සිවුමංසල කොලූගැටයා #222: ඉන්දියානු සාගරයේ වාර්ෂික රිද්මය – මෝසම් සුළං

Not quite singing in the rain - but welcoming it all the same!
Not quite singing in the rain – but welcoming it all the same!

Every year in May, over a billion and a half South Asians join a waiting and guessing game for the mighty rain-carrying oceanic winds, one of the great forces of nature on this planet. Few things – human or natural – evoke such anxiety and anticipation of the South Asian Summer Monsoon, also known as Southwest Monsoon.

The rains that the summer monsoon brings are literally life giving for most parts of South Asia – for drinking, farming, industry and power generation.

An ample monsoon that arrives on time boosts harvests, drives production and generates wealth across South Asia where large numbers are still engaged in farming. A delayed or failed monsoon, on the other hand, causes much concern for governments and communities. Former Finance Minister (now President) Pranab Mukherjee acknowledged this power when he described the monsoon as the country’s “real finance minister”.

The big question – and growing worry – is whether human induced climate change is affecting the Indian Ocean monsoons…and how.

In this week’s Ravaya column (published on 7 June 2015) I explore our close historical and cultural nexus with the Monsoon.

Southwest Monsoon paths and average start dates
Southwest Monsoon paths and average start dates

සොබාදහම් රටාවක් ලෙස නිරිතදිග මෝසම් සුළං (Monsoons) ගෙන එන වැසි ඇරඹෙන්නේ හැම වසරකම මැයි අගදී හෝ ජුනි මුලදී. අප රට තෙත් කලාපයට හා අතරමැදි කලාපයට වැඩිපුරම වර්ෂාපතනය ලැබෙන්නේ මැයි සිට සැප්තැම්බර් දක්වා හමන මේ මෝසම් සුළං හරහායි.

වැසි ගෙනෙන මේ සුළං අපට පමණක් නොවෙයි, සමස්ත දකුණු ආසියාවේ සිටින බිලියන එක හමාරක පමණ ජනයාට බෙහෙවින් වැදගත්.

මෝසම් කියන වචනය බිඳී ඇත්තේ මොසිම් (Mausim) නමැති අරාබි වචනයෙන්. එහි තේරුම නිසි කලට හමන සුළං යන්නයි.

මෝසම් සුළං ලෝකයේ සාගර ආශ‍්‍රිතව සිදුවනවා. උතුරු ඕස්ටේ‍්‍රලියාවට, අප‍්‍රිකාවේ ඇතැම් පෙදෙස් හා දකුණු ඇමරිකාවේ සමහර රටවලට මෝසම් සුළං වැසි ගෙන එනවා.

එහෙත් මෝසම් වඩාත්ම ප‍්‍රබලව බලපාන්නේ දකුණු ආසියාවටයි. එනම් ඉන්දියානු අර්ධද්වීපය හා අවට රටවලටයි. හේතුව එක් පසෙකින් අරාබි මුහුදත් අනෙක් පසින් බෙංගාල බොක්කත් පිහිටීම.

වසරේ මාස හයක් ඉන්දියානු සාගරයේ සුළං නිරිතදිග සිට ඊසාන දිගට හමනවා. ඉතිරි මාස හයේදී සුළං හමන දිශාව ප‍්‍රතිවිරුද්ධ ලෙසට මාරු වනවා. මේ නිසා හැම වසරකම මෝසම් සුළං දෙකක් හට ගත්තත්, වඩාත් වැසි රැගෙන එන්නේ නිරිතදිග මෝසම් ලෙස හඳුන්වන, වසරේ මැද මාසවල සිදු වන සුළං හැමීමයි.

මෙයට තුඩු දෙන ස්වාභාවික සිද්ධි දාමයක් තිබෙනවා. සරලව කිවහොත් උතුරු අර්ධගෝල වසන්තයත් සමග අපේ‍්‍රල් මස සිට උතුරු ඉන්දියාවේ හා හිමාලය ප‍්‍රදේශයේ භූමිය උණුසුමෙන් වැඩි වන්නට පටන් ගන්නවා. එමගින් වායුගෝලයේ අඩු පීඩනයක් ඇති කරනවා. එයට දකුණින් සමකය අවට ඉන්දියානු සාගරයට ඉහළින් වාතය ඊට වඩා සිසිල්. ඒ ප‍්‍රදේශවල වායු පීඩනය වැඩියි.

මේ පීඩන වෙනස නිසා සාගර ප‍්‍රදේශවල සිට භූමි ප‍්‍රදේශ වෙතට සුළං හමන්නට පටන් ගන්නවාග ඒ සුළං සමග සාගරයෙන් උකහා ගත් තෙතමනය සහිත ජලවාෂ්ප ද ඇදී එනවා. මැයි මස අගදී මාලදිවයින හා ශ‍්‍රී ලංකාවට ළඟා වන නිරිතදිග මෝසම් සුළං ජුනි මුලදී දකුණු ඉන්දියාවේ කේරළය හා තමිල්නාඩුව දෙසින් ඉන්දියාවට පිවිසෙනවා. ඉනික්බිති සති කිහිපයක් මුළුල්ලේ මෝසම් සුළං පෙරමුණ ටිකෙන් ටික උතුරට ගමන් කරනවා. උතුරු ඉන්දියානු ප‍්‍රාන්ත හා නේපාලය, භූතානය යන රටවලට වැසි ලැබීම ඇරඹෙන්නේ ජුනි අග පමණ වන විටයි.

දකුණු ආසියාවේ අප සැමට පානයට, ගෙදරදොර භාවිතයට, ගොවිතැනට, විදුලිබල ජනනයට හා වෙනත් කර්මාන්තවලට වැසි ජලය ගෙනැවිත් දෙන මෝසම් සුළං අපේ පණ නල ගැට ගසන ජීව ප‍්‍රවාහය යයි කීම නිවැරදියි.

ඉන්දියානු පරිසරවේදී හා පත‍්‍ර කලාවේදී අනිල් අගර්වාල් (1947-2002) වරක් මෙසේ කීවා. ‘‘මෝසම් සුළං හා වැසි අපට පෙන්වා දෙන්නේ සොබාදහම කෙතරම් සියුම් ලෙසින් ක‍්‍රියා කරනවාද යන්නයි. ජල වාෂ්ප ටොන් මිලියන් 40,000ක් සාගරවලට ඉහළින් සැතපුම් දහස් ගණනක් දුර සුළං මගින් රැගෙන විත් එය විශාල භූමි ප‍්‍රදේශයක් මත වර්ෂාව ලෙස ක‍්‍රමානුකූලව පතිත කරන්නට තුඩු දෙන්නේ උෂ්ණත්වයේ කුඩා වෙනසක් පමණයි. මේ සංකීර්ණ වූත් සියුම් වූත් සොබාදහම් පද්ධති අප හරිහැටි තේරුම් නොගැනීම බොහෝ පාරිසරික අර්බුදවලට මුල් වනවා.’’

ලෝකයේ ඇතැම් රටවලට ජල ප‍්‍රභව ලෙස (වර්ෂාවට අමතරව) ග්ලැසියර හා හිම පතිත වූ කඳු ආදිය ද තිබෙනවා. ඉන්දියාව, පාකිස්ථානය, නේපාලය හා භූතානය එයට උදාහරණ. එහෙත් ශ‍්‍රී ලංකාවට එබඳු ජල සංචිත නැහැ. අපේ දිවයින මතුපිට ගලා යන මෙන්ම භූගත ජලය ලෙස කිඳා බැස ඇත්තේ ද වර්ෂාවෙන් ලැබෙන ජලයයි.

අපට වර්ෂාව ලැබෙන ප‍්‍රධානතම ක‍්‍රමය නම් නිරිතදිග හා ඊසානදිග මෝසම් සුළං. කිලෝමීටර් දහස් ගණනක් පුරා ඉන්දියානු සාගරයට ඉහළින් හමා එන මේ සුළං දේශීය නොව විදේශීය සම්භවයක් සහිත ඒවායි. මේවාට සාපේක්ෂව අන්තර්-මෝසම් කාලවලට හට ගන්නා සංවහන වර්ෂා (Convectional rainfall) හරහා ලැබෙන වර්ෂාපතනය සීමිතයි.

විදේශීය බලවේග අපේ දිවයිනට බලපෑම් කරනවා යයි කෑ මොර දෙන කුමන්ත‍්‍රණවාදීන් නොදන්නා හෝ නොදකින යථාර්ථය මෙයයි. ඉතිහාසය පුරා අපේ රටේ භූමිය, තුරුලතා හා ජනජීවිතයට ප‍්‍රබලතම බලපෑමක් කළ හා කරන ‘විදෙස් බලවේගය’ නම් මෝසම් සුළං දෙකයි.

ඉන්දියානු සාගරයේ වෙළෙඳාම, දේශ ගවේශනය, නාවුක යුද්ධ චාරිකා ආදී විවිධ මානව ක‍්‍රියාකාරකම්වලට මෝසම් සුළං හමන කාල රටාව හා දිශාවන් ඍජුවම බලපෑම් කළා.

Empires of the Monsoon by Richard Hall
Empires of the Monsoon by Richard Hall

2008දී ප‍්‍රකාශිත ඓතිහාසික පාරිසරික විද්‍යා පර්යේෂණයකට අනුව පුරාණ චීනයේ දිගු කලක් පැවති රාජ වංශයන් හා රාජධානි අඩපණ වී බිඳ වැටීමට එක දිගට දුර්වල මෝසම් වැසි ලැබීම හේතු වූවා යයි අනුමාන කැරෙනවා. (ඓතිහාසික වර්ෂාපතනයේ අඩු-වැඞී වීම හිරිටැඹ stalagmite රසායනික විශ්ලේෂණයෙන් සොයාගත හැකියි.) වැසි අඩු වසරවල සහල් ඵලදාව අඩුවීම නිසා සාගතයක් ඇතිවීමත්, ඒ හරහා රජුන්ගේ බල පරාක‍්‍රමය හීන වී යාමත් යළි යළිත් සිදුව තිබෙනවා.

මෝසම් වර්ෂා ලේඛකයන් කුතුහලයටත් මවිතයටත් පත් කළා. රවීන්ද්‍රනාත් තාගෝර්ගේ සිට රුඞ්යාඞ් කිප්ලිං දක්වා පෙර අපර දෙදිග ලේඛකයන් රැසක් මෝසම් නම් මහා ප‍්‍රපංචයෙන් ප‍්‍රබෝධක ආවේගය ලබා ගෙන තිබෙනවා.

ඉන්දියානු සාගරයේ ඉතිහාසය (Empires of the Monsoon: A History of the Indian Ocean and Its Invaders) නම් ගවේශනාත්මක කෘතිය 1991දී ලියූ බි‍්‍රතාන්‍ය පත‍්‍ර කලාවේදී හා ඉතිහාසඥ රිචඞ් හෝල් නියන්නේ ‘‘ඉතිහාසයේ බොහෝ කලක් පුරා

එදිනෙදා ජන ජීවිතයට වැඩි බලපෑමක් එල්ල කළේ රාජ්‍ය පාලකයන් නොව සොබාදහමේ රිද්මයයි. ඉන්දියානු සාගරය අවට ජනයාගේ ජීවිත රාජ – ආධිරාජයන්ට වඩා මෝසම් වැසි රටාවලින් පාලනය කැරුණා.’’

Monsoon by Robert D Kaplan
Monsoon by Robert D Kaplan

වඩා මෑතකදී ඉන්දියන් සාගරය හා ඇමරිකානු බල පරාක‍්‍රමය ගැන ‘මෝසම්’ (Monsoon: The Indian Ocean and the Future of American Power, 2010) නමින් පොතක් ලියූ ඇමරිකානු ලේඛක රොබට් ඞී. කප්ලාන් මෝසම් වර්ෂා හැඳින් වූයේ සොබාදහමේ බලපරාක‍්‍රමය සියුම්ව එහෙත් නොවරදින ලෙස ප‍්‍රකාශ වීමක් ලෙසයි. පරිසරයත් සමග තව දුරටත් අනුගත නොවී ජනාකීර්ණ හා අසමතුලිත සමාජයන් ගොඩ නගන ඉන්දියානු සාගර රටවල ජනයා ලොකු අවදානමකට මුහුණ දෙන බව ඔහු කියනවා.

1987දී ඕස්ටේ‍්‍රලියානු ජාතික දේශාටන ලේඛක ඇලෙක්සැන්ඩර් ෆ්‍රෙටර් (Alexander Frater) නිරිතදිග මෝසම ඉන්දියාව හරහා උතුරට ඇදෙන විට ඒ සමග ගොඩබිමින් ගමන් කළා. කේරල වෙරළින් පටන්ගෙන කොඩින්, ගෝව, බෝම්බාය, කල්කටාව හරහා ඔහු ගිය සංචාරය හමාර වූයේ ලෝකයේ වැඩිපුරම වර්ෂාපතනය ලබන ස්ථානය යයි පිළිගැනෙන මෙගාලය ප‍්‍රාන්තයේ චෙරාපුංජි (Cherrapunji) නගරයෙන්.

Chasing the Monsoon by Alexander Frater
Chasing the Monsoon by Alexander Frater

ජනගහනයෙන් ලොව දෙවන විශාලතම රටේ ජනජීවිතය, දේශපාලනය, ආර්ථිකය හා ඉතිහාසය සමග මෝසම් සුළං හා වර්ෂා සබැඳී ඇති සැටි කතාන්දරයක් මෙන් ඔහු විස්තර කරනවා (Chasing the Monsoon, 1990).

නිසි කලට නිසි පමණට මෝසම් සුළං ලැබෙන වසරක ගොවිබිම් සාර වී, අස්වනු වැඩි වී කෘෂි ආර්ථිකයන් ප‍්‍රාණවත් වනවා. එසේම වඩා ලාබදායක ලෙස විදුලිය ජනනය කර ගත හැකි ජල විදුලි ජලාශ පිරී යාම නිසා තාප බලාගාර මත යැපීම සීමා කර ගත හැකි වනවා.

පමා වී පැමිණෙන හෝ දුර්වලව ලැබෙන හෝ මෝසම් වැසි දකුණු ආසියාවේ රජයන්ට හා ජනයාට ගැටලූ රැසක් ඇති කරනවා. ආහාර හිඟයන්, ගොවි ණය අර්බුදයන්, නාගරික ජල හිඟයන් හා විදුලි ජනන වියදම් අධික වීම ආදිය මතුවනවා.

මෙකී සියල්ල සැලකිල්ලට ගත් ඉන්දියාවේ හිටපු මුදල් අමාත්‍ය (හා වත්මන් ජනාධිපති) ප‍්‍රනාබ් මුඛර්ජී වරක් කීවේ ‘ඉන්දියාවේ සැබෑ මුදල් අමාත්‍යවරයා වන්නේ මෝසම් සුළං හා වර්ෂායි’ කියායි. කොතරම් අපූරු හැඳින්වීමක්ද?

මෝසම් සුළං හා වර්ෂා යනු හුදෙක් ස්වාභාවික සංසිද්ධියක් හා ආර්ථික වශයෙන් වැදගත් සාධකයක් පමණක් නෙවෙයි. සමශීතෝෂ්ණ රටවල මෙන් පැහැදිලි ඍතු භේදයක් නොමැති ඝර්ම කලාපීය අපේ වැනි රටවල ජන ජීවිතයට වාර්ෂිකව හුරුපුරුදුු රිද්මයක් ලබා දෙන්නේ නිරිතදිග හා ඊසානදිග මෝසම් වැසි කාලයන්.

මානව ජනාවාස ඇති වන්නටත් පෙර පටන් දකුණු ආසියාවට රිද්මයක් හා ජවයක් සැපයූ මෝසම් සුළං හා වර්ෂා රටා දැන් සිදු වෙමින් පවතින දේශගුණ විපර්යාසයත් සමග කෙසේ වෙනස් විය හැකිද? මෙය බොහෝ කාලගුණ හා දේශගුණ පර්යේෂකයන්ගේ දැඩි අවධානයට ලක් වූ ප‍්‍රශ්නයක්.

හැම වසරේම අපේ‍්‍රල් මාසය වන විට ඉන්දියානු කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව එළැඹෙන්නට නියමිත නිරිතදිග මෝසම් වර්ෂා ගැන පුරෝකථනයක් (annual summer Monsoon forecast) කරනවා. අපේ කලාපයේ වඩාත් දියුණු තාක්ෂණය හා ශිල්ප දැනුම ඇති කාලගුණ දෙපාර්තමේන්තුව ඇත්තේ ඉන්දියාවෙයි. මේ නිසා ඔවුන්ගේ විග‍්‍රහයන් සෙසු රටවල් හා පර්යේෂණයන්ගේ දැඩි අවධානයට ලක් වනවා.

2015 අපේ‍්‍රල් 22 වනදා නිකුත් කළ මෝසම් පුරෝකථනයට අනුව මෙරට නිරිතදිග මෝසමෙන් ලැබෙන සමස්ථ වර්ෂාපතනය දිගු කාලීන සාමාන්‍යයෙන් 93%ක් වනු ඇති. එනම් වැස්ස තරමක් අඩුයි.

ඔවුන්ගේ දත්ත විශ්ලේෂණවලට අනුව 2013දී නිරිතදිග මෝසම් වැසි අපේක්ෂි කළාටත් වඩා වැඩි වූ අතර 2014දී එය අඩු වුණා.

එල් නීනෝ (El Nino) නම් දේශගුණික සංසිද්ධිය පවතින වසරවල නිර්තදිග මෝසම් වැසි අඩු වීමේ ප‍්‍රවණතාවක් තිබෙනවා. ගිය වසරේ මෝසම් වැසි අඩු වීම ගැන කල් තබා දැන ගත් විට අස්වද්දන කුඹුරු ප‍්‍රමාණය අඩු කරන්නට යැයි අපේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ගොවීන්ට නිර්දේශ කොට තිබුණා. එහෙත් එය නොතකා හැරි නිසා යල කන්නයේ වී අස්වැන්න 25%කින් අඩු වුණා.

මෝසම් වැසි ගැන විද්‍යාත්මකව කැරෙන පුරෝකථන ගැන ගොවීන් හා කෘෂිකර්ම ක්ෂේත‍්‍රයේ තීරකයන් මීට වඩා අවධානය යොමු කළ යුතුව තිබෙනවා.

දේශගුණ විපර්යාස නිසා හට ගන්නා මෝසම් වැසි විසමතා අපට වළක්වා ගන්නට බැහැ. එහෙත් උපක‍්‍රමශීලී ලෙසින් ගොවිතැන් අනුවර්තනය කළ හැකියි. එයට ක‍්‍රමවේදයන් විද්‍යාඥයන් යෝජනා කළ විට ඒවා ගොවීන්ට හා ප‍්‍රතිපත්ති සම්පාදකයන්ට ඉක්මනින් හා තේරෙන බසින් සන්නිවේදනය වීම වැදගත්.

Indian Ocean is South Asian Monsoon's vast playground
Indian Ocean is South Asian Monsoon’s vast playground

ඝර්ම කලාපීය කාලගුණ විද්‍යා අධ්‍යයන ආයතනය නම් ඉන්දියානු පර්යේෂණායතනය කේන්ද්‍ර කර ගෙන දැවැන්ත මෝසම් පර්යේෂණ ව්‍යායාමයක් 2012දී ඉන්දීය රජය දියත් කළා (National Monsoon Mission). දකුනු ආසියාවේත්, එයින් පිටතත් සිටින පර්යේෂකයන් හා පර්යේෂණායතන හවුල් කර ගෙන ඉන්දියානු සාගරයේ මෝසම් සුළං හා වර්ෂා ගැන දැනුම හා අවබෝධය වැඩි කර ගැනීම එහි අරමුණයි.

ඉන්දියානුවන් පමණක් නොවෙයි, ඉන්දියානු සාගර රාජ්‍යයන් බොහොමයක වැසියන් මෝසම් වෘත්තාන්තයේ කොටස්කරුවන්. අපට මතුපිටින් නොතේරෙන මානයක මෝසම් රිද්මයක් අප ජීවිත තුළ ගැබ් වී තිබෙනවාග මෙය වරෙක ඉංග‍්‍රීසියෙන් මේ ගැන ලියූ ලිපියක මා කැටි කළේ: ‘අප සැවොම මෝසම් දරුවෝ’ (“We are all Children of the Monsoon”).

 

සිවුමංසල කොලූගැටයා #218: භූමිකම්පා, අනුකම්පා සහ මෝඩකම්පා

_82566881_nepal_earthquake_624

In this week’s Ravaya column (in Sinhala, published in issue of 10 May 2015), I explore the aftermath of the major earthquake that hit Nepal on 25 April 2015, causing widespread damage. I quote Nepali experts and activists on how the lack of preparedness aggravated impact, and the challenge of recovery that now faces Nepali society.

I quote my journalist and activist friend Kanak Mani Dixit, who wrote on May 1: “There’s nothing to do but to try to convert the Great Nepal Earthquake of 2015 into an opportunity to transform the conduct of politics and in the process lift up Nepal at least from the status of a ‘least developed nation’ to that of a ‘developing nation’. For a beginning to be made in that direction, the polity must be jolted out of its stu­por. Only then can the advantages Nepal has—of nature, history and demography—be fully realised.”

I also comment on outrageous claim by some religious nuts who make a bizarre claim that Nepal’s earthquake was “karmic justice” for the sacrifice of some 5,000 buffaloes for a religious festival held last year. I paraphrase in Sinhala these words by young Lankan blogger Yudhanjaya Wijeratne.

After the Nepal Earthquake on 25 April 2015
After the Nepal Earthquake on 25 April 2015

2015 අපේ‍්‍රල් 25 වැනිදා මධ්‍යහනයේ සිදු වූ ප‍්‍රබල භූමිකම්පාවකින් නේපාලයේ බරපතල ආපදාවක් සිදු කළා. කම්පන මාපකයේ 7.8ක් ලෙස ගණනය කළ භූමිකම්පාවේ කේන්ද්‍රය වූයේ නේපාල අගනුවර කත්මණ්ඩු සිට කි.මී. 80ක් පමණ ඊසාන දිගින්.

එම භූමිකම්පාවෙන් හා ඉනික්බිති හට ගත් පසුකම්පා (aftershocks) රැසක් නිසා නේපාලය පුරා බෙහෙවින් ජීවිත හානි හා දේපළ හානි සිදු වූවා. එතරම්ම දරුණු නොවූවත් අසල්වැසි උතුරු ඉන්දියාවේ, බංග්ලාදේශයේ, භූතානයේ හා චීනයේ ටිබෙට් ප‍්‍රාන්තයේ ද මේ කම්පා බලපෑම තිබුණා.

භූමිකම්පා යනු මුළුමනින් ස්වාභාවික සිදුවීමක්. භූමිකම්පා හට ගැනීමට හේතුව පෘථිවි අභ්‍යන්තරයේ නිරන්තරයෙන් සිදු වන විපර්යාස බව විද්‍යාඥයන් කියනවාග භූවිද්‍යාත්මක තැටිවල (tectonic plate) මායිමේ භූ චලන ඇති වන බවත් දන්නා කරුණක්.

භූ විද්‍යාත්මකව සලකන විට හිමාලය කඳුවැටිය ලෝකයේ වයසින් අඩුම කඳුවැටියක්. එය බිහි වූයේ මීට අවුරුදු මිලියන 50කට පමණ පෙර ඉන්දියාව හා ලංකා දුපත රැගත් ඉන්දු භූ විද්‍යා තැටිය (Indian tectonic plate) උතුරු දෙසට ටිකෙන් ටික ඇදී ගොස් සෙසු ආසියාව හා යුරෝපය පවතින යුරේසියානු භූ තැටිය (Eurasian Plate) සමග ගැටීම නිසයි.

මේ මහා භූ තැටි දෙක එකිනෙක තෙරපීම නිසා කාලයාගේ ඇවෑමෙන් හිමාල කඳුවැටිය ඉහළට මතුවී ආවා. එය දැන් තරමක් සන්සුන්ව ඇතත් පොළොව යටින් තවමත් මේ තැටි දෙකේ නොනිමෙන ගැටීමක් පවතිනවා. වසරකට මිලීමීටර් 67ක් පමණ ඉන්දියානු තැටිය තවත් ටිබෙට් සානුව තුළට කිඳා බසිනවා. මෙය ඉතා කෙටි දුරක් වුවත් දැවැන්ත භූමි සමුදායක් මෙසේ තෙරපෙන විට අධික පීඩනයක් හට ගන්නවා. වසරක් පාසා ගොඩ නැගෙන මේ පීඩනය දශක කිහිපයකට වරක් එක්වරම නිදහස් වනවා. උතුරු ඉන්දියාවේ භූමිකම්පා සිදු වන්නේ එවිටයි.

භූමිකම්පා කවදා කොතැනක් කේන්ද්‍ර කර ගෙන සිදුවේදැ’යි කිසිදු භූ විද්‍යාඥයකුට හෝ වෙනත් කිසිදු පිළිගත් ශාස්ත‍්‍රයකට කල් තබා කියන්නට බැහැ.

අපේ‍්‍රල් 25 භූමිකම්පාව නොසිතූ මොහොතක සිදු වුවත් එය අපේක්ෂිත වූවක්. ගෙවී ගිය වසර 100 තුළ නේපාලයේ ප‍්‍රබල භූමිකම්පා 4ක් සිදුව තිබෙනවා. 1934 ජනවාරි 15 වැනිදා මෙයටත් වඩා ප‍්‍රබල (කම්පන මානයේ 8.0ක් සටහන් කළ) භූමිකම්පාවක් සිදු වුණා. උතුරු ඉන්දියාවටද සැරෙන් දැනුණු එයින් ජනයා 16,000ක් පමණ මිය ගොස් බරපතළ දේපළ හානි කළා.

ප‍්‍රබල භූමිකම්පාවක් සිදුවීමට නියමිත බව නම් නේපාල වැසියෝ වසර ගණනාවක සිට දැන සිටියා. ආසන්න වශයෙන් වසර 50-60කට වරක් මේ ප‍්‍රදේශවල ප‍්‍රබල භූමිකම්පාවක් සිදු වන බවට ඓතිහාසික වාර්තා අනුව අනුමාන කළ හැකි වුණා. එයට මුහුණදීමේ සූදානමක් වසර 20ක පමණ පෙර පටන් නේපාල විද්‍යාඥයන් හා සිවිල් සමාජ ක‍්‍රියාකාරිකයන් ඇරඹුවා.

ඒ අනුව අලූතෙන් ඉදි කරන ගොඩනැගිලිවල සැකිල්ල යම් පමණක භූචලනයන්ට ඔරොත්තු දිය හැකි අන්දමේ අමතර සවියක් හා උපක‍්‍රම යෙදීම ප‍්‍රවර්ධනය කළා. (ජපානය වැනි භූමිකම්පා නිතර සිදුවන රටවල සියලූ ගොඩනැගිලි තනන්නේ මෙලෙසයි.) දැනට පවතින ගොඩනැගිලි යම් පිරිද්දීම් හා උපක‍්‍රම මගින් සවිමත් කරනු ලැබුවා (retro-fitting). විශේෂයෙන් ජනයා එක් රැස්වන පාසල්, රෝහල් හා කාර්යාල වැනි ස්ථාන.

මීට අමතරව භූමිකම්පාවක් හට ගන්නා මොහොතේදී එසැණින් ගතයුතු පියවර මොනවාදැ’යි එරට වැසියන් හැකිතාක් දැනුවත් කෙරුණා.

මේ සියල්ල කළේ රාජ්‍ය නොවන සංවිධාන හා විද්වතුන්. දේශපාලන කඹ ඇදීම්වල වසර ගණනක් ඇලී ගැලී සිටින එරට දේශපාලකයන් හෝ රාජ්‍ය නිලධාරීන් මේ තරම් මහජන ආරක්ෂාවට වැදගත් කරුණක් ගැන ඇති තරම් අවධානය යොමු කළේ නැහැ. කොටින්ම කිවහොත් වසර 5කට පෙර කෙටුම්පත් කරන ලද ආපදා කළමනාකරණ පනත තවම සම්මත කරන්නවත් එරට පාර්ලිමේන්තුව උනන්දු වී නැහැ.

SciDev.Net 26 April 2015: Nepal caught unprepared for disasters

Volunteers help remove debris of a building that collapsed at Durbar Square, after an earthquake in Kathmandu, Nepal, Saturday, April 25, 2015. A strong magnitude-7.9 earthquake shook Nepal's capital and the densely populated Kathmandu Valley before noon Saturday, causing extensive damage with toppled walls and collapsed buildings, officials said. (AP Photo/ Niranjan Shrestha)
Volunteers help remove debris of a building that collapsed at Durbar Square, after an earthquake in Kathmandu, Nepal, Saturday, April 25, 2015. A strong magnitude-7.9 earthquake shook Nepal’s capital and the densely populated Kathmandu Valley before noon Saturday, causing extensive damage with toppled walls and collapsed buildings, officials said. (AP Photo/ Niranjan Shrestha)

දියුණු රටක් වන ජපානයේ කලක සිට අනුගමනය කරන සමහර ආරක්ෂණ පියවර, ආසියාවේ ඉතා දුප්පත් රටක් වන නේපාලයට ගැළපෙන පරිදි හැඩගසා ගන්නටද සමාජ ක‍්‍රියාකාරිකයෝ පියවර ගත්තා. උදාහරණයකට ගෙල වටා මාලයක් මෙන් නිරතුරුව විසල් එකක් පැළඳීම. (විසල් එක පැළඳ සිටියහොත් කඩා වැටුණු ගොඩනැගිලි සුන්බුන් අතර තමා කොටු වූ විට බේරා ගන්නට එන අයට යම් ඉඟියක් දිය හැකියි.) නේපාල භූමිකම්පා තාක්ෂණ සංගමය (Nepal Society for Earthquake Technology) නම් රාජ්‍ය නොවන සංවිධානය 1990 ගණන්වල සිට මෙබඳු උපදෙස් එරට ජනයාට දෙනවා.

නේපාල වැසියන්ට සිදු වුණේ තමාගේ ආරක්ෂාව තමන්ම සලසා ගන්නට සිදු වීමයි. එහෙත් අකාර්යක්ෂම, නිසි සම්බන්ධීකරණයකින් තොර වූ එරට රාජ්‍ය අංශයට මේ මහා ආපදාවට හරිහැටි ප‍්‍රතිචාර දැක්විය නොහැකි වුණා.

දේශපාලකයන් තුෂ්නිම්භූත වී ගිය බවත්, නිලධාරීන් කරකියා ගන්නට කිසිවක් නැතිව අසරණ වූ බවත් මගේ නේපාල මිතුරන් සමාජ මාධ්‍යවල වාර්තා කළා. මේ ජාතික හිදැස පිරවීමට ස්වේච්ඡුාවෙන් හා කැපවීමෙන් පෙරට ආවේ එරට වෘත්තිකයන් (විශේෂයෙන් වෛද්‍යවරුන් හා ඉංජිනේරුවන්) හා ප‍්‍රබල ලෙස පවතින රාජ්‍ය නොවන සංවිධානයි.

දේශපාලන අස්ථාවර බව නිසා නේපාලයේ පළාත් පාලන ආයතන සඳහා වසර 12කට වැඩි කලක් මැතිවරණ පවත්වා නැහැ. මේ නිසා ප‍්‍රාදේශීය මට්ටමින් ක‍්‍රියාත්මක විය හැකිව තිබූ යාන්ත‍්‍රණයද අකර්මණ්‍ය වෙලා.

නේපාලයේ යහපාලනය හා ජනතා පෙළගැස්ම ගැන සක‍්‍රියව මැදිහත් වී සිටින මා මිත‍්‍ර පත‍්‍ර කතුවර කනක් මානි ඩික්සිත් මේ තත්ත්වය මෙසේ විග‍්‍රහ කරනවා.

‘‘විටින් විට හට ගන්නා සොබාවික ආපදාවලට අමතරව නේපාලයට සදාකාලිකව උරුම වී තිබෙන මිනිසා අතින් බිහි වූ ආපදාවක් තිබෙනවා. ඒ තමයි අපේ ආත්මාර්ථකාමී හා අදක්ෂ දේශපාලකයෝ. භූමිකම්පා උවදුර ගැන විද්වතුන් හා සිවිල් සංවිධාන කෙතරම් කීවත් එය නොතකා ඔවුන්ගේම දුෂණ, වංචා හා අඩදබර කරමින් සිටි දේශපාලකයන් පාලක පක්ෂ විපක්ෂ දෙකේම බහුතරයයි. රටම අසරණ වූ මේ අවස්ථවේවත් දේශපාලකයන් නායකත්වය දෙන්නට පෙරට එන්නේ නැහැ.

‘‘ජනතාවට දැන් මේ රොත්තම එපා වෙලා. විදෙස් රටවල ද උදව් ඇතිව හැකි පමණින් අපටම තමයි මේ ආපදාවෙන් පසු යළි හිස ඔසවන්නට සිදුව ඇත්තේ. දේශපාලකයන්ට හා නිලධාරීන්ට අප කියන්නේ මෙයයි; අඩුතරමින් අප අපටම සහන සලසා ගන්නා විට එයට බාධා නොකර පසෙකට වී සිටින්න. හැකි නම් පමණක් නිසි නායකත්වය පමා වී හෝ ලබා දෙන්න!’’

Outlook magazine, 1 May 2015: Alarms For The Sirsastas: It will be good if Nepal’s lazy, grasping politicians wake up by Kanak Mani Dixit

Earthquakes don't kill; poorly constructed buildings do
Earthquakes don’t kill; poorly constructed buildings do

නේපාලය මුහුණ දෙන තවත් ලොකු අභියෝගයක් කනක් පෙන්වා දෙනවා. එනම් රටේ ජනගහනයෙන් 10%කටත් වැඩි පිරිසක් (මිලියන් 2.2ක් පමණ) මැදපෙරදිග, ඉන්දියාවේ හෝ මැලේසියාවේ ශ‍්‍රමිකයන් ලෙස සේවය කිරීමයි. එරටින් පිටරට යන බහුතරය පිරිමි නිසා බොහෝ ප‍්‍රදේශවල තරුණ වියේ පිරිමින් ඉතා අඩුයි. සුන්බුන් ඉවත් කිරීම වැනි දෙයට අසල්වැසි රටවලින් පැමිණි හමුදා හා අනෙක් ස්වේච්ඡුා සිවිල් ක‍්‍රියාකාරිකයන්ගේ උදව් ඕනෑ වී තිබෙනවා.

බොහෝ දුක් කරදර මැද එදිනෙදා ජීවිතය ගෙවන සාමාන්‍ය නේපාල වැසියන් මේ ආපදාව නිසා වඩාත් පීඩිතව සිටියත්, ඔවුන්ගේ දරා ගැනීමේ හැකියාව ඉතා ඉහළයි. මේ නිසා (දින කිහිපයක් ශෝක වීමෙන් පසු) යළි ඉදි කිරීම හා ජීවනෝපායන් යළි ගොඩනගා ගැනීම ගැන දැන් ඔවුන් ක‍්‍රියාත්මක වනවා. විදේශවලින් උදව්වට ආ අය මේ ප‍්‍රත්‍යස්ථතාව (resilience) ගැන මවිත වෙනවා.

නේපාලයේ මේ දිරිය මිනිසුන් හා ගැහැනුන් ඛේදවාචකයකින් පසු යළි නැගී සිටීමට වෙර දරන විට අපේ රටේ සමහරුන් කරන්නේ කුමක්ද? මේ අහිංසකයන්ගේ විපත ගැන අනුකම්පා වනු හෝ හැකි පමණින් උපකාර කරනු වෙනුවට අවිද්යාත්මක තර්ක මතු කරමින් කාලකණ්ණි වින්දනයක් ලැබීමයි.

ඇතැම් දෙනා මේ විපතින් තම පටු තර්ක සනාථ කරන්නට තැත් කරනු අප පසුගිය දිනවල දුටුවා. හින්දු ආගමික සම්ප්‍රදායකට සතුන් රැසක් බිලි දුන් පූජා කළ නිසා මහා භූමිකම්පාව කර්ම විපාකයක්ලු! මේ තර්කය මොහොතකට පිලිගතහොත්, අපේ ජනයා 40,000ක් පැය කිහිපයක් තුළ මරණයට පත් කළ 2004 සුනාමිය කිනම් මහා “පාපයක” විපාකයද?

සමහර පරිසරවේදීන් කියන්නේ මිහිතලය නේපාලයට දඩුවම් කළාලු. මෙහි සම්පූර්ණ අවිද්‍යාත්මක තර්කය එක සැනන් බැහැර කළ හැකියි.

පෘථිවිය සක‍්‍රිය ග‍්‍රහලෝකයක් ලෙස එහි අභ්‍යන්තරයේ භූවිද්‍යාත්මක ක‍්‍රියාදාමයන් නිරතුරුව සිදු වනවා. මානවයන් මිහිපිට බිහි වන්නට බොහෝ කලකට පෙරත් භූමිකම්පා සිදු වුණා. අනාගතයේ යම් දිනෙක මානවයන් මිහිපිටින් තුරන් වී ගිය පසුද මේ සක‍්‍රියත්වය පවතිනු ඇති. ඒ නිසා මේ ආකාරයේ ආපදා කිසිසේත්ම මානව ක‍්‍රියාදාමය සමග පටලවා නොගත යුතුයි. භූමිකම්පා හා ගිනි කඳු විදාරණය යනු මිහිතලය අපට දඬුවම්දීමක් නොවෙයි.

2013 ජූනි 2දා මා ලියූ පරිදි: “අප කෙතරම් ආදරයෙන්, භක්තියෙන් හා ගෞරවයෙන් මිහිතලයට සැළකුවත් එහි භෞතික රියාකාරිත්වය නිසා විටින් විට අපට ස්වාභාවික ආපදා හා වෙනත් උවදුරුවලට මුහුණ දීමට සිදු වනවා. අප මිහිතලය රැක ගත හොත් එය අපව රැක ගනීවි යන්න විද්යාත්මකව නිවැරදි දැක්මක් නොවෙයි.

2 June 2013: සිවුමංසල කොලූගැටයා #120: මිහිතල මෑණියෝ ද? මිහිතල අම්මණ්ඩි ද?

මේ සියල්ල පසෙක තබමුග අසල් වැසියකුට දුකක් කරදරයක් වූ විටෙක එය තම පිලේ ර්‍ණවැඩි උතුම් බව” පෙන්වන තර්කයක් බවට පෙරළා ගැනීම කෙතරම් පහත් ක්‍රියාවක්ද?

මේ ගැන හොඳ විචාරයක් බ්ලොග් ලේඛක යුධන්ජය විජේරත්න ඉංග‍්‍රීසියෙන් ලියා තිබෙනවා. ඔහුගේ පණිවුඩය සැකෙවින් මෙයයි:

‘‘නේපාලයේ මිය ගිය දහස් ගණනක් ජනයා ගැන අනුකම්පා උපදවා ගන්නට බැරි නම් නිහඬව සිටින්න. මහා ඛේදවාචකයක් වැරදි ලෙස විග‍්‍රහ කොට එය කර්ම විපාකයක්යැ’යි උද්දාමයට පත් නොවන්න. භූමිකම්පා ඇති වන්නේ කර්ම විපාකයට නොව භූ විද්‍යාත්මක තැටිවල චලනයෙන්. මීහරකුන්ගේ මරණයන් හා මේ ස්වාභාවික ප‍්‍රවාහයන් අතර හේතු-ඵල සම්බන්ධයක් ඔබ යන්තමින් හෝ පිළිගන්නවා නම් අපෙ විද්‍යා අධ්‍යාපනය මුළුමනින්ම අසාර්ථක වී ඇති බව පැහැදිලියි.’’

See: Nepal’s Earthquake: Nature, not Karma

Illustration by Outlook magazine India
Illustration by Outlook magazine India

සිවුමංසල කොලූගැටයා #180: උඩුගුවන ජය ගන්නට පොර බදන දකුණු ආසියානු රටවල්

New opportunities for South Asian collaboration in space technologies can help reduce poverty and promote sustainable development.

Both China and India are keen to enhance links with smaller Asian countries in using satellites for communications, weather services, land use monitoring and navigation. They have also realised the value of ‘space diplomacy’, or using space related technical cooperation for strengthening foreign relations.

In this week’s Ravaya column (in Sinhala), I look at South Asian countries investing in space technologies, and discuss the prospects for a common South Asian satellite, an idea recently revived by the Indian Prime Minister.

I covered similar ground in English here:

SciDev.Net South Asia Analysis: Space diplomacy can boost development

Satellites over India

2014 ජුනි 30 වනදා චෙන්නායි නුවරට නුදුරු ශ‍්‍රී හරිකොටාහි ඉන්දියානු අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට විදෙස් චන්ද්‍රිකා උඩුගුවන් ගත කළ පසු විද්‍යාඥ පිරිස අමතා නව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි විශේෂ කථාවක් කළා. සාක් කලාපයටම පොදු චන්ද්‍රිකාවකින් පණිවුඩ සන්නිවේදනය, කාලගුණ හා භූ තත්ත්ව නිරීක්‍ෂණය වැනි බහුවිධ සේවා සැපයීම හරහා එය ඉන්දියාවෙන් අසල්වැසි රටවලට ත්‍යාගයක් බවට පත් කළ හැකි යැයි ඔහු කියා සිටියා.

පොදු සාක් චන්ද්‍රිකාවක් (SAARC Satellite)ගැන සංකල්පය මුල් වරට නිල වශයෙන් මතු වූයේ 1998දී. බංග්ලාදේහයේ ඩාකා අගනුවර රැුස් වූ සාක් සන්නිවේදන ඇමතිවරු එයට ප‍්‍රතිපත්ති මට්ටමින් එකඟ වුවා. එහෙත් 1999දී ඉන්දියාව හා පාකිස්ථානය අතර ගැටම්කාරි තත්ත්වයක් මතු වීමෙන් පසු එය ක‍්‍රියාත්මක කිරීමේ ප‍්‍රායෝගික දුෂකරතා මතු වුණා.

වසර 16කට පසු මෝඩි අගමැතිවරයා සාක් චන්ද්‍රිකාවක් යෝජනාව යළිත් මතු කරන්නේ අභ්‍යවකාශ පර්යේෂණ ගැන වඩාත්ම අත්දැකීම් බහුල හා තාක්‍ෂණික හැකියාව ඇති දකුණු ආසියානු රාජ්‍යයේ නායකයා ලෙසයි.

තමන්ගේ දිවුරුම්දීමට සියලූ සාක් රාජ්‍ය නායකයන්ට ඇරයුම් කළ මොඩි දකුණු ආසියානු කලාපීය සහයෝගීතාව නව මට්ටමකට ගෙන යාමට හැකියි. එසේම මේ දක්වා අභ්‍යවකාශ සහයෝගීතාව හරහා චීනය සෙසු ආසියානු රටවලට සමීපවීමට ප‍්‍රතිචාරයක් ලෙසද මෙය විග‍්‍රහ කළ හැකියි.

මේ දක්වා තමන්ගේ චන්ද්‍රිකා උඩුගුවන් ගත කළ දකුණු ආසියාතික (සාක් කලාපීය) රටවල් ඇත්තේ දෙකයි. එනම් ඉන්දියාව හා පාකිස්ථානයයි.

Image courtesy ISRO
Image courtesy ISRO

ඉන්දියාව අභ්‍යවකාශ පර්යේෂණායතනයක් (ISRO) ඇරැඹුවේ 1969දී. එයට මුල් වුණේ එරට අභ්‍යකාශ පුරෝගාමී ආචාර්ය වික‍්‍රම් සරභායි (Dr Vikram Sarabhai, 1919-1971). දියුණු වන රටක් ලෙස අභ්‍යවකාශ තාක්‍ෂණය දේශීය සංවර්ධනයට හා පොදුජන යහපතට යොදා ගත හැක්කේ කෙසේද යන්න ගැන පැහැදිලි දැක්මක් ඔහුට තිබුණා. එසේම නිලධාරින්ට වඩා විද්‍යාඥයන්ට හා ඉංජිනේරුවන්ට මුල් තැන දෙන ආයතනික ව්‍යූහයක් හඳුන්වා දුන්නා.

ඉන්දියාව තමන්ගේම චන්ද්‍රිකාවක් මුල්වරට කක්‍ෂගත කළේ 1975දී. භාරතයේ විසූ ශ්‍රේෂ්ඨ ගණිතඥයකුගේ නමින් ආර්යභාතා (Aryabhata) ලෙස නම් කළ එය අභ්‍යකාශ පර්යේෂණ සඳහා යොදා ගත් විද්‍යාත්මක චන්ද්‍රිකාවක් වූවා. එය උඩුගුවනට ගෙන ගියේ සෝවියට් දේශයේ රොකට්ටුවක් මගින්.

තම චන්ද්‍රිකා කක්‍ෂගත කිරීමේ ස්වයං හැකියාව ලබා ගනිමින් 1980දී රෝහිනී නම් දෙවන චන්ද්‍රිකාවක් උඩු ගුවනට යැව්වේ එරට විද්‍යාඥයන් විසින්ම තැනූ රොකට්ටුවක ආධාරයෙන්. (මේ රොකට්ටු ආසියාවේ අසල්වැසි රටවලට බෝම්බ හෙළීම සඳහා ද භාවිත කළ හැකි නිසා ඉන්දියාව හා පාකිස්ථානය අතර රොකට් තැනීමේ තරගයක් හට ගත්තා. මේ දක්වා එම හැකියාවෙන් පෙරමුණේ සිටින්නේ ඉන්දියාවයි.)

දැන් ඉන්දියාව අභව්‍යකාශ තාක්‍ෂණයේ හැම පැතිකඩක්ම පාහේ දියුණු කොට තිබෙනවා. සංකීර්ණ චන්ද්‍රිකා තනා උඩුගුවන් ගත කිරීමේ හැකියා මෙන්ම ඈත අභ්‍යවකාශයට අභ්‍යවකාශ යානා යැවීමේ හැකියාව ද ලබා ගෙන සිටිනවා.

මේ වන විට ආසියානු රටකට අයත් විශාලතම පණිවුඩ චන්ද්‍රිකා සංඛ්‍යාවක් (10) කක්‍ෂගත කර ඇත්තේ ඉන්දියාවෙන්. එසේම උඩුගුවනේ සිට පෘථිවියේ ඕනෑම තැනක් සූක්‍ෂමව නීරික්‍ෂණය කොට ඡායාරූප ගත කළ හැකි චන්ද්‍රිකා දුසිමක් ද ඔවුන් සතුයි. දිවා රැය දෙකේම ලොව ඕනෑම තනෙක සිදුවන දේ දැකීමේ හැකියාව මේවාට තිබෙනවා.

ඉන්දියාවෙන් යැවූ කාලගුණ චන්ද්‍රිකා සමස්ත දකුණු ආසියාව, බෙංගාල බොක්ක හා අරාබි මුහුද නිතිපතා නිරික්සමින් කලාගුණ තොරතුරු සපයා දෙනවා. ශ‍්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් රැසක් කාලගුණ අනාවැකි සඳහා යොදා ගන්නේ මේ චන්ද්‍රිකාවලින් ලැබෙන දත්ත හා ඡායාරූපයි.

තමන්ගේ අවශ්‍යතාවලට චන්ද්‍රිකා තනා උඩු ගුවන්ගත කිරිමට අමතරව වෙනත් රටවල් සඳහා චන්ද්‍රිකා උඩුගුවනට යැවීම ද ව්‍යාපාරික මට්ටමෙන් කිරීම ඉන්දියාව 1999දී ඇරැඹුවා. රුසියාව, අමෙරිකාව හා චීනයට වඩා ලබාදායක එමෙන්ම විශ්වාසදායක සේවයක් සැපයීම ඉන්දියාවේ ISRO ආයතනයේ අරමුණයි. ජුනි 30දා එක්වර විදේශීය චන්ද්‍රිකා 5ක් සාර්ථකව උඩුගුවන් ගත කිරීමත් සමග මේ දක්වා ඉන්දියාව එසේ යවා ඇති විදෙස් චන්ද්‍රිකා ගණන 40ක් බවට පත් වුණා.

ඉන්දියාව හැරුණු විට චන්ද්‍රිකා තනා උඩුගුවනට යවා ඇති අනෙක් එකම දකුණු ආසියාතික රට පාකිස්ථානයයි. පාකිස්ථානයේ මුල්ම චන්ද්‍රිකාව වූයේ Badr-1යි. එය උඩුගුවනට යැවුයේ චීන රොකට්ටුවක් යොදා ගෙන 1990 ජූලි මාසයේ.

Pakistan's first satellite named Badar-1 by SUPARCO
Pakistan’s first satellite named Badar-1 by SUPARCO

අත්හදා බැලීමේ එම චන්ද්‍රිකාව, කරච්චි නුවර පිහිටි පාකිස්ථානු අභ්‍යවකාශ පර්යේෂණ කොමිසමේ (SUPARCO) මූලස්ථානයේ තනා ගෙන යන කාලයේ එය දැක ගැනීමේ අවස්ථාව මට ලැබුණා. ජාත්‍යන්තර ප‍්‍රමිතීන්ට අනුව දේශීය විද්‍යාඥයන් හා ඉංජිනේරුවන් අතින් නිමැවුණු එම චන්ද්‍රිකාව ගැන ඔවුන් සැම මහත් ආඩම්බර වූ බව මට මතකයි. (එසේම කිසිදු ඉන්දියානු මාධ්‍ය නියෝජිතයකුට නොදෙන අවස්ථාවක් මට දුන්නේ මා ලාංකිකයකු වූ නිසා බවත් ඔවුන් කියා සිටියා.)

ඇත්තටම දකුණු ආසියාවේ ජාතික මට්ටමේ අභ්‍යවකාශ පර්යේෂණ වැඩසටහනක් මුලින්ම ඇරැඹුවේ ද පාකිස්ථානයයි. එරටින් බිහිවූ විශිෂ්ඨතම භෞතික විද්‍යාඥයකු වූ ආචාර්ය අබ්දුස් සලාම්ගේ (Dr Abdus Salam) මූලිකත්වයෙන් 1960 දශකය මුලදී පටන් ගත් පාකිස්ථානු අභ්‍යවකාශ පර්යේෂණ, 1970 හා 1980 දශකවලදී අධික ලෙස මිලිටරිකරණයට ලක් වූවා. විද්‍යාඥයන්ට වඩා නිලධාරින් හා හමුදා නිලධාරින්ගේ බලපෑමට නතු වූ SUPARCO ආයතනයේ විද්‍යාත්මක ඵලදායිතාව හා නිර්මාණශීලිබව පහළ ගියා. මේ නිසා පුරෝගාමී පාකිස්ථානය අභිබවා ඉන්දියානු අභ්‍යවකාශ වැඩපිළිවෙල ඉදිරියට ගියා.

1990න් පසු තව දුරටත් නිලධාරිවාදයට හසු වී එක තැන පල් වූ පාකිස්ථාන අභ්‍යවකාශ ඒජන්සියේ ඊළඟ චන්ද්‍රිකාව නිම වන්නට 2011 අගෝස්තු දක්වා දිගු කළක් ගතවුණා. PakSat 1-R නම් වූ එහි බහුතරයක් උපාංග චීනයේ තනනු ලැබ එය උඩුගුවන්ගත කළේ ද චීන රොකට්ටුවක් යොදා ගෙනයි. මෙය කෙතරම් දුරට පාකිස්ථාන චන්ද්‍රිකාවක් දැයි එරට ස්වාධීන මාධය ප‍්‍රශ්න කළා.

එතකොට ශ‍්‍රී ලංකාවේ චන්ද්‍රිකාව? මේ ගැන මා දැඩි අවධානයෙන් සිටියත් කිිසිවක් නොලීවේ එහි හිිමිකාරිත්වය හා සැළසුම් ගැන නිරවුල්ව තොරතුරු සොයා ගැනීම අපහසු වූ නිසයි.

සුප‍්‍රීම්සැට් නම් පෞද්ගලික සමාගමක් චීන රජයට හිමි China Great Wall Industry Corporation නම් සමාගම හා එක්ව 2012 නොවැම්බරයේ SupremeSat-I නම් පණිවුඩ චන්ද්‍රිකාවක් උඩුගුවන් ගත කළා. ඒ ආසන්න දිනවල මෙරට මාධ්‍යවල පුවත් ආවරණයේ ද සමාගමේ පුවත්පත් දැන්වීම්වල ද ප‍්‍රමුඛව කියැවුණේ එය ශ‍්‍රී ලංකාවේ මුල්ම චන්ද්‍රිකාව බවත්, එමගින් අප රට ද අභ්‍යවකාශ යුගයට පිවිසි බවත්. සුප‍්‍රීම්සැට් සමාගමේ වෙබ් අඩවිය (www.supremesat.com) ද මෙයට සමාන අදහසක් ජනිත කළා.

SupremeSat company's promotional newspaper advertisement claiming theirs was Sri Lanka's first satellite: 22 Nov 2012
SupremeSat company’s promotional newspaper advertisement claiming theirs was Sri Lanka’s first satellite: 22 Nov 2012

එහෙත් 2014 අපේ‍්‍රල් 8 වනදා පාර්ලිමේන්තුවේ මතු කළ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් විද්‍යාත්මක කටයුතු පිළිබඳ ජේ්‍යෂ්ඨ අමාත්‍ය වෛද්‍ය තිස්ස විතාරණ කීවේ සුප‍්‍රීම්සැට් චන්ද්‍රිකාව මුළුමනින්ම චීන-ශ‍්‍රී ලංකා පෞද්ගලික/වාණිජ ව්‍යාපෘතියක් බවයි. එයට ලක් රජයේ කිසිදු නිල සම්බන්ධයක් හෝ ආයෝජනයක් හෝ නැති බව ඔහු අනාවරණය කළා. (එසේම අභ්‍යවකාශය පිළිබඳ රාජ්‍ය ප‍්‍රතිපත්තියක් තවමත් සකසා නැති බවත්, ලාංකිකයකු අභ්‍යවකාශයට යැවීමට රජයේ සැළසුමක් නැති බවත් ඔහු කියා සිටියා.)

සාක් කලාපයේ සෙසු රටවල් වන ඇෆ්ගනිස්ථානය, භූතානය, බංග්ලාදේශය, නේපාලය හා මාලදිවයිනට තමන්ගේ චන්ද්‍රිකා නැහැ. එහෙත් බංග්ලාදේශයේ විදුලි සංදේශන නියාමන කොමිසම එරට භාවිතය සඳහා බංගාබන්ධු (bangabandhu) නම් වන පණිවුඩ චන්ද්‍රිකාවක් තනා ගෙන යනවා. අමෙරිකානු සමාගමක තාක්‍ෂණික ආධාරයෙන් ගොඩ නගන මෙය 2015දී උඩුගුවනට යැවීමට නියමිතයි.

මේ අතර ඇෆ්ගනිස්ථානය, නේපාලය හා මාලදිවයිනට ජාතික චන්ද්‍රිකා තනා කක්‍ෂගත කිරීමට චීනය සාකච්ඡා කරමින් සිටිනවා. චීනයේ මේ තාක්‍ෂණික සහයෝගීතා හරහා තමන්ට වඩා කුඩා ආසියානු රටවල් සමග සබඳතා තර කරමින් තම විදේශ බලපෑම් සඳහා ද එය යොදා ගන්නවා.

1960 දශකයේ සීතල යුද්ධයේ එක් ප‍්‍රබල පෙරමුණක් වූයේ අමෙරිකාව හා සෝවියට් දේශය අතර මහා අභ්‍යවකාශ තරගයයි. එහිදී අභ්‍යවකාශයේ පුරෝගෘමි ජයග‍්‍රහණ හා මං සළකුණු ලබා ගැනීමට ඒ සුපිරි බලවත් දෙරටම අති විශාල වශයෙන් රටේ මුදල් හා තාක්‍ෂණික හැකියාවන් ආයෝජනය කළා.

එතරම් තීව‍්‍ර නොවූවත් යම් තරමක අභ්‍යවකාශ තරගයක් අද ආසියාවේ අභ්‍යවකාශ හපන්කම් අරභයා චීනය හා ඉන්දියාව අතර තිබෙනවා. එහි එක් පැතිකඩක් නම් සෙසු ආසියානු රාජ්‍ය සමග අභ්‍යවකාශ තාක්‍ෂණ සහයෝගීතාව හරහා තම බලපෑම කලාපයේ වඩාත් පැතිරවීමයි.

මෙය ඉංග‍්‍රීසියෙන් space diplomacy ලෙස හඳුන්වනවා. සාම්ප‍්‍රදායික රාජ්‍ය තාන්ත‍්‍රික හෝ තානාපති සබඳතා ඉක්මවා යන මෙය ඒ ලොකු රටවල මෘදුබලය නැතහොත් සියුම් බලය (soft power) ප‍්‍රචලිත කිරීමක් ලෙස ද දැකිය හැකියි.

මේ සියුම් තරගයේ දැනට ඉදිරියෙන් සිටින්නේ චීනයයි. තමන්ට වඩා කුඩා රටවලට මුදල් ආධාර, ණය සේවා හා තාක්‍ෂණික සේවා ලබා දෙමින් ඔවුන්ගේම චන්‍ද්‍රිකා නිපදවා උඩුගුවන්ගත කිරීම චීනය කලෙක සිට කරනවා. එහිදී අදාල රටේ දේශීය ප‍්‍රමුඛතා මොනවාද යන්න චීනයට එතරම් වැදගත් නැහැ. ඔවුන්ට ඕනෑ තමන් සමග අභ්‍යවකාශයට පිවිසෙන රටවල් ගණන වැඩි කර ගැනීමටයි.

ඉන්දියාව මේ තරගයට පිවිසෙන්නේ තරමක් පමාවීයි. එහෙත් නව ඉන්දීය රජය යටතේ මේ සඳහා ඉහළ ප‍්‍රමුඛත්වයක් ලැබෙන බව පෙනෙනවා.

විශේෂයෙන්ම ආපදා කළමණාකරණයේදී හැකි තාක් නිවැරදි තොරතුරු හා විද්‍යාත්මක දත්ත හැකිතාක් ඉක්මනින් ලබා ගැනීම අවශ්‍යයි. මෙහිදී සාක් කලාපීය රටවල් දැනට වඩා අභ්‍යවකාශ තාක්‍ෂණයන් යොදා ගත යුතු යයි නව දිල්ලියේ පිහිටි සාක් ආපදා කළමණාකරණ කේන්ද්‍රය (SAARC Disaster Management Centre, SDMC) නිර්දේශ කොට තිබෙනවා.

2011දී ඔවුන් පිළියෙල කළ කලාපීය අධ්‍යයනයට අනුව සාක් රටවල ආපදා කළමණාකරණය නිසි ලෙස සැළසුම් කොට ක‍්‍රියාත්මක කරන්නට අවශ්‍ය නිරික්‍ෂණ දත්ත සමුදායෙන් දැනට ලැබෙන්නේ 20-30%ක් පමණයි. බහුවිධ ආපදාවලට නිරාවරණය වූත්, අධික ජනගහනයක් වාසය කරන්නා වූත් දකුණු ආසියාවේ ආපදා බලපෑම් අවම කරන්නට මීට වඩා කාලගුණ, භූමි පරිභෝජන හා සාගර තත්ත්ව නිරීක්‍ෂණ අවශ්‍ය බව ඔවුන් කියනවා.

යෝජිත සාක් චන්ද්‍රිකාවට මේ හිදැස මුලූමනින් හො තරමකට හෝ පිරවිය හැකියි. දැනටමත් ඉන්දියාව සිය කාලගුණ චන්ද්‍රිකා හරහා ලබා ගන්නා ඡායාරූප ආසියාවේ හා අප‍්‍රිකාවේ රටවල් 30ක් සමග නිතිපතා බෙදා ගන්නවා.

India-and-Space-Technology

සිවුමංසල කොලූගැටයා #141: විස වගාවට වැට බදින්න ක‍්‍රමයක් මෙන්න!

How can we protect ourselves from slow poisoning by agrochemical residues in our food? In this week’s Ravaya column, I discuss two options for Sri Lanka: organic farming, and the in-situ testing of farm produce for residues (after determining maximum residue levels).

I covered similar ground in English on 11 Aug 2013: When Worlds Collide #78: Homicide by Pesticides: Can we escape?

Pesticides on a Plate
Image courtesy Pesticide Action Network

‘ජාතියට වස කවන්නෝ කවරහුද’ මැයෙන් ගිය සතියේ මා ලියූ කොලම බොහෝ දෙනකුගේ අවධානයට ලක් වුණා.

උඩරට අර්තාපල් හා එළවඵ වවන ගොවීන්ගේ පලිබෝධ නාශක භාවිතය ගැන හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පුහුණු හා පර්යේෂණායතනය (HARTI) මඟින් කළ සමීක්‍ෂණයක් මත පදනම් වී මා හෙළි කළේ අපේ සමහර ගොවීන් දැන දැන ම විස රසායන යෙදු ආහාර වෙළඳපොළට එවන සැටියි.

තමන්ගේ පවුලේ ආහාරයට නොගන්නා වසවිස සහිත එළවඵ, සෙසු පාරිභෝගිකයන්ට සපයන මේ ගොවීන් ජාතියට වසවිස කවන්නෝ නොවෙයි ද?

සමහර පාඨකයන් මේ සෘජු ප‍්‍රශ්න කිරීමට කැමති වූයේ නැහැ. සති කිහිපයකට පෙර හේන් ගොවීන් ගැන සානුකම්පිතව කථා කළ මේ කොලමින් ම දැන් ඔවුන් හෙළා දකින්නේ ඇයිදැයි කිහිප දෙනකු මගෙන් විමසුවා.

දැඩි සේ එල්බගත් කිසිදු මතවාදයක් නැති නිසා මට සාක්ෂි හා තර්ක පදනම් කර ගෙන එසේ කළ හැකියි. ගොවීන් ඉතා වැදගත් මෙහෙවරක් ඉටු කළත් ඔවුන් ද රටේ නීතියට හා සමාජ සම්මතයට අනුකූලයි. එයට පිටුපාන විට සහේතුකව ඔවුන් විවේචනය කළ යුතුයි.

ගොවියා හා ගොවිතැන මැදහත්ව විග‍්‍රහ නොකර හැගීම් බරිතව ප‍්‍රතිපත්ති සම්පාදනයේ බරපතල අහිතකර විපාක අප සැවොම අත් වි`දිනවා. ගොවීන්ට ගරුසරු ඇතිව සැළකිය යුතු බව ඇත්තයි. එහෙත් ඒ ගෞරවය ඔවුන්ට හිමි වන්නේ පාරිභෝගික අපට වින නොකරන තාක් කල් පමණයි.

Pest and farmer cartoon

රසායනික පොහොර හෝ අධික විෂ සහිත පලිබෝධ නාශක නොයොදා, ස්වාභාවික පොහොර හා පලිබෝධ පාලන ක‍්‍රම මගින් බෝග වැවීම කාබනික ගොවිතැන (organic farming) ලෙස හඳුන්වනවා.

මුඵ රට ම එක්වරම මෙබඳු කාබනික ගොවිතැනකට යොමු විය හැකි නේදැයි එක් පාඨකයෙක් යෝජනා කළා. තර්කයක් හැටියට එය ඉතා හොඳයි. එහෙත් ප‍්‍රායෝගිකව එය කිරීමට දිගු කලක් ගත වනවා. දැඩි නීතිරීති හා දණ්ඩන හරහා මෙබන්දක් කඩිනම් කළ නොහැකියි.

ඇත්තට ම කාබනික ගොවිතැන ශී‍්‍ර ලංකාවේ කලෙක සිට කරනු ලබනවා. එයට කැප වූ ගොවි සමිති හා සංවිධාන ද තිබෙනවා. ඔවුන්ගේ නිෂ්පාදිතයන් දේශීය වෙළඳපොළට යම් තරමක් මුදා හැරිය ද බහුතරයක් පිටරට යවනවා.

අපේ රටේ නිපදවෙන හොඳම තේ කොළ පිටරට යැවෙන්නා සේ ම බොහෝ කාබනික ආහාර ද විදෙස් වෙළඳපලවලට යන්නේ ඒවාට ඉහළ මිළක් ගෙවන්නට යුරෝපය, අමෙරිකාව, ජපානය වැනි රටවල නැඹුරුවක් ඇති නිසායි. මෙරට වෙළඳපොලේ ද කාබනිකව වැවූ සහල්, පළතුරු හා එළවඵ අනෙක් (රසායනික යොදා වැවූ) ආහාරවලට වඩා මිළෙන් ඉහළයි.

සෞඛ්‍යාරක්‍ෂාව සඳහා වුවත් වැඩි මිළක් ගෙවා කාබනිකව වැවූ ආහාර නිතිපතා මිළට ගත හැක්කේ අප කීයෙන් කී දෙනාට ද? කාබනික ගොවිතැන වෙළඳපොළ ප‍්‍රධාන ප‍්‍රවාහය වීමට නම් මේ මිළ පරතරය තුරන් කළ යුතුයි. එසේ නොවන තාක් කල් එය ඉහළ මධ්‍යම පාංතික සුඵතරයකගේ හා පරිසරවේදීන්ගේ වරප‍්‍රසාදයක්ව පවතිනවා.

අපේ කලාපයේ ජනගහනයෙන් දෙවැනි කුඩා ම රට වන භූතානය වසර 2020 වන විට සිය ගොවිතැන මුඵමනින් ම කාබනිකව කිරීමට ඉලක්ක කරනවා.

2013 පෙබරවාරියේ නවදිල්ලියේ පැවැති ජාත්‍යන්තර තිරසාර සංවර්ධන සමුඵවකදී භූතාන් කෘෂිකර්ම ඇමති පේමා ග්‍යම්ෂෝ (Pema Gyamtsho) මෙය ප‍්‍රකාශයට පත් කළා. සොබාදහම සමග සහජීවනයෙන් විසීම මූලික කර ගත් බෞද්ධ දර්ශනයට අනුව යමින් ද සිය ජනයාගේ සෞඛ්‍යය සැළකිල්ලට ගනිමින් ද මේ තීරණයට එළඹුණු බව ඔහු කියා සිටියා.

මුඵ රටේ ජනගහනය ලක්ෂ 7ක් සිටින භූතානය වැනි කුඩා රටකට මෙබඳු වෙනසක් කිරීම ලෙහෙසියි. දැනටත් කෘෂිරසායනික භාවිතා කරන්නේ එරට ගොවීන්ගෙන් සුඵ ප‍්‍රතිශතයක් පමණයි.

‘‘කාබනික ගොවිතැනෙන් පමණක් අපේ සියඵ ආහාර බෝග නිපදවා ගැනීමට යොමු වීමට අපට වසර කිහිපයක් අවශ්‍යයි.’’ භූතාන අමාත්‍යවරයා කියනවා.

භූතානයේ කාබනිකව වවන රතු සහල්, ඇපල් හා හතු ආදිය දැනටමත් ඉහළ මිළකට දියුණු රටවලට විකුණනවා. මුඵ රට ම කාබනික ගොවිතැන පමණක් කරන විට ඔවුන්ට ලෝක වෙළඳපොළේ තම නිෂ්පාදිත සඳහා වඩාත් හොඳ ඉල්ලූමක් මතු වනු ඇතැයි අපේක්‍ෂා කළ හැකියි.

භූතානය පිවිසි මාර්ගයට රටක් ලෙස අපටත් කෙදිනක හෝ යොමු වීමට හැකි නම් ඉතා  අගෙයි. එහෙත් භූතානයේ මෙන් තිස් ගුණයක පමණ ජනකායක් සිටින අපේ රටේ ආහාර අවශ්‍යතා සහ වෙළඳපොළ සංකීර්ණත්වය ඊට වඩා ඉහළයි. ඒ නිසා කුඩා රටවල් මෙන් ඉක්මන් ප‍්‍රතිපත්ති වෙනසකට යොමුවීම අපහසුයි.

සමස්ත ගොවිතැන කාබනික කිරීම දිගුකාලීන ඉලක්කයක් ලෙස තබා ගනිමින් අපට ඉක්මනින් ගත හැකි යම් කි‍්‍රයාමාර්ග ද තිබෙනවා.

ආහාරපානවල පැවතිය හැකි උපරිම පලිබෝධ නාශක ශෙෂයන් (Maximum Residue Levels) නිර්ණය කොට නීතිගත කළ යුතුයි. එම සීමාවන් නීතිගත නොකර තිබෙන තුරු වෙළඳපොලේ විකිණෙන ධාන්‍ය, එළවඵ හා පළතුරුවල වසවිස ඇති බවට තහවුරු කළත් නීතියෙන් දඩුවම් කිරීම අපහසු වනවා.

මේ ප‍්‍රශ්නයේදී සෞඛ්‍ය, පාරිභෝගික හා කෘෂිකර්ම අමාත්‍යාංශ මනා සේ සම්බන්ධීකරණය වීම ඉතා වැදගත්. එසේ ම පලාත් පාලන ආයතනවලට ද පාරිභෝගික ආරක්‍ෂණ අධිකාරියට ද මීට වඩා සකී‍්‍රයව මැදිහත් වියහැකියි.

Dr. Bhichit Rattakul
Dr. Bhichit Rattakul

මෙහිදී මට සිහිපත් වන්නේ 1990 දශකය අගදී තායිලන්තයේ බැංකොක් නගර ප‍්‍රදේශයේ ආණ්ඩුකාරයා (Governor of Bangkok) ලෙස ඡන්දයෙන් පත්වූ ආචාර්ය භිචිත් රතකුල් (Dr Bhichit Rattakul) ගත් නිර්භීත කි‍්‍රයාදාමයයි.

කෘෂිරසායන අනිසි භාවිතය තායි ගොවීන් අතර ද බහුල නරක පුරුද්දක්. මධ්‍යම රජයෙන් මෙයට පිළියම් සොයන තුරු බලා නොසිට අගනුවර හා තදාසන්න ප‍්‍රදේශවල වාසීන්ට වඩාත් සුරක්‍ෂිත ආහාර ලබාදීමට ආචාර්ය රතකුල් වැඩපිළිවෙලක් යෙදුවා. ඔහු වෘත්තියෙන් විද්‍යාඥයකු වීමත් මෙයට උදව් වන්නට ඇති.

බැංකොක් හා අවට වෙසෙන මිලියන් 10කට වැඩි ජනකායකට අවශ්‍ය එළවඵ හා පළතුරු සැපයෙන්නේ සයි මූම් වොං (Si Moom Wong) නම් තොග වෙළඳපොළ හරහා. එරට පුරා වවන බෝග නිෂ්පාදිත දිනපතා මෙහි ගෙන එනවා. දිනකට ලොරි 2,000ක් පමණ බැගින්.

මේ තොග වෙළඳපොලේදී නිෂ්පාදිත සාම්පල් ලබාගෙන එහිදී ම ඉක්මනින් පලිබෝධ නාශක ශේෂයන් සඳහා ඒවා පරීක්‍ෂා කිරීමට ජංගම රසායනගාරයක් පිහිටුවනු ලැබුවා.  ඕනෑ ම ගොවියකුගෙන්, අතරමැදි තොග වෙළෙන්දකුගෙන් හෝ වෙනත් අලෙවිකරුවකුගෙන් සාම්පල් ලබා ගෙන පිරික්සීමේ නිල බලය ලත් රසායන විද්‍යා තාක්‍ෂණවේදීන් පිරිසක් ඔහු එයට අනුයුක්ත කළා.

නීතිගත උපරිම පලිබෝධනාශක ශෙෂයන් ඉක්මවා ගිය සියඵ ම එළවඵ හා පළතුරු තොග පිටින් අලෙවියට ඉඩ නොදී ප‍්‍රතික්ෂේප කරනු ලැබුවා. මුලදී මේ දැඩි පියවරෙන් සැලූණු ගොවීන් හා වෙළඳුන් උද්ඝෝෂණ කළා.

ඕනෑ ම රටක ගොවීන්ට ලොකු ජනමතයක් හා මාධ්‍ය අනුකම්පාවක් මතු කළ හැකියි. එහෙත් අපක්‍ෂපාතී, නිර්භය හා පාරදෘශ්‍ය ක‍්‍රමවේදයක් හරහා ආචාර්ය රතකුල් ඇතුඵ කාර්ය මණ්ඩලය මේ බලපෑම්වලට කිසි විටෙක හිස නැමුවේ නැහැ. මධ්‍යම රජයේ දේශපාලන බලපෑම්වලට ද නතු නොවී නීතිය දිගටම කි‍්‍රයාත්මක කිරීමට අවශ්‍ය පෞරුෂය හා කැපවීම මේ නගරාණ්ඩුකාරයාට තිබුණා.

මේ නීතිගරුක පුද්ගලයා සමග සෙල්ලම් කරන්නට බැරි බව ටික දිනකින් ම තායි ගොවීන් තේරුම් ගත්තා. මහන්සියෙන් වවා ගත් ඵලදාව විකුණා ගන්නට  ඕනෑ නම් පලිබෝධ නාශක අධික ලෙස භාවිතය නොකළයුතු බව ඔවුන්ට වැටහුනා. සති කිහිපයක් ඇතුළත තොග වෙළඳපොලේ ප‍්‍රතික්‍ෂෙප වන තොග ප‍්‍රමාණය සීඝ‍්‍රයෙන් පහත වැටුණා. ඒ කියන්නේ පාරිභෝගිකයාට වඩාත් හිතකර ඵලදාවක් ලද හැකි වූ බවයි.

පලිබෝධ නාශක ශෙෂයන්ගේ උපරිමය ගැසට් කිරීමෙන් පසුව අපේ රටෙත් මෙබන්දක් කළ හැකි නම් කෙතරම් අගෙයි ද?

පිටකොටුවේ හෝ දඹුල්ලේ තොග වෙළඳ සංකීර්ණයන්ගේ ඉක්මන් පරීක්‍ෂාවන් හරහා ප‍්‍රතිඵල කාටත් පෙනෙන ලෙස ප‍්‍රකාශයට පත් කරමින්, සීමාව ඉක්ම වූ තොග සහමුලින් ම ප‍්‍රතික්‍ෂෙප කරන්නට හැකි වේ ද? එයට අපේ ගොවීන් හා වෙළඳුන් කෙසේ ප‍්‍රතිචාර දක්වයි ද?

අපක්‍ෂපාතී හා නිර්භය ලෙස නීතිය කි‍්‍රයාත්මක කිරීම පමණක් සෑහෙන්නේ නැහැ. මහජන සම්බන්ධතා, මාධ්‍ය ආවරණය හා පාරිභෝගිකයන්ගේ සහයෝගය දිනා ගැනීම ද අවශ්‍යයි. බැංකොක් නගරාණ්ඩුකාරවරයා උපක‍්‍රමශීලිව ඒ සියඵ සාධක පෙළ ගස්වා ගත්තා.

එසේ නැතිව නීතියේ බලයෙන් පමණක් වෙනසක් ඇති කිරීමට උත්සාහ කිරීම නොසෑහෙන බව මෑත කාලයේ අපේ පාරිභෝගික ඇමතිවරයා ලත් අත්දැකීම්වලින් පෙනී යනවා.

2002දී මා හඳුනන බි‍්‍රතාන්‍ය ජාතික මාධ්‍යවේදිනියක් බැංකොක් අත්දැකීම ද පාදක කර ගෙන BBC නාලිකාවට වාර්තා චිත‍්‍රපටයක් (Toxic Trail) නිපද වුවා. එහි එක් තැනෙක ආචාර්ය රතකුල් මෙහෙම කියනවා.

‘‘අධික ලෙස රසායන යෙදු ආහාර වෙළඳපොලට එනවා ද යන්න ගැන රජය මෙන් ම පාරිභෝගිකයන් ද නිතිපතා විමසිලිමත් වියයුතුයි. අපේ බොහෝ පාරිභෝගිකයෝ ඉතා හොඳ පෙනුම ඇති, කිසිදු පලූද්දක් නැති එළවඵ හා පළතුරු සොයනවා. එබඳු ඵලදාව  ඕනෑවට වඩා රසායනික යොදා ඇත්දැයි සැක සහිතයි. යම් තරමකට හිල් සැදුණු, කෘමීන් විදි බවට ලකුණු ඇති එළවඵ හා පළතුරු එතරම් දැඩි ලෙස රසායනික යෙදීමකට ලක්ව නැතැයි සිතිය හැකියි.’’

අපේ පරිසරවේදීන් සහමුලින් කාබනික ගොවිතැන ගැන දිගුකාලීන සිහින දකින අතර බැංකොක් අත්දැකීම මෙරට කි‍්‍රයාත්මක කරන්නට එඩිතර දේශපාලකයකු හෝ රාජ්‍ය නිලධාරියකු හෝ සමග සහයෝගයෙන් වැඩ කළොත් කෙතරම් අපූරුද?

හැමදාමත් කුමන්ත‍්‍රණවාදී තර්ක කරමින් සිටිනවා වෙනුවට ජනසමාජයට ප‍්‍රයෝගිකව හොඳ දෙයක් කරන්නට පරිසරවේදීන්ට මෙය අගනා අවස්ථාවක්.

සිංහලයට හඩ කැවූ BBC වාර්තා චිත‍්‍රපටය විස වගාවට වැට බඳිමු නරඹන්න: