සිවුමංසල කොලූගැටයා #196:මහා රාවණා පරයේ බිඳුණු නැවේ අබිරහස – 2

In this week’s Ravaya column (in Sinhala), published on 30 November 2014, I continue the story of a group of divers accidentally discovering a shipwreck while diving off the south-eastern coast of Sri Lanka close to the Great Basses Reef lighthouse. The discovery was made by Mike Wilson, who was variously talented as a diver, photographer, writer and filmmaker, along with collaborators Arthur C Clarke, Rodney Jonklaas and Hector Ekanayake.

This story is fully documented in Clarke’s The Treasure of the Great Reef, and also summarised here by Dr Kavan Ratnatunga:

http://lakdiva.com/coins/clarke/greatbasses/exhibit.html

See also: 26 Aug 2012: සිවුමංසල කොලූගැටයා #80: මහා රාවණා කොටුවෙන් රන් මුතු දුවට…

Treasure of the Great Reef, by Arthur C Clarke, 1964
Treasure of the Great Reef, by Arthur C Clarke, 1964

ශ‍්‍රී ලංකා දුපතට ගිණිකොන දෙසින් කිලෝමීටර් 10 ක් පමණ ඔබ්බෙන් පිහිටි මහා රාවණා කොටුව නම් ගල්පරය අවට මුහුදුබත් වී බිඳී ගිය නැවක් 1961 මාර්තුවේදී සොයා ගත් කථාවේ මුල් කොටස අප 2014 නොවැම්බර් 16 වනදා ඉදිරිපත් කළා.

මෙරට පුරෝගාමී කිමිදුම් හා සාගර ගවේෂකයන් අතර වූ රොඞ්නි ජොන්ක්ලස්, හෙක්ටර් ඒකනායක, මයික් විල්සන් හා ආතර් සී ක්ලාක් සම්බන්ධ වූ මේ ගවේෂණය මෙරට මුහුදු පුරාවිද්‍යාවේ ද ආරම්භයයි. අද එහි ඉතිරි කොටස.

නැව ගිලූණු තැන අවට මුහුදුපත්ලේ විසිරි රිදී කාසි දහස් ගණණක් හමු වුණා. මේ කාසි තොගය රැගත් නැව ආවේ කොහි සිටද? එහි ගමනාන්තය වූයේ කුමක්ද? මේ රිදී කාසිවල ලෝහමය වටිනාකමට වැඩි කෞතුක වටිනාකමක් ඇත්ද?

මෙබඳු ප‍්‍රශ්න රැසක් විල්සන්, ක්ලාක් හා කිමිදුම් සමඟයන්ට මතු වුණා. ඔවුන් මෙරට පුරාවිද්‍යාඥයන්, සාගර විද්‍යාඥයන් (එතෙර හා මෙතෙර) හා කාසි එකතු කරන්නන්ගේ ද සහාය ඇතිව මේ ප‍්‍රශ්න වලට පිළිතුරු ගවේෂණය කළා.

මුහුදුබත් වූ නැවක් කාලයාගේ ඇවෑමෙන් හඳුනාගත නොහැකි තත්ත්වයට පත්වනවා. කඩදාසි, රෙදි හා ලෝහවලින් තැනූ දේ දිරාපත්ව යනවා. මේ නිසා එබන්දක නිශ්චිත අනන්‍යතාවය නිර්ණය කිරීම අසීරු කාරියක්. කාසි සමීපව නිරික්සීමේදී පෙනී ගියේ ඒවා එකම අච්චුවේ බවයි. හැම එකකම සළකුණු හතරක් තිබුණා.

පසුව හඳුනාගනු ලැබුවේ ඒවා අරාබි ඉලක්කම් වලින් 1113 සංකේතවත් කරන බවයි. මේ කාසි නිපද වූ වර්ෂයද? අරාබි කැලැන්ඩරයේ වසර ගණන් කිරීම ඇරඹෙන්නේ ක‍්‍රි. ව. 622න්. එසේම අරාබි වර්ෂ හා සම්මත වර්ෂ අතර යම් වෙනසක් ද තිබෙනවා. මේ සියළු සාධක සැළකිල්ලට ගෙන ගණන් බැලූ විට 1113 යනු සම්මත (කි‍්‍රස්තු) වර්ෂ 1702 බව පෙනී ගියා.

Aurangzeb seated on the Peacock Throne
Aurangzeb seated on the Peacock Throne

කාසි ඉතිහාසඥයන් කීවේ මෙබඳු කාසි තැනීම කෙරුණේ 1658-1707 වකවානුවේ ඉන්දියාවේ සුරත් නගරයේදී බවයි. ඒ භාරතයේ වැඩි ප‍්‍රදේශයක පාලකයා වූ ඔරංසෙබ් (Aurangzeb) නම් මෝගල් අධිරාජයාගේ කාලයේ.

ඔරංසෙබ් අධිරාජයා වසර 49ක් සිහසුනේ සිටියා. ඔහු මෝගල් රාජ වංශිකයන් අතර නමක් ගත් අවසාන අධිරාජයායි. ඔහුගේ පියා ෂා ජහාන් ඉතිහාසගත වූයේ අඩු වයසින් මියය ගිය මුම්ටාස් මහාල් දේවිය වෙනුවෙන් ටාජ් මහලය ඉදිකිරීම නිසායි. මුම්ටාස් මහාල් ඔරංසෙබ්ගේ මවයි.

දැඩි ඉස්ලාමීය පාලනයක් සමස්ත භාරත ජනයා මත බලෙන් පැටවූ ඔරංසෙබ්ගේ මරණයෙන් පසු ජන විරෝධයන් මතු වී මෝගල් අධිරාජ්‍යය ඉක්මනින් බිඳ වැටුණා. කුඩා ප‍්‍රාන්ත රාජ්‍ය ලෙස බෙදී ඇණ කොටා ගත් භාරතය ආක‍්‍රමණය කොට අන්තිමේදී යටත් කර ගැනීමට බටහිර ජාතීන්ට වඩාත් පහසු වුණා.

ඔරංසෙබ්ගේ පාලන කාලයේ නැගෙනහිර ඉන්දීය සමාගම යටතේ බි‍්‍රතාන්‍ය වෙළඳුන් ඉන්දියාවේ ගනුදෙනු කරමින් සිටියා. භාරතය හා යුරෝපීය රාජ්‍ය අතර ජාත්‍යන්තර වෙළඳාම කලෙක සිට කෙරුණු අතර ඒ වන විට ඉන්දියානු සාගරයේ ආධිපත්‍යයට ලන්දේසි හා ඉංග‍්‍රීසි ජාතිකයෝ තරග කරමින් සිටියා.

1702 වන විට ලංකාවේ වෙරළබඩ ප‍්‍රදේශ පාලනය කළේ ලන්දේසින්. ඔවුන්ට සම්බන්ධ වූ ඕලන්ද ඉන්දියා සමාගමක් ද තිබුණා. ඉන්දියාව හා ලංකාව අතර මේ කාලය වන විට නාවුක සබඳතා පැවතියේ ලන්දේසින් හරහායි.

මහා රාවණා කොරල්පරයේ මුහුදුබත් වූ නැව, ලංකාවට ආ ගිය නැවක් ද? නැතහොත් දුපත වටා යාත‍්‍රා කරමින් ඉන්දියාවේ සිට පැමිණි හෝ නික්ම ගිය නැවක්ද? මේ ප‍්‍රශ්නය අපේ සාගර ගවේෂකයෝ මතු කළා.

තමන් මුහුදුපත්ලෙන් සොයා ගත් වස්තුන්ගේ ඉතිහාසය ගවේෂණය කරන අතර රටේ නීතියට අනුකූල වන්නට ද ඔවුන් වග බලා ගත්තා. ලංකා රේගු දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකුට කාසි හා අන් වස්තූන් පෙන්වූ විට ඔහු කීවේ මේවා මුහුදෙන් රට තුළට ගෙන ඒම හරහා කිසිදු නීතියක් හෝ රෙකුලාසියක් කඩ වී නැති බවයි.

Dr Charles E Godakumbura
Dr Charles E Godakumbura

ඊලඟට ක්ලාක් හා මිතුරෝ එවකට සිටි පුරාවිද්‍යා කොමාරිස් ආචාර්ය චාල්ස් ගොඩකුඹුරට සියළු දේ ඉදිරිපත් කළා. මේවා සොයා ගත් මුහුදුපත්ලේ ප‍්‍රදේශය තව දුරටත් ගවේෂණයට අවශ්‍ය අවසරය කොමාරිස්වරයා ඔවුන්ට ලිඛිත බලපත‍්‍රයක් ලෙස ලබා දුන්නා. ‘‘හැම දෙයක්ම පොතේ හැටියට කිරීමටත්, බලධාරින් දැනුවත් කර තිබීමටත් අපට අවශ්‍ය වුණා’’ යයි ක්ලාක් තම පොත්වල පැහැදිලිව ලියා තිබෙනවා.

වඩාත් සංවිධානාත්මක කිමිදුම් ගවේෂණයකට මහා රාවණා කොරල්පරයට ආපසු යන්නට මේ මිතුරු පිරිසට තමන්ගේම බෝට්ටුවක ඕනෑකම තදින් දැනුණා. (මේ දක්වා ඔවුන් කළේ කුලියට ගත් කුඩා බෝට්ටුවක හෝ ප‍්‍රදීපාගාරයක බෝට්ටුවේ ගමන් කිරීමයි.) ඒ සඳහා ගැලපෙන බෝට්ටුවකට අඩු තරමින් අමෙරිකානු ඩොලර් දස දහසක් (10,000)වත් අවශ්‍ය වුණා. මේ මුදල හම්බකර ගැනීමේ අරමුණින් සිංහල වෘතාන්ත චිත‍්‍රපටයක් නිපදවීමට මයිකල් විල්සන් යෝජනා කළා.

දිය යට දර්ශන රැගත් මුල්ම ලාංකික වෘතාන්ත චිත‍්‍රපටය වූත්, වර්ණයෙන් මුළුමනින්ම තැනුනු පළමුවන සිංහල චිත‍්‍රපටය වූත් ‘‘රන්මුතුදුව’’ චිත‍්‍රපටය 1961-62 වකවානුවේ නිපදවනු ලැබුවේ ඒ අනුවයි. එහි කථා රචකයා, කැමරාකරුවා හා අධ්‍යක්‍ෂවරයා වූයේ මයික් විල්සන්. එයට වැය වූ වියදමෙන් කොටසක් දුන්නේ ක්ලාක්.

1962 අගෝස්තුවේ මුල් වරට මහජන ප‍්‍රදර්ශනය ඇරඹුණු රන්මුතුදුව බෙහෙවින් ජනප‍්‍රිය වුණා. එහි ආදායම් වාර්තාව වසර ගණනාවක් යන තුරු කිසිදු චිත‍්‍රපටයක් මගින් සම කෙරුණේ නැහැ. මේ ආයෝජනයෙන් ලැබුණු ලාබය නිසා තමන්ට ඕනෑ වූ බෝට්ටුව මිලට ගන්නත්, 1963දී මහා රාවණා කොරල්පරයට ආපසු යන්නත් මිතුරන්ට හැකි වුණා.

Peter Throckmorton
Peter Throckmorton

මෙවර ගවේෂණයට ඔවුන් හා එකතු වූයේ මුහුදුබත් වූ නෞකා ගවේෂණයේ විශේෂඥයකු වූ පීටර් ත්‍රොක්මෝට්න් (Peter Throckmorton, 1928-1990) තුර්කි වෙරළේ ගෙලිඩොන්යා ස්ථානයට ඔබ්බෙන් වසර 3,200කට පෙර මුහුදුබත් වූ ඉපැරණී නෞකාවක් ගවේෂණය කිරීම නිසා ඔහු ලෝක ප‍්‍රකටව සිටියා.

ඔහු විශේෂඥ මග පෙන්වීම යටතේ මෙවර මුහුදුබත් වූ නැවේ ඉතිරිව තිබූ ලී කොටස්වලින් සාම්පල් ද තවත් නටඹුන් ද ප‍්‍රවේශමින් එකතු කරනු ලැබුවා. කොරල් බැඳීම නිසා කුට්ටි බවට පත්ව තිබූ තවත් රිදී කාසි රැසක් ද හමු වුණා.

සියවස් ගණනක් මුහුද යට තිබී යළිත් මතු පිටට ගෙනෙන ලෝහමය, ලී හා වෙනත් ද්‍රව්‍ය නිසි ලෙස වහා සංරක්‍ෂණය කළ යුතුයි. නැතිනම් වාතයට නිරාවරණය වීම නිසා ඒවා ඉක්මනින් ඛාදනය වී විනාශ වනවා. මේ නිසි පියවර ගැනීමට ත්‍රොක්මෝට්න් සමත් වුණා.

Dr P E P Deraniyagala
Dr P E P Deraniyagala

එසේම සොයා ගත් සියළු වස්තුන් විස්තරාත්මකව ලයිස්තුගත කිරීම හා ඡායාරූපගත කිරීමත්, පසුව සමස්ත ගවේෂණය ගැන ශාස්ත‍්‍රීය මට්ටමේ වාර්තාවක් ලිවීමත් ත්‍රොක්මෝට්න්ගේ මූලිකත්වයෙන් සිදු වුණා.

ත්‍රොක්මෝට්න් ලංකාවෙන් පිටත්ව යන්නට පෙර කිමිදුම් කණ්ඩායම තම සොයා ගැනීම් සමග ජාතික කෞතුකාගාරයේ එවකට අධ්‍යක්‍ෂ ආචාර්ය පී. ඊ. පී. දැරණියගල හා පුරාවිද්‍යා කොමසාරිස් ආචාර්ය චාල්ස් ගොඩකුඹුර මුණ ගැසී වාචික වාර්තාවක් ද ඉදිරිපත් කළා.

‘‘අපේ අපේක්‍ෂාව මේ සොයා ගත් සමුද්‍ර පුරාවස්තු යම් දිනෙක කොළඹ කෞතුකාගාරයේ සදාකාලික ප‍්‍රදර්ශනයට තබනු ඇත කියායි. මුළු ඉන්දියානු සාගරයේම සොයා ගත් මුල්ම නිධාන නෞකාව ලෙස මෙය සුවිශේෂී තැනක් ගන්නවා’’ යයි ක්ලාක් සිය 1964 පොතේ ලියා තැබුවා.

1963 රන්මුතු බෝට්ටුවේ නැගී මහා රාවණා කොරල්පරය අවට මුහුද ගවේෂණය කළ පසු මේ පුරෝගාමී කිමිදුම්කරුවන් කණ්ඩායමක් ලෙස නැවත එහි ගියේ නැහැ. මේ ගවේෂණයේ විස්තර රැගත් ක්ලාක්ගේ The Treasure of the Great Reef නම් වූ පොත 1964දී මුල්වරටත් (වැඩි ඡායාරූප සමග) 1974දී දෙවන වරටත් ඉංග‍්‍රීසියෙන් පළ වුණා.

මහා රාවණා කොරල්පරයේ මුහුදු බත් වූ නැව හමුවන අන්දම ගැන පීටර් ත්‍රොක්මෝටන් විසින් අඳින ලද සිතියම් ද එහි තිබෙනවා. මේ ඉඟි ඔස්සේ පසු කළෙක එහි කිමිදීමේ ගිය දෙස් විදෙස් කිමිදුම්කරුවෝ හැකි අන්දමින් රිදී කාසි හා වෙනත් නැවේ තිබූ කුඩා භාණ්ඩ සොයා ගොඩබිමට ගෙන ආවා.

එසේ හමු වූ සමහර රිදී කාසි තවමත් පැරණි කාසි එකතු කරන අය අතර හුවමාරු වනවා. ශ‍්‍රී ලංකා පැරණි කාසි සංගමයේ සභාපති ආචාර්ය කාවන් රත්නතුංග ද විවෘත වෙළඳපොලෙන් මෙබඳු කාසි කිහිපයක් මිලට ගෙන තිබෙනවා. කාසි ගැන ඡායාරූප හා විස්තර ඔහුගේ වෙබ් අඩවියේ බලා ගත හැකියි. http://lakdiva.com/coins/clarke/greatbasses/exhibit.html

සුරත් නගරයේ තැනූ රිදී කාසි ගැන ඉන්දියානු වාර්තා අධ්‍යයනයෙන් කාවන් කියන්නේ මහා රාවණා පරයේ මුහුදුබත් වූ නැවේ ගෙන ගිය කාසි 1702 මැයි මාසයේ පමණ තනන්නට ඇති බවයි. එසේ නම් ඒවා තනා සති කිහිපයක් තුළ යම් තැනකට යැවීමට නැව් ගත කරන්නට ඇති. නැව අනතුරට පත්ව ගිලූණේ 1702 වසරේම මැද හෝ අග යයි කාවන් අනුමාන කරනවා.

ශ‍්‍රී ලංකාවේ මුහුදු පුරා විද්‍යා ගවේෂණ ඇරැඹෙන්නේ මහා රාවණා පරයේ මුහුදුබත් වූ නැව ක්ලාක්, විල්සන් ඇතුළු කිමිදුම්කරුවන් සොයා ගැනීම සමගයි. මෙය තනිකරම පෞද්ගලික මට්ටමේ උත්සාහයක් වුවත් විශේෂඥ පීටර් ත්‍රොක්මෝටන් සම්බන්ධ කර ගැනීම හරහා ශාස්ත‍්‍රීය මට්ටමෙන් අදාල ස්ථානය සිතියම්ගත කිරීම හා ලේඛණගත කිරීම සිදු වුණා. මේ පුරෝගාමී මෙහෙවර මෙරට මුහුදු පුරා විද්‍යා ක්‍ෂෙත‍්‍රයේ දැන් නියැලී සිටින පර්යේෂකයන් සිහිපත් කරනවා. අදාල රාජ්‍ය ආයතනවල නිල වෙබ් අඩවිවල ද සඳහන් කැරෙනවා.

බිඳුණු නැව සොයා ගෙන අඩ සියවසකට පසුවත් එහි අනන්‍යතාවය තවමත් හෙළිදරව් වී නැහැ. ඉන්දියානු සාගරයේ එම වකවානුවේ සැළකිය යුතු තරමින් නැව් ගමනාගමනයක් පැවතුණා. එසේම ශ‍්‍රී ලංකා දුපත වටා අනතුරට පත්ව මුහුදුබත් වූ නැව් විශාල සංඛ්‍යාවක් තිබෙනවා. ඒ හැම එකක්ම මුහුදුපත්ලේ තිබෙන තැන සොයාගෙන ඒවායේ ඉතිහාසය තහවුරු කර ගෙන ද නැහැ. තවමත් දශක දෙක තුනකට නොවැඩි වූ ඉතිහාසයක් ඇති අපේ මුහුදු පුරාවිද්‍යා ගවේෂණවලට අනාවරණය කර ගන්නට බොහෝ දේ තිබෙනවා.

මේ මුහුදුබත්වූ නැව සොයා ගත්තේ තනිකරම මයික්ගේ තීක්‍ෂණ ඇස නිසා බව ක්ලාක් කියනවා. ‘‘දිය යට පෙනුම කොහොමටත් සීමිතයි. දිලිසෙන යමක් නෙත ගැටුණු මයික්ගේ කුතුහලය ඇවිස්සුණා. එය නොගැඹුරු මුහුදු පත්ලේ කුඩා කාලතුවක්කුවක් බව දුටු විට එතැන නැවක් ගිලී ඇති බව ඔහු සැනෙකින් වටහා ගත්තා. වැලි හා කොරල් වලින් වැසුණු ගොඩැලි කිහිපයක් පමණක් තිබූ මෙබඳු තැනක් කිමිදුම්කරුවන්ගෙන් සියයට 99ක අවධානයට ලක් වන්නේ නැහැ.’’

Coins from the Great Basses shipwreck
Coins from the Great Basses shipwreck

සමස්ත අත්දැකීම පසු කලෙක ආවර්ජනය කරමින් ක්ලාක් මෙසේ ලියුවා. ‘‘මුහුදේ කිමිදෙන බොහෝ දෙනකුට මුහුදුබත් වූ නැවක් හමුවේය යන පැතුම තිබෙනවා. ඉඳහිට කිමිදුම්කරුවකුට මෙතෙක් සොයා නොගත් එබඳු බිඳුණු නැවක් හමු වුවත් එබන්දක රන් රිදී කාසි තිබෙන්නේ කලාතුරකින්. මෙබඳු දුර්ලභ අත්දැකීමක් අපට අහම්බෙන් ලැබුණා.’’

මේ බිඳුණු නැවෙන් ගොඩගත් එක් රීදී කාසි ගොනුවක් මෙරට බලධාරින්ගෙ අනුදැනුම හා අවසරය ඇතිව 1960 ගණන්වලදී ක්ලාක් විසින් අමෙරිකානු ස්මිත්සෝනියන් කෞතුකාගරයට පරිත්‍යාග කරනු ලැබුවා. එය කලක් එහි මහජන ප‍්‍රදර්ශනයට තැබුණු අතර දැන් සුරක්‍ෂිතව ගබඩා කර තිබෙනවා. පර්යේෂකයන්ට නිරික්සිය හැකි පරිදි.

මේ කාසි තොගය යළි මෙරට ගෙන ආ යුතු යැයි ඇතැම් දෙනා කියතත් කාවන් රත්නතුංග අවධාරණය කරන්නේ ස්මිත්සෝනියන් වැනි ආරක්‍ෂිත තැනකම එය දිගටම තිබීම වඩාත් උචිත බවයි. (කෞතුකගාරවල දැනට තියෙන අපේ වටිනා කෞතුක වස්තු පවා රැක ගන්නට බැරි පසුබිමක් තුළ මෙය සාධාරණ තර්කයක්.)

ගවේෂණයට හවුල් වූ කිමිදුම්කරුවන්ගෙන් අද (2014 නොවැම්බර්) වන විට ජීවත්ව සිටින්නේ හෙක්ටර් ඒකනායක පමණයි. රොඞ්නි ජොන්ක්ලාස් 1989දීත්, මයික් විල්සන් 1996දීත්, ආතර් සී. ක්ලාක් 2008දීත් මිය ගියා. ඔවුන් එක් අයකුටවත් බිඳුනු නැවේ අනන්‍යතාවය දැන ගන්නට ලැබුණේ නැහැ.

1960 දශකයට වඩා මේ වන විට මුහුදු පුරාවස්තු ගැන අවබෝධයක් හා ඇගයීමක් මෙරට ඇති වී තිබෙනවා. දශක ගණනාවක් තිස්සේ ගොඩබිම ගවේෂණයට පමණක් සීමාවී තිබූ අපේ පුරාවිද්‍යා පර්යේෂණ 1980 දශකයේ පටන් මුහුදු පුරාවිද්‍යාත්මක අධ්‍යයනට හා සංර්ක්‍ෂණයට ද යොමුවී තිබෙනවා. මෙය සිදු වූ හැටි වෙනම කථා කළ යුතුයි.

See also:

Ceylon and the Underwater Archaeologist. By Arthur C. Clarke May 1964 University of Pennsylvania Museum.

The Maritime Archaeology Unit (MAU), Central Cultural Fund, Sri Lanka

Sri Lanka Coastguard: What is Maritime Archaeology?

Peter Throckmorton, wearing a boiler suit to protect him from the sharp coral, chipping out growth which covered the larger bronze gun, to his right.
Peter Throckmorton, wearing a boiler suit to protect him from the sharp coral, chipping out growth which covered the larger bronze gun, to his right.

සිවුමංසල කොලූගැටයා #194: මහා රාවණා කොරල් පරයෙන් හමු වූ අබිරහස් නැව – Part 1

In this week’s Ravaya column (in Sinhala), published on 16 November 2014, I recount how a group of divers accidentally discovered a shipwreck while diving off the south-eastern coast of Sri Lanka close to the Great Basses Reef lighthouse. The discovery was made by Mike Wilson, who was variously talented as a diver, photographer, writer and filmmaker, who had settled down in Ceylon in 1956 at the same time as his collaborator Arthur C Clarke.

This story is fully documented in Clarke’s The Treasure of the Great Reef, and also summarised here by Dr Kavan Ratnatunga:

http://lakdiva.com/coins/clarke/greatbasses/exhibit.html

See also: 26 Aug 2012: සිවුමංසල කොලූගැටයා #80: මහා රාවණා කොටුවෙන් රන් මුතු දුවට…

L to R - Arthur C Clarke, Mike Wilson
L to R – Arthur C Clarke, Mike Wilson

වසර 52ක් තිස්සේ (1956 – 2008) ශ‍්‍රී ලංකාවේ පදිංචිව සිටි, මෙරටට මහත් සේ ඇලූම් කළ ආතර් සී. ක්ලාක් ශ‍්‍රී ලංකාව ගැන දේශාටන පොත් කිහිපයක් රචනා කළා. මේ පොත්වල අන්තර්ගතය වූයේ දුපත් තුළත්, එය අවට මුහුදේත් ක්ලාක් හා ඔහුගේ මිතුරන් කළ ගවේෂණ ගැන අත්දැකීම් හා ඡුායාරූපයි. ඉන්දියානු සාගරයේ පුරෝගාමී කිමිදුම්කරුවකු වූ ක්ලාක් ලියූ මේ පොත් ගැන මෙරට ඉංග‍්‍රීසි පාඨකයන් පවා එතරම් දැනුවත් නැහැ. මෑතක් වන තුරු මේ පොත් සිංහලට පෙරළී තිබුණේ ද නැහැ.

කල් ගත වී හෝ මේ හිදැස පුරවන්නට මනෝ ප‍්‍රනාන්දු ලේඛකයා ඉදිරිපත් වී සිටිනවා. ක්ලාක් ශ‍්‍රී ලංකාව ගැන ලියූ මුල් ම චාරිකා ග‍්‍රන්ථය වූ The Reefs of Taprobane (1957) ඔහු 2011දී ‘ලක්දිව සාගර පත්ල’ නමින් පරිවර්තනය කළා. එයට ලැබුණු පාඨක ප‍්‍රතිචාර යහපත් වූ බැවින් 1964දී ක්ලාක් ලියූ The Treasure of the Great Reef නම් වූ පොත ‘‘මහා ගල්වැටි පරයේ මුහුදුබත් නිධානය’’ නමින් දැන් ඔහු සිංහලට පෙරළා තිබෙනවා. මේ දෙකම සූරිය ප‍්‍රකාශනයි.

බි‍්‍රතාන්‍ය ජාතික ආතර් ක්ලාක් හා ඔහුගේ කිමිදුම් සගයා වූ මයික් විල්සන් යන දෙදෙනාම 1956දී මාස කිහිහිපයක් මෙරට අවට මුහුද ගවේෂණය කරන්නට පැමිණ පසුව මෙහි පදිංචි වූවා. ඔවුන්ගේ මුල් ම ලාංකික මිතුරන් වූයේත් කිමිදීමට හා මුහුදට ඇලූම් කළ කිහිප දෙනෙක්. ඒ අය අතර සත්ත්‍ව විද්‍යාඥ රොඞ්නි ජොන්ක්ලස් හා බොක්සිං ක‍්‍රීඩක හෙක්ටර් ඒකනායක මුල් තැන ගත්තා.

මයිකල් විල්සන් කිමිදීමට, දිය යට ඡායාරූප ගැනීමට හා දිය යට චිත‍්‍රපට රූපගත කිරීමට හැකියාව තිබූ බෙහෙවින් නිර්මාණශීලී කෙනෙක්. ඇත්තට ම ක්ලාක්ට කිමිදීමේ වටිනාකම පෙන්වා දී එයට යොමු කළේත් මයික්. මේ දෙදෙනා ලංකාවට එන්නට කලින් ඕස්ටේ‍්‍රලියාවේ මහා බාධක පරයේ (Great Barrier Reef) මාස කිහිපයක් කිමිදෙමින් ගවේෂණය කර තිබුණා.

ලංකාව අවට මුහුදු බොහොමයක් 1950 දශකය මැද වන විටත් කිසිවකු ගවේෂණය කර තිබුණේ නැහැ. දිය යට කිමිදීමේ තාක්‍ෂණය (aqua-lung) නිපදවනු ලැබුවේ 1946දී බැවින් එය බොහෝ පිහිනුම් දක්‍ෂයන්ට පවා තවමත් අළුත් හා ආගන්තුක වුණා. ඒ දක්වා දිය යට විනාඩි කිහිපයකට වඩා හුස්ම අල්ලාගෙන ගත කළ නොහැකි වූ බැවින් දිය යට ගවේෂණය කර තිබුණේ ඉතා සීමිතව වෙරළාසන්න නොගැඹුරු මුහුදුවල පමණයි. (මන්නාරමේ සාම්ප‍්‍රදායික මුතු කිමිදෙන්නෝ කළේ හුස්ම අල්ලා ගෙන දිය යට යාමයි.)

ලංකා මුහුදු වෙරළෙන් ඔබ්බෙහි විවිධ තැන්වල මේ මිතුරන් කිමිදුනත් ඔවුන් වැඩිපුරම අවධානය යොමු කළ දෙතැනක් තිබුණා. එකක් ත‍්‍රිකූණාමලය කලපුව. දෙවැන්න දකුණු දිග වෙරළේ කිරින්දෙන් කිලෝමීටර් 10ක් පමණ මුහුද දෙසට වන්නට පිහිටි මහා රාවණා කොටුව (Great Basses Reef) නම් මුහුදු ගල් පර්වතය හා එයට ආසන්න කොරල් (හිරිගල්) පරයයි.

කිමිදුම්කරුවන් කොරල්පර ගවේෂණයට කැමතියි. නොගැඹුරු මුහුදේ වැඩෙන කොරල්පර අතර විචිත‍්‍ර මසුන් හා වෙනත් සමුද්‍ර ජීවීන් රැසක් හමු වනවා. ජෛව විවිධත්වයෙන් ඉහළ නිසා කොරල්පර මහ මුහුදේ වර්ෂා වනාන්තර ලෙස ද හඳුන් වනවා.

Great Basses and Litle Basses Map - courtesy Dive Sri Lanka website http://www.divesrilanka.com
Great Basses and Little Basses Map – courtesy Dive Sri Lanka website http://www.divesrilanka.com

ක්ලාක් සහ මිතුරන් මුල් වරට මහා රාවණා කොටුව අවට කොරල්පරයට ගියේ 1958දී. මහා රාවණා කොටුවේත්, එයට කි.මි කිහිපයක් නැගෙනහිරින් පිහිටි කුඩා රාවණා කොටුවේත් (Little Basses Reef) බි‍්‍රතාන්‍ය පාලන කාලයේ ගොඩනැංවූ ප‍්‍රදීපාගාර දෙකක් තිබෙනවා. මේ අසලින් දිවෙන ප‍්‍රධාන නැව් මාර්ගයක් තිබෙන නිසාත්, ගල් පර්වත සහිත මේ මුහුදු තීරයේ ඉතිහාසය මුළුල්ලේ නැව් මුහුදුබත් වී ඇති නිසාත් මේ ප‍්‍රදීපාගාර නැව් ගමනාගමනයට තීරණාත්මක මෙහෙවරක් ඉටු කරනවා.

මහා රාවණා ප‍්‍රදීපාගාරය 1867දී බි‍්‍රතාන්‍යයේ ස්කොට්ලන්තයේ සැළසුම් කර කළුගලින් කොටස් වශයෙන් තනනු ලැබුවා. ඉනික්බිති මේ කොටස් නැව් මගින් කිමී දහස් ගණනක් දුර ගෙවා ගෙන ආවා. මේ ගමනේදී හානි වූයේ කොටස් දහස් ගණනක් අතරින් එකම එකක් පමණයි.

ගාල්ලට නැවෙන් ගෙනා ප‍්‍රදීපාගාර කොටස් කුඩා බෝට්ටු මගින් ගෙන ගොස් මහා රාවණා කොටුවේ අටවනු ලැබුවා. ප‍්‍රදීපාර ආලෝකය සැළසුම් කළේ එම සියවසේ විසූ ශ්‍රේෂ්ඨතම බි‍්‍රතාන්‍ය විද්‍යාඥයකු වූ මයිකල් ෆැරඬේ විසින්. විදුලිබලය පිළිබඳ ඔහු කළ සොයා ගැනීම් මානව ශිෂ්ටාචාරය වෙනස් කළා.

මහා රාවණා ප‍්‍රදීපාගාරය 1873 මාර්තු 10 වනදා විවෘත කළා. එදා පටන් දිගටම සේවයේ නියුතු මෙය ලෝකයේ ප‍්‍රකට (වඩාත්) ප‍්‍ර‍්‍රදීපාගාර අතරින් එකක්.

මේ ප‍්‍රදීපාගාරයට හා අසල ඇති කොරළ් පරයට ලඟා විය හැක්කේ වසරේ සීමිත සති කිහිපයක් තුළ පමණයි. නිරිතදිග මෝසම් සුළං හා ඊසාන දිග මෝසම් සුළං යන දෙකෙහිම බලපෑමට හසු වන මේ ස්ථානයට වසරේ වැඩි දින ගණනක් සැඩ සුළං හා රළු මුහුද නිසා ගමන් කිරීම අන්තරාදායකයි. දිය යට කිමිදීමට හැක්කේ මාර්තු – අපේ‍්‍රල් මාසවල පමණයි.

Lighthouses of Sri Lanka celebrated on postage stamps
Lighthouses of Sri Lanka celebrated on postage stamps

ලංකා ගොඩබිමෙන් දුරස්තව ඉන්දියානු සාගරයෙන් වට වී ඇති මහා රාවණා (සහ කුඩා රාවණා) ප‍්‍රදීපාගාර සේවකයන් හුදකලා වූ ලෙස කල් ගත කරනවා. ඔවුන්ට අවශ්‍ය දේ රැගත් බෝට්ටුවක් විටින් විට එහි ළඟා වනවා. ක්ලාක් සහ මිතුරන් ද මුලින් එහි ගියේ මේ ප‍්‍රදීපාගාර බෝට්ටුවේ, ඔවුන්ගේ අනුදැනුම හා හොඳහිත ඇතිවයි. ඉඳහිට හෝ යමකු එහි පැමිණීම ප‍්‍රදීපාගාර කාර්යමණ්ඩලයේ කාන්සිය තරමක් අඩු කරන්නට ඇති.

මහා රාවණා ප‍්‍රදීපාගාරය තම තාවකාලික නවාතැන කර ගෙන අවට කොරල්පරයේ හා මුහුදේ කිමිදුණු ක්ලාක් හා මිතුරෝ දිය යට විසිතුරු ඡායාරූප ගත කළා. මින් පෙර කිසිවකු දැක නොතිබූ තරම් මනරම් කොරල් පරයත් එහි විවිධාකාර ලොකු කුඩා ජීවීනුත් ඔවුන් මවිතයට පත් කළා.

ඔස්ටේ‍්‍රලියාවේ මහා බාධක පරය මීට වඩා බෙහෙවින් විශාල බව ඇත්තයි. ඒත් එනිසාම එහි විසිතුරු විහිද පැතිර තිබෙනවා. එහෙත් මහා රාවණා පරයේ සමීප මුහුදු පතුලක බොහෝ දේ හමු වන බව ක්ලාක් ලියා තැබුවා.

ඔවුන්ගේ 1958-59 ගවේෂණය පදනම් කරගෙන Indian Ocean Adventure (ඉන්දියානු සාගර වික‍්‍රමය) නම් ඡායාරූප රැසක් සහිත පොතක් ක්ලාක් -විල්සන් දෙදෙනා 1961දී පළ කළා.

කිසිදා මිනිසුන් දැක නොසිටි ඒ ප‍්‍රදේශයේ මසුන් කිමිදුම්කරුවන්ට බිය නොවී කුතුහලයෙන් විමසිලිමත් වූ සැටිත්, සමහර මසුන් තමන් සමග මිතුරු වූ සැටිත් ක්ලාක් විස්තර කරනවා. ලක්දිව දකුණු මුහුදේ තමන්ට හමු වූ මෝරුන් පවා ආක‍්‍රමණශීලි නොවී දුරක සිට තමන් ගැන බලා සිටි බවත් ඔහු කියනවා. (මීට වසර 55කට පෙර තිබූ තත්ත්වය අද වන විට බෙහෙවින් වෙනස් වී ඇති බව වඩා මෑතදී ඒ ප‍්‍රදේශවල කිමිදුණු අය වාර්තා කරනවා.)

1958-59 මහා රාවණා කොරල් පරයේත්, වෙනත් ස්ථානවලත් මුහුද යට රූපගත කළ දර්ශන සංකලනය කොට 1958දී මයික් විල්සන් වාර්තා චිත‍්‍රපටයක් නිපදවූවා. Beneath the Seas of Ceylon (ලක් මුහුද යට) නම් වූ එය විනාඩි 25ක ධාවන කාලයකින් යුක්තයි.

මිලිමීටර් 16 චිත‍්‍රපටයක් වූ එහි කැමරාකරණය, පිටපත හා අධ්‍යක්‍ෂණය මයික් විල්සන්ගෙයි. ලංකා තේ ප‍්‍රචාරක මණ්ඩලයේ අනුග‍්‍රහය ලද මේ චිත‍්‍රපටය වසර ගණනාවක් පුරා මෙරට සංචාරක ප‍්‍රවර්ධනයන් සඳහා යොදා ගනු ලැබුවා. අද මෙහි පිටපතක් කොතැනක ඉතිරිවී ඇත්දැයි මා දන්නේ නැහැ. එය නරඹා ඇති චිත‍්‍රපට ඉතිහාසඥ (මයික් විල්සන්ගේ මිතුරකු වූ) රිචඞ් බොයිල් කියන්නේ මෙය ශ‍්‍රී ලංකාවේ නිපදවන ලද මුල්ම දිය යට සිනමා නිර්මාණය බවයි.

මේ චිත‍්‍රපටයට ලැබුණු හොඳ ප‍්‍රතිචාරවලින් උද්දාමයට පත් මයික් විල්සන් තව දුරටත් චිත‍්‍රපට කැමරාකරණයට හා අධ්‍යක්‍ෂණයට යොමු වුණා. ඔහුගේ මුල්ම වෘතාන්ත චිත‍්‍රපටය චිත‍්‍රපටය වූයේ රන්මුතුදුව. 1962 අගෝස්තු 10 වනදා සිනමා රසිකයන් හමුවට ආ “රන්මුතුදුව” කෙටි කලෙකින් අතිශයින් ජනප‍්‍රිය වූවා. (මයික්ගෙන් ලංකා සිනමාවට ලැබුණු දායකත්වය හරිහැටි ඇගයීමට ලක්ව නැති බව මගේ අදහසයි. ඔහු 1958 තැනූ පුරෝගාමී දිය යට වාර්තා චිත‍්‍රපටය ගැන පවා දන්නේ ලාංකිකයන් ටික දෙනයි.)

1961 මාර්තුවේ මයික් නැවතත් මහා රාවණා කොරල්පරයට ගියා. මෙවර රොඞ්නි ජෝන්ක්ලාස් මාලදිවයිනේ කිමිදෙමින් සිටි අතර ක්ලාක් ලේඛන කටයුතුවල නියැලෙමින් කොළඹ නතර වුණා. එනිසා මයික් සමග ගියේ බොබී ක‍්‍රීගල් (14) හා මාක් ස්මිත් (13) නම් වූ පිරිමි ළමුන් දෙදෙනෙක්. ඔවුන් මෙරට අනුයුක්තව සිටි අමෙරිකානු තානාපති කාර්යාල සේවකයන්ගේ දරුවන්.

මයික්ගේ සැලසුම වූයේ පිහිනීමේ හා කිමිදීමේ දක්‍ෂ වූ මේ දරුවන් ‘‘චරිත’’ ලෙස යොදාගෙන මහාරාවණා කොරල්පරයේ තවත් චිත‍්‍රපටයක් රූපගත කිරීමයි. මේ සඳහා අවශ්‍ය කිමිදුම් හා කැමරා ආම්පන්න තොගයක් ඔවුන් ගෙන ගියා.

1961 මාර්තු 12-21 දිනවල ඔවුන් ප‍්‍රදිපාගාරයේ රැඳී සිටිමින් අවට නොගැඹුරු මුහුදේ කිමිදෙමින් ගවේෂණය හා රූපගත කිරීම් කළා. මාර්තු 22 වනදා මුහුද නිසල වුවත් යම් හේතුවකින් දිය යට මඩ සහිත වී පැහැදිලි නැතිව ගියා. මේ නිසා කැමරා ආම්පන්න නැතිව ඔවුන් තිදෙනා කිමිදුම් කට්ටල පමණක් හැඳගෙන කොරල්පරයේ කිමිදෙන්නට ගියා.

නොගැඹුරු මුහුදු පත්ලෙහි දිලිසෙන යමක් අහම්බෙන් මයික්ගේ නෙත ගැටුණේ එවිටයි. එය කුමක්දැයි සෝදිසි කළ විට එය පිත්තල සිලින්ඩරයක් බව පෙනී ගියා. නාවුකයකු හැටියට කටයුතු කර තිබූ, නාවුක ඉතිහාසය දත් මයික් එක්වරම දැන ගත්තා එය පැරණි කාලතුවක්කුවක් බව.

එහි අරුත නම් මේ අවට මුහුදුබත් වූ පැරණි නැවක් තිබිය හැකි බවත් මයික් සැනෙකින් වටහා ගත්තා. කාලතුවක්කුව අඩි දෙකහමාරක් පමණ දිගයි. තනි කෙනකුට ඔසවන්නට බැරි තරම් බරයි.

ක්ලාක් පසුව ලියා ඇති පරිදි ‘‘මුහුදුබත් වූ පැරණි නැව් වල ලීවලින් තැනූ බඳ වසර ගණනකට පසු දිරාපත්ව හඳුනා ගත නොහැකි වනවා. බොහෝ විට නැවක් ගිලූණු බව මුහුදු පත්ලේ සොයා ගත හැක්කේ ලෝහමය දෑ නැතහොත් වීදුරු බෝතල් ආදිය නිසායි. මෙතැනදී නොගැඹුරු මුහුදේ දියවැල් හා රළ කැළඹීම් නිසා කාලතුවක්කු වැලි සමග නිරතුරු ගැටෙමින් දිලිසෙමින් තිබුණා. කිමිදුම්කරුවන්ගේ ඇසට මුලින්ම හසු වූයේ මේ දීප්තියයි.’’

ඉනික්බිති එළැඹුණු දින දෙක තුන තිස්සේ මයික් හා මිතුරෝ ඒ අවට මුහුදුපත්ල සමීපව ගවේෂණය කළා. ගිලූණු නැවක සුන්බුන් ඔවුන් සොයා ගත්තා. ඒ අතර රිදී කාසි තොගයක් ද තිබුණා.

නැව ගිලූණු තැන අවට මුහුදුපත්ලේ විසිරි එකම ආකාරයේ රිදී කාසි දහස් ගණණක් හමු වුණා. සමහරක් තනි තනිව තිබූ අතර අනෙක්වා කොරල් බැඳීමෙන් එක ගොඩට එක්වි තිබුණා. එවිට බැලූ බැල්මට පෙනුනේ ගල් කැබලි වගෙයි. කිහිප වතාවක් කිමිදෙමින්, වෙහෙස වී වැඩ කරමින් කිලෝග‍්‍රෑම් 50ක් පමණ බරැති රිදී කාසිත්, කාලතුවක්කු දෙකකුත්, තඹවලින් තැනූ පොලූ හා වෙනත් කුඩා නාවුක ද්‍රව්‍ය කිහිපයකුත් ඔවුන් සොයා ගත්තා.

ඔවුන් ප‍්‍රවේශමින් මේ තොගය කොළඹට ගෙන ආවා. ක්ලාක් හා රොඞ්නි එය දුටුවේ කොළඹදීයි.

මේ කාසි තොගය රැගත් නැව ආවේ කොහි සිටද? එය කොතරම් පැරණිද? මුහුදුබත් නොවුවා නම් එහි ගමනාන්තය වූයේ කුමක්ද? මේ රිදී කාසිවල ලෝහමය වටිනාකමට වැඩි කෞතුක වටිනාකමක් ඇත්ද?

මෙබඳු ප‍්‍රශ්න රැසක් මයික් විල්සන්, ආතර් ක්ලාක් හා ඔවුන්ගේ කිමිඳුම් සමඟයන්ට මතු වුණා. ඔවුන් මෙරට පුරාවිද්‍යාඥයන්, සාගර විද්‍යාඥයන් (එතෙර හා මෙතෙර) හා කාසි එකතු කරන්නන්ගේ ද සහාය ඇතිව මේ ප‍්‍රශ්න වලට පිළිතුරු ගවේෂණය කළා.

ඉතිරි කොටස:

සිවුමංසල කොලූගැටයා #196:මහා රාවණා පරයේ බිඳුණු නැවේ අබිරහස – 2

Arthur C Clarke diving off the seas of Ceylon, 1950s - Image courtesy Arthur C Clarke Trust in Sri Lanka
Arthur C Clarke diving off the seas of Ceylon, 1950s – Image courtesy Arthur C Clarke Trust in Sri Lanka

 

ආතර් සී. ක්ලාක් සහ ශ‍්‍රී ලංකාව: නිවැරදි තොරතුරු මෙන්න!

An introduction (in Sinhala) to Sir Arthur C Clarke’s half century of association with Sri Lanka, written by Nalaka Gunawardene. This is a chapter in the book ‘ආතර් සී. ක්ලාක් චින්තන චාරිකා’ (Mind Journeys with Arthur C Clarke), published in 2012.

See also: UTTAREETHARA: Biographical documentary on Arthur C Clarke (in Sinhala)

චන්ද්‍රිකා තාක්ෂණය ලොවට කියාදුන් තැපැල් කන්තෝරු පවුලේ දරුවා

sir-arthur-clarke-with-sigiriya-in-background-photo-by-rohan-de-silva.jpg

රීමත් ආතර් සී. ක්ලාක් ගැන රී ලංකාවේ බොහෝ දෙනකු තුළ ගෞරවාන්විත හැඟිමක් ඇතත්, ඔහු ගැන නිවැරදි තොරතුරු හා නිරවුල් අවබෝධයක් බොහෝ දෙනකුට නැත. විද්වතුන් හා මාධ්යවේදීන් අතින් ඔහු ගැන වැරදි තොරතුරු නිතර රතිරාවය වෙයි.

මේ අතරින් ඉතා දැඩි ලෙස රචලිත වූ රබන්ධය නම් ඔහු රී ලාංකික පුරවැසියකු වීය යන්නයි. ඇත්ත තත්ත්වය නම් ආතර් චාල්ස් ක්ලාක් උපන්නේත්, මිය ගියේත් බිරතාන් ජාතිකයකු හැටියට බව . සිය උපන් රට ගැන තිබු ඇල්ම හා අභිමානය අඩු නොකර ඔහු, පසු කලෙක රී ලංකාවට ඉත සිතින් ඇලූම් කළේය. එහෙත් ඔහු කිසි දිනෙක රී ලාංකික පුරවැසිකම පැතුවේත් නැත. මෙරට කිසිදු රජයක් ඔහුට එය පිරිනැමුවේත් නැත. (එමෙන්ම සම්මාන පුරවැසි කියා දෙයක් නීතිමය වශයෙන් නැති නිසා එබන්දක් දීම හෝ ලැබීම ගැන කථාවේ කිසිම පදනමක් නැත.)

මේ පුරවැසි/සම්මාන පුරවැසි කථාව කෙතරම් පැතිර ගොස් ඇත්දැයි කිවහොත් එය එසේ නොවී යයි කරුණු හොඳහැටි පහදා දුන් පසුවත් සමහර මාධ් දැන දැන වරද යළිත් වමාරති.

මා රීමත් ක්ලාක්ගේ පෞද්ගලික කාර්යාලයේ සේවය කළ කාලයේ මාධ්යවේදීන්ට, ශිෂ්යයන්ට හා අන් අයට නොමිලේ බෙදා දෙන තොරතුරු කට්ටලයේ ක්ලාක් හා රී ලංකාව ගැන තොරතුරු සටහනක් තිබුණි. මේ එහි සිංහල අනුවාදයයි.

 නාලක ගුණවර්ධන

1917දී බි‍්‍රතාන්‍යයේ සමර්සෙට් ප‍්‍රාන්තයේ මයින්හෙඞ් ගම්මානයේ උපන් ආතර් චාල්ස් ක්ලාක්, මූලික හා ද්වීතියික අධ්‍යාපනය ටෝන්ටන්හි හුයිෂ් ග‍්‍රැමර් ස්කූල් නම් පාසලෙන් ලබා, පසුව ලන්ඩනයේ කිංස් කොලෙඡ් සරසවියෙන් ගණිතය හා භෞතික විද්‍යාව පිළිබඳ පළමුපෙළ උපාධියක් ලබා ගත්තේ ය. බි‍්‍රතාන්‍ය රජයේ ගණකාධිකාරී දෙපාර්තමේන්තුවෙන්, ඉන් පසු රාජකීය ගුවන් හමුදාවේත් (1939 – 1946) සේවය කළ ඔහු 1950 සිට පුර්ණ කාලීන වෘත්තිය ලේඛකයකු හා දේශකයකු හැටියට ක‍්‍රියා කළේ ය.

ඔහුට ශ‍්‍රී ලංකාව ගැන මුල් ම නෙතඟ බැල්ම ලැබුණේ අහම්බෙන් මෙනි. කිමිදීම හා සාගර ගවේෂණය ගැන ක්ලාක් තුළ තිබු ඉමහත් උනන්දුව නිසා 1950 දශකයේ ඔහු ඔස්ටේ‍්‍රලියාවේ මහ බාධක පරයට යන අතරවාරයේ ඔහු රැගත් “හිමාලයා” නෞකාව 1954 දෙසැම්බර් මාසයේ දින බාගයකට කොළඹ වරායට සේන්දු විය.

පසුව 1955 මාස කිහිපයක් තිස්සේ ශ‍්‍රී ලංකාවේ වෙරළ තීරය, නොගැඹුරු සාගරය හා රට තුළ විවිධ ස්ථාන ගවේෂණය කළ ක්ලාක්, මේ ඝර්ම කලාපීය දුපතට මහත් සේ ඇලූම් කරන්නට පටන් ගත්තේ ය. 1956දී ශ‍්‍රී ලංකාවේ කොළඹ නගරයේ පදිංචි වීමට තීරණය කළ ඔහු, හෙක්ටර් එකනායක නම් ලාංකික කිමිදුම්කරුවාත් සමඟ එක්ව “අන්ඩවෝටර් සෆාරීස්” (Underwater Safaris) නම් කිමිදුම් සමාගම ඇරඹී ය. මෙරට වෘත්තීය කිමිදුම් කටයුතුවලත්, කිමිදුම්කරුවන් පුහුණු කිරීමේත්, සාගර ආශ‍්‍රිත සංචාරක කර්මාන්තයේත් පුරෝගාමී මෙහෙවරක් එ හරහා ඉටු කළේ ය.

සමස්ත ඉන්දියානු සාගරයේ ම මුල් වතාවට දිය යට රූප ගත කරන ලද දර්ශන රැගත් Beneath the Seas of Ceylon නම් වාර්තා චිත‍්‍රපටය 1958දී නිර්මාණය කරනු ලැබුවේ ක්ලාක් සහ ඔහුගේ කිමිදුම් සගයන් වූ බි‍්‍රතාන්‍ය ජාතික මයික් විල්සන් හා ලාංකික රොඞ්නි ජොන්ක්ලස් විසිනි.

ශ‍්‍රී ලංකාවේ වර්ණයෙන් නිෂ්පාදිත මුල් ම සිංහල වෘතාන්ත චිත‍්‍රපටය වූ   “රන් මුතු දුව” (1962) සඳහා ආයෝජකයා වූයේත් ආතර් සි. ක්ලාක් ය. දිය යට ජවනිකා රැගත් මුල් ම සිංහල චිත‍්‍රපටය ද වූ එය මයික් විල්සන් විසින් රූපගත කොට, අධ්‍යක්‍ෂණය කරන ලද්දකි. එහි නිෂ්පාදකයා වූයේ ශේෂා පලිහක්කාර ය.

1956 සිට 2008 දක්වා වසර 50කට වැඩි කාලයක් ශ‍්‍රී ලංකාවේ පදිංචිව සිටි ආතර් සී. ක්ලාක්ට 1975දී ශ‍්‍රී ලංකා රජය හඳුන්වා දුන් නව ආගමන ප‍්‍රතිපත්තියක් යටතේ “පදිංචි ආගන්තුකයා” (Resident Guest) යන තත්ත්‍වය හිමි විය. මෙය රටේ ආර්ථික හා සමාජ සංවර්ධනයට දායක වන විදේශිකයන් සඳහා ක‍්‍රියාත්මක වන දිරි ගැන්වීමේ ක‍්‍රමයකි. එහෙත් ඔහු කිසි දිනෙක ශ‍්‍රී ලංකා පුරවැසිභාවය ඉල්ලූම් කළේ හෝ ලැබුවේ හෝ නැත. ඔහු දිවි ඇති තුරු ම බි‍්‍රතාන්‍ය ජාතිකයකු විය.

Sri Lankan President Junius Jayewardene chatting with Arthur C Clarke in Colombo - circa 1980
Sri Lankan President Junius Jayewardene chatting with Arthur C Clarke in Colombo – circa 1980

ශ‍්‍රී ලංකාවේ පදිංචිකරුවකු ලෙස මෙරට අධ්‍යාපනික, විද්‍යා පර්යේෂණ, පරිසර සංරක්‍ෂණ හා සන්නිවේදන තාක්‍ෂණ ක්‍ෂෙත‍්‍රයන්ට ආතර් සී. ක්ලාක් බුද්ධිමය දායකත්වය හා ඇතැම් විට මුල්‍යමය අනුග‍්‍රහය ද ලබා දුන්නේ ය. එයින් සැළකිය යුතු සේවාවන් කිහිපයක් මෙසේ ය:

  • 1979 සිට 2002 දක්වා වසර 23ක් පුරා මොරටුව සරසවියේ කුලපති (Chancellor) තනතුර අඛණ්ඩව හෙබ වීය. ජනාධිපතිරුන් සිවු දෙනෙකු විසින් යළි යළිත් ඔහු මේ තනතුරට පත් කරන ලදී.
  • 1959දී ශ‍්‍රී ලංකා තාරකා විද්‍යා සංගමය (Sri Lanka Astronomical Association) පිහිටුවා එහි ආරම්භක සභාපති ලෙස මෙරට ආධුනික තාරකා විද්‍යා කටයුතු දිරිමත් කරන්නට සහය දුන්නේ ය.
  • 1966දී නිල වශයෙන් ශ‍්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ඇරඹෙන්නටත් පෙර පටන් මෙරට සංචාරක ආකර්ෂණයක් ගැන විදෙස් මාධ්‍ය හරහා විශාල ප‍්‍රසිද්ධියක් ලබා දුන් ඔහු, පසුව සංචාරක මණ්ඩලයට හා සංචාරක සමාගම්වලට බොහෝ උපදෙස් හා යෝජනා නොමිලයේ ලබා දුන්නේ ය.
  • ශ‍්‍රී ලංකාවේ දුරස්ථ සන්නිවේදන ප‍්‍රතිපත්ති හා සැළසුම සඳහා හැකි සෑම විට ම තාක්‍ෂණික උපදෙස් දුන් ක්ලාක්, 1979-1982 කාලයේ මෙරටට ටෙලිවිෂන් මාධ්‍යය හඳුන්වා දීමට නොනිල මට්ටමින් දායක විය.
  • 1984දී මෙරටට නව තාක්ෂණයන් හඳුන්වාදීමට රාජ්‍ය ආයතනයක් ස්ථාපිත කරන විට එයට ඔහුගේ නම දීමට ජේ. ආර්. ජයවර්ධන රජය කළ යෝජනාවට ආතර් සී. ක්ලාක් එකඟ විය. ක්ලාක් මධ්‍යස්ථානයේ අනුග‍්‍රාහකයා (Patron) ලෙස කලක් ගරු තනතුර ද හෙබ වීය. එහෙත් මේ රාජ්‍ය ආයතනයේ පරිපාලනය හෝ පර්යේෂණ කටයුතු කිසිවකට ඔහුගේ සම්බන්ධයක් නොතිබුණි.

ටෙලිවිෂන් මාධ්‍යය හරහා ශ‍්‍රී ලංකාවට ලොව පුරා සුභවාදී ප‍්‍රතිරූපයක් බිහි කිරීමට ආතර් සී. ක්ලාක් දශක ගණනාවක් ස්වෙච්ජාවෙන් කටයුතු කළ බව හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතා වරක් ඉතා කෘතඥපූර්වකව පැවසීය. ඔහු ක්ලාක් හැඳින්වූයේ  “One man cheering squad for Sri Lanka” හැටියට ය.

භෞතික හා පාරභෞතික අබිරහස් පිළිබඳව විද්‍යාත්මකව ගවේෂණය කළ ලෝක ව්‍යාප්ත ටෙලිවිෂන් වැඩසටහන් පෙළක් 1980-1994 වකවානුව තුළ ආතර් සී. ක්ලාක් ඉදිරිපත් කළේ ය. බි‍්‍රතාන්‍ය සමාගමක් විසින් නිෂ්පාදිත මේ වැඩසටහන් සියල්ලේ ආරම්භය හා අවසානය ක්ලාක් රූපගත කළේ ශ‍්‍රී ලංකාවේ පියකරු ස්වභාවික ස්ථාන හා සාංස්කෘතික උරුමයන් පසුබිමේ තබා ගෙන ය. Arthur C. Clarke’s Mysterious World (1980), Arthur C. Clarke’s World of strange Powers (1985) yd Arthur C. Clarke’s Mysterious Universe (1994) යන මේ වැඩසටහන් මාලා  වසර ගණනාවක් පුරා Discovery ඇතුළු තවත් බොහෝ විදේශ ටෙලිවිෂන් සේවා හරහා විකාශය විය. මේ නිසා ඉතා වටිනා සංචාරක ප‍්‍රවර්ධනයක් නොමිලයේ ම ශ‍්‍රී ලංකාවට ලැබුණි.

sir-arthur-clarke-at-swami-rock-trincomalee-sri-lanka-by-rohan-de-silva.jpg

ශී‍්‍ර ලංකාවේ වෙරළ සංරක්‍ෂණය ගැන විශේෂ උනන්දුවක් දැක්වූ ක්ලාක්, හිරිගල්පර (කොරල්) කැඞීමට එරෙහිව පවත්නා නීති හරියාකාර ක‍්‍රියාත්මක කිරීමට මාධ්‍ය හරහා ප‍්‍රබල හඬක් නංවමින් වෙරළ සංරක්‍ෂණ නිලධාරීන්ට හා පර්යේෂකයන්ට නන් අයුරින් උපකාර කළේය.

1979 දී හික්කඩුව සාගර අභයභූමිය ප‍්‍රකාශයට පත් කෙරුණේ කලක් තිස්සේ ඔහු ගෙන ගිය දැනුවත්කිරීම්වල ප‍්‍රතිඵලයක් ලෙසට ය. ශ‍්‍රී ලංකාව අවට මුහුදේ ජීවත් වන තල්මසුන් හා ඩොල්ෆින් සතුන් රැක ගැනීමේ වැදගත්කම මුලින් ම පෙන්වා දුන්නේත් ඔහු ය.

2004 දෙසැම්බර්යේ සුනාමි ව්‍යසනයෙන් දැඩි ලෙස කම්පාවට පත් වූ ක්ලාක්, ශ‍්‍රී ලංකාවට ආධාර කරන ලෙස ලෝකයට ආයාචනය කළේ ය. එමෙන්ම යළි වෙරළබඩ ප‍්‍රදේශ පිළිසකර කරන විට සුනාමියේ “මතක හිටින පරිසර පාඩම්” සිහි තබා ගන්නට යැයි ඔහු රජයෙන් හා ලක් ජනතාවගෙන් මහත්  ඕනෑකමින් ඉල්ලා සිටියේ ය.

මෙකී නොකී විවිධාකාරයෙන් ශ‍්‍රී ලංකාවට ලබා දුන් විද්වත් දායකත්වයට ශ‍්‍රී ලංකා රජය විසින් අවස්ථා තුනකදී ක්ලාක්ට සම්මාන පිරිනමන ලදී.

ශ‍්‍රි ලංකාවේ පදිංචිකරුවකු ලෙසත්, පොදු උන්නතිය කැප වු බුද්ධිමතකු ලෙසත් ආතර් සී. ක්ලාක් විවිධ අවස්ථාවල මෙරට විද්‍යා, කලා, අධ්‍යාපනික හා මානුෂික ක‍්‍රියාකාරකම් සඳහා අතහිත දුන්නේ කිසිදු ප‍්‍රසිද්ධියක් නොමැතිවයි. ශ‍්‍රී ලංකා සත්ත්‍ව සුබසාධන සංගමයේ හා දෙපා අප‍්‍රාණික වූ රෝගීන් (paraplegic) පුනරුත්ථාපනය සඳහා වූ සංගමයේ අනුශාසක ලෙසත්, තවත් විවිධ  සද්කාර්යයන් සඳහා නිහඬ ආධාරකරුවකු ලෙසත් ඔහු ක‍්‍රියා කළේ ය. සර්වෝදය ශ‍්‍රමදාන සංගමයත්, අක්‍ෂිදාන සංගමයත් ඔහුගේ ප‍්‍රශංසාවට ලක් වූ ස්වෙච්ජා ආයතන දෙකකි. ශ‍්‍රී ලංකා හේතුවාදී සංගමයේ අරමුණු සමඟ එකඟ වු ක්ලාක්, හැකි සෑම විට ම හේතුවාදී තර්කානුකූල විමර්ශනය දිරිමත් කළේ ය.

පසු එකතු කිරීම:

2007 දෙසැම්බරයේ ආතර් සී. ක්ලාක්ගේ 90 වන උපන් දිනය ලක් රජය විසින් උත්සවාකාරයෙන් සමරනු ලැබී ය. 2008 මාර්තු 19 වනදා ඔහු මිය ගිය පසු ඔහුගේ උපදෙස් පරිදි සම්පුර්ණයෙන් ම නිර්ආගමික හා කිසිදු රාජ්‍ය මැදිහත්වීමකින් තොර චාම් අවමගුලක් පවත්වන ලදී. ඔහු ඉල්ලා සිටි පරිදි ඔහු රැක බලා ගත් එකනායක පවුලට වෙන් වූ කොළඹ කනත්ත සුසාන භූමි කොටසේ 2008 මාර්තු 22දා ඔහුගේ සිරුර මිහිදන් කරනු ලැබී ය. එදින ශ‍්‍රී ලංකාවේ සියළු ම ටෙලිවිෂන් හා රේඩියෝ නාලිකා සිය විකාශයන් විනාඩි 3කට නිහඬ කරමින් මේ සන්නිවේදකයාට ඔවුන්ගේ ගෞරවය පළ කළෝ ය.

See also one-hour Sinhala documentary on Arthur C Clarke, presented by Nalaka Gunawardene: UTTAREETHARA: Biographical documentary on Arthur C Clarke (in Sinhala)

Sir Arthur Clarke revisits Hikkaduwa beach in southern Sri Lanka in his custom-made Dune Roller, circa 2005
Sir Arthur Clarke revisits Hikkaduwa beach in southern Sri Lanka in his custom-made Dune Roller, circa 2005

සිවුමංසල කොලූගැටයා #94: ඇන්ටාක්ටිකාවට ගිය ශ‍්‍රී ලාංකිකයෝ

This week’s Ravaya column is a follow up to my initial one on Antarctica two weeks ago, සිවුමංසල කොලූගැටයා #92: ඇන්ටාක්ටිකාවට අත නොතබනු!. I had such a good response from readers, some of who wanted to know how many Lankans have been to Antarctica.

I asked around, and have found information on three: Marine biologist Dr Nishad Jayasundara (who visited in 2010), youth activist Imalka de Silva (also in 2010) and astronomer Dr Ray Jayawardhana (2010-11). This column is a summary of what they did. It also answers a question: did trail-blazing Lankan biochemist Dr Cyril Ponnamperuma (1924 – 1994), who studied Antarctic meteorites in the 1970s, ever visit the frozen continent himself?

Dr Ray Jayawardhana in Antarctica on snowmobile
Dr Ray Jayawardhana in Antarctica on ski-doo

The Reefs of Taprobane, 2002 edition
The Reefs of Taprobane, 2002 edition
ආතර් සී. ක්ලාක් ශ‍්‍රී ලංකාව පාදක කර ගෙන ලියූ චාරිකා සටහන් පොත් කිහිපයෙන් පළමුවැන්න වූයේ The Reefs of Taprobane නම් කෘතියයි. 1955 වසරේ මාස කිහිපයක් මයික් විල්සන්, රොඞ්නි ජොන්ක්ලස් හා තවත් කිමිදුම් සගයන් සමඟ ලක් දිවයින අවට මුහුදේත්, රට ඇතුළේත් කළ ගවේෂණ ගැන විචිත‍්‍ර ලෙස ලියා ඇති මෙය මුල් වරට ඉංග‍්‍රීසියෙන් පළ වූයේ 1956දී. (අඩ සියවසකටත් පසුව 2011දී මනෝ ප‍්‍රනාන්දු හා නන්දන එල්ලාවල විසින් සිංහලයට පෙරළා තිබෙනවා.)

එහි සය වන පරිච්ෙඡ්දය ඇරඹෙන්නේ ඔවුන් මාතර තානායමේ ලැගුම් ගත් දිනෙක රැයෙහි, පැහැදිලි අහසත් ඉදිරිපස මහ සාගරයත් මෙනෙහි කරමින් ක්ලාක්ගේ සිතේ පහළ වූ සිතිවිලිවලින්. නිරක්ෂයට අංශක හයක් පමණ උතුරින් පිහිටි මේ ස්ථානය ලක් දිවයිනේ වඩාත් ම දකුණුදිග දෙවුන්දර තුඩුවට ඉතා සමීපයි. මෙතැන සිට ඉන්දියානු සාගරයට පිවිසී දිගට ම දකුණු දෙස බලා යාත‍්‍රා කළොත් යළිත් සැතපුම් දහස් ගණනක් යන තුරු කිසිදු ගොඩබිමක් හමු නොවන බව ක්ලාක් පෙන්වා දෙනවා. (මාලදිවයින් පිහිටා ඇත්තේ අපේ දිවයිනට නිරිත දිගින්.)

එසේ ගිය හොත් ඊළඟට හමු වන එක ම ගොඩබිම දක්ෂණ ධ‍්‍රැවය ද අයත් ඇන්ටාක්ටික් මහාද්වීපයයි. (ශ‍්‍රී ලංකාවේ දකුණු අන්තයේ සිට ඇන්ටාක්ටිකාවට ඍජු දුර කිලෝ මීටර් 10,600ක් පමණ වෙනවා.)

ක්ලාක්ගේ මේ සඳහන මගේ සිහියට ආවේ ශ‍්‍රී ලංකාව හා ඇන්ටාක්ටිකාව අතර සබඳතා මොනවා ද යන්න විමසන විටයි.

ඇන්ටාක්ටිකාවේ පරිසරය රැක ගන්නටත්, එය නිරායුධ කලාපයක් ලෙස දිගට ම පවත්වා ගන්නටත් බි‍්‍රතාන්‍ය ධ‍්‍රැව ගවේෂක රොබට් ස්වෝන් ගෙන යන ව්‍යායාමය ගැන 2012 නොවැම්බර් 18 වනදා කොලමින් මා විස්තර කළා. එය කියවා ප‍්‍රමෝදයට පත් පාඨකයන් කිහිප දෙනකු මගෙන් ඇසුවේ ලාංකිකයන් ඇන්ටාක්ටිකාව සමඟ ඇති සබඳතා මොනවා ද යන්නයි.

ස්වෝන්ගේ විග‍්‍රහයට අනුව ලෝකයේ වෙසෙන බිලියන් 7.3ක් වන හැම මානවයකුට ම ඇන්ටාක්ටිකාවේ එක හා සමාන හිමි කමක් තිබෙනවා. නමුත් ලෝකයේ බහුතරයක් මානවයන් වාසය කරන්නේ සමකයෙන් උතුරට පිහිටි උත්තරාර්ධ ගෝලයේ. අප බොහෝ දෙනෙකුට ඇන්ටාක්ටිකාව පිළිබඳ නිසි අවබෝධයක් නැහැ.

මුල් යුගයේ ඇන්ටාක්ටිකාවට ගියේ ඒ සඳහා විශේෂිත ශාරිරික පුහුණුව ලැබූ ධ‍්‍රැව ගවේෂකයන් පමණයි. එහෙත් 1957-58 ජාත්‍යන්තර භූ භෞතික වර්ෂයෙන් ඇරැඹි විද්‍යාත්මක ගවේෂණ නිසා විවිධ විද්‍යා කේෂත‍්‍රයන්ට අදාළ නොයෙක් රටවල විද්‍යාඥයන්ට ද එහි යාමේ අවස්ථාව සැලසුණා.

පසුගිය දශකයක පමණ කාලය තුළ විද්‍යාඥයන්ට අමතරව තරුණ නායකයන්, ව්‍යාපාරික නායකයන් ආදීන් සඳහා ද කෙටි කාලීන (සති 2 – 3) ඇන්ටාක්ටික් සංචාරයන් කිරීමේ අවස්ථාව උදා වී තිබෙනවා. එහෙත් පෞද්ගලික මට්ටමේ දේශ සංචාරකයන්ට සිය කැමැත්තෙන් එහි ගොඩ බසින්නට බැහැ. සංවිධානාත්මක ඇන්ටාක්ටික් චාරිකාවට, නිසි ක‍්‍රමවේදයක් හරහා ඉල්ලූම් කොට, සුදුසුකම් ලබා එබදු චාරිකාවක නිරත විය යුතුයි.

1986දී මුල් වතාවට දක්ෂිණ ධ‍්‍රැවයට පයින් ගිය ගමනින් පසු රොබට් ස්වෝන් තවත් බොහෝ වාර ගණනක් ඇන්ටාක්ටිකාවට ගොස් තිබෙනවා. 1990 දශකයේ රටවල් 25ක තරුණ තරුණියන් 35 දෙනෙකු ස්වේච්ඡවෙන් සම්බන්ධ කර ගෙන ඔහු ඇන්ටාක්ටිකාවේ අපද්‍රව්‍ය එකතු කිරීමේ උත්සාහයක යෙදුණා.

2008දී ඇන්ටාක්ටිකාවේ මුල් ම අධ්‍යාපනික කඳවුර ස්වෝන්ගේ 2041 සංවිධානය ඇරඹුවා. ඒ හරහා හැම වසරක ම තරඟකාරීව තෝරා ගන්නා තරුණ තරුණියන් පිරිසක් (ලෝකයේ විවිධ රටවලින්) සති දෙක හමාරකට ඇන්ටාක්ටිකාවට රැගෙන යනවා. එයින් පසු ගෝලීය මට්ටමේ පාරිසරික හා බලශක්ති ගැටළුවලට දේශීය මට්ටමින් විසඳුම් සෙවීමේ ක‍්‍රියාකාරිකයන් වීමේ වගකීම ඔවුන්ට පැවරෙනවා.

“ඇන්ටාක්ටිකාවට ටික දිනෙකට හෝ යාම මුළු ජීවිතය ම වෙනස් කරන අසාමාන්‍ය අත්දැකීමක්. මා ලද ඒ අත්දැකීම තරුණ හා ව්‍යාපාරික නායකයන්ටත් ලබා දීම හරහා ඔවුන්ගේ දැක්ම හා චරියාව වඩාත් පුළුල් වනු ඇතැයි මා සිතනවා,” ලෙස ස්වෝන් එය විග‍්‍රහ කරනවා.

මේ දක්වා මට සොයා ගත හැකි වූ තොරතුරුවලට අනුව ලාංකිකයන් තිදෙනකු 2010-2011 වතිකානුවේ ඇන්ටාක්ටිකාවට ගොස් තිබෙනවා. එහෙත් ඔවුන් මේ ගැන මාධ්‍ය හරහා ප‍්‍රසිද්ධියක් ලබා ගන්නට උත්සාහ කර නැති නිසා ඒ තොරතුරු තවමත් අප‍්‍රකටයි.

රොබට් ස්වෝන් කොළඹදී කළ දේශනය අවසානයේ ඔහුගේ 2041 සංවිධානය හරහා ඇන්ටාක්ටිකාවට ගිය ශ‍්‍රී ලාංකික තරුණිය ඉමල්කා ද සිල්වා සභාවට හඳුන්වා දුන්නා. ඇයට මේ වරම හිමි වූයේ 2010දී ඇය අමෙරිකාවේ සරසවි සිසුවියක ලෙස සිටින අතරයි. 2041 සංවිධානයේ මූලිකත්වයෙන් තරගකාරී ලෙස තෝරා ගත් තරුණ තරුණියන් ගණනාවක් 2010 මාර්තු 5 – 18 කාලයේ ඇන්ටාක්ටිකාවේ කල් ගත කළා. මෙය අතිශයින් විචිත‍්‍ර මතකයන් ඉතිරි කළ හා මනස විවර කළ අපූරු අත්දැකීමක් වූ සැටි ඉමල්කා කෙටියෙන් විස්තර කළා.

ඇන්ටාක්ටිකාවට තවත් ලාංකික තරුණ තරුණියන් යවන්නටත්, එයින් ලබන අසාමාන්‍ය අත්දැකීම් මෙරට බෙදා ගන්නටත්, තරුණ පාරිසරික සංවිධානයක් ඇරැඹීමට ඉමල්කා අදහස් කරනවා. 2041 සංවිධානයෙන් ඇන්ටාක්ටික් චාරිකා සඳහා ඉල්ලූම් කිරීමට ඔවුන්ගේ වෙබ් අඩවියට පිවිසෙන්න. http://2041.com/antarctic-expeditions

Nishad Jayasundara
Nishad Jayasundara
ඉමල්කා ඇන්ටාක්ටිකාවට ළඟා වන්නට ටික දිනකට පෙර, 2010 ජනවාරියේ ලාංකික සාගර ජීව විද්‍යාඥ නිෂාඞ් ජයසුන්දර පර්යේෂකයකු ලෙස එහි ගියා. අමෙරිකාව විසින් ඇන්ටාක්ටිකාවේ පවත්වා ගෙන යන මැක්මර්ඩෝ පර්යේෂණ කඳවුරට (McMurdo Station) ඔහු ගියේ අමෙරිකාවේ ස්ටැන්ෆර්ඞ් සරසවියේ පශ්චාත් උපාධි සිසුවකු ලෙසයි.

නිෂාඞ්ගේ කණ්ඩායම අධ්‍යයනය කළේ ඇන්ටාක්ටිකාවේ මහා අයිස් තට්ටු යට අධික ලෙස ශීතල පරිසරයකට ස්වභාවිකව හැඩ ගැසී ජීවත් වන මසුන් විශේෂ ගැනයි. 1967දී ඇන්ටාක්ටිකා පර්යේෂණ කළ ඔහුගේ සරසවියේ ම විද්‍යාඥයන් සෙන්ටිගේ‍්‍රඞ් අංශක 6ක් තරම් අඩු උෂ්ණත්වයක දිවි ගෙවන මසුන් විශේෂ තුනක් සොයා ගත්තා. මේ මසුන්ට අංශක 6ට වඩා වැඩි උණුසුම දරා ගත නොහැකියි.

ගෝලීය උණුසුම් වීමත් සමඟ ටිකෙන් ටික ධ‍්‍රැව ප‍්‍රදේශවල ද උණුසුම ඉහළ යත් ම මේ මසුන් වැනි ශීතලට ලැදි සතුන්ට කුමක් වේ ද? නිෂාඞ් ගැඹුරින් විමසන්නේ මේ ප‍්‍රශ්නයට පිළිතුරයි.

2010 අගදී හා 2011 මුලදී තවත් ලාංකික විද්‍යාඥයෙක් ඇන්ටාක්ටිකාවේ දින 37ක් ගත කළා. ඔහු දැන් කැනඩාවේ ටොරොන්ටෝ සරසවියේ තාරකා විද්‍යා සහ තාරකා භෞතික විද්‍යා මහාචාර්ය රේ ජයවර්ධනයි. විශ්වයේ වෙනත් තාරකා වටා අපේ පෘථිවිය බඳු ග‍්‍රහලෝක සෙවීමේ දිගු කාලීන පර්යේෂණවල නියැලී සිටින රේ, වසර 25ක් තිස්සේ මගේ මිතුරෙක්.

1986 හැලීගේ වල්ගා තරුව නැවත දිස් වූ විට ඔහුත් මාත් ඇතුළු තරුණ තාරකාවේදීන්ගේ සංගමයේ (Young Astronomers’ Association) සාමාජික පිරිසක් එය නරඹන්නට මාතරට චාරිකා කොට නවාතැන් ගත්තේ ද මාතර තානායමේයි. එදා හැලී නරඹන විට ආතර් සී. ක්ලාක් එම ස්ථානය ගැන ලියා තිබූ කරුණු අප දැන සිටියේ නැහැ. එමෙන් ම යම් දිනෙක තමන් ඇන්ටාක්ටිකාවට යනු ඇතැයි රේ පවා සිතන්නට නැතිව ඇති!

රේ 2011 ඇක්ටාක්ටිකාවට ගියේ අමෙරිකානු නාසා ආයතනයේ හා එරට ජාතික විද්‍යා පදනමේ අනුග‍්‍රහයෙන්. ඔහු ඇතුළු අට දෙකනුගෙන් සමන්විත පර්යේෂක පිරිසක් උල්කාපාත එකතු කිරීමේ නිරත වුණා.

 Ray Jayawardhana
Ray Jayawardhana
උල්කාපාත පෘථිවියේ විවිධ තැන්වලට නිතිපතා ඇද හැලෙනවා. (බොහෝ ඒවා ප‍්‍රමාණයෙන් කුඩා නිසා හානියක් කරන්නේ නැහැ.) මිනිස් ජනාවාස නැති, වර්ෂාපතනය හා හිමපතනය සීමිත ඇන්ටාක්ටිකාවේ වැටෙන උල්කාපාත වඩාත් නිරුපද්‍රිතව සුරැකී තිබෙනවා. මේවා අධ්‍යයනය කිරීමෙන් සෞර ග‍්‍රහ මණ්ඩලයේ හා විශ්වයේ වසර මිලියන් හා බිලියන් ගණනකට ඉහත තත්ත්වය පිළිබඳව තොරතුරු උකහා ගත හැකියි.

හිම මත ගමන් කරන ස්කී-ඩූ (Ski-doo) නම් වාහනවල නැඟී, ප‍්‍රවේශමෙන් ඇන්ටාක්ටික් හිම අතර ගවේෂණය කළ මේ පිරිස සති පහක් තුළ උල්කාපාත 900ක් එකතු කළා. මේ එකතුව පර්යේෂකයන්ට වසර ගණනක් විශ්ලේෂණය කළ හැකි දැනුම් නිධානයක්.

‘‘මා භූ විද්‍යාඥයකු නොවූවත් ඉක්මනින් ම මේ සෙවිල්ලට මා හුරු වුණා. පරිසරයේ අනෙකුත් ගල් කැබලි අතර උල්කාපාත වෙන් කර හඳුනා ගන්නට යම් ලකුණු තිබෙනවා,’’ රේ කියනවා.

ඇන්ටාක්ටිකාවේ ගත කළ සති කිහිපය ශාරීරික හා මානසික දෙඅතින් ම අභියෝගාත්මක වූ බව ඔහු සිහිපත් කරනවා. එහි යන්නට පෙර ශරීර සෞඛ්‍යය හා සවිමත් බව පිළිබඳ පරීක්ෂණවලින් සමත් විය යුතුයි. ඇන්ටාක්ටික් ගිම්හානයේ මාස හතරකටවත් වඩා එක දිගට හිරු පායා තිබෙනවා. මෙය මුලදී අමුත්තක් වූවත්, ඉක්මනින් සිය දින චර්යාව එයට හැඩගස්වා ගන්නට පර්යේෂකයෝ සමත් වුණා.

නාසා ආයතනය ඇන්ටාක්ටික් උල්කාපාත අධ්‍යයනය කිරීම ඇරඹුවේ 1970 ගණන්වලදී. එහිදී පුරෝගාමී පර්යේෂයකු වූයේ කීර්තිමත් ලාංකික ජීව රසායන විද්‍යාඥ මහාචාර්ය සිරිල් පොන්නම්පෙරුම (1924 – 1994). 1970 දශකය අගදී ඇන්ටාක්ටිකාවෙන් ගෙනා උල්කාපාතවල තිබී ඇමයිනෝ අම්ල සොයා ගැනීමට මුල් වීමෙන් ඔහු විද්‍යා ලෝකයේ තවත් මං සළකුණක් වාර්තා කළා.

ඇමයිනෝ අම්ල යනු ජීවයේ පදනම වන ප්‍රෝටීන් සෑදී ඇති සංඝටකයයි. උල්කාපාතාවලට ඇමයිනෝ අම්ල ආවේ කෙසේ ද? ඇන්ටාක්ටිකාවේදී පෘථිවියේ ජීව ද්‍රව්‍ය සමඟ මිශ‍්‍ර වීමට ඇති ඉඩකඩ ඉතා සීමිත නිසා උල්කාපාතවල හමු වන්නේ පිටසක්වලින් ආ ද්‍රව්‍ය බවට තීරණය කළ හැකියි. පෘථිවියේ හමු නොවන ඇමයිනෝ අම්ල දෙකක් උල්කාපාතාවල හඳුනා ගත් පොන්නම්පෙරුම, සිය ජීවිතයේ අවසානය දක්වා විශ්වයේ ජීවය ගැන පර්යේෂණ කරමින් සිටියා.

මහාචාර්ය පොන්නම්පෙරුමත් ඇන්ටාක්ටිකාවට ගියා ද?

මේ ප‍්‍රශ්නය මා දැන් අමෙරිකාවේ වෙසෙන ඔහුගේ දියණිය රෝෂිණීට යොමු කළා. ඇගේ උත්තරය: ඔහු එහි ගියේ නැතත්, එබඳු චාරිකාවල නිරත වූ පර්යේෂකයන් සමඟ ඉතා සමීපව වැඩ කළා. විශේෂයෙන් ඇන්ටාක්ටිකාවේ මුල් ම උල්කාපාත සෙවීමේ නිරත වූ ජපන මහාචාර්ය ෂීරෝ අකබෝරි සමඟ කලක් තොරතුරු හා සාම්පල හුවමාරු කර ගත්තා. පොන්නම්පෙරුම උල්කාපාත සොයා අයිස්ලන්තය හා ග‍්‍රීන්ලන්තයට නම් ගිය බව රෝෂිණී කියනවා.

ඇන්ටාක්ටිකාවට ගිය මුල් ම ලාංකිකයා කවුද?

මේ දක්වා මතු කළ තොරතුරුවලට අනුව නිෂාඞ් ජයසුන්දර, ඉමල්කා ද සිල්වා හා රේ ජයවර්ධන ඒ අනුපිළිවෙළින් එහි ගොස් තිබෙනවා. එහෙත අප කිසිවකුත් නොදන්නා තවත් පර්යේෂකයන් ඉතා නිහඬව මේ චාරිකාවේ යෙදී ඇත් ද? මා සිටින්නේ විමසිල්ලෙන්.

ලෝකයේ රටවල් 30ක් පමණ තමන්ගේ ම ඇන්ටාක්ටික් පර්යේෂණාගාර පවත්වා ගෙන යනවා. (විස්තර: http://en.wikipedia.org/wiki/Research_stations_in_Antarctica) ඉන්දියාව 1981දීත්, චීනය 1985දීත්, පාකිස්ථානය 1991දීත් ඇන්ටාක්ටික් පර්යේෂණ දියත් කළා. සමහරක් රටවල් වසර පුරා පර්යේෂකයන් එහි රඳවන අතර, බහුතරයක් එය කරන්නේ දක්ෂිණ ධ‍්‍රැවයේ ග‍්‍රීෂ්ම කාලයේ පමණයි.

ආසියාතික රටක් සමඟ සහයෝගයෙන් ශ‍්‍රී ලංකාවටත් ක‍්‍රමානුකූලව ඇන්ටාක්ටික් පර්යේෂණවලට දායක විය හැකි ද?

Stanford University Fish Research group in Antarctica 2010
Stanford University Fish Research group in Antarctica 2010