In this week’s Ravaya column (in Sinhala), I salute a fellow traveler in journalism and conservation who departed two years ago: Manel Tampoe (1927-2012).
I wrote a tribute in English in September 2012, which appeared in Groundviews.org: Manel Tampoe: Perceptive Chronicler of Sri Lanka’s DDT Generation (This Sinhala column is not a translation.)

මෙරට පුවත්පත් කලාවේ හපන්කම් කළ හා නිම්වළලූ පුළුල් කළ චරිත ගැන විටින් විට මා කරන ආවර්ජානවලට හොඳ ප‍්‍රතිචාර ලැබෙනවා. මගේ මාධ්‍ය අත්දැකීම් බොහෝ කොටම ඉංග‍්‍රීසි බසින් කැරෙන මාධ්‍යකරණයට සීමා වූ නිසා මා වඩාත් හොඳින් හඳුනන්නේ ඒ ක්‍ෂෙත‍්‍රයේ උදවියයි. ඔවුන් ජාතික මට්ටමෙන් හා ඇතැම් විට ජාත්‍යන්තර මට්ටමින් කළ දායකත්වය සිංහල පාඨකයන්ට මතක් කර දීම වටිනා බව මගේ අදහසයි.
පත්තර ලෝකයේ හොඳ වැඩ කරන්නට මාධ්‍ය ආයතනයක පූර්ණ කාලීන, මාණ්ඩලික ලේඛකයකු වීම අවශ්‍ය ම නැහැ. වෙනත් රැකියාවක් කරන අතර හෝ විශ‍්‍රාමිකව සිටින විට හෝ නිතිපතා පත්තරවලට හරවත් ලිපි ලියන ස්වාධීන ලේඛක ලේඛිකාවන් සිටිනවා. මෙරට සියළුම පත්තර ආයතන ඔවුන්ට ගෙවන්නේ ශ‍්‍රමයට හා නිර්මාණයට නොසෑහෙන තරමේ සොච්චමක්. එසේ වුවත් පොදු උන්නතිය සඳහා කැප වීමෙන් මේ කාරියෙහි නියැලෙන පිරිසක් එදත් අදත් අප අතර සිටිනවා.
ඉංග‍්‍රීසි බසින් මාධ්‍යකරණයේ යෙදුණු මානෙල් තම්පෝ මහත්මිය (1927 – 2012) හොඳ උදාහරණයක්. මීට දෙවසරකට පෙර 85 හැවිරිදිව මිය යන තුරු ඇය දශක ගණනක් මෙරට හා විදේශීය ප‍්‍රකාශනවලට ශ‍්‍රී ලංකාවේ සංවර්ධනය හා පරිසරය ගැන විචාරශීලි ලිපි ලියූ පුරෝගාමි චරිතයක්.

මානෙල් තම්පෝ මා දැන හඳුනා ගත්තේ 1980 දශකය අගදී. ධර්මන් වික‍්‍රරත්න නායකත්වය දුන් පාරිසරික ජනමාධ්‍යවේදී පර්ෂදය හරහා ඒ වන විට වයස හැට ගණන්වල සිටි ඇය තරුණ අපත් සමග උද්‍යොගයෙන් හා මිත‍්‍රශීලීව වැඩ කළා. බෙහෙවින් ආචාරශීලි හා තැන්පත් චරිත ගතිවලින් යුක්ත වූ ඇයට තීක්‍ෂණ බුද්ධියක් හා හොඳ හාස්‍ය රසයක් තිබූ බව ටික කලකින් මා වටහා ගත්තා. නාවල අගේ නිවහනේදී අප බොහෝ කාලීන මාතෘකා ගැන දිගු වේලා සංවාද කළ හැටි මතකයි.
අයිරාංගනී මානෙල් ගුණසේකර පානදුරේ ඉපදී කොළඹ විශාඛා විද්‍යාලයෙන් ඉගෙනුම ලැබුවා. සරසවි අධ්‍යාපනයට යොමු වූ මුල් ලාංකික කාන්තාවන් අතර සිටි ඇය 1948 දී ලංකා විශ්ව විද්‍යාලයෙන් ඉංග‍්‍රීසි භාෂාව පිළිබඳ සම්මාන උපාධියක් ලබා ගත්තා. ඉන් පසු දශක දෙකක් ඇය ඉංග‍්‍රීසි භාෂා ගුරුවරියක් ලෙස විශාඛා, නාලන්දා හා සාන්ත තෝමස් විද්‍යාලවල සේවය කළා.
මේ කාලය තුළ ඇගෙන් උගත් දහස් ගණන් සිසුන් අතර පසු කලෙක ක‍්‍රිකට් විස්තර විචාරයන් සඳහා ප‍්‍රකට වූ පේ‍්‍රමසර ඈපාසිංහ ද සිටිනවා. ඇය ඉංග‍්‍රීසි භාෂාව හා සාහිත්‍යය සිත් කාවදින හා අමතක නොවන ලෙසින් ඉගැන් වූ සැටි ඔහු සිහිපත් කරනවා.
1951 මානෙල් විවාහ වූයේ සරසවියේදී හඳුනාගත් ආරියරත්නම් ෆෙඞ්රික් තම්පෝ සමගයි. ඔවුන්ට පුතකු හා දියණියන් දෙදෙනකු ලැබුණා. පවුලේ වගකීම් දරමින්, ගුරුවරියක ලෙස ක‍්‍රියා කරන අතර ජන සමාජයට වැදගත් පොදු වැඩට හවුල් වීමට ද ඇය කාලය සොයා ගත්තා.
එසේම මානෙල් තමන්ගේ කාලයට වඩා ඉදිරියෙන් සිටි කාන්තාවක්. 1950 ගණන්වලදී තම සැමියාට කලින් රථ වාහන පැදවීමේ රියදුරු බලපත‍්‍රයක් ලබා ගත් ඇය තමන් ඉතිරි කර ගත් මුදලින් මොරිස් මයිනර් කාරයක් මිලට ගත්තා. ඇගේ මිතුරියන් වූ අයිරාංගනී සේරසිංහ, කාමිනී විතාරණ වැනි අය ද එබඳුම පුරෝගාමී හා සමාජශීලී චරිත වුණා.
මානෙල් ඉඳහිට ඉංග‍්‍රිසි පත්තරවලට ලිපි ලියූවත් එය ප‍්‍රබලව මතුව ආයේ 1970 දශකයේ. බැංකු වෘත්තිකයකු වූ ඇගේ සැමියා ලංකා බැංකුවේ ලන්ඩන් ශාඛාවට අනුයුක්තව සිටි 1970-75 කාලයේ දරුවන් සමග ඇය ද එහි ජීවත් වූවා. යුරෝපය හා අමෙරිකාවේ එවකට මතු වෙමින් පැවති පාරිසරික ප‍්‍රශ්න හා ඒවාට ජනතාවගේත් රජයන්ගේත් ප‍්‍රතිචාර ගැන ඇය ඒ වකවානුවේ හොඳ හැටි අධ්‍යයනය කළා.
1975 මෙරටට ආපසු ඇය ලේක්හවුස් ආයතනයේ ඬේලි නිවුස් පත‍්‍රයේ විශේෂාංග ලේඛිකාවක් ලෙස සේවය කළා. එසේම සිංහරාජ වනාන්තරය දැව සඳහා කපා ගැනීමේ අමනෝඥ රාජ්‍ය ව්‍යාපෘතියට එරෙහිව මතු වූ මෙරට මුල්ම පාරිසරික උද්ඝෝෂනයට ද ඇය සම්බන්ධ වූවා.

විද්වත් හා මහජන විරෝධය හමුවේ සිංහරාජ දැව ව්‍යාපෘතිය එවකට පැවති රජය නතර කළත් සොබා සම්බත් හා මානව අවශ්‍යතා අතර තරගය ටිකෙන් ටික උත්සන්න වන බව මානෙල් දිගු කල් නුවණින් වටහා ගත්තා. 1977 ජූලි මාසයේ බලයට පත් රජය එතෙක් පැවති සංවෘත ආර්ථිකය විවෘත කිරීමේ ප‍්‍රතිපත්තිය සමග මේ ආතතිය තවත් උග‍්‍ර වූවා.
1973 සිට පවතින රජයේ මතවාදයන් ප‍්‍රචාරණයට නතුව තිබූ ලේක්හවුස් ආයතනයේ සේවය කරන අතර අධිවේගී ආර්ථික සංවර්ධන ප‍්‍රතිපත්ති සියුම් ලෙස විවේචනයට ලක් කිරීමේ ඉඩකඩ පාදා ගන්නට මානෙල් තම්පෝ හා ඇගේ විශේෂාංග කතුවරිය වූ මල්ලිකා වනිගසුන්දර සමත් වුණා.
කැකෑරෙන ජනතා බලාපොරොත්තු රැසක් සපුරා දීමට ලොකු පොරොන්දු දී බලයට පැමිණි ජේ. ආර්. ජයවර්ධන රජයට වනාන්තර, වන සතුන් හා වෙනත් සොබාවික සම්පත් ගැන එතරම් තැකීමක් තිබුනේ නැහැ. එසේම ඒ මොහොතේ රටේ තිබූ අපේක්‍ෂා සාක්‍ෂාත් කිරීමට ලැසි ගමනින් වර්ධනය වීම නොසෑහෙන බව රජයට පැහැදිලි වුණා.
රාජ්‍ය ප‍්‍රතිපත්ති රාමුව හා එක එල්ලේ නොගැටී, සංවර්ධනයේ පාරිසරික හා සමාජයීය බලපෑම් හැකි තාක් සමනය කර ගැනීමේ ක‍්‍රමවේදයන් ගැන හරවත් සංවාද මානෙල් හා මල්ලිකා දෙපළ ඬේලිනිවුස් කතුවැකකි හා විශේෂාංග ලිපි හරහා වසර ගණනාවක් පවත්වාගෙන ගියා. මුළුමනින්ම රාජ පාක්‍ෂික පත්තර කන්තෝරුවකින් වුවත් පොදු උන්නතියට අදාල ප‍්‍රශ්න උපක‍්‍රමශීලි ලෙස ආවරණය කරන්නේ කෙසේ ද යන්නට මේ මාධ්‍යෙවිදිනියන් දෙපළ කදිම පූර්වාදර්ශයක් ලබා දී තිබෙනවා.
මානෙල්ගේ පුවත්පත් ලිපි බොහෝ සේ කරුණු රැස්කර, ගවේෂණාත්මකව ලියනු ලැබූ ඒවායි. විද්වතුන්, රාජ්‍ය නිලධාරින් හා ක‍්‍රියාකාරිකයන් රැසක් සමග ඇයට හොඳ සබඳතා තිබුණා. මේ නිසා පටු රාමුවකට සිර නොවී පුළුල්ව ප‍්‍රශ්න විග‍්‍රහ කිරීමට ඇයට හැකි වුණා. සිල්ලර සමාජවාදී උද්‍යෝගපාඨ වෙනුවට ඇය ගමේෂණාත්මකව විවිධ සංවර්ධන ව්‍යාපෘතින් ගැන ප‍්‍රශ්න කළා.
ශ‍්‍රී ලංකාවේ පමණක් නොව විදේශීය ප‍්‍රකාශනවලටත් මෙරට පාරිසරික ප‍්‍රශ්න ගැන විග‍්‍රහයන් ලිවීමට ඇයට අවස්ථා ලැබුණා. ද ඉකොලොජිස්ට් The Ecologist නම් බි‍්‍රතාන්‍ය සඟරාවේ 1988 නොවැම්බර්-දෙසැම්බර් කලාපයේ මෙරට වෙරළ සංරක්‍ෂණ අභියෝග ගැන ලියූ ලිපියක ඇය මෙසේ කීවා: ‘‘ශ‍්‍රීලංකාවේ වෙරළ සුරකින්නට තැත් කරන විට පදිංචිකරුවන්ගේ අයිතිවාසිකම්, වෙරළ ව්‍යාපාරික කටයුතු වලට යොදා ගන්නා අයගේ අවශ්‍යතා, ධීවරයන්ගේ අයිතීන් වැනි සාධක රැසක් තුලනය කර ගත යුතු වෙයි. එක් සාධකයක් හෝ දෙකක් ගැන පමණක් සළකා බැලූවහොත් සියල්ල අවුල් ජාලයක් විය හැකියි.’’
මෙරට සොබා සම්පත් සුරැකීමට රාජ්‍ය ආයතන තැත් කරන විට එයට ආධාර හා උපදෙස් දීමට ඉදිරිපත් වන ආයතන ගැන බෙහෙවින් ප‍්‍රවේශම් විය යුතු බව ඈ නිතර අවධාරණය කළා. එසේම විදේශ ආයෝජකයන් දිරිමත් කිරීම ආර්ථිකයට අවශ්‍ය වුවත් ඒ සඳහා යම් ප‍්‍රමිතීන්, සීමාවන් හා නිසි නියාමනයක් අවශ්‍ය බවත් ඇය ලිපිවලින් නිතර සිහිපත් කළා.
ලෝක බැංකුව හා ආසියානු සංවර්ධන බැංකුව මානෙල්ගේ දැඩි විවේචනයට හසුවූ ආධාර ආයතන දෙකක්. රාජ්‍ය මාධ්‍ය ආයතනයක් හරහා ලක් රජයට ආධාර කරන මේ ආයතන ගැන ඇය ප‍්‍රශ්න කළේ තොරතුරුවලින් සන්නද්ධව හා ආවේගශීලි නොවූ තුලනාත්මක ලෙසින්.
රුක් රැක ගන්නෝ සංවිධානයේ මුල් කාලීන හා උද්‍යෝගිමත් සාමාජිකාවක් වුවත් ගස් බදා ගැනීමේ සරල සංකල්පවලින් ඔබ්බට යන දැක්මක් මානෙල්ට තිබුණා. 1980 දශකය අගදී ආන්දෝලනයට ලක් වූ මෙරට වන සංරක්‍ෂණ මහා සැළසුම (Forestry Master Plan) ඇය විස්තරාත්මකව විවේචනය කළා.
වැඩි වන ජනගහනයට හා ඉහළ යන ජන අපේක්‍ෂාවලට අනුව අපේ දැව අවශ්‍යතා ද කෙමෙන් වැඩි වන බව ඇය පිළිගත්තා. හැම ගසක්ම කැපීමට එරෙහි වනවා වෙනුවට ජෛව විවිධත්වය අතින් වැදගත් ගස් හා වනාන්තර නිසි ලෙස රැක ගනිමින් අන් ප‍්‍රදේශවලින් දැව සම්පත් වර්ධනය කිරීමේ අවශ්‍යතාවය ඇය පෙන්වා දුන්නා.

1992 අපේ‍්‍රල් මාසයේ මානෙල් සහ මා බංග්ලාදේශයේ ඩාකා අගනුවර පැවති පාරිසරික මාධ්‍යවේදය ගැන දකුණු ආසියාතික වැඩමුළුවකට සහභාගී වුණා. ඒ වන විට ඇගේ වයස 65යි. ඇයට වඩා බෙහෙවින් ලාබාල වූ මට එහි සම්පත්දායකයකු ලෙස ඇරයුම් කර තිබීම ඇය කිසි විටෙක ප‍්‍රශ්නයක් කර ගත්තේ නැහැ. ඉතා උද්‍යෝගිමත්ව හා සුහදව ඇය සියළු දෙනා සමග තොරතුරු බෙදා ගත් සැටිත්, ක්‍ෂෙත‍්‍ර චාරිකාවක නිරත වූ සැටිත් මට මතකයි.
ඩාකා වැඩමුළුවට මානෙල් ඉදිරිපත් කළේ දකුණු පළාතේ කිරිඳිඔය වාරි යෝජනා ක‍්‍රමය පිළිබඳ විචාරයක්. තනිකර ඉංජිනේරුමය හා තාක්‍ෂණික පදනමක් මත පිහිටා, පළාතේ ජනතාවගේ හා ගොවීන්ගේ උවමනාකම් හරිහැටි හඳුනා නොගෙන කරන්නට තැත් කළ ඒ සංවර්ධන ව්‍යාපෘතියෙ අසාර්ථකත්වය ඇය පෙන්වා දුන්නා. (ඉංජිනේරු හා ලේඛක ඞී. එල්. ඕ. මෙන්ඩිස් තර්ක කරන්නේ 1987-89 දකුණේ ප‍්‍රචණ්ඩත්වය උග‍්‍ර වීමට එක් සාධකයක් වූයේ කිරිඳිඔය මුල් කර ගෙන දියත් කළ අසාර්ථක ලූණුගම්වෙහෙර ව්‍යාපෘතිය බවයි. එය වෙනම කථා කළ යුතු වැදගත් මාතෘකාවක්.)
මානෙල්ගේ ලේඛන හා ගවේෂණ කටයුතු සංවර්ධන ක‍්‍රමවේද විචාරයට ලක් කිරීමට පමණක් සීමා වූයේ නැහැ. ලේක්හවුස් ආයතනයේ සේවය හමාර කළ පසු ඇය නිදහස් ලේඛිකාවක් ලෙස විවිධ තේමා හා විෂයයන් ගැන පුවත්පත් හා සඟරා ලිපිත් වඩා පර්යේෂණාත්මක නිබන්ධනත් රචනා කළා.
ඇගේ එකම පොත රචනා වූයේත් මේ කාලයේදී. කොළඹ විශාඛා විද්‍යාලයේ ආදිකර්තෘ සෙලස්තිනා ඩයස්ගේ චරිත කථාව හා දානපතිනියක ලෙස ඩයස් මැතිනියගේ භූමිකාව පිළිබඳ ඉතිහාසය 1977දී ඈ කෙටි පොතක් ලෙසට ගොනු කළා. සමාජ විද්‍යාඥයන්ගේ සංගමය (Social Scientists Association, SSA) විසින් පළ කරනු ලැබූ මේ පොතෙහි නව මුද්‍රණයක් 2013දී නිකුත් වුණා.
මානෙල් තවත් ගවේෂණාත්මක පොතක් ලියමින් සිටි බව ඇගේ දරුවන් කියනවා. එය මෙරට පරිසර සංරක්‍ෂණයේ ඉතිහාස කථාවයි. ‘‘විවිධ ඓතිහාසික පොත්පත් හා වාර්තා රැසක් කියවමින් ඇය කරුණු රැුස් කළා. පැරණි රජ දවස සිට පෘතුගීසි යුගය දක්වා පොත ලියා තිබුණා’’ යයි ඇගේ පුත් කීත් ජයවික‍්‍රම (ඇමරිකාවේ පැළෑටි අභිජනන විද්‍යාඥයෙක්) කියනවා.
මානෙල්ගේ සැමියා මිය ගිය පසු හා ඇගේ දරුවන් විදේශ ගතවූ පසුවත් ඇය වයස 80 වන තුරුම මෙරට පදිංචිව සිටියා. කැනඩාවේ ටොරොන්ටෝ නුවර වෙසෙන දියණිය ටාරා සමග සිටීමට ගියේ 2007දීයි. (ඇගේ අනෙක් දියණිය මොයිරා ඕස්ටේ‍්‍රලියාවේ සිඞ්නි නුවර වසනවා.)
2012 මැයි 26 වනදා මානෙල් තම්පෝ 85 හැවිරිදිව ටොරොන්ටෝහිදි මිය ගියා. ඇගේ අන්තිම කැමැත්තට අනුව දඹුල්ලේ පිහිටි පොපම් ශාකාගාරය (Popham’s Aboretum) නඩත්තු කිරිමට රුක් රැකගන්නෝ සංවිධානයට පරිත්‍යාගයක් ද කර ඇති බව දිගු කාලීන මිතුරියක් වූ ජෛවවිද්‍යාඥ කාමිනී විතාරණ කියනවා.
මානෙල්ට මවුබිමට ආදරයක් හා තමන්ගේ ම දැක්මක් හාතිබුණා. එහෙත් බොහෝ හරිතවේදීන් මෙන් ආවේගශීලිව කුමන්ත‍්‍රණවාදී කථා හේතුවේ නැහැ. ඒ වෙනුවට ඇය ඉවසීමෙන් හා සන්සුන්ව කරුණු ගවේෂණය කළා. ක්‍ෂෙත‍්‍රයට නිතර ගියා. වයස හා ජ්‍යෙෂඨත්වය නොතකා බුද්ධි ගවේෂණයේ යෙදුණා. සාමාන්‍ය ජනයාට කියවා තේරුම් ගත හැකි සරල බසින් සන්නිවේදනය කළා.
හරිතවාදය අන්තවාදයක් වීමේ අවදානමක් ඇති අද කාලයේ අප ආදර්ශයට ගත යුත්තේ මානෙල් තම්පෝ වැනි චරිතයි.
