සිවුමංසල කොලූගැටයා #186: පරපුරකට කියැවීම පුරුදු කළ ලේඛකයා – ඞීමන් ආනන්ද

This week in my Ravaya column (in Sinhala), I pay tribute to Lankan writer Deeman Ananda (1933-2007), who wrote over 1,000 books of crime fiction, detective fiction and other thrillers in Sinhala from 1960s well into the 1980s.

Deeman’s books provided light entertainment and were highly popular among a whole generation of young readers, many of who took to reading thanks to these books. Yet the Deeman was ridiculed and demonized by the literary mainstream while many parents, teachers and schools outright ‘banned’ these books. This, in turn, made them even more popular – kids who read these books secretively later ‘graduated’ on to other literary genres.

Besides writing 1,009 is in a quarter century, Deeman Ananda also wrote screenplay for four Sinhala movies, and scripted the second comic book in Sinhala, named Thisa, published in the mid 1960s. Despite all these contributions, he died under-rated and under-appreciated. Yet he remains a well-loved icon on Lankan popular culture – and I salute him as one who went upstream against cultural orthodoxy.

Three Deeman Ananda book covers - from over 1,000 crime thrillers he wrote in Sinhala
Three Deeman Ananda book covers – from over 1,000 crime thrillers he wrote in Sinhala

ඞීමන් ආනන්ද!

මේ නම අද කාලේ තරුණ පාඨකයන්ට එතරම් හුරු නැති වුවත් 1960, 1970 හා 1980 දශකවල හැදුණු වැඩුණු අප බොහෝ දෙනකු ඔහු හඳුනන්නේ දිගට හරහට ප‍්‍රබන්ධ කථා ලියූ ලේඛකයකු හැටියට. එහෙත් ඔහු තරම් තහංචි, ගැරහුම් හා කොන් කිරීම්වලට ලක් වූ තවත් සිංහල ලේඛකයකු ද නැති තරම්.

එකල බොහෝ තරුණ තරුණියන් ඔහුගේ මාරක කථා හා ත‍්‍රාසජනක කථා කියවූයේ හීන්සීරුවේ නැත්නම් හොර රහසේ. කිසි විටෙක අසභ්‍ය නොවූවත් වැඩිහිටි සමාජය විසින් ගර්හිත කොට “තහනම්” කර තිබූ මේ පොත්වලින් අපට සරල වින්දනයක් ලැබුණා. මෙරට ජනප‍්‍රිය සංස්කෘතියේ ප‍්‍රබල අගයක් ලෙස වසර 25ක් පමණ පැවතියේ ආනන්ද අතින් ලියැවුණු 1000ට අධික පොත් සංඛ්‍යාවක්. එහෙත් ඔහුගේ භූමිකාව තවමත් නිසි ඇගැයීමකට ලක් වී නැහැ.

Deeman Ananda (1933-2007). Most prolific writer of Sinhala fiction in Sri Lanka during 20th century
Deeman Ananda (1933-2007). Most prolific writer of Sinhala fiction in Sri Lanka during 20th century

බෝපෙ කනත්තගේ ඞීමන් ආනන්ද උපන්නේ 1933 මාර්තු 30 වනදා මාතර බණ්ඩාරවත්තේදී. වටගෙදර බෞද්ධ මිශ‍්‍ර පාසලෙන් හා ඉන් පසු කොළොන්නාවේ ආනන්ද විද්‍යාලයේ ඔහු ඉගෙනුම ලැබුවා. සිංහල, ඉංග‍්‍රීසි භාෂාවලට අමතරව ඔහු පසු කලෙක ස්වෝත්සාහයෙන් දෙමළ හා හින්දි භාෂා ද ප‍්‍රගුණ කළා.

කුඩා වියේ සිටම ලිවීමට මහත් ඕනෑකමක් දැක්වූ ඔහු සිංහල ජාතිය හා සිළුමිණ පුවත්පත්වලට ලිපි හා කවි රචනා කළා. පසුව රිදීතිරය නමින් සිනමා පුවත්පතකට සම්බන්ධ වී වැඩ කළා.

ඞීමන් ආනන්ද ගැන කරුණු සොයා යන විට මහත් උපකාර වූයේ කලක් ඔහු දැන සිටි මගේ ද ගුරුතුමකු වන විද්‍යා දේශක අසංග අබේසුන්දරයි (මානව විද්‍යා ප‍්‍රකාශනයේ කතුවරයා හා ප‍්‍රකාශකයා).

අබේසුන්දරයන් ඞීමන් ආනන්ද මුල් වරට හමු වූයේ 1978 වසරේ දිනෙකයි. කොළඹ සරසවියේ විද්‍යා පීඨයේ උපාධි අපේක්‍ෂකයකු ලෙස ඔහු එවකට මානව බිත්ති පුවත්පතට ලිපියක් ලියන්නට ආනන්ද සොයා ගෙන වැල්ලම්පිටියට ගියා. මේ තරුණයා සමග මහත් උද්‍යොගයෙන් කථා බස් කළ ආනන්ද, කල් පවතින මිතුදමක් ඇති කර ගත්තා.

අබේසුන්දර ලියූ ලිපියට ඔහු දුන් හෙඩිම වූයේ ‘මා අත වරද නැත’ යන්නයි. ලේඛන කලාවට පිවිසි මුල් කාලයේ මහත් වෙර දරා ඞීමන් ආනන්ද ‘අපරාධය හා දඬුවම’ කෘතිය සිංහලට පරිවර්තනය කොට තිබෙනවා. එහි පිටපත රැගෙන ප‍්‍රකාශකයන් ගණනාවක් ළඟට ගියත් නමක් නොතිබුණු මේ නවක ලේඛකයාගේ කෘතිය ඔවුන් භාර ගත්තේ නැහැ. මෙයින් කම්පාවට පත් ආනන්ද එම පිටපතට ගිනි තබා පුළුස්සා දැමුවා.

ඉච්ඡාභංගත්වයෙන් සිටින ඔහුට මරදානේ පංචිකාවත්ත පාරේ තිබූ ලිංගම් පොත්හල හිමි එම්. එස්. ලිංගම් මුදලාලි ඔවදනක් දුන්නා. ‘‘සිගරට්, සුරුට්ටු වගේ (ඉක්මනට) විකිණෙන පොත් ලියන්න!’’

සරල වින්දනය ලබා දෙන අඩු මිළැති පොත් ලිවීම ආනන්ද ඇරඹුවේ ඒ අනුවයි. සම්භාව්‍ය සාහිත්‍ය කෘතියක පරිවර්තනය පළ කරවා ගත නොහැකි වුවත් ඔහු ලියූ මාරක කථා පාඨකයන් හමුවට ගෙන යන්නට නම් ප‍්‍රකාශකයන් උද්‍යොගයෙන් ඉදිරිපත් වුණා.

ආනන්ද මුලින්ම ලියූ මාරක කථා පොත ‘ගංතෙර හොල්මන’. පාළු තැනෙක සිට නොකියවන්න යැයි පොතේ දෙවැනි පිටුවේ අවවාදයක් ද මුද්‍රණය කළා. පිටු 112ක මේ සරල නවකථාව ඉක්මනින් පාඨක ජනාදරයට ලක්වුණා.

1960 දශකයෙන් පටන් ගත් මේ ව්‍යායාමය 1970 දශකය පුරාත් 1980 දශකයේ කොටසක් දක්වාත් ඔහු කර ගෙන ගියා. මේ කාලය තුළ ඔහු පොත් දහසකට වඩා ලියා තිබෙනවා. මෙය මෙරට ප‍්‍රකාශන ක්‍ෂෙත‍්‍රයේ වාර්තාවක්.

මුල් කාලයේ රුපියලට දෙකට පිටපතක් මිළ කෙරුණු මේ පොත්, පොත්හලවලට අමතරව පදික වේදිකාවේ හා පත්තර ලෑලිවල ද අලෙවි වුණා. කොළඹ ආනන්ද විද්‍යාලයේ පාසල් සිසුවකු ලෙස මරදාන දුම්රියපොළ අසලින් මේ පොත් මිළට ගන්නවා අබේසුන්දරට තවමත් මතකයි. වැඩ නිමා වී නිවෙස් බලා යන බොහෝ දෙනා ඒ දිනවල මේ පොත් මිලට ගෙන ගමනේදීම කියැවූ බව ඔහු කියනවා.

‘‘රේස් කොලේ කියමින් සිටි වැඩ කරන ජනතාවට පොත් කියැවීම පුරුදු කළේ මමයි!’’ ඞීමන් ආනන්ද 1978 සම්මුඛ සාකච්ඡාවේදී පැවසුවා. ‘‘අද සිටින සමහර ප‍්‍රවීණ උගතුන් මුලින් මගේ පොත් කියවා ගැටවර අවධියේ එතැනින් වෙනත් පොත්පත්වලට යොමු වූ අයයි. ඔවුන් ප‍්‍රසිද්ධියේ කීවත් නොකීවත් එය මා දන්නවා.’’

ආනන්ද අනුකාරක කෘති නිර්මාණය කළ බව සැබෑවක්. ඔහු හොලිවුඞ් ත‍්‍රාසජනක චිත‍්‍රපටවල පිටපත් ආභාෂයෙන් දේශීය ඌරුවට මාරක කථා රචනා කළා. බොලිවුඞ් හින්දි චිත‍්‍රපට ඇසුරු කරගෙන පේ‍්‍රම කථා ගණනාවක් ද ලිව්වා. මීට අමතරව බටහිර රටවල ජනප‍්‍රිය සංස්කෘතියේ චරිත වූ ඩ‍්‍රැකියුලා ආදිය දේශීය පාඨකයන්ට හඳුන්වා දුන්නා.

එහෙත් ඔහුගේ කෘතීන් කිහිපයක් හැරෙන්නට අනෙක් බහුතරය පරිවර්තන නොවෙයි. දේශීය චාරිත‍්‍ර, ස්ථාන හා සිදුවීම් හමුවන ප‍්‍රතිනිර්මාණ ලෙස හැඳින්විය හැකියි.

ඔහු රාත‍්‍රීයේ ඉංග‍්‍රීසි චිත‍්‍රපට නරඹා පසු දින ඒ ආශ‍්‍රයෙන් නවකථා ලියූ බවට නැගුණු චෝදනා ඔහු ප‍්‍රතික්‍ෂෙප කළා. බටහිර චිත‍්‍රපට ඇසුරෙන් ලියැවුණු නවකථා තිබෙන බවත්, තමන් කථා සාරයන් සඳහා ගුරු කොට ගත්තේ ඒවා බවත් ඔහු කීවා.

Sergeant Weerakoon: Cover of Deeman Ananda detection novel in Sinhala
Sergeant Weerakoon: Cover of Deeman Ananda detection novel in Sinhala

ඔහු තමාටම ආවේණික චරිත නිර්මාණය කළා. ඔහුගේ රහස් පරික්‍ෂකයා වූයේ ඩිකී වීරකෝන්. ඔහුගේ රහස් ඔත්තු නියෝජිත ජේම්ස් බණ්ඩා බැලූ බැල්මට ජාත්‍යන්තරව ප‍්‍රකට ජේම්ස් බොන්ඞ්ට සමාන වූවත් බණ්ඩා බටහිර (විශේෂයෙන් CIA) සැළසුම්වලට එරෙහිව කි‍්‍රයා කරමින් දේශීයත්වය මතු කරන්නෙක්. වාමාංශික නැඹුරුවක් තිබූ ආනන්ද 1960 දශකයේ ජන මනසේ ප‍්‍රකටව තිබූ CIA කුමන්ත‍්‍රණ තම කථාවලට ඈඳා ගන්නට ඇතැයි අබේසුන්දරයන් කියනවා.

මීට අමතරව ආනන්ද අද්භූත කථා රැසක් ද රචනා කළා. හොල්මන්, අවතාර, භූතයන් වටා ගෙතුණු මේ කථාවලින් සරල වින්දනයක් හා ත‍්‍රාසයක් ලබා දුන්නා මිසක (අද කාලේ ඇතැම් ඉරිදා පුවත්පත් මෙන්) කිසි විටෙක මේ කිසිවක් සත්‍ය යයි ප‍්‍රවෘත්ති වාර්තාකරණයට හෝ ජනතාවට ඒත්තු ගැන්වීමට හෝ ඔහු තැත් කළේ නැහැ.

ත‍්‍රාසජනක කථා පුවත් සොයමින් කොළඹ නගරයේ සැරිසැරූ ඞීමන් ආනන්ද බටහිර හා හින්දි චිත‍්‍රපටවලට අමතරව අලූත්කඬේ උසාවියේ නඩු අසනු බලා සිටීමෙන් ද ප‍්‍රබෝධක ආවේගයන් ලද බව කියැවෙනවා. කොල්වින් ආර් ද සිල්වා, ජී.ජී. පොන්නම්බලම් වැනි දක්‍ෂ අපරාධ නීතීඥයන් සම්බන්ධිත නඩුවලට ඔහු විශේෂ අවධානය යොමු කළා.

රහස්පරීක්‍ෂක කථා සාහිත්‍යයක් සිංහලෙන් නොතිබි යුගයක ඒ අඩුව යම් තරමකට හෝ ආනන්ද අතින් පිරවුණා. රහස්පරීක්‍ෂක කථා විශ්ව සාහිත්‍යයේ ප‍්‍රබල සාහිත්‍යාංගයක්. ඉංගී‍්‍රසී, ප‍්‍රංශ, ස්පාඤ්ඤ හා හින්දි වැනි භාෂාවල එහි හොඳ සම්ප‍්‍රදායන් තිබෙනවා. මෙරට මුල් යුගයේ ලේඛකයන් වූ පියදාස සිරිසේන හා ඩබ්ලියු. ඒ. සිල්වා වැනි අය ද රහස් පරීක්‍ෂක කථා රචනා කළා.

ඒ අයට සම කළ නොහැකි වුවත් ජනප‍්‍රිය සංස්කෘතියට මේ සංකල්ප රැගෙන ආ ලේඛකයා ආනන්දයි. රහස් පරීක්‍ෂක කථාවලින් ජනමනස දුෂණය කරන බවට සුචරිතවාදීන් දුන් විලාප කිසිවකින් ඔහු සැලූණේ නැහැ. නීති තර්ක, සියුම් ගවේෂණ හා තීක්‍ෂණ බුද්ධිය ආදිය මත පදනම් වූ මේ කථා නිසා පාඨක මනස පුළුල් වන බව ඔහු විශ්වාස කළා.

ආනන්දගේ සරල ත‍්‍රාසජනක නවකථා බොහොමයක එකම බටහිර ශෛලියේ චිත‍්‍රවලින් පිටකවර නිර්මාණය කර තිබුණා. ඒ සියල්ල ඇන්දේ ගම්පහ ‘අබේසිංහ’ නම් ශිල්පියායි. මේ සුසංයෝගය ද පොත්වල ජනප‍්‍රියත්වයට ද දායක වුණා.

ඞීමන් ආනන්ද ශෛලියට සමාන මගක ගිය සමකාලීන ලේඛකයන් කිහිප දෙනකු සිටි බවත් ඒ පොත්පත් කියවමින් හැදුණු අබේසුන්දරට මතකයි. මෙසේ රහස් පරික්‍ෂක හෝ මාරක කථා ලියූ අය අතර වැලිහිඳ මුනිරත්න, සිරිසේන මාඉටිපේ, නාරාහේන්පිට චන්‍ද්‍රසේන, චන්‍ද්‍රසේන ද සිල්වා සහ නිමල් සේනානායක යන නම් ඔහු සිහිපත් කරනවා.

‘‘කෙලෙයිමගල් නම් මුද්‍රණාලය සත 75 පොත් ජනප‍්‍රිය කළා. ඉදිරිපස හා පිටුපස කවරවලට වෙනස් ඡුායාරූප යොදා කවර දෙකක් ලෙස සකසා ඔවුන් නිකුත් කළ කුඩා පොත් සාක්කුවේ දමා ගෙන යා හැකි ප‍්‍රමාණයට තිබුණා’’ යයි ඔහු කියනවා.

තමන් ‘මාරක කථා චක‍්‍රවර්ති’ ලෙස මාධ්‍ය මගින් හඳුන්වනවාට ඔහු එතරම් කැමති වී නැහැ. ‘‘ඔය නාමය මම සළකන්නේ සමච්චලයක් කියලා. ඒවා කලාකරුවෝ දෙකේ කොළයට දමන කථා’’ ඔහු වරක් සාකච්ඡුාවකදී පැවසුවා.

එසේම ප‍්‍රබුද්ධ යයි හඳුන්වා ගත් සාහිත්‍යකරුවන් හා විචාරකයක් එල්ල කළ, අපහාස හා කොන් කිරීම් ඔහු තැකුවේ නැහැ. තමා පොත් ලියුවේ විචාරකයන්ට නොව සාමාන්‍ය ජනතාවට බවත්, ජන හද ගැස්මට තමා බෙහෙවින් සමීප වී අහිංසක වින්දනයක් ලබා දුන් බවත්, ආනන්ද විශ්වාස කළා.

ඞීමන් ආනන්දගේ සහ එවැනි වෙනත් ලේඛකයන්ගේ පොත් ගැන දෙමවුපියන්, ගුරුවරුන් හා සම්භාව්‍ය යයි සැළකෙන සාහිත්‍යයට සම්බන්ධ උදවිය බැලූවේ අවඥාවෙන්. බොහෝ පාසල්වල මේ පොත් ගෙන ඒම තහනම් කොට තිබුණා. සිසු සිසුවියන් ඒවා කියවූයේ සඟවා ගෙනයි.

ආනන්දගේ පොත්වල ප‍්‍රචණ්ඩ ක‍්‍රියා නිතර හමු වූ බව ඇත්තයි. එහෙත් ලිංගික වශයෙන් අසභ්‍ය කිසිවක් එහි තිබුණේ නැහැ. බටහිර ත‍්‍රාසජනක චිත‍්‍රපට කථාවල තිබූ කථා සාරය අඩුවක් නැතිව ඔහු පොත්වලට හසු කර ගත්තා.

මේ ගැන අබේසුන්දරගේ විග‍්‍රහය: ‘‘ඞීමන් ආනන්දගේ සරල කෘතීන් තුළින් පොත් කියැවීම ඇරැඹූ අප බොහෝ දෙනා පසුකාලීනව වඩාත්ම ගැඹුරු හා සම්භාව්‍ය පොත් වෙතට යොමු වුණා. ආරම්භයක් ලෙස එය වැදගත්. එසේම රටේ පහළම ජන ස්ථාරයන් තමයි ඔහු ස්පර්ශ කළේ. අද යොවුන් සාහිත්‍යය යම් තාක් දුරට මේ හිදැස පිරැවූවත් ඞීමන් ආනන්ද කෙනකු නොසිටීම අඩුවක්.’’

කොළඹ සරසවියේ සිංහල මහාචාර්ය සරත් විජේසූරිය මට මතක් කළේ කලක් ඩබ්ලියු. ඒ. සිල්වා සූරීන්ගේ ලේඛනවලට ද ‘ජනප‍්‍රිය’ චෝදනාව එල්ලවූ බවයි. පාඨක මනස ඇද බැඳ තබා ගන්නට කථා ලිවීමේ හපනකු වූ සිල්වාගේ කෙටිකථා හා නවකථා ද සමහර විචාරකයන්ගේ දෝෂදර්ශනයට ලක් වුණා.

ප‍්‍රකාශක දයාවංශ ජයකොඩිගේ මහතකයේ හැටියට ඞීමන් ආනන්ද පොත් තහනම 1960 දශකයේ ඔහු උගත් කොළඹ ආනන්ද විදුහලේ තදින්ම ක‍්‍රියාත්මක වුණා. එකල එහි ගුරුවරයකු වූ මගේ පියා ද මේ පොත් සිසුන් ළඟ තිබී හසු වී ‘රාජසන්තක’ කළ බව ජයකොඩි කියනවා.

ආනන්ද බෝඩිමේ රස කථා’ නමින් මෑතදී දයාවංශ ජයකොඩි විසින් ප‍්‍රකාශිත ආවර්ජනා පොතෙහි එක් පරිච්ෙඡ්දයක 1960 දශකයේ ආනන්ද විදුහලේ නේවාසිකාගාර සිසුන් උපක‍්‍රමශීලීව ඞීමන් ආනන්ද පොත් කෙසේ කියැවූ සැට පොතේ කතුවරයා දෙව්සිරි පී. හේවාවිදාන විස්තර කරනවා.

‘‘කුඩා ළමුන්ගේ මනස විනාශ කරන ඞීමන් ආනන්දගේ මාරක කථා පොත් තහනම් කළ යුතු යයි හිටපු විදුහල්පති මෙත්තානන්ද මහතාගේ බෞද්ධ බලවේගය ආනන්ද ශාලාවේ පැවති රැස්වීමකදී යෝජනාවක් ද සම්මත කර ගත් පසු මාරක කථා පොත් අලෙවිය තවත් වැඩි විය.’’

Dickie Weerakoon: Another of Deeman Ananda's 1,000+ crime novels in Sinhala
Dickie Weerakoon: Another of Deeman Ananda’s 1,000+ crime novels in Sinhala

වරක් නේවාසිකගාර පාලකයන් සමග හැංගිමුත්තන් කරමින් කියැවූ පොත් එකතුවක් සමග හසු වූ සිසුවකු දඬුවම් ලැබූ සැටි කතුවරයා කියනවා. මේ සිද්ධියෙන් පසු එකී සිසුවා ඞීමන් ආනන්දට ලියුමක් ලියා කීවේ ‘මාරක කථා සාහිත්‍යය ආනන්ද බෝඩිමේ ප‍්‍රචලිත කිරීමට තමා දරනා වටිනා උත්සාහය බෝඩිමේ ගුරුවරුන් විසින් කඩාකප්පල් කළ බවයි’. පොත් නැතිව ළමුන් නොකා නොබී දුකෙන් සිටින බවත් ලියුමේ සඳහන් වුණා.

සතියකට පසු මෙකී සිසුවා නමට තැපෑලෙන් විශාල පාර්සලයක් ලැබුණා. ඞීමන් ආනන්ද තමන් එතෙක් ලියූ පොත් 150ක පිටපතක් බැගින් තෑගි කර එවා තිබුණා.

කෙසේ හෝ පාලකයන් මෙය දැන ගන්නට පෙර පාර්සලයේ අන්තර්ගතය සඟවා ‘යටිබිම්ගත පරිශීලනයට’ යොදා ගත් සැටි කතුවරයා කියනවා.

පොත් දහසකට වඩා ලියූව ද එයින් බොහෝමයක පිටපත් තමා ළඟවත් නොතිබූ බව ඞීමන් ආනන්ද අබේසුන්දරට කියා තිබෙනවා. ‘‘හිතමිතුරන් හා සෙසු පාඨකයන් මගෙන් ඉල්ලූ විට විවිධ අවස්ථාවල මා ඔවුන්ට මගේ කර්තෘ එකතුවෙන් පිටපත් දුන්නා. එයින් බොහෝ දෙනා ඒවා ආපසු ගෙන ආවේ නැහැ.’’

මේ පොත් පළ කළ මුද්‍රණාල ඒවායේ පිටපත් රාජ්‍ය ලේඛනාගාරයට හරි හැටි යැවීමක් ද සිදු කර නැහැ. 2004 සුනාමියේදී ඞීමන් ආනන්ද පොත් එකතු ගණනාවක් විනාශ වූ බව පාඨකයන් ඔහුට ලියා දන්වා තිබෙනවා. මේ නිසා ඞීමන් ආනන්දගේ සම්පූර්ණ පොත් එකතුවක් කොතැනක කා සතුව තිබේදැයි සොයා ගැනීම ප‍්‍රශ්නයක්.

මුල් යුගයේ සිනමා සඟරාවකට සම්බන්ධ වූ ඞීමන් ආනන්ද පසු කලෙක සිංහල සිනමා කර්මාන්තයට ද දායක වුණා. ඒ තිර රචකයෙක් හැටියට. ‘මේ දෑස කුමකටද?’, ‘යළි ඉපිදේ’, ‘සූරයා සූරයාමයි’ හා ‘දාමරිකයෝ’ යන චිත‍්‍රපට ඔහු අතින් රචනා වුණා.

ඞීමන් ආනන්ද චිත‍්‍රකථා ක්‍ෂෙත‍්‍රයටත් දායක වූ බව අප‍්‍රකට කරුණක්. මෙරට එළි දුටු මුල්ම චිත‍්‍රකථා පොත වූයේ සුසිල් පේ‍්‍රමරත්න නිර්මාණය කළ ‘රන් දුපත’යි. එයින් පසු දෙවැනි පොත වූයේ ‘තිසා’ නම් චිත‍්‍රකථාවයි. 1960 දශකයේ පළ වූ එහි කථාව ඞීමන් ආනන්දගේ. චිත‍්‍ර දයා කරුණාරත්නගේ. මෙයින් පිටපත් 55,000ක් ඉක්මවා අලෙවි වූ බව ආනන්ද කියා තිබෙනවා.

ඞීමන් ආනන්ද මාරක කථා කියැවීම හරහා සාහිත්‍ය ලෝකයට පිවිස, පසුව එහි ලොකු හපන්කම් කළ සිංහල භාෂා මහාචාර්යවරයකු මේ සතියේ මා සමග කීවේ මෙයයි. ‘බොහෝ රටවල ජනප‍්‍රිය හා සම්භාව්‍ය සාහිත්‍යය සමාන්තරව පවතිනවා. අපේ අවාසනාව නම් ජනප‍්‍රිය සාහිත්‍යයට මෙරට හිස ඔසවන්නට ඉඩක් නොදීම.’

‘තිසා’ චිත‍්‍රකථාව Thisa - second chitrakatha (comic) book published in Sri Lanka in the 1960s, with story by Deeman Ananda
‘තිසා’ චිත‍්‍රකථාව Thisa – second chitrakatha (comic) book published in Sri Lanka in the 1960s, with story by Deeman Ananda

සිවුමංසල කොලූගැටයා #75: චිත‍්‍රකථා භීතියේ අළුත් ම මුහුණුවර ඉන්ටර්නෙට් ද?

In this Sunday (15 July 2012) Ravaya column (in Sinhala), I briefly trace the history of comics in Sri Lanka in the Sinhala language and ask: what lessons can we derive from that experience on integrating a new media type or form to Lankan society?

Comics in Lankan newspapers started 60 years ago in October 1951 — and a vocal minority of cynics and puritans resisted it from the beginning. I argue that this misplaced resistance prevented Lankan media houses and society at large from harnessing this versatile medium for greater good – in both entertainment and educational terms.

I first presented these ideas in my talk at National Media Summit 2012, held at University of Kelaniya, Sri Lanka, in late May 2012.

Comics in Sri Lanka – a montage courtesy http://www.wimalonline.com/srilankancomics

“වඩා බියකරු ඩෙංගු මාරයා ද – ඉන්ටර්නෙට් මාරයා ද?”

පාසල් යන වයසේ දරුවන් සිටින නාගරික මැද පාංතික මවක් ලගදී මගෙන් මේ ප‍්‍රශ්නය විමසුවා. පරිගණකයක් සිය නිවසේ ඇතත්, ඉන්ටර්නෙට් සබඳතාවක් ගැනීමට වත්කම තිබුණත් තම දරුවන් ලොකු මහත් වන තුරු ඉන්ටර්නෙට් තහනම් බව ඇය කියා සිටියා.

මා ඇය සමග තර්ක නොකළත්, ඇගේ ස්ථාවරය මට සිහිපත් කළේ මීට දශක තුනකට පෙර අපේ බොහෝ දෙමවුපියන් හා ගුරුවරුන් චිත‍්‍රකථා පත්තර තහනම් කළ සැටියි. වගකීමකින් යුතු පුවත්පත් ආයතන පළ කළ චිත‍්‍රකථා පත්තර පවා ඒ ගෙදරදොර තහනමට ලක් වුණා. එහෙත් තහනම් පත්තර කෙසේ හො සොයා ගෙන කියැවූ දරුවන් එමට සිටි බවත්, ඒවා නිසා ඔවුන් අයාලේ නොගිය බවත් මා දන්නවා.

අළුතෙන් සමාජයට පිවිසි දේ ගැන සැකයෙන් හා බියෙන් පසු වීම අපේ ඇතැම් දෙනාගේ පුරුද්දක්. සමාජයේ සෙසු අයගේ ජනමතයට බලපෑම් කළ හැකි පොතේ උගතුන්, කලාකරුවන් හා සමාජ ක‍්‍රියාකාරිකයන් ආදීන් අතරත් මේ ආකල්පය සුලබයි. යමක් අළුත් වූ පමණට ම ඒ ගැන නිසි විමර්ශනයක් නොකොට එයට එරෙහි වීම යුක්ති සහගත ද? යම් තාක්ෂණයක්, ජනප‍්‍රිය සංස්කෘතියේ අංගයක් හෝ නව සමාජ රැුල්ලක් පැතිර යන විට තමන් එයට ආගන්තුක වූ නිසා ම එය නිර්දය ලෙස හෙළා දැකීම සාධාරණ ද? මෙරට චිත‍්‍රකථා ඉතිහාසයෙන් වත්මන් නව මාධ්‍ය සංවාදයට යම් ආදර්ශයන් ගත හැකි ද?

2007දී ප‍්‍රකාශිත “චිත‍්‍රකථාවේ වංශකථාව” නම් කෘතියේ මහාචාර්ය සුනිල් ආරියරත්න සුරීන් පෙන්වා දෙන පරිදි කතන්දර කීම සඳහා චිත‍්‍ර උපයෝගි කර ගැනීමේ දිගු ඉතිහාසයක් අපට තිබෙනවා. එසේ වුවත් අද අප හදුනන චිත‍්‍රකථා කලාව අපට ලැබුණේ බටහිර ආභාෂයෙන්. 19වන සියවසේ බිහි වූ බටහිර චිත‍්‍රකථාවල පිටපත් 20වන සියවස වනවිට ක‍්‍රමයෙන් මෙරටට පැමිණියා. ටාසන් කථා, ගොපලූ (කව්බෝයි) කථා හා අභ්‍යවකාශය ගැන කථා ඒ අතර තිබුණෘ. මුල් යුගයේ සිංහල චිත‍්‍රකථාවලට ආදර්ශය කර ගත්තේ මේවායි.

First Sinhala chitra katha, Neela, later published as a book

මෙරට ජාතික පුවත්පතක චිත‍්‍රකථාවක් මුල් වරට පළ වූයේ 1951 ඔක්තෝබර් 28දා “ඉරිදා ලංකාදීප” පත‍්‍රයේ. ප‍්‍රධාන කතුවරයා වු ඞී බී ධනපාලගේ අදහසකට අනුව ලංකාදීප මාණ්ඩලික ලේඛක ධර්මසිරි ජයකොඩි ලියු “නීලා” නම් කථාව චිත‍්‍රයට නැගුවේ චිත‍්‍රශිල්පි හා කාටුන් ශිල්පි ජී එස් ප‍්‍රනාන්දුයි. නීලා නම් වැද්දකුගේ චරිතය වටා ගෙතුණු මේ සරල කථාවට ටාසන් කථාවල ආභාෂය පැහැදිලි බව ආරියරත්නයන් කියනවා.

සති 52ක් පුරා කොටස් වශයෙන් පළ වූ “නීලා” පාඨකයන් අතර ඉතා ජනප‍්‍රිය වූ අතර එය අවසන් වන්නටත් පෙර සුසිල් පේ‍්‍රමරත්න ශිල්පියාගේ නිර්මාණයක් දෙවන චිත‍්‍රකථාව ලෙස හදුන්වා දෙනු ලැබුවා. පේ‍්‍රමරත්න පසු කලෙක නිර්මාණය කළ “බිලි පූජාව”, “ලන්දේසි හටන” හා “රන් දුපත” වැනි චිත‍්‍රකථා හරහා චිත‍්‍රකථා කලාව ජනප‍්‍රිය සංස්කෘතියේ අංගයක් ලෙස ඉක්මණින් ම මෙරට සමාජයේ ස්ථාපිත වුණා.

ටයිම්ස් පුවත්පත් සමාගමේ මේ අත්හදා බැලීම අනුකරණය කරමින් ටික කලක් ඇතුළත ලේක්හවුස් ආයතනයත් සිය ජාතික පුවත්පත්වල චිත‍්‍රකථා පළ කිරිම ඇරඹුවා. 1960 දශකයේ චිත‍්‍රකථා “අපේකරණය” කිරිමට චිත‍්‍රශිල්පීන්, රචකයන් හා පුවත්පත් කතුවරුන් සමත් වුණා. ජාතක කථා, බෞද්ධ හා ක‍්‍රිස්තියානි සාහිත්‍යය හා ලංකා ඉතිහාසය පාදක කර ගනිමින් හොඳ චිත‍්‍රකථා රැසක් බිහි වුණා.

චිත‍්‍රකථා පමණක් අඩංගු මෙරටමුල් ම පත‍්‍රය 1972 අගෝස්තු 29දා ලේක්හවුස් ආයතනය ආරම්භ කළ “සතුට”යි. 1975දී මල්ටිපැක්ස් ආයතනය “සිත්තර” ආරම්භ කළා. වසර 5ක් ඇතුළත සතිපතා අලෙවිය පිටපත් 225,000 දක්වා වැඩි වූ සිත්තර සාර්ථකත්වය දුටු ව්‍යාපාරිකයන් දිගට හරහට අනුකාරක චිත‍්‍රකථා පත්තර ඇරඹුවත්, 1980 දශකයේ වෙළඳපොල ජය ගන්නට ඔවුන්ට හැකි වුයේ නැහැ.

මෙරට චිත‍්‍රකථා ව්‍යාපාරය හා කලාව බිඳ වැටීමට විවිධ හේතු ඉදිරිපත් කැරෙනවා. චිත‍්‍රකථා නිර්මාණ ශිල්පීන් කාලීනව අනුගත නොවීම, ප‍්‍රකාශකයන්ගේ මුදල් කෑදරකම, 1979දී ටෙලිවිෂන් ආගමනය, ප‍්‍රධාන ප‍්‍රවාහයේ ලේඛකයන් හා චිත‍්‍රශිල්පීන් දිගින් දිගට ම චිත‍්‍රකථා හෙළා දැකීම ආදිය මේ අතර තිබෙනවා. එය වෙන ම සංවාදයකට සුදුසු මාතෘකාවක්.

Covers of first editions: Sathuta (top) & Siththara (bottom) - first and second all-comic Sinhala newspapersසිය ග‍්‍රන්ථයේ පෙරවදනේ මහාචාර්ය ආරියරත්න මෙසේ කියනවා: “චිත‍්‍ර කථාවෙන් ප‍්‍රවෘත්ති පත‍්‍රවලට ලැබුණේ වාණිජමය පෝෂණයකි. ඇතැම් චිත‍්‍රකථා නිසා පත‍්‍රවල අලෙවිය සීඝ‍්‍ර ලෙස වර්ධනය විය. පත‍්‍රවලින් චිත‍්‍රකථාවට පෙරළා ලැබුණේ ප‍්‍රමිති සහතිකයයි. ඒ මෙසේය. පත‍්‍ර කර්තෘවරු ද විශේෂාංග කර්තෘවරු ද කර්තෘ මණ්ඩලිකයෝ ද දැන උගත් මහත්වරු වුහ. පත‍්‍රවලට චිත‍්‍රකතා ගලා ආයේ ඔවුන්ගේ අධික්ෂණය යටතේය. එහෙයින් ඉතා බාල මට්ටමේ චිත‍්‍ර කතාවලට ජාතික පුවත්පත්වලට දොරගුළු විවර වුයේ නැත.”

“චිත‍්‍රකතාවේ ප‍්‍රමිතිය දෙදරන්ට පටන් ගත්තේ එය ජාතික පුවත්පත්වලින් ඔබ්බට ගමන් කිරිමත් සමගය. වෙළඳ ව්‍යාපාරිකයෝ චිත‍්‍රකතා ක්ෂේත‍්‍රය ආක‍්‍රමණය කළහ. ඔවුන්ගේ රුචි අරුචිකම් අනුව චිත‍්‍රකතා පත‍්‍ර ද චිත‍්‍ර කතා පොත් ද පළ විය. එයින් බහුතරයක අඩංගු වුයේ බාල බොළඳ කතාන්තර හා ආධුනික මට්ටමේ චිත‍්‍ර ය. වෙළඳ තරගය ජයග‍්‍රහණය කිරීම පිණිස ඔවුහු චිත‍්‍රකතාව තුළට ලිංගිකත්වය පවා ගෙන ආහ. රූපවාහිනියේ ආගමනය ද චිත‍්‍රකතාවෙහි ඉල්ලූම අඩු කරන්නට විය.”

මෙරට චිත‍්‍රකථා ඉතිහාසය (1950 – 1980 දශක) දෙස පොදුවේ බලන විට නව මාධ්‍යක් මෙරටට පිවිසීමේදී අත්දකින අවධි තුනක් මා හදුනා ගන්නවා. මැයි මස කැළණිය සරසවියේ පැවති ජාතික මාධ්‍ය සමුළුවේ මා කළ කථාවේදී මෙය ඉදිරිපත් කළා.

පළමුවන අවධිය: පිටත ලෝකයෙන් පැමිණෙන නව අදහසක් හෝ සම්ප‍්‍රදායක් විවෘත මනසකින් යුතු ටික දෙනෙකු දේශීයව අත්හදා බලනවා. එයට ඉක්මන් ප‍්‍රතිරෝධයක් මතු වන්නේ සමහර ප‍්‍රවීණයන් හා සුචරිතවාදීන්ගෙන්. අළුත් මාධ්‍යය වෙළඳපොළ ජය ගන්නා ආකෘති හරිහැටි පැහැදිලි නැතත්, එඩිතර ව්‍යාපාරිකයන් ටික දෙනෙකු එයට ආයෝජන කරනවා. ඒ අතර රටේ ප‍්‍රතිපත්ති සම්පාදකයන් කුමක් සිදු වේදැයි හරිහැටි නොදැන තුෂ්නිම්භූත වනවා.

දෙවන අවධිය: නව මාධ්‍ය හෝ මාධ්‍ය අංගය වඩාත් මෙරට ප‍්‍රචලිත වන විට එයට වැඩි දේශීය ස්වරූපයක් ලැබෙන (අපේකරණය) නිර්මාණාත්මක අත්හදා බැලීම් කැරෙනවා. මුලින් මතු වූ දැඩි ප‍්‍රතිරෝධය තරමකට සැර බාල වුවත් සර්වදෝෂදර්ශීන් (cynics) බලා සිටින්නේ නව මාධ්‍යයේ කුඩා අඩුපාඩුවක් වුවද විශාල කොට පෙන්වා ආන්දෝලන කිරීමටයි. නව මාධ්‍යය නියාමනය කළ යුතු ද එසේ නම් කෙසේ ද යන්න ගැන ප‍්‍රතිපත්ති සම්පාදකයන් වඩාත් නිරවුල් ස්ථාවරයකට කල් ගත වී හෝ එළැඹෙනවා. ඒ අතර වඩා සාර්ථක වෙළඳපොළ ආකෘතින් මතු වනවා.

තෙවන අවධිය: තව දුරටත් නැවුම් බවක් සමාජයට නොදැනෙන මේ මාධ්‍යය සමස්ත මාධ්‍ය ක්ෂේත‍්‍රයේ තමන්ට හිමි තැනක ස්ථාපිත වනවා. වෙළඳපොල ප‍්‍රවාහයන් නිසා මුදලට කෑදර ආයෝජකයන් ද ක්ෂේත‍්‍රයට පිවිසෙනවා. මුල් යුගයේ මාධ්‍යය දැඩි සේ විවේචනය කළ උදවියත් හින්සැරේ තම න්‍යායාත්මක අරමුණු ප‍්‍රචාරණයට එම මාධ්‍යයට ම පිවිසෙනවා. මතවාදයන් හා පුද්ගලවාදයන් නිසා ඇතැම් විට අන්තවාදී ප‍්‍රකාශන බිහි වී අධිකරණය දක්වා යන ගැටුම් ද හට ගන්නවා. ඒ අතර පුරෝගාමින් සමහරෙක් වෙළඳපොළ තරගය නිසා ඉවතට විසි වෙනවා.

නව මාධ්‍යයක ආගමනය හමුවේ මෙරට ප‍්‍රතිපත්ති සම්පාදකයන් බහුවිධ බලපෑම්වලට පාත‍්‍ර වනවා. එක් පසෙකින් ඔවුන් නව මාධ්‍යයේ තාක්ෂණික, වෙළඳපොල හා සමාජයිය සීමාවන් තේරුම් ගත යුතුයි. එයට ඉස්පාසුවක් ලැබෙන්නට පෙර හැම දේට ම එරෙහි වන ගතානුගතික පිරිසගේ උද්ඝෝෂණවලට මුහුණදීමට සිදු වනවා. තහනම් කරන්න, දැඩි නීතිරිති දමා පාලනය කරන්න ආදි බලපෑම් කරන බොහෝ දෙනා තමන් එරෙහි වන්නේ කුමකට ද කියාවත් හරිහැටි නොදත් පිරිසක්. (1960 හා 1970 දශකයේ මෙරටට ටෙලිවිෂන් හදුන්වා දීමට එරෙහි වු ටික දෙනා කවදාවත් ටෙලිවිෂන් නොදුටු අයයි!)

නව මාධ්‍යයකින් අපේ සංස්කෘතිය, සභ්‍යත්වය සෝදාපාලූ වන බවත්, එය ආර්ථිකයට හා ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බවත් කියමින් සර්වදෝෂදර්ශින් නගන තර්කවලට යම් ආකාරයකින් ප‍්‍රතිචාර දක්වන්නට ප‍්‍රතිපත්ති සම්පාදකයන්ට සිදු වනවා. එබදු අවස්ථාවල ඔවුන් කලබල වී නොනිසි ප‍්‍රතිචාර දැක්වීමට ඉඩ තිබෙනවා.

සන්සුන්ව කරුණු එක් රැස් කොට, මැදහත්ව ඒවා විග‍්‍රහ කොට තුලනාත්මකව ප‍්‍රතිපත්ති නිර්දේශ කිරීම රටේ සරසවි ඇදුරන් හා අනෙකුත් බුද්ධිමතුන්ගේ වගකීමක්. එහෙත් වැල යන අතට මැස්ස ගසන, කෙටිකාලීන උපදේශක තනතුරු හා නිලතල පතන උගතුන්ගෙන් මේ පෙරගමන්කරුවන් වීමේ වගකීම කිසිසේත් ඉටු වන්නේ නැහැ.

මෙරට ජනමාධ්‍ය පර්යේෂණ කරන, සරසවි මට්ටමින් එය උගන්වන ඇදුරන් රැසක් හමුවේ මා ඇසුවේ මේ ජාතික හා සමාජයීය වගකීම ඔවුන් අතින් ඉටුවනවා ද කියායි. (එයට හරිහැටි පිළිතුරක් නොලැබුණත් ඔවුන්ගේ නිහැඬියාව ම යථාර්ථය ගැන හොඳ ඉඟියක් සපයනවා! http://tiny.cc/NMOM බලන්න.

ජනප‍්‍රිය සංස්කෘතිය හා නව මාධ්‍ය ප‍්‍රවණතා දෙස අපේ බොහෝ උගතුන් බලන්නේ සාවඥ හෝ නොරිස්සුම් ආකල්පයකින්. (සුනිල් ආරියරත්නයන් වැනි උගතුන් මෙරට ඉතා දුර්ලභයි.) නොදන්නා දේ ගැන නොවිමසා එරෙහි වන මෙබදු උගතුන්, අළුත් හැමදේට ම සහජයෙන් විරෝධය දක්වන සුචරිතවාදීන්ට උඩගෙඩි සපයනවා. බහුතර උගතුන්ගේ නිහැඬියාව මැද, මොර දෙන සුචරිතවාදීන්ගේ හඩ පමණක් රැව් දෙන පසුබිමක ප‍්‍රතිපත්ති සම්පාදකයන් ද තමන්ට ඇසෙන සැකය, භීතිය හා කුමන්ත‍්‍රණවාදී තර්කවලට අනුගතවීම පුදුමයක් නොවේ.

මතුව එන හැම දෙයක් ම බදා ගත යුතු යයි මා කියන්නේ නැහැ. එහෙත් අළුත් දෙයක් අළුත් වූ පමණට, නුහුරු වූ පලියට ම ප‍්‍රතික්ෂේප නොකර එය විචාරශීලීව හා විවෘත මනසකින් විග‍්‍රහ කළ යුතු බවත්, අළුත් ප‍්‍රවණතා අපට ගැලපෙන පරිදි හැඩගස්වා ගෙන “අපේකරණය” කළ හැකි බවත් මගේ අදහසයි.

චිත‍්‍රකථා මෙරට සමාජ උන්නතිය හා ජන වින්දනය සඳහා නිසි ලෙස යොදා ගන්නට ලක් සමාජය අසමත් වුණා. චිත‍්‍රකථා කලාවේ ස්වර්ණමය යුගය 1960 හා 1970 දශකයන්. ඒ වකවානුවේ පැවති සමාජ සාධක හා පසුබිම දැන් මුළුමනින් වෙනස් වී තිබෙනවා. චිත‍්‍රකථා පදනම වැනි සංවිධාන මේ මාධ්‍යය නැවත පණ ගැන්වීමට අවංකව වෙර දැරුවත් ඒ ස්වර්ණමය යුගයට යළි පිවිසීම අපහසුයි.

චිත‍්‍රකථාවලට එරෙහි වූ සුචරිතවාදී අතලොස්ස ඊට කලකට පසු මෙරටට ටෙලිවිෂන් හදුන්වා දෙන විට එයට ද දැඩි විරෝධය දැක් වූවා. 1990 දශකයේදී චන්ද්‍රිකා තාක්ෂණය හරහා විදේශ ටෙලිවිෂන් විකාශයන් එවේලේ ම මෙරට ග‍්‍රහණය කර ගත හැකි වූ විට අපේ සභ්‍යත්වය මුළුමනින් විනාශ වී යනු ඇතැයි අනතුරු ඇඟවීම් කළා.

හැම අළුත් දෙයට ම එරෙහි වන සුළුතරය දෙස උපෙක්ෂා සහගතව බලා සිටින මට පෙනී යන්නේ මේ අයට කන්නට උවමනා වූ විට කබරගොයාත් තලගොයා වන බවයි. ටෙලිවිෂන් අති භයානක බටහිර ආක‍්‍රමණයක් යයි මොර ගෑ උදවිය ම අද විවිධ ටෙලිවිෂන් නාලිකාවල දේශපාලන හා කාලීන සංවාදවල ප‍්‍රබල චරිත රග පානවා!

මේ ඇත්තන්ගේ අළුත් ම ඉලක්කය ඉන්ටර්නෙට් මාධ්‍යයයි. එදා මෙදා තුර සුචරිතවාදී චරිත වෙනස් වී ඇතත් ඔවුන්ගේ තර්කවල වෙනසක් නැහැ. ඉන්ටර්නෙට් මාධ්‍යයට බිය නොවී එය අපේකරණය කර ගන්නට තවමත් ඉඩක් තිබෙනවා. එහෙත් සුළුතරයක් පුවත් වෙබ් අඩවිවල ක‍්‍රියා කලාපය දෙස බලා අතිශය සංකිර්ණ වූත්, විවිධාකාරවූත් ඉන්ටර්නෙට් මාධ්‍යය ගැන උවමනාවට වඩා සරල හා දැඩි ප‍්‍රතිචාරයක් දැක්වීම හරහා අනාගත තොරතුරු සමාජය මොට වීමේ අවදානම ද තිබෙනවා.

අත්ත බිෙඳයි – පය බුරුලෙන්…..

http://www.wimalonline.com/srilankancomics/index.html ද බලන්න