සිවුමංසල කොලූගැටයා #253: රටවැසියන්ට සවන් දෙන, සංවාදයට රිසි ජනාධිපතිවරයෙක් ඕනෑ කර තිබේ!

In this week’s Ravaya column (appearing in issue of 17 January 2016), I critique the public communications practices President Maithripala Sirisena of Sri Lanka – and call for better listening and more engagement by the head of state.

I point out that Sirisena is in danger of overexposure in the mainstream media, which I call the ‘Premadasa Syndrome’ (as this bad practice was started by President R Premadasa who was in office from 1988 to May 1993). I argue that citizens don’t need to be force-fed a daily dose of presidential activities on prime time news or in the next day’s newspapers. If public documentation is needed, use the official website.

Like other politicians in Sri Lanka, Sirisena uses key social media platforms like Facebook and Twitter to simply disseminate his speeches, messages and photos. But his official website has no space for citizens to comment. That is old school broadcasting, not engaging.

This apparent aloofness, and the fact that he has not done a single Twitter/Facebook Q&A session before or after the election, detracts from his image as a consultative political leader.

On the whole, I would far prefer to see a more engaged (yet far less preachy!) presidency. It would be great to have our First Citizen using mainstream media as well as new media platforms to have regular conversations with the rest of us citizens on matters of public interest. A growing number of modern democratic rulers prefer informal citizen engagement without protocol or pomposity. President Sirisena is not yet among them.

See my English essay which covers similar ground: Yahapalanaya at One: When will our leaders ‘walk the talk’? Groundviews.org, 4 January 2016

President Maithripala Sirisena (seated) launched Tell the President service on 8 January 2016 - Photo by Presidential Media Division

President Maithripala Sirisena (seated) launched Tell the President service on 8 January 2016 – Photo by Presidential Media Division

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගේ පදවි ප‍්‍රාප්තියේ ප‍්‍රථම සංවත්සරය යෙදුණු 2016 ජනවාරි 9 වනදා ජනපතිට කියන්න නම් නව සේවාව ඇරඹුණා.

තැපැල් පෙට්ටි අංක 123 වෙත යොමු කරන ලියුමක් හරහාත්, දුරකථන අංක 1919 හරහාත් ජනතාවට සිය ප‍්‍රශ්න හා ගැටලූ ඉදිරිපත් කළ හැකි බවයි මේ සේවය හඳුන්වා දෙමින් කියැවුණේ. එයට අමතරව ජනපතිගේ නිල වෙබ් අඩවියත් (http://tell.president.gov.lk/), ජංගම දුරකථන ඇප් එකක් හරහාත් විමසීම් හා පැමිණිලි යොමු කළ හැකියි.

මෙය හොඳ අරමුණකින් කරන උත්සාහයක්. ගාල්ලෙන් බිහි වූ දක්ෂ මාධ්‍යවේදියකු වන සජීව විජේවීරත් මෙයට සම්බන්ධයි. ‘යහපාලනයේදී ජනාධිපතිවරයා තනි නොකරමු’ යයි කියමින් තමන් මෙයට දායක වූ සැටි ගැන ඔහුගේ ෆේස්බුක් එකෙන් ගිය සතියේ කෙටි විස්තරයක් පළ කර තිබුණා.

යහපාලන රජයේ මහජන සන්නිවේදන පිළිවෙත් හා ක‍්‍රියාකලාපය ඇගැයීමකට ලක් කරන්නට මෙය හොඳ අවස්ථාවක් යයි මා සිතනවා.

යහපාලනයේ මොන අඩුපාඩු හා විසමතා තිබුණත් භාෂණ නිදහස හා ප‍්‍රකාශන නිදහස නම් අපට ලැබී තිබෙනවා. එහි ප‍්‍රතිඵලයක් ලෙස අද අපට රටේ ජනපති හා අගමැති දෙපළත්, ඇමතිවරුනුත් නොබියව විවේචනය කළ හැකියි.

මේ නිදහස ගෙවි ගිය වසර පුරා මා රායෝගිකව අත්හදා බැලූවා. රටේ නායකයන් දෙපළ හේතු සහගතව හා කිසිදු දේශපාලන මතවාදී එල්බ ගැනීමකින් තොරව විවේචනය කිරීමට යළිත් හැකි වීම ඉතා වැදගත්.

එහෙත් නායකයන් පොදු අවකාශයේ කැරෙන විවේචන හා වෙනත් අදහස් පළ කිරීම්වලට සංවේදීද? ඔවුන් මේවා ගැන අවධානයෙන් සිටිනවාද? ඔවුන්ගේ කාර්යමණ්ඩල රටවැසියන්ගේ සිතුම් පැතුම් ගැන නිවැරදි ප‍්‍රතිශෝෂණයක් ජනපති හා අගමැති දෙපළට ලබා දෙනවාද?

යහපාලනයේ වසරක් ගෙවී ගියද මේවාට පිළිතුරු හරිහැටි පැහැදිලි නැහැ.

රටේ ජනපතිවරයා රටවැසියා සමග සන්නිවේදනය කරන සැටි මා කලෙක සිට අධ්‍යයනය කරනවා. සිරිසේන ජනපතිගේ සන්නිවේදන රටා මේ වන විට පැහැදිලියි.

සිරිසේනගේ මැතිවරණ ප‍්‍රකාශයේ (දෙසැම්බර් 2014) 62 වන පිටුවේ මෙසේද සඳහන් වනවා. ‘දියුණු වන සන්නිවේදන තාක්ෂණයත් සමාජ මාධ්‍යයන්හි ව්‍යාප්තියත්, සමාජ යහපතටම හේතු වන පරිදි කළමනාකරණය කර ගැනීම සඳහා මාධ්‍ය සංවර්ධන ප‍්‍රතිපත්තියත් බලගැන්වීමටද කටයුතු කරමි.’

ප‍්‍රතිපත්ති මට්ටමින් ඉදිරියට යාම අවශ්‍යයි. එහෙත් එයට සමාන්තරව ක‍්‍රියාවෙන් ද ආදර්ශයක් දීමට රටේ නායකයාට හැකියි.

රාජ්‍ය නායකයා සන්නිවේදනය කිරීම යනු හැම ජනමාධ්‍යකින්ම හැකි තාක් ඔහුගේ හෝ ඇයගේ ප‍්‍රතිරූපය පිම්බීම නොවෙයි. මේ අතිශය අදුරදර්ශී සම්ප‍්‍රදාය ඇරඹුණේ පේ‍්‍රමදාස ජනාධිපති කාලයේදීයි. රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය හරහා අනිවාර්යයෙන්ම දිනපතා ජනපති පුවත් ආවරණය කළ යුතුව තිබුණා. ඒ ගැන රටේ උපහාසාත්මක කතාද එකල පැතිරුණා. ඇත්තටම එය රටටම විහිලුවක් වුණා.

Cartoon by Gihan de Chickera, Daily Mirror

Cartoon by Gihan de Chickera, Daily Mirror

එයින් පසුව පත් වූ ජනාධිපතිවරුන් හා ඔවුන්ගේ සහචරයන් ද කළේ පේ‍්‍රමදාස මාවතේම යාමයි (විජේතුංග හැරෙන්නට). එහි අන්තයටම ගියේ මහින්ද රාජපක්ෂයි. මාධ් හරහා අධිආවරණය තුළින් තම නායකයාගේ අගය අඩු වන බව හා මහජන අපරසාදය වැඩි වන බව නායකයා වටා සිටින අය තේරුම් ගත්තේ නැහැ. නැතහොත් තාවකාලික ප‍්‍රමෝදයක් තකා නොදන්නා සේ සිටියා විය යුතුයි.

2015 නොවැම්බරයේ ජනාධිපති මාධ්‍ය ඒකකයේ කාර්ය මණ්ඩලය අමතා දේශනයක් කිරීමට මට ඇරයුම් කරනු ලැබුවා. එහිදී විවෘත හා විවේචනාත්මක මත දැක්වීමක් කරමින් මා උදක්ම ඉල්ලා සිටියේ ‘පේ‍්‍රමදාස ව්‍යාධියෙන්’ ජනාධිපති සිරිසේන රෝගී වීමට ඉඩ නොතබන ලෙසයි. එසේ වීමේ පෙරනිමිති මා දකින බවද කීවාග

රටේ නායකයා කුමක් කරන්නේද යන්න දැන ගැනීමට රටවැසියන්ට අයිතියක් තිබෙනවා. එහෙත් ඔහු සහභාගි වන හැම මුල්ගල තැබීම, විවෘත කිරීම, අමුත්තන් බැහැ දැකීම හා සෙසු කටයුතු ප‍්‍රධාන ධාරාවේ මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය හරහා ප‍්‍රචාරණය කිරීම අවශ්‍ය නැහැ.

ඕනෑම නම් ඒ සඳහා ජනාධිපති නිල වෙබ් අඩවිය යොදාගත හැකියි. එවිට (කැමති කෙනෙකුට කැමති විටෙක බලන්නට) තොරතුරු හෙළිදරව් කිරීම ඉහළ මට්ටමින් සිදු වෙතත් පත්තර කියවන, ටෙලිවිෂන් බලන ජනයාට ජනපති ගැන පුවත් කන්දරාවක් බලෙන් පැටවෙන්නේ නැහැ.

දිනපතාම සිල්ලර මට්ටමේ ජනපති පුවත් සියලූ මාධ්‍ය හරහා බෙදා නොහැර විටින් විට ජාතික මට්ටමෙන් වැදගත් නිමිති සඳහා පමණක් සියලූ මාධ්‍ය හරහා ජනයාට සමීප වුවොත් එහි අගය වැඩි වන බවත් මගේ කතාවේදි මා අවධාරණය කළා. එහෙත් මේ උපදෙස් පිළි ගත්තාද යන්න මට සැකයි. මාධ්‍ය මෛත‍්‍රීකරණය දිගටම සිදු වන බවක් පෙනෙන නිසා.

ජනාධිපතිවරයාගේ නව මාධ්‍ය භාවිතය ගැනත් මගේ විචාරයක් තිබෙනවා.

2015 ජනාධිපතිවරණයෙන් තේරී පත් වූ විගස සිරිසේන ජනපතිවරයා සමාජ මාධ්‍ය ජාල හරහා තමන්ට ලැබුණු ස්වේච්ඡා හා නොනිල සහයෝගයට ප‍්‍රසිද්ධියේ ස්තූති කළා.

එසේම රටේ ඉන්ටර්නෙට් භාවිත කරන පිරිස සමස්ත ජනගහනයෙන් 25%ක් වී, එය තව දුරටත් ටිකෙන් ටික වැඩි වන කාලයක තනතුරට පත් මේ ජනාපතිවරයාට මින් පෙර කිසිදු නායකයකුට නොතිබූ සන්නිවේදන අවස්ථාවක් උදා වී තිබෙනවා. එනම් සෙසු මාධ්‍යවලට සමාන්තරව නව මාධ්‍ය හරහා ද රටවැසියන් සමග සම්බන්ධ වීමටයි.

සෙසු මාධ්‍ය කිසිවකට වඩා නව මාධ්‍ය හරහා සංවාද කිරීමේ විභවය තිබෙනවා. එසේ කිරීමට ජනපතිට සැම විටම විවේක නැතත්, අඩුම තරමින් (කාර්ය මණ්ඩලය හරහා) සමාජ මාධ්‍යවල ජනයා මතු කරන අදහස් උදහස්වලට සවන් දිය හැකියි. වියදම් අධික ජනමත සමීක්ෂණ නිතර කරනු වෙනුවට බොහෝ ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටවල නායකයන් දැන් කරන්නේ සමාජ මාධ්‍ය කතාබහ නිරීක්ෂණය කිරීමයි.

ජනපති සිරිසේන පදවි ප‍්‍රාප්තියෙන් පසු නිල ෆේස්බුක් හා ට්විටර් ගිණුම් ඇරඹුවා. ගෙවී ගිය වසර තුළ ඒවාට ඒකරාශී වූ ජන සංඛ්‍යාව වැඩි වී තිබෙනවා. 2015 මැද පමණ සිට ෆේස්බුක් වේදිකාව මත සිටින ලාංකික දේශපාලන චරිත අතරින් වැඩිම පිරිසක් එක් රැස්ව සිටින්නේ සිරිසේනගේ නිල ගිණුමටයි. (එතෙක් මුල් තැන සිටි මහින්ද රාජපක්ෂ දැන් දෙවැනි තැනට පත්වෙලා.)

සිරිසේන නිල ෆේස්බුක් ගිණුමෙන් කරන්නේ ඔහුගේ කතා, සුබපැතුම් හා උත්සව ඡායාරූප බෙදා හැරීම පමණයි. එහි එන පාඨකයන් සමග අන්තර් ක‍්‍රියා සිදුවන්නේ ඉතා අඩුවෙන්. එහෙත් මහින්ද රාජපක්ෂ නිල ෆේස්බුක් ගිණුම ඔහු තනතුරේ සිටින විටත්, ඉන් පසුවත් වඩා සංවාදශීලී ලෙසින් පවත්වා ගෙන යනවා.

සමාජ මාධ්‍ය සාර්ථකත්වය යනු හුදෙක් ගොඩ වැඩි කර ගැනීම නොවෙයි. එහි එන ජනයා සමග සාකච්ඡාමය ගනුදෙනු වැඩියෙන් කිරීමයි (engagement). සියයකට අධික ජනපති මාධ්‍ය ඒකක කාර්ය මණ්ඩලයේ දෙතුන් දෙනකු මෙයට කැප කිරීම වටිනවාග

ෆේස්බුක් හා ට්විටර් සමාජ මාධ්‍ය හරහා කලින් දැනුම් දෙන ලද නිශ්චිත කාලයක (පැය 2-3) මහජන ප‍්‍රශ්නවලට පිළිතුරු දීමේ සම්ප‍්‍රදායක් මතුව තිබෙනවා (FB/Twitter Q&A). මහින්ද රාජපක්ෂ මෙන්ම චම්පික රණවක වැනි ජ්‍යෙෂ්ඨ දේශපාලකයන්ද මෙය විටින් විට කරනවා. එහිදි ලැබෙන ප‍්‍රශ්න ගැන කිසිදු පාලනයක්/වාරණයක් කළ නොහැකි නමුත් තමන් කැමති ප‍්‍රශ්නවලට පමණක් තෝරා ගෙන කෙටියෙන් පිළිතුරු දිය හැකියි.

කණගාටුවට කරුණ වන්නේ ජනපති සිරිසේන හෝ අගමැති විකරමසිංහ වසරක් ගත වීත් කිසි විටෙක මෙබන්දක් නොකිරීමයි. සයිබර් අවකාශය හරහා රට වැසියන්ට මුහුණ දීමට ඇයි මෙතරම් පැකිලෙන්නේ?

Tell the President web banner

Tell the President web banner

‘ජනපතිට කියන්න’ සේවාවෙන් මේ අඩුපාඩු සපිරෙන්නේ නැහැ. එය ට්විටර් හා ෆේස්බුක් මෙන් විවෘත හා පාරදෘශ්‍ය වේදිකාවක් නොවෙයි.

සේවාව ඇරැඹුණු දවසේම රාජ්‍ය තොරතුරු සේවය දුරකථන අංක 1919 හරහා මා ප‍්‍රශ්නයක් යොමු කළා. එනම් මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග ඝාතනයට ලක් වී එදිනට හරියටම වසර 7ක් පිරුණත්, යහපාලන පොරොන්දුවක් වූ එම අපරාධ විමර්ශනය කඩිනම් කිරීමට දැන් සිදු වන්නේ කුමක්ද යන්නයි.

මෙය පොදු උන්නතියට අදාළ ප‍්‍රශ්නයක්. මෙබඳු ප‍්‍රශ්න පොදු අවකාශයේ විවෘතව රාජ්‍ය නායකයන්ගෙන් ඇසිය හැකි නම් එහි වටිනාකම වැඩියි. එසේම මට ලැබෙන උත්තරය ද පොදු අවකාශයේ කාටත් කියවා ගත හැකි විවෘත එකක් විය හැකි නම් වඩාත් හොඳයි.

ජනපතිට කියන්න සේවය විවෘත ආණ්ඩුකරණයට (Open Government) තුඩු දෙන්නක් නොවන්නේ ඉහත කී සීමා නිසායි. මුල් පැය 24 තුළ ප‍්‍රතිචාර 3,000කට වඩා ලැබුණා යයි මාධ්‍ය වාර්තා කළත් ඒවා මොනවාද? කෙතරම් ඉක්මනින් ජනපති පිළිතුරු ලබා දෙනවාද යන්න දැනගත හැකි ක‍්‍රමයක් නැහැ.

සිවුමංසල කොලූගැටයා #246: තොරතුරු අයිතිය විවෘත ආණ්ඩුකරණයට මුල් පියවරයි

පෞද්ගලික ප‍්‍රශ්න, ආයාචනා හා පැමිණිලි යොමු කිරීමේදී සංවෘත ක‍්‍රමවේදයකුත්, පොදු ප‍්‍රශ්න සඳහා විවෘත ක‍්‍රමවේදයකුත් අවශ්‍යයි. මේ විවෘත ක‍්‍රමවේදයට කිසිදු අලූත් පරිශ‍්‍රමයක් දැරිය යුතු නැහැ. ජනාධිපතිවරයාගේ පවතින ෆේස්බුක් හා ට්විටර් නිල ගිණුම් හරහාම කළ හැකියි.

එවන් විවෘත සයිබර් සංවාදයක තවත් වැදගත්කමක් නම් මතු පරිශීලනය සඳහා වෙබ්ගතව සංරක්ෂණය වීමයි. කලින් කලට වචනය වෙනස් කරන දේශපාලකයන් මෙයට නොරිසි විය හැකි වුවත් ප‍්‍රතිපත්තිගරුක හා අවංක ජන නායකයකුට තමන් අද කියන දෙය ලබන සතියේ, ඉදිරි මාසයක හෝ වසරක කාටත් ලෙහෙසියෙන් බලා ගත හැකි පරිදි සංරක්ෂණය වීම ප‍්‍රශ්නයක් නොවෙයි.

ජනපතිට කියන්න සේවාව කිනම් රාමුවක් තුළ පවත්වා ගන්නවාද යන්න පැහැදිලි නැහැ. එහෙත් මේ හරහා යළිත් වරක් රටේ හැම මට්ටමේම ප‍්‍රශ්න ජනපතිවරයාට කේන්ද්‍ර වීමේ අවදානමක් ද තිබෙනවා.

හිටපු ජනපතිවරයා රටේ දෙපාර්තමේන්තු, අමාත්‍යාංශ හා සෙසු රාජ්‍ය ආයතන තන්ත‍්‍රය කොන්කර දැමීමේ හැම ප‍්‍රශ්නයක්ම විසඳන එකම ජගතා හා තීරකයා තමා පමණක් යන හැඟීම සමාජගත කරමින්. එය රාජ්‍ය පරිපාලනයට ඉතා අහිතකරයි.

විශේෂයෙන්ම 19 වන සංශෝධනයෙන් පසුව බලාත්මක කරන ලද ස්වාධීන කොමිසන් සභා ක‍්‍රියාත්මක වන පසුබිමෙක යළිත් අනවශ්‍ය ලෙස ජනපති-කේන්ද්‍රීය මහජන පැමිණිලි හා දුක් ගැනවිලි සම්ප‍්‍රදායක් ගොඩනැගීමට ඉඩ නොතැබිය යුතුයි.

එසේම රටවැසියන්ටත් මෙහි වගකීමක් තිබෙනවා. පත්වීම්, උසස්වීම්, වැටුප් වර්ධක, මාරුවීම්, විභාග ප‍්‍රතිඵල, පරිපාලන අක‍්‍රමිකතා ආදී බොහෝ කරුණු අරභයා නොවිසඳුණු ගැටලූ ඇති බව ඇත්තයි. එහෙත් මේ බොහොමයකට අදාළ පැමිණිලි හා පරීක්ෂණ ක‍්‍රමවේදයන් ඉමහත් මහජන මුදලකින් පවත්වා ගෙන යන බවත් අප දන්නවා. පවතින ක‍්‍රමවේදයන්ට යොමු නොවී හැම ප‍්‍රශ්නයම ජනපතිට කියන්න යාම ඔහුගේත්, රටේත් කාලය හා සම්පත් අපතේ යැවීමක්.

මේ අතර ජනපති නව මාධ්‍ය ගැන දක්වන ආකල්ප ගැනද යමක් කිව යුතුයි.

දෙසැම්බර් 27 වනදා අම්පාරේ රැස්වීමක් අමතමින් ජනපති සිරිසේන කළ සුචරිතවාදී කතාව සමාජ මාධ්‍යවල මහත් ආන්දෝලනයක් ඇති කළා. එන්රිකේ ගායකයාගේ දෙසැම්බර් 20 කොළඹ ප‍්‍රසංගයේ යම් පේ‍්‍රක්ෂක හැසිරීම් ගැන ජනපතිවරයා නොසතුට පළ කළ අතර එසේ කිරිමට ඔහුට පූර්ණ භාෂණ නිදහස තිබෙනවා. තමා කැමති මතයක් දැරීමට අන් සියලූ රටවැසියන්ට ඇති නිදහස එපමණින්ම ඔහුට ද තිබෙනවා.

එමෙන්ම රටේ නායකයා සමග ප‍්‍රසිද්ධියේ එකඟ නොවීමට හා ඔහු තරයේ විවේචනය කිරීමට ඒ හා සමාන අයිතියක් රටවැසියන් වන අප සතුයි. ජනපතිගේ මඩුවලිග කතාවට මාත් ඇතුළු සමාජ මාධ්‍ය භාවිත කරන බොහෝ දෙනෙකු විරෝධය දැක්වූවා.

‘අපේකම’ යන්න පටු ලෙසින් විග‍්‍රහ කිරීම ගැන මෙන්ම පුරාණ ලංකාවේ යොදා ගැනුණු, ශිෂ්ට සමාජයකට තව දුරටත් නොගැළපෙන ම්ලේච්ඡ දඬුවමක් (අඩු තරමින් කට වචනයෙන් හෝ) නිර්දේශ කිරීම ද අපේ විවේචනවලට හේතු වුණා.

President Sirisena of Sri Lanka lashes out at online critics claiming a plot to destroy him - Lankadeepa, 30 December 2015

President Sirisena of Sri Lanka lashes out at online critics claiming a plot to destroy him – Lankadeepa, 30 December 2015

මගේ වැටහීමට අනුව සංවාදය එතැනින් හමාර විය හැකිව තිබුණා. එහෙත් ලංකාදීප වාර්තාවකට අනුව දෙසැම්බර් 29 වනදා බත්තරමුල්ලේ කතාවක් කළ ජනාධිපතිවරයා නිවී යමින් තිබූ ප‍්‍රතිවිරෝධයට ඉන්දන එකතු කළා. වෙබ් අඩවි හෝ ෆේස්බුක් ඔස්සේ තමා ‘පොඩි පට්ටම් කිරීමට, අඹරා දැමීමට සහ නැති කිරීමට’ සමහරුන් කටයුතු කරන බවට චෝදනා කළා.

තමා වට කොට (වාචිකව) පහරදීමේ සංවිධානාත්මක ප‍්‍රයත්නයක් ඇතැයි යන උපකල්පනය මත රටේ නායකයා සැකමුසු මානසිකත්වයක් ගොඩ නගා ගනී නම් එය ඔහුටත්, රටටත් අහිතකරයි. සමාජ මාධ්‍ය තුළ දේශපාලන ප‍්‍රතිවාදීන් ද සිටිය හැකි නමුත් මා දන්නා තරමට එබඳු සංවිධානාත්මක ප‍්‍රයත්නයක් නැහැ.

එහෙත් එක් පැහැදිලි සත්යයක් තිබෙනවාග සමාජ මාධ් විශේෂයෙනුත්, වෙබ් අවකාශය පොදුවේත් ගරුසරු නොකරන තැනක්. අධිපතිවාදයන්ට හා උද්දච්චකමට නොකැමැති පිරිස එහි වැඩියි.

උදාහරණයකට වෙනත් මාධ්‍යවල තවමත් යෙදෙන තුමා හා තුමිය ආදිය එහි අදාළ නැහැ. හොඳ දෙයට සයිබර් අත්පොළසන් නාදයත් (එනම් දිගින් දිගටම ෂෙයාර් වීම් සහ ලයික් වීම) මෙන්ම අධිපතිවාදී හෝ පණ්ඩිත කථාවලට සයිබර් හූවත් මතුව එනවා. මඩුවලිග කථාවට ලැබුණේ දෙවැන්නයිග

හිමිකරුවන් නැති, කතුවරුන් නැති සමාජ මාධ්‍ය (වෙනත් මාධ්‍ය මෙන්) රාජ්‍ය බලය යොදා මෙල්ල කරන්නට බැහැ. හැකි එකම දෙය සීරුවෙන්, සුහදව හා සහයෝගීතාවෙන් එහි ගැවසෙන පිරිස සමග ගනුදෙනු කිරීමයි.

සමාජ මාධ්‍යවල ද උදව්වෙන් තනතුරට ආ සිරිසේන ජනාධිපතිවරයාට ඒ හරහා රටවැසියන් සමග හරවත් හා මිත‍්‍රශීලී සංවාදයකට යාමට තවමත් ඉඩ තිබෙනවා. දෙවැනි වසරේවත් ඔහු එය කරනු ඇතැයි අපි පතමු!

මාධ්‍යය කුමක් වුවත් රටවැසි අපට සවන් දෙනල අප සමග සුහදව කථා කරන හා අපට බණ නොකියන නූතන නායකයකු ඕනෑ!

See also:

4 January 2015: සිවුමංසල කොලූගැටයා #201: ශ‍්‍රී ලංකාවේ අරාබි වසන්තයක් හට ගත හැකිද?

11 January 2015: සිවුමංසල කොලූගැටයා #202: 2015 ජනාධිපතිවරණයේ සන්නිවේදන පාඩම්

18 January 2015: සිවුමංසල කොලූගැටයා #203: මෛත‍්‍රීගේ මැන්ඩෙලා මොහොත!

15 January 2014: සිවුමංසල කොලූගැටයා #160: දේශපාලන සන්නිවේදනයෙ ටෙලිවිෂන් සාධකය

Advertisements

සිවුමංසල කොලූගැටයා #252: ප්‍රජාතන්ත්‍රවාදයේ ඩිජිටල් මුහුණුවර හා ජනවාරි 8 පෙරළියේ ඉතිරි අභියෝග

"For only the second time in my life, I voted for a winning candidate on 8 Jan 2015. I now keep insisting that be delivers on his promises." - Nalaka Gunwardene

“For only the second time in my life, I voted for a winning candidate on 8 Jan 2015. I now keep insisting that Maithripala Sirisena delivers on his promises.” – Nalaka Gunwardene, blogger and tweep

At Sri Lanka’s seventh presidential election, held on 8 January 2015, we citizens sent the despotic Rajapaksa regime home. Contrary to some assertions, it was an entirely a home-grown, non-violent and democratic process. An impressive 81.52% of registered voters (or 12.26 million persons) took part in choosing our next head of state and head of government: Maithripala Sirisena.

It was also Sri Lanka’s first national level election where smartphones and social media played a key role and probably made a difference in the outcome. During the weeks running up to 8 January, hundreds of thousands of Lankans from all walks of life used social media to vent their frustrations, lampoon politicians, demand clarity on election manifestos, or simply share hopes for a better future.

As I documented shortly afterwards, most of us were not supporting any political party or candidate. We were just fed up with nearly a decade of mega-corruption, nepotism and malgovernance. Our scattered and disjointed protests – both online and offline – added up to just enough momentum to defeat the strongman Mahinda Rajapaksa. Just weeks earlier, he had appeared totally invincible.

Thus began the era of yaha-palanaya or good governance.

In real life, democracy is a work in progress and good governance, an arduous journey. In this week’s Ravaya column (appearing in issue of 10 January 2016), I argue that voting in two key elections during 2015 (including Parliamtnary Election held on 17 August) was the easy part. We citizens now have to be vigilant and stay engaged with the government to ensure that our politicians actually walk their talk.

Here, we can strategically use social media among other advocacy methods and tools.

See my English essay which covers similar ground: Yahapalanaya at One: When will our leaders ‘walk the talk’? Groundviews.org, 4 January 2016

මීට වසරකට පෙර තීරණාත්මක මැතිවරණයක් අබිමුඛ්හාව නාලක ගුණවර්ධන සමාජ මාධ්‍ය හරහා බෙදාගත් 2015 අවුරුදු පැතුම

මීට වසරකට පෙර තීරණාත්මක මැතිවරණයක් අබිමුඛ්හාව නාලක ගුණවර්ධන සමාජ මාධ්‍ය හරහා බෙදාගත් 2015 අවුරුදු පැතුම

ජනාධිපතිවරණයට දින කීපයකට පෙර 2015 ජනවාරි 1 වනදා මගේ සමාජ මාධ්‍ය ගිණුම් හරහා එළැඹෙන වසරට මගේ පැතුම රූප-වචන මිශි‍්‍රත මීම් (meme) එකක ස්වරූපයෙන් මුදා හැරියා. එහි කියැවුණේ 2015 මගේ පැතුම: යටත් වැසියකු නොවන නිදහස් පුරවැසියෙක්!

2015 ජනවාරි 8 වනදා උදෙන්ම ගොස් මා ඡන්දය දුන්නේ මෛතී‍්‍රපාල සිරිසේන නම් මැතිවරණ අපේක්ෂකයාට නොවෙයි. ඔහු සංකේතවත් කළ පරමාදර්ශී යහපාලන සංකල්පයටයි. දේශපාලනයේදී පුද්ගලයින්ට වඩා සංකල්ප වටිනා බව කලක් ගත වී හෝ මා තේරුම් ගෙන සිටිනවා.

යහපාලනයේ ජයග‍්‍රහණයෙන් මා ප‍්‍රමෝදයට පත් වූයේ කිසිදා සිරිසේනගේ හෝ වෙනත් කිසිදු දේශපාලන පක්ෂයක හෝ හිතවතකු නොවූ ස්වාධීන පුරවැසියකු හැටියටයි.

ජනවාරි 9 වන දා සිට සාපේක්ෂව වඩා නිදහස් හා මානව හිමිකම් ගරු කරන වාතාවරණයක ජීවත්වීමේ අවකාශය ලක්වැසියන්ට උදා වූ බව කිව යුතුයි. බියෙන් තොරව රටේ නායකයා හා සෙසු පාලක පිරිස නිර්දය ලෙස විවේචනය කිරීමේ හැකියාව 2015 වසර පුරා මා රායෝගිකව අත්හදා බැලුවා. රටේ නායකයා යහපත් දෙයක් කළ විට එය පසසන්නත්, වැරදි දෙයක් කළ විට එය විවේචනය කරන්නත් හැකි පසුබිමක් යළි උදා වීම ලොකු දෙයක්.

එහෙත් අප හමුවේ තවමත් අභියෝග රැසක් ඉතිරිව තිබෙනවා.

එයින් එකක් නම් ජනවාරි 8 මැතිවරණ ප්‍රතිඵලය පිළිගන්නට සමහරුන් නොකැමැති වීමයි. ඒ ගැන විවිධ කුමන්ත්‍රණ තර්ක මතු වනවා. විපක්ෂයේ පොදු අපේක්ෂක මෛතී‍්‍රපාල සිරිසේනගේ ජයග‍්‍රහණය පිටුපස අදිසි හස්තයක් නැතහොත් ජාත්‍යන්තර බලපෑමක් කි‍්‍රයාත්මක වූවා ද? එය මෙරට අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගැසීමේ මහා “ජාත්‍යන්තර කුමන්ත‍්‍රණයක” කොටසක්ද? මෙවන් ප‍්‍රශ්න වසරක් ගත වීත් තවමත් සමහරුන්ගේ මනසේ සැරිසරන බව පෙනෙනවා.

මෙය විග්‍රහ කරන්න මා එක්තරා උපමිතියක් යොදා ගන්නට කැමතියි.

අනුරාධපුරයේ හා පොළොන්නරුවේ හමු වන මහා දාගැබ් පුරාණ ලෝකයේ දැවැන්ත ඉදිකිරීම් අතරට ගැනෙනවා. ඒවායේ වාස්තු විද්‍යාත්මක හා ඉංජිනේරුමය නිමාව අපේ පැරැන්නන්ගේ විද්‍යා හා තාක්ෂණය හැකියාවන්ට මනා උදාහරණයි.

අනුරාධපුරයේ පිහිටි මිරිසවැටිය, රුවන්වැලි සෑය හා ජේතවනය යන මහා දාගැබ් තුන දිශා පිහිටුවීමේදී හා ඉදි කිරීමේදී පිටසක්වල බුද්ධිමත් ජීවීන්ගේ සහාය ලැබී ඇතැයි 1997දී ලාංකිකයකු ලියූ පොතකින් අසාමාන්‍ය තර්කයක් මතු කරනු ලැබුවා (Alien Mysteries in Sri Lanka & Egypt, by Mihindukulasuriya Susantha Fernando, 1997). ඊජිප්තුවේ මහා පිරමීඩ හා අපේ මහා දාගැබ් සසඳමින් ලියා ඇති මේ පොත විද්‍යාත්මක සාධක හා තර්කවලට වඩා පරිකල්පනය හා විශ්වාස මත පදනම් වූවක්.

එම පොත ගැන මගේ ප්‍රතිචාරය වූයේ මෙයයි. “ඕනෑම ඓතිහාසික හෝ කාලීන හෝ කරුණක් ගැන තමන් රිසි ලෙසින් ප‍්‍රතිවිග‍්‍රහ කිරීමේ අයිතිය විවෘත සමාජයක තිබිය යුතුයි. එසේම එවන් විග‍්‍රහයන් සංවාදයට ලක් විය යුතුයි. එසේ නමුත් අපේ මහා දාගැබ් තැනීමට පිටසක්වල ජීවීන්ගේ සහාය ලැබුණා යන කල්පිතයේ යටි අරුත එවැනි හපන්කම් අපේ ඇත්තන්ට තනිවම කළ නොහැකි වූ බවද?”

ඈත හෝ මෑත ඉතිහාසය ගැන ෆැන්ටසි ආකාරයේ කල්පිත හෝ කුමන්ත‍්‍රණ කථා මතු කරන විට බෙහෙවින් ප‍්‍රවේශම් විය යුතු බවට මෙය හොඳ උදාහරණයක්.

2015 ජනවරි 8 වනදා සිදු වූ දේශපාලන බල සංක‍්‍රාන්තිය ගැන පරාජිතයන් හා ඔවුන්ගේ අනුගාමිකයන් මතු කරන විග‍්‍රහයන් අභව්‍යයි.

එදා මෙරට සිදු වූයේ මෑත ඉතිහාසයේ සාපේක්ෂව වඩා සාමකාමී මැතිවරණය හරහා ඡන්දදායකයන් විසින් නව ජනාධිපතිවරයකු තෝරා ගැනීමයි. ලියාපදිංචි ඡන්දදායකයන්ගෙන් 81.52%ක් (එනම් 12,264,377ක්) ඡන්දය ප‍්‍රකාශ කළා. නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට මැතිවරණ කොමසාරිස්වරයා හා කාර්ය මණ්ඩලය වග බලා ගත්තා.

මැතිවරණ කැම්පේන් කාලය තුළ බලයේ සිටි ජනාධිපතිවරයාගේ වාසියට රාජ්‍ය මාධ්‍ය හා රාජ්‍ය සම්පත් අනිසි ලෙස යොදා ගත් නමුත් අවසානයේදී තීරකයන් වූයේ ඡන්දදායක අපියි. වැඩි ඡන්ද 449,072කින් විපක්ෂයේ පොදු අපේක්ෂකයා ජය ගත්තේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සැබෑ කි‍්‍රයාකාරීත්වය සංකේතවත් කරමින්.

අපේ මැතිවරණ නිලධාරීන් මහත් ආයාසයෙන් පැවැත් වූ මැතිවරණයකින් අපේ ඡන්දදායකයන් බහුතරයකගේ රහසිතගව රකාශ ඡන්දවල සමුච්චිත රතිඵලය ලෙස සාමකාමී බල සංකරාන්තියක් සිදු කිරීමේ සම්පූර්ණ ගෞරවය හිමි වන්නේ අපටමයි.

එය රටින පිටත සිටින කුමන හෝ බලවේගයකට පැවරීමට තැත් කිරීම අපේ ඡන්දදායකයින්ට, මැතිවරණ යාන්ත‍්‍රණයට හා සමස්ත ප‍්‍රජාතන්ත‍්‍රවාදයට කරන නිග‍්‍රහයක්. පටු අරමුණු තකා උඩ බලාගෙන කෙළ ගැසීමක්.

මැතිවරණයේ ප‍්‍රතිඵලය ගැන සමහරුන් ප‍්‍රමෝදයට පත්වූ අතර, තවත් සමහරුන් කණගාටුවට පත් වූවා. එය ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ස්වභාවයයි. අපේ පෞද්ගලික රුචි අරුචිකම් කුමක් වුවත් එම කි‍්‍රයාදාමය හා ප‍්‍රතිඵලය අවතක්සේරු කිරීම හෝ ගැරහීමට ලක් කිරීම අනුවණකාරී වැඩක්.

ජනාධිපතිවරණයට පසුදා නාලක ගුණවර්ධන කඩිමුඩියේ නිමවා සමාජමාධ්‍යවලට මුදා හැරි මීමය - සිය ගණනින් ෂෙයාර් කරන ලදී

ජනාධිපතිවරණයට පසුදා නාලක ගුණවර්ධන කඩිමුඩියේ නිමවා සමාජමාධ්‍යවලට මුදා හැරි මීමය – සිය ගණනින් ෂෙයාර් කරන ලදී

 

ජයග‍්‍රාහකයාගේ වැඩි ඡන්ද 449,072ට දායක වූ සාධක ගැන ද විවාදයක් තිබෙනවා.

රාජපක්ෂ පාලනය යටතේ පැවති දශකයක පමණ කාලය තුළ රටේ සිදු වූ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ගරා වැටීම ගැන කලකිරීමට පත් සිංහල මධ්‍යම පාන්තිකයක්ගෙන් කොටසක් වෙනසක් සඳහා ඡන්දය ප‍්‍රකාශ කළ බව එක් මතයක්. මාන්නාධික පාලකයකුගේ යටත් වැසියන් ලෙස නොව නිවහල් පුරවැසියන් ලෙස යළිත් විසීමට අපට ඕනෑ වුණා.

එසේම පසුගිය පාලන සමයේ නිතර අවමානයට හා වෙනස්කම්වලට ලක් වූ සුළුජාතීන් හා ආගමික සුළුතරයන් අතර සමහරෙක් ද පැවති පාලනය වෙනස් කිරීමට ඡන්දය දුන්නා යයි අනුමාන කළ හැකියි.

මෙයට අමතරව එතරම් අවධානයට ලක් නොවූ සාධකයක් මා දකිනවා. ජනවාරි 8 වනදා ජනාධිපතිවරණයට ලියාපදිංචි ඡන්දදායකයන් 15,044,490ක් සිටියා. මේ අතර මෑතදී වයස 18 පසු කිරීම නිසා ජීවිතයේ මුල් වතාවට ඡන්දය දැමීමේ වරම ලද තරුණ තරුණියන් මිලියනයක් පමණ ද සිටියා.

මේ පිරිසේ බොහෝ දෙනෙකු ජංගම දුරකථන භාවිත කරන, ස්මාට්ෆෝන් හරහා ඉන්ටර්නෙට් සම්බන්ද වන අයයි. (ඉන්ටර්නෙට් තව දුරටත් ටික දෙනෙකුට සීමා වූ නාගරික වරප‍්‍රසාදයක් නොවෙයි.) ඉන්ටර්නෙට් හා සමාජ මාධ්‍ය ජාල (විශේෂයෙන් ම ෆේස්බුක්, ට්විටර් හා යූටියුබ්) හරහා මැතිවරණ සමයේ බොහෝ නොනිල තොරතුරු ගලා ගියා. සංවාද සිදු කෙරුණා.

මේ හරහා තරුණ ඡන්දවලට යම් බලපෑමක් සිදු කරන්නට ඇතැයි මා සිතනවා. මෙය ආසියානු කලාපයේ වෙනත් රටවල සමාජ මාධ්‍ය හා මැතිවරණ කි‍්‍රයාදාමයන්ට සමකළ හැකියි.

ජනවාරි 8 වනදා සිදුවූ සාමකාමී හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩු පෙරළියට වෙබ්ගත සමාජ මාධ්‍යයද සැළකිය යුතු මට්ටමින් දායක වූ බව ජනාධිපති වීමෙන් ටික දිනකට පසු මෛතී‍්‍රපාල සිරිසේන කියා සිටියා. ජනාධිපතිවරණයේ සන්නිවේදන කි‍්‍රයාදාමයන් ගැන කළ විග‍්‍රහයකදී මා එයට හේතු වූ සාධක විස්තරාත්මකව සාකච්ඡා කළා. [කියවන්න: Was #PresPollSL 2015 Sri Lanka’s first Cyber Election? By Nalaka Gunawardene. Groundviews.org, 13 January 2015].

සැකෙවින් කිව හොත් ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍ය හරහා මුදල් ගෙවා හෝ මැතිවරණ ප‍්‍රචාරණය කිරීමට විපක්ෂයේ පොදු අපේක්ෂකයාට තිබුණේ සීමිත සම්පත් හා හැකියාවක්. බලයේ සිටි නායකයාට මෙන් ව්‍යාපාරික අනුග‍්‍රහය ලැබීමට හෝ රාජ්‍ය මාධ්‍ය අයථා ලෙස භාවිතයට හෝ හැකි වූයේ නැහැ.

මේ පසුබිම තුළ සිරිසේනගේ යහපාලන මැතිවරණ පණිවුඩ සමාජගත කිරීමට ප‍්‍රබලව දායක වූයේ (නිල මැතිවරණ ව්‍යාපාරයට කිසිසේත් සම්බන්ධ නොවූ) ස්වේච්ඡාවෙන් පෙරට ආ ඩිජිටල් හැකියාවන් තිබූ නිර්මාණශීලී තරුණ තරුණියන් පිරිසක්.

ඔවුන් සමාජ මාධ්‍යවලට හා වෙනත් වෙබ් අඩවිවලට මුදා හැරි කෙටි පණිඩුව, හාස්‍යජනක රූපමය පණිවුඩ (මීම්) හා වෙනත් අන්තර්ගතයන් ඉක්මණින් වෙබ් භාවිත කරන්නන් අතර සංසරණය වුණා. එතැනින් නොනැවතී සෙසු ජන සමාජයට ද කාන්දු වී පැතිරුණා.

මේ මගේ නිරීක්ෂණ පමණක් නොවෙයි. එය ගැන අවධානයෙන් සිටි තවත් අයගේ ද පිළිගැනීමයි. මට අමතරව රංග කලන්සූරිය හා අජිත් පැරකුම් ජයසිංහ වැන්නවුන් ද මේ සයිබර් සාධකය තහවුරු කරමින් ගෙවී ගිය වසරේ ලියා තිබෙනවා.

ජනවාරි 8 වනදා බහුතරයක් ලක්වැසි ඡන්දදායකයින් විසින් විවර කර ගත් යහපාලන අවකාශය, අගෝස්තු 17 වනදා පාර්ලිමේන්තු මැතිවරණයේදී යළිත් තහවුරු කරනු ලැබුවා.

එහෙත් පුරවැසි අපේ වගකීම එතැනින් හමාර වී නැහැ. යහපාලනය අයාලේ යන්නට, බඩගෝස්තරවාදයට නතු වන්නට බොහෝ ඉඩ තිබෙනවා. මේ අවදානම අවම කර ගත හැක්කේ අප දිගටම ආණ්ඩුකරණ කි‍්‍රයාදාමයේ සකි‍්‍රය කොටස්කරුවන් ලෙස සිටිය හොත් පමණයි.

කියන කොට එහෙමයි කරන කොට මෙහෙමයි! යහපාලනයේ කයිය හා කෙරුවාව අතර මහා හිදැසක්!

කියන කොට එහෙමයි, කරන කොට මෙහෙමයි! යහපාලනයේ කයිය හා කෙරුවාව අතර මහා හිදැසක්!

මැතිවරණ අතරතුර කාලයේ දේශපාලනය හා ආණ්ඩුකරණය (politics and governance) එම කාර්යයේ පූර්ණකාලීනව නිරතවන දේශපාලකයන් පිරිසකට පවරා අපේ වැඩක් බලාගෙන ඔහේ ඉන්නට ඉඩක් අපට නැහැ. දශක ගණනක් එසේ කිරීමේ බරපතල විපාක අප දැන් අත් විඳිනවා.

තොරතුරු තාක්ෂණයෙන් ජවය ලබන හා ඒකරාශී වන තරුණ පුරවැසියන් තව දුරටත් පාලකයන්ට රිසි පරිදි “අමන පාලනයක්” ගෙන යාමට ඉඩ නොදෙනු ඇති. බොහෝ ගතානුගතික දේශපාලකයන් නව සන්නිවේදන තාක්ෂණයන්ට හා සමාජ මාධ්‍යවලට බිය වන්නේ ද මේ නිසායි! මෙතෙක් කල් කළ සටකපටකම් දිගටම කිරීම අසීරු වන බැවින්.

25 August 2015: සිවුමංසල කොලූගැටයා #233: ප‍්‍රජාතන්ත‍්‍රවාදය නවීකරණය කරන සමාජයීය වගවීම

අඩ සියවසකට වැඩි කාලයක් (1956 – 2008) ශී‍්‍ර ලංකාවේ පදිංචිව සිටි, විද්‍යා ලේඛක හා අනාගතවේදී ශී‍්‍රමත් ආතර් සී ක්ලාක්ගේ අදහස් කිහිපයක් සිහිපත් කිරීම වැදගත්.

ඔහු අවසන් වරට මෙරට ප‍්‍රකාශනයක් සමග දීර්ඝ සම්මුඛ සාකච්ඡාවක් කළේ 2005 මුලදී. සුනාමියෙන් සති කිහිපයකට පසු LMD ව්‍යාපාරික සඟරාව සමග කළ ඒ සංවාදය අතරතුර මෙරටට උචිත ආණ්ඩුකරණයක් ගැනත් කථා කළා.

රටේ අවශ්‍යතාවලට ගැළපෙන හොඳම පාලන ක‍්‍රමය කුමක්දැයි ඔහුගෙන් ඇසූ විට දුන් පිළිතුර මෙයයි.

රජාතන්තරවාදය හොඳයි හා නරකයි යන තර්ක දෙකම අපට නිතර අසන්නට ලැබෙනවා. රජාතන්තරවාදය පරිපූර්ණ නැහැ. එය යාවත්කාලීන කිරීම හා රටේ හැටියට යම් තරමකට හැඩගස්වා ගැනීම අවශ්යයි. එසේම සියවස් ගණනක් පැවත රජාතාන්තිරක සම්ප්‍රදායන් නූතන තාක්ෂණයන්ගේ පිහිටෙන් වඩාත් දියුණු තියුණු කළ හැකියි.

 “සීඝරයෙන් ගෝලීයකරණය වන අපේ ලෝකයේ දුගී බව පිටු දැකීමට හා සියලූ ජනයාගේ ජීවන මට්ටම් නඟා සිටුවීමට නම් රාජ් තන්තරයේ නිසි වගකීම සහ වගවීම අවශ්යයි. එය මධ්යම, පළාත් හා පළාත් පාලන යන සියලූ මට්ටම්වල සිදුවිය යුතුයි.

 “මෙය සාක්ෂාත් කර ගත හැක්කේ පුරවැසියන් මැතිවරණවල ඡන්දය දීමෙන් හා කලින් කලට ආණ්ඩු මාරු කිරීමෙන් නොනැවතී දිගටම රජයන් හා ජනතා නියෝජිතයන් සමග ගණුදෙනුවක යෙදීමෙන්. මෙයට සමාජයීය වගවීම (social accountability) යයි කියනවා.

 “තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයන් ශූර ලෙස යොදා ගනිමින්. දත්ත හා සාක්ෂි මත පදනම් වී ආණ්ඩුකරණය විචාරයට ලක් කිරීමට අද පුරවැසියන්ට හැකියාව තිබෙනවා. මීට පෙර පරම්පරාවල ආවේගශීලීව හෝ හුදු දේශපාලන මතවාද මත පමණක් උද්ඝෝෂණ කළ පුරවැසියන්ට දැන් ඊට වඩා හරවත්ව හා ඉලක්කගතව රාජ් තන්තරය විවේචනය කළ හැකියි.

 “මහජන මුදල් භාවිතය, රාජ් ආයතනවල අකාර්යක්ෂමතා, දූෂණ, වංචා හා බොරු ප්රෝඩා ගැන සූක්ෂම ලෙස ගවේෂණය කිරීමට හා තමා සොයා ගන්නා දේ ඉක්මණින් වෙබ් ගත කිරීමට අද ඩිජිටල් තාක්ෂණයෙන් සන්නද්ධ වූ පුරවැසියන්ට හැකියි. මේ නව හැකියාවන් හරහා යහපත් ආණ්ඩුකරණයට සියලූ දේශපාලකයන්ට හා රාජ් නිලධාරීන්ට බල කිරීමේ විභවය ජනතාවට ලැබෙනවා. මේ බලය නිසි ලෙස භාවිත කිරීමට අප උත්සුක විය යුතුයි.

Arthur C Clarke's remarks on ICTs and good governance, made in 2005

Arthur C Clarke’s remarks on ICTs and good governance, made in 2005

2008 මාර්තුවේ අප අතරින් නික්ම යන තුරුම ක්ලාක් නිතර කීවේ මේ නව සියවසේ ප‍්‍රබලම අවිය හා වටිනාම ඉන්ධනය වන්නේ තොරතුරු හා දැනුම බවයි. (තොරතුරුවලට සමාජයීය අගයක් එකතු කළ විට එය දැනුම බවට පත් වනවා.)

See also:
4 January 2015: සිවුමංසල කොලූගැටයා #201: ශ‍්‍රී ලංකාවේ අරාබි වසන්තයක් හට ගත හැකිද?

11 January 2015: සිවුමංසල කොලූගැටයා #202: 2015 ජනාධිපතිවරණයේ සන්නිවේදන පාඩම්

18 January 2015: සිවුමංසල කොලූගැටයා #203: මෛත‍්‍රීගේ මැන්ඩෙලා මොහොත!

 

සිවුමංසල කොලූගැටයා #231: ඡන්දදායකයා වඩාත් බලගතු කැරෙන නව සංකල්ප දෙකක්

Indian campaign for "None of the Above" (NOTA) option at elections

Indian campaign for “None of the Above” (NOTA) option at elections

In this week’s Ravaya column, (in Sinhala, appearing in issue of 9 August 2015), I discuss two concepts that could make representative democracy more meaningful.

First is adding the option of None of the Above (NOTA) to the list of candidates in an election, so voters can exercise a negative vote – and send a powerful message to political parties and personalities about the quality of politicians society prefers.

Second is the Right to Recall (RTR), a law that would allow citizens to ‘sack’ elected officials in government before the term of office is over, if the officials are proven guilty of misuse of power. The UK just adopted such a law (Recall of MPs Act 2015) in March 2015, and there has been a campaign in India for such a law since the late 1990s.

Can Sri Lanka advocate such laws to improve the electoral political process? A promising start has been made with the March 12 Declaration and Movement for clean candidates at elections. But we have a long way to go.

Refusing to accept business as usual is the essential first step. I believe that step has been taken in the current build-up to the Sri Lanka General Election scheduled for 17 August 2015.

Sri Lanka's March 12 Movement for clean candidates at elections - they must meet 8 basic criteria

Sri Lanka’s March 12 Movement for clean candidates at elections – they must meet 8 basic criteria

ප‍්‍රජාතන්ත‍්‍රවාදය යනු නිරතුරුව සුපරීක්ෂාකාරී වීම හරහා රැක ගත යුතු ක‍්‍රමවේදයක්. එසේම එය කාලානුරූපව නවීකරණයට හා දියුණු කිරීමට ලක් විය යුතුයි.

මෙරට මැතිවරණ ක‍්‍රමවේදය ප‍්‍රතිසංස්කරණය කිරීමේ බරපතල අවශ්‍යතාව මේ දිනවල පාරට බැස වටපිට බලන විට හොඳටම පෙනී යනවා. එයට ඉලක්ක කළ ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනය පසුගිය පාර්ලිමේන්තුවට සම්මත කරන්නට බැරි වුණා.

අපට වඩා පරිණත දේශපාලන තන්ත‍්‍රයන් හා ආයතන ව්‍යුහයන් ඇති ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටවලත් විද්වතුන්, වෘත්තිකයන් හා සිවිල් ක‍්‍රියාකාරිකයන් නිතර උත්සාහ කරන්නේ ක‍්‍රමවේදය වඩාත් සාධාරණ, වගකීම් සහගත හා කාර්යක්ෂම කිරීමටයි.

මේ විදෙස් අත්දැකීම්වලින් අපට යමක් උගත හැකිද? ඒ රටවල වාද විවාද ගැන අප මෙනෙහි කිරීම වැදගත්. මේ අරභයා සංකල්ප දෙකක් අද මා හඳුන්වා දීමට කැමතියි.

මැතිවරණයකදී සිදු වන්නේ දේශපාලන පක්ෂවල නාමයෝජනා ලද අපේක්ෂකයන් හා ස්වාධීනව ඉදිරිපත් වන අපේක්ෂකයන් අතරින් අප වඩාත්ම කැමති අයට අපේ ඡන්දය/මනාපය ප‍්‍රකාශ කිරීමයි.

එහෙත් මේ හැම දෙනා අතරින් කිසිවකුත් අපට රිසි නොවෙයි නම්? එවිට සමහරුන් ඡන්ද පත‍්‍රිකාව කටුගෑම කරනවා. එය ඡන්දය අපතේ යැවීමක්.

ලොව සමහර රටවල ඡන්දදායකයන්ට දැන් විකල්පයක් තිබෙනවා. එනම් ඡන්ද අපේක්ෂකයන්ට අමතරව ‘මේ කිසිවකුත් නොවේ’ (None of the Above, NOTA) යනුවෙන්ද ඡන්ද පත‍්‍රිකාවේ සඳහන් වීමයි. මෙය අපේක්ෂකයන් ප්‍රතික්ෂේප කිරීමට ඇති අයිතිය (Right to Reject) ලෙසද විග්‍රහ කළ හැකියි.

NOTAට ඡන්දය ප‍්‍රකාශ කළොත් එය වෙනම ගණන් කරනු ලබනවා (ඡන්ද අපතේ යාමක් හෝ ප‍්‍රතික්ෂේප වීමක් නොවෙයි.) ඡන්ද ප‍්‍රතිඵලයේදීත් එය වෙනම ප‍්‍රකාශයට පත් වනවා.

මේ විකල්පය විවාදාත්මකයි. එයින් ඡන්දදායකයන්ගේ විරෝධය නිසි ලෙස හසු කර ගනු ලැබුවත්, නියෝජිත ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ඒ මොහොතේ ඉක්මන් දායකත්වයක් නැහැ. එය දිගු කාලීනව දේශපාලනය පවිත්‍ර කිරීමට උදවු වන්නක්.

එයින් සියලූ ඡන්ද අපේක්ෂකයන්ටත් දේශපාලන පක්ෂවලටත් වැදගත් හා ප්රබල පණිවුඩයක් දෙනවා. අප නියෝජනය කිරීමට මීට වඩා හොඳ අපේක්ෂකයන් අප බලාපොරොත්තු වනවා කියලා.

මෙය මුල්වරට අත්හදා බැලුනේ අමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝර්නිය ප්‍රාන්තයේ සන්ටා බාබරා ප්‍රදේශයේග පසුව එය නෙවාඩා ජනපදයේ නීතියක් වුණා. නමුත් ජාතික මට්ටමට තවම නීතිගත වී නැහැ.

NOTA-Logo

1980 හා 1990 දශකවල මෙය කෙමෙන් වෙනත් රටවලත් අදාල කර ගනු ලැබුවා. ඉන්දියානු දේශපාලනයේ ‘මේ කිසිවකුත් නොවේ’ යන්න මතුව ආවේ ප‍්‍රධාන ප‍්‍රවාහයේ හැම දේශපාලන පක්ෂයකින්ම නාමයෝජනා ලබන අපේක්ෂකයන් පිළිබඳ මහජන අප‍්‍රසාදය හේතුවෙන්.

දූෂණ චෝදනා ලද, අපරාධ නඩු හරහා පෙර දඬුවම් ලද හෝ වෙනත් වංචනික රියා නිසා නම පලූදු කර ගත් දේශපාලකයන් සංඛ්යාව වැඩිවත්ම මැතිවරණවලදී තමන්ට හරි තේරීමක් කිරීමට අමාරු බව එරට ඡන්දදායකයන්ට පෙනී ගියා.

මේ නිසා ඡන්ද පත‍්‍රිකා කටු ගා දැමීම වෙනුවට එම විරෝධය නිල වශයෙන් ප‍්‍රකාශ කිරීමට ඡන්දදායකයන්ට විකල්පයක් සම්පාදනය කළ යුතු යයි ඉන්දියානු මැතිවරණ කොමිසම මුල් වරට යෝජනා කළේ 2001දී. එහෙත් බලයේ සිටි රජයන් මෙයට කැමති නොවූ නිසා එය ක‍්‍රියාත්මක වීම වසර ගණනක් කල් ගියා.

ඉන්දියාවේ සිවිල් සමාජ ක‍්‍රියාකාරිත්වය ප‍්‍රබලයි. ඔවුන් හොඳ අදහසක් ලෙහෙසියෙන් අත හරින්නේ නැහැ. මැතිවරණ කොමිසමේ සහායට ආවේ වෘත්තිකයන් හා සිවිල් සංවිධානයි. ඔවුන් මේ ගැන ජන මතයක් ගොඩ නැගුවා.

අන්තිමේදී සිවිල් අයිතිවාසිකම් සඳහා ජනතා සංවිධානය (People’s Union for Civil Liberties, www.pucl.org) නම් රාජ්‍ය නොවන සංවිධානය මේ උදෙසා උද්ඝෝෂණය ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා ගෙන ගියා. ඔවුන් පොදු උන්නතිය සඳහා වන පෙත්සමක් (public interest litigation) ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කරමින් NOTA සඳහා මැතිවරණ නීති සංශෝධනය කරන්න රජයට නියම කරන මෙන් අයැද සිටියා.

දීර්ඝ වශයෙන් මේ ගැන සලකා බැලූ ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය 2013 සැප්තැම්බර් 27 වනදා ඓතිහාසික තීන්දුවක් ප‍්‍රකාශයට පත් කළා. අගවිනිසුරු පී. සතාසිවම් ප‍්‍රමුඛ තුන් විනිසුරු මඩුල්ලක් කියා සිටියේ: ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මූලික හරයක් වන්නේ තෝරා ගැනීමේ හැකියාවයි. ඉදිරිපත්ව සිටින කිසිදු මැතිවරණ ඡන්ද අපේක්ෂකයකු පත් වීමට නොසුදුසු යයි සිතන ඡන්දදායකයන්ට එයට එරෙහිව සිය ඍණ ඡන්දයක් ප‍්‍රකාශ කිරීමට අවකාශ ලබා දිය යුතුයි’ කියායි.

Full judgement by Indian Supreme Court

How NOTA works in India

How NOTA works in India

ඒ වන විටත් එබඳු ඍණ ඡන්ද (negative voting) ප‍්‍රකාශ කිරීමේ වරම ලබා දී ඇති රටවල් 13ක් මේ තීරණයේ නම් වශයෙන් සඳහන් වුණා. ඒ අතර ප‍්‍රංශය, අමෙරිකා එක්සත් ජනපදය, ස්වීඩනය, ෆින්ලන්තය වැනි දියුණු රටවල් මෙන්ම බංගලාදේශය, බ‍්‍රසීලය, චිලී, කොලොම්බියා වැනි දියුණු වන රටවල් ද වනවා.

ඡන්ද අපේක්ෂකයන් කිසිවකුත් ගැන පැහැදීමක් නැති ඡන්දදායකයන් මැතිවරණවලට සහභාගී වීම වඩාත් දිරිමත් කැරෙන රමවේදයක් ලෙස මෙය හඳුන්වා දුන් ඉන්දීය ශ්රේෂ්ඨාධිකරණය, සඳහා විධිවිධාන යෙදීමට එරට මැතිවරණ කොමිසමට නියෝග කළා.

වසර දොලහකටත් වඩා මේ පියවර හඳුන්වාදීමට කැමැත්තෙන් සිටි කොමිසම මේ තීන්දුව ඕනෑකමින් ක‍්‍රියාත්මක කළා. 2013 ඔක්තෝබර් 28 වනදා පැහැදිලි කිරීමක් කළ කොමිසම කීවේ ‘මේ කිසිවකුත් නොවේ’ යන්නට යම් ඡන්ද කොට්ඨාශයක වැඩිම ඡන්ද ගණන ලැබුණොත් එම ආසනයේ නියෝජනය හිස් නොවනු පිණිස ඊළඟට වැඩිම ඡන්ද ලැබූ අපේක්ෂකයා තේරී පත් වන බවයි. (එහෙත් ඡන්දදායකයන්ගේ විරෝධය ඒ වන විට මැනවින් ප‍්‍රකාශ වී හමාරයි!)

ඉන්දියාවේ ප්‍රකට බුද්ධිමතකු වන ප්‍රතාප් භානු මේථා මෙසේ කියනවා: “අපේ අඩුපාඩු බහුල ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය වඩාත් ප්‍රශස්ත කිරීමට මෙය ඉදිරි පියවරක්. මේ හරහා ඡන්දදායකයන්ගේ බලය වැඩි වනවා. දේශපාලන පක්ෂ වඩාත් සුපරීක්ෂාකාරීව අපේක්ෂකයන්ට නාමයෝජනා දීමට පොලඹවනවා. අනාගතයේ ඡන්දය ඉල්ලීමට පෙරුම් පුරන උදවියත් වඩාත් ප්‍රවේශම්සහගත වනවා.”

1999 සිට ඉන්දියාවේ ඡන්දය ප‍්‍රකාශ කරන්නේ විද්‍යුත් ඡුන්ද පුවරුවක (electronic voting machine, EVM) බොත්තම් තද කිරීමෙන්. 2014 අපේ‍්‍රල්-මැයි මහ මැතිවරණයේදී මුල් වරට ජාතික මට්ටමින් NOTA විකල්පය එරට මිලියන 800කට වැඩි ඡන්දදායකයන්ට ලැබුණා.

NOTA option in electronic voting machine in India

NOTA option in electronic voting machine in India

ලෝකයේ විශාලතම මැතිවරණය වූ එහිදී ආසන 543ක් සඳහා ඡන්ද අපේක්ෂකයන් 8,251ක් තරග කළා. ලියාපදිංචි ඡන්දදායකයන්ගෙන් 66.38%ක් (එනම් මිලියන 551.3ක්) විද්‍යුත් ඡන්ද යන්ත‍්‍ර මිලියන 1.4ක් හරහා සිය ඡන්දය ප‍්‍රකාශ කළා. මේ දැවැන්ත ව්‍යායාමයේ ප‍්‍රතිඵල 2014 මැයි මැදදී නිකුත් වුණා. ඒ අනුව භාරතීය ජනතා පක්ෂය (BJP)පෙරටු කර ගත් NDA සන්ධානය ආසන 336ක් දිනා ජය ගත් බව අපට මතකයි.

ඡන්දය ප‍්‍රකාශ කළ මුළු සංඛ්‍යාවෙන් 1.1%ක් NOTA යන්න තෝරා තිබුණා. සංඛ්‍යාත්මකව එය 5,997,054ක් (මිලියන 6කට ආසන්නයි.) NOTA ලද ප්‍රතිශතය ප‍්‍රදේශයෙන් ප‍්‍රදේශයට වෙනස් වුණා. පුඩුචෙරි ප‍්‍රාන්තයේ 3%, මෙගාලයාහි 2.8%ක්, ගුජරාටයේ හා චටිස්ගා වැනි ප‍්‍රාන්තවල 1.8%ක් ආදී වශයෙන්.

එය සංඛ්‍යාත්මකව සුළුතරයක් වුවද NOTA හරහා මහජනතාව ඉන්දීය දේශපාලන පක්ෂවලට ප්‍රබල පණිවුඩයක් දී තිබෙනවා. එසේම තමන් කැමති අපේක්ෂකයන් කිසිවකුත් නොසිටීම නිසා මෙතෙක් කල් ඡන්දය දීමට නොගිය ඡන්දදායකයන් සැලකිය යුතු පිරිසක්ද මේ විකල්පය නිසා සහභාගී වූවා යැයි සිතිය හැකියි. (2014 මැතිවරණයේදී එරට මහ මැතිවරණයක ඉහළම ප‍්‍රකාශිත ඡන්ද ප‍්‍රතිශතය වාර්තා වුණා.)

මේ අතර NOTA සංකල්පය බි‍්‍රතාන්‍ය මැතිවරණ ක‍්‍රමයට හඳුන්වා දීමට දැනට වසර ගණනක සිට සමහර සිවිල් ක‍්‍රියාකාරීන් උත්සාහ කරනවා. පාලක පක්ෂ හා විපක්ෂ දෙපසම දූෂිත, විෂමාචාර චෝදනා ලද මන්ත‍්‍රීන් සංඛ්‍යාව මෑත කාලයේ වැඩි වීමත් සමග සමස්ත නියෝජිත ප‍්‍රජාතන්ත‍්‍රවාදී සංකල්පය එරට ඡන්දදායකයන්ට එපා වීමේ අවදානම මතුව තිබෙනවා.

‘කිසි අපේක්ෂකයකුට මගේ ඡන්දය නෑ’ (No Candidate Deserves My Vote!) නම් දේශපාලන පක්ෂයක් ද මේ ක‍්‍රියාකාරීන් පිහිටුවාගෙන තිබෙනවා. එහෙත් කවදා ඔවුන්ගේ උත්සාහය සාර්ථක වේවි දැයි කිව නොහැකියි.

Image courtesy Sri Lanka Brief

ජන ප්රසාදයෙන් ජය ලැබූ අපේක්ෂකයකු ඡන්දයෙන් පසු පිල් මාරු කිරීම, දූෂිත වීම, ඡන්දදායකයන් නොතකා හැරීම හෝ වෙනත් අයුරින් පිස්සු නැටීම කළොත් අපට කුමක් කළ හැකිද?

ඉන්දියාව ප‍්‍රජාතන්ත‍්‍රවාදය වඩාත් පරිපූර්ණ කිරීමට අත්හදා බැලීම් කරන දැවැන්ත පර්යේෂණාගාරයක්. එරට සමහර ක‍්‍රියාකාරිකයන් ප‍්‍රවර්ධනය කරන තවත් සංකල්පයක් නම් ඡන්දයෙන් තේරී පත් වන නියෝජිතයන් වැරදි වැඩ කළ විට ඉක්මනින් ගෙදර යැවීමේ හැකියාවයි (Right to Recall, RTR).

මෙය වඩා හොඳින් ක‍්‍රියාත්මක කළ හැක්කේ සමානුපාතික ඡන්ද ක‍්‍රමය නොව කේවල ඡන්ද ක‍්‍රමය ඇති රටවලයි. මේ සංකල්පය දැනටමත් ඇමෙරිකාවේ ජනපද රැසක හා පේරු රටේ නීතිගතයි. පේරු රටේ ඡන්දදායකයන් අතරින් 50%ක් යම් මහජන නියෝජිතයකුගේ ඉවත් කිරීම ඉල්ලා සිටියොත් එය බලාත්මක වනවා.

ඇමරිකාවේ සමහර නාමධාරී නගරාධිපතිවරුන්, ප‍්‍රාන්ත ආණ්ඩුකාරයන්, සෙනෙට් සභිකයන් සිය ධුර කාලය හමාර වීමට පෙර ජනතාව විසින් ගෙදර යැවූ අවස්ථා රැසක් පසුගිය සියවස පුරාම තිබෙනවා.

එසේම එය අසාර්ථක වූ අවස්ථාද තිබෙනවා. චෝදනා එල්ල කිරීම ලෙහෙසි වුවත් තහවුරු කිරීම අමාරු වැඩක්. එහෙත් අදාළ නීති රීති හා ආයතන ව්‍යුහය සවිමත් නම් ජනතා පරමාධිපත්‍යය ද වඩා සවිමත් වනවා.

ස්විට්සර්ලන්තයේ ජාතික මට්ටමෙන් මෙය නීතිගත කර නැතත්, ප‍්‍රාන්ත (කැන්ටන්) මට්ටමෙන් කිහිපයක එයට ඉඩ දී තිබෙනවා. 1995දී කැනඩාවේ බි‍්‍රටිෂ් කොලොම්බියා ප‍්‍රාන්තය ද මෙවැනි නීතියක් හඳුන්වා දුන්නා.

ඉන්දියාවේ මේ RTR සංකල්පය කලෙක සිට ප‍්‍රවර්ධනය කරන්නේ රාහුල් චිමන්භායි මේථා නම් පරිගණක වෘත්තිකයා. මේ සංකල්පය විස්තර කරමින් ඔහු වෙබ් අඩවි, පුවත්පත් දැන්වීම් හා සංවාද මණ්ඩප ආදිය පවත්වාගෙන යනවා. 1998 ඇරැඹි මේ ව්‍යායාමය තවමත් සාර්ථක වී නැතත් රටේ තුන්වන බලවේගය ලෙස දැන් සැළකෙන පොදු මිනිසාගේ පක්ෂය හෙවත් ආම් ආද්මි පක්ෂය (AAP) එය පිළිගැනීම ලොකු ඉදිරි පියවරක්.

AAP නිල වෙබ් අඩවියේ මෙසේ කියනවා. ‘අපේ ඡන්දය ලබා දිනන සමහර අපේක්ෂකයන් ඊට පස්සෙ සොයා ගන්නවත් බැරි වෙනවා. ඡන්ද කොට්ඨාශයේ මහජනයාගේ ප‍්‍රශ්න නොතකා හරිනවා. එහෙත් වත්මන් ක‍්‍රමයේදී මේ අය අවුරුදු පහකට තනතුරු දරනවා. අප යෝජනා කරන්නේ මේ ධුර කාලය හමාර වීමට පෙර වුවත් දූෂිත හෝ වගකීම් රහිත මහජන මන්ත‍්‍රීවරයකු ගෙදර යැවීමට හැකි නීතිගත අයිතියක්. මැතිවරණ කොමිසමට එබඳු මන්ත‍්‍රීන් ගැන පැමිණිලි කිරීමට මහජනයාට අවකාශ තිබිය යුතුයි. ඔවුන්ගේ තැනට (අතුරු මැතිවරණයකින්) නව නියෝජිතයකු පත් කළ හැකි විය යුතුයි.’

ඉන්දියාවේ මේ සංකල්පය කවදා ක‍්‍රියාත්මක වේද යන්න කිව නොහැකියි. දේශපාලන සදාචාරයට ඍජුවම බලපෑම් කළ හැකි මෙබඳු ප‍්‍රතිසංස්කරණවලට පක්ෂ භේදයකින් තොරව දේශපාලන පක්ෂ නොකැමති වීම හෝ උදාසීන වීම දැකිය හැකියි.

එහෙත් වසර ගණනාවක ප‍්‍රමාදයකින් පසුව 2015 මාර්තු 26 වනදා RTR සංකල්පය බි‍්‍රතාන්‍යයේ නීතියක් ලෙස සම්මත වී ක‍්‍රියාත්මක වීම ඇරඹුණා.

මන්ත‍්‍රීවරයකු සිර දඬුවමක් ලැබුවහොත් හෝ අයථා හැසිරීම නිසා සභා දින 21ක් අවම වශයෙන් තහනමකට ලක් වුවහොත් එම මන්ත‍්‍රීවරයා ගෙදර යැවීමට එය හේතුවක් කොට ගත හැකියි. එහිදී සති 8ක් පුරා අදාල ඡන්ද කොට්ඨාශයේ ඡන්දදායකයන්ට අත්සන් කළ හැකි පෙත්සමක් 10%කට වඩා අත්සන් ලබා ගතහොත් මන්ත‍්‍රීවරයා ගෙදර! ඉන් පසු අතුරු මැතිවරණයක් පැවැත්විය යුතුයි.

"Don't give nominations to politicians with casino or corruption links" - March 12 Movement's poster in Sri Lanka in mid 2015

“Don’t give nominations to politicians with casino or corruption links” – March 12 Movement’s poster in Sri Lanka in mid 2015

Posted in Campaigns, citizen media, Education, Future, Global South, good governance, Human rights, India, Innovation, Media, News, public interest, Ravaya Column, South Asia, Sri Lanka. Tags: , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , . 1 Comment »

සිවුමංසල කොලූගැටයා #209: මාලදිවයිනේ යහපාලන අරගලය

President Mohammed Nasheed (left) and President Maumoon Abdul Gayoom (right).jpg

President Mohammed Nasheed (left) and President Maumoon Abdul Gayoom (right).jpg

In this week’s Ravaya column (in Sinhala), I chronicle the struggle by people of the Republic of Maldives – Asia’s smallest state by land area and population – to achieve democratic pluralism and good governance.

In October 2008, long-term autocratic ruler President Maumoon Abdul Gayoom was defeated in the country’s first multi-party elections by Mohamed Nasheed of the Maldives Democratic Party (MDP). Nasheed, who had been a political prisoner and suffered much under the previous regime, ushered in a new era for his nearly 400,000 people – for a while.

From almost the beginning, the Nasheed administration was systematically undermined and eventually he was ousted by the former autocrat’s appointees and promoters whose key public sector positions were left untouched by Nasheed despite there being many allegations of corruption.

As noted in an editorial in The Sunday Times (Sri Lanka) on 15 Jan 2015: “In February 2012, after just three and a half years in office, Nasheed was forced to resign following months of military-backed protests. Why? Largely because he was reluctant to remove dozens of Gayoom loyalists in key sections of the public service and the judiciary, who eventually helped the opposition to plot his downfall.

“In Nasheed’s own words, ‘I didn’t want to take action against them, despite public demands, as it would be tantamount to behaving like Gayoom, ruthless and abusing of power.’ As weeks and months went past with Gayoom cronies still continuing in key positions, Nasheed’s hold on power weakened and led to his resignation which he said was forced on his by the military.

“These are lessons for Sri Lanka’s new rulers who must clean up the system and take action while at the same time displaying that it is not a political witch-hunt.”

ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා යහපාලනය තහවුරු කිරීමට ඉන්දියාවෙන් අපට ගත හැකි ආදර්ශ ගැන මෑත සතිවල අප කිහිප විටක් කතා කළා. ඊට පෙර අවස්ථාවල පාකිස්තානය හා නේපාලය ගැනත් අප අවධානය යොමු කළා.

යහපාලනය සඳහා වසර ගණනක අරගලයක් අසල්වැසි මාලදිවයිනේ ද සිදු වනවා. භූමි ප‍්‍රමාණයෙන් හා ජනගහනයෙන් ආසියාවේ කුඩාම රාජ්‍යය වන මාලදිවයින ඒකාධිපති පවුල්වාදය පිටු දකින්නට ගන්නා උත්සාහය තවමත් සාර්ථක වී නැහැ.

maldives-on-worldmapවසර 25කට වැඩි කාලයක් තිස්සේ මා වෘත්තීය මට්ටමින් මාලදිවයිනට විටින් විට යනවා. හිටපු ජනාධිපතිවරුන් දෙදෙනකු සමග තුන් වතාවක් මාධ්‍ය සම්මුඛ සාකච්ඡා කොට තිබෙනවා. එරට ගැන විශේෂඥයකු නොවූවත් එහි සිදුවීම් ගැන මා විමසිලිමත් වනවා.

මාලදිවයින 1887දී බි‍්‍රතාන්‍ය ආරක්ෂිත රාජ්‍යයක් (British protectorate) බවට පත් වුණා. එනම් එරට අභ්‍යන්තර රාජ්‍ය පාලනය තව දුරටත් සුල්තාන්වරයකු යටතේ දිගටම පවතින අතර විදේශ සබඳතා හා ජාතික ආරක්ෂාව සඳහා පමණක් බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යයේ අධීක්ෂණය ලැබුණා. මේ සඳහා සුල්තාන්වරයා වාර්ෂිකව බි‍්‍රතාන්‍යයට යම් ගෙවීමක් කළා. සුල්තාන් යටතේ අගමැතිවරයකු එදිනෙදා රාජ්‍ය පාලනය කළා.

 

1965දී බි‍්‍රතාන්‍ය ආරක්ෂිත රාජ්‍ය තත්ත්වය හමාර වුණා. 1968දී එරට ජනරජයක් බවට පත් වුණා. එහෙත් බහුපාක්ෂික දේශපාලන සංස්කෘතියක් බිහි කරනු වෙනුවට එරට යොමු වූයේ තනි පක්ෂයකින් පාලනය වන ඒකාධිපති රටාවකටයි. ඉබ‍්‍රාහිම් නාසීර් (1926-2008) මුල්ම ජනාධිපති බවට පත් වී 1968-1978 වකවානුවේ දැඩි හස්තයකින් රට පාලනය කළා. එරට නවීකරණය කිරීම ඇරඹුවේ ඔහුයි.

ඔහු යටතේ ඇමතිවරයකු ලෙස සේවය කළ මවුමූන් අබ්දුල් ගයූම් (Maumoon Abdul Gayoom) 1978දී ජනාධිපති බවට පත් වුණා. ඔහුත් කළේ ඒකපාක්ෂික පාලනය දිගටම පවත්වාගෙන යාමයි.

තනි පක්ෂයක් පමණක් දේශපාලනය කළත් ගයූම්ගේ 30 වසරක පාලන කාලය තුළ වසර කිහිපයකට වරක් “මැතිවරණ” පවත්වනු ලැබුවා. ඒ හැම එකකටම ඉදිරිපත් වූ එකම අපේක්ෂකයා වූයේ ඔහුයි. 1983 ජනමත විචාරණයකිනුත්, ඉනික්බිති 1988, 1993, 1998 හා 2003 යන වසරවල පැවති මැතිවරණවලිනුත් සැමවිටම ඡන්දවලින් 90%කට වඩා ලබමින් ඔහු ජය ගත්තා (ඉතිරි ඡන්ද කටු ගා දමන ලද ඒවායි.)

මාලදිවයිනේ රාජ්‍ය නායකයා, ආණ්ඩු නායකයා මෙන්ම හමුදාවට අණදෙන ප‍්‍රධානියා ලෙසත් සර්ව බලධාරී ආකාරයට ගයූම් දශක තුනක් බලයේ රැඳී සිටියා. මේ කාලය තුළ ඔහු බලයෙන් පහ කිරීමට කුමන්ත‍්‍රණ උත්සාහයන් තුනක් (1980, 1983, 1988) සාර්ථක ලෙස මැඬ පැවැත්වූවා.

1988 නොවැම්බර් 3 වැනිදා තුන්වන කුමන්ත‍්‍රණ උත්සාහයට මුල් වූයේ ශ‍්‍රී ලංකාවේ PLOTE සංවිධානයෙන් කුලියට ලබා ගත් සන්නද්ධ කැරලිකරුවන් 80 දෙනකුත් මාලදිවයින් කැරලිකරුවන් පිරිසකුත්. ඒ තීරණාත්මක මොහොතේ ගයූම් සාක් රටවලින් හදිසි ආධාර ඉල්ල සිටියා. ඉන්දියානු හමුුදා මැදිහත් වීමෙන් කැරලිකරුවන් මර්දනය කොට යළිත් පැය කිහිපයක් ඇතුළත රටේ අගනුවර පාලනය ගයූම්ගේ හමුදා අතට ලබා දුන්නා.

ගයූම් තම කුඩා රාජ්‍යය නවීකරණය කළත් එයට සමාන්තරව ගජමිතුරන්ට මුදල් හම්බ කිරීමට බොහෝ වරප‍්‍රසාද හා අවස්ථා සලසා දුන් බවට චෝදනා මතු වුණා. එසේම ඔහුගේ පවුලේ සාමාජිකයන් ගණනාවක්ම ඉහළ රාජ්‍ය තනතුරුවලට පත් කිරීම හරහා දැඩි පවුල්වාදයක් ස්ථාපිත කළා.

ගයූම් පාක්ෂිකයන් මේ චෝදනා ප‍්‍රතික්ෂේප කළත් ඔවුන්ට වසන් කළ නොහැකි අමිහිරි සත්‍යයක් තිබෙනවා. එනම් ඔහුගේ පාලන කාලය තුළ විරුද්ධ මතධාරීන්ට හා දේශපාලන ක‍්‍රියාකාරිකයන්ට මුදා හරින ලද රාජ්‍ය හිංසනයයි.

හිතුමතයට විරුද්ධ පාක්ෂිකයන් අත්අඩංගුවට ගැනීම, දිගු කල් අධිකරණ ක‍්‍රියාදාමයකින් තොරව රඳවා තබා ගැනීම, අත්අඩංගුවේදී වධ හිංසා කිරීම, බලහත්කාරයෙන් කටඋත්තර ලබා ගැනීම මෙන්ම දේශපාලන මිනීමැරුම් කිරීම ගැන ගයූම් පාලනයට එරට හා විදෙස් මානව හිමිකම් ක‍්‍රියාකාරිකයන් විස්තරාත්මක චෝදනා එල්ල කොට තිබෙනවා. “රාජ්‍ය ආරක්ෂාව” නම් පොදු හේතුව යටතේ ගයූම් මේ සියල්ල සාධාරණීකරණය කරන්නට ගත් උත්සාහයන් සාර්ථක වූයේ නැහැ.

2002 පමණ වන විට වඩාත් උගත් හා සන්නිවේදන තාක්ෂණයෙන් බලාත්මක වූ මාලදිවයින් තරුණ තරුණියෝ දේශපාලන නිදහස හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඉල්ලා උද්ඝෝෂණ ඇරඹුවා. මේ උද්ඝෝෂණවලට නායකත්වය දුන්නෙ 2001දී අරඹන ලද එරට මුල්ම විකල්ප දේශපාලන පක්ෂය වූ මාලදිවයින් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය (Maldivian Democratic Party, MDP).

මේ උද්ඝෝෂණ මර්දනයට ගයූම්ගේ සමස්ත රාජ්‍ය බලය යොදනු ලැබුවා. දරුණු මර්දනය හමුවේ 2003දී MDP නායකත්වය සිය රට හැරදා ශ‍්‍රී ලංකාවේ තාවකාලික පදිංචියට ආවා.

ගයූම් රජය කලක් යන තුරු MDP පක්ෂය පිළිගත්තේ නැතත් ඔවුන් දිගටම දේශපාලන උද්ඝෝෂණ ගෙන ගියා. රට තුළත්, රටින් බැහැරවත් බහුපාක්ෂික ප‍්‍රජාතන්ත‍්‍රවාදයක අවශ්‍යතාව ගැන ජනමතයක් ඔවුන් ගොඩ නැගුවා.

තත්ත්වය වෙනස් වූයේ 2005දී එරට පාර්ලිමේන්තුව (Majlis) දේශපාලන පක්ෂ පිළිගැනීමට තීරණය කළ පසුවයි. 2005 පටන් සිය රටේ එළි පිටම සක‍්‍රිය දේශපාලනයට පිවිසි MDP පක්ෂයට ගයූම් පාලනයෙන් බොහෝ සීමා, හිරිහැර එල්ල වුණත් එයින් ඔවුන්ගේ ජනප‍්‍රියත්වය වැඩි වූවා මිස අඩු වූයේ නැහැ.

Mohamed Nasheed

Mohamed Nasheed

MDP පක්ෂයේ නායකයා ලෙස තරුණ, උගත් මොහමඞ් නෂීඞ් (Mohamed Nasheed) පත් වුණා. 1967 උපන් නෂීඞ් ශ‍්‍රී ලංකාවේ හා බි‍්‍රතාන්‍යයේ ඉගෙනුම ලබා 1989දී මාලදිවයින් දේශපාලනයට පිවිසියා. 1990න් ඇරැඹි දශකයකට අධික කාලය තුළ ගයූම් පාලනය විසින් විවිධ චෝදනා මත ඔහුව විසි වතාවක් අත්අඩංගුවට ගනු ලැබුවා.

සිරභාරයේ සිටි ඔහු වදහිංසාවලට ලක් වුණා. ලොව අවධානයට ලක් විය යුතු සුවිශේෂී දේශපාලන සිරකරුවකු ලෙස ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය 1991දී ඔහු නම් කළා. ඔහුගේ දියණියන් දෙදෙනාගෙම උපන් දිනවලදී නෂීඞ් සිටියේ අත්අඩංගුවේ.

2008 ඔක්තෝබරයේ පැවති ජනාධිපතිවරණයේදී පළමු වතාවට බහු පාක්ෂික තරගයකට ඉඩ ලැබුණා. එහිදී නෂීඞ් ජනාධිපති ගයූම්ට එරෙහිව තරග කළා.

මුල් වටයේ කිසිදු අපේක්ෂකයකුට අවශ්‍ය 50% ඡන්ද නොලැබුණු නිසා දෙවන වටය ගයූම් හා නෂීඞ් අතර ඉන් සති දෙකකට පසු පැවැත්වුණා. එහිදී ඡන්දවලින් 54%ක් ලබා ගත් නෂීඞ් මාලදිවයින් ඉතිහාසයේ ප‍්‍රජාතාන්ත‍්‍රික ලෙසින් තේරුණු මුල්ම ජනාධිපති බවට පත් වුණා.

2008 නොවැම්බර් 11 වැනිදා වැඩ බාර ගත් නෂීඞ්ට දශක ගණනාවක තනි පාක්ෂික ඒකාධිපති පාලනයට හුරු වී දඩබ්බරව සිටි රාජ්‍ය පරිපාලන තන්ත‍්‍රයක් හා හිතුමතයට ගනුදෙනු කිරීමට පුරුදු වූ ව්‍යාපාරික ප‍්‍රජාවක් සමග සීරුවෙන් කටයුතු කරන්නට සිදු වුණා.

ගයූම් පාලනය යටතේ අතිශය දුෂ්කර හා කටුක අත්දැකීම් ලබා තිබුණත් නෂීඞ් ජනාධිපති වූ පසු වෛරීය දේශපාලනය පිටුදැකීමට ප‍්‍රතිඥා දුන්නා.

නෂීඞ් ජයග‍්‍රහණය කළේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කරන හා යහපාලනය ඇති කරන බවට මැතිවරණ ප‍්‍රතිඥා දීමෙන් පසුවයි. තිස් වසරක ඒකාධිපති පාලනයෙන් හෙම්බත් වී සිටි එරට ජනයා ඉක්මන් ප‍්‍රතිසංස්කරණ හා හිටපු රජයේ බලවතුන්ට එරෙහිව හදිසි අධිකරණ ක‍්‍රියාමාර්ග අපේක්ෂා කළා.

එහෙත් නීතිය හා යුක්තිය පසිඳලීම අධිවේගී කරන්නට නෂීඞ් කැමති වූයේ නැහැ. සාක්ෂි මත පදනම්ව අධිකරණ ක‍්‍රියාමාර්ග රටේ නීතියට අනුව සිදු විය යුතු බවත්, තම රජය එයට අනවශ්‍ය ඇඟිලි ගැසීම් නොකරන බවත්, දේශපාලන පළිගැනීම් නොකරන බවත් ඔහු කියා සිටියා. ඔහු ප‍්‍රතිපත්තිගරුක හා මහත්මා දේශපාලනයක් ගෙන ගියා. මේ නිසා සමහර ලෝක මාධ්‍ය ඔහුට ‘ආසියාවේ මැන්ඩෙලා’ වැනි නම් පටබැන්දා.

රටේ ආර්ථික තත්ත්වය නැංවීමටත්, යටිතල පහසුකම් දිගටම දියුණු කරන්නත් ක‍්‍රියා කරන අතර දේශගුණ විපර්යාස නිසා ඇති වන බලපෑම් ගැනත් නෂීඞ් විශේෂ අවධානය යොමු කළා.

ගයූම්ගේ එක් යහපත් පිලිවෙතක් වූයේ ද දේශගුණ විපර්යාස ගැන කතා හා ක්‍රියා කිරීමයි. 1987 පටන් ගයූම් ලෝකයට නිතර මතක් කර දුන්නේ දේශගුණ විපර්යාස නිසා මුහුදු මට්ටම් ඉහළ ගිය විට ඉතා පහතින් පිහිටි, කඳු කිසිවක් නැති මාලදිවයින් දුපත්, 1,200ම තර්ජනයට ලක්වන බවයි. නෂීඞ් ද මේ කුඩා දුපත් රාජ්‍යවල සුවිශේෂී අවදානම ගැන දිගටම ලෝක සමුළු හමුවේ කතා කළා.

7 January 2008: Little voices from the waves: Maldives too young to die!

25 Oct 2009: Small Islands, Big Impact: Film from the frontlines of climate change impact…

මේ යහපාලනය හා හා දූරදර්ශී දැක්මකින් රට පාලනය කිරීම හිටපු රජයේ ගජ මිතුරන්ට ඇල්ලුවේ නැහැ. නෂීඞ් හා ඔහුගේ ඇමතිවරුන් වෙහෙස වී රියා කරන අතරේ ගයූම් හා ගජමිතුරන් නව රජය අඩපණ කරන්නට සූක්ෂ්ම ලෙස සැලසුම් කළා. ගයූම් පත් කළ අධිකරණ විනිසුරුවන්, උසස් රාජ් නිලධාරීන් සමහරක් වුවමනාවෙන්ම නෂීඞ් රජයේ රතිපත්ති හා වැඩපිළිවෙළ රමාද කළා. දුෂණ විමර්ශන අඩාල කළා.

“මහජනයා හා මගේ පාක්ෂිකයෝ මට යළි යළිත් කීවේ මේ උදවිය තනතුරුවලින් ඉවත් කරන්න කියායි. එහෙත් මා එසේ නොකළේ එබන්දක් කිරීමෙන් මගේ රජයත් පෙර තිබූ රජය මෙන්ම හිතුවක්කාර මාර්ගයකට යොමු විය හැකි නිසායි” යැයි මේ ගැන ආවර්ජනය කළ නෂීඞ් පසුව කියා සිටියා.

ටිකෙන් ටික නෂීඞ් රජය අකර්මණ්‍ය කළ ගයූම් පාක්ෂිකයෝ එරට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් අත්පත් කර ගත්තා. එතැන් පටන් ඔවුන් හැකි තරම් නෂීඞ්ට බාධක, හිරිහැර හා අපහාස කළා. ඒ හමුවේ නෂීඞ් ඉවසා සන්සුන්ව සිටියේ ඔහුගේ වයසට වඩා පරිණත බවක් පෙන්වමින් (ජනාධිපති වන විට ඔහුගේ වයස අවුරුදු 41යි.)

මාලදිවයින කුඩා වුවත් එහි දේශපාලනය සංකීර්ණයි. සිදු වූ සියල්ල මෙහි විස්තර කළ නොහැකි තරම් දිගයි. අන්තිමේදී රාජ්‍යතන්ත‍්‍රය තුළන් හා මහජනයා සමහරෙක් වීදි බැස්වීම හරහා දෙආකාරයකින් නෂීඞ්ට විරුද්ධව බලවේගයන් මතුව ආවා. ලේ සැලීමක් වළක්වනු පිණිස 2012 පෙබරවාරි 7 වැනිදා නෂීඞ් තනතුරෙන් ඉවත් වුණා.

නෂීඞ් ඉල්ලා අස් වූවාද – බලපෑම් පිට තනතුරෙන් ඉවත් වූවාද යන්න හරිහැටි පැහැදිලි නැහැ. එහෙත් පස් වසරක ධුර කාලයෙන් වසර තුන හමාරක් ගත වූ තැන නෂීඞ්ගේ පාලනය අනපේක්ෂිත ලෙස හමාර වුණා.

ගයූම්ට පක්ෂ වූ නිලධාරීන් එරට ආරක්ෂක හමුදා තුළ දිගටම සිටියා. ඒ අය අවසාන දින කිහිපයේ නෂීඞ්ට එරෙහිව ප‍්‍රතිපක්ෂයේ දේශපාලකයන්ට ආධාර දෙන තත්ත්වයක් ඇති වුණා. නෂීඞ් දිගටම තනතුරේ රැඳී සිටියා නම් සිවිල් යුද්ධයක් හට ගැනීමේ අවදානම තිබුණා.

නෂීඞ්ගේ උප ජනාධිපති මොහොමඞ් වාහිඞ් හසන් ජනාධිපති බවට පත් වුණා. එතැන් පටන් ගයූම් පාක්ෂිකයන්ගේ බලය යළිත් උත්සන්න වූ අතර නෂීඞ්ගෙන් දේශපාලන පලිගැනීම් නැවතත් ඇරඹුණා.

වසර තුනහමාරක් තුළ ප‍්‍රතිපත්තිගරුක දේශපාලනය හා දුරදර්ශී රාජ්‍ය පාලනය හරහා නෂීඞ් ලෝක සම්මානයට පාත‍්‍ර වුණා. මෙය ද ගයූම් ඇතුළු ගජමිතුරන්ගේ ඉරිසියාවට හා වෛරයට හේතු වූවා විය හැකියි.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී අරගලය නොනිමි එකක් බවත්, එයට උර දීමට තමන් දිගටම මාලදිවයිනේ රැඳී සිටින බවත් නෂීඞ් කිහිප විටක් කියා තිබෙනවා.

Opposition Leader & Former President Nasheed being  dragged to court on 23 Feb 2015

Opposition Leader & Former President Nasheed being dragged to court on 23 Feb 2015

2013 සැප්තැම්බරයේ පැවති ජනාධිපතිවරණයෙන් මුල් වටයේ නෂීඞ් ඡන්ද 45.45%ක් ලබා මුල් තැනට ආවා. එහෙත් දින කිහිපයකට පසු එරට ශ්‍රේෂ්ඨාධිකරණය එම මැතිවරණ ප‍්‍රතිඵලය අවලංගු කළා. 2013 නොවැම්බර් 9 වැනිදා යළිත් පවත්වන ලද මැතිවරණයෙන් යළිත් නෂීඞ් මුල් තැනට ආවත් ඡන්දවලින් 50%ක් නොලද නිසා දෙවන වටයක් නොවැම්බර් 16 වැනිදා පැවැත්වූවා.

එයින් ඡන්ද 51%ක් ලැබූ අබ්දුල්ලා යමීන් (Abdulla Yameen) ජනාධිපති බවට පත්ව සිටිනවා. ඔහු ගයූම්ගේ ඥාති සොහොයුරෙක්. මේ අනුව එරට බලතුලනය යළිත් ගයූම් පිරිසට ලැබී තිබෙනවා. එරට පාර්ලිමේන්තුවේත් විධායකයේත් බලය දැන් යළිත් ඇත්තේ ගයූම් පාක්ෂිකයන්ටයි. අධිකරණයේ ඉන්නේත් ගයූම්ට හිතවත් නඩුකාරවරුන්.

එක් රටක දේශපාලන සිදුවීම් තවත් රටකට එක එල්ලේ අදාළ වන්නේ නැහැ. එහෙත් දිගු කලක් තනි පාලකයකු හා ඔහුගේ සහචරයන්ට රිසි පරිදි හැසිරවුණු රටක් යහපාලන මගට ගැනීම පරමාදර්ශී නායකයකුට වුව ඉතා දුෂ්කර අභියෝගයක්. මාලදිවයිනනෙන් අපට ලොකු පාඩම් උගත හැකියැ’යි මා සිතනවා.

එරට බල අරගලයේ අලුත්ම සිදුවීම හිටපු ජනාධිපති නෂීඩ් අශෝබන හා ප්‍රචන්ඩ ලෙසින් මේ සතියේ යළි අත් අඩංගුවට ගැනීමයි.

සිවුමංසල කොලූගැටයා #122: රාවය 2.0 බිහි කරන්නට කුමක් කළ හැකි ද?

In this week’s Ravaya column (in Sinhala), I continue my discussion on challenges of modernisation for small, independent media in the world today when print media industry faces formidable challenges.

I quote Sanjana Hattotuwa, new media researcher and activist, who was a speaker at the recent 65th annual congress of the World Association of Newspapers and News Publishers (WAN-IFRA) held in Bangkok.

I also refer to the Guardian newspaper’s model of Open Journalism, and ask how this can be adapted to suit our own realities. The challenges are more within the minds of media organisations, I argue, than in the technology tools or platforms.

I observe how, some 18 years after commercial Internet connectivity was introduced in Sri Lanka, not a single Lankan newspaper has been able to develop a modern website: all are stuck in the 1990s first generation web, and their attempts to ‘modernise’ and enter the 21st Century have been pitiful and hilarious at the same time. Ravaya has a real opportunity, therefore, to become the first Lankan newspaper — in any language — to develop an engaging and interactive website. But first, it must make some top level decisions on how it wants to position itself in the rapidly changing world of media content creation, dissemination and consumption.

Last week’s column: සිවුමංසල කොලූගැටයා #121: රාවය නවීකරණයේ ගෝලීය යථාර්ථය

‘පුවත්පත් පිටපත් අලෙවියේ හිරු බටහිරින් බැස යද්දී පෙරදිග ලෝකයේ නම් තවමත් අලෙවියට හොඳ හැටි හිරු පායමින් තිබෙනවා’ යයි 2013 ජූනි මුල සතියේ තායිලන්තයේ බැංකොක් නුවර පැවැති ලෝක පුවත්පත් ප‍්‍රකාශකයන්ගේ (World Association of Newspapers and News Publishers, WAN-IFRA) 65 වන වාර්ෂික සමුඵවේ කතිකයෙක් ව්‍යක්ත ලෙසින් කියා තිබුණා. මේ කර්මාන්තය අද මුහුණ දෙන ප‍්‍රබල අභියෝගයක් එයින් මැනවින් හසු කර ගන්නවා.

ලොව පුරා රටවල් 120ක පුවත්පත් හා සඟරා 18,000ක් හා පුවත් වෙබ් අඩවි 15,000ක් ප‍්‍රකාශයට පත් කරන සමාගම් 3,000කට වැඩි සංඛ්‍යාවක් සාමාජිකත්වය දරණ WAN-IFRA මේ අභියෝගය ගැන ලොකු අවධානයක් යොමු කරනවා. සාම්ප‍්‍රදායික ආදායම් ආකෘතියෙන් ඔබ්බට ගොස් නව ආදායම්, අරමුදල් හා නඩත්තු කිරීමේ ක‍්‍රමවේදයන් සොයා ගන්නට මේ ආයතනය සිය සාමාජික ප‍්‍රජාව වෙනුවෙන් අධ්‍යයන කරනවා.

කුඩා මාධ්‍ය ආයතනවල පැවැත්ම ස්ථාවර හා තහවුරු කිරීම හරහා මාධ්‍ය විවිධත්වය (media pluralism) රකිමින් මාධ්‍ය නිදහසට හා ප‍්‍රජාතන්ත‍්‍රවාදයට දායක වීම එහි අරමුණයි. මෙහිදී හුදෙක් දේශපාලනික හා නෛතික වශයෙන් මාධ්‍ය නිදහස පතා අරගල කිරීම පමණක් අද කාලයේ සෑහෙන්නේ නැති බව WAN-IFRA පිළි ගන්නවා.

ගිය සතියේ අප විග‍්‍රහ කළ පරිදි තරුණ පරපුර පත්තර කියැවීමෙන් දුරස්වීම හා පුවත්පත්වලට වෙළඳ දැන්වීම් සඳහා වෙබ් අඩවි සමඟ තරග කරන්නට සිදුවීම නිසා බොහෝ දැවැන්ත බටහිර පුවත්පත් ආයතනවලට තමන්ගේ නිෂ්පාදන වියදම පවා පියවා ගන්නට බැරි මට්ටමට අලෙවිය හා දැන්වීම් ආදායම පහත වැටී තිබෙනවා.

මේ නිසා මෑතක් වන තුරු ඔවුන් කිසිසේත් සළකා නොබැලූ විකල්ප ආදායම් මාර්ග හා දානපති ආයතනවලින් අනුග‍්‍රහය ලබා ගැනීම ගැන දැන් ඔවුන් අවධානය යොමු කොට තිබෙනවා.

පුවත්පත් කර්මාන්තය කළඹන ප‍්‍රවාහයන් ලොකු කුඩා සියඵ ප‍්‍රකාශන සමාගම්වලට බලපෑම් ඇති කරන නමුත් එයින් වඩාත් ම පීඩාවට පත් වී සිටින්නේ කුඩා හා මධ්‍යම පරිමාණයේ ප‍්‍රකාශන ආයතනයි. වෙනත් ව්‍යාපාර හා ආයෝජන නැති, මාධ්‍ය ප‍්‍රකාශන ක්‍ෂෙත‍්‍රයෙන් ම පැවැත්ම සහතික කර ගත යුතු ආයතනයි. මේ අභියෝගය පෙර අපර දෙදිග දියුණු වූ මෙන්ම දියුණු වන රටවලත් හමු වනවා.

Sanjana Hattotuwa speaks at WAN-IFRA Congress in Bangkok, June 2013

Sanjana Hattotuwa speaks at WAN-IFRA Congress in Bangkok, June 2013

බැංකොක් ලෝක පුවත්පත් සමුඵවේ දුසිම් ගණනක් කතිකයන් අතර සිටි එක ම ලාංකික කතිකයා වූයේ Groundviews.org වෙබ් අඩවියේ ආරම්භකයා හා කතුවරයා වන සංජන හත්තොටුව. සාම්ප‍්‍රදායික මුද්‍රිත මාධ්‍ය ආකෘතියෙන් බැහැරව පුරවැසි මාධ්‍ය කලාව (citizen journalism) මාදිලියේ වෙබ් ප‍්‍රකාශනයක් වන Groundviews.org ඒ ආකාරයේ මෙරට මුල් ම ප‍්‍රකාශනයයි.

2006 ඇරැඹී, අද දක්වා මෙරට දේශපාලනික, සමාජයීය, සංස්කෘතිකමය හා වෙනත් මාතෘකා විවෘතව හා ස්වාධීනව විග‍්‍රහ කරන මේ වෙබ් අඩවියේ පළ කැරෙන්නේ විවිධ ක්‍ෂෙත‍්‍රවල සංවේදී බුද්ධිමතුන්, සමාජ කි‍්‍රයාකාරිකයන් හා වෘත්තීය ලේඛකයන් නොමිලයේ ලියා දායක කරන ලිපි ලේඛනයි.

මුල් කාලයේ බොහෝ කොට වචනවලට සීමා වූ මේ වෙබ් අඩවිය අද වන විට හඬ, ජායාරූප හා වීඩියෝ ද පළ කරනවා. මේ සියල්ලට දෘෂ්ටිමය රාමුවක් සපයන කර්තෘ මණ්ඩල ප‍්‍රතිපත්තියක් හා සාරධර්ම ඔවුන්ට තිබෙනවා. මුද්‍රිත ප‍්‍රකාශන මෙන් නොව එය කුමක්දැයි ඔවුන් පැහැදිලිව ම කියා සිටිනවා.
http://groundviews.org/submission-guidelines/

Groundviews ප‍්‍රකාශනයට විටින් විට ලිපි සපයන හා එහි අන්තර්ගතය නිතර කියවන අයකු හැටියට මට පැහැදිලිව පෙනී යන්නේ පොදු උන්නතිය හා රටේ අනාගතයට අදාල හා වැදගත් තොරතුරු හා වාද විවාද රැසක් එහි සිදු වන බවයි. ලිපි බොහොමයකට ප‍්‍රතිචාර ලෙස මතු වන පාඨක අදහස් (comments) හරහා විවිධ සංවාද විසංවාද නිතර ඇති වනවා. ශිෂ්ඨ මට්ටමක මේ අදහස් පවත්වා ගැනීම පිණිස කතුවරයා ඒවා පළ කිරීමට පෙර විමර්ශනය කරනවා (moderate).

දශක තුනකට වඩා කලක සිට මෙරට ඉංගී‍්‍රසි ජාතික පුවත්පත් කියවන මට, මෑත වසරවල සිතෙන්නේ ඔවුන් සිය මුද්‍රිත කලාප හෝ වෙබ් අඩවි හෝ හරහා කරන විග‍්‍රහයන් හා සංවාදවලට වඩා හරවත් වූත්, විවෘත වූත් අන්තර්ගතයක් මේ වන විට Groundviews තුළ හමුවන බවයි.

ජාත්‍යන්තර ප‍්‍රකාශන හා තාක්‍ෂණ ප‍්‍රවණතා සළකා බලමින් සංජන හත්තොටුව කියන්නේ රාවය අදට වඩා පුඵල්වත්, උපක‍්‍රමශීලීවත් වෙබ් මාධ්‍යය වැළඳ ගත යුතු බවයි. අපේ අන් සෙසු පත්තර කරන්නාක් මෙන් මුද්‍රිත අන්තර්ගතය වෙබ් ගත කිරීම නොවේ ඉන් අදහස් වන්නේ.

වාණිජ මට්ටමෙන් ඕනෑ ම කෙනකුට මුදල් ගෙවා ලබාගත හැකි ඉන්ටර්නෙට් සේවා මෙරට ඇරඹුණේ 1995 අපේ‍්‍රල් මාසයේ. 1995 සැප්තැම්බර්යේ ලේක්හවුස් ඉංග‍්‍රීසි පුවත්පත්වල වෙබ් අඩවි ඇරඹීමත් සමග මෙරට මාධ්‍ය ටිකෙන් ටික ඉන්ටර්නෙට් වෙත ප‍්‍රවේශ වුණා.

එහෙත් මෙරට කිසිදු ඉංගී‍්‍රසි හෝ සිංහල පුවත්පතක් හරිහමන් වෙබ් අඩවියක් බිහි කොට පවත්වා ගෙන යන්නට තවමත් අසමත්ව තිබෙනවා. ඔවුන් වෙබ් අඩවි ලෙස සළකන්නේ මුද්‍රිත පත්තරයේ තොරතුරු හා රූප වෙබ් මාධ්‍යයට රිංගවීම හා එයට උඩින් Breaking News ටිකක් කලවම් කිරීම පමණයි. මාධ්‍ය වෙබ් අඩවි කලාව බොහෝ සේ පරිනාමය වී තිබෙන අද දවසේ මෙය හාස්‍යජනක මට්ටමේ සිල්ලර වැඩක්. ප‍්‍රධාන ප‍්‍රවාහයේ අපේ පත්තර ආයතනවලට නොතේරෙන යථාර්ථය මෙයයි!

ඕපාදුප හා දුෂමාන ආරංචි පතුරවන වෙබ් අඩවි මෙන් ම ඕනෑකමින් චරිත ඝාතනයේ යෙදෙන හෝ මුඵමනින් අසත්‍ය කුමන්ත‍්‍රණවාදී ප‍්‍රලාපයන් පතුරුවන වෙබ් අඩවි ද බිහිව තිබෙනවා. මේවා, ඉන්ටර්නෙට් හරහා අපට ළගා විය හැකි අතිවිශාල හා පුඵල් පරාසයක අන්තර්ගතයන් අතරින් සංඛ්‍යාත්මක සුඵතරයක් පමණයි. (ඒවාට සම කළ හැකි මුද්‍රිත ප‍්‍රකාශන ද තිබෙනවා. කැලෑපත්තර, පැපිරාට්සි ආකාරයේ ප‍්‍රකාශන එයට උදාහරණයි.)

එහෙත් වෙබ් මාධ්‍යයේ විශ්මිත විභවය මේ අයාලේ යාම් නිසා නිෂ්ප‍්‍රභ වන්නේ නැහැ. මුද්‍රිත මෙන් ම ටෙලිවිෂන් හා රේඩියෝ මාධ්‍යවලටත් අද තිබෙන අභියෝගය නම් තමන්ගේ අන්තර්ගතය මෙන් ම ව්‍යාපාරික ආකෘතිය ද වෙබ් මාධ්‍යයේ වැදගත්කම එන්න එන්න ම වැඩි වෙමින් පවතින නූතන තොරතුරු සමාජයට සරිලන ලෙස හැඩගස්වා ගැනීමයි.

සංජන කියන්නේ රාවය තවදුරටත් මුද්‍රිත පුවත්පතක් ලෙස ලක් පාඨකයන් අතරට යන අතර එහි වෙබ් නියෝජනය වඩාත් බහු මාධ්‍ය (රූප, හඬ, කෙටි වීඩියෝ සාකච්ජා) හා සංවාදශීලී කළ හැකි බවයි. මෙයට අමතර පිරිස් බලය හා යම් ආයෝජනයක් අවශ්‍ය වූවත්, එයටත් වඩා වැදගත් වන්නේ කුඩා ප‍්‍රකාශනයකට ලොකු වෙබ් බලපෑමක් කළ හැකි වන පරිදි උපක‍්‍රමශීලීව සියල්ල සැළසුම් කිරීමයි.

මෙහිදී මෙරට වෙන කිසිදු පුවත්පතක වෙබ් අඩවියකට සම්බන්ධ වූ කිසිදු ශිල්පියකු සම්බන්ධ කර නොගත යුතු යයි මා සිතනවා. මන්ද ඔවුන් සැවො ම තවමත් 1990 දශකයේ සිල්ලර මානසිකත්වයට කොටු වී සිටින නිසා.

වෙබ් සමාජ මාධ්‍ය (social media) උඩින් පල්ලෙන් නොව ක‍්‍රමීය වශයෙන් පුවත්පතේ අන්තර්ගතය බිහි කිරීමට කෙසේ යොදා ගත හැකි ද යන්න රාවය ගැඹුරින් සළකා බැලිය යුතු බව සංජන කියනවා.

අපේ බොහෝ වෘත්තීය මාධ්‍යවේදීන් හා කතුවරුන් සිය පාඨකයන් ගැන දරණ අධිමානීය (superior) ආකල්පයෙන් තොරව, පාඨකයන් ද සැබෑ පාර්ශවකරුවන් බවට පත් කර ගෙන සහයෝගිතා අන්තර්ගතය (collaborative content) බිහි කරන්නේ කෙසේ ද? එහිදී පත‍්‍ර කලා සාරධර්ම රැක ගනිමින්, පාඨක බුද්ධිමය හිමිකම් ද සාක්‍ෂාත් කිරීමට ආසියාවේ වෙනත් පුවත්පත් ගන්නා පියවර මොනවා ද?

අද හුදෙක් පරිගණක හරහා පමණක් නොව වෙබ් පිවිසීමේ හැකියාව ඇති ජංගම දුරකථන (smartphones) හරහා ද බොහෝ ලාංකිකයන් ඉන්ටර්නෙට් පරිශීලය කරන බැවින් රාවය වෙබ් අත්දැකීම් ඔවුන්ට ද පහසු හා හිතකර එකක් (mobile friendly) කරන්නේ කෙසේ ද?

ජාත්‍යන්තර හා ආසියානු කලාපීය අත්දැකීම් මෙරට යථාර්ථයට අදාල කර ගත යුතුයි. අපේ පුවත්පත් කර්මාන්තය කවදත් එබඳු ආභාෂයන් ලැබුවා. ඉදිරි පැවැත්ම ගැන පත්තර හා සඟරා මුහුණදී තිබෙන පොදු අභියෝගවලට ලොව සෙසු ප‍්‍රකාශන හා සමාගම් ප‍්‍රතිචාර දක්වන ආකාරය සමීපව සොයා බැලීම ඉතා වැදගත්.

වෙබ් අභියෝගයට යම් තාක් සාර්ථකව මුහුණ දී තිබෙන බි‍්‍රතාන්‍යයේ The Guardian ගාඩියන් පුවත්පත ඒ සඳහා තමන්ගේ සම්පූර්ණ පත්තර කලා දැක්ම හා ක‍්‍රමවේදය ම ප‍්‍රතිසංවිධානය කළා.

The Guardian Editor Alan Rusbridger

The Guardian Editor Alan Rusbridger

ගාඩියන් කතුවර ඇලන් රස්බි‍්‍රජර් මෙය හඳුන්වන්නේ Open Journalism හෙවත් විවෘත පත‍්‍ර කලාව ලෙසයි. ඉතා සරලව විග‍්‍රහ කළොත් පාඨකයන් ද හවුල් කර ගෙන මාධ්‍ය වාර්තා, ගවේෂණ හා විග‍්‍රහයන් බිහි කිරීම එහි මූලික ප‍්‍රවේශයයි. www.guardian.co.uk/media/open-journalism

බහුතරයක් මුද්‍රිත ප‍්‍රකාශනවල වෙබ් අඩවි පාඨක අදහස් දැක්වීමට ඉඩ දුන්නත් එම අදහස් මත පදනම් වී, ඒ සංවාදවලින් පෝෂණය වී, වෘත්තීය/මාණ්ඩලික වාර්තාකරුවන් හා ලේඛකයන් මාධ්‍ය අන්තර්ගතයක් බිහි කරන්නේ නැහැ. (හේතුව පාඨකයන්ට වඩා තමන් දන්නා බවට පත‍්‍ර කලාවේ බහුල විශ්වාසයයි.)

එහෙත් විවෘත පත‍්‍ර කලාවේ යම් සිදුවීමක් හෝ කාලීන මාතෘකාවක් වාර්තාකරණයට පාඨක දායකත්වය ගෞරවනීය ලෙසින් හවුල් කර ගන්නවා. එයට හොඳම මෑත උදාහරණය නම් බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ගේ වියදම් වාර්තා විමර්ශනයයි.

ඇතැම් බි‍්‍රතාන්‍ය මන්තී‍්‍රන් සැබෑ වියදම් වැඩිකොට පෙන්වා හා නැති වියදම් මවා පාමින් මහජන මුදල් ගසා කන බවට ආන්දෝලනාත්මක හා ගවේෂණාත්මක ප‍්‍රවෘත්තිය මුල් වරට හෙළිදරවු කළේ Daily Telegraph පුවත්පතයි. ඒ 2009 මැයි මාසයේ. මහජන මුදල් වියදම් කැරෙන ආකාරය ගැන මහජනයාට තොරතුරු දැන ගැනීමේ අයිතිය තහවුරු කැරෙන නීතිය (right to information) යටතේ බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවෙන් සමාජ කි‍්‍රයාකාරිකයන් ලබා ගත් ලියකියවිලි මිලියන් 2ක් ටෙලිග‍්‍රාෆ් හා ගාඩියන් පුවත්පත් අතට පත් වුණා.

ගාඩියන් පුවත්පත කළේ මේ අතිවිශාල ලියවිලි කන්දරාව වෙබ් අඩවියක් හරහා මුදා හැර ඒවායේ සැක කටයුතු වියදම් තොරතුරු ඇත්දැයි විමර්ශනය කිරීමට පාඨකයන්ට ඇරැයුම් කිරීමයි. මේ ස්වේච්ජා කාරියට පාඨකයන් 20,000ක් දෙනා ඉදිරිපත් වුණා. අඩු වියදමකින්, කෙටි කාලයකින් විශාල වැඩ කොටසක් කරන්නට හැකි වුණා.

පාඨකයන් විසින් අවධානයට යොමු කළ වියදම් වාර්තා මාණ්ඩලික ලේඛකයන් විසින් දැඩි ගවේෂණයට ලක් කරනු ලැබුවා. මේ හරහා අල්ලා ගත් හොර මැර වංචා මෑත ඉතිහාසයේ බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ ලොකු ම කැළල බවට පත් වී හමාරයි. (පක්‍ෂ, විපක්‍ෂ දෙකේ ම මන්තී‍්‍රන් වංචනිකයන් ලෙස චෝදනා ලබා අධීකරණ කි‍්‍රයාදාමයකට පමුණුවා තිබෙනවා.)

එක පොදු අරමුණකට වෙබ් මාධ්‍යය හරහා බොහෝ දෙනකු හවුල් කරගැනීම හඳුන්වන්නේ crowd-sourcing නමින්. හවුලේ තොරතුරු ගවේෂණය යයි කිව හැකියි. යම් තොරතුරු හා ඉගි පාඨකයන් විසින් පුවත්පත්වලට ලබා දීම ඓතිහාසිකව කෙරුණත්, අද නවීන සන්නිවේදන තාක්‍ෂණය හරහා එය නව මානයකට ගෙන යාමට හැකියාව තිබෙනවා. එහිදී ගවේෂණාත්මක පත‍්‍ර කලාවේ සාරධර්ම හා මූලධර්ම රැක ගනිමින් පාඨකයන් ද මේ ව්‍යායාමවලට හවුල් කර ගැනීම විවෘත පත‍්‍ර කලාවේ මූලික ගුණාංගයක් ලෙස ගාඩියන් කතුවරයා විග‍්‍රහ කරනවා.

මෙබඳු නව්‍යකරණයන් හා අඵත් ආකෘතින් නිසා ගාඩියන් වෙබ් අඩවිය අද ලෝකයේ වැඩිපුර ම පාඨකයන් පැමිණෙන පුවත්පත් වෙබ් අඩවිය බවට පත්ව තිබෙනවා.

එසේ නම්‍යශීලී හා නිර්මාණශීලී ලෙස පරිනාමය වන මාධ්‍ය ආයතනවලට පැවැත්ම පිළිබඳ දැඩි තර්ජනයකට මුහුණ නොදී මාධ්‍ය ක්‍ෂෙත‍්‍රය හරහා හමන සැඩ සුළංවලට ඔරොත්තු දීමට හැකි වනවා. එසේ නොකරන මාධ්‍ය ආයතන එක්කෝ වැසී යනවා. නැතිනම් කාගේ හෝ මූල්‍යමය පිහිටෙන් පවත්වා ගන්නට සිදු වනවා.

Read Nov 2011 Ravaya interview with Sanjana Hattotuwa (in Sinhala) on new media realities in the Lankan context:

Sanjana Hattotuwa interview in Ravaya newspaper, 13 Nov 2011

Sanjana Hattotuwa interview in Ravaya newspaper, 13 Nov 2011