සිවුමංසල කොලුගැටයා #285: ඩ්‍රෝන් තාක්ෂණය දැන් ශ්‍රී ලංකාවේ. අප එයට සූදානම් ද?

Drones are coming: Are we ready?
Drones are coming: Are we ready?

For some, drones still conjure images of death and destruction – that has been their most widely reported use. But that reality is fast changing. Unmanned aerial vehicles (UAVs) are being used for many peaceful purposes, from newsgathering and post-disaster assessments to goods delivery and smart farming.

Drones come in various shapes and sizes: as miniature fixed-wing airplanes or, more commonly, quadcopters and other multi-bladed small helicopters. All types are getting simpler, cheaper and more versatile.

Unlike radio-controlled model aircraft, which aviation hobbyists have used for decades, UAVs are equipped with an autopilot using GPS and a camera controlled by the autopilot. These battery operated flying machines can be manually controlled or pre-programmed for an entire, low altitude flight.

In this week’s Ravaya column (in Sinhala, appearing in the print issue of 25 Sep 2016), I survey the many civilian applications of drones – and the legal, ethical and technical challenges they pose.

Drones are already being used in Sri Lanka by photographers, TV journalists and political parties but few seem to respect public safety or privacy of individuals.

I quote Sanjana Hattotuwa, a researcher and activist on ICTs, who in August 2016 conducted Sri Lanka’s first workshop on drone journalism which I attended. I agree with his view: drones are here to stay, and are going to be used in many applications. So the sooner we sort out public safety and privacy concerns, the better for all.

See also my article in English (NOT a translation): Drones are coming: Are we ready? (Echelon magazine, Oct 2016)

Sanjana Hattotuwa showing drone operating controls to a participant at Sri Lanka's first journalists workshop on the topic - Mt Lavinia, Aug 2016
Sanjana Hattotuwa showing drone operating controls to a participant at Sri Lanka’s first journalists workshop on the topic – Mt Lavinia, Aug 2016

සිවිල් යුද්ධ සමයේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඔත්තු බැලීමට යොදා ගත් ”කේලමා” ඔබට මතක ද?

”කේලමා” කියා නම පටබැඳුණේ නියමුවකු රහිතව ගුවන්ගත කොට දුරස්ථව ක්‍රියාත්මක කළ හැකි කුඩා ගුවන් යානයකට. කැමරා සවි කළ එය යම් තැනකට ගුවනින් යවා, හසුරුවා බිම ඡායාරූප ගත හැකි වුණා.

මේ යානා හඳුන්වන්නේ UAV (unmanned aerial vehicles) හෙවත් ඩ්‍රෝන් (drones) නමින්.

ඩ්‍රෝන් මුලින්ම නිපදවා යොදා ගනු ලැබුවේ මිලිටරි වැඩවලට. ඔත්තු බලන්නට පමණක් නෙවෙයි. දුර සිට යම් ඉලක්කයන්ට පහර දෙන්නට අවි ගෙන යා හැකි ඩ්‍රෝන් ද තිබෙනවා.

ඇෆ්ගනිස්ථානයේ හා පාකිස්ථානයේ අමෙරිකානු හමුදා ඩ්‍රෝන් යොදා ගෙන ත්‍රස්ත ඉලක්කවලට පහරදීමේදී නිතරම පාහේ අහිංසක නිරායුධ වැසියන්ද මිය යනවා. තුවාල ලබනවා.

එහෙත් අද වන විට සාමකාමී භාවිතයන් රැසකට ඩ්‍රෝන් යොදා ගැනීම ඇරඹිලා. බඩු ප්‍රවාහනයට, ආපදා හදිසි තක්සේරුවලට, ඡායාරූපකරණයට හා මාධ්‍යකරණයට ආදී වශයෙන්.

අප සමහරුන් කැමති වුණත්, නැති වුණත් ඩ්‍රෝන් තාක්ෂණය ලංකාවටත් ඇවිල්ලා!

දේශපාලන සන්නිවේදනයට ඩ්‍රෝන් හරහා ලබා ගත් වීඩියෝ හා ඡායාරූප යොදා ගැනීම ගිය වසරේ මහ මැතිවරණයේදී දක්නට ලැබුනා. මේ අතින් රාජපක්ෂ සන්නිවේදක කණ්ඩායම ඉදිරියෙන් සිටිනු පෙනෙනවා.

කොස්ගම සාලාව අවි ගබඩාව පුපුරා ගිය පසු එහි විනාශයේ තරම හරිහැටි පෙන්වන්න සමහර ටෙලිවිෂන් නාලිකා ඩ්‍රෝන් මාර්ගයෙන් ගත් දර්ශන සාර්ථකව යොදා ගත්තා.

වියදම් අධික හෙලිකොප්ටර් භාවිත නොකර ගුවනින් යමක් පෙනෙන හැටි බලා ගන්න ලෙහෙසිම හා ලාබම ක්‍රමය මෙයයිග මූලික වියදමින් පසු නඩත්තු වියදම වන්නේ විදුලියෙන් බැටරි චාජ් කිරීම පමණයි.

අප මෙහිදී drone යනුවෙන් අදහස් කරන්නේ නියමුවන් රහිත, ස්වයංක්‍රීය කුඩා ගුවන්යානාවලට. මෙයට තවම සිංහල යෙදුමක් නැති නිසා ඩ්‍රෝන් යැයිම කියමු.

ගුවන්යානා තාක්ෂණය තරම්ව වාගේ දිගු ඉතිහාසයක් ඩ්‍රෝන් තාක්ෂණයට තිබෙනවා. 1903දී රයිට් සොහොයුරුන් නිපද වූ ගුවන්යානය වසර කිහිපයක් තුළ මිලිටරි භාවිතයන්ට යොදා ගත් අතර නියමුවන් අවදානමකට ලක් නොකර ස්වයංක්‍රීය ගුවන්යානා හරහා ඔත්තු බලන්නේ හා ප්‍රහාර දෙන්නේ කෙසේද යන්න 1920 පමණ පටන් විවිධ හමුදා අත්හදා බැලුවා.

මිලිටරි තාක්ෂණය තුළට මෑතක් වන තුරු සීමා වී තිබූ ඩ්‍රෝන්, සිවිල් ජන භාවිතයට ප්‍රචලිත වූයේ ජංගම දුරකථන කර්මාන්තය නිසයි. ස්මාට්ෆෝන් සඳහා දියුණු කරන ලද දෘෂ්ටිමය, පරිඝණකමය හා සන්නිවේදන උපාංග ඩ්‍රෝන්වලටද යොදා ගැනීම හරහා ඒවායේ මිළ සීඝ්‍රයෙන් පහත බැස තිබෙනවා.

අපේ අවධානය නිරායුධ වූත්, නියමුවන් රහිත වූත් ඩ්‍රෝන් යානා (unmanned and unarmed aerial vehicles) සාමකාමී භාවිතයන්ට යොදා ගැනීම ගැනයි.

මීට වසර කිහිපයකට පෙර ඩොලර් දහස් ගණනක් (රුපියල් ලක්ෂ ගණනක්) මිළ වූ ඩ්‍රෝන් අද වන විට මිළෙන් අඩු වී, තාක්ෂණික හැකියාවෙන් වැඩි වී විවිධ සමත්කම් ඇති යන්ත්‍ර පරාසයක් බවට පත්ව තිබෙනවා.

අද වන විට සංකීර්ණත්වයෙන් අඩු ඩ්‍රෝන් රුපියල් 35,000 – 40,000 අතර මිළකට කොළඹ විකිණෙනවා. වඩාත් හැකියාවන්  ඇති ඩ්‍රෝන් (උදා – Phantom IV) මේ වන විට රු. 180,000ක් පමණ වනවා.

මේවා බොහොමයක් අලෙවි කැරෙන්නේ සෙල්ලම් බඩු (electronic toys)  ලෙසයි. විදෙස්ගතව මෙහි එන අයට මීටත් වඩා අඩු මිළකට ඩ්‍රෝන ගෙන ආ හැකියි. එසේ මෙරටට ගෙන ඒමට කිසිදු තහනමක් නැහැ.

එහෙත් රටට ගෙනැවිත් භාවිත කරන විට මෑතදී හඳුන්වා දී ඇති සිවිල් ගුවන් සේවා ප්‍රමිතීන් හා නියාමනවලට අනුකූල විය යුතුයි.

තාක්ෂණය ලබා ගත්තට මදි. එය නිර්මාණශීලිව භාවිත කළ යුතුයි. එසේම එහිදී නීතිමය හා ආචාර ධර්මීය රාමුවක් තුළ ඩ්‍රෝන හැසිරවීම වැදගත්.

නව මාධ්‍ය හා නව තාක්ෂණයන් සමාජගත වීම ගැන පර්යේෂණ කරන සංජන හත්තොටුව, UAV සාමකාමී භාවිතය ගැන කලක සිට ගවේෂණය කරන්නෙක්. විශේෂයෙන්ම මානවහිතවාදී (humanitarian) ක්‍රියා සඳහාත්, ආපදාවලින් පසු කඩිනම් ප්‍රතිචාර දැක්වීමේදීත් ඩ්‍රෝන් කෙසේ යොදා ගත හැකිද යන්න ගැන ඔහු වසර කිහිපයකට සිට ජාත්‍යන්තර මට්ටමින් දැනුම ගවේෂණය කරනවා.

Peacekeepers in the Sky
Peacekeepers in the Sky

2015 සැප්තැම්බරයේ ICT4Peace Foundation නම් ආයතනය පළ කළ මේ පිළිබඳ විද්වත් පොතකට (Peacekeepers in the Sky: The Use of Unmanned Unarmed Aerial Vehicles for Peacekeeping) පෙරවදන ලියමින් සංජන මෙසේ කියනවා:

”මානහිතවාදී ආධාර ආයතනත්, පෞද්ගලික සමාගමුත් නිරායුධ ඩ්‍රෝන්වලින් විවිධ ප්‍රයෝජන ගන්නා සැටි අත්හදා බලනවා. ඒ අතර සාමයට ළැදි ක්‍රියාකාරීකයන් සහ පර්යේෂකයන් තැත් කරන්නේ යුධ අවියක් ලෙස වඩා ප්‍රකට වූ මේ තාක්ෂණය සාමය තහවුරු කරන්නත්, සාමකාමී භාවිතයන්ටත් විවිධාකාරයෙන් යොදා ගන්නයි.”

ඔහු කියන්නේ ඩ්‍රෝන් තව දුරටත් පර්යේෂණාත්මක මට්ටමට සීමා නොවී එදිනෙදා භාවිතයන්ට පිවිස ඇති බවයි.

ගුවන් තාක්ෂණයේ යොදා ගන්නා ඉලෙක්ට්‍රොනික් (avionics), වඩාත් දියුණු බැටරි හා  කැමරා තාක්ෂණයන් ආදිය ඒකරාශී කරමින් වැඩි වේලාවක් ගුවන්ගතව සිටිය හැකි වූත්, විවිධ සැරිසැරීම් සඳහා  ප්‍රෝග්‍රෑම් කළ හැකි වූත් ඩ්‍රෝන බිහි වී තිබෙනවා.

”අද වන විට ලොව බොහෝ රටවල පොදු කටයුතු සඳහා ඩ්‍රෝන් පාවිච්චි කරනවා. වනජීවී හා වනාන්තර නිරීක්ෂණයට, පොලිස් ආවේක්ෂණ ක්‍රියාවලට, (ගොඩබිම්)  දේශසීමා අධික්ෂණයට, ගොවිතැන්වල උදව්වලට හා චිත්‍රපට නිෂ්පාදනයට ආදී වශයෙන්. එහෙත් නිිසි වගකීමකින් යුතුව, මනා නියාමනයක් සහිතව ඩ්‍රෝන් භාවිත නොකළොත් එයින් යහපතට වඩා අයහපතක් වීමට ඉඩ තිබෙනවා.” සංජන කියනවා.

උදාහරණයක් ලෙස මාධ්‍යකරණය සඳහා ඩ්‍රෝන් යොදා ගැනීම සළකා බලමු.

මෙරට සමහර ටෙලිවිෂන් ආයතන එළිමහන් දර්ශන වීඩියෝ කිරීමට ඒවා යොදා ගන්නවා. මගුල් ඡායාරූප ශිල්පීන්, වනජීවි හා සොබා ඡායාරූප ශිල්පීන් මින් පෙර නොතිබූ ගුවන් දැක්මක් ලබා ගන්නට ද ඩ්‍රෝන්ගත කැමරා භාවිත කරනවා.

මහජන පෙළපාළි, රැස්වීම්, පෙරහැර ආදී අවස්ථාවල ජනකාය හා ක්‍රියාකාරකම් ගැන අමුතු දෘෂ්ටිකෝණයක් ලබන්නට ඩ්‍රෝන් යොදා ගැනීම ඇරඹිලා.

නමුත් මේ කී දෙනෙක් සුපරීක්ෂාකාරීව හා ආචාරධර්මීය ලෙසින් ඩ්‍රෝන් භවිත කරනවාද?

Fromer President Mahinda Rajapaksa visited the landslides victims at Arnayake in Kegalle on 20 May 2016 - Drone Photo
Fromer President Mahinda Rajapaksa visited the landslides victims at Arnayake in Kegalle on 20 May 2016 – Drone Photo

මෑතකදී කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මංගල්‍යයේදී එය රූපගත කළ ඩ්‍රෝන් ඉතා පහළින් ගමන් කළ බව වාර්තා වූණා. මෙහිදී මහජන ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් මතු වනවා. ජනාකීර්ණ තැනක පියාසර කරන ඩ්‍රෝන් හදිසියේ ඇද වැටුණොත් යම් අයට තුවාල විය හැකියි. ඒවා අධි බලැති විදුලි සම්ප්‍රේෂණ රැහැන්වල ගැටී අනතුරු සිදු කිරීමට ද හැකියි.

(විශේෂ ආරක්ෂිත ස්ථාන හැර) පොදු ස්ථානවල ඡායාරූප හා විඩියෝගත කිරීමට සාමකාමී රටක අවකාශය තිබිය යුතුයි. එහෙත් පෞද්ගලික නිවාස, කාර්යාල ආදියට ඉහළින් පියාසර කරමින් ඒ තුළ ඇති දර්ශන රූපගත කිරීම මඟින් පුරවැසියන්ගේ පෞද්ගලිකත්වය (privacy) උල්ලංඝනය වනවා.

රේඩියෝ තරංග හරහා දුරස්ථව පාලනය කරන සියලු උපකරණ සඳහා විදුලි සංදේශ නියාමන කොමිසමේ අනුමැතිය අවශ්‍යයි. එහෙත් ඔවුන් අධීක්ෂණ සීමා වන්නේ නිසි සංඛ්‍යාත භාවිතයට පමණයි.

2016 පෙබරවාරියේදී සිවිල් ගුවන්සේවා අධිකාරිය මෙරට UAV/ඩ්‍රෝන්  භාවිතය ගැන ප්‍රමිතීන් හා මග පෙන්වීම් සිය වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කළා. http://www.caa.lk/images/stories/pdf/implementing_standards/sn053.pdf

මේ දක්වා ඉංග්‍රීසියෙන් පමණක් ඇති මේ ලේඛනයට අනුව කිලෝග්‍රෑම් 1ට වඩා බරින් අඩු ඩ්‍රෝන් සඳහා ලියාපදිංචියක් අවශ්‍ය නැහැ. එහෙත් ඒවා භාවිත කළ හැක්කේ විනෝදය හෝ අධ්‍යාපනික අරමුණු සඳහා යම් පෞද්ගලික ස්ථානයක එහි හිමිකරුගේ අනුමැතිය සහිතව, හා පොදු ස්ථානවල පමණයි. මෙකී ස්ථාන දෙවර්ගයේම මහජන සුරක්ෂිතබව හා දේපල  සුරක්ෂිත බවට අවධානය යොමු කළ යුතු යැයි කියැවෙනවා.

ක්‍රිලෝග්‍රෑම් 1 -25 අතර බර ඇති ඩ්‍රෝන් භාවිතයට සිවිල් ගුවන් සේවා අධිකාරිය සමඟ ලියාපදිංචි විය යුතුයි. එවන් ඩ්‍රෝන් පියාසර කිරීම සිදු කළ යුත්තේ සිවිල් ගුවන්සේවා අධ්‍යක්ෂ ජනරාල්ගේ අනුමැතිය සහිතව පමණයි.

එසේම සියලු ඩ්‍රෝන්වල එහි හිමිකරුගේ ජාතික හැඳුනුම්පත් අංකය හා දුරකථන අංකය සටහන් කර තිබිය යුතු වනවා. මීට අමතරව ඩ්‍රෝනයට විශේෂිත අංකයක්ද එය නිපදවන විටම එයට ලබා දී තිබෙනවා.

වාණිජ අරමුණු සඳහා ඩ්‍රෝන් භාවිත කරන විට ඒ සඳහා අධිකාරීයේ ලිඛිත අවසරයක් ලැබිය යුතු අතර එයට යම් ගෙවීමක් ද කළ යුතුයි.

Sanjana Hattotuwa demostrating a drone at drone journalism workshop
Sanjana Hattotuwa demostrating a drone at drone journalism workshop

සෑම විටම ඩ්‍රෝන් හසුරවන්නා සිය ඩ්‍රෝනය ඇසට පෙනෙන මානයේ (line of sight) තබා ගත යුතු බවත්, ඩ්‍රෝනය ගමන් කරන පරිසරය මනාව නිරීක්ෂණය කළ හැකි තැනෙක සිට එය කළ යුතු බවත් අධිකාරීය අවධාරණය කරනවා.

”අපේ රටේ ප්‍රසිද්ධ ස්ථානවල රූපගත කරද්දී දේශපාලන පක්ෂ සැමෙකක්ම මේ සිවිල් ගුවන්සේවා ප්‍රමිතීන් උල්ලංඝනය කරනවා.” යැයි සංජන කියනවා.

වඩාත් සංකීර්ණ ඩ්‍රෝන් තුළ ඇති පරිගණක පද්ධතියට ලෝකයේ සියලු ගුවන්තොටුපළවල පිහිටීම් දත්ත (location data) කවා තිබෙනවා. මේ නිසා ගුවන්තොටුපළක් ආසන්නයේ ඒවා පියාසර කිරීම ඉබේම වැළකෙනවාග

එහෙත් චීනයෙන් එන ලාභ ඩ්‍රෝන් සැම එකකම මේ  ආරක්ෂිත විවිධිධානය නොතිබිය හැකියි.

රාත්‍රියේ ඩ්‍රෝන් පැදවීම හා ඩ්‍රෝන් අතර තරඟ රේස් යාමද සිවිල් ගුවන්සේවා අධිකාරීය අවසර නොදෙන තවත් ක්‍රියාවන් දෙකක්. කෙසේ වෙතත් දැනට වෙළදපොලේ ඇති කිසිදු ඩ්‍රෝනයකට රාත්‍රී පෙනීම නැහැ.

මාධ්‍යකරණයට ඩ්‍රෝන් යොදා ගන්න විටත් මෙකී ප්‍රමිතීන් හා නියාමන සියල්ල අදාළයි. එහෙත් ඉන් ඔබ්බට යන ආචාර ධර්මීය රාමුවක් තුළ පමණක් මාධ්‍යකරුවන් ඩ්‍රෝන් හරහා රූප රැස් කළ යුතුයි.

ඩ්‍රෝන් කියන්නේ සරුංගල් මෙන් අහිංසක සරල උපාංගයක් නොවෙයි. ඉතා ඉහළ රූපමය අගයක් ^image resolution) සහිත විඩියෝ හා ඡායාරූප ගැනීමේ හැකියාව ඇති නිසා ඩ්‍රෝන් මිනිසුන්ගේ පෞද්ගලික ජීවිතවලට අනවසරයෙන් එබී බලන්නට හොඳටම ඉඩ තිබෙනවා.

අධිකාරීයේ ප්‍රමිතීන්ට අනුව පෞද්ගලික ඉඩම් උඩින් හිමිකරුවන්ගේ අවසරයෙන් තොරව ඩ්‍රෝන් පියාසර කරන්නට ඉඩ නැහැ.

”යම් කාලීන සිදුවීමක පරිමාණය ගැන ඉක්මනින් හොඳ අවබෝධයක් ලබා දීමට ඩ්‍රෝන් හරහා ලබා ගන්න රූප මාධ්‍යවලට ඉතා ප්‍රයෝජනවත් වනවා. එහෙත් තරඟකාරී මාධ්‍ය කර්මාන්තයේදී මහජන සුරක්ෂිතබව හා සියලු දෙනාගේ පෞද්ගලිකත්වය රැකෙන පරිදි පමණක් එවන් රූප ලබා ගැනීම ඉතා වැදගත්,” යයි සංජන අවධාරණය කරනවා.

යුද්ධ කාලේ කේලමා කළ ඔත්තු බලන වැඩ සාමකාමී අද කාලේ හිතුමතයට ඕනෑ කෙනකුට කිරීමට ඉඩ නොතිබිය යුතුයි.

 තම නිවාස හා කාර්යාල තුළ තමන්ගේ පාඩුවේ සිටීමට කාටත් අයිතියක් තිබෙනවා. මෙය අතික්‍රමණය කිරීමට ඩ්‍රෝන්වලට ඉඩ දිය නොහැකියි.

ඩ්‍රෝනයක් හැසිරවීම සඳහා යම් අවම හැකියාවක් හා සංයමයක් අවශ්‍යයි. මේ වන විට ළමයින් පවා ඩ්‍රෝන් පාලනය කරනු මා දැක තිබෙනවා. එය සංකීර්ණ ක්‍රියාවක් නොවූවත් සංයමය නැති වූවොත් අනතුරු සිදු විය හැකියි.

ඩ්‍රෝන් නිසි පරිදි භාවිතය ගැන මාධ්‍යවේදීන්ට මෙරට පැවැත්වූ මූල්ම වැඩමුළුවට මීට සති කිහිපයකට පෙර මාද සහභාගි වූණා. ඉන්ටර්නිවුස් ආයතනය වෙනුවෙන් ගල්කිස්සේ පැවති එය මෙහෙයවූයේ සංජන හත්තොටුවයි.

ඩ්‍රෝන් භාවිතය මෙරට රාජ්‍ය, පෞද්ගලික හා විද්වත් ක්ෂේත්‍ර හැම එකකම කෙමෙන් මතුව එනවා. මිනින්දෝරු දෙපාර්තමේන්තුව හා ජාත්‍යන්තර ජල කළමනාකරණ පර්යේෂණායතනය (IWMI) දැනටමත් ප්‍රායෝගීකව ඩ්‍රෝන් යොදා ගන්නවා. ගොවිතැනට ඩ්‍රෝන් හරහා නව දත්ත සේවාවක් හඳුන්වා දෙන බව CIC සමාගම 2016 අගෝස්තුවේ ප්‍රකාශ කළා.

ඩ්‍රෝන් භාවිතය වැඩිවත්ම අපේ සමහරු ඒවා ගැනත් භීතිකාවක් පැතිරවිය හැකියි. ඩ්‍රෝන් තාක්ෂණයේ නිසි ඵල නෙළා ගන්නා අතර ඒවා ප්‍රවේශමින්, ආචාර ධර්මීයව හා නිසි නියාමන රාමුවක් තුළ භාවිතයයි අවශ්‍ය වන්නේ.

ඇත්තටම සිවිල් ගුවන්සේවා අධිකාරීයේ ප්‍රමිතීන් ගැන බොහෝ දෙනා තවම දන්නේ නැහැ. ඉංග්‍රීසියෙන් පවා මේවා ලියා ඇත්තේ අතිශ්‍ය නීතිමය බසකින්. එය සරලව මෙරට භාවිත වන තිබසින්ම සමාජගත කිරීම හදිසි අවශ්‍යතාවක්.

Journalists getting used to drone control unit at Sri Lanka's first workshop on drone journalism, Aug 2016
Journalists getting used to drone control unit at Sri Lanka’s first workshop on drone journalism, Aug 2016

 

සිවුමංසල කොලූගැටයා #88: පාකිස්ථානයට තිත්ත ඇත්ත කියන ටෙලිවිෂන් නාලිකා

In this week’s Ravaya column (in Sinhala), I reflect on my recent visit to Pakistan, after 15 years.

When I last visited, in 1997, there were only state owned radio and TV channels. That changed in 2002 when private ownership was allowed. In a decade, private broadcasting has grown and expanded — especially in news and current affairs TV channels, which are now a dominant factor in Pakistan’s everyday life.

What does this mean for media pluralism, governance and social order in a country as complex as Pakistan? Are 24/7 news channels part of the problem or part of the solution? Since the genie cannot be sent back into the lamp, how best can its powers be harnessed for the public interest?


“ඇෆ්ගනිස්ථානයට යාබදව තිබෙන විකාර දේශය” හැටියට මගේ මිය ගිය පාකිස්ථානු මිතුරිය සනියා හුසේන් ඇගේ උපන් බිම හදුන්වා දෙන්නට පුරුදුව සිටියා. එය වඩාත් තිව‍්‍ර ලෙස දැනුනේ ඉංගී‍්‍රසියෙන් කී විටයි. ‘I live in Absurdistan, located next to Afghanistan!’

සනියා තමාගේ මවු රටට ඇලූම් කළ, එරට පොදු ජන උන්නතියට මාධ්‍යවේදිනියක හා සමාජ ක‍්‍රියාකාරිනියක ලෙස විශාල සේවයක් කළ අයෙක්. එහෙත් සිය රටේ දැවෙන ප‍්‍රශ්න හා දැඩි සමාජ විසමතා ගැන නොවලහා කථා කිරීමටත්, සමාජ සාධාරණත්වය හා ප‍්‍රජතාන්ත‍්‍රවාදය උදෙසා උද්ඝෝෂණ කරන්නටත් ඇය පසුබට වූයේ නැහැ.

පාකිස්ථානය අද ලෝකයේ දැඩි අවධානයට ලක් වූ රටක්. ඉස්ලාමීය මූලධර්මවාදය ප‍්‍රවර්ධනය කොට පිටරට පටවන බවට බටහිර රටවල් පාකිස්ථානයට චෝදනා නගනවා. මෙය එරට රජය හා ජන සමාජය එක එල්ලේ පිලි ගත්තේ නැතත්, නීතිය හා සාමය රැක ගැනීම පිළිබද බරපතල ගැටළු මතුවී ඇති බවට නම් ඔවුන් හැම කෙනකු ම එකග වනවා.

වසර 15කට පසු මා මෑතදී යළිත් පාකිස්ථානයට ගියා. එහි වඩාත් ම ජනාකීර්ණ වූත්, වානිජමය කේන්ද්‍රස්ථානය වූත් කරච්චි නගරයේ දින කිහිපයක් මා ගත කළේ එරට ටෙලිවිෂන් වාර්තාකරුවන් හා නිෂ්පාදකයන් සඳහා පුහුණු වැඩමුළුවක ප‍්‍රධාන පුහුණුකරුවා හැටියටයි. මේ නිසා කෙටි කාලයක් තුල එරට ජන සමාජය හා දේශපාලන ප‍්‍රවාහයන් ගැන මාධ්‍යවේදී මිතුරන් රැසක් සමග කථා බහ කරන්නට ඉඩ ලැබුණා. ඊට අමතරව මගේ පැරණි පාකිස්ථානු මිතුරු මිතුරියන් කිහිප දෙනකු ද හමුවුණා.

පාකිස්ථානය වැනි සංකීර්ණ රටක ප‍්‍රශ්න ගැන කෙටි සංචාරයකින් තේරුම් ගත නොහැකියි. එහෙත් මා ඇසූ දුටු ඇතැම් දේ අපටත් අදාල යැයි සිතෙනවා.

පාකිස්ථානය වෙන ම රටක් ලෙස බිහිවූයේ 1947 අගෝස්තුවේදී බි‍්‍රතාන්‍ය පාලකයන් නික්ම යද්දී ඔවුන් පාලනය කළ භාරතය, ඉන්දියාව හා පාකිස්ථානය ලෙස බෙදීමත් සමගයි. එදා මෙදා තුර ගෙවී ගිය වසර 65 තුළ ඉන්දියාව දිගට ම ප‍්‍රජාතන්ත‍්‍රික රටක් ලෙස පැවතුනත් පාකිස්ථානය කිහිප වාරයක් හමුදා ආඥාදායකත්වයට නතු වූවා. (නිදහසෙන් පසු වසර 32ක් පාකිස්ථානය පාලනය කර ඇත්තේ හමුදා පාලකයන්.)

Map of Pakistan, courtesy Lonely Planet
පාකිස්ථානයේ හා ඉන්දියාවේ මුල සිට ම ස්ථාපිත වූ එක් ප‍්‍රබල සමාජ සංස්ථාවක් නම් ජනමාධ්‍යයි. මුළුමනින් ස්වාධීන වූ ජනමාධ්‍ය ලෝකයේ කිසි රටක නැහැ. එහෙත් බලයේ සිිටින රජයට, හමුදා හා ආගමික නායකයන්ට හෝ වෙනත් බලාධිකාරයන්ට දැඩි සේ නතු නොවූ, අදීන මාධ්‍ය සම්ප‍්‍රදායක් මේ දෙරටේ තිබෙනවා. සමහර මාධ්‍ය ආයතන තම සීමා ඉක්මවා ජනමතය හසුරුවන බවට චෝදනා ඇතත්, එයින් පෙනෙන්නේ රූකඩ ලෙස නැටවෙන මාධ්‍යවලට වඩා ඔබ්බට පරිනාමය වූ සංකීර්ණ මාධ්‍ය පද්ධතියක් එහි ඇති බවයි.

පාකිස්ථානයේදී මා හමු වූ පුවත්පත් කතුවරුන්, ටෙලිවිෂන් ප‍්‍රවෘත්ති ප‍්‍රධානීන් හා මාධ්‍ය හිමිකරුවන් අතර විවිධ දේශපාලන මත දරණ අය සිටියා. ඇතැම් දෙනා ජාතිකවාදී වන අතර සමහරුන් ලිබරල්වාදීන්. එරට ඇති මහා ප‍්‍රශ්නවල මූලයන් ගැන ඔවුන්ට ඇත්තේ වෙනස් වූ විග‍්‍රහයන්. ඇතැමුන් බොහෝ ප‍්‍රශ්නවලට මුල ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල් යයි තර්ක කරන අතරේ තවත් පිරිසක් විශ්වාස කරන්නේ ඉන්දියාව විවිධ කූඨ උපක‍්‍රම මගින් පාකිස්ථානයට හිරිහැර කරන බවයි.

එහෙත් ප‍්‍රතිවිරුද්ධ මත දරණ මාධ්‍යවේදීන් එක් හඩින් එකග වන තනි සාධකයක් තිබෙනවා. එනම් කාගේවත් පටු අරමුණු සඳහා තමන්ගේ මාධ්‍ය කලාව හා කර්මාන්තය පාවා නොදෙන බවයි.

අපේ රටේ මෙන් ම පාකිස්ථානයේත් රේඩියෝ හා ටෙලිවිෂන් මාධ්‍ය මුල් යුගයේ පැවතුණේ රාජ්‍ය ඒකාධිකාරයන් හැටියටයි. 1990දී මා මුල් වරට පාකිස්ථානයට ගියේ එරට රාජ්‍ය ටෙලිවිෂන් ආයතනය වූ PTVහි ආරාධිතයෙකු ලෙස. එවිට සියා උල් හක් ඒකාධිපති පාලනය අවසන් වී, බෙනාසීර් භූතෝ අගමැතිනිය ලෙස සිය ප‍්‍රථම ධුර කාලය අරඹා තිබුණා. එහෙත් සියාගේ අනුගාමිකයන් වෙනුවට ඇගේ දේශපාලන හිතවතුන්ට රාජ්‍ය මාධ්‍ය ආයතන තනතුරු දීමට එහා යන ප‍්‍රතිසංවිධානයක් ඇය කළේ නැහැ. ඇයට පසුව බලයට ආ නවාස් ෂරීෆ් කළේත් නැහැ. (එරට මුද්‍රිත මාධ්‍ය නම් රාජ්‍ය ග‍්‍රහණයෙන් පිටත වඩාත් ස්වාධීනව කි‍්‍රයා කරනවා.)

අන්තිමේදී 2002දී පෞද්ගලික අංශයට පාකිස්ථාන විද්යුත් මාධ්‍ය කේෂත‍්‍රයට එන්නට ඉඩ සලසා දුන්නේ මහජන ඡුන්දයෙන් බලයට ආ නායකයෙකු නොව හමුදා පාලක පාර්වේස් මුෂාරෆ් (Pervez Musharraf). ඒ කාර්යයට මූලික වූයේ පාකිස්ථානයේ මාධ්‍ය පර්යේෂණ හා ප‍්‍රතිපත්ති මට්ටමින් ඉහළ දැනුමක් හා දැක්මක් ඇති ජාවෙඞ් ජබාර් (Javed Jabbar). කලක් මුෂාරෆ්ගේ සන්නිවේදන අමාත්‍යවරයා ලෙස ක‍්‍රියා කළ ඔහු, රටේ විශාලත්වය නිසා පණිවුඩ චන්ද්‍රිකා හරහා මේ නාලිකාවල සංඥා විකාශය කළ යුතු යයි නිර්දේශ කළා.

ගෙවී ගිය දශකයක කාලය තුල ටෙලිවිෂන් හා FM නාලිකා විශාල සංඛ්‍යාවක් බිහි වී පාකිස්ථානු සමාජයේ ප‍්‍රචලිත වී තිබෙනවා. මේවා නාගරික ප‍්‍රදේශවලට සීමා වී නැහැ. රටට ම දැනෙන්න, රට ම ආවරණය කරන්නට ප‍්‍රධාන පෙලේ පෞද්ගලික නාලිකා දැන් සමත්. Geo TV, Aaj TV වැනි නාලිකා ප‍්‍රවෘත්ති ආවරණය හරහා තමන්ට ආවේණික අනන්‍යතාවයක් ගොඩ නගා ගෙන තිබෙනවා. අද පාකිස්ථානයේ ප‍්‍රබල ම සමාජ සංස්ථාව කුමක්දැයි ඇසුවහොත් බොහෝ දෙනා කියන්නේ ප‍්‍රවෘත්ති ටෙලිවිෂන් නාලිකා බවයි.

තරගකාරීත්වය නිසා එරට රාජ්‍ය මාධ්‍ය ආයතන ද පෙරට වඩා විවෘත, ජනතාවාදී මුහුණුවරක් ගෙන තිබෙනවා. රට තුළ දේශපාලනය හා වෙනත් කරුණු ගැන බහුවිධ හා ප‍්‍රතිවිරුද්ධ මත දැරුවත් මේ සියළු නාලිකා නොවැරදී ම එකග වන කාරණා ද තිබෙනවා. තමන්ගේ ප‍්‍රතිවාදියා ලෙස බොහෝ පාකිස්ථානුවන් හදුනා ගන්නා ඉන්දියාව ගැන නාලිකා විග‍්‍රහය බොහෝ විට එක සමානයි.

පෞද්ගලික හිමිකාරිත්වයට ටෙලිවිෂන් කේෂත‍්‍රයට පිවිසෙන්නට ඉඩ සළසා දුන් මුෂාරෆ් ජනාධිපතිවරයාට අන්තිමේදී බලය හැර දමා යන්නට පාර කැපුවෙත් ඒ ටෙලිවිෂන් නාලිකා සමහරක් වීම දෛවයේ සරදමක්. එහෙත් 2002දී විද්‍යුත් මාධ්‍ය කේෂත‍්‍රය පුළුල් නොකර සිටියා නම් පාකිස්ථානුවන් හොර රහසේ ඉන්දියාවේ පෞද්ගලික ටෙලිවිෂන් නාලිකා බැලීමට යොමු වෙනවා. ජාවඞ් ජබාර් සූක්ෂම ලෙසින් කලේ දේශීයත්වය මතු කරන පෞද්ගලික නාලිකාවලට ඉඩ දීමයි.

එහෙත් අද ඇතැම් පුවත් නාලිකා උවමනාවට වඩා බලවත් වී ඇත් ද? මේ ගැන එරට මාධ්‍ය හා සමාජ පර්යේෂකයන් අතර ලොකු විවාදයක් තිබෙනවා.

බටහිර රටවල ඇත්තේ කලක් තිස්සේ සෙමින් පරිනාමය වූ ටෙලිවිෂන් සංස්කෘතියක්. ලෝකයේ මුල් ම පැය විසි හතරේ පුවත් ටෙලිවිෂන් නාලිකාව CNN බිහි වූයේ 1980දී. ඒ වන විට අඩ සියවසකට වඩා පැරණි ටෙලිවිෂන් සංස්කෘතියක් ඇමෙරිකාවේ තිබුණා. එහෙත් සියල්ල සීඝ‍්‍රගාමීව සිදු වන අද කාලයේ, ඉන්දියාව හා පාකිස්ථානය වැනි රටවල එබදු පරිනත බවක් ලබන්නට කලින් පැය විසි හතරේ පුවත් නාලිකා බිහි වුණා.

ප‍්‍රවෘත්තියක් උවමනාවට වඩා පුම්බමින් දිගට ඇද ගෙන යාම දකින්නට හැක්කේ මේ නිසයි. මේ Breaking News කලාව හොඳට මෙන් ම නරකටත් සිටින, දෙපැත්ත කැපෙන දැලි පිහියක්. එය අතට ගෙන ඇති මාධ්‍යවේදීන්ගේ සංවරබව හා ආචාර ධර්ම ගරු කිරීමේ නැඹුරුව මත පුවත් ටෙලිවිෂන්වල සමාජ මෙහෙවර තීරණය වනවා.

පාකිස්ථානයේ උද්ගතව ඇති ප‍්‍රශ්නවලට පැලැස්තර විසදුම් වෙනුවට ක‍්‍රමීය විසදුම් සෙවිය යුතු බව එරට විද්වතුන් පිළි ගන්නවා. එහෙත් ඒ විසදුම් ගැන එකගත්වයක් නැහැ. රටේ බහුතරයක් ජනයා දැඩි දුප්පත්කමින්, නූගත්කමින් හා වැඩවසම් සම්ප‍්‍රදායන්ගෙන් මිරිකී සිටිනවා. බොහෝ දියුණුවන රටවල මේ සමාජ විසමතා ඇතත් පාකිස්ථානයේ ඒවා ඉතා තීව‍්‍ර මට්ටමක තිබෙනවා.

පාරම්පරිකව ධනය හා බලය නතු කර ගත් සුළුතරයක්, සෙසු ජනයා බලහත්කාරයෙන් තලා පෙලා ගෙන සිටිනවා. අධ්‍යාපනය, සෞඛ්‍ය හා රැකියා අවස්ථා වැනි මූලික මානව අවශ්‍යතා සඳහාවත් මේ පීඩිතයන්ට සාධාරණ අවස්ථා ලැබෙන්නේ නැහැ. රදල ඉඩම් හිමියන් මුළු පළාතක් ම හිමි කර ගෙන එහි ජනයා වහලූන් සේ පාගා ගෙන සිටීම සුලබ දෙයක්. මෙබදු ප‍්‍රදේශවල ගැහැණු දරුවන් පාසල් යැවීමට හෝ සමාජ සුබසාධන සේවා සැපයීමට හෝ රදලයන් රජයට ඉඩ දෙන්නේ නැහැ.

මේ අසාධාරණකම් සොයා යමින් බිම් මට්ටමේ වාර්තාකරණය ඔස්සේ ඒවා මතු කිරීමට පාකිස්ථාන පුවත් ටෙලිවිෂන් නාලිකා ක‍්‍රියා කරනවා. මේ නිසා එරට සමාජ කලබගෑනියක් ඇති වෙලා. වාර්තාකරුවන් හා කැමරා කණ්ඩායම් ගම් දනවුවල සැරිසැරීම නිසා රදලයන්ට, දේශපාලකයන්ට හා නිලධාරින්ට වංචනික හා අසාධාරණ ක‍්‍රියා කරන්නට බැරි වී තිබෙනවා.

2010 මැද දී පාකිස්ථානයේ ඉන්දුස් ගංගාව පිටාර ගැලීම නිසා මහ ගංවතුරක් ඇති වුණා. මිලියන් 20ක් ජනයා අවතැන් කල මේ ගංවතුර දින සති ගණන් අල්ලා සිටින විට එරට සිවිල් හා හමුදා නිළධාරීන් ගංවතුර බස්වන්නට විවිධ අසම්මත උපක‍්‍රම භාවිත කළා. මේ අසීරු අවස්ථාවේ පවා පුවත් නාලිකා ප‍්‍රධාන නගරවලින් දුර බැහැර ප‍්‍රදේශවල ගංවතුර තත්ත්වය ගැන හරවත්ව හා සංයමයෙන් වාර්තා කළා.

වාර්තාකරණයේදී ලිහිල්ව නැතිනම් ගෞරවාන්විතව ආවරණය වන සුපිරි පැලැන්තියක් (sacred cows) ඇත්දැයි මා විමසුවා. ආගමික නායකයන්ට හා විනිසුරුකරුවන්ට තනතුරේ ගෞරවය රැකෙන පරිදි වාර්තාකරණය කළත්, ඔවුන්ගේ අක‍්‍රමිකතා හෝ දුෂණ හෝ ගැන තොරතුරු ලැබුණොත් දෙගිඩියාවකින් තොරව එය හඹා යන බව ඔවුන් කියනවා.

දේශපාලකයන් හා හමුදාව නිරතුරු මාධ්‍ය අවධානයට හා විවේචනයට ලක් වන බවත්, දරදඩු හමුදා පාලනයන් පවතින විටදී පවා පාලකයින්ට තමන් දණ නැමුවේ නැති බවත් එරට මාධ්‍ය සිහිපත් කරන්නේ අභිමානයෙන්.

මෙතරම් පිටකොන්දක් පාකිස්ථානු මාධ්‍යවලට ලැබුනේ කොහොම ද? එය ගැඹුරින් විග‍්‍රහ කල යුතුයි. කෙටි පිළිතුර නම් වෙනත් ව්‍යාපාරික අරමුණුවලට වඩා මාධ්‍ය ව්‍යාපාරයෙන් ම සාධාරණ ලෙස මුදල් උපයා ගන්නා හිමිකරුවන් සිටීමත්, සමාජයේ වෙනත් වෘත්තිකයන් හා උගතුන් මාධ්‍යවලට සහය දැක්වීමත්. මෑත කාලයේ පාකිස්ථානයේ මාධ්‍ය නිදහසට තර්ජන එල්ල වූ සෑම විට ම පාහේ වීදි උද්ඝෝෂණවලට මාධ්‍යවේදීන් පමණක් නොව නීතිඥයන්, සරසවි ඇදුරන්, විද්‍යාඥයන් හා වෛද්‍යවරුන් පවා එක් වුණා.

පාකිස්ථානයේ පුවත් ටෙලිවිෂන් නාලිකාවලට ඇත්තේ දශකයක අත්දැකීම්. ඒ මත වඩාත් ජනතාවට වග කියන, බලපෑම්වලට නතු නොවන ටෙලිවිෂන් මාධ්‍ය කලාවක් සාදා ගත යුතු බව එරට ටෙලිවිෂන් පරිපාලකයන් හා මාධ්‍යවේදීන් පිළි ගන්නවා.

මැජික් ලාම්පුවෙන් එළියට පැමිණ ලොකු වැඩ කරන පුවත් ටෙලිවිෂන් යෝධයාව ආයෙත් ලාම්පු ඇතුලේ සිර කරන්නට බැරි බව එරට පාලකයන් දන්නවා. ඔවුන් කවුරුත් දැන් තැත් කරන්නේ යෝධයාගේ ජවය හා උද්‍යෝගය පොදු උන්නතියට වඩාත් ප‍්‍රශස්ත ලෙසින් යොදා ගන්නටයි.