කේ.ඩබ්ලියු ජනරංජන: සතිපතා දේශපාලන කාටුන් අඳින පුවත්පත් ප‍්‍රධාන කතුවරයා

K W Janaranjana: Chief Editor, Media Activist, Cartoonist & Book cover artist

K W Janaranjana: Chief Editor, Media Activist, Cartoonist & Book cover artist

කේ.ඩබ්ලියු ජනරංජන මා හඳුනාගත්තේ ඔහුත් මාත් මානව විද්‍යා සඟරාවේ කර්තෘ මණ්ඩලයේ වැඩ කළ 1980 දශකය අග කාලයේ. තමාටම ආවේණික ශෛලියකින් චිත‍්‍ර හා කාටුන් අඳින ඔහු සඟරාවේ පිටු නිර්මාණය චිත්තාකර්ෂනීය ලෙසින් කළා.

පසු කලෙක නීතීඥයකු හා පුවත්පත් කලාවේදියකු ලෙස නමක් දිනාගත් ඔහු කලෙක සිට රාවය කර්තෘ මණ්ඩලයේ සේවය කරනවා.

පාඨකයන් ඔහු වඩාත් හොඳින් හඳුනනන්නේ මුල පිටුවේ ආයුබෝවන් පොකට් කාටුනය හා කතුවැකිය පළවන පිටුවේ දේශපාලන කාටුනය හරහායි. 2012 දී රාවයට 25 වසරක් පිරීමෙන් පසු ඔහු එහි ප‍්‍රධාන කතුවරයා.

ජාතික පුවත්පතක ප‍්‍රධාන කතුවරයා එහි සතිපතා දේශපාලන කාටුන් ද ඇඳීම හමු වන්නේ රාවයේ පමණක් යයි මා සිතනවා.

රාවයට සතිපතා තීරුලිපියක් ලිවීමට මට ඇරැයුම් කළේත්, ඒ ගැන දෙගිඩියාවෙන් සිටි මා දිරිමත් කළේත් ඔහුයි. ඒ අනුව 2011 මුල සිට සිවුමංසල කොලූගැටයා තීරු ලිපිය මා ලියනවා. මේ වන විට 200කට ආසන්න ලිපි ගණනක් ලියා තිබෙනවා. ඒවායින් තෝරාගත් ලිපි අඩංගු පොත් 3 ක්ද රාවය ප‍්‍රකාශන ලෙස පළ කරනු ලැබුවා. මේ තුනෙහිම පිටකවර නිර්මාණය කළේත් ජනරංජනයි.

Sivu Mansala Kolu Getaya - Ravaya column collections 1, 2 and 3 on sale at Colombo Book Fair 2014. All covers by K W Janaranjana

Sivu Mansala Kolu Getaya – Ravaya column collections 1, 2 and 3 on sale at Colombo Book Fair 2014. All covers by K W Janaranjana

රාවය ප‍්‍රකාශන බහුතරයකට කලක සිට පිටකවර නිර්මාණය කරන්නේ ඔහුයි. ප‍්‍රාථමික වර්ණ ප‍්‍රබලව යොදා ගන්නා වෙනත් බොහෝ පොත් කවරවලට වඩා ගැඹුරු මානයක් සිය පොත් කවරවලට දෙන්නට ඔහු තැත් කරනවා.

Ravaya booth at Colombo Book Fair 2014:  many book covers designed by K W Janaranjana

Ravaya booth at Colombo Book Fair 2014: many book covers designed by K W Janaranjana

Purawesi Pethsama book cover - designed by KW Janaranjana - won Lanka State Literary award for best book cover in 20132013 පළවූ පොත් සඳහා රාජ්‍ය සාහිත්‍ය සම්මාන පිරිනැමුණේ 2014 සැප්තැම්බර් 3 වනදා. එහිදී 2013 හොඳම පොත් පිටකවරයට රාජ්‍ය සාහිත්‍ය සම්මානය ජනරංජනට හිමිවුණා. එස්. ජී. පුංචිහේවාගේ පුරවැසි පෙත්සම නම් කෘතියට නිමැවූ කවරය සඳහායි.

 

Advertisements

සිවුමංසල කොලූගැටයා #142: සිංහලෙන් විදු දැනුම රටට බෙදු ආචාර්ය අදිකාරම්

In this week’s Ravaya column (in Sinhala), I pay tribute to scholar and free thinker Dr E W Adikaram (1905-1985), a Lankan pioneer in public communication of science in Sinhala.

I also recall with gratitude how, a few months before his death at age 80, he advised and guided me through a challenging science writing assignment on the history and science of comets.

Dr E W Adikaram (1905-1985)

Dr E W Adikaram (1905-1985)

2013 සැප්තැම්බර් 15දා කොලමින් මානව විද්‍යා සඟරාවේ පුරෝගාමී මෙහෙවර ගැන අපි කථා කළා. එයට ප‍්‍රතිචාර දැක් වූ සමහර පාඨකයන් ඉල්ලා සිටියේ විද්‍යා සන්නිවේදනයේ තවත් පුරෝගාමීන් හා පෙරගමන්කරුවන් ගැනත් විටින් විට සිහිපත් කරන ලෙසයි.

ආචාර්ය ඊ. ඩබ්ලියු. අදිකාරම් සූරීන් (1905 – 1985) අප බොහෝ දෙනෙකු වඩා හොඳින් හඳුනන්නේ දාර්ශනිකයකු, ප‍්‍රතිපත්තිගරුක අවිහිංසාවාදියකු හා බෞද්ධ ඉතිහාසය ගැඹුරින් අධ්‍යයනය කළ ශාස්ත‍්‍රවේදියකු හැටියටයි. ඔහු සිංහලෙන් විද්‍යාව ප‍්‍රචලිත කිරීමට දශක ගණනාවක් පුරා තනි පුද්ගලයෙකුගේ මට්ටමින් කළ දායකත්වය ඔහුගේ අනෙකුත් වැදගත් සමාජ මෙහෙවරට සාපේක්ෂව මෙරට අඩු ඇගයීමකට ලක් වූවා යැයි කිව හැකියි.

1933දී ඔහු ලන්ඩන් සරසවියෙන් ආචාර්ය උපාධිය සඳහා ලියූ මුල් යුගයේ ලාංකික බුදුසමයේ ඉතිහාසය පිළිබඳ නිබන්ධනය, අද දක්වාත් එම ක්ෂේත‍්‍රයේ අගනා පර්යේෂණ කෘතියක් ලෙස සැලකෙනවා. 1933 – 1945 කාලයේ බෞද්ධ පරම විඥානාර්ථ සමාගම යටතේ පාලනය වූ පාසල් කිහිපයක විදුහල්පති මෙන් ම ආරම්භකයා ලෙසත් ක‍්‍රියා කළ ඔහු, මෙරට අධ්‍යයන ක්ෂෙත‍්‍රයේ ද නොමැකෙන නමක් සනිටුහන් කළා.

ඉන්දියානු දාර්ශනික ජේ. ක‍්‍රිෂ්ණමූර්තිගේ චින්තනය කියවා පැහැදුණු අදිකාරම් වයස 40දී සිය ජීවිතයේ ගමන් මග වෙනස් කළා. ඒ දක්වා දැරු තනතුරු සියල්ලෙන් ඉවත් වූ ඔහු දිගු කලකට ආධ්‍යාත්මික චාරිකාවක් සඳහා ඉන්දියාවට ගියා.

1947දී ක‍්‍රිෂ්ණමූර්ති මුල්වරට හමු වූ තැන් පටන් ඔහු සමඟ සමීප මිතුදමක් ගොඩ නඟා ගත්තා. ආමිස පූජා පෙරටු කර ගත් සංවිධානාත්මක ආගම් හා වතාවත් සියල්ල ප‍්‍රතික්ෂේප කොට ආධ්‍යාත්මික ගුණ වගාවට මුළු අවධානය ම යොමු කිරීමේ ක‍්‍රිෂ්ණමූර්ති චින්තනය පිළි ගත් ආචාර්ය අදිකාරම්, එය මෙරට ප‍්‍රචලික කිරීමට ජීවිතයේ ඉතිරි කාලය කැප කළා.

ශ‍්‍රී ලංකා ක‍්‍රිෂ්ණමූර්ති කේන්ද්‍රය, තරුණ සිතිවිලි සමාජය හා ලංකා නිර්මාංශ සංගමය හරහා ඔහු උදක් ම උත්හාස කළේ වඩාත් අවිහිංසාවාදී වූත්, විචාරශීලි වූත් ලක් සමාජයක් බිහි කිරීමටයි. විද්‍යාව, කලාව හා දර්ශනවාදය යන තුනෙහි සංකලනයක් හරහා නූතනත්වය හා සාරධර්ම මනාව තුලනය කර ගත් සමාජයක් බිහි කළ හැකි යයි ඔහු විශ්වාස කළා. විද්‍යා සන්නිවේදනයේ ඔහු නිරත වූයේ මෙකී පුළුල් දාෂ්ටිමය රාමුව තුළ පිහිටා ගෙනයි.

ජ්‍යෙෂ්ඨ පාසල්වල විද්‍යාව විෂයය සිංහලෙන් ඉගැන්වීම ඇරැඹුණේ 1957දී. එයට සමාන්තරව (විෂය මාලාවට ඍජුව අදාළ) පෙළපොත් මෙන් ම අතිරේක විද්‍යා කියැවීම් පොත් ගණනාවක් ද එළි දුටුවා. ඉංග‍්‍රීසියෙන් විද්‍යා අධ්‍යාපනය ලැබු විද්වතුන් කිහිප දෙනෙකු පුරෝගාමී ලෙස සිංහලෙන් විද්‍යා පොතපත ලිවීමට පටන් ගත්තා. මේ අය අතර අදිකාරම් සූරීන් කැපී පෙනුණු බව සිංහල විද්‍යා සාහිත්‍යයේ ඉතිහාසය ගැන ගවේෂණාත්මකව ලියූ ලිපියක විද්‍යා ලේඛක අසෝක ඩයස් සඳහන් කරනවා. (විදුසර, 1990 නොවැම්බර් 5).

ආචාර්ය අදිකාරම්ගේ ‘විද්‍යා කථා’ නම් ප‍්‍රකට විද්‍යා සාහිත්‍ය කෘතිය මුල් වරට පළ වූයේ 1952දී. එක් එක් පන්ති සඳහා ‘සාමාන්‍ය විද්‍යාව’ නම් පොත් පෙළක් ද ඔහු රචනා කළා.

සරල සිංහලෙන් කරුණු පැහැදිලි කිරීමට අමතරව ජායාරූප යොදා ගැනීම ද ඔහු කළ බව අසෝක කියනවා. උදාහරණයකට 1954දී පළ වූ 8 වැනි පන්තියට සාමාන්‍ය විද්‍යාව පොතේ රෝගකාරක විෂබීජයක් 10,000 වාරයක් විශාල කොට පෙන්වන රූපයක් අඩංගු වුණා.

1950 දශකයේදී ආචාර්ය අදිකාරම් තවත් පුරෝගාමී ප‍්‍රකාශන කටයුත්තකට යොමු වුණා. එනම් විද්‍යා දැනුම හා තොරතුරු සඳහාම වෙන් වූ වාරික ප‍්‍රකාශනයක් මුල්වරට සිංහලෙන් පළ කිරීමයි. ඔහුගේ සංස්කාරක්තවයෙන් බිහි වූ ‘නවීන විද්‍යා’ සඟරාව එම්. ඞී. ගුණසේන සමාගම මගින් පළ කිරීම ඇරැඹුණේ 1950 ජූලි මාසයේදී.

1950-55 වකවානුවේ නිතිපතා පළ වූ මේ සඟරාව විටින් විට නතර වෙමින්, යළිත් නව පණ ලබමින් 1970 ගණන් දක්වාම පවත්වා ගෙන යනු ලැබුවා. රීඩර්ස් ඩයරස්ට් සඟරා ප‍්‍රමාණයේ හුරුබුහුටි හැඩයෙන් යුත් මේ සඟරා පිටපත් පාසල් පුස්තකාලයේ දී මා කියැවුයේ 1973-4දී පමණ. නමුත් සිංහල විද්‍යා සඟරාවල ඉතිහාසය ගැන 1990දී විදුසරට ලිපියක් ලියූ ප‍්‍රභාත් වීරරත්න කියන්නේ සොයා ගත හැකි වූ ආකාරයට අවසන් ‘නවීන විද්‍යා’ කලාපය පළවී ඇත්තේ 1972දී බවයි.

Dr E W Adikaram Stamp issued in 1988

Dr E W Adikaram Stamp issued in 1988

විද්‍යාත්මක සංකල්ප සරලව පහදා දෙන අතරම විදු ලොව අළුත් පුවත් ද ගෙන ඒමට ‘නවීන විද්‍යා’ කතුවරයා ක‍්‍රියා කළා. බොහෝ ලිපි ලියනු ලැබුවේ ද ඔහු විසින්මයි. විශේෂයෙන් තාරකා විද්‍යාව හා ජීව විද්‍යා මාතෘකාවලට ඔහු වැඩි අවධානයක් යොමු කළා.

මීට අමතරව 1959 පටන් ‘විද්‍යා’ නමැති තවත් සඟරාවක් ද ආචාර්ය අදිකාරම් පටන්ගත් බව වාර්තාගතයි. එය කොපමණ කලක් පැවතියා දැයි පැහැදිලි නැහැ. නමුත් 1966 ජූනි මාසයේ වෛද්‍ය බුද්ධදාස බෝධිනායකගේ සංස්කාරකත්වයෙන් ඇරැඹි ‘විද්‍යා’ සඟරාව ඊට වෙනස්.

ආචාර්ය අදිකාරම් මුද්‍රිත මාධ්‍යයෙන් මෙන්ම රේඩියෝ මාධ්‍යය හා සජීව දේශන හරහා ද විද්‍යාත්මක දැනුම හා චින්තනය ප‍්‍රවර්ධනය කළා. 1955 ජූනි 20 වනදා ශ‍්‍රී ලංකාවට පූර්ණ සූර්යග‍්‍රහණයක් දිස් වූ අවස්ථාවේ රේඩියෝ විස්තර කථනයට සහභාගි වූ ඔහු, සාකච්ඡා වැඩසටහන් හරහා කාලීන මාතෘකා සංවාදයට ලක් කළා.

අභ්‍යවකාශ තරණය, සාගර ගවේෂණය, න්‍යෂ්ටික තාක්ෂණය, පරිගණක විද්‍යාව ආදි ක්ෂේත‍්‍ර ඉක්මනින් හා ප‍්‍රබලව මතු වෙමින් තිබු 1960 හා 1970 දශකයන්හිදී ඔහු මේ නව දැනුම විචාරශීලිව ග‍්‍රහණය කර ගන්නට ලක් සමාජයට මාහැඟි අත්වැලක් සැපයුවා.

ආචාර්ය අදිකාරම් මට මුණගැසුණේ දෙවතාවයි. ඒ ඔහුගේ ජීවිතයේ අන්තිම මාස කිහිපයේදී. වසර 76කට පසු නැවතත් 1986දී දිස්වීමට නියමිත වූ සුප‍්‍රකට හැලීගේ වල්ගාතරුව ගැන ඓතිහාසික, විද්‍යාත්මක හා වෙනත් තොරතුරු මෙන් ම මතකයන් ද රැස් කරමින් ‘කල්පනා’ සඟරාවට විස්තරාත්මක කවරයේ කථාවක් (විශෙෂාංග ලිපි එකතුවක්) මා සම්පාදනය කරමින් සිටියා.

එවකට මා උසස් පෙළ විද්‍යා සිසුවකු හැටියට අත ගැසුවේ ලෙහෙසි කාරියකට නොවෙයි. එහෙත් ඒ උත්සාහයේදී මහාචාර්ය ඔස්මන්ඞ් ජයරත්න, එඞ්වින් ආරියදාස වැනි වියතුන්ගෙන් මෙන්ම ආචාර්ය අදිකාරම්ගෙන් ද නොමඳ සහයක් ලැබුණා.

1985-86ට පෙර හැලීගේ වල්ගාතරුව දිස්වූයේ 1910දී. එය කුඩා දරුවන් ලෙස දුටු හා තවමත් මතකයන් තිබූ වැඩිහිටියන් සොයා ගෙන යද්දී ඒ ගැන ඉතා පැහැදිලි ආවර්ජනා ලබා දුන්නේ ආචාර්ය අදිකාරම්. 1905දී උපන් ඔහු හැලීගේ වල්ගාතරුව දැක්කේ ලාබාල වියේදී වුවත් මනා බුද්ධියක් හා සියුම් නිරීක්‍ෂණ ශක්තියක් තිබූ නිසා එය හොඳ හැටි ධාරණය කළා.

ඔහු කී හැටියට: ‘‘1910යේ හැලීගේ වල්ගා තරුව පායපු හැටි මට හොඳට මතකයි. ඒ වන විට මගේ වයස අවුරුදු පහක් විතර ඇති. මෙහෙම වල්ගාතරුවක් එනවාය කියන රාවය හොදින් පැතිරී ගිහින් තිබුණා. දවසක් පාන්දර ම මගේ මිත්තණිය මාව නින්දෙන් අවදි කළා වල්ගාතරුව පෙන්වන්න. ඈ මා කැඳවාගෙන ගියේ අපේ ගෙදර අසල තිබූ කුඩා කඳුවැටියට. උදෑසන 4ට – 5ට විතර අහසේ වල්ගාතරුව දිස් වූ බව මට මතකයි. මුල් දවස්වල කුඩාවට තිබුණු වල්ගාතරුව දිනෙන් දින ම විශාල වෙමින් දීප්තියෙන් වැඩි වුණා. පහුවෙන කොට එය ඉර බැස ගිය පසු සැන්දෑ අහසේත් දිස් වෙන්න පටන් ගත්තා. අහසේ එක් කෙළවරක සිට අනෙක් කෙළවර දක්වා විහිදෙන්නාක් මෙන් වූ හැලීගේ වල්ගාතරුව චමත්කාර ජනක දර්ශනයක් වුණා.

‘‘හැබැයි අපේ වැඩිහිටියෝ, ළමා අපට වැඩිවෙලා වල්ගාතරුව බලන්නට ඉඩ දුන්නේ නැහැ. එයින් යම් හානියක් වේය කියා වෙන්ට ඇති. ඒත් කුඩා අපි හැකි සෑම විට ම කළේ එළිමහනට ගිහින් වල්ගාතරුව බැලීමයි….’’

An image of Halley's Comet, taken on 29 May 1910 by Professor Edward Emerson Barnard at Yerkes Observatory

An image of Halley’s Comet, taken on 29 May 1910 by Professor Edward Emerson Barnard at Yerkes Observatory

1985 නොවැම්බරය වන විට ආචාර්ය අදිකාරම් 80 හැවිරිදිව සිටියත් තවමත් තීක්‍ෂණ බුද්ධියකින් හා සංවේදී මනසකින් යුතු බව ඔහු හා කථාබහ කරන විට හොදාකාර පෙනී ගියා. අතීතාවර්ජනය සටහන් කරගෙන, ඔහුට වැඩිපුර කරදර නොකර මා පිටත්ව යන්නට හදන විට මේ විෂය ගැන මෙතෙක් මා රැස් කරගත් තොරතුරු ගැන ඔහු සුහදව ප‍්‍රශ්න කළා.

ඉතිහාසය, බුදුදහම, පාලි හා සංස්කෘත යන විෂය ක්‍ෂෙත‍්‍රවලට අමතරව ඔහු සිය ලන්ඩන් බී. එ්. උපාධියට ගණිතය හා තාරකා විද්‍යාව හදාරා තිබූ හා සිංහලෙන් තාරකා විද්‍යාව ගැන මුල් යුගයේ ලියූ කෙනකු හැටියට ඔහුගේ උපදෙස් කැමැත්තෙන් ම ලැබෙන විට මා එය මහත්  ඕනෑකමින් භාර ගත්තා.

1950දී තමා ලියා පළ කළ ‘අහස’ නම් පොත් පිංචක වල්ගාතරු ගැන කොටස මට පෙන් වූ ඔහු, ලිපිය ලියා ගෙන යළිත් තමා වෙත ගෙන ආවොත් යම් වරදක් තිබුණොත් පෙන්වා දිය හැකි බවත් කීවා.

Kalpana magazine cover - Feb 1986

Kalpana magazine cover – Feb 1986

මූලාශ‍්‍ර දුසිම් ගණනක තිබූ තොරතුරු සරලව හා තර්කානුකූලව ගොනු කරමින් ‘වල්ගාතරු – එදා, අද සහ හෙට’ මැයෙන් ප‍්‍රධාන ලිපිය කෙටුම්පත් කළ මම දින හතරකට පසුව නැවතත් ආචාර්ය අදිකාරම් හමු වීමට ගියා. ඔහු සාවධානව අසා සිටියදී මා එය හඩ නගා කියෙව්වා. විටින් විට වචනයක්, කරුණක් ගැන ඔහු ප‍්‍රශ්න කළා.

පැය තුනක් තිස්සේ ආචාර්ය අදිකාරම් සමග ප‍්‍රධාන ලිපිය වඩාත් හරවත් හා ඔපවත් කළ පසු මා සදාකල් සිහි රැදන පාඩමක් උගත්තා. විද්‍යා ලිපියක් වුවත්, මොන ලිපියක් වුවත් ලියන විට ලොකු ලොක පණ්ඩිත (පාරිභාෂික) වචන වෙනුවට හැකි තරම් එදිනෙදා වහරේ හමු වන වචන යොදා ගැනීම වඩාත් වැඩදායක බවයි. එදා සිට අද දක්වාත් මා කරන්නේ එයයි.

‘‘ඔය වල්ගාතරු කියන සිංහල වචනයත් වැරදියි,’’ ඔහු අන්තිමේදී පෙන්වා දුන්නා. ‘‘ ඕකෙ තේරුමක් නැහැ. මේ ආකාශ වස්තුවට අප දන්නා ආකාරයේ වල්ගයක් නැහැ. එය කිසිසේත්ම තරුවකුත් නොවෙයි’’

‘‘එතකොට ධූමකේතුව කියන වචනය?’’ මා ප‍්‍රශ්න කළා. ඔහුගේ උත්තරය: ‘‘ඒකත් එහෙමයි. එහි දුමක් ඇත්තේත් නැහැ. ඒක කේතුවක් (කොඩියකුත්) නොවෙයි.’’

මම: ‘‘ඉතින් ඔය වචන දෙක ම දොස් සහිත නම් වඩා සුදුසු වචනයක් යෝජනා කළ හැකි ද?’’

ආචාර්ය අදිකාරම්: ‘‘ ඕනෑ නැහැ. දැන් පෙරේරා කියන පුද්ගලයාට සිල්වා කිව්වයි කියලා වෙනසක් වෙන්නේ නැහැනෙ. ඔය වචන දෙක ම භාවිතා කළාට කමක් නැහැ. නමුත් ඒවා යෙදෙන අවස්ථාවල ඒ ගැන නිවැරදි අවබෝධය දීමයි වඩා වැදගත්.’’

ආචාර්ය අදිකාරම්ගේ හැටි එහෙමයි! ඔහු තර්ක කිරීමේ ගජ සමතෙක්. එහෙත් හැම වාද විවාදයකදී ම ඉතා සන්සුන්ව හා ආචාරශීලීව අදහස් දැක්වීමත්, අන් හැමගේ අදහස්වලට ගරු කිරීමත් ඔහු ජීවිත කාලය පුරා ම කළා.

අපේ ඒ දෙවන හමු වීමෙන් මාසයක් ගත වන්නට පෙර 1985 දෙසැම්බර් 28 වනදා ආචාර්ය අදිකාරම් මිය ගියා. කල්පනා කර්තෘ ගුණදාස ලියනගේ සූරීන් පසුව තහවුරු කර ගත් අන්දමට එතුමන් අභාවප‍්‍රාප්ත වන්නට පෙර අවසන් වරට කථා කළ මාධ්‍ය නියෝජිතයා වූයේ මායි.

See also: E W Adikaram Facebook Page

Posted in astronomy, Communicating research, History, Journalism, Ravaya Column, Science communication, science journalism, Sri Lanka, Story telling, Writing. Tags: , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , . 3 Comments »