
The term ‘smart city’ refers to urban systems, and not to the smartness of residents. In fact, there is no universal definition of smart cities: it can mean smart utilities, smart housing, smart mobility or smart design.
Smart cities use information and communications technologies (ICTs) as their principal infrastructure. These become the basis for improving the quality and performance of urban services, reducing costs and resource consumption, and for engaging citizens more effectively.
ICTs – ranging from automatic sensors to data centres — would create ‘feedback loops’ within the complex city systems. If processed properly, this flow of data in real time can vastly improve the design of “hard” physical environment and the provision of “soft” services to citizens.
In this week’s Ravaya column, (in Sinhala, appearing in issue of 4 Oct 2015), I explore the concept of smart cities, which the new government of Sri Lanka wants to develop.
It is a formidable task. India in 2014 announced an ambitious programme to create 100 smart cities. Under this, state capitals, as well as many tourist and heritage cities are to receive funding for upgrading their infrastructure. But Prime Minister Modi and his technocrats have been struggling since then to explain just what they mean by smart cities.
I argue that smart cities need empowered people and engaged city administrators. I have argued in earlier in this column, concrete and steel do not a city make. Likewise, ICT enabled smart infrastructure alone will not create smart cities – unless the human factor is well integrated.

ස්මාට් නගර ගැන කතාබහක් මතුවෙමින් තිබෙනවා. යෝජිත බස්නාහිර මෙගා නගරය (Western Regional Megapolis) ස්මාට් නගර ආකෘතියේ එකක් වනු ඇතැයි ද කියනවා.
ඒ අතර නගර සැලසුම් අමාත්‍ය රවුෆ් හකීම් සැප්තැම්බර් මුලදී කීවේ මහනුවර මෙරට මුල්ම ස්මාට් නගරය කිරීමට තමන්ට ඕනෑ බවයි.
ස්මාට් නගර යනු මොනවාදැයි හරිහැටි දැනගෙන මේ සංවාද කිරීම වැදගත්.
ඉංග‍්‍රීසියෙන් Smart Cities කියන්නේ ඩිජිටල් තාක්ෂණය හෙවත් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ (ICT) සූක්ෂම ලෙස යොදා ගනිමින් නාගරික සේවාවල තත්ත්වය හා ප‍්‍රමිතිය උසස් කරන නාගරික ප‍්‍රදේශවලටයි.
ඒ හරහා සම්පත් හා බලශක්ති පරිභෝජනය කාර්යක්ෂම කර ගන්නා අතර වියදම් අඩු කර ගන්නවා. නාගරික කළමනාකරණය විද්වත් පදනමක් මත කරන ගමන් ජනතා සහභාගීත්වය ද වැඩි කරනවා. අප කවුරුත් පතන්නේ මෙවැනි නගර තමයි!
Smart Cities යන්නට වඩා සුදුසු සිංහල යෙදුම කුමක්ද?
මීට සති කිහිපයකට පෙර මේ ප‍්‍රශ්නය මා ෆේස්බුක් ජාලයේ මතු කළා. යෝජනා ගණනාවක් ලැබුණා. සූක්ෂ්ම නගර, බුද්ධිමත් නගර හා සවිඥානික නගර ආදී වශයෙන්.
ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන නුවණැති නගර යන්නත්, ආචාර්ය සුමනසිරි ලියනගේ දැනුමැති නගර යන යෙදුමත් යෝජනා කළා. මේ අතර රෙන්ටන් ද අල්විස් කීවේ උදාර නගර හෝ නැණැති නගර උචිත බවයි. ආචාර්ය හර්ෂණ රඹුක්වැල්ල සිතන්නේ ප‍්‍රබුද්ධ නගර වඩා හොඳ බවයි.
බ්ලොග් ලේඛක අජිත් පැරකුම් ජයසිංහ සංවාදයට එක් වෙමින් කීවේ මෙයයි: ‘‘ස්මාට් කියන වචනය දැන් බොහෝ දුරට සිංහල වෙලා නිසා මෙයට වෙනත් වචනයක් හදන්න උත්සාහ නොකර ස්මාට් පුරවර කියන යෙදුම හොඳයි.’’
ස්මාට් නගර ගැන පුළුල්ව සංවාද කිරීම අවශ්‍යයි. පණ්ඩිත යෙදුමක් වෙනුවට කාටත් පහසුවෙන් තේරුම් ගත හැකි සම්මත සිංහල වචනයක් එකඟ විය හැකි නම් හොඳයි. එතෙක් ස්මාට් නගර හා ස්මාට් පුරවර යන්න මා යොදා ගන්නවා.
ස්මාට් නගරවලට තනි නිර්වචනයක් නැහැ. නගරයක් ‘ස්මාට්’ වන්නේ යටිතල සැලසුම් පහසුකම්, ප‍්‍රවාහන සේවාවන් හෝ සැලසුම්කරණය අතින් විය හැකියි. පොදු සාධකය වන්නේ සංකීර්ණ පද්ධතිවල ක‍්‍රියාකාරීත්වය නිරතුරුව හා සජීවී ලෙසින් නිරික්සමින් නඩත්තු කිරීමේ තීරණ හා පියවර ක්ෂණිකව ගනිමින් සිටීමයි.
මෙයට ඉංග‍්‍රීසියෙන් feedback loop යයි කියනවා. නිරතුරු ප‍්‍රතිශෝෂණය හරහා ප‍්‍රමිතීන්ට අනුකූලව සේවා ප‍්‍රශස්තව පවත්වා ගැනීම යයි අපට සිංහලෙන් කිව හැකියි.
තාක්ෂණික හෝ පාරිභාෂික යෙදුම්වලට වඩා වැදගත් වන්නේ සංකල්පීය නිරවුල් බවයි. කොන්ක‍්‍රීට් හා වානේ ගොඩක් එක් තැන් කළ පමණට කිසිදිනෙක ස්මාට් නගර බිහි වන්නේ නැහැ. ප‍්‍රවේශම් විය යුතු තැනත් එතැනයි. ජනතා සිතුම් පැතුම් නොතකා තැනූ හම්බන්තොට වැනි නගර ස්මාට් නගරවල විරුද්ධ පදය වැනියි.
ස්මාට් නගරවල මුඛ්‍ය අරමුණ එහි සියලූ නේවාසික වැසියන්ට හා එයට පිටතින් පැමිණෙන අයට ආයාසය හා වියදම් අඩු කාර්යක්ෂම සේවා සපයාදීමයි. නගරයක විසීම හෝ නගරයකට යම් කාරියක් සඳහා යාම වදයක් නොවී ප‍්‍රමෝදයක් බවට පත් කිරීමයි.
නාගරීකරණය නොනැවතී ඉදිරියට යන ලෝක ව්‍යාප්ත සංසිද්ධියක්. 2010දී අප වැදගත් කඩඉමක් පසු කළා. ලෝක ඉතිහාසයේ මුල් වතාවට ලොව ජනගහනයෙන් අඩක් (50%) නගරවල වෙසෙන බව සංඛ්‍යා ලේඛන තහවුරු කළා.
කලාපීය වශයෙන් ගත් විට දකුණු ආසියාවේ දැනට නාගරික ජන ප‍්‍රතිශතය 30%යි. එහෙත් එය සීග‍්‍රයෙන් ඉහළ යමින් තිබෙනවා. ඉදිරි දශකවල (2050 වනවිට) ඉන්දියාවේ පමණක් නාගරික ජනගහනය තවත් මිලියන 404ක් එකතු වෙතැයි ගණන් බලා තිබෙනවා.
මේ සඳහා වැඩිපුර දායක වන්නේ ග‍්‍රාමීය පෙදෙස්වලින් නගරවලට ඇදී එන ජන සංක‍්‍රමණයයි. පහසුකම් හා අවස්ථා සොයාගෙන එසේ පැමිණීම තහනම් කරන්නට ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටවලට බැහැ. කළ හැකි එකම දෙය එය දරාගන්නට සැලසුම් හා ආයෝජන කිරීමයි.
14 Sep 2015: World Bank Report on Leveraging Urbanization in South Asia
ස්මාට් නගර සන්නිවේදන තාක්ෂණය යොදා ගන්නේ දත්ත මත පදනම් වී සජීව ලෙසින් තීරණ ගන්නටග ඉන්ටර්නෙට් පරිනාමයේ ඊළඟ අදියර නම් ස්වයංක‍්‍රීයව අවට පරිසරය නිරීක්ෂණය කරමින්, දත්ත රැස් කරමින්, ඒවා එසැනින් හා නිරතුරුව ඉන්ටර්නෙට් හරහා යම් නිශ්චිත කේන්ද්‍රයකට සපයන සංවේදක (Sensors) ප‍්‍රචලිත වීමයි. මෙය දැනටමත් ඇරැඹී තිබෙනවා.
ඉදිරි වසර කිහිපයේ මේ ප‍්‍රවණතාව අධිවේගීව වර්ධනය වනු ඇති. ඉන්ටර්නෙට් මාධ්‍යය ස්වයංක‍්‍රීයව අපේ ලෝකය ගැන සංවේදී වීම හඳුන්වන්නේ Internet of Things (IOT) කියායි. මෙහි මූලික පදනම මුළුමනින් යන්ත‍්‍ර අතර කැරෙන සන්නිවේදනය හෙවත් තොරතුරු හුවමාරුවයි. (Machine-to-machine communications, M2M).
මේ හැම සංවේදකයටම එයට ආවේණික වූ අංකයක් (IP Address) තිබෙන නිසා එය නිශ්චිතව හඳුනා ගත හැකියි. සංවේදක ප‍්‍රමාදයකින් තොරව සජීවී ලෙසින් සපයන දත්ත හරහා යම් තැනෙක, යම් ප‍්‍රවාහයක අලූත්ම තත්ත්වය දුර සිට නිරීක්ෂණය කළ හැකියි. (මේ සංවේදක CCTV කැමරා සමග පටලවා නොගන්න. අප මෙහිදී කතා කරන්නේ ක්ෂුද්‍ර පරිපථ මට්ටමේ සියුම් උපාංග ගැනයි.)
මෙබදු සංවේදක දැනටමත් විශාල පරිමාණයෙන් දකුණු කොරියාව, ඩෙන්මාර්කය, ස්විට්සර්ලන්තය, ඇමරිකා එක්සත් ජනපදය හා ජර්මනිය වැනි රටවල නවීන නගරවල හා සමහර කර්මාන්තවල භාවිත වනවා.
සංවේදකවලට අමතරව හැම වස්තුවකටම එයට ආවේණික අනන්‍යතාවක් ලබාදීම ද තාක්ෂණික ප‍්‍රගමනයේ තවත් අරමුණක්. මේ සඳහා බාර්කෝඞ්, QR කෝඞ් ආදී තාක්ෂණ දැනටමත් බහුලව යොදා ගන්නවා.
නගරයක පොදු අවකාශයේ ඇති හැම ලයිට් කණුවක්, ටෙලිෆෝන් කනුවක්, කසල බාල්දියක්, පොදු දුරකතනයක් ආදිය මෙසේ සංවේදක හරහා අනන්‍යතාවට ලක් කළ විට ඒවායේ තත්ත්වය දුර සිට විමර්ෂනය කළ හැකියි. ක‍්‍රියාකාරීත්වයේ ගැටලූවක් මතු වූ විට හරියටම ප‍්‍රශ්නකාරී තැන ඉක්මනින් හඳුනා ගත හැකියි. ඉලක්කගතව ප‍්‍රශ්න කඩිනමින් විසඳිය හැකියි.
බලශක්ති අරපිරිමැසුම, පාරිසරික තත්ත්වය නිරීක්ෂණය, කසල කළමනාකරණය, ප‍්‍රවාහන පද්ධති ප‍්‍රශස්තිකරණය ආදී බොහෝ භාවිතයන්ට මේ තාක්ෂණය දැනටමත් සමහර දියුණු රටවල නගර යොදා ගන්නවා. අලූතෙන් බිහි වන ස්මාට් නගර මුල පටන්ම නිර්මාණය කැරෙන්නේ මේ තාක්ෂණය පදනම් කර ගෙනයි.

උදාහරණයක් නම් දකුණු කොරියාවේ සොංඩෝ (Songdo) ස්මාට් නගරය. අගනුවර සෝල් සිට කි.මි. 65ක් නිරිතදිගින් හෙක්ටාර් 600ක විසිරුණු මේ නගරය මුළුමනින්ම ස්වයං-සංවේදක මගින් නිරීක්ෂණය කැරෙන හා කළමනාකරණය කැරෙන ස්ථානයක්. තවමත් ඉදි වෙමින් පවතින මෙය ව්‍යාපාරික, නේවාසික හා පොදු පහසුකම් රැසකින් සමන්විත වනු ඇති.
එය මතු වන්නේ ඉන්චොන් (Incheon) නුවරට ආසන්නව මුහුද ගොඩ කර තනා ගත් බිම් පෙදෙසකයි. 2015 අගවන විට නිම කිරීමට නියමිත මෙහි වියදම ඩොලර් බිලියන 40ක්. තනිකරම පෞද්ගලික අංශයේ ආයෝජනයක්.
මෙසේ මුල සිටම සැලසුම් කොට අලූතෙන් ගොඩ නගන නගර ‘ස්මාට්’ කිරීම සාපේක්ෂව වඩා පහසුයි. එහෙත් ඓතිහාසිකව අක‍්‍රමිකවත් ලෙස වර්ධනය වූ හා අවුල් සහගතව පවතින නගරවලටත් නව තාක්ෂණයන් නැණවත්ව යොදා ගෙන ස්මාට් වීමට හැකියි.
පවතින නගර ස්මාට් නගර බවට පරිවර්තනය කිරීමේ දැවැන්ත ප‍්‍රතිසැලසුම්කරණ ව්‍යාපෘති අරඹා තිබෙනවාට උදාහරණ ගණනාවක් තිබෙනවා. නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම්, ස්පාඤ්ඤයේ බාසෙලෝනා, ස්වීඩනයේ ස්ටොකෝම්, ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදයේ සැන්ටා කෲස් ඒ අතර වනවා.
ඉන්දියාව මුහුණ දි සිටින දැවැන්ත නාගරිකකරණ අභියෝගයට ප‍්‍රතිචාර දක්වමින් 2014 මැදදී අගමැති නරේන්ද්‍ර මෝඩිගේ රජය ප‍්‍රකාශ කළේ එළැඹෙන වසර කිහිපයේදී ස්මාට් නගර 100ක් ඇති කිරීමට ඉන්දියාව පියවර ගන්නා බවයි. ප‍්‍රාන්තවල අගනගර, සංචාරකයන්ට වැදගත් ඓතිහාසික නගර ආදිය මේ ලැයිස්තුවට අයත්. ඒ අතර අලූතින්ම සැලසුම් කොට මුල සිටම බිහි කරන නගරත් කිහිපයක් තිබෙනවා. http://smartcities.gov.in/
එහෙත් වසරකට පසුව මේ ස්මාට් නගර සඳහා නිශ්චිත ඉදිරි දැක්මක් ප‍්‍රකාශ කිරීම ඉන්දීය නිලධාරීන්ට අපහසු වී තිබෙනවා. අතිශයින් සංකීර්ණ නාගරික කළමනාකරණ ගැටලූවලට තනිකර තාක්ෂණික විසඳුම් නැහැ. සමාජ විද්‍යාත්මක උපදෙස් මත, ජනතා සිතුම් පැතුම්වලට සංවේදීවෙමින් ක‍්‍රමයෙන් කළ යුතු වෙනස්කම් රැසක් තිබෙනවා.

හරිහැටි මූලික පහසුකම් පවා නොමැතිව ජීවත්වන මිලියන ගණන් ජනයා ඉන්දියානු නගරවල සිටිනවා. ස්මාට් නගර බිහි කිරීමේ අරමුණ සාර්ථක වන්නේ සානුකම්පිතව හා සංවේදීව නාගරික සංවර්ධනය කළ හොත් පමණයි. ඉන්දියාවේ සබුද්ධික හා සක‍්‍රීය සිවිල් සමාජ ක‍්‍රියාකාරිකයන් නිසා රජයකට හිතුමතේ ක‍්‍රියා කරන්නට බැහැ.
ස්මාට් නගරයක මූලිකම ගුණාංගය නම් ඉහළ කාර්යක්ෂමතාවයි. කාර්යක්ෂම නගර සැලසුම් කරන්නට හා කළමනාකරණය කරන්නට නම් නේවාසික ජනයා සහ දිනපතා නගරයට ඇදී එන ජනයාගේ චර්යා රටා සමීපව හඳුනාගත යුතුයි.
නගරයක වැඩිපුර ජනයා ගැවසෙන්නේ කුමන ස්ථානවල කිනම් වේලාවකද? සතියේ දිනවල හා සති අන්ත දිනවල වෙනස්කම් මොනවාද? මහාමාර්ග, බස් හා දුම්රිය නැවතුම් පොළවල්, කඩපිල් හා සාප්පු සංකීර්ණ මෙන්ම උද්‍යාන හා වෙනත් විවෘත ස්ථානවල දවසේ පැය 24 ගෙවී යන්නේ කුමන ජන රාශිගත වීම් අනුවද?
මෙකී නොකී තොරතුරු හැකිතාක් දැන ගැනීම සැලසුම්කරණයට උපකාර වනවා. මේවා ගැන දළ හැගීමක් නාගරික ජනයාට ඇතත් සැලසුම්කරණයට නිශ්චිත දත්ත හා ඒවායේ විචල්‍ය පරාසය (වෙනස් වන සැටි) දැනගැනීම අවශ්‍යයි.
මේ සඳහා මෙතෙක් යොදාගත්තේ විටින් විට කරන සමීක්ෂණයි. එහෙත් සමීක්ෂණවලට සංකීර්ණ පද්ධතියක සියලූ විස්තර හසු කර ගන්න බැහැ. මේ නිසා පරිගණක හා සන්නිවේදන තාක්ෂණ යොදාගනිමින් දැන් නව දත්ත විශ්ලේෂණ ක්ෂේත‍්‍රයක් බිහිවී තිබෙනවා.
ඉංග‍්‍රීසියෙන් Big Data යයි කියන මෙයට මහා දත්ත විශ්ලේෂණය යයි අපට කිව හැකියි. මේ ගැන වෙනම කොලමකින් ඉදිරි සතියක කතා කරමු.
ස්මාට්, සංවේදී හා සානුකම්පිත යන ගුණාංග සියල්ල කැටිකරගත් විට තමයි සැබෑ ස්මාට් නගර බිහිවන්නේ.