“Journalism to be useful and serviceable to the country will take its definite place only when it becomes unselfish and when it devotes its best for the service of the country, and whatever happens to the editors or to the journal itself, editors would express the views of the country irrespective of consequences…”
Mahatma Gandhi said these words on 22 March 1925, when unveiling the portrait of S. Kasthuriranga Iyengar, the late Editor of The Hindu, at the newspaper’s Chennai office. These words summed up the basic tenets of true journalism that Gandhi believed in – and practised.
Besides being a political leader and social reformer, Gandhi was also a prolific writer, journalist and editor for much of his life. He was the editor of three English weeklies, namely Indian Opinion (in South Africa during 1903-1915), Young India (1919- 1931), and Harijan (1933-1942 and 1946-January 1948).
Indian Opinion was bi-lingual (English and Gujarati). For some time it had also Hindi and Tamil sections. Young India had a Gujarati edition – Navajivan. Harijan was printed in several Indian language editions. These journals, which he described as “viewspapers”, were means of political and social movements. But they were also printed, distributed and sold in the open market just like other journalistic products.
What can today’s journalists learn from Gandhi as a mass communicator and journalist/editor? I explore this in this week’s Ravaya column (published on 14 June 2015).
Part 2: සිවුමංසල කොලූගැටයා #224: මහත්මා ගාන්ධි: ඉතිහාසය වෙනස් කළ සඟරා කතුවරයා

ශ‍්‍රී ලංකාවේ ජනමාධ්‍ය ප‍්‍රතිසංවිධානය හා ප‍්‍රතිව්‍යුහකරණය ගැන සංවාද කැරෙන මේ දිනවල මාධ්‍ය බහුතරයක් ආචාර ධර්මීය නොවන ලෙසින් ක‍්‍රියා කිරීම ගැන කුමක් කළ හැකි ද යන්නත් සාකඡ්චා කැරෙනවා.
මාධ්‍ය ආචාර ධර්ම (media ethics) බටහිර රටවලින් අපේ වැනි රටවලට ආරෝපණය කරන තවත් බලපෑමක්ද? මේ ප‍්‍රශ්නය පසුගිය දිනෙක මගේ මාධ්‍යවේදී සිසුවකු අහිංසක ලෙසින් මතු කළා.
පුවත්පත් සඳහා ආචාර ධර්ම පද්ධතියක් මුල් වරට 1922දී ලේඛන ගත කළේ අමෙරිකානු පුවත්පත් කතුවරුන්ගේ සංගමය (American Society of News Editors, ASNE) බව ඓතිහාසික සත්‍යයක්. http://goo.gl/X6sS8o
පසු කලෙක එය ලොව පුරා රටවල් තමන්ට ගැලපෙන පරිදි අදාළ කර ගත්තා. හොඳ දෙයක් කොතැනින් මතු වුවත් එය අගය කළ යුතුයි. මේ ඔස්සේ තව දුරටත් කල්පනා කරන විට මට සිහි වූයේ 20 වන සියවසේ මෙන්ම මිනිස් ඉතිහාසයේම මහා පුරුෂයකු ලෙස සැලකෙන මහත්මා ගාන්ධිතුමාගේ පුවත්පත් ලේඛක හා කතුවර භූමිකාවයි.
20 වන සියවස මුලදී තරුණ ගාන්ධි තමන්ටම ආවේණික වූ ප‍්‍රතිපත්ති හා ආචාර ධර්ම රාමුවක් අනුගමනය කරමින් මාධ්‍ය හරහා සන්නිවේදනය කළා. ගාන්ධිගේ ජන සන්නිවේදන ශිල්ප ක‍්‍රම හා ආචාර ධර්ම විමසා බැලීමෙන් සියවසකට පසු අපට තවමත් ආදර්ශ ගත හැකියි.
මෝහන්දාස් කරම්චාන්ද් ගාන්ධි (1869 – 1948) අප හඳුනන්නේ අවිහිංසාවාදීව ඉතිහාසයේ විශාල වෙනසක් කළ අයකු ලෙසින්. ශ්‍රේෂ්ඨ ආත්මය යන අරුත ඇති ‘මහත්මා’ නම් ගරු නාමය ඔහුට ලැබුණේ ජීවිතයේ මැදි වියේදී.
බි‍්‍රතාන්‍යයන් පාලනය කරන ඉන්දියාවේ ඉපදී අධිරාජ්‍ය පාලකයන්ගේ ඉංග‍්‍රීසි බස මනාව උගෙන, ඔවුන්ගේ ආධිපත්‍යයට එරෙහිව අධිෂ්ඨානශීලීව හා නිරායුධව අභියෝග කළ මේ පුංචි මිනිසා ඉතිහාසයේ අතිශය කලාතුරකින් හමු වන ආකාරයේ අසාමාන්‍ය චරිතයක්.
ගාන්ධිගේ ජීවිත කතාව අධ්‍යයනය කළ බොහෝ දෙනකු ඔහුගේ අවංක බව, ප‍්‍රතිපත්ති ගරුක බව හා භේද නොතකා සියලූ දෙනාට එක දේ සැලකීමේ ගුණය අගය කරනවා.
ඔහු මිලියන සිය ගණනක සාමාන්‍ය ඉන්දියානු ජනයා නිදහස උදෙසා සාමකාමී ලෙසින් කුළු ගැන්වූයේ හා දශක ගණනක අරගලය පුරාම සංවරව පවත්වා ගත්තේ කෙසේද?
එයට ඔහුගේ තීක්ෂණ බුද්ධිය මෙන්ම උසස් සන්නිවේදන කුසලතාත් උපකාරී වූවා. ගාන්ධි නම් වූ විශිෂ්ඨ ජන සන්නිවේදකයා ගැන ඉන්දියාවේත්, ඉන් පිටතත් සන්නිවේදන පර්යේෂකයන් තවමත් අධ්‍යයනය කරන්නේ මේ නිසා. ඔහුගේ මාධ්‍ය කලාවේ පැතිකඩ කිහිපයක් විමසා බලමු.

19 හැවිරිදි තරුණයකු ලෙස 1888දී ගාන්ධි එංගලන්තයට ගියේ නීතිය උගෙන නීතීඥයකු වීමටයි. මධ්‍යම පාන්තික වෙළද පවුල් පසුබිමකින් ආ ඔහුට ඉංග‍්‍රීසි බස ආගන්තුක නොවූවත් එංගලන්තයේ වෙනස් සමාජ පසුබිමට හුරු වන්නට ටික කලක් ගත වුණා. නීති දේශනවලට යොමුවන්නටත් පෙර පටන් ඔහු එරට පුවත්පත් නිතිපතා කියැවීමට පටන් ගත්තා.
ඉන්දියාවේ සිටියදී පුවත්පත් නොකියවූ තරුණ ගාන්ධි බි‍්‍රතාන්‍ය පුවත්පත් අගය කළා. රටක දේශපාලන හා සමාජ තත්ත්වයන් ගැන අවබෝධයක් ලබන්නට පුරවැසියන්ට උදව් වන්නේ උසස් ගණයේ පුවත්පත් හා සඟරා පැවතීම බවත් නූතන සමාජයේ ජන මතය හසුරුවන්නට මේවාට ලොකු බලයක් ඇති බවත් ඔහු වටහා ගත්තා.
මුද්‍රිත ජන මාධ්‍ය ගැන ඔහු මෙසේ තරුණ වියේදී ඇතිකරගත් පැහැදීම හා විශ්වාසය ජීවිත කාලය පුරාම පැවතියා.
ගාන්ධිගේ සන්නිවේදන භූමිකාව අධ්‍යයනය කළ අහමදබාද්හි ගුජරාට් විද්‍යාපීඨ උපකුලපති සුදර්ශන් අයෙන්ගර් (Dr Sudarshan Iyengar) කියන්නේ මෙයයි. ‘‘ගාන්ධි ලිඛිත මාධ්‍යයට වඩා ළැදි වීමට තවත් හේතුවක් නම් ප‍්‍රසිද්ධ සභා අමතා කතා කිරීමට සහජයෙන් ඔහු තුළ තිබූ සබකෝලයයි. පරිණත වියේදී පවා ඔහු දක්ෂ කථිකයකු වූයේ නැහැ. කට වචනයෙන් සන්නිවේදනයට තමාගේ සීමා හඳුනා ගත් ඔහු ලිඛිත සන්නිවේදනයට හැකි තරම් කාලය හා ශ‍්‍රමය යෙදවූවා. සභා ඇමතීම බොහෝ විට කථිකත්වයෙන් තමාට වඩා දක්ෂයන්ට භාර කළා.’’
තම සබකෝලය ගැන ගාන්ධි සිය ආත්ම චරිතාපදානයේ (The Story of My Experiments with Truth, 1927) විවෘතව සාකච්ඡා කරනවා. පසු කලෙක වෘත්තීය නීතිඥයකු ලෙස උසාවි ඇමතීමට පෞරුෂය ගොඩ නගා ගත්තද ඔහු කිසි දිනෙක (නෙල්සන් මැන්ඩෙලා මෙන්) ජනකාන්ත වේදිකා කථිකයකු වූයේ නැහැ.

‘‘මේ සබකෝලය හඳුනා ගත් මා එය කෙමෙන් සවියක් බවට පත් කර ගත්තා. හරි තැනට ඔබින විදිහට හිටිවනම කතා කිරීමට නොහැකි වීම ගැන මුල් යුගයේ මා පසුතැවිලි වූවත්, පසුව මා තේරුම් ගත්තේ එය වාසියක් ද වන බවයි. මගේ සිතිවිලි දැඩි සංයමයෙන් හසුරුවා ගන්නටත්, කියන්නට ඇති දේ හැකි තාක් කෙටියෙන් කියන්නටත් මා පුහුණු වුණා. මේ නිසා මගේ මුවින් වල්පල්, අතිශයෝක්ති, හරසුන් කිසිවක් පිට වන්නේ නැහැ. යමක් කතා කරන විට මෙන්ම ලියන විටත් හැකි තාක් සංක්ෂිප්තව, සරලව හා ඍජුව වචන ගලපන්නට මා සැම විටම තැත් කරනවා. එසේම නිහඬ විය යුතු තැන්හිදී නිහඬවීමට ද මා දන්නවා.’’
අයෙන්ගර්ගේ අදහසට අනුව ගාන්ධිගේ පුවත්පත් කලාව ද ඉහත කී ආචාර ධර්මීය හා විනයානුකූල රාමුව තුළම සිදු වුණා. ගාන්ධි ලොව තිබූ විශාලතම අධිරාජ්යයට එරෙහිව ප‍්‍රතිපත්තිමය අරගලයක් ගෙන ගියේ දැඩි පීඩන හා හිරිහැර මැදයි. එහෙත් කෙතරම් දුෂ්කර අවස්ථාවකදීවත් ආවේගශීලී නොවන්නටත්, සීරුවෙන් හා ආචාරශීලීව භාෂිත හා ලිඛිත ප්‍රකාශ හසුරු වන්නටත් ඔහු ප්‍රවේශම් වුණා. ඔහු දූරදර්ශී ජන නායකයකු වීමට මේ සන්නිවේදන ගුණාංග ද දායක වූවා.
ගාන්ධිගේ චරිත කතාව මෙසේ කැටි කළ හැක්කක් නොවෙයි. අප මෙහිදී අවධානය යොමු කරන්නේ ඔහුගේ ජන සන්නිවේදන ක‍්‍රියා ගැන පමණයි.
තරුණ වියේදී ගාන්ධි ඉතා හොඳින් ඉංග‍්‍රීසි බස හසුරු වන්නටත් ඉංග‍්‍රීසියෙන් ටයිප් කරන්නටත් උගත්තා. මේ හැකියාවන් සමාජ හා දේශපාලන ක‍්‍රියාකාරිකයකු ලෙස ඔහුට ජීවිත කාලය පුරාම ප‍්‍රයෝජනවත් වුණා. සුද්දා සමග ගැටෙන්නට ඔහුගේ බස ඔහුටත් වඩා හොඳින් ප‍්‍රගුණ කිරීමේ අගය ගාන්ධි දැන සිටියා.
1891දී නීතිඥයකු ලෙස බි‍්‍රතාන්‍යයේ දිවුරුම් දුන් ගාන්ධි, සිය රට බලා ගියා. එහෙත් බොම්බායේ නීතිඥයකු ලෙස ක‍්‍රියා කිරීමට ඔහු ගත් උත්සාහය සාර්ථක නොවූයේ සාක්ෂිකරුවන් සමීපව ප‍්‍රශ්න කිරීමට ඔහු මැලි වූ නිසා යයි කියනවා.
1893දී ඔහු දකුණු අප‍්‍රිකාවේ වෙළෙදාම් කරමින් සිටි ඉන්දියානු මුස්ලිම් සමාගමක නීතීඥයා ලෙස එරටට ගියා. වසරක කොන්ත‍්‍රාත්තුවක් මත ගියත් අන්තිමේදී ගාන්ධි වසර 21ක් (1893 – 1914) එරට ගත කළා. ඔහුගේ දේශපාලන හා සන්නිවේදන කුසලතාවන් වඩාත් ඔප් නැංවී ආයේ මේ අත්දැකීම් හරහායි.
ගාන්ධිගේ මේ ජීවන වකවානුව දෙරටේම දේශපාලන ඉතිහාසය වෙනස් කිරීමට හේතු වුණා. දශක ගණනකට පසු ඉන්දියාවේ සංචාරය කරමින් ජනාධිපති නෙල්සන් මැන්ඩෙලා කීවේ: ‘‘භාරතය අප වෙත මොහන්දාස් ගාන්ධි දායාද කළා. අප ඔහුව ආපසු මවු රටට එව්වේ මහත්මා ගාන්ධි ලෙසින්!’’ (“You gave us Mohandas; we returned him to you as Mahatma Gandhi.”)
දකුණු අප‍්‍රිකාවේ ඉන්දියානු සම්භවය ඇති මිනිසුන්ගේ මානව අයිතීන් උදෙසා පෙනී සිටීමටත්, එවකට එරට පාලනය තළ බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යයේ නියෝජිතයන් සමග සාකච්ඡා කිරීමටත් ගාන්ධි සිය විවේක කාලය කැප කළා.
එවකට එරට පැවති දේශපාලන හා සමාජ තන්ත‍්‍රයේ විසමතා හා අසාධාරණකම්වලට එරෙහිව නිරායුධ වුත්, ප‍්‍රතිපත්තිමය වුත් අරගලයක් ඔහු දියත් කළාග ජනයා දැනුවත් කිරීම හරහා ඔවුන් බලාත්මක කිරීමේ ප‍්‍රධාන ක‍්‍රමෝපායක් ලෙස ඔහු Indian Opinion නම් සඟරාවක් 1904දී ඇරැඹුවා.

Indian Opinion සඟරා කතුවරයා මන්සුක්ලාල් නසාර් නමැත්තකු වුවත් එහි කර්තෘ මණ්ඩල වගකීම් වැඩි ප‍්‍රමාණයක් ඉසිලූවේ ගාන්ධියි. එවකට දකුණු අපි‍්‍රකානු දේශපාලන යථාර්ථය ගැන ඒ වන විට ලබා ගෙන තිබූ අවබෝධයත්, කලක් බි‍්‍රතාන්‍ය පුවත්පත් කියැවීමෙන් ලත් ආභාෂයත් ඔහුට උපකාර වුණා.
අමාරුවෙන් පවත්වාගෙන ගිය මේ සඟරාවට කර්තෘමය දායකත්වයට අමතරව ගාන්ධි නීතීඥයකු ලෙස ඉපැයූ ආදායමින් කොටසක් ද යෙදවූවා. එක් අවස්ථාවක ඔහුගේ ඉතිරි කිරීම් සියල්ල සඟරාවේ නඩත්තුවට යොමු කළ බවත්, ඒ ගැන කණගාටුවක් නැති බවත් ආත්ම චරිතාපදානයේ කියනවා.
‘‘Indian Opinion සඟරාවට මා මුළු විවේකයම හා නිර්මාණශීලීත්වයම කැප කළා. එම වකවානුවේ මගේ ජීවිතය හා සිතුම් පැතුම් පිළිබඳ හොඳ කැඩපතක් බවට එය පත්වුණා. 1904-14 කාලයේ ඉඳහිට මා සිරගත වූ විට හැරෙන්නට හැම කලාපයකම අඩු තරමින් මගේ එක් ලිපියක් හෝ අඩංගු වුණා. සංකීර්ණ වූ දේශපාලන හා සමාජයීය තත්ත්වයන් පිළිබඳව හරබරව හා තුලනාත්මකව විග‍්‍රහ කිරීමේ අසීරු කලාව මා ප‍්‍රගුණ කළේ මේ සඟරාවට ලිපි ලියූ හා අනෙක් ලිපි සංස්කරණය කළ කාලයේයි. එසේම පාඨකයන් හා කතුවරයා අතර මනා සබඳතාවක් ගොඩනංවා ගෙන පවත්වා ගන්නේ කෙසේද යන්නට මා හොඳ අත්දැකීම් ලැබුවා.’’

මේ වකවානුව ගැන ආවර්ජනය කරමින් ගන්ධි මෙසේ ද ලියා තිබෙනවා. ‘‘Indian Opinion කර්තෘමය වගකීම් දැරූ මුල් මාසයේදීම මා හොඳ හැටි තේරුම් ගත්තේ පත‍්‍ර කලාවේ එකම අරමුණ විය යුත්තේ මහජන සේවය බවයි. පුවත්පතකට අති විශාල බලයක් තිබෙනවා. එය හොඳට මෙන්ම නරකටද යෙදවිය හැකියි. ජලය අපට අත්‍යවශ්‍ය සම්පතක් වුවද නිසි ලෙස පාලනය නොවූ ජල කඳක් නිසා ගම්බිම් හා කෙත්වතු වනසන ගංවතුරක් ඇති විය හැකියි. එසේම අසංවර වූ පෑනෙන් මහත් විනාශයක් කළ හැකියි. එනිසාවට එය සංවර කිරීමේ බලය පිටස්තර අධිකාරියකට භාර කළොත් (ප‍්‍රකාශන නිදහස නැති වී යන නිසා) එහි අහිතකර විපාක වැඩියි. අප කළ යුත්තේ පුවත්පත් කලාවේ ඉමහත් බලය අප විසින්ම සංවරයෙන් හා වගකීමෙන් යුතුව භාවිත කිරීමයි.’’
‘‘මේ අවශ්‍යතාව සපුරා ගන්නා පුවත්පත් හා සඟරා කීයක් ලොව තිබේද? ලොව හොඳ-නරක දෙකම හමු වනවා සේ පුවත්පත් කලාවේ ද හොඳ ප‍්‍රකාශන මෙන්ම නරක ප‍්‍රකාශන ද තිබෙනවා. මේ අතරින් හොඳ ප‍්‍රකාශන තෝරාබේරා ගැනීම බුද්ධිමත් පාඨකයන්ට බාරයි.’’
මාධ්‍ය වගකීම, මාධ්‍ය නිදහස හා මාධ්‍ය සාක්ෂරතාව ගැන කොතරම් වැදගත් විග‍්‍රහයක්ද?ගාන්ධි ආත්ම චරිතාපදානයේ සිවු වන කොටසේ 13 වන පර්ච්ෙඡ්දයේ මෙය හමු වනවා.
Part 2: සිවුමංසල කොලූගැටයා #224: මහත්මා ගාන්ධි: ඉතිහාසය වෙනස් කළ සඟරා කතුවරයා
Also read:
Journalist Gandhi: Selected Magazine Writings of Mahatma Gandhi
Gandhi the Editor, By B. R. Nanda, Chairman, National Gandhi Museum
Mahatma Gandhi And Mass Media, by Prof V S Gupta