සිවුමංසල කොලු ගැටයා #368: #FakeNews ව්‍යාජ පුවත්වලට නීතියෙන් වැට බැඳිය හැකිද?

Fake News is not new. The phenomenon has been around, in one form or another, for decades! Many of us in the global South have grown up amidst intentionally fake news stories in our media, some of it coming from governments, no less.

Fake News is merely a symptom of a wider and deeper crisis.It is a crisis of public trust in journalism and media that has been building up over the years in many countries. Fake News fills a vacuum of credibility.

In my latest Ravaya column (in Sinhala), published on 24 June 2018, I revisit the topic of Fake News to discuss if and how legal regulation can help counter Fake News. I argue that any new laws should be introduced very carefully, so as not to allow governments to restrict freedom of expression. I look at the botched Indian attempt to penalise journalists over Fake News, and the new Anti-Fake News Law in Malaysia (April 2018) that has been widely criticised for overbroad definitions and regulatory overreach.

In the end, I conclude: even the best laws can be a partial solution to the Fake News crisis. A healthy dose of scepticism can filter out a good deal of disinformation surrounding us. We also have to build media literacy as a modern-day survival skill, and nurture independent fact checking services.

Can laws stop Fake News?

ව්‍යාජ පුවත් හෙවත් Fake News ගැන මීට පෙර දෙවතාවක් මා විග්‍රහ කළා.

2017 මැයි 14 වැනිදා ‘ව්‍යාජ පුවත් ප්‍රවාහයෙන් තොරතුරු සමාජය බේරා ගත හැකිද?’  යන මැයෙන්ද, 2017 ජූනි 18 වැනිදා ‘ව්‍යාජ පුවත්වලින් මතු වන සැබෑ අභියෝග’ මැයෙන් ද, එම තීරු ලිපි පළ වුණා.

ව්‍යාජ පුවත් සංකීර්ණ සංසිද්ධියක් බවත්, එම ලේබලය ප්‍රවේශමින් භාවිත කළ යුතු බවත් මා අවධාරණය කළා.

මා යොදා ගන්නා නිර්වචනය මෙයයි. යම් තොරතුරක් වැරදි බව දැන දැනම එය සැබෑ පුවතක් ලෙස වාර්තා කිරීම හෝ පතුරුවා හැරීම ව්‍යාජ පුවතක්.

අද යළිත් මේ මාතෘකාවට පිවිසෙන්නේ ව්‍යාජ පුවත් පිළිබඳ සමාජ සංවාද දිගටම සිදු වෙමින් තිබෙන නිසයි.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, තමන්ට හිතකර නොවන පුවත් හෝ විවේචනාත්මක මාධ්‍ය විග්‍රහයන් සියල්ල ගෙඩි පිටින් හෙළා දැකීමට Fake News යෙදුම අවමන් සහගතව නිතර යොදා ගන්නවා.

දැන් දැන් වෙනත් රටවල දේශපාලකයන්ටද මේ පුරුද්ද ව්‍යාප්ත වන හැඩයි. අපේ සමහර දේශපාලකයොත් තමන් නොරිසි වාර්තා හෝ විග්‍රහයන්ට මේ ලේබලය ඇලවීමට පටන් අරන්.

මෙයින් සිදු වන්නේ තත්ත්වය තවත් ව්‍යාකූල වීම පමණයි. ව්‍යාජ පුවත් යනු නොයෙක් අයට විවිධාකාරයේ විග්‍රහ කළ හැකි, නිශ්චිත නොවන යෙදුමක්. මේ නිසා එය භාවිත කිරීම ප්‍රවේශමින් කළ යුත්තක්.

ඉංග්‍රීසි බසෙහි ඊට වඩා නිශ්චිත වූ යෙදුම් දෙකක් තිබෙනවා. අර්ථය ආසන්න වශයෙන් සමාන යයි බැලූ බැල්මට පෙනුණත් ඒ දෙක විස්තර කරන්නේ ප්‍රපංචයන් දෙකක්.

වඩාත් භයානක හා හානිකර වන්නේ හිතාමතාම ගොතා, අතිශයෝක්ති කොට හෝ විකෘති කොට මුදා හරින තොරතුරුයි. මේවාට Disinformation කියනවා. මහජනයා වුවමනාවෙන්ම නොමග යැවීම හා රැවටීම මේවායේ අරමුණයි.

අපේ රටේ බොහෝ ආණ්ඩු, විපක්ෂ දේශපාලන පක්ෂ, යුද්ධ සමයේ හමුදාව, වෙළඳෙ ප්‍රචාරණ සමාගම් මෙන්ම සමහර සිවිල් සමාජ සංවිධානද හිතාමතා බොරු ප්‍රචාර කිරීම පිළිබඳව උදාහරණ එමට තිබෙනවා.

තමන් කුමන හෝ මූලාශ්‍රයකින් ඇසූ, දුටු හෝ කියැවූ වැරදි තොරතුරක්, එය වැරදි බව වටහා නොගෙන ප්‍රතිරාවය කිරීම හෙවත් බෙදා ගැනීමට කියන්නේ Misinformation කියායි. තහවුරු කිරීමකින් තොරව, හරිහැටි විමර්ශනය නොකර හා වගකීම් විරහිතව මෙසේ ප්‍රතිරාවය කරන අය එමට සිටිනවා.

Sri Lanka’s mainstream media have been peddling disinformation for decades. Readers have devised their own filters to discern fake from real, but it’s not always easy!

අපේ රටේ ජනමාධ්‍යවල මේ දෙආකාරයේම දුස්තොරතුරු නිතර හමු වනවා.

සමහරක් ව්‍යාජ පුවත් මාධ්‍ය කතුවරුන් හෝ මාධ්‍ය ආයතන හිමිකරුවන් විසින් ඕනෑකමින්ම නිර්මාණය කොට බෙදා හරිනු ලබනවා. මෙයට දේශපාලනික, ව්‍යාපාරික හෝ වර්ගවාදී හේතු මුල් විය හැකියි.

යම් චරිත, ආයතන හෝ සංකල්ප පුම්බන්නටත්, තවත් සමහර චරිත, ආයතන හෝ සංකල්ප පිළිබඳව මහජන අප්‍රසාදය ඇති කිරීමටත් මෙවන් ව්‍යාජ පුවත් මැවීම නිරතුරුව සිදු කැරෙනවා.

රාජ්‍ය මාධ්‍ය ආයතන, බලයේ සිටින රජයේ ප්‍රචාරණ යාන්ත්‍රණ බවට පත් වීම දශක ගණනාවක් තිස්සේ දිගටම සිදු වූවක් නිසා අද වන විට මාධ්‍ය ග්‍රාහකයෝ එය මාධ්‍ය අවභාවිතයක් ලෙස දකින්නෙත් නැති තරම්.

මෑත කාලයේ ආර්. ප්‍රේමදාස හා මහින්ද රාජපක්ෂ ජනපතිවරුන් යටතේ රාජ්‍ය මාධ්‍ය අපහරණය සීමාන්තික ලෙස සිදු වුණා.

උදාහරණ එමටයි. හොඳම උදාහරණ සඳහා 1991 සැප්තැම්බරයේ ප්‍රේමදාසට එරෙහිව දෝෂායෝභියෝගයක් මතුව ආ පසුවත්, 2014 නොවැම්බරයේ රාජපක්ෂට එරෙහිව විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන ඉදිරිපත් වූ පසුවත් ලේක්හවුස් දිනපතා හා සතිඅන්ත පත්තරවල මුල් පිටු හැකිනම් සොයා ගෙන කියවන්න.

එකී වකවානුවල ලේක්හවුස් පුවත්පත් මාධ්‍ය විසින් පුවත් ආවරණයේදී පවත්වා ගත යුතු තුලනය පමණක් නොව සියලුම ආචාරධර්මීය සීමාද ඉක්මවා ගිය සැටි අපට මතකයි.

ව්‍යාජ පුවත් මවන්නේ, සැබෑ සිදුවීම් වාර්තාකරණයේදී දැඩි ලෙස විකෘති කරන්නේ රාජ්‍ය මාධ්‍ය පමණක් නොවෙයි. බොහෝ පෞද්ගලික පුවත්පත්, රේඩියෝ හා ටෙලිවිෂන් ආයතනද එයම කරනවා.

හිතාමතා මවන ව්‍යාජ පුවත් හා පුවත් විකෘති කිරීම්වලට අමතරව නොසැලකිල්ල, නොදන්නාකම, අලසබව හා වෘත්තීයභාවය නොතැකීම නිසා අපේ මාධ්‍යවලට නිරායාසයෙන් පිවිසෙන වැරදි තොරතුරුද සැලකිය යුතු ප්‍රමාණයක් තිබෙනවා.

දේශපාලකයන්, සරසවි ඇදුරන්, වෘත්තිකයන් හා පූජකයන් වැනි නාමධාරී පුද්ගලයන් අතර සමහරුන් පොදු අවකාශයේ (ප්‍රසිද්ධ රැස්වීම්, මාධ්‍ය සාකච්ඡා ආදියේදී) කරන වැරදි සහගත ප්‍රකාශ එලෙසින්ම, විමර්ශනයකින් තොරව පළ කිරීම අපේ මාධ්‍යවල සුලබ වැරැද්දක්.

මෙයට එක් ප්‍රබල උදාහරණයක් 2017 මුලදී මතු වුණා. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225න් 94 දෙනකු අඩු තරමින් අපොස සාමාන්‍ය පෙළවත් සමත් වී නැතැයි මාධ්‍ය රැසක් වාර්තා කළා. ඔවුන් සියල්ල මූලාශ්‍රය ලෙස උපුටා දැක්වූයේ දේශපාලන විද්‍යාව පිළිබඳ විශ්‍රාමික සරසවි ඇදුරෙක්.

එකී මහාචාර්යවරයා ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කළ ප්‍රකාශයක් වැඩි තතු නොවිමසා මාධ්‍ය වාර්තා කළා. මන්ත්‍රීවරුන් පිළිබඳ ජනප්‍රිය මහජන ආකල්පයකටද එය අනුගත වුණා.

මේ ගැන පසු විපරමක් කළේ ඉංග්‍රීසි සතිඅන්ත පුවත්පතක මාධ්‍යවේදිනියක් පමණයි. ඇය අදාළ මහාචාර්යවරයාට දුරකතනයෙන් කතා කොට මේ දත්තයට පදනම විමසුවා. එතැනදී ඔහු කියා ඇත්තේ එය තමා කළ තොරතුරු විමර්ශනයකින් හෙළි වූවක් නොව තමාද එය ටික කලකට පෙර මොකක්දෝ පුවත්පතක කිය වූවක් බවයි! අඩු තරමින් එම පුවත්පතේ නම පවා ඔහුට මතක නැතිලුෟ

මේ අතර පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය කියා තිබුණේ මන්ත්‍රීවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ තොරතුරු තමන් එක් රැස් නොකරන බවයි.

ඉන්ටර්නෙට් ගත වී සරල ගූගල් සෙවීමක් කළ විට පෙනී ගියේ 2014 සැප්තැම්බරයේ බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා (2010-2015 පැවති) පසුගිය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට අදාළව පවසා තිබුණේ 94 දෙනකු සාමාන්‍ය පෙළ අසමත්ව සිටි බවයි.

එහෙත් 2015 අගෝස්තුවේ තේරී පත් වූ වත්මන් පාර්ලිමේන්තුවට එම සංඛ්‍යාවම ආදේශ කරන්නේ කෙලෙසද?

මහාචාර්යවරයා නොසැලකිලිමත්ව කළ ප්‍රකාශය මාධ්‍ය එලෙසින්ම වාර්තා කළා. එය පදනම් කරගෙන විග්‍රහයන් හා කතුවැකි පවා ලියූ සියලු මාධ්‍ය ව්‍යාජ පුවතක හවුල්කරුවන් බවට දැනුවත්ව හෝ නොදැනුවත්ව පත් වුණා.

මාධ්‍යවේදීන් සතු විය යුතු සංශ්‍යවාදීබව  (skepticism) මෙරට කෙතරම් දුර්ලභද යන්නත් මේ උදාහරණයෙන් හොඳාකාර පේනවා.

ව්‍යාජ පුවත් නොහොත් දුස්තොරතුරු බෙදා හැරීම කෙතරම් සංකීර්ණද යන්න මේ දක්වා කියැවූ ඔබට වැටහෙනවා ඇති. මේ නිසාම ව්‍යාජ පුවත් ඉලක්ක කර ගත් නව නීති හෝ නියාමන ක්‍රමවේද හඳුන්වාදීමද අතිශය දුෂ්කර කාරියක්.

ආසියානු රටවල් දෙකක මෑත මාසවල අත්දැකීම් සලකා බලමු.

2018 මාර්තු මාසයේ ඉන්දියාවේ ප්‍රවෘත්ති හා විද්‍යුත් මාධ්‍ය අමාත්‍යාංශය කීවේ ව්‍යාජ පුවත් බිහි කිරීම හා ඒවා බෙදා හැරීම කරන මාධ්‍යවේදීන්ට හා ඔවුන්ගේ මාධ්‍ය ආයතනවලට ‘විපාක විඳීමට සිදු වනු ඇති’ බවයි.

‘ව්‍යාජ පුවත්’ නිර්වචනය නොකර ඉන්දියානු රජය කීවේ එවන් දේ කරන මාධ්‍ය එරට පුවත්පත් මණ්ඩලයට හෝ විද්‍යුත් මාධ්‍ය නියාමන ආයතනයට යොමු කැරෙනු ඇත කියායි. චෝදනා ඔප්පු වුවහොත් අදාළ මාධ්‍යවේදියාගේ මාධ්‍ය හැඳුනුම්පත (media accreditation) අහෝසි වනු ඇතැයි ප්‍රකාශ කෙරුණා. (මුල් වරදට මාස 6ක් දක්වා, දෙවැනි වරදට වසරක් දක්වා සහ තෙවරක් වරද ඔප්පු වුවහොත් සදාකාලිකව.)

India government’s plans to regulate against Fake News, proposed and hastily withdrawn in April 2018

මෙය නිවේදනය කළ වහාම එරට මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදී සංවිධාන ප්‍රබලව සිය විරෝධය පළ කළා. මෙය මාධ්‍ය හීලෑ කොට මර්දනය කිරීමට ගන්නා උත්සාහයක් බවත්, දැනටමත් සියලු මාධ්‍යවේදීන් නිවැරදිව හා සමබවර වාර්තාකරණයේ යෙදිය යුතු බව පුවත්පත් මණ්ඩලයේ ආචාරධර්ම අතර කියැවෙන නිසා අමතර කිසිදු නියාමනයක් අවශ්‍ය නැති බවත් ඔවුන් අවධාරණය කළා.

මේ විරෝධතා හමුවේ අගමැති නරේන්ද්‍ර මෝඩි සිය ප්‍රවෘත්ති අමාත්‍යාංශයේ යෝජනාව ඉක්මනින්ම ඉවත් කර ගත්තා. අමාත්‍යාංශයේ මැදිහත් වීමකින් තොරව, පවත්නා රාමුව යටතේ පුවත්පත් මණ්ඩලයට හා විද්‍යුත් මාධ්‍ය නියාමන ආයතනයට ව්‍යාජ පුවත් ගැනද ප්‍රතිචාර දැක්විය හැකි යැයි ඔහු කියා සිටියා.

මැලේසියාවේ සිදු වූයේ මීට වෙනස් දෙයක්. 2018 අප්‍රේල් 2 වැනිදා එරට පාර්ලිමේන්තුව ව්‍යාජ පුවත් විරෝධී නව නීතියක් සම්මත කළා. ඕනැම මාධ්‍යයක් හරහා ව්‍යාජ පුවත් නිර්මාණය කිරීම හෝ සංසරණය කිරීම පිළිබඳ චෝදනා ඔප්පු වන ඕනෑම අයකුට මැලේසියානු රිංගිට් 500,000ක් (අමෙරිකානු ඩොලර් 128,000 පමණ) දක්වා දඩයක් හෝ වසරක් දක්වා සිරදඬුවමක් හෝ මේ දෙකම නියම කළ හැකියි.

හිටපු අගමැති නජීබ් රසාක් මේ නීතිය ගෙන ආවේ මහ මැතිවරණයක් අබිමුඛව තිබියදී. එසේම ඔහුගේ රජය මහා පරිමාණ රාජ්‍ය මුදල් වංචා කිරීම පිළිබඳ බරපතළ චෝදනා එල්ල වී තිබෙන අතරදී.

Malaysian campaign against Fake News

ඉක්මනින් ක්‍රියාත්මක කළ නව නීතිය යටතේ මුලින්ම වරදකරු වූයේ එරට සිටි ඩෙන්මාක් ජාතිකයෙක්. 2018 අප්‍රේල් 30දා ඔහු වරදකරු ලෙස තීරණය වූයේ එරට පොලිසිය, අපරාධ සිදුවීමකදී ප්‍රමාද වී ප්‍රතිචාර දැක්වූවා යයි සමාජ මාධ්‍ය ජාලයක් වන යූටියුබ්හී වීඩියෝවක ප්‍රකාශ කිරීම නිසායි.

වරද පිළිගත් ඔහුට අමෙරිකානු ඩොලර් 2,550ක දඩයක් නියම වූ අතර එය ගෙවා ගත නොහැකි වූ නිසා මාසයක සිරදඬුවමක් නියම වුණා.

එවකට විපක්ෂයේ සිටි බොහෝ මැලේසියානු දේශපාලන නායකයෝ මෙම නව නීතිය දැඩි ලෙස විවේචනය කළා. අමෙරිකානු ඩොලර් බිලියන් 5ක් පමණ රාජ්‍ය මුදල් ප්‍රමාණයක් සොරකම් කිරීම පිළිබඳව ඍජුවම චෝදනා ලැබ සිටි අගමැතිවරයා ඒ ගැන පුවත් මර්දනයට මේ නීතිය යොදා ගනු ඇතැයි ඔවුන් බිය පහළ කළා.

නජිබ්ට එරෙහිව පෙළ ගැසුණු අසාමාන්‍ය විපක්ෂ සන්ධානයේ නායකත්වය දැරූ ජ්‍යෙෂ්ඨ දේශපාලක මහතීර් මොහමඩ් මැතිවරණ කැම්පේන් සමයේ කීවේ තමන් දිනූ විට මේ මර්දනකාරී නීතිය අහෝසි කරන බවයි.

2018 මැයි 9 වැනිදා පැවති මැලේසියානු මහ මැතිවරණයේදී වසර 61ක් එක දිගට බලයේ සිටි පාලක පක්ෂය පරාජය වුණා. ආසන 222න් 121ක් ලබා ගත් විපක්ෂ සන්ධානය බලයට පත්වූ අතර 92 හැවිරිදි මහතීර් නැවත වරක් එරට අගමැතිවරයා වී සිටිනවා.

වඩාත් ප්‍රගතිශීලී ප්‍රතිපත්ති ප්‍රකාශනයක් මත මැතිවරණය දිනූ නව රජයට එරට සිවිල් සමාජ සංවිධාන හා මාධ්‍යවේදීන්ගේ සංවිධාන ප්‍රතිසංස්කරණ යෝජනා මාලාවක් ඉදිරිපත් කොට තිබෙනවා. ඒ අතර එක් ප්‍රබල ඉල්ලීමක් නම් ව්‍යාජ පුවත් විරෝධී නීතිය ඉවත් කිරීමයි. මැතිවරණයට පෙර දුන් පොරොන්දුව මහතීර් ඉටු කරයිද යන්න ඔවුන් මහත් ඕනෑකමින් බලා සිටිනවා.

මේ අතර පිලිපීනයේ හා සිංගප්පූරුවේ රජයන්ද ව්‍යාජ පුවත් නියාමනය සඳහා නව නීති යෝජනා කොට තිබෙනවා. සංකීර්ණ සංසිද්ධියකට මෙසේ නීතිමය විසඳුමක් පමණක් ලබා දීමට තැත් කිරීම ඒ රටවල සමාජ ක්‍රියාකාරිකයන්ගේ විවේචනයට ලක්ව පවතිනවා.

අද විග්‍රහයේ අප වැඩිපුරම කතා කළේ ප්‍රධාන ධාරාවේ, ආයතනගත මාධ්‍ය විසින් දැනුවත්ව හෝ නොදැනුවත්ව හෝ කරන දුස්තොරතුරු බෙදා හැරීම ගැනයි. ආසියාවේ බහුතරයක් රටවල තවමත් මහජනයාගෙන් බහුතරයක් සඳහා තොරතුරු මූලාශ්‍ර වන්නේ ටෙලිවිෂන්, රේඩියෝ හා පුවත්පත්.

එහෙත් පුවත් වෙබ් අඩවි, ගොසිප් වෙබ් අඩවි මෙන්ම ගෝලීය සමාජ මාධ්‍ය වේදිකා හරහාද ව්‍යාජ පුවත් ගලා යනවා. එය පිළිගත යුතුයි.

අසම්පූර්ණ ලෙසින් වුවද මහා මාධ්‍යවල යම් මට්ටමක ප්‍රමිතිගත වීමක්, නියාමනවලට අනුගත වීමක් බොහෝ විට තිබෙනවා. (හැම මාධ්‍යයේම නොවේ.)

මහා මාධ්‍යවල ව්‍යාජ පුවත්පත්වලට ප්‍රතිචාර දැක්වීම ඉහත පෙන්වා දුන් පරිදි යම් තාක් දුෂ්කර වේද නව මාධ්‍යවල දුස්තොරතුරු ගලා යාමට ප්‍රතිචාර දැක්වීම එමෙන් කිහිප ගුණයක් වඩාත් දුෂ්කරයි.

එසේම මහා මාධ්‍යවලට ලිහිල් වූ ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් වෙබ් අඩවි හා සමාජ මාධ්‍යවලට දැඩි නියාමන රාමුවක් හඳුන්වා දීම භාෂණ නිදහස පිළිබඳ මානව අයිතීන්ට එරෙහිව යාමක්.

ඕනෑම ප්‍රලාඵයක්, අපහාසයක් කිරීමට ඉඩ තිබිය යුතුය යන්න නොවෙයි එයින් අදහස් වන්නේ. එහෙත් සංකීර්ණ සමාජ සංසිද්ධීන්ට සරල පැලැස්තර විසඳුම් දීමට තැත් කළොත් සිදු වන්නේ ප්‍රශ්න තවත් උග්‍රවීම පමණයි.

ව්‍යාජ පුවත් හා දුස්තොරතුරු ජන සමාජයට, දේශපාලන ක්‍රියාදාමයන්ට හා ආර්ථීකයට කරන අහිතකර බලපෑම් කෙසේ සමනය කරගත හැකිද?

නීති හා නියාමනවලට අමතරව මෙයට යොදාගත හැකි ක්‍රමෝපායයන් මොනවාද?

නීති හා නියාමන ඕනෑම නම් මර්දනකාරි නොවන ලෙස සියුම්ව ඒවා කෙටුම්පත් කිරීමට අපට පූර්වාදර්ශ ගත හැක්කේ කුමන රටවලින්ද?

මේ ගැන ඉදිරි සතියක යළිත් කතා කරමු.

සිවුමංසල කොලූගැටයා #233: ප‍්‍රජාතන්ත‍්‍රවාදය නවීකරණය කරන සමාජයීය වගවීම

More hands make better democracy - but it can also lead to chaos, unless we're careful...
More hands make better democracy – but it can also lead to chaos, unless we’re careful…

Regular elections are a necessary but not a sufficient condition for a vibrant democracy. There is much more to democracy than holding free and fair elections.

The ‘sufficient conditions’ include having public institutions that allow citizens the chance to participate in political process on an on-going basis; a guarantee that all people are equal before the law (independent and apolitical judiciary); respect for cultural, ethnic and religious diversity; and freedom of opinion without fearing any repercussions. Sri Lanka has much work to do on all these fronts.

Democracy itself, as practised for centuries, can do with some ‘upgrading’ to catch up with modern information societies.

In this week’s Ravaya column, (in Sinhala, appearing in issue of 23 August 2015), I discuss methodologies that enable citizens as well as civil society organisations (CSOs) to engage with policymakers and citizen service providers on an on-going basis.

Some call it social accountability (or SAcc), and others refer to it as participatory democracy. Whatever the label, the idea is to ensure greater accountability in how the public sector manages public funds and responds to citizens’ needs.

An early champion of social accountability was the Peruvian economist Hernando de Soto, whom I quote. Also cited are views of Dr Bela Bhatia, an associate fellow at the Centre for the Study of Developing Societies in India.

See also my English article on this topic in Echelon magazine, Feb 2015: ‘People Power’ Beyond Elections

Time to upgrade -- but how?
Time to upgrade — but how?

‘‘ඡන්දයක් පවත්වන දිනයක එයට නියමිත පැය අට තුළ ගොසින් ඡන්දය දමා ආ පමණට ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු වන්නේ නැහැ. එය ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක මූලික අංගයක් විතරයි. ඉඳහිට පවත්වන මැතිවරණ අතර කාලයේ ඡන්දදායකයන් වන අප සැම රාජ්‍ය පාලනයට හැකි අන්දමින් සහභාගි වීමෙන් තමයි සැබෑ යහපාලනයට මග හෙළි කර ගත හැක්කේ.’’

Dr Hernando de Soto
Dr Hernando de Soto

මෙසේ කියන්නේ පේරු රටේ උපන්, ජාත්‍යන්තර කීර්තියට පත් ආර්ථික විද්‍යාඥ හර්නාන්ඩෝ ඩි සෝටෝ (Dr Hernando de Soto). සමස්ත ලතින් ඇමෙරිකාවේම මහ මොළකාරයෙක් හා සමාජ නව්‍යකරණයට කැප වූවකු ලෙස නමක් දිනා සිටින ඔහු, නියෝජිත ප‍්‍රජාතන්ත‍්‍රවාදය විසි එක් වන සියවසට වඩාත් ගැලපෙන ලෙසින් හැඩ ගස්වා ගත හැකි ක‍්‍රමවේද සොයන්නෙක්.

නියෝජිත ප‍්‍රජාතන්ත‍්‍රවාදය (representative democracy) යනු අප සියලූ දෙනා වෙනුවෙන් නියෝජිතයන් යම් සංඛ්‍යාවක් තෝරා පත් කොට ඔවුන්ට නීති තැනීමේ හා ආණ්ඩුකරණ බලතල දීමයි.

හැම පුරවැසියකුටම ආණ්ඩුකරණයට ඍජුව සම්බන්ධ වීමට කාල වේලාව හෝ අවකාශය නැති නිසා මේ ක‍්‍රමවේදය සියවස් ගණනක සිට විවිධ සමාජවල යොදා ගැනෙනවා. මෙහි වාසි මෙන්ම අවාසිත් තිබෙනවා.

ප්‍රකට අවාසියක් නම් පූර්ණ කාලීනල වෘත්තිමය දේශපාලනඥයන් පිරිසක් බිහි වී ඔවුන් ජනතා නියෝජිත වගකීම හරිහැටි ඉටු කරනු වෙනුවට අකාර්යක්ෂම, දූෂිත හා වංචනික බවට පත් වීමයි. මේ අහිතකර තත්ත්වය සමනය කරන්නට නම් පුරවැසියන් වඩාත් සක‍්‍රීයව ආණ්ඩුකරණයට නිතිපතා සම්බන්ධ විය යුතුයි. එයට සහභාගිත්ව ප‍්‍රජාතන්ත‍්‍රවාදය (participatory democracy) යයි කියනවා.

ගෙවී ගිය වසර 25 පමණ කාලය තුළ සහභාගිත්ව රජාතන්තරවාදී රමවේදයන් අත්හදා බලා වඩාත් රායෝගික ඒවා ජාතික රතිපත්ති හා නීති මටිටමින් ආයතනගත කිරීමට දියුණුවන රටවල් ගණනාවක් කටයුතු කර තිබෙනවා. මෙහිදී මුල් තැනක් ගන්නේ ඉන්දියාව, දකුණු අපරිකාව, රසීලය සහ තවත් ලතින් ඇමරිකානු රටවල් කිහිපයක්. මේ අයගේ අත්දැකීම්වලින් අපට බොහෝ දේ උගත හැකියි.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය නවීකරණය කිරීමේ චින්තන නායකයකු වන ඩි සෝටෝ මෙසේ කියනවා. ‘‘ඓතිහාසිකව සලකා බලන විට අයහපාලනයට එරෙහිව ජනයා ප‍්‍රතිචාර දක්වන දෙවිධියක් තිබෙනවා. එකක් නම් කලින් කලට පැවැත්වෙන මැතිවරණවලදී අකාර්යක්ෂම හා දූෂිත ආණ්ඩු ගෙදර යැවීම. එයට ඉඩක් නොතබන ඒකාධිපති පාලකයන් මහජන උද්ඝෝෂණ උත්සන්න වී බලයෙන් පලවා හැරෙන අවස්ථා ද ඉඳහිට තිබෙනවා. මේ දෙවිධියේම ආවේණික සීමාවන්ද තිබෙන බව අප හඳුනාගත යුතුයි.’’

ඩි සෝටෝ කියන්නේ අකාර්යක්ෂම හෝ දූෂිත පාලකයන් නෙරපා හැර විකල්ප පිරිසක් එතැනට පත් කර ගැනීම අවශ්‍ය වන නමුදු සෑහෙන්නේ නැති බවයි (necessary, but not sufficient). කලින් කල සිදුවන මැතිවරණ හෝ ජන බලය (‘People Power’) ආකාරයේ නැගී සිටීම්වලින් ඔබ්බට යන ආකාරයේ නිරතුරු ගනුදෙනුවක් ජනයා හා රජයන් අතර පවත්වා ගත යුතු වනවා.

Voting in Sri Lanka - AFP Photo
Voting in Sri Lanka – AFP Photo

මෙතැන තිබෙන ලොකුම අභියෝගය මෙයයි. අප බොහෝ දෙනෙකු පූර්ණ කාලීනව දේශපාලනයේ නිතර වූවන් නොවේ. දේශපාලනය හා යහපාලනය ගැන උනන්දු වුවත් අප අධ්‍යයන කටයුතු, රැකියා හෝ පවුල් වගකීම් ආදිය සමග මේ උනන්දුව තුලනය කර ගත යුතුයි. මෙය කෙසේ කරන්නද?

මෑතක් වන තුරු ජනයා හා රජයන් අතර නිරතුරු සබඳතාව ලෙහෙසියෙන් පවත්වා ගෙන යන්නට හැකියාවක් තිබුණේ නැහැ. එහෙත් නූතන තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයන්ගේ උදව්වෙන් එසේ කිරීම ප‍්‍රායෝගිකව වඩාත් පහසු වී තිබෙනවා. ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ නව මුහුණුවර (Democracy 2.0) බිහි වන්නේ මේ හරහායි.

මහජන ඡන්දයෙන් තේරී පත්වන නියෝජිතයන් සමග දිගටම සබඳතා පවත්වා ගනිමින් ඔවුන් නීත්‍යානුකූලව හා කාර්යක්ෂමව ක‍්‍රියා කරන බව තහවුරු කිරීමට ජනතා පීඩනය පවත්වා ගැනීම “සමාජයීය වගවීම” (Social Accountability) යයි හඳුන් වනවා. 1980 ගණන්වලදී පර්යේෂණාත්මක මට්ටමින් මතුව ආ මේ සංකල්පය දැන් ප‍්‍රායෝගික ලෙසින් ලොව විවිධ රටවල ක‍්‍රියාත්මක කැරෙනවා.

මැතිවරණය දවසේ ඡන්දය දමන්නට යන හා ප‍්‍රතිඵල විග‍්‍රහ කරන උද්-යෝගය තරම්ම නොවුවත් යම් මට්ටමක නිරතුරු දේශපාලන උනන්දුවක් හා මැදිහත්වීමක් පවත්වා ගැනීමට හැකි ක‍්‍රමවේද සකස් කර ගත යුතුව තිබෙනවා. සමාජයීය වගවීම උත්සාහ කරන්නේ එයයි.

සමාජයීය වගවීම හරිහැටි ක‍්‍රියාත්මක වන්නට නම් මහජනයාට තොරතුරු දැනගැනීමේ අයිතිය නීතිමය වශයෙන් තහවුරු වී තිබීම ප‍්‍රයෝජනවත්. මහජන මුදල් එකතු කරන ආකාරය, වැය කිරීමට තීරණය කරන පදනම හා වැය කළ පසු ගණන් පියවීම ආදී සියල්ල විනිවිද බවකින් යුතුව සිදු විය යුතුයි. (අපේ රටේ මේ දක්වා සම්මත කර ගන්නට බැරි වූ තොරතුරු අයිතිය පිළිබඳ පනත නව පාර්ලිමේන්තුව ප‍්‍රමුඛතාවක් දී විවාද කොට සම්මත කර ගනු ඇතැයි අප පතනවා.)

එහෙත් සමාජයීය වගවීමට නීති පමණක් සෑහෙන්නේ නැහැ. නීතියෙන් ලැබෙන අයිතීන් හරිහැටි භාවිත කරමින් පොදු ආයතනවල මූල්‍යමය ක‍්‍රියා කලාපය, ප‍්‍රතිපත්තිමය තිරසාර බව හා කාර්යක්ෂමතාව ආදී සාධක නිතිපතා අධීක්ෂණයට ලක් කරන පුරවැසි ක‍්‍රියාකාරිකයන් සිටීම අවශ්‍යයි.

නූතන තොරතුරු තාක්ෂණය මේ අධීක්ෂණය පහසු කරනවා. එහෙත් එය හරිහැටි කරන්නට දැනුම, කැපවීම හා කාල වේලාව මිඩංගු කිරීම ඕනෑ කරනවා. ප‍්‍රජාතන්ත‍්‍රවාදය හරියට වැඩ කරන්නේ අලසයන් හෝ ආත්මාර්ථකාමීන් සිටින සමාජවල නොවේ!

සමාජයීය වගවීම ක‍්‍රියාත්මක කළ හැකි ක‍්‍රමවේදයකට ප‍්‍රකට උදාහරණයක් නම් බ‍්‍රසීලයේ පෝටෝ ඇලගේ‍්‍ර (Porto Alegre) නගරයේ නගර සභාව වාර්ෂිකව කරන සහභාගිත්ව අයවැයයි (Participatory Budgeting) 1989දී පටන් ගෙන නගරවාසීන් 20,000ක් පමණ දෙනාගේ අදහස් උදහස් සම්පිණ්ඩනය කරමින් තීරණය කරනු ලබන මේ අයවැය හරහා ජනතාවගේ ප‍්‍රමුඛතා නිසි ලෙස හඳුනා ගන්නා අතර ගියවර වියදම් කෙසේ කෙසේ සිදු වූවා දැයි යන්න ප‍්‍රසිද්ධියේ විමර්ශනය කරනවා.

 

මෙබඳු ආකෘතීන් විශාල ජනකායක් වෙසෙන නගරවල ප‍්‍රායෝගිකව කිරීමේ දුෂ්කරතා තිබෙනවා. 20,000ක් වුවත් එකවර එක් තැනෙකට රැස් කොට සංවාදයක් පැවැත්වීම අපහසුයි.

එහෙත් මධ්‍යම රජයක්, පලාත් රජයක් හෝ පලාත් පාලන ආයතනයක් සිය ප‍්‍රතිපත්ති හා අයවැය යෝජනා කෙටුම්පත් මට්ටමින් වෙබ් ගත කර, මහජන අදහස් දැක්වීමට නිශ්චිත කාල සීමාවක් ලබා දීම හරහා මෙය වඩා ප‍්‍රායෝගිකව කළ හැකියි. වෙබ් ප‍්‍රවේශය හැමට නැතත් ප‍්‍රජා මධ්‍යස්ථාන, මහජන පුස්තකාල ආදී ස්ථාන හරහා මේ යෝජනා පරිශීලනය කිරීමට ඉඩකඩ සලසනවා.

තම රටට, නගරයට හෝ ප‍්‍රදේශයට වඩාත්ම උචිත සමාජයීය වගවීමේ ක‍්‍රමවේද සකස් කර ගැනීම ඒ ඒ ප‍්‍රජාවට හා ඔවුන්ගේ ඡන්දයෙන් තෝරා ගත් මහජන නියෝජිතයන්ට පැවරෙන අභියෝගයක්. හැකි තාක් දෙනෙකුට අඩුම පරිශ‍්‍රමයකින් වඩාත් පුළුල් ලෙස යම් තීරණ ගැනීමේ ක‍්‍රියාවලියකට සහභාගිවීමට ඉඩකඩ සැලැස්වීම මෙහිදී අවශ්‍යයි.

එමෙන්ම මහජනයාගෙන් ලැබෙන ප‍්‍රතිචාර, යෝජනා හා විරෝධතා සියල්ල සාවධානව සලකා බලන හා තුලනය කර ගන්නා දක්ෂ කාර්ය මණ්ඩලයක් හෝ ස්වාධීන විද්වතුන් පිරිසක් ද මෙයට සම්බන්ධ කරගත යුතුයි. (අපේ රටේ සමහර ආයතන කරන්නාක් මෙන් කිසිදා විවෘත නොකරන මහජන පැමිණිලි/යෝජනා පෙට්ටි ආකාරයේ ක‍්‍රමවේද කිසිසේත් සෑහෙන්නේ නැහැ!)

සමාජයීය වගවීම යනු ප‍්‍රජාතන්ත‍්‍රවාදය එදිනෙදා තීරණවලට ප‍්‍රායෝගිකව අදාල කර ගැනීම බව ඩි සොටෝ කියනවා. ‘‘පවතින ක‍්‍රමයේදී වසර 4, 5 හෝ 6ක් රජයක් කරන කියන දේ පිළිබඳව මහජනයා බලා සිටිනවා. ඔවුන්ගේ විරෝධය පළ කිරීමේ යම් ඉඩක් ඇතත් ජනතා නියෝජිතයන්ට ඍජු බලපෑම් එල්ල කළ හැකි මාර්ග ඉතා සීමිතයි. මහජන අප‍්‍රසාදයට පත්වන රජයක් ගෙදර යවන්නට ඊළඟ මැතිවරණය එළැඹෙන තෙක් සිටිය යුතුයි. එසේම දේශපාලකයන්ට සමීප වන ලොකු ධනවතුන් හා සමාගම් රාජ්‍ය ප‍්‍රතිපත්ති ඔවුන්ට වාසිදායක ලෙස හසුරුවනු බලා සිටිමින් ආවේගශීලී වීම හැර වෙනත් කළ හැකි දෙයක් ඡන්දදායකයන්ට නැති වීම වත්මන් ක‍්‍රමයේ ආවේණික දුර්වලතාවක්. මැතිවරණ දෙකක් අතර වසර කිහිපයක කාලයේ නිතිපතා මහජනයා හා රජය අතර අදහස් හුවමාරුවක් හා සහභාගිත්ව ක‍්‍රමවේදයක් තිබීම ඉතා වැදගත් වන්නේ මේ නිසයි.’’

සමහරුන් මෙය දකින්නේ රජාතන්තරවාදය නිසි ලෙස රියාත්මක වීමට කරන මහජන ආයෝජනයක් ලෙසයි. මෙහිදී ආයෝජනයයනු මුදල් නොව කාලය, රමය හා බුද්ධිමය කැපවීමයි.

කියන දේ කරන, කරන දේ කියන හා නිසි ප‍්‍රතිපත්ති රාමුවක් තුළ වැඩ කරන ආණ්ඩුකරණයක් පවත්වා ගන්නට නම් මේ නිතිපතා මැදිහත්වීම අවශ්‍යයි. එබන්දක් නැති විට මන්ත‍්‍රීන්, ඇමතීන්, ඔවුන්ගේ ගජමිතුරන් හා පාක්ෂිකයන් රටේ දේපොල විනාශ කරමින්, වංචා කරමින්, සංවර්ධන මුවාවෙන් බඩවඩා ගනිමින් කරන නිර්ලජ්ජ්ත ක‍්‍රියාකලාපය 2005 – 2014 අඳුරු දශකය තුළ ලක් සමාජය හොඳ හැටි අත්දුටුවා. අපට සිටියේ ඡන්දයෙන් දිනූ එහෙත් සමාජයීය වගවීමක් නොතිබූ ආණ්ඩුයි.

සංවර්ධනය සඳහා යොමු කැරෙන දේශීය (මහජන බදු) මුදල් හා විදේශීය ණය ආධාර අදාල කටයුතු සඳහා පමණක් වැය කැරෙන බව සහතික කිරීමට සමාජයීය වගවීමේ තීරණාත්මක මෙහෙවර ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව හා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආයතන ද පිළිගන්නවා.

මේ ක‍්‍රමවේදයන් අධ්‍යයනය කරන හා අත්හදා බලන ඉන්දියානු සිවිල් සමාජ සංවිධානත්, විද්වත් පර්යේෂකයිනුත් සිටිනවා. එයින් එකක් වන නව දිල්ලියේ පිහිටි දියුණුවන සමාජ අධ්‍යයනය කිරීම සඳහා කේන්ද්‍රයේ ආචාර්ය බීලා භාතියා (Dr Bela Bhatia of Centre for the Study of Developing Societies) මෙසේ කියනවා.

Dr Bela Bhatia
Dr Bela Bhatia

‘‘අවසාන විනිශ්චයේදී ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ වගකීම පුරවැසි හා ඡන්දදායක අප සැමට පැවරෙනවා. අපේ සමහරක් මහජන නියෝජිතයන් දූෂිත හෝ වංචනික හෝ අදක්ෂ හෝ වේ නම් එහි දෝෂාරෝපනය අපටම එල්ල විය යුතුයි. මන්ද මේ ආකාරයේ දේශපාලකයන් තෝරා පත් කර ගන්නේත් අප සමහරුන්ම නිසා. මේ ඛෙදජනක තත්ත්වය පිටු දකින්නට දැඩි අධිෂ්ටානයෙන් ක්‍රියා කිරීම පුරවැසි අපට දැන් ඇති අභියෝගයයි. ’’

ඇය තව දුරටත් මෙසේ කියනවා: ‘‘රජයන් හා දේශපාලනඥයන්ගේ පැත්තෙන් වඩාත් සහභාගිත්ව ප‍්‍රජාතන්ත‍්‍රවාදයකට ඉඩදීම ඔවුන්ට ද හිතකරයි. එසේ නැතහොත් කැකෑරෙන මහජන අප‍්‍රසාදය ගොඩනැංවී යම් දිනෙක පුපුරා යන්නේ උද්ඝෝෂණ, අරගල හෝ සන්නද්ධ විප්ලව හැටියට නිසා…’’

සමාජයීය වගවීම ආචාර්ය භාතියා දකින්නේ යහපත් දේශපාලන හා ආණ්ඩුකරණ රටාවන් බිහි කරන්නටත් දේශපාලන රචණ්ඩත්වය වළක්වා ගන්නටත් උපකාර වන දූරදර්ශී පිළිවෙතක් හැටියටයි.

හර්නාන්ඩෝ ඩි සෝටෝ, බීලා භාතියා වැනි විද්වතුන්ගේ දර්ශනය අපේ දේශපාලන හා ආණ්ඩුකරණ ප‍්‍රවාහයන්ට හඳුන්වා දීමට කාලය ඇවිත්.

සිවුමංසල කොලූගැටයා #232: මන්ත‍්‍රී කෙරුවාව පුරවැසි අධීක්ෂණයට ලක් කරන්නට තාක්ෂණයේ පිහිට

March 12 Movement for Cleaner election candidates in Sri Lanka
March 12 Movement for Cleaner election candidates in Sri Lanka

Sri Lanka will hold a general election on 17 August 2015 to elect a new Parliament. It has been preceded by a high level of citizen and civil society advocacy for raising the standard for who should be elected to represent the people as their Members of Parliament.

Public concerns about deteriorating Parliamentary debate and the overall decline and degradation in representative politics were captured by the ‘March 12 Movement’, a mission to elect clean and corruption-free politicians to Parliament.

The Movement was initiated by People’s Action for Free and Fair Elections (PAFFREL) and supported by Transparency International, Sarvodaya Movement, Sri Lanka Chamber of Commerce, Sri Lanka Administrative Officers’ Association and trade unions.

Parallel to this advocacy, data analysis tools have been used by citizens to probe the conduct of MPs in the last Parliament, which was dissolved on 26 June 2015.

Manthri.lk is a trilingual website that tracks the performance of the 225 Members of Parliament in Sri Lanka. It goes by the official record (Hansard), analysing and coding each statement which is fed into a customised system developed by the website owner and operator – Verite Research, a thinktank that provides strategic analysis and advice for decision-makers and opinion-formers.

In this week’s Ravaya column, (in Sinhala, appearing in issue of 16 August 2015), I share some of the key findings by Manthri.lk website on the conduct of 225 MPs in the last Parliament – 202 of whom are seeking re-election.

See also:

සිවුමංසල කොලූගැටයා #231: ඡන්දදායකයා වඩාත් බලගතු කැරෙන නව සංකල්ප දෙකක්

සිවුමංසල කොලූගැටයා #229: සමාජ මාධ්‍ය යුගයේ අපේ දේශපාලන සන්නිවේදනය

Sri Lanka Parliamentary Complex
Sri Lanka Parliamentary Complex

පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබුවේ 2015 ජුනි 26 වනදා මධ්‍යම රාත‍්‍රියේ සිටයි. 2015 සැප්තැම්බර් 1 වනදා අභිනව පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි. එයට මන්ත‍්‍රීවරුන් 225ක් තෝරා ගැනීමට මහමැතිවරණය 2015 අගෝස්තු 17 වනදා පැවැත්වෙනවා.

පිරිසිදු දේශපාලනයක් සඳහා නිසි නාමයෝජනා හරහා වඩාම උචිත ජනතා නියෝජිතයන් පාර්ලිමේන්තුවට (හා අනෙක් ජනතා නියෝජිත ආයතනවලට) පත් කර යැවීම මාර්තු 12 පුරවැසි ව්‍යාපාරයේ අරමුණයි.

මේ සඳහා දැනුවත් වූ, බලාත්මක වූ හා තාර්කිකව සිතන ඡන්දදායකයන් අවශ්‍ය වනවා. ඡන්ද අපේක්ෂකයන් කිරා මැන බැලීමට හා ඇගයීම සඳහා මූලික සාධක 8ක් මාර්තු 12 ව්‍යාපාරය ප‍්‍රවර්ධනය කරනවා. අපරාධ සඳහා දඬුවම් ලද්දකු නොවීම, දූෂණ හා වංචාවලින් තොර වීම, සමාජ විරෝධී (මත්පැන්, කැසිනෝ, ගණිකා ආදී) ව්‍යාපාරවල නිරත නොවීම, බලය අනිසි ලෙස භාවිත නොකළ අයකු වීම ආදිය මේ අතර වනවා.

පාර්ලි‌මේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් තේරී පත්වීම සඳහා නීතිමය සුදුසුකම්

මෙයට සමාන්තරව මෙවර පාර්ලිමේන්තු මැතිවරණය අරභයා මාර්තු 12 ව්‍යාපාරයට සම්බන්ධ සිවිල් සමාජ සංවිධාන ඡුන්දදායකයන්ගෙන් ඉල්ලා සිටින්නේ පාර්ලිමේන්තුවට ගොස් එහි ප‍්‍රධාන කාර්යය වන නීති තැනීමට අවශ්‍ය දැනුම හා හැකියාව මන්ත‍්‍රී ධුර අපේක්ෂකයන්ට ඇත්දැයි විමසා බලන ලෙසයි.

මේ හැකියාව සොයා බැලීම හැමවිටම ලෙහෙසි නැහැ. මෙහිදී අපට උදව් වන්නේ මන්ත‍්‍රී.lk වෙබ් අඩවියයි (www.manthri.lk).

http://www.manthri.lk/
http://www.manthri.lk/

ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුවට හොඳින් පවත්වාගෙන යන ත්‍රෛභාෂික නිල වෙබ් අඩවියක් ද තිබෙනවා (www.parliament.lk). පාර්ලිමේන්තු දින දර්ශනය, කාරක සභා කටයුතු, මැති සබයේ විවාද නිල වාර්තා (හැන්සාඞ්), මන්ත‍්‍රීවරුන්ගේ ජීව දත්ත, පාර්ලිමේන්තු පුවත් හා ඡායාරූප ආදිය මෙහි ඇතුළත්. පාර්ලිමේන්තු මහ ලේකම්වරයා ප‍්‍රමුඛ කාර්ය මණ්ඩලය විසින් සපයන සේවාවන්ගෙන් එකක් වන මේ වෙබ් අඩවිය මන්ත‍්‍රීවරුන්ගේ මෙන්ම මහජනයාගේ ද තොරතුරු අවශ්‍යතා සම්පාදනය කරන්නට කැප වී සිටිනවා.

එහෙත් මේ නිල වෙබ් අඩවිය තුළ එක් එක් මන්ත‍්‍රීවරයකුගේ කාර්ය භාරය ගැන හෝ යම් තේමාවක් ගැන සිදු වූ සියලූ වාද විවාද ගැන හෝ ලෙහෙසියෙන් තොරතුරු සොයා ගැනීම අපහසුයි. එසේම මන්ත‍්‍රීන් සංසන්දනය කිරීම හෝ යම් නිර්ණායකයක් මත විවාද ලැයිස්තු ගත කිරීම ආදිය නිල වෙබ් අඩවියකට කළ නොහැකියි.

මන්ත‍්‍රී.lk වෙබ් අඩවිය මේ හිදැස පුරවමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රීන් ගැන මහජන අධීක්ෂණය වඩාත් හරවත් හා තීව‍්‍ර කිරීමට උපකාර වනවා.

පාර්ලිමේන්තු වාද විවාද කාරක සභා කටයුතු හා මන්ත‍්‍රීවරුන්ගේ දායකත්වය ස්වාධීනව විශ්ලේෂණය කරන පර්යේෂණායතන ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටවල් සමහරක තිබෙනවා. පක්ෂ දේශපාලනයෙන් බාහිර වූ ද හා රාජ්‍ය සේවකයන් වන පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සීමාවලින් ඔබ්බට යන්නා වූ ද මේ විශ්ලේෂණ හා විග‍්‍රහයන් පාර්ලිමේන්තු ක‍්‍රියාදාමය නඩත්තු කිරීමට මුදල් සපයන මහජනතාවට වැදගත් ප‍්‍රතිශෝෂණයක් (feedback) ලබා දෙනවා.

ව්‍යවස්ථාදායක පර්යේෂණ (legislative research) නමින් හැදින්වෙන මෙම ක්ෂේත‍්‍රයේ ක‍්‍රියාත්මක වන විද්වත් ආයතන, පර්යේෂණායතන ඉන්දියාව, පාකිස්ථානය වැනි රටවල මෙන්ම බි‍්‍රතාන්‍ය, ජපානය, අමෙරිකා එක්සත් ජනපදය වැනි රටවල ද හමුවනවා.

2010-2015 පාර්ලිමේන්තුවේ වඩාත්ම සක්‍රිය මන්ත්‍රීවරුන් - Data analysis by Manthri.lk
2010-2015 පාර්ලිමේන්තුවේ වඩාත්ම සක්‍රිය මන්ත්‍රීවරුන් – Data analysis by Manthri.lk

මෙතෙක් ශ‍්‍රී ලංකාවේ එබන්දක් නොතිබීමේ අඩුව යම් තාක් දුරට සපුරාලන්නේ ස්වාධීනව ආර්ථික ප‍්‍රතිපත්ති පර්යේෂණ කරන වෙරිටේ පර්යේෂණායතනයයි (Verité Research, www.veriteresearch.org).

සබීරියන් Saberion (Pvt) Ltd නම් තොරතුරු තාක්ෂණ සමාගම සමග සහයෝගයෙන් 2012දී වෙරිටේ ඇරැඹූ මන්ත‍්‍රී.lk වෙබ් අඩවිය, පාර්ලිමේන්තු කටයුතු දත්ත මත පදනම් වූ විශ්ලේෂණයට ලක් කරනවා. ඒ ප‍්‍රතිඵල නීතිගත වෙබ් අඩවිය හරහා සාමාන්‍ය මහජනයාට තේරෙන ලෙසින් සන්නිවේදනය කැරෙනවා. මෙය ඉතා වැදගත් සේවාවක්.

ඔවුන්ගේ මූලාශ‍්‍රය පාර්ලිමේන්තුවේ නිල වාර්තාව වන හැන්සාඞ් ප‍්‍රකාශනයයි. පාර්ලිමේන්තුවේ හැම සැසි වාර දිනයකම කැරෙන සියලූම ප‍්‍රකාශයන් හා විවාදයන් හැන්සාඞ් වාර්තාවට අනුව යමින් වෙරිටේ පර්යේෂණායතනයට ආවේණික වූ ක‍්‍රමයකට වර්ගීකරණය කරනු ලබනවා. පරිගණක ගත කරන මේ වාර්තා විවිධ මූලපද (keywords) හරහා සෙවිල්ලට ලක් කළ හැකියි.

මන්ත‍්‍රීවරයකු පාර්ලිමේන්තු වැඩ කටයතුවලට කරන දායකත්වය 15 ආකාරයකට වර්ග කිරීම මේ විශ්ලේෂණයේ මූලික පදනමයි. මේ 15 ආකාරය වන්නේ: 1. ලිඛිත ප‍්‍රශ්න මතු කිරීම; 2. ලිඛිත ප‍්‍රශ්නවලට ප‍්‍රතිචාර දැක්වීම; 3. ලිඛිත ප‍්‍රශ්නවලින් මතු වන අනුබැඳුණු ප‍්‍රශ්න මතු කිරීම; 4. අනුබැඳුණු ප‍්‍රශ්නවලට වාචිකව පිළිතුරු දීම; 5. ලිඛිත පිළිතුරු බැඳීම; 6. කෙටුම්පතක්/රෙගුලාසියක්/ආඥාවක් සභාගත කිරීම; 7. කෙටුම්පතක්/රෙගුලාසියක්/ආඥාවක් විවාද කිරීමේදී වාචික සහභාගිත්වය; 8. රීති ප‍්‍රශ්න මතු කිරීම (තාක්ෂණික හෝ පටිපාටිය සම්බන්ධ); 9. වෙනත් රීති ප‍්‍රශ්න මතු කිරීම; 10. සභාව කල් තැබීමේ යෝජනා – වාචික දායකත්වය; 11. පුරවැසියන් වෙනුවෙන් පෙත්සම් සභාගත කිරීම; 12. සභාවේ වැඩ කටයුතුවලට බාධා කිරීම; 13. නිල සභා වාර්තාවෙන් ඉවත් කරන ලද ප‍්‍රකාශ කිරීම; 14. වාචික දායකත්වය; 15. වාචික දායකත්වය – සාරවත් ප‍්‍රකාශයන්

Standing Orders of Sri Lanka Parliament

පාර්ලිමේන්තුවේ ස්ථාවර නි‌‌යෝග

When Indian PM Narendra Modi addressed Sri Lanka Parliament, 13 March 2015
When Indian PM Narendra Modi addressed Sri Lanka Parliament, 13 March 2015

මන්ත‍්‍රී.lk වෙබ් අඩවියේ 2012 මැයි සිට 2015 ජුනි දක්වා වකවානුවට අයත් පාර්ලිමේන්තු හැන්සාඞ් වාර්තා 28,000කට වඩා විශ්ලේෂණය කොට දත්ත බවට පත් කොට ගබඩා කර තිබෙනවා.

හැන්සාඩ් වාර්තාවල වචන ලක්ෂ ගණනක් තුළ ඇති කරුණු මෙහි වඩාත් සරල හා සංසන්දනාත්මක ලෙසින් හමු වීම සුවිශේෂයි. යහපාලනයට තොරතුරු තාක්ෂණය හරිහැටි යොදා ගන්නට නම් මෙවැනි පුරවැසි උත්සාහයන් තව තවත් ඕනෑ!

මේ වෙබ් අඩවිය යොදා ගනිමින් හිටපු මන්ත්‍රීන් දෙදෙනකු හෝ වැඩි දෙනකු සසදන්නට ද හැකියි. එසේම තෝරා ගත් මාතෘකාවක් ගැන වැඩිපුරම කථා කළ මන්ත්‍රීන්, වඩාත්ම අක්‍රිය හා නිහඩව සිටි මන්ත්‍රීන් ආදී බොහෝ තොරතුරු මෙහි තිබෙනවා.

“මේ දත්ත හා වැදගත් සභාවාරවලදී මන්ත‍්‍රීවරුන් සභාවේ ඡන්දය භාවිත කළ ආකාරය සලකා බලන විට පසුගිය පාර්ලිමේන්තුවේ අපේ මන්ත‍්‍රීවරුන්ගේ කෙරුවාව ගැන විස්තරාත්මක චිත‍්‍රයක් අපට පෙනී යනවා” යයි වෙරිටේ පර්යේෂණායතනයේ ආණ්ඩුකරණය පිළිබඳ විශේෂඥ හා මන්ත‍්‍රී වෙබ් අඩවියේ මොළකාරයා ද වන අසෝක ඔබේසේකර කියනවා.

පසුගිය පාර්ලිමේන්තුවේ සිටි මන්ත‍්‍රීන්ගෙන් 202 දෙනෙකු නැවතත් මෙවර 2015 මැතිවරණයේ තරග කරනවා. මේ අය පසුගිය පාර්ලිමේන්තුව තුළ නීති සම්පාදන හා වෙනත් මන්ත‍්‍රී වගකීම් කෙතරම් කැපවීමකින් ඉටු කළා ද යන්න සාක්ෂි මත පදනම්ව දැන් ඡන්දදායකයන්ට අපේ වෙබ් අඩවිය හරහා බලාගත හැකියි.”

පසුගිය පාර්ලිමේන්තුව මුල් වරට රැස්වූයේ 2010 අපේ‍්‍රල් 22 වනදායි. නිල මූලශ්‍රයකට අනුව පාර්ලිමේන්තු සැසිවාර පැවැත් වූ සමස්ත දින ගණන 466යි.

පාර්ලිමේන්තු නිල වෙබ් අඩවියට අනුව ප‍්‍රථම වතාවට මන්ත‍්‍රී ධුරයට පත් වූ මන්ත‍්‍රීවරුන් 83 දෙනකු එම පාර්ලිමේන්තුවේ සිටියා. එනම් ඉතිරිය (බහුතරය) ඉන් පෙර ද වරක් හෝ කිහිප වරක් මන්ත‍්‍රී ධුරයක් හොබවා අත්දැකීම් තිබූ අය බවයි.

මන්ත‍්‍රී.lk විශේලේෂණයට අනුව පසුගිය පාර්ලිමේන්තුවේ සිට නැවත ඡන්දය ඉල්ලන මන්ත‍්‍රීන් 202 දෙනාගෙන් 30%ක් වසර පහක් පුරා කිසිදු ඡන්දදායකයකු වෙනුවෙන් මහජන පෙත්සමක් ඉදිරිපත් කොට නැහැ. තවත් 30% එසේ කොට ඇත්තේ එක් වරක් පමණයි.

මේ මහජන පෙත්සම්වල (public petitions) වැදගත්කම නම් පරිපාලන තන්ත‍්‍රයේ දුර්වලතා රජයේ අවධානයට යොමු කිරීම හරහා නිලධාරිවාදය සම්බන්ධ පුරවැසියන් අත් විඳින දුක්ගැහැටවලට විසඳුම් සෙවීමයි.

මේ අනුව සිය ඡන්දදායකයන් වෙනුවෙන් කළ හැකි මේ නිශ්චිත මෙහෙය මන්ත‍්‍රීන් 43%ක් පැහැර හැර ඇති බව මන්ත‍්‍රී.lk කියනවා.

Asoka Obeyesekere
Asoka Obeyesekere

හැම අමාත්‍යංශයකම ප‍්‍රගතිය සමාලෝචනය හා අධීක්ෂණයට කාරක සභා තිබෙනවා. හැම මන්ත‍්‍රීවරයකුම කාරක සභා කිහිපයකට අනුයුක්ත කැරෙනවා. 2014 මැයි-සැප්තැම්බර් කාලය සඳහා කාරක සභා සහභාගිත්වය අධ්‍යයනය කළ මන්ත‍්‍රී’lk සොයා ගත්තේ නැවත තරග කරන මන්ත‍්‍රීවරුන්ගෙන් 30%ක් කිසිදු කාරක සභාවකදී කිසිදු ප‍්‍රශ්නයක් හෝ මතු කර නැති බවයි. තවත් 45%ක් දෙනා මතු කළ ප‍්‍රශ්නවල සාමාන්‍යය මාසයකට එකකටත් අඩුයි.

“මේ අක‍්‍රිය හා උදාසීන බව දැඩි ලෙස පුරවැසි අවධානයට ලක් විය යුතුයි. මන්ත‍්‍රීවරුන් තමා අනුයුක්ත කැරෙන කාරක සභාවල වඩාත් සක‍්‍රීය විය යුතු මෙන්ම ඒ හරහා නීති සංශෝධනයට හෝ නව නීති සම්පාදනයට යොමු විය යුතුයි,” මන්ත‍්‍රී’lk වෙබ් අඩවියේ ප‍්‍රධාන නියමුවා කියනවා.

වඩාත් සුබදායක ආරංචිය නම් යළිත් තරග කරන හිටපු මන්තරීන්ගෙන් 37%ක් දෙනා පසුගිය පාර්ලිමේන්තුවේ කිසි විටෙක සභාවට බාධා වන පරිදි හැසිරී නැති බවයි. තවත් 14%ක් එසේ කොට ඇත්තේ කලාතුරකින් පමණයි.

“බහුතරයක් මන්ත‍්‍රීන් සභාවට බාධා කරන, කලහකාරී අය බවට පැතිර තිබෙන පොදු මතය නිවැරදි නැහැ. ඇත්තටම ඔවුන් වැඩි දෙනෙක් ස්ථාවර නියෝගවලට අනුව හැසිරී තිබෙනවා. එහෙත් කලබලකාරී මන්ත‍්‍රීන් ටික දෙනෙකුට සභාවේ වැඩට නිතර බාධා කළ හැකි බව නම් පසුගිය පාර්ලිමේන්තුවේ සමස්ත වාර්තා දෙස බලන විට පෙනී යනවා,” යයි අසෝක ඔබේසේකර කියනවා.

නැවත තරග කරන හැම මන්තී‍්‍ර කෙනෙකුගේම ප‍්‍රගති වාර්තාව හෙවත් ‘රිපෝට් කාඞ්’ එක දත්ත විශ්ලේෂණය හරහා මන්ත‍්‍රී’lk සම්පාදනය කොට තිබෙනවා. පසුගිය පාර්ලිමේන්තුවේ වැදගත්ම ඡන්ද විමසීම්වලදී මන්ත‍්‍රීන් ගත් ස්ථාවරයන් ද එයට ඇතුළත්. එනම් ජනාධිපති ධුර කාල සීමාව ඉවත් කළ 18 වන ව්‍යවස්ථා සංශෝධනය, අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහි දෝෂාභියෝගය, 19 වන ව්‍යවස්ථා සංශෝධනය හා කැසිනෝ හඳුන්වාදීමේ පනත (අවස්ථා තුනකදී) විවාදය යන අවස්ථායි.

අද යහපාලනය ගැන කතා කරන සමහර හිටපු මන්තරීන් මේ තීරණාත්මක සංධිස්ථානවලදී එම යෝජනාවලට පක්ෂ වූවාද, විපක්ෂ වූවාද, සභාවේ නොසිටියාද යන්න ලෙහෙසියෙන්ම බලා ගත හැකියි.

දැනුවත් වූ ඡන්දදායකයන් බිහි කිරීමට පාර්ලිමේන්තු දත්ත විශ්ලේෂණනය ප‍්‍රයෝජනවත්. මේ විග‍්‍රහයන් හැකි තාක් සමාජගත කිරීම සියලූ මාධ්‍යවලට හා ප‍්‍රජාතන්ත‍්‍රවාදයට හිතකාමී ක‍්‍රියාකාරිකයන්ට පැවරෙන වගකීමක්.

ජනතා සේවකයන් යයි කියමින් මහජන මුදලින් ඉහළ වරප්රසාද ලබන මන්ත්රීන්ගේ කයිවාරුව හා කෙරුවාව අතර හිදැස කොපමණ දැයි එවිට පුරවැසියන්ට බලා ගත හැකියි!

අපේ ඡන්දය නැණවත්ව භාවිත කරමු!

වගකීම් දැරීමට හැකි හා කැප වූවන් පමණක් පාර්ලිමේතුවට යවමු.

ඉන් පසුවත් ඔවුන්ගේ කෙරුවාව දිගටම අධීක්ෂණය කරමු!

Sri Lankans join March 12 Movement for Cleaner Politicians
Sri Lankans join March 12 Movement for Cleaner Politicians – Photo courtesy March 12 Movement Facebook page

 

සිවුමංසල කොලූගැටයා #231: ඡන්දදායකයා වඩාත් බලගතු කැරෙන නව සංකල්ප දෙකක්

Indian campaign for "None of the Above" (NOTA) option at elections
Indian campaign for “None of the Above” (NOTA) option at elections

In this week’s Ravaya column, (in Sinhala, appearing in issue of 9 August 2015), I discuss two concepts that could make representative democracy more meaningful.

First is adding the option of None of the Above (NOTA) to the list of candidates in an election, so voters can exercise a negative vote – and send a powerful message to political parties and personalities about the quality of politicians society prefers.

Second is the Right to Recall (RTR), a law that would allow citizens to ‘sack’ elected officials in government before the term of office is over, if the officials are proven guilty of misuse of power. The UK just adopted such a law (Recall of MPs Act 2015) in March 2015, and there has been a campaign in India for such a law since the late 1990s.

Can Sri Lanka advocate such laws to improve the electoral political process? A promising start has been made with the March 12 Declaration and Movement for clean candidates at elections. But we have a long way to go.

Refusing to accept business as usual is the essential first step. I believe that step has been taken in the current build-up to the Sri Lanka General Election scheduled for 17 August 2015.

Sri Lanka's March 12 Movement for clean candidates at elections - they must meet 8 basic criteria
Sri Lanka’s March 12 Movement for clean candidates at elections – they must meet 8 basic criteria

ප‍්‍රජාතන්ත‍්‍රවාදය යනු නිරතුරුව සුපරීක්ෂාකාරී වීම හරහා රැක ගත යුතු ක‍්‍රමවේදයක්. එසේම එය කාලානුරූපව නවීකරණයට හා දියුණු කිරීමට ලක් විය යුතුයි.

මෙරට මැතිවරණ ක‍්‍රමවේදය ප‍්‍රතිසංස්කරණය කිරීමේ බරපතල අවශ්‍යතාව මේ දිනවල පාරට බැස වටපිට බලන විට හොඳටම පෙනී යනවා. එයට ඉලක්ක කළ ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනය පසුගිය පාර්ලිමේන්තුවට සම්මත කරන්නට බැරි වුණා.

අපට වඩා පරිණත දේශපාලන තන්ත‍්‍රයන් හා ආයතන ව්‍යුහයන් ඇති ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටවලත් විද්වතුන්, වෘත්තිකයන් හා සිවිල් ක‍්‍රියාකාරිකයන් නිතර උත්සාහ කරන්නේ ක‍්‍රමවේදය වඩාත් සාධාරණ, වගකීම් සහගත හා කාර්යක්ෂම කිරීමටයි.

මේ විදෙස් අත්දැකීම්වලින් අපට යමක් උගත හැකිද? ඒ රටවල වාද විවාද ගැන අප මෙනෙහි කිරීම වැදගත්. මේ අරභයා සංකල්ප දෙකක් අද මා හඳුන්වා දීමට කැමතියි.

මැතිවරණයකදී සිදු වන්නේ දේශපාලන පක්ෂවල නාමයෝජනා ලද අපේක්ෂකයන් හා ස්වාධීනව ඉදිරිපත් වන අපේක්ෂකයන් අතරින් අප වඩාත්ම කැමති අයට අපේ ඡන්දය/මනාපය ප‍්‍රකාශ කිරීමයි.

එහෙත් මේ හැම දෙනා අතරින් කිසිවකුත් අපට රිසි නොවෙයි නම්? එවිට සමහරුන් ඡන්ද පත‍්‍රිකාව කටුගෑම කරනවා. එය ඡන්දය අපතේ යැවීමක්.

ලොව සමහර රටවල ඡන්දදායකයන්ට දැන් විකල්පයක් තිබෙනවා. එනම් ඡන්ද අපේක්ෂකයන්ට අමතරව ‘මේ කිසිවකුත් නොවේ’ (None of the Above, NOTA) යනුවෙන්ද ඡන්ද පත‍්‍රිකාවේ සඳහන් වීමයි. මෙය අපේක්ෂකයන් ප්‍රතික්ෂේප කිරීමට ඇති අයිතිය (Right to Reject) ලෙසද විග්‍රහ කළ හැකියි.

NOTAට ඡන්දය ප‍්‍රකාශ කළොත් එය වෙනම ගණන් කරනු ලබනවා (ඡන්ද අපතේ යාමක් හෝ ප‍්‍රතික්ෂේප වීමක් නොවෙයි.) ඡන්ද ප‍්‍රතිඵලයේදීත් එය වෙනම ප‍්‍රකාශයට පත් වනවා.

මේ විකල්පය විවාදාත්මකයි. එයින් ඡන්දදායකයන්ගේ විරෝධය නිසි ලෙස හසු කර ගනු ලැබුවත්, නියෝජිත ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ඒ මොහොතේ ඉක්මන් දායකත්වයක් නැහැ. එය දිගු කාලීනව දේශපාලනය පවිත්‍ර කිරීමට උදවු වන්නක්.

එයින් සියලූ ඡන්ද අපේක්ෂකයන්ටත් දේශපාලන පක්ෂවලටත් වැදගත් හා ප්රබල පණිවුඩයක් දෙනවා. අප නියෝජනය කිරීමට මීට වඩා හොඳ අපේක්ෂකයන් අප බලාපොරොත්තු වනවා කියලා.

මෙය මුල්වරට අත්හදා බැලුනේ අමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝර්නිය ප්‍රාන්තයේ සන්ටා බාබරා ප්‍රදේශයේග පසුව එය නෙවාඩා ජනපදයේ නීතියක් වුණා. නමුත් ජාතික මට්ටමට තවම නීතිගත වී නැහැ.

NOTA-Logo

1980 හා 1990 දශකවල මෙය කෙමෙන් වෙනත් රටවලත් අදාල කර ගනු ලැබුවා. ඉන්දියානු දේශපාලනයේ ‘මේ කිසිවකුත් නොවේ’ යන්න මතුව ආවේ ප‍්‍රධාන ප‍්‍රවාහයේ හැම දේශපාලන පක්ෂයකින්ම නාමයෝජනා ලබන අපේක්ෂකයන් පිළිබඳ මහජන අප‍්‍රසාදය හේතුවෙන්.

දූෂණ චෝදනා ලද, අපරාධ නඩු හරහා පෙර දඬුවම් ලද හෝ වෙනත් වංචනික රියා නිසා නම පලූදු කර ගත් දේශපාලකයන් සංඛ්යාව වැඩිවත්ම මැතිවරණවලදී තමන්ට හරි තේරීමක් කිරීමට අමාරු බව එරට ඡන්දදායකයන්ට පෙනී ගියා.

මේ නිසා ඡන්ද පත‍්‍රිකා කටු ගා දැමීම වෙනුවට එම විරෝධය නිල වශයෙන් ප‍්‍රකාශ කිරීමට ඡන්දදායකයන්ට විකල්පයක් සම්පාදනය කළ යුතු යයි ඉන්දියානු මැතිවරණ කොමිසම මුල් වරට යෝජනා කළේ 2001දී. එහෙත් බලයේ සිටි රජයන් මෙයට කැමති නොවූ නිසා එය ක‍්‍රියාත්මක වීම වසර ගණනක් කල් ගියා.

ඉන්දියාවේ සිවිල් සමාජ ක‍්‍රියාකාරිත්වය ප‍්‍රබලයි. ඔවුන් හොඳ අදහසක් ලෙහෙසියෙන් අත හරින්නේ නැහැ. මැතිවරණ කොමිසමේ සහායට ආවේ වෘත්තිකයන් හා සිවිල් සංවිධානයි. ඔවුන් මේ ගැන ජන මතයක් ගොඩ නැගුවා.

අන්තිමේදී සිවිල් අයිතිවාසිකම් සඳහා ජනතා සංවිධානය (People’s Union for Civil Liberties, www.pucl.org) නම් රාජ්‍ය නොවන සංවිධානය මේ උදෙසා උද්ඝෝෂණය ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා ගෙන ගියා. ඔවුන් පොදු උන්නතිය සඳහා වන පෙත්සමක් (public interest litigation) ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කරමින් NOTA සඳහා මැතිවරණ නීති සංශෝධනය කරන්න රජයට නියම කරන මෙන් අයැද සිටියා.

දීර්ඝ වශයෙන් මේ ගැන සලකා බැලූ ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය 2013 සැප්තැම්බර් 27 වනදා ඓතිහාසික තීන්දුවක් ප‍්‍රකාශයට පත් කළා. අගවිනිසුරු පී. සතාසිවම් ප‍්‍රමුඛ තුන් විනිසුරු මඩුල්ලක් කියා සිටියේ: ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මූලික හරයක් වන්නේ තෝරා ගැනීමේ හැකියාවයි. ඉදිරිපත්ව සිටින කිසිදු මැතිවරණ ඡන්ද අපේක්ෂකයකු පත් වීමට නොසුදුසු යයි සිතන ඡන්දදායකයන්ට එයට එරෙහිව සිය ඍණ ඡන්දයක් ප‍්‍රකාශ කිරීමට අවකාශ ලබා දිය යුතුයි’ කියායි.

Full judgement by Indian Supreme Court

How NOTA works in India
How NOTA works in India

ඒ වන විටත් එබඳු ඍණ ඡන්ද (negative voting) ප‍්‍රකාශ කිරීමේ වරම ලබා දී ඇති රටවල් 13ක් මේ තීරණයේ නම් වශයෙන් සඳහන් වුණා. ඒ අතර ප‍්‍රංශය, අමෙරිකා එක්සත් ජනපදය, ස්වීඩනය, ෆින්ලන්තය වැනි දියුණු රටවල් මෙන්ම බංගලාදේශය, බ‍්‍රසීලය, චිලී, කොලොම්බියා වැනි දියුණු වන රටවල් ද වනවා.

ඡන්ද අපේක්ෂකයන් කිසිවකුත් ගැන පැහැදීමක් නැති ඡන්දදායකයන් මැතිවරණවලට සහභාගී වීම වඩාත් දිරිමත් කැරෙන රමවේදයක් ලෙස මෙය හඳුන්වා දුන් ඉන්දීය ශ්රේෂ්ඨාධිකරණය, සඳහා විධිවිධාන යෙදීමට එරට මැතිවරණ කොමිසමට නියෝග කළා.

වසර දොලහකටත් වඩා මේ පියවර හඳුන්වාදීමට කැමැත්තෙන් සිටි කොමිසම මේ තීන්දුව ඕනෑකමින් ක‍්‍රියාත්මක කළා. 2013 ඔක්තෝබර් 28 වනදා පැහැදිලි කිරීමක් කළ කොමිසම කීවේ ‘මේ කිසිවකුත් නොවේ’ යන්නට යම් ඡන්ද කොට්ඨාශයක වැඩිම ඡන්ද ගණන ලැබුණොත් එම ආසනයේ නියෝජනය හිස් නොවනු පිණිස ඊළඟට වැඩිම ඡන්ද ලැබූ අපේක්ෂකයා තේරී පත් වන බවයි. (එහෙත් ඡන්දදායකයන්ගේ විරෝධය ඒ වන විට මැනවින් ප‍්‍රකාශ වී හමාරයි!)

ඉන්දියාවේ ප්‍රකට බුද්ධිමතකු වන ප්‍රතාප් භානු මේථා මෙසේ කියනවා: “අපේ අඩුපාඩු බහුල ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය වඩාත් ප්‍රශස්ත කිරීමට මෙය ඉදිරි පියවරක්. මේ හරහා ඡන්දදායකයන්ගේ බලය වැඩි වනවා. දේශපාලන පක්ෂ වඩාත් සුපරීක්ෂාකාරීව අපේක්ෂකයන්ට නාමයෝජනා දීමට පොලඹවනවා. අනාගතයේ ඡන්දය ඉල්ලීමට පෙරුම් පුරන උදවියත් වඩාත් ප්‍රවේශම්සහගත වනවා.”

1999 සිට ඉන්දියාවේ ඡන්දය ප‍්‍රකාශ කරන්නේ විද්‍යුත් ඡුන්ද පුවරුවක (electronic voting machine, EVM) බොත්තම් තද කිරීමෙන්. 2014 අපේ‍්‍රල්-මැයි මහ මැතිවරණයේදී මුල් වරට ජාතික මට්ටමින් NOTA විකල්පය එරට මිලියන 800කට වැඩි ඡන්දදායකයන්ට ලැබුණා.

NOTA option in electronic voting machine in India
NOTA option in electronic voting machine in India

ලෝකයේ විශාලතම මැතිවරණය වූ එහිදී ආසන 543ක් සඳහා ඡන්ද අපේක්ෂකයන් 8,251ක් තරග කළා. ලියාපදිංචි ඡන්දදායකයන්ගෙන් 66.38%ක් (එනම් මිලියන 551.3ක්) විද්‍යුත් ඡන්ද යන්ත‍්‍ර මිලියන 1.4ක් හරහා සිය ඡන්දය ප‍්‍රකාශ කළා. මේ දැවැන්ත ව්‍යායාමයේ ප‍්‍රතිඵල 2014 මැයි මැදදී නිකුත් වුණා. ඒ අනුව භාරතීය ජනතා පක්ෂය (BJP)පෙරටු කර ගත් NDA සන්ධානය ආසන 336ක් දිනා ජය ගත් බව අපට මතකයි.

ඡන්දය ප‍්‍රකාශ කළ මුළු සංඛ්‍යාවෙන් 1.1%ක් NOTA යන්න තෝරා තිබුණා. සංඛ්‍යාත්මකව එය 5,997,054ක් (මිලියන 6කට ආසන්නයි.) NOTA ලද ප්‍රතිශතය ප‍්‍රදේශයෙන් ප‍්‍රදේශයට වෙනස් වුණා. පුඩුචෙරි ප‍්‍රාන්තයේ 3%, මෙගාලයාහි 2.8%ක්, ගුජරාටයේ හා චටිස්ගා වැනි ප‍්‍රාන්තවල 1.8%ක් ආදී වශයෙන්.

එය සංඛ්‍යාත්මකව සුළුතරයක් වුවද NOTA හරහා මහජනතාව ඉන්දීය දේශපාලන පක්ෂවලට ප්‍රබල පණිවුඩයක් දී තිබෙනවා. එසේම තමන් කැමති අපේක්ෂකයන් කිසිවකුත් නොසිටීම නිසා මෙතෙක් කල් ඡන්දය දීමට නොගිය ඡන්දදායකයන් සැලකිය යුතු පිරිසක්ද මේ විකල්පය නිසා සහභාගී වූවා යැයි සිතිය හැකියි. (2014 මැතිවරණයේදී එරට මහ මැතිවරණයක ඉහළම ප‍්‍රකාශිත ඡන්ද ප‍්‍රතිශතය වාර්තා වුණා.)

මේ අතර NOTA සංකල්පය බි‍්‍රතාන්‍ය මැතිවරණ ක‍්‍රමයට හඳුන්වා දීමට දැනට වසර ගණනක සිට සමහර සිවිල් ක‍්‍රියාකාරීන් උත්සාහ කරනවා. පාලක පක්ෂ හා විපක්ෂ දෙපසම දූෂිත, විෂමාචාර චෝදනා ලද මන්ත‍්‍රීන් සංඛ්‍යාව මෑත කාලයේ වැඩි වීමත් සමග සමස්ත නියෝජිත ප‍්‍රජාතන්ත‍්‍රවාදී සංකල්පය එරට ඡන්දදායකයන්ට එපා වීමේ අවදානම මතුව තිබෙනවා.

‘කිසි අපේක්ෂකයකුට මගේ ඡන්දය නෑ’ (No Candidate Deserves My Vote!) නම් දේශපාලන පක්ෂයක් ද මේ ක‍්‍රියාකාරීන් පිහිටුවාගෙන තිබෙනවා. එහෙත් කවදා ඔවුන්ගේ උත්සාහය සාර්ථක වේවි දැයි කිව නොහැකියි.

Image courtesy Sri Lanka Brief

ජන ප්රසාදයෙන් ජය ලැබූ අපේක්ෂකයකු ඡන්දයෙන් පසු පිල් මාරු කිරීම, දූෂිත වීම, ඡන්දදායකයන් නොතකා හැරීම හෝ වෙනත් අයුරින් පිස්සු නැටීම කළොත් අපට කුමක් කළ හැකිද?

ඉන්දියාව ප‍්‍රජාතන්ත‍්‍රවාදය වඩාත් පරිපූර්ණ කිරීමට අත්හදා බැලීම් කරන දැවැන්ත පර්යේෂණාගාරයක්. එරට සමහර ක‍්‍රියාකාරිකයන් ප‍්‍රවර්ධනය කරන තවත් සංකල්පයක් නම් ඡන්දයෙන් තේරී පත් වන නියෝජිතයන් වැරදි වැඩ කළ විට ඉක්මනින් ගෙදර යැවීමේ හැකියාවයි (Right to Recall, RTR).

මෙය වඩා හොඳින් ක‍්‍රියාත්මක කළ හැක්කේ සමානුපාතික ඡන්ද ක‍්‍රමය නොව කේවල ඡන්ද ක‍්‍රමය ඇති රටවලයි. මේ සංකල්පය දැනටමත් ඇමෙරිකාවේ ජනපද රැසක හා පේරු රටේ නීතිගතයි. පේරු රටේ ඡන්දදායකයන් අතරින් 50%ක් යම් මහජන නියෝජිතයකුගේ ඉවත් කිරීම ඉල්ලා සිටියොත් එය බලාත්මක වනවා.

ඇමරිකාවේ සමහර නාමධාරී නගරාධිපතිවරුන්, ප‍්‍රාන්ත ආණ්ඩුකාරයන්, සෙනෙට් සභිකයන් සිය ධුර කාලය හමාර වීමට පෙර ජනතාව විසින් ගෙදර යැවූ අවස්ථා රැසක් පසුගිය සියවස පුරාම තිබෙනවා.

එසේම එය අසාර්ථක වූ අවස්ථාද තිබෙනවා. චෝදනා එල්ල කිරීම ලෙහෙසි වුවත් තහවුරු කිරීම අමාරු වැඩක්. එහෙත් අදාළ නීති රීති හා ආයතන ව්‍යුහය සවිමත් නම් ජනතා පරමාධිපත්‍යය ද වඩා සවිමත් වනවා.

ස්විට්සර්ලන්තයේ ජාතික මට්ටමෙන් මෙය නීතිගත කර නැතත්, ප‍්‍රාන්ත (කැන්ටන්) මට්ටමෙන් කිහිපයක එයට ඉඩ දී තිබෙනවා. 1995දී කැනඩාවේ බි‍්‍රටිෂ් කොලොම්බියා ප‍්‍රාන්තය ද මෙවැනි නීතියක් හඳුන්වා දුන්නා.

ඉන්දියාවේ මේ RTR සංකල්පය කලෙක සිට ප‍්‍රවර්ධනය කරන්නේ රාහුල් චිමන්භායි මේථා නම් පරිගණක වෘත්තිකයා. මේ සංකල්පය විස්තර කරමින් ඔහු වෙබ් අඩවි, පුවත්පත් දැන්වීම් හා සංවාද මණ්ඩප ආදිය පවත්වාගෙන යනවා. 1998 ඇරැඹි මේ ව්‍යායාමය තවමත් සාර්ථක වී නැතත් රටේ තුන්වන බලවේගය ලෙස දැන් සැළකෙන පොදු මිනිසාගේ පක්ෂය හෙවත් ආම් ආද්මි පක්ෂය (AAP) එය පිළිගැනීම ලොකු ඉදිරි පියවරක්.

AAP නිල වෙබ් අඩවියේ මෙසේ කියනවා. ‘අපේ ඡන්දය ලබා දිනන සමහර අපේක්ෂකයන් ඊට පස්සෙ සොයා ගන්නවත් බැරි වෙනවා. ඡන්ද කොට්ඨාශයේ මහජනයාගේ ප‍්‍රශ්න නොතකා හරිනවා. එහෙත් වත්මන් ක‍්‍රමයේදී මේ අය අවුරුදු පහකට තනතුරු දරනවා. අප යෝජනා කරන්නේ මේ ධුර කාලය හමාර වීමට පෙර වුවත් දූෂිත හෝ වගකීම් රහිත මහජන මන්ත‍්‍රීවරයකු ගෙදර යැවීමට හැකි නීතිගත අයිතියක්. මැතිවරණ කොමිසමට එබඳු මන්ත‍්‍රීන් ගැන පැමිණිලි කිරීමට මහජනයාට අවකාශ තිබිය යුතුයි. ඔවුන්ගේ තැනට (අතුරු මැතිවරණයකින්) නව නියෝජිතයකු පත් කළ හැකි විය යුතුයි.’

ඉන්දියාවේ මේ සංකල්පය කවදා ක‍්‍රියාත්මක වේද යන්න කිව නොහැකියි. දේශපාලන සදාචාරයට ඍජුවම බලපෑම් කළ හැකි මෙබඳු ප‍්‍රතිසංස්කරණවලට පක්ෂ භේදයකින් තොරව දේශපාලන පක්ෂ නොකැමති වීම හෝ උදාසීන වීම දැකිය හැකියි.

එහෙත් වසර ගණනාවක ප‍්‍රමාදයකින් පසුව 2015 මාර්තු 26 වනදා RTR සංකල්පය බි‍්‍රතාන්‍යයේ නීතියක් ලෙස සම්මත වී ක‍්‍රියාත්මක වීම ඇරඹුණා.

මන්ත‍්‍රීවරයකු සිර දඬුවමක් ලැබුවහොත් හෝ අයථා හැසිරීම නිසා සභා දින 21ක් අවම වශයෙන් තහනමකට ලක් වුවහොත් එම මන්ත‍්‍රීවරයා ගෙදර යැවීමට එය හේතුවක් කොට ගත හැකියි. එහිදී සති 8ක් පුරා අදාල ඡන්ද කොට්ඨාශයේ ඡන්දදායකයන්ට අත්සන් කළ හැකි පෙත්සමක් 10%කට වඩා අත්සන් ලබා ගතහොත් මන්ත‍්‍රීවරයා ගෙදර! ඉන් පසු අතුරු මැතිවරණයක් පැවැත්විය යුතුයි.

"Don't give nominations to politicians with casino or corruption links" - March 12 Movement's poster in Sri Lanka in mid 2015
“Don’t give nominations to politicians with casino or corruption links” – March 12 Movement’s poster in Sri Lanka in mid 2015

සිවුමංසල කොලූගැටයා #208: තොරතුරු අයිතිය තහවුරු කරන්නට තොරතුරු සාක්ෂරතාව අත්‍යවශ්‍යයි!

In this week’s Ravaya column (in Sinhala), I discuss the history and current state of play in relation to right to information (RTI). This is in the context of the new Lankan government planning to introduce an RTI law.

To review the work of government at all levels, citizens/voters need to access public sector information – about decisions, proceedings, budgets, expenditures, problems and performance. Close to 100 countries now have laws guaranteeing people’s RTI.

Sadly, Sri Lanka is lagging behind all other SAARC countries, five of which have already enacted RTI laws and two (Afghanistan and Bhutan) have draft bills under consideration. Attempts to introduce RTI in Sri Lanka were repeatedly thwarted by the previous government, which cited various excuses for avoding such a progressive law.

In this column, I also argue that RTI’s effectiveness depends on imagination, innovation and persistence on the part of all citizens. Its best results will accrue in a society and political culture where evidence and analysis are respected. Sri Lanka is not there yet.

RTI will be a significant milestone in a long journey that must continue.

ACT

තොරතුරු අයිතිය නීතිගත කෙරෙන කෙටුම්පතක් ළඟදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කැරෙනවා. මෙය නව රජයේ එක් යහපාලන ප‍්‍ර‍්‍රතිඥාවක් ඉටු කිරීමක්.

තොරතුරු දැන ගැනීමේ අයිතිය (Right to Information) ශිෂ්ට හා ප‍්‍රජාතන්තවාදී සමාජවල මුලික අංගයක් වී තිබෙනවා. ජාතික ආරක්‍ෂාවට බලපෑමක් කළ හැකි රහස්‍ය තොරතුරු හැර රාජ්‍ය පරිපාලනයට හා පලාත්පාලනයට සම්බන්ධ එදිනෙදා තොරතුරු පැහැදිලි ක‍්‍රමවේදයක් හරහා ඕනෑම පුරවැසියකුට ලබා ගත හැකි වීම මෙහි අරමුණයි.

ලෝකයේ රටවල් සියයකට වැඩි සංඛ්‍යාවක් තොරතුරු නීති පනවා තිබෙනවා. දකුණු ආසියාවේ මේ සම්බන්ධයෙන් වඩාත් පසුගාමීව තිබෙන්නේ ශී‍්‍ර ලංකාවයි. සාක් රටවල් අටෙන් පහක (ඉන්දියාව, පකිස්ථානය, බංගලාදේශය, නේපාලය, මාලදිවයින) එම නීති සම්මත වී කි‍්‍රයාත්මක වන අතර රටවල් දෙකක (ඇෆ්ගනිස්තානය, භූතානය) නීති කෙටුම්පත් විවාද කරමින් සිටිනවා.

තොරතුරු අයිතිය හුදෙක් මාධ්‍යවලට හෝ සිවිල් සමාජ සංවිධානවලට හෝ සීමා වූවක් නොවෙයි. මිලියන 21ක් වන අප සියලූ දෙනාගේ අයිතියක්. ඒ නිසා එය හරිහැටි සාක්ෂාත් කර ගන්නේ කෙසේද යන්න මෙනෙහි කිරීම වැදගත්.

තොරතුරු ගලනය මා දකින්නේ ජල ගලනයට සමාන සංසිද්ධියක් ලෙසයි. වාරි ජලය රඳවා තබන ජලාශයක සොරොවු විවර කිරීමත් සමඟ ජලය යටිගංබලා ගලා යනවා. එවිට එයින් ප‍්‍රයෝජන ගන්නට නම් ඇළ මාර්ග හරිහැටි තිබීම හා සූදානමක් පැවතීම අවශ්‍යයි.

කලක් තිස්සේ නිලධාරිවාදී බැමි මඟින් අවුරා තිබූ මහජනයාට අදාළ තොරතුරු මේ නව නීතිය හරහා ගලා යාමට සැලැස්වූ විට එයින් හරිහැටි ප‍්‍රයෝජන ගන්නට ද නිසි සූදානමක් හා කුසලතා තිබිය යුතුයි. එසේ නැතිනම් තොරතුරු ප‍්‍රවාහය පොදු උන්නතියට යොදා ගන්නට බැරි වනවා.

National Right to Ino laws status - as of 2013 Source: http://home.broadpark.no/~wkeim/foi.htm
National Right to Ino laws status – as of 2013 Source: http://home.broadpark.no/~wkeim/foi.htm

තොරතුරු අයිතිය පිළිබඳ සංකල්පය මුලින්ම මතුව ආවේ 18 වන සියවසේ යුරෝපයේයි. එයට පදනම වැටුණේ පොදු ජනයාට රාජ්‍ය පාලනය විමසීමේ අයිතිය තහවුරු වීමත් සමගයි. ප‍්‍රභූවරුන්, උගතුන් හෝ වෙනත් වරප‍්‍රසාද ලත් පිරිස්වලට සීමා නොවී හැම පුරවැසියකුටම තම රට පාලනය කිරීම පිළිබඳව තොරතුරු දැන ගැනීමට හා ඒ ගැන විමර්ෂණයට අයිතියක් ඇතිබව ලිබරල් මතවාදී යුරෝපීයයන් පිළිගත්තා.

මේ අනුව ක‍්‍රියා කරමින් ලෝකයේ මුල්ම තොරතුරු දැනගැනීමේ නීතිය හඳුන්වා දුන්නේ 1766දී ස්වීඩනයේ. රාජාණ්ඩු මෙන්ම ප‍්‍රජාතන්ත‍්‍රික ආණ්ඩු පවතින යුරෝපීය රටවල මේ සංකල්පය පිළිගෙන නීතිගත කරනු ලැබුවා. එය ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මූලික අංගයක් ලෙස ගෝලීයකරණය වූයේ 20 වන සියවස දෙවන භාගයේ.

එයට දායක වූ වැදගත් සිදුවීමක් නම් 1948දී මානව හිමිකම් පිළිබඳ විශ්ව ප‍්‍රඥප්තිය එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී සම්මත කරගනු ලැබීමයි. මේ වන විට ශ‍්‍රී ලංකාව ද ඇතුලූ ලෝකයේ අති බහුතරයක් රාජ්‍ය මේ ප‍්‍රඥප්තියේ මානව හිමිකම් දැක්ම හා මූලධර්ම නිල වශයෙන් පිළිගෙන තිබෙනවා. www.un.org/en/documents/udhr/

වගන්ති 30කින් සමන්විත සංක්ෂිප්ත ලේඛනයක් වන මෙහි 19 වන වගන්තිය කියන්නේ තමන් කැමති මතයක් දැරීමට හා එය ප‍්‍රකාශ කිරීමට හැම මානවයකුටම මූලික නිදහසක් ඇති බවයි. බලපෑමකින් තොරව එසේ මත දැරීමටත්, තොරතුරු ලබා ගැනීමට හා බෙදා හැරීමටත්, ඕනෑම මාධ්‍යයක් හරහා දේශසීමා ඉක්මවා ක‍්‍රියා කිරීමටත් මානව අයිතියක් තිබෙන බව එයින් පැහැදිලිව කියනවා.

Article 19 of Universal Declaration of Human Rights
Article 19 of Universal Declaration of Human Rights

අප මීට පෙර ද විග‍්‍රහ කළ පරිදි ආසියාවේ තොරතුරු අයිතිය පිළිගෙන නීතිගත කිරීමේ පෙරගමන්කරුවකු වූයේ ඉන්දියාවයි. එය දශකයකට වඩා සිවිල් සමාජ ක‍්‍රීයාකාරකයන්ගේ උද්ඝෝෂණවල ප‍්‍රතිඵලයක්.

ඇත්තටම මෙබඳු නීතියක ප‍්‍රායෝගික වැදගත්කම මුලින්ම හඳුනා ගත්තේ ඉන්දියාවේ බිම් මට්ටමේ සමාජ ක‍්‍රියාකාරිකයන් (නගරයේ සිටින ප‍්‍රතිපත්ති මට්ටමේ ක‍්‍රියාකාරිකයන් නොවේ). මහජන සුබසාධනය හා ග‍්‍රාමීය යටිතල පහසුකම් නඩත්තුවට වෙන් කැරෙන රාජ්‍ය මුදල් ප‍්‍රතිපාදන අකාර්යක්ෂම හා දුෂිත ලෙසින් භාවිත කිරීම 1980 දශකයේ හා 1990 දශකයේ එරට ප‍්‍රබල ප‍්‍රශ්නයක් වූවා.

ග‍්‍රාම හා ප‍්‍රාන්ත මට්ටමේ දේශපාලකයන් හා නිලධාරීන් කරන කියන දේ විමර්ෂණයට මහජනයාට බලය ලබා ගැනීමටයි තොරතුරු අයිතිය අවශ්‍ය වූයේ. එයට ප‍්‍රාන්ත මට්ටමින් නීති පැනවීම තමිල්නාඩුව (1997), ගෝව (1997), රාජස්ථානය (2000), දිල්ලිය (2001), මහාරාෂ්ට‍්‍රය (2002) සිදු වුණා. (ඉන්දියාවේ ප‍්‍රාන්ත බොහොමයක් ශ‍්‍රී ලංකාවට වඩා භූමියෙන් හා ජනගහනයෙන් විශාලයි.) ජාතික මට්ටමේ තොරතුරු නීතියක් සම්මත කර ගත්තේ 2005දී.

ඉන්දියානු තොරතුරු නීතිය යටතේ එරට ඕනෑම පුරවැසියකුට (මධ්‍යම, ප‍්‍රාන්ත හෝ පළාත්පාලන මට්ටමේ) රජයේ ආයතනයකින් තොරතුරු ඉල්ලා සිටිය හැකියි. එය දින 30ක් ඇතුළත ලබා දීමට එම ආයතන නීතියෙන් බැඳී සිටිනවා. එසේ නොවුවහොත් හෝ ලබා දුන් තොරතුරු ගැන සෑහීමකට පත් විය නොහැකි නම් හෝ පැමිණීලි කිරීමට මධ්‍යම තොරතුරු කොමිසමක්ද (Central Information Commission) පිහිටුවා තිබෙනවා.

රජයේ විධායකය, පාර්ලිමේන්තුව හා අධිකරණය යන අංග ත‍්‍රිත්වයේම තොරතුරු මේ නීතියට ආවරණය වනවා. එසේම රාජ්‍ය මුදල් ප‍්‍රතිපාදන ලබන අර්ධ රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධානවල තොරතුරුද පුරවැසියන්ට මේ හරහා ඉල්ලා සිටිය හැකියි.

තොරතුරු අයිතිය නීතිගත වීම හොඳ ආරම්භයක් පමණයි. තොරතුරු අයිතිය නීතිගත වීමෙන් පසු බිහි වන නව යථාර්ථයට අනුගත වීමට සමස්ත රාජ්‍ය තන්ත‍්‍රය ද අලූත් දිශානතියකට යොමු වීම අවශ්‍යයි. යටත් විජිත පාලන සමයේ සිට මහජනයාට කරුණු වසන් කිරීමේ අරමුණින් ක‍්‍රියාත්මක වූ රාජ්‍ය පරිපාලනය වඩාත් විවෘත හා පාරදෘශ්‍ය කිරීමට නීතිමය රාමුවක් පමණක් නොව ආකල්පමය වෙනසක් අත්‍යවශ්‍යයි.

RTI Activist bb

2005 තොරතුරු අයිතිය නීතිගත වීමත් සමඟ ඉන්දියාවේ සියලූ රාජ්‍ය ආයතන සිය තොරතුරු පරිගණක ගත කළ යුතු බවටත්, හැකි සෑම විටම එසේ ඩිජිටල්කරණය වූ තොරතුරු නිල වෙබ් අඩවි හරහා ඕනෑම කෙනකුට ලෙහෙසියෙන් බැලිය හැකි ලෙස ඉන්ටර්නෙට් ගත කළ යුතු බවත් තීරණය වුණා. මෙය ක‍්‍රියාත්මක වීම තොරතුරු ගලනයට මහත් සේ දායක වී තිබෙනවා.

එසේම පසුගිය සතියේ සම්මුඛ සාකච්ඡාවේදී ආචාර්ය රාජේෂ් ටැන්ඩන් කී පරිදි තොරතුරු ලද හැකි වීම හරහා යහපාලනයට දායක වීමේ ප‍්‍රායෝගික අවස්ථා හා විභවය ගැන පුරවැසියන්ට හා සිවිල් සංවිධානවලට නිසි දැක්මක්, පරිකල්පනයක් හා කැප වීමක් අවශ්‍යයි.

තොරතුරු සාක්ෂරතාව (information literacy) මෙහිදී වැදගත් හා තීරණාත්මක වෙනවා. තොරතුරු යටතේ බොහෝ දේ රාජ්‍ය තන්ත‍්‍රය තුළ තිබෙනවා. රැස්වීම් වාර්තා, ටෙන්ඩර් මණ්ඩල තොරතුරු, අයවැය ප‍්‍රතිපාදන, මූල්‍ය වියදම් වාර්තා, විගණන වාර්තා ආදිය පමණක් නොව විද්‍යාත්මකව රැස් කරන ලද දත්ත ද එයට ඇතුළත්.

මේ දෙවැනි කාණ්ඩයට ජන සංගණන හා අනෙකුත් රාජ්‍ය සමීක්ෂණවල සම්පූර්ණ තොරතුරු හා විශ්ලේෂණත්, අස්වනු සංඛ්‍යා ලේඛන, විදේශ වෙළදාම් (ආනායන- අපනයන) සංඛ්‍යා ලේඛන ආදියද අයත් වනවා.

නූතන තොරතුරු බොහොමයක ස්වභාවය නම් ඒවා තාක්ෂණික ස්වභාවයකින් යුක්ත වීමයි. සමහරක් තොරතුරු තේරුම් ගැනීමට විශේෂඥ දැනුමක් හා කුසලතා අවශ්‍යයි. මෑත වසරවල රාජ්‍ය අංශය පරිගණක භාවිතය වැඩිවීමත් සමඟ තොරතුරු ඩිජිටල් ආකාරයෙන් පවත්වා ගැනීම ඇරඹී තිබෙනවා. එහෙත් සමස්ත රාජ්‍ය ක්ෂේත‍්‍රයට බලපාන ඩිජිටල් දත්ත ප‍්‍රමිතීන් තවමත් දක්නට නැහැ.

මේ නිසා ඩිජිටල් දත්ත විවිධ තාක්ෂණික පරිමානයන් හා මෘදුකාංගයන් යටතේ පවතිනවා. මේවා ලබා ගන්නා සමාජ ක‍්‍රියාකාරිකයන් හෝ පර්යේෂකයන් ඒ දත්ත විශ්ලේෂණය කරන විට නොගැලපීම්වලට (data incompatibility) මුහුණ දෙනවා.

තොරතුරු අයිතිය නීතිගත වීමේ නිසි ඵල නෙලා ගන්නට නම් අප සැවොම අපේ තොරතුරු සාක්ෂරතාව දියුණු කර ගත යුතුයි. එසේ නොවුවහොත් තොරතුරු ප‍්‍රවාහයට හසු වී අප ගසා ගෙන යාමේ අවදානමක් තිබෙනවා.

තොරතුරු සාගතය ගැන කලක් තිස්සේ පැමිණීලි කරමින් සිටින අපේ සමාජ රියාකාරිකයන් හා මාධ්යවේදීන් තොරතුරු ගලනය උත්සන්න වූ විට එයට කෙසේ හැඩ ගැසේද?

හුදෙක් ආවේගයන් හෝ අනුමානයන් හෝ මත පදනම් නොවී සංඛ්‍යාලේඛන හා විශ්වාස කටයුතු මූලාශ‍්‍ර හරහා නිගමනවලට එළඹීම අද කාලේ අත්‍යවශ්‍ය කුසලතාවක්. අපේ සමහරුන් පිලූණු වූ දත්ත හෝ වැරදි නිරීක්ෂණ (පක්ෂග‍්‍රාහී) හෝ යොදා ගෙන යම් වැරදි ස්ථාවරයන්ට එළඹෙනු නිතර දත්නට ලැබෙනවා.

(සුලභ උදාහරණයක්: ශ‍්‍රී ලංකාව කෘෂිකාර්මික රටක් යැයි පුන පුනා කීවත් තව දුරටත් එය සංඛ්‍යා ලේඛනවලින් තහවුරු වන්නේ නැහැ. මහබැංකු වාර්ෂික වාර්තාවට අනුව 2013දී දළ ජාතික නිෂ්පාදනයට කෘෂිකර්මයේ දායකත්වය 10.6% පමණයි. ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට අනුව 2013දී කෘෂිකර්මාන්තයට සම්බන්ධ ජීවිකාවක නියැලි මෙරට රැකියා නියුක්තිකයන්ගේ ප‍්‍රතිශතය 22.5%යි. මේ සංඛ්‍යා ලේඛන රහසිගත නොව විවෘතව ඒ ආයතනවල ප‍්‍රකාශනවල අඩංගුයි.)

තවත් උදාහරණයක්: ජංගම දුරකථන භාවිතය ජනගහණයෙන් 100කට ගිණුම් 105 දක්වා ඉහළ ගොස් තිබියදීත් තවමත් සමහරුන් කියන්නේ මෙය නාගරික හා වරප‍්‍රසාද ලත් අයගේ තාක්ෂණයක් බවයි.

මේ තොරතුරු මහජනයාට දැනටමත් විවෘතව තිබියදීත් ඒවා පරිශීලනය නොකරන උදවිය තොරතුරු අයිතියෙන් නිසි ප‍්‍රයෝජන ගනියිද?

Do we know how to cope with all this info?
Do we know how to cope with all this info?

තොරතුරු ගලනය විධිමත් වීමත් සමඟ එය ක‍්‍රම ක‍්‍රමයෙන් වඩාත් විවෘත වූත්, වගකීම් සහිත වූත් රාජ්‍ය පාලනයකට හැසිරවීම අප හමුවේ විශාල අභියෝගයක්.

සිල්ලර මට්ටමේ රාජ්‍ය තොරතුරු මෙන්ම තොග මට්ටමේ රාජ්‍ය තොරතුරු ද ඉලක්කගත ඉල්ලීම් හරහා ලබා ගෙන ඒවා සූක්ෂම ලෙස විමර්ෂණය කොට නොගැලපීම්, සැක කටයුතු තැන් හෝ අක‍්‍රමිකතා හඳුනා ගැනීමේ හැකියාව පුරවැසියන් හැටියට අප ප‍්‍රගුණ කළ යුතුයි.

වර්තමානයේ රාජ් ක්ෂෙතරයේ බොහෝ අකටයුතුකම් හා අකරමිකතා සිදු කැරෙන්නේත් සුක්ෂම හා සටකපට ලෙසින්. මේ නිසා ගවේෂණාත්මක මාධ්යකරුවන්ගේ හා රහස් පරීක්ෂකයන්ගේ කුසලතා ගොන්න වඩාත් අවශ් වනවා.

විද්වත් ස්වරූපයකින් පවතින සමහර රාජ්‍ය දත්ත ද විකෘති කොට කෙන්ද කන්ද කළ අවස්ථා පසුගිය දශකයක කාලයේ අප දුටුවා. ආර්ථික වර්ධනය ගැන මෑත වසරවල මහ බැංකුව මහත් උජාරුවෙන් හුවා දැක්වූ සමහර සංඛ්‍යා ලේඛන, සැබෑ තත්ත්වය වැඩිකොට පෙන්වීමක් බව දැන් තහවුරු වී තිබෙනවා. මෙබඳු අවස්ථාවල විද්වත් රාජ්‍ය තොරතුරු විචාරශීලීව කියැවීමේ හැකියාව මාධ්‍ය හා සිවිල් ක‍්‍රියාකාරිකයන්ට තිබිය යුතුයි.

අවසාන විනිශ්චයේදී විවෘත හා වගකීම් සහිත රාජ්‍යකරණයක් (open and accountable government) බිහි වීමට රාජ්‍ය නායකයාගේ අවංක ප‍්‍රතිඥා පමණක් සෑහෙන්නේ නැහැ. කලක් රහසිගතව හා ඇතැම් විට වංචනිකව පැවත ආ රාජ්‍ය පරිපාලනය විවෘත කර ගැනීමට පුරවැසි සැමගේ මැදිහත්වීම, සංශයවාදී බව හා තොරතුරු සාක්ෂරතාව අවශ්‍යයි.

දැන ගියොත් යහපාලනය. නොදැන ගියොත් අතරමඟ!