සිවුමංසල කොලූගැටයා #203: මෛත‍්‍රීගේ මැන්ඩෙලා මොහොත!

I use this week’s Ravaya column (in Sinhala) to address an open letter to newly elected Sri Lanka President Maithripala Sirisena.

Mandela and Maithrii: Emulation must go beyond election campaign!
Mandela and Maithrii: Emulation must go beyond election campaign!

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට විවෘත ලියුමක්

ජනාධිපති මහතාණෙනි,

යුක්තිය, සාධාරණත්වය සහ යහපාලනය උදෙසා පෙනී සිටිමින් ඔබ ලැබූ මැතිවරණ ජයග‍්‍රහණයට සුබ පැතුම්!

බොහෝ බාධක, කම්කටොලූ හා අභියෝග මැද ඔබ ප‍්‍රතිපත්ති ගරුකව මැතිවරණ ව්‍යාපාරය කර ගෙන ගිය සැටි අප බලා සිටියා. එසේම ඔබ මතු කළේ හඬක් නැති සුවහසක් ලක් ජනතාවගේ අහිසංක අපේක්ෂා හා බලාපොරොත්තුයි.

ඔබ දැන් අප රටේ හැම තැනෙකම වෙසෙන සියලු ජනයාගේ ජනපතියි. එහෙත් ඔබ රජකු නොව නිශ්චිත ධූර කාලයකට පත් කර ගත් ජනතා සේවකයකු පමණයි. මැතිවරණය වකවානුවේ පුරවැසි බලය දෙපිලටම මතක් කළ පරිදි, අප මෙරට පුරවැසියන් මිස යටත්වැසියන් නොවේ!

ජනාධිපති මහතාණෙනි,

මා ඔබට මෙසේ අමතන්නේ ගරුසරු නැතිව යයි නොසිතන්න. අතිගරු, උතුමාණෙනි, මැතිතුමනි ආදී අනවශ්‍ය ලෙසින් නිවට යෙදුම් මා කවදත් යොදන්නේ නැහැ. 2012 පටන් ඉන්දියානු ජනාධිපති ප‍්‍රනාබ් මුකර්ජි හඳුන්වා දුන් උතුම් සම්ප‍්‍රදාය අපට ද ඔබින බව මගේ අදහසයි. ඒ අනුව එරට ජනාධිපතිවරයා ඇමතිය යුත්තේ “Mr President” කියා පමණයි.

වැඩවසම් යුගයේ යල් පැන ගිය යෙදුම් වෙනුවට, ජන සම්මත නායකයකු ඇමතීමේ සුදුසු සිංහල යෙදුමක් අප ද හනික සොයා ගත යුතුයි.

එසේම ගිහියකු වන ඔබ හමුවේ බාල මහලු කිසිවකුත් දණ ගැසීම කළ යුතු ඇයි? අතට අත දීම හෝ ආයුබෝවන් ආචාරය ප්‍රමාණවත් යයි ඔබම නිසි ප්‍රමිතියක් පනවනු ඇතැයි සිතමු.

2009 මැයි මාසයේ අපේ සිවිල් යුද්ධය නිමා වුණු විගස (පැය 24ක් ඇතුළත) ඉංග‍්‍රීසියෙන් මා ලියූ ලිපියක මගේ පරම්පරාවේ ඇත්තන්ගේ අනාගත බලාපොරොත්තු ගැන මා මහත් කැක්කුමකින් යුතුව කතා කළා. (“Memories of War, Dreams of Peace”, Groundviews.org, 2009 මැයි 19)

එහි මා පල කළ සමහර අදහස් මේ මොහොතේ යළි මතු කිරීම වටිනවා.

යුද්ධයේ අමිහිරි දායාදයන් අතර එකිනෙකා සැක කරන ලක් සමාජයක් ද, අප සියලූ දෙනා දෙස ඉමහත් සැකයෙන් බලන ලක් රාජ්‍යයක් ද බිහිව තිබූ බව මා කියා සිටියා. සාමයත් සමග භීතිය, සැකය දුරු කොට සහජීවනය, සුහදත්වය හා අන්‍යොන්‍ය විශ්වාසය මත පදනම් වූ රටක් ඉක්මනින් බිහි වනු ඇතැයි මා පැතුවා.

එහෙත් දැන් අප හොඳින් දන්නා පරිදි, එබන්දක් සිදු වූයේ නැහැ. ජාතීන් අතර සංහිඳියාව හා සහජීවනය වෙනුවට ජාතිවාදය හා ආගම්වාදය යළි යළිත් වපුරනු ලැබුවා. එසේම රටේ මහජනයා නිරතුරුව සැක කරන, අපේ පෞද්ගලික දුරකථන කතාබහට හොරෙන් සවන් දෙන, විපක්ෂය හා විකල්ප මතධාරීන් ගැන අසීමිත ලෙස ඔත්තු බලන රහස් පොලිස් රාජ්‍යයක් (surveillance state) බිහි වුණා.

රාජ්‍යයේ (state) තාවකාලික භාරකරුවා පමණක් වන පවතින රජය (government) හේතු සහිතව විවේචනය කිරීම පවා “බරපතල වරදක්” ලෙස හුවා දක්වනු ලැබුවා. පාලකයන් කරන කියන දේ වැඳ ගෙන අසා සිට ඔජ දමා අනුමත නොකරන සියලූ දෙනා “ජාතිද්‍රෝහීන්” යැයි නම් කරනු ලැබුවා.

මර්දනය හමුවේ සමහරුන් රට හැර පණ බේරා ගෙන පලා ගියා. විකල්ප දේශපාලන මත රැගත් වෙබ් අඩවි මෙරට සිට කියවීම අවහිර කරනු ලැබුවා. අපේ සමාජය අතිශයින් ධ‍්‍රැවීකරණය වුණා.

මේ බිහිසුණු ප‍්‍රවණතා මතු වී පැතිරෙනු බලා සිටි ඔබ, අපටත් වඩා ඉතා හොඳින් ඒ අමිහිරි මෑත අතීතය දන්නවා. එහෙත් මේ තීරණාත්මක අවස්ථාවේ ඔබ පරෙස්සම් නොවුවහොත් දැන් ඔබ වටා රොක් වන සමහරුන් ඔබේ පාලන කාලය තුළ ද පවත්වා ගන්නට තැත් කරනු ඇත්තේ එයට සමාන මර්දනයක්.

මගේ 2009 මැයි ලිපිය මා අවසන් කළේ මෙලෙසයි. ‘‘අප‍්‍රිකානු උදාහරණ අපේ රටට ගෙඩි පිටින් ආදේශ කළ නොහැකි වුවත්, මෑත ඉතිහාසයෙන් අපට ආදර්ශ ලද හැකියි. සුදු සමැති පිරිසකගේ සුළුතර පාලනයෙන් මිදුණු සිම්බාබ්වේ දේශයත්, දකුණු අප‍්‍රිකාවත් ඉනික්බිති ගමන් කර ඇත්තේ ප‍්‍රතිවිරුද්ධ දිශාවලටයි. අපේ රටේ අතිශය තීරණාත්මක මංසන්ධියකට පැමිණ ඇති මේ මොහොතේ අපේ නායකයන් තෝරා ගන්නේ මුගාබේ මාවතද – මැන්ඩෙලා මාවතද?” (“Would our leaders now choose the Mandela Road or the Mugabe Road for the journey ahead?”)

Which road to take, ponders Mahinda Rajapaksa after war victory - Cartoon by Gihan de Chickera, published in Daily MIrror, 4 June 2009 (2 weeks after Sri Lanka's civil war ended)
Which road to take, ponders Mahinda Rajapaksa after war victory – Cartoon by Gihan de Chickera, published in Daily Mirror, 4 June 2009 (2 weeks after Sri Lanka’s civil war ended)

මෙසේ ලිවීම ගැන එවකට රජයේ මාධ්‍ය ප‍්‍රකාශකයාගේ දෝෂාරෝපණයට ද මා ලක් වුණා. එහෙත් යුද්ධයෙන් පසු අපේ රට යොමු වුණේ මුගාබේ මාවතට බව නොකැමැත්තෙන් වුව ද පිළිගත යුතුයි.

යහපාලනය ගැන ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයක් මත ජනාධිපතිවරණය දිනූ ඔබෙන් අප උදක්ම බලාපොරොත්තු වන්නේ ප‍්‍රමාද වී හෝ පශ්චාත් යුද වකවානුවේ රට ගමන් කළ මුගාබේ මාවතෙන් ඉවත්ව හැකි තාක් ඉක්මනට මැන්ඩෙලා මාවත දිශාවට අප රැගෙන යන ලෙසයි.

පවතින ව්‍යවස්ථා රාමුව හා දේශපාලන යථාර්ථය තුළ මෙය කිරීම අසීරු බව අප දන්නවා. එහෙත් මැතිවරණ ව්‍යාපාරයේදී මැන්ඩෙලා හා මහත්මා ගාන්ධිගේ රූපයන් සංවේදී ලෙස භාවිත කරමින් ඔබ ජන හදවත් තුළ දැල්වූ අපේක්ෂා නිවී යන්නට නම් ඉඩ දෙන්න එපා! (1994දී චන්ද්‍රිකා ජනපතිනිය ගැන අප සමහරෙක් මෙලෙසම තැබූ බලපොරොත්තු දෙතුන් වසරකට පසු දිය වී ගිය ආකාරය අපට මතකයි.)

ඔබට මේ දිනවල බොහෝ උපදෙස් හා ඉල්ලීම් ලැබෙනවා ඇති. ඒ ගොඩට මා එකතු කරන්නේ එකම එකක් පමණයි. එනම් නෙල්සන් මැන්ඩෙලා රූපය ඔබේ මැතිවරණ ප‍්‍රචාරණයට යොදා ගත් තැනින් නොනැවතී, මැන්ඩෙලා දැක්ම, ප‍්‍රතිපත්ති, පූර්වාදර්ශයන් හා පරමාදර්ශය හැකි තාක් අපේ දේශපාලනයට හා සමාජයට සමීප කරවන ලෙසයි.

මෙය ජන නායකයකුට ලෙහෙසියෙන් හෝ තනිව හෝ කළ හැකි දෙයක් නොවෙයි. එහෙත් මැන්ඩෙලා මෙන්ම ඔබ ද නැවත ධුර කාලයකට තරග නොකරන්නට ඔබ දිවුරුම් දුන් දිනයේම ප‍්‍රතිඥා දීම මේ දිශා වෙනසේ පෙර මග නිමිත්තක් සේ මා සළකනවා.

Maithripala Sirisena's campaign poster that acknowledged his inspiration from Gandhi and Mandela
Maithripala Sirisena’s campaign poster that acknowledged his inspiration from Gandhi and Mandela

 

අතිශයින් බෙදී තිබූ දකුණු අප‍්‍රිකාවේ සියලූ ජාතීන් හා විවිධ දේශපාලන මතධාරීන් එක් රැස් කරගෙන දේදුනු ජාතියක් බිහි කරන්නට මැන්ඩෙලා වචනයෙන් නොව ක‍්‍රියාවෙන් ද කැප වුණා. එහෙත් එයට සමාන්තරව අතීත අසාධාරණයන්ට හා හිංසාවන්ට ලක් වූ අයට කල් ගත වී හෝ සාධාරණය හා සහන ලබා දෙන්නට සත්‍යය හා සංහිඳියා කොමිසම හරහා පියවර ගත්තා.

මර්දනකාරී යුගයකින් වඩාත් නිදහස් යුගයකට පිවිසි විගස බලාපොරොත්තු හා ඉල්ලීම් රැසක් මතු වනවා. එම සංක‍්‍රාන්තියේදී ප‍්‍රතිවිරුද්ධ මත දරණ, ආවේගශීලී අනුගාමිකයන් හා සහෘදයන් සමග සාවධානව සාකච්ඡා කරමින්, එහෙත් සිය මූලික අරමුණු පාවා නොදෙමින් මැන්ඩෙලා ගිය ගමන විසි වන සියවසේ දිරිය ජිවිතයක කථාවයි.

වෛරීය දේශපාලනය හෝ මමත්ව දේශපාලනය වෙනුවට මැන්ඩෙලා කළේ සාමූහික වගකීම හා කැපවීම ඔස්සේ රටේ සියලූ පුරවැසියන්ට රට ගොඩනැංවීමට අවස්ථාව උදා කර දීමයි. නැති වී ගිය අභිමානය නැවත ඇති කිරීමයි. ඊනියා ජාතිපේ‍්‍රමය වෙනුවට සැබෑ ජාතිමාමකත්වයක් සෙමෙන් බිහි වන්නට සුදුසු ප‍්‍රතිපත්තිමය හා නීතිමය රාමුවක් රටේ බිහි කිරීමයි.

මැන්ඩෙලාගේ සන්නිවේදන දැක්ම හා ප‍්‍රවේශය ගැන මා මේ කොලමින් කිහිප වතාවක් සාකච්ඡා කොට තිබෙනවා. 2013 ඔක්තෝබර් 21දා මා ලියූ පරිදි:

“නිදහස පතා අරගල කළ වෙනත් විප්ලවකරුවන් බොහෝ විට තැත් කළේ මුඵමනින් තමන්ගේ මතයට හැකි තාක් ජනයා හැකි ඉක්මනින් නතු කර ගන්නයි. එහෙත් උද්වේගකර කථා හා වචන හරඹයන්ට වඩා නූතන මාධ්‍ය හරහා ජන මනසට සැහැල්ලූ ලෙසින් සමීප විය හැක්කේ කෙසේ ද යන්න මැන්ඩෙලා සොයා බැලූවා. මේ නිසා මැන්ඩෙලා පරමාදර්ශීය ජන නායකයකු වනවාට අමතරව සූක්‍ෂම ජන සන්නිවේදකයකු ද වනවා.”

“බලයට පත්වන බොහෝ රාජ්‍ය නායකයන් සුලබව කරන දෙයක් නම් රාජ්‍ය බලය යොදා ගෙන ජාතික මෙන් ම පෞද්ගලික විද්‍යුත් මාධ්‍ය නාලිකා හරහා දිගට හරහට රටවැසියන් ඇමතීමයි…. ඕනෑ නම් මැන්ඩෙලාටත් එබන්දක් කළ හැකිව තිබුණා. එහෙත් ටෙලිවිෂන් හරහා නිතර නිතර පෙනී සිටින දේශපාලකයන් ජනතාවට ඉක්මනින් එපා වන බව ඔහු තේරුම් ගත්තා.”

ජනතාවට නිතර දෙවේලේ බණ කියනු වෙනුවට මැන්ඩෙලා කළේ තමන්ටම තර්කානුකූලව සිතා තීරණ ගැනීමේ පුද්ගල නිදහස උදා කිරීමයි. ඒ සමගම සාමූහික වගකීම් හා යුතුකම් ගැන සියුම් ලෙස සිතන්නට සැලැස්වීමයි.

රටක් හදන්නට ජන නායකයන් පමණක් නොව ඔවුන්ට විචාරශීලීව පන්නරය දෙන එඩිතර බුද්ධිමතුන් හා කලාකරුවන් ද අත්‍යවශ්‍යයි. 2013 ජූලි 28දා මා ලියූ පරිදි: “නෙල්සන් මැන්ඩෙලාගේ හා දකුණු අපි‍්‍රකාවේ වාසනාවට නැඞීන් ගෝඩිමර්, ඩෙස්මන්ඞ් ටූටූ වැනි නිවහල් මතධාරීන් ගණනාවක් වර්ණභේදවාදය පිටු දකින්නට හා ඉන් පසු නව දේශයක් බිහි කරන්නට ඒකරාශී වුණා. මැන්ඩෙලා දේශපාලන ගනුදෙනු කරමින් පාක්‍ෂිකයන් සතුටු කරන්නට කෙටිකාලීන පියවර ගන්නට යන විට ඔහුව දේශපාලන මඩගොහොරු හා බොරුවලවලින් බේරා ගත්තේ මෙබදු විචාරශීලි සහෘදයන්.”

අවස්ථාවාදී එහෙයියන්ගෙන් හා වන්දිභට්ටයන්ගෙන් ඔබ්බට යන විචාරශීලී සහෘදයන් පිරිසක් ඔබට ද ඉක්මනින්ම ලැබේවා යයි උදක්ම පතමු!

Maithripala Sirisena manifesto cover
Maithripala Sirisena manifesto cover

ජනාධිපති මහතාණෙනි,

21 වන සියවසේ ජන නායකයන් යනු නරපති මානසිකත්වය පෙරදැරි කර ගත් වැඩවසම් අධිපතිවාදීන් නොවේ. ඔවුන් ක‍්‍රියා කරන්නේ උත්පේ‍්‍රරක හැටියටයි. රසායන විද්‍යාවේ උත්පේ‍්‍රරක (catalyst) ලෙස හදුන්වන්නේ අන්තර්ක‍්‍රියා හට ගැනීමට දායක වී සෙමෙන් පසෙකට වන ආකාරයේ සංසිද්ධියක්.

රටේ සියලූ ආයතන, තන්ත‍්‍ර හා තීරණ තමා වටා කේන්ද්‍ර කර ගත් “මමයි රජා” නායකත්වයක් වෙනුවට අදට ගැළපෙන්නේ සියුම්ව හා සංවේදීව ක‍්‍රියා කරන නායකත්වයක්.

ඔබ දැන් පත්ව සිටින තනතුරේ ඉමහත් බලතල නිසා හිස උදුම්මා නොගෙන, කොයි කාගේත් හොඳ හිත දිනා ගෙන එහෙත් තීරණාත්මකව ප‍්‍රතිසංස්කරණ කිරීමට ඔබට හැකි වේවා යැයි මා පතනවා. ඒ සඳහා ජේ.ආර්.ට තිබුණු තියුණු දැක්මත්, විජේතුංගට තිබූ නිර්ව්‍යාජ ගැමි ගුණයත්, චන්ද්‍රිකාට පැවති එඩිතර භාවයත් ඔබට ලැබේවා!

ඔබේ දින සියයේ වැඩපිළිවෙළ ගැන අප සිටින්නේ අවදියෙන්. ඔබට සුබ පතන මා වැනි නිදහස් මතධාරීන් ඔබට වරදින විට එසැණින් එයට ප‍්‍රතිචාර දක්වන්නට සමාජ මාධ්‍ය යොදා ගනු ඇති. අප එය කරන්නේ කිසිදු අගතියකින් තොරව, කිසිදු ජාත්‍යන්තර කුමන්ත‍්‍රණයකට අනුගත නොවී සැබෑ ප‍්‍රජාතන්ත‍්‍රවාදය යළිත් මෙරට තහවුරු කරන්නයි.

එබඳු විසම්මුති හා විවේචන දරා ගත හැකි මහත්මා ගුණය ඔබට ඇතැයි මා සිතනවා. එසේම ඔබ වටා දැනටමත් රොක්ව සිටින වන්දිභට්ටයන්ගෙන් ප‍්‍රවේශම් වන ලෙස ද මා ඔබෙන් ප‍්‍රසිද්ධියේම ඉල්ලා සිටිනවා.

ජන සම්මතයෙන් තේරී පත් වන ජන නායකයන් ජනතාවට එපා කරවන්නේ ඔහු හෝ ඇය වටා සිටින වන්දිභට්ට පිරිසයි. මේ බව ඔබ හොඳාකාරවම දන්නවා. අඩු තරමින් ජනාධිපති චරිත දෙකකට මෙය සිදුවනු ඔබ සමීපව දුටුවා.

මේ ඔබේ දේශපාලන ජීවිතයේත් අපේ රටේත් මැන්ඩෙලා මොහොතයි (Mandela Moment). ඉතිහාසයේ මෙබඳු මොහොතක් විවරව පවතින්නේ සීමිත කාලයකට පමණයි. එය වැළඳ ගෙන, මිලියන් 21ක සියලූ ලක් ජනයා ප‍්‍රමාද වී හෝ 21 වන සියවසට කැඳවාගෙන යන්නට ඔබට දිරිය, විරිය හා දීඝායු ලැබේවා.

මෙයට,

කිසිදා ඔබට කීකරු නොවන,

සිවුමංසල කොලූ ගැටයා/නාලක ගුණවර්ධන

See also:

21 July 2013: සිවුමංසල කොලූගැටයා #126 නෙල්සන් මැන්ඩෙලා: ගමන නොනිමෙයි!

28 July 2013: සිවුමංසල කොලූගැටයා #127: මැන්ඩෙලාට සවියක් වූ නිදහස් මතධාරියෝ

20 Oct 2013: සිවුමංසල කොලූගැටයා #139: නෙල්සන් මැන්ඩෙලා විශිෂ්ට සන්නිවේදකයකු වූ සැටි

 

සිවුමංසල කොලූගැටයා #202: 2015 ජනාධිපතිවරණයේ සන්නිවේදන පාඩම්

In this week’s Ravaya column (in Sinhala), published in the issue dated 11 January 2015, I offer an initial analysis of media-based political campaign communications during the run-up to Sri Lanka’s 7th Presidential Election on 8 January 2015. The column was written on 5 January, as physical campaigning (meetings and outdoor promotion) came to an end. The Ravaya issue carrying this hit the newsstands on election day.

In this, I pay particular attention to the use of social media by political parties as well as independent citizens and civil society groups. I also discuss the missed opportunity of holding a televised live debate between the two main candidates – to which opposition’s common candidate Maithripala Sirisena agreed, but was declined by incumbent president Mahinda Rajapaksa.

See also my recent other columns on elections, digital democracy and social media:

සිවුමංසල කොලූගැටයා #199: සමාජ මාධ්‍ය, මැතිවරණ හා ඩිජිටල් ප‍්‍රජාතන්ත‍්‍රවාදය

සිවුමංසල කොලූගැටයා #200: ඩිජිටල් තාක්‍ෂණයෙන් මැතිවරණ ක‍්‍රියාදාමය පිරිසුදු කළ ඉන්දුනීසියාව

සිවුමංසල කොලූගැටයා #201: ශ‍්‍රී ලංකාවේ අරාබි වසන්තයක් හට ගත හැකිද?

 

Social media campaign by citizen groups to encourage everyone to vote in #PresPollSL
Social media campaign by citizen groups to encourage everyone to vote in #PresPollSL

මා මේ කොලම ලියන්නේ 2015 ජනාධිපතිවරණයට තෙදිනකට පෙරයි. මෙය මුද්‍රණයෙන් පිට වන විට ජනාධිපතිවරණ ප‍්‍රතිඵල ලැබෙමින් පවතිනු ඇති. පක්ෂ දේශපාලනයෙන් ඔබ්බට ගිය දේශපාලන සංවාද ඉතා අවශ්‍ය මොහොතක් ඉක්බිති එළැඹෙනවා. එයට දායක වෙමින්, ගෙවී ගිය සති කිහිපයේ ජනාධිපතිවරණය වටා සිදු වූ සන්නිවේදන ක‍්‍රියාදාමයන් ගැන මුල් අදියරේ විග‍්‍රහයක් අපට දැන් කළ හැකියි.

ජනාධිපතිවරණ සන්නිවේදනයේ යෙදුණේ මැතිවරණ කොමසාරිස්වරයා, අපේක්ෂකයන් 19 දෙනා හා ඔවුන්ගේ අනුගාමිකයන් පමණක් නොවෙයි. දේශපාලන උනන්දුව ඇති විද්වතුන්, කලාකරුවන් හා සෙසු පුරවැසියන් ද වැඩිපුර කාලය ගත කළේ මේ ගැන කතාබහ කරන්නයි. මේ සා දැඩි උනන්දුවක් මා අවසන් වරට දුටුවේ 1994දී.

විවිධ කෝණ හා මානවලින් විග‍්‍රහ කළ හැකි මේ සංසිද්ධිය මා විමසන්නේ නව සන්නිවේදන මාධ්‍යයන් හා නව මාධ්‍ය කෙසේ යොදා ගත්තා ද යන්න සෙවීමටයි. අර්ධ වැඩවසම් මානසිකත්වයක තවමත් කොටු වී සිටින ලක් සමාජය නූතනත්වය වැළඳ ගන්නට දෙගිඩියාවකින් පසු වන සැටිත් ඒ හරහා අපට දැකිය හැකියි.

එසේම මේ තරම් සන්නිවේදන මාධ්‍ය තිබියදීත් රටේ ජනමතය හරිහැටි හඳුනා ගැනීම හා කියැවීම කෙතරම් අසීරුද යන්නත් අපට පෙනී යනවා.

සමහරුන් තර්ක කරන්නේ මෙවර අධිතාක්ෂන මැතිවරණ ප්‍රචාරක කැම්පේන් තිබූ බවයි. යෝධ ටෙලිවිෂන් තිර ජනාකීර්න හන්දිවල තැබූ පමණින් හෝ ඉන්ටර්නෙට් හරහා ඉවක් බවක් නැතිව කැම්පේන් පණිවුඩ බෙදා හැරිය පමණින් ඩිජිටල් ප්‍රජාතන්ත්‍රවාදය මෙරටට ළඟා වන්නේ නැහැ.

ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාගේම ප්‍රචාරණ වැඩ සියුම්ව පිරික්සා බලන විට පෙනී ගියේ නව සන්නිවේදන තාක්ෂනයන් හරහා ද ඔවුන් තවමත් අනුගමනය කළේ එක දිශාවකට – එනම් කැම්පේන්කරුවන් වෙතින් මහජනයාට – ගලා ගිය පරණ තාලේ සන්නිවේදන ආකෘතියක් බවයි (one-way communications model).

ඇති තරම් සංවාද කිරීමට සමාජ මාධ්‍යවල මනා විභවයක් තිබුනත් එයට අවශය දැක්ම දෙපිලටම තිබුනේ නැහැ. මේ නිසා වෙබ් සරන මිලියන් හතරක පමණ ලක් ජනයා තම තමන් අතර කළ දේශපාලන සංවාදවලට අපේක්ෂකයන් හෝ ඔවුන්ගේ කැම්පේන් නිල වශයෙන් සම්බන්ධ වූයේ සීමිතවයි. නව දේශපාලන සන්නිවේදනයක් බිහි කිරීමේ අගනා අවස්ථාව දෙපිලම අත හැරියා.

එහෙත් සාපේක්ෂව පොදු විපක්ෂය නව මාධ්‍ය හරහා වඩාත් පුරවැසියන් සමග කථාබහ කළා යයි කිව හැකියි. රජයේ මාධ්‍ය ඔවුනට නොතිබි පසුබිම තුළ ඔවුනට මේ විකල්ප හැකි තරම් යොදා ගන්නට සිදු වූවා.

නවීන සන්නිවේදන තාක්ෂණයන් සූක්ෂම හා අවස්ථානුරූපී ලෙස භාවිත කළ තවත් පිරිසක් ද සිටියා. ඔවුන් ඍජුව දේශපාලන පක්ෂයකට හෝ පක්ෂයක් මුදල් ගෙවා සේවය ලබා ගත් දැන්වීම් ආයතනයකට හෝ අයත් නොවූ, එහෙත් දේශපාලනය හා යහපාලනය ගැන දැඩි උනන්දුවක් ඇති අයයි.

ඔවුන් තනි ගොඩකට වර්ග කරන්නත් අමාරුයි. විශේෂයෙන් ෆේස්බුක්, ට්විටර් (Twitter) හා යූටියුබ් (YouTube) ආදී සමාජ මාධ්‍ය ජාල හරහා දේශපාලන දෙපිලම විචාරයට හා අභියෝගයට ලක් කැරෙන කෙටි, ව්‍යක්ත හා ඇතැම් විට හාස්‍යජනක නිර්මාණ ඔවුන් මුදා හැරියා.

පක්ෂ මාරු කරන දේශපාලකයන්ගේ එදා-මෙදා කතා, පාලක පක්ෂයේ හා විපක්ෂයේ කයිවාරුව හා කෙරුවාව අතර පරතරය, මේ කවුරුත් රැවටීමට තැත් කරන අහිංසක ඡන්දදායකයාගේ සිහින හා අපේක්ෂා, අන්තවාදයට එරෙහිව කැරෙන සමාජ ප‍්‍රතිරෝධය ආදිය මේ නිර්මාණවලට නිමිති වුවා.

ඒවා අකුරින්, රූපයෙන් හෝ වීඩියෝවලින් සමන්විත වූ අතර අධි වියදම් දරා වෘත්තීය මට්ටමෙන් නිපදවන කැම්පේන් දැන්වීම් බොහොමයකට වඩා මේ පුරවැසි නිර්මාණ සාර්ථක වූ බව මගේ වැටහීමයි.

මෙයින් බොහොමයක නිර්මාණකරුවා කවුදැයි සොයා ගන්නත් අපහසුයි. ඒ තරමට ශීඝ‍්‍රයෙන් හා උද්ේ‍යාගයෙන් මේවා සමාජ මාධ්‍ය හා ජංගම දුරකතන හරහා බෙදා ගත් (share කළ) බැවින්. මේවා පොදුවේ හඳුන්වන්නේ වෙබ් මීම් (web memes) නමින්.

මෙරට වෙබ් මීම් උපසංස්කෘතිය ජනාධිපතිවරණය වකවානුවේ කඩඉමක් පසු කොට නව මානයකට පිවිසියා. වෘත්තීය දැන්වීම් සමාගම් හා කැම්පේන් හසුරුවන්නෝ සමහරක් මේ ස්වේච්ඡා පුරවැසි නිර්මාණ කොපි කරන්නට හා ඒවා සමග තරග කරන්න තැත් කරනු පෙනී ගියා. මේ ප‍්‍රවණතා ඉදිරි මැතිවරණවල වඩාත් ප‍්‍රබලව පැන නගිනු ඇති.

Purawesi Balaya = Citizen Power icon
Purawesi Balaya = Citizen Power icon

පුරවැසි බලය වැනි මෑතදී බිහි වූ සිවිල් සංවිධාන හා ක‍්‍රියාකාරිකයන් ද මේ නව මීම් රැල්ල මනා සේ හසුරුවනු මා දුටුවා. මෙවර මැතිවරණයේ ඉතා පුළුල්ව ප‍්‍රතිරාවය වූ වැකියක් වූයේ ‘යටත්වැසියන් නොවී පුරවැසියන් වෙමු’ යන්නයි. මෙරට තත්කාලීන දේශපාලන හා රාජ්‍ය පාලන යථාර්ථයේ ගරා වැටීම කෙටියෙන් හා මැනවින් හසු කර ගත් මෙය ද මීම් එකක් ලෙස හැඳින්විය හැකියි.

තවත් පුරවැසි මාධ්‍යකාරියක විසින් මුදා හැරිය වැකියක් මෙසේයි. ‘උපන් දා සිට කරපු පව් නැත වරක් පැන්නොත් මල්ලියේ!’ පක්ෂ මාරු කිරීමේ ශීඝ‍්‍රතාව වැඩි වෙද්දී සංසරණයට ආ මෙය ද ඉක්මනින් සයිබර් අවකාශය පුරා පැතිර ගියා.

කාටූන් චිත‍්‍ර හැකියාව එතරම් නැතත් හොඳ හාසජ්‍යනක අදහස් මීම් රූප ලෙස බිහි වී අප කුල්මත් කළා.

මෙරට දේශපාලන සන්නිවේදන ඉතිහාසයේ ප‍්‍රථම වතාවට නාමික හෝ නිර්නාමික සාමාන්‍ය පුරවැසියන්ට නිර්මාණශීලී ලෙස දේශපාලන සිදුවීම් ගැන පොදු අවකාශයේ ඉක්මන් ප‍්‍රතිචාර දැක්වීමට හැකිව තිබෙනවා.

දේශපාලන නායකයන් හා කැම්පේන්කරුවන් කියන දෙය ඡන්දදායක මහජනතාව වැඳ ගෙන ඔහේ අසා සිටි කාලය ඉවරයි. දැන් මතුව එන්නේ අප කාටත් සංවාද විසංවාද හා තර්ක කළ හැකි නව සන්නිවේදන යථාර්ථයක්.

රටේ ජනගහනයෙන් 25%ක් පමණ ඉන්ටර්නෙට් භාවිත කරන අතර වැඩිහිටියන් අතිබහුතරයක් අත ජංගම දුරකතන තිබෙන අද දවසේ මෙබඳු සන්නිවේදනවලින් ජනමතයට ඇති වන බලපෑම සුළුපටු නොවේ. එහෙත් අපේ දේශපාලන පක්ෂ හෝ සරසවි මාධ්‍ය පර්යේෂකයන් මේ නව යථාර්ථය තවම තේරුම් ගෙන නැහැ.

බ්ලොග් රචක හා දේශපාලන විචාරක අජිත් පැරකුම් ජයසිංහ 2015 ජනවාරි 4 වැනිදා ලියූ පරිදි: “මෙම ස්වේච්ඡා මාධ්‍ය බලකාය සමාජ මාධ්‍ය අවකාශය ආක්‍රමණය කළහ. අන් කිසිදු මැතිවරණයකට වඩා මෙම ජනාධිපතිවරණයේදී සමාජ මාධ්‍ය දැවැන්ත භූමිකාවක් රඟ දැක්වූයේය. අද වන විට තරුණ පරපුරෙන් 80‍% පරිගණක සාක්ෂරතාව සහිත අය වන අතර ජංගම දුරකථනය එදිනෙදා අත්‍යවශ්‍ය මෙවලමක් වි තිබේ. මේ අය අතර සමාජ ජාල අතිශය ජනප්‍රිය යග ඔවුන්ට එහි බලපෑම දැඩිව දැනිණි. ඔවුන් හරහා පණිවුඩ ගම් නියම් ගම් දක්වා පැතිරිණි.”

අජිත් හා මා වැන්නවුන් මේ නව අවකාශයන්ට වඩාත් සමීප නිසා ඒවා අධිතක්සේරු කරනවා යැයි යමකු තර්ක කළ හැකියි. ෆේස්බුක් ජාලයට සමහරුන් නිගරුවට මෙන් යොදන ‘බුකිය’ වචනය භාවිත කරමින් මෙවන් අයකු මෑත දිනෙක කීවේ ‘බුකියේ මතය නොවෙයි බහුතරයක් ලක් සමාජයේ මතය’ යනුවෙන්.

මැතිවරණ ප‍්‍රතිඵල හරහා මෙහි යථාර්ථය පෙනී යනු ඇති. එහෙත් මිලියන් හතරක් පමණ ලාංකිකයන් සැරිසරන වෙබ් අවකාශය හා මිලියන් 15ක් දෙනා ඇති ජංගම දුරකතන නොතකා ජනමතය විමර්ශනය කිරීම ද නුවණට හුරු නැහැ. (ස්මාට් ෆෝන් මිලියන 3ක් පමණ මෙරට ඇතැ’යි අනුමාන කරන අතර ඒ හැම එකකින්ම ඉන්ටර්නෙට් සබඳතා ලද හැකියි. බහුමාධ්‍ය රූප ඵඵී හුවමාරු කර ගන්නටත් පුළුවන්.)

මෙරට දේශපාලන පක්ෂ තවමත් යල්පැන ගිය සන්නිවේදන මානසිකත්වයක සිටින බව තහවුරු කළ තවත් එක් අවස්ථාවක් වූයේ ප‍්‍රධාන ජනාධිපති අපේක්ෂකයන් දෙදෙනා අතර නොකෙරුණු සජීව ටෙලිවිෂන් විවාදයයි.

TV Debate that never was: Mawbima newspaper front page 14 Dec 2014
TV Debate that never was: Mawbima newspaper front page 14 Dec 2014

2013 නොවැම්බර් 24දා මගේ කොලම අවසන් කරමින් මා මෙසේ කීවා: “අමෙරිකාවේ මෙන් කෙදිනක හෝ අපේ රටේත් ජනාධිපති අපේක්‍ෂකයන් අතර ටෙලිවිෂන් විවාද පැවැත්වෙනු ඇතිදැයි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එඞ්වින් ආරියදාසයන්ගෙන් මා විමසුවා. ඔහු කීවේ එබදු විවාද හරිහැටි පැවැත්වීමට නම් අපක්‍ෂපාතී පෞරුෂයක් ඇති ටෙලිවිෂන් මාධ්‍යකරුවන් හා නිර්භය හිමිකරුවන් සිටීම අත්‍යවශ්‍ය බවයි. නැතිනම් එක් පාර්ශවයක හෝ අනෙක් පාර්ශවයේ බලපෑම්වලට නතු විය හැකියි. මෙබදු ස්වාධීනත්වයක් ළගදී මෙරට බලාපොරොත්තු විය නොහැකි බව ආරියදාසයන්ගේ මතයයි.”

2014 දෙසැම්බර් 13දා මගේ ට්විටර් සමාජ මාධ්‍ය ගිණුම @NalakaG හරහා මා මේ ප‍්‍රශ්නය මතු කළා: “ජාත්‍යන්තර ස්වරූපයේ සජීව ටෙලිවිෂන් විවාදයකට අපේක්ෂකයන් දෙදෙනා කැඳවන්නට දැන්වත් ශ‍්‍රී ලංකාව සූදානම්ද? එසේ නම් කුමන නාලිකාවද?”

මෙයට ට්විටර් හරහා නොසිතූ තරම් දුසිම් ගණනාවක මහජන ප‍්‍රතිචාර ලැබුණා. එයින් බහුතරයක් දෙනා මෙබන්දක් කළොත් හොඳ බව පිළිගත්ත ද එයට සරිලන නාලිකාවක් හෝ අපක්ෂපාතව එය මෙහෙයවිය හැකි චරිතයක් හමු වේදැ’යි ප‍්‍රශ්න කළා.

මුළුමනින් අපක්ෂපාතී මාධ්‍ය නාලිකා ලොව කිසි තැනෙක නැති බවත්, අවශ්‍ය වන්නේ ප‍්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාගේ ප‍්‍රවර්ධන ව්‍යාපාර (කැම්පේන්)වලට පිළිගත හැකි පොදු රාමුවකට එකඟ වී එය ක‍්‍රියාත්මක කිරීම බවත් මා කියා සිටියා.

විවාදය ටෙලිවිෂන් නාලිකා සියල්ලේ එකවර විකාශය කිරීම, රූපවාහිනී නාලිකාව හා ප‍්‍රධාන පෙළේ පෞද්ගලික නාලිකා එකක හෝ දෙකක සම සහභාගිත්වයෙන් විවාදය සිදු කිරීම ආදී විකල්ප යෝජනා වුණා.

සමාජ මාධ්‍ය සංවාදවල අපූරුව නම් එකිනෙකා නොහඳුනන උද්යෝගිමත් පිරිසක් මෙබඳු කාලීන හා වැදගත් මාතෘකාවක් ගැන විවෘතව හා සංවරව මත දැක්වීමයි. මේ සයිබර් සංවාදයේ යම් තැනෙක මෙබඳු විවාදයක් මෙහෙයවීමට පරිණත මාධ්‍ය බරිත සිටීදැ’යි එක් තරුණ පුරවැසි මාධ්‍යවේදියකු (ගිහාන් ප‍්‍රනාන්දු) අභියෝගාත්මකව මගෙන් ප‍්‍රශ්න කළා.

කිසිදු ටෙලිවිෂන් නාලිකාවක දැනට සක‍්‍රීය සේවයේ නියුතු නිවේදකයන් හෝ තීරකයන් හෝ නොසලකා මේ අසාමාන්‍ය කටයුත්තට ගාම්භීර, කෘතහස්ත හා දේශපාලනිකව පක්ෂග‍්‍රාහී නැතැ’යි පෙනෙ අයකු සොයා ගත යුතු බව මගේ නිර්දේශය වූවා. මේ සඳහා මා නම් දෙකක් යෝජනා කළා. පළමුවැන්නා මෙරට ජ්‍යෙෂ්ඨතම ඉංග‍්‍රීසි පුවත්පත් කතුවරයකුව සිට දැන් පොත් වෙළෙඳාමේ නිරත වන විජිත යාපායි. දෙවැන්නා මෙරට ටෙලිවිෂන්-රේඩියෝ මාධ්‍ය දෙකෙහිම පුරෝගාමී හපන්කම් කළ අඩ සියවසක විද්‍යුත් මාධ්‍ය අත්දැකීම් ඇති පාලිත පෙරේරායි.

මේ ට්විටර් සංවාදයේ යම් අවස්ථාවක මාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය චරිත හේරත් ද එයට සම්බන්ධ වුණා. ඔහු කීවේ අපේක්ෂකයන් වෙනුවට ඔවුන්ගේ ප‍්‍රතිපත්ති උපදේශකයන් දෙපිලක් ලෙස මැතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශන ගැන විවාද කළ හැකි බවයි. එහෙත් ජනාධිපතිවරණයක් යනු රටේ නායකයා තෝරන ඡන්දයක් නිසා අපේක්ෂකයන්ම සහභාගි වී මුහුණට මුහුණ ලා සිය දැක්ම හා ප‍්‍රතිපත්ති ගැන විවාද කළ යුතු බව බහුතරයකගේ අදහස ලෙස ඉක්මනින්ම මතු වුණා.

මේ සියල්ල සයිබර් අවකාශයේ කතාබහ වූයේ එක් සෙනසුරාදාවක දහවලේ හා සැන්දෑවේ. ඊට පසුවදා ඉරිදා සමහර පුවත්පත්වලත් ජනාධිපති අපේක්ෂක සංවාදය ගැන පුවත් පළ වුණා. මගේ මාධ්‍ය මිතුරකු මට මතක් කර දුන්නේ 1981 අංක 15 දරන ජනාධිපතිවරණ පණතේ 117 වන වගන්තියේ මෙබඳු විවාදයකට නීතියෙන්ම ඉඩක් ලබා දී ඇති බවයි.

අවම වශයෙන් අපේක්ෂකයන් දෙදෙනකු එකඟ වේ නම් ඔවුන් අතර විද්‍යුත් මාධ්‍ය විවාදයක් පැවැත්විය හැකි බවත්, ඒ සඳහා ගුවන්විදුලි අධ්‍යක්ෂ ජනරාල්වරයා අවශ්‍ය මාධ්‍ය යටිතල පහසුකම් ලබා දිය යුතු බවත් එහි කියැවෙනවා. මේ වගන්තිය ටෙලිවිෂන් මාධ්‍යයටත් අදාළ කරගත හැකියි. (1981දී මේ නීතිය සම්පාදනය වන විට ඇරැඹී නොතිබි රූපවාහිනී සංස්ථාව 1982 මුල්ම ජනාධිපතිවරණය පැවති වසරේම විකාශයන් පටන් ගත්තා.)

ජනාධිපති අපේක්ෂකයන් අතර සජීව ටෙලිවිෂන් විවාදයට මෛත‍්‍රීපාල සිරිසේන පොදු විපක්ෂ අපේක්ෂකයා සූදානම් බවට එළැඹුණු දින කිහිපයේ ප‍්‍රකාශයට පත් වුණා. එහෙත් අපේක්ෂක මහින්ද රාජපක්ෂ එයට ඉදිරිපත් නොවූ නිසා විවාදය සිදු වූයේ නැහැ.

පසුව ශ‍්‍රී ලංකා නීතිඥ සංගමය නීතිය හා යුක්තියට අදාළ තේමාවන් ගැන විවාදයකට මේ දෙපළටම විවෘත ඇරයුමක් කළත් එය ද රාජපක්ෂ පිල පිළි ගත්තේ නැහැ. නීතිඥ ක්ෂේත‍්‍රය වෙනුවෙන් විවාදය මෙහෙයවීමට ජ්‍යෙෂ්ඨ නීතිවේදීන් තිදෙනකු පවා තෝරා ගෙන සිටියා.

විවාදයකට ඒම හෝ නොඒම අපේක්ෂකයන්ගේ අභිමතය වුවත් පොදු උන්නතිය හා රටේ අනාගතය ගැන කැක්කුමක් ඇති ලෙසින් මැතිවරණ ප‍්‍රචාරණයේ යෙදුණු අපේක්ෂකයකු ප‍්‍රසිද්ධ විවාද දෙකක් (ටෙලිවිෂන් හා නීතිඥ සංගමයේ) මග හැරියේ ඇයි?

තමන්ගේ ප‍්‍රතිපත්ති හා මෙතෙක් ආ මග සාධාරණීකරණය කිරීම කෘතහස්ත දේශපාලකයන්ට අමාරුද?

ජනාධිපති අපේක්ෂකයන් අතර සජීව විවාද පැවැත්වීම ඇමරිකානු සම්ප‍්‍රදායක් යැයි ද එබඳු බටහිරට පුරුදු අපට අනවශ්‍ය යැයි තර්ක කළ අයද සිටියා. මේ විවාද පැවැත්වීම නූතන යුගයේ ඇරැඹුණේ 1960 අමෙරිකානු ජනාධිපතිවරණයේදී බව සැබෑවක්. එහෙත් එම සංකල්පය මේ වන විට ලොව විවිධ රටවල ක‍්‍රියාත්මක වනවා.

2010 මැයි මැතිවරණයට පෙර බි‍්‍රතාන්‍යයේ දේශපාලන පක්ෂ නායකයන් අතර පළමුවරට සජීව ටෙලිවිෂන් විවාද 3ක් පැවැත් වුණා. විවාද මෙහෙය වූයේ එහි ප‍්‍රවීණතම විද්්‍යුත් මාධ්‍යවේදීන් තිදෙනෙක්. කන්සර්වෙටිව්, කම්කරු හා ලිබරල් පක්ෂ නායකයන් සහභාගි වූ මේ විවාදවලට පෙර අදාළ විවාද කොන්දේසි 70ක් දේශපාලන පක්ෂ සියල්ල එකඟ වී සිටියා.

2013 පෙබරවාරියේ කෙන්යාවේ ජනාධිපතිවරණයේ අපේක්ෂකයන් එරට මුල්ම සජීව ටෙලිවිෂන් විවාදයට සහභාගි වුණා. පැය තුනහමාරක් සජීවී ලෙසින් ටෙලිවිෂන් හරහාත්, ඉන්ටර්නෙට් යූටියුබ් හරහාත් කෙන්යානුවෝ එය නැරඹුවා. සමහර ප‍්‍රශ්නවලට අපේක්ෂකයන් හරිහැටි පිළිතුරු නොදී ලිස්සා ගිය බවට චෝදනා ද එල්ල වුණා. තමන්ගේ දේශපාලන දැක්ම හා ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය විවෘත සභාවක් අබියස ව්‍යක්තව පහදා දීමේ හැකියාව ඇත්තේ කුමන අපේක්ෂකයන්ට ද යන්න කෙන්යානු ඡන්දදායකයන්ට බලා ගත හැකි වුණා. එයට ප‍්‍රතිචාර දැක් වූ එක් පේ‍්‍රක්ෂකයෙක් කීවේ ‘දේශපාලන වේදිකාවල වෛරීය කතා කරනවාට වඩා සංයමයෙන් හා ප‍්‍රතිපත්තිවලට අවධානය යොමු කරමින් අපේක්ෂකයන් හැසිරුණු ආකාරය ප‍්‍රශංසනීයයි.’

European Union Presidency - Candidates join TV debate in May 2014
European Union Presidency – Candidates join TV debate in May 2014

2014 මැයි මාසයේ යුරෝපා කොමිසමේ ජනාධිපති තනතුරට ඉදිරිපත් වූ අපේක්ෂකයන් නෙදර්ලන්තයේ මාස්ට‍්‍රයික්ට් නුවරදී සජීව ටෙලිවිෂන් විවාදයකට සහභාගි වුණා. එය EuroNews නාලිකාව මගින් ලොව පුරා සජීව ලෙසින් විසුරුවා හැරියා.

ජපානය ද මහ මැතිවරණයකට පෙර ප‍්‍රධාන පක්ෂවල නායකයන් සම්බන්ධ කර ගෙන මෙබඳු සජීවී ටෙලිවිෂන් විවාද පවත්වයි. එයට මුල් වන්නේ එම මාධ්‍ය ක්ෂේත‍්‍රයේ නායකත්ව මට්ටමක සිටින ප්‍රෙස් ක්ලබ් හෙවත් මාධ්‍ය සමාජයයි.

මේ හැම විවාදයක්ම මෙන්ම ගෙවී ගිය අඩ සියවසක ඇමරිකානු ජනාධිපති අපේක්ෂක විවාදයන් ද යූටියුබ් හරහා ඕනෑම අයකුට නැරඹිය හැකියි. මේ සම්ප‍්‍රදාය ටිකෙන් ටික ප‍්‍රචලිතවීමත් සමග පූර්ව මැතිවරණ කාලය තුළ වඩාත් හරවත්ව මාධ්‍ය යොදා ගැනීමකට හා දේශපාලන සංස්කෘතිය වඩාත් සහභාගිත්ව මට්ටමකට ගෙන ඒමට උපකාර වනවා.

මේ ගෝලීය ප‍්‍රවණතාවලට ශ‍්‍රී ලංකාව කවදා අනුගත වේද?