියාව එය හොඳ ව්‍යාපාරික අවස්ථාවක් කර ගත්තා. නිසි පරිදි විස අපද්‍රව්‍ය ඉවතලීමට යන වියදමෙන් හතරෙන් පංගුවකට පමණ අපද්‍රව්‍ය තොග අතුරුදහන් කරදීමේ කොන්ත‍්‍රාත්තුව මාෆියා භාර ගත්තා.’’
ජනාවාස වලින් දුරස්ථ වූ වන ලැහැබවල, ගංගා ඉවුරුවල හා මහාමාර්ග – ගොඩනැගිලි ඉදි කරන තැන්වල විස අපද්‍රව්‍ය ඉවත දැමීම වසර ගණනක් කර ගෙන ගියා. අත්හැර දැමූ ළිංවල, අවභාවිතයට ගිය ගල්වල හා ගොවිපළවල මෙන්ම ඉඩකඩ තිබූ ඕනෑ ම තැනක විස අපද්‍රව්‍ය ඉවත දමා පළා යන්නට මාෆියාව කි‍්‍රයා කළා. එයින් පස හා ජලය බරපතල ලෙස දුෂණය වුණා. ඇතැම් අපද්‍රව්‍යවල පිළිකාකාරක රසායන ද්‍රව්‍ය 200කට වඩා තිබූ බව පසුව සොයා ගනු ලැබුවා.
විකිරණශීලී අපද්‍රව්‍ය ශරීරගත වූ විට නම් ඉක්මනින් මිනිසුන් රෝගී වනවා. එහෙත් සුඵ මාත‍්‍රා වලින් ජලයේ හා ආහාරදාමය ඔස්සේ විස අපද්‍රව්‍ය ශරීරගත වූ විට අහිතකර සෞඛ්‍ය විපාක මතුවන්නට දිගු කලක් ගත වනවා.
ඉතාලියේ සමහර නගර හා ගම්මානවල ජනයා අතර අසාමාන්‍ය තරමේ පිළිකා හට ගැනීම වාර්තාවීමත් සමග 1990 දශකය අග න්‍න විට රහස් පරීක්‍ෂකයන් මෙන් ම විද්‍යාඥයන් ද මෙයට හේතු විමර්ශනය කිරීම ඇරැඹුවා.
මිනිස් සිරුර එකවර ආහාරපාන, ජීවන චර්යා හා පාරිසරික බලපෑම් රැසකට පාත‍්‍ර වන නිසා යම් රෝගාබාධයකට හේතු කාරක වන තනි සාධකයක් හරියටම වෙන් කර හඳුනා ගැනීම දුෂ්කරයි. එහෙත් මාෆියාව විස අපද්‍රව්‍ය ඉවත දැමූ ප‍්‍රදේශවල පදිංචිකරුවන්ට පිළිකා ගෙන දීමට වැඩිපුර ම දායක වූයේ ඒවායේ රසායනද්‍රව්‍ය බවට ප‍්‍රමාණවත් සාක්ෂි ඇතැයි වෛද්‍ය පර්යේෂක ඇන්ටෝනියෝ ජියෝඩානෝ (Dr Antonio Giordano) කියනවා.
‘‘මුල් කාලයේ මේ ගැන ඇති තරම් මහජන අවබෝධයක් තිබුණේ නැති නිසා සාමාන්‍ය මිනිසුන් මෙහි බරපතලකම වටහා ගත්තේ නැහැ. එහෙත් පිළිකා ඇති වීම ඉහළ යත්ම එය වෙනස් වුණා. මෙය වෛද්‍යවරුන්ට හා සෞඛ්‍ය සේවකයන්ට පමණක් විසදාගත හැකි ප‍්‍රශ්නයක් නොවෙයි. මේ මහා අපරාධයට වගකිව යුතු කම්හල් හිමියන්, මාෆියා සාමාජිකයන් වගේ ම කලක් ඇස් කන් පියා ගෙන සිටි දුෂිත නිලධාරීන්ටත් එරෙහිව දැඩි පියවර ගත යුතුයි!’’
බහුතරයක් දුෂිත හෝ අකාර්යක්ෂම නිලධාරීන් හා දේශපාලකයන් අතර ජනතා සුභසාධනයට කැප වූ අයත් සිටිනවා. කලක් පරිසරවේදියකු ලෙස කි‍්‍රයාකොට පසුව දේශපාලනයට පිවිසි එර්මෙටේ රියලාචි (Ermete Realacci) එවන් අයෙක්. ඔහු දැන් ඉතාලි පාර්ලිමේන්තුවේ පාරිසරික කොමිසමේ සභාපති. කලක පටන් හරිත මාෆියාවට එරෙහිව කි‍්‍රයා කරන්නෙක්.
‘‘මුල් කාලයේ අපේ නීති කි‍්‍රයාත්මක කරන ආයතන මේ ප‍්‍රශ්නයේ බරපතලකම තේරුම් ගත්තේ නැහැ. පොලිස් හා රේගු නිලධාරීන් නිතර අවධානය යොමු කළේ මත්ද්‍රව්‍ය අල්ලන්නයි. පාරිසරික ප‍්‍රශ්න සුදුසු බාලදක්ෂයන්ටයි කියා සමහරුන් විහිඵත් කළා!’’ ඔහු කියනවා.
එහෙත් තවදුරටත් මෙය සුඵ පටු ප‍්‍රශ්නයක් නොවෙයි. 2010 වසරේ පමණක් මාෆියා කල්ලි අඩු තරමින් පාරිසරික අපරාධ 30,000ක් වත් කළ බවට අනුමාන කැරෙනවා. විස අපද්‍රව්‍ය අතුරුදහන් කිරීමට අමතරව නීතියෙන් ආරක්‍ෂා කළ සතුන් අල්ලා විකිණීම, හොර දැව ජාවාරම්, හොර මස්මඩු පවත්වාගෙන යාම මෙන් ම ජල සම්පත් අනිසි ලෙස හැරවීම ආදිය ද ඊට ඇතුළත්.
ලෙගාම්බියන්තේ ගණන් බලා ඇති අන්දමට ඉතාලිය තුළ හොර රහසේ විස අපද්‍රව්‍ය ඉවත් දැමීමේ ‘‘සේවාව’’ සැපයීම හරහා මාෆියා කල්ලි වසරකට අමෙරිකානු ඩොලර් බිලියන් 26ක් පමණ උපයනවා.
මේ දැවැන්ත හරිත මාෆියාවේ ග‍්‍රහණයට පත්වූ නගරාධිපතිවරුන්, පොලිස් නිලධාරීන් හා සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් රැසක් සිටිනවා. මෙයින් සමහරුන් හඳුනා ගෙන, ඔවුන් තනතුරුවලින් පහකොට නඩු පවරා තිබෙනවා. එහෙත් මාෆියාවට එරෙහිව සටන් කිරීම ඉතා අසීරු කාරියක්. තමන්ට එරෙහි නඩු විභාග කරන විනිසුරුවරයන් ඝාතනයට පවා මාෆියාව පෙළඹෙනවා.
ඉතාලියේ මාෆියා විරෝධි රාජ්‍ය නීති නිලධාරියා (Anti-Mafia Prosecutor) වන ෆ‍්‍රැන්කෝ රොබර්ටි (Franco Roberti) කියන්නේ මෑත වසරවල හරිත අපරාධවලට එරෙහි නීති වඩාත් පුඵල් හා දැඩි කොට ඇති බවයි. එසේම 2006දී පරිසරයට එරෙහි අපරාධ (crimes against the environment) නම් නව අපරාධ කාණ්ඩයක් එරට අපරාධ නීතියට එකතු කරනු ලැබුවා.
තමාට හමුවූ එක් මාෆියා කල්ලි නායකයකු වරක් කී කථාවක් රොබර්ටි සිහිපත් කරනවා. ‘කොකෙන් වගේ මත්ද්‍රව්‍ය බෙදා හරිනවාට වඩා ලාභදායකයි – එමෙන්ම ලෙහෙසියි – විස අපද්‍රව්‍ය කොන්ත‍්‍රාත්තු භාර ගන්න එක!’’
රට තුළ මේ අපරාධවලට එරෙහිව නීති කි‍්‍රයාත්මක වීම උත්සන්න වන විට හරිත මාෆියා ව්‍යාපාර සෙසු යුරෝපීය රටවලට, චීනයට සහ අපි‍්‍රකාවේ සමහර රටවලට ව්‍යාප්ත වී ඇතැයි රොබර්ටි කියනවා. මෙසේ ගෝලීයකරණය වූ හරිත අපරාධ මැඩ පැවැත්වීමට ලෝක පොලීසිය (ඉන්ටර්පෝල්) හා රටවල් අතර නිල මට්ටමේ සහයෝගිතාව අත්‍යවශ්‍යයි.
‘තනි රටවල් ලෙස මේ ප‍්‍රශ්නය අපට ජය ගන්නට බැහැ. අද වන විට විස අපද්‍රව්‍ය ප‍්‍රවාහනය හා නොනිසි පරිදි ඉවත දැමීම සංවිධානාත්මක දැවැන්ත ජාත්‍යන්තර ජාවාරමක්. එයට එරෙහිවීමට නම් පරිසරවේදීන්, පොලිස් නිලධාරීන් හා රේගු නිලධාරීන් අත්වැල් බැඳ ගත යුතුයි’ රොබර්ටි කියනවා.
අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව කියන්නේ ගෝලීයකරණය වූ විස අපද්‍රව්‍ය ජාවාරම ලෝකයට ම තර්ජනයක් බවයි. විස පිටරට යවන රටවල මෙන් ම ඒවා ලබා ගෙන ඉවත ලන රටවලත් දුෂිත නිලධාරීන්ගේ උදව්වෙන් මේ අපරාධ කැරෙන බව ඔවුන් කියනවා. ලොව වඩාත් දුෂණ හා වංචා වැඩි රටවල් මේ තර්ජනයට ලක් වීමේ අවදානම ද වැඩියි.
විස අපද්‍රව්‍ය සමහර විට නොයෙක් ලේබල් හා වර්ගකිරීම් යටතේ දියුණු වන රටවලට යවනවා. එබඳු එක් ලේබලයක් නම් ‘වටිනා රසායන ද්‍රව්‍ය උකහා ගැනීමට අමුද්‍රව්‍ය’ ලෙස ඒවා වර්ග කිරීමයි. පළිබොධ නාශක මෙන් බැලූ බැල්මට විස බවක් නොපෙනෙන සමහරක් මේ අපද්‍රව්‍ය අඵ, පස් ආදී ස්වරූපයක් ගන්නවා.
ඉසුරුබර රටවල කර්මාන්තවලින් බැහැර කැරෙන විස අපද්‍රව්‍ය අපි‍්‍රකාවේ හා ආසියාවේ දුගී රටවලට හොර රහසේ යවා ඉවතලීමේ සංවිධානාත්මක ජාත්‍යන්තර අපරාධයන් ගැන 1980 දශකයේ මාධ්‍යවේදීන් හා පරිසරවේදීන් විශේෂ අවධානයක් යොමු කළා. එහිදී සිදු වූයේ දුගී රටවල දුෂිත නිලධාරීන් හෝ දේශපාලකයන්ගේ අනුදැනුම ඇතිව, ඔවුන්ට ද හොර ගෙවීම් කරමින් විස අපද්‍රව්‍ය ජනශූන්‍ය ප‍්‍රදේශවල විවෘතව මුදාහැරීමයි (Toxic Waste Dumping).
මේ ගැන 1990 දශකයේ මතුව ආ ජාත්‍යන්තර උද්ඝෝෂණ නිසා දේශසීමා හරහා විස අපද්‍රව්‍ය ප‍්‍රවාහනය දැඩි ලෙස සීමා කැරෙන හා නියාමනය කරන බේසල් සම්මුතිය (Basel Convention) නම් ජාත්‍යන්තර නීතිය 1992දී කි‍්‍රයාත්මක කැරුණා. ශී‍්‍ර ලංකාව ද එයට අත්සන් තබා සිටිනවා.
ලෝක රේගු සංවිධානය, ඉන්ටපෝල් ජාත්‍යන්තර පොලීසිය හා Toxic Watch වැනි ජාත්‍යන්තර පාරිසරික සංවිධානවල දැඩි අවධානය මෙයට යොමුවීම නිසා රටකින් රටකට විස අපද්‍රව්‍ය හොරෙන් යැවීම තරමක් දුරට සීමා වී තිබෙනවා. එහෙත් රටක් ඇතුළත සංවිධානාත්මක අපරාධ කල්ලි හා වංචනික කම්හල් හිමියන් එකතු වී දුරබැහැර තැන්වල විස අපද්‍රව්‍ය මුදා හැරීම ඕනෑම රටක සිදු විය හැකියි.
දියුණු රටවලින් මතුව එන පාරිසරික හා සෞඛ්‍ය තර්ජනයන් ගැන නිතර උද්ඝෝෂණය කරන අපේ හරිතවේදීන්, අපේ ම ව්‍යාපාරිකයන් හා කල්ලි විසින් දේශීය හරිත මාෆියාවක් බිහි කරනු ඇත්දැයි විමසිලිමත් වීම වටිනවා.
යටගිය දවස වෙළදාමේ සේරිවාණිජලා මෙන් ම කච්ඡුපුටලාත් සිටියා වගේ අදත් හොඳ ව්‍යාපාරිකයන් මෙන් ම මුදලට කෑදර වංචනික ව්‍යාපාරිකයන් හැම රටක ම සිටිනවා. අපේ රට තුළ ම දේශීය කාර්මික අපද්‍රව්‍ය හොර රහසේ ඉවත දැමේ දැයි විමසිලිමත් වීම අවශ්‍යයි. එසේ කිරීමට වැඩි අවකාශ ලැබෙන්නේ කඩිනමින් යටිතල පහසුකම් හා ගොඩනැගිලි ඉදි කැරෙන ලංකාව වැනි ස්ථානවලයි!
