සිවුමංසල කොලූගැටයා #273: තොරතුරු නීතිය සඳහා අරගලයේ පුරෝගාමියෝ හා නියමුවෝ

Parliament of Sri Lanka - Photo by Kolitha de Silva, from Wikimedia Commons
Parliament of Sri Lanka – Photo by Kolitha de Silva, from Wikimedia Commons

Sri Lanka’s Parliament debated the Right to Information (RTI) bill for two days (23 – 24 June 2016) before adopting it into law. No member opposed it, although some amendments were done during the debate.

A large number of Lankans and a few supportive foreigners share the credit for Sri Lanka becoming the 108th country in the world to have its own RTI (or freedom of information) law.

How we reached this point is a case study of campaigning for policy change and law reform in a developing country with an imperfect democracy.

In this week’s Ravaya column (appearing in the print issue of 3 July 2016), I recall the key pioneers, promoters and enablers. The long journey deserves greater documentation and analysis, but I hope this quick tribute initiates such chronicling.

See also earlier columns related to RTI:

26 June 2016:  සිවුමංසල කොලූගැටයා #272: මහජන තොරතුරු අයිතිය අශෝක අධිරාජයාගේ ඓතිහාසික දායාදයක්

1 May 2016: සිවුමංසල කොලූගැටයා #266: තොරතුරු නීතියේ වැඩිම ප‍්‍රයෝජන සාමාන්‍ය පුරවැසියන්ටයි!

22 November 2015: සිවුමංසල කොලූගැටයා #246: තොරතුරු අයිතිය විවෘත ආණ්ඩුකරණයට මුල් පියවරයි

දශක දෙකට වැඩි කලක් ගෙන ගිය බුද්ධිමය හා දේශපාලනමය අරගලයක ප්‍රතිඵලයක් ලෙස තොරතුරු දැන ගැනීම පිළිබඳ නීතිය (RTI Law) 2016 ජුනි 24දා පාර්ලිමේන්තුවේ ඒකච්ඡන්දයෙන් සම්මත වූවා.

ඒ සමග තොරතුරු නීතියක් හඳුන්වා දෙන ලෝකයේ 108 වන රට බවට ශ්‍රී ලංකාව පත්ව සිටිනවා.

මෙය යහපාලන රජයේ පොරොන්දුවක් ඉටු කිරීමක්. එමෙන්ම 2015 අප්‍රේල් මාසයේ 19 වන සංශෝධනයෙන් ව්‍යවස්ථාවට එක් කරන ලද තොරතුරු දැන ගැනීමේ මූලික අයිතිවාසිකම ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට ක්‍රමවේදයක් හඳුන්වා දීමක්.

මේ මොහොතේ අප වැඩි අවධානය යොමු කළ යුත්තේ දිනා ගත් තොරතුරු අයිතිය තහවුරු කිරීමට හා නිසි ලෙස ක්‍රියාත්මක කිරීමටයි. එසේ ඉදිරිය දෙස බලන අතර අප මෙතෙක් ආ ගමන දෙස හැරී බැලීම ද වටිනවා.

තොරතුරු අයිතිය දිනා ගන්නට විවිධාකාරයෙන් දායක වූ සියලු දෙනාට ලක් සමාජයේ ප්‍රණාමය හිමි විය යුතුයි. අද මා තැත් කරන්නේ එයින් ප්‍රමුඛයන් කිහිප දෙනකු සිහිපත් කරමින් ඔවුන්ගේ පුරෝගාමී මෙහෙවර අගය කිරීමටයි.

ශ්‍රී ලංකාවේ තොරතුරු අයිතිය පිළිබඳ සංවාදයේ හා ක්‍රියාවලියේ පිය සටහන් කෙටියෙන් වුවද ලේඛනගත කිරීමේ හොඳ උත්සාහයක් විකල්ප වෙබ් අඩවිය ගෙන තිබෙනවා. බලන්න: http://www.vikalpa.org/?p=27152

එයට අනුව මේ උත්සාහය ඇරඹුණේ 1994දී. 1994 අගෝස්තු පාර්ලිමේන්තු මැතිවරණයේදී පොදු පෙරමුණට සහාය දැක්වූ මාධ්‍ය සංවිධාන හා සිවිල් සංවිධාන කිහිපයක් කළ ඉල්ලීම්වලට අනුව එවකට මාධ්‍ය (තොරතුරු), සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ධර්මසිරි සේනානායක ‘ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රතිපත්ති’ ගැන කැබිනට් පත්‍රිකාවක් 1994 පිළියෙළ කළා.

විකල්ප වෙබ් අඩවිය කියන්නේ එහි තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළි ගන්නා බවත්, ඒ සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රැකවරණය ලබා දෙන බවත් සඳහන් වූ බවයි. තොරතුරු අයිතියට දේශපාලන මට්ටමේ ප්‍රතිඥාවක් මෙරට ලැබුණු මුල් වතාව එයයි.

මා දන්නා තරමට තොරතුරු අයිතිය මෙරට නිල ලේඛනයක මුල්වරට යෝජනා කරනු ලැබුවේ 1996 මැයි මාසයේ. ඒ මාධ්‍ය නිදහස හා භාෂණ නිදහසට බලපාන නීති සංශෝධනය කිරීම ගැන උපදෙස් දීමට පත් කරන ලද විද්වත් කමිටුවේ අවසන් වාර්තාවෙයි.

එම කමිටුව ප්‍රවීණ නීතිඥ ආර්. කේ. ඩබ්ලියු. ගුණසේකරගේ සභාපතිත්වයෙන් ක්‍රියාත්මක වූ නිසා වඩාත් ප්‍රකටව ඇත්තේ ගුණසේකර කමිටුව ලෙසයි. එහි සෙසු සාමාජිකයන් වූයේ ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක, ආචාර්ය රොහාන් එද්රිසිංහ, ආචාර්ය ජයම්පති වික්‍රමරත්න, ලූෂන් රාජකරුණානායක, ජාවඩ් යුසූෆ්, වික්ටර් ගුණවර්ධන හා සූරියා වික්‍රමසිංහයි.

භාෂණ නිදහසට ව්‍යවස්ථාමය සහතික වීම් නමැති දෙවන පරිච්ඡේදයේ මෙසේ සඳහන් වුණා. (ඉංග්‍රීසි මුල් කෘතියෙන් පරිවර්තනය මගෙන්): ‘1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තොරතුරු දැන ගැනීමේ අයිතිය නිශ්චිත වශයෙන් සඳහන් කර නැතත්, එහි භාෂණ නිදහස පිළිබඳ අයිතීන් විග්‍රහ කරද්දී අධිකරණය එයට තොරතුරු නිදහසද අඩංගු වන බව නිර්ණය කර තිබේ. එසේ වුවද තොරතුරු අයිතිය වඩාත් විස්තරාත්මකව නීතිගත කිරීම වැදගත් හා අවශ්‍ය යයි අපි අදහස් කරමු. (1980දී ශ්‍රී ලංකාව අපරානුමත කොට ඇති) සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර ප්‍රඥප්තියේ තොරතුරු අයිතිය විග්‍රහ කර ඇත්තේ ඕනෑම මාධ්‍යයක් හරහා තොරතුරු ඉල්ලීමට, ලැබීමට හා බෙදා හැරීමට ඇති අයිතියක් ලෙසයි. හැකි තාක් සීමා කිරීම්වලින් තොරව මෙම අයිතිය ලබා දිය යුතුය.’

අවාසනාවකට ගුණසේකර කමිටු වාර්තාවේ බොහෝ වැදගත් නිර්දේශ අඩංගු වුවත් එයින් බහුතරයක් ක්‍රියාත්මක වූයේ නැහැ. එයට අවශ්‍ය දේශපාලන කැපවීම හීන වී ගිය නිසා විය යුතුයි.

2014 නොවැම්බරයේ ගුණසේකරයන් වියෝ වූ අවස්ථාවේ ප්‍රකාශයක් නිකුත් කළ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඔහුගේ මෙහෙවර ඉහළින් අගය කළා. ‘අද දක්වාත් මාධ්‍ය නිදහස තහවුරු කිරීමට අවශ්‍ය නීතිමය සංශෝධන පිළිබඳ මූලිකම හා වැදගත්ම ලේඛනය වන්නේ 1996 නිකුත් වූ ගුණසේකර කමිටු වාර්තාවයි.’ එහි සඳහන් වුණා.

තොරතුරු අයිතිය දිනා ගන්නට වසර 20ක් පුරා පෙරමුණු කිහිපයක බුද්ධිමය අරගලයක් හා උත්සාහයන් සිදු වුණා. සැමදෙනා අතර සැම විට සම්බන්ධීකරණයක් නොතිබුණත්, පොදු අරමුණක් ලෙස තොරතුරු අයිතිය නීතිමය වශයෙන් පිළිගැනීම වෙනුවෙන් ඔවුන් කැපවී සිටියා.

No more with us: L to R - Dharmasiri Senanayake, R K W Goonesekere, Justice Mark Fernando, Victor Gunewardena, Tilak Jayaratne
No more with us: L to R – Dharmasiri Senanayake, R K W Goonesekere, Justice Mark Fernando, Victor Gunewardena, Tilak Jayaratne

මා ඔවුන් කාණ්ඩ කිහිපයකට බෙදා හඳුනා ගන්නවා.

  1. ප්‍රගතිශීලී නීතිඥයන් හා විනිසුරුවරුන්

තොරතුරු අයිතියට අදාළ ප්‍රඥාන්විත නඩු තීන්දු ලබා දීම හරහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මාක් ප්‍රනාන්දු (1941-2009) වැදගත් භූමිකාවක් ඉටු කළා. මෙරට භාෂණ නිදහස හා නීතිය ගැන කළ විග්‍රහයක ආචාර්ය අසංග වැලිකල ගිය වසරේ සිහිපත් කළේ විමල් ප්‍රනාන්දුට එරෙහිව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව :1996- නම් මූලික අයිතිවාසිකම් නඩුවේදී ප්‍රනාන්දු විනිසුරුවරයා දුන් තීන්දුවයි.

භාෂණ නිදහස තුළ තොරතුරු ලැබීමට හා බෙදා හැරීමට ඇති අයිතියද ගැබ්ව තිබෙන බවට මේ තීන්දුව තර්ක කළා. එහෙත් නඩු තීන්දු හා නඩු වාර්තා පමණක් මානව අයිතීන් තහවුරු කිරීමට නොසෑහෙන බව වැලිකල පෙන්වා දෙනවා. මන්ද සෑම විනිසුරුවරයාම ලිබරල් දැක්මකින් නීති විග්‍රහ නොකරන නිසා.

තොරතුරු අයිතිය මූලික අයිතිවාසිකමක් හා එයටම වෙන් වූ පනතක් ලෙස නීතිගත වීම අවශ්‍ය වූයේ එබැවින්. තොරතුරු අයිතිය වෙනුවෙන් විවිධ අවස්ථාවල මතවාදීව පෙනී සිටි නීතිවේදීන් අතර ජයන්ත ද අල්මේදා ගුණරත්න, එස්.ජී. පුංචිහේවා, ඩබ්ලිව්. ජේ. බැසිල් ප්‍රනාන්දු, ක්‍රිෂාන්ත වැලිඅමුණ, ජගත් ලියනආරච්චි හා කේ. ඩබ්ලිව්. ජනරංජන සිටිනවා.

ගුණසේකර කමිටුවේ සාමාජිකයකු වූ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න, 2015දී තොරතුරු නීතිය කෙටුම්පත් කිරීමේ විද්වත් කමිටුවේ සභාපතිවරයා වුණා. විසි වසරකට පසුව හෝ එම කමිටු නිර්දේශය ක්‍රියාත්මක කිරීමට ඔහුට නායකත්වය දීමට හැකිවීම සුවිශේෂ සිද්ධියක්.

  1. මාධ්‍යවේදීන් හා කතුවරුන්

තොරතුරු අයිතිය හුදෙක් මාධ්‍යවලට පමණක් නොව සමස්ත සමාජයටම එක ලෙස උපකාර වන්නක්. එහෙත් එහි වැදගත්කම කල් තබා හඳුනා ගත් පුරෝගාමීන් අතර මාධ්‍යවේදීන් ගණනාවක්ම සිටියා.

මෙරට සිටි ප්‍රවීණතම ඉංග්‍රීසි මාධ්‍යවේදියකු වූ වික්ටර් ගුණවර්ධන (1927-2002) ගුණසේකර කමිටුවේ සාමාජිකයකු ද වූවා. පැරණි සන්ඩේ ටයිම්ස් පත්‍රයේ කතුවරයාව සිට පසුව මාර්ග ආයතනයේ අධ්‍යක්ෂවරයකු වූ ඔහුට මාධ්‍ය නීතිය පිළිබඳ පුළුල් දැනුමක් තිබුණා. තොරතුරු නීතිය මෙරටට අවශ්‍ය හා වැදගත් ඇයිද යන්න ගැන පොදු අවකාශයේ මුලින්ම හඬ නැගූවන් අතර ඔහු සිටියා.

ගුණසේකර කමිටුවේ සිටි අනෙක් මාධ්‍යවේදියා ලූෂන් රාජකරුණානායක. තීරු ලිපි රචකයකු ලෙස තවමත් සක්‍රීය ඔහු මුල් යුගයේ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේද මූලිකයෙක් වුණා.

සමහර මාධ්‍යවේදීන් තම මාධ්‍ය හරහා තොරතුරු  අයිතිය වෙනුවෙන් දිගටම පෙනී සිටියා. සන්ඩේ ටයිම්ස් වත්මන් කර්තෘ සිංහ රත්නතුංග එයින් එක් අයෙක්. ඔහු මාධ්‍ය නිදහස හා සමාජයීය වගකීම පිළිබඳ කොළඹ ප්‍රකාශනයේ (1998) ද මූලිකයෙක්.

ඔහුගේ තවත් දායකත්වයක් නම් මානව හිමිකම් පිළිබඳ තීරු ලිපියකට දිගු කලක් තිස්සේ තම පත්‍රයේ ඉඩ දීමයි. එය ලියන නීතිඥ කිෂාලි පින්ටෝ ජයවර්ධන දශක දෙකක් පුරා තොරතුරු අයිතිය ප්‍රවර්ධනය කළ අයෙක්. සම්මත වූ තොරතුරු නීතිය කෙටුම්පත් කිරීමට ද ඇය දායක වූවා.

තොරතුරු අයිතියට දැඩි අවධානය යොමු කළ තවත් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු නම් රාවය ආරම්භක කර්තෘ වික්ටර් අයිවන්. රටේ දැනටමත් පවතින වත්කම් හා බැරකම් නීතිය හරහා පොදු උන්නතියට අදාළ තොරතුරු ඉල්ලා සිටිය හැකි බවත්, එහෙත් එය ලැබීමට නිලධාරිවාදී බාධා මතු වන බවත් ඔහු බොහෝ අවස්ථාවල පෙන්වා දී තිබෙනවා. රාජ්‍ය හා ශාස්ත්‍රීය මූලාශ්‍රවලින් ගවේෂණාත්මක ලෙස තොරතුරු සොයා ගෙන, සමාජ-ආර්ථීක-දේශපාලනික ප්‍රශ්න ගැන කාලීන විග්‍රහයන් කිරීමේ පූර්වාදර්ශ රැසක් වික්ටර් අයිවන් අපට ලබා දෙනවා.

මාධ්‍ය නිදහස සඳහා සක්‍රීයව පෙනී සිටින මාධ්‍ය සංවිධාන අතර තොරතුරු නීතිය කලක් තිස්සේ ප්‍රමුඛතාවක් වී පැවතියා. එම උද්ඝෝෂණවලට නායකත්වය දුන් හා සහභාගි වූ සැම නමින් සඳහන් කිරීමට මෙහි ඉඩක් නැහැ. එහෙත් ප්‍රබලව හා දිගටම ඒ වෙනුවෙන් පෙනී සිටි වරුණ කරුණාතිලක, සුනන්ද දේශප්‍රිය, ශාන් විජේතුංග, රංග කලන්සූරිය ආදීන් අප සිහිපත් කළ යුතුයි.

නව මාධ්‍ය හරහා තොරතුරු අයිතිය ගැන මෑත වසරවල හඬ නැංවූවන් අතර සම්පත් සමරකෝන්, සජීව විජේවීර හා සංජන හත්තොටුව සිටිනවා.

L to R - Kishali Piono Jayawardena, Dr Jayampathy Wickramaratne, Dr Rohan Edrisinha, Wijayananda Jayaweera, Dr P Sarawanamuttu
L to R – Kishali Piono Jayawardena, Dr Jayampathy Wickramaratne, Dr Rohan Edrisinha, Wijayananda Jayaweera, Dr P Saravanamuttu
  1. පර්යේෂකයන් හා බුද්ධිමතුන්

තොරතුරු අයිතිය සඳහා නීතිවේදීන් හා මාධ්‍යවේදීන් ගෙන ගිය දිගු අරගලයට සරසවි ඇදුරන් හා සරසවිවලින් බැහැර පොදු උන්නතියට කැප වූ බුද්ධිමතුන් ගණනාවකගේ ද දායකත්වය ලැබුණා.

මාධ්‍ය පර්යේෂක තිලක් ජයරත්න (1943-2012) මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතු වනවා. රාජ්‍ය මාධ්‍යයක් (ගුවන් විදුලි සංස්ථාව) හරහා ජනතාවට තොරතුරු ලබා දීමට හැකි තාක් උත්සාහ ගත් ඔහු පසු කලෙක මාධ්‍ය ප්‍රතිසංස්කරණවල මූලික අවශ්‍යතාව ගැන පුළුල්ව ලිපි ලේඛන රචනා කළා. ඔහු තොරතුරු අයිතිය දුටුවේ මාධ්‍ය ප්‍රතිසංස්කරණවල එක් පියවරක් ලෙසයි.

නීති ක්ෂේත්‍රයේ පර්යේෂකයන් ලෙස ආචාර්ය රොහාන් එද්රිසිංහ හා ආචාර්ය අසංග වැලිකල තොරතුරු නීති සම්පාදනයට හා ප්‍රවර්ධනයට බෙහෙවින් දායක වුණා. දේශපාලන විද්‍යාඥ හා මානව හිමිකම් ක්‍රියාකාරික ආචාර්ය පාකියසෝති සරවනමුත්තු හා සන්නිවේදන සංවර්ධනය සඳහා යුනෙස්කෝවේ අධ්‍යක්ෂවරයා ලෙස කලක් ක්‍රියා කළ විජයානන්ද ජයවීර තොරතුරු නීති සංවාදවල වැදගත් භූමිකාවක් තවමත් ඉටු කරනවා.

සන්නිවේදන විශේෂඥ හා නව මාධ්‍ය පර්යේෂක මහාචාර්ය රොහාන් සමරජීව, නීතිඥයකු ද වනවා. ඔහු තොරතුරු නීති කෙටුම්පත් විචාරයට ලක් කරන අතර නව සන්නිවේදන තාක්ෂණයන් හරහා තොරතුරු අයිතිය වඩාත් තහවුරු කර ගන්නා ක්‍රමවේද ගැන අප දැනුවත් කරනවා.

වෙරිටේ ආයතනයේ පර්යේෂණ අධ්‍යක්ෂ ගිහාන් ගුණතිලක මෑත වසරවල තොරතුරු අයිතිය විග්‍රහ කරමින් මෙරට පළවූ හොඳම අත්පොතක කතුවරයායි. තොරතුරු අයිතියේ ඉතිහාසය හා සංකල්පීය පරාසය ඔහු හොඳින් පහදා දෙනවා. http://unesdoc.unesco.org/images/0024/002441/244113E.pdf

තොරතුරු අයිතියේ සංවාදයට බුද්ධිමය තලයක කොටුවීමට ඉඩ නොදී එය සිවිල් සමාජ ක්‍රියාකාරීත්වය හරහා සමාජගත කළ කිහිප දෙනෙක්ද සිටිනවා. පුරවැසි බලය ප්‍රකාශකයකු වන ප්‍රවීණ ලේඛක ගාමිණී වියන්ගොඩ හා සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරයේ ලේකම් සූරියා වික්‍රමසිංහ ඒ අතර කැපී පෙනෙනවා.

L to R - Dr Rohan Samarajiva, Gamini Viyangoda, Sinha Ratnatunga, Dr Asanga Welikala, Victor Ivan
L to R – Dr Rohan Samarajiva, Gamini Viyangoda, Sinha Ratnatunga, Dr Asanga Welikala, Victor Ivan

4. දේශපාලකයෝ හා සමාජ ක්‍රියාකාරිකයෝ

අවසන් වශයෙන් තොරතුරු නීතිය සැබෑ කර ගැනීමට දේශපාලනමය කැප වීම තීරණාත්මකව බලපෑවා.

2001-2004 රජය යටතේ තොරතුරු නීතියක් කෙටුම්පත් කොට එයට කැබිනට් අනුමැතියද ලැබ තිබුණා. එහෙත් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබුවා. එම 2003 කෙටුම්පතට නායකත්වය දුන්නේ එවකට හා දැන් යළිත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ.

ඉනික්බිති එළැඹි 2005-2014 අඳුරු දශකය තුළ තොරතුරු නීතියක් ගෙන ඒමට උත්සාහයන් කිහිපයක් කෙරුණා. 2010දී එවකට අධිකරණ අමාත්‍ය මිලින්ද මොරගොඩ ගත් උත්සාහයත්, 2010 සැප්තැම්බර් හා යළිත් 2011 ජුනි මාසයේ කරූ ජයසූරිය මන්ත්‍රීවරයා (දැන් කතානායක) ගත් උත්සාහයත් පසුගිය රජය විසින් ව්‍යර්ථ කරනු ලැබුවා.

මාධ්‍ය ඇමති ගයන්ත කරුණාතිලක හා නියෝජ්‍ය ඇමති කරුණාරත්න පරණවිතාන 2016 ජුනි 24 වනදා සම්මත කර ගත් තොරතුරු නීතිය දශක දෙකකට වැඩි කලක් එම සංකල්පය වෙනුවෙන් පෙනී සිටි සැමගේ සාමූහික ජයග්‍රහණයක්.

දැන් අභියෝගය නම් එය රැක ගනිමින් මනාව ක්‍රියාත්මක කිරීමයිග තොරතුරු අයිතිය සවිමත් වන්නේ පුරවැසි අප එය භාවිත කරන තරමටයි!

සිවුමංසල කොලූගැටයා #246: තොරතුරු අයිතිය විවෘත ආණ්ඩුකරණයට මුල් පියවරයි

Illustration by Echelon magazine, http://www.echelon.lk
Illustration by Echelon magazine, http://www.echelon.lk

After many years of advocacy by civil society groups and journalists, Sri Lanka is set to soon adopt a law guaranteeing citizens’ Right to Information (RTI, also known as freedom of information laws in some countries). With that, we will join over 100 other countries that have introduced such progressive laws.

The first step is already taken. The 19th Amendment to the Constitution, passed in Parliament in April 2015, made the right to information a fundamental right. The Right to Information Act is meant to institutionalize the arrangement – i.e. put in place the administrative arrangement where a citizen can seek and receive public information.

RTI signifies unleashing a new potential, and a major change in status quo. First, we need to shake off a long historical legacy of governments not being open or accountable to citizens.

In this week’s Ravaya column, (appearing in issue of 22 Nov 2015), I explore how RTI can gradually lead to open government. I also introduce the 9 key principles of RTI.

I have covered the same ground in English here:

20 Nov 2015: Right to Information should be a step towards Open Government

L to R - Wijayananda Jayaweera, Gamini Viyangoda, Nalaka Gunawardene, Shan Wijetunge. At Right to Information public forum on 17 Nov 2015 in Colombo. Photo by Sampath Samarakoon
L to R – Wijayananda Jayaweera, Gamini Viyangoda, Nalaka Gunawardene, Shan Wijetunge. At Right to Information public forum on 17 Nov 2015 in Colombo. Photo by Sampath Samarakoon

තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කැරෙන නීතිය සම්මත වන තුරු මේ වසර පුරාම අපි බලා සිටිනවා. ‘අද නෑ හෙට’ වගේ වැඩක්!

යහපාලනයේ එක් ප‍්‍රධාන පොරොන්දුවක් වූයේද තොරතුරු අයිතියයි. එක් අඩක් ඉටු වී තිබෙනවා කිව හැකියි. මන්ද 2015 අපේ‍්‍රල් 28දා පාර්ලිමේන්තුවේ සම්මත වූ 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ තොරතුරු අයිතිය මූලික අයිතිවාසිකමක් ලෙස පැහැදිලිවම පිළිගෙන තිබෙනවා.

මේ අයිතිය ප‍්‍රායෝගිකව ක‍්‍රියාත්මක කිරීමට තොරතුරු නීතිය අවශ්‍යයි. ඒ හරහා සමස්ත රාජ්‍ය පරිපාලන තන්ත‍්‍රයේම වෙනසක් සිදු කැරෙනවා. හැකි තාක් මහජනයාට රහසිගතව කටයුතු කිරීමේ ඓතිහාසික සම්ප‍්‍රදායෙන් මිදී වඩාත් විවෘත හා තොරතුරු බෙදා ගන්නා රාජ්‍ය පාලනයකට යොමුවීමේ ක‍්‍රමවේදයක් මේ නීතිය හරහා හඳුන්වා දීමට නියමිතයි.

තොරතුරු නීති කෙටුම්පත් හරිහැටි හදා ගන්නට මෙතරම් කල් ගත වන්නේ ඇයි?

මනා නීති සම්පාදනය සඳහා ආදර්ශයට ගත හැකි තොරතුරු නීති දකුණු ආසියාවේත්, ඉන් පිටතත් රටවල් 100ක තිබෙනවා. මේ නිසා හැම නීති වැකියක්ම අලූතෙන්ම වචන ගැලපිය යුතු නැහැ. තොරතුරු අයිතිය පිළිබඳ ජාත්‍යන්තර යහ සම්ප‍්‍රදායන් ගැන බොහෝ ලේඛනද තිබෙනවා. යුනෙස්කෝ ආයතනය මේ ගැන විශේෂ අවධානය යොමු කොට තිබෙනවා.

මෙතැන ඇත්තේ නීති හැකියාවන් පිළිබඳ ගැටලූවක් නොව ආකල්පමය එල්බ ගැනීම් බවයි දැන ගන්නට තිබෙන්නේ. අපේ නීතිපති දෙපාර්තමේන්තුව හා නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව බෙහෙවින් ගතානුගතික පදනමක පිහිටා ක‍්‍රියාකිරීම නිසා තොරතුරු බෙදා ගන්නවාට වඩා බදා ගන්නට නැඹුරු වූ නීතියක් බිහි වීමේ අවදානම තිබෙනවා. මේ අවසාන අදියරේදී ස්වාධීන නීති විශාරදයන් හා සිවිල් සමාජ ක‍්‍රියාකාරිකයන් අවදියෙන් හා අවධානයෙන් සිටීම අත්‍යවශ්‍යයි. නැතිනම් එතරම් ප‍්‍රයෝජනයක් ගත නොහැකි නාමමාත‍්‍රික තොරතුරු නීතියක් සම්මත විය හැකියි.

රාජ්‍ය දෙපාර්තමේන්තු දෙකක පටු මානසිකත්වයට වඩා පුළුල් අභියෝගයක්ද මෙහිදී මා දකිනවා. එනම් අපේ ඉතා වැඩවසම් ඓතිහාසික උරුමය හා නූතනත්වය අතර අරගලයයි.

සියවස් 25ක ලිඛිත ඉතිහාසයක් ඇති අපේ රටේ විවෘත හා මහජනතාවට වගකියන ආණ්ඩුකරණයක් ඉතා මෑතක් වන තුරු කිසි දිනෙක පැවතියේ නැහැ. මැග්නා කාර්ටා (Magna Carta) වැනි සම්මුතියක් හරහා අපේ රජුන්ගේ බලතල කිසි ලෙසකින් හෝ සමනය වූයේ ද නැහැ.

1 May 2015: සිවුමංසල කොලූගැටයා #217: වසර 800කට පෙර යහපාලන අඩිතාලම දැමූ මැග්නා කාටාව

සීමාන්තික බලතල සහිත රජවරුන් අපේ රට පාලනය කළ වසර 2,000ක පමණ කාලයක් තුළ රටේ කිසිදු පරිපාලන තොරතුරක් (හෝ වෙනත් කිසිම අයිතිවාසිකමක්) ඉල්ලීමේ වරම ජනතාවට තිබුණේ නැහැ. අපේ පැරැන්නෝ යටත් වැසියන් මිස කිසි දිනෙක පුරවැසියන් වූයේ නැහැ.

ඉන්පසු එළැඹුණු යටත් විජිත පාලන යුගවලත් එම පාලකයන් කිසි විටෙක තොරතුරු හෙළි කිරීමට බැඳී සිටියේ නැහැ. බි‍්‍රතාන්‍ය පාලන තන්ත‍්‍රය තුළ ලේඛන පවත්වා ගැනීම ඉතා හොඳින් සිදු කළත්, ඒ ලේඛන ඔවුන්ගේ ලන්ඩනයේ යටත් විජිත පරිපාලකයන්ට මිස මෙරට සාමාන්‍ය ජනයාට පරිශීලනය කළ හැකි වූයේ නැහැ. (මේ වාර්තා දැන් නම් බි‍්‍රතාන්‍ය කෞතුකාගාරයේ ඕනෑම කෙනෙකුට කියවිය හැකියි. බි‍්‍රතාන්‍ය පාලන යුගය දැඩි ලෙස විවේචනය කරන හැම දෙනෙකුම පාහේ තම මූලාශ‍්‍ර යොදා ගන්නේ එම වාර්තායි.)

නිදහසින් පසුව රට පාලනය කළ අපේම ආණ්ඩුත් බොහෝ දුරට රටවැසියන්ට තොරතුරු කැමැත්තෙන් දෙනවා වෙනුවට හැකි තාක් වසන් කිරීමේ සම්ප‍්‍රදාය දිගටම ගෙන ගියා. යටත් විජිත සමයේ ආභාෂය මෙන්ම ඉතිහාසයේ කිසි දිනෙක රටවැසියාට විවෘත වූ ආණ්ඩුකරණයක් (Open Government) නොතිබීම ද එයට හේතු වූවා විය හැකියි.

Part of the audience at RTI Public Forum on 17 Nov 2015 in Colombo
Part of the audience at RTI Public Forum on 17 Nov 2015 in Colombo

මෙයින් අදහස් කැරෙන්නේ නිදහසින් පසු අපට තිබූ සියලූ රජයන් දුර්දාන්ත හෝ දරදඬු පාලනයන් වීය කියා නොවෙයි. ඇතැම් ප‍්‍රජාතන්ත‍්‍රවාදී නායකයන් පවා රට වැසියන්ට සැලකුවේ හරියට දෙමවුපියන් ළමයින් දෙස බලන ආකල්පයට සමාන මානසිකත්වයකින්. වැසියන් රැක බලා ගෙන ඔවුන්ට අවශ්‍ය සම්පාදන කර දීම විනා ඔවුන් ස්වාධීනව සිතන පතන “වැඩිහිටියන්” වීම අවශ්‍ය යැයි ඩී එස් හා ඩඩ්ලි වැනි නායකයන්ට නොසිතෙන්නට ඇති.

සමාජ ක‍්‍රියාකාරික හා ලේඛක ගාමිණී වියන්ගොඩගේ මතය නම් තොරතුරු උවමනාවෙන්ම රටවැසියන්ට නොදී සිටින්නේ තොරතුරු හරහා රටවැසියන් බලාත්මක වන නිසායි. වසන් කළ යුතු අමිහිරි හා අශෝබන බොහෝ දේ හැම රාජ්‍ය පාලනයකම තිබෙන බවත්, මේ තොරතුරු පිට වීම හා ගලා යාම පවතින බල සංකේන්ද්‍රයන්ට බරපතල ප‍්‍රශ්නයක් බවත් ඔහු කියනවා.

Writer and activist Gamini Viyangoda speaks at RTI Public Forum on 17 Nov 2015
Writer and activist Gamini Viyangoda speaks at RTI Public Forum on 17 Nov 2015

කාලානුරූපව වෙනස් වෙන්නට කාලය ඇවිත්! අපේ ඓතිහාසික උරුමය කිසි දිනෙක විවෘත ආණ්ඩුකරණයකට නැඹුරු නොවූවත්, 21 වන සියවසේ යහපාලනයට හා ප‍්‍රජාතන්ත‍්‍රවාදයට එය අත්‍යවශ්‍ය ගුණයක් ලෙස දැන් සැලකෙනවා.

විවෘත ආණ්ඩුකරණයේ සංකල්පය 18 වන සියවසේ බටහිර යුරෝපයේ පුනරුදය (Age of Enlightenment) වෙත දිවෙනවා. සීමාන්තික බලතල සහිත රාජාණ්ඩු වඩාත් බල තුලනයකට යටත් කළ යුතු බවටත්, මහජන මතයට සංවේදී ආණ්ඩුකරණයක් බිහි විය යුතු බවටත් ප‍්‍රංශ හා ජර්මන් දාර්ශනිකයන් තර්ක කිරීම ඇරඹුණේ ඒ සමයේයි.

මෙය නීතිගත කරමින් ලොව මුල්ම තොරතුරු නීතිය 1766දී හඳුන්වා දුන්නේ ස්වීඩනයයි. මාධ්‍ය නිදහස හා තොරතුරු අයිතිය නීතියෙන් තහවුරු කිරීම ඉන් පසු එළැඹි දශකවල බොහෝ බටහිර රටවල සිදු කෙරුණා. රාජ්‍ය පාලනයේ රහසිගත බව වඩ වඩාත් පටු පරාසයකට සීමා කිරීමෙන්, විවෘත බව සාමාන්‍යකරණය කිරීමට 20 වන සියවස පුරා පරිණත ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටවල නීතිමය, ප‍්‍රතිපත්තිමය මෙන්ම යහ සම්ප‍්‍රදායික පියවර ගෙන තිබෙනවා.

මේ ගෝලීය ඓතිහාසික පසුබිම තුළ මා තොරතුරු නීතිය දකින්නේ මෙරට සමස්ත ආණ්ඩුකරණය වඩාත් විවෘත හා මහජනතාවට වගකියන තත්ත්වයට පත් කරන්නට දායක වන එක් පියවරක් හැටියටයි.

මෙයට සමාන්තරව සමාලෝචනයට ලක් විය යුතු හා සංශෝධනය කළ යුතු තවත් නීති තිබෙනවා. 1955 අංක 32 දරණ රාජ්‍ය රහස් පනත එයින් ප‍්‍රමුඛයි. 1911දී බි‍්‍රතාන්‍යයේ සම්මත වූ නීතියක් ආශ‍්‍රයෙන් සම්පාදිත අපේ 1955 රාජ්‍ය රහස් නීතිය යල්පැන ගිය, නූතන ප‍්‍රජාතන්ත‍්‍රවාදී සම්ප‍්‍රදායන්ට කිසිසේත් නොගැළපෙන එකක්.

එහි රාජ්‍ය රහස් යන්න අනවශ්‍ය තරම් පුළුල්ව නිර්වචනය කැරෙන බවත්, එය නිදහසට කාරණයක් ලෙස දක්වමින් දශක ගණනාවක් පුරා රාජ්‍ය නිලධාරීන් සැබැවින්ම රහසිගත නොවිය යුතු බොහෝ තොරතුරු ද වසන් කරන බවත් නීති පර්යේෂකයන් කියනවා.

‘1911 රාජ්‍ය රහස් නීතිය 1989දී බි‍්‍රතාන්‍යය සංශෝධනය කළා. එය වඩාත් ජන සම්මතවාදී ප‍්‍රමිතියකට ඔවුන් දැන් ගෙනැවිත් තිබෙනවා. අප තවමත් 1911 බි‍්‍රතාන්‍ය නීතියට සමාන වන නීතියක එල්බ ගෙන සිටීම ඛෙදජනකයි.’ නීතිඥ හා පර්යේෂිකා කිෂාලි පින්ටෝ ජයවර්ධන කියනවා.

තොරතුරු නීතිය ගැන මෑතදී පොතක් ලියා ඇති නීති පර්යේෂක ගිහාන් ගුණතිලක කියන්නේ හොඳ තොරතුරු නීතියක ගැබ් විය යුතු මූලධර්ම 9ක් තිබෙන බවයි. ඒවා සැකෙවින් මෙසේයි.

  1. රජයක් හැම විටම හැකි තාක් තොරතුරු හෙළි කිරීමට නැඹුරු විය යුතුයි (Maximum Disclosure). බදා ගෙන සිටිනවා වෙනුවට බෙදා ගැනීමට මුල් තැන දිය යුතුයි.
  2. යම් කෙනකු තොරතුරක් ඉල්ලන තුරු නොසිට, ස්වේච්ඡුාවෙන්ම මහජන තොරතුරු පළ කිරීම කළ යුතුයි (Obligation to Publish). මෙයට පරිපාලන මෙන්ම මූල්‍ය තොරතුරු හා වෙනත් දත්තද ඇතුළත් විය හැකියි. (තම වෙබ් අඩවි හරහා මෙසේ කරන රාජ්‍ය ආයතන ගණනාවක් තිබෙනවා.)
  3. මහජන ආයතන සියල්ලම විවෘත ආණ්ඩුකරණය ^Open Government& සංකල්පයට අනුගත විය යුතුයි. රහසිගතභාවය පෙරටු කොට ගත් පරිපාලන සම්ප‍්‍රදායන් ඉවත දමා විවෘත භාවය මුල් කර ගත් ක‍්‍රමවේදයන් හඳුන්වා දිය යුතුයි.
  4. නිශ්චිත හේතු නිසා මහජනයාට තොරතුරු දිය නොහැකි අවස්ථා හෙවත් ව්‍යතිරේක (Exceptions) හැකි තාක් සීමා කළ යුතුයි. එසේ නොදී සිටීමට පැහැදිලි සාධාරණීකරණයක් තිබිය යුතුයි.
  5. තොරතුරු අයිතිය ප‍්‍රායෝගිකව ක‍්‍රියාත්මක වීමට නිශ්චිත පරිපාලන ක‍්‍රමවේදයක් බිහි කළ යුතුයි. තොරතුරු සොයා එන මහජනයා රස්තියාදු නොකර කාර්යක්ෂමව හා ආචාරශීලීව තොරතුරු ලබාදෙන ක‍්‍රමයක් මේ නීතිය හරහා ස්ථාපිත විය යුතුයි. එසේම තොරතුරු සම්පාදනය කොට ලබාදීමට නීතියෙන් සීමිත කාලයක් නිශ්චය කළ යුතුයි. එසේම හරිහැටි ඉටු නොකෙරෙන තොරතුරු ඉල්ලීම් ගැන විමර්ශනය කළ හැකි ස්වාධීන ආයතනයක් පිහිටුවිය යුතුයි. (තොරතුරු කොමිසම නම් වන්නේ එයයි.)
  6. තොරතුරු ලබා ගැනීමේදී එයට යම් ගෙවීමක් කළ යුතු වුවත්, එම අය කිරීම සාධාරණ හා මහජනයාට දරා ගත හැකි එකක් විය යුතුයි. එහිදී මූලික සංකල්පය විය යුත්තේ තොරතුරුවලින් සන්නද්ධ වන ජන සමාජයේ වටිනාකම, එම තොරතුරු සම්පාදනය කිරීමට වැය වන මුදලට වඩා බෙහෙවින් වැඩි බවයි.
  7.  සියලූ රාජ්‍ය ආයතනවල සියලූ රැස්වීම් මහජනතාවට විවෘත විය යුතුයි (Open Meetings). මන්ද තමන්ගේ නාමයෙන් නිලධාරීන් කුමක් කරන්නේද යන්න දැන ගැනීමට ජනතාවට අයිතියක් ඇති නිසා. ඉඳහිට ඇතැම් රැස්වීම් මහජනයාට විවෘත නොවුවත්, ඒවා පැවැත් වූ බව ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කළ යුතුයි. සංවෘත රැස්වීම් පැවැත්වීම සාධාරණීකරණය කළ හැකි විය යුතුයි.
  8. තොරතුරු නීතිය සම්මත කර ගත් පසුව, රටේ පවතින අන් සියලූ නීති එයට අනුගත වන පරිදි නැවත විග‍්‍රහ කළ යුතුයි. ඉදිරියේදී සම්මත වන කිසිදු නීතියක් මගින් තොරතුරු හෙළි කිරීම සීමා නොකළ යුතුයි. එසේම යහ චේතනාවෙන් තොරතුරු මහජනයාට ලබා දෙන රාජ්‍ය නිලධාරීන්ට නිසි ආරක්ෂාව ලැබිය යුතුයි. නොබියව තම රාජකාරිය නීති ගරුකව කිරීමට රාජ්‍ය සේවකයන් සැමට හැකි වන පරිසරයක් තිබිය යුතුයි.
  9. රාජ්‍ය තන්ත‍්‍රයේ සේවය කිරීම නිසා තමන් අතට පත් වන, පොදු උන්නතියට වැදගත් තොරතුරු හෙළිදරවු කරන පුද්ගලයන්ට නීතිමය රැකවරණ ලැබිය යුතුයි (Protection for Whistle-blowers). රජයේ ආයතන තුළ කැරෙන අකටයුතුකම් ගැන තොරතුරු මාධ්‍යවලට හෝ වෙනත් පිරිසකට හෝ ලබා දීම අපරාධයක් හෝ විනය විරෝධී ක‍්‍රියාවක් ලෙස නොව පොදු උන්නතියට උදව් කිරීමක් ලෙස සැලකිය යුතුයි. එහිදී ආයතන සංග‍්‍රහයේ විධිවිධාන උල්ලංඝනය වුවත් එයට ඔබ්බට යන විනිශ්චයක් හරහා අදාළ තොරතුරු මුදා හරින පුද්ගලයන් එසේ කිරීමේ පොදු වැදගත්කම සැලකිල්ලට ගත යුතුයි.

තොරතුරු නීතිය පිළිබඳව නොවැම්බර් 17 වැනිදා කොළඹදී පැවති මහජන සංවාදයකදී මා කීවේ මෙයයි:

තොරතුරු අයිතිය දිනා ගැනීම දශක එක හමාරක පමණ සිවිල් ක‍්‍රියාකාරීත්වයේ මංසළකුණක්. එහෙත් නීතිය සම්මත කර ගත් පමණීන් අභියෝග හමාර වන්නේ නැහැ.

වඩාත් විවෘත වුත්, මහජනයාට වග වන්නා වුත් ආණ්ඩුකරණයකට දේශපාලකයන් හා රාජ්‍ය නිලධාරීන් සැවොම ආකල්පමය වශයෙන් ප‍්‍රවේශ විය යුතුයි.

තොරතුරු සොයා යන, තොරතුරු ලද විට ඒවා නිසි ලෙස විග‍්‍රහ කොට නිගමනවලට එළැඹීමේ හැකියාව හෙවත් තොරතුරු සාක්ෂරතාව (information literacy) සමාජයේ ප‍්‍රවර්ධනය කිරීම අප කාගේත් වගකීමක්.

ආවේග, අනුමාන, කුමන්ත‍්‍රණ තර්ක හෝ විශ්වාස මත පදනම් වනවා වෙනුවට දත්ත හා විග‍්‍රහයන් මත පදනම් වී නිගමනවලට එළඹීමටත්, ඒ හරහා අපේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වඩාත් සවිබල ගැනීවීමටත් ලොකු වගකීමක් පුරවැසි හැමට තිබෙනවා.

See also:

15 October 2015: Exploring Open Data and Open Government in Sri Lanka

23 July 2015: සිවුමංසල කොලූගැටයා #227: භාෂණයේ නිදහසට හා ප‍්‍රශස්ත මාධ්‍යකරණයට දේශපාලන කැපවීමක් ඕනෑ!

21 Feb 2015: සිවුමංසල කොලූගැටයා #208: තොරතුරු අයිතිය තහවුරු කරන්නට තොරතුරු සාක්ෂරතාව අත්‍යවශ්‍යයි!

17 Feb 2015: සිවුමංසල කොලූගැටයා #207: “තොරතුරු නීතිය ලැබුණාට මදි. එයින් නිසි ඵල නෙළා ගත යුතුයි!”