වෙරළේ හැදුණු දරුවා: ආතර් සී. ක්ලාක්ගේ ළමා කාලය පොතින්

ලෝක පූජිත විද්‍යා ලේඛක හා අනාගතවේදී ශ‍්‍රීමත් ආතර් සී. ක්ලාක්ගේ ළමා කාලය ගැන හා අප‍්‍රකට හා රසවත් තොරතුරු රැසක් කැටි කර ගත් ‘තරු අතරට ගිය දරුවා’ නම් පොතින්:

Arthur C Clarke (left) and Martin Wickramasinghe

Arthur C Clarke (left) and Martin Wickramasinghe

වෙරළේ හැදුණු දරුවා

ශ‍්‍රී ලංකාවේ දකුණුදිග වෙරළබඩ ගමක් වූ කොග්ගල උපන් මාටින් වික‍්‍රමසිංහ ලේඛකයා කුඩා වියේදී බොහෝ විට තනිවම මුහුදු වෙරළේ කල් ගත කරමින් ජීවීන් හා වෙරළ පරිසරය නිරික්සූ සැටි ලියා තිබෙනවා. ජීව ලෝකය හා පරිනාමය ගැන ඔහුගේ කුතුහලය මතුව ආවේ මේ පරිසරයෙන්.

කොග්ගලින් සැතපුම් දහස් ගණනක් ඈත එංගලන්තයේ වෙරළබඩ ගම්මානයක ඉපදී හැදුණු ආතර් ක්ලාක් ලේඛකයා ද කුඩා වියේ බොහෝ වේලා වෙරළේ ගත කළා. වෙරළ හා සාගරය අතර නිරන්තර ගනුදෙනුව ඔහු විස්මයට පත් කළා.

ගම අසල සමීපතම මුහුද වූයේ බි‍්‍රස්ටල් ඕඩයයි. ලෝකයේ වඩදිය-බාදිය පරතරය ඉතා වැඩි ස්ථානයක් ලෙස බි‍්‍රස්ටල් ඕඩය හැඳින්වෙනවා. මේ අවට වෙරළ ශ‍්‍රී ලංකාවේ තරම් මනරම් නොවුවත් වසරේ උණුසුම් මාසවල අවට ගම් හා නගරවල බොහෝ දෙනකුට විවේකී විනෝදය ලබා දෙන තැනක්.

Bristol channel

මුහුදු වෙරළට යන ක්ලාක් දරුවා පැය ගණන් එහි සෙල්ලම් කරනවා. රළ බිඳෙන සැටි හා වෙරළේ නොයෙකුත් ජීවින් සමීපව නිරික්සනවා. නිරායාසයෙන් ම වාගේ පිහිනීමටත් ඔහු පුරුදු වුණා. සමහර වේලාවට මුහුදු රළ ප‍්‍රචන්ඩ වූ විටත් ඔහු මුහුදේ පිහිනීම කළේ වෙරළබඩ අසල්වැසියන් සංත‍්‍රාසයට පත් කරවමින්. එහෙත් තම ආරක්‍ෂාව ගැන හොඳ තක්සේරුවක් කවදත් ඔහුට තිබුණා.

කුඩා වියේ පටන්ම සාරගරයට ඇලූම් කළ ආතර්, සොබා දහමේ ප‍්‍රවාහයන් සමීපව අධ්‍යයනය කළේ මේ පරිසරයේයි. සාගරය හා අභ්‍යවකාශය අතර සමානකම් ඔහු කල් තබා හඳුනා ගත්තා.

සාගරයෙන් නොදුරු තැනෙක ජීවිතයේ මුල් දශක දෙක ගත කළ ඔහු, ශ‍්‍රී ලංකාවේ පදිංචි වූ පසු දිගටම සිටියේ විනාඩි කිහිපයකින් මුහුද අයිනට යා හැකි තරම් දුරකින්.

කුඩා වියේදී තමන් මහත් සේ ඇලූම් කළ සාගරයට යළිත් සමීප වීමට ලැබීම ශ‍්‍රී ලංකාවේ පදිංචිවීමේ තවත් එක් වාසියක් බව ක්ලාක් ලියා තිබෙනවා.

ශ‍්‍රී ලංකා මුහුදු වෙරළේ හැකි තරම් කල් ගෙවන්නට ඔහු උණවටුන වෙරළ සමීපවත්, හික්කඩුව වෙරළාසන්නවත් කුඩා නිවහන් දෙකක් පවත්වා ගෙන ගියා. මුහුදු වෙරළට වී පොත් කියැවීම මෙන්ම චිත්ත සමාධිය සඳහා මුහුදු රළ බිඳෙන සැටි බලා සිටීම ද ඔහුගේ ප‍්‍රියතම ක‍්‍රියාවක් වුණා.

එක් තැනෙක ක්ලාක් මෙසේ කියනවා: ‘‘මා උපන්නේ වෙරළබඩ ගම්මානයක. බෙහෙවින් වක‍්‍රාකාර වූත් විශාල වූත්, බි‍්‍රස්ටල් ඕඩය අබියස වෙරළෙහි මගේ ළමා කාලය ගෙවී ගියා. එහෙත් වයස 10 පමණ ඉක්ම වූ පසු නිතිපතා මුහුදට ළං වීමේ අවකාශය නැති වී ගියා. ටවුමේ පාසලට, සිවිල් සේවයට, හමුදා සේවයට, සරසවියට හා ඉනික්බිති වෘත්තීය ලේඛන කලාවට මා යොමු වුණා. එවිට මුහුද අසලට යා හැකි වූයේ නිවාඩුවකට පමණයි. මා යළිත් මුහුදේ අසිරිමත් ආකර්ශනයට නතු වූයේ ශ‍්‍රී ලංකාවේ පදිංචියට පැමිණි පසුයි. එහි දකුණු දිග වෙරළ තීරය මගේ උපන් බිමෙහි වෙරළට වඩා දැකුම්කළු හා උණුසුම් වුවත් එය නිතර සිහිපත් කරන්නේ ළමා වියේ මට බෙහෙවින් සමීප වූ වෙරළ හා මුහුදයි.’’

1955-56 වසරවල මාස කිහිපයක් තිස්සේ මෙරට සාගර ගවේෂණය කරමින් ඔහු ලද අත්දැකීම් කැටි කොට ක්ලාක් 1957දී දේශාටන පොතක් ලිව්වා (The Reefs of Tapronane). එය 2012දී මනෝ ප‍්‍රනාන්දු විසින් ‘‘ලක්දිව සාගර පත්ල’’ නමින් සිංහලට පරිවර්තනය කොට තිබෙනවා.

Clarke diving off the coast of Ceylon - Image courtesy Arthur C Clarke Trust

Clarke diving off the coast of Ceylon – Image courtesy Arthur C Clarke Trust

‘‘කිමිදුම්කරුවකු ලෙස මා ලංකා දුපතට මුලින්ම ආකර්ෂණය වූයේ මේ කොරල්පර පිරි සාගරය නිසා. ඒ කොරල්පර විසින් රැක ගනු ලබන දිවයිනේ ඇතුළත සොබා හා සාංස්කෘතික අසිරිය මා හඳුනා ගත්තේ ඉන් පසුවයි.’’

1972දී ලියූ ලිපියක මෙසේ කියනවා: ‘‘ශ‍්‍රී ලංකා දුපතේ වසන වනජීවින් සියවස් ගණනක සිට ලෝකයා දැන සිටියා. එහෙත් දුපත අවට මුහුදේ වනජීවි අසිරිය දැක ගත් පළමුවන පරම්පරාව වන්නේ අපියි. එය ගොඩබිම වනදිවියටත් වඩා විචිත‍්‍රයි. ලක් වෙරළට සමීපව නොයෙක් තැන්හි පිහිටා ඇති කොරල්පර කෙතරම් විසිතුරු ජීවින්ගෙන් පිරී ඇත්දැයි දුටු විට අප විමතියට පත් වුණා.’’

නොයෙක් අවස්ථාවල මෙරට භෞමික හා සාගර අසිරිය ගැන වර්ණනාත්මකව ක්ලාක් ලියූ ලිපි හා නිපද වූ ටෙලිවිෂන් වැඩසටහන් නිසා ශ‍්‍රී ලංකාවට ලොව පුරා අතිවිශාල යහපත් ප‍්‍රචාරයක් නොමිළේ ලැබුණා.

තරු අතරට ගිය දරුවා: ආතර් සී. ක්ලාක්ගේ ළමා කාලය පොතක් ලෙසින්

Arthur C Clarke - Relaxing by the sea in Sri Lanka. Photo by Rohan de Silva, Arthur C Clarke Trust

Arthur C Clarke – Relaxing by the sea in Sri Lanka. Photo by Rohan de Silva, Arthur C Clarke Trust

 

Advertisements

සිවුමංසල කොලූගැටයා #96: ආතර් සී. ක්ලාක් නැවත කියවමු!

This week, my Ravaya column (in Sinhala) is about why we in Sri Lanka should re-read Arthur C Clarke, author of 100 books and over 1,000 essays of both fiction and non-fiction. This marks his 95th birth anniversary that falls on 16 Dec 2012.

As a science writer, Sir Arthur wrote on many and varied topics. Here, I single out two aspects: human violence and human gullibility, both of which continue to affect societies around the world.

Sir Arthur Clarke revisits Hikkaduwa beach in souther Sri Lanka in his custom-made Dune Roller, circa 2005

Sir Arthur Clarke revisits Hikkaduwa beach in souther Sri Lanka in his custom-made Dune Roller, circa 2005


ශ‍්‍රීමත් ආතර් සී. ක්ලාක්ගේ 95 වන ජන්ම සංවත්සරය අදට යෙදෙනවා.

ඔහුගේ අදහස් හා පරිකල්පනය කැටි කරගනිමින් වසර 25කට වැඩි කාලයක් පුරා විටින් විට මා ලියූ ලිපි එකතු කොට සම්පාදනය කළ ‘ආතර් සී. ක්ලාක් චින්තන චාරිකා’ නම් අලූත් පොතත් මේ සතියේ එළි දකිනවා.

ක්ලාක් 1917 එංගලන්තයේ ඉපිද, 2008 මාර්තුවේ ශ‍්‍රී ලංකාවේ දී මිය ගියා. ඔහුගේ අවුරුදු 90ක ජීවත කාලයෙන් අඩ සියවසකට වැඩි කාලයක් ගත කළේ මෙරට පදිංචිකරුවකු හැටියටයි. (පුරවැසියකු නොවේ!) එසේ වුවත් අපේ රටේ බොහෝ දෙනා තවමත් ක්ලාක් චින්තනය ගැන එතරම් නොදන්නා බව පෙනෙනවා.

මෙයට එක් හේතුවක් නම් ඔහුගේ සියයකට ආසන්න පොත්වලින් හා දහසකට අධික වූ විද්වත් ලිපි ලේඛනවලින් දේශීය භාෂාවලට පෙරළී ඇත්තේ සීමිත ප‍්‍රමාණයක් වීම. වෙළඳපොළ හේතු නිසාදෝ එසේ පරිවර්තනය හෝ අනුවාදය වී ඇත්තේ ද ඔහුගේ ප‍්‍රබන්ධ කෘති සමහරක් පමණයි.

ක්ලාක් විවිධාකාරයෙන් විග‍්‍රහ කළ හැකියි. ඉතා පටු කෝණයකින් බලන ඇතැම් දෙනා ඔහු හුදෙක් ප‍්‍රබන්ධ කථාකරුවකු හා විද්‍යාත්මක සාත්තරකරුවකු ලෙස දකිනවා. තවත් අයට ඔහු ගැජට්කාරයකු පමණයි. යම් පමණකට එය සැබෑ වූවත්, ඔහුගේ බුද්ධිමය දායකත්වයේ තවත් පැතිකඩ ගණනාවක් තිබෙනවා.

විද්‍යාව හා කලාවත්, පෙරදිග හා අපරදිග දැනුමත් එකට සංකලනය කිරීම හරහා අසාමාන්‍ය වූ දැක්මක් ඔහු ලබා ගත්තා. එමෙන්ම වර්තමාන දේශපානකින හෝ ආර්ථික මතවාදයන් තුළ සිරකරුවකු නොවී දිගුකාලීන ඓතිහාසික හා පරිනාමීය දෘෂ්ටි කෝණයකින් කරුණු විග‍්‍රහ කිරීමට ඔහුට හැකියාව තිබුණා.

හැම චින්තකයා හා ලේඛකයා ම සිය නිර්මාණ කරන්නේ තමන්ගේ කාලයට අනුරූපවයි. ආතර් සී. ක්ලාක්ට අනාගතවේදී දැක්මක් තිබුණත් ඔහු විසි වන සියවසේ චරිතයක්. ඔහුගේ දැක්ම වඩාත් මතුව ආයේ ඔහු මානව ප‍්‍රචණ්ඩත්වය හා විවිධ මානව විශ්වාසයන් ගැන ලියූ හා කියූ දේ හරහායි. මේ විග‍්‍රහයන් ඔහුගේ කාලයට අනුරූපව කරනු ලැබූවත් අපේ වත්මන් සියවසට අදාල කර ගත හැකියි.

Flt Lt Arthur C Clarke of the Royal Air Force, circa 1942 -  Photo owned by Arthur C Clarke Estate

Flt Lt Arthur C Clarke of the Royal Air Force, circa 1942 – Photo owned by Arthur C Clarke Estate

පළමුවන ලෝක යුද්ධ සමයේ ඉපදී, දෙවන ලෝක යුද්ධයේදී ගුවන් හමුදා සේවයේ නිරත වී, සීතල යුද්ධයේ සමස්ත කාල වකවානුව ම අත්විඳි ඔහු මානව ප‍්‍රචණ්ඩත්වය ගැන හා ගෝත‍්‍රික කලහකාරීබව ගැන ලිව්වේ හා කථා කළේ ෙසෙද්ධාන්තිකව නොව ප‍්‍රායෝගික අත්දැකීම් ඇතිවයි.

බටහිර ලෝකයෙන් පෙරදිගට සංක‍්‍රමණය වී 1956 සිට ශ‍්‍රී ලංකාවේ පදිංචි වූ ඔහුට යළිත් තුන් වතාවකදී ගැටුම්කාරී පරිසරයක ජීවත් වන්නට සිදු වුණා. 1971දී හා 1987-89දී මෙරට දකුණේත්, 1980 දශකය සිට ඔහුගේ ජීවිතයේ අවසානය තෙක් මෙරට උතුරු හා නැගෙනහිරත් සිදු වූ සන්නද්ධ අරගලයන් නිසා ඔහු දැඩි සේ කම්පාවට පත් වුණා.

දේශපාලන මතවාද වෙනුවෙන් හෝ බිම් ප‍්‍රදේශ සඳහා හෝ වෙනත් කුමන හේතුවක් නිසා හෝ අවි ආයුධ අතට ගැනීම ඔහු කිසි විටෙකත් අනුමත කළේ නැහැ. එහෙත් ආක‍්‍රමණශීලී ස්වභාවය හා ප‍්‍රචණ්ඩත්වය මානවයන්ට පරිණාමයෙන් උරුම වූවක් බවත්, පරිණාමීය අතීතයේ දී නම් එය අපේ වර්ගයාගේ රැක්මට හා පැවැත්මට උපකාරී වූ බවත් ඔහු දැන සිටියා.

දැනුමෙන්, චින්තනයෙන් හා තාක්ෂණයෙන් ඉදිරියට ගියත් මේ උරග මොළ ඉතිරියක් තවමත් අප තුළ පවතින බවත්, එය අධ්‍යාපනය හා ශික්ෂණය හරහා සමනය කර නොගත් විට ගැටුම් හට ගන්නා බවත් ඔහු තේරුම් ගත්තා. ඉතා සරල මුගුරක සිට අතිශයින් විනාශකාරි පරමාණු බෝම්බ දක්වා සමස්ත අවි ආයුධ පරාසය හරහා ම මතු වන්නේ මේ පරිණාමීය ආවේගය හා ගෝත‍්‍රිකත්වය බව ඔහු යළි යළිත් පෙන්වා දුන්නා.

ශ‍්‍රී ලංකාවේ සන්නද්ධ අරගල තුනේදී ඒ ගැන මහත් ශෝකබරිත නිරීක්ෂකයකු හැටියට ඔහු ඉඩ ලද හැම අවස්ථාවක ම මේ ප‍්‍රාථමික ආවේගයන්ගෙන් ඔබ්බට යාමේ වැදගත්කම අවධාරණය කළා.

ඔහු විසිවන සියවස නිතර හැඳින්වූයේ ලෝක ඉතිහාසයේ අතිශයින් ම මිලේච්ඡ වූ සියවස හැටියටයි. රටවල් අතර ප‍්‍රකාශිත යුද්ධ, රටවල් තුළ සිවිල් යුද්ධ, ත‍්‍රස්තවාදී හා අපරාධකාරී ක‍්‍රියා මෙන් ම දේශපාලන මතවාදයන් නිසා ද මිලියන ගණනක් අහිංසක හා නිරායුධ ජනයාගේ ජීවිත හානි කළ එම බිහිසුණු සියවසෙන් අප අමතක නොවන පාඩම් උගත යුතු බව ඔහු නැවත කියා සිටියා.

යුනෙස්කෝව (එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානය) සමඟ ඔහුට සමීප සබඳතාවක් තිබුණා. දෙවන ලෝක යුද්ධයේ උණුසුම පහව යන්නටත් කලින් 1945දී යුනෙස්කෝව පිහිටුවා ගන්නා විට එහි ප‍්‍රඥප්තියේ ආරම්භක වැකිය ලෙස එහි නිර්මාතෘවරුන් ලීවේ මෙයයි. ‘යුද්ධ හට ගන්නේ මිනිසුන්ගේ මනසේ නිසා සාමයට පවුරු සවිමත් කළ යුත්තේ ද පළමු කොට ම මිනිස් මනසේයි.’

මේ ගැඹුරු සංකල්පය එවකට 29 හැවිරිදි තරුණයකුව සිටි ආතර් සී. ක්ලාක්ගේ මනසට කිඳා බැස්සා. ඉක්බිතිව 1955දී ඇල්බට් අයින්ස්ටයින්, බර්ට්රන්ඞ් රසල් ඇතුළු ලෝකයේ ඉහළ පෙළේ විද්‍යාඥයන් හා බුද්ධිමතුන් පිරිසක් න්‍යෂ්ටික අවිවලට එරෙහිව නිකුත් කළ රසල්-අයින්ස්ටයින් ප‍්‍රකාශනය (Russell-Einstein Manifesto) ද ඔහුගේ චින්තනය තවත් තීව‍්‍ර කළා.

ක්ලාක් ශ‍්‍රී ලංකාවේ තරුණ සන්නද්ධ අරගලයන් හා බෙදුම්වාදී යුද්ධය ගැන විටින් විට ප‍්‍රසිද්ධියේ අදහස් දැක් වූ විට ඒවාට මෙබඳු දිගු කාලීන හා පුළුල් පසුබිමක් තිබුණා. ඔහු කිසි විටෙකත් සාමය ගැන සරල හා සිල්ලර මට්ටමින් කථා කළේ නැහැ. එමෙන් ම ඔහු හැම විට කීවේ ‘කල් පවතින’ හා ‘තිරසාර’ සාමයක් ගැනයි. ඔහුගේ අවසාන ප‍්‍රසිද්ධ ප‍්‍රකාශය වූ 90වන ජන්ම දින ආවර්ජනයේත් මේ සංකල්පය නැවත වරක් අවධාරණය කළා.

දශක නවයක ජීවිත කාලයේ කිසිදු පෞද්ගලික අපේක්ෂාවක් ඉතිරිව නැතත්, මහා පරිමාණයේ ප‍්‍රාර්ථනා තුනක් ඔහු සඳහන් කළා.

• පළමු වැනි පැතුම නම් විශ්වයේ වෙනත් තැනෙක ජීවයක් පැවතීම පිළිබඳ ස්ථීරසාර සාක්ෂියක් ලැබේවා යන්නයි.

• දෙවැනි පැතුම නම් පිවිතුරු බලශක්ති ප‍්‍රභවයන් භාවිතයට ලෝකය ඉක්මනින් ම යොමු වනු ඇතැයි යන්නයි.

• තෙවැනි පැතුම නම් කල් පවතින තිරසාර සාමයක් හැකි ඉක්මනින් ශී‍්‍ර ලංකාවේ උදා වේවා යන්නයි.

“සාමය යනු නිකම් උද්‍යොග පාඨයක් හෝ ලියවිල්ලක් නොවන බව මා දන්නවා. ඒ සඳහා අති විශාල කැපවීමක්, පරිත්‍යාගයක් හා දිගු කාලීන දැක්මක් අවශ්‍යයි,” ඔහු කියා සිටියා.

විද්‍යාව ජනප‍්‍රිය කිරීමට ලෝක මට්ටමින් කරන විද්වත් දායකත්වය සඳහා 1952 සිට යුනෙස්කෝ පිරිනමන කාලිංග සම්මානය 1961දී හිමි වූයේ ක්ලාක්ටයි. එය ලබා ගනිමින් ඔහු 1962 සැප්තැම්බරයේ නවදිල්ලියේදී කළ කථාවේ අවසාන වැකි කිහිපය අඩසියවසක් ගත වී තවමත් අපට අදාල කර ගත හැකියි.

“තර්කානුකූලව හා සාක්ෂි මත පදනම් වූ චින්තනයක් පෙර අපර දෙදිග සියලූ රටවලට අවශ්‍යයි. එය වඩාත් හදිසි අවශ්‍යතාවයක් වන්නේ දියුණු වෙමින් පවතින රටවලයි. ආසියාවේ හා අප‍්‍රිකාවේ බොහෝ රටවල මිලියන් ගණනක් ජනයා භෞතික, මානසික හා ආධ්‍යාත්මික දරිද්‍රතාවයේ ඇද බැඳ තබන ප‍්‍රබල සාධක දෙකක් තිබෙනවා. එනම් අන්ධ භක්තිය හා මිථ්‍යා විශ්වාසයි.

“විද්‍යාව එහි සාංස්කෘතිකමය හා තාක්ෂණික යන මුහුණුවර දෙකෙන් ම මේ පසුගාමී සාධකවලට එරෙහි වනවා. ගතානුගතිකත්වයේ යදම් බිඳ දමා මුළු මහත් ජාතීන් වඩා යහපත් ජීවන තත්ත්වයන් වෙත කැඳවා ගෙන යන්නට විද්‍යාත්මක චින්තනය මඟ පෙන්වනවා.

“විවෘත මනසින් යුතුව හා විචාරශීලිව හැම දෙයක් ම ප‍්‍රශ්න කිරීම විද්‍යාවේ ක‍්‍රමවේදයයි. ඉන්ද්‍රිය ගෝචර ප‍්‍රත්‍යක්ෂ හරහා මතු වන දේ අපේ එල්බ ගත් විශ්වාසවලට පටහැනි වන විට දී පවා එය පිළිගැනීම විද්‍යාවේ විනයයි.

“එහෙත් අන්තවාදියාගේ ආදර්ශ පාඨය වන්නේ ‘කරුණු හා තර්ක ඉදිරිපත් කරන්නට එපා – මගේ තීරණය අවසාන විනිශ්චයයි’ යන්නයි. එබඳු අධිපතිවාදයක් විද්‍යාවේ නැති නිසා අන්තවාදීන්ට විද්‍යාවේ තැනක් ද නැහැ.

Arthur C Clarke drawn by K W Janaranjana (Courtesy Maanawa magazine, Jan-Feb 1988)

Arthur C Clarke drawn by K W Janaranjana (Courtesy Maanawa magazine, Jan-Feb 1988)

“මිථ්‍යා විශ්වාස හා ඇදහිලි ඕනෑ තරම් පෙරදිග රටවල හමු වනවා. සමහරක් අහිංසක නොමඟ යාම් වූවත් ඇතැම් ඒවා පුද්ගලයන්ට හා ජන සමාජයන්ට ඉතා අහිතකරයි. උදාහරණයක් නම් මෑතදී (1962) ලොව ඇතැම් රටවල පැතිර ගිය ලෝක විනාශයක් ගැන අස්ථාන භීතියයි. ග‍්‍රහලෝකවල ස්වභාවික ගමන් මාර්ගවලට අනුව ඉඳහිට ඒවා අහසේ සාපේක්ෂව එක ම කලාපයක සමීප ලෙසින් පිහිටනවා. එයින් පෘථිවියේ කිසිදු ආපදාවක් ඇති විය නොහැකියි. එහෙත් ඒ ගැන බිය උපදවා ගත් ඉන්දියානු හා අනෙකුත් ජාතිකයන් කී දෙනෙකු එම ‘අපල උපද්‍රව’ දුරු කිරීමට කියා තමන්ගේ සීමිත මුදල් අපරාදේ වැය කළා ද?

“මීට දෙවසරකට පෙර මේ කාලිංග සම්මානයෙන් පුද ලැබූ ෂන් රොස්ටාන්ඞ් මෙබඳු සම්මාන ප‍්‍රදානෝත්සවයකදී භාරතය හැඳින්වූයේ ‘අතීතය ප‍්‍රතිකේෂප නොකර අනාගතය වැළඳ ගන්නා ශ්‍රේෂ්ඨ දේශය’ හැටියටයි. මෙය අද කාලයේ ඕනෑ ම රටකට ගැලපෙන ප‍්‍රතිපත්තියක්. එහෙත් හැම රටක හා ජාතියක ම අතීතයේ ආයාසයෙන් ප‍්‍රතිකේෂප කළ යුතු ඇතැම් උරුමයන් ද තිබෙනවා.

“ගැඹුරට විග‍්‍රහ කළ විට විද්‍යාව යනු තර්කානුකූලව සිතීම හා විචාරශීලිව ලෝකය හා අප සමාජය දෙස බැලීමයි. අප ඉවත ලිය යුත්තේ කුමක් ද හා තව දුරටත් පවත්වා ගනිමින් ප‍්‍රවර්ධනය කළ යුත්තේ කුමක් ද යන්න එබඳු චින්තන ක‍්‍රමවේදයකින් අපට වෙන් කර ගත හැකියි. අනාගතයට දිවෙන අවිනිශ්චිත මාර්ගයෙහි අපට හොඳ මඟ පෙන්වන්නන් ත‍්‍රිත්වය වනුයේ විද්‍යාත්මක චින්තනය, සහජයෙන් අප ලබන ප‍්‍රඥව හා අමාරුවෙන් ප‍්‍රගුණ කර ගත යුතු දුරදක්නා නුවණයි.”

මගේ මතය නම් හැම පරම්පරාවක් ම මෙබඳු බුද්ධිමතුන් හා ලේඛකයන් නැවත කියවිය යුතුයි. එසේ කියවද්දී ඔවුන්ගේ ජීවන කාලීන පසුබිම ගැන ද විමර්ශනය කළ යුතුයි. මෙය බර්ට්රන්ඞ් රසල්, මහත්මා ගාන්ධි, මාටින් වික‍්‍රමසිංහ මෙන් ම ආතර් සී. ක්ලාක්ටත් පොදුයි. එසේ යළි කියවා අපේ පරම්පරාවට හා යථාර්ථයට මේ චින්තකයින්ගේ අදහස් අදාල කර ගත යුතුයි.

මෙබඳු යළි කියවීමක් තබා ක්ලාක් මුල්වරට හරිහැටි කියවීමක්වත් මෙරට තවමත් සිදු නොවීම කණගාටුවට කරුණක්. ඔහුගේ 2008 වියොවින් දින කිහිපයකින් දෙසතිය සඟරාව සම්මුඛ සාකච්ඡාවක් කරමින් මා කීවේ ලක් සමාජය ක්ලාක් ගැන උදම් ඇනුවාට ඔහුගේ හරබර අදහස් හා නිර්දේශවලින් ප‍්‍රයෝජනයක් නොගත් බවයි.

ජීවමාන ක්ලාක් සංචාරක ආකර්ෂණයක් හා ජාත්‍යන්තර ප‍්‍රදර්ශන භාණ්ඩයක් බවට පත් කරන්නට මෙරට ඇතැම් දෙනා හා ආයතන තැත් කළා. ඔහුගේ නමින් 1984 පිහිටුවන ලද රාජ්‍ය තාක්ෂණික ආයතනය වසර තිහකට ආසන්න කාලයක් නිසි විද්‍යාත්මක ඵලදායීතාවකින් තොරව මහජන මුදලින් දිගට ම පවත්වා ගෙන යනවා.

ක්ලාක්ගේ චින්තනය ගැඹුරු විලක් නම් ලක් සමාජය මෙතුවක් කර ඇත්තේ ඒ විල් තෙර හිඳ ගෙන ඉඳහිට නැඟී එන රළක් පෑගීම හා නොගැඹුරු දියේ ඉනවටක් දක්වා යාම පමණයි. එයින් ඔබ්බට මේ චින්තන චාරිකාව ගෙන යාමේ ලොකු වගකීමක් ක්ලාක් සමඟ සමීපව බුද්ධි ගවේෂණයේ යෙදුණු අපට දැන් පැවරී තිබෙනවා.

ආතර් සී. ක්ලාක් චින්තන චාරිකා කෘතිය හරහා මා උත්සාහ කරන්නේත් මේ විලේ තවත් මානයකට සිංහල කියවන සමාජය කැඳවා ගෙන යන්නටයි. ඒ චාරිකාවට අවශ්‍ය වන්නේ නොතිත් වූ දැනුම් පිපාසය හා විවෘත මනසක් පමණයි. යම් තාක් දුරකට ගිය පසු බුද්ධිමත් පාඨකයන්ට තනිව පිහිනා යන්නට ඉඩ හැරීම ලේඛකයන්ගේ සම්ප‍්‍රදායයි!

Read the full transcript on TVEAP website