In this week’s Ravaya column (in Sinhala), published on 30 November 2014, I continue the story of a group of divers accidentally discovering a shipwreck while diving off the south-eastern coast of Sri Lanka close to the Great Basses Reef lighthouse. The discovery was made by Mike Wilson, who was variously talented as a diver, photographer, writer and filmmaker, along with collaborators Arthur C Clarke, Rodney Jonklaas and Hector Ekanayake.
This story is fully documented in Clarke’s The Treasure of the Great Reef, and also summarised here by Dr Kavan Ratnatunga:
http://lakdiva.com/coins/clarke/greatbasses/exhibit.html
See also: 26 Aug 2012: සිවුමංසල කොලූගැටයා #80: මහා රාවණා කොටුවෙන් රන් මුතු දුවට…

ශ‍්‍රී ලංකා දුපතට ගිණිකොන දෙසින් කිලෝමීටර් 10 ක් පමණ ඔබ්බෙන් පිහිටි මහා රාවණා කොටුව නම් ගල්පරය අවට මුහුදුබත් වී බිඳී ගිය නැවක් 1961 මාර්තුවේදී සොයා ගත් කථාවේ මුල් කොටස අප 2014 නොවැම්බර් 16 වනදා ඉදිරිපත් කළා.
මෙරට පුරෝගාමී කිමිදුම් හා සාගර ගවේෂකයන් අතර වූ රොඞ්නි ජොන්ක්ලස්, හෙක්ටර් ඒකනායක, මයික් විල්සන් හා ආතර් සී ක්ලාක් සම්බන්ධ වූ මේ ගවේෂණය මෙරට මුහුදු පුරාවිද්‍යාවේ ද ආරම්භයයි. අද එහි ඉතිරි කොටස.
නැව ගිලූණු තැන අවට මුහුදුපත්ලේ විසිරි රිදී කාසි දහස් ගණණක් හමු වුණා. මේ කාසි තොගය රැගත් නැව ආවේ කොහි සිටද? එහි ගමනාන්තය වූයේ කුමක්ද? මේ රිදී කාසිවල ලෝහමය වටිනාකමට වැඩි කෞතුක වටිනාකමක් ඇත්ද?
මෙබඳු ප‍්‍රශ්න රැසක් විල්සන්, ක්ලාක් හා කිමිදුම් සමඟයන්ට මතු වුණා. ඔවුන් මෙරට පුරාවිද්‍යාඥයන්, සාගර විද්‍යාඥයන් (එතෙර හා මෙතෙර) හා කාසි එකතු කරන්නන්ගේ ද සහාය ඇතිව මේ ප‍්‍රශ්න වලට පිළිතුරු ගවේෂණය කළා.
මුහුදුබත් වූ නැවක් කාලයාගේ ඇවෑමෙන් හඳුනාගත නොහැකි තත්ත්වයට පත්වනවා. කඩදාසි, රෙදි හා ලෝහවලින් තැනූ දේ දිරාපත්ව යනවා. මේ නිසා එබන්දක නිශ්චිත අනන්‍යතාවය නිර්ණය කිරීම අසීරු කාරියක්. කාසි සමීපව නිරික්සීමේදී පෙනී ගියේ ඒවා එකම අච්චුවේ බවයි. හැම එකකම සළකුණු හතරක් තිබුණා.
පසුව හඳුනාගනු ලැබුවේ ඒවා අරාබි ඉලක්කම් වලින් 1113 සංකේතවත් කරන බවයි. මේ කාසි නිපද වූ වර්ෂයද? අරාබි කැලැන්ඩරයේ වසර ගණන් කිරීම ඇරඹෙන්නේ ක‍්‍රි. ව. 622න්. එසේම අරාබි වර්ෂ හා සම්මත වර්ෂ අතර යම් වෙනසක් ද තිබෙනවා. මේ සියළු සාධක සැළකිල්ලට ගෙන ගණන් බැලූ විට 1113 යනු සම්මත (කි‍්‍රස්තු) වර්ෂ 1702 බව පෙනී ගියා.

කාසි ඉතිහාසඥයන් කීවේ මෙබඳු කාසි තැනීම කෙරුණේ 1658-1707 වකවානුවේ ඉන්දියාවේ සුරත් නගරයේදී බවයි. ඒ භාරතයේ වැඩි ප‍්‍රදේශයක පාලකයා වූ ඔරංසෙබ් (Aurangzeb) නම් මෝගල් අධිරාජයාගේ කාලයේ.
ඔරංසෙබ් අධිරාජයා වසර 49ක් සිහසුනේ සිටියා. ඔහු මෝගල් රාජ වංශිකයන් අතර නමක් ගත් අවසාන අධිරාජයායි. ඔහුගේ පියා ෂා ජහාන් ඉතිහාසගත වූයේ අඩු වයසින් මියය ගිය මුම්ටාස් මහාල් දේවිය වෙනුවෙන් ටාජ් මහලය ඉදිකිරීම නිසායි. මුම්ටාස් මහාල් ඔරංසෙබ්ගේ මවයි.
දැඩි ඉස්ලාමීය පාලනයක් සමස්ත භාරත ජනයා මත බලෙන් පැටවූ ඔරංසෙබ්ගේ මරණයෙන් පසු ජන විරෝධයන් මතු වී මෝගල් අධිරාජ්‍යය ඉක්මනින් බිඳ වැටුණා. කුඩා ප‍්‍රාන්ත රාජ්‍ය ලෙස බෙදී ඇණ කොටා ගත් භාරතය ආක‍්‍රමණය කොට අන්තිමේදී යටත් කර ගැනීමට බටහිර ජාතීන්ට වඩාත් පහසු වුණා.
ඔරංසෙබ්ගේ පාලන කාලයේ නැගෙනහිර ඉන්දීය සමාගම යටතේ බි‍්‍රතාන්‍ය වෙළඳුන් ඉන්දියාවේ ගනුදෙනු කරමින් සිටියා. භාරතය හා යුරෝපීය රාජ්‍ය අතර ජාත්‍යන්තර වෙළඳාම කලෙක සිට කෙරුණු අතර ඒ වන විට ඉන්දියානු සාගරයේ ආධිපත්‍යයට ලන්දේසි හා ඉංග‍්‍රීසි ජාතිකයෝ තරග කරමින් සිටියා.
1702 වන විට ලංකාවේ වෙරළබඩ ප‍්‍රදේශ පාලනය කළේ ලන්දේසින්. ඔවුන්ට සම්බන්ධ වූ ඕලන්ද ඉන්දියා සමාගමක් ද තිබුණා. ඉන්දියාව හා ලංකාව අතර මේ කාලය වන විට නාවුක සබඳතා පැවතියේ ලන්දේසින් හරහායි.
මහා රාවණා කොරල්පරයේ මුහුදුබත් වූ නැව, ලංකාවට ආ ගිය නැවක් ද? නැතහොත් දුපත වටා යාත‍්‍රා කරමින් ඉන්දියාවේ සිට පැමිණි හෝ නික්ම ගිය නැවක්ද? මේ ප‍්‍රශ්නය අපේ සාගර ගවේෂකයෝ මතු කළා.
තමන් මුහුදුපත්ලෙන් සොයා ගත් වස්තුන්ගේ ඉතිහාසය ගවේෂණය කරන අතර රටේ නීතියට අනුකූල වන්නට ද ඔවුන් වග බලා ගත්තා. ලංකා රේගු දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකුට කාසි හා අන් වස්තූන් පෙන්වූ විට ඔහු කීවේ මේවා මුහුදෙන් රට තුළට ගෙන ඒම හරහා කිසිදු නීතියක් හෝ රෙකුලාසියක් කඩ වී නැති බවයි.

ඊලඟට ක්ලාක් හා මිතුරෝ එවකට සිටි පුරාවිද්‍යා කොමාරිස් ආචාර්ය චාල්ස් ගොඩකුඹුරට සියළු දේ ඉදිරිපත් කළා. මේවා සොයා ගත් මුහුදුපත්ලේ ප‍්‍රදේශය තව දුරටත් ගවේෂණයට අවශ්‍ය අවසරය කොමාරිස්වරයා ඔවුන්ට ලිඛිත බලපත‍්‍රයක් ලෙස ලබා දුන්නා. ‘‘හැම දෙයක්ම පොතේ හැටියට කිරීමටත්, බලධාරින් දැනුවත් කර තිබීමටත් අපට අවශ්‍ය වුණා’’ යයි ක්ලාක් තම පොත්වල පැහැදිලිව ලියා තිබෙනවා.
වඩාත් සංවිධානාත්මක කිමිදුම් ගවේෂණයකට මහා රාවණා කොරල්පරයට ආපසු යන්නට මේ මිතුරු පිරිසට තමන්ගේම බෝට්ටුවක ඕනෑකම තදින් දැනුණා. (මේ දක්වා ඔවුන් කළේ කුලියට ගත් කුඩා බෝට්ටුවක හෝ ප‍්‍රදීපාගාරයක බෝට්ටුවේ ගමන් කිරීමයි.) ඒ සඳහා ගැලපෙන බෝට්ටුවකට අඩු තරමින් අමෙරිකානු ඩොලර් දස දහසක් (10,000)වත් අවශ්‍ය වුණා. මේ මුදල හම්බකර ගැනීමේ අරමුණින් සිංහල වෘතාන්ත චිත‍්‍රපටයක් නිපදවීමට මයිකල් විල්සන් යෝජනා කළා.
දිය යට දර්ශන රැගත් මුල්ම ලාංකික වෘතාන්ත චිත‍්‍රපටය වූත්, වර්ණයෙන් මුළුමනින්ම තැනුනු පළමුවන සිංහල චිත‍්‍රපටය වූත් ‘‘රන්මුතුදුව’’ චිත‍්‍රපටය 1961-62 වකවානුවේ නිපදවනු ලැබුවේ ඒ අනුවයි. එහි කථා රචකයා, කැමරාකරුවා හා අධ්‍යක්‍ෂවරයා වූයේ මයික් විල්සන්. එයට වැය වූ වියදමෙන් කොටසක් දුන්නේ ක්ලාක්.
1962 අගෝස්තුවේ මුල් වරට මහජන ප‍්‍රදර්ශනය ඇරඹුණු රන්මුතුදුව බෙහෙවින් ජනප‍්‍රිය වුණා. එහි ආදායම් වාර්තාව වසර ගණනාවක් යන තුරු කිසිදු චිත‍්‍රපටයක් මගින් සම කෙරුණේ නැහැ. මේ ආයෝජනයෙන් ලැබුණු ලාබය නිසා තමන්ට ඕනෑ වූ බෝට්ටුව මිලට ගන්නත්, 1963දී මහා රාවණා කොරල්පරයට ආපසු යන්නත් මිතුරන්ට හැකි වුණා.

මෙවර ගවේෂණයට ඔවුන් හා එකතු වූයේ මුහුදුබත් වූ නෞකා ගවේෂණයේ විශේෂඥයකු වූ පීටර් ත්‍රොක්මෝට්න් (Peter Throckmorton, 1928-1990) තුර්කි වෙරළේ ගෙලිඩොන්යා ස්ථානයට ඔබ්බෙන් වසර 3,200කට පෙර මුහුදුබත් වූ ඉපැරණී නෞකාවක් ගවේෂණය කිරීම නිසා ඔහු ලෝක ප‍්‍රකටව සිටියා.
ඔහු විශේෂඥ මග පෙන්වීම යටතේ මෙවර මුහුදුබත් වූ නැවේ ඉතිරිව තිබූ ලී කොටස්වලින් සාම්පල් ද තවත් නටඹුන් ද ප‍්‍රවේශමින් එකතු කරනු ලැබුවා. කොරල් බැඳීම නිසා කුට්ටි බවට පත්ව තිබූ තවත් රිදී කාසි රැසක් ද හමු වුණා.
සියවස් ගණනක් මුහුද යට තිබී යළිත් මතු පිටට ගෙනෙන ලෝහමය, ලී හා වෙනත් ද්‍රව්‍ය නිසි ලෙස වහා සංරක්‍ෂණය කළ යුතුයි. නැතිනම් වාතයට නිරාවරණය වීම නිසා ඒවා ඉක්මනින් ඛාදනය වී විනාශ වනවා. මේ නිසි පියවර ගැනීමට ත්‍රොක්මෝට්න් සමත් වුණා.

එසේම සොයා ගත් සියළු වස්තුන් විස්තරාත්මකව ලයිස්තුගත කිරීම හා ඡායාරූපගත කිරීමත්, පසුව සමස්ත ගවේෂණය ගැන ශාස්ත‍්‍රීය මට්ටමේ වාර්තාවක් ලිවීමත් ත්‍රොක්මෝට්න්ගේ මූලිකත්වයෙන් සිදු වුණා.
ත්‍රොක්මෝට්න් ලංකාවෙන් පිටත්ව යන්නට පෙර කිමිදුම් කණ්ඩායම තම සොයා ගැනීම් සමග ජාතික කෞතුකාගාරයේ එවකට අධ්‍යක්‍ෂ ආචාර්ය පී. ඊ. පී. දැරණියගල හා පුරාවිද්‍යා කොමසාරිස් ආචාර්ය චාල්ස් ගොඩකුඹුර මුණ ගැසී වාචික වාර්තාවක් ද ඉදිරිපත් කළා.
‘‘අපේ අපේක්‍ෂාව මේ සොයා ගත් සමුද්‍ර පුරාවස්තු යම් දිනෙක කොළඹ කෞතුකාගාරයේ සදාකාලික ප‍්‍රදර්ශනයට තබනු ඇත කියායි. මුළු ඉන්දියානු සාගරයේම සොයා ගත් මුල්ම නිධාන නෞකාව ලෙස මෙය සුවිශේෂී තැනක් ගන්නවා’’ යයි ක්ලාක් සිය 1964 පොතේ ලියා තැබුවා.
1963 රන්මුතු බෝට්ටුවේ නැගී මහා රාවණා කොරල්පරය අවට මුහුද ගවේෂණය කළ පසු මේ පුරෝගාමී කිමිදුම්කරුවන් කණ්ඩායමක් ලෙස නැවත එහි ගියේ නැහැ. මේ ගවේෂණයේ විස්තර රැගත් ක්ලාක්ගේ The Treasure of the Great Reef නම් වූ පොත 1964දී මුල්වරටත් (වැඩි ඡායාරූප සමග) 1974දී දෙවන වරටත් ඉංග‍්‍රීසියෙන් පළ වුණා.
මහා රාවණා කොරල්පරයේ මුහුදු බත් වූ නැව හමුවන අන්දම ගැන පීටර් ත්‍රොක්මෝටන් විසින් අඳින ලද සිතියම් ද එහි තිබෙනවා. මේ ඉඟි ඔස්සේ පසු කළෙක එහි කිමිදීමේ ගිය දෙස් විදෙස් කිමිදුම්කරුවෝ හැකි අන්දමින් රිදී කාසි හා වෙනත් නැවේ තිබූ කුඩා භාණ්ඩ සොයා ගොඩබිමට ගෙන ආවා.
එසේ හමු වූ සමහර රිදී කාසි තවමත් පැරණි කාසි එකතු කරන අය අතර හුවමාරු වනවා. ශ‍්‍රී ලංකා පැරණි කාසි සංගමයේ සභාපති ආචාර්ය කාවන් රත්නතුංග ද විවෘත වෙළඳපොලෙන් මෙබඳු කාසි කිහිපයක් මිලට ගෙන තිබෙනවා. කාසි ගැන ඡායාරූප හා විස්තර ඔහුගේ වෙබ් අඩවියේ බලා ගත හැකියි. http://lakdiva.com/coins/clarke/greatbasses/exhibit.html
සුරත් නගරයේ තැනූ රිදී කාසි ගැන ඉන්දියානු වාර්තා අධ්‍යයනයෙන් කාවන් කියන්නේ මහා රාවණා පරයේ මුහුදුබත් වූ නැවේ ගෙන ගිය කාසි 1702 මැයි මාසයේ පමණ තනන්නට ඇති බවයි. එසේ නම් ඒවා තනා සති කිහිපයක් තුළ යම් තැනකට යැවීමට නැව් ගත කරන්නට ඇති. නැව අනතුරට පත්ව ගිලූණේ 1702 වසරේම මැද හෝ අග යයි කාවන් අනුමාන කරනවා.
ශ‍්‍රී ලංකාවේ මුහුදු පුරා විද්‍යා ගවේෂණ ඇරැඹෙන්නේ මහා රාවණා පරයේ මුහුදුබත් වූ නැව ක්ලාක්, විල්සන් ඇතුළු කිමිදුම්කරුවන් සොයා ගැනීම සමගයි. මෙය තනිකරම පෞද්ගලික මට්ටමේ උත්සාහයක් වුවත් විශේෂඥ පීටර් ත්‍රොක්මෝටන් සම්බන්ධ කර ගැනීම හරහා ශාස්ත‍්‍රීය මට්ටමෙන් අදාල ස්ථානය සිතියම්ගත කිරීම හා ලේඛණගත කිරීම සිදු වුණා. මේ පුරෝගාමී මෙහෙවර මෙරට මුහුදු පුරා විද්‍යා ක්‍ෂෙත‍්‍රයේ දැන් නියැලී සිටින පර්යේෂකයන් සිහිපත් කරනවා. අදාල රාජ්‍ය ආයතනවල නිල වෙබ් අඩවිවල ද සඳහන් කැරෙනවා.
බිඳුණු නැව සොයා ගෙන අඩ සියවසකට පසුවත් එහි අනන්‍යතාවය තවමත් හෙළිදරව් වී නැහැ. ඉන්දියානු සාගරයේ එම වකවානුවේ සැළකිය යුතු තරමින් නැව් ගමනාගමනයක් පැවතුණා. එසේම ශ‍්‍රී ලංකා දුපත වටා අනතුරට පත්ව මුහුදුබත් වූ නැව් විශාල සංඛ්‍යාවක් තිබෙනවා. ඒ හැම එකක්ම මුහුදුපත්ලේ තිබෙන තැන සොයාගෙන ඒවායේ ඉතිහාසය තහවුරු කර ගෙන ද නැහැ. තවමත් දශක දෙක තුනකට නොවැඩි වූ ඉතිහාසයක් ඇති අපේ මුහුදු පුරාවිද්‍යා ගවේෂණවලට අනාවරණය කර ගන්නට බොහෝ දේ තිබෙනවා.
මේ මුහුදුබත්වූ නැව සොයා ගත්තේ තනිකරම මයික්ගේ තීක්‍ෂණ ඇස නිසා බව ක්ලාක් කියනවා. ‘‘දිය යට පෙනුම කොහොමටත් සීමිතයි. දිලිසෙන යමක් නෙත ගැටුණු මයික්ගේ කුතුහලය ඇවිස්සුණා. එය නොගැඹුරු මුහුදු පත්ලේ කුඩා කාලතුවක්කුවක් බව දුටු විට එතැන නැවක් ගිලී ඇති බව ඔහු සැනෙකින් වටහා ගත්තා. වැලි හා කොරල් වලින් වැසුණු ගොඩැලි කිහිපයක් පමණක් තිබූ මෙබඳු තැනක් කිමිදුම්කරුවන්ගෙන් සියයට 99ක අවධානයට ලක් වන්නේ නැහැ.’’

සමස්ත අත්දැකීම පසු කලෙක ආවර්ජනය කරමින් ක්ලාක් මෙසේ ලියුවා. ‘‘මුහුදේ කිමිදෙන බොහෝ දෙනකුට මුහුදුබත් වූ නැවක් හමුවේය යන පැතුම තිබෙනවා. ඉඳහිට කිමිදුම්කරුවකුට මෙතෙක් සොයා නොගත් එබඳු බිඳුණු නැවක් හමු වුවත් එබන්දක රන් රිදී කාසි තිබෙන්නේ කලාතුරකින්. මෙබඳු දුර්ලභ අත්දැකීමක් අපට අහම්බෙන් ලැබුණා.’’
මේ බිඳුණු නැවෙන් ගොඩගත් එක් රීදී කාසි ගොනුවක් මෙරට බලධාරින්ගෙ අනුදැනුම හා අවසරය ඇතිව 1960 ගණන්වලදී ක්ලාක් විසින් අමෙරිකානු ස්මිත්සෝනියන් කෞතුකාගරයට පරිත්‍යාග කරනු ලැබුවා. එය කලක් එහි මහජන ප‍්‍රදර්ශනයට තැබුණු අතර දැන් සුරක්‍ෂිතව ගබඩා කර තිබෙනවා. පර්යේෂකයන්ට නිරික්සිය හැකි පරිදි.
මේ කාසි තොගය යළි මෙරට ගෙන ආ යුතු යැයි ඇතැම් දෙනා කියතත් කාවන් රත්නතුංග අවධාරණය කරන්නේ ස්මිත්සෝනියන් වැනි ආරක්‍ෂිත තැනකම එය දිගටම තිබීම වඩාත් උචිත බවයි. (කෞතුකගාරවල දැනට තියෙන අපේ වටිනා කෞතුක වස්තු පවා රැක ගන්නට බැරි පසුබිමක් තුළ මෙය සාධාරණ තර්කයක්.)
ගවේෂණයට හවුල් වූ කිමිදුම්කරුවන්ගෙන් අද (2014 නොවැම්බර්) වන විට ජීවත්ව සිටින්නේ හෙක්ටර් ඒකනායක පමණයි. රොඞ්නි ජොන්ක්ලාස් 1989දීත්, මයික් විල්සන් 1996දීත්, ආතර් සී. ක්ලාක් 2008දීත් මිය ගියා. ඔවුන් එක් අයකුටවත් බිඳුනු නැවේ අනන්‍යතාවය දැන ගන්නට ලැබුණේ නැහැ.
1960 දශකයට වඩා මේ වන විට මුහුදු පුරාවස්තු ගැන අවබෝධයක් හා ඇගයීමක් මෙරට ඇති වී තිබෙනවා. දශක ගණනාවක් තිස්සේ ගොඩබිම ගවේෂණයට පමණක් සීමාවී තිබූ අපේ පුරාවිද්‍යා පර්යේෂණ 1980 දශකයේ පටන් මුහුදු පුරාවිද්‍යාත්මක අධ්‍යයනට හා සංර්ක්‍ෂණයට ද යොමුවී තිබෙනවා. මෙය සිදු වූ හැටි වෙනම කථා කළ යුතුයි.
See also:
Ceylon and the Underwater Archaeologist. By Arthur C. Clarke May 1964 University of Pennsylvania Museum.
The Maritime Archaeology Unit (MAU), Central Cultural Fund, Sri Lanka
Sri Lanka Coastguard: What is Maritime Archaeology?
