සිවුමංසල කොලූගැටයා #196:මහා රාවණා පරයේ බිඳුණු නැවේ අබිරහස – 2

In this week’s Ravaya column (in Sinhala), published on 30 November 2014, I continue the story of a group of divers accidentally discovering a shipwreck while diving off the south-eastern coast of Sri Lanka close to the Great Basses Reef lighthouse. The discovery was made by Mike Wilson, who was variously talented as a diver, photographer, writer and filmmaker, along with collaborators Arthur C Clarke, Rodney Jonklaas and Hector Ekanayake.

This story is fully documented in Clarke’s The Treasure of the Great Reef, and also summarised here by Dr Kavan Ratnatunga:

http://lakdiva.com/coins/clarke/greatbasses/exhibit.html

See also: 26 Aug 2012: සිවුමංසල කොලූගැටයා #80: මහා රාවණා කොටුවෙන් රන් මුතු දුවට…

Treasure of the Great Reef, by Arthur C Clarke, 1964
Treasure of the Great Reef, by Arthur C Clarke, 1964

ශ‍්‍රී ලංකා දුපතට ගිණිකොන දෙසින් කිලෝමීටර් 10 ක් පමණ ඔබ්බෙන් පිහිටි මහා රාවණා කොටුව නම් ගල්පරය අවට මුහුදුබත් වී බිඳී ගිය නැවක් 1961 මාර්තුවේදී සොයා ගත් කථාවේ මුල් කොටස අප 2014 නොවැම්බර් 16 වනදා ඉදිරිපත් කළා.

මෙරට පුරෝගාමී කිමිදුම් හා සාගර ගවේෂකයන් අතර වූ රොඞ්නි ජොන්ක්ලස්, හෙක්ටර් ඒකනායක, මයික් විල්සන් හා ආතර් සී ක්ලාක් සම්බන්ධ වූ මේ ගවේෂණය මෙරට මුහුදු පුරාවිද්‍යාවේ ද ආරම්භයයි. අද එහි ඉතිරි කොටස.

නැව ගිලූණු තැන අවට මුහුදුපත්ලේ විසිරි රිදී කාසි දහස් ගණණක් හමු වුණා. මේ කාසි තොගය රැගත් නැව ආවේ කොහි සිටද? එහි ගමනාන්තය වූයේ කුමක්ද? මේ රිදී කාසිවල ලෝහමය වටිනාකමට වැඩි කෞතුක වටිනාකමක් ඇත්ද?

මෙබඳු ප‍්‍රශ්න රැසක් විල්සන්, ක්ලාක් හා කිමිදුම් සමඟයන්ට මතු වුණා. ඔවුන් මෙරට පුරාවිද්‍යාඥයන්, සාගර විද්‍යාඥයන් (එතෙර හා මෙතෙර) හා කාසි එකතු කරන්නන්ගේ ද සහාය ඇතිව මේ ප‍්‍රශ්න වලට පිළිතුරු ගවේෂණය කළා.

මුහුදුබත් වූ නැවක් කාලයාගේ ඇවෑමෙන් හඳුනාගත නොහැකි තත්ත්වයට පත්වනවා. කඩදාසි, රෙදි හා ලෝහවලින් තැනූ දේ දිරාපත්ව යනවා. මේ නිසා එබන්දක නිශ්චිත අනන්‍යතාවය නිර්ණය කිරීම අසීරු කාරියක්. කාසි සමීපව නිරික්සීමේදී පෙනී ගියේ ඒවා එකම අච්චුවේ බවයි. හැම එකකම සළකුණු හතරක් තිබුණා.

පසුව හඳුනාගනු ලැබුවේ ඒවා අරාබි ඉලක්කම් වලින් 1113 සංකේතවත් කරන බවයි. මේ කාසි නිපද වූ වර්ෂයද? අරාබි කැලැන්ඩරයේ වසර ගණන් කිරීම ඇරඹෙන්නේ ක‍්‍රි. ව. 622න්. එසේම අරාබි වර්ෂ හා සම්මත වර්ෂ අතර යම් වෙනසක් ද තිබෙනවා. මේ සියළු සාධක සැළකිල්ලට ගෙන ගණන් බැලූ විට 1113 යනු සම්මත (කි‍්‍රස්තු) වර්ෂ 1702 බව පෙනී ගියා.

Aurangzeb seated on the Peacock Throne
Aurangzeb seated on the Peacock Throne

කාසි ඉතිහාසඥයන් කීවේ මෙබඳු කාසි තැනීම කෙරුණේ 1658-1707 වකවානුවේ ඉන්දියාවේ සුරත් නගරයේදී බවයි. ඒ භාරතයේ වැඩි ප‍්‍රදේශයක පාලකයා වූ ඔරංසෙබ් (Aurangzeb) නම් මෝගල් අධිරාජයාගේ කාලයේ.

ඔරංසෙබ් අධිරාජයා වසර 49ක් සිහසුනේ සිටියා. ඔහු මෝගල් රාජ වංශිකයන් අතර නමක් ගත් අවසාන අධිරාජයායි. ඔහුගේ පියා ෂා ජහාන් ඉතිහාසගත වූයේ අඩු වයසින් මියය ගිය මුම්ටාස් මහාල් දේවිය වෙනුවෙන් ටාජ් මහලය ඉදිකිරීම නිසායි. මුම්ටාස් මහාල් ඔරංසෙබ්ගේ මවයි.

දැඩි ඉස්ලාමීය පාලනයක් සමස්ත භාරත ජනයා මත බලෙන් පැටවූ ඔරංසෙබ්ගේ මරණයෙන් පසු ජන විරෝධයන් මතු වී මෝගල් අධිරාජ්‍යය ඉක්මනින් බිඳ වැටුණා. කුඩා ප‍්‍රාන්ත රාජ්‍ය ලෙස බෙදී ඇණ කොටා ගත් භාරතය ආක‍්‍රමණය කොට අන්තිමේදී යටත් කර ගැනීමට බටහිර ජාතීන්ට වඩාත් පහසු වුණා.

ඔරංසෙබ්ගේ පාලන කාලයේ නැගෙනහිර ඉන්දීය සමාගම යටතේ බි‍්‍රතාන්‍ය වෙළඳුන් ඉන්දියාවේ ගනුදෙනු කරමින් සිටියා. භාරතය හා යුරෝපීය රාජ්‍ය අතර ජාත්‍යන්තර වෙළඳාම කලෙක සිට කෙරුණු අතර ඒ වන විට ඉන්දියානු සාගරයේ ආධිපත්‍යයට ලන්දේසි හා ඉංග‍්‍රීසි ජාතිකයෝ තරග කරමින් සිටියා.

1702 වන විට ලංකාවේ වෙරළබඩ ප‍්‍රදේශ පාලනය කළේ ලන්දේසින්. ඔවුන්ට සම්බන්ධ වූ ඕලන්ද ඉන්දියා සමාගමක් ද තිබුණා. ඉන්දියාව හා ලංකාව අතර මේ කාලය වන විට නාවුක සබඳතා පැවතියේ ලන්දේසින් හරහායි.

මහා රාවණා කොරල්පරයේ මුහුදුබත් වූ නැව, ලංකාවට ආ ගිය නැවක් ද? නැතහොත් දුපත වටා යාත‍්‍රා කරමින් ඉන්දියාවේ සිට පැමිණි හෝ නික්ම ගිය නැවක්ද? මේ ප‍්‍රශ්නය අපේ සාගර ගවේෂකයෝ මතු කළා.

තමන් මුහුදුපත්ලෙන් සොයා ගත් වස්තුන්ගේ ඉතිහාසය ගවේෂණය කරන අතර රටේ නීතියට අනුකූල වන්නට ද ඔවුන් වග බලා ගත්තා. ලංකා රේගු දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකුට කාසි හා අන් වස්තූන් පෙන්වූ විට ඔහු කීවේ මේවා මුහුදෙන් රට තුළට ගෙන ඒම හරහා කිසිදු නීතියක් හෝ රෙකුලාසියක් කඩ වී නැති බවයි.

Dr Charles E Godakumbura
Dr Charles E Godakumbura

ඊලඟට ක්ලාක් හා මිතුරෝ එවකට සිටි පුරාවිද්‍යා කොමාරිස් ආචාර්ය චාල්ස් ගොඩකුඹුරට සියළු දේ ඉදිරිපත් කළා. මේවා සොයා ගත් මුහුදුපත්ලේ ප‍්‍රදේශය තව දුරටත් ගවේෂණයට අවශ්‍ය අවසරය කොමාරිස්වරයා ඔවුන්ට ලිඛිත බලපත‍්‍රයක් ලෙස ලබා දුන්නා. ‘‘හැම දෙයක්ම පොතේ හැටියට කිරීමටත්, බලධාරින් දැනුවත් කර තිබීමටත් අපට අවශ්‍ය වුණා’’ යයි ක්ලාක් තම පොත්වල පැහැදිලිව ලියා තිබෙනවා.

වඩාත් සංවිධානාත්මක කිමිදුම් ගවේෂණයකට මහා රාවණා කොරල්පරයට ආපසු යන්නට මේ මිතුරු පිරිසට තමන්ගේම බෝට්ටුවක ඕනෑකම තදින් දැනුණා. (මේ දක්වා ඔවුන් කළේ කුලියට ගත් කුඩා බෝට්ටුවක හෝ ප‍්‍රදීපාගාරයක බෝට්ටුවේ ගමන් කිරීමයි.) ඒ සඳහා ගැලපෙන බෝට්ටුවකට අඩු තරමින් අමෙරිකානු ඩොලර් දස දහසක් (10,000)වත් අවශ්‍ය වුණා. මේ මුදල හම්බකර ගැනීමේ අරමුණින් සිංහල වෘතාන්ත චිත‍්‍රපටයක් නිපදවීමට මයිකල් විල්සන් යෝජනා කළා.

දිය යට දර්ශන රැගත් මුල්ම ලාංකික වෘතාන්ත චිත‍්‍රපටය වූත්, වර්ණයෙන් මුළුමනින්ම තැනුනු පළමුවන සිංහල චිත‍්‍රපටය වූත් ‘‘රන්මුතුදුව’’ චිත‍්‍රපටය 1961-62 වකවානුවේ නිපදවනු ලැබුවේ ඒ අනුවයි. එහි කථා රචකයා, කැමරාකරුවා හා අධ්‍යක්‍ෂවරයා වූයේ මයික් විල්සන්. එයට වැය වූ වියදමෙන් කොටසක් දුන්නේ ක්ලාක්.

1962 අගෝස්තුවේ මුල් වරට මහජන ප‍්‍රදර්ශනය ඇරඹුණු රන්මුතුදුව බෙහෙවින් ජනප‍්‍රිය වුණා. එහි ආදායම් වාර්තාව වසර ගණනාවක් යන තුරු කිසිදු චිත‍්‍රපටයක් මගින් සම කෙරුණේ නැහැ. මේ ආයෝජනයෙන් ලැබුණු ලාබය නිසා තමන්ට ඕනෑ වූ බෝට්ටුව මිලට ගන්නත්, 1963දී මහා රාවණා කොරල්පරයට ආපසු යන්නත් මිතුරන්ට හැකි වුණා.

Peter Throckmorton
Peter Throckmorton

මෙවර ගවේෂණයට ඔවුන් හා එකතු වූයේ මුහුදුබත් වූ නෞකා ගවේෂණයේ විශේෂඥයකු වූ පීටර් ත්‍රොක්මෝට්න් (Peter Throckmorton, 1928-1990) තුර්කි වෙරළේ ගෙලිඩොන්යා ස්ථානයට ඔබ්බෙන් වසර 3,200කට පෙර මුහුදුබත් වූ ඉපැරණී නෞකාවක් ගවේෂණය කිරීම නිසා ඔහු ලෝක ප‍්‍රකටව සිටියා.

ඔහු විශේෂඥ මග පෙන්වීම යටතේ මෙවර මුහුදුබත් වූ නැවේ ඉතිරිව තිබූ ලී කොටස්වලින් සාම්පල් ද තවත් නටඹුන් ද ප‍්‍රවේශමින් එකතු කරනු ලැබුවා. කොරල් බැඳීම නිසා කුට්ටි බවට පත්ව තිබූ තවත් රිදී කාසි රැසක් ද හමු වුණා.

සියවස් ගණනක් මුහුද යට තිබී යළිත් මතු පිටට ගෙනෙන ලෝහමය, ලී හා වෙනත් ද්‍රව්‍ය නිසි ලෙස වහා සංරක්‍ෂණය කළ යුතුයි. නැතිනම් වාතයට නිරාවරණය වීම නිසා ඒවා ඉක්මනින් ඛාදනය වී විනාශ වනවා. මේ නිසි පියවර ගැනීමට ත්‍රොක්මෝට්න් සමත් වුණා.

Dr P E P Deraniyagala
Dr P E P Deraniyagala

එසේම සොයා ගත් සියළු වස්තුන් විස්තරාත්මකව ලයිස්තුගත කිරීම හා ඡායාරූපගත කිරීමත්, පසුව සමස්ත ගවේෂණය ගැන ශාස්ත‍්‍රීය මට්ටමේ වාර්තාවක් ලිවීමත් ත්‍රොක්මෝට්න්ගේ මූලිකත්වයෙන් සිදු වුණා.

ත්‍රොක්මෝට්න් ලංකාවෙන් පිටත්ව යන්නට පෙර කිමිදුම් කණ්ඩායම තම සොයා ගැනීම් සමග ජාතික කෞතුකාගාරයේ එවකට අධ්‍යක්‍ෂ ආචාර්ය පී. ඊ. පී. දැරණියගල හා පුරාවිද්‍යා කොමසාරිස් ආචාර්ය චාල්ස් ගොඩකුඹුර මුණ ගැසී වාචික වාර්තාවක් ද ඉදිරිපත් කළා.

‘‘අපේ අපේක්‍ෂාව මේ සොයා ගත් සමුද්‍ර පුරාවස්තු යම් දිනෙක කොළඹ කෞතුකාගාරයේ සදාකාලික ප‍්‍රදර්ශනයට තබනු ඇත කියායි. මුළු ඉන්දියානු සාගරයේම සොයා ගත් මුල්ම නිධාන නෞකාව ලෙස මෙය සුවිශේෂී තැනක් ගන්නවා’’ යයි ක්ලාක් සිය 1964 පොතේ ලියා තැබුවා.

1963 රන්මුතු බෝට්ටුවේ නැගී මහා රාවණා කොරල්පරය අවට මුහුද ගවේෂණය කළ පසු මේ පුරෝගාමී කිමිදුම්කරුවන් කණ්ඩායමක් ලෙස නැවත එහි ගියේ නැහැ. මේ ගවේෂණයේ විස්තර රැගත් ක්ලාක්ගේ The Treasure of the Great Reef නම් වූ පොත 1964දී මුල්වරටත් (වැඩි ඡායාරූප සමග) 1974දී දෙවන වරටත් ඉංග‍්‍රීසියෙන් පළ වුණා.

මහා රාවණා කොරල්පරයේ මුහුදු බත් වූ නැව හමුවන අන්දම ගැන පීටර් ත්‍රොක්මෝටන් විසින් අඳින ලද සිතියම් ද එහි තිබෙනවා. මේ ඉඟි ඔස්සේ පසු කළෙක එහි කිමිදීමේ ගිය දෙස් විදෙස් කිමිදුම්කරුවෝ හැකි අන්දමින් රිදී කාසි හා වෙනත් නැවේ තිබූ කුඩා භාණ්ඩ සොයා ගොඩබිමට ගෙන ආවා.

එසේ හමු වූ සමහර රිදී කාසි තවමත් පැරණි කාසි එකතු කරන අය අතර හුවමාරු වනවා. ශ‍්‍රී ලංකා පැරණි කාසි සංගමයේ සභාපති ආචාර්ය කාවන් රත්නතුංග ද විවෘත වෙළඳපොලෙන් මෙබඳු කාසි කිහිපයක් මිලට ගෙන තිබෙනවා. කාසි ගැන ඡායාරූප හා විස්තර ඔහුගේ වෙබ් අඩවියේ බලා ගත හැකියි. http://lakdiva.com/coins/clarke/greatbasses/exhibit.html

සුරත් නගරයේ තැනූ රිදී කාසි ගැන ඉන්දියානු වාර්තා අධ්‍යයනයෙන් කාවන් කියන්නේ මහා රාවණා පරයේ මුහුදුබත් වූ නැවේ ගෙන ගිය කාසි 1702 මැයි මාසයේ පමණ තනන්නට ඇති බවයි. එසේ නම් ඒවා තනා සති කිහිපයක් තුළ යම් තැනකට යැවීමට නැව් ගත කරන්නට ඇති. නැව අනතුරට පත්ව ගිලූණේ 1702 වසරේම මැද හෝ අග යයි කාවන් අනුමාන කරනවා.

ශ‍්‍රී ලංකාවේ මුහුදු පුරා විද්‍යා ගවේෂණ ඇරැඹෙන්නේ මහා රාවණා පරයේ මුහුදුබත් වූ නැව ක්ලාක්, විල්සන් ඇතුළු කිමිදුම්කරුවන් සොයා ගැනීම සමගයි. මෙය තනිකරම පෞද්ගලික මට්ටමේ උත්සාහයක් වුවත් විශේෂඥ පීටර් ත්‍රොක්මෝටන් සම්බන්ධ කර ගැනීම හරහා ශාස්ත‍්‍රීය මට්ටමෙන් අදාල ස්ථානය සිතියම්ගත කිරීම හා ලේඛණගත කිරීම සිදු වුණා. මේ පුරෝගාමී මෙහෙවර මෙරට මුහුදු පුරා විද්‍යා ක්‍ෂෙත‍්‍රයේ දැන් නියැලී සිටින පර්යේෂකයන් සිහිපත් කරනවා. අදාල රාජ්‍ය ආයතනවල නිල වෙබ් අඩවිවල ද සඳහන් කැරෙනවා.

බිඳුණු නැව සොයා ගෙන අඩ සියවසකට පසුවත් එහි අනන්‍යතාවය තවමත් හෙළිදරව් වී නැහැ. ඉන්දියානු සාගරයේ එම වකවානුවේ සැළකිය යුතු තරමින් නැව් ගමනාගමනයක් පැවතුණා. එසේම ශ‍්‍රී ලංකා දුපත වටා අනතුරට පත්ව මුහුදුබත් වූ නැව් විශාල සංඛ්‍යාවක් තිබෙනවා. ඒ හැම එකක්ම මුහුදුපත්ලේ තිබෙන තැන සොයාගෙන ඒවායේ ඉතිහාසය තහවුරු කර ගෙන ද නැහැ. තවමත් දශක දෙක තුනකට නොවැඩි වූ ඉතිහාසයක් ඇති අපේ මුහුදු පුරාවිද්‍යා ගවේෂණවලට අනාවරණය කර ගන්නට බොහෝ දේ තිබෙනවා.

මේ මුහුදුබත්වූ නැව සොයා ගත්තේ තනිකරම මයික්ගේ තීක්‍ෂණ ඇස නිසා බව ක්ලාක් කියනවා. ‘‘දිය යට පෙනුම කොහොමටත් සීමිතයි. දිලිසෙන යමක් නෙත ගැටුණු මයික්ගේ කුතුහලය ඇවිස්සුණා. එය නොගැඹුරු මුහුදු පත්ලේ කුඩා කාලතුවක්කුවක් බව දුටු විට එතැන නැවක් ගිලී ඇති බව ඔහු සැනෙකින් වටහා ගත්තා. වැලි හා කොරල් වලින් වැසුණු ගොඩැලි කිහිපයක් පමණක් තිබූ මෙබඳු තැනක් කිමිදුම්කරුවන්ගෙන් සියයට 99ක අවධානයට ලක් වන්නේ නැහැ.’’

Coins from the Great Basses shipwreck
Coins from the Great Basses shipwreck

සමස්ත අත්දැකීම පසු කලෙක ආවර්ජනය කරමින් ක්ලාක් මෙසේ ලියුවා. ‘‘මුහුදේ කිමිදෙන බොහෝ දෙනකුට මුහුදුබත් වූ නැවක් හමුවේය යන පැතුම තිබෙනවා. ඉඳහිට කිමිදුම්කරුවකුට මෙතෙක් සොයා නොගත් එබඳු බිඳුණු නැවක් හමු වුවත් එබන්දක රන් රිදී කාසි තිබෙන්නේ කලාතුරකින්. මෙබඳු දුර්ලභ අත්දැකීමක් අපට අහම්බෙන් ලැබුණා.’’

මේ බිඳුණු නැවෙන් ගොඩගත් එක් රීදී කාසි ගොනුවක් මෙරට බලධාරින්ගෙ අනුදැනුම හා අවසරය ඇතිව 1960 ගණන්වලදී ක්ලාක් විසින් අමෙරිකානු ස්මිත්සෝනියන් කෞතුකාගරයට පරිත්‍යාග කරනු ලැබුවා. එය කලක් එහි මහජන ප‍්‍රදර්ශනයට තැබුණු අතර දැන් සුරක්‍ෂිතව ගබඩා කර තිබෙනවා. පර්යේෂකයන්ට නිරික්සිය හැකි පරිදි.

මේ කාසි තොගය යළි මෙරට ගෙන ආ යුතු යැයි ඇතැම් දෙනා කියතත් කාවන් රත්නතුංග අවධාරණය කරන්නේ ස්මිත්සෝනියන් වැනි ආරක්‍ෂිත තැනකම එය දිගටම තිබීම වඩාත් උචිත බවයි. (කෞතුකගාරවල දැනට තියෙන අපේ වටිනා කෞතුක වස්තු පවා රැක ගන්නට බැරි පසුබිමක් තුළ මෙය සාධාරණ තර්කයක්.)

ගවේෂණයට හවුල් වූ කිමිදුම්කරුවන්ගෙන් අද (2014 නොවැම්බර්) වන විට ජීවත්ව සිටින්නේ හෙක්ටර් ඒකනායක පමණයි. රොඞ්නි ජොන්ක්ලාස් 1989දීත්, මයික් විල්සන් 1996දීත්, ආතර් සී. ක්ලාක් 2008දීත් මිය ගියා. ඔවුන් එක් අයකුටවත් බිඳුනු නැවේ අනන්‍යතාවය දැන ගන්නට ලැබුණේ නැහැ.

1960 දශකයට වඩා මේ වන විට මුහුදු පුරාවස්තු ගැන අවබෝධයක් හා ඇගයීමක් මෙරට ඇති වී තිබෙනවා. දශක ගණනාවක් තිස්සේ ගොඩබිම ගවේෂණයට පමණක් සීමාවී තිබූ අපේ පුරාවිද්‍යා පර්යේෂණ 1980 දශකයේ පටන් මුහුදු පුරාවිද්‍යාත්මක අධ්‍යයනට හා සංර්ක්‍ෂණයට ද යොමුවී තිබෙනවා. මෙය සිදු වූ හැටි වෙනම කථා කළ යුතුයි.

See also:

Ceylon and the Underwater Archaeologist. By Arthur C. Clarke May 1964 University of Pennsylvania Museum.

The Maritime Archaeology Unit (MAU), Central Cultural Fund, Sri Lanka

Sri Lanka Coastguard: What is Maritime Archaeology?

Peter Throckmorton, wearing a boiler suit to protect him from the sharp coral, chipping out growth which covered the larger bronze gun, to his right.
Peter Throckmorton, wearing a boiler suit to protect him from the sharp coral, chipping out growth which covered the larger bronze gun, to his right.

සිවුමංසල කොලූගැටයා #194: මහා රාවණා කොරල් පරයෙන් හමු වූ අබිරහස් නැව – Part 1

In this week’s Ravaya column (in Sinhala), published on 16 November 2014, I recount how a group of divers accidentally discovered a shipwreck while diving off the south-eastern coast of Sri Lanka close to the Great Basses Reef lighthouse. The discovery was made by Mike Wilson, who was variously talented as a diver, photographer, writer and filmmaker, who had settled down in Ceylon in 1956 at the same time as his collaborator Arthur C Clarke.

This story is fully documented in Clarke’s The Treasure of the Great Reef, and also summarised here by Dr Kavan Ratnatunga:

http://lakdiva.com/coins/clarke/greatbasses/exhibit.html

See also: 26 Aug 2012: සිවුමංසල කොලූගැටයා #80: මහා රාවණා කොටුවෙන් රන් මුතු දුවට…

L to R - Arthur C Clarke, Mike Wilson
L to R – Arthur C Clarke, Mike Wilson

වසර 52ක් තිස්සේ (1956 – 2008) ශ‍්‍රී ලංකාවේ පදිංචිව සිටි, මෙරටට මහත් සේ ඇලූම් කළ ආතර් සී. ක්ලාක් ශ‍්‍රී ලංකාව ගැන දේශාටන පොත් කිහිපයක් රචනා කළා. මේ පොත්වල අන්තර්ගතය වූයේ දුපත් තුළත්, එය අවට මුහුදේත් ක්ලාක් හා ඔහුගේ මිතුරන් කළ ගවේෂණ ගැන අත්දැකීම් හා ඡුායාරූපයි. ඉන්දියානු සාගරයේ පුරෝගාමී කිමිදුම්කරුවකු වූ ක්ලාක් ලියූ මේ පොත් ගැන මෙරට ඉංග‍්‍රීසි පාඨකයන් පවා එතරම් දැනුවත් නැහැ. මෑතක් වන තුරු මේ පොත් සිංහලට පෙරළී තිබුණේ ද නැහැ.

කල් ගත වී හෝ මේ හිදැස පුරවන්නට මනෝ ප‍්‍රනාන්දු ලේඛකයා ඉදිරිපත් වී සිටිනවා. ක්ලාක් ශ‍්‍රී ලංකාව ගැන ලියූ මුල් ම චාරිකා ග‍්‍රන්ථය වූ The Reefs of Taprobane (1957) ඔහු 2011දී ‘ලක්දිව සාගර පත්ල’ නමින් පරිවර්තනය කළා. එයට ලැබුණු පාඨක ප‍්‍රතිචාර යහපත් වූ බැවින් 1964දී ක්ලාක් ලියූ The Treasure of the Great Reef නම් වූ පොත ‘‘මහා ගල්වැටි පරයේ මුහුදුබත් නිධානය’’ නමින් දැන් ඔහු සිංහලට පෙරළා තිබෙනවා. මේ දෙකම සූරිය ප‍්‍රකාශනයි.

බි‍්‍රතාන්‍ය ජාතික ආතර් ක්ලාක් හා ඔහුගේ කිමිදුම් සගයා වූ මයික් විල්සන් යන දෙදෙනාම 1956දී මාස කිහිහිපයක් මෙරට අවට මුහුද ගවේෂණය කරන්නට පැමිණ පසුව මෙහි පදිංචි වූවා. ඔවුන්ගේ මුල් ම ලාංකික මිතුරන් වූයේත් කිමිදීමට හා මුහුදට ඇලූම් කළ කිහිප දෙනෙක්. ඒ අය අතර සත්ත්‍ව විද්‍යාඥ රොඞ්නි ජොන්ක්ලස් හා බොක්සිං ක‍්‍රීඩක හෙක්ටර් ඒකනායක මුල් තැන ගත්තා.

මයිකල් විල්සන් කිමිදීමට, දිය යට ඡායාරූප ගැනීමට හා දිය යට චිත‍්‍රපට රූපගත කිරීමට හැකියාව තිබූ බෙහෙවින් නිර්මාණශීලී කෙනෙක්. ඇත්තට ම ක්ලාක්ට කිමිදීමේ වටිනාකම පෙන්වා දී එයට යොමු කළේත් මයික්. මේ දෙදෙනා ලංකාවට එන්නට කලින් ඕස්ටේ‍්‍රලියාවේ මහා බාධක පරයේ (Great Barrier Reef) මාස කිහිපයක් කිමිදෙමින් ගවේෂණය කර තිබුණා.

ලංකාව අවට මුහුදු බොහොමයක් 1950 දශකය මැද වන විටත් කිසිවකු ගවේෂණය කර තිබුණේ නැහැ. දිය යට කිමිදීමේ තාක්‍ෂණය (aqua-lung) නිපදවනු ලැබුවේ 1946දී බැවින් එය බොහෝ පිහිනුම් දක්‍ෂයන්ට පවා තවමත් අළුත් හා ආගන්තුක වුණා. ඒ දක්වා දිය යට විනාඩි කිහිපයකට වඩා හුස්ම අල්ලාගෙන ගත කළ නොහැකි වූ බැවින් දිය යට ගවේෂණය කර තිබුණේ ඉතා සීමිතව වෙරළාසන්න නොගැඹුරු මුහුදුවල පමණයි. (මන්නාරමේ සාම්ප‍්‍රදායික මුතු කිමිදෙන්නෝ කළේ හුස්ම අල්ලා ගෙන දිය යට යාමයි.)

ලංකා මුහුදු වෙරළෙන් ඔබ්බෙහි විවිධ තැන්වල මේ මිතුරන් කිමිදුනත් ඔවුන් වැඩිපුරම අවධානය යොමු කළ දෙතැනක් තිබුණා. එකක් ත‍්‍රිකූණාමලය කලපුව. දෙවැන්න දකුණු දිග වෙරළේ කිරින්දෙන් කිලෝමීටර් 10ක් පමණ මුහුද දෙසට වන්නට පිහිටි මහා රාවණා කොටුව (Great Basses Reef) නම් මුහුදු ගල් පර්වතය හා එයට ආසන්න කොරල් (හිරිගල්) පරයයි.

කිමිදුම්කරුවන් කොරල්පර ගවේෂණයට කැමතියි. නොගැඹුරු මුහුදේ වැඩෙන කොරල්පර අතර විචිත‍්‍ර මසුන් හා වෙනත් සමුද්‍ර ජීවීන් රැසක් හමු වනවා. ජෛව විවිධත්වයෙන් ඉහළ නිසා කොරල්පර මහ මුහුදේ වර්ෂා වනාන්තර ලෙස ද හඳුන් වනවා.

Great Basses and Litle Basses Map - courtesy Dive Sri Lanka website http://www.divesrilanka.com
Great Basses and Little Basses Map – courtesy Dive Sri Lanka website http://www.divesrilanka.com

ක්ලාක් සහ මිතුරන් මුල් වරට මහා රාවණා කොටුව අවට කොරල්පරයට ගියේ 1958දී. මහා රාවණා කොටුවේත්, එයට කි.මි කිහිපයක් නැගෙනහිරින් පිහිටි කුඩා රාවණා කොටුවේත් (Little Basses Reef) බි‍්‍රතාන්‍ය පාලන කාලයේ ගොඩනැංවූ ප‍්‍රදීපාගාර දෙකක් තිබෙනවා. මේ අසලින් දිවෙන ප‍්‍රධාන නැව් මාර්ගයක් තිබෙන නිසාත්, ගල් පර්වත සහිත මේ මුහුදු තීරයේ ඉතිහාසය මුළුල්ලේ නැව් මුහුදුබත් වී ඇති නිසාත් මේ ප‍්‍රදීපාගාර නැව් ගමනාගමනයට තීරණාත්මක මෙහෙවරක් ඉටු කරනවා.

මහා රාවණා ප‍්‍රදීපාගාරය 1867දී බි‍්‍රතාන්‍යයේ ස්කොට්ලන්තයේ සැළසුම් කර කළුගලින් කොටස් වශයෙන් තනනු ලැබුවා. ඉනික්බිති මේ කොටස් නැව් මගින් කිමී දහස් ගණනක් දුර ගෙවා ගෙන ආවා. මේ ගමනේදී හානි වූයේ කොටස් දහස් ගණනක් අතරින් එකම එකක් පමණයි.

ගාල්ලට නැවෙන් ගෙනා ප‍්‍රදීපාගාර කොටස් කුඩා බෝට්ටු මගින් ගෙන ගොස් මහා රාවණා කොටුවේ අටවනු ලැබුවා. ප‍්‍රදීපාර ආලෝකය සැළසුම් කළේ එම සියවසේ විසූ ශ්‍රේෂ්ඨතම බි‍්‍රතාන්‍ය විද්‍යාඥයකු වූ මයිකල් ෆැරඬේ විසින්. විදුලිබලය පිළිබඳ ඔහු කළ සොයා ගැනීම් මානව ශිෂ්ටාචාරය වෙනස් කළා.

මහා රාවණා ප‍්‍රදීපාගාරය 1873 මාර්තු 10 වනදා විවෘත කළා. එදා පටන් දිගටම සේවයේ නියුතු මෙය ලෝකයේ ප‍්‍රකට (වඩාත්) ප‍්‍ර‍්‍රදීපාගාර අතරින් එකක්.

මේ ප‍්‍රදීපාගාරයට හා අසල ඇති කොරළ් පරයට ලඟා විය හැක්කේ වසරේ සීමිත සති කිහිපයක් තුළ පමණයි. නිරිතදිග මෝසම් සුළං හා ඊසාන දිග මෝසම් සුළං යන දෙකෙහිම බලපෑමට හසු වන මේ ස්ථානයට වසරේ වැඩි දින ගණනක් සැඩ සුළං හා රළු මුහුද නිසා ගමන් කිරීම අන්තරාදායකයි. දිය යට කිමිදීමට හැක්කේ මාර්තු – අපේ‍්‍රල් මාසවල පමණයි.

Lighthouses of Sri Lanka celebrated on postage stamps
Lighthouses of Sri Lanka celebrated on postage stamps

ලංකා ගොඩබිමෙන් දුරස්තව ඉන්දියානු සාගරයෙන් වට වී ඇති මහා රාවණා (සහ කුඩා රාවණා) ප‍්‍රදීපාගාර සේවකයන් හුදකලා වූ ලෙස කල් ගත කරනවා. ඔවුන්ට අවශ්‍ය දේ රැගත් බෝට්ටුවක් විටින් විට එහි ළඟා වනවා. ක්ලාක් සහ මිතුරන් ද මුලින් එහි ගියේ මේ ප‍්‍රදීපාගාර බෝට්ටුවේ, ඔවුන්ගේ අනුදැනුම හා හොඳහිත ඇතිවයි. ඉඳහිට හෝ යමකු එහි පැමිණීම ප‍්‍රදීපාගාර කාර්යමණ්ඩලයේ කාන්සිය තරමක් අඩු කරන්නට ඇති.

මහා රාවණා ප‍්‍රදීපාගාරය තම තාවකාලික නවාතැන කර ගෙන අවට කොරල්පරයේ හා මුහුදේ කිමිදුණු ක්ලාක් හා මිතුරෝ දිය යට විසිතුරු ඡායාරූප ගත කළා. මින් පෙර කිසිවකු දැක නොතිබූ තරම් මනරම් කොරල් පරයත් එහි විවිධාකාර ලොකු කුඩා ජීවීනුත් ඔවුන් මවිතයට පත් කළා.

ඔස්ටේ‍්‍රලියාවේ මහා බාධක පරය මීට වඩා බෙහෙවින් විශාල බව ඇත්තයි. ඒත් එනිසාම එහි විසිතුරු විහිද පැතිර තිබෙනවා. එහෙත් මහා රාවණා පරයේ සමීප මුහුදු පතුලක බොහෝ දේ හමු වන බව ක්ලාක් ලියා තැබුවා.

ඔවුන්ගේ 1958-59 ගවේෂණය පදනම් කරගෙන Indian Ocean Adventure (ඉන්දියානු සාගර වික‍්‍රමය) නම් ඡායාරූප රැසක් සහිත පොතක් ක්ලාක් -විල්සන් දෙදෙනා 1961දී පළ කළා.

කිසිදා මිනිසුන් දැක නොසිටි ඒ ප‍්‍රදේශයේ මසුන් කිමිදුම්කරුවන්ට බිය නොවී කුතුහලයෙන් විමසිලිමත් වූ සැටිත්, සමහර මසුන් තමන් සමග මිතුරු වූ සැටිත් ක්ලාක් විස්තර කරනවා. ලක්දිව දකුණු මුහුදේ තමන්ට හමු වූ මෝරුන් පවා ආක‍්‍රමණශීලි නොවී දුරක සිට තමන් ගැන බලා සිටි බවත් ඔහු කියනවා. (මීට වසර 55කට පෙර තිබූ තත්ත්වය අද වන විට බෙහෙවින් වෙනස් වී ඇති බව වඩා මෑතදී ඒ ප‍්‍රදේශවල කිමිදුණු අය වාර්තා කරනවා.)

1958-59 මහා රාවණා කොරල් පරයේත්, වෙනත් ස්ථානවලත් මුහුද යට රූපගත කළ දර්ශන සංකලනය කොට 1958දී මයික් විල්සන් වාර්තා චිත‍්‍රපටයක් නිපදවූවා. Beneath the Seas of Ceylon (ලක් මුහුද යට) නම් වූ එය විනාඩි 25ක ධාවන කාලයකින් යුක්තයි.

මිලිමීටර් 16 චිත‍්‍රපටයක් වූ එහි කැමරාකරණය, පිටපත හා අධ්‍යක්‍ෂණය මයික් විල්සන්ගෙයි. ලංකා තේ ප‍්‍රචාරක මණ්ඩලයේ අනුග‍්‍රහය ලද මේ චිත‍්‍රපටය වසර ගණනාවක් පුරා මෙරට සංචාරක ප‍්‍රවර්ධනයන් සඳහා යොදා ගනු ලැබුවා. අද මෙහි පිටපතක් කොතැනක ඉතිරිවී ඇත්දැයි මා දන්නේ නැහැ. එය නරඹා ඇති චිත‍්‍රපට ඉතිහාසඥ (මයික් විල්සන්ගේ මිතුරකු වූ) රිචඞ් බොයිල් කියන්නේ මෙය ශ‍්‍රී ලංකාවේ නිපදවන ලද මුල්ම දිය යට සිනමා නිර්මාණය බවයි.

මේ චිත‍්‍රපටයට ලැබුණු හොඳ ප‍්‍රතිචාරවලින් උද්දාමයට පත් මයික් විල්සන් තව දුරටත් චිත‍්‍රපට කැමරාකරණයට හා අධ්‍යක්‍ෂණයට යොමු වුණා. ඔහුගේ මුල්ම වෘතාන්ත චිත‍්‍රපටය චිත‍්‍රපටය වූයේ රන්මුතුදුව. 1962 අගෝස්තු 10 වනදා සිනමා රසිකයන් හමුවට ආ “රන්මුතුදුව” කෙටි කලෙකින් අතිශයින් ජනප‍්‍රිය වූවා. (මයික්ගෙන් ලංකා සිනමාවට ලැබුණු දායකත්වය හරිහැටි ඇගයීමට ලක්ව නැති බව මගේ අදහසයි. ඔහු 1958 තැනූ පුරෝගාමී දිය යට වාර්තා චිත‍්‍රපටය ගැන පවා දන්නේ ලාංකිකයන් ටික දෙනයි.)

1961 මාර්තුවේ මයික් නැවතත් මහා රාවණා කොරල්පරයට ගියා. මෙවර රොඞ්නි ජෝන්ක්ලාස් මාලදිවයිනේ කිමිදෙමින් සිටි අතර ක්ලාක් ලේඛන කටයුතුවල නියැලෙමින් කොළඹ නතර වුණා. එනිසා මයික් සමග ගියේ බොබී ක‍්‍රීගල් (14) හා මාක් ස්මිත් (13) නම් වූ පිරිමි ළමුන් දෙදෙනෙක්. ඔවුන් මෙරට අනුයුක්තව සිටි අමෙරිකානු තානාපති කාර්යාල සේවකයන්ගේ දරුවන්.

මයික්ගේ සැලසුම වූයේ පිහිනීමේ හා කිමිදීමේ දක්‍ෂ වූ මේ දරුවන් ‘‘චරිත’’ ලෙස යොදාගෙන මහාරාවණා කොරල්පරයේ තවත් චිත‍්‍රපටයක් රූපගත කිරීමයි. මේ සඳහා අවශ්‍ය කිමිදුම් හා කැමරා ආම්පන්න තොගයක් ඔවුන් ගෙන ගියා.

1961 මාර්තු 12-21 දිනවල ඔවුන් ප‍්‍රදිපාගාරයේ රැඳී සිටිමින් අවට නොගැඹුරු මුහුදේ කිමිදෙමින් ගවේෂණය හා රූපගත කිරීම් කළා. මාර්තු 22 වනදා මුහුද නිසල වුවත් යම් හේතුවකින් දිය යට මඩ සහිත වී පැහැදිලි නැතිව ගියා. මේ නිසා කැමරා ආම්පන්න නැතිව ඔවුන් තිදෙනා කිමිදුම් කට්ටල පමණක් හැඳගෙන කොරල්පරයේ කිමිදෙන්නට ගියා.

නොගැඹුරු මුහුදු පත්ලෙහි දිලිසෙන යමක් අහම්බෙන් මයික්ගේ නෙත ගැටුණේ එවිටයි. එය කුමක්දැයි සෝදිසි කළ විට එය පිත්තල සිලින්ඩරයක් බව පෙනී ගියා. නාවුකයකු හැටියට කටයුතු කර තිබූ, නාවුක ඉතිහාසය දත් මයික් එක්වරම දැන ගත්තා එය පැරණි කාලතුවක්කුවක් බව.

එහි අරුත නම් මේ අවට මුහුදුබත් වූ පැරණි නැවක් තිබිය හැකි බවත් මයික් සැනෙකින් වටහා ගත්තා. කාලතුවක්කුව අඩි දෙකහමාරක් පමණ දිගයි. තනි කෙනකුට ඔසවන්නට බැරි තරම් බරයි.

ක්ලාක් පසුව ලියා ඇති පරිදි ‘‘මුහුදුබත් වූ පැරණි නැව් වල ලීවලින් තැනූ බඳ වසර ගණනකට පසු දිරාපත්ව හඳුනා ගත නොහැකි වනවා. බොහෝ විට නැවක් ගිලූණු බව මුහුදු පත්ලේ සොයා ගත හැක්කේ ලෝහමය දෑ නැතහොත් වීදුරු බෝතල් ආදිය නිසායි. මෙතැනදී නොගැඹුරු මුහුදේ දියවැල් හා රළ කැළඹීම් නිසා කාලතුවක්කු වැලි සමග නිරතුරු ගැටෙමින් දිලිසෙමින් තිබුණා. කිමිදුම්කරුවන්ගේ ඇසට මුලින්ම හසු වූයේ මේ දීප්තියයි.’’

ඉනික්බිති එළැඹුණු දින දෙක තුන තිස්සේ මයික් හා මිතුරෝ ඒ අවට මුහුදුපත්ල සමීපව ගවේෂණය කළා. ගිලූණු නැවක සුන්බුන් ඔවුන් සොයා ගත්තා. ඒ අතර රිදී කාසි තොගයක් ද තිබුණා.

නැව ගිලූණු තැන අවට මුහුදුපත්ලේ විසිරි එකම ආකාරයේ රිදී කාසි දහස් ගණණක් හමු වුණා. සමහරක් තනි තනිව තිබූ අතර අනෙක්වා කොරල් බැඳීමෙන් එක ගොඩට එක්වි තිබුණා. එවිට බැලූ බැල්මට පෙනුනේ ගල් කැබලි වගෙයි. කිහිප වතාවක් කිමිදෙමින්, වෙහෙස වී වැඩ කරමින් කිලෝග‍්‍රෑම් 50ක් පමණ බරැති රිදී කාසිත්, කාලතුවක්කු දෙකකුත්, තඹවලින් තැනූ පොලූ හා වෙනත් කුඩා නාවුක ද්‍රව්‍ය කිහිපයකුත් ඔවුන් සොයා ගත්තා.

ඔවුන් ප‍්‍රවේශමින් මේ තොගය කොළඹට ගෙන ආවා. ක්ලාක් හා රොඞ්නි එය දුටුවේ කොළඹදීයි.

මේ කාසි තොගය රැගත් නැව ආවේ කොහි සිටද? එය කොතරම් පැරණිද? මුහුදුබත් නොවුවා නම් එහි ගමනාන්තය වූයේ කුමක්ද? මේ රිදී කාසිවල ලෝහමය වටිනාකමට වැඩි කෞතුක වටිනාකමක් ඇත්ද?

මෙබඳු ප‍්‍රශ්න රැසක් මයික් විල්සන්, ආතර් ක්ලාක් හා ඔවුන්ගේ කිමිඳුම් සමඟයන්ට මතු වුණා. ඔවුන් මෙරට පුරාවිද්‍යාඥයන්, සාගර විද්‍යාඥයන් (එතෙර හා මෙතෙර) හා කාසි එකතු කරන්නන්ගේ ද සහාය ඇතිව මේ ප‍්‍රශ්න වලට පිළිතුරු ගවේෂණය කළා.

ඉතිරි කොටස:

සිවුමංසල කොලූගැටයා #196:මහා රාවණා පරයේ බිඳුණු නැවේ අබිරහස – 2

Arthur C Clarke diving off the seas of Ceylon, 1950s - Image courtesy Arthur C Clarke Trust in Sri Lanka
Arthur C Clarke diving off the seas of Ceylon, 1950s – Image courtesy Arthur C Clarke Trust in Sri Lanka

 

සිවුමංසල කොලූගැටයා #80: මහා රාවණා කොටුවෙන් රන් මුතු දුවට…

In my Ravaya column (in Sinhala) for 26 August 2012, I’ve written about the making of Ran Muthu Duwa, the first colour Sinhala feature film made in Sri Lanka, was released 50 years ago in August 1962.

Ran Muthu Duwa was a trail-blazer in the Lankan cinema industry in many respects. It not only introduced colour to our movies, but also showed for the first time the underwater wonders of the seas around the island.

I covered similar ground in my English column on 12 Aug 2012: From Great Basses Reef to ‘Ran Muthu Duwa’ – Story of Ceylon’s First Colour Movie

The Serendib Trio in later years – L to R: Shesha Palihakkara, Arthur C Clarke, Mike Wilson

මුළුමනින් ම වර්ණයෙන් නිෂ්පාදිත මුල් ම සිංහල චිත‍්‍රපටය වු “රන් මුතු දුව” මුල් වරට තිරගත වීම ඇරුඹී අඩ සියවසක් පිරෙන්නේ මේ මාසයේ. 1962 අගෝස්තු 10 වනදා සිනමා රසිකයන් හමුවට ආ “රන් මුතු දුව” කෙටි කලෙකින් අතිශයින් ජනප‍්‍රිය වූවා.

රන් මුතු දුව සිනමා තාක්‍ෂණ ශිල්පීන් හා නළු නිලියන් රැුසක් එක් තැන් කළ, එ වන තුරු පැවති ශෛලියට වඩා වෙනස් වූ ආරක චිත‍්‍රපටයක්. එය කලාත්මකව මාහැගි නිර්මාණයක් නොවුවත් සංත‍්‍රාසය හා වින්දනය නොඅඩුව ලබා දුන් නිසා බෙහෙවින් ජනප‍්‍රිය වුණා. වාණිජ මට්ටමින් අති සාර්ථක වූ රන් මුතු දුව ලැබු ආදායම් වාර්තාව 1979 දක්වා නොබිඳී පැවතුණු බවයි මෙරට චිත‍්‍රපට ඉතිහාසඥයන් සඳහන් කරන්නේ.

රන් මුතු දුව සිනමා සමාගමක් හෝ චිත‍්‍රාගාරයක් මුල් වී තැනු චිත‍්‍රපටයක් නොවෙයි. එයට මුල් වූයේ බි‍්‍රතාන්‍ය ජාතිකයන් දෙදෙනෙක්. එහි කථාව, තිර රචනය, කැමරාකරණය හා අධ්‍යක්‍ෂණය කලේ මයික් විල්සන්. ඔහු ලේඛනයට, ජායාරූප කලාවට, සිනමාවට මෙන් ම කිමිදීමටත් හපන්කම් දැක් වූ අයෙක්. එය නිෂ්පාදනයට අවශ්‍ය මුදල්වලින් වැඩි කොටසක් යෙදවූයේ විද්‍යා හා විද්‍යා ප‍්‍රබන්ධ ලේඛකයකු ලෙස එ් වන විටත් ලොව පුරා නමක් දිනා ගෙන සිටි ආතර් සී. ක්ලාක්.

මේ දෙදෙනා 1950 දශකය මැදදී ලංකාවට පැමිණ, මේ දුපත අවට මුහුදේ කිමිදීමේ ලැදියාව නිසා මෙරට පදිංචිවීමට තීරණය කර තිබුණා. ඉන්දියානු සාගරයේ පුරෝගාමී කිමිදුම්කරුවන් අතර සිටි ඔවුන් කිමිදීමේ පුහුණුව ලැබු ලාංකිකකයන් කිහිප දෙනෙකු ද සමඟ දකුණුදිග හා නැගෙනහිර වෙරළෙන් ඔබ්බෙහි පිහිටි බොහෝ ස්ථාන ගවේෂණය කරමින් සිටියා. මේ අතර සත්ත්‍ව විද්‍යාඥ රොඞ්නි ජොන්ක්ලාස් (Rodney Jonklaas) හා බොක්සිං ශූර හෙක්ටර් එකනායක ද සිටියා.

1956දී දිවයිනේ වෙරළාසන්න ස්ථාන රැසක කිමිදෙමින් ගවේෂණය කළ ඔවුන්ගේ අත්දැකීම් එක් රැුස් කර ක්ලාක් රචිත The Reefs of Taprobane ^1957& චාරිකා සටහන, ඔහු ශ‍්‍රී ලංකාව ගැන ලියු මුල් ම පොතයි.

1961 මාර්තු මස මැදදී දකුණු වෙරළේ යාලට කිමී 13ක් මුහුද දෙසින් පිහිටි මහා රාවණා කොටුව (Great Basses Reef) හා කුඩා රාවණා කොටුව (Little Basses Reef) නම් වන ප‍්‍රදීපාගාර අසල මුහුදේ කිමිදෙමින් සිටි මේ පිරිසට මුහුදුබත් වු නැවක සුන්බුන් හමු වුණා. මේ නැවේ තිබී 1703 වසරේ ඉන්දියාවේ මෝගල් අධිරාජයකු නිෂ්පාදිත රිදී කාසි තොගයක් ඔවුන් සොයා ගත්තා.

සාගරයේ කිමිදෙමින් ගවේෂණය කරන බොහෝ දෙනාට ජිවිත කාලයකට වරක් හෝ මෙබඳු සොයා ගැනීමක් අහම්බෙන්වත් හමු වන්නේ නැහැ. මේ අසාමාන්‍ය සොයා ගැනීම තව දුරටත් ගවේෂණය කරන්නට තමන්ගේ ම බෝට්ටුව්ක් මිළට ගැනීමේ උවමනාව අපේ කිමිදුම්කරුවන්ට මතු වුණා. එ් දිනවල අමෙරිකානු ඩොලර් 10,000ක් පමණ එයට අවශ්‍ය වුණා. චිත‍්‍රපටයක් තනා එයින් ලැබෙන ආදායමින් බෝට්ටුව මිළට ගැනීමට ඔවුන් තීරණය කළා.

එ වන මයික් විල්සන් විට මෙරට දිය යට රූපගත කළ මුල් ම වාර්තා චිත‍්‍රපටය වූ Beneath the Seas of Ceylon (විනාඩි 25, 1958) නිපදවා යම් පිළි ගැනීමක් ලබා තිබුණා. එහෙත් වෘතාන්ත චිත‍්‍රපටයක් අධ්‍යක්‍ෂණය කොට අත්දැකීම් තිබුණේ නැහැ.

ගිලූණු නැවක නිධානයක් සොයා යන, දිය යට ජවනිකා රැගත් කථාවක් චිත‍්‍රපට කිරීමේ දැඩි ආශාවෙන් හා අධිෂ්ඨානයෙන් සිටි මයික් විල්සන්, එයට ආතර් ක්ලාක් ද කැමති කරවා ගත්තා. නළු නිලියන් යොදා ගනිමින් කථාන්තරයක් පැය දෙකහමාරක් පුරා කියැවෙන වෘතාන්ත චිත‍්‍රපටයක් නිපදවීම ලෙහෙසි පහසු වැඩක් නොවන බව ක්ලාක් පෙන්වා දුන්නා. එහෙත් තම සගයාගේ උද්‍යොගය නිසා එයට යම් මුදලක් වැය කරන්නට ඔහු එකඟ වුණා. ඉතිරි මුදල මයික් සොයා ගත්තේ මෙරට ප‍්‍රමුඛ පෙලේ චිත‍්‍රපට සමාගමකින්.

මෙය චිත‍්‍රපටය සඳහා නිෂ්පාදකයා ලෙස ශේෂා පලිහක්කාර සම්බන්ධ වුණා. වෘත්තියෙන් නැටුම් කලාවේ නියැලි සිටි ශේෂා, 1956 ලෙස්ටර් ජේම්ස් පීරිස් තැනු “රේඛාව” චිත‍්‍රපටියේ බොරුකකුල්කාරයාගේ චරිතයත්, තවත් චිත‍්‍රපට චරිතත් රඟපා නමක් දිනා ගෙන සිටියා.

ක්ලාක්, විල්සන් හා පලිහක්කාර ත‍්‍රිත්වය එක්ව පිහිටුවා ගත් සෙරන්ඩිබ් ප‍්‍රඩක්ෂන්ස් Serendib Productions නම් සමාගම නිපද වූ ප‍්‍රථම චිත‍්‍රපටය රන් මුතු දුවයි.

රන් මුතු දුවේ නළු නිලි පිරිසට එවකට සිටි ප‍්‍රමුඛ පෙළේ මෙන්ම නැග එන තරු ද සම්බන්ධ කර ගනු ලැබුවා. ගාමිණි ෆොන්සේකා, ජෝ අබේවික‍්‍රම, ජිවරානි කුරුකුලසුරිය, ඔස්ටින් අබේසේකර, තිලකසිරි ප‍්‍රනාන්දු, ෂේන් ගුණරත්න හා වින්සන්ට් වාස් ඔවුන් අතර වුණා.

ගාමිණි ෆොන්සේකා කථාවේ වීරයා වන විට ඔහුට එරෙහි වන දුෂ්ඨයාගේ චරිතයට වෘත්තීය නළුවකු නොවු කිමිදුම්කරු හෙක්ටර් එකනායක යොදා ගන්නට මයික් තීරණය කළා. ගාමිණි ෆොන්සේකාට කඩිමුඞ්යේ කිමිදුම් ශිල්පය ඉගැන්විම ද හෙක්ටර්ට භාර වුණා.

රන් මුතු දුව චිත‍්‍රපටයේ බොහෝ ජවනිකා රූපගත කරනු ලැබුවේ ති‍්‍රකුණාමලයේ. දිය යට දර්ශන හා සටන් මිලිමීටර් 16 සේයා පටවල රූපගත කොට පසුව මිමී35ට විශාල කරනු ලැබුවා. චිත‍්‍රපටයේ සංස්කරණ හා නිම කිරීමේ කටයුතු ලන්ඩනයේ ටෙක්නිලකර් රසායනාගාරයේ සිදු කළා. කිමිදෙමින් සිනමා රූපගත කිරීම් එතරම් ප‍්‍රචලිත නොවු එකල, මයික්ගේ දිය යට කැමරා කෝණ හා අධ්‍යක්‍ෂණය ගැන බි‍්‍රතාන්‍ය සිනමා ශිල්පීන් පවා මවිත වූ බව වාර්තාගතයි.

මයික්ට සිංහල බස එතරම් හුරු නොවු නිසා සහාය අධ්‍යක්‍ෂණයෙන් හා සිංහල දෙබස් රචනයෙන් දායක වුයේ සිනමා ශිල්පී තිස්ස ලියනසුරියයි. රන් මුතු දුව සංස්කරණය කළේ ටයිටස් තොටවත්ත සිංහල සිනමාවේ මුල අඩ සියවසේ බිහි වූ තාක්‍ෂණික හා නිර්මාණශීලී වශයෙන් ඉතා ම කෘතහස්ත සංස්කාරකවරයා හැටියට පිළිගැනෙනවා. ඔහු එ වන විට රේඛාව (1956), සන්දේශය (1960) හා දස්කොන් (1962) වෘතාතන්ත චිත‍්‍රපට සංස්කරණය කොට සිටියා.

රන් මුතු දුව සංස්කරණයට ටයිටස් බි‍්‍රතාන්‍යයේ ටෙක්නිකලර් රසායනාගාරයේ වර්ණ චිත‍්‍රපට පිළිබඳ පුහුණුවක් ලැබු බවත්, වර්ණ තුලනය හා ශබ්ද පරිපාලනය වැනි තාක්‍ෂණික අංශ ගැන මනා අවධානයකින් ටයිටස් මේ චිත‍්‍රපටය නිම කළ බත් නුවන් නයනජිත් කුමාර ලියු තොටවත්ත චරිතාපදනායේ කියැවෙනවා. දුර්වල කථාවක් වුවත් දක්‍ෂ සංස්කරණය හරහා විනෝදාස්වාදය ගෙන දෙන චිත‍්‍රපටයක් බවට පත් කරන්න ටයිටස්ට තිබු හැකියාව ශේෂා පලිහක්කාර එහි පසසා තිබෙනවා.

රන් මුතු දුවේ සංගීත අධ්‍යක්‍ෂණය කළේ විශාරද ඩබ්ලිව්. ඞී. අමරදේව. එය ඔහු චිත‍්‍රපටයකට එබඳු දායකත්වයක් සැපයු මුල් වතාවයි. ශ‍්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් ලියු ගීත තුනක් චිත‍්‍රපටයේ ඇතුළත් වුණා. නාරද දිසාසේකර හා නන්දා මාලීනි ගැයු ”ගලන ගඟකි ජිවිතේ” ගීතයට 1964 පැවති ප‍්‍රථම සරසවිය චිත‍්‍රපට උළෙලේ 1962 හොඳම චිත‍්‍රපට ගීතයට පිරිනැමෙන සම්මානය හිමි වුණා.

මේ කලා හා තාක්‍ෂණික සුසංයෝග දෙස හැරී බලන චිත‍්‍රපට ඉතිහාසඥ රිචඞ් බොයිල් කියන්නේ දක්‍ෂයන් රැසක් එක් තැන් කර ගෙන අළුත් විදියේ වැඩ කරන්නට මයික් විල්සන්ට හොඳ හැකියාවක් තිබ බවයි. ”ඔහු සමඟ එකට වැඩ කළ පිරිසේ බොහෝ දෙනෙකු පසුව සිංහල සිනමාවේ ලොකු හපන්කම් කළා. මයික් නිර්මාණය කළ චිත‍්‍රපටවලට වඩා එ් දායකත්වය වටිනවා” බොයිල් කියනවා.

1962 අගොස්තු මුල් වරට මහජන ප‍්‍රදශනය ඇරඹුණු රන් මුතු දුව, ඇතැම් සිනමාහල්වල දින 100 ඉක්මවා ප‍්‍රදර්ශනය වුණා. ඉන්ක්බිති මේ චිත‍්‍රපටය තවත් කිහිප වතාවක් ඉදිරි දශක දෙක තුන තුළ ප‍්‍රදර්ශනයට ආවා. එහෙත් අඩ සියවස සපිරෙන මේ මොහොතේ මේ පළමු සිංහල වර්ණ චිත‍්‍රපටයේ එක් පිටපතක් හෝ ශ‍්‍රී ලංකාවේ ඉතිරි වී නැහැ. චිත‍්‍රපට සංරක්‍ෂණාගාරයක් නැති අපේ රටේ බොහෝ පැරණි චිත‍්‍රපටවල ඉරණම එයයි.

රන් මුතු දුව හදන්නට අත්වැල් බැඳගත් සෙරන්ඩිබ් තුන්කට්ටුව යළිත් චිත‍්‍රපටයක් සඳහා එ්කරාශි වුයේ නැහැ. සෙරන්ඩිබ් සමාගම තවත් චිත‍්‍රපට දෙකක් නිපද වුවත් එයට මුල් වුයේ මයික් හා ශේෂා දෙපළ පමණයි.

1964-68 කාලය පුරා ලෝකයේ සම්භාව්‍ය චිත‍්‍රපට අධ්‍යක්‍ෂකවරයකු වූ ස්ටැන්ලි කුබ්රික් සමඟ එක්ව 2001: A Space Odyssey නම් අමුතු මාදිලියේ විද්‍යා ප‍්‍රබන්ධ චිත‍්‍රපටය හැදීමට ආතර් ක්ලාක් යොමු වුණා. එය වෙනම ස්මරණය කළ යුතු නිර්මාණ ක‍්‍රියාදාමයක්.

1970 දශකයේ සියළු ලෞකික සම්පත් හා දු දරුවන් හැර දමා හින්දු පූජකයකු බවට පත් වූ මයික් විල්සන්, සිය ජිවිතයේ අවසන් දශක දෙක ගත කළේ ස්වාමි සිවකල්කි නමින්.

චිත‍්‍රපට ලෝකයෙන් වෙනත් ව්‍යාපාරවලට හා කලා කටයුතුවලට ඇදී ගිය ශේෂා පලිහක්කාර 2000 දශකයේ නැවත වරක් චිත‍්‍රපටයකට සම්බන්ධ වුණා. එහෙත් පෙර කළ වික‍්‍රමයන් කරන්නට අවකාශයක් තිබුණේ නැහැ. මයික් 1995දීත්, ක්ලාක් 2008දීත්, ශේෂා 2009දීත් මිය ගියා.

1990 දශකය අගදී රන් මුතු දුවේ පිටපතක් ලොව කොතැනක හෝ ඉතිරිව ඇත්දැයි ක්ලාක් සිය ජාත්‍යන්තර සබඳතා හරහා විපරම් කළා. ටෙක්නිකලර් හා Rank සමාගම් ඔස්සේ ලද ආරංචිය වුයේ ඉතාලියේ එක් සංරක්‍ෂණාගාරයක එබන්දක් ඇති බවයි. එයින් එක් ප‍්‍රදර්ශන පිටපතක් පිට කරන්නට ඔවුන් බි‍්‍රතාන්‍ය පවුම් 18,000ක් (අද රු 3,748,000) ඉල්ලා සිටියා.

චිත‍්‍රපටය අළුත් ලාංකික පරම්පරාවකට පෙන්වන්නට ක්ලාක්ට හා ශේෂාට ලොකු ඕනෑකමක් තිබුණා. එහෙත් මෙරට කිසිදු ප‍්‍රදර්ශන මණ්ඩලයකින් හෝ චිත‍්‍රපට සංස්ථාවෙන් හෝ එයට නිසි උනන්දුවක් ප‍්‍රකාශ නොවු නිසා එතරම් මුදලක් වැය කොට රන් මුතු දුව යළි ලංකා දුපතට ගෙන එමේ අවදානම ඔවුන් ගත්තේ නැහැ.

රන්මුතු දුවේ හරිහමන් DVD පිටපතක්වත් අද සොයා ගන්නට නැහැ. දැනට සංසරණයේ ඇත්තේ මීට කලකට පෙර එය රූපවාහිනී නාලිකාවේ පෙන්වූ විටෙක එයින් පටිගත කර ගත් දුර්වල පිටපත්. YouTube හරහා වෙබ් මාධ්‍යයට එක් කර ඇත්තේත් මෙබඳු පිටපත්. 1960 දශකයටත් පෙර තැනු වෙනත් චිත‍්‍රපට ඩිජිටල් ක‍්‍රම හරහා යළි උපදින (Digital Remastering) මේ කාලයේ රන් මුතු දුවේ පලූදු නොවූ ෘඪෘ පිටපතක්වත් නොතිබීම කණගාටුදායකයි.

සිංහල සිනමාවේ මුල් යුගයේ දකුණු ඉන්දියානු ආභාෂය හා දමිල අධ්‍යක්‍ෂවරුන් හා නිෂ්පාදකයන්ගෙන් ලැබුණු දායකත්වය ගැන අධ්‍යයන කෙරී තිබෙනවා. මෙරට වාර්තා චිත‍්‍රපට කලාවේ මුල් යුගයේ බි‍්‍රතාන්‍යය හා ඉතාලි ජාතික සිනමා ශිල්පීන් රජයේ චිත‍්‍රපට එකකය (GFU) හරහාත් සම්බන්ධ වුණා.

එහෙත් මෙරට සිංහල වෘතාන්ත චිත‍්‍රපට කලාවේ හා කර්මාන්තයේ මයික් විල්සන්ගේ භූමිකාව තවමත් අගැයීමකට ලක් වී නැති බව මගේ වැටහීමයි. මේ අසාමාන්‍ය හා විචිත‍්‍ර චරිතය ගැන කවදා හෝ ලේඛනගත විය යුතුයි.

විද්‍යා ක්‍ෂෙත‍්‍රයේ ආතර් සී. ක්ලාක්ගේ මෙහෙවර ගැන අඩු වැඩි පමණින් දන්නා බොහෝ දෙනා පවා ඔහු කිමිදුම්කරුවකු හා සිංහල චිත‍්‍රපට ආයෝජකයකු ලෙස ලබා දුන් දායකත්වය ගැන දන්නේ ඉතා අඩුවෙන්.