#NewConstLK: ව්‍යවස්ථාව හරියට හදා ගනිමු – ලක් වැසි සැමට රැකවරණය සළසමු!

Nalaka Gunawardene sums up why a new Constitution is needed for Sri Lanka. Purawesi Balaya video, April 2017

 

I have just recorded a short (3.5 min) video for Purawesi Balaya (Citizen Power) advocacy group as part of their citizens’ campaign demanding a new Constitution for Sri Lanka to replace the existing one adopted in 1978.

Here is what I say (not a verbatim transcript, but an approximation):

ව්‍යවස්ථාව හරියට හදා ගනිමු! ලක් වැසි සැමට රැකවරණය සළසමු

ව්‍යවස්ථාව යනු රටක ඉහළම නීතියයි. උත්තරීතර නීතියයි.

එය හරියට හදා ගැනීම රටේ නිසි රාජ්‍ය පාලනයට, නීතියේ ආධිපත්‍යයට මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයට ද ඉතා වැදගත්.

උපමිතියකින් මෙය පැහැදිළි කළොත්, රාජ්‍යය නිවෙසක් නම් ව්‍යවස්ථාව යනු එහි වහලයයි.

නිවසේ කෙතරම් විසිතුරු හා වටිනා බඩු තිබුණත්, නිවැසියන් කෙතරම් අගනා ඇඳුම් ඇන්දත් හරිහමන් වහලයක් නැත්නම් සියල්ල නිරාවරණය වෙලා. ඒ කියන්නේ නිවැසියන් හා එහි සියල්ල අනතුරේ!

ශ්‍රී ලංකා රාජ්‍යයේ දැන් පවතින ‘වහලය’ කල් පැන ගිය එකක්. බොහෝ සිදුරු හා පළුදු සහිතයි. සමහර ජන කොටස්වලට හා සුළුතරයන්ට රැකවරණය හොඳටම මදි. සියලු ජනයා යම් යම් ලෙසින් අන්නරක්ෂිතයි.

අපි කුමක් කරමුද?

පරණ වූ ‘වහලය’ තැනින් තැන සිදුරු වසමින් සිටිමුද?

වසින වෙලාවට ලීක් වන තැන්වල යටින් බාල්දි තබමින්, දුව පනිමින් කල් ගෙවමුද?

නැත්නම් වහලයක් අලුතෙන්ම හදා ගනිමුද?

වහලයක් ගසන්නේ පරම්පරාවක් දෙකක් කල් පවතින්න. අලුත් ව්‍යවස්ථාවක් හදන්නෙත් එලෙසම හොඳට කලක් වැඩ ගන්නයි.

එසේ හදන විට පැරණි වැරදිම දැන දැන යළිත් කරනවාද? මෙයයි අප හමුවේ තිබෙන තීරණාත්මක අභියෝගය.

සිතන පතන, පොදු උන්නතිය තකන පුරවැසියකු ලෙස මා ප්‍රමුඛතා තුනක් දකිනවා අලුත් ව්‍යවස්ථාවක් සම්පාදනයේදී අවධානය යොමු කළ යුතු.

Incumbent Maithripala Sirisena is the 5th president of Sri Lanka who has given an election pledge to abolish Executive Presidency, says Purawesi Balaya (Citizen Power), March 2017

පළමුවැන්න: පරිනත රාජ්‍යයක නිසි ලෙස බල විභජනයක් හා බල තුලනයක් තිබිය යුතුයි. එනම් ව්‍යවස්ථාදායකය හෙවත් පාර්ලිමේන්තුවත්, විධායකයත්, අධිකරණයත් අතර නිසි තුලනයක් අවශ්‍යයි. විධායකයට අධික ලෙස බලතල තිබීම මේ තුලනයට හානිකරයි. විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවා යයි මැතිවරණ පොරොන්දු දී බලයට පත් වූ මේ රජය එම පොරොන්දුව දැන් ඉටු කළ යුතුයි.

දෙවැන්න: රට තුළ බලය විමධ්‍යගත කිරීම තවමත් කැරෙන්නේ දෙගිඩියාවෙන්. අපට යා හැකි කුඩාම බිම් මට්ටමේ ඒකකය දක්වාම බලය ගෙන යාමට ව්‍යවස්ථාවෙන් මග පෙන්වීමක් ඕනෑ. එය උතුරට – දකුණට – බටහිරට හා නැගෙනහිරට එක සේ බලය බෙදා දිය යුතුයි.

තෙවැන්න: මානව අයිතිවාසිකම් පිළිබඳ අවබෝධය අද බෙහෙවින් පුළුල් වෙලා. හැත්තෑ අටේ ව්‍යවස්ථාව සම්මත කරන කාලයත් එක්ක බැලුවත් අද වන විට ලෝකය ගොඩක් ඉස්සරහට ඇවිත්. ඒ කාලයේ තිබුණාට වඩා වෙනස් විදියේ අභියෝගත් අද මතු වෙලා තියෙනවා. හැත්තෑ ගණන්වල මඳ වශයෙන් ලෝකය කතා කළ ලිංගික සුළුතරයන්ගේ අයිතිවාසිකම් වාගේ දේවල් අද නොතකා හරින්න බෑ. ඒ අයගේ අයිතිවාසිකම් රැක ගැනීම රාජ්‍යයේ වගකීමක් වෙලා තියෙනවා. මේ නිසා වඩා ප්‍රශස්ත මානව හිමිකම් මාලාවක් හා ඒවා සුරකින රාමුවක්  නව ව්‍යවස්ථාවෙන්  රටට දිය හැකියි – දිය යුතුයි කියා මා සිතනවා.

Watch other videos on Purawesi Balaya YouTube channel

 

Advertisements

සිවුමංසල කොලුගැටයා #284: දකුණු ආසියානු රජයන්ගේ මාධ්‍ය මර්දනයේ සියුම් මුහුණුවර හඳුනා ගනිමු

East-West Center 2016 International Media Conference in New Delhi, India, from September 8 to 11, 2016

East-West Center 2016 International Media Conference in New Delhi, India, from September 8 to 11, 2016

In this week’s Ravaya column (in Sinhala, appearing in the print issue of 18 Sep 2016), I discuss new forms of media repression being practised by governments in South Asia.

The inspiration comes from my participation in the Asia Media Conference organized by the Hawaii-based East-West Center in New Delhi, India, from September 8 to 11, 2016. Themed “South Asia Looking East”, it drew over 350 participants from across Asia and the United States.

Speeches and discussions showed how governments are more concerned about international media rights watch groups tracking the imprisonment and physical harassment of media and journalists. So their tactics of repression have changed to unleash bureaucratic and legal harassment on untamed and unbowed journalists. And also to pressurising advertisers to withdraw.

Basically this is governments trying to break the spirit and commercial viability of free media instead of breaking the bones of outspoken journalists. And it does have a chilling effect…

In this column, I focus on two glaring examples that were widely discussed at the Delhi conference.

In recent months, leading Bangladeshi editor Mahfuz Anam has been sued simultaneously across the country in 68 cases of defamation and 18 cases of sedition – all by supporters of the ruling party. Anam was one of six exceptional journalists honoured during the Delhi conference “for their personal courage in the face of threats, violence and harassment”.

In August, an announcement was made on the impending suspension of regional publication of Himal Southasian, a pioneering magazine promoting ‘cross-border journalism’ in the South Asian region. The reason was given as “due to non-cooperation by regulatory state agencies in Nepal that has made it impossible to continue operations after 29 years of publication”.

Bureaucracy is pervasive across South Asia, and when they implement commands of their political masters, they become formidable threats to media freedom and freedom of expression. Media rights watch groups, please note.

”බලවත් රජයක් හා ස්වාධීන මාධ්‍ය අතර ගැටුමකදී නිරන්තරයෙන්ම පාහේ මුල් වට කිහිපය ජය ගන්නේ රජයයි. බලපෑම් හා පීඩන කළ හැකි යාන්ත්‍රණ රැසක් රජය සතු නිසා. එහෙත් අන්තිමේදී ස්වාධීන මාධ්‍ය ජය ලබනවා!”

”කියවන විට ලිවීම සිය මාධ්‍ය කලාව ලෙස නිර්වචනය කර ගත් කීකරු මාධ්‍යවලට නම් කිසිදු රටක රජයකින් හෝ වෙනත් බල කේන‍ද්‍රවලින් තාඩන පීඩන එල්ල වන්නේ නැහැ. එහෙත් එසේ නොකරන, පොදු උන්නතිය වෙනුවෙන් පෙනී සිටින මාධ්‍යවලට (free press) පන්න පන්නා හිරිහැර කරන සැටි දේශපාලකයන් මෙන්ම නිලධාරී තන්ත්‍රය හොඳහැටි දන්නවා. හීලෑ කර ගත නොහැකි මාධ්‍යවේදීන් හා කතුවරුන් හිරේ දැමීම, ඔවුන්ට පහරදීම හෝ මරා දැමීම බරපතළ ලෝක විවේචනයට ලක් වන නිසා ඊට වඩා සියුම් අන්දමින් මාධ්‍යවලට හිරිහැර කිරීමට දකුණු ආසියානු ආණ්ඩු දැන් නැඹුරු වී සිටිනවා, මාධ්‍ය නිදහසට එල්ල වන ප්‍රකට තර්ජන (භෞතික ප්‍රහාර හා නිල ප්‍රවෘත්ති පාලනයන්) ගැන ඇස යොමා ගෙන සිටින ජාත්‍යන්තර ආයතනවලට පවා මේවා හරිහැටි ග්‍රහණය වන්නේ නැහැ!”

මේ වටිනා විග්‍රහයන්ට මා සවන් දුන්නේ 2016 සැප්තැම්බර් 8-11 දින කිහිපය තුළ ඉන්දියාවේ නවදිල්ලියේ පැවති ජාත්‍යන්තර මාධ්‍ය සමුළුවකදී (East-West Center 2016 International Media Conference).  අමෙරිකාවේ හවායිහි පිහිටි ඊස්ට්-ටෙස්ට් කේන‍ද්‍රය තවත් කලාපීය හා ඉන්දීය පාර්ශ්වකරුවන් සමග සංවිධානය කළ මේ සමුළුවට රටවල් හතළිහකින් පමණ 350කට වැඩි මාධ්‍යවේදී පිරිසක් සහභාගි වුණා.

මා එහි ගියේ ආරාධිත කථීකයෙක් හා එක් සැසි වාරයක මෙහෙයවන්නා ලෙසින්.

තොරතුරු අයිතිය, විද්‍යුත් ආවේක්ෂණය, සමාජ මාධ්‍ය, ගවේෂණාත්මක මාධ්‍යකරණය, පාරිසරික වාර්තාකරණය ආදී විවිධ තේමා යටතේ සැසිවාර හා සාකච්ඡා රැසක් තිබුණත් වැඩිපුරම අවධානය යොමු වුණේ මාධ්‍ය නිදහසට එල්ල වන පීඩන හා තර්ජන ගැනයි.

මෙය දේශපාලන සංවාදයකට සීමා නොවී මාධ්‍යවල වෘත්තියභාවය, ආචාරධර්මීය ක්‍රියා කලාපය හා මාධ්‍ය-රජය තුලනය ආදී පැතිකඩද කතාබහ කෙරුණා.

Mahfuz Anam speaks at East West Center Media Conference in Delhi

Mahfuz Anam speaks at East West Center Media Conference in Delhi

සමුළුවේ ප්‍රධාන භූමිකාවන් රඟපෑවේ (සහ මාධ්‍ය නිදහස උදෙසා අරගල කිරීම සඳහා පිරිනැමුණු විශේෂ සම්මානයක් හිමි කර ගත්තේ) මෆූස් අනාම් (Mahfuz Anam) මාධ්‍යවේදියායි.ඔහු බංග්ලාදේශයේ අද සිටින ජ්‍යෙෂ්ඨතම එසේම ලොව පිළිගත් පුවත්පත් කතුවරයෙක්. කලක් යුනෙස්කෝ සංවිධානයේ තනතුරක් හෙබ වූ ඔහු සියරට ආවේ මාධ්‍ය ක්ෂේත්‍රයේ සක්‍රිය වීමටයි.

ඔහු එරට මුල්පෙළේ පුවත්පතක් වන Daily Star කතුවරයා මෙන්ම ප්‍රකාශකයාද වනවා. ඩේලි ස්ටාර් බංගල්දේශයේ වඩාත්ම අලෙවි වන ඉංග්‍රීසි පුවත්පතයි. එය මීට වසර 25කට පෙර අනාම් ඇරඹුවේ එරට මිලිටරි පාලනයකින් යළිත් ප්‍රජාතන්ත්‍රවාදී මාවතට පිවිසි පසුවයි.

ප්‍රජාතන්ත්‍රවාදය, පුරවැසි අයිතිවාසිකම්, විවෘත ආණ්ඩුකරණය හා රාජ්‍ය විනිවිදභාවය වැනි පරමාදර්ශයන් වෙනුවෙන් ඔහුත්, ඔහුගේ පුවත්පතත් කවදත් පෙනී සිටිනවා.

බංග්ලාදේශයේ අතිශයින් ධ්‍රැවීකරණය වී ඇති පක්ෂ දේශපාලනය ඔහු විවෘතවම විවේචනය කරනවා. මේ නිසා දේශපාලකයන් ඔහුට කැමති නැහැ. මීට පෙරද නොයෙක් පීඩනයන් එල්ල වුවත් ඔහුගේ මාධ්‍ය කලාවට ලොකුම තර්ජනය මතු වී ඇත්තේ ෂේක් හසීනා වත්මන් අගමැතිනියගේ රජයෙන්.

බලයේ සිටින ඕනෑම රජයක් සහේතුකව විවේචනය කිරීම අනාම්ගේ ප්‍රතිපත්තියයි. අධිපතිවාදී රාජ්‍ය පාලනයක් ගෙන යන හසීනා අගමැතිනියට මෙය කිසිසේත් රුස්සන්නේ නැහැ. ඇය, ඇගේ ආන්දෝලනාත්මක පුත්‍රයා හා දේශපාලන අනුගාමිකයන් ඩේලි ස්ටාර් පත්‍රයට හිරිහැර කිරීමට පටන් ගත්තේ මීට වසර 3කට පමණ පෙරයි.

එහෙත් එය උත්සන්න වූයේ 2016 පෙබරවාරියේ. එරට ටෙලිවිෂන් නාලිකාවක් සමඟ කළ සාකච්ඡාවකදී අනාම් එක්තරා පාපෝච්චාරණයක් කළා. වත්මන් අගමැතිනිය 2007දී විපක්ෂ නායිකාව ලෙස සිටියදී ඇයට එරෙහිව මතු වූ දුෂණ චෝදනා සිය පුවත්පතේ පළ කිරීම ගැන ඔහු කණගාටුව ප්‍රකාශ කළා.

එවකට එරට පාලනය කළේ හමුදාව විසින් පත් කළ,  ඡන්දයකින් නොතේරුණු රජයක්. එම රජය හසීනා අගමැතිනියට එරෙහිව මතු කළ දූෂණ චෝදනා, නිසි විමර්ශනයකින් තොරව සිය පත්‍රයේ පළ කිරීම කර්තෘ මණ්ඩල අභිමතය අනිසි ලෙස භාවිත කිරීමක් (poor editorial judgement) බව ඔහු ප්‍රසිද්ධියේ පිළිගත්තා.

එම දූෂණ චෝදනා එරට වෙනත් බොහෝ මාධ්‍යද එවකට පළ කරන ලද නමුත් මෙසේ කල් ගත වී හෝ ඒ ගැන පසුතැවීමක් සිදු කර ඇත්තේ ඩේලි ස්ටාර් කතුවරයා පමණයි.

කතුවරුන් යනු අංග සම්පූර්ණ මිනිසුන් නොවෙයි. ඔවුන් අතින් ද වැරදි සිදු වනවා. ඒවා පිළිගෙන සමාව අයැද සිටීම අගය කළ යුත්තක්.

එහෙත් මේ  පාපොච්චාරණයෙන් හසීනා පාක්ෂිකයෝ දැඩි කෝපයට පත් වූවා. මහජන ඡන්දයෙන් නොව බලහත්කාරයෙන් බලයේ සිටි රජයක් එකල විපක්ෂ නායිකාවට කළ චෝදනා පත්‍රයේ පළ කිරීම ඇය දේශපාලනයෙන් ඉවත් කිරීමට කළ කුමන්ත්‍රණයක කොටසක් බව ඔවුන් තර්ක කළා.

අනාම් මේ තර්කය ප්‍රතික්ෂේප කරනවා. 2007-8 හමුදාමය රජයට එරෙහිව තමන් කතුවැකි 203ක් ලියමින් ප්‍රජාතන්ත්‍රවාදය යළි ස්ථාපිත කරන මෙන් ඉල්ලා සිටි බව ඔහු මතක් කරනවා. එසේම දූෂණ චෝදනා මත හසීනා අත්අඩංගුවට ගත් විට එයට එරෙහිව ප්‍රබල විරෝධතා මතු කළේත් තම පත්‍රය බව ඔහු කියනවා. (2008දී හසීනාගේ අවාමි ලීගය යළි බලයට පත් වූ විට එම චෝදනා සියල්ල කිසිදු  විභාග කිරීමකින් තොරව අත්හැර දමනු ලැබුවා.)

Mahfuz Anam, center, the editor of The Daily Star, Bangladesh’s most popular English-language newspaper, outside a court in Rangpur District, March 2016

Mahfuz Anam, center, the editor of The Daily Star, Bangladesh’s most popular English-language newspaper, outside a court in Rangpur District, March 2016 [Photo courtesy The New York Times]

පෙබරවාරි ටෙලිවිෂන් සාකච්ඡාවෙන් පසු සති කිහිපයක් තුළ රටේ විවිධ ප්‍රදේශවල උසාවිවල අනාම්ට එරෙහිව අපහාස නඩු හා රාජ්‍ය ද්‍රෝහිත්වය (sedition) අරභයා නඩු දුසිම් ගණනක් ගොනු කරනු ලැබුවා. මේ එකම නඩුවකටවත් බංග්ලාදේශ රජය සෘජුව සම්බන්ධ නැහැ. නඩු පැමිණිලිකරුවන් වන්නේ හසීනාගේ පාක්ෂිකයෝ.

මේ වන විට අපහාස නඩු 68ක් හා රාජ්‍ය ද්‍රෝහිත්වයට එරෙහි  නඩු 18ක් විභාග වෙමින් තිබෙනවා. මේවාට පෙනී සිටීමට රට වටේ යාමටත් වග උත්තර බැඳීමටත් ඔහුට සිදුව තිබෙනවා.

නඩු පැවරීමට අමතරව වෙනත් උපක්‍රම හරහාද තම පත්‍රයට හිරිහැර කරන බව අනාම් හෙළි කළා. පත්‍රයට නිතිපතා දැන්වීම් ලබා දෙන ප්‍රධාන පෙළේ සමාගම් රැසක් රාජ්‍ය බලපෑම් හමුවේ නොකැමැත්තෙන් වුවත් එය නතරකොට තිබෙනවා. මේ නිසා ඩේලිස්ටාර් දැන්වීම් ආදායම 40%කින් පහත වැටිලා.

”එහෙත් මධ්‍යම හා කුඩා පරිමානයේ දැන්වීම්කරුවන් දිගටම අපට දැන්වීම් දෙන බවට ප්‍රතිඥා දී තිබෙනවා. මේ ව්‍යාපාරිකයන්ගේ කැපවීම අගය කළ යුතුයි. ආණ්ඩු බලයට නතු නොවී, බිය නොවී, ස්වාධීන මාධ්‍යවලට අනුග්‍රහය දක්වන ව්‍යාපාර ඉතිරිව තිබීම අපට ලොකු සවියක්” අනාම් ප්‍රකාශ කළා.

කුඩා හා මධ්‍යම පරිමාන දැන්වීම් කරුවන්ට අමතරව බංගලාදේශයේ වෘත්තිකයන්, බුද්ධිමතුන් හා කලාකරුවන්ද ඩේලිස්ටාර් හා එහි කතුවරයා වෙනුවෙන් කථා කරනවා. සෙසු (තරඟකාරී) මාධ්‍ය කෙසේ වෙනත් මහජනයා මෙසේ ස්වාධීන මාධ්‍යවල නිදහස වෙනුවෙන් කථා කිරීම ඉතා වැදගත්.

මාධ්‍ය නිදහස රැකීමට වීදි උද්ඝෝෂණ කළාට පමණක් මදි. අන්තවාදීන්ගේ හා මර්දනකාරී ආණ්ඩුවල පීඩනයට ලක් වන මාධ්‍ය ආයතනවලට ප්‍රසිද්ධියේ සහාය දැක්වීම ද අවශ්‍යයි.

නවදිල්ලි සමුළුවේ අවධානයට ලක් වූ තවත් මාධ්‍ය මර්දනයක් නම් නේපාලයේ කත්මණ්ඩු අගනුවරින් පළ කැරෙන හිමාල් (Himal) සඟරාවේ අර්බුදයයි.

Kanak Mani Dixit (left) and Kunda Dixit struggling to save Himal South Asian magazine

Kanak Mani Dixit (left) and Kunda Dixit struggling to save Himal South Asian magazine

හිමාලයට සාමුහිකව හිමිකම් කියන භූතානය, ඉන්දියාව, නේපාලය, ටිබෙටය, පකිස්ථානය හා චීනය යන රටවල් කෙරෙහි මුලින් අවධානය යොමු කළ මේ ඉංග්‍රීසි සඟරාව, වසර කිහිපයකින් සමස්ත දකුණු ආසියාවම ආවරණය කැරෙන පරිදි Himal Southasian නමින් යළි නම් කළා.

සාක් කලාපයේ රටවල (විශේෂයෙන් ඉන්දියාවේ) හොඳ කාලීන පුවත් සඟරා ඇතත් දකුණු ආසියාව ගැන පොදුවේ කථා කරන එකම වාරික ප්‍රකාශනය මෙයයි. ජාතික දේශසීමාවලින් ඔබ්බට ගොස් සංසන්දනාත්මකව හා තුලනාත්මකව සමාජ, ආර්ථීක, දේශපාලනික හා සංස්කෘතික ප්‍රශ්න ගවේෂණය කිරීම දශක තුනක් තිස්සේ හිමාල් සඟරාව ඉතා හොඳින් සිදු කරනවා.

2016 අගෝස්තු 24 වනදා හිමාල් සඟරාවේ ප්‍රකාශකයන් වන දකුණු ආසියානු භාරය (Southasia Trust) විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ නේපාල රජයේ ආයතනවලින් දිගින් දිගටම මතුව ඇති බාධක හා අවහිර කිරීම් නිසා කණගාටුවෙන් නමුත් සඟරාව පළ කිරීම නතර කරන බවයි.

”හිමාල් නිහඬ කරනු ලබන්නේ නිල මාධ්‍ය වාරණයකින් හෝ සෘජු භෞතික පහරදීමකින් හෝ නොවෙයි. නිලධාරිවාදයේ දැඩි හස්තයෙන් අපට හිරිහැර කිරීමෙන්. කිසිදු දැනුම් දීමකින් හෝ චෝදනාවකින් තොරව අපට ලැබෙන ආධාර සියල්ල අප කරා ළඟා වීම වළක්වා තිබෙනවා. අපේ සියලු ගිණුම් වාර්තා ඉහළ මට්ටමක ඇති බවත්, සියලු කටයුතු නීත්‍යනුකූල බවත් රාජ්‍ය ආයතන සහතික කළත්, අපට එල්ල වන පරිපාලනමය බාධක අඩු වී හෝ නතර වී නැහැ” එම නිවේදනයේ සඳහන් වුණා.

වෘත්තීය කර්තෘ මණ්ඩලයක් මඟින් සංස්කරණය කැරෙන, ලිපි ලියන ලේඛකයන්ට ගරුසරු ඇතුව ගෙවීම් කරන, දැන්වීම් ඉතා සීමිත මේ සඟරාවේ නඩත්තු වියදම පියවා ගත්තේ දෙස් විදෙස් දානපති ආධාරවලින්. සඟරාවට ආධාර ළඟා වීම වැළැක්වීම හරහා එය හුස්ම හිරකර මරා දැමීම එහි විරද්ධවාදීන්ගේ උපක්‍රමයයි.

මෙසේ කරන්නේ ඇයි? හිමාල් සඟරාවේ ආරම්භකයා හා අද දක්වාත් සභාපතිවරයා නේපාල ක්‍රියාකාරීක හා මගේ දිගු කාලීන මිත්‍ර කනක් මානි ඩික්සිත් (Kanak Mani Dixit). 2012 අගෝස්තු 12 මගේ තීරු ලිපියෙන් සිංහල පාඨකයන්ට ඔහුගේ ප්‍රතිපත්තිමය අරගලයන් මා හඳුන්වා දුන්නා.

සිවුමංසල කොලූගැටයා #78: කනක් මානි ඩික්සිත් – හිමාල කඳු සොළවන පුංචි වැඩකාරයා

කනක්ගේ මාධ්‍ය විවේචන හමුවේ දැඩි ලෙසි උරණ වී ඔහුට නිලබලයෙන් පහර දීමට මූලිකව සිටින්නේ නේපාලයේ බලය අයථා ලෙස භාවිත කිරීම විමර්ශනය කරන රාජ්‍ය කොමිසමේ ප්‍රධානියා වන ලෝක්මාන් සිං කාර්කි.

2013 දී කාර්කි මේ තනතුරට පත් කරන විට ඔහු එයට නොසුදුසු බව කනක් ප්‍රසිද්ධියේ පෙන්වා දුන්නා. එහෙත් දේශපාලකයන් පත්වීම ස්ථීර කළ අතර එතැන් පටන් මේ නිලධාරීයා නිල බලය අයථා ලෙස යොදා ගනිමින් සිය විවේචකයන්ට හිරිහැර කිරීම ඇරඹුවා.

2016 අප්‍රේල් මාසයේ දූෂණ චෝදනා මත කනක් ඩික්සින් අත් අඩංගුවට ගෙන ටික දිනක් රඳවා තැබුණා. මේ ගැන එරට හා විදෙස් මාධ්‍ය හා මානව හිමිකම් සංවිධාන දැඩි විරෝධය පළ කළා. අන්තිමේදී කනක් සියලු චෝදනාවලට නිදොස් කොට නිදහස් කරනු ලැබුවේ නේපාල ශ්‍රේෂ්ඨාධිකරණය විසින්.

කනක්ට සෘජුව හිරිහැර කිරීම ඉන් පසු අඩු වූවත් ඔහු සම්බන්ධ මාධ්‍ය ප්‍රකාශන, ස්වේච්ඡා ආයතන හා සිවිල් සමාජ සංවිධානවලට නොයෙක් බලපෑම් කිරීම දිගටම සිදු වනවා.

හිමාල් සඟරාවට හා දකුණු ආසියාව භාරයට හිරිහැර කිරීම මේ ප්‍රහාරයන්ගේ එක් පියවරක්. මේ අත්තනෝමතික නිලධාරියාට දේශපාලන බලයද ඇති නිසා අන් නිලධාරීන්  ඔහුට එරෙහි වීමට බියයි.

රාජ්‍ය තන්ත්‍රයේ මුළු බලය යොදා ගෙන පුංචි (එහෙත් නොනැමෙන) සඟරාවකට හිරිහැර කරන විට එයට එරෙහිව හඬක් නැගීමට බොහෝ නේපාල මාධ්‍ය ආයතන  පැකිලෙනවා. එයට හේතුව මර්දකයා තමන් පසුපස ද එනු ඇතැයි බියයි. මේ අතින් නේපාල තත්ත්වය බංග්ලාදේශයට වෙනස්.

පොදු උන්නතිය වෙනුවෙන් නිර්ව්‍යාජව පෙනී සිටින මාධ්‍ය ආයතනයක් හා කතුවරයෙක් මර්දනයට ලක් වූ විට ඔවුන් වෙනුවෙන් හඬ නැගීම ශිෂ්ඨ සමාජයක කාගේත් වගකීමක්. හිමාල් සඟරාව හා කනක් ඩික්සින් වෙනුවෙන් මේ හඬ වැඩිපුරම මතුව ආයේ ඔහුගේ මෙහෙවර අගයන සෙසු දකුණු ආසියාතික රටවලින්.

මේ ලිපිය ආරම්භයේ මා උපුටා දැක්වූ පලමු උධෘතය මෆූස් අනාම්ගේ. ඊළඟ උධෘතය කනක්ගේ  සොහොයුරු කුන්ඩා ඩික්සිත්ගේ. මෆූස්, කනක් හා කුන්ඩා වැනි කතුවරුන්ට සහයෝගිතාව දැක්වීම නවදිල්ලි සමුළුව පුරාම දැකිය හැකි වුණා.

අවසානයේ මාධ්‍ය ජය ගන්නා තුරු මර්දනයට ලක් වන මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ සහයෝගයෙන් සිටීම ඉතා වැදගත්.

සිවුමංසල කොලූගැටයා #276: අසාර්ථක වූ තුර්කි කුමන්ත්‍රණයෙන් මතු වන නවීන සන්නිවේදන පාඩම්

In this week’s Ravaya column (appearing in the print issue of 24 July 2016), I discuss the role of new communications technologies and social media during the coup d’état that was attempted in Turkey against the government on the night of on 15 July 2016.

The attempt was carried out by a faction within the Turkish Armed Forces that organized themselves under a council called the Peace at Home Council. Reasons for its failure have been widely discussed.

Citizen resistance to Turkey coup on 16 July 2016 - wire service photos

Citizen resistance to Turkey coup on 16 July 2016 – wire service photos

As Zeynep Tufekci, an assistant professor at the University of North Carolina School of Information and Library Science, described in a New York Times op-ed on 20 July 2016: “In the confusing hours after the coup attempt began, the country had heard from President Recep Tayyip Erdogan — and even learned that he was alive — when he called a television station via FaceTime, an easy-to-use video chat app. As the camera focused on the iPhone in the anchor’s hand, the president called on the people of Turkey to take to the streets and guard the airports. But this couldn’t happen by itself. People would need WhatsApp, Twitter and other tools on their phones to mobilize. The president also tweeted out the call to his more than eight million followers to resist the coup.”

She added: “The journalist Erhan Celik later tweeted that the public’s response had deterred potential coup supporters, especially within the military, from taking a side…Meanwhile, the immediacy of the president’s on-air appeal via FaceTime was an impetus for people to take to the streets. The video link protected the government from charges that it was using fraud or doctoring — both common in the Turkish news media — to assure the public that the president was safe. A phone call would not have worked the same way.”

I discuss the irony of a leader like Erdogan, who has been cracking down on independent media practitioners and social media users, had to rely on these very outlets in his crucial hour of need.

I echo the views of Zeynep Tufekci for not just Turkey but other countries where autocratic rulers are trying to censor the web and control the media: “The role of internet and press freedoms in defeating the coup presents a significant opportunity. Rather than further polarization and painting of all dissent as illegitimate, the government should embrace real reforms and reverse its censorship policies.”

See also: How the Internet Saved Turkey’s Internet-Hating President

Photo from The Daily Beast

Photo from The Daily Beast

කුමන හෝ හේතුවක් නිසා රටක දේශපාලන බලය බලහත්කාරයෙන් අත්කර ගැනීමට එරට හමුදාවට නීතිමය හෝ සදාචාරාත්මක අයිතියක් නැහැ.

එහෙත් විටින් විට ලෝකයේ විවිධ රටවල හමුදා කුමන්ත්‍රණ සිදුවනවා. දකුණු ආසියානු කලාපයේ බංග්ලාදේශය හා පාකිස්ථානය මේ අමිහිරි අත්දැකීම් රැසක් ලබා තිබෙනවා.

යුරෝපය හා ආසියාව හමු වන තැන පිහිටි තුර්කියේ මීට දින කීපයකට පෙර අසාර්ථක වූ හමුදා කුමන්ත්‍රණයට මා අවධානය යොමු කළේ නවීන සන්නිවේදන තාක්ෂණයන් එහි වැදගත් භූමිකාවක් ඉටු කළ නිසායි.

නව මාධ්‍යයන් හරහා කුමන්ත්‍රණයට එරෙහිව මහජනයා පෙළ ගැස්වීමට එරට නායකයා සමත් වුණා. විශාල අවි හා සෙබල බල පරාක්‍රමයක් සතු හමුදාවක් ජන බලය හා සන්නිවේදන හැකියාව හරහා ආපසු බැරැක්කවලට යැවීමට හැකි වීම විමසා බැලිය යුතු සංසිද්ධියක්.

කුමන්ත්‍රණය මාස ගණනක් සිට සූක්ෂ්ම ලෙසින් සැලසුම් කරන ලද බව හෙළි වී තිබෙනවා. රටට සාමය සඳහා සභාව (Peace at Home Council) ලෙසින් සංවිධානය වූ තුර්කි හමුදාවේ කොටසක් තමයි මේ උත්සාහයේ යෙදුණේ.

එහි අක්මුල් තවමත් හරිහැටි පැහැදිලි නැහැ. එහෙත් 2016 ජූලි 15-16 දෙදින තුළ ඔවුන් රටේ බලය අල්ලා ගන්නට ප්‍රචණ්ඩව තැත් කළා.

තුර්කි ජනාධිපති රෙචෙප් ටයිප් අර්ඩොගන් (Recep Tayyip Erdoğan) කෙටි නිවාඩුවකට අගනුවරින් බැහැරව, මර්මාරිස් නම් පිටිසර නිවාඩු නිකේතනයේ සිිටියා. ජූලි 15-16 මධ්‍යම රාත්‍රියට ආසන්නව යුද්ධ ටැංකි එරට අගනුවර අන්කාරා, විශාලතම නගරය වන ඉස්තාන්බුල් හා තවත් ප්‍රධාන නගරවලට ඇතුළු වුණා. ප්‍රහාරක ගුවන් යානා පහළින් පියාසර කළා.

තම බලය පෙන්වීමට හමුදා කුමන්ත්‍රණකරුවෝ කිහිප පොළක ප්‍රහාර දියත් කළා. රටේ පාර්ලිමේන්තු මන්දිරයට හා ජනාධිපති මැදුරට හානි සිදු කෙරුණා.

කුමන්ත්‍රණකරුවන්ගේ එක් ඉලක්කයක් වූයේ ජනාධිපතිවරයා අත්අඩංගුවට ගැනීම හෝ මරා දැමීමයි. එහෙත් කුමන්ත්‍රණය ගැන දැන ගත් වහාම ඔහුගේ ආරක්ෂක පිරිස ඔහු නැවතී සිටි නිවාඩු නිකේතනයෙන් රහසිගත තැනකට ගෙන ගියා.

මැදියම් රැය පසු වූ විගස රාජ්‍ය රේඩියෝ හා ටෙලිවිෂන් (TRT) ආයතනයට ඇතුලු වූ හමුදා පිරිසක්, එහි සිටි නිවේදකයන්ට ප්‍රකාශයක් කියවන මෙන් බලකර සිටියා. ප්‍රජාතන්ත්‍රවාදය හා නිර්ආගමික පාලනය රටේ යළි ස්ථාපිත කිරීමට හමුදාව බලය පවරා ගන්නා බව එහි සඳහන් වුණා. තාවකාලිකව මාෂල් නීතිය ක්‍රියාත්මක කරන බවත්, නව ව්‍යවස්ථාවක් ළඟදීම හඳුන්වා දෙන බවත් හමුදා කුමන්ත්‍රණකරුවෝ රටට ප්‍රකාශ කළා.

The Turkish president spoke to local television with his office unwilling to confirm his location, simply saying he is safe

The Turkish president spoke to local television with his office unwilling to confirm his location, simply saying he is safe

පාන්දර 3.10 වනවිට තමන් රටේ සමස්ත පාලන බලය සියතට ගෙන ඇති බව කුමන්ත්‍රණකරුවන් ලොවට කීවත් එය එසේ වූයේ නැහැ. ජනාධිපති අර්ඩොගන් හා අගමැති බිනාලි යිල්දිරිම් (Binali Yıldırım) ඒ තීරණාත්මක අලුයම පැය කිහිපයේ තීක්ෂණ ලෙසින් සිය ප්‍රතිරෝධය දියත් කළා.

හමුදා කුමන්ත්‍රණකරුවන් දේශපාලනික හා සම්ප්‍රදායික රාජ්‍ය මාධ්‍ය මර්මස්ථාන මුලින් ඉලක්ක කළ නමුත් නව සන්නිවේදන තාක්ෂණයන් හා නව මාධ්‍ය ගැන අවධානයක් යොමු කළේ නැහැ. පළපුරුදු හා සටකපට දේශපාලකයකු වන තුර්කි ජනාධිපතිවරයා මේ දුර්වලතාව සැනෙකින් වටහා ගත්තා.

තුර්කිය විශාල රටක්. ලෝක බැංකු දත්තවලට අනුව එරට මිලියන 80කට ආසන්න ජනගහනයෙන් බාගයකට වඩා (58%) ඉන්ටනෙට් භාවිත කරනවා. මෙයින් බහුතරයක් ස්මාට්ෆෝන් හිමිකරුවන්. 2015 අග වනවිට එරට ජංගම දුරකථන සක්‍රීය ගිණුම් මිලියන 73ක් තිබුණා.

හමුදා කුමන්ත්‍රණය ගැන දැන ගත් වහාම ජනාධිපතිවරයා තමාට හිතවත් හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ගැන තක්සේරු කරන අතරම සන්නිවේදන ජාල හරහා තුර්කි ජනයා වෙත ආයාචනා කිරීමට තීරණය කළා. මේ සඳහා අවශ්‍ය වූ ව්‍යාපාරික සබඳතා හා තාක්ෂණික දැනුම ඔහුගේ කාර්ය මණ්ඩලය සතුව තිබුණා.

සියල්ල පාන්දර යාමයේ සිදු වුණත් ඉක්මනින් ක්‍රියාත්මක වීමේ වැදගත්කම ජනාධිපතිගේ හිතවත් පිරිස දැන සිටියා.

කුමන්ත්‍රණකරුවන් පෞද්ගලික ටෙලිවිෂන් නාලිකා, ටෙලිකොම් සමාගම් හෝ සමාජ මාධ්‍ය ජාල සියතට ගැනීමට මුල් වටයේ කිසිදු උත්සාහයක් ගත්තේ නැහැ. මහජන ඡන්දයෙන් පත්වූ තම රජය රැක ගන්නට වීදි බසින්න යැයි ජනාධිපතිවරයා මේ මාධ්‍ය හරහා යළි යළිත් ඉල්ලා සිටියා.

මුලින්ම රටේ සියලුම ජංගම දුරකථන ග්‍රාහකයන් වෙත කෙටි පණ්වුඩයක් යවමින් ජනපති අර්ඩොගන් කීවේ හැකි සෑම අයුරකින්ම කුමන්ත්‍රණයට විරෝධය දක්වන්න කියායි.

NINTCHDBPICT000252431176

ඒ අනුව ඉස්ලාම් බහුතර (96.5%) එරටෙහි ආගමික ස්ථාන ලවුඩ්ස්පීකර් හරහා විශේෂ යාඥා විසුරු වන්නට පටන් ගත්තා. අවේලාව නොබලා බොහෝ ජනයා වීදි බැස්සා.

ප්‍රධාන නගරවල වීදිවලට පිරුණු ජනයා බහුතරයක් පාලක පක්ෂයේ අනුගාමිකයන් වුවද සියලු දෙනා එසේ වූයේ නැහැ. කොතරම් අඩුපාඩු හා අත්තනෝමතික හැසිරීම් තිබුණද බහුතර ඡන්දයකින් පත් වූ රජයක් පෙරළීමට හමුදාවට කිසිදු වරමක් හෝ අවසරයක් නැතැයි විශ්වාස කළ අයද එහි සිටියා.

තුර්කියේ හමුදාව යනු බලගතු ආයතනයක්ග එම හමුදාව රාජ්‍ය පාලනයට මැදිහත් වීමේ කූප්‍රකට ඉතිහාසයක් තිබෙනවා. 1960 මැයි මාසයේ, 1971 මාර්තුවේ හා 1980 සැප්තැම්බරයේ හමුදා කුමන්ත්‍රණ සාර්ථක වී මිලිටරි පාලන බිහි වුණා. 1995දී ඡන්දයෙන් පත් වූ හවුල් රජයට 1977දී හමුදාව ‘නිර්දේශ’ ගණනක් ඉදිරිපත් කොට ඒවා පිළි ගන්නට බලපෑම් කළා. මේ මෑත ඉතිහාසය ජනතාවට මතකයිග

තුර්කි රාජ්‍යය නිර්ආගමිකයි (secular state). එහෙත් මෑත කාලයේ ඉස්ලාමීය දේශපාලන පක්ෂ වඩාත් ජනප්‍රිය වීම හරහා රාජ්‍ය පාලනයේ ඉස්ලාමීය නැඹුරුවක් හට ගෙන තිබෙනවා.

හමුදාව මෙයට කැමති නැහැ. ව්‍යවස්ථාවෙන්ම ප්‍රකාශිත පරිදි රාජ්‍යය තව දුරටත්  නිර්ආගමික විය යුතු බවත්, ඉස්ලාම්වාදීන් බලගතු වීම සීමා කළ යුතු බවත් හමුදාවේ මතයයි. මෙය මතවාදී අරගලයකට සීමා නොවී දේශපාලන බල අරගලයකට තුඩු දී තිබෙනවා. 2016 කුමන්ත්‍රණයේ පසුබිම සංකීර්ණ වුවද ආගමික-නිර්ආගමික ගැටුමද එහි එක් වැදගත් සාධකයක්.

කුමන්ත්‍රණකරුවන් නිවාඩු නිකේතනයට පහර දීමට කලින් එතැනින් පලා ගිය ජනාධිපති අර්ඩොගන්, සැඟවී නොසිට  හිරු උදා වන විට එරට විශාලතම ජාත්‍යන්තර ගුවන් තොටුපළ වන ඉස්තාන්බූල් ගුවන් තොටුපළට සිය නිල ගුවන් යානයෙන් පැමිණියා. මැදියම් රැයේ ටික වේලාවකට කුමන්ත්‍රණකාරීන් අත්පත් කර ගත් ගුවන් තොටුපළ ඒ වන විට යළිත් හිතවත් හමුදා අතට පත්ව තිබුණා.

ගුවන් තොටුපළේ සිට මාධ්‍යවේදියකුගේ ස්මාට්ෆෝන් එකක් හරහා ජනාධිපතිවරයා එරට පෞද්ගලික ටෙලිවිෂන් නාලිකාවක් වූ CNN Turkට සජීව ලෙසින් සම්බන්ධ වුණා.

‘ප්‍රජාතන්ත්‍රවාදය රැක ගන්න නගරවල වීදි හා චතුරස්‍රවලට එක් රොක් වන්න. මේ කුමන්ත්‍රණකරුවන් අපට ඉක්මනින් ඉවත් කළ හැකි වේවි. ඔවුන්ට නිසි පිළිතුර දෙන්න ඕනෑ අපේ මහජනතාවයි’ ඔහු ආයාචනා කළා.

කුමන්ත්‍රණකරුවන් නොසිතූ විලසින් මේ පණිවුඩ ඉතා ඉක්මනින් එරට ජනයා අතර පැතිර ගියා. ෆේස්බුක්, ට්විටර් හා අනෙක් සමාජ මාධ්‍ය ජාල මෙයට මහත් සේ දායක වුණා.

මේ අතර ජනපති කාර්ය මණ්ඩලය සමාජ මාධ්‍ය යොදා ගනිමින් ජනපතිවරයා ආරක්ෂිත බවත්, ඔහු කුමන්ත්‍රණකරුවන්ට එරෙහිව කරන අරගලයට ඍජුව නායකත්වය දෙන බවත්, ජාත්‍යන්තර මාධ්‍යවලට හා විදෙස් රටවලට දැනුම් දුන්නා.

හමුදාව බලය ඇල්ලීමට තැත් කිරීම කෙතරම් තුර්කි වැසියන් කුපිත කළාද කිවහොත් සමහර ස්ථානවල යටත් වූ කුමන්ත්‍රණකාමී හමුදා සෙබලුන් හා නිලධාරීන්ට සාමාන්‍ය ජනයා වට කර ගෙන පහර දෙනු ලැබුවා. ඔවුන් ප්‍රසිද්ධ නිග්‍රහවලට ලක් වුණා.

CncnmhQXEAApKN0

යම් අවස්ථාවක කුමන්ත්‍රණකරුවන් CNN Turk පෞද්ගලික නාලිකාව නිහඬ කිරීමට ද තැත් කළා. ඇමරිකානු CNN මාධ්‍ය ජාලය හා තුර්කි සමාගමක් හවුලේ කරන මේ නාලිකාව හමුදා බලපෑම් ප්‍රතික්ෂේප කළා. දිගටම සිය සජීව විකාශයන් කර ගෙන ගියා.

කුමන්ත්‍රණය දියත් කොට පැය 24ක් ගතවීමට පෙර රටේ පාලන බලය යළිත් ඡන්දයෙන් පත් වූ රජය යටතට මුළුමනින්ම ගැනීමට ජනපති-අගමැති දෙපළ සමත් වුණා.

ඉන් පසුව කුමන්ත්‍රණයට සම්බන්ධ දහස් ගණනක් හමුදා නිලධාරීන් හා සිවිල් වැසියන් අත්අඩංගුවට ගනු ලැබුවා. මේ අය අධිකරණ ක්‍රියාදාමයකට ලක්වනු ඇති. මේ බොහෝ දෙනකු නොමඟ ගිය හමුදා නිලධාරීන් හා ඔවුන්ගේ හිතවත් පරිපාලන නිලධාරීන් බව පසුව හඳුනාගනු ලැබුවා.

කුමන්ත්‍රණය අසාර්ථක වීමට හේතු දේශපාලන විචාරකයෝ තවමත් සමීපව අධ්‍යයනය කරනවා. ඔවුන් පිළිගන්නා එක් දෙයක් තිබෙනවා. 20 වන සියවසේ බොහෝ අවස්ථාවල විවිධ රටවල සාර්ථක වූ බලය ඇල්ලීමේ ආකෘතියක් මෙවර තුර්කියේදී ව්‍යර්ථ වූයේ 21 වන සියවසේ සන්නිවේදන තාක්ෂණයන් නිසා බවයි.

‘කුමන්ත්‍රණකරුවන් පොතේ හැටියට සියල්ල සැලසුම් කොට ක්‍රියාත්මක වුණා. රාජ්‍ය නායකයා අගනුවරින් බැහැරව සිටි, සිකුරාදා රැයකයි ඔවුන් බලය අල්ලන්න තැත් කළේ. ඒත් ඔවුන්ගේ අවාසියට ඔවුන් භාවිත කළ වට්ටටෝරුව යල් පැන ගිහින්.’ යයි ඉස්තාන්බුල් නුවර පර්යේෂකයකු වන ගැරත් ජෙන්කින්ස් කියනවා.

මේ සමස්ත සිදුවීම් දාමයේ ඉතාම උත්ප්‍රාසජනක පැතිකඩ මෙයයි. සමාජ මාධ්‍ය ජාතික ආරක්ෂාවට තර්ජනයක් යයි කියමින් ඒවා හෙළි දැකීමට හා විටින් විට ඒවා බ්ලොක් කිරීමට පුරුදුව සිටි අර්ඩොගන් ජනපතිවරයාට තීරණාත්මක මොහොතේ ඒවා ඉමහත් ලෙස ප්‍රයෝජනවත් වීමයි.

මේක ඇත්තටම කන්නට ඕනෑ වූ විට කබරගොයාත් තලගොයා වීමේ කතාවක්.

A man stands in front of a Turkish army tank at Ataturk airport in Istanbul, Turkey July 16, 2016. REUTERS/IHLAS News Agency

A man stands in front of a Turkish army tank at Ataturk airport in Istanbul, Turkey July 16, 2016. REUTERS/IHLAS News Agency

2003-2014 කාලයේ තුර්කි අගමැතිව සිටි අර්ඩොගන් 2014දී ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ප්‍රකාශිත ඡන්දවලින් 51.79%ක් ලබමින් ජය ගත්තා. ඔහු තමා වටා විධායක බලය කේන්ද්‍ර කර ගනිමින්, විපක්ෂවලට හිරිහැර කරමින් ඒකාධිපති පාලනයක් ගෙන යන බවට චෝදනා නැගෙනවා. මාධ්‍ය නිදහසට හා පුරවැසියන්ට ප්‍රකාශන නිදහසටත් ඔහුගේ රජයෙන් නිතර බාධා පැමිණෙනවා.

නිල මාධ්‍ය වාරණයක් හා නොනිල මාධ්‍ය මර්දනයක් පවත්වා ගෙන යාම නිසා තුර්කිය ජාත්‍යන්තර ප්‍රජාවේ හා මාධ්‍ය නිදහස පිළිබඳ ක්‍රියාකාරිකයන්ගේ දැඩි දෝෂ දර්ශනයට ලක්ව සිටින රටක්.

තමන්ගේ අධිපතිවාදය ප්‍රශ්න කරන, විකල්ප මතවලට ඉඩ දෙන දෙස් විදෙස් මාධ්‍ය අර්ඩොගන් සලකන්නේ සතුරන් ලෙසයි. එහෙත් රාජ්‍ය මාධ්‍ය පැය කිහිපයකට ඔහුගේ පාලනයෙන් ගිලිහී ගිය විට ඔහුගේ උදව්වට ආවේ ඔහු නිතර දෙස් තබන පෞද්ගලික විද්‍යුත් මාධ්‍ය හා විදෙස් මාධ්‍යයි.

2014දී ඔහු නව නීතියක් හඳුන්වා දුන්නේ ඕනෑම මොහොතක වෙබ් අඩවි බ්ලොක් කිරීමේ බලය රජයට පවරා ගනිමින්.

එසේම අර්ඩොගන් දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන්නෙක්. සමාජ මාධ්‍යවලට නිතර දෙවේලේ බැණ වදින ඔහු තමාගේ ට්විටර් හා ෆේස්බුක් ගිණුම් පවත්වා ගෙන යනවා. ට්විටර් නිල ගිණුමට මේ වන විට මිලියන 8කට වඩා අනුගාමිකයන් සිටිනවා. කුමන්ත්‍රණය දිග හැරෙන අතර සිය ජනයාට හා ලෝකයට කතා කරන්නට ඔහු ට්විටර් ගිණුමද යොදා ගත්තා.

මේ දෙබිඩි හැසිරීම අපේත් එක්තරා හිටපු පාලකයෙක් සිිහිපත් කරනවා!

කුමන්ත්‍රණයට එරෙහිව අර්ඩොගන් රජයට උපකාර වූ තවත් සාධකයක් පසුව හෙළි වුණා. කුමන්ත්‍රණය ඇරඹී ටික වේලාවකින් එරට ප්‍රධානම ජංගම දුරකථන ජාලය සියලුම ග්‍රාහකයන්ට නොමිලයේ දත්ත සම්ප්‍රේෂණ පහසුකම් ලබා දුන්නා. නූතන දේශපාලන ක්‍රියාකාරකම්වලදී ටෙලිවිෂන් හා රේඩියෝවලට වඩා ටෙලිකොම් සේවාවන් වැදගත් වන බව මේ හරහා අපට පෙනී යනවා.

කුමන්ත්‍රණයේ සන්නිවේදන සාධකය විග්‍රහ කරමින් නිව්යෝර්ක් ටයිම්ස් පත්‍රයට ජූලි 20 වනදා ලිපියක් ලියූ තුර්කි සම්භවය සහිත ඇමරිකානු සරසවි ඇදුරු සෙයිනප් ටුෆෙකි (Zeynep Tufekci) මෙසේ කියනවා.

‘කුමන්ත්‍රණය පරදවන්න ස්වාධීන මාධ්‍ය හා වෙබ්ගත නව මාධ්‍ය ලබා දුන් දායකත්වය ජනපති අර්ඩොගන් අගය කළ යුතුයි. දැන්වත් මාධ්‍ය වාරණය, මර්දනය හා නවමාධ්‍ය හෙළා දැකීම නතර කොට ප්‍රකාශන නිදහසට ගරු කරන දේශපාලන ප්‍රතිසංස්කරණවලට යොමු විය යුතුයි… ස්වාධීන මාධ්‍යයන් හා විවෘත ඉන්ටර්නෙට් සංස්කෘතියක් පැවතීම රටක ප්‍රජාතන්ත්‍රවාදයට මහත් සවියක් බව මේ අත්දැකීමෙන් අපට හොඳටම පෙනී යනවා.’

How the Internet Saved Turkey’s Internet-Hating President

People stand on a Turkish army tank in Ankara on July 16 - Reuters

People stand on a Turkish army tank in Ankara on July 16 – Reuters