සිවුමංසල කොලූගැටයා #181: අනේ අපටත් චන්ද්‍රිකා?

Both China and India are keen to enhance links with smaller Asian countries in using satellites as part of their ‘space diplomacy’ strategies.

Last week in my Ravaya column (in Sinhala), I wrote about space technology capabilities of South Asian countries. This week’s column probes whether or not Sri Lanka needs its own satellite.

10 Aug 2014: සිවුමංසල කොලූගැටයා #180: උඩුගුවන ජය ගන්නට පොර බදන දකුණු ආසියානු රටවල්

Indian satellite in orbit

Indian satellite in orbit

දකුණු ආසියානු රටවල් චන්ද්‍රිකා නිපදවා උඩුගුවන් ගත කිරීම ගැන ගිය සතියේ මා කළ විග‍්‍රහයට ප‍්‍රතිචාර කිහිපයක් ලැබුණා.

එයින් එකක් වූයේ නිදහස ලබා වසර 66ක් ගත වීත් ‘තවමත් අපට අපේම චන්ද්‍රිකාවක් නොතිබීම ලොකු අඩුවක්’ බවයි. එසේම ‘අන් රටවල චන්ද්‍රිකා සේවය 100%ක් විශ්වාස කළ නොහැකි බවත්, ඒ හරහා විදෙස් ඔත්තු සේවා අපේ තොරතුරු ලබා ගත හැකි බවත්’ ශාස්ත‍්‍රාලීය උගතකු තර්ක කළා.

චන්ද්‍රිකා කර්මාන්තය ක‍්‍රියාත්මක වන ආකාරය නොදත් උදවිය මතු කරන මෙබඳු අදහස් සමහර මාධ්‍ය හරහාත් අවිචාරශීලිව පැතිරී යනවා.

හැම රටකටම තමන්ගේ චන්ද්‍රිකාවක් තිබිය යුතුද?

චන්ද්‍රිකා තැනීම, උඩු ගුවන් ගත කිරීම හා එයින් සේවය ලබා ගැනීම වියදම් සහගත මෙන්ම සංකීර්ණ ක‍්‍රියාදාමයක්. ඉන්දියාව, චීනය, රුසියාව හෝ අමෙරිකාව වැනි තාක්‍ෂණිකව බලගතු රටක ආධාරයෙන් වුව ද චන්ද්‍රිකාවක් උඩුගුවනට යැවීම සෙසු ආසියානු රටවල් ඉතා සරුවෙන් ගත යුතු දිගු කාලීන ප‍්‍රතිපත්තිමය තරණයක්.

හැම දියුණු රටක්ම පවා තමන්ගේ චන්ද්‍රිකා නිපදවා නැහැ. අභ්‍යවකාශ තාක්‍ෂණයේදී තනි තනිව හැම දෙයක්ම කරනු වෙනුවට තාක්‍ෂණිකව වඩාත් ඉදිරියෙන් සිටින රටවල් නිපද වූ චන්ද්‍රිකාවලින් හෝ සමාගම් නිපදවා වාණිජමය වශයෙන් ක‍්‍රියාත්මක කරන චන්ද්‍රිකාවලින් හෝ අවශ්‍ය සේවා ලබා ගත හැකියි. එසේ කිරීම තමන්ගේම චන්ද්‍රිකා නිපදවා නඩත්තු කිරීමට වඩා බෙහෙවින් අරපිරිමැසුම්දායකයි.

චන්ද්‍රිකාවක් පෘථිවියට ඉහළ කක්‍ෂයක සිට හෙළන ‘බැල්ම’ තනි රටකට, දේශ සීමාවකට සීමා වන්නේ නැහැ. උදා: ඉන්දියානු චන්ද්‍රිකා අසල්වැසි රටවල් සියල්ලත් ආවරණය කරනවා.

වෙළඳපොල තරගකාරිත්වය නිසා වාණිජ වශයෙන් ඇති පණිවුඩ, දත්ත හුවමාරු, පෘථිවි නිරීක්‍ෂණ හා අනෙකුත් චන්ද්‍රිකා සේවාවන්ගේ මිළ ගණන් කලකට පෙර පැවතියාට වඩා සැළකිය යුතු අන්දමින් අඩු වී තිබෙනවා. මේ නිසා සුපිරි බලවතුන් වීමේ අරමුණක් නැති මධ්‍යම හෝ කුඩා ප‍්‍රමාණයේ රටකට දැවැන්ත ආයෝජනයකින් තමන්ගේම චන්ද්‍රිකා තනනු වෙනුවට එම සේවා වාණිජමය මට්ටමින් ලද හැකියි. නැතහොත් අන්තර්-රාජ්‍ය ගිවිසුම් ඔස්සේ Intelsat ආයතනය හෝ ඉන්දියාවේ ISRO ආයතනයෙන් සහන මිළට ලද හැකියි.

ළඟ එන සුළි සුළං, සුනාමි හා වෙනත් ආපදා ගැන අනතුරු ඇඟවීම්, හදිසියේ මතුව එන SARS හා කුරුළු උණ/සූකර උණ වැනි වසංගත රෝග ගැන අළුත්ම තොරතුරු, න්‍යෂ්ටික විකිරණ කාන්දුවකදී අදාල රටෙන් පිටතට ඒවා විහිද යන ආකාරය ගැන තොරතුරු ආදිය බෙදා ගන්නට රටවල් අතර විද්වත් එකඟත්වයන් තිබෙනවා.

එසේම ගුවන්ගමන් පාලනය, විදුලි සංදේශ ක්‍ෂෙත‍්‍රයේ සංඛ්‍යාත භාවිතය පමණක් නොව ලෝකයේ තැනෙකින් තවත් ඕනෑම තැනෙකට ගුවන්/මුහුදු තැපෑලෙන් ලිපියක් යැවිය හැක්කේත් රටවල් අතර අන්‍යෙන්‍ය විශ්වාසය මත පදනම් වූ එකඟත්වයන් පවතින නිසයි. මේ නිසා මතුපිටින් පෙනෙනවාට වඩා එකිනෙකා විශ්වාස කිරීමක් රටවල් අතර දැනටමත් තිබෙනවා.

ප‍්‍රාග්ධන ආයෝජනය අතින් ඉහළ තාක්‍ෂණික යටිතල පහසුකමක් රටවල් විසින් හවුලේ භාවිතයට ගැන මට ද පූර්වාදර්ශ තිබෙනවා. 1969 සිට අමෙරිකානු විද්වත් හා මිලිටරි ආයතන විසින් බිහි කරනු ලදුව 1990 දශකයේ ලෝක ව්‍යාප්ත සන්නිවේදන ජාලයක් බවට පත් වූ ඉන්ටර්නෙට් හොඳ උදාහරණයක්. ඉන්ටර්නෙට් තොරතුරු ගලනය වන්නේ ලොව පුරා ගොඩබිම් හරහා සහ මුහුද යට විහිද ඇති කේබල් රැසක් හරහායි.

World submarine cables map 2014 – by TeleGeography

Submarine Cable Map 2014 - by TeleGeography

Submarine Cable Map 2014 – by TeleGeography

ඉන්ටර්නෙට් ජාලයට සම්බන්ධ වන රටවල් කරන්නේ තමන්ට ආසන්නම ගෝලීය කේබල් එකකින් සිය රට තුළ සන්නිවේදන පද්ධතියට ඉන්ටර්නෙට් සබඳතාවය ලබා ගැනීමයි. ඉන් පසු එය රට තුළ හරිහැටි බෙදා ගැනීමට දේශීය පද්ධති නවීකරණය කරනවා. දේශීය පද්ධති නඩත්තුව රාජ්‍ය නියාමනය යටතේ පෞද්ගලික සමාගම් හරහා කිරීම බොහෝ රටවල සම්ප‍්‍රදායයි. ඉන්ටර්නෙට් සම්බන්ධ වන හැම රටක්ම ලොව පුරා තම කේබල් අටවන්නේ නැහැ. එසේ කිරීමට කිසිදු අවශ්‍යතාවක් ද නැහැ.

තොරතුරු සමාජයේ හැම සේවාවක්ම අපම සම්පාදනය කර ගත යුතුයි යන තර්කය වෙනත් ක්‍ෂෙත‍්‍රවලට ආදේශ කළොත් ඉන්ටර්නෙට් සේවා සඳහා අපට අපේම ලෝක ව්‍යාප්ත සන්නිවේදන ජාලයක් බිහි කරන්නට සිදු වේවි. එසේම වසර 150ක් පමණ තිස්සේ අප රට සම්බන්ධ වී සිටින විදෙස් තැපැල් සේවා භාවිතය වෙනුවට විදෙස් ලියුම් බෙදන්නට අපේ තැපැල්කරුවන් ලොව පුරා යවන්නට ඕනෑ වේවි.

චන්‍ද්‍රිකාවක් තැනීම හරහා රටක විද්‍යාව හා තාක්‍ෂණය දියුණු වේය යන්න තවත් තර්කයක්. මෙහිදී කරන අධික ප‍්‍රාග්ධන හා නඩත්තු වියදමට සාපේක්‍ෂව කෙතරම් පර්යේෂණාත්මක වාසි ලද හැකි දැයි රටක් කල් තබා තක්සේරු කළ යුතුයි.

අභ්‍යවකාශ තාක්‍ෂණය භාවිත කිරීම සඳහා පෙළගැසීම තුළින් විද්‍යා, තාක්‍ෂණ හා ඉංජිනේරු ශිල්ප හැකියාව පුළුල් වන බව සැබෑයි. එහෙත් එයට අපේම චන්‍ද්‍රිකාවක් තිබීම අවශ්‍ය නැහැ.

වඩාත් උපක‍්‍රමශීලි ප‍්‍රවේශය වන්නේ අපට වඩා දියුණු රටක් හෝ ගෝලීය සමාගමක් හෝ සතු චන්‍ද්‍රිකා හරහා දත්ත හා සේවා මිළට ගැනීමයි. එසේ ලබන සේවාව දේශීයව අදාල කර ගන්නට රට තුළ ආයතනික හා මානව සම්පත් දියුණු කිරීම අවශ්‍ය වනවා. සීමිත මහජන මුදල් යෙදිය යුත්තේ මේ ආයෝජනවලටයි.

නවීන චන්‍ද්‍රිකාවක් නිපදවීමට අවම වශයෙන් ඩොලර් මිලියන 100ක් වැය වනවා. චන්‍ද්‍රිකාවේ කාර්යය හා ධාරිතාව අනුව මෙය තවත් වැඩි විය හැකියි. පවතින විනිමය අනුපාතයට අනුව මෙය රුපියල් බිලියන් 13ක් පමණ වනවා. එයට අමතරව චන්‍ද්‍රිකාවක් උඩුගුවනට යැවීමට රොකට් සේවාව සඳහාත්, රක්‍ෂණය හා නඩත්තුව සඳහාත් අධික වියදම් දැරිය යුතුයි.

ජාතික ආඩම්බරය සඳහා ඩොලර් මිලියන සිය ගණනක් මහජන මුදල් වැය කිරීමට පෙර එම සේවාවන්ම ඊට වඩා ලාබදායි, සකසුරුවම් ක‍්‍රමයකින් ලැබිය හැකි බව පෙන්වා දිය යුතුයි.

අභ්‍යවකාශ තාක්‍ෂණය අතින් පෙරමුණේ සිටින ඉන්දියාව හා චීනය බඳු රාජ්‍යයන්ගේ සේවය ලද හැකිව තිබියදී ශ‍්‍රී ලංකාව තමන්ගේම චන්‍ද්‍රිකාවක් සඳහා මහජන මුදල් ආයෝජනය කිරීම සාධාරණීකරණය කළ නොහැකියි.

පෞද්ගලික ආයෝජනයන් නම් මොනවා කළත් කමක් නැතැයි කියන්නත් බැහැ. මන්ද අවසානයේ පෞද්ගලික සමාගම් සේවා මිල කරන්නේ තම පිරිවැය හා නඩත්තු වියදම් පියවා ගෙන නිසා. අද සාපේක්‍ෂව අඩු වියදමට දුරකථන හා දත්ත සන්නිවේදන සේවා මෙරට ලද හැකියි. එහෙත් පෘථිවි කක්‍ෂයේ සුදු අලියකුගේ වියදම ද අන්තිමේදී එයට එකතු වුණොත් කුමක් විය හැකිද?

Copy of Copy of Inside_IRNSS_1499475a

හැම දකුණු ආසියාතික රටක්ම තමන්ගේම චන්‍ද්‍රිකා උඩු ගුවන් ගත් කළා යයි මොහොතකට සිතමු. සාමාන්‍යයෙන් කුඩා රටකට අවශ්‍ය ප‍්‍රමාණයට වඩා ධාරිතාවක් නවීන චන්‍ද්‍රිකාවලට තිබෙනවා.

එම අතිරික්තය සඳහා සැළසුම්කරුවන්ගේ අරමුණ විය හැක්කේ අසල්වැසි රටවලට එය වාණිජමය මට්ටමින් (එම දත්ත හා සේවාවන්) අලෙවි කළ හැකි බවයි. එහෙත් හැම රටක්ම පාහේ තමන්ගේ චන්‍ද්‍රිකාවක් හෝ කිහිපයක් උඩුගුවන්ගත කළ විට අතිරික්ත ධාරිතාවය අලෙවි කරන්නට ඉතිරි වන්නේ කවුද?

අපේ කලාපයේ දැනටමත් ඉන්දියානු, චීන, තායි හා මැලේසියානු වැනි රාජ්‍යයන්ට හෝ සමාගම්වලට අයත් චන්ද්‍රිකා තරගකාරිව සේවා සපයනවා. විශේෂයෙන් පණිවුඩ චන්‍ද්‍රිකා හා පෘථිවි නිරීක්‍ෂණ චන්‍ද්‍රිකා සේවා අද වන විට දියුණු කර්මාන්තයන්.

චන්ද්‍රිකා ගණනාවක් සතු අත්දැකීම් බහුල රටවල් සමග අලූතෙන් පිවිසෙන රටකට හෝ සමාගමකට සාර්ථකව තරග වදින්නට අමාරුයි. අන්තිමේදී අපේ නම උඩුගුවනේ රැඳවීමේ දැවැන්ත ආයෝජනය ද වෙනත් බොහෝ බර උසුලන ලක් වැසියන්ගේ කර පිටටම වැටීමේ අවදානමක් තිබෙනවා.

මේ නිසා තම දේශීය අවශ්‍යතාවය ඉක්මවා යන ධාරිතාවක් සහිත අධිවියදම් සහගත චන්‍ද්‍රිකා තැනීම ආර්ථික වශයෙන් කෙතරම් දුරට සාධාරණ දැයි මැදහත්ව විමසිය යුතුයි.

රටේ හා කලාපීය අවශ්‍යතාවන් ඉක්මවා ගිය මහා පරිමාණ යටිතල පහසුකම් (විදෙස් ණය යොදා ගෙන) බිහි කිරීම පිළිබඳව දැනටමත් මෙරට වෙනත් ප‍්‍රබල උදාහරණ තිබෙනවා. එයින් අප පාඩම් උගත යුතුයි.

ආර්ථික සහයෝගීතාව, ඉන්දියානු සාගර කලාපීය ආරක්‍ෂාව ආදි කරුණු අරභයා ඉන්දියාව හා චීනය යන කලාපීය බලවතුන් දෙදෙනා තුලනය කිරීමේ අත්දැකීම් ශ‍්‍රී ලංකාවට තිබෙනවා. අභ්‍යවකාශ සහයෝගීතාව සම්බන්ධයෙන් ද මෙබන්දක් කළ හැකියි.

මෙහිදී දේශීය වශයෙන් විද්‍යා හා තාක්‍ෂණ ප‍්‍රමුඛතා මොනවාද යන්න පැහැදිලිව හඳුනා ගෙන, එයට වඩාත් කාර්යක්‍ෂම හා පිරිමැසුම්දායක ලෙස අභ්‍යවකාශ තාක්‍ෂණය යොදා ගන්නේ කෙසේදැයි පළමුව තීරණය කළ යුතුයි. ඉන් පසු අපේ අවශ්‍යතාවලට වඩාත් සරිලන සහයෝගීතාව ඉන්දියාව, චීනය හෝ වෙනත් (ජපානය, රුසියාව, අමෙරිකාව වැනි) රටකින් ලබා ගැනීමට දිගු කල් දැක්මක් හා සැළසුමක් අවශ්‍යයි.

එසේ නැතිව ශ‍්‍රී ලංකාවට කලාපීය බලවතුන් දෙදෙනාගේ අභ්‍යවකාශ තරගයේ අන්ධ අතකොලූවක් වීම අවශ්‍ය නැහැ. විද්‍යා හා තාක්‍ෂණ අමාත්‍යාංශවලට අමතරව විදේශ කටයුතු අමාත්‍යාංශය ද මේ තීරණවල හවුල්කරුවකු වීම වැදගත්.

 

 

Advertisements

සිවුමංසල කොලූගැටයා #169: අඩ සියවසක් ලොවේ හොඳ හිත දිනූ අක්‍ෂිදානය

The first eyes donated from Sri Lanka were dispatched overseas, to Singapore, on 25 May 1964. In the half century that followed, over 66,500 eye corneas have been donated from Sri Lanka to a total of 117 cities in 54 countries worldwide (by end April 2014). This is one of the greatest humanitarian gifts in modern times, which has earned Sri Lanka unparalleled gratitude and goodwill around the world.

In this week’s Ravaya column, in Sinhala, I trace the origins of eye donation in Sri Lanka. I have just written up the same information in English at:

When Worlds Collide #108: Eye Donation at 50 – Promoting Lanka’s Soft Power

Eye Donation Society Headquarters in Colombo. Photo by Janaka Sri Jayalath

Eye Donation Society Headquarters in Colombo. Photo by Janaka Sri Jayalath

 

ශ‍්‍රී ලංකාවේ ජාත්‍යන්තර ප‍්‍රතිරූපය හා පිළිගැනීම වඩාත් යහපත් කරන්නේ කෙසේ  ද යන්න දිගු කලෙක සිට කැරෙන සංවාදයක්. රාජ්‍ය තාන්ත‍්‍රික (තානාපති) කටයුතුවලට අමතරව මෑතක පටන් විශාල වියදමක් දරා බටහිර රටවල වාණිජ මට්ටමේ මහජන සම්බන්ධතා සමාගම්වල සේවය ලබා ගන්නට රජය ක‍්‍රියා කරනවා.

තොරතුරු සමාජය දියුණු වී ඇති අද කාලේ ප‍්‍රතිරූප හා හොඳහිත ගොඩනැංවීම අපහසුයි. එහෙත් එය බිඳ වැටීම හෝ හානි කර ගැනීම ලෙහෙසියි.

අඩසියවසක් මුළුල්ලේ කිසිදු මහජන මුදල් වියදමකින් තොරව මෙරටට විශාල ගෞරවයක්, කෘතඥතාවයක් හා හොඳ හිතක් ලොව පුරා ගොඩනැංවූ ජනතා ව්‍යාපාරයක් තිබෙනවා. ඒ ශ‍්‍රීලංකා අක්‍ෂිදාන සංගමයයි. එහි නිර්මාතෘ වෛද්‍ය හඞ්සන් සිල්වා (1929 – 1999) මෙරටින් බිහි වූ වෛද්‍යවරුන් අතර අතිශයින් ලෝක ප‍්‍රණාමයට පාත‍්‍ර වූ විද්වතෙක්.

අපේ ඇස් ලොවට දන් දීම ඇරැඹී වසර50ක් පිරෙන මේ මාසයේ ඒ කථාව සිහිපත් කිරීම වටිනවා.

Dr Hudson Silva (1929-1999), Founder of Sri Lanka Eye Donation Society

Dr Hudson Silva (1929-1999), Founder of   Sri Lanka Eye Donation Society

1958 ජනවාරි 19 වනදා ලංකාදීප පත‍්‍රයේ ‘‘මළ නෙතට පණ’’ නමින් ලිපියක් පළ වුණා. එය ලියා තිබුණේ එවකට වෛද්‍ය ශිෂ්‍යයකුව සිටි හඞ්සන් සිල්වා නම් තරුණයා. නිරෝගී නෙත් යුවලක් හිමි කෙනකු මිය ගොස් පැය කිහිපයක් ඇතුළත ඒ නෙත්වල කුණිතය (cornea) වෛද්‍ය විද්‍යාත්මකව හා ඥාතීන්ගේ අවසරය ඇත‘ව ගලවා ගෙන හැකි ඉක්මණින් එය බද්ධ කිරිම හරහා ඇතැම් දෘශ්‍යාබාධවලින් ඇස් පෙනීම අඩාල වූ අයට නැවත පෙනීම ලබා දිය හැකි බව ඔහු කියා සිටියා.

එය ඒ වන විටත් වෛද්‍ය විද්‍යාවේ පිළිගත් ක‍්‍රමවේදයක් බවට පත්ව තිබුණත් බොහෝ රටවල විශාල ප‍්‍රශ්නයක් වූයේ දන් දීමට කුණිත සොයා ගැනීමේ අපහසුතාවයි. ඇතැම් ආගම් හා සංස්කෘතීන්ගේ මිය ගිය කෙනකුගේ අවයව (බද්ධ කිරිමට) ඉවත් කිරිමට අවසරයක් නැහැ.

1955 අංක 55 දරණ ඇස් දන්දීමේ පනත මෙරට සම්මත වී තිබුණත් රෝහල්වලට අවශ්‍ය තරම් කුණිත සොයා ගැනීමට නොහැකි වී තිබුණා. එයට පිළියමක් ලෙස (බෞද්ධ සංස්කෘතික උරුමයේ ඉඩ දී ඇති පරිදි) අක්ෂිදාන සංගම් රට පුරා පිහිටු විය හැකි බවත්, මරණින් පසු තම ඇස් දන්දීම සඳහා ජීවත්ව සිටියදී ම ප‍්‍රතිඥා දීමට ලාංකිකයන්ට හැකි බවත් මේ ලිපියෙන් හඞ්සන් සිල්වා යෝජනා කළා.

පසු කලෙක අක්ෂිදාන ව්‍යාපාරය හා ශ‍්‍රී ලංකා අක්ෂිදාන සංගමය නමින් ජන සංවිධානයක් බිහි වූයේත්, ලොව පුරා ශ‍්‍රී ලංකාවට ඉමහත් කීර්තියක් හා ගෞරවයක් අත් කර දෙන ඇස් දන් දීමේ සද්කාර්යය ඇරැඹුණෙත් මේ පුවත්පත් ලිපියෙන්.

ලිපියට ඉතා හොඳ ප‍්‍රතිචාරයක් ලැබුණා. ලංකාදීප කාර්යාලයට ලියුම් ලියමින් තමන්ගේ ඇස් දන්දීමට බොහෝ දෙනා ඉදිරිපත් වුණා. ඒ අතරින් සමහරුන් ජීවත්ව සිටියදීම එක් ඇසක් දන් දීමට කැමතිව සිටියා.

අවසාන වෛද්‍ය විභාගයෙන් සමත්ව වෛද්‍ය හඞ්සන් සිල්වා 1958සැප්තැම්බරයේ මුල් පත්වීම ලැබුවේ කළුතර නාගොඩ රජයේ රෝහලට. එහි එවකට ප‍්‍රධානියා වූ වෛද්‍ය ජෝර්ජ් ප‍්‍රනාන්දුගේ අනුදැනුම යටතේ අක්‍ෂිදාන ව්‍යාපාරය ප‍්‍රායෝගිකව ඇරඹුණේ එම රෝහලෙන්. (ගිය වසරේ ටෙලිවිෂන් පටිගත් කිරීමකට එහි ගිය මා දුටුවේ මේ වැදගත් ඉතිහාසය ගැන අද එහි කිසිවකු නොදන්නා බවයි.)

මුල් වතාවට අක්‍ෂි යුගලක් උකහා ගනු ලැබුවේ මහමග ඇද වැටී රෝහලට ගෙන එන ලදුව එහිදී මිය ගිය, හඳුනා නොගත් කෙනකුගෙන්. එම ඇස් යුගල ජෑම් බෝතලයක දමා ගෙන තරුණ වෛද්‍යවරයා බස් රියෙන් කොළඹ පැමිණ ඇස් රෝහලේ බද්ධ කිරීමට එය භාර දුන්නා.

රෝහලේ මිය යන අයගේ ඥාතීන් සමග කථා කරන විට වෛද්‍යවරයා තේරුම් ගත්තේ ජීවත්ව සිටියදීම අක්‍ෂිදානයට ප‍්‍රතිඥාවක් දී තිබීම වඩාත් උචිත බවයි. ඒ අනුව ඔහු එයට සරල පොරොන්දු පත‍්‍රයක් නිර්මාණය කළා.

එසේම අක්‍ෂිදානයට පොරොන්දු පත‍්‍ර වඩාත් අත්සන් කර ගැනීමට අක්‍ෂිදාන සංගමයක් ද පිහිටුවා ගත්තා. එහි මුල්ම රැස්වීම පැවැත්වූයේ 1958දෙසැම්බර් 30වනදා කළුතර දිස්ත‍්‍රික්කයේ මහවස්කඩුවේ ශ‍්‍රී සුධර්මාරාම විහාරයේ ධර්මශාලාවේදී. එතැනින් පටන් ගත් අක්‍ෂිදාන ව්‍යාපාරය පසු කලෙක දිවයින පුරා ශාඛා 400කට වැඩි ජාලයක් බවට පත් වුණා. මෙරට ප‍්‍රමුඛතම ස්වේච්ඡා ව්‍යාපාරයක ආරම්භය එයයි.

Mahawaskaduwe Sri Sudharmarama temple 'bana maduwa' in Kalutara - Venue of first meeting where Eye Donation Society was formed on 30 Dec 1958

Mahawaskaduwe Sri Sudharmarama temple ‘bana maduwa’ in Kalutara – Venue of first meeting where Eye Donation Society was formed on 30 Dec 1958

1961 මුලදී කොළඹ ඇස් රෝහලට මාරුවීමක් ලැබූ වෛද්‍ය හඞ්සන් සිල්වා අක්‍ෂිදානය ජාතික මට්ටමට පුළුල් කිරීම ඇරඹුවා. මුල සිට ම ඔහුට ඕනෑ වුණේ මෙරට සියළු ජන කොටස් ද විවිධ ආගම් අදහන සැවොම ද මේ සද්කාරියට හවුල් කර ගන්නයි. මේ නිසා බහු ආගමික පැවිදි අනුශාසක පිරිසක් ද සෞඛ්‍ය ඇමතිවරයා හා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරයා ගිහි අනුශාසකයන් ලෙස ද පත් කර ගත්තා. අක්‍ෂිදාන ජාතික සංගමයේ මුල්ම සභාපති ලෙස ඇස් රෝහලේ අධිපති වෛද්‍ය ඞී. ඒ. ජයසිංහ පත් වූ අතර ප‍්‍රධාන ලේකම් වූයේ වෛද්‍ය හඞ්සන්.

අක්‍ෂිදාන පොරොන්දු පත‍්‍රය වඩ වඩාත් ජනප‍්‍රිය වුණා. ප‍්‍රථම අක්‍ෂිදායකයා වූයේ මඩිහේ පඤ්ඤාසීහ හිමියන්. ප‍්‍රථම අක්‍ෂිදායිකාව හඞ්සන් සිල්වාගේ මව, බියටි‍්‍රස් නැන්සිනා පෙරේරා මැතිනිය.

එදා මෙදා තුර මෙරට රාජ්‍ය නායකයන්, ප‍්‍රභූන්, ප‍්‍රකට කලාකරුවන්, විද්වතුන් ඇතුළු සාමාන්‍ය ජනයා ලක්‍ෂ ගණනක් මේ පොරොන්දු පත‍්‍රයට අත්සන් කොට තිබෙනවා. (එසේ කර තිබීමෙන් මිය ගිය පසු පැය 4ක් ඇතුළත ඇස් උකහා ගැනීමට ඥාතින් හරහා අක්‍ෂිදානයට දැනුම්දීම වඩා විධිමත් වනවා. නමුත් පොරොන්දු පත‍්‍රයක් අත්සන් කර නොතිබුණත්, නැතත් ඥාතීන්ගේ කැමැත්තෙන් ඇස් දන් දිය හැකියි.)

1963 පමණ වන විට දන්දීම හරහා ලැබෙන අක්‍ෂි කුණිත දේශීය රෝහල්වල බද්ධ කිරීමේ අවශ්‍යතා සියල්ල සපුරා ගත් පසුව ඉතිරි වන්නට පටන් ගත්තා. එවකට පැවති තාක්‍ෂණය අනුව කුණිත කල් තබා ගත හැකි වූයේ දින 4ක් පමණයි. මේ නිසා අතිරික්තය අපතේ යා නොදී විදෙස් රටවලට පරිත්‍යාග කළ හැකිදැයි වෛද්‍ය හඞ්සන් විපරම් කළා.

ඒ අවස්ථාවේ ඔහුට නිශ්චිත විදෙස් සබඳතා නොතිබුණත් ලොව ප‍්‍රධාන නගරවල අක්‍ෂි රෝහල්වලට විමසීමේ ලිපි යැවුවා. ශ‍්‍රී ලංකාවේ මෙන් නොව බොහෝ රටවල බද්ධ කිරීමට ඇති තරම් අක්‍ෂි කුණීත නොලැබෙන බව ඔහු දැන සිටියා.

අමෙරිකාවේ නිව්යෝක් ඇස් බැංකුව විමසුම්වලට පිළිතුරු එවමින් කීවේ ඔවුන්ට ඇස් විශාල ගණනක් උවමනා බවයි. ලැබෙන හැම ඇසක් ම ඉමහත් පරිත්‍යාගයක් ලෙස සළකන බව ඔවුන් කියා සිටියා.

එහෙත් අන්තිමේදී මුලින් ම මෙරටින් අතිරික්ත ඇස් පරිත්‍යාග කෙරුණේ සිංගප්පූරුවටයි. 1964මැයි 25 (වෙසක් පොහොය)දා තර්මෝස් උණුවතුර බෝතලයක තැන්පත් කළ හිස් තීන්ත බෝතලයක බහාලූ අක්‍ෂි හයක් සිංගප්පූරු මහ රෝහල වෙත ගුවනින් යවනු ලැබුවා. එය බලාපොරොත්තුවෙන් සිටි අක්‍ෂි වෛද්‍යවරු ඒවා බද්ධ කොට සිංගප්පූරු ජාතිකයන් පස් දෙනෙකුට පෙනීම ලබා දුන්නා.

පනස් වසරක් තිස්සේ ශ‍්‍රී ලංකාවෙන් ලොවට තිළිණ කැරෙන උසස්ම මානුෂික පරිත්‍යාගය වන විදෙස්වලට ඇස් දන් දීම ඇරඹුණේ එසේ සුළුවෙන්.

අද මෙන් ගුවන් චාරිකා බහුල නොවූ දුරස්ත සන්නිවේදන දියුණුව නොතිබු එකල මේ සඳහා අවශ්‍ය සම්බන්ධීකරණය ලෙහෙසි වූයේ නැහැ. වෛද්‍ය හඞ්සන්ගේ සංවිධාන හැකියාව හා නොපසුබස්නා අධිෂ්ඨානය තීරණාත්මක වූයේ එහිදියි. ඔහු හැකි සෑම සබඳතාවක් හා කුසලතාවක් ම යොදා ගනිමින් වඩ වඩාත් ලෝකයේ රටවලට ඇස් යැවීමට වෙහෙස වූවා.

එහෙත් එසේ යැව්වේ මෙරට අවශ්‍යතා පිරිමැසීමෙන් පසු අතිරික්තය පමණයි. ‘‘ශ‍්‍රී ලංකාවේ මෙතරම් අන්ධ මිනිසුන් සිටියදී ඇයි මේ ඇස් පිටරට යවන්නේ?’’ සමහරුන් විමතියෙන් ප‍්‍රශ්න කළා.

Human Eye Corneas, ready for dispatch at International Eye Bank in Colombo, Sri Lanka on 27 March 2013 - Photo by Janaka Sri Jayalath

Human Eye Corneas, ready for dispatch at International Eye Bank in Colombo, Sri Lanka on 27 March 2013 – Photo by Janaka Sri Jayalath

හැම දෘෂ්‍යාබාධයක්ම කුණිත බද්ධයෙන් සුවපත් කළ නොහැකියි. උපතින්ම පෙනීම නොලද අයකුට බද්ධ කිරීම හරහා පෙනීම ලද නොහැකියි. කළු ඉංගිරියාව නරක් වී එහෙත් දෘෂ්ටි ස්නායුව, ශ්වේත පටලය වැනි ඇසේ අනෙක් කොටස් හොඳ තත්ත්වයෙන් පවතින රෝගීන්ට පමණක් කුණිත බද්ධය සාර්ථක වන බව වෛද්‍ය හඞ්සන් තම විවේචකයන්ට පහදා දුන්නා.

1964දී සුළුවෙන් ඇරැඹි ලෝකයට ඇස් දන් දීම ක‍්‍රමයෙන් පුළුල් හා සංවිධානගත කෙරුණා. 1967දී ලන්ඩන් නුවරදී අක්‍ෂි වෛද්‍ය සම්මේලනයක් අමතමින් වෛද්‍ය හඞ්සන් කීවේ ‘අපට වසරකට අවම වශයෙන් අක්‍ෂි කුණිත 200ක් ලෝකයට ලබා දිය හැකියි’ කියායි.

මුලදී ආසියානු රටවලට යැවුණු ඇස් පසුව රුසියාව, අප‍්‍රිකානු රටවල්, යුරෝපයට හා දකුණු අමෙරිකාවට ද යවනු ලැබුවා. වාමාංශික – දක්‍ෂිනාංශික පිල් බෙදීම් කිසිවක් නොසලකා ඕනෑකම ඇති, පෙරදිග අපරදිග, දුප්පත් හා පොහොසත් රටවලට නොමිළයේ ඇස් පරිත්‍යාග කිරීම දිගටම සිදු වුණා. මේ හරහා ශ‍්‍රී ලංකාවට ලැබුණු හොඳ නම හා හොඳ හිත ඉතා ඉහළයි.

ලෝකයට ඇස් පරිත්‍යාග කිරීම වඩාත් විධිමත්ව කර ගෙන යාමට ජාත්‍යන්තර ඇස් බැංකුව නිල වශයෙන් ඇරඹුවේ 1965ඔක්තෝබරයේ. අක්‍ෂිදාන සංගමයේ අධීක්‍ෂණය යටතේ ක‍්‍රියාත්මක වන එහි විශේෂ පුහුණුව ලද තාක්‍ෂණවේදීන් සිටිනවා.

මෙරට සිට පිටරටකට ඇස් යැවීම හරියට සමූහ තරග දිවීමක් (relay) වගෙයි. කෙනකු මිය යාමෙන් පැය 4ක් ඇතුළත ගලවා ගන්නා ඇස් වහාම ආරක්‍ෂිත මාධ්‍යයක ගල්වා, අවශ්‍ය පරික්‍ෂණ කිරීමෙන් පසු දිගු ගමනට සූදානම් කැරෙනවා. (HIV 1හා 2, හෙපටයිටීස් B, Cමෙන්ම සිෆිලිස් රෝගය සඳහා ද පරික්‍ෂා කිරීමෙන් පසුවයි බද්ධයට සුදුසු යයි තීරණය කරන්නේ.) ඇස් රට යැවීම සඳහා රිජිෆෝම් යොදා ගෙන එයට ආවේණික වූ ආරක්‍ෂිත පෙට්ටියක් වෛද්‍ය හඞ්සන් විසින් සැළසුම් කරනු ලැබුවා.

ඇස් බැංකුවෙන් සූදානම් කැරෙන ඇස් මේ පෙට්ටිවල බහා අදාල රේගු හා ගුවන් ගමන් ලියකියවිලි ද සමග කටුනායක ගුවන් තොටුපළට යැවෙනවා. එතැන් සිට ගුවන් ගමන් එකක් හෝ කිහිපයක් හරහා ගමනාන්ත නගරයට ගුවනින් යන පෙට්ටිය, හැකි ඉක්මනින් එහි අක්‍ෂි වෛද්‍යවරුන් අතට පත් කැරෙනවා. මේ සම්පේ‍්‍රෂණය පුද්ගලයන් හා ආයතන කිහිපයක සහභාගීත්වයෙන් කැරෙන මානුෂික මෙහෙයුමක්.

වෛද්‍ය තාක්‍ෂණයේ දියුණුවත් සමග වැඩි දින ගණනක් නරක් නොවී ඇස් කල් තබා ගත හැකි ක‍්‍රම සොයා ගනු ලැබුවා. අද වන විට යොදන ද්‍රාවණය අනුව දින 4ක්, 7ක් හෝ 14ක් කල් තබා ගත හැකියි.

2014 අපේ‍්‍රල් අග වන විට ශ‍්‍රී ලංකාවෙන් රටවල් 54ක නගර 117ක බද්ධ කිරීම සඳහා අක්‍ෂි කුණිත 66,500කට ටිකක් වැඩියෙන් පරිත්‍යාග කොට තිබුණා. මෙයට අමතරව මෙරටදී බද්ධ කිරීම් සඳහා දන් දුන් ඇස් 40,000කට වඩා රජයේ හා පෞද්ගලික රෝහල්වලට ලබා දී තිබෙනවා.

Eye donation stamp, 1983

Eye donation stamp, 1983

අක්‍ෂිදානය සිදු කැරෙන්නේ මුළුමනින්ම වාණිජ නොවන මට්ටමින්. මෙරටදී භාවිතයට ගැනෙන කුණිත සඳහා කිසිදු අය කිරීමක් නැහැ. පිටරට යැවෙන කුණිතවලට ද අය කිරීමක් නොකළත් සූදානම් කිරීමේ හා යැවීමේ වියදම ඒවා ලබන අක්‍ෂි රෝහල්වලින් ලබා ගැනෙනවා. මෙය අක්‍ෂිදාන සේවාව දිගටම පවත්වා ගෙන යාමට අවශ්‍ය වියදම්වලින් කොටසක් සපයනවා.

එහෙත් (අපේ සමහර මාධ්‍ය වරදවා විග‍්‍රහ කළ පරිදි) ඇස් විකිණීමක් කිසි විටෙක සිදු වන්නේ නැහැ. මෙය වෛද්‍ය හඞ්සන් ජීවත්ව සිටියදී අවධාරණය කළ මූලික ප‍්‍රතිපත්තියක්.

අක්‍ෂි දානය ලැබූ විවිධ රටවලින් ඒ සඳහා කෘතඥතාව පළ කරමින් අක්‍ෂිදාන සංගමයට ආධාර උපකාර කිරීම කලෙක සිට සිදු වනවා. මෙරටින් ඇස් සිය ගණනක් ලැබූ ජපානය හා පාකිස්ථානය වැනි රටවලින් මේ කළගුණ සැළකීම ඉහළින් ම කෙරුණා. පාකිස්ථානයේ ලාහෝර් නුවර හඞ්සන් සිල්වා අක්‍ෂි රෝහලක් ද පිහිටුවා තිබෙනවා.

ජපානයට බොහෝ ඇස් දන්දීමට ස්තුති කිරීමක් ලෙස එරට සිංහ සමාජ වෙතින් අක්‍ෂිදාන සංගමයට ටොයෝටා මෝටර් රථයක් තෑගි කළා. එය පිළිගැන්වීමට 1970දශකය මුල මෙහි ආ ජපන් නියෝජිත පිරිස දුටුවේ මේ තරම් විශාල මෙහෙවරක් කරන්නේ කුඩා තට්ටු නිවාස කාමරයක සිට බවයි.

ව්‍යාපාරයේ මුල් වසර 20පුරා අක්‍ෂිදාන කටයුතු බොහෝ විට සම්බන්ධීකරණය වූයේ වෛද්‍ය හඞ්සන්ගේ නිවසෙන්. ආපසු ගිය ජපන් ජාතිකයෝ අක්‍ෂිදානයට ගොඩනැගිල්ලක් තැනීම සඳහා ආධාර එකතු කළා. යෙන් කෝටියක් මෙහි එවුවා.

1965දී රජය පිළිගත් පුණ්‍යායතනයක් බවට පත්වූ අක්‍ෂිදාන සංගමයට 1970දශකය මුලදී කොළඹ විජේරාම මාවතට නුදුරු රජයේ බිම් කොටසක් ලැබුණා. 1976දී ජනාධිපති විලියම් ගොපල්ලව අතින් මුල් ගල තැබුණු අක්‍ෂිදාන මූලස්ථානය සෙමින් සෙමින් ආධාර එකතු කරමින් තනා නිම කොට 1984දී විවෘත කළේ එවකට අගමැති ආර්. පේ‍්‍රමදාස විසින්.

Hiru TV’s biographical programme on Dr Hudson Silva, presented by Nalaka Gunawardene (first broadcast in April 2013):

 

 

Posted in Biographical, Broadcasting, Campaigns, Communicating development, Ethics, Global South, Health, HIV/AIDS, Humanitarian action, Humanitarian emergencies, Innovation, public interest, Ravaya Column, Sri Lanka. Tags: , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , . 1 Comment »