සිවුමංසල කොලු ගැටයා #335: කස්තුරිගේ චාරිකා (1933-2017)

W D K (Kasturiratne) Gunawardene as a young man (left) and at 80

In this unusual Ravaya column, published on 24 September 2017, I salute my father W D Kasturiratne Gunawardene who passed away on September 13 aged 84.

His was a very ordinary life, mostly dedicated to education. But it was punctuated at various points by key events of his country and people. Tracing his life thus offers us some glimpses of his nation’s turbulent times for the past few decades – of our collective hopes, mistakes, tragedies and resilience.

I write a more compact English essay along the same lines which is published here: Kasturi’s Progress: 1933 – 2017

මගේ පියා ඩබ්ලිව් ඩී කේ (කස්තුරිරත්න) ගුණවර්ධන 84 හැවිරිදිව පසුගිය සතියේ මිය ගියා. ඔහුගේ ඉල්ලීම පරිදි අවමගුල ඉක්මනින් හා චාම්ව පැවැත්වුණා.

වසර 25ක් පමණ ගුරුවරයකු ලෙස සේවය කළ පියා විශ්‍රාම ගිය පසු සක්‍රියව සමාජසේවා හා සාහිත්‍ය කටයුතුවල නියැලුණා.

ඔහුගේ ජීවිතය මා මෙනෙහි කරන්නේ පුළුල් කෝණයකින්. රටක හා ජාතියක ප්‍රගමනය එයට අයත් පුද්ගලයන්ගේ අත්දැකීම් හා මතකයන් බවට පත් වනවා. එනම් රටේ ඉතිහාසයේ සන්ධිස්ථාන පුද්ගල ඉතිහාසයන්ගෙන් ද පිළිබිඹු වනවා.

මගේ පියාගේ ජීවිතය මීට කදිම උදාහරණයක් ලෙස මා දකිනවා. නිදහසින් පසු ශ්‍රී ලංකාවේ ප්‍රාර්ථනා, විභවයන්, අයාලේ යාම් හා ඛේදවාචකයන් පියාගේ ජීවිත කාලයේ විවිධ අවස්ථාවල සනිටුහන් වූවා.

1933දී ඔහු උපන්නේ එවකට කොළඹ දිස්ත්‍රික්කයේ කොටසක් වූ ගනේමුල්ලේදී. දැන් එය ගම්පහ දිස්ත්‍රික්කයට අයිතියි. කොළඹ නගරයෙන් කිලෝමීටර් 20කට නොවැඩි දුරකින් පිහිටියත් ඔහුගේ ළමා කාලයේදී ඒ ප්‍රදේශය කුඹුරු ගොවිතැන් බහුල ග්‍රාමීය පරිසරයක්. විදුලිබලය පවා ලැබුණේ ඔහුගේ වයස 15දී පමණ.

මගේ පියාට මතක නොතිබුණත් 1933-35 මහා මැලේරියා වසංගතය පැතිර ගියේ ඔහු ළදරුවකුව සිටියදී. ඔහුටත් මැලේරියාවන වැළඳුණා. මැලේරියාවෙන් බොහෝ දෙනකු පීඩා විඳ මිය ගියේ එවකට මහජන සෞඛ්‍ය සේවාවන් හරිහැටි ස්ථාපිත වී නොතිබුණු නිසා. සමස්තයක් ලෙෂ ලක්ෂයක් පමණ දෙනා මැලේරියා වසංගතයේදී මිය ගියා.

විදුහල්පතිවරයකු වූ මගේ සීයා, ඒ කාලයට සාපේක්ෂව ඇති-හැකි අයෙක්. මාස 18ක් වූ තම දරුවාට මැලේරියා ප්‍රතිකාර සොයා සීයා මෝටර් රථයක් කුලියට ගෙන කොළඹට ආවා. කැලණි පාලම පසු කර ටික දුරක් යන විට බබාපුල්ලේ නම් වෛද්‍යවරයාගේ ඩිස්පැන්සරිය දැක ඔවුන් එහි ගියා.

වෛද්‍ය බබාපුල්ලේ වෙනුවෙන් නම් කළ වීදියක් කොටහේන ප්‍රදේශයේ අදත් තිබෙනවා. මේ වෛද්‍යවරයාගේ ප්‍රතිකාර දින කීපයක් ගැනීමෙන් පසු ළදරු පියාගේ මැලේරියාව සුව වුණා. එහෙත් ගමෙන් පිටතට විත් එසේ ප්‍රතිකාර සොයා යාමේ හැකියාව නොතිබුණු මවුපියන්ගේ දරුවන් බොහෝ දෙනකු මැලේරියාවට බිලි වුණා.

2016 සැප්තැම්බරයේ ශ්‍රී ලංකාව මැලේරියාව තුරන් කළ රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සහතික කරනු දැකීමට පියා ජීවත් වුණා. එදා මෙදා තුර මෙරට සෞඛ්‍ය සේවයේ දියුණුව, ඔහුගේ ජීවිත කාලයේ අප ලද සාමූහික ජයග්‍රහණයක්.

මැලේරියාවෙන් බේරුණු පියා, ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ ගමේ පාසලෙන්. ඉනික්බිති ඉංග්‍රීසි මාධ්‍යයෙන් උගන්නට කොළඹ ආනන්ද විදුහලට ඇතුලු වුණා. ගමේදී සිංහලෙන් උගත් ඔහුට මුලදී මේ සංක්‍රාන්තිය ටිකක් දුෂ්කර වන්නට ඇති. එහෙත් ඔහු ඉක්මනින්ම ද්විභාෂා සමත්කම ලබා ගත්තා.

දෙවන ලෝක යුද්ධය (1939-1945) ගැන මතක සේයාවන් පියාට තිබුණා. යුද්ධය නිසා ලක් සමාජයේ හට ගත් කැළඹිලි මෙන්ම අගහිඟකම් ගැනද ඔහු පසුව ආවර්ජනය කළා. 1942 අප්‍රේල් මාසයේ ජපන් හමුදාව කොළඹට හා ත්‍රිකුණාමලයට බෝම්බ දමන විට පියාට වසර 9යි.

ඊළඟට ඔහුට හොඳටම මතකයේ සටහන් වූ සිදුවීම 1948 පෙබරවාරි 4 වනදා නිදහස ලැබීමයි. ගනේමුල්ලේ සිට මරදානට දුම්රියෙන් පැමිණීම එකල ඔහුගේ සිරිතයි. මරදාන දුම්රියපොළේ සිට ආනන්දයට තිබුණේ පයින් යන දුරක්.

නිදහස් දවසේත් දුම්රියෙන් කොළඹ ආ ඔහු, මරදානේ සිට ටොරින්ටන් චතුරස්‍රයට පයින් ඇවිද ගියා. එහි සිට බ්‍රිතාන්‍ය පාලකයන් මෙරට පාලනය ඩී. එස්. සේනානායක ප්‍රමුඛ රජයට භාර දීමේ උත්සවය නැරඹුවා. එවිට ඔහුගේ වයස 15යි.

ඊළඟ පාසල් දිනයේදී ඔහු නිදහසේ අරුත ගැන රචනාවක් ලියුවා. එය ස්වාධිපත්‍යය යටතේ රට දියුණු වනු දැකීමේ පරමාදර්ශී අරමුණු කැටි කර ගත් එකක්. එහෙත් ඒ අරමුණු සාක්ෂාත් කර නොගෙන දශක හතක් තිස්සේ අපේම නායකයන් රට අයාලේ ගෙන යනු බලා සිටීමට ඔහුට සිදු වුණා.

කලා විෂයයන්ගෙන් උසස් පෙළ සමත් වූ ඔහු පේරාදෙණිය සරසවියට ගියේ 1954දී. පේරාදෙණියේදී සෙනරත් පරණවිතාන, එදිරිවීර සරච්චන්ද්‍ර වැනි දැවැන්තයන්ගෙන් උගත් මගේ පියා, සිංහල විශේෂ උපාධියක් ලබා ගත්තා.

ඔහුගේ සරසවි සමකාලීනයන් සමහරෙක් පසු කලෙක නාමධාරී වියතුන් හා කලාකරුවන් බවට පත් වුණා. ජේ බී දිසානායක හා සරත් අමුණුගම වැන්නවුන් ඒ අතර සිටියා.

මහාචාර්ය ආරිය රාජකරුණා
Prof Ariya Rajakaruna

වැඩිම කලක් සමීප මිතුදමක් පැවතියේ සිංහල මහාචාර්යවරයකු හා ගත් කතුවරයකු වූ ආරිය රාජකරුණා සමඟයි.

පේරාදෙණිය ගැන මිහිරි මතකයන් රැසක් පියාට තිබුණා. ප්‍රථම උපකුලපති ශ්‍රීමත් අයිවෝ ජෙනිංස් හා ප්‍රථම ලාංකික උපකුලපති වෛද්‍ය නිකලස් ආටිගල යන දෙදෙනාගේ එකිනෙකට වෙනස් පරිපාලන ශෛලීන් ඔහු සිහිපත් කළා. සරච්චන්ද්‍රයන් මනමේ නාට්‍යය පුහුණු කළ හැටි හා 1956දී මුලින්ම වේදිකාගත කළ සැටි පියාට හොඳට මතක තිබුණා.

මේ සියල්ලට වඩා තීව්‍ර මතකය වූයේ දෙමළ උපාධි අපේක්ෂිකාවක් සමඟ පෙමින් බැඳීමයි. යාපනයේ ගුරු පවුලකට අයත් භවනි නම් එම තරුණිය, සිංහල බස එක් විෂයයක් ලෙස තෝරා ගෙන සිටියා. රටේ උතුර හා දකුණ අද මෙන් ධ්‍රැවිකරණය වී නොතිබි එකල මෙවන් සබඳතාවක් කිසිසේත් අභව්‍ය වූයේ නැහැ.

අහිංසක ලෙසින් ලියලා ගිය ඔවුන් දෙදෙනාගේ ප්‍රේමය, සරසවියෙන් නික්ම ගිය පසුත් පැවතුණා. එහෙත් 1958 හට ගත් ජාතිවාදී කෝලාහලවලින් දෙදෙනාම දැඩි කම්පනයට පත් වුණා. එවිට පියාගේ වයස 25යි.

රට යොමු වෙමින් තිබූ බිහිසුණු දිශාව ගැනත් එවන් පසුබිමක සිංහල-දෙමළ විවාහයකට මතු වන අභියෝග ගැනත් මෙනෙහි කළ තරුණ යුවල වෙන් වීමට තීරණය කළා. මේ අතීත කථාව මා දැන ගත්තේ ඔහුට වයස 80 වූ විටයි.

ඔවුන් දෙදෙනාගේ පෞද්ගලික තීරණය ගැන අපට වාද කළ හැකියි. එහෙත් එය ප්‍රශ්න කළ නොහැකි යයි මා සිතනවා. නිදහස් ලංකාවේ අනාගතය ගැනත්, තම තමන්ගේ පෞද්ගලික අනාගතය ගැනත් කස්තුරි හා භවනි වැනි දහස් ගණනක් තරුණ තරුණියන් දල්වා ගත් පැතුම් අන්තිමේදී දේශපාලන ජාතිවාදී මඩ වගුරේ ගිලී ගියා.

ගුරුවරයකු හැටියට දිගු කාලීන සේවය 1958දී ඔහු පටන් ගත්තේ කොළඹ මරදානේ සාන්ත ජෝසෆ් විදුහලෙන්. ප්‍රකට අධ්‍යාපනඥ පීටර් පිල්ලේ පියතුමා ඔහුගේ මුල්ම විදුහල්පතිවරයා වූවා.

පියා වැඩිම කාලයක් (වසර 15ක්) කොළඹ ආනන්ද විදුහලේ සිංහල සාහිත්‍ය ගුරුවරයා ලෙස සේවය කළා. ඉන් පසු ඇඹරළුව විද්‍යාලයේ විදුහල්පති ලෙසත්, පසුව කැළණිය ගුරුකුල විද්‍යාලයේත් වසර කිහිපය බැගින් ගත කළ ඔහු සේවය හමාර කළේ යළිත් ආනන්ද විදුහලේම ප්‍රධානාචාර්යවරයකු හැටියට.

සිසුන් දහස් ගණනකට ඔහු උගන්වා ඇති. උද්යෝගයෙන් එය කළත් ඒ ගැන වැඩිපුර කථා කළේ නැහැ. අහවලා මගේ ගෝලයෙක් කියා ලෙබල් ගැසුවේම නැති තරම්. විශිෂ්ට වෘත්තිකයන්, පරිපාලන නිලධාරීන්, දක්ෂ කලාකරුවන් හා හමුදාපතිවරුන් ඔවුන් අතර සිටින බව මා යන්තමින් හෝ දන්නේ වෙනත් මූලාශ්‍ර හරහායි.

1960 දශකයේ පියාගෙන් සිංහල උගත් සිසුන් සිය ගණනක් අතර පසු කලෙක නිර්මාණශීලී දක්ෂයන් වූ ප්‍රේමකීර්ති ද අල්විස්, කුලරත්න ආරියවංශ, ඒ. ඩී. රන්ජිත් කුමාර වැනි අය සිටි බව නම් මා දන්නවා.

ගීතනාත් කුඩලිගම සංස්කරණය කළ ‘සසර සැරි සරන තෙක්: ප්‍රේමකීර්ති නැවත කියවමු’ (2014) කෘතියට පියාගේ ආවර්ජනාද හසු කර ගෙන තිබෙනවා. ප්‍රේමකීර්ති ද අල්විස් පියාගේ 1966 පන්තියේ සිටි, පොතේ වැඩට උනන්දු නොවූ එහෙත් අතිශයින් නිර්මාණශීලී සිසුවෙක්. පන්ති වේලාවේ කවි ලියා හසු වී පියාගෙන් දඬුවම් පවා ලැබ තිබෙනවා.

1983 කළු ජූලිය සිදු වන විට පියාට වයස 50යි. ඡන්ද හිමි නාම ලේඛන වැනි නිල තොරතුරුවලින් සන්නද්ධව සංවිධානගත මැර පිරිස් රට පුරා දෙමළ සංහාරයක යෙදෙන විට, මුල දින තුනක කාලයේ එවකට පැවති රජය ඔහේ බලා ගෙන සිටීම ඔහුට අදහා ගත නොහැකි වුණා.

1983 කළු ජුලියටත් පෙර පටන් ඔහු ළඟ එන සිවිල් යුද්ධයේ පෙරනිමිති හඳුනා ගත්තා. 1981 මැයි 31 යාපනය පුස්තකාලයට ගිනි තැබූ පුවත අසා ඔහු කීවේ එය දෙමළ ජනයාගේ හදවතට ගිනි තැබුවාට සමාන බවයි. මහා විනාශයක් අත ළඟ බව තේරුනත් තනි පුරවැසියකු ලෙස කළ හැකි කිසිවක් තිබුණේ නැහැ.

සිංහල හා දෙමළ ජාතිකවාදය අන්ත ජාතිවාදයන්ට පරිණාමය වන විටත්, දෙපසේම සටකපට දේශපාලකයන් යුද්ධය හිඟන්නාගේ තුවාලයක් බවට පත් කර ගත් විටත් ඒ ගැන කිසිවක් කර ගත නොහැකිව ඔහු අසරණ වුණා.

යාපනය පුස්තකාලය ගිනි තැබීමෙන් හා කළු ජූලියෙන් ඇවිල ගිය ජාතිවාදයේ ගිනිදැල්, ඊළඟ දශක තුනක පමණ කාලය තුළ සමස්ත ලක් සමාජයම දවනු ඔහු බලා සිටියා.

ආනන්දයේ උගත් සමහරුන් සිංහල බෞද්ධ ස්වෝත්තමවාදය හා ජාතිකවාදය එළිපිටම ප්‍රවර්ධනය කරනු දැක ඔහු විමතියටත්, කම්පාටත් පත් වුණා. එහෙත් ඔවුන් සමඟ වාද කිරීමට හෝ ඔවුන්ට එරෙහි වීමට ඔහු තැත් කළේ නැහැ.

මගේ පියා ස්වාභාවයෙන්ම අරගලවාදියෙක් නොවෙයි. ගෙදරදී දේශපාලනය කථා කළේ නැහැ. එහෙත් කලාතුරකින් ඔහු කියූ වැකියක් හෝ දෙකක් මට හොඳට මතක සිටියා.

1971 කැරැල්ල මැඩ පැවැත්වීමෙන් පසු ඊළඟ වසරේ වෙසක් දිනයට පොලිසිය භක්ති ගී කියනු දැක ඔහු කීවේ. ”පසුගිය මාස ගාණක් තිස්සේ මිනී මරපු පොලිසියට දැන් මොන වෙසක්ද?’ කියායි.

ගිනිගෙන දැල්වුණු හා තැන තැනින් පිපිරුණු ලක් සමාජයට පැන් පොදක් හෝ ලබා දෙන්නට ඔහු හැකි පමණින් නිහඬ ස්වේච්ඡා සේවයේ යෙදුණා. විශ්‍රාම යාමෙන් පසුව වසර ගණනාවක් ඔහු ශ්‍රී ලංකා සුමිත්‍රයෝ ආයතනයේ කිසිදු ගෙවීමකින් තොරව වැඩ කළා. මනෝ විද්‍යා උපදේශනය ගැන පුහුණුව ලද ඔහු සියදිවි නසා ගන්නට ආවේගයට පත් අයට ඕනෑම වෙලාවක ඇමතිය හැකි Hotline එක ඇතැම් දිනවල භාරව සිිටියා.

බෞද්ධයකු වූ පියා, බුදු දහමේ නාමයෙන් දෙමළ-මුස්ලිම්-කිතුනු සුළුතරයන් කොන් කිරීම හෝ හෙළා දැකීම කිසිසේත් අනුමත කළේ නැහැ. 2009දී සිවිල් යුද්ධය අවසන් වන විට පියාගේ වයස 76යි.

W D Kasturiratne Gunawardene, at age 80 [Photo by Dhara Gunawardene]
සාමය ඇති කිරීමට අති විශාල මිලක් ගෙවීමෙන් අනතුරුව හෝ ලක් සමාජයේ සංහිඳියාව ටිකෙන් ටික පැන නැගී එතැයි ඔහු අපේක්ෂා කළා. එහෙත් ඒ වෙනුවට සිංහල බෞද්ධ කඩතුරාවකට මුවා වී ඒකාධිපතිවාදී මර්දනය හා අසීමිත දූෂණය පැතිර යනු දැක මුළුමනින්ම ඉච්ඡාභංගත්වයට පත් වුණා.

ඔහු අවසන් වරට බලාපොරොත්තු දල්වා ගත්තේ 2015 ජනවාරි මැතිවරණයෙන් පසුවයි. එවිට ඔහුගේ වයස 82යි. ඔහු 1956 මහමැතිවරණයේ සිට සෑම ජාතික මැතිවරණයකදීම ඡන්දය පාවිච්චි කළත්, ඒ බොහෝ අවස්ථාවල වංචනික දේශපාලන පක්ෂ හා අපේක්ෂකයන් විසින් ඔහු රවටනු ලැබුවා. මෙය ඔහුගේ පෞද්ගලික අත්දැකීම ඉක්මවා ගිය පොදු අත්දැකීමක්.

යහපාලන ප්‍රතිඥා දී බලයට ආ ජාතික ආණ්ඩුවද නොබෝ කලකින්ම ජනතා අපේක්ෂා කඩ කරනු ඔහු දුටුවා. ඔහු දැන හැඳින සිටි මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ වියොවින් පසුව යහපාලනය අයාලේ යාම නොවැළැක්විය හැකි යයි නිගමනය කළා.

ප්‍රතිසංස්කරණ හරහා නව දේශපාලන සංස්කෘතියක් හඳුන්වා දීමට පොරොන්දු වී ඡන්ද දිනූ මෛත්‍රීපාල සිරිසේන පක්ෂයක් බදා ගෙන, දූෂිතයන් ළං කර ගෙන රටට බණ කියමින් කරන කෙරුවාව ගැන සුසුම් හෙළනු හැර අන් කිසිවක් කිරීමට ඡන්දදායක හා පුරවැසි කස්තුරිට හැකි වූයේ නැහැ.

පක්ෂ දේශපාලනයට කිසි දිනෙක ඇදී නොයන්නැයි ඔහු මට අවවාද කළා.

සර්වෝදය-දේශෝදය ග්‍රාම රාජ්‍ය චින්තනය හා වික්ටර් අයිවන් ප්‍රවර්ධනය කරන පුනරුදය ව්‍යාපාරය ගැන පියා ලොකු අවධානයක් යොමු කළා. මෙවන් විකල්ප මාර්ගයක් හරහාවත් අපේ රට වැටී සිටින අගාධයෙන් ගොඩ ගත හැකිද යන්න මෙනහි කළා. රාවය ආරම්භයේ සිටම පාඨකයකු වූ ඔහු, පුද්ගලයන් ඉක්මවා යන ක්‍රමීය වෙනසක අවශ්‍යතාව දැන සිටියා.

එහෙත් එවන් ක්‍රමීය වෙනසක් සඳහා කැප වීමෙන් වැඩ කිරීමට සූදානම් පුරවැසියන් ඇති තරම් මෙරට සිටීද? මැතිවරණවලදී ඡන්දය දීමෙන් ඔබ්බට යන සමාජයීය වගවීම (social accountability) තහවුරු කිරීමට තරම් පරිනත සමාජයක් අපට උරුමද?

1948දී නිදහස් ශ්‍රී ලංකාව ගැන පියා දල්වා ගත් සියලු අපේක්ෂා අභිලාශයන් සුන් වී ගොසින්. ඔහු මිය ගියේ සිය පරම්පරාවේ ඇත්තන් දැනුවත්ව හා නොදැනුවත්ව කළ දේශපාලන වැරදි ගැන පශ්චාත්තාපයෙන්. සමාව අයදිමින්.

දශක හතක වැරදි සමුදායෙන් පාඩම් උගනිමුද? නැතිනම් තවත් පරම්පරා කිහිපයක් අයාලේ ගොස් විනාශ වී යන තුරු මහාවංශය බදාගෙන, අතීත ශ්‍රී විභූතියක් ගැන උදම් අනමින් ඔහේ බලා සිටිමුද?

තීරණය ඔබේ සහ මගේ අතේ.

(සටහන: ගුරුවරුන්ට විකට නම් පටබැඳීම සිසුන්ගේ සිරිතක්. පියාට ඔහුගේ සිසුන් දී තිබූ එවන් නම් දෙකක් ගැන පසු කාලීනව මා දැන ගත්තා. ප්‍රේමකීර්තී පියාට දුන් නම තිසාහාමි‘. උස මහත දේහධාරී හා බෙල්ල දක්වා කොණ්ඩය වවා සිටි නිසා විය යුතුයි. අනෙක් විකට නම ගලිවර්. ඒ ප්‍රබන්ධ චරිතය තරම් සංචාරය නොකළත් පෙර අපර දෙදිගම සාහිත්‍ය උරුමයන් ඇසුරු කළ පියා මනසින් ලොව පුරා ගිය අයෙක්. ගලිවර්ගේ චාරිකා එදා බ්‍රිතාන්‍ය දේශපාලනය පිළිබිඹු කළා සේ කස්තුරිගේ ජීවන චාරිකාව පසුගිය දශක කිහිපයේ අපේ පොදු කථාවයි.)

Nalaka Gunawardene (left) and his father Kasturiratne Gunawardene on the latter’s 83rd birthday, on 5 February 2016

සිවුමංසල කොලූගැටයා #261: මහජන විශ්වාසය නැති පුවත්පත් නව තාක්ෂණයේ උදව්වෙන් පවත්වා ගත හැකිද?

Can newspapers survive the challenge from digital and online media?

Plenty of printer’s ink has been spent reflecting on this question. I once again addressed it when moderating a panel at the D R Wijewardene commemorative event held on 26 February 2016 at Lakshman Kadirgamar Institute, Colombo.

Wijewardene was Sri Lanka’s first Press Baron. About a century ago, he laid the foundation for his publishing house, Associated Newspapers of Ceylon Limited, which still remains a dominant player.

Many like me, of a certain age and above, seem to have a nostalgic attachment to newspapers. One key question for the print industry: beyond tapping such sentimental appeal (which diminishes over time), can newspapers stay relevant and viable? How can they adapt and evolve to keep serving the public interest?

Perhaps the more pertinent question to ask is: where are the budding D R Wijewardenes of the 21st Century? What are their start-ups and how are their dreams unfolding? Are they trying to balance reasonable profits with public interest journalism?

I discuss these in my Ravaya column (appearing in the print issue of 13 March 2016).

See also my op-ed article in English:

Sunday Observer, 6 March 2016: Can good journalism outlive newspapers?

Nalaka Gunawardene speaks at D R Wijewardene memorial event on 26 February 2016 - Photo by Sam de Silva
Nalaka Gunawardene speaks at D R Wijewardene memorial event on 26 February 2016 – Photo by Sam de Silva

පුවත්පත් කර්මාන්තයේ අනාගතය කෙබඳු විය හැකිද? ඩිජිටල් හා වෙබ් ප‍්‍රකාශන මාධ්‍යයන්ගේ සමාජ පැතිර යාම වසරක් පාසා වැඩි වීමත් සමග කඩදාසියේ මුද්‍රිත පත්තරවලට තව කොපමණ කලක් ආයුෂ තිබේද?

මේ ප‍්‍රශ්න ගැන මා කලෙක සිට අවධානයෙන් සිටිනවා. යළිත් වරක් මේ තේමාව යටතේ කතා කරන්නට හා සංවාද කරන්නට අවස්ථාවක් මෑතදී මතු වුණා.

ලේක්හවුස් ආයතනය සිය ආදි කර්තෘවර ඞී.ආර්. විජේවර්ධනයන්ගේ 130 වන ජන්ම සංවත්සරය සැමරීමට පෙබරවාරි 26 වැනිදා කොළඹදී රැස්වීමක් සංවිධානය කළා. එහිදී මුද්‍රිත පුවත්පත්වල සුරැකීම හා පරිණාමය මැයෙන් විද්වත් මණ්ඩපයක් පැවැත් වූ අතර, එය මෙහෙයවීමට මට ඇරැයුම් කොට තිබුණා.

What would (Sri Lanka’s first press baron) D R Wijewardene do if he confronted today’s media realities?

මගේ විද්වත් මඩුල්ලේ සිටියේ සන්නිවේදන විශේෂඥ මහාචාර්ය රොහාන් සමරජීව, ප‍්‍රවීණ පත‍්‍රකලාවේදිනී හා සන්ඬේ ඔබ්සර්වර් පත‍්‍රයේ ජ්‍යෙෂ්ඨ කතුවර හැනා ඉබ‍්‍රාහිම්, ශ‍්‍රී ලංකා පුවත්පත් ආයතනයේ ප‍්‍රධානී කුමාර් ලෝපේස් සහ වෙරිටේ රිසර්ච් පර්යේෂණායතනයේ දේශපාලන හා මාධ්‍ය අංශ ප‍්‍රධානී සුමිත් චාමින්දයි.

D R Wijewardene - photo by by Lionel Wendt
D R Wijewardene – photo by by Lionel Wendt

ශ‍්‍රී ලංකාවේ පුවත්පත් කර්මාන්තය නවීකරණය කරමින් මෙරට මුල්ම සාර්ථක පත‍්‍ර හිමි ව්‍යාපාරිකයා (press baron) වූයේ විජේවර්ධනයි. 1832දී කලම්බු ජර්නල් දෙසතිපතා පත‍්‍රයෙන් ඇරැඹි අපේ පත‍්‍ර කලාව දශක ගණනක් පැවතුණේ සීමිත පිටපත් සංඛ්‍යාවක් ටික දෙනකු අතරට ගෙන ගිය කුඩා කර්මාන්තයක් ලෙසින්.

1910 හෝ 1915 පමණ වන විටත් පුවත්පතක පිටපත් තුන් හාර දහසකට වඩා විකිණුනේ නැහැ. බොහෝ පත‍්‍ර හා සඟරා ඇරඹුණත් වසර දෙක තුනකට වඩා පවත්වා ගත හැකි වූයේ අතළොස්සක් පමණයි. කළුකොඳයාවේ ප‍්‍රඥාශේඛර හිමියන් ලියු පුවත්පත් කලා ඉතිහාසය ග‍්‍රන්ථ මාලාවේ එය මැනවින් විස්තර කැරෙනවා.

කේම්බි‍්‍රජ් සරසවියෙන් නීතිඥයෙකු ලෙස උගෙන මෙරට ආ විජේවර්ධනට දේශපාලන ප‍්‍රතිසංස්කරණ සඳහා ජනමතය ගොඩනැංවීමට  ඕනෑ වුණා. බි‍්‍රතාන්‍යයේ ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී අත්දැකීම් මත ඔහු තීරණය කළේ ඒ සඳහා පාර්ලිමේන්තුව, පත‍්‍ර කලාව හා දේශපාලන වේදිකාව ඉතා වැදගත් බවයි.

ඍජු දේශපාලනයට පිවිසෙනවා වෙනුවට ඔහු පත‍්‍ර කලාව හරහා ජනමතය හැසිරවීමේ මාර්ගය තෝරා ගත්තා.

විජේවර්ධන සිය මාධ්‍ය සමාගම ටිකෙන් ටික ගොඩ නැගුවේ ව්‍යාපාරිකව අසාර්ථක වූ පත‍්‍ර මිලට ගැනීමෙන්. මේ අනුව 1914දී දිනමිණ පත‍්‍රයට හිමිකම ලබා ගත්තා. 1918දී ද සිලනීස් (The Ceylonese) නම් පත‍්‍රය හිමිකරගෙන එය සිලෝන් ඬේලි නිවුස් Ceylon Daily News නමින් ප‍්‍රතිසංවිධානය කළා. 1923දී මෙරට පළ වු පැරණිම ඉංග‍්‍රීසි පත‍්‍රය වූ ඔබ්සර්වර් The Observer හිමිකර ගත්තා. තමන්ගේම අලූත් පත්තර බිහි කිරීම ඔහු පටන් ගත්තේ 1930දී සිළුමිණ හරහායි.

විජේවර්ධන ලේඛකයකු නොවෙයි. ජීවිත කාලය පුරාම ඔහු ලිපි දෙක තුනකට වඩා ලිව්වේ නැහැ. එහෙත් එකල සිටි දක්ෂතම පත‍්‍රකලාවේදීන් හා ලේඛකයන් සේවයට බඳවා ගෙන, ශූර කළමනාකරුවන්ගේ උදව්වෙන් ලේක්හවුස් පත‍්‍ර සමාගම ව්‍යාපාරිකව සාර්ථක පත්තර මහ ගෙදර බවට පත් කළා.

පත‍්‍රයේ අන්තර්ගතය මෙන්ම නිමාව හා මුද්‍රණය ගැනත් ඔහු අවධානය යොමු කළා. ඡායාරූප භාවිතය, අධිවේග මුද්‍රණය, රට පුරා නිසි ලෙස බෙදා හැරීම ආදිය සම්බන්ධයෙන් නවෝත්පාදනය කළා. ඔහු 1950 මිය යනවිට දිනමිණ පිටපත් 70,000ක්  පමණද, ඬේලි නිවුස් පිටපත් 55,000ක් පමණද අලෙවි වුණා. තරගකාරී සමාගම්වල වෙළඳපොළ ද විජේවර්ධනගේ ඉදිරි දැක්ම නිසා පුළුල් වී තිබුණා.

Lake House building: Home of ANCL from where D R Wijewardene influenced public opinion for decades
Lake House building: Home of ANCL from where D R Wijewardene influenced public opinion for decades

විජේවර්ධනගේ ධනවාදී ක‍්‍රියා කලාපය හා ඔහු තෝරා ගත් දේශපාලන දැක්ම මෙහිදී අපට අදාල නැහැ. පත්තර යනු දිනපතාම ජනතා මනාපය මත වෙළඳපොළේ අලෙවි කැරෙන භාණ්ඩයක්. එහිදී මාධ් පාරිභෝගිකයාට රයෝජනවත් යමක් ලබා දී එයින් සාධාරණ ලාභ ඉපැයීම මේ කර්මාන්තයේ මූලික හරයයි.

මහජන සේවාවක් කළත් පත්තර යනු පුණ්යායතන නොවෙයි. මේ පසුබිම තුළ විජේවර්ධනගේ ව්‍යාපාරික සාර්ථකත්වය අද වුවත් සමීපව අධ්‍යයනය කිරීම වටිනවා.

විජේවර්ධනගේ කාලයට වඩා අද යථාර්ථය බෙහෙවින් වෙනස්. 1925දී මෙරටට හඳුන්වා දෙන ලද රේඩියෝ මාධ්‍යය හා 1979දී මෙරටට ආ ටෙලිවිෂන් මාධ්‍යය සමග අනුගත වන්නට මුද්‍රිත මාධ්‍යයට හැකි වුණා.

පැය 24 පුරා එසැණින් පුවත් ගෙනෙන විද්‍යුත් මාධ්‍ය හමුවේ සිය අන්තර්ගතයේ ආකෘතිය වෙනස් කිරීමට පත්තරවලට සිදු වුණා. අද බොහෝ පත්තර කරන්නේ හුදෙක් පුවතක් වාර්තා කිරීමෙන් නොනැවතී එය විග‍්‍රහ කිරීම හා වාද විවාදවලට ඉඩක් දීමයි. මේ නිසා බටහිර දැන් newspaper යන නම වෙනුවට viewspaper යන්න භාවිත කැරෙනවා. (පුවත්පත වෙනුවට අදහස්පත).

එහෙත් 1995දී මෙරටට හඳුන්වා දුන් ඉන්ටර්නෙට් මාධ්‍යයෙන් පුවත්පතට එල්ල වන  අභියෝගය රේඩියෝ හා ටෙලිවිෂන් දෙකේ අභියෝගයට වඩා ප‍්‍රබලයි.

මේ වන විට අපේ ජනගහනයෙන් 28%ක් පමණ ඉන්ටර්නෙට් භාවිත කරනවා. ඔවුන්ට තොරතුරු හා අදහස් ලබා ගන්නට අනේක විධ මූලාශ‍්‍ර ඉන්ටර්නෙට් හරහා විවර වනවා. මේ අනුව තව දුරටත් පත්තර මත යැපීම අවශ්‍ය නැති යථාර්ථයක් බිහි වෙලා.

ඇත්තටම අද ලොව බොහෝ රටවල දරුවන් හා තරුණ තරුණියන් මුද්‍රිත පත්තර කියවන්නේ නැහැ. සමහරු පත‍්‍රවල වෙබ් අඩවි කියවනවා. එහෙත් බහුතරයක් තොරතුරු ලබා ගැනීමට ගූගල්, ෆේස්බුක් හා වෙනත් වෙබ්ගත මූලාශ‍්‍රයන්ට යොමු වනවා.

මේ නිසා පත්තර අලෙවිය පහත වැටීම ලොව පුරා බොහෝ රටවල ප‍්‍රවණතාවක්. මෙයට එරෙහිව යන්නේ චීනය හා ඉන්දියාවයි. මේ දෙරටේ නම් මුද්‍රිත පත්තරවලට තවමත් හොඳ ඉල්ලූමක් තිබෙනවා. මෑතදී මධ්‍යම පාංතික වූ බොහෝ චීන හා ඉන්දියානු නිවෙස්වල (කියෙව්වත් නැතත්) පත්තරයක් ගැනීම සිරිතක්. පත්තරය කාටත් පෙනෙන්න ගෙයි සාලයේ දමා තිබීම හරහා අපිත් දැන් ඇති හැකි උදවිය යන පණිවුඩය වක්‍රව කියා පානවා.

එහෙත් ඒ දෙරටේ පවා නව පරපුර තොරතුරු සොයා ඩිජිටල් හා වෙබ් මාධ්‍යවලට පිවිසෙනවා. වැඩි ජනතාවක් වෙබ් මූලාශ‍්‍රවලට යන බව දකින දැන්වීම්කරුවන්ද ටිකෙන් ටික ඒවාට දැන්වීම් වැඩියෙන් දීමට පෙළඹෙනවා.

මේ නිසා කල් යත්ම මුද්‍රිත පත්තරවල අලෙවිය මෙන්ම දැන්වීම් ලැබීමද පහත වැටෙනවා. මේ පසුබිම් නිසා දශක ගණනක් සාර්ථකව පවත්වාගෙන ආ නාමධාරී බටහිර පුවත්පත් රැසක් මෑත කාලයේ වසා දමනු ලැබුවා.

සමහරක් පුවත්පත් දිනපතා මුද්‍රණය කරනු වෙනුවට සතියකට වරක් පළ කිරීමට යොමු වුණා. තවත් ඒවා මුද්‍රිත ප‍්‍රකාශනයක් වෙනුවට තනිකරම වෙබ්ගත ප‍්‍රකාශන බවට පරිණාමය වී තිබෙනවා. මෙහි අලූත්ම උදාහරණය බි‍්‍රතාන්‍යයේ ද ඉන්ඩිපෙන්ඩන්ට් (The Independent) පත‍්‍රයයි.

අපේ රටේ පුවත්පත් අලෙවි කැරෙන පිටපත් ගණන ගැන ස්වාධීන දත්ත නැහැ. හැම ප‍්‍රකාශන සමාගමක්ම තමන්ගේ අලෙවිය වැඩි කොට කියනවා. මෑතදී දෙමළ පත‍්‍ර කතුවරයෙක් මට කීවේ දිනකට පිටපත් හත්අට දහසක් විකිණෙන තම පත‍්‍රය දැන්වීම්කරුවන්ට නම් කියන්නේ විසිපන් දහසක අලෙවියක් ඇති බව කියායි.

බොහෝ පත්තර යළිත් මීට සියවසකට පෙර (විජේවර්ධන නවීකරණයට පෙර) තිබූ පරිදි පිටපත් හාර පන් දහසක් විකිණෙන තත්ත්වයට පත්වෙලා. ඒ මිලියන 21ක ජනතාවක් රටේ සිටියදීයි.

මේ පසුබිම තුළ අපේ රටේ බහුතරයක් පත‍්‍ර සමාගම් අද දිගින් දිගටම ව්‍යාපාරික පාඩු ලබනවා. නිෂ්පාදන වියදමවත් පිරිමසා ගන්නට දැන්වීම් ආදායමක් නැහැ. ලාභ ලබන පත රකාශන සමාගම් දෙක තුනක් හැරුණු කොට අන් සියල්ල පවත්වා ගෙන යන්නේ ව්යාපාරික අරමුණුවලට නොව දේශපාලන අරමුණු සඳහායි. නැතිනම් (වික්ටර් අයිවන් කලෙක සිට පෙන්වා දෙන පරිදි) කලූ සල්ලි සුදු කිරීම සඳහායි.

මෙවැනි මාධ්‍ය සමාගම්වලට පොදු උන්නතිය වෙනුවෙන් සම්භාව්‍ය පත‍්‍ර කලාවක් කිරීමට සැබෑ වුවමනාවක් නැහැ. එම උතුම් අරමුණ ඇති මාධ්‍යවේදීන් හා කතුවරුන් ටික දෙනකු හෝ එම ආයතනවල සිටියත් ඔවුන්ට වෘත්තියේ ගරුත්වය රැක ගෙන කටයුතු කිරීමට ඉඩක් ද නැහැ.

මහජනතාවට වග නොකියන, වෙනත් අරමුණු සඳහා සමහර විට එළිපිටම පෙනී සිටින පත්තර ගැන ජන ප‍්‍රසාදය ටිකෙන් ටික අඩු වෙමින් පවතිනවා. මෙය මුලු පුවත්පත් කර්මාන්තයටම අහිතකරයි.

ඞී. ආර්. විජේවර්ධන අද ජීවත්ව සිටියා නම් ඔහු කුමක් කරනු ඇත්ද? මේ ප‍්‍රශ්නය අපේ සාකච්ඡාවෙත් මතු වුණා. සියවසකට පසු ඔහු මාධ්‍ය සමාගමක් ගොඩ නගනවා නම් රේඩියෝ, ටෙලිවිෂන් හා වෙබ් තුනම වෙත යොමු වන බවට අදහසක් කිය වුණා.

මා සිතන්නේ මේ ප‍්‍රශ්නය අප වෙනස් ආකාරයකින් ඇසිය යුතු බවයි. එනම් අපේ කාලයේ ඞී. ආර්. විජේවර්ධනලා කොහේද? පවතින තාක්ෂණය හා වෙළඳපොළ සාධකයන් මනාව හසුරුවා ගනිමින් පොදු උන්නතිය උදෙසා පුවත්පත් කලාවේ මූලධර්ම අදාල කර ගන්නා නව ව්‍යාපාර ආකෘතීන් බිහි වෙමින් තිබේද? එසේ නැත්නම් ඒ ඇයි?

Cartoonist John Darkow on the Future of Newspapers
Cartoonist John Darkow on the Future of Newspapers

මෙහිදී අප සාම්ප‍්‍රදායික පත‍්‍රවල වෙබ් අඩවිවලින් ඔබ්බට ගොස් වෙබ් හරහාම තොරතුරු හා අදහස් ප‍්‍රකාශනය කරන සංවිධානාත්මක මාධ්‍ය හා ව්‍යාපාර මට්ටමෙන් කැරෙන උත්සාහයන් සොයා යා යුතුයි. (බ්ලොග් රචකයන් හා පුරවැසි මාධ්‍යකරුවන් ද මේ නව මාධ්‍ය පාරිසරික පද්ධතියේ වැදගත් භූමිකා ඉටු කරමින් සිටියත් ස්වේච්ඡාවෙන් වැඩකරන ඔවුන්ට යා හැකි දුර පරාසය සීමිතයි.)

අපේ රටේ මෙයට උදාහරණ තවමත් ඇත්තේ අතලොස්සක්. ඒවාද බහුතරයක් ඉංග‍්‍රීසි බසින්. ව්‍යාපාරික පුවත් මනාව වාර්තා කරන හා විග‍්‍රහ කරන LBO.lk yd Economy Next වෙබ් අඩවි මේ ගණයට අයත්. සමාජයීය ප‍්‍රශ්න නවතම ලෙසින් විග‍්‍රහ කරන Roar.lk වෙබ් අඩවියද  විභවයක් ඇති උත්සාහයක්.

මා මේ සඳහන් කළ වෙබ් ප‍්‍රකාශන පත‍්‍ර කලාවේ මූලධර්ම ප‍්‍රගුණ කරන, වෘත්තිමය මට්ටමේ මාධ්‍ය ලෙස හඳුනාගත හැකියි. මෙයට අමතරව නොයෙක් පුවත්වෙබ් අඩවි ගණනාවක් තිබෙනවා. ඒවායේ ප‍්‍රමිතිය එක සමාන නැහැ. සමහරක් ආචාර ධර්මීය හා වෘත්තිමය ලෙස ක‍්‍රියා කරන අතර, අනෙක්වා  ඕපා¥ප හා අන්තවාදී මත බෙදා හැරීමේ නිරත වෙනවා. මේ හැම එකක් ගැනම සමාජ විද්‍යාත්මක හා ජන සන්නිවේදන පර්යේෂකයන් විවෘත මනසකින් යුතුව පර්යේෂණ කිරීම අවශ්‍යයි.

අපේ කාලයේ විජේවර්ධනලා බිහි වීමට උදව් වන විදියේ ආකල්පමය වෙනසක් අපේ දැන්වීම්කරුවන්, හා දැන්වීම් සමාගම් අතර ද සිදුවිය යුතුයි. මේ පිරිසේ බහුතරයක් නව යථාර්ථයට අනුගත වීමට පැකිලෙන, ගතානුගතික මානසිකත්වයක් ඇති අයයි.

2014දී මෙරට මාධ්‍යවල සමස්ත දැන්වීම් සඳහා කරන ලද වියදම රුපියල් බිලියන 77ක් බව නීල්සන් පර්යේෂණ සමාගම කියනවා. මෙයින් 71%ක් ටෙලිවිෂන් දැන්වීම් සඳහාත්, 20%ක් රේඩියෝ මාධ්‍යයටත් යොමු වූ අතර පත්තරවලට ආයේ 8%ක් පමණයි. ඩිජිටල් හා වෙබ් මාධ්‍යවලට යොමු වූයේ 1%ට අඩු දැන්වීම් ප‍්‍රමාණයක්.

මේ නිසා නව මාධ්‍ය හරහා පොදු උන්නතියට කැප වූ නවෝත්පාදන කිරීමේදී හරිහැටි ආදායම් උපදවා ගැනීමේ ලොකු අභියෝගයක් තිබෙනවා. කියවන වෙබ් පාඨකයන්ගෙන් කුඩා පරිමාණ මුදල් අය කරගැනීම ^Pay wall& ද එතරම් සාර්ථක උපක‍්‍රමයක් නොවෙයි.

මගේ විග‍්‍රහයට අනුව මාධ්‍ය කර්මාන්තයේ ව්‍යාපාරික සාර්ථකත්වය සඳහා තාක්ෂණයට අනුගත වීමටත් වඩා තීරණාත්මක සාධකයක් තිබෙනවා. තාක්ෂණය හා රාග්ධනය වැදගත් වුවත් මහජන විශ්වාසය දිනා ගැනීමට නොහැකි නම් කිසිදු මාධ්යයකට සාර්ථක වීමට බැහැ.

මහජන විශ්වාස නොලබා, ව්‍යාපාරික සාර්ථකත්වය නොමැතිව වෙනත් අන්දමින් නඩත්තු කර ගෙන යන මාධ්‍ය සමාගම් කරන්නේ පුවත්පත් කලාවක් නොව දැන්වීම් කලාවක් හෙවත් ප‍්‍රචාරණයක් ^Propaganda& පමණයි. ඒවාට මාධ්‍ය ආයතන කීමත් වැරදියි.

කලක් දැවැන්ත මාධ්‍ය ආයතන ලෙස පැවති දෙකක් වැහැරී ගොස්, අසාධ්‍ය බවට පත්ව වසා දමනු මගේ ජීවිත කාලය තුළ මා දැක තිබෙනවා. 1985දී ටයිම්ස් ඔෆ් සිලෝන් සමාගමත්, 1990දී ස්වාධීන පුවත්පත් සමාගම (දවස නිවසත්) ඒ ඉරණමට ලක් වුණා.

අවසන් කාලයේ ඒ සමාගම් දෙක නවීන  ඕෆ්සෙට් මුද්‍රණ යන්ත‍්‍ර සවි කළත් එයින් වැඩක් වුණේ නැහැ. මේ ආයතන දෙකේ පිරිහීමට සාධක රැසක් දායක වූ අතර පාඨක විශ්වාසය හා සමාජ පිළිගැනීම පිරිහී යාමද එයට හේතු වූවා.

සියලූ පත්තර හා අන් මාධ්‍ය සමාගම්වලට මෙයින් පාඩමක් උගත හැකියි. එනම් කෙතරම් දැවැන්ත වුවද පාඨක/ග‍්‍රාහක විශ්වාසය නැති වූ මාධ්‍ය සමාගමකට දිගු කාලීන පැවැත්මක් නැති බවයි.

කලූ සල්ලිවලින් හෝ හිමිකාර සමාගමේ වෙනත් ව්‍යාපාරවල ආදායමින් හෝ පත්තර යම් කලක් නඩත්තු කර ගෙන යා හැකි වුවත් එසේ ගිය හැකි දුරක් තිබෙනවා. අතළොස්සක් කියවන, කිසිවකුත් විශ්වාස හෝ ගරු නොකරන පත්තරයක් පාඩු පිට දිගටම කර ගෙන යාමේ ඵලය කුමක්ද?

වැඩි වැඩියෙන් පාඨකයන්/ග‍්‍රාහකයන් පත්තරවලින් වෙනත් මාධ්‍යවලට යොමු වන්නේ තාක්ෂණයේ ආකර්ශනය නිසාම නෙවෙයි. ඔවුන්ගේ අවශ්යතාවලට සරිලන අන්තර්ගතයක් දීමට අපේ පත්තර බහුතරයක් අසමත් වීම නිසා යයි මා තර්ක කරනවා. ඉදිරි වසරවල මේ ප‍්‍රවණතා තවත් ප‍්‍රබල වනු ඇති.

මුද්‍රිත පත්තරවලට එහා දිවෙන අනාගතයක් පත‍්‍ර කලාවට තිබෙනවා. ඒ නව මාධ්‍ය ලෝකය හරහා පොදු උන්නතිය ප‍්‍රවර්ධනය වනු දැකීම මගේ ලොකුම පැතුමයි. තව දුරටත් සමාජයට වැඩක් නැති හන මිට්ටන් හා ප‍්‍රචාරකරුවන් වඳ වී ගියාවේ!