සිවුමංසල කොලු ගැටයා #363: සිනමාවෙන් ජීවන දර්ශනයක් සොයා ගිය ලෙස්ටර් ජේම්ස් පීරිස්

In my Ravaya column published in the printed edition of 6 May 2018, I look back at the long and illustrious career of Sri Lanka’s grand old man of the cinema, Lester James Peries (1919-2018) who died last week. As others assess his major contributions to the Sinhala cinema and in evolving an Asian cinema, I focus on his role as a public intellectual — one who wrote widely on matters of culture and society.

Lester James Peries quote

ලෙස්ටර් ජේම්ස් පීරිස් (1919-2018) සූරීන් රටත් ලෝකයත් හඳුනා ගත්තේ ආසියානු සිනමාවේ දැවැන්තයකු ලෙසයි. ඔහු ගැන කැරෙන ආවර්ජනා හා ප්‍රණාමයන් බොහෝමයක් හුවා දක්වන්නේත් එයයි.

එහි කිසිදු වරදක් නැතත්, ලෙස්ටර් සිනමාකරුවකු පමණක් නොවෙයි. පත්‍ර කලාවේදියකු ලෙස වෘත්තීය ජීවිතය ඇරැඹූ ඔහු ජීවිත කාලය පුරා ඔහුගේ මවු බස වූ ඉංග්‍රීසියෙන් ලේඛන කලාවේ යෙදුණා. ඔහුගේ සියුම් වූත් සංවේදී වූත් චින්තනය මේ ලේඛන තුළින් ද මැනවින් මතු වනවා.

ඉංග්‍රීසි බස ව්‍යක්ත ලෙසත්, හුරුබුහුටි ලෙසත් හැසිරවීමේ සමතකු වූ ඔහු පොදු උන්නතියට කැප වූ බුද්ධිමතකු (public intellectual) ලෙසත් අප සිහිපත් කළ යුතු බව මා සිතනවා. අද තීරු ලිපිය වෙන් වන්නේ ලෙස්ටර්ගේ මේ භූමිකා මදක් විමසා බලන්නයි.

2005දී ආසියානු සිනමා කේන්ද්‍රය ප්‍රකාශයට පත් කළ ‘ලෙස්ටර් ජේම්ස් පීරිස් – දිවිගමන හා නිර්මාණ’ (Lester James Peries: Life and Works) නම් ඉංග්‍රීසි පොතෙහි ලෙස්ටර්ගේ ජීවිතයේ මේ පැතිකඩ ගැන බොහෝ තොරතුරු අඩංගුයි.

එය රචනා කළේ සිනමාවටත්, කලා ක්ෂේත්‍රයටත් සමීපව සිටි මහාචාර්ය ඒ. ජේ. ගුණවර්ධනයි (1932 – 1998). එහෙත් අත්පිටපත පරිපූර්ණ කිරීමට පෙර ඔහු අකාලයේ මිය ගිය පසු එම කාරියට අත ගැසුවේ ඇෂ්ලි රත්නවිභූෂණ හා රොබට් කෲස් දෙදෙනායි.

Prof A J Gunawardana and Lester James Peries (from the cover of LJP: Life and Work)

මේ පොතට ලෙස්ටර් ගැන ශාස්ත්‍රීය ඇගැයීමක් ලියා තිබෙන්නේ සන්නිවේදන මහාචාර්ය විමල් දිසානායකයි. ලෙස්ටර් සිනමාවෙන් කළ හපන්කම් තක්සේරු කරන අතරම ඔහුගේ සමාජ විඥානය, සාංස්කෘතික චින්තනය හා පොදු අවකාශයේ දශක ගණනක් සැරිසැරූ බුද්ධිමතකු ලෙස කළ දායකත්වය ගැනත් එයින් විවරණය කැරෙනවා.

”පොදු උන්නතියට කැප වූ බුද්ධිමතකු ලෙස ලෙස්ටර්, පුවත්පත් ලිපි, රේඩියෝ සාකච්ඡා හා සජීව මහජන සංවාද හරහා සිනමාව, කලාව හා සංස්කෘතික තේමා ගැන නිතර සිය අදහස් ප්‍රකාශක කළා. වාරණය කලාවට කරන අහිතකර බලපෑම්, සිනමා සංරක්ෂණාගාරයක අවශ්‍යතාව හා ළමා සිනමා ධාරාවක් බිහි කිරීමේ වැදගත්කම ආදී විවිධ මතෘකා ගැන විවෘතව පෙනී සිටියා” යයි මහාචාර්ය දිසානායක කියනවා.

තවත් තැනෙක මහාචාර්ය විමල් දිසානායක මෙසේ ලියා තිබෙනවා. ”සිනමාකරුවකු ලෙස සිය නිර්මාණ හරහා ලෙස්ටර් තත්කාලීන සමාජ ප්‍රශ්නවලට ඇති තරම් අවධානය යොමු නොකළා යයි සමහරුන් කියනවා. එහෙත් එය නිවැරැදි හෝ සාධාරණ නැහැ. සිනමා අධ්‍යක්ෂවරයකු ලෙස ලෙස්ටර්ගේ මූලික තේමාව වී ඇත්තේ ලක් සමජයේ මධ්‍යම පාන්තිකයන්ගේ නැගීම හා පිරිහීම ගැනයි. මධ්‍යම පන්තියේ පවුල් ජීවිත අරගලයන්ට පසුබිම් වන සමාජ, ආර්ථීක හා මනෝ විද්‍යාත්මක පසුබිම ඔහු මැනවින් ග්‍රහනය කරනවා. ඒ හරහා රටේ සිදු වෙමින් පවතින සමාජයීය හා සාංස්කෘතික පරිනාමයන් ඔහු විචාරයට ලක් කරනවා. මෑත කාලීන සමාජයේ සෙමින් නමුත් සැබැවින්ම සිදු වන විපර්යාස ගැන ඔහුගේ සිනමා නිර්මාණවල යටි පෙලෙහි බොහෝ නිරීක්ෂණ තිබෙනවා.”

සිය චිත්‍රපටවල දේශපාලන හා සමාජ විචාරය සියුම්ව මතු කළ ලෙස්ටර්, පුවත්පත් ලිපි, විද්වත් සංවාද ආදියෙහි ඊට වඩා ඍජුව සමාජ ප්‍රශ්න විග්‍රහ කළා. එහිදීත් ඔහුගේ බස හැසිරවීම සරලයි. උපාහසය හා හාස්‍යය මුසු කළ ශෛලියක් ඔහුට තිබුණා.

උදාහරණයකට ඔහු වරක් කළ මේ ප්‍රකාශය සලකා බලන්න: ”1956දී රේඛාව චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට කලින් සිංහල චිත්‍රපට 42ක් නිපදවා තිබූණා. එහෙත් ඒ එකක්වත් සැබැවින්ම සිංහල වූයේත් නැහැ. හරිහමන් චිත්‍රපට වූයේත් නැහැ. ඇත්තටම ‘සිංහල සිනමාව’ 1947දී ලැබුවේ වැරැදි ආරම්භයක් (false start).”

දකුණු ඉන්දියානු චිත්‍රපට ගෙඩි පිටින් අනුකරණය කරමින්, මුළුමනින්ම චිත්‍රාගාර තුළ රූපගත කොට නිර්මාණය කෙරුණු එම චිත්‍රපට ගැන කිව යුතු සියල්ල මේ කෙටි විග්‍රහයෙහි ගැබ් වී තිබෙනවා!

මෙරට ජාතික මට්ටමේ සිනමා සංරක්ෂණාගාරයක අවශ්‍යතාව ගැන ලෙස්ටර් මුලින්ම කතා කළේ 1957දී. එය ඔහු ජීවිත කාලය  පුරා යළි යළිත් අවධාරණය කළත් තවමත් බිහි වී නැහැ. ලෙස්ටර්ට ප්‍රනාම පුද කරන සියලුම දේශපාලකයන් බලයේ සිටිද්දී ඒ පිළිබඳ සිය වගකීම් පැහැර හැරියා.

වාණිජ සිනමාව හා කලාත්මක සිනමාව යන ධාරා දෙකෙහි යම් සමබරතාවක් පවත්වා ගැනීමේ වැදගත්කමද ලෙස්ටර් නිතර මතු කළ අවශ්‍යතාවක්. වෙළඳෙපොළ ප්‍රවාහයන් වාණිජ සිනමාව නඩත්තු කළත් කලාත්මක සිනමාවට රාජ්‍ය හා දානපති අනුග්‍රහය ලැබිය යුතු බව ඔහු පෙන්වා දුන්නා.

1977දී පැවැති සම්මන්ත්‍රණයක කතා කරමින් ලෙස්ටර් කළ ප්‍රකාශයක් මහාචාර්ය විමල් දිසානායක උපුටා දක්වනවා: ”සිංහල සිනමාවට වසර 30ක් ගත වීත්, කලාත්මක සිනමා නිර්මාණ සඳහා කිසිදු දිරි ගැන්වීමක් ලැබී නැහැ. මේ තාක් දේශීය වූත් කලාත්මක වූත් සිනමා නිර්මාණ සිදු කර ඇත්තේ සිනමා මාධ්‍යයට මුළු හදවතින්ම කැප වූ හුදෙකලා සිනමාකරුවන් විසින් පමණයි. කලාත්මක චිත්‍රපට අධ්‍යක්ෂනය කරන තරුණ සිනමාවේදීන් එසේ කරන්නේ අසීමිත බාධක හා අභියෝග රැසක් මැදයි. බොහෝ විට ඔවුන්ට ඉතිරි වන්නේ සිනමා විචාරකයන් ටික දෙනකුගේ ප්‍රශංසා පමණයි. ඉනික්බිති ඊළඟ නිර්මාණය කරන්නට වසර ගණනාවක් ගත වනවා. එකී කාලය තුළ ඔවුන් දිවි රැක ගන්නේ කෙසේද යන්න ගැන රාජ්‍යය හෝ සමාජය සොයා බලන්නේ නැහැ. අපේ යයි කිව හැකි සිනමා සම්ප්‍රදායක් පියවරෙන් පියවර හෝ බිහි වන්නේ මේ ධෛර්යවන්ත, හුදෙකලා සිනමාකරුවන් කිහිප දෙනා අතින්.”

ඇත්තටම මේ විසම යථාර්ථය සිනමා දැවැන්තයකු වූ ලෙස්ටර්ටත් බලපෑවා. 1957 – 2006 වකවානුවේ වසර 50ක කාලයක් තුළ ඔහු නිර්මාණය කළේ වෘතාන්ත චිත්‍රපට 20ක් පමණයි. එක් චිත්‍රපටයක් හමාර කර ඊළඟ නිර්මාණය සඳහා මුදල් සොයා ගන්නට වසර ගණන් බලා සිටීමට සිදු වුණා.

එහෙත් ඔහු ඒ ගැන රජයන්ට හෝ සමාජයට දොස් කියමින්, හූල්ලමින් කාලය ගත කළේ නෑ. අභියෝග හා අභිනන්දන දෙකම උපේක්ෂාවෙන් බාර ගත්තා.

2002දී ඉන්දියානු සිනමාකරු බික්රම් සිං (Bikram Singh) අධ්‍යක්ෂණය කළ ‘පීරිස්ගේ ලෝකය’ (The World of Peries) නම් වාර්තා චිත්‍රපටයේ අවසානයේ ලෙස්ටර් මෙසේ කියනවා:

”මා අඩ සියවසක් පමණ කාලයක් තිස්සේ චිත්‍රපට හැදුවා. එය හරියට දිගු කාලීන වන්දනා ගමනක් වගේ. නමුත් මා සළකන හැටියට මගේ ජීවිතය සාර්ථකයි. මගේ සහෝදර ජනයා මට මහත් ආදරයෙන් සලකනවා. මගේ චිත්‍රපට හරහා මා ඔවුන්ට (හරවත්) යමක් ලබාදී ඇතැයි මා සිතනවා.”

Lester James Peries quote

2000දී ජනාධිපති චිත්‍රපට සම්මාන උළෙලේදී කතා කරමින් ලෙස්ටර් සිය ක්ෂේත්‍රය විග්‍රහ කළේ මෙහෙමයි: ”සිනමාව කියන්නේ කලාවක්, කර්මාන්තයක් වගේම ව්‍යාපාරයක්. මේ සාධක තුන තුලනය කර ගැනීම කිසිදු රටක ලෙහෙසි පහසු කාර්යයක් නොවෙයි. අපේ ලාංකික සිනමාවේ අර්බුදයට එක් ප්‍රධාන හේතුවක් වන්නේ ද මේ තුලනය සොයා ගත නොහැකි වීමයි.

”එහෙත් මා තවමත් බලාපොරොත්තු අත්හැර නැහැ. මගේ මුළු ජීවිතයම කේන්ද්‍ර වූයේ සිනමාව වටායි. 1952දී මා බ්‍රිතාන්‍යයේ සිට යළිත් මවු රටට පැමිණ සිනමාකරුවකු නොවූවා නම්, මා සදාකාලිකව පිටුවහලකු (exile) වී සිටින්නට තිබුණා. මගේ අනන්‍යතාව මා සොයා ගත්තේ මෙරටට පැමිණ චිත්‍රපට නිර්මාණය කිරීමෙන්. මේ රටේ තිබෙන අපමණක් ප්‍රශ්න හා අභියෝග මැද වුණත් මගේ රටේම යළිත් උපදින්නට මා තවමත් කැමතියි. ශ්‍රී ලංකාව වැනි රටක් තවත් නැහැ.”

ලෙස්ටර් එහිදී සිහිපත් කළේ ඔහුගේ ජීවිතයේ මුල් අවදියයි. පාසල් අධ්‍යාපනය හමාර කළ ඔහු වයස 20දී (1939) ‘ටයිම්ස් ඔෆ් සිලෝන්’ පත්‍රයේ කර්තෘ මණ්ඩලයට බැඳුණා. එවකට එහි කතුවරයා වූයේ ප්‍රකට ඉන්දියානු පත්‍ර කලාවේදී ෆ්‍රෑන්ක් මොරායස්.

වසර කිහිපයක්ම ලෙස්ටර් ටයිම්ස් පත්‍රයට කලා ක්ෂේත්‍රයේ ලිපි සම්පාදනය කළා. මේ අතරවාරයේ ඔහු නාට්‍ය කණ්ඩායම්වලටදල රේඩියෝවටද සම්බන්ධ වුණා.

ප්‍රකට චිත්‍ර ශිල්පියකු වූ අයිවන් පීරිස් (1921-1988) ලෙස්ටර්ගේ බාල සොහොයුරා. අයිවන් කලා ශිෂ්‍යත්වයක් ලැබ ලන්ඩන් නුවරට ගියේ 1947දී. ඒ සමඟ ලෙස්ටර් ද එහි ගියා.

ලන්ඩන් නුවර ‘ටයිම්ස් ඔෆ් සිලෝන්’ කාර්යාලයේ සේවය කරමින් බ්‍රිතාන්‍ය කලා ක්ෂේත්‍රය පිළිබඳ සතිපතා වාර්තා මෙරට පත්‍රයට ලියා එවූ ඔහු කෙටි චිත්‍රපට අධ්‍යක්ෂණයට යොමු වූයේ එහිදීයි.

ලෙස්ටර් අධ්‍යක්ෂනය කළ කෙටි චිත්‍රපටයක් නරඹා පැහැදීමට පත්ව සිටි බ්‍රිතාන්‍ය වාර්තා චිත්‍රපට අධ්‍යක්ෂ රැල්ෆ් කීන් (1902-1963) පසුව ශ්‍රී ලංකාවේ රජයේ චිත්‍රපට අංශයට බැදුණා. ලෙස්ටර් යළිත් මවු රටට ගෙන්වා ගැනීමට මූලික වූයේ ඔහුයි.

Lester James Peries (1919-2018) as a young writer and filmmaker

1952-55 වකවනුවේ ලෙස්ටර් රජයේ චිත්‍රපට අංශයේ වාර්තා චිත්‍රපට කිහිපයක් නිර්මාණය කිරීමට මුල් වුණා. එහෙත් නිලධාරිවාදය සමග පොරබැදීමෙන් හෙම්බත් වූ ඔහු, ටයිටස් ද සිල්වා (පසුව ටයිටස් තොටවත්ත) සමග එයින් ඉවත් වුණා.

එයින් පසු ඔවුන් රේඛාව චිත්‍රපටය (1956) නිපදවීමට සම්බන්ධ වූ සැටිත් එයින් මෙරට දේශීය සිනමාව නව මඟකට යොමු වූ සැටිත් අප දන්නවා.

කියැවීමෙන්, සංචාරයෙන් හා සමාජ අත්දැකීමෙන් බහුශ්‍රැත වූවත්, ලෙස්ටර් උගතකු ලෙස කිසි විටෙක පෙනී සිටියේ නැහැ. 1985දී කොළඹ සරසවියෙනුත්, 2003දී පේරාදෙණිය සරසවියෙනුත් ඔහුට ගෞරව ආචාර්ය උපාධි පිරිනැමුණා.

ඔහුගේ සමීපතයන් ඔහු දැන සිටියේ හාස්‍යයට ලැදි, ඉතා විනීත ගතිපැවතුම් සහිත එහෙත් දඟකාර මනසක් තිබූ අයෙක් ලෙසයි.

2003 (එනම් වයස 84දී) ගෞරව උපාධිය පිළිගනිමින් පේරාදෙණිය සරසවි උපාධි ප්‍රධානෝත්සවය අමතා කළ කථාවේදී ඔහු මෙසේ ද කීවා: ”සිනමා කර්මාන්තයේ තාක්ෂණය කෙමෙන් ඉදිරියට යනවා. එහෙත් චිත්‍රපට නිර්මාණය යනු හුදෙක් යන්ත්‍ර හා උපාංග සමග කරන හරඹයක් නොවෙයි. කෙතරම් දියුණු උපකරණ හා පහසුකම් තිබුණත් නිර්මාණශීලීත්වය නැතිනම් හොඳ චිත්‍රපට හදන්න බැහැ. එසේම නිර්මාණශීලීත්වය පමණක් සෑහෙන්නේත් නැහැ. මනුෂ්‍යත්වයට ගරු කරන, කතාවේ චරිත පිළිබඳව සානුකම්පිත වන, තමන් පිළිබිඹු කරන සමාජය හා එහි ජනයා ගැන ආදරයක් තිබෙන ජීවන දර්ශනයක් ද හොඳ සිනමාකරුවකුට අවශ්‍යයි. මේ ගුණාංගවලින් තොරව කෙතරම් තාක්ෂණිකව ඉහළ චිත්‍රපට හැදුවත් ඒවායේ හිස් බවක්, විකෘතියක් හෝ ජීවිතයට එරෙහි වීමක් හමු වේවි.”

”වසර 53ක් චිත්‍රපට හැදුවාට පසු මා නොදන්නේ මොනවාදැයි දැන් මා දන්නවා. එහෙත් මා දන්නේ මොනවාද යන්න නම් තවමත් මට පැහැදිලි නැහැ!”

(ලෙස්ටර්ගේ උධෘත සියල්ල මවිසින් අනුවාදය කර මේ ලිපියේ භාවිත කොට තිබෙනවා.)

Lester James Peries quote

Advertisements

සිවුමංසල කොලූගැටයා #219: දිවයිනේ හදවත සොයා ගිය යාත‍්‍රිකයා – නිහාල් ප‍්‍රනාන්දු

Nihal Fernando, 1927-2015

Nihal Fernando, 1927-2015

To describe Nihal Fernando (1927-2015) simply as a photographer leaves out so much more that he was: explorer, writer, conservationist and cultural historian. He excelled in each field without having had any formal training – he was entirely self-taught, and mostly self-funded in his lifetime of public interest work.

In fact, in a 2001 interview with journalist Malinda Seneviratne, Nihal claimed that he was not a technical photographer in the sense that he did not have a technical mind. “I only have an eye,” he said, adding that his one-time colleague Luxman Nadarajah was a far superior photographer.

Malinda thoughtfully added: “With this ‘eye’ Nihal saw and gave the world some wonderful images, serene and magical, richness imbued with delicate tones of the simplicity that he lives and appreciates. “This is a country that the gods made for themselves, it has tremendous potential, it has been ruined by politicians and the people who appointed them.”

Nihal has, in his photography, not just produced a variegated visual cartography of this ‘country of the gods’ he has in fact helped identify for us landmarks in the never ending journey of discovering who we are, where we came from and the more benevolent paths that we might choose to walk. Yes, he has shied away from its ugly side. ‘I only wanted to help people appreciate what we have. The ugly side I leave to the foreigners to photograph.’

Read the full profile: Nihal Fernando: the Lanka lover behind the lens by Malinda Seneviratne. The Island 15 April 2001.

I didn’t get to know Nihal at close range; we only met briefly on a few occasions – including at his last public exhibition, where he autographed two of his photos that I bought. In fleeting conversations, he urged me to pay attention to the unrelenting destruction of Lanka’s natural and cultural heritage.

In writing a tribute, I chose to look at what this extraordinary man did with his eyes, heart and mind –often (but not always) aided by his cameras and team. It appears in this week’s Ravaya column (published on 17 May 2015).

All photos courtesy Studio Times.

A way of life, at once serene and deep, captured by Nihal Fernando

A way of life, at once serene and deep, captured by Nihal Fernando

අප අතර සිටි ජ්‍යෙෂ්ඨතම හා ප‍්‍රතිභාපූර්ණ ඡායාරූප ශිල්පියකු වූ නිහාල් ප‍්‍රනාන්දු 2015 අපේ‍්‍රල් 20 වනදා 87 හැවිරිදිව මිය ගියා. දේශපාලන කලබල අතරේ බොහෝ මාධ්‍යවලට එය ප‍්‍රවෘත්තියක් වූයේ නැහැ.

නිහාල් ප‍්‍රනාන්දු (1927-2015) කැමරාවෙන් සිතුවම් නිර්මාණය කළ අයකු පමණක් නොවෙයි. ඔහුගේ භූමිකාව නන් අයුරින් විග්‍රහ කළ හැකියි.

ජෝර්ජ් කීට්, ලෙස්ටර් ජේම්ස් පීරිස්, පී. ඊ. පී. දැරණියගල ආදී දැවැන්තයන් මෙන් අපේ දිවයිනේ හා සභ්‍යත්වයේ අක්මුල් සොයා දිගු කාලීන ගමනක් ගිය කෙනෙක්. තනි ජාතියක් හෝ ආගමක් ඉක්මවා යන ලාංකිකත්වයේ ලකුණ පාදා ගන්නට තැත් කළ අයෙක්. තම උපන් රටට හා එහි සියලූ වැසියන්ට අසීමිත ලෙස ඇලූම් කළ සැබෑ දේශපේ‍්‍රමියෙක්. ගොවිතැනින් හා සොබා දහමින් පෝෂණය වූ අපේකම හා නූතනත්වය එකිනෙක ගැටෙන සැටි කල් තබා දැක අනතුරු ඇඟ වූ දාර්ශනිකයෙක්. මැකී යන අපේ උරුමයන් නව තාක්ෂණය හරහා දෘශ්‍ය සම්පත් මට්ටමින් රැක ගන්නට දායක වූවෙක්.

නිහාල් ප‍්‍රනාන්දු උපන්නේ 1927දී පුත්තලම් දිස්ත‍්‍රික්කයේ මාරවිල. ඔහුගේ ජීවිතයේ මුල් වසර කිහිපය ගෙවී ගියේ මුහුද අසබඩ තිබුණු ඔවුන්ගේ මුල් නිවහනේ. ඔහුගේ පියා නීතිඥයකු වූවත් මුදල් හඹා ගිය අයකු නෙවෙයි. මේ නිසා ඔවුන් ගත කළේ කිසිසේත් ඉසුරුබර නොවූ ඉතා සාමාන්‍ය ජීවිතයක්.

නිහාල්ට වයස හතේදී දරුවන්ට වඩා හොඳින් උගැන්වීමට පවුල කොළඹ පදිංචියට ගියා. එහෙත් අගහිඟකම් නිසා ඔහු පාසලකට ඇතුල් කළේ වයස අවුරුදු 10 පසුවීයි. ඒ වන තුරු ඔහුට ගෙදරදී උගන්වනු ලැබුවා. කොළඹ සාන්ත පීතර විද්‍යාලයට ඇතුලූ වූවත් තමා දිගටම පිටස්තරයකු හෙවත් නොගැළපෙන්නකු (misfit) ලෙස පාසල් ජීවිතය ගත කළ බව ඔහු පසුව ලියා තිබෙනවා.

1930 හා 1940 දශකවල කැමරා සුලබ නැහැග නිහාල් පාසල් වියේදීම කාගෙන් හෝ ඉල්ලා ගත් පරණ කැමරාවකින් ඡායාරූපකරණය තනිව උගත්තේ එයින් සුළු ආදායමක් උපයා ගන්නට. මීට අමතරව කොලූ ගැටයකු ලෙස ඔහු මාළුන් බෝ කිරීම, කුකුළන් ඇති කිරීම, හා පැළ බද්ධ කිරීම ආදිය ද කළේ “පොකට් මනී” සොයා ගැනීමට.

බයිසිකලයේ නැගී මිතුරන් සමග දුර ගමන් යාමට ද ඔහු පුරුදු වුණා. උපන් රටේ විසිතුරු මුල් වරට හඳුනා ගත්තේ මෙසේ ගිය සයිකල් සංචාරවලදී.

1940 ගණන්වල ටයිම්ස් ඔෆ් සිලෝන් පුවත්පත් සමාගමේ සේවයට බැඳුණු නිහාල් වඩාත් වෘත්තීය මට්ටමේ ඡායාරූප ශිල්පයට පිවිසුණා. එදිනෙදා පුවත් වාර්තාකරණය නොව ජන ජීවිතය, සොබා අසිරිය, සාංස්කෘතික උරුමය හා ලංකා දිවයින තුළ හමු වන අසීමිත විවිධත්වය සංවේදීව හසු කර ගැනීමට ඔහු පටන් ගත්තා. මුල් යුගයේ ඔහුගේ ඡායාරූපවලින් සමහරක් ටයිම්ස් හා ඔබ්සර්වර් වාර්ෂික සඟරාවලත් වෙනත් ප‍්‍රකාශනවලත් පළ වුණා.

තනිව හෝ සහෘදයකු සමග හෝ නිහාල් ප‍්‍රනාන්දු අපේ දූපතේ හැම අස්සක් මුල්ලක්ම ගවේශණය කළා. කලබලයකින් තොරව හා සංවේදීව තමා දුටු දසුන් ඡායාරූප ගත කළා.

Dawn at Sri Pada (Adam's Peak). Photograph by Nihal Fernando

Dawn at Sri Pada (Adam’s Peak). Photograph by Nihal Fernando

බොහෝ ඡායාරූප ශිල්පීන් යම් ක්ෂේත‍්‍රයකට විශේෂ අවධානය යොමු කරනවා. වන සතුන්, ගැමි ජීවිතය, කලා ශිල්ප, ජන සංස්කෘතිය ආදී වශයෙන්. එහෙත් සැබෑ ලෝකයේ මේ සියල්ල එකට මුසු වී කැලතෙනවා. වෙන් කරන්නට බැහැ. නිහාල් අපේ දිවයිනේ මේ හැම පැතිකඩක්ම කැමරාවෙන් ගවේෂණය කළා.

එමෙන්ම තමා ගත් හැම ඡායාරූපයක්ම නිසා ලෙස විස්තර කිරීමට හෙවත් කැප්ෂන් කිරීමටත්, එයට කදිමට ගැළපෙන දෙස් විදෙස් සාහිත්‍යමය උධෘතයන් සොයා ගන්නටත් ඔහු අති සමතෙක් වුණා.

1963දී ටයිම්ස් සමාගම සිය ස්ටූඩියෝව විකුණා දමන්නට තීරණය කළා. එහි අගය මනාව දත් නිහාල් අමාරුවෙන් වූවත් එය මිලයට ගත්තා. ස්ටුඩියෝ ටයිම්ස් (Studio Times Limited; www.studiotimes.net) වෙනම සමාගමක් ලෙස විකාශනය වූයේ එතැන් පටන්.

Photo by Nihal Fernando

Photo by Nihal Fernando

උපතින් කිතුනුවකු වූවත්, පවුල් පසුබිමෙන් ඉංගරීසියෙන් සිතන හා කතා කරන අයකු වූවත් නිහාල් ඉතා සමීපව ලාංකික ජන හදගැස්ම හා ජන විඥානය හඳුනා ගත්තා. ජෝර්ජ් කීට් හා ලෙස්ටර් මෙන්ම පෙර අපර දෙදිග සභ්යත්වයන් පිළිබඳව ගැඹුරු දැනුමක් තිබූ නිසා අධි තක්සේරුවකින්, අනවශ් සැරසිලි හා රලාපවලින් තොරව තමන්ගේ සංස්කෘතික උරුමය සැබැවින් තේරුම් ගන්නට ඔහු සමත් වුණා.

සංචාරයෙන්, කියැවීමෙන් හා සහජයෙන් ලද තියුණු බුද්ධියක් හා එයට රාමුවක් සැපයූ දැක්මක් ඔහු සතු වුණා. අසීමිත ධනවාදී තන්ත‍්‍රයක් තුළ නොතිත් ආශාවන් හඹා යන සමාජය දෙස ඔහු තිගැස්මෙන් හා කම්පාවෙන් බලා සිටියා.

1997දී ඔහු පළ කළ ශ්‍රී ලංකාව: මගේ චාරිකාව (Sri Lanka: A Personal Odyssey) නම් රූපමය පොතේ පූර්විකාවේ එක් තැනෙක ඔහු මෙසේ කියනවා: “බටහිර සමාජයන්හි සංවර්ධන ආකෘතිය ගෙඩි පිටින් අප අනුගමනය කළ යුතුද? ඔවුන්ගේ දියුණුවේ අතුරුඵල ලෙස අපරාධ වැඩි වීම, මත්ද්‍රව්‍ය, පාරිසරික විනාශය, සමාජ විසන්ධිවීම හා භෞතිකවාදයට පමණක් ලොල් වූ ජීවන රටාවක් බිහි වී තිබෙනවා. අපට මේ අන්ත කරා නොයන එහෙත් කෙමෙන් දියුණු වීමට හැකි විකල්ප මාර්ග ඇත්ද? ඒ මාර්ගවලට පිවිසීමට කුමක් කළ යුතුද? අයාලේ යන සංවර්ධනය අපේ සමාජය ප‍්‍රපාතයකට කැඳවා ගෙන යනු දැක මට නිහඬව සිටිය නොහැකියි. ටික දෙනකුගේ සුඛවිහරණය සඳහා බොහෝ දෙනකු කැප කරන මේ ක‍්‍රමයට එරෙහිව කලින් කලට ජන විරෝධය පුපුරා යන විට අප කුමක් කරමුද?”

ලක් දිවයින, එහි උරුමය හා ජනයා ගැන ඔහුගේ විග‍්‍රහය මෙන්ම අනාගත අවිනිශ්චිත බවද එහි සේයාරූ හා සීමිත වදන් අතරින් මැනවින් මතුවනවා.

“මගේ රටේ කලකට පෙර සරුසාර හා තිරසාර වූ මානව සභ්‍යත්වයක්ද එය පෝෂණය කළ සොබා දහමක්ද තිබුණා. මෝසම් වැසි කාලයන් දෙකකින් අවශ්‍ය තරමට ජලය ලැබුණා. වැසිදිය අපතේ නොයා නිසි සේ ප‍්‍රයෝජනයට ගන්නට දියුණු වාරි කර්මාන්ත අපේ පැරැන්නෝ සකස් කළා. වනයෙන් වැසුණු කඳු නිසා වියළි කාලයටවත් ගංඟා ඇළදොළ සිඳී ගියේ නැහැ. නැතිබැරිකම නොතිබුණු එසමයෙහි කලා ශිල්ප හා තාක්ෂණයන් දියුණු වුණා. ඉන්දියානු සාගරය තරණය කළ හැකි නැව් තැනීමට අපේ ඇත්තෝ දැන සිටියා.”

Eloquence in stone: Gal Vihara, Polonnaruwa, Sri Lanka. Photo by Nihal Fernando,

Eloquence in stone: Gal Vihara, Polonnaruwa, Sri Lanka. Photo by Nihal Fernando,

ශ‍්‍රී ලංකාව පුරා විසිර පැතිරුණු දහස් ගණනක් පුරා විද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථාන, වෙහෙර විහාර හා වෙනත් ඉදිකිරීම් සියැසින් දැක සිටි නිහාල් ඒ අතරින් වඩාත්ම අගය කළේ පොළොන්නරුවේ ගල් විහාරයයි. එය ගලින් බිහි කළ විස්කමක් බවත්, ලෝකයේ මහා පුදුමයන්ගෙන් එකක් බවත් ඔහු ප‍්‍රකාශ කළා.

‘‘ගල් වෙහෙර නිහඬව එහෙත් ව්‍යක්තව මූර්තිමත් කරන්නේ අපේ දිවයින හා එහි ජනයාගේ උරුමයට හා හැදියාවට තෝතැන්නක් සැපයූ, ආදරය, මෛත‍්‍රිය, ඉවසීම හා ලෝකාවබෝධය මත පදනම් වූ සාමයික දර්ශනයක්.’’ යයි ඔහු කියා තිබෙනවා.

සෙමින්, දැහැමින් හා සොබා සබැඳියාවෙන් ගොඩ නැගුණු ලාංකික ජන ජීවිතය 20 වන සියවසේ මැද වන විට නූතනත්වය විසින් ටිකෙන් ටික උඩුකුරු කිරීම ඇරඹුණා. අනවශ්‍ය ලෙස රොමෑන්ටික් නොවී එහෙත් තමා දකින දෙයට සත්‍යවාදී වෙමින් ඉක්මනින් මැකී යන ලාංකික ජන ජීවිතයේ විවිධ පැතිකඩ නිහාල් ප‍්‍රනාන්දු ඡායාරූප ගත කළා.

එසේ කරද්දී ඔහුට ජාති, ආගම්, පළාත් හෝ වෙන භේදයක් තිබුණේ නැහැ. බෙදුම්කාරක සමාජ සාධකවලට වඩා ගැඹුරු පොදු සාධකවලින් හා සහශ‍්‍ර ගණනක පොදු උරුමයකින් අපේ ජනයා බැඳී සිටිනු ඔහු දුටුවා.

ඔහු මනසින් ග‍්‍රහණය කර ගත් හා හදවතින් ස්පර්ශ කළ යථාර්ථය සේයාපටවල හසු කර ගත්තා. මැකී යන උරුමයක් අඩු කරමින් එසේ රැක ගන්නට ඔහු ජීවිත කාලය පුරාම කැප වී සිටියා.

Photo by Nihal Fernando

Photo by Nihal Fernando

නාගරිකව දිවි ගත කළත් නිහාල් ගොවිතැනට බොහෝ සේ ගරු කළාග අපේ පසින් හා දියෙන් බොහෝ දේ වැවිය හැකි බව පෙන්වා දෙන්නට 1965දී ‘Handbook for the Ceylon Farmer නම් පොත රචනා කළා. නිර්නාමිකව ඔහු ලියූ එය 2001දී ගොවි අත්පොත නමින් සිංහලයට පෙරලනු ලැබුවා.

ගොවිතැන හුදෙක් බව බෝග වවා ගැනීමට වඩා බොහෝ ඔබ්බට යන අපේ උරුමයක් බව ඔහු නිතර සිහිපත් කළා. එය ජන ජීවිතයේ රිද්මය, ආහාර නිෂ්පාදනය, ශ‍්‍රම ආයෝජනය, පණ ගැට ගසා ගැනීම මෙන්ම ජනයාගේ තනි හා සාමූහිත සිහිනයන්වලටද පාදක වන සාධකයක්.

ගොවිතැන හා ගොවිකම ගැන ඔහුගේ දාර්ශනික අදහස් මෙසේ අනුවාදය කළ හැකියි: “අතීතයේ සිටම බහුතරයක් ලාංකිකයන්ගේ ජීවිකාව හා ජීවිතය වූයේ ගොවිකමයි. මේ රටේ ආර්ථික සංවර්ධනයක් හා සාංස්කෘතික පුනරුදයක් සැබැවින්ම ඇති කිරීමට නම් ගොවිතැන හා ගොවිකම යනු ජනයා හා සොබාදහම අතිශයින් සමීපව බැඳ තබන රන් හුයක් බව සිහි තබා ගත යුතුයි. එය කඩා බිඳ දැම්මොත් ජනයා මෙන්ම සොබාදහම ද විනාශය කරා ඇදී යනු ඇති”

වෙනස් වන දිවයිනක් සේයාරූ ගත කළත්, වෙනස්වීම්වලට දෙස් දෙවොල් තබමින් සාප කරන තැනට ඔහු ගියේ නැහැ. අතීතය ගැන හා උරුමය ගැන බොහෝ ලාංකිකයන්ට වඩා ගැඹුරු දැනුමක් තිබුණ අතීතකාමය හෝ අන්තගාමී ජාතිකත්වයකට කිසිදා යොමුවූයේ නැහැ.

හැට වසරකට වැඩි වෘත්තීය ඡායාරූප ශිල්පීය ජීවිතය තුළ ඔහු ඡායාරූප ප‍්‍රදර්ශන ගණනාවක් ද උසස් ගණයේ ඡායාරූපමය පොත් කිහිපයක්ද අපට දායාද කළා. සමහර ඡායාරූපශිල්පී මුදලාලිලා මෙන් වර්ණ පින්තූර ගොනුවක් ඔහේ එක් තැන් කර පොත් ලෙසින් එළිදැක්වීමේ සිරිතක් නිහාල්ට තිබුණේ නැහැ. එක පොතකට ඇතුළත් කරන ඡායාරූප තෝරන්නට හා ඒ වටා හරවත් වදන් පෙළක් ලියන්නට ඔහු අවුරුදු ගණනක් ගත කළා.

වෙළඳපොළ ආර්ථිකය ගැන පෞද්ගලිකව ඔහුට රශ්න තිබුණත් සමහර සමාජ රියාකාරිකයන් මෙන් ආර්ථිකයට බැන වදිමින් ලෝකයේ කොහේවත් නැති සමාජවාදයක් ගැන සිහින දුටුවේ නැහැ. වෙනුවට වෙළෙඳ සමාගම්වලට වාණිජ මට්ටමේ ඡායාරූප සේවා ලබා දෙමින් සිය සමාගම පවත්වා ගෙන ගියා.

එයින් ලබන ලාබයෙන් කොටසක් ජාතික වශයෙන් වැදගත් දේ කරන්නට ඔහු වැය කළා. විදේශ ආධාර හෝ රජයේ අනුග්‍රහය කිසිදා පැතුවේත් නැහැ. ගත්තේත් නැහැ. ස්ටුඩියෝ ටයිම්ස්හි අති වැදගත් සමාජ සේවා ලෙස ජාත්‍යන්තර මට්ටමේ පොත් හරහා අපේ උරුමය හා අපේකම අපේ ඇත්තන්ටත් ලොවටත් පෙන්වා දුන්නා.

From the Studio Times bookshelf - time machines to explore a whole civilisation...

From the Studio Times bookshelf – time machines to explore a whole civilisation…

ඊට අමතරව දශක ගණනක් පුරා එකතු කළ, ඉතා ආදරයෙන් රැක බලා ගත් දහස් ගණනක ඡායාරූප එකතුවක් ස්ටුඩියෝ ටයිම්ස් සතුයි. මෙය කිසිදු රාජ්‍ය ආයතනයක් නොකළ ලෙසින් ජාතියේ දෘශ්‍ය දායාදය ඉදිරි පරම්පරා සඳහා සුරැකීමක්.

ඔහුගේ මුල්බස වූ ඉංග‍්‍රීසියෙන් නිහාල් පොත්පත් හා පුවත්පත් ලිපි ලියූ නිසා මෙරට සමහර සිංහල පාඨකයෝ ඔහු හඳුනන්නේ නැහැ. එසේම අප‍්‍රකටව හා නිහඬව තම වැඩ කර ගෙන ගිය නිසා ඉංග‍්‍රීසි පාඨකයන් අතර පවා සැවොම දන්නේ නැහැ.

දේශපේ‍්‍රමය, ජාතිමාමකත්වය හා ඉතිහාසය බදා ගෙන මොර දෙන බකපණ්ඩිතයන්ට නිහාල් ප‍්‍රනාන්දුට කිසිදා සමීප වන්නටවත් බැහැ. ටිකක් කතා කොට බොහෝ දේ කළ, පරපුරක් ඉතිරි කර ගිය නිහාල් ප‍්‍රනාන්දුගේ අපූර්ව ඡායාරූප අතරින් කිහිපයක් අද අප බෙදා ගන්නේ ඔහුට ප‍්‍රණාමයක් ලෙසින්.

Sri Lanka: A Personal Odyssey by Nihal Fernando (1997)

Sri Lanka: A Personal Odyssey by Nihal Fernando (1997)