සිවුමංසල කොලූගැටයා #175: හරිතවේදය හා මාධ්‍යකරණය මුසු කළ මානෙල් තම්පෝ

In this week’s Ravaya column (in Sinhala), I salute a fellow traveler in journalism and conservation who departed two years ago: Manel Tampoe (1927-2012).

I wrote a tribute in English in September 2012, which appeared in Groundviews.org: Manel Tampoe: Perceptive Chronicler of Sri Lanka’s DDT Generation (This Sinhala column is not a translation.)

One of the earliest photos of Manel Tampoe, around age 15
One of the earliest photos of Manel Tampoe, around age 15

මෙරට පුවත්පත් කලාවේ හපන්කම් කළ හා නිම්වළලූ පුළුල් කළ චරිත ගැන විටින් විට මා කරන ආවර්ජානවලට හොඳ ප‍්‍රතිචාර ලැබෙනවා. මගේ මාධ්‍ය අත්දැකීම් බොහෝ කොටම ඉංග‍්‍රීසි බසින් කැරෙන මාධ්‍යකරණයට සීමා වූ නිසා මා වඩාත් හොඳින් හඳුනන්නේ ඒ ක්‍ෂෙත‍්‍රයේ උදවියයි. ඔවුන් ජාතික මට්ටමෙන් හා ඇතැම් විට ජාත්‍යන්තර මට්ටමින් කළ දායකත්වය සිංහල පාඨකයන්ට මතක් කර දීම වටිනා බව මගේ අදහසයි.

පත්තර ලෝකයේ හොඳ වැඩ කරන්නට මාධ්‍ය ආයතනයක පූර්ණ කාලීන, මාණ්ඩලික ලේඛකයකු වීම අවශ්‍ය ම නැහැ. වෙනත් රැකියාවක් කරන අතර හෝ විශ‍්‍රාමිකව සිටින විට හෝ නිතිපතා පත්තරවලට හරවත් ලිපි ලියන ස්වාධීන ලේඛක ලේඛිකාවන් සිටිනවා. මෙරට සියළුම පත්තර ආයතන ඔවුන්ට ගෙවන්නේ ශ‍්‍රමයට හා නිර්මාණයට නොසෑහෙන තරමේ සොච්චමක්. එසේ වුවත් පොදු උන්නතිය සඳහා කැප වීමෙන් මේ කාරියෙහි නියැලෙන පිරිසක් එදත් අදත් අප අතර සිටිනවා.

ඉංග‍්‍රීසි බසින් මාධ්‍යකරණයේ යෙදුණු මානෙල් තම්පෝ මහත්මිය (1927 – 2012) හොඳ උදාහරණයක්. මීට දෙවසරකට පෙර 85 හැවිරිදිව මිය යන තුරු ඇය දශක ගණනක් මෙරට හා විදේශීය ප‍්‍රකාශනවලට ශ‍්‍රී ලංකාවේ සංවර්ධනය හා පරිසරය ගැන විචාරශීලි ලිපි ලියූ පුරෝගාමි චරිතයක්.

Manel Tampoe as a young teacher, in the 1950s
Manel Tampoe as a young teacher, in the 1950s

මානෙල් තම්පෝ මා දැන හඳුනා ගත්තේ 1980 දශකය අගදී. ධර්මන් වික‍්‍රරත්න නායකත්වය දුන් පාරිසරික ජනමාධ්‍යවේදී පර්ෂදය හරහා ඒ වන විට වයස හැට ගණන්වල සිටි ඇය තරුණ අපත් සමග උද්‍යොගයෙන් හා මිත‍්‍රශීලීව වැඩ කළා. බෙහෙවින් ආචාරශීලි හා තැන්පත් චරිත ගතිවලින් යුක්ත වූ ඇයට තීක්‍ෂණ බුද්ධියක් හා හොඳ හාස්‍ය රසයක් තිබූ බව ටික කලකින් මා වටහා ගත්තා. නාවල අගේ නිවහනේදී අප බොහෝ කාලීන මාතෘකා ගැන දිගු වේලා සංවාද කළ හැටි මතකයි.

අයිරාංගනී මානෙල් ගුණසේකර පානදුරේ ඉපදී කොළඹ විශාඛා විද්‍යාලයෙන් ඉගෙනුම ලැබුවා. සරසවි අධ්‍යාපනයට යොමු වූ මුල් ලාංකික කාන්තාවන් අතර සිටි ඇය 1948 දී ලංකා විශ්ව විද්‍යාලයෙන් ඉංග‍්‍රීසි භාෂාව පිළිබඳ සම්මාන උපාධියක් ලබා ගත්තා. ඉන් පසු දශක දෙකක් ඇය ඉංග‍්‍රීසි භාෂා ගුරුවරියක් ලෙස විශාඛා, නාලන්දා හා සාන්ත තෝමස් විද්‍යාලවල සේවය කළා.

මේ කාලය තුළ ඇගෙන් උගත් දහස් ගණන් සිසුන් අතර පසු කලෙක ක‍්‍රිකට් විස්තර විචාරයන් සඳහා ප‍්‍රකට වූ පේ‍්‍රමසර ඈපාසිංහ ද සිටිනවා. ඇය ඉංග‍්‍රීසි භාෂාව හා සාහිත්‍යය සිත් කාවදින හා අමතක නොවන ලෙසින් ඉගැන් වූ සැටි ඔහු සිහිපත් කරනවා.

1951 මානෙල් විවාහ වූයේ සරසවියේදී හඳුනාගත් ආරියරත්නම් ෆෙඞ්රික් තම්පෝ සමගයි. ඔවුන්ට පුතකු හා දියණියන් දෙදෙනකු ලැබුණා. පවුලේ වගකීම් දරමින්, ගුරුවරියක ලෙස ක‍්‍රියා කරන අතර ජන සමාජයට වැදගත් පොදු වැඩට හවුල් වීමට ද ඇය කාලය සොයා ගත්තා.

එසේම මානෙල් තමන්ගේ කාලයට වඩා ඉදිරියෙන් සිටි කාන්තාවක්. 1950 ගණන්වලදී තම සැමියාට කලින් රථ වාහන පැදවීමේ රියදුරු බලපත‍්‍රයක් ලබා ගත් ඇය තමන් ඉතිරි කර ගත් මුදලින් මොරිස් මයිනර් කාරයක් මිලට ගත්තා. ඇගේ මිතුරියන් වූ අයිරාංගනී සේරසිංහ, කාමිනී විතාරණ වැනි අය ද එබඳුම පුරෝගාමී හා සමාජශීලී චරිත වුණා.

මානෙල් ඉඳහිට ඉංග‍්‍රිසි පත්තරවලට ලිපි ලියූවත් එය ප‍්‍රබලව මතුව ආයේ 1970 දශකයේ. බැංකු වෘත්තිකයකු වූ ඇගේ සැමියා ලංකා බැංකුවේ ලන්ඩන් ශාඛාවට අනුයුක්තව සිටි 1970-75 කාලයේ දරුවන් සමග ඇය ද එහි ජීවත් වූවා. යුරෝපය හා අමෙරිකාවේ එවකට මතු වෙමින් පැවති පාරිසරික ප‍්‍රශ්න හා ඒවාට ජනතාවගේත් රජයන්ගේත් ප‍්‍රතිචාර ගැන ඇය ඒ වකවානුවේ හොඳ හැටි අධ්‍යයනය කළා.

1975 මෙරටට ආපසු ඇය ලේක්හවුස් ආයතනයේ ඬේලි නිවුස් පත‍්‍රයේ විශේෂාංග ලේඛිකාවක් ලෙස සේවය කළා. එසේම සිංහරාජ වනාන්තරය දැව සඳහා කපා ගැනීමේ අමනෝඥ රාජ්‍ය ව්‍යාපෘතියට එරෙහිව මතු වූ මෙරට මුල්ම පාරිසරික උද්ඝෝෂනයට ද ඇය සම්බන්ධ වූවා.

Mallika Wanigasundara
Mallika Wanigasundara

විද්වත් හා මහජන විරෝධය හමුවේ සිංහරාජ දැව ව්‍යාපෘතිය එවකට පැවති රජය නතර කළත් සොබා සම්බත් හා මානව අවශ්‍යතා අතර තරගය ටිකෙන් ටික උත්සන්න වන බව මානෙල් දිගු කල් නුවණින් වටහා ගත්තා. 1977 ජූලි මාසයේ බලයට පත් රජය එතෙක් පැවති සංවෘත ආර්ථිකය විවෘත කිරීමේ ප‍්‍රතිපත්තිය සමග මේ ආතතිය තවත් උග‍්‍ර වූවා.

1973 සිට පවතින රජයේ මතවාදයන් ප‍්‍රචාරණයට නතුව තිබූ ලේක්හවුස් ආයතනයේ සේවය කරන අතර අධිවේගී ආර්ථික සංවර්ධන ප‍්‍රතිපත්ති සියුම් ලෙස විවේචනයට ලක් කිරීමේ ඉඩකඩ පාදා ගන්නට මානෙල් තම්පෝ හා ඇගේ විශේෂාංග කතුවරිය වූ මල්ලිකා වනිගසුන්දර සමත් වුණා.

කැකෑරෙන ජනතා බලාපොරොත්තු රැසක් සපුරා දීමට ලොකු පොරොන්දු දී බලයට පැමිණි ජේ. ආර්. ජයවර්ධන රජයට වනාන්තර, වන සතුන් හා වෙනත් සොබාවික සම්පත් ගැන එතරම් තැකීමක් තිබුනේ නැහැ. එසේම ඒ මොහොතේ රටේ තිබූ අපේක්‍ෂා සාක්‍ෂාත් කිරීමට ලැසි ගමනින් වර්ධනය වීම නොසෑහෙන බව රජයට පැහැදිලි වුණා.

රාජ්‍ය ප‍්‍රතිපත්ති රාමුව හා එක එල්ලේ නොගැටී, සංවර්ධනයේ පාරිසරික හා සමාජයීය බලපෑම් හැකි තාක් සමනය කර ගැනීමේ ක‍්‍රමවේදයන් ගැන හරවත් සංවාද මානෙල් හා මල්ලිකා දෙපළ ඬේලිනිවුස් කතුවැකකි හා විශේෂාංග ලිපි හරහා වසර ගණනාවක් පවත්වාගෙන ගියා. මුළුමනින්ම රාජ පාක්‍ෂික පත්තර කන්තෝරුවකින් වුවත් පොදු උන්නතියට අදාල ප‍්‍රශ්න උපක‍්‍රමශීලි ලෙස ආවරණය කරන්නේ කෙසේ ද යන්නට මේ මාධ්‍යෙවිදිනියන් දෙපළ කදිම පූර්වාදර්ශයක් ලබා දී තිබෙනවා.

මානෙල්ගේ පුවත්පත් ලිපි බොහෝ සේ කරුණු රැස්කර, ගවේෂණාත්මකව ලියනු ලැබූ ඒවායි. විද්වතුන්, රාජ්‍ය නිලධාරින් හා ක‍්‍රියාකාරිකයන් රැසක් සමග ඇයට හොඳ සබඳතා තිබුණා. මේ නිසා පටු රාමුවකට සිර නොවී පුළුල්ව ප‍්‍රශ්න විග‍්‍රහ කිරීමට ඇයට හැකි වුණා. සිල්ලර සමාජවාදී උද්‍යෝගපාඨ වෙනුවට ඇය ගමේෂණාත්මකව විවිධ සංවර්ධන ව්‍යාපෘතින් ගැන ප‍්‍රශ්න කළා.

ශ‍්‍රී ලංකාවේ පමණක් නොව විදේශීය ප‍්‍රකාශනවලටත් මෙරට පාරිසරික ප‍්‍රශ්න ගැන විග‍්‍රහයන් ලිවීමට ඇයට අවස්ථා ලැබුණා. ද ඉකොලොජිස්ට් The Ecologist නම් බි‍්‍රතාන්‍ය සඟරාවේ 1988 නොවැම්බර්-දෙසැම්බර් කලාපයේ මෙරට වෙරළ සංරක්‍ෂණ අභියෝග ගැන ලියූ ලිපියක ඇය මෙසේ කීවා: ‘‘ශ‍්‍රීලංකාවේ වෙරළ සුරකින්නට තැත් කරන විට පදිංචිකරුවන්ගේ අයිතිවාසිකම්, වෙරළ ව්‍යාපාරික කටයුතු වලට යොදා ගන්නා අයගේ අවශ්‍යතා, ධීවරයන්ගේ අයිතීන් වැනි සාධක රැසක් තුලනය කර ගත යුතු වෙයි. එක් සාධකයක් හෝ දෙකක් ගැන පමණක් සළකා බැලූවහොත් සියල්ල අවුල් ජාලයක් විය හැකියි.’’

මෙරට සොබා සම්පත් සුරැකීමට රාජ්‍ය ආයතන තැත් කරන විට එයට ආධාර හා උපදෙස් දීමට ඉදිරිපත් වන ආයතන ගැන බෙහෙවින් ප‍්‍රවේශම් විය යුතු බව ඈ නිතර අවධාරණය කළා. එසේම විදේශ ආයෝජකයන් දිරිමත් කිරීම ආර්ථිකයට අවශ්‍ය වුවත් ඒ සඳහා යම් ප‍්‍රමිතීන්, සීමාවන් හා නිසි නියාමනයක් අවශ්‍ය බවත් ඇය ලිපිවලින් නිතර සිහිපත් කළා.

ලෝක බැංකුව හා ආසියානු සංවර්ධන බැංකුව මානෙල්ගේ දැඩි විවේචනයට හසුවූ ආධාර ආයතන දෙකක්. රාජ්‍ය මාධ්‍ය ආයතනයක් හරහා ලක් රජයට ආධාර කරන මේ ආයතන ගැන ඇය ප‍්‍රශ්න කළේ තොරතුරුවලින් සන්නද්ධව හා ආවේගශීලි නොවූ තුලනාත්මක ලෙසින්.

රුක් රැක ගන්නෝ සංවිධානයේ මුල් කාලීන හා උද්‍යෝගිමත් සාමාජිකාවක් වුවත් ගස් බදා ගැනීමේ සරල සංකල්පවලින් ඔබ්බට යන දැක්මක් මානෙල්ට තිබුණා. 1980 දශකය අගදී ආන්දෝලනයට ලක් වූ මෙරට වන සංරක්‍ෂණ මහා සැළසුම (Forestry Master Plan) ඇය විස්තරාත්මකව විවේචනය කළා.

වැඩි වන ජනගහනයට හා ඉහළ යන ජන අපේක්‍ෂාවලට අනුව අපේ දැව අවශ්‍යතා ද කෙමෙන් වැඩි වන බව ඇය පිළිගත්තා. හැම ගසක්ම කැපීමට එරෙහි වනවා වෙනුවට ජෛව විවිධත්වය අතින් වැදගත් ගස් හා වනාන්තර නිසි ලෙස රැක ගනිමින් අන් ප‍්‍රදේශවලින් දැව සම්පත් වර්ධනය කිරීමේ අවශ්‍යතාවය ඇය පෙන්වා දුන්නා.

Manel Tampoe (front row left) and Nalaka Gunawardene (back row) during visit to Dhaka, Bangladesh, April 1992
Manel Tampoe (front row left) and Nalaka Gunawardene (back row) during visit to Dhaka, Bangladesh, April 1992

1992 අපේ‍්‍රල් මාසයේ මානෙල් සහ මා බංග්ලාදේශයේ ඩාකා අගනුවර පැවති පාරිසරික මාධ්‍යවේදය ගැන දකුණු ආසියාතික වැඩමුළුවකට සහභාගී වුණා. ඒ වන විට ඇගේ වයස 65යි. ඇයට වඩා බෙහෙවින් ලාබාල වූ මට එහි සම්පත්දායකයකු ලෙස ඇරයුම් කර තිබීම ඇය කිසි විටෙක ප‍්‍රශ්නයක් කර ගත්තේ නැහැ. ඉතා උද්‍යෝගිමත්ව හා සුහදව ඇය සියළු දෙනා සමග තොරතුරු බෙදා ගත් සැටිත්, ක්‍ෂෙත‍්‍ර චාරිකාවක නිරත වූ සැටිත් මට මතකයි.

ඩාකා වැඩමුළුවට මානෙල් ඉදිරිපත් කළේ දකුණු පළාතේ කිරිඳිඔය වාරි යෝජනා ක‍්‍රමය පිළිබඳ විචාරයක්. තනිකර ඉංජිනේරුමය හා තාක්‍ෂණික පදනමක් මත පිහිටා, පළාතේ ජනතාවගේ හා ගොවීන්ගේ උවමනාකම් හරිහැටි හඳුනා නොගෙන කරන්නට තැත් කළ ඒ සංවර්ධන ව්‍යාපෘතියෙ අසාර්ථකත්වය ඇය පෙන්වා දුන්නා. (ඉංජිනේරු හා ලේඛක ඞී. එල්. ඕ. මෙන්ඩිස් තර්ක කරන්නේ 1987-89 දකුණේ ප‍්‍රචණ්ඩත්වය උග‍්‍ර වීමට එක් සාධකයක් වූයේ කිරිඳිඔය මුල් කර ගෙන දියත් කළ අසාර්ථක ලූණුගම්වෙහෙර ව්‍යාපෘතිය බවයි. එය වෙනම කථා කළ යුතු වැදගත් මාතෘකාවක්.)

මානෙල්ගේ ලේඛන හා ගවේෂණ කටයුතු සංවර්ධන ක‍්‍රමවේද විචාරයට ලක් කිරීමට පමණක් සීමා වූයේ නැහැ. ලේක්හවුස් ආයතනයේ සේවය හමාර කළ පසු ඇය නිදහස් ලේඛිකාවක් ලෙස විවිධ තේමා හා විෂයයන් ගැන පුවත්පත් හා සඟරා ලිපිත් වඩා පර්යේෂණාත්මක නිබන්ධනත් රචනා කළා.

ඇගේ එකම පොත රචනා වූයේත් මේ කාලයේදී. කොළඹ විශාඛා විද්‍යාලයේ ආදිකර්තෘ සෙලස්තිනා ඩයස්ගේ චරිත කථාව හා දානපතිනියක ලෙස ඩයස් මැතිනියගේ භූමිකාව පිළිබඳ ඉතිහාසය 1977දී ඈ කෙටි පොතක් ලෙසට ගොනු කළා. සමාජ විද්‍යාඥයන්ගේ සංගමය (Social Scientists Association, SSA) විසින් පළ කරනු ලැබූ මේ පොතෙහි නව මුද්‍රණයක් 2013දී නිකුත් වුණා.

මානෙල් තවත් ගවේෂණාත්මක පොතක් ලියමින් සිටි බව ඇගේ දරුවන් කියනවා. එය මෙරට පරිසර සංරක්‍ෂණයේ ඉතිහාස කථාවයි. ‘‘විවිධ ඓතිහාසික පොත්පත් හා වාර්තා රැසක් කියවමින් ඇය කරුණු රැුස් කළා. පැරණි රජ දවස සිට පෘතුගීසි යුගය දක්වා පොත ලියා තිබුණා’’ යයි ඇගේ පුත් කීත් ජයවික‍්‍රම (ඇමරිකාවේ පැළෑටි අභිජනන විද්‍යාඥයෙක්) කියනවා.

මානෙල්ගේ සැමියා මිය ගිය පසු හා ඇගේ දරුවන් විදේශ ගතවූ පසුවත් ඇය වයස 80 වන තුරුම මෙරට පදිංචිව සිටියා. කැනඩාවේ ටොරොන්ටෝ නුවර වෙසෙන දියණිය ටාරා සමග සිටීමට ගියේ 2007දීයි. (ඇගේ අනෙක් දියණිය මොයිරා ඕස්ටේ‍්‍රලියාවේ සිඞ්නි නුවර වසනවා.)

2012 මැයි 26 වනදා මානෙල් තම්පෝ 85 හැවිරිදිව ටොරොන්ටෝහිදි මිය ගියා. ඇගේ අන්තිම කැමැත්තට අනුව දඹුල්ලේ පිහිටි පොපම් ශාකාගාරය (Popham’s Aboretum) නඩත්තු කිරිමට රුක් රැකගන්නෝ සංවිධානයට පරිත්‍යාගයක් ද කර ඇති බව දිගු කාලීන මිතුරියක් වූ ජෛවවිද්‍යාඥ කාමිනී විතාරණ කියනවා.

මානෙල්ට මවුබිමට ආදරයක් හා තමන්ගේ ම දැක්මක් හාතිබුණා. එහෙත් බොහෝ හරිතවේදීන් මෙන් ආවේගශීලිව කුමන්ත‍්‍රණවාදී කථා හේතුවේ නැහැ. ඒ වෙනුවට ඇය ඉවසීමෙන් හා සන්සුන්ව කරුණු ගවේෂණය කළා. ක්‍ෂෙත‍්‍රයට නිතර ගියා. වයස හා ජ්‍යෙෂඨත්වය නොතකා බුද්ධි ගවේෂණයේ යෙදුණා. සාමාන්‍ය ජනයාට කියවා තේරුම් ගත හැකි සරල බසින් සන්නිවේදනය කළා.

හරිතවාදය අන්තවාදයක් වීමේ අවදානමක් ඇති අද කාලයේ අප ආදර්ශයට ගත යුත්තේ මානෙල් තම්පෝ වැනි චරිතයි.

Manel Tampoe with grand-niece Amaya in Toronto,  circa 2010
Manel Tampoe with grand-niece Amaya in Toronto, circa 2010

 

සිවුමංසල කොලූගැටයා #145: තුන්වන ලෝකයට බුද්ධිමය පහන්ටැඹක් වූ ආචාර්ය ගාමිනී කොරෙයා

In this week’s Ravaya column (in Sinhala), I pay tribute to Dr Gamani Corea (1925 – 2013), Lankan economist, diplomat, international civil servant and public intellectual.

For an English version, see: When Worlds Collide #91: Gamani Corea – Champion of the Global South

Dr Gamani Corea - photo courtesy The Hindu
Dr Gamani Corea – photo courtesy The Hindu

අදීනව හා අභිතව, එහෙත් සියුම් හා උපක‍්‍රමශීලී ලෙසින් දේශීයත්වය හා අපේ අනන්‍යතාවය බාහිර ලෝකයට ප‍්‍රක්‍ෂෙපනය කරමින් සංකීර්ණ නූතන සමාජයේ තානාපති හා විදේශ සබඳතා පවත්වා ගැනීම ලොකු අභියෝගයක්.

ප‍්‍රතිපත්ති ගරුක හා ස්වාධීන විදේශ පිළිවෙතක් අනුගමනය කිරීම නිසා 1960-1970 දශකවලදී ශී‍්‍ර ලංකාවට ලෝකයේ බොහෝ රටවල ගෞරවාදරය හිමි වුණා. මෙරටින් බිහි වූ විද්වතුන් හා තානාපතිවරුන් අන්තර් රාජ්‍ය සංවිධානවල ඉහළ තනතුරු හොබවමින් උපන් රටට කීර්තියක් මෙන් ම දියුණු වන ලෝකයට ම මඟ පෙන්වීමක් ද ලබා දුන්නා. මේ අය අතර දැවැන්තයකු වූයේ මෑතදී මිය ගිය ආචාර්ය ගාමිනී කොරෙයා (1925-2013) යි.

කොරෙයාගේ අභාවයත් සමඟ ලෝකයේ නන් දෙසින් නිකුත් කෙරුණු ශෝක පණිවුඩ හා ගුණ සමරු දෙස බලන විට ඔහු කෙතරම් කීර්ති නාමයක් දිනා සිටියා ද යන්න පැහැදිලි වනවා.

මෙරට ඉසුරුබර ප‍්‍රභූ පවුලක ඉපිද, ලංකා විශ්ව විද්‍යාලයේත්, ඉනික්බිති ඔක්ස්ෆර්ඞ් හා කේම්බි‍්‍රජ් යන බි‍්‍රතාන්‍ය සරසවි දෙකෙහිත් උසස් අධ්‍යාපනය ලැබූ කොරෙයා, 1952-1973 වකවානුවේ ලක් රජයේ විවිධ ඉහළ තනතුරු හෙබ වූවා. ආර්ථික විශේෂඥයකු ලෙස අඵතින් නිදහස ලැබූ ලංකාවේ ජාතික සැළසුම් හා මූල්‍ය ප‍්‍රතිපත්ති සම්පාදනයට මූලික වූ ඔහු, පැවති හැම රජයක් යටතේ ම වෘත්තීය ගෞරවය රැක ගනිමින් සේවය කළා.

මෙරට නිල් – කොළ – රතු හැම දේශපාලන පක්‍ෂයක ම හොඳහිත හා ගෞරවය ලැබ සිටි ඔහු, දෙවරක් මෙරට මුදල් ඇමති ධූරය ප‍්‍රතික්‍ෂෙප කොට තිබෙනවා. (1965 ඩඞ්ලි සේනානායක රජයේ හා 1988 ජයවර්ධන රජයේ අවසාන වසරේ.)

ජාතික සැළසුම් මහ ලේකම් කාර්යාලයේ අධ්‍යක්‍ෂ, මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ අධ්‍යක්‍ෂ, හා සැළසුම් හා ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් වැනි තීරණාත්මක තනතුරු දැරීමෙන් පසුවයි ඔහු 1970 දශකයේ ජාත්‍යන්තර තලයට ප‍්‍රවේශ වූයේ. ඒ වන විට ඔහු ලක් රජය නියෝජනය කරමින් විවිධ එක්සත් ජාතීන්ගේ සම්මේලනවලට සහභාගි වී අත්දැකීම් රැසක් හිමි කර ගෙන සිටියා.

කොරෙයා යුරෝපීය රටවල් ගණනාවකට අනුයුක්ත කළ ලංකා තානාපති හැටියට 1973දී පත් කරනු ලැබුවත් එහි කටයුතු කළෙ මාස කිහිපයයි. වෙළදාම හා සංවර්ධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මේලනය (UNCTAD, http://www.unctad.org) නම් අන්තර්-රාජ්‍ය සංවිධානයේ මහ ලේකම් තනතුරට ඔහු තෝරා පත් කර ගනු ලැබුවා. එය එජා සංවිධාන ජාලයේ ඉහළ තනතුරක්. (පසු කලෙක ජයන්ත ධනපාල උප මහලේකම් තනතුරකට පත් වන තුරු එජා සංවිධානයේ ඉහළට ම ගිය ලාංකිකයා වූයේ ගාමිනී කොරෙයායි.)

Gamani Corea, Secretary General of UNCTAD (1974-1984)
Gamani Corea, Secretary General of UNCTAD (1974-1984)

1964දී ඇරැඹුණු UNCTAD සංවිධානය ජාත්‍යන්තර වෙළදාම, ආයෝජනය හා සංවර්ධනය ගැන ප‍්‍රතිපත්ති නිර්දේශ කරන, මේ ක්‍ෂෙත‍්‍ර අරභයා දියුණු හා දියුණු වන රටවල් අතර යම් තුලනයක් පවත්වා ගන්නට අරමුණු කළ ආයතනයක්. විශේෂයෙන් 1970 – 80 දශක දෙකේදී නව ලෝක ආර්ථික රටාවක් බිහි කිරීමේ උතුරු – දකුණ සංවාදවලදී UNCTAD තීරණාත්මක බුද්ධිමය හා තානාපති මෙහෙරවක් ඉටු කළා. එම මෙහෙවරේ නායකත්වය දැරූවේ 1974-1984 කාලය තුළ (එක පිට එක) ධුර කාල හතරක් එහි මහලේකම් තනතුර දැරූ කොරෙයායි.

ඉසුරුබර රටවල් සමඟ ගැටුම් ඇති කර නොගෙන, සාධාරණත්වය හා සමානාත්මතාවය සඳහා ආචාරධර්මීය කතිකාවතක් දිගට ම පවත්වා ගන්නට ඔහු සමත් වුණා. දියුණු රටවල් (ගෝලීය උතුර) හා දියුණු වන රටවල් (ගෝලීය දකුණ) අතර මේ දිගුකාලීන සංවාදය, සංවේදීතාවන් හා තුලනයන් රැසක් පවත්වා ගත යුතු ඉතා අසීරු කාරියක්.

ධනවත් රටවල මුදල් බලයට හා ප‍්‍රබල තානාපති බලපෑම්වලට නතු නොවී, එමෙන්ම සමහර රැඩිකල්වාදී දකුණේ රටවල ආක‍්‍රමණකාරී හා කලබල ප‍්‍රවේශයන්ට ද ඉඩ නොදී කාගේත් හොඳහිත රැක ගනිමින් වැඩ කිරීමට කොරෙයා අතිශයින් දක්‍ෂයකු වූ බව ඔහුගේ සමකාලීනයන් සිහිපත් කරනවා.

ඔහුට සමාන්තරව ජිනීවා නුවර ගෝලීය සංවාදවලට එකතු වූ තවත් ආර්ථික විශෙෂඥයෙක් නම් වත්මන් ඉන්දීය අගමැති ආචාර්ය මන්මෝහන් සිං. මේ දෙදෙනා අතර දශක ගණනක සමීප මිතු දමක් පැවතුණා.

කොරෙයා ගැන අනුස්මරණ නිවේදනයකින් වත්මන් UNCTAD කාර්යාලය කියා සිටියේ ‘‘ලෝකයේ දුගී රටවලට වඩාත් සාධාරණ, දිගු කාලීන සංවර්ධනයකට පිවිසීමට උපකාර වන විදියේ ගෝලීය ආර්ථික ප‍්‍රතිසංස්කරණ ඇති කිරීම සඳහාත්, ජාතීන් අතර වෙළදාමේදී එම රටවලට වඩාත් වාසි සහගත වන පරිසරයක් බිහි කරන්නටත් ඔහු ඉමහත් බුද්ධිමය දායකත්වයක් ලබා දුන්නා’’ කියායි.

ඔහුගේ ජිනීවා සගයකු වූ ජ්‍යෙෂ්ඨ ඉන්දීය පුවත්පත් කලාවේදී චක‍්‍රවර්ති රාඝවන් මෙසේ ආවර්ජනය කළා: ‘‘තුන්වන ලෝකයේ රටවලට ලෝක ආර්ථික ක‍්‍රමය තුළින් වඩාත් හිතකර තත්ත්වයන් උදා කිරීමට කුමක් කළ යුතු ද යන්න ගැන කොරෙයාට තියුණු හා දිගු කාලීන දැක්මක් තිබුණා. එය ආර්ථික විද්‍යා න්‍යායවලට සීමා නොවී, ප‍්‍රායෝගික හා උපායමාර්ගික මට්ටමට විහිදුණා. ඔහු ඇරැඹූ යම් කි‍්‍රයාදාමයන් ඵල දරන්නට වසර හෝ දශක ගණනක් ගත වුණා.’’

මෙබඳු දිගු කාලීන ප‍්‍රතිපත්තිමය විප්ලවයකට හොඳ උදාහරණයක් නම් අත්‍යවශ්‍ය ඖෂධ පිළිබඳ ක‍්‍රමවේදයක් බිහි කිරීමයි. ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ සමීපව කි‍්‍රයා කරමින්, බහුජාතික ඖෂධ සමාගම්වලට නතු නොවී එම ප‍්‍රතිපත්ති සැකසීමට ලාංකික ඖෂධවේදී මහාචාර්ය සේනක බිබිලේට අවශ්‍ය පසුබිම සකසා දුන්නේ ගාමිනී කොරෙයා සහ UNCTAD සංවිධානයයි. පසුව ආචාර්ය කුමාරයියා බාලසුබ‍්‍රමනියම් බිබිලේ නැවතු තැනින් ඒ ගමන ඉදිරියට ගෙන ගියේ ද UNCTAD හරහායි.

රාඝවන් සිහිපත් කරන හැටියට කොරෙයා කිසි විටෙක තදබල හෝ සැරපරුෂ ලෙස කථා කළේ නැහැ. අතිශයින් ආචාරශීලී හා සුහද ලෙස එහෙත් බුද්ධිමය ස්ථාවරයන්ගෙන් නොසැළී ඔහු ආන්දෝලනාත්මක සමුඵ සැසිවාරයන් හැසිර වූ බවත්, අමෙරිකාව හා යුරෝපීය ප‍්‍රජාව තුළින් මතුව ආ උද්දච්චකම ඔහු හීන්සීරුවේ නිශේධනය කළ බවත් රාඝවන් කියනවා.

මේ නිසා ධනවත් රටවලට කොරෙයා රිස්සුවේ  නැතත්, ඔවුන් පවා ඔහුගේ අවංක බව හා බුද්ධි මහිමය අගය කළා.

පසු කලෙක ලංකා තානාපති සේවයට ආලෝකයක් ගෙන දුන් විදේශ ඇමැති ලක්ෂ්මන් කදිරගාමර් මෙන් ම ගාමිනී කොරෙයාත් ඉංගී‍්‍රසි බස ව්‍යක්තව හා සියුම්ව හැසිරවීමට ගජ හපනෙක්. ඔහු කී සමහර වදන් කලක් ගත වීත් ලෝක ආර්ථික හා දේශපාලන තලයන්හි තවමත් ප‍්‍රතිරාවය වනවා.

මා ඇසූ එක් කොරෙයා කියමනක්: ‘‘තුන්වන ලෝකයේ බොහෝ රටවලට සැබැවින් සිටින්නේ එක ම එක මුදල් ඇමතිවරයෙක්. ඒ තමයි ලෝක බැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල!’’ (මේ ආයතන ද්විත්වය UNCTAD ප‍්‍රතිසංස්කරණවලට කැමති නොවී දිගින් දිගට ම කොරෙයා සමඟ වාදවලට පැටඵණා.)

පූර්ණකාලීන එජා සංවිධාන සේවයෙන් ඉවත් වූ පසුවත් ඔහු විවිධ රජයන්, ලෝක ආයතන හා සිවිල් සංවිධානවල ගරු තනතුරු හා උපදේශක තනතුරු රැසක් දරමින් තවත් කලක් ජිනීවා නුවර රැදී සිටියා. වයස 75 පමණ වනතුරු ඔහු සකි‍්‍රය වෘත්තීය දිවි පෙවෙතක් ගත කළා.

තිරසාර සංවර්ධනය ගැන ගෝලීය චින්තනයක් ගොඩ නැංවීමට 1970 හා 1980 දශකවල මුල් සංවාද රැසකට ද ඔහු සහභාගී වූවා. එබඳු සංවාදවලදී අන්ත හරිතවාදය මෙන් ම අන්ත ධනවාදයටත් එකඟ නොවී යම් සමබර ප‍්‍රවේශයන් වෙත ලෝකයේ ආණ්ඩු යොමු කළා. මේ මෙහෙවර නිසා 1992 බ‍්‍රසීලයේ රියෝ නුවර පැවති මිහිතල සමුඵවට ගිය ශී‍්‍ර ලංකා රාජ්‍ය දුත පිරිසේ විශෙෂ උපදේශකයකු ලෙස ඔහු පත් කරනු ලැබුවා.

ලෝක සංවිධානවල තනතුරුවලට පත් වන බොහෝ ලාංකිකයන් උඩගු හා උද්දච්ච බවින් පිරී යනවා. එහෙත් කොරෙයා හැමදාමත් ඉතා නිහතමානී, මිත‍්‍රශීලී චරිතයක් වුණා. මෙය මා අත්දුටුවේ වයස 24ක තරුණ මාධ්‍යවේදියකු ලෙස එවකට 65 හැවිරිදි ඔහුගෙන් සම්මුඛ සාකච්ඡාවක් ලබා ගන්නට ගිය විටදීයි. ඒ 1990 අග භාගයේදී.

හොංකොං නුවරින් පළ කෙරුණු Asia Technology කලාපීය විද්‍යා සඟරාවේ නියෝජිතයකු ලෙස මා ඔහු මුණ ගැසුණේ ආසියාවේ දියුණු වන රටවල ආර්ථික සංවර්ධනයට විද්‍යාව හා තාක්‍ෂණය කෙසේ යොදා ගත හැකි ද යන්න ගැන ඔහුගේ අදහස් විමසීමටයි. ඉන් පෙර කිසිදු හැඳුනුම්කමක් නොතිබුණත් මා සාදරයෙන් පිළිගත් ඔහු මහත් උද්‍යොගයෙන් හා සුහද ලෙසින් මා සමඟ කථා කළා. 1950දී ඇරැඹි කොළඹ ක‍්‍රමය (Colombo Plan) නම් කලාපීය සහයෝගිතා සංවිධානයට විද්‍යා හා තාක්‍ෂණය පිළිබඳ නව අරමුණක් ආරෝපනය කළ යුතු යයි ඔහු යෝජනා කළා.

විද්‍යාව හා තාක්‍ෂණය හරිහැටි ජාතික සංවර්ධනයට යොදා ගන්නා රටවල් අන් රටවල් අභිබවා ඉදිරියට යන බවත්, එමගින් සිය ජනයාගේ ජීවන මට්ටම් දියුණු කරන බවත් ඔහු පෙන්වා දුන්නා. අද මෙය ප‍්‍රකට කරුණක් වුවත් මීට දශක දෙක හමාරකට පෙර මෙබඳු දැක්මක් බොහෝ ආර්ථික විද්‍යාඥයන්ට තිබුණේ නැහැ.

එසේ ම මතුව එන දැනුම් සමාජය ගැන ඔහු අනාගතවේදීව කථා කළා. ඒ වන විට ඉන්ටර්නෙට් හා පරිගණක තිබුණේ මූලික හා සීමිත අවධියකයි. එහෙත් එහි විප්ලවකාරී විභවය හා වැදගත්කම ඔහු කල් තබා දුටුවා.

අපේ සංවාදය පැයක් පමණ පැවතුණා. එය අවසානයේ ඔහුගේ ඡුායාරූපයක් ගන්නට මට  ඕනෑ වුණා. එයට ඔහු එකඟ වූයේ තරමක දෙගිඩියාවකින්. ‘මගේ නාසය හුඟක් විශාලයි. හැම ඡායාරූපයක ම වැඩිපුර පෙනෙන්නේ එයයි!’ ඔහු සිනාසෙමින් කීවා. ‘එහෙත් ඔබේ ලොකු නාසය ජේ. ආර්. ගේ තරම් ප‍්‍රකට නැහැ නේද?’ මාත් සැහැල්ලූවෙන් උත්තර දුන්නා.

ගාමිණී කොරෙයා සමඟ මා කළ සාකච්ඡාවේ කොටස් 1990 නොවැම්බර් Asia Technology කලාපයේ පළවුණා. මා වැනි ලාබාලයකුට ගරුසරු ඇතිව සැළකූ මේ ජ්‍යෙෂ්ඨයා ඉන් පසුවත් දෙතුන් විටක් මට විවිධ සභාවලදී මුණ ගැසුණා. ඒ හැම විටක ම සුහදව සුවදුක් විමසන්නට තරම් ඔහු කාරුණික වුණා.

කථාවට වැටුණාම ඇත්තට ම ඔහු කුඩා දරුවකු මෙන් නිර්ව්‍යාජයි. ආඩම්බරයක් ඇත්තේ ම නැහැ. මේ ගතිගුණය ඔහු ඇසුරු කළ සැවොම සනාථ කරනවා. අඩුවෙන් පිරුණු කළගෙඩි මහත් ඝෝෂා නඟන අපේ සමාජයේ පිරුණු කළයක් වූ ගාමිනී කොරෙයා හැමදාමත් සැහැල්ලූවෙන් හා සිනාවෙන් කල් ගත කළා.

එහෙත් මා ඔහු හමු වූ අවසන් දිනයේ නම් ඔහු සිටියේ වික්ෂිප්තව හා ශෝකබරිතවයි. ටික කලකට මා ජිනීවා නුවරට අනුයුක්ත කොට සිටියා. මගේ ප‍්‍රධානියා වීටස් ප‍්‍රනාන්දු එනුවර ලාංකිකයන්ගේ අවුරුදු සාදයකට මා කැඳවා ගෙන ගියා. ඒ 1993 අපේ‍්‍රල් 23 වනදා. ලලිත් ඇතුලත්මුදලිගේ ඝාතනය පිළිබඳ ප‍්‍රවෘත්තිය අපට ලැබුණේත් එදා සවසයි.

ජිනීවාහි වසන ජ්‍යෙෂ්ඨතම ලාංකිකයකු ලෙස ටික වේලාවකට කොරෙයා එම සාදයට පැමිණියත්, ඔහු බෙහෙවින් සලිත වී සිටිනු මා දුටුවා. එතරම් කථාබහ කළේත් නැහැ. ජිනීවා සාදයේ සමහරුන් නටන ගයන අතරේ අප ටික දෙනකු සමඟ කොරෙයා නිසොල්මනේ බලා සිටියා.

නිදහසෙන් පසු ලංකාවේ ගමන්මග තීරණය කරන්නට සමීපව දායක වූ ඔහු මොකද්ද මේ අපේ රටට වෙන්නේ යන ප‍්‍රශ්නය මෙනෙහි කරන්නට ඇති. ඒ අතර සැතපුම් දහස් ගණනක් දුරින් පිහිටි කොළඹදී මගේ පරම්පරාවේ ඇත්තන්ගේ අනාගතය බෙහෙවින් අවිනිශ්චිත වී තිබුණා.

Dr Gamani Corea interviewed by Nalaka Gunawardene - Asia Technology, Nov 1990
Dr Gamani Corea interviewed by Nalaka Gunawardene – Asia Technology, Nov 1990