Vidusara Interview: ජාතික ආර්ථික සංවර්ධනයට විද්‍යා සන්නිවේදකයන්ට කුමක් කළ හැකිද?

Vidusara cover - 5 Nov 2014

Vidusara cover – 5 Nov 2014

Vidusara, Sri Lanka’s only science and technology weekly magazine, has interviewed me in their issue dated 5 November 2014, which marks their 27th anniversary. They talked to me about the role of science journalists and other science communications in promoting science and technology for national economic development.

Here’s my Q&A with the newspaper’s editor, Rajendra Kulasinghe:

 

ජාතික ආර්ථික සංවර්ධනයට විද්‍යා සන්නිවේදකයන්ට කුමක් කළ හැකිද?

රටක ආර්ථික සංවර්ධනය උදෙසා විද්‍යාව, තාක්‍ෂණය හා නවෝත්පාදන උපයෝගී කර ගැනීමේ වයායාමයේදී විද්‍යා ජනමාධවේදියා සතුව ද පැහැර හැරිය නොහැකි වගකීමක් තිබේ. මේ ඒ සම්බන්ධයෙන් දේශීයව මෙන්ම විදේශීයව ද බහුවිධ සන්නිවේදන මාධ්‍ය හරහා විද්‍යා සන්නිවේදන කටයුතුවල නියැලෙන ප‍්‍රකට විද්‍යා මාධ්‍යවේදියකු සහ විද්‍යා ජනමාධය උපදෙශකවරයකු ද වන නාලක ගුණවර්ධන මහතාගෙන් කළ අදහස් විමසීමක දී ඔහු දැක්වූ අදහස් ය. ඒ මහතා COSTI ව්‍යපෘතිය යටතේ ක‍්‍රියාත්මක සැමට විද්‍යාව සඳහා වන ජාතික මණ්ඩලයේ සම සභාපති ලෙස ද කටයුතු කරයි.

රශ්නය: ආර්ථික සමෘද්ධිය වෙනුවෙන් විද්යා මාධ්යවේදියාගේ දායකත්වය කෙතරම් තීරණාත්මක ?

පිළිතුර: මේ දායකත්වය අතිශය වැදගත් නමුත් එහි නිසි ඵල නෙළගත හැක්කේ සෙසු පාර්ශ්වයන් ද මේ සංවාදයෙහි ක‍්‍රියාකාරිව නිරත වුවහොත් පමණයි. මා එයින් අදහස් කළේ පර්යේෂකයන් සහ ප‍්‍රතිපත්ති සම්පාදකයන් අතර සමීප කතිකාවක් මේ පිළිබඳව ඇති විය යුතු බව.

රටේ ආර්ථික අභිවෘද්ධිය උදෙසා විද්‍යාව, තාක්‍ෂණය සහ නවෝත්පාදනයන්හි උපයෝගීතාවෙහි වැදගත්කම පිළිබඳ දැක්මක් ප‍්‍රතිපත්ති සම්පාදකයන් තුළ ඉබේ පහළ වන්නේ නැහැ. එය ඇති කළ හැක්කේ පර්යේෂකයන් සිය විද්‍යාත්මක සොයා ගැනීම් පාදක කර ගත් අදහස්වල ආර්ථිකමය වටිනාකම් ඔවුන්ට ඒත්තු ගැන්වූවහොත් පමණයි. කවර තාක්‍ෂණයන් කවර විද්‍යාවන් වඩාත් ඵලදායක ද යන්න සම්බන්ධව දෙපාර්ශවයට එකඟතාවකට පැමිණිය හැකි වාතාවරණයක් ඇති වන්නේ එවිටයි.

අවාසනාවකට බොහෝ පර්යේෂකයන් මෙවැනි සන්නිවේදනයට යොමු වන්නට මැළිකමක් දක්වන බවක් තමයි පෙනෙන්නට තිබෙන්නේ. තමන්ගේ පාඩුවේ විද්‍යාත්මක කටයුතුවල යෙදීමක් පමණයි ඔවුන් කරන්නේ. ජාතික මට්ටමට සිය පර්යේෂණ ප‍්‍රතිඵල රැගෙන යන්න උනන්දු වන්නේ සාපේක්‍ෂව ටික දෙනෙකු පමණයි.

ඒත් මේ පසුගාමීත්වය රටට අහිතකරයි. උදාහරණයක් විදියට 2012 වසරේ දී අප රටේ සමස්ත අපනයන ආදායම තුළ උසස් තාක්‍ෂණ අපනයවනලින් ලැබී තිබුණේ සියයට 5 කට අඩු ආදායමක් පමණයි.

මට මෙහිදී සිහිපත් වනවා මීට වසර25 කට උඩදී නොබෙල් සම්මානලාභී විද්‍යාඥයකු වන පාකිස්තාන ජාතික ආචාර්ය අබ්දුස් සලාම් මා හා පළ කළ අදහසක්. ඔහු පෙන්වා දුන්නේ විද්‍යාඥයන්ට සිය රටේ අභිවෘද්ධිය වෙනුවෙන් මෙවැනි සංවාදයකට මුල පිරීම සඳහා පැහැර නොහැරිය හැකි වගකීමක් ඇති බව. එය පවත්නා දේශපාලන ප‍්‍රවාහයට කැමැත්තක් තිබුණත් නැතත් සිදු කළ යුතු ජාතික දායකත්වයක් බව ඔහු පැවසුවා. මා සිතන්නේ අදටත් ඔහු එදා කී දේ අපේ රටට අදාළ බවයි.

මේ වන විට අප රටේ ජෛවතාක්‍ෂණය, නැනෝතාක්‍ෂණය, තොරතුරු තාක්‍ෂණය වගේ අංශ කිහිපයකට අදාළව නම් විද්‍යාඥයන් හා ප‍්‍රතිපත්ති සැලසුම්කරුවන් අතර සතුටුදායක සංවාදයක් ඇති වෙමින් තිබෙනවා. මේවා ජාතික ධනය ඉපදවිය හැකි ක්‍ෂෙත‍්‍ර හැටියට අදාල බලධරයන් පිළිගෙන තිබෙනවා.

මෙවැනි ක්‍ෂෙත‍්‍ර ගැන විද්‍යා මාධ්‍යකරුවා විශේෂ අවානය යොමු කළ යුතුයි. විද්‍යා මාධ්‍යකරුවාට මෙවැනි සංවාදයන්හි හවුල්කරුවකු විය හැකියි. ඔහුට මෙහිලා උත්පේ‍්‍රරකයක හැටියට ක‍්‍රියා කළ හැකියි.

රශ්නය: අප රටේ විද්යා මාධ්යවේදින්ට ඔබ කියන ආකාරයේ දායකත්වයක් සැපයීම සඳහා සුදුසු පරිසරයක් පසුබිමක් පවතිනවා ?

පිළිතුර: විද්‍යා මාධ්‍යවේදියාගේ තරාතිරම මෙහිදී වැදගත් නැහැ. ඒ කියන්නේ කුමන සන්නිවේදන මාධ්‍යයක සිටියත්, ස්ථිර මාධ්‍ය සේවයේ සිටියත් නොසිටියත්, අත්දැකීම් මද වුවත් නැතත්, වයසින් අඩු හෝ වැඩි හෝ වුවත් ප‍්‍රශ්නයක් නැහැ. ඕනෑකමක් සහ කැපවීමක් තිබේ නම් උපක‍්‍රමශීලීව මෙවැනි සංවාදයන්ට දායක වීමේ හැකියාව තිබෙනවා.

නැවතත් මගේ පෞද්ගලික අත්දැකීමක් පවසන්න කැමතියි. මා මෙරට ටෙලිවිෂන් මාධ්‍ය දෙකක නව නිපැයුම්කරුවන් දිරි ගන්වන, ඔවුන්ගේ ගැටලූ කතා කරන වැඩසටහන් පෙළක් කර තිබෙනවා. ඔවුන්ගේ හැකියාවන් ජාතික ප‍්‍රශ්න විසඳීම සඳහා දායක කර ගත හැක්කේ කෙසේද යන්න, එය කළ හැකි ද යන්න, නව නිපැයුම්කරුවන් ගේ කොමිසමේ ප‍්‍රධානින්, ඒ වගේම පර්යේෂකයන් සමග මේ වැඩසටහන්මාලා තුළින් කතාබහට ලක් කරන්න මට අවස්ථාව ලැබුණා.

ඒ වගේම නරඹන ජනතාවට රටේ කාලීන ප‍්‍රශ්න අළලා නව නිර්මාණ ඉදිරිපත් කිරීමට අභියෝගයන් ද මේ වැඩසටහනෙන් ඉදිරිපත් කළා. මදුරුවන් බෝවීම අඩු කිරීමට, ආහාර කල් තබා ගැනීමට, බලශක්ති සංරක්‍ෂණයට වැනි සමාජ ආර්ථික අවශ්‍යතා සඳහා හොඳ යෝජනා ජනතාවගෙන් ලැබුණා. ඉතා ජනප‍්‍රිය වූ මේ වැඩසටහන් මාලාවකට ටෙලි සම්මානයක් මටත් එහි නිෂ්පාදකවරයාටත් හිමි වුණා.

මෙයින් මා කියන්නට උත්සාහ කළේ අර්ධ වශයෙන් සම්පූර්ණ වටපිටාවකට වුවත් වුවමනාවක් ඇත් නම් රටට දැනෙන යමක් කළ හැකි බවයි.

රශ්නය: අපේ විද්යා මාධ්යවේදීන් රටේ ආර්ථික සංවර්ධනය සඳහා රියාත්මක විය යුත්තේ ඔබ දකින ආකාරයට කවර ආකාරයෙන්ද?

පිළිතුර: විදුසර ආරම්භ කළ මීට වසර 27කට පෙර තිබූ මාධ්‍ය යථාර්ථ ද අද වෙනස් වෙලා. විශේෂයෙන්ම තාක්‍ෂණිකව පෙරැළියක් ඇතිවී තිබෙනවා. අද සන්නිවේදකයකුට එක් මාධ්‍යයකට සීමා වෙන්න බැහැ. අද සන්නිවේදනය මුද්‍රිත, විද්‍යුත්, ඉන්ටනෙට් යනාදි වශයෙන් මාධ්‍ය රාශියක අභිසරණයක් (Media convergence) නැතිනම් ඒකරාශී වීමක්. ඒ නිසා මේ බහු මාධ්‍යය තුළ ම කුසලතාවන් හැසිරවීමේ හැකියාව විද්‍යා මාධ්‍යවේදියකු ප‍්‍රගුණ කළ යුතුයි. ආරම්භයේදී මට මේ හැකියාව තිබුණේ නැහැ. උදාහරණයකට වයස 30 ගණන්වලදී තමයි ඉන්ටර්නෙට් හරහා සන්නිවේදනයට මා යොමු වුණේ.

මේ ආකාරයෙන් විද්‍යා මාධ්‍යවේදීයා ගේ භූමිකාව වඩාත් පුළුල් කරගන්නා අතරම විද්‍යා මාධ්‍යවේදියා ගේ කාර්යභාරය පැහැදිලිව හඳුනාගෙන සිටීම ද වැදගත්.   විද්‍යා මාධ්‍යකරණය කියන්නේ විද්වතුන් කියන දේ ලියා ගෙන සමාජගත කිරීමක් පමණක් නොවෙයි. ඒ කියන්නේ විද්‍යා මාධ්‍යවේදියා දැනුම ගලා යන පාලමක් පමණක් විය යුතු නැහැ. ඔහු මෙහි ලා පෙරහනක් ද විය යුතුයි. විචාරශීලීව විද්‍යාඥයන් ගේ කාර්යභාරය විග‍්‍රහ කළ යුතුයි. ඒ වගේම ජනතාව ගේ ගැටලූ හඳුනාගෙන ඒවාට විසඳුම් සෙවීම පිණිස විද්‍යාඥයන් වෙත යොමු කළ ුතුයි. මේ කාරණා දෙකේ දීම අගය එකතු කිරීමක් සිදු කිරීම (value addition) තමයි විද්‍යා මාධ්‍යවේදියාගේ කාර්ය භාරය විය යුත්තේ.

Nalaka Gunawardene interview with Vidusara, 5 Nov 2014

Nalaka Gunawardene interview with Vidusara, 5 Nov 2014

‘වදකහ සුදියේ සිට ලෝක විනාශය දක්වා’ පොතට එස්. එම්. බන්දුසීල ලියූ පෙරවදන

සම්මානලාභී තීරු ලිපි රචක නාලක ගුණවර්ධනගේ ‘සිවුමංසල  කොලූ ගැටයා’ දෙවැනි පොත ‘වදකහ සුදියේ සිට ලෝක විනාශය දක්වා’ නමින් මේ සතියේ එළි දකියි. 2012-13 වකවානුවෙහි රාවය පුවත්පතට ඔහු ලියූ තීරු ලිපි අතරින් තෝරා ගත් 54ක් මේ පොතෙහි ඇතුළත් ය. මේ පොතට පෙරවදන ලියා ඇත්තේ ප‍්‍රවීණ විද්‍යා පරිවර්තක හා හේතුවාදි කි‍්‍රයාකාරික එස්. එම්. බන්දුසීල මහතා ය.

පෙර වදන

තොරතුරු යුගය ලෙස හඳුන්වනු ලබන වර්තමානයේ  අප මුහුණදී ඇති ප්‍රධානම ප්‍රශ්නයක් වන්නේ මේ දැවැන්ත තොරතුරු ප්‍රවාහය තුළ මිථ්‍යාව හා  මනඃකල්පිතයන්  අතරින් සත්‍යය  තෝරා බේරා ගැනීමයි. මිනිස් ඉතිහාසයේ  කිසිදාක දකින්නට නොතිබූ  විරූ ලෙස  අද දැනුම හා තොරතුරු  ජනනය වන නමුත්  ඒවායේ විවිධ සැඟවුණු අභිමතාර්ථයන්  ඇත්තාක් මෙන්ම  සමහර දැනුම් හා තොරතුරු  යටපත් කිරීමේ ප්‍රවණතාවක්ද ඇති බව අපි දනිමු. මෙහි ප්‍රතිඵලය වී  ඇත්තේ  පොදු ජනතාවට ලැබෙන්නේ  විවිධ මාධ්‍යයන්ට  අවශ්‍ය ආකාරයට හා විවිධ දෘෂ්ටි කෝණවලට ගැලපෙන ආකාරයට   විකෘති කරන ලද තොරතුරු වීමයි.

Sivu Mansala Kolu Getaya Book 2 by Nalaka Gunawardene, pub Sep 2013දැනුම පදනම් වූ සමාජයක වැදගත්ම භාණ්ඩය වන්නේ තොරතුරු නමුත් ඒවා පක්ෂග්‍රාහි  හා  සාවද්‍ය වුවහොත් එය  මුලු මහත්  දැනුම් සමාජයේම පැවැත්මට තර්ජනයක් වනු නොඅනුමානයි. මේනිසා මාධ්‍ය හා මාධ්‍යවේදීන්ගේ  කාර්යභාරය වන්නේ  හැකි තරම් නිරවද්‍ය තොරතුරු  ජනතාවට  ලබා දීම වුවත්  අවාසනාවකට මෙන් අද බොහෝ දුරට සිදු නොවන්නේත්  එයයි.

මෙවැනි වාතාවරණයක් තුළ සංවේදනීය සිරස්තල වලින් ඔබ්බට යන  තොරතුරු අපට ලබාගත හැකි වන්නේ  විචාරශීලි හා විවේචනාත්මක ආකල්පයකින්  ඒවා විග්‍රහ කිරීමෙන් පමණි.  අද අප හමුවේ ඇති මේ අසීමිත තොරතුරු  ප්‍රවාහය  මැද  මාධ්‍යකරුවාගේ වගකීම වන්නේ බුද්ධිමය හා විශ්ලේෂණාත්මක ආකල්පයකින්  තොරතුරු  දෙස බැලීමට පාඨකයා හුරුපුරුදු කිරීමයි.

දැන් කලක සිට රාවය පුවත්පතේ පළවන  නාලක ගුණවර්ධනගේ   ‘සිවුමංසල  කොලූ ගැටයා’   නම් තීරු ලිපිය, විවිධ  විෂයයන් හා  මතවාද  පිළිබඳ  බුද්ධිමත් හා විශ්ලේෂණාත්මක  ගවේෂණයක් ලෙස හැඳින්විය හැකිය.  අලුත් ආකාරයකට  මෙන්ම විවේචනාත්මකව  කරුණු හැදෑරීමට  පාඨකයා  යොමු කරන මෙම ලිපි පෙළ පොතක් වශයෙන් එළි දැක්වීම ඉතා අගය  කළ යුතු කර්තව්‍යයකි.

නාලක මෙම තීරු ලිපි තුළින්  විද්‍යාව, පරිසරය, බල ශක්තිය,  සන්නිවේදනය, ඉතිහාසය මෙන්ම විවිධ සමාජීය ගැටලු ආදිය විමර්ශනයට ලක් කරමින්  ප්‍රධාන ධාරාවේ මාධ්‍යවල  අවධානයට යොමු නොවූ  අංශ දෙසට  පාඨකයා  ගෙන යයි. ඒ තුළින් පාඨකයා  විචාරශීලී ලෙස දැනුවත් වනවා පමණක්  නව මානයකින්  සිතීමටද පොළඹවයි. ඒ අනුව බලනවිට  මෙම ලිපි පෙළ, වත්මන් අවිචාරමත්  යුගයේ  සමාජයේ දැනුවත්බව වැඩි කිරීමෙහි  ලා  විශාල සේවයක්  ඉටු කරන බව නිසැකවම කිව හැකිය.

උදාහරණයක් වශයෙන් මෙහි ඇතුළත් කර ඇති  විකල්ප ඉතිහාස ලිපි ලෝකයේ අතීතය හා අනාගතය පිළිබඳව නවතම දෘෂ්ටි කෝණයකින් බැලීමට  අප පොළඹවයි.  ඩීසල් දුමාරයේ සිට  රසායනික පොහොර උගුල  දක්වා වූ විවිධ පරිසර ගැටලු පිළිබඳ ලිපි  පරිසරය ගැන උද්වේගකර ලෙස නොව මැදහත්ව සළකා බැලීමට අප යොමු කරවයි.  විද්‍යා සන්නිවේදනයේ සිට  ලෝක විනාශ මිථ්‍යාව දක්වා වු ලිපි ගණනාවක්  විද්‍යා සන්නිවේදනයේ අභියෝග පිළිබඳව අප දැනුවත් කරයි. කුමන විෂයයක් ගැන වුවත් මෙහි අඩංගු සෑම ලිපියක්ම  නව ආකල්පීය ප්‍රවේශයකින්ඉදිරිපත් කර තිබීම ගැන කතුවරයාට ප්‍රශංසා කළ යුතුය.

‘සිවුමංසල  කොලූ ගැටයා’  තීරු ලිපි පෙළ සඳහා  නාලක  යොදා ගන්නා  සරල  සුගම භාෂා ශෛලිය  ගැනද විශේෂයෙන් සඳහන් කළ යුතුය. ඉතා ගැඹුරු විද්‍යාත්මක සංකල්ප පවා  කාටත් තේරුම් ගත හැකි සරල බසකින් ඉදිරිපත් කිරීමට කතුවරයා සතු සුවිශේෂී හැකියාව සන්නිවේදන කාර්යයන්හි නියැළෙන සියලු දෙනාටම ආදර්ශයක් විය යුතුය.

සිංහල පාඨකයාට නව බුද්ධිමය ප්‍රවාහයන් හඳුන්වාදෙමින්  නව ආරකට සිතීමට  මග පෙන්වන  මෙන්ම  සෑම ක්ෂේත්‍රයක් පුරා පැතිරී ඇති මිථ්‍යාවේ හා මුලාවේ තිමිර පටලයෙන්  අපේ සමාජය මුදවා ගැනීමට ඉවහල් වන මෙවැනි කෘතීන්  තව තවත් බිහි කිරීමට  නාලකට ධෛර්ය හා ශක්තිය  ලැබේවායි  මම ප්‍රාර්ථනා කරමි.

– එස්. එම්. බන්දුසීල

20.07.2013