සිවුමංසල කොලු ගැටයා #369 – අත්ත බිඳෙයි පය බුරුලෙන්: සමාජ මාධ්‍ය නියාමනයේ යුරෝපීය අත්දැකීම්

Deutsche Welle Global Media Forum (GMF), in Bonn, Germany, 11 – 13 June 2018

Trends like ultra-nationalistic media, hate speech and fake news have all been around for decades — certainly well before the web emerged in the 1990s. What digital tools and the web have done is to ‘turbo-charge’ these trends.

This is the main thrust of this week’s Ravaya column, published on 1 July 2018, where I capture some discussions and debates at the 11th Deutsche Welle Global Media Forum (GMF), held in Bonn, Germany, from 11 to 13 June 2018.

I was among the 2,000+ media professionals and experts from over 100 countries who participated in the event. Across many plenaries and parallel sessions, we discussed a whole range of issues related to politics and human rights, media development and innovative journalism concepts.

On 13 June 2018, I moderated a session on “Digitalization and polarization of the media: How to overcome growing inequalities and a divided public” which was organised by the Institut für Auslandsbeziehungen (ifa) or Institute for Foreign Relations, a century old entity located in Bonn. Most of the column draws on my own panel’s explorations, about which I have already written in English here: DW Global Media Forum 2018: Moderating panel on ‘Digitalization and Polarization of the Media’

L to R – Nalaka Gunawardene (moderator), Christian Humborg, Jillian York, and Curd Knupfer. [Photo courtesy DW GMF 2018]
මා සාම්ප්‍රදායික පොතේ උගතකු නොවෙයි. එහෙත් උද්‍යොගිමත්ව දැනුම ගවේෂණයට හා විචාරශීලීව ඕනෑම මාතෘකාවක් විමර්ශනයට සමත් නිසාදෝ ලොව විවිධ රටවලින් වැඩමලු, සම්මන්ත්‍රණ ආදියේ කතා කිරීමට නිතර ආරාධනා ලබනවා.

2018 ජූනි 11-13 තෙදින තුළ ජර්මනියේ බොන් නුවර පැවති ගෝලීය මාධ්‍ය සමුළුවේ (Global Media Forum) එක් සැසි වාරයක් මෙහෙය වීමට මට ඇරයුම් ලැබුණා.

2007 සිට වාර්ෂිකව පවත්වන මේ සමුළුව සංවිධානය කරන්නේ ජර්මනියේ ජාත්‍යන්තර විද්‍යුත් මාධ්‍ය ආයතනය වන ඩොයිෂවෙල  (Deutsche Welle) විසින්.

මෙවර සමුළුවට රටවල් 100කට අධික සංඛ්‍යාවකින් 2,000 ක් පමණ මාධ්‍යවේදීන්, මාධ්‍ය කළමනාකරුවන් හා මාධ්‍ය පර්යේෂකයන් සහභාගී වුණා. මහා මාධ්‍ය මෙන්ම නව මාධ්‍ය ඇති කරන බලපෑම් හා අභියෝග ගැන විවෘතව කතාබහ කිරීමට එය හොඳ වේදිකාවක් වූවා.

අපේ සමහරුන් පොදුවේ ‘බටහිර රටවල්’ යයි කීවාට සැබෑ ලෝකයේ එබඳු තනි ගොඩක් නැහැ. බටහිරට අයත් ඇමරිකා එක්සත් ජනපදය සමඟ බොහෝ කාරණාවලදී යුරෝපීය රටවල් එකඟ වන්නේ නැහැ.

එසේම යුරෝපා සංගමය ලෙස පොදු ආර්ථීක හවුලක් යුරෝපීය රටවල් 28ක් ඒකරාශී කළත් එම රටවල් අතරද සංස්කෘතික හා දේශපාලනික විවිධත්වය ඉහළයි.

ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුළ මෙම විවිධත්වය නිිසා නොයෙක් බටහිර රාජ්‍යයන් මාධ්‍ය ප්‍රතිපත්ති ගැන දක්වන නිල ස්ථාවරයන් අතර වෙනස්කම් තිබෙනවා. බොන් නුවරදී දින තුනක් තිස්සේ අප මේ විවිධත්වය සවියක් කර ගනිමින් බොහෝ දේ සාකච්ඡා කළා.

ලෝකයේ රටවල් කෙමෙන් ඩිජිටල්කරණය වන විට ඒ හරහා උදා වන නව අවස්ථාවන් මෙන්ම අභියෝග ගැනත් සංවාද රැසක් පැවැත් වුණා.

Mariya Gabriel, EU Commissioner in charge of Digital Economy and Society

යුරෝපා හවුලේ ඩිජිටල් ආර්ථීකයන් හා සමාජයන් පිළිබඳ කොමසාරිස්වරි වන මරියා ගේබ්‍රියල් මේ ගැන ආරම්භක සැසියේ දී හොඳ විග්‍රහයක් කළා.

පොදුවේ වෙබ් අවකාශයත්, විශේෂයෙන් ඒ තුළ හමු වන සමාජ මාධ්‍යත් මානව සමාජයන් වඩාත් ප්‍රජාතන්ත්‍රීය කිරීමට හා සමාජ අසමානතා අඩු කිරීමට බෙහෙවින් දායක විය හැකි බව පිළි ගනිමින් ඇය කීවේ මෙයයි.

”එහෙත් අද ගෝලීය සමාජ මාධ්‍ය වේදිකා බහුතරයක් මේ යහපත් විභවය සාක්ෂාත් කර ගැනීමට දායක වනවා වෙනුවට දුස්තොරතුරු (disinformation) හා ව්‍යාජ පුවත් එසැනින් බෙදා හැරීමට යොදා ගැනෙනවා. මෙය සියලු ප්‍රජාතන්ත්‍රවාදී සමාජයන් මුහුණ දෙන ප්‍රබල අභියෝගයක්. සමහර සමාජ මාධ්‍ය වේදිකා මේ වන විට ප්‍රධාන ධාරාවේ මාධ්‍යවල කාරියම කරනවා. එනම් කාලීන තොරතුරු එක් රැස් කිරීම හා බෙදා හැරීම. එහෙත් ඔවුන් එසේ කරන විට සංස්කාරක වගකීමක් (editorial responsibility) නොගැනීම නිසා ව්‍යාකූලතා මතු වනවා.”

ඇගේ මූලික නිර්දේශයක් වූයේ සමාජ මාධ්‍ය වේදිකා නියාමනය නොව මාධ්‍ය බහුවිධත්වය (media pluralism) ප්‍රවර්ධනය කළ යුතු බවයි.

රටක මාධ්‍ය බහුවිධත්වය පවතී යයි පිළිගන්නේ මාධ්‍ය ආයතන හා ප්‍රකාශන/නාලිකා ගණන වැඩි වූ පමණට නොවේ.

Image courtesy UNESCO

තනි හිමිකරුවකුගේ හෝ ටික දෙනකුගේ හිමිකාරීත්වය වෙනුවට විසිර ගිය හිමිකාරිත්වයන් තිබීම, අධිපතිවාදී මතවාද පමණක් නොව පුළුල් හා විවිධාකාර මතවාදයන්ට මාධ්‍ය හරහා ඇති තරම් අවකාශ ලැබීම, හා සමාජයේ කොන්ව සිටින ජන කොටස්වලට ද සිය අදහස් ප්‍රකාශනයට මාධ්‍යවල ඇති තරම් ඉඩක් තිබීම වැනි සාධක ගණනාවක් තහවුරු වූ විට පමණක් මාධ්‍ය බහුවිධත්වය හට ගන්නවා. (මේ නිර්නායක අනුව බලන විට අපේ රටේ මාධ්‍ය රැසක් ඇතත් බහුවිධත්වය නම් නැහැ.)

ඩිජිටල් මාධ්‍ය බහුල වෙමින් පවතින අද කාලේ ප්‍රධාන ධාරාවේ මාධ්‍යවල කෙතරම්  බහුවිධත්වයක් පැවතීම තීරණාත්මකද? මේ ප්‍රශ්නයට පිළිතුරු සංවාද හරහා මතු වුණා.

මේ වන විට ලොව ජනගහනයෙන් අඩකටත් වඩා ඉන්ටර්නෙට් භාවිතා කළත්, පුවත් හා කාලීන තොරතුරු මූලාශ්‍රයන් ලෙස ටෙලිවිෂන් හා රේඩියෝ මාධ්‍යවල වැදගත්කම තවමත් පවතිනවා. (පුවත් හා සඟරා නම් කෙමෙන් කොන් වී යාම බොහෝ රටවල දැකිය හැකියි.)

මේ නිසා මාධ්‍ය බහුවිධත්වය තහවුරු කරන අතර මාධ්‍ය විචාරශීලීව පරිභෝජනය කිරීමට මාධ්‍ය සාක්ෂරතාවයත් (media literacy), ඩිජිටල් මාධ්‍ය නිසි ලෙස පරිහරණයට ඩිජිටල් සාක්ෂරතාවයත් (digital literacy) අත්‍යවශ්‍ය හැකියා බවට පත්ව තිබෙනවා.

ඩිජිටල් සාක්ෂරතාවය යනු හුදෙක් පරිගණක හා ස්මාර්ට් ෆෝන් වැනි ඩිජිටල් තාක්ෂණ මෙවලම් තනිවම භාවිතා කිරීමේ හැකියාව පමණක් නොව ඩිජිටල් අන්තර්ගතයන් විචාරශීලීව ග්‍රහණය කිරීමේ හැකියාව ද එහි වැදගත් අංගයක් බව සමුළුවේ යළි යළිත් අවධාරණය කෙරුණා.

මරියා ගේබ්‍රියල් මෑත කාලයේ යුරෝපයේ කළ සමීක්ෂණයක සොයා ගැනීම් උපුටා දක්වමින් කීවේ වයස 15-24 අතර යුරෝපීය ළමුන් හා තරුණයන් අතර ව්‍යාජ පුවතක් හා සැබෑ පුවතක් වෙන් කර තේරුම් ගැනීමේ හැකියාව තිබුණේ 40%කට බවයි.

එයින් පෙනෙන්නේ යම් පිරිස් විසින් දුස්තොරතුරු සමාජගත කර මැතිවරණ, ජනමත විචාරණ හා වෙනත් තීරණාත්මක සමාජයීය ක්‍රියාදාමයන් අවුල් කිරීමේ අවදානමක් පවතින බවයි.

මෙබැවින් මාධ්‍ය සාක්ෂරතාවය හා ඩිජිටල් සාක්ෂරතාවය වැඩි කළ යුත්තේ තනි පුද්ගලයන්ගේ කුසලතා වර්ධනයට පමණක් නොවෙයි. අසත්‍යන්, අර්ධ සත්‍යන්, හා කුමන්ත්‍රණවාදී තර්ක හරහා ප්‍රජාතාන්ත්‍රීය සමාජයන් නොමඟ යැවීමටත්, ඒ හරහා රාජ්‍යයන් අස්ථාවර කිරීමටත් එරෙහිව සමාජයේ ප්‍රතිශක්තිය ගොඩ නැංවීමටයි.

මා මෙහෙය වූ සැසි වාරයේ අප මෙම සමාජයීය අභියෝගය ගැන විද්වත් මෙන්ම ප්‍රායෝගික ලෙසත් සාකච්ඡා කළා.

මගේ සැසියේ කථීකයන් වූයේ ජර්මනියේ බර්ලින් නුවර ෆ්‍රී සරසවියේ දේශපාලන විද්‍යාඥ ආචාර්ය කුර්ඩ් නුප්ෆර් (Dr Curd Knupfer), ඇමරිකාවේ ඉලෙක්ට්‍රොනික් ෆ්‍රන්ටියර් පදනමේ භාෂාණ නිදහස පිළිබඳ අධ්‍යක්ෂිකා ජිලියන් යෝක් (Jillian York) සහ විකිමීඩියා ජර්මන් පදනමේ නියෝජ්‍ය විධායක අධ්‍යක්ෂ ක්‍රිස්ටියන් හුම්බොග් (Christian Humborg) යන තිදෙනායි.

Nalaka Gunawardene moderating moderated session on “Digitalization and polarization of the media: How to overcome growing inequalities and a divided public” at DW Global Media Forum 2018 in Bonn, 13 June 2018

සැසිවාරය අරඹමින් මා මෙසේ ද කීවා:

”වෙබ්ගත අවකාශයන් හරහා වෛරී කථනය හා ව්‍යාජ පුවත් ගලා යාම ගැන අද ලොකු අවධානයක් යොමු වී තිබෙනවා. වර්ගවාදී හා වෙනත් අන්තවාදී පිරිස් සමාජ මාධ්‍ය වේදිකා හරහා ආන්තික සන්නිවේදනය කරමින් සිටිව බවත් අප දන්නවා. එහෙත් මේ ප්‍රවනතා එකක්වත් ඉන්ටර්නෙට් සමඟ මතු වූ ඒවා නොවෙයි. 1990 දශකයේ වෙබ් අවකාශය ප්‍රචලිත වීමට දශක ගණනාවකට පෙරත් අපේ සමාජයන් තුළ මේවා සියල්ලම පැවතියා. වෙබ් පැතිරීමත් සමග සිදුව ඇත්තේ මේ ආන්තික ප්‍රවාහයන්ට නව ගැම්මක් ලැබීමයි. එනිසා දැන් අප කළ යුතුව ඇත්තේ භෞතික ලෝකයේ වුවත්, සයිබර් අවකාශයේ වුවත්, වෛරී කථනය, ව්‍යාජ පුවත් හා ආන්තික සන්නිවේදනවලට එරෙහිව සීරුවෙන් හා බුද්ධිමත්ව ප්‍රතිචාර දැක්වීමයි. එසේ කිරීමේදී අප සැවොම ඉහළ වටිනාකමක් දෙන භාෂණයේ නිදහස රැකෙන පරිදි ක්‍රියා කළ යුතුයි. අප නොරිසි දේ කියන අයටත් භාෂණ නිදහස එක සේ හිමි බව අප කිසි විටෙක අමතක නොකළ යුතුයි.”

එසේම තව දුරටත් ‘නව මාධ්‍ය’ හා ‘සම්ප්‍රදායික මාධ්‍ය’ හෙවත් ‘ප්‍රධාන ධාරාවේ මාධ්‍ය’ කියා වර්ගීකරණය කිරීම ද එතරම් අදාල නැති බව මා පෙන්වා දුන්නා. සමහර සමාජවල (උදා: කොරියාව, සිංගප්පූරුව) ප්‍රධාන ධාරාව බවට ඩිජිටල් මාධ්‍ය දැනටමත් පත්ව තිබෙනවා. එසේම වසර 20කට වැඩි ඉතිහාසයක් ඇති ඩිජිටල් මාධ්‍ය තව දුරටත් එතරම් අලුත් හෝ ‘නව මාධ්‍ය’ වන්නේ ද නැහැ.

ඒ නිසා ලේබල්වලට වඩා වැදගත් සමස්ත තොරතුරු සන්නිවේදන තාක්ෂණයන්ම ජන සමාජ වලට කරන බලපෑම පොදුවේ අධ්‍යයනය කිරීමයි.

සමාජ මාධ්‍ය වේදිකා හරහා නොයෙක් පුද්ගලයන් පළකරන හෝ බෙදාගන්නා (ෂෙයාර් කරන) අන්තර්ගතයන් පිළිබඳ එකී වේදිකා හිමිකාර සමාගම් කෙතරම් වගකිව යුතුද?

2018 ජනවාරි 1 වැනිදා සිට ජර්මනියේ ක්‍රියාත්මක වන නව නීතියකට අනුව සමාජ මාධ්‍ය වේදිකාවක වෛරී ප්‍රකාශ යමකු සන්නිවේදනය කෙරුවොත් පැය 24ක් ඇතුළත එය ඉවත් කිරීමේ වගකීම් අදාළ වේදිකා පරිපාලකයන්ට භාර කැරෙනවා. එසේ නොකළොත් යූරෝ මිලියන් 50 (අමෙරිකානු ඩොලර් මිලියන් 62ක්) දක්වා දඩ නියම විය හැකියි.

සද්භාවයෙන් යුතුව හඳුන්වා දෙන ලද නව නීතියේ මාස කිහිපයක ක්‍රියාකාරීත්වය කෙසේදැයි මා විමසුවා. ජර්මන් කථීකයන් කීවේ වෛරී ප්‍රකාශ ඉවත් කිරීමට සමාජ මාධ්‍ය වේදිකා මහත් සේ වෙර දැරීම තුළ වෛරී නොවන එහෙත් අසම්මත, විසංවාදී හා ජනප්‍රිය නොවන විවිධ අදහස් දැක්වීම්ද යම් ප්‍රමාණයක් ඉවත් කොට ඇති බවයි.

දේශපාලන විවේචනයට නීතියෙන්ම තහවුරු කළ පූර්ණ නිදහස පවතින ජර්මනිය වැනි ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී රටකට මෙම නව නීතිය දරුණු වැඩි බවත්, එය සංශෝධනය කොට වඩාත් ලිහිල් කළ යුතු බවත් මෑතදී පත්වූ නව ජර්මන් රජය පිළිගෙන තිබෙනවා.

Image courtesy Human Rights Watch

නව නීතිය යටතේ අසාධාරණ හා සීමාව ඉක්මවා ගොස් ඉවත් කරනු ලැබූ වෙබ් අන්තර්ගතයන් අතර දේශපාලන හා සමාජයීය උපහාසය පළ කරන ප්‍රකාශනද තිබෙනවා. සමාජ ප්‍රශ්නයක් ගැන ජන අවධානය යොමු කිරීමට හාසකානුකරණය (parody) පළ කිරීම සමහර හාස්‍යජනක (satire) ප්‍රකාශනවල සිරිතයි.

එහෙත් නව නීතියේ රාමුව වුවමනාවටත් වඩා තදින් ක්‍රියාත්මක කළ ට්විටර් හා ෆේස්බුක් වැනි වේදිකාවල පරිපාලකයෝ මෙවන් හාස්‍යජනක හෝ උපහාසාත්මක අන්තර්ගතයද ජර්මනිය තුළ දිස්වීම වළක්වා තිබෙනවා.

උපහාසය ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයේ වැදගත් අංගයක්. එයට වැට බඳින නීතියක් නැවත විමර්ශනය කළ යුතු බව ජර්මන් පර්යේෂකයන්ගේ මතයයි. (සමාජ මාධ්‍ය නියාමනය ගැන මෑත සතිවල කතා කළ ලක් රජයේ සමහර උපදේශකයෝ ජර්මන් නීතිය උදාහරණයක් ලෙස හුවා දැක්වූ බව අපට මතකයි.)

අපේ සංවාදයේ එකඟ වූ මූලධර්මයක් නම් සමාජ ව්‍යාධියකට කරන නියාමන ‘ප්‍රතිකාරය’ ව්‍යාධියට වඩා බරපතළ විපාක මතු කරන්නේ නම් එය නිසි ප්‍රතිකාරයක් නොවන බවයි.

සමුළුව පැවති තෙදින පුරා විවිධ කථීකයන් මතු කළ තවත් සංකල්පයක් වූයේ ඩිජිටල් හා වෙබ් මාධ්‍ය අතිවිශාල සංඛ්‍යාවක් බිහි වීම හරහා තොරතුරු ග්‍රාහකයන් එන්න එන්නම කුඩා කොටස්/කණ්ඩායම්වලට බෙදෙමින් සිටින බවයි.

රේඩියෝ හා ටෙලිවිෂන් නාලිකා සංඛ්‍යාව වැඩිවීම සමග දශක දෙක තුනකට පෙර පටන් ගත් මේ කඩ කඩ වීම (audience fragmentation)  වෙබ් අඩවි හා සමාජ මාධ්‍ය ප්‍රචලිත වීම සමග බෙහෙවින් පුළුල්ව තිබෙනවා.

තමන් රිසි මති මතාන්තර පමණක් ඇසිය හැකි, දැකිය හැකි වෙබ් අඩවි හෝ සමාජ මාධ්‍ය පිටු වටා ජනයා සංකේන්ද්‍රණය වීම ‘filter bubbles‘ ලෙස හඳුන් වනවා. ඍජු පරිවර්තනයක් තවම නැතත්, තම තමන්ගේ මතවාදී බුබුලු තුළම කොටු වීම යැයි කිව හැකියි. මෙවන් ස්වයං සීමාවන්ට පත් වූ අයට විකල්ප තොරතුරු හෝ අදහස් ලැබෙන්නේ අඩුවෙන්.

පත්තර, ටෙලිවිෂන් බලන විට අප කැමති මෙන්ම උදාසීන/නොකැමති දේත් එහි හමු වනවා. ඒවාට අප අවධානය යොමු කළත් නැතත් ඒවා පවතින බව අප යන්තමින් හෝ දන්නවා. එහෙත් තමන්ගේ සියලු තොරතුරු හා විග්‍රහයන් වෙබ්/සමාජ මාධ්‍යවල තෝරා ගත් මූලාශ්‍ර හරහා ලබන විට මේ විසංවාද අපට හමු වන්නේ නැහැ.

එහෙත් අපේ සංවාදයට නව මානයක් එක් කරමින් මා කීවේ ඔය කියන තරම් ඒකාකාරී මූලාශ්‍රවලට කොටු වීමක් අපේ වැනි රටවල නම් එතරම් දක්නට නැති බවයි. විවිධාකාර මූලාශ්‍ර පරිශීලනය කොට යථාර්ථය පිළිබඳ සාපේක්ෂව වඩාත් නිවැරදි චිත්‍රයක් මනසේ ගොඩ නගා ගන්නට අප බොහෝ දෙනෙක් තැත් කරනවා.

Some of the participants at session on “Digitalization and polarization of the media” at DW Global Media Forum 2018

ඔක්ස්ෆර්ඩ් සරසවියේ ඉන්ටර්නෙට් පර්යේෂණායතනය (Oxford Internet Institute)  2018 මාර්තුවේ පළ කළ සමීක්ෂණයකින්ද මෙබන්දක් පෙන්නුම් කරනවා. වයස 18ට වැඩි, ඉන්ටර්නෙට් භාවිත කරන බ්‍රිතාන්‍ය ජාතිකයන් 2000ක සාම්පලයක් යොදා ඔවුන් කළ සමීක්ෂණයෙන් හෙළි වූයේ තනි හෝ පටු වෙබ් මූලාශ්‍රයන්ට කොටු වීමේ අවදානම තිබුණේ සාම්පලයෙන් 8%කට පමණක් බවයි.

එනම් 92%ක් දෙනා බහුවිධ මූලාශ්‍ර බලනවා. මතු වන තොරතුරු අනුව තමන්ගේ අදහස් වෙනස් කර ගැනීමට විවෘත මනසකින් සිටිනවා.

බොන් මාධ්‍ය සමුළුවේ අප එකඟ වූයේ ජනමාධ්‍ය හා සන්නිවේදන තාක්ෂණයන් සමාජයට, ආර්ථීකයට හා දේශපාලන ක්‍රියාදාමයන්ට කරන බලපෑම් ගැන  සමාජ විද්‍යානුකූලව, අපක්ෂපාත ලෙසින් දිගටම අධ්‍යයනය කළ යුතු බවයි. ආවේගයන්ට නොව සාක්ෂි හා විද්වත් විග්‍රහයන්ට මුල් තැන දෙමින් නව ප්‍රතිපත්ති, නීති හා නියාමන සීරුවෙන් සම්පාදනය කළයුතු බවයි.

අමෙරිකානු සමාගම්වලට අයත් ෆේස්බුක්, ට්විටර් හා ඉන්ස්ටර්ග්‍රෑම් වැනි වේදිකා සිය ජන සමාජයන්හි මහත් සේ ප්‍රචලිත වී තිබීම ගැන සමහර යුරෝපීය ආණ්ඩුවල එතරම් කැමැත්තක් නැහැ. එහෙත් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මවලට හා මානව නිදහසට ගරු කරන රාජ්‍යයන් ලෙස ඔවුන් වෙබ් වාරණයට, අනවශ්‍ය ලෙස නියාමනයට විරුද්ධයි. ලිහිල් ලෙසින්, අවශ්‍ය අවම නියාමනය ලබා දීමේ ක්‍රමෝපායයන් (light-touch regulation strategies) ඔවුන් සොයනවා.

මේ සංවාද පිළිබඳව අවධියෙන් සිටීම හා යුරෝපීය රටවල අත්දැකීම් අපට නිසි ලෙස අදාළ කර ගැනීම වැදගත්. අපේ ආදර්ශයන් විය යුත්තේ ලිබරල් ප්‍රජාතන්ත්‍රීය රටවල් මිස දැඩි මර්දනකාරී චීනය වැනි රටවල් නොවේ.

Speakers for the DW-GMF 2018 session on “Digitalization and polarization of the media: How to overcome growing inequalities and a divided public”

සිවුමංසල කොලූගැටයා #274: මාධ්‍ය හිමිකරුවන් හා කතුවරුන් දේශපාලනයට පිවිසි බ්‍රිතාන්‍ය ජනමත විචාරණය

In this week’s Ravaya column (appearing in the print issue of 10 July 2016), I explore the role played by newspapers in the UK’s referendum on continuing membership in the European Union, held on 23 June 2016.

This column is based on first hand impressions – I spent 10 days in the UK just prior to the referendum, commonly known as the Brexit Vote, meeting journalists, academics and activists.

As the New York Times said in an op-ed article on 20 June 2016, “For decades, British newspapers have offered their readers an endless stream of biased, misleading and downright fallacious stories about Brussels.”

Written by Martin Fletcher, a former foreign and associate editor of The Times of London, the articke added: “British newspapers’ portrayal of the European Union in the lead-up to the referendum on June 23 has likewise been negative. The Financial Times and The Guardian have backed the Remain campaign, but they have relatively small circulations and preach largely to the converted. The Times has been evenhanded, though it finally declared on June 18 that it favored staying in the European Union. But the biggest broadsheet (The Telegraph), the biggest midmarket paper (The Daily Mail) and the biggest tabloid (The Sun) have thrown themselves shamelessly behind Brexit.

“They have peddled the myths that Britain pays 350 million pounds a week (about $500 million) to the European Union; that millions of Turks will invade Britain because Turkey is about to be offered European Union membership; that immigrants are destroying our social services; and that post-Brexit, Britain will enjoy continued access to Europe’s single market without automatically allowing in European Union workers.”

As Fletcher concluded: “It is often said that newspapers no longer matter. But they do matter when the contest is so close and shoppers see headlines like “BeLeave in Britain” emblazoned across the front pages of tabloids whenever they visit their supermarket. They matter if they have collectively and individually misled their readers for decades.”

British newspaper front pages on 23 June 2016, day of the Referendum on EU membership (Brexit Vote)
British newspaper front pages on 23 June 2016, day of the Referendum on EU membership (Brexit Vote)

බහුතරයක් ඡන්දදායකයන්ගේ තේරීමට හිස නැමීම ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ලක්ෂණයක්. මැතිවරණයක් හෝ ජනමත විචාරණයක් වෙත යොමු වන පාලක පක්ෂයක් එහි තීරණය පිළිගැනීමට නීතියෙන් මෙන්ම සදාචාරාත්මකවද බැඳී සිටිනවා.

2016 ජුනි 23 වනදා බ්‍රිතාන්‍යයේ පැවැති ජනමත විචාරණය ලෝක අවධානයට යොමු වුණා. එරට යුරෝපා සංගමයේ (European Union, EU) සාමාජිකත්වයේ තව දුරටත් රැඳී සිටිය යුතුද නැත්නම් ඉවත්විය යුතුද යන්න ඡන්දදායකයන්ගෙන් විමසනු ලැබුවා.

ලියාපදිංචි ඡන්දදායකයන්ගෙන් 72.21%ක් ඡන්දය ප්‍රකාශ කළ මෙහි අවසන් ප්‍රතිඵලය වූයේ 51.89%ක් ඉවත්වීමට කැමැත්ත පළ කිරීමෙන්. රැඳී සිටීමට පක්ෂව ලැබුණේ ඡන්ද 48.11%යි. සමස්ත වලංගු ඡන්ද සංඛ්‍යාව 33,551,993ක් වූවා.

මේ ප්‍රතිඵලය එරට රජය, විපක්ෂය හා සමස්ත පාලන තන්ත්‍රයම දේශපාලන අර්බුදයකට පත් කොට තිබෙනවා.

පාලක කොන්සර්වෙටිව් පක්ෂය මෙන්ම ප්‍රධාන විපක්ෂය වන ලේබර් පක්ෂයත් මේ ප්‍රශ්නය හමුවේ දෙකට බෙදුණා. දෙපක්ෂයේම ප්‍රබලයන් පිරිසක් යුරෝපා සංගමයෙන් ඉවත්වීම උදෙසා ප්‍රබලව කැම්පේන් කළා.

කැම්පේන් විවාදයන් අතිශයින් උණුසුම් හා ආවේගශීලී වූයේ ‘පිටස්තරයින්’ බ්‍රිතාන්‍යයේ රැකියා කිරීමට, පදිංචියට හා සෞඛ්‍ය සේවා නොමිලයේ ලැබීමට දහස් ගණනින් පැමිණීම සම්බන්ධයෙන්.

මේ පිටස්තරයන් අතර මැද පෙරදිගින් එන සිරියානුවන් ප්‍රමුඛ සරණාගතයන් සිටියද වැඩිපුරම අවධානය යොමු වූයේ බහුතරයක් වූ සෙසු යුරෝපීයයන්ගේ පැමිණීම ගැනයි.

රාජ්‍යයන් 28ක් සාමාජිකත්වය දරන යුරෝපා සංගමයට සාපේක්ෂව මෑතදී බැඳුණු, ඉසුරුමත් බවින් අඩු (රුමේනියාව, බල්ගේරියාව, ස්ලොවාකියාව, ක්‍රොයේෂියාව, පෝලන්තය වැනි) නැගෙනහිර යුරෝපීය රටවල ජනයාට වීසාවලින් තොරව බ්‍රිතාන්‍යයට පැමිණීමට හා එරට පහසුකම් ලැබීමට හැකියි. රැකියා කිරීමටද හැකියි. (මේ හා සමාන වරප්‍රසාද එම රටවලට යන බ්‍රිතාන්‍ය ජාතිකයකුටද ලැබෙන නමුත් එබඳු රටවලට යන්නට කිසිවකුත් කැමති නැහැ.)

තමන්ගේ රැකියා අවස්ථා රෝහල් හා පාසල් පහසුකම් මේ විජාතිකයන් මහා පරිමාණයෙන් අත්පත් කර ගැනීම ගැන වැඩ කරන පන්තියේ බ්‍රිතාන්‍ය ජනයා අතර කලෙක සිට දැඩි අප්‍රසාදයක් පැවතුණා. මෙය පිටස්තර විරෝධී ආවේගයක් බවට කැම්පේන් කාලය තුළ මතුව ආවා.

මීට අමතරව යුරෝපා සංගමයේ අධික නිලධාරිවාදය ගැන ඔවුන් බ්‍රිතාන්‍යයේ ස්වාධීනත්වය අනිසි බලපෑම් කරනවාද යන්න ගැන මේ ජනමත විචාරණ කාලයේ බහුලව විවාද කරනු ලැබුවා.

Cartoon by Patrick Chappatte, International New York Times
Cartoon by Patrick Chappatte, International New York Times

යුරෝපා සංගමයට බ්‍රිතාන්‍යය බැඳුණේ 1973දි. එවකට යුරෝපීය ආර්ථීක හවුල (European Economic Community, EEC) ලෙස හැඳින්වුණු එහි සාමාජිකත්වයේ දිගටම සිටිය යුතුද යන්න ගැන 1975දි එරට ජනමත විචාරණයක් පැවැත්වුණා.

එවර ඡන්දදායකයන්ගෙන් 67%ක් රැඳී සිටීමට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළා. වසර 41කට පසු ජනමතය සැලකිය යුතු අන්දමින් වෙනස්ව තිබෙනවා.

මෙයට සමාජ-ආර්ථීක හා දේශපාලන සාධක රැසක් බලපෑවා. එසේම එරට මාධ්‍ය මගින් ජනමතය හැසිරවීමට මෙවර ජනමත විචාරණයේ ප්‍රතිඵලවලට තීරණාත්මකව බලපාන ලද බව මාධ්‍ය විචාරකයන්ගේ මතයයි.

මෙවර ජනමත විචාරණයට දින දහයකට පෙර බ්‍රිතාන්‍යයට ගිය මා එම මැතිවරණ ක්‍රියාදාමය හමාර වන තුරුම එහි ගත කරමින් මාධ්‍යවල භූමිකාව සමීපව නිරීක්ෂණය කළා. බ්‍රිතාන්‍ය මාධ්‍යවේදීන්ට පර්යේෂකයන්ට කතා කළා. අද බෙදා ගන්නේ එයින් ලැබූ අදහස් හා විග්‍රහයන්ගේ සම්පිණ්ඩනයක්.

ලන්ඩනයේ ෆ්ලීට් වීදිය (Fleet Street) ඓතිහාසිකව මුද්‍රණ කර්මාන්තයට හා පුවත්පත් ප්‍රකාශනයට ප්‍රකටයි. 1702දි එරට මුල්ම දිනපතා පත්‍රය පටන් ගත්තේද එහි පිහිටි කාර්යාලයකින්. තව දුරටත් බ්‍රිතාන්‍ය පුවත්පත් එහි සංකේන්ද්‍රණය වී නැතත්, බ්‍රිතාන්‍ය පත්‍ර කර්මාන්තයට පොදු යෙදුමක් ලෙස ෆ්ලීට් වීදිය යන්න යෙදෙනවා.

සියවස් ගණනක් පැවැති ෆ්ලීට් වීදියේ බලපෑම් කිරීමේ හැකියාව ගෙවී ගිය වසර 25 තුළ සෑහෙන තරමට අඩු වෙලා. දැවැන්තයන්ව සිටි සමහර පුවත්පත් වැසී ගිහින්. පොදුවේ පුවත්පත් අලෙවිය අඩු වීම වාර්ෂිකව දිගින් දිගටම සිදු වනවා. අලුත් පරම්පරාව ඩිජිටල්/වෙබ් මාධ්‍ය හරහා ප්‍රවෘත්ති ලබා ගැනීමත්, බහුතරයක් බ්‍රිතාන්‍යයන් (තුනෙන් දෙකක්ම) ටෙලිවිෂන් තමන්ගේ ප්‍රමුඛ පුවත් මූලාශ්‍රය ලෙස සැලකීමත් මේ පසුබෑමට හේතුවී තිබෙනවා.

The Sun and Daily Mail were both strongly for Leaving the EU
The Sun and Daily Mail were both strongly for Leaving the EU

එසේ තිබියදීත් මෙවර ජනමත විචාරණයේදී යුරෝපා සංගමයෙන් ඉවත්වීමට යයි ඡන්දදායකයන්ට දැඩි බලපෑම් කිරීමට සමහර පුවත්පත් සමත් වුණා.

ඕස්ටේලියාවේ ඉපිද දැන් ඇමරිකානු පුරවැසි බව දරන මාධ්‍ය ව්‍යාපාරික රූපට් මර්ඩොක්ගේ (Rupert Murdoch) හිමිකාරීත්වයෙන් යුතු පුවත්පත් මේ අතර කැපී පෙනුණා.

දැන් 85 හැවිරිදි මර්ඩොක් බ්‍රිතාන්‍ය පුවත්පත් කර්මාන්තයට පිවිසුනේ 1969දී. මුලින් ජනප්‍රිය රැල්ලේ ටැබ්ලොයිඩ් පත්‍ර (News of the World, The Sun) පටන් ගත් ඔහු ඓතිහාසිකව බ්‍රිතාන්‍ය පාලක පන්තියේ පත්‍රය වූ The Times 1981දී මිලට ගත්තා.

මර්ඩොක්ගේ පත්තර බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතු යැයි තර්ක කිරීමට පටන් ගත්තේ 1990දි. ඒ කාලයේ The Sun පත්තරය දිනකට පිටපත් මිලියන 3.6ක් අලෙවි වුණා. දැන් අලෙවිය එයින් බාගයකටත් වඩා අඩුයි.

මර්ඩොක්ගේ මේ යුරෝපා විරෝධයට හේතුවක් ලෙස ඔහුගේ විරුද්ධවාදීන් දකින්නේ යුරෝපා දේශපාලකයන් අල්ලේ නැටවීමට ඔහුට නොහැකි වීමයි. (පත්තරවලට අමතරව ටෙලිවිෂන් නාලිකාද හිමි මර්ඩොක්ට බ්‍රිතානයේ හැම පක්ෂයකම දේශපාලකයෝ බියයි.)

මෙවර ජනමත විචාරණයේදී මර්ඩොක්ගේ The Sun පත්‍රය ප්‍රබල ලෙසම ඉවත්වීම වෙනුවෙන් කැම්පේන් කළා. ඡන්දදායකයන් බහුතරයක් අයත් වැඩ කරන පන්තියේ පාඨකයන් අතර මේ පත්‍රය තාමත් ජනප්‍රියයි.

The Sun front page, 23 June 2016
The Sun front page, 23 June 2016

ජූනි 23දා The Sun පත්‍රයේ මුල්පිටුව මුළුමනින් පෙන්වූයේ (අලුතින් ආ හොලිවුඩ් චිත්‍රපටයක ප්‍රචාරක රූප තරමක් වෙනස් කරමින්) එදින බ්‍රිතාන්‍යයේ නිදහස් දිනය විය යුතු බවයි!

ඒ අතර මර්ඩොක්ගේම The Times පත්‍රය ඊට වඩා මැදහත් ලෙස දෙපාර්ශ්වයටම යම් ආවරණයක් ලබා දුන්නා. මෙය මර්ඩොක්ගේ සටකපට බව තහවුරු කරන බව සමහරුන් කියනවා.

යුරෝපා සංගමයෙන් ඉවත්වීමට යයි විවෘතවම කැම්පේන් කළ තවත් ප්‍රකට පත්තරයක් වූයේ ඩේලි මේල් Daily Mail. මර්ඩොක් ප්‍රකාශන මෙන්ම මෙයද අන්ත දක්ෂිණාංශික දේශපාලන මතවාදයන් වෙනුවෙන් පෙනී සිටිනවා.

මේ ගැන විග්‍රහයක් කළ ගාඩියන් (The Guardian) පත්‍රයේ සහාය කතුවර මාටින් කෙට්ල් කීවේ තම දේශපාලනික අරමුණු වෙනුවෙන් ඕනෑම දුරක් යාමට ඩේලි මේල් නොපැකිලෙන බවයි.

1924 ඔක්තෝබර් මහමැතිවරණයට දින හතරකට පෙර මුළුමනින්ම ගොතන ලද, අසත්‍ය ලියුමක් මේ පත්‍රය පළ කළ බව ඔහු සිහිපත් කළා. එවකට බලයේ සිටි වාමාංශික ලේබර් පක්ෂයේ අගමැති රැම්සේ මැක්ඩොනල්ඩ් වෙත යොමු කෙරුණු ලෙසින් ප්‍රබන්ධිත මේ ලියුමෙන් සෝවියට් කොමියුනිස්ට් පක්ෂ ප්‍රධානියකු ඉල්ලා සිටියේ බ්‍රිතාන්‍ය කම්කරුවන් බොල්ෂෙවික්කරණයට උදව් වන ලෙසයි.

1924 මැතිවරණයෙන් ලේබර් පරාජය වීමට මේ මාධ්‍ය ප්‍රෝඩාව ප්‍රබල හේතුවක් වූවා.

එදා මෙදාතුර වාමාංශික මෙන්ම සමහර දක්ෂිණාංශික (කොන්සර්වෙටිව්) රජයන්ද පෙරළා දැමීමට සූක්ෂ්ම අන්දමින් ඩේලි මේල් ක්‍රියා කොට ඇති සැටි ලේඛනගතයි.

මේවා රහස් නොවේ. එසේම තම දේශපාලන න්‍යාය පත්‍රයන් ක්‍රියාත්මක කිරීමට මාධ්‍ය කලාවේ ආචාර ධර්ම අමු අමුවේම උල්ලංඝනය කළ එකම පත්‍රයද ඔවුන් පමණක් නොවෙයි. මෙය බ්‍රිතාන්‍ය මාධ්‍ය ක්ෂේත්‍රයට වැළඳි බරපතළ ව්‍යාධියක් බව මාටින් කෙට්ල් කියනවා.

මාධ්‍ය ආචාරධර්මවලට ගරු කරන, බහුවිධ මතයන්ට ඉඩ සළසන ගාඩියන් හා ඔබ්සර්වර් (The Observer) පත්‍ර වෙනදා මෙන්ම මෙවරද වඩා තුලනාත්මක පුවත් ආවරණයකට හා කර්තෘ මණ්ඩල අදහස් දැක්වීමක නිරත වූවා. යුරෝපා සංගමයේ බ්‍රිතාන්‍යය දිගටම රැඳී සිටිමින් වඩාත් හිතකර කොන්දේසි සාකච්ඡා මගින් ලබාගත යුතු බව මේ පත්‍රවල මතය වූවා.

The Times on 23 Jun2 2016
The Times on 23 June 2016

එහෙත් මේ පත්‍ර දෙකට විශාල අලෙවියක් නැහැ. ඔවුන්ගේ ප්‍රමිතිගත හා සම්භාවනීය මාධ්‍යකරණය සමාජයේ ගෞරවයට පාත්‍ර වුවත් එම මාධ්‍ය සමාගම් පාඩු ලබමින් අමාරුවෙන් පවත්වා ගෙන යනවා. (හොඳ මාධ්‍යවලට වෙළඳපොළ ඉල්ලුම අඩු වීම ලොව බොහෝ රටවල දැකිය හැකියි.)

තවත් සම්භාව්‍ය, මැදහත් පුවත්පතක් වන ෆයිනෑන්ෂල් ටයිම්ස් (Financial Times) – පත්‍රයේ විග්‍රහයක් ලියූ මාණ්ඩලික ලේඛක ජෝන් ගැපර් මෙසේ කියා සිටියා. ‘දේශපාලනයට ප්‍රබල බලපෑම් කිරීමට බ්‍රිතාන්‍ය පුවත්පත් හිමියන් බොහෝ දෙනකුට වුවමනායි. එහෙත් පත්තර බහුතරයක අලෙවිය ක්ෂීණ වීම නිසා එම බලපෑම් කිරීමේ හැකියාව අඩුව ඇති බව ද ඔවුන් දන්නවා. මීට වසර 25කට පෙර බ්‍රිතාන්‍ය සමාජය සොලවන්න හා ආණ්ඩු පෙරළන්න සමහර පත්තරවලට බලයක් තිබුණා. දැන් ඒ පත්තර නංවන්නේ ඔවුන්ගේ අවසාන ගෙරවුම් නාදය විය හැකියි. තව වසර 25කින් ෆ්ලීට් වීදියේ බලපුළුවන්කාරයන් එක් අයකුවත් ඉතිරි වේදැයි සැක සහිතයි!’

ආවේගශීලී වාර්තාකරණයේ හා සීමාන්තික දේශපාලන මතවාද ප්‍රවර්ධනයේ යෙදුණු පත්‍රවල කතුවරුන් එය සාධාරණීකරණය කිරීමටද තැත් කළා.

Mail Online වෙබ් අඩවි ප්‍රකාශක මාටින් ක්ලාක් කීවේ ‘අපි ජනතාවගේ සිත් තුළ බිය සැක අළුතින් බිහි කරන්නේ නැහැ. අපි කරන්නේ පවතින එම ආවේගයන් පිළිබිඹු කරනවා පමණයි. ඇත්තටම යුරෝපා සංගමය ගැන අපේ සාමාන්‍ය ජනයාට ලොකු ගැටලු තිබෙනවා. දේශපාලන තන්ත්‍රය මේ ජන හඬට සංවේදී විය යුතුයි.’

මේ ජන ආවේගයන් උසි ගැන්වීමේ ආන්තික හා ඛේදජනක ප්‍රතිඵලයක් වූයේ විපක්ෂ ලේබර් පාක්ෂික තරුණ මන්ත්‍රීවරියක් වූ ජෝ කොක්ස් (Jo Cox) 2016 ජූනි 16දා මහ දවාලේ සාහසිකයකු විසින් ඝාතනය කිරීමයි.

2015දී පාර්ලිමේන්තුවට තේරී පත් වූ ප්‍රගතිශීලී හා ජනප්‍රිය මන්ත්‍රීවරියක් වූ ඇය සිරියානු සරණාගතයන් හා වෙනත් ගෝලීය මෙන්ම දේශය සමාජ සාධාරණත්වයන් සඳහා දිගටම පෙනී සිටි, කතා කළ කෙනෙක්.

ඇගේ ඝාතකයා ඇගේ ඡන්ද කොට්ඨාශයේම විසූ, මේ පරමාදර්ශී ප්‍රතිපත්ති බ්‍රිතාන්‍ය ස්වාධීනත්වය කෙළසනවා යයි විශ්වාස කළ අයෙක්. ඔහු මේ මානසිකත්වයට පත් කළේ අන්තවාදී දේශපාලකයෝද. නැත්නම් ජන ආවේග අවුස්සා අමු ගෝත්‍රිකත්වය මතු කළ ජනමාධ්‍යයද? මෙය ඉදිරි අධිකරණ ක්‍රියාදාමයේදී විමර්ශනයට ලක් වේවි.

ජෝ කොක්ස්ගේ ඝාතනය සමස්ත බ්‍රිතාන්‍යය දැඩි කම්පනයට ලක් කළා. ජනමත විචාරණ කැම්පේන් සියල්ල දින තුනකට නතර කරනු ලැබුවා. එහෙත් අවසානයේදී ජනමතය හැරුණේ ඇය පෙනී සිටි පැත්තට නොවෙයි. ආවේගශීලී පාර්ශවයන් පෙනී සිටි යුරෝපා සංගමය හැර යාමටයි.

මාධ්‍ය සදාචාරය ගැන විමර්ශනය කරන්නට 2011 ජූලි මාසයේ බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන්, ලෙවිසන් (Lord Leveson) නම් විනිසුරුවරයාගේ ප්‍රධානත්වයෙන් අධිකරණ ස්වරූපයේ විමර්ශනයක් ආරම්භ කළා. එය මාස ගණනක අදහස් විමසීම්වලින් හා විභාග කිරීම්වලින් පසු නිර්දේශ කළේ ස්වාධීන, අලුත් මාධ්‍ය පැමිණිලි කොමිසමක් අවශ්‍ය බවයි.

පුවත්පත් ප්‍රකාශකයන් හා කතුවරුන් පවත්වා ගෙන යන ස්වේච්ඡා පුවත්පත් පැමිණිලි කොමිසම නොසෑහෙන බවත්, එය අකාර්යක්ෂම බවත් පෙන්වා දෙනු ලැබුවා. එහෙත් අගමැති කැමරන් නව නීතියක් හරහා මාධ්‍ය පැමිණිලි කොමිසමක් පිහිටුවීමට මේ දක්වා ක්‍රියා කොට නැහැ. දැන් ජනමත විචාරණයෙන් පසු ඔහු තනතුර අත්හැර යාමට තීරණට කොට තිබෙනවා.

Financial Times (FT) cover - 25 - 26 June 2016
Financial Times (FT) cover – 25 – 26 June 2016

බ්‍රිතාන්‍ය සමාජය මාධ්‍ය නිදහස ඉහළින් අගය කරනවා. මාධ්‍යවලින් නිර්දය ලෙස විවේචනය කරනු ලබන දේශපාලකයන් පවා මාධ්‍ය නිදහස සීමා කිරීමට විරුද්ධයි.

 එහෙත් මාධ්‍ය නිදහස අවභාවිත කරමින් ජනයා නොමඟ යැවීමට, ප්‍රචණ්ඩකාරී ආවේගයන් උසි ගැන්වීමට හා අන්තවාදී දේශපාලන මතවාද ප්‍රවර්ධනයට සමහරක් බ්‍රිතාන්‍ය මාධ්‍ය යොමු වීම කලක සිට පෙනෙන ප්‍රවණතාවක්. මෙවර ජනමත විචාරණයේ එය පැහැදිලිව තහවුරු වුණා.

වැරදි තොරතුරු හා පක්ෂග්‍රාහී විග්‍රහයන් හරහා ජනමතය අයාලේ ගෙන යාමට මාධ්‍යවලට අසීමිත නිදහසක් තිබිය යුතුද? ප්‍රජාතන්ත්‍රවාදයේ මුර දෙවියකු වන ජනමාධ්‍ය, දේවාලයේ තක්කඩි කපුරාල බවට පත්වීම වළක්වා ගත හැකිද?

මහජන ඡන්දයෙන් පත්වන දේශපාලන නායකයන් ධුර කාලයට පෙර පැරදවීමට කිසිදු පත්‍ර හිමියකුට හෝ කතුවරයකුට හෝ ඉඩ තිබිය යුතුද? ව්‍යාපාරික හා දේශපාලන අරමුණු උදෙසා මාධ්‍ය වගකීම් හා ආචාර ධර්ම මඟහැර යාමට මාධ්‍යවලට දැනට තිබෙන නිදහස සාධාරණ ලෙස සීමාවකට නතු කළ හැකිද?

මේ ප්‍රශ්න වඩාත් උනන්දුවෙන් බ්‍රිතාන්‍ය සමාජය විවාද කරන්නට පටන් අරන්. මේ සංවාද ශ්‍රී ලංකාවේ මාධ්‍යවලට හා ලක් සමාජයටත් ඍජුවම අදාළයි.

See also:

The Guardian, 24 June 2016: Did the Mail and Sun help swing the UK towards Brexit?