I was interviewed by BBC Sinhala in London on 21 June 2016, on the eve of Sri Lanka’s Parliament passing the long-waited Right to Information law. In this interview with BBC’s Saroj Pathirana, I look at the journey so far (it took over 2o years to get this law adopted) and challenges than remain.
Chief among the challenges from now on: reorienting all state structures to be open and info-sharing rather than closed and secretive (default mode until now); raising public awareness on the provisions and benefits of RTI law (including debunking of myths and misconceptions); and learning to be a more information-literate society as a whole.

Here is the full story. You can also read it on BBC online at: http://www.bbc.com/sinhala/sri-lanka-36634031
තොරතුරු දැන ගැනීමේ සංකල්පය ‘අශෝක අධිරාජයාගෙන්
2016 ජුනි 26: තොරතුරු දැන ගැනීමේ පනත පාර්ලිමේන්තුවේ සම්මත වූ නමුත් එය ජනගත කරන්නේ කෙසේදැයි යන අභියෝගය රට හමුවේ පවතින බව ප්‍රවීණ ලේඛක නාලක ගුණවර්ධන පවසයි.
ඔහු ඒ බව කියා සිටියේ පසුගියදා පාර්ලිමේන්තුවේදී සම්මත කර ගන්නා ලද තොරතුරු දැන ගැනීමේ පනත සහ එහි වැදගත්කම පිළිබඳ රටේ සාමාන්‍ය ජනතාවගෙන් බහුතරය දැනුවත් දැයි බීබීසී සංදේශය කළ විමසීමකදී.
”ඇත්තටම එහෙම දැනුවත් භාවයක් නැහැ. අපි එය පිළිගත යුතුව තිබෙනවා. ඒ වගේම ඒ සම්බන්ධයෙන් යම් යම් පියවර ගත යුතුව තිබෙනවා.”
අදාළ පනත සම්මත කර ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකාව තුළ හඬ නැගුවේ මධ්‍යම පාන්තික සමාජ සහ දේශපාලන ක්‍රියාධරයන් ඇතුළු මාධ්‍යවේදීන් පිරිසක් බවත් ඔහු සඳහන් කළේය.
කෙසේ නමුත් අසල්වැසි ඉන්දියාවේ පැවතුනේ එයට වඩා වෙනස් තත්වයක් බව විද්‍යා ලේඛක නාලක ගුණවර්ධන පෙන්වා දෙයි.

ඇයි අපට වැදගත්?
”අනූව දශකයේ, ඉන්දියාව තුළ මේ තොරතුරු දැන ගැනීමේ පනත අවශ්‍යයි කියන ඉල්ලීම ආවේ බිම් මට්ටමින්. ප්‍රාන්ත මට්ටමින් නීති ගත වී 2005 වසරේ ඉන්දියාව ජාතික මට්ටමින් තොරතුරු නීතිය සම්මත කර ගත්තා. මේක ඇයි අපට වැදගත්? මොනවද මෙයින් ගත හැකි ප්‍රයෝජන කියන කාරණා, නීතිය සම්මත වෙන කොටත් මිනිස්සු දැන සිටියා”
තොරතුරු දැන ගැනීමේ පනතේ ඇති වැදගත්කම ජන ගත කිරීම සඳහා ශ්‍රී ලංකාවේ සිවිල් සංවිධාන, මාධ්‍ය ආයතන සහ ක්‍රියාධරයන්ට සුවිශේෂී වගකීමක් පැවරෙන බවයි තොරතුරු දැන ගැනීමේ පනත සම්බන්ධ උපදේශක මණ්ඩලයේ සාමාජිකයකු වූ ලේඛක නාලක ගුණවර්ධන පෙන්වා දෙන්නේ.
”මේක වෙනත් නීති වගේ නොවෙයි.මෙය ජනතාව වෙනුවෙන් සම්මත වූ නීතියක්. සාමාන්‍යයෙන් පනවන ලද නීති ක්‍රියාත්මක කරන්නේ ආණ්ඩුව. නමුත් තොරතුරු නීතිය භාවිත කරන්න ඕනි පුරවැසියෝ.”
තොරතුරු පනත හරහා පුරවැසියන්ට රාජ්‍ය ආයතන, පොදු අධිකාරියක තොරතුරු ඉල්ලා සිටීමට සහ ලබා ගැනීමට නෛතික අයිතියක් හිමි වේ.
”නීතිය සම්මත වූ පසු රජයට මාස හයක කාල සීමාවක් තිබෙනවා මේ සඳහා රාජ්‍ය තන්ත්‍රය සුදානම් කරන්න. ඉන් පසු ජනතාවට පුළුවන් ඕනෑම රජයේ ආයතනයක තොරතුරු ඉල්ලා සිටින්න. ඒ සඳහා හේතු දක්වන්න අවශ්‍ය නැහැ.”

අශෝක කුලුණු
ඇතැම් තොරතුරු ලබා දීම ප්‍රතික්ෂේප කළ හැකි අදාළ පනතේ දක්වා ඇති ව්‍යතිරේක හැරුණු කොට අනෙකුත් සියලු තොරතුරු ලබා ගැනීමට ජනතාවට අයිතිය හිමි වන බවයි ඔහු පවසන්නේ.
ව්‍යතිරේකවලින් බැහැර වන තොරතුරු ලබා නොදෙන්නේ නම් තොරතුරු අයිතිය පිළිබඳ ස්වාධීන කොමිසමට පැමිණිලි කළ හැකි බවත් ප්‍රවීණ ලේඛක නාලක ගුණවර්ධන කියා සිටියේය.
සංකල්පයක් වශයෙන් තොරතුරු දැන ගැනීමේ නීතිය දකුණු ආසියාවට අලුත් දෙයක් නොවන බව ඔහු පෙන්වා දෙන්නේ අශෝක අධිරාජයා සමයේ ස්ථාපනය කරන ලද අශෝක කුලුණු උදාහරණයට ගනිමිනි.
”මේ කුලුණුවල, රජතුමා කරන්නේ කුමක්ද? රාජ්‍ය පාලකයාගේ ප්‍රතිපත්ති මොනාද? ස්ථාපිත කොට තිබුණා. එක් එක් ස්ථම්භය පිහිටුවන ස්ථානයේ එම ප්‍රදේශයේ භාෂාවෙන් පුවරුවල සටහන් යෙදුවා. සියලු දෙනාටම සාක්ෂරතාවය නැති නිසා විටින් විට පුවරුවල ඇති සටහන් හඬ නගා කියවන්න රාජ්‍ය නිලධාරීන්ට නියෝග කළා.”
තොරතුරු දැන ගැනීමේ වැදගත්කම හඳුනා ගනිමින් එවැනි පනතක් මුලින්ම නීති ගත කරන ලද්දේ ස්වීඩනය බවත් ප්‍රවීණ ලේඛක නාලක ගුණවර්ධන වැඩිදුරටත් සඳහන් කළේය.
”බටහිරින් ලැබුණු ආභාෂයක් වශයෙන් මේ වතාවේ තොරතුරු දැන ගැනීමේ පනත අපට ලැබුනත් අපේ සංස්කෘතික උරුමයක් තිබෙනවා රජය, මහජනතාව වෙත තොරතුරු සරල බසින් ලබා දෙන බවට”