සිවුමංසල කොලු ගැටයා #368: #FakeNews ව්‍යාජ පුවත්වලට නීතියෙන් වැට බැඳිය හැකිද?

Fake News is not new. The phenomenon has been around, in one form or another, for decades! Many of us in the global South have grown up amidst intentionally fake news stories in our media, some of it coming from governments, no less.

Fake News is merely a symptom of a wider and deeper crisis.It is a crisis of public trust in journalism and media that has been building up over the years in many countries. Fake News fills a vacuum of credibility.

In my latest Ravaya column (in Sinhala), published on 24 June 2018, I revisit the topic of Fake News to discuss if and how legal regulation can help counter Fake News. I argue that any new laws should be introduced very carefully, so as not to allow governments to restrict freedom of expression. I look at the botched Indian attempt to penalise journalists over Fake News, and the new Anti-Fake News Law in Malaysia (April 2018) that has been widely criticised for overbroad definitions and regulatory overreach.

In the end, I conclude: even the best laws can be a partial solution to the Fake News crisis. A healthy dose of scepticism can filter out a good deal of disinformation surrounding us. We also have to build media literacy as a modern-day survival skill, and nurture independent fact checking services.

Can laws stop Fake News?

ව්‍යාජ පුවත් හෙවත් Fake News ගැන මීට පෙර දෙවතාවක් මා විග්‍රහ කළා.

2017 මැයි 14 වැනිදා ‘ව්‍යාජ පුවත් ප්‍රවාහයෙන් තොරතුරු සමාජය බේරා ගත හැකිද?’  යන මැයෙන්ද, 2017 ජූනි 18 වැනිදා ‘ව්‍යාජ පුවත්වලින් මතු වන සැබෑ අභියෝග’ මැයෙන් ද, එම තීරු ලිපි පළ වුණා.

ව්‍යාජ පුවත් සංකීර්ණ සංසිද්ධියක් බවත්, එම ලේබලය ප්‍රවේශමින් භාවිත කළ යුතු බවත් මා අවධාරණය කළා.

මා යොදා ගන්නා නිර්වචනය මෙයයි. යම් තොරතුරක් වැරදි බව දැන දැනම එය සැබෑ පුවතක් ලෙස වාර්තා කිරීම හෝ පතුරුවා හැරීම ව්‍යාජ පුවතක්.

අද යළිත් මේ මාතෘකාවට පිවිසෙන්නේ ව්‍යාජ පුවත් පිළිබඳ සමාජ සංවාද දිගටම සිදු වෙමින් තිබෙන නිසයි.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, තමන්ට හිතකර නොවන පුවත් හෝ විවේචනාත්මක මාධ්‍ය විග්‍රහයන් සියල්ල ගෙඩි පිටින් හෙළා දැකීමට Fake News යෙදුම අවමන් සහගතව නිතර යොදා ගන්නවා.

දැන් දැන් වෙනත් රටවල දේශපාලකයන්ටද මේ පුරුද්ද ව්‍යාප්ත වන හැඩයි. අපේ සමහර දේශපාලකයොත් තමන් නොරිසි වාර්තා හෝ විග්‍රහයන්ට මේ ලේබලය ඇලවීමට පටන් අරන්.

මෙයින් සිදු වන්නේ තත්ත්වය තවත් ව්‍යාකූල වීම පමණයි. ව්‍යාජ පුවත් යනු නොයෙක් අයට විවිධාකාරයේ විග්‍රහ කළ හැකි, නිශ්චිත නොවන යෙදුමක්. මේ නිසා එය භාවිත කිරීම ප්‍රවේශමින් කළ යුත්තක්.

ඉංග්‍රීසි බසෙහි ඊට වඩා නිශ්චිත වූ යෙදුම් දෙකක් තිබෙනවා. අර්ථය ආසන්න වශයෙන් සමාන යයි බැලූ බැල්මට පෙනුණත් ඒ දෙක විස්තර කරන්නේ ප්‍රපංචයන් දෙකක්.

වඩාත් භයානක හා හානිකර වන්නේ හිතාමතාම ගොතා, අතිශයෝක්ති කොට හෝ විකෘති කොට මුදා හරින තොරතුරුයි. මේවාට Disinformation කියනවා. මහජනයා වුවමනාවෙන්ම නොමග යැවීම හා රැවටීම මේවායේ අරමුණයි.

අපේ රටේ බොහෝ ආණ්ඩු, විපක්ෂ දේශපාලන පක්ෂ, යුද්ධ සමයේ හමුදාව, වෙළඳෙ ප්‍රචාරණ සමාගම් මෙන්ම සමහර සිවිල් සමාජ සංවිධානද හිතාමතා බොරු ප්‍රචාර කිරීම පිළිබඳව උදාහරණ එමට තිබෙනවා.

තමන් කුමන හෝ මූලාශ්‍රයකින් ඇසූ, දුටු හෝ කියැවූ වැරදි තොරතුරක්, එය වැරදි බව වටහා නොගෙන ප්‍රතිරාවය කිරීම හෙවත් බෙදා ගැනීමට කියන්නේ Misinformation කියායි. තහවුරු කිරීමකින් තොරව, හරිහැටි විමර්ශනය නොකර හා වගකීම් විරහිතව මෙසේ ප්‍රතිරාවය කරන අය එමට සිටිනවා.

Sri Lanka’s mainstream media have been peddling disinformation for decades. Readers have devised their own filters to discern fake from real, but it’s not always easy!

අපේ රටේ ජනමාධ්‍යවල මේ දෙආකාරයේම දුස්තොරතුරු නිතර හමු වනවා.

සමහරක් ව්‍යාජ පුවත් මාධ්‍ය කතුවරුන් හෝ මාධ්‍ය ආයතන හිමිකරුවන් විසින් ඕනෑකමින්ම නිර්මාණය කොට බෙදා හරිනු ලබනවා. මෙයට දේශපාලනික, ව්‍යාපාරික හෝ වර්ගවාදී හේතු මුල් විය හැකියි.

යම් චරිත, ආයතන හෝ සංකල්ප පුම්බන්නටත්, තවත් සමහර චරිත, ආයතන හෝ සංකල්ප පිළිබඳව මහජන අප්‍රසාදය ඇති කිරීමටත් මෙවන් ව්‍යාජ පුවත් මැවීම නිරතුරුව සිදු කැරෙනවා.

රාජ්‍ය මාධ්‍ය ආයතන, බලයේ සිටින රජයේ ප්‍රචාරණ යාන්ත්‍රණ බවට පත් වීම දශක ගණනාවක් තිස්සේ දිගටම සිදු වූවක් නිසා අද වන විට මාධ්‍ය ග්‍රාහකයෝ එය මාධ්‍ය අවභාවිතයක් ලෙස දකින්නෙත් නැති තරම්.

මෑත කාලයේ ආර්. ප්‍රේමදාස හා මහින්ද රාජපක්ෂ ජනපතිවරුන් යටතේ රාජ්‍ය මාධ්‍ය අපහරණය සීමාන්තික ලෙස සිදු වුණා.

උදාහරණ එමටයි. හොඳම උදාහරණ සඳහා 1991 සැප්තැම්බරයේ ප්‍රේමදාසට එරෙහිව දෝෂායෝභියෝගයක් මතුව ආ පසුවත්, 2014 නොවැම්බරයේ රාජපක්ෂට එරෙහිව විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන ඉදිරිපත් වූ පසුවත් ලේක්හවුස් දිනපතා හා සතිඅන්ත පත්තරවල මුල් පිටු හැකිනම් සොයා ගෙන කියවන්න.

එකී වකවානුවල ලේක්හවුස් පුවත්පත් මාධ්‍ය විසින් පුවත් ආවරණයේදී පවත්වා ගත යුතු තුලනය පමණක් නොව සියලුම ආචාරධර්මීය සීමාද ඉක්මවා ගිය සැටි අපට මතකයි.

ව්‍යාජ පුවත් මවන්නේ, සැබෑ සිදුවීම් වාර්තාකරණයේදී දැඩි ලෙස විකෘති කරන්නේ රාජ්‍ය මාධ්‍ය පමණක් නොවෙයි. බොහෝ පෞද්ගලික පුවත්පත්, රේඩියෝ හා ටෙලිවිෂන් ආයතනද එයම කරනවා.

හිතාමතා මවන ව්‍යාජ පුවත් හා පුවත් විකෘති කිරීම්වලට අමතරව නොසැලකිල්ල, නොදන්නාකම, අලසබව හා වෘත්තීයභාවය නොතැකීම නිසා අපේ මාධ්‍යවලට නිරායාසයෙන් පිවිසෙන වැරදි තොරතුරුද සැලකිය යුතු ප්‍රමාණයක් තිබෙනවා.

දේශපාලකයන්, සරසවි ඇදුරන්, වෘත්තිකයන් හා පූජකයන් වැනි නාමධාරී පුද්ගලයන් අතර සමහරුන් පොදු අවකාශයේ (ප්‍රසිද්ධ රැස්වීම්, මාධ්‍ය සාකච්ඡා ආදියේදී) කරන වැරදි සහගත ප්‍රකාශ එලෙසින්ම, විමර්ශනයකින් තොරව පළ කිරීම අපේ මාධ්‍යවල සුලබ වැරැද්දක්.

මෙයට එක් ප්‍රබල උදාහරණයක් 2017 මුලදී මතු වුණා. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225න් 94 දෙනකු අඩු තරමින් අපොස සාමාන්‍ය පෙළවත් සමත් වී නැතැයි මාධ්‍ය රැසක් වාර්තා කළා. ඔවුන් සියල්ල මූලාශ්‍රය ලෙස උපුටා දැක්වූයේ දේශපාලන විද්‍යාව පිළිබඳ විශ්‍රාමික සරසවි ඇදුරෙක්.

එකී මහාචාර්යවරයා ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කළ ප්‍රකාශයක් වැඩි තතු නොවිමසා මාධ්‍ය වාර්තා කළා. මන්ත්‍රීවරුන් පිළිබඳ ජනප්‍රිය මහජන ආකල්පයකටද එය අනුගත වුණා.

මේ ගැන පසු විපරමක් කළේ ඉංග්‍රීසි සතිඅන්ත පුවත්පතක මාධ්‍යවේදිනියක් පමණයි. ඇය අදාළ මහාචාර්යවරයාට දුරකතනයෙන් කතා කොට මේ දත්තයට පදනම විමසුවා. එතැනදී ඔහු කියා ඇත්තේ එය තමා කළ තොරතුරු විමර්ශනයකින් හෙළි වූවක් නොව තමාද එය ටික කලකට පෙර මොකක්දෝ පුවත්පතක කිය වූවක් බවයි! අඩු තරමින් එම පුවත්පතේ නම පවා ඔහුට මතක නැතිලුෟ

මේ අතර පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය කියා තිබුණේ මන්ත්‍රීවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ තොරතුරු තමන් එක් රැස් නොකරන බවයි.

ඉන්ටර්නෙට් ගත වී සරල ගූගල් සෙවීමක් කළ විට පෙනී ගියේ 2014 සැප්තැම්බරයේ බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා (2010-2015 පැවති) පසුගිය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට අදාළව පවසා තිබුණේ 94 දෙනකු සාමාන්‍ය පෙළ අසමත්ව සිටි බවයි.

එහෙත් 2015 අගෝස්තුවේ තේරී පත් වූ වත්මන් පාර්ලිමේන්තුවට එම සංඛ්‍යාවම ආදේශ කරන්නේ කෙලෙසද?

මහාචාර්යවරයා නොසැලකිලිමත්ව කළ ප්‍රකාශය මාධ්‍ය එලෙසින්ම වාර්තා කළා. එය පදනම් කරගෙන විග්‍රහයන් හා කතුවැකි පවා ලියූ සියලු මාධ්‍ය ව්‍යාජ පුවතක හවුල්කරුවන් බවට දැනුවත්ව හෝ නොදැනුවත්ව පත් වුණා.

මාධ්‍යවේදීන් සතු විය යුතු සංශ්‍යවාදීබව  (skepticism) මෙරට කෙතරම් දුර්ලභද යන්නත් මේ උදාහරණයෙන් හොඳාකාර පේනවා.

ව්‍යාජ පුවත් නොහොත් දුස්තොරතුරු බෙදා හැරීම කෙතරම් සංකීර්ණද යන්න මේ දක්වා කියැවූ ඔබට වැටහෙනවා ඇති. මේ නිසාම ව්‍යාජ පුවත් ඉලක්ක කර ගත් නව නීති හෝ නියාමන ක්‍රමවේද හඳුන්වාදීමද අතිශය දුෂ්කර කාරියක්.

ආසියානු රටවල් දෙකක මෑත මාසවල අත්දැකීම් සලකා බලමු.

2018 මාර්තු මාසයේ ඉන්දියාවේ ප්‍රවෘත්ති හා විද්‍යුත් මාධ්‍ය අමාත්‍යාංශය කීවේ ව්‍යාජ පුවත් බිහි කිරීම හා ඒවා බෙදා හැරීම කරන මාධ්‍යවේදීන්ට හා ඔවුන්ගේ මාධ්‍ය ආයතනවලට ‘විපාක විඳීමට සිදු වනු ඇති’ බවයි.

‘ව්‍යාජ පුවත්’ නිර්වචනය නොකර ඉන්දියානු රජය කීවේ එවන් දේ කරන මාධ්‍ය එරට පුවත්පත් මණ්ඩලයට හෝ විද්‍යුත් මාධ්‍ය නියාමන ආයතනයට යොමු කැරෙනු ඇත කියායි. චෝදනා ඔප්පු වුවහොත් අදාළ මාධ්‍යවේදියාගේ මාධ්‍ය හැඳුනුම්පත (media accreditation) අහෝසි වනු ඇතැයි ප්‍රකාශ කෙරුණා. (මුල් වරදට මාස 6ක් දක්වා, දෙවැනි වරදට වසරක් දක්වා සහ තෙවරක් වරද ඔප්පු වුවහොත් සදාකාලිකව.)

India government’s plans to regulate against Fake News, proposed and hastily withdrawn in April 2018

මෙය නිවේදනය කළ වහාම එරට මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදී සංවිධාන ප්‍රබලව සිය විරෝධය පළ කළා. මෙය මාධ්‍ය හීලෑ කොට මර්දනය කිරීමට ගන්නා උත්සාහයක් බවත්, දැනටමත් සියලු මාධ්‍යවේදීන් නිවැරදිව හා සමබවර වාර්තාකරණයේ යෙදිය යුතු බව පුවත්පත් මණ්ඩලයේ ආචාරධර්ම අතර කියැවෙන නිසා අමතර කිසිදු නියාමනයක් අවශ්‍ය නැති බවත් ඔවුන් අවධාරණය කළා.

මේ විරෝධතා හමුවේ අගමැති නරේන්ද්‍ර මෝඩි සිය ප්‍රවෘත්ති අමාත්‍යාංශයේ යෝජනාව ඉක්මනින්ම ඉවත් කර ගත්තා. අමාත්‍යාංශයේ මැදිහත් වීමකින් තොරව, පවත්නා රාමුව යටතේ පුවත්පත් මණ්ඩලයට හා විද්‍යුත් මාධ්‍ය නියාමන ආයතනයට ව්‍යාජ පුවත් ගැනද ප්‍රතිචාර දැක්විය හැකි යැයි ඔහු කියා සිටියා.

මැලේසියාවේ සිදු වූයේ මීට වෙනස් දෙයක්. 2018 අප්‍රේල් 2 වැනිදා එරට පාර්ලිමේන්තුව ව්‍යාජ පුවත් විරෝධී නව නීතියක් සම්මත කළා. ඕනැම මාධ්‍යයක් හරහා ව්‍යාජ පුවත් නිර්මාණය කිරීම හෝ සංසරණය කිරීම පිළිබඳ චෝදනා ඔප්පු වන ඕනෑම අයකුට මැලේසියානු රිංගිට් 500,000ක් (අමෙරිකානු ඩොලර් 128,000 පමණ) දක්වා දඩයක් හෝ වසරක් දක්වා සිරදඬුවමක් හෝ මේ දෙකම නියම කළ හැකියි.

හිටපු අගමැති නජීබ් රසාක් මේ නීතිය ගෙන ආවේ මහ මැතිවරණයක් අබිමුඛව තිබියදී. එසේම ඔහුගේ රජය මහා පරිමාණ රාජ්‍ය මුදල් වංචා කිරීම පිළිබඳ බරපතළ චෝදනා එල්ල වී තිබෙන අතරදී.

Malaysian campaign against Fake News

ඉක්මනින් ක්‍රියාත්මක කළ නව නීතිය යටතේ මුලින්ම වරදකරු වූයේ එරට සිටි ඩෙන්මාක් ජාතිකයෙක්. 2018 අප්‍රේල් 30දා ඔහු වරදකරු ලෙස තීරණය වූයේ එරට පොලිසිය, අපරාධ සිදුවීමකදී ප්‍රමාද වී ප්‍රතිචාර දැක්වූවා යයි සමාජ මාධ්‍ය ජාලයක් වන යූටියුබ්හී වීඩියෝවක ප්‍රකාශ කිරීම නිසායි.

වරද පිළිගත් ඔහුට අමෙරිකානු ඩොලර් 2,550ක දඩයක් නියම වූ අතර එය ගෙවා ගත නොහැකි වූ නිසා මාසයක සිරදඬුවමක් නියම වුණා.

එවකට විපක්ෂයේ සිටි බොහෝ මැලේසියානු දේශපාලන නායකයෝ මෙම නව නීතිය දැඩි ලෙස විවේචනය කළා. අමෙරිකානු ඩොලර් බිලියන් 5ක් පමණ රාජ්‍ය මුදල් ප්‍රමාණයක් සොරකම් කිරීම පිළිබඳව ඍජුවම චෝදනා ලැබ සිටි අගමැතිවරයා ඒ ගැන පුවත් මර්දනයට මේ නීතිය යොදා ගනු ඇතැයි ඔවුන් බිය පහළ කළා.

නජිබ්ට එරෙහිව පෙළ ගැසුණු අසාමාන්‍ය විපක්ෂ සන්ධානයේ නායකත්වය දැරූ ජ්‍යෙෂ්ඨ දේශපාලක මහතීර් මොහමඩ් මැතිවරණ කැම්පේන් සමයේ කීවේ තමන් දිනූ විට මේ මර්දනකාරී නීතිය අහෝසි කරන බවයි.

2018 මැයි 9 වැනිදා පැවති මැලේසියානු මහ මැතිවරණයේදී වසර 61ක් එක දිගට බලයේ සිටි පාලක පක්ෂය පරාජය වුණා. ආසන 222න් 121ක් ලබා ගත් විපක්ෂ සන්ධානය බලයට පත්වූ අතර 92 හැවිරිදි මහතීර් නැවත වරක් එරට අගමැතිවරයා වී සිටිනවා.

වඩාත් ප්‍රගතිශීලී ප්‍රතිපත්ති ප්‍රකාශනයක් මත මැතිවරණය දිනූ නව රජයට එරට සිවිල් සමාජ සංවිධාන හා මාධ්‍යවේදීන්ගේ සංවිධාන ප්‍රතිසංස්කරණ යෝජනා මාලාවක් ඉදිරිපත් කොට තිබෙනවා. ඒ අතර එක් ප්‍රබල ඉල්ලීමක් නම් ව්‍යාජ පුවත් විරෝධී නීතිය ඉවත් කිරීමයි. මැතිවරණයට පෙර දුන් පොරොන්දුව මහතීර් ඉටු කරයිද යන්න ඔවුන් මහත් ඕනෑකමින් බලා සිටිනවා.

මේ අතර පිලිපීනයේ හා සිංගප්පූරුවේ රජයන්ද ව්‍යාජ පුවත් නියාමනය සඳහා නව නීති යෝජනා කොට තිබෙනවා. සංකීර්ණ සංසිද්ධියකට මෙසේ නීතිමය විසඳුමක් පමණක් ලබා දීමට තැත් කිරීම ඒ රටවල සමාජ ක්‍රියාකාරිකයන්ගේ විවේචනයට ලක්ව පවතිනවා.

අද විග්‍රහයේ අප වැඩිපුරම කතා කළේ ප්‍රධාන ධාරාවේ, ආයතනගත මාධ්‍ය විසින් දැනුවත්ව හෝ නොදැනුවත්ව හෝ කරන දුස්තොරතුරු බෙදා හැරීම ගැනයි. ආසියාවේ බහුතරයක් රටවල තවමත් මහජනයාගෙන් බහුතරයක් සඳහා තොරතුරු මූලාශ්‍ර වන්නේ ටෙලිවිෂන්, රේඩියෝ හා පුවත්පත්.

එහෙත් පුවත් වෙබ් අඩවි, ගොසිප් වෙබ් අඩවි මෙන්ම ගෝලීය සමාජ මාධ්‍ය වේදිකා හරහාද ව්‍යාජ පුවත් ගලා යනවා. එය පිළිගත යුතුයි.

අසම්පූර්ණ ලෙසින් වුවද මහා මාධ්‍යවල යම් මට්ටමක ප්‍රමිතිගත වීමක්, නියාමනවලට අනුගත වීමක් බොහෝ විට තිබෙනවා. (හැම මාධ්‍යයේම නොවේ.)

මහා මාධ්‍යවල ව්‍යාජ පුවත්පත්වලට ප්‍රතිචාර දැක්වීම ඉහත පෙන්වා දුන් පරිදි යම් තාක් දුෂ්කර වේද නව මාධ්‍යවල දුස්තොරතුරු ගලා යාමට ප්‍රතිචාර දැක්වීම එමෙන් කිහිප ගුණයක් වඩාත් දුෂ්කරයි.

එසේම මහා මාධ්‍යවලට ලිහිල් වූ ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් වෙබ් අඩවි හා සමාජ මාධ්‍යවලට දැඩි නියාමන රාමුවක් හඳුන්වා දීම භාෂණ නිදහස පිළිබඳ මානව අයිතීන්ට එරෙහිව යාමක්.

ඕනෑම ප්‍රලාඵයක්, අපහාසයක් කිරීමට ඉඩ තිබිය යුතුය යන්න නොවෙයි එයින් අදහස් වන්නේ. එහෙත් සංකීර්ණ සමාජ සංසිද්ධීන්ට සරල පැලැස්තර විසඳුම් දීමට තැත් කළොත් සිදු වන්නේ ප්‍රශ්න තවත් උග්‍රවීම පමණයි.

ව්‍යාජ පුවත් හා දුස්තොරතුරු ජන සමාජයට, දේශපාලන ක්‍රියාදාමයන්ට හා ආර්ථීකයට කරන අහිතකර බලපෑම් කෙසේ සමනය කරගත හැකිද?

නීති හා නියාමනවලට අමතරව මෙයට යොදාගත හැකි ක්‍රමෝපායයන් මොනවාද?

නීති හා නියාමන ඕනෑම නම් මර්දනකාරි නොවන ලෙස සියුම්ව ඒවා කෙටුම්පත් කිරීමට අපට පූර්වාදර්ශ ගත හැක්කේ කුමන රටවලින්ද?

මේ ගැන ඉදිරි සතියක යළිත් කතා කරමු.

සිවුමංසල කොලූගැටයා #263: ගරු සරු නැති විවෘත සංවාද අවකාශයක් අවශ්‍ය ඇයි?

Nalaka Gunawardene (left) & Ajith Perakum Jayasinghe at Nelum Yaya Blog awards for 2015, held on 26 March 2016
Nalaka Gunawardene (left) & Ajith Perakum Jayasinghe at Nelum Yaya Blog awards for 2015, held on 26 March 2016

In this week’s Ravaya column (appearing in the print issue of 3 April 2016), I probe why the blogosphere and other social media platforms are vital for public discourse in the Lankan context.

Sri Lanka’s mainstream media does not serve as an adequate platform for wide-ranging public discussion and debate. Besides being divided along ethnic and political lines, the media is also burdened by self-imposed restrictions where most don’t critique certain social institutions. Among the top-ranked ‘sacred cows’ are the armed forces and clergy (especially Buddhist clergy).

No such “no-go areas” for bloggers, tweeps and Facebookers. New media platforms have provided a space where irreverence can thrive: a healthy democracy badly needs such expression. I base this column partly on my remarks at the second Nelum Yaya Blog Awards ceremony held on 26 March 2016.

I also refer to a landmark ruling in March 2015, where the Supreme Court of India struck down a “draconian” law that allowed police to arrest people for comments on social media networks and other websites.

India’s apex court ruled that Section 66A of the Information Technology Act was unconstitutional in its entirety, and the definition of offences under the provision was “open-ended and undefined”.

The provision carried a punishment of up to three years in jail. Since its adoption in 2008, several people have been arrested for their comments on Facebook or Twitter. The law was challenged in a public interest litigation case by a law student after two young women were arrested in November 2012 in Mumbai for comments on Facebook following the death of a politician.

Speaker Karu Janasuriya presents Lifetime Award to Nalaka Gunawardene at Nelum Yaya Blog Awards on 26 March 2016 - Photo by Pasan B Weerasinghe
Speaker Karu Janasuriya presents Lifetime Award to Nalaka Gunawardene at Nelum Yaya Blog Awards on 26 March 2016 – Photo by Pasan B Weerasinghe

මගේ මාධ්‍ය ගුරුවරයා වූ ශ‍්‍රීමත් ආතර් සී. ක්ලාක් නිතර දුන් ඔවදනක් වූයේ  ඕනෑම කාලීන ප‍්‍රශ්නයක හෝ සංවාදයක සමීප දසුන මෙන්ම දුර රූපය හෙවත් සුවිසල් චිත‍්‍රය (Bigger Picture) ද විමසා බලන්න කියායි.

බොහෝ එදිනෙදා අරගල හා මත ගැටුම්වලට පසුබිම් වන ඓතිහාසික සාධක හා දිගුකාලීන ප‍්‍රවාහයන් තිබෙනවා. ඒවා හඳුනා ගැනීම හරහා වත්මන් සිදුවීම් වඩාත් හොඳින් අවබෝධ කර ගත හැකියි.

අපේ සමාජයේ ගතාතනුගතිකත්වය හා නූතනත්වය අතරත්, වැඩවසම් අධිපතිවාදය හා සමානාත්මතාව අතරත් නොනවතින අරගලයක් පවතිනවා.

මෙය හුදෙක් දේශපාලනමය හෝ පන්ති අතර ගැටුමක් පමණක් නොවෙයි. අධ්‍යාපන ක‍්‍රමය, වෘත්තීන් මෙන්ම ජන මාධ්‍ය ක්ෂේත‍්‍රය ආදී බොහෝ තැන්හිදී එය විවිධාකාරයෙන් අපට හමු වනවා.

ඓතිහාසිකව වරප‍්‍රසාද භුක්ති විඳින සමාජ පිරිස් සෙසු අය නැගී එනවාට කැමති නැහැ. උදාහරණයකට 1931දී බි‍්‍රතාන්‍ය පාලකයන් අපට සර්වජන ඡන්ද බලය ප‍්‍රදානය කිරීමට සැරසෙන විට අපේ සමහර ප‍්‍රභූන් හා උගතුන් එයට එරෙහි වුණා. තමන්ගේ ඡන්දය නිසි ලෙස භාවිත කිරීමට නොතේරෙන අයට එම බලය දීම අවදානම් සහගත බවට තර්ක කෙරුණා.

එහි යටි අරුත වූයේ ලක් ඉතිහාසයේ කිසිම දිනෙක සාමාන්‍ය ජනයාට කිසිදු අයිතියක් හෝ වරප‍්‍රසාදයක් හෝ නොතිබීමයි.

නූගතුන්ට හා දුප්පතුන්ට ආණ්ඩු තේරීමේ බලයක් නොදිය යුතුය යන්න එදා යටත් විජිත ශ‍්‍රී ලංකාවේ පමණක් නොව වත්මන් තායිලන්තයේ ද ප‍්‍රභූන් තවමත් මතු කරන තර්කයක්. (සරසවි අධ්‍යාපනයක් නොලද හෝ ආදායම් බදු ගෙවීමට තරම් නොඋපයන අයගේ ඡන්ද බලය අහිමි කළ යුතු යයි තායි ප්‍රභූ පිරිසක් යෝජනා කොට තිබෙනවා.)

එහෙත් ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදයට සංකල්පීය ලෙස කැප වී සිටි බි‍්‍රතාන්‍ය පාලකයෝ අපේ ප‍්‍රභූ විරෝධතා මැද සර්වජන ඡන්ද බලය අපට දායාද කළා. යම් අඩුපාඩු සහිතව වුවත් වසර 85ක් තිස්සේ මැතිවරණ දුසිම් ගණනකදී අපේ ජනයා මේ බලය භාවිත කර තිබෙනවාග

මව්පියන්ගෙන් පාසල් ගාස්තු අය නොකර, මහජනයාගෙන් එකතු වන බදු මුදල් යොදවා අධ්‍යාපන ක්ෂේත‍්‍රය නඩත්තු කිරීමේ සංකල්පය 1940 දශකයේ යෝජනා වූ විට ද සමහර ප‍්‍රභූන්ගේ ප‍්‍රතිරෝධයක් මතුව ආවා. (නිදහස් අධ්‍යාපනය ලෙස වැරදියට හඳුන් වන්නේ මේ ක‍්‍රමයයි.)

එහිදී ද යටි අරුත වුයේ වරප‍්‍රසාද භුක්ති විඳිමින් සිටි සංඛ්‍යාත්මක සුළුතරය, අධ්‍යාපනය හරහා සාමාන්‍ය ජනයාගේ දු දරුවන් සමාජයේ උසස් යයි පිළිගත් වෘත්තීන්ට හා තනතුරුවලට පිවිසීම දැකීමට නොකැමැති වීමයි.

පසුගිය සියවසේ මේ තීරණාත්මක අවස්ථා දෙකෙහිදීම මෙරට සමහර පුවත්පත් (එවකට තිබූ ප‍්‍රබලම මාධ්‍යය) පොදු ජනයා වෙනුවෙන් පෙනී සිටියා. සර්වජන ඡන්දයේත්, මුදල් අය නොකරන අධ්‍යාපනයේත් දිගු කාලීන සමාජ වටිනාකම තර්කානුකූලව පෙන්වා දීමට ප‍්‍රගතිශීලී පුවත්පත් කතුවරුන් පෙරට ආවා. (ඒ අතර ප‍්‍රතිගාමී බලවේග වෙනුවෙන් පෙනී සිටි පුවත්පත්ද තිබුණා.)

කන්නන්ගරයන්ගේ අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණවලට එරෙහිව නැගී ආ ප‍්‍රතිරෝධයට ප‍්‍රතිචාර දැක්වීමට ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම්, ආචාර්ය ගුණපාල මලලසේකර හා ආනන්ද මීවනපලාන තිදෙනා ආරක්ෂක වළල්ලක් මෙන් ක‍්‍රියා කළ සැටි ලේඛනගතව තිබෙනවා. පොදු උන්නතිය සඳහා වැදගත් තීරණ හා පියවර වෙනුවෙන් ජනමතය ගොඩ නැංවීමට මාධ්‍ය සමහරකගේ සහයෝගය ඔවුන් ලබා ගත්තා.

එදාට වඩා මාධ්‍ය ආයතන බහුල වී ඇති, තාක්ෂණය ඉදිරියට ගොස් තිබෙන අද තත්ත්වය කුමක්ද? ඇන්ටනාවකින් නොමිලයේ හසු කර ගත හැකි ටෙලිවිෂන් සේවාවන් 20කට වැඩි ගණනක්, FM නාලිකා 50ක් පමණ හා භාෂා තුනෙන්ම විවිධාකාරයේ පුවත්පත් දුසිම් ගණනක් අද මෙරට තිබෙනවා.

එහෙත් පොදු උන්නතියට ඍජුවම අදාළ වන අවස්ථා හා සංවාදවලදී මේ මාධ්‍ය බහුතරයක් සිටින්නේ කොතැනක ද යන්න සීරුවෙන් විමසා බැලිය යුතුයි.

මගේ දිගු කාලීන නිරීක්ෂණය නම් වැඩවසම්, ගතානුගතික හා අධිපතිවාදී වුවමනාකම්/මතවාදයන් සඳහා අපේ මාධ්‍ය එළිපිටම පෙනී සිටීම ප‍්‍රබල වී ඇති බවයි.

මෙයට හේතුව මාධ්‍ය ක්ෂේත‍්‍රය අධික ලෙස දේශපාලනකරණය ලක් වීම යයි යමෙකුට තර්ක කළ හැකියි. ඔව්, එයත් එක් හේතුවක්. එහෙත් මීට පරම්පරාවකට හෝ දෙකකට හෝ පෙර තිබූ මාධ්‍ය වෘත්තීය බව හා සමාජ කැප වීම ටිකෙන් ටික හීන වී යාමට මාධ්‍ය කර්මාන්තය තුළ අභ්‍යන්තර පිරිහීම ද දායක වී තිබෙනවා. මේ තත්ත්වය රාජ්‍ය මෙන්ම පෞද්ගලික හිමිකාරිත්වයෙන් යුතු මාධ්‍යවල දැකිය හැකියි.

වසර ගණනක් පුරා පැවති මාධ්‍ය මර්දනය හමුවේ සමහර මාධ්‍ය ආයතන හා මාධ්‍ය තීරකයන් (කතුවරුන්, කළමනාකරුවන්) හීලෑ වී ඇති බවක් පෙනෙනවා.

එසේම බහුතරයක් මාධ්‍ය අනවශ්‍ය පුජනීයත්වයකින් සලකන, එනිසාම හේතු සහගත විවේචනයකට හෝ බියවන ප්‍රසිද්ධ චරිත හා පොදු ආයතන සංඛ්‍යාව වෙන කවරදාටත් වඩා වැඩි වී තිබෙනවා.

මේ බොල් පිළිම වන්දනාවේ යන ප‍්‍රධාන ධාරාවේ මාධ්‍යවලට සාමාන්‍ය ජනයා වෙනුවෙන් හෝ පොදු උන්නතිය සඳහා හෝ පෙනී සිටීම කාලයක්, අවශ්‍යතාවක් නැහැ. මෙය ඛේදජනක යථාර්ථයක්.

කුලියාපිටියේ පාසල් දරුවා HIV ආසාදිත යැයි කියා කොන් කරනු ලැබූ විට අපේ බොහෝ බහුතරයක් මාධ්‍ය කළේ එය තලූ මරමින් වාර්තා කිරීම පමණයි. අඩු තරමින් ඒ දරුවාගේ හා මවගේ පෞද්ගලිකත්වයටවත් ගරු කෙරුණේ නැහැ. දරුවාට දුරින් පිහිටි විකල්ප පාසලක් සොයා දීමේ යෝජනාව මතු වී ඉදිරියට ගියේ ෆේස්බුක් සමාජ මාධ්‍යය හරහායි.

මහනුවර දළදා මාලිගය ඉදිරිපිටින් දිවෙන මාර්ගය වසර ගණනාවක් පුරා වාහන ධාවනයට ඉඩ නොදී වසා තිබීම නිසා ඇති වන අධික වාත දුෂණය හා අති මහත් ජනතා අපහසුතාව ගැන බොහෝ ප‍්‍රධාන ධාරාවේ (සිංහල) මාධ්‍ය ඇති තරම් කතා නොකළේ ඇයි? අස්ගිරි විහාරය එය යළිත් විවෘත කිරීමට අහේතුකව විරුද්ධ වීම නිසාද?

නාමධාරී ටික දෙනෙකුගේ අත්තනෝමතික විරෝධය නිසා මේ ගැන විග‍්‍රහ කැරෙන විද්‍යාත්මක ලිපි පවා පළ කිරීමට සමහර පුවත්පත් පැකිලෙනවා. එම පසුබිම තුළ විවෘත සංවාද වෙබ්ගත වී තිබෙනවා. නැතිනම් සාපේක්ෂව වැඩි පරාසයක මත ගැටුමට ඉඩ දෙන ඉංග‍්‍රීසි පුවත්පත්වලට සීමා වී තිබෙනවා.

අපේ ඉංග‍්‍රීසි පුවත්පත් වුවද සමහර මාතෘකා ගැන විවෘත මත දැක්වීමට බියයි. මාධ්‍ය වාරණයක් හෝ මාධ්‍යවලට මැර බලය පෑමක් නැති අද දවසේත් සමහර කතුවරුන් මහ දවල් බියට පත් වන, අහම්බෙන්වත් විවේචනය නොකරන සමාජ ආයතන තිබෙනවා. හමුදාව හා සංඝ සමාජය ඒ අතර ප‍්‍රධානයි. විශ්වවිද්‍යාල ගැනත් බොහෝ මාධ්‍ය තුළ ඇත්තේ බය පක්ෂපාතීකම පෙරදැරි කර ගත් ආකල්පයක්.

මේ හැම ආයතනයකම හොඳ මෙන්ම නරකද සාක්ෂි සහිතව දැකීම හා මැදහත්ව විග‍්‍රහ කිරීම අපට මාධ්‍යවලින් බලාපොරොත්තු වන්නට බැහැ. තමන්ගේ සරසවි ඇදුරන් මාධ්‍ය හරහා අනවශ්‍ය ලෙස පිම්බීම මාධ්‍යකරුවන් අතර බහුල පුරුද්දක්.

වුවමනාවට වඩා බය පක්ෂපාතී වූ, අධිපතිවාදයන්ට නතු වූ ප‍්‍රධාන ධාරාවේ මාධ්‍යයට යම් තරමකට හෝ විකල්ප අවකාශයක් මතු වන්නේ වෙබ් හරහා ලියැවෙන බ්ලොග් රචනා හා සමාජ මාධ්‍ය අදහස් ප‍්‍රකාශනය තුළින්. මෙය සමාජයීය හිදැසකට හෙවත් රික්තයකට මතුව ආ සාමූහික ප‍්‍රතිචාරයක් ලෙසද දැකිය හැකියි.

මාර්තු 26 වනදා දෙවන වරටත් පවත්වන ලද නෙළුම් යාය සිංහල බ්ලොග් සම්මාන උළෙලේදී මේ ගැන මා අදහස් දැක්වීමක් කළා. එහිදී මා කීවේ බ්ලොග් අවකාශය හා සමාජ මාධ්‍ය තුළ හමු වන ‘ගරු සරු නැති ගතිය’ (irreverence) දිගටම පවත්වා ගත යුතු බවයි.

මේ ගතිය අධිපතිවාදී තලයන්හි සිටින අයට, නැතිනම් ජීවිත කාලයක් පුරා අධිපතිවාදය ප‍්‍රශ්න කිරීමකින් තොරව පිළි ගෙන සිටින ගතානුගතිකයන්ට නොරිස්සීම අපට තේරුම් ගත හැකියි.

ඔවුන් මැසිවිලි නගන්නේ සමාජ මාධ්‍ය නිසා සාරධර්ම බිඳ වැටන කියමින්. ඇත්තටම එහි යටි අරුත නම් පූජනීය චරිත ලෙස වැඳ ගෙන සිටින අයට/ආයතනවලට අභියෝග කැරෙන විට දෙවොලේ කපුවන් වී සිටින ප‍්‍රධාන ධාරාවේ මාධ්‍ය කතුවරුන්ට දවල් තරු පෙනීමයි!

සමාජ මාධ්‍ය පාලනය කරන්න යැයි ඔවුන් කෑගසන්නේ දේවාලේ ව්‍යාපාරවලට තර්ජනයක් මතු වීම හරහා කලබල වීමෙන්.

මෙයින් මා කියන්නේ  ඕනෑම දෙයක් කීමට හෝ ලිවීමට ඉඩ දිය යුතුය යන්න නොවෙයි. එහෙත් සමාජ මාධ්‍ය නියාමනය ඉතා සීරුවෙන් කළ යුත්තක් බවයි. නැතහොත් සමාජයක් ලෙස දැනට ඉතිරිව තිබෙන විවෘත සංවාද කිරීමට ඇති අවසාන වේදිකාවත් අධිපතිවාදයට හා සංස්කෘතික පොලිසියට නතු වීමේ අවදානම තිබෙනවා.

අපටත් වඩා ගතානුගතික වූ ඉන්දියානු සමාජය පුරවැසි අයිතීන් වෙනුවෙන් නව තාක්ෂණය හා නූතනත්වය යොදා ගන්නා සැටි අධ්‍යයනය කිරීම වැදගත්.

Image courtesy The Hindustan Times
Image courtesy The Hindustan Times

2015 මාර්තුවේ ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය වැදගත් තීන්දුවක් ප‍්‍රකාශයට පත් කළා. එනම් 2008දී පනවන ලද එරට තොරතුරු තාක්ෂණ පනතේ 66A වගන්තිය ව්‍යවස්ථා විරෝධී බවයි. එම වගන්තිය යටතේ ක‍්‍රියා කරමින් ෆේස්බුක් හා ට්විටර් සමාජ මාධ්‍යවල විකල්ප මත පළ කළ ඉන්දියානුවන් කිහිප දෙනකු එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා. මේ ගැන කම්පාවට පත් නීති ශිෂ්‍යාවක් මෙයට එරෙහිව එරට ඉහළම උසාවියට පෙත්සමක් ඉදිරිපත් කළා.

BBC Online: 24 March 2016

Section 66A: India court strikes down ‘Facebook’ arrest law

‘ඕනෑම සමාජයක භාෂණ නිදහස පැවතිය යුතු අතර එයට කරන සීමා කිරීම් අතිශයින් යුක්ති සහගත විය යුතුයි. තොරතුරු තාක්ෂණ පනතේ 66A වගන්තිය මේ සීමා ඉක්මවා ගිය, පුරවැසි ප‍්‍රකාශන අයිතිය අනිසි ලෙස කොටු කරන්නක්’ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ සඳහන් වූවා.

තව දුරටත් තීන්දුව මෙසේද කීවා. ‘ඕනෑම කරුණක් ගැන සාකච්ඡා කරන්නත් (discussion), යම් ක‍්‍රියාමාර්ගයක් වෙනුවෙන් එයට පක්ෂව මත පළ කරන්නත් (advocacy) පුරවැසියන්ට නිදහස තිබෙනවා. එම මත දැක්වීම් කෙතරම් ජනප‍්‍රිය ද නැද්ද යන්න එහිදී අදාළ නැහැ. මත දැක්වීම ඉක්මවා යම් සමාජ විරෝධී උසිගැන්වීමක්  (incitement) සිදු වේ නම් පමණක් නීතිය හා සාමයට තර්ජනයක් කියා එය පාලනය කළ හැකියි. වෙබ් හරහා පළ කරන අදහස් සමහරුන්ට දිරවා ගත නොහැකි වූ පමණටවත්, අතිශයින් ආන්දෝලනාත්මක වූ පමණටවත් එයට මැදිහත් වීමට පොලිසියට හෝ රජයට හෝ ඉඩක් නොතිබිය යුතුයි.

The Hindu, 26 March 2016: The judgment that silenced Section 66A

Image source: http://www.news18.com/news/india/cartoon-of-the-day-23-977140.html
Image source: http://www.news18.com/news/india/cartoon-of-the-day-23-977140.html

මේ ඉතා වැදගත් තීන්දුව ගැන අදහස් දැක්වූ ප‍්‍රකට ඉන්දියානු නීති ක‍්‍රියාකාරකයකු වන ලෝරන්ස් ලියැං (Lawrence Liang) කිවේ මෙයයි. ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක විවේචනය කිරීමට හා විසමුම්තියට  ඕනෑම අයකුට නිදහස තිබිය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය නැවත වරක් පිළිගෙන තියෙනවා. යම් මත දැක්වීමක් නිසා සමහරුන්ගේ මාන්නයට හෝ අධිපතිවාදයට පහර වැදුණු පමණට එය කිසිසේත්ම නීති විරෝධී වන්නේ නැහැ!’

Free speech Ver.2.0, by Lawrence Liang. The Hindu. 25 March 2015

21 වන සියවසේ ප‍්‍රකාශන නිදහස ගැන විමර්ශනය කරන විට සාමාන්‍ය ජනයා ඉන්ටර්නෙට් හරහා කරන තොරතුරු හුවමාරුවට හා මත දැක්වීම්වලට අනිවාර්යයෙන්ම ඉඩ සහතික කළ යුතු බව ඔහු කියනවා. ප‍්‍රකාශන නිදහස ප‍්‍රධාන ධාරාවේ මාධ්‍යවලට පමණක් සුවිශේෂී වන අයිතියක් නොවෙයි.

‘භාෂණ හා ප‍්‍රකාශන නිදහස ගැන ඉන්දියාවේ අලූත් ආකාරයේ සංවාදයන් බිහි වන සැටි මා දකිනවා. 66A වගන්තිය ඉවත් කිරීමට පෙළ ගැසුණේ නීතිඥයන්, බ්ලොග් රචකයන්, සමාජ ක‍්‍රියාකාරිකයන් හා සමාජ මාධ්‍ය භාවිත කරන්නන්. සන්නිවේදනය නම් වූ පරිසර පද්ධතිය තුළ ප‍්‍රධාන ධාරාවේ මාධ්‍යවලට අමතරව දැන් වෙබ්ගත සන්නිවේදකයන් ද හරි හරියට සක‍්‍රීයව සිටිනවා. මේ නිසා රජයන්ට හා අධිපතිවාදීන්ට හිතුමතයට ක‍්‍රියා කළ නොහැකියි.’ ලියැං තවදුරටත් කියනවා.

ළිංමැඬියාවෙන් පෙළෙන අපේ සමාජයට කවදා හෝ ළිඳෙන් ගොඩ යන්නට අත්වැලක් සපයන්නේ අධිපතිවාදය හෙළා දකින නූතනත්වය පමණයි!

Image courtesy www.livemint.com
Image courtesy http://www.livemint.com

2015 මහ මැතිවරණය: භාෂණයේ නිදහස හා මාධ්‍ය නිදහස පිළිබඳ ප්‍රකාශය

2015 මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වන

සියලු දේශපාලන පක්ෂවල අවධානය සඳහා…

භාෂණයේ නිදහස හා

මාධ්‍ය නිදහස පිළිබඳ ප්‍රකාශය

2015 ජූලි 21

English version: SL General Election 2015: Statement on Freedom of Expression and Media Freedom

Media Reform Agenda for Lankan Political Parties - 21 July 2015
Media Reform Agenda for Lankan Political Parties – 21 July 2015

භාෂණයේ නිදහස, මාධ්‍ය නිදහස හා මාධ්‍ය උන්නතිය පිළිබද දේශපාලන පක්ෂවල සැබෑ කැපවීම පෙන්වන තෙක් ඡන්දදායක රටවැසියන් මහත් අපේක්ෂාවෙන් පසු වේ.

  • ජනමාධ්‍ය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ සමුළු ලේකම් කාර්යාලය
  • ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය (SLPI)
  • නිදහස් මාධ්‍ය ව්‍යාපාරය (FMM)
  • ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය
  • ශ්‍රී ලංකා පත්‍රකලාවේදීන්ගේ සංගමය
  • ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ ජාතික සංධානය
  • ප්‍රජා ගුවන්විදුලි මාධ්‍යවේදීන්ගේ ජාතික කමිටුව
  • තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සමාජය
  • ශ්‍රී ලංකා මුස්ලිම් ජනමාධ්‍යවේදීන්ගේ සංගමය
  • යාපනය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය (Jaffna Press Club)

එක්ව කරන ප්‍රකාශනයකි.

Media Reform Recommendations for Political Party Commitment prior to Sri Lanka General Election 2015. Press Conference at Sri Lanka Press Institute, 21 July 2015
Media Reform Recommendations for Political Party Commitment prior to Sri Lanka General Election 2015. Press Conference at Sri Lanka Press Institute, 21 July 2015

2015 ජනවාරි 8 ජනාධිපතිවරණයෙන් පසු ශ්‍රී ලංකාව භාෂණයේ හා මාධ්‍ය නිදහස පිළිබඳව යම් මට්ටමක සාධනීය තත්ත්වයක් ඇති කර ගැනීමට සමත් වූ බව පෙනෙන්නට තිබේ.

මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් වෙත එල්ල වූ බලපෑම් හා තර්ජන වැලැක්වීමට ගත් ක්‍රියා මාර්ග, පදනම් විරහිත ලෙස අවහිර කරන ලද දේශපාලනික වෙබ් අඩවි නැවත නිදහස් කිරීම, තොරතුරු දැන ගැනීමේ අයිතිය 19 වන ව්‍යවස්ථා සංශෝධනයේදී මුලික අයිතිවාසිකමක් ලෙස පිළි ගැනීම, දේශපාලනික හේතුන් මත රට හැර ගොස් සිටින ජනමාධ්‍යවේදීන්ට නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙසට රජය විසින් කරනු ලබන විවෘත ආරාධනා, වැනි පියවර මේ බවට මූලික නිමිති සපයයි.

කෙසේ වෙතත් භාෂණයේ නිදහස හා මාධ්‍ය නිදහස වර්ධනය කිරීම සඳහා තවත් කටයුතු රාශියක් ඉතිරි වී ඇති බව අපගේ අදහසයි. ඉදිරි මහ මැතිවරණයෙන් පසු තේරී පත් වන නව පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂ මෙම ප්‍රතිපත්තිමය, නීතිමය, ව්‍යුහාත්මක වෙනස්කම් සඳහා අවශ්‍ය වන දේශපාලනික කැපවීම ප්‍රදර්ශනය කරනු ඇතැයි යන්න අපගේ අපේක්ෂාවයි.

මේ කරුණු සැලකිල්ලට ගනිමින් ජනමාධ්‍ය නිදහස වර්ධනය කිරීමට හා එහි සාධනීය ව්‍යුහාත්මක වෙනසක් ඇති කීරීම පිළිබඳ පහත සඳහන් නිශ්චිත නිර්දේශ කෙරෙහි සිය කැපවීම ප්‍රකාශ කරන මෙන් 2015 අගෝස්තු 17 වන දින මහා මැතිවරණයට ඉදිරිපත් වන සියලු දේශපාලන පක්ෂවලින් අපි ඉල්ලා සිටිමු.

(මෙම කරුණු පෙළගැස්වීම එහි ප්‍රමුඛතාවය අනුව නොවන බව සලකන්න)

1. තොරතුරු දැනගැනීමේ අයිතිය: පුරවැසියන්ට රජය හා රජයේ ආයතන සතු තොරතුරු ලබා ගැනීමේ අයිතිය නීතියෙන් සම්මත කළ යුතුය. සියලුම මාධ්‍ය පාර්ශවකරුවන්ගේ දායකත්වය සහිතව 2015 මැයි මස සකස් කොට අවසන් කරන ලද තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ පනත් කෙටුම්පත නව පාර්ලිමේන්තුව විසින් හැකි තාක් ඉක්මනින් හා දියාරු නොකොට සම්මත කර ගත යුතුය.

2. මාධ්‍ය ස්වයං නියාමනය: 1973 අංක 5 දරණ පුවත්පත් කොමිසම පනත ඉවත් කළ යුතු අතර රජය විසින් පාලනය කරන පුවත්පත් මණ්ඩලය මුළුමනින්ම අහෝසි කළ යුතුය. ඒ වෙනුවට මාධ්‍ය කර්මාන්තය විසින්ම 2003 වසරේ ස්ථාපිත කරන ලද ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසම ශක්තිමත් කොට සියලු මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ආවරණය වන පරිදි පුළුල් කිරීමෙන් වඩාත් සවිමත් හා සක්‍රිය ස්වයං නියාමන ව්‍යුහයක් ස්ථාපිත කළ යුතුය.

3. නීති විමර්ශනය හා සංශෝධනය: මාධ්‍ය නිදහස කෙරෙහි ප්‍රායෝගිකව යම් යම් සීමා පන වන සිවිල් හා අපරාධ නීති තවමත් මෙරට නීති පොත්වල ඉතිරිව පවතී. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත, රාජ්‍ය ද්‍රෝහිත්වය පිළිබඳ නීති, අධිකරණයට අපහස කිරීමේ හා පාර්ලිමේන්තු වරප්‍රසාද කඩ කිරීම පිළිබඳ නීති මෙයට ඇතුලත්ය. මේවා විමර්ශනය කොට භාෂණයේ නිදහස හා මාධ්‍ය නිදහස පිළිබඳ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වන අයුරින් සංශෝධනය කළ යුතුය.

4. ජනමාධ්‍යවේදීන්ට එරහි අපරාධ විමර්ශනය: ඝාතනය කරන ලද, පහරදීම්වලට ලක් වූ, තර්ජනයට ලක් කරන ලද, අතුරුදන් කරන ලද හෝ වෙනත් අයුරකින් හිරිහැරයට ලක් වූ මාධ්‍යවේදීන් හා ජනමාධ්‍ය ආයතන පිළිබඳව අපක්ෂපාතීව විමර්ශනය කොට, වරදකරුවන් නීතිය ඉදිරියට ගෙන ඒමටත්, අගතියට පත් පාර්ශව සඳහා වන්දි ලබා දීමටත් වගකීම දරන ඉහළ මට්ටමේ ස්වාධීන කොමිසමක් පත් කළ යුතුය.

Seetha Ranjanee, Convenor of Free Media Movement of Sri Lanka, speaks at press conference on media reforms: Sri Lanka Press Institute, Colombo. 21 July 2015
Seetha Ranjanee, Convenor of Free Media Movement of Sri Lanka, speaks at press conference on media reforms: Sri Lanka Press Institute, Colombo. 21 July 2015

5. විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍රය නියාමනය: භාෂණයේ නිදහස තහවුරු කරන ජාත්‍යන්තර නීති රීති වලට අනුගත වෙමින් ශ්‍රී ලංකාව තුල විද්‍යුත් මාධ්‍ය විකාශන නියාමනය කළ යුතුය. එසේ කිරීම මගින් රේඩියෝ සහ ටෙලිවිෂන් සඳහා විකාශන සංඛ්‍යාත වෙන් කිරීම විධිමත් ලෙස සැලසුම්කරණය කළ යුතුය. එසේම මහජන සේවා, වාණිජ හා ප්‍රජා යන තල තුන තුළම සේවා සැපයීම සඳහා අවස්ථා සැලසිය යුතුය. එමගින් දේශපාලනික හා වෙනත් පොදු උන්නතියට අදාල තොරතුරු ආවරණය වඩාත් සමබරව හා අපක්ෂපාතීව ගෙන ඒමට විද්‍යුත් මාධ්‍ය ආයතනවලට ඇති වගකීම ඉටු කිරීමට නියාමන බලපෑමක් කළ හැකි වනු ඇත. මහජන අභිලාෂයන් මුදුන්පත් වන අයුරුන් සමස්ත නියාමනය සිදු කළ හැකි පරිදි ස්වාධීන විකාශන අධිකාරියක් ස්ථාපනය කළ යුතුය.

6. ප්‍රජා විද්‍යුත් මාධ්‍ය: විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍රය නියාමනය මගින් ප්‍රජා විකාශන සේවා (community broadcasting) උනන්දු කල යුතුය. ජාත්‍යන්තර අර්ථ දැක්වීම් වලට අනුව ප්‍රජා විකාශනයන්හි හිමිකාරිත්වය හා මෙහෙයවීම ප්‍රජාව සතු විය යුතු අතර ඒවාට වඩාත් උචිත හා දරාගත හැකි ලෙස සකස් කරන ලද බලපත්‍ර ක්‍රමවේදයක් හඳුන්වා දිය යුතුය.

7. රාජ්‍ය මාධ්‍ය ප්‍රතිව්‍යුහගතකරණය: මහජනයා සතු රාජ්‍ය මාධ්‍ය ආයතන, බලයේ සිටින පක්ෂයේ ප්‍රචාරක වැඩට යොදා ගන්නා අශීලාචාර සම්ප්‍රදායෙන් දැන්වත් අත්මිදිය යුතුය. රාජ්‍ය විද්‍යුත් මාධ්‍ය ආයතන තුන වන ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව (SLRC), ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව (SLBC) ස්වාධීන රුපවාහිනී සේවය (ITN) ස්වාධීන මහජන සේවා ආයතන බවට පත් කළ යුතුය. එමගින් කර්තෘ නිදහස ආරක්ෂා කරන මහජන සේවා සපයන්නෙකු බවට මේ ආයතන කෙමෙන් පරිවර්තනය කළ යුතුය. මෙම ආයතනවලට දේශපාලන බලපෑම් කිරීමට ඉඩක් නැති පරිදි ස්වාධීන ලෙස මුදල් ප්‍රතිපාදන ලැබෙන ක්‍රමවේදයක් සකස් කළ යුතුය. එම ක්‍රියාමාර්ග මගින් එම ආයතනයන්හි මෙතෙක් කිසිදා නොපැවති ස්වාධීනත්වය ටිකෙන් ටික තහවුරු කර ගත හැකිය. ලේක්හවුස් ආයතනයටද (Associated Newspapers Ceylon Limited, ANCL) රාජ්‍ය බලපෑමෙන් ස්වාධීනව කර්තෘ නිදහස භුක්ති විඳීම සඳහා ක්‍රියාදාමයක් සකස් කල යුතුය. ඒ සඳහා සුදුසු ක්‍රියාමාර්ග පිළිබඳ මහජන අදහස් විමසීමක් කළ යුතුය.

Lasantha Ruhunage, President of Sri Lanka Working Journalists’ Association, speaks at press conference at SLPI, Colombo, 21 July 2015
Lasantha Ruhunage, President of Sri Lanka Working Journalists’ Association, speaks at press conference at SLPI, Colombo, 21 July 2015

8. මාධ්‍ය වාරණය වැලැක්වීම: කිසිදු මාධ්‍යයක් කිසිවක් ප්‍රකාශනයට පෙර බලධාරීන්ගෙන් අවසර පතන වාරණ ක්‍රම සියල්ල ඉවත් කළ යුතුය. ප්‍රකාශනයෙන් හෝ විකාශයෙන් පසුව කිසිවකුට අගතියක් වේ නම් උසාවියක් මගින් මාධ්‍ය අන්තර්ගතය පරික්ෂා කිරීම සඳහා අවශ්‍ය පියවර ගත හැකිය. (ප්‍රසිද්ධ රැගුම් පාලන පනතද ඇතුළු) වාරණ නීති හා රෙකුලාසි නැවත සලක බැලිය යුතු අතර භාෂණයේ නිදහස හා මාධ්‍ය නිදහස පිළිබඳ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වන අයුරින් සංස්කරණය කළ යුතුය.

9. දේශපාලන වෙබ් අඩවි සඳහා සීමා ඉවත් කිරීම: ව්‍යවස්ථාවෙන් හා ජාත්‍යන්තර සම්මුතීන් මගින් සහතික කරන ලද භාෂණයේ නිදහස උල්ලංගනය කරන පරිදි සමාජ ජාල හා අන්තර්ජාල අන්තර්ගතය පාලනය නොකළ යුතුය. රට තුළ සිට කියැවීමට නොහැකි වන සේ දේශපාලන වෙබ් අඩවි අවහිර කිරීම කිසිසේත්ම නොකළ යුතුය. රටේ නීතියට නිශ්චිතවම එරෙහි වන (අසැබි රූප ආදිය ඇතුළත්) වෙබ් අඩවි පාලනය කිරීම පිළිබඳ සීමා පැන වීමේදී එය සැම විටම අධිකරණ අධීක්ෂළය යටතේ පමණක් කළ යුතු අතර එමගින් මහජනයාගේ තොරතුරු ලබා ගැනීමේ නිදහසට හා භාෂණයේ නිදහස සඳහා වන මූලික මානව අයිතිවාසිකම්වලට කිසිදු බාධාවක් ඇති නොවිය යුතුය.

10. අවේක්ෂණය වැලැක්වීම: තොරතුරු සමාජයේ ප්‍රගමනය සමග නූතන සන්නිවේදන තාක්ෂනයන් භාවිතය පුළුල් වෙයි. රජය විසින් සියලු පුරවැසියන්ගේ පෞද්ගලිකත්වය ගරු කොට ආරක්ෂා කළ යුතුය. පෞද්ගලික පුරවැසියන්ගේ හා ආයතනවල දුරකථන සංවාද හා විද්‍යුත් සන්නිවේදන අවේක්ෂණය කිරීම (surveillance) රජය විසින් කිසි විටෙකත් දේශපාලන වාසි පිනිස නොකළ යුතුය. අපරාධ විමර්ශනය වැනි විශේෂිත අවස්ථාවන්හිදී පමණක් එවැනි අවේක්ෂණය සඳහා අවසර දිය යුත්තේ අධිකරණ අධීක්ෂණය යටතේ හා නිශ්චිත සීමාවලට යටත් වන පරිදිය.

Covering the Press Conference at SLPI, 21 July 2015

 

 

සිවුමංසල කොලූගැටයා #227: භාෂණයේ නිදහසට හා ප‍්‍රශස්ත මාධ්‍යකරණයට දේශපාලන කැපවීමක් ඕනෑ!

Hands off media freedom!
Hands off media freedom!

Media sector reforms in Sri Lanka have become both urgent and important. Media freedom cannot be consolidated without other reforms that create a more professional and responsible media.

Some progress has been made since the Presidential election. The new government has taken steps to end threats against media organisations and journalists, and started or resumed criminal investigations on some past atrocities. Political websites that were arbitrarily blocked from are once again accessible. Journalists who went into exile to save their lives have started returning.

On the law-making front, meanwhile, the 19th Amendment to the Constitution recognized the right to information as a fundamental right. But the long-awaited Right to Information Bill could not be adopted before Parliament’s dissolution.

Thus much more remains to be done. For this, a clear set of priorities has been identified through recent consultative processes that involved media owners, practitioners, researchers, advocacy groups and trainers. These discussions culminated with the National Summit on Media Reforms organised by the Ministry of Media, the University of Colombo, Sri Lanka Press Institute (SLPI) and International Media Support (IMS), and held in Colombo on 13 and 14 May.

In my latest Ravaya column (in Sinhala language, published on 12 July 2015), I list the priorities for media policy and law reforms that require political commitment by all political parties in Sri Lanka.

See also:

26 April 2015: සිවුමංසල කොලූගැටයා #216: ලොවම හිනස්සන ලක් රජයේ සන්නිවේදන විහිළු

24 May 2015: සිවුමංසල කොලූගැටයා #220: ශ‍්‍රී ලංකාවේ මාධ්‍ය ප‍්‍රතිසංස්කරණ කෙසේ විය යුතුද?

Vigil for dead and disappeared Lankan journalists - held in Colombo, 4 Jan 2015
Vigil for dead and disappeared Lankan journalists – held in Colombo, 4 Jan 2015

අගෝස්තු 17 වනදා පැවැත්වීමට නියමිත මහ මැතිවරණය සඳහා දේශපාලන පක්ෂ සූදානම් වනවා. ඡන්ද පොරොන්දු ගැන මහජන විශ්වාසය පළුදු වී ඇතත්, ප‍්‍රධාන පෙළේ දේශපාලන පක්ෂ සියල්ලම පාහේ මැතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශන හා ප‍්‍රතිඥා ඉදිරි දිනවලදී එළි දක්වනු ඇති.

අපේක්ෂකයන්ගේ පසුබිමත්, පක්ෂ ප‍්‍රතිපත්ති හා ප‍්‍රතිඥාත් සලකා බලා ඡුන්දය ප‍්‍රකාශ කිරීම වඩාත් සුදුසුයි.

මාධ්‍ය ප‍්‍රතිව්‍යුහකරණය සඳහාත්, භාෂණ නිදහස තහවුරු කිරීම සඳහාත් දේශපාලනික කැපවීමක් (political commitment) අවශ්‍යයි. මැතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශන සම්පාදනය කරන අයගේ අවධානයටත්, සෙසු සමාජයේ දැන ගැනීමටත් මේ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛතා මොනවාදැයි කැටි කිරීමට මා අද උත්සාහ කරනවා.

මාධ්‍ය නිදහස පසුගිය ජනාධිපතිවරණයේදී ප්‍රධාන තේමාවක් වූවා. මැතිවරණයක් එලඹෙන විට ‘මාධ්‍ය නිදහස රකිනවා’ කීම පමණක් සෑහෙන්නේ නැහැ. එය සැබැවින්ම සාක්ෂාත් කර ගැනීමට ගත යුතු නීතිමය, ප‍්‍රතිපත්තිමය හා නියාමන මට්ටමේ පියවර ගණනාවක් තිබෙනවා.

20 වන සියවස මැද භාගයේ පැවති යථාර්ථයට අනුව සකස් වූ මාධ්‍ය නීතිරීති 21 වන සියවසේ දෙවැනි දශකය දක්වා තවමත් අපේ රටේ යොදා ගැනෙනවා. තොරතුරු සමාජය ඉදිරියට යන අතර ලක් සමාජය පසුගාමී වීමටත්, මාධ්‍ය ක්ෂේත‍්‍රයේ විසමතා ඇති වීමටත් මේ නොගැලපීම දායක වනවා.

දේශපාලන ප‍්‍රතිඥාවලට සියල්ල වෙනස් කළ නොහැකි බව ඇත්තයි. එහෙත් සමාජයට කේන්ද්‍රීය වශයෙන් බලපාන මාධ්‍ය ක්ෂේත‍්‍රය වඩාත් වගකීම් සහගත හා බලාත්මක කරන්නට ව්‍යුහමය ප‍්‍රතිසංස්කරණ අවශ්‍ය වනවා.

මැයි මස 13-14 දෙදින තුළ කොළඹදී පැවති මාධ්‍ය ප‍්‍රතිව්‍යුහකරණය සඳහා ජාතික සමුළුව හරහා මෙම අවශ්‍යතා හඳුනා ගෙන අදාළ සියලූ පාර්ශ්වකරුවන්ගේ සහභාගීත්වයෙන් ප‍්‍රමුඛතා ගත කෙරුණා. මේ පියවර 12 මා තෝරා ගත්තේ එතැනින්.

1. තොරතුරු දැන ගැනීමේ අයිතිය නීතියෙන් තහවුරු කැරෙන පනත් කෙටුම්පතක් මැයි මාසය අවසන් වන විට සූදානම්ව තිබුණා. අංග සම්පූර්ණ නොවූවත් යම් තරමකට මහජනතාවගේ තොරතුරු අයිතිය සම්පාදනය කළ හැකි මේ කෙටුම්පත අවාසනාවකට පාර්ලිමේන්තුව විසුරුවන තෙක් සම්මත කරගත නොහැකි වුණා. මීළඟ පාර්ලිමේන්තුවේදී මෙය හැකි තාක් ඉක්මනින් විවාදයට ගෙන සම්මත කර ගන්නා මෙන් අප සියළු දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටිනවා. එය සඳහා පැහැදිලි කැපවීමක් මැතිවරණ ප‍්‍රකාශයන්ගෙන් අප අපේක්ෂා කරනවා. 2002 සිට විවිධ උත්සාහයන් ගත්ත ද තවමත් නීතිගත කර ගන්නට බැරි වූ තොරතුරු පනත 2015 වසර ගෙවී යන්නට පෙර සම්මත කර ගැනීම සියලූ පුරවැසියන් මෙන්ම සියලූ මාධ්‍යවේදීන්ගේ ද ප‍්‍රමුඛතාවක් විය යුතුයි.

2. බි‍්‍රතාන්‍ය පාලකයන් යටත් විජිතවල වැසියන් සිය පරිපාලනය ගැන ඇති තරම් තොරතුරු දැන ගැනීම වැළැක්වීමට හඳුන්වා දුන් සීමා හා දණ්ඩන බොහෝ දුරට ගෙඩි පිටින් නිදහස් ලංකාව ද පිළිගෙන තිබෙනවා. 1955 අංක 32 දරණ රාජ්‍ය රහස් පනත දැන් වසර 60ක් පැරණියි. එයට ආකෘතිය වූ 1911 බි‍්‍රතාන්‍යයේ රාජ්‍ය රහස් පනත සම්මත කර ගත්තේ පළමුවන ලෝක යුද්ධ සමයටත් පෙර යුරෝපයේ පැවති අවිනිශ්චිතබව තුළ රාජ්‍ය රහස් සතුරන් අතට යාම වැළැක්වීමටයි.

පසු කාලීනව මතු වූ සාධාරණ විවේචනවලට සංවේදී වූ බි‍්‍රතාන්‍ය රජය 1989දී රාජ්‍ය රහස් පිළිබඳව වඩා ප‍්‍රගතිශීලී පනතක් සම්මත කළා. එහෙත් සියවසක් පැරණි ආකෘතියකට සාදන ලද අපේ පනත තවමත් ‘රාජ්‍ය රහස්’ යන්න පුළුල්ව නිර්වචනය කරනවා. මේ අනුව රටේ ආර්ථිකයට හා ජන ජීවිතයට ඍජුවම අදාළ තොරතුරු පවා ‘රහසිගත’ ලේබලය ගසා යටපත් කිරීමට නිලධාරීන්ට ඉඩ ලැබෙනවා. රජයකට යම් තොරතුරු රහසිගතව පවත්වා ගැනීමට සාධාරණ අයිතියක් ඇතත්, එය නූතන ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රමිතීන්ට හා තොරතුරු සමාජයේ තාක්ෂණික යථාර්ථයන්ට අනුකූල විය යුතුයි. රාජ්‍ය රහස් පනත සංශෝධනය කොට කාලානුරූප කිරීමේ ප‍්‍රතිඥාවක් අප අපේක්ෂා කරනවා.

National Right to Information laws status - as of 2013
National Right to Information laws status – as of 2013

3. මාධ්‍යවේදීන් හා සෙසු සිවිල් සමාජ ක‍්‍රියාකාරිකයන් පොදු උන්නතිය උදෙසා සන්නිවේදනය කරන විට ඔවුන්ට බලපෑම් කළ හැකි හා හිරිහැර කිරීමට රජයන් විසින් යොදා ගන්නා තවත් ආන්දෝලනාත්මක නීති තිබෙනවා. ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත හා එහි සංශෝධන, පාර්ලිමේන්තු වරප‍්‍රසාද පිළිබඳ නීතිය මෙන්ම රාජ්‍ය ද්‍රෝහීත්වය පිළිබඳ යටත්විජිත සමයේ සිට පැවතෙන නීති ද මේ අතර වනවා.

භාෂණ නිදහසට සැබැවින්ම කැප වන්නේ නම් අපේ දේශපාලන පක්ෂ මෙවැනි සියලූ නීති සමීප විමර්ශනයකට ලක් කිරීමකට එකඟ විය යුතුයි. එහිදී යල්පැන ගිය නීති ජාත්‍යන්තර ප‍්‍රමිතීන්ට අනුව නව සියවසට හා පවතින යථාර්ථයන්ට සරිලන පරිදි අලූත් කිරීමට ප‍්‍රතිඥාවක් අප බලාපොරොත්තු වනවා.

4. අධිකරණයට නිසි ගරුසරු දැක්විය යුතු බව ශිෂ්ඨ සමාජයන් පිළි ගන්නවා. එයට සමාන්තරව අධිකරණයේ ක‍්‍රියාදාමය ද මාධ්‍යවල හා මහජනතාවගේ නිරීක්ෂණ හා විචාරයන්ට ලක් විය යුතුයි. යහපාලනයේ එක් වැදගත් ගුණාංගයක් වන්නේ යුක්තිය පසිඳලීම සඳහා ඇති ආයතන පිළිබඳ මහජන පිළිගැනීම ඉහළ යාමයි. අධිකරණ නඩු තීන්දු මෙන්ම විනිසුරුකරුවන්ගේ ක‍්‍රියාදාමයන් ගැන විචාරය කිරීමට අපේ මාධ්‍ය බොහෝ විට මැලි වන්නේ අධිකරණයට අපහාස කිරීම (contempt of court) යටතේ චෝදනා ලැබෙතැයි බියෙන්.

ඇමෙරිකාව, බි‍්‍රතාන්‍ය හා ඉන්දියාව වැනි රටවල අධිකරණ අපහාස නීතිය අපේ මෙන් පුළුල් නැහැ. භාෂණ නිදහස හා අධිකරණයේ ගරුත්වය ඔවුන් වඩා හොඳින් තුලනය කරනවා. සැබැවින්ම අධිකරණයට අපහාසයක් යනු කුමක්ද යන්න පැහැදිලිව නිර්වචනය කරමින් මේ පිළිබඳ නව නීතියක අවශ්‍යතාව මෙරට මතුව තිබෙනවා. මෙය මාධ්‍යවලට මෙන්ම සියලූ පුරවැසියන්ගේ භාෂණ නිදහස තහවුරු කරන්නක්. මෙයටත් දේශපාලන පක්ෂවල කැපවීමක් අවශ්‍යයි.

Sri Lanka revives Press Council devil5. 1973දී පනතක් හරහා පිහිට වූ රජයට අයත් පුවත්පත් මණ්ඩලය (Press Council) බොහෝ මාධ්‍යවේදීන් දකින්නේ මර්දනකාරී ආයතනයක් ලෙසයි. එය මුළුමනින් වසා දමා එහි අදාළ නීතිය ද නීති පොතෙන් ඉවත් කළ යුතුයි.

මුද්‍රිත මාධ්‍ය කර්මාන්තය විසින්ම ස්වයං නියාමනය කිරීමේ උත්සාහයක් නම් 2003දී පිහිටුවා ගත් පුවත්පත් පැමිණිලි කොමිසමයි (PCCSL, www.pccsl.lk). මෙහි තීරණ පිළිගැනීමට බහුතරයක් පුවත්පත් එකඟ වී සිටිනවා. රටේ තිබෙන 50කට අධික රේඩියෝ නාලිකා හා 20කට අධික ටෙලිවිෂන් නාලිකාවල අන්තර්ගතය ගැන ස්වයං නියාමනයක් කිරීමට මෙබඳු ආයතනයක් බිහිවීමේ ඕනෑකම තදින් දැනෙනවාග නමුත් එය රජයේ නොව කර්මාන්තයෙන්ම මතු විය යුතුයිග රජය මාධ්‍ය අන්තර්ගතය නියාමනය කිරීමේ වැඩවසම් මානසිකත්වයෙන් අප මිදිය යුතුයි.

6. 1990 දශකය මුල පටන් මෙරට රේඩියෝ හා ටෙලිවිෂන් ක්ෂේත‍්‍රවලට පෞද්ගලික සමාගම් සම්බන්ධ වී නාලිකා සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා. එහෙත් විද්‍යුත් මාධ්‍ය බලපත‍්‍ර නිකුත් කිරීම හා සංඛ්‍යාත ලබාදීම වසර 25ක් තිස්සේ විවිධ රජයන් යටතේ සිදුව ඇත්තේ කිසිදු ක‍්‍රමවේදයකින් තොරව බලයේ සිටින පක්ෂයේ අභිමතයටයි. මෙය කල්ගත වී හෝ නිසි පිළිවෙළකට යොමු කරන්නට ස්වාධීන විද්‍යුත් මාධ්‍ය කොමිසමක් (Independent Broadcast Commission) අවශ්‍යයි. විද්‍යුත් මාධ්‍ය භාවිතා කරන්නේ මහජනයා සතු පොදු දේපලක් වන විද්‍යුත් චුම්භක වර්ණාවලියේ කොටස් නිසා දේශපාලකයන්ට, නිලධාරීන්ට හා ව්‍යාපාරිකයන්ට හිතුමතේට එය බදා ගෙන සිටීමට අයිතියක් නැහැ. විද්‍යුත් මාධ්‍ය කොමිසම කළ යුත්තේ විද්‍යුත් මාධ්‍ය ක්ෂේත‍්‍රයේ තාක්ෂණික නියාමනය පමණක් මිස අන්තර්ගතය පාලනය කිරීම නොවෙයි.

7. විද්‍යුත් මාධ්‍ය ක්ෂේත‍්‍රයේ රජය යටතේ පවතින ගුවන්විදුලි සංස්ථාව, රූපවාහිනී සංස්ථාව හා ITN ආයතනය මෙතෙක් ක‍්‍රියාත්මක වී ඇත්තේ පවත්නා රජයේ ප‍්‍රචාරක මාධ්‍ය ලෙසයි. මේ ගැති බවින් අත්මිදී සැබෑ මහජන සේවා විද්‍යුත් මාධ්‍ය (public service broadcasters) ලෙස ක‍්‍රියාකිරීමට ඒවාට ව්‍යුහමය ස්වාධීනත්වය හා මූල්‍ය ප‍්‍රතිපාදන ලබා දීම බොහෝ කලෙක සිට මේ ක්ෂේත‍්‍රයේ වෘත්තිකයන් ඉල්ලා සිටින්නක්.

එයට සමාන්තරව ප‍්‍රජා මට්ටමේ රේඩියෝ සේවා පවත්වා ගැනීමට සරසවිවලට, සිවිල් සමාජ සංවිධානවලට වෙනත් පුරවැසි කණ්ඩායම්වලට ඉඩ ලැබෙන පරිදි පවතින නීතිරීති ප‍්‍රතිසංස්කරණය විය යුතුයි. (රජයේ ගුවන්විදුලිය යටතේ ‘ප‍්‍රජා’ යයි හඳුන්වා ගත් රේඩියෝ සේවා කිසිසේත්ම ප‍්‍රජා සේවා නොවෙයි.)

8. 1973දී රජයට පවරා ගෙන බලයේ සිටින පක්ෂයේ ප‍්‍රචාරණයක් ලෙස පත්තර පළ කරන ලේක්හවුස් ආයතනය ද එම ඛේදනීය තත්ත්වයෙන් මුදවා ගත යුතුයි. එය කෙසේ කරනවාද යන්න මාධ්‍ය වෘත්තිකයන් සමග සංවාදයෙන් විවෘතව තීරණය කළ යුතුයි. ආණ්ඩුව පත්තර ගැසීම මෙන්ම රේඩියෝ හා ටෙලිවිෂන් සේවා පවත්වා ගෙන යාම වැනි 20 වන සියවසේ යල් පැන ගිය පුරුදුවලින් අත්මිදිය යුතුව තිබෙනවා.

9. මාධ්‍ය නිදහසට ඍජුව බලපාන තවත් සාධකයක් වන්නේ මාධ්‍ය හිමිකාරීත්වයයි. ප‍්‍රාග්ධනය ඇති, දේශපාලන සබඳතා ඇති ඕනෑම අයකුට හෝ සමාගමකට පත්තර, රේඩියෝ හෝ ටෙලිවිෂන් ව්‍යාපාර ඇරඹිය හැකිව තිබෙනවා. ප‍්‍රකාශන නිදහස හා වෙළෙඳපොළ නිදහස සීමා නොවන පරිදි මෙය ද යම් නියාමනයකට ලක් විය යුතුයි.

වඩාත් පරිනත ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් ඇති රටවල එක සමාගමකට හෝ හිමිකරුවකුට පවත්වා ගෙන යා හැකි මාධ්‍ය ප‍්‍රකාශන හෝ චැනල් සංඛ්‍යාවට යම් නීතිමය සීමා පනවනවා. එකම මාධ්‍ය ආයතනය පුවත්පත්, රේඩියෝ, ටෙලිවිෂන් මාධ්‍ය දියත් කිරීම ද යම් සීමාවලට නතුවනවා. එසේ කරන්නේ තනි හිමිකරුවෙක් හෝ සමාගමක් ජනමතයට උවමනාවට වඩා බලපෑම් ඇති කිරීම වැළැක්වීමට. මින් පෙර නොවූ විරූ පරිදි අපේ මාධ්‍ය ක්ෂේත‍්‍රය විස්තාරණය වන නිසා අපටත් මෙබඳු නියාමන සීමා අවශ්‍යයි.

10. මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා තේරී පත් වී දින කිහිපයක් ඇතුළත මෙරට තුළ සිට පිවිසීමට නොහැකි වන සේ අවහිර කොට තිබූ දේශපාලනික හා කාලීන පුවත් වෙබ් අඩවි ගණනාවක් අපට යළිත් කියවිය හැකි වුණා. එහෙත් විදුලි සංදේශ නියාමන කොමිසම (TRC) 2007 සිට වසර ගණනක් තිස්සේ ඒවා අවහිර කළේ කෙසේද යන්න ගැන අද වන තුරු කිසිදු වගවීමක් හෝ විපරමක් නැහැ.

ශිෂ්ඨ සමාජවල වෙබ් අඩවි බ්ලොක් කළ හැක්කේ නීතිමය රාමුවක් තුළ අධිකරණ අධීක්ෂණය/අනුමැතිය යටතේ පමණයි. (උදා: ලිංගිකව අසැබි වෙබ් අඩවි අවහිර කිරීම.) මේ සීමාවන් පැහැදිලිව ප‍්‍රකාශ කැරෙන ජාතික මට්ටමේ වෙබ් ප‍්‍රතිපත්තියක් අවශ්‍යයි. එසේ නැති වුවහොත් අනාගතයේ යළිත් හිතුමතේට වෙබ් අඩවි බ්ලොක් කිරීමට දේශපාලකයන්ට හා නිලධාරීන්ට හොඳටම ඉඩ තිබෙනවා.

11. තොරතුරු තාක්ෂණය වඩාත් සමාජගත වීමත් සමග අලූත් අභියෝග මතුව තිබෙනවා. පවත්නා තොරතුරු තාක්ෂණ ජාතික ප‍්‍රතිපත්ති මගින් මේවා හරිහැටි ආවරණය වන්නේ නැහැ. මහජනයාගේ පෞද්ගලික ටෙලිෆෝන් කතාබහ, SMS පණිවුඩ, ඊමේල් හා සමාජජාල සාමීචි කතා අනවසරයෙන් ග‍්‍රහණය කිරීමට ආරක්ෂක අංශවලට ඇති ඉඩකඩ දැඩිව සීමා කළ යුතුයි. එබඳු අන්වේක්ෂණය (state surveillance) අත්‍යවශ්‍ය විට අධිකරණ අනුමැතිය මත පමණක් සිදුවීම වැදගත්.

එසේම ඩිජිටල් මාධ්‍ය හරහා එකතු වන මහජන තොරතුරු නිසි දත්ත ආරක්ෂණ ප‍්‍රතිපත්ති යටතේ ගබඩා කිරීමටත්, පුරවැසියන්ගේ පෞද්ගලිකත්වය (privacy) රැකෙන ලෙස කටයුතු කිරීමටත් රජයට මෙන්ම ටෙලිකොම් සමාගම්වලට සදාචාරාත්මක වගකීමක් තිබෙනවා. එය තහවුරු කැරෙන නීති හා නියාමන පිළිවෙත් ද අවශ්‍යයි. එසේ නැතිව නොමිලේ රැහැන් රහිත ඉන්ටර්නෙට් (Free WiFi) දුන්නාට මදි!

12. අවසන් වශයෙන් මාධ්‍යවේදීන්ට හා මාධ්‍ය ආයතනවලට අනිසි බලපෑම් හා තර්ජනවලින් තොරව තමන්ගේ වගකීම් ඉටුකිරීමට හැකි වන නීතියේ අධිපාලනය (Rule of Law) ස්ථාපිත වූ ලක් සමාජයක් යළි බිහි කිරීම ද හදිසි අවශ්‍යතාවක්.

Demanding media freedom
Demanding media freedom

‘මාධ්‍යවලට අත නොතබනු’ යන උද්‍යොග පාඨයට සමාජයේ බහුතරයක් දෙනා එකඟයි. මාධ්‍ය අන්තර්ගතය නියාමනයට රජය හෝ බාහිර පාර්ශ්වයන් මැදිහත් නොවිය යුතුයි. එහෙත් ආචාර ධර්මීය රාමුවක් තුළ වෘත්තිමය මට්ටම ඉහළ නැංවීමේ සැබෑ උනන්දුවක් මාධ්‍යවේදීන් තුළින් ම මතුවීම ද අවශ්‍යයි.

පෙර තිබුණාට සාපේක්ෂව තත්ත්වය ටිකක් යහපත් වී ඇතැයි කියා පසෙකට වී සිටින්නට පුරවැසියන්ට හෝ මාධ්‍යවේදීන් බැහැ. ජනවාරි 9 වනදා ඇරඹි ගමනේ තව බොහෝ දුර යා යුතුව තිබෙනවා!