In this week’s Sunday column, published in Ravaya newspaper of 25 March 2012, I
return to take another critical look at the hype and hysteria surrounding the world ‘ending’ in December 2012.
Last week’s column elicited several reader responses online and offline. While many agreed with my rational reasoning, some were miffed by my puncturing their inflated obsession! A few challenged me to provide an assurance that there won’t be any major disasters in 2012 — we were NOT talking about random disasters, but a planetary scale one which qualifies as End of the World.
This week, we look at how certain environmentalists are linking global warming and 2012 world ending myth, adding to existing public confusion about climate change. I cite as an example of this green alarmism a highly distorted article Sinhala published by Practical Action Sri Lanka, a usually moderate and sensible development organisation. Its country director admits it was an ill-advised public outreach effort.
I also refer to a recent scientific analysis that probed whether highly destructive large-scale earthquakes in the past few years, in countries bordering the Pacific and Indian oceans, indicate an increased global risk of these deadly events. Its conclusion: there is no such evidence.
‘2012 ලෝක විනාශය’ ගැන ලෝක ව්‍යාප්ත මිථ්‍යාව විග‍්‍රහ කරමින් පසුගිය සතියේ මා ලියූ කොලමට ප‍්‍රතිචාර රැසක් ලැබුණා. එයින් බහුතරයක් මගේ විචාරශීලී ප‍්‍රවේශයත් සමග එකග වූ නමුත් ටික දෙනකු මට අභියෝග කළේ 2012දී කිසිදු ව්‍යසනයක් සිදු නොවන බවට සහතික විය හැකිදැයි විමසමින්.
අප කථා කළේ හැම වසරක ම ලොව තැනින් තැන සිදු වන ආපදා ගැන නොවෙයි. මුළු මහත් පෘථිවිය ම විනාශ වී යන, අඩු තරමින් මිහිපිට ජීවීන් හැම දෙනා ම හදිසි මරණයට පත් වන මට්ටමේ මහා විනාශයක් ගැනයි. එබන්දක් ඇති කිරිමට හැකි යයි ජනප‍්‍රිය විද්‍යා ප‍්‍රබන්ධ චිත‍්‍රපටවල යෝජිත සංසිද්ධීන්ගේ විය නොහැකියාව හෝ සම්භාවිතාවේ ඉතා අඩුවීමයි අප පැහැදිලි කළේ.
කොළම මගේ බ්ලොග් අඩවියේ පළ වූ පසු ඉන්ටර්නෙට් හරහා එය කියවන පාඨකයන් ඒ වටා සංවාදයක් ගොඩ නගමින් සිටිනවා. ඔවුන් අතරින් මුලින් අදහස් දැක් වූ ලිෂාන් පුවක්ඕවිට නම් පාඨකයා මතු කළ පැතිකඩ මීට පෙර මගේ අවධානයට ලක් වී තිබුණේ නැහැ: “මේ 2012 අනිසි බිය ගන මගේ මිතුරන් කිහිප දෙනෙකු ද බිය වී සිටිනවා. විවාහයට පත් වී දරුවන් ලබන්නට බිරිඳ කොතරම් කැමති වුවත් වෘත්තියෙන් අලෙවි විධායකයෙකු ලෙස සේවය කරන මා මිතුරා පවසා සිටින්නේ 2012 දෙසැ 22 පසුව ඒ ගැන කල්පනා කල යුතු බවත්, දැන් කල යුත්තේ මේ මහා විනාශයෙන් ගැලවීමට ක්‍රම සෙවීම බවත්!” http://tiny.cc/2012Boom
ලෝක විනාශය ගැන මහජනයා තුළ හට ගන්නා බිය අවස්ථාවාදී ලෙස තමන්ගේ අරමුණු සදහා හරවා ගන්නා නොයෙක් පුද්ගලයන් මෙන් ම කණ්ඩායම් ද සිටිනවා. මෙයින් වඩාත් සූක්‍ෂම හා සටකපට උත්සාහයන් අපට දැකිය හැක්කේ විවිධ ආගම්වලයි.
ඇතැම් අන්තවාදී ඇදහීම් (cults) මෙන් ම ප‍්‍රධාන පෙළේ ආගම් ද ලෝක විනාශය ගැන බියක් පතුරුවා තම අනුගාමික පිරිස වැඩි කරගන්නට උත්සාහ කරනවා. යම් දිනෙක ‘නියතව’ හට ගන්නා ලෝක විනාශයක් ගැන විස්තරාත්මක අනාවැකි කියා, ඇතැම් විට ඒවා විචිත‍්‍ර ලෙසින් සිතුවම්වලට නගා අනුගාමිකයන් බිය කරනවා. ඉන් පසු හීන්සීරුවේ ඔවුන්ට කියන්නේ තම ආගම තරයේ අදහන (එනම් පූජකයන් කියන දේ අවිචාරශීලීව කරන) අය පමණක් ආශ්චර්යමත් ලෙසින් බේරා ගනු ලබන බවයි! මුළු ලෝකය ම විනාශ වන විට ටික දෙනකු පමණක් දිවි ගලවා ගන්නේ කෙසේද? එය දන්නේ වරප‍්‍රසාදලාභී පූජකයන් කිහිප දෙනකු පමණයි.
ලෝක විනාශය සංකල්පයට මුවා වී බඩ වඩා ගන්නේ ආගම්වාදීන් පමණක් නොවෙයි. අද කාලයේ දේශපාලන ක‍්‍රියාකාරිකයන්, සමාජ ශෝධකයන් මෙන් ම පරිසරවේදීන් ද මේ අන්තගාමී ක‍්‍රමෝපායට නැඹුරු වී තිබෙනවා. අන් අය කෙසේ වෙතත් පරිසරවේදීන් ආවේගශීලීව හා අතිශයෝක්තියෙන් සන්නිවේදනය කිරීම මා අනුමත කරන්නේ නැහැ.
විවෘත ආර්ථික ක‍්‍රමයේ හා අදහස් ප‍්‍රකාශනයට නිදහස ඇති මේ ලෝකයේ, විවිධාකාර වෙළඳ ප‍්‍රචාර හෝ මතවාදයන් හෝ පැතිරවීමට ඉඩකඩ තිබෙනවා. මහජනයා මුලා කොට ඔවුන්ගෙන් මුදල් වංචා නොකරන තුරු, කැමති අය ස්වයංමුලාවකට පත් කිරීම නීති විරෝධී නැහැ. එහෙත් එය සදාචාර විරෝධීයි.
අතිශයෝක්තිය, සත්‍යය හා බොරුව මුසු කළ අර්ධ-ප‍්‍රබන්ධ ආදිය හරහා පෙරට එන්නේ අන්ධ භක්තිය හා අයාලේ දිවීමයි. බෙහෙත් තෙල් හා වාජීකරණ වෙළෙන්දන්ට වඩා වගකීමක් විද්වතුන්ගෙන් හා සමාජ ක‍්‍රියාකාරීන්ගෙන් අප බලාපොරොත්තු වනවා. එහෙත් අද ලෝකයේ මහා පාරිසරික ප‍්‍රශ්න හා අභියෝග ගැන ඇතැම් පරිසරවේදීන්ගේ ක‍්‍රියාකලාපය බලාගෙන ගියාම ආගම් ප‍්‍රචාරකවාදීන්ට දෙවැනි නැහැ.
දේශගුණ විපර්යාස උදාහරණයකට ගනිමු. මේ ප‍්‍රශ්නයට මුලල බලශක්ති ජනනය සඳහා පෙට්‍රෝලියම් හා ගල් අගුරු අධික ලෙස දහනය කිරීම නිසා වායුගෝලයේ කාබන්ඩයොක්සයිඞ් ප‍්‍රමාණය ඉහළ යාම හා ඒ මගින් හිරුගේ උණුසුම වැඩිපුර රඳවා ගැනීමයි. මිහිතලය රත් වීම නියත වශයෙන් ම සිදුවන බව විද්‍යාඥයන් අද පිළිගන්නවා. එය නිරීක්‍ෂණ රැසකින්ද සනාථ වෙනවා. එහෙත් මේ රත්වීමෙන් ඇති වන විපාක ගැන පූර්ණ අවබෝධයක් තවමත් නැහැ. අපට සිතා ගත හැකි ආකාරයට මෙන් ම නොසිතූ විරූ අන්දමින් ද මිහිතලය රත්වීම අපටත්, අනෙක් ජීවීන්ටත්, සමස්ත ග‍්‍රහලෝකයටත් බලපෑ හැකියි.
ආපදා උත්සන්න වීම, ආහාර හා ජල හිගයන් උග‍්‍රවීම මෙන් ම ඇතැම් පරිසර පද්ධති (උදා: කොරල්පර) සහමුලින් විනාශ වී යාම ද සිදු විය හැකියි. එහෙත් මේ විපාකවල කාල පරාසය හා සීඝ‍්‍රතාවය අප තවමත් හරිහැටි දන්නේ නැහැ. ලොව පුරා විද්‍යාඥයන් පර්යේෂණ කරමින් කරමින්, පරිගණක ආකෘති අධ්‍යයනය කරමින් වෙර දරන්නේ කෙමෙන් උණුසුම් වන ලෝකයක ගති සොබා තේරුම් ගන්නටයි.
මේ අතරට කඩා පනින සමහර පරිසරවේදීන් කියන්නෙ දැනටමත් අප ප‍්‍රමාද වැඩි බවයි. මොනවා කළත් – නොකළත් අප හැමදෙනාගේ ඉරණම දැනටමත් තීන්දු වී හමාර බවයි. සමහර පරිසරවේදීන් දැන් ලෝක විනාශ සංකල්පයත් එයට සම්බන්ධ කරනවා. මෙබදු අන්තගාමී මතයක එල්බ සිටින්නට ඔවුන්ට නිදහස ඇතත්, එබදු කථා කියමින් මහජනයා බියපත් කරන්නට ඉඩ දිය යුතු ද?
දේශගුණ විපර්යාස සුළු කොට තැකිය යුතු නැහැ. එහි කෙටි කාලීන හා දිගුකාලීන ප‍්‍රතිඵල භායානකයි. එහෙත් එය ලෝක විනාශයකට සම කිරීම පිළි ගත හැකි තර්කයක් නොවෙයි. ළිඳට වැටුණු මිනිසකු ළිං කටෙන් ගොඩ ආ යුතු සේ දේශගුණ විපර්යාසවලට තුඩු දුන් බලශක්ති ජනන ක‍්‍රමයන් හා සම්පත් පරිභෝජන රටා වෙනස් කර ගෙන ඒ මහා ප‍්‍රශ්නයෙඅපන් ටිකෙන් ටික අත්මිදිය හැකි ක‍්‍රම විද්වතුන් සොයමින් සිටිනවා.
අවාසනාවකට ලොව පිළිගත් විද්වත් ආයතන පවා ඇතැම් විට අතිශයෝකිතියට හා ආවේගයන්ට නතු වනවා. විකල්ප සංවර්ධනයක් සඳහා අවංකව ම කැපවුණුල ප‍්‍රැක්ටිකල් ඇක්ෂන් (Practical Action) නම් ලෝක ව්‍යාප්ත සංවිධානයක් තිබෙනවා. ‘පුංචි නම් ලස්සනයි’ (Small is Beautiful) පොත ලියූ ජර්මන් ආර්ථික විද්‍යාඥ අර්න්ස්ට් ෂූමාකර් පිහිට වූ මේ ආයතනයේ ශ්‍රී ලංකා කාර්යාලය 2008දී නිකුත් කළ “ජන තාක්‍ෂණ පුවත්” නම් සිංහල වාරිකය (2 වෙලූම, 3 කලාපය) දැක මා කම්පාවට පත් වුණා.
දේශගුණ විපර්යාස ගැන තොරතුරු රැුගත් මේ සගරාවේ විග‍්‍රහයන් බොහෝ ආවේගශීලීයි. පාඨකයන් බියපත් කරවන වදන් හරඹයක් ඔවුන් කරනවා. 2012දී ලෝක විනාශය මැයෙන් 13 පිටුවේ මෙසෙ කියනවා:
“2012 වසරේදී ලෝක විනාශය සිදු ව බව අද්විතීය මානව සංස්කෘතියක් ලෙස සැලකෙන මායාවරුන්ගේ දින දර්ශනයේ සහ අදින් සියවස් දහතුනකට පෙර විසූ පාකල් වෝලටන් නැමැති මහ පඩිවරයා විසින් පළ කරන ලද අනාවැකිවල සඳහන් වේ. මිනිසුන් පාපයේ නියැලෙන විට ලෝක විනාශය සිදුවෙන බව ඇතැම් ආගමික ශාස්තෘවරුන්ගේ ඉගැන්විමයි. වර්තමානයේදී ලෝකයේ දැවෙන ගැටලූවලින් එකක් බවට පත් වී ඇත්තේ දේශගුණික විපර්යාසවල බලපෑමෙන් සිදුවන දරුණු ස්වභාවික අපදා හේතුවෙන් මානවයාගේ පැවැත්ම අවිනිශ්චිත වීමයි. සුනාමි ව්‍යසන, සුළි කුණාටු හා වෙනත් ස්වභාවික ආපදා හේතුවෙන් ලෝකයේ විවිධ ප‍්‍රදේශවල ස්ථාපනය වුණු මානව ජනාවාස සහමුලින්ම විනාශයට පත් වුණු බව නිතර නිතර වාර්තා වේ. මේ ලෝක විනාශය අතළග බවට ඉගි කරන අනතුරු ඇගවීම්ද? මිනිසුන් විසින් මහපොළොවට සහ පරිසරයට කරන ලද වධ බන්ධන හේතුවෙන් මානව සංහතිය මිහිතලයෙන් වඳ වී යයි ද?”
මේ ත‍්‍රාසජනක ප‍්‍රබන්ධයක පිටපතක් ද? මෙබදු සන්නිවේදන කරන්නට වගකිවයුතු ආයතන ඉඩ දෙන්නේ ඇයි?
ප‍්‍රැක්ටිකල් ඇක්ෂන් ශ්‍රී ලංකා අධ්‍යක්‍ෂවරිය වන ආචාර්ය විශාඛා හැදැල්ලගේ වෙතින් මා මේ ගැන විමසුවා. මනා සංස්කරණ අධීක්‍ෂණයකින් තොරව ජන සමාජයට ගිය මේ ප‍්‍රකාශනය පිළිබඳ මගේ විවේචනය ඇය පිළි ගත්තා. මෙය සිය ආයතනයේ නිල ස්ථාවරය නොවන බවත්, එය ලියූ නිදහස් ලේඛකයාගේ තනි අදහසක් බවත් ඇය කියනවා. (මේ ආයතනය පරිසර සංවිධානයක් ද නොවේ.)
ලෝක විනාශය හා දේශගුණ විපර්යාස එකට මිශ‍්‍ර කිරීම හැරුණු විට විද්‍යාත්මකව වැරදි තවත් කරුණු එම ප‍්‍රකාශනයේ තිබෙනවා. සැබෑ තත්ත්වය හතර පස් ගුණයකින් වැඩිකොට පැවසීම හා ලිවීම අපේ පරිසරවේදීන් අතර සුලභ පුරුද්දක්. ඇත්ත ඇති සැටියෙන් කීමට හා නොදන්නා දේ එසේ පිළිගැනීමට ඔවුන් මැලි ඇයි?
අභව්‍ය දේ ගැන අතිශයෝක්ති ගොතා මිනිසුන් බියපත් කර තමන්ගේ ඇදහිලිවලට ඇද ගන්නට තැත් කරන විවිධ ආගම්වාදීන් සහ මෙබදු පරිසරවේදීන් අතර එතරම් වෙනසක් නැහැ.මේ දෙපිරිසේ ම විශ්වසනීයත්වය පලූදු වී ඇති බව පැහැදිලියි. ඇරත් 2012 ලෝක විනාශය ඔවුන් කියන පරිදි සිදු නොවූ විට ඔවුන් යළිත් සමාජයට මුහුණ දෙන්නේ කෙසේ ද?
මින් පෙර නොවූ වීරූ අසාමාන්‍ය ගණයේ භූචලන ලෝකයේ සිදු වෙමින් පවතිනවා ද? නැතිනම් අද ඒ ගැන ජනමාධ්‍යවලින් කැරෙන වාර්තාකරණය තීව‍්‍ර වී ඇත් ද? ලෝකයේ ප‍්‍රමුඛ පෙළේ භූවිද්‍යාඥයන් කියන්නේ මිහිතලය උණුසුම් වීමෙන් පොළව මතුපිට යම් විපර්යාස සීඝ‍්‍ර වී ඇතත් පෘථිවි අභ්‍යන්තරයේ එබදු ප‍්‍රවණතාවක් තවමත් දැකිය නොහැකි බවයි.
එසේ නම් 2001-2011 කාලය තුළ ප‍්‍රබල භූමිකම්පා ගණනාවක් චීනය, චිලී, ජපානය හා ඉන්දුනීසියාව වැනි රටවලින් වාර්තා වූයේ ඇයි? 1900 සිට 2010 දක්වා භූකම්පන මානයේ අංක 7ට වඩා ඉහළින් සිදු වූ සියළු ම භූ චලනයන් විස්තරාත්මකව අධ්‍යයනය කළ අමෙරිකාවේ විද්‍යාඥ දෙපළක් 2011 අගදී කියා සිටියේ භූමිකම්පාවල ප‍්‍රබලත්වයේ උත්සන්න වීමක් සංඛ්‍යාත්මකව නොදකින බවයි.
අමෙරිකාවේ ස්ක‍්‍රිප්ස් සාගර විද්‍යා පර්යේෂණායතනයේ භූවිද්‍යාඥ පීටර් ෂියරර් හා කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ (බර්ක්ලි) ෆිලිප් ස්ටාක් සිය විශ්ලේෂණය 2011 දෙසැම්බර් 19දා එරට විද්‍යා ඇකඩමියේ වෙබ් අඩවිය හරහා ප‍්‍රකාශයට පත් කළා. වසර 110ක භූමිකම්පා දත්ත පදනම් කර ගෙන නම් පෘථිවි අභ්‍යන්තරයේ ප‍්‍රචන්ඩත්වයේ වැඩිවීමක් දැකිය නොහැකි බවත්, එබන්දක් ගැන හරි හැටි කීමට ඊටත් වැඩි කාල පරාසයක දත්ත විමසා බැලිය යුතු බවත් ඔවුන් කියනවා. ඔවුන්ගේ අවසන් නිගමනය නම් මෑත වසරවල අත්දුටු මහා පරිමානයේ භූමිකම්පා එසේ කෙටි කලක් තුළ ඇති වීම හුදෙක් අහඹු සිදුවීමක් මිස පෘථිවි අභ්‍යන්තරයේ විපර්යාසයක ඉගියක් නොවන බවයි. http://tiny.cc/MegaQ
සිදු වන්නට හැකියාව ඉතා අඩු, වඩාත් ම බිහිසුණු සිදුවීම් ගැන මේ තරම් කලබලවීමක් හා භිතියක් ඇති කර ගන්නට අපේ ඇත්තන් නැඹුරු වන්නේ ඇයි? ස්වයංමුලාව හා ස්වයංභීතිය ඒ තරමට අපේ තනි හා සාමුහික චින්තනයට සමීප වෙලාද?
1955 ජුනි 20 වනදා අපේ දිවයිනට අවසාන වරට පූර්ණ සූර්යග‍්‍රහණයක් දිස් වූ අවස්ථාවේ ලස්සන වන්නට යයි සිතා ගෙන වදකහ බී රෝහල් ගත වූ කථාව අප අසා තිබෙනවා. අදට වඩා අධ්‍යාපන මට්ටම් අඩු වූ එවකට එබන්දකට හසු වූවත්, තොරතුරු සමාජයේ ඇලී ගැලී වාසය කරන වත්මන් ලාංකිකයන් 2012 ලෝක විනාශය ගැන මෙතරම් දැඩිව අදහන්නේ ඇයි? විචාරශීලිව හා තුලනාත්මකව යමක් විග‍්‍රහ කිරීමේ හැකියාව ඒ තරමට අප සමාජයේ මොට වී ගිහින් ද?