සිවුමංසල කොලූගැටයා #258: සමාජ මාධ්‍ය මොනවාදැයි නොදැන ඉබාගාතේ දොස් කියන්නෝ

Social media bashing is a popular sport among media critics and others in Sri Lanka. Sadly, some have no clear idea what social media is (and isn’t), thus conflating this category of web content with others like news websitea and gossip websites.

In this week’s Ravaya column (appearing in issue of 21 February 2016), I try to explain this basic categorization along with a brief history of the web and web 2.0. I also reiterate the basic user precautions for social media users where the motto us: user beware!

Digital futures

“බලන්න මේ සමාජ මාධ්‍යකාරයන්ගේ කසි කබල් ගොසිප්වල හැටි! මාධ්‍ය ආචාර ධර්ම රකින්නෙ කොහොමද මේ රොත්ත එක්ක?”

මෑතදී එසේ මට කීවේ අප අතර සිටින ප්‍රවීන හිටපු පත්‍ර කතුවරයෙක්. ඔහු එයට උදාහරණ ලෙස ඕපාදූප පළ කරන ජනප්‍රිය දේශීය පුවත් වෙබ් අඩවි කිහිපයක නම් කීවා. එහෙත් ඉන් එකක්වත් සමාජ මාධ්‍ය (social media) නොවෙයි.

සමාජ මාධ්‍ය හෙවත් වෙබ්ගත සමාජ ජාලවලට දොස් පැවරීම දැන් විලාසිතාවක් වෙලා. රටේ සිදු වන ළමා අපචාර, ලිංගික අපරාධ, සිය දිවි නසා ගැනීම් මෙන් ම, තමන් නොරිසි ප‍්‍රතිඵල ගෙන දෙන දේශපාලන පෙරළිවලදී පවා සමහරුන් වගකීම පවරන්නේ ෆේස්බුක් ප‍්‍රධාන සමාජ මාධ්‍යවලටයි.

2015 අග වන විට ෆේස්බුක් ගිණුම් මිලියන් 1,500ක් පමණ ලොව රටවල් 150කට වැඩි සංඛ්‍යාවක විසිරුණු ජනයා විසින් අරඹා තිබුණා. මේ අතර ලාංකිකයන් පවත්වාගෙන යන ෆේස්බුක් ගිණුම් මිලියන් 3ක් පමණ ද තිබෙනවා.

“අපේකම” නැති කිරීමේ සූක්ෂම විජාතික කුමන්ත‍්‍රණයක කොටසක් ලෙසත් සමහරුන් සමාජ මාධ්‍ය දකිනවා. පිටරටින් ආ දෙයක් නිසාත්, බටහිර රටවලින් පැන නැගුණු නිසාත් ෆේස්බුක් සැක කරන අය අතර නිරතුරු එහි සැරිසරන උදවිය මෙන්ම කිසිදා එහි නොගිය, එය කුමක්දැයි හරිහැටි නොදන්නා අයත් සිටිනවා.

සමාජ මාධ්‍යවලට මෙතරම් බිය වන්නේත්, දොස් තබන්නේත් ඇයි? මේ භීතිය නියෝජනය කරන්නේ ගතානුගතිකත්වය හා නූතනත්වය අතර සදාකාලික ගැටුම ද?

අලූතෙන් නැතිනම් සාපේක්ෂව මෑතදී මතුව ආ සන්නිවේදන තාක්ෂණයන් හා මාධ්‍යයන් කරුණු විමසීමකින් පවා තොරව, ගෙඩි පිටින් හෙළා දැකීම අපේ සමහරුන්ගේ සිරිතයි. චිත‍්‍රකතා, ටෙලිවිෂන්, ජංගම දුරකථන, ඉන්ටර්නෙට් වැනි හැම රැල්ලකට ම එරෙහිව අවිචාරශීලී විරෝධතා එල්ල වුණා. මේ සම්ප‍්‍රදායේ අලූත්ම ඉලක්කය වී ඇත්තේ වෙබ්ගත සමාජ මාධ්‍යයි.

16 July 2012: සිවුමංසල කොලූගැටයා #75: චිත‍්‍රකථා භීතියේ අළුත් ම මුහුණුවර ඉන්ටර්නෙට් ද?

 28 March 2014: සිවුමංසල කොලූගැටයා #162: ජංගම දුරකථනයට තවමත් ඔරවන අපේ හනමිටිකාරයෝ

සමාජ මාධ්‍ය මොනවා ද කියා හරිහැටි නොදන්නා හෝ නිරවුල් අවබෝධයක් නැති අයත් මෙසේ විවේචන එල්ල කිරීම හාස්‍යජනකයි. එවන් අය අතර පොතේ උගත්තු, පූජකයන් සහ ජන මතය හසුරුවන චරිතයන් ද සිටිනු දැකීම ඛේදජනකයි.

වෙබ් අවකාශය ගැන විවේචනයක යෙදීමට පෙර අඩු තරමින් එහි මූලික ගති සොබා හා එතුළ හමු වන අන්තර්ගතයේ මුල් පෙළේ වර්ගීකරණය ගැන මූලික වැටහීමක් හෝ තිබීම වැදගත්.

ගෙවී ගිය 2015 වසරේ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන්, සිවිල් සමාජ කි‍්‍රයාකාරිකයන්, සරසවි සිසුන්, මාධ්‍යවේදීන් ඇතුලූ ලාංකිකයන් විශාල සංඛ්‍යාවකට සමාජ මාධ්‍ය පිළිබඳ මූලික අවබෝධයක් ලබා දෙන්නට මා දේශන පැවැත්වූවා. ඔවුන් සමග කළ සංවාද වලින් හෙළි වූයේ නිතර දෙවේලේ සමාජ මාධ්‍ය භාවිත කරන සමහරුන්ට පවා ඒවායේ සීමා පරාසයන් ගැන හරි වැටහීමක් නොමැති බවයි.

වෙබ් (World Wide Web) කියන්නේ ඉන්ටර්නෙට් අවකාශයේ අන්තර්ගතයන් (හුදෙක් අංක හා සංකේතවලට සීමා නොවී) රූපමය ආකාරයෙන් බැලිය හැකි, කතු කළ හැකි පහසුකමටයි. 1969 සිට සීමිත මිලිටරි හා පර්යේෂක භාවිතයන් සඳහා ඉන්ටර්නෙට් ජාල ගොඩ නැගුණත් එය පුළුල්ව සමාජගත වීමට උදවු වුණු වෙබ් පහසුකම නිපදවනු ලැබුවේ 1989දී.

එතැන් පටන් ටිකෙන් ටික ලෝක ව්‍යාප්ත වූ වෙබ් අවකාශයට මුදල් ගෙවා ලබාගන්නා ගිණුමක් හරහා සම්බන්ධ වීමේ හැකියාවේ ශී‍්‍ර ලංකාවේ උදා වූයේ 1995දී. ඒ අනුව ඉන්ටර්නෙට් මෙරටට පැමිණ දැන් වසර 21ක් පිරීමට ආසන්නයිග

මුල් වසර කිහිපයේ වෙබ් සබඳතාවල වේගය ඉතා අඩු වූ නිසා අකුරුවලින් ඔබ්බට ගිය රූප, ශබ්ද හා වීඩියෝ ආදියට ප‍්‍රවේශ වීමට හැකි වූයේ නැහැ. මේ තත්ත්වය ටිකෙන් ටික හොඳ අතට පෙරැලූනේ 2004 පමණ පටන් පුළුල්පථ (Broadband) ඉන්ටර්නෙට් සේවා ව්‍යාප්ත වීමත් සමගයි.

ඒ අනුව වඩාත් විචිත‍්‍ර වෙබ් අන්තර්ගතයන්ට පිවිසීමටත්, ඒවා බෙදා ගන්නටත් හැකි වූවා. ඒ සමගම අන්තර් කි‍්‍රයාකාරීත්වය වැඩි වීමටත්, භාවිත කිරීමේ ලෙහෙසිය ඉහළ යාටමත් පටන් ගත්තා.

සමාජ මාධ්‍ය ලෙස පොදුවේ හඳුන්වන වෙබ් භාවිතයන් ප‍්‍රචලිත වීම ඇරඹුණේ පුළුල්පථ සේවා පැතිරීමත් සමගයි. ඒ අනුව Facebook 2004දීත්, YouTube 2005දීත් ක්ෂුද්‍ර පණිවුඩ හුවමාරුවක් ලෙස Twitter 2006දීත් අප අතරට ආවා.

Social-Media-for-Marketing

මුලදී ටික දෙනෙකු පමණක් සම්බන්ධ වූ මේ නොමිලයේ ලැබෙන සමාජ මාධ්‍ය සේවාවන් වඩාත් ජනපි‍්‍රය වුයේ සිංහල හා දෙමළ භාෂා වලින් ද ඒවායේ අන්තර්ගතය කියැවීමට හා ලිවීමට හැකි වූ පසුයි.

සමාජ මාධ්‍ය බිහි වී සීඝ‍්‍රගාමීව පරිනාමය වන අතරේ එයට සමාන්තරව වෙනත් වෙබ් ප‍්‍රවණතා ද ඉදිරියට ගියා.

ශී‍්‍ර ලංකාවේ ප‍්‍රධාන ධාරාවේ පුවත්පත් සිය වෙබ් අඩවි බිහි කිරීම පටන් ගත්තේ 1995 සැප්තැම්බරයේ (ඬේලි නිවුස් හා සන්ඬේ ඔබ්සවර් පත‍්‍රවලින්). මේ වන විට වෙබ් හරහා පමණක් පුවත් ආවරණය කරන, පුවත් වෙබ් අඩවි ගණනාවක් බිහිව තිබෙනවා. LBO, Asian Mirror, Lanka eNews ඇතුලූ මෙබඳු පුවත් වෙබ් අඩවි රැසක් තිබෙනවා.

මේවා වැටුප් ලබන මාධ්‍යවේදීන් අතින් සම්පාදනය කැරෙන, ව්‍යාපාරික මට්මින් පළ කැරෙන මාධ්‍ය ගොන්නටම වැටෙනවා. එකම වෙනස ඔවුන් පළ කිරීමට යොදා ගන්නා මාධ්‍යය පමණයි.

මෙම පුවත් වෙබ් අඩවි හෝ එම ආකෘතියම අනුකරණය කරමින් බිහිව ඇති ගොසිප් ( ඕපාදූප) වෙබ් අඩවි හෝ කිසිසේත්ම සමාජ මාධ්‍ය ගණයට වැටෙන්නේ නැහැ. මේ සංකල්පීය නිරවුල් බව ඉතා වැදගත්.

සමාජ මාධ්‍ය භාවිත කරන මිලියන් ගණනක් ලක් ජනයා අතරින් ටික දෙනකු කරන මෝඩ වැඩ හෝ අසැබි වැඩ නිසා සමස්ත සමාජ මාධ්‍යවලටම (වැඩිපුරම ෆේස් බුක් එකට) දොස් පවරන්නේ ඇයි?

පත්තරයක්, ටෙලිවිෂන් හෝ රේඩියෝ සේවාවක් නීති විරෝධී හෝ සදාචාර විරෝධී යමක් කළොත් එහි වගකීම දරන්නට හා දොස් අසන්නට නිශ්චිත හිමිකරුවන්, කළමනාකරුවන් හා කතුවරුන් සිටිනවා. එහෙත් සමාජ මාධ්‍ය යනු එවන් ජන මාධ්‍යයක් නොව සන්නිවේදන වේදිකාවක් පමණයි.

Texts, Internet and Social Media - gifts from God, says Pope, 22 Jan 2016
Texts, Internet and Social Media – gifts from God, says Pope, 22 Jan 2016

සයිබර් සංකල්ප විස්තර කිරීමට මා ඇතැම් විට භෞතික ලෝකයේ උපමිතීන් යොදා ගන්නවා.

ගාලූ මුවදොර පිටියට ගොස් ජනකායක් මැද කිසිවකු මුහුදට පැන දිවි නසා ගත හොත් පිටියට පරිපාලන වශයෙන් වග කියන ආයතනය එම කි‍්‍රයාවට දොස් අසන්නේ නැහැ.

කි‍්‍රකට් තරගයක් නරඹන තිස් දහසක් පේ‍්‍රක්ෂකයන් අතරින් එක් අමනයෙක් පිටියට දුම් බෝම්බයක් වීසි කළොත් පිටියේ පරිපාලකයින් එයට වගකිව යුතු යයි කිසිවකු නොකියනු ඇති.

සමාජ මාධ්‍ය ද මෙසේ විසල් හා විවිධ ජනකායක් ගැවසෙන ස්ථානයි. එම සයිබර් වේදිකා පරිපාලනය කරන ෆේස්බුක් වැනි සමාගම්වලට හැක්කේ තාක්ෂණකිව මනා ලෙස කි‍්‍රයා කරන, සයිබර් ප‍්‍රහාර වලට ඔරොත්තු දීමේ හැකියාව ඇති අවකාශයක් පවත්වා ගැනීමයි. එයින් ඔබ්බට එම වේදිකාවට ගොඩ වන සෑම අයකුම කියන හෝ බෙදා ගන්නා හෝ වචන, රූප හා වීඩියෝ බිලියන් ගණනක් නිරතුරු නිරීක්ෂණය කිරීමට ඔවුන්ට නොහැකියි.

සමාජ මාධ් භාවිත කරන අපටත් යම් වගකීම් තිබෙනවා. බහුතරයක් දෙනා සිය වගකීම් ඉටු කළත් ඉඳහිට එසේ නොකරන අයකුගේ අමන කිරයාවකින් සමස්ත වේදිකාව අවමානට ලක් වනවා.

සමාජ මාධ්‍ය නියාමනය කරන්නැයි ඇතැම් දෙනා රජයට ඉල්ලීම් හා බලපෑම් කරනවා. ඒවා යහපත් අරමුණින් කරනවා විය හැකි නමුත් මේ සංසිද්ධිය ගැන නිරවුල් අවබෝධයකින් තොරව හා ආවේගශීලීව කරන බව පෙනෙනවා.

සමාජ මාධ්‍ය කි‍්‍රයාත්මක වන්නේ ගෝලීය මට්ටමින්. ඒවා හිමි සමාගම් යම් රටක නීති රාමුව තුළ ලියාපදිංචිව සිටිනවා. උදාහරණයකට ෆේස්බුක් හා ට්විටර් වේදිකා අයත් සමාගම් අමෙරිකාවේ ලියාපදිංචි සමාගම්. එරට සමාගම් දැඩි නීති හා නියාමන රාමුවකට නතු වනවා. වංචනික ව්‍යාපාරික කි‍්‍රයා හෝ අයථා ඒකාධිකාරයන් ගොඩනංවා ගැනීම ආදිය ගැන එරට නීති තන්ත‍්‍රය තදින් සිටිනවා. යුරෝපීය රටවල ලියාපදිංචි සන්නිවේදන සමාගම් සඳහා ද මෙයට සමාන නීති හා නියාමන පද්ධතියක් බල පවත්වනවා.

එසේම මේ ඕනෑම සමාජ මාධ්‍ය වේදිකාවක අප ගිණුමත් අරඹන විට ඔවුන්ගේ කොන්දේසි ගණනාවකට අප අනුගත වන බවට එකඟවීමට සිදු වනවා. බොහෝ දෙනකු මේ කොන්දේසි නොකියවා ම එයට එකඟ වී ගිණුම් අරඹනවා. සමාජ මාධ්‍ය හරහා තමන් හුවමාරු කර ගන්නා අන්තර්ගතය නීතිමය හා සදාචාරාත්මක රාමුවක් තුළ තිබිය යුතුය යන්න මේ කොන්දේසි හරහා පුළුල්ව කියැවෙනවා.

එතැනින් ඔබ්බට පළ කරන හෝ හුවමාරු හෝ අදහස්, රූප, ශබ්ද ඛණ්ඩ හා වීඩියෝ ආදිය එකින් එක විමර්ශනයට ලක් කැරෙන්නේ නැහැ. එසේ කිරීමට බැරි තරම් අති විශාල අන්තර්ගතයක් හැම පැයකම මේ සමාජ මාධ්‍ය හරහා සංසරණය වනවා.

එසේම ලොව විවිධ භාෂා වලින් නිර්මිත මේ අන්තර්ගතයන් කියවා තේරුම් ගැනීම සමාජ මාධ්‍ය පරිපාලනය භාරව සිටින තාක්ෂණෙවීදීන්ට ලෙහෙසියෙන් හැකි දෙයක් ද නොවෙයි.

භාෂණයේ හා කථනයේ නිදහස ඉහළින් අගය කරන පරිනත සමාජයන්ගේ එම නිදහස වගකීමකින් යුතුව භාවිත කරනු ඇතැයි විශ්වාසයක් ද තිබෙනවා. ඉඳහිට මේ විශ්වාසය කඩ වූවත්, බහුතරයක් අවස්ථාවල එසේ වන්නේ නැහැ.

මේ නිසා මහජනයා නිරායාසයෙන් සැක කිරීම, ආවේක්ෂණයට ලක් කිරීම ආදිය පරිණත රජාතන්තරවාදයක් ඇති රටවල කරන්නේ හේතු සාධක ඇති අවස්ථාවලදී, නිසි අධිකරණ අධීක්සණයක් යටතේ පමණයි.

සමාජ මාධ්‍ය ජාල යනු සයිබර් අවකාශයේ සැරිසරන ජනයා මුණ ගැසී ඩිජිටල් වශයෙන් සාමීචි හා හුවමාරු කර ගන්නා වේදිකායි. මේ වේදිකාවලට පිවිසෙන අප සැමටත් අපේ ආරක්ෂාව ගැන යම් වගකීමක් තිබෙනවා.

ඒ වගකීම මුළුමනින් ම රජයට හෝ වේදිකා පරිපාලකයන්ට හෝ පවරා ඔහේ ඉබාගාතේ සැරිසරන්නට අපට ඉඩක් නැහැ. එසේ කිරීම හරියට දිවා රාතී‍්‍ර නොතකා මුදල් රැසක් අතැතිව, ආභරණ පැළඳගෙන ප‍්‍රසිද්ධ උද්‍යානයක ඇවිද යාමක් වගෙයි.

සමාජ මාධ්‍ය මා සම කරන්නේ ජනයාගෙන් පිරී ඉතිරුණු පොළකටයි. පොළේ අනේකවිධ දේ අලෙවි කැරෙනවා. කලබලය, ඝෝෂාකාරී බව අධික වෙතත්, අලූත් එළවළු, පළතුරු හා වෙනත් එදිනෙදා අවශ්‍ය ද්‍රව්‍ය හොඳ මිලකට ගන්නට බොහෝ දෙනකු පොළට එනවා.

පොළට පිවිසෙන පාරිභෝගිකයකු මෙන් ම වෙළෙන්දකු ද තම පසුම්බිය හා අනෙකුත් දේ ප‍්‍රවේශම් කරගත යුතුයි. එසේම මිලට ගන්නා විට හොඳ හැටි සොයා බලා එය කළ යුතුයි. සාධාරණ වෙළඳුන් අතර හොරට කිරණ, බාල බඩු විකුණන වෙළඳුන් ද සිටිය හැකියි. එසේම පාරිභෝගිකයන් සේ සැරිසරන සමහරුන් ගැට කපන්නන් වීමට ද හැකියි.

පොළ පවත්වන භූමිය පලාත් පාලන ආයතනයකින් වෙන් කරනු ලැබූවක් විය හැකි අතර, එයට අවශ්‍ය යම් මූලික ආරක්ෂාවක් පොලිසියෙන් සමහර විට සැපයෙනු ඇති. එහෙත් පොළට පිවිසෙන හැමගේ පෞද්ගලික ආරක්ෂාව තහවුරු කිරීමට රජයටවත්, පොලිසියටවත් බැහැ. එයට තම තමන්ගේ පෞද්ගලික වගකීමක් ද පවතිනවා.

සමාජ මාධ්‍ය වේදිකාවල තත්ත්වයන් මීට වඩා බෙහෙවින් සමානයි. නොසැළකිල්ලෙන් සැරිසරන්නෝ යම් ඇබැද්දි වලට මුහුණ දිය හැකියි.

උදාහරණයකට තම ගිණුමේ මුරපදය (password) අන් අයට සොයා ගත හැකි ලෙස තැබුවහොත් ගිණුමට අනවසරයෙන් පිවිසී හානි කිරීමට ඉඩක් තිබෙනවා. අපේ රටේ බොහෝ ෆේස්බුක් ආරවුල් හට ගන්නේ මිතුරන් හෝ පෙම්වතුන් ලෙස මුරපද බෙදා ගෙන සිට, විරසක වූ පසු එය අවභාවිත කොට ගිණුමට කඩාකප්පල්කාරී කි‍්‍රයා කිරීම නිසයි.

රටේ සෑම දෙනා ම පොළට යන්නේ නැති බවත් අප දන්නවා. එහි ගාලගෝට්ටිය, රස්නය හා තදබදය නොකැමැත්තෝ වායුසමීකරණය කළ සුපර්මාකට්වලට යනවා. මිල සහ අලූත් බවේ වෙනසක් තිබිය හැකියි. එහෙත් වඩාත් විවේකීව හා සැප පහසුවෙන් තමන්ගේ බඩු තෝරා මිලට ගත හැකියි.

සමාජ මාධ්‍යවල දෙනෝදාහක් දෙනා සමග ගැවසීමට නොකැමැති නම් වෙනත් වෙබ් අඩවි හරහා තම තොරතුරු අවශ්‍යතා සම්පාදනය කර ගත හැකියි. එහෙත් තම මිතුරු මිතුරියන් බොහෝ දෙනෙකු ගැවසෙන්නේ ෆෙස්බුක්හි නම් වෙන තැනකට යන්නෝ තරමක් හුදෙකලා වනවා.

ප්‍රධාන ප්‍රවාහයේ මාධ්‍ය ආයතනවල වෙබ් අඩවි හරියට සුපර්මාකට් වගේ. වෙබ් හරහා පමණක් පළ කරන පුවත් වෙබ් අඩවි හා ගොසිප් වෙබ් අඩවි, තනි කඩ සාප්පු වගේ. මේවායේ සහ පොළ අතර වෙනස අප දන්නවා. මේ උපමිතිය හරහාවත් සමාජ මාධ්‍ය අන් වෙබ් කොටස් සමග පටලවා නොගන්න!

Supermarket, shop or streetside fair? The choice is yours!
Supermarket, shop or streetside fair? The choice is yours!

See also:

26 April 2014: සිවුමංසල කොලූගැටයා #165: සමාජ මාධ්‍ය ලක් සමාජයේම කැඩපතක්

29 June 2014: සිවුමංසල කොලූගැටයා #174: සමාජ මාධ්‍ය ඇවිලෙන ගින්නට පිදුරු දැමීමක් ද?

 

සිවුමංසල කොලූගැටයා #190: දුෂණයට එරෙහි ඉන්දියානු ජන අවිය: බින්දුවේ නෝට්ටුව

In this week’s Ravaya column (in Sinhala), I describe the Zero Rupee Note, an innovative effort developed by activists in India to fight systemic political corruption.

The notes, which have no monetary value but carry a moral power, are paid in protest by angry citizens to government servants who solicit bribes in return for services which are supposed to be free.

See also: Paying Zero for Public Services (on World Bank blog)

Zero Rupee Note
Zero Rupee Note

අයථා ලෙස ඉමහත් වත්කම් සම්භාරයක් රැස් කර ගැනීම පිළිබඳව චෝදනා සනාථ වී තමිල්නාඩුවේ මහ ඇමතිනී ජයලලිතා වසර හතරක සිර දඬුවමක් ලැබුවා. කෝටි 100ක දඩයක් ද ගෙවීමට නියම වුණා.

මේ තීන්දුව ලැබුණේ වසර 18ක් තිස්සේ ඇදී ගිය දීර්ඝ නඩු විභාගයකින් පසුවයි. එහෙත් කල් ගත වී හෝ දුෂිත දේශපාලකයකු නීතියේ රැහැනට කොටු වීම ගැන ඉන්දියාව පුරාත් සෙසු දකුණු ආසියානු රටවලත් මහජන ප‍්‍රමෝදයක් මතු වුණා. අංග සම්පූර්ණ නොවුණත්, අඩු පාඩු ඇතත් ඉන්දියාවේ අධිකරණ ස්වාධීනත්වය පවතින බවට මේ නඩු තීන්දුව උදාහරණයක්.

දුෂණ චෝදනා එල්ල වී සාක්ෂි මතු වූ විට ප‍්‍රාන්ත හෝ මධ්‍යම රජයේ ඇමතිවරුන් ප‍්‍රශ්න කිරිමට ඉන්දීය අපරාධ විමර්ශකයන් පසුබට වන්නේ නැහැ. මහා පරිමාණයෙන් රාජ්‍ය දේපල වංචා කිරීමේ චෝදනා එක පිට එක ලැබූ කොංග‍්‍රස් ප‍්‍රමුඛ සන්ධාන රජය දශකයක පාලන කාලයකින් පසුව 2014 අපේ‍්‍රල් මැතිවරණයෙන් අන්ත පරාජයක් ලැබුවා. එයට හේතු ගණනාවක් මුල් වුණත්, දුෂණය පිළිබඳ ඉන්දීය මහජන පිළිකුළ හා විරෝධය එම මැතිවරණයේදී ප‍්‍රබල සාධකයක් වූවා යැයි කිව හැකියි.

ගෙවී ගිය වසර තුන හතරක කාලය තුළ දේශපාලකයන් හා නිලධාරීන් දුෂණය, අල්ලස හා පොදු දේපල වංචනික ලෙස සතු කර ගැනීමට එරෙහිව ඉන්දියාවේ මධ්‍යම පාංතිකයන්ගෙන් ප‍්‍රබල විරෝධයක් මතුව ආවා.

දුෂණය එරට අළුත් සංසිද්ධියක් නොවෙයි. එහෙත් එය මහා පරිමාණයෙන් හා වඩාත් පුළුල්ව සිදු වීමට පටන් ගත්තේ 1991දී ආර්ථික ප‍්‍රතිපත්ති වඩාත් ලිහිල් කිරීමෙන් පසුව බව ඇතැම් ඉන්දියානුවන්ගේ විශ්වාසයයි. එසේම දුෂණයට එරෙහිව හඬක් නැගීමට හැකියාව හා ඉදිරිපත් වීම ඇති මධ්‍යම පංතියක් වඩාත් ප‍්‍රබලව මතුව ආයේත් මේ ආර්ථික ප‍්‍රතිසංස්කරණ නිසාම යැයි තර්ක කළ හැකියි. පෙර මෙන් පාලකයන්ගේ ඕනෑම අකටයුත්තක් ඔහේ විඳ දරා ගන්නට අද ඉන්දියානුවන් සූදානම් නැහැ.

2011දී අන්නා හසාරේ සමාජ ක‍්‍රියාකාරිකයා බිම් මට්ටමෙන් නායකත්වය දුන්නේ මේ දුෂණ විරෝධයටයි. සිවිල් සමාජ අරගලයන් හරහා දුෂණ විරෝධය දිගටම ක‍්‍රියාත්මක වනවා. එබඳු ව්‍යායාමයක් නම් රුපියල් බින්දුවේ නෝට්ටුවයි (Zero Rupee Note).

බින්දුවේ නෝට්ටුව හඳුන්වා දුන්නේ 2007දී දුෂණයට එරෙහි ජනතා සංවිධානයක් වන 5 වන කුළුණ (5th Pillar) විසින්. එහෙත් ඒ සංකල්පය 2001දී යෝජනා කළේ අමෙරිකාවේ මේරිලන්ඞ් සරසවියේ භෞතික විද්‍යා මහාචාර්යවරයකු ලෙස සේවය කරන ඉන්දියානු ජාතික සතින්දර් මොහාන් භගත්.

නිවාඩුවක් ගත කිරීමට මවු රටට ගිය විටෙක රජයේ ඕනෑම කාර්යාලයකින් ඕනෑම වැඩක් කර ගන්නට ලොකු කුඩා නිලධාරින්ට යම් අල්ලසක් දිය යුතු බව අත්දැකීමෙන් දැන ගත් ඔහු මෙබඳු අවස්ථාවල අසරණ වන මහජනයාට උදව්වට එන සරල අවියක් ලෙස බින්දුවේ නෝට්ටුව නිර්මාණය කළා.

Corruption in India: Wikipedia entry

මහජන මුදලින් නඩත්තු කරන රාජ්‍ය ආයතනවල මහජනයාගෙන් වැටුප් ලබන නිලධාරින් හා සෙසු රාජ්‍ය සේවකයන් අත යටින් යමක් ඉල්ලූ විට මුවින් නොබැන ඔවුන්ට දීමට මේ නෝට්ටුව යොදා ගන්නැයි දුෂණ විරෝධී ක‍්‍රියාකාරිකයෝ එරට ජනතාවට කියනවා.

බින්දුවේ නෝට්ටුව ඉන්දියාවේ වත්මන් රුපියල් 50 නෝට්ටුවේ ඉදිරිපස පෙනුමට සමානයි. එහෙත් ප‍්‍රමාණයෙන් එය රුපියල් දහසේ නෝට්ටුවටත් වඩා ටිකක් විශාලයි.

ගාන්ධිතුමාගේ රූපයට සමීපව ලොකු අකුරෙන් මුද්‍රණය කර ඇත්තේ ‘හැම තරාතිරමකම දුෂණය පිටුදකින්න’ (ELIMINATE CORRUPTION AT ALL LEVELS) යන උද්‍යොග පාඨයයි.

එරට මහ බැංකුව මුදල් නෝට්ටුවල යොදන නිල ප‍්‍රකාශය වෙනුවට එතැන මේ වැකිය මුද්‍රණය කොට තිබෙනවා. I PROMISE TO NEITHER ACCEPT NOR GIVE BRIBE (අල්ලසක් ලැබීමට හෝ දීමට හෝ එරෙහිව මම ප‍්‍රතිඥා දෙමි).

නෝට්ටුවේ පිටත පැත්තේ එය නිකුත් කරන ආයතන සමග සන්නිවේදනය කළ හැකි තොරතුරුත්, තොරතුරු දැන ගැනීමේ මහජන අයිතිය තහවුරු කරන ඉන්දියානු නීතිය ගැන කෙටි සඳහනකුත් තිබෙනවා. එසේම ‘මෙය මුදල් නෝට්ටුවක් නොවේ’ යන්න පැහැදිලිව මුද්‍රණය කොට තිබෙනවා.

මේ නෝට්ටුවලට කිසිදු මූල්‍යමය අගයක් නැහැ. එය භාවිතා කිරිම හරියට පත‍්‍රිකාවක් හෝ තුණ්ඩුවක් හෝ භාවිතයට සමානයි. තනි තනිව අල්ලසට එරෙහි වනවාට අමතරව රාජ්‍ය ක්‍ෂෙත‍්‍රය වසා පිළිකාවක් ලෙස පැතිර ඇති දුෂණයට එරෙහිව ජනතාව පෙළ ගැසෙන බවට ද බින්දුවේ නෝට්ටු ප‍්‍රබල සංඥාවක්.

සාමාන්‍යයෙන් දුෂිත නිලධාරින් හා සුළු සේවකයන් අල්ලස් පැතිම හා ඉල්ලා බල කිරීම කරන්නේ මහජනතාවට එයට එරෙහි වීමට විකල්පයක් නැතැයි සිතමින්. එහෙත් ජනතාව බලාත්මක වී, සංවිධානය වී හඬක් නගන විට රාජ්‍ය සේවකයන් තිගැස්මකට පත් වී අල්ලස් පැතීම අඩු වන බව ඉන්දියානු ක‍්‍රියාකාරිකයෝ වසර කිහිපයක අත්දැකීම් අනුව පෙන්වා දෙනවා.

2007දී බෙදා හැරීම අරඹා 2014 අගෝස්තු වන විට මෙම බින්දුවේ නෝට්ටු මිලියන් 2.5ක් පමණ ඉන්දියානු භාෂා 22කින් නිකුත් කොට තිබෙනවා. එරට මුදල් නෝට්ටු හා කාසි නිකුත් කිරීමේ නිල බලය ඇති මහ බැංකුව මෙයට විරෝධයක් දක්වා නැහැ.

බින්දුවේ නෝට්ටුවේ බලය ඇත්තේ එහි සංකේතාත්මක බවෙහියි. නිල කාරියක් ඉටු කර දීමට නොනිල ගෙවීම් පතන බොහෝ රාජ්‍ය සේවකයන් එය කරන්නේ වක‍්‍රාකාරයෙන් ඇඟවීම් හරහා බවත්, එබඳු අවස්ථාවක මේ මුදල් නෝට්ටුවක් හෝ දෙක තුනක් දීමෙන් මුවින් නොබැනම තම ප‍්‍රතිපත්තිමය ස්ථාවර ප‍්‍රකාශ කිරීමට මහජනයාට හැකි බවත් මෙහි ප‍්‍රවර්ධකයන් කියනවා.

Vijay Anand
Vijay Anand

පස්වන කුළුණේ ආරම්භක විජේ ආනන්ද් මෙය හඳුන්වන්නේ සහයෝගීතාව නොදීම සඳහා වන අවිහිංසාවාදී මෙවලමක් හැටියටයි. මේ නෝට්ටු සාර්ථක ලෙස යොදා ගෙන, අනවශ්‍ය ගැටුම් හෝ ප‍්‍රශ්නවලට නොගොස් හීන් සීරුවේ තමන්ගේ නිල අවශ්‍යතාවය ඉටු කර ගත් (එහෙත් අල්ලසක් නොගෙවූ) අවස්ථා දහස් ගණනක් ඉන්දියානු පුරවැසියන් වාර්තා කර තිබෙනවා.

“බොහෝ රාජ්‍ය සේවකයන් මේ නෝට්ටු දුටු වට චකිතයට පත් වනවා. වැඩි කථා බහක් නැතිව අපේ වැඬේ ඉටු කර දෙනවා. ඇත්තටම අපටත් ඕනෑ එපමණයි,” එක් ක‍්‍රියාකාරිකයෙක් තම අත්දැකීම විස්තර කළේ එලෙසයි.

අල්ලසක් ඉල්ලීම හා දීම ඉන්දියානු නීතියෙන් සපුරා තහනම්. එහෙත් එය බහුලව සිදු වනවා. 2005දී ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් නම් දුෂණ විරෝධී ආයතනය කළ සමීක්‍ෂණයක් හෙළි කළේ ඉන්දියානුවන්ගෙන් 62%ක් දෙනාට පගාවක් දීමට සිදුවීමේ සෘජු අත්දැකීම් තිබෙන බවයි. (එම සමීක්‍ෂණයට ඉන්දියානු ප‍්‍රාන්ත 20ක 14,405 දෙනකුගේ මත විමසනු ලැබුවා.)

The Zero Rupee Note: Vijay Anand at TEDxLeeds

මහා පරිමානයේ දුෂණ ඉහළ තලයේ සිදු වන අතර කුඩා පරිමානයේ දුෂණ ද අධික වී ඇති බවත්, සාමාන්‍ය ජනයා වඩාත් තලා පෙලන්නේ මේ සිල්ලර මට්ටමේ දුෂණ බවත් ඒ ගැන අධ්‍යයන කරන පර්යේෂකයෝ කියනවා.

ඉන්දියාවේ සමීක්‍ෂණවලදී වඩාත්ම දුෂිත යයි ජනයා කියා සිටින්නේ පොලිසිය, ඉඩම් පරිපාලකයන්, අධිකරණ තන්ත‍්‍රය, පලාත් පාලන ආයතන, විදුලිබල සැපයුම් තන්ත‍්‍රය හා රජයේ රෝහල් පද්ධතියයි. එසේම ප‍්‍රාථමික ශ්‍රේණිවලදී පාසල් අධ්‍යාපන ක්‍ෂෙත‍්‍රයේ ද දුෂණ හා අල්ලස් ගැනීම ප‍්‍රචලිත බව 45%ක් දෙනා සමීක්‍ෂණයන්ට කියා තිබෙනවා.

පස්වන කුළුණ සංවිධානය ගණන් බලා ඇති අන්දමට ඉන්දියාවේ (මධ්‍යම හා ප‍්‍රාන්ත) රාජ්‍ය සතු දහස් ගණනක් ආයතනවලින් මහජන සේවා ලබා ගැනීමට ඉන්දියානු මහජනයා දෙන සුළු හා මධ්‍යම පරිමානයේ අල්ලස්වල වටිනාකම වසරකට ඩොලර් බිලියන් 5ක් පමණ වනවා.

”අල්ලස් පතන බොහෝ රාජ්‍ය සේවකයෝ එය හෙළිදරවු වනවාට බියයි. විනය පරික්‍ෂණවලට මුහුණ දී අපකීර්තියට පත් වන නිසා. එසේම වැඩක් කරවා ගන්නට රජයේ කාර්යාලයකට යන සාමාන්‍ය ජනයා ද නිලධාරින්ට බියයි. ඔවුන් සමග තර්ක කරන්නට යන්නේ ටික දෙනයි. මේ නිසා අවිහිංසාවාදී ලෙස දුෂණයට එරෙහි වීමට බින්දුවේ නෝට්ටුව හරහා ඉඩක් ලැබෙනවා’’ යයි එහි ප‍්‍රවර්ධකයෝ කියනවා.

මෙයට අමතරව බින්දුවේ නෝට්ටුවේ රූප විශාල පරිමානයේ බැනර් ලෙස පාසල් හා පොදු ස්ථානවල ප‍්‍රදර්ශනය කැරෙනවා. ”අල්ලස ශූන්‍ය කරමු. එයට මගේ සහයෝගය’ (“Zero corruption: I will neither receive nor give bribes”) යන ප‍්‍රකාශයට ලක්‍ෂ ගණනක් බාල මහලූ ඉන්දියානුවන් අත්සන් කොට තිබෙනවා. ලෙහෙසියට, පහසුවට පෝලිම් පනින්නට හෝ අයථා වැඩකට රාජ්‍ය සේවකයන්ට නොනිල ගෙවීම් නොකරන බවට පාසල් යන වියේ පටන් සිසුන්ට ප‍්‍රතිඥාවක් සකසා තිබෙනවා.

මේ වන විට මෙම සංකල්පය රටවල් ගණනාවක දුෂණ විරෝධී ක‍්‍රියාකාරිකයන්ගේ දැඩි අවධානයට ලක්ව තිබෙනවා.

2013 නොවැම්බ මාසයේ මැලේසියාවේ දුෂණ හා වංචා වලට එරෙහි රාජ්‍ය කොමිසමේ නිලධාරීන් තිදෙනෙකු ද චෙන්නායි නුවරට ගොස් විජේ ආනන්ද් ඇතුළු පිරිස මුණ ගැසී උපදෙස් ලබා ගත්තා. රාජ්‍ය නොවන සංවිධානයක් (ඔව්, NGO එකක්!) වන පස්වන කුළුණෙන් හොඳ දෙයක් ගැන උගෙනීමට තරම් මැලේසියානු රාජ්‍ය නිලධාරීන් නිහතමානියි. මෙය නිල වශයෙන්ම එරට අරඹන්නට ඔවුන්ට ඕනෑකම තිබෙනවා.

ආර්ජෙන්ටිනාව, නේපාලය, මෙක්සිකෝව, බෙනින් යන රටවල් ද බින්දුවේ නෝට්ටුවේ වසර කිහිපයක අත්දැකීම් ගැන ඉන්දියානු ක‍්‍රියාකාරිකයන්ගෙන් තොරතුරු ලබා ගෙන තිබෙනවා. මේ අතර ලෝකයේ අල්ලස හා දුෂණය ප‍්‍රබලව හමුවන යේමනයේ මෙයට සමාන ව්‍යාපෘතියක් 2014දී ක‍්‍රියාත්මක වනවා. ඒ සඳහා එරට මුදල් නෝට්ටුව ආශ‍්‍රයෙන් නිර්මාණය කල ‘‘අවංක රියාල්’’ (Honest Riyals) දහස් ගණනක් දැනටමත් පාසැල් හා සරවිවල බෙදා හැර තිබෙනවා.

දැඩි බලහත්කාරකමින් හෝ ගිනි අවි පෙන්වා හෝ අල්ලස් ඉල්ලන රටවල ‘‘බින්දුවේ නෝටුව’’ වැනි අවිහිංසක විරෝධයක් සාර්ථක වන්නේ නැහැ. එහෙත් ජනමතය හා තමන්ගේ ප‍්‍රතිරූපය ගැන රාජ්‍ය නිළධරීන් හා සෙසු රාජ්‍ය සේවකයන් තරමක් හෝ තැකීමක් කරන ජන සමාජ වල නම් මෙය සාර්ථකව හා උපක‍්‍රමශීලිව යොදා ගත හැකයි.

පස්වන කුළුන ඇතුළු ඉන්දියානු ජන සංවිධාන මේ ක‍්‍රියාකාරකම්වල රාමුව ලෙස යොදා ගන්නේ 2005දී හඳුන්වා දුන් තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳව පනතයි. මේ හරහා ඕනෑම මධ්‍යම, ප‍්‍රාන්ත හෝ පළාත් පාලන ආයතනයක වියදම් හා වෙනත් තොරතුරු ඉල්ලා සිටීමට හා නියමිත දින ගණනක් තුළ ලැබීමට සෑම ඉන්දියානු පුරවැසියෙකුටම අයිතියක් තිබෙනවා. ඒ සඳහා පැහැදිලි ක‍්‍රමවේදයක් නීතියෙන් සකසා තිබෙනවා.

බින්දුවේ නෝට්ටුවක් අල්ලස් පතන රාජ්‍ය නිළධාරියෙකුට දීමෙන් සංකේතවත් වන්නේ අල්ලසට එරෙහි පුළුල් ජන ව්‍යාපාරයක තමන් ද කොටස් කරුවෙකු බවයි. තමා හමුවට එන බැලූ බැල්මට අසරණ යයි පෙනෙන තනි පුද්ගලයන්ගෙන් ගතමනාව ඉල්ලන බොහෝ නිලධාරීන් සාමූහික විරෝධයකට බයයි.

මෙබන්දක් ශ‍්‍රී ලංකාවේත් ක‍්‍රියාත්මක කළ හැකිද? එසේ වුව හොත් අපේ රාජ්‍ය සේවකයන්ගේ ප‍්‍රතිචාරය කෙබඳු වේද? තොරතුරු දැන ගැනීමේ අයිතිය නීතියෙන් තහවුරු කොට නැති, මහජනතාවගෙන් වැටුප් ලැබුවත් ජනතාවට වග වීමට කැප වී නැති අපේ රාජ්‍ය සේවය කෙසේ නම් අල්ලස හා දුෂණයේ ග‍්‍රහණයෙන් මුදවා ගත හැකිද? අපේ රාජ්‍ය නිලධාරීන් NGOවලට මෙතරම් ගරහන්නේ මෙබඳු ඉන්දියානු ආදර්ශ මෙහි පැතිරේ යයි බියෙන්වත්ද?

The Zero Rupee Note – A Short Film