සිවුමංසල කොලූගැටයා #109: ළග ළග එන ‘කෘෂි රසායනික සුනාමිය’

This week’s Ravaya column (in Sinhala) is about the rising exports of hazardous pesticides coming to the developing world from China.

Similar ground was covered in English in The Coming Pesticide Tsunami: Made in China?

Filipino rice farmer spraying pesticides
Filipino rice farmer spraying pesticides

1955දී තමන් නිපද වූ රෝද දෙකේ අත් ට‍්‍රැක්ටරය වසර දහයකට වැඩි කාලයක් ඝර්ම කලාපීය රටවල ගොවීන්ට ප‍්‍රවර්ධනය කිරීමෙන් පසු එය තමන් අතින් සිදුවු ‘ලොකු වරදක්’ යයි කීර්තිමත් ලාංකික ඉංජිනේරු රේ විජේවර්ධන ප‍්‍රසිද්ධියේ කියා සිටියා. හරිත විප්ලවය ආරම්භයේ පටන් එහි පෙරගමන්කරුවකු වූ ඔහු 1960 දශකය අවසන් වන විට එහි මූලික දැක්ම ප‍්‍රශ්න කළා.

ගොවිතැනේදී අධික ලෙස බාහිරින් ගෙනෙන පොහොර, කෘමිනාශක හා වල් නාශක ආදිය නිසා වගාබිමේ සමතුලිතතාව බිඳ වැටෙන බව ඔහු පසුව වටහා ගත්තා. කෙටි කාලීනව අධික අස්වනු ලැබිය හැකි වුවත් හරිත විප්ලව ක‍්‍රමවේදයන් නිසා වසර කිහිපයකින් වගාබිම් නිසරුවීම, පරිසර දුෂණය හා බරපතල සෞඛ්‍ය ගැටඵ මතු වන සැටි දැන් අප දන්නවා.

සියවස් ගණනාවක් තිස්සේ ආසියාව පුරා කුඹුරුවල ගොවීන් වී වගා කළේ කෘෂි රසායනවල පිහිටෙන් නොවෙයි. කුඹුරුවල ස්වාභාවික ව හමුවන කෘමීන්, මකුඵවන්, පක්ෂීන් හා වෙනත් සතුන් සමග පාරිසරික සමබරතාවක් පවත්වා ගන්නා සැටි ඔවුන් අත්දැකීමෙන් දැන සිටියා.

එහෙත් හරිත විප්ලවයේ රසායනික පොහොර, කෘමිනාශක හා වල්නාශක වගාවට හානි කරන මෙන් ම වගාවට හිතකර සතුන් ද එක සේ විනාශ කළා. රසායනික පොහොර හා අනෙකුත් කෘෂි රසායන වතුරේ දිය වී ඇල දොල හා ගංගා හරහා සමස්ත පරිසරයට ම මිශ‍්‍ර වුණා. මේ විෂ රසායනික අපේ ආහාරවලට සෘජුව මෙන් ම වක‍්‍රවත් ඇතුඵ වුණා.

මෑත කාලයේ හරිත විප්ලවවාදියෝ සැළකිය යුතු සංඛ්‍යාවක් තමන්ගේ වැරදි පිළිගනිමින්, කල්ගත වී හෝ ඒවා නිවැරදි කරගන්නට තැත් කරනවා. ජාත්‍යන්තර සහල් පර්යේෂණ ආයතනය (IRRI) කියන්නේ හරිත විප්ලවයේ විශාල කාර්යභාරයක් ඉටු කළ ලෝක ව්‍යාප්ත කෘෂි පර්යේෂණායතන ජාලයේ සාමාජිකයෙක්.

පසුගිය අඩ සියවස තුළ ආසියානු රටවල සහල් නිෂ්පාදනය වැඩි කිරීමට, සහලින් ආසියානු රටවල් ස්වයංපෝෂිත කිරීමට හා ආහාර හිගයන් වළක්වා ගන්නට විශාල පර්යේෂණාත්මක දායකත්වයක් IRRI ලබාදී තිබෙනවා. අධික ලෙස කෘෂි රසායන භාවිත කරමින් අධික අස්වනු හඹා යාම අහිතකර බව දැන් ඔවුන් පිළි ගන්නවා. මේ ගැන ප‍්‍රසිද්ධියේ කථා කරන ජ්‍යෙෂ්ඨ IRRI විද්‍යාඥයෙක් මෑතදී මට මුණ ගැසුණා.

Dr K L Heong of IRRI
Dr K L Heong of IRRI

ආචාර්ය කොංග් ලූවන් හියොං (Dr K L Heong) ආසියාවේ ප‍්‍රමුඛ පෙළේ කීට විද්‍යාඥයෙක්. මැලේසියානු ජාතිකයකු වන ඔහු බි‍්‍රතාන්‍යයේ ඉම්ජීරියල් සරසවියෙන් ආචාර්ය උපාධියත්, ලන්ඩන් සරසවියෙන් DSc අධිඋපාධියත් ලැබූ, දශක ගණනක් පුරා ආසියාවේ වී වගාවේ කෘමීන් පිළිබඳ පර්යේෂණ කළ අයෙක්. සත්ත්ව විද්‍යාවට සීමා නොවී ගොවීන්ගේ ආකල්ප පිළිබඳ සමාජ විද්‍යාත්මක ගවේෂණ කරමින් කුඩා පරිමාණයේ වී ගොවීන්ට ඇති ප‍්‍රශ්න හා අවශ්‍යතා මැනවින් හදුනාගත් විද්වතෙක්.

ජෛව ලෝකයේ වැඩිපුර ම ජීවී විශේෂ හමු වන්නේ කෘමීන් වශයෙන්. ගම් නගර, වනාන්තර හා ගොවිබිම් යන සැම තැනෙක ම කෘමීන් සිටිනවා. මෙයින් බහුතරයක් කෘමීන් මිනිස් අපට හෝ බෝගවලට කිසිදු හානියක් කරන්නේ නැහැ. හානි කරන කෘමීන් ගොදුරු කර ගන්නා වෙනත් කෘමීන්, මකුඵවන් හා අනෙකුත් ස්වාභාවික සතුරන් (විලෝපීයයන්) සිටිනවා.

මිනිසා යොදන කෘෂි රසායනික නිසා මේ සමතුලිතතාවය බිඳ වැවෙනවා. බොහෝ වගාබිම්වලට කෘමි නාශක අන්‍යවශ්‍ය පමණක් නොව ඒවායේ ප‍්‍රයෝජනයට වඩා හානිය වැඩි බව 1950 දශකයේ සිට ප‍්‍රබුද්ධ ජෛව විද්‍යාඥයන් පෙන්වා දෙනවා. 1962දී අමෙරිකානු විද්‍යාඥ රේචල් කාසන් නිහඬ වසන්තය පොතෙන් දුන් මූලික පණිවුඩය වූයේත් එයයි (2013 ජනවරි 13 කොලම බලන්න).

ආචාර්ය හියොං කාසන්ගේ පණිවුඩය ප‍්‍රතිරාවය කරන වත්මන් පරපුරට අයත්. දියුණු රටවල කෘෂි රසායනික භාවිතය අඩු වන්නට පටන් ගෙන ඇතත් අපේ වැනි දියුණු වන රටවල ඒවා වැඩි වැඩියෙන් භාවිත වන බව ඔහු කියනවා.

කෘෂි රසායනික සුනාමියක් ළග එන බවත්, එහි බහුතර දායකත්වය ලැබෙන්නේ චීන සමාගම් වලින් බවත් ආචාර්ය හියොං අනතුරු අගවනවා. අපේ පරිසරවේදීන් මෙය නොදන්න හැඩයි.

කලක් තිස්සේ පාරිසරික හා සෞඛ්‍ය කි‍්‍රයාකරිකයන් චෝදනා කරන්නේ බටහිර රටවල භාවිතය තහනම් කළ අධික විෂ ඇති කෘෂිරසායනික, එම රටවල බහුජාතික සමාගම් විසින් දියුණුවන ලෝකයේ තවමත් අලෙවි කරන බවයි. මෙය ඓතිහාසිකව සත්‍ය වුවත් බටහිර රටවල පරිසරවේදීන්ගේ බලපෑම් නිසා එසේ කිරීමේ හැකියාව දැන් සීමා වී තිබෙනවා.

අද වන විට සංඛ්‍යා ලේඛන හරහා පැහැදිලි වන යථාර්ථය නම් අපේ රටවලට අධික විෂ සහිත කෘෂි රසායනික අලෙවි කරන්නේ ප‍්‍රධාන කොට ම චීන හා ඉන්දියානු සමාගම් විසින් බවයි.

”උතුරු – දකුණු විස රසායනික අලෙවිය(North-South dumping) ගැන අපි කලෙක සිට දැන සිටියා. එහෙත් දැන් වැඩිපුර සිදුවන්නේ දකුණු – දකුණු අලෙවියක් (South-South dumping). මේ ගැන අපේ රටවල කි‍්‍රයාකාරිකයන් එතරම් දැනුවත් වී නැහැ,” ආචාර්ය හියොං කියනවා.

skullපසුගිය දශකය තුළ ලෝකයේ විශාලතම කෘමිනාශක නිෂ්පාදකයා හා පිටරට යවන්නා බවට චීනය පත් වෙලා. චීනයේ රාජ්‍ය දත්ත පදනම් කොට ගෙන හියොං මෙය පෙන්වා දෙනවා.

”2000දී මෙටි‍්‍රක් ටොන් ලක්ෂ 5ක් පමණ වූ චීනයේ කෘමිනාශක නිෂ්පාදනය 2009 වන විට ටොන් ලක්ෂ 20 ඉක්මවා ගියා. එහෙත් එරට තුළ කෘමිනාශක භාවිතය වැඩි වී ඇත්තේ ඉතා සුඵ වශයෙන්. ඒ කියන්නේ මේ අතිරික්කය ඔවුන් පිටරටවලට විකුණනවා.”

මේවා යන්නේ කොහේ ද?

දැඩි පාරිභෝගික හා සෞඛ්‍ය ආරක්‍ෂණ නීති නිසා දියුණු රටවලට යවන්නට බැහැ. එහෙත් එබදු නීති නොමැති හෝ නීති නිසි ලෙස කි‍්‍රයාත්මක නොවන හෝ ආසියානු හා අපි‍්‍රකානු රටවලට ඒවා අලෙවි කරන බව හියොං සාක්ෂි සහිතව පෙන්වා දෙනවා.

මෙහි තවත් පැතිකඩක් තිබෙනවා. සිය රට තුළ අධික විසැති රසායනික භාවිතය ටිකෙන් ටික සීමා කරන්නට 1983 සිට චීනය පියවර ගන්නවා. 2007දී ඕගැනෝ ෆොස්ෆරස් කාණ්ඩයේ කෘමිනාශක ගණනාවක දේශීය භාවිතය තහනම් කළා. එහෙත් මේ කර්මාන්තයේ නිරත චීන සමාගම් 2,000ක් පමණ තිබෙන අතර සිය රට භාවිතය තහනම් වූ කෘමිනාශක පවා තවදුරටත් නිපදවා පිටරට යැවීමට ඔවුන්ට අවකාශ තිබෙනවා.

කිසි රටක් විවෘත ලෝක වෙළඳපොලේ කුමක් අලෙවි කරනවා ද යන්න ගැන අපට සෘජුව බලපෑම් කළ නොහැකියි. එහෙත් අපේ රට තුළට ගෙන ඒමට ඉඩ දෙන්නේ මොනවා ද යන්න තීරණය, අධීක්‍ෂණය හා පාලනය කිරීමට අපට හැකි විය යුතුයි.

ජාතික මට්ටමේ කෘෂි වෙළඳ දත්ත එක්තැන් කරන එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (UN-FAO) සංඛ්‍යා ලේඛන වෙබ් අඩවියට අනුව 2010දී ශී‍්‍ර ලංකාවට පිටරටින් ගෙනා කෘමිනාශකවල වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 47 (රුපියල් බිලියන් 5.8 ක්). 2011දී ඒ අගය ඩොලර් 60.15 දක්වා ඉහළ ගියා (රුපියල් බිලියන් 7.5). මේ දෙවසරේ මෙරටට ගෙනා කෘමිනාශක පරිමාවන් එහි සඳහන් නැහැ. එහෙත් හුදෙක් මිළ වැඩි වීම නොව ගෙන ආ පරිමාව වැඩි වීමක් ද සිදුව ඇතැයි අපට අනුමාන කළ හැකියි. බිලියන් ගණන් ගෙවා මෙරටට මේ විෂ අධික ද්‍රව්‍ය ගෙන එන්නේ කොහි සිට ද? http://faostat.fao.org

චීන කෘමිනාශක සමාගම්වල දායකත්වය නිසා පරිමාවෙන් හා වටිනාකමින් වැඩි වන ලෝක කෘෂි රසායනික වෙළදාමෙන් බේරී සිටීමට අපේ රටවල අදාල නීති, රෙගුලාසි හා අධීක්‍ෂණය වහා ම සවිමත් කළ යුතු බවට හියොං අවධාරණය කරනවා. අපේ ආරක්‍ෂාව අප ම සළසා ගතයුතුයි.

”අප මේ කථා කරන්නේ අධි බලැති වස විස ගැනයි. මේවා සබන් හෝ දන්තාලේප වැනි දෑ මෙන් පුංචි කඩවල පවා විකිණීමට තිබෙන බව ආසියාව පුරා ම මා දකිනවා. මේවා අපේ රටවලට ගෙන ඒම යම් ලියාපදිංචියක් හරහා අධීක්‍ෂණය වූවත්, රට තුළ බෙදා හැරීම හා ගොවීන්ට අලෙවි කිරීම ගැන එතරම් පාලනයක් නැහැ. මේ තත්ත්වය වෙනස් කළ යුතුයි,” හියොං කියනවා.

බොහෝ ගොවීන් තම වගා බිමේ කෘමි ප‍්‍රශ්න ගැන උපදෙස් පතා ගෙන යන්නේ තමන්ට ආසන්න ම කෘෂි රසායනික අලෙවි කරන්නා ළගට. එය ගමේ සිල්ලර කඩයක් විය හැකියි. මේ කුඩා කඩවල මුදලාලිලා තමන් ළග ඒ මොහොතේ තිබෙන හෝ තමන්ට වැඩි ම වෙළඳ වට්ටම ඇති රසායනිකය මුදලාලි ගොවියාට නිර්දේශ කරනවා. අවශ්‍ය මාත‍්‍රාවට වඩා ඉසීමෙන් ඉක්මන් හා හොඳ ප‍්‍රතිඵල ලැබේ යයි වැරදි පිළිගැනීමක් ද ගොවීන් අතර තිබෙනවා.

හියොං කියන්නේ අධික වස විස මෙසේ හිතුමතයට සිල්ලරට අලෙවි කිරීම සිදු වන තාක් කල් කෘෂි රසායනික අවභාවිතය පාලනය කළ නොහැකි බවයි. රටට ගෙන ඒමේදී කුමන කොන්දේසි මත එය කළත් ප‍්‍රායෝගික ව එය කි‍්‍රයාත්මක වන්නේ සිල්ලර වෙළෙන්දා හා ගොවියා අතර ගනුදෙනුවේදීයි.

බොහෝ රටවල කෘෂි රසායනික රටට ගෙන ඒම, බෙදා හැරීම හා අලෙවිය ගැන නීති හා රෙකුලාසි මාලාවක් තිබෙනවා. එහෙත් එය හරියට රජතුමාට හකුරු හැදුවා වගේ වැඩක්. ඉතා පිවිතුරු ලෙසින් හකුරු හදනවා යයි ප‍්‍රතිඥා දුන්නත් වැඬේට බැස්සාම එය කෙරුණේ වෙනස් විධියට. ‘කියන කොට එහෙමයි – කරන කොට මෙහෙමයි!’ යන කියමන අප අතර තිබෙන්නේ මෙවැනි පරස්පරයන් විස්තර කරන්නටයි.

හැබැයි හකුරුවලට වඩා බෙහෙවින් විස සහිත කෘෂි රසායනික ගැන එබදු දෙබිඩි පිළිවෙතක් තව දුරටත් පවත්වා ගත නොහැකියි.

බටහිර වෛද්‍ය ක‍්‍රමයේ ඖෂධ අලෙවිය උදාහරණයක් ලෙස ගනිමින් හියොං කියන්නේ වට්ටෝරු හරහා බෙහෙත් ගන්නට නම් ඒ සඳහා පුහුණුව හා අවසර ලැබූ ඖෂධවේදියකු සිටින ෆාමසියකට යා යුතු බවයි. සිල්ලර කඩවලට එබදු බෙහෙත් විකුණන්නට ඉඩක් නැහැ. ඖෂධවේදීන් සහතික කිරීම එම වෘත්තිකයන් හරහා ම සිදුවීම බොහෝ රටවල ක‍්‍රමවේදයයි. අවම වශයෙන් එබදු ස්වයං නියාමන ක‍්‍රමයකට වස විෂ විකිණීමත් ඉක්මනින් ම යොමු විය යුතු බව හියොං කියනවා.

”ප‍්‍රතිපත්ති හා නියාමන මට්ටම්වලින් නිසි පියවර නොගෙන කෙතරම් ගොවීන් පුහුණු කළත්, මහජනතාව දැනුවත් කළත් එය සෑහෙන්නේ නැහැ. එය හරියට වහලකින් තොර නිවසක් තුළ අපි වටිනා ගෘහ භාණ්ඩ තබනවා වැනි නිෂ්ඵල කි‍්‍රයාවක්” හියොං කියනවා.

රසායනික පොහොර හා කෘෂි රසායනික භාවිතය බොහෝ රටවල රාජ්‍ය කෘෂිකර්ම ප‍්‍රතිපත්තියේ ප‍්‍රබල අංගයක්. ශී‍්‍ර ලංකාවේ තත්ත්වයත් එයයි. කෘෂි රසායනික රටට ගෙන්වීම ලියාපදිංචිය ලත් රාජ්‍ය ආයතන මෙන් ම පෞද්ගලික සමාගම් විසින් ද කලක පටන් කරනු ලබන නීත්‍යානුකූල වෙළදාමක්. එහෙත් ඒවායේ සිල්ලර අලෙවිය නිසි ලෙස නියාමනය හා අධීක්‍ෂණය නොවන බවට වෛද්‍යවරුන් මෙන් ම පරිසර විද්‍යාඥයන් ද පෙන්වා දෙනවා.

මේ ගැන වඩා ප‍්‍රගතිශීලි ආසියානු රටවල් තිබේදැයි මා ඇසුවා. වියට්නාමය හා මැලේසියාව යම් තාක් දුරට කෘෂි රසායනික පාලනයට ප‍්‍රතිපත්තිමය පියවර ගෙන ඇතැයි ද මේ ගැන අත්දැකීම් කලාපීය වශයෙන් බෙදා ගැනීම ඉතා ප‍්‍රයෝජනවත් බව ද ඔහු කීවා. http://tiny.cc/Pestsu

Hazardous Pesticides freely used across Asia
Hazardous Pesticides freely used across Asia

සිවුමංසල කොලූගැටයා #100: නිහඬ වසන්තයේ අඩ සියවසක යශෝ රාවය

In this week’s Ravaya column (in Sinhala), I look at the lasting influence of Silent Spring, a popular science book that first came out 50 years ago, and is now widely regarded as a book that changed our thinking about the environment.

Its author, marine biologist Rachel Carson (1907 – 1964) was an early practitioner of evidence based policy advocacy. She was measured in what she wrote, and asked more questions than she could answer at the time. Yet the chemicals industry accused her of being anti-progress and scare-mongering. Smear campaigns targeted her as a single woman, and suggested that she was “probably a Communist”. How she weathered this storm holds valuable lessons for all modern day activists.

I covered similar grounds in my English column on 30 Dec 2012: When Worlds Collide #48: The Lasting Echo of Silent Spring

Rachel-Carson-and-Silent-Spring

විද්‍යාඥයන් හා සෙසු විද්වතුන් කොතරම් දුරට සමාජයේ ප‍්‍රශ්න හා අර්බුද ගැන ප‍්‍රසිද්ධියේ කථා කළ යුතු ද? තමන්ගේ විශේෂඥ කේෂත‍්‍රයේ පර්යේෂණ හා ගවේෂණ කරමින් දැනුම පුළුල් කරනවාට අමතරව පොදු උන්නතියට හරවත් ලෙසින් දායක වන්නේ කෙසේ ද? එවිට මතුවන අභියෝග මොනවා ද?

කලක් තිස්සේ විවාදයට ලක්වන මේ ප‍්‍රශ්නවලට සිය චරිතයෙන් පරමාදර්ශයක් සැපයූ අමෙරිකානු සාගර ජෛව විද්‍යාඥවරියක් වූයේ රේචල් කාසන් (Rachel Carson: 1907 – 1964). ඇගේ වඩාත් ම ප‍්‍රකට විද්‍යා ග‍්‍රන්ථය වූ “නිහඬ වසන්තය” (Silent Spring) මුල් වරට පළ වූයේ 1962දී. එය ලියන්නට තුඩු දුන් පසුබිම හා එයින් සිදු වූ සමාජයීය හා ආර්ථික බලපෑම ගැන අඩසියවසක් ගත වීත් තවම වාද විවාද කැරෙනවා. බොහෝ විද්‍යාඥයන්ට මෙන් ම විද්‍යා ලේඛකයන්ටත් ඇය වීරවරියක්.

සමසීතෝෂ්ණ දේශගුණය ඇති රටවල ඍතු හතරක් තිබෙනවා. සීත ඍතුව ගෙවී ගොස් යළි උණුසුම් වීම ඇරඹෙන්නේ වසන්තය සමඟ. සීත ඍතුවට සංක‍්‍රමණය වූ හෝ දිගු නිද්‍රාවට පත් වූ පක්ෂීන් නැවත සක‍්‍රිය වෙමින් පරිසරයේ කුරුළු ගීත අසන්නට ලැබීම එබඳු රටවල වැසියන් උද්දාමයට පත් කරවන පාරිසරික වෙනස්වීමක්.

එහෙත් මෙසේ ගී ගයන්නට පක්ෂීන් නොසිටියහොත් වසන්තය නිහඬ වෙනවා. පක්ෂීන්, පණුවන්, ගොළුබෙල්ලන් ඇතුළු අප අවට පරිසරයේ සිටින තවත් ලොකු කුඩා බොහෝ ජීවින්ට අප භාවිත කරන පළිබෝධ නාශකවල අහිතකර බලපෑම් දැඩි ලෙස දැනෙන බව 1950 දශකය වන විට සංවේදී විද්‍යාඥයන් ටික දෙනෙක් තේරුම් ගත්තා. නිහඬ වසන්තය පොතෙන් කාසන් උත්සාහ කළේ මේ ගැන අනතුරු ඇඟවීමටයි.

එහෙත් එබඳු විකල්ප අදහසක් මතු කිරීම එවකට ඉතා අසීරු කාරියක් වුණා. විද්‍යාව හා තාක්ෂණයට වන්දනා කරමින් සිටි ඒ වකවානුවේ තාක්ෂණයේ අහිතකර විපාක ගැන විවෘත සංවාදයකට පවා බහුතරයක් අමෙරිකාන මාධ්‍ය හා විද්වතුන් උනන්දු වූයේ නැහැ.

දෙවන ලෝක යුද්ධයෙන් පසු රසායන ද්‍රව්‍ය රැසක් බටහිර රටවල වෙළඳපොළට පැමිණියා. ගෙදර දොරේ, ගෙවත්තේ හා වගා බිම්වල කරදරකාරී කෘමීන්, මීයන් හා වෙනත් සතුන් මර්දනයට කරන්නට ‘ක්ෂණික ප‍්‍රතිඵල’ පොරොන්දු වෙමින් මේ රසායන ද්‍රව්‍ය ප‍්‍රචාරණය කෙරුණා. ඒවා නිපදවන සමාගම් ඉක්මනින් දැවැන්ත ව්‍යාපාර බවට පත් වුණා.

මේ රසායනික සංග‍්‍රාමය සංකේතවත් කළේ DDT කෘමි නාශකයයි. 1873දී මුල්වරට සංයෝජනය කළ මෙහි කෘමි නාශක හැකියාව සොයා ගත්තේ 1939දී. විශේෂයෙන් රෝගවාහක මදුරුවන් මර්දනයට මෙය 1940 දශකයේ පුළුල් ලෙස ලොව පුරා භාවිතයට ආවා. DDT ඉසින ජංගම ඒකක මැලේරියා මර්දනයට මෙන් ම පොදුවේ කෘමි සංහාරයටත් යොදා ගත්තා. (ශී‍්‍ර ලංකාව DDT මහා පරිමාණයෙන් ඉසීම ඇරඹූ මුල් ම ආසියාතික රට වූයේ 1946දී.)

තවත් රසායනික සංයෝග සිය ගණනක් කිසිදු පාලනයකින් තොරව වෙළඳපොළට ආවා. ඉවක් බවක් නැතිව මේවා භාවිතය නිසා අහිතකර පළිබෝධකයන් පමණක් නොව හිතකර ගැඩිවිලූන්, ගෙම්බන්, අහිංසක පක්ෂීන් හා සමනළුන් වැනි සමස්ත ජෛවී ලෝකයට ම හානි වන බවට 1950 මැද භාගය වන විට සාක්ෂි ලැබෙන්නට පටන් ගත්තා.

රේචල් කාසන් කලක් තිස්සේ රාජ්‍ය සේවයේ ක‍්‍රියා කොට එයින් ඉවත්ව පූර්ණ කාලීන විද්‍යා ලේඛනයේ නියැලී සිටියා. ඇගේ මුල් විද්‍යා පොත්වලින් සාගරයේ විචිත‍්‍ර ජෛව හා භෞතික ප‍්‍රවාහයන් ගැන තේරෙන බසින් පාඨකයන්ට පහදා දුන්නා. ‘නිහඬ වසන්තය’ ඇය ගොඩබිම පරිසරය ගැන ලියූ පළමුවන පොතයි.

එය ලියන්නට ඇය වසර පහක් පමණ ගවේෂණ කරමින් තොරතුරු රැස් කළා. අමෙරිකාව පුරා විහිද සිටි විද්‍යාඥයන් ගණනාවකගේ පර්යේෂණ වාර්තා හා අදහස් ලබා ගත්තා. ඇයට ඕනෑ වූයේ සිදු වෙමින් පවතින පාරිසරික විපර්යාසය ගැන මැදහත් ලෙසින් විග‍්‍රහ කරමින් මේ ගැන ජන අවධානය යොමු කරන්නයි. ආවේගශීලි නොවී දැඩි සංයමයකින් ඇය මේ පොතේ අදහස් දක්වා ඇති ආකාරය පරිසරවේදීන්ට මාහැඟි ආදර්ශයක්.

පොතේ ප‍්‍රවේශයේ ඇය මෙසේ ලියනවා: ‘‘අප බොහෝ දෙනෙකු දැන් නිතිපතා භාවිත කරන විවිධ පළිබෝධනාශක නිසා අපට හිරිහැරයක්ව ඇති ජීවින් මෙන් ම කිසිදු කරදරයක් නොකරන ජීවින් ද මරා දමනවා. එමෙන් ම වර්ෂාව හා දිය දහර හරහා මේවා සමස්ත ජෛව නාශක බවට පත් වනවා. මෙය භයානක අත්හදා බැලීමක්.’’

කාසන් කියා සිටියේ පළිබෝධ නාශක මුළුමනින් නතර කළ යුතු යැයි නොවෙයි. පරිසරයේ අන් හැම දෙයක් මෙන් ම පළිබෝධකයන්ටත් ස්වාභාවික තුලන මට්ටමක් ඇති බවත්, ඔවුන් සමූල ඝාතනය කිරීමට තැත් නොකර යම් මට්ටමකට ඔවුන්ගේ පැතිරීම තුලනය කරන්නට සීමිත රසායන ද්‍රව්‍ය ප‍්‍රමාණයක් ඉලක්කගතව යෙදිය හැකි බවත් ඈ පෙන්වා දුන්නා. එමෙන් ම රසායනික පළිබෝධ පාලනයට අමතරව ජෛවී හා භෞතික ක‍්‍රම මඟින් ද පළිබෝධ පාලනය කළ හැකි සැටි උදාහරණ සහිතව ඇය විස්තර කළා.

ඇගේ පොත ප‍්‍රකාශයට පත් වූයේ 1962 සැප්තැම්බරයේ. සති කිහිපයක් ඇතුළත එය ජන ආන්දෝලනයට ලක් වුණා. පොත නිසා වඩාත් කැළඹුණේ රසායන කර්මාන්ත හිමියන්. ඔවුන්ගේ සේවයේ සිටි රසායන විද්‍යාඥයන් පෙරටු කර ගෙන රේචල් කාසන් හා ‘නිහඬ වසන්තය’ නිෂ්ප‍්‍රභ කිරීමේ ප‍්‍රචාරක ප‍්‍රයත්නයක් දියත් කෙරුණා.

ඔවුන් මුලින් කළේ පොතේ කරුණු හා විග‍්‍රහය හුදෙක් හැඟීම්බර කාන්තාවකගේ පරිකල්පනයන් කියන්නයි. එහෙත් ස්වාධීන විද්‍යාඥයන් පොත වෙනුවෙන් පෙනී සිටින්නට පටන් ගත් විට රේචල් කාසන් චරිත ඝාතනය ඇරඹුණා.

සාගර ජෛව විද්‍යාඥවරියක් ගොඩබිම පරිසර පද්ධති ගැන දන්නේ මොනවා ද? කුරුමිණියන් හා කුරුල්ලන් ගැන මැයට මෙතරම් කැක්කුමක් ඇයි? උගත් හා පියකරු කාන්තාවක් වීත් ඇය තනිකඩව දිවි ගෙවන්නේ ඇයි? අමෙරිකානු කර්මාන්ත හා ආර්ථිකය සැලසුම් සහගත ලෙස විනාශ කිරීමට දියත් කළ “ජාත්‍යන්තර කුමන්ත‍්‍රණයක” ඇය කොටසක් ද?

සීතල යුද්ධයේ මේ අවධියේ අමෙරිකාවේ ස්වාධීන මතධාරීන්ට ලෙහෙසියෙන් ම අලවනු ලැබු ලේබලය වූයේ කොමියුනිස්ට්කාරයකු යන්නයි. මේ ලේබලයත් ඇයට දෙනු ලැබුවා.

අමෙරිකානු සමාජය ධනවාදී වූවත් ඕනෑ ම මතයක් පුළුල්ව විවාදයට ලක් වීමේ ඉඩකඩ තියෙනවා. එහි වැදගත් භූමිකාවක් ජනමාධ්‍ය රඟ පානවා. කාසන්, ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍ය සමඟ සමීපව ක‍්‍රියා කරමින් තමන්ගේ පොත නොකියවූ විශාල ජන සංඛ්‍යාවකට පණිවුඩය ගෙන යන්නට සමත් වුණා.

‘නිහඬ වසන්තය නිසා ඝෝෂාකාරී ගිම්හානයක්’ යැයි හෙඩිමක් සහිතව New York Times පත‍්‍රය දීර්ඝ වාර්තාවක් පළ කළා. එරට ප‍්‍රධාන ටෙලිවිෂන් නාලිකාවක් වන CBSහි ඇය කාලීන පුවත් වැඩසටහන් ගණනාවකට සහභාගි වුණා. රසායන ද්‍රව්‍ය සමාගම්වල ප‍්‍රකාශකයන් සමඟ සංවාද කළා. ඉඩ ඇති පරිදි සරසවි හා විද්වත් සභාවල දේශන හා විවාද කළා. දැඩි අධිෂ්ඨානය හා ධෛර්යයකින් යුතුව ඇය මේ සියල්ල කළේ පියයුරු පිළිකාවකින් රෝගාතුරව එයට ප‍්‍රතිකාර ගන්නා අතරේයි. ඒ තොරතුර ඇය හෙළිදරවු කළේ නැහැ.

පොතේ ආන්දෝලනය නිසා මාස කිහිපයක් ඇතුළත ඒ ගැන නිල පරීක්ෂණයක් කිරීමට ජනාධිපති ජෝන් කෙනඩි නියම කළා. කොංග‍්‍රස් හා සෙනෙට් සභා දෙකෙහි ම කමිටුවල මේ ගැන රේචල් කාසන් සාක්ෂි දුන්නා. උද්දච්ච හා ආක‍්‍රමණශීලි පිරිමින්ගෙන් පිරුණු පරීක්ෂණ මණ්ඩලවල නිර්දය ප‍්‍රශ්න කිරීම් හමුවේ මේ කුඩා කාන්තාව නොසැලී, නොබියව පිළිතුරු දුන්නා.

Rachel Carson testifying before a Senate subcommittee on pesticides in 1963. - AP Photo
Rachel Carson testifying before a Senate subcommittee on pesticides in 1963. – AP Photo

පරිණත ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් තිබෙන අමෙරිකාවේ මෙබඳු සංවාදයක් ඇරඹුණු විට අවසාන තර්කානුකූල නිමාව දක්වා යාම සිදු වනවා. 1963 නොවැම්බරයේ කෙනඩි මිය ගියා. 1964 අපේ‍්‍රල් මාසයේ වයස 56දී කාසන් පිළිකා රෝගයෙන් මිය ගියා. එහෙත් ඔවුන් දැල් වූ විමර්ශන පහන් සිළුව දිගට ම දැල් වුණා.

අමෙරිකාවේ පරිසර සංරක්ෂණ ඒජන්සිය (EPA) 1970දී පිහිටුවීමට කාසන්ගේ පොත හා සංවාද දායක වූ බව පිළිගැනෙනවා. DDT භාවිතය 1972දී අමෙරිකාවේත්, ඉන්පසු තවත් බොහෝ රටවලත් තහනම් කරනු ලැබුවා. එයටත් වඩා වැදගත් වූයේ ඉවක් බවක් නැතිව පරිසරයට විවිධ රසායන ද්‍රව්‍ය එකතු කිරීම පාලනය කළ යුතු බවට පුළුල් පිළිගැනීමක් ප‍්‍රතිපත්ති හා නියාමන මට්ටමෙන් ඉසුරුබර රටවල ස්ථාපිත වීමයි.

මේ බලපෑම් වැදගත් වූවත් ඊටත් වඩා ඓතිහාසික කාර්යභාරයක් මේ පොත හා කතුවරිය ඉටු කළා. එනම් 1960 ගණන්වල පැන නැඟී 1970 හා 1980 දශකයන්හි බලවත් වූ පරිසර සංරක්ෂණය සඳහා පෙළ ගැසුණු ජන සංවිධාන හා සාමාන්‍ය ජනයාට මූලික උත්පේ‍්‍රරකය ලබා දීමයි. අමෙරිකාව වෙනස් කළ මහා පොත් අතරට ‘නිහඬ වසන්තය’ එකතු කොට තිබෙනවා.

Rachel Carson on US postage stamp19 වන සියවසේ වහල් වෙළඳාම හා සේවය නතර කරන්නට හැරියට් බීචර් ස්ටෝව් ලේඛිකාව ලියූ Uncle Tom’s Cabin නවකථාව අමෙරිකානු ජන විඥානයට කළ දිගු කාලීන බලපෑමට සම කළ හැකි බලපෑමක් රේචල් කාසන් ‘නිහඬ වසන්තය’ හරහා කළ බව දැනට එරට සිටින ජ්‍යෙෂ්ඨතම ජෛව විද්‍යාඥයකු වන හාවර්ඞ් සරසවියේ එඞ්වඞ් ඕ. විල්සන් කියනවා.

20 වන සියවසේ අවසානයේ දී ගෙවී ගිය සියවසේ ලෝකයේ චින්තනය වෙනස් කළ චරිත 100ක් ටයිම් සඟරාව නම් කළා. ඒ අතරට ඔවුන් රේචල් කාසන්ගේ නමත් ඇතුළත් කළා. ඇගේ චින්තනමය සෙවනැල්ල තවමත් අමෙරිකාවේ මෙන් ම ලොව පුරා ජනතාවාදී විද්‍යාඥයන් හා පරිසරවේදීන් දිරිමත් කරවන බව සඟරාවේ කතුවරුන් කියා සිටියා.

අඩ සියවසක් තුළ ලෝකයේ සංවර්ධනය හා පරිසරය පිළිබඳ ගැටුම තවත් තීව‍්‍ර වී තිබෙනවා. ‘නිහඬ වසන්තය’ එළි දුටු වසරේ ලෝක ජනගහනය කෝටි 300යි. අද එය කෝටි 710 ඉක්මවා ගොස් තිබෙනවා. මේ ජන සංඛ්‍යාවට ආහාර පාන, මූලික අවශ්‍යතා හා ආදායම් මාර්ග ලබා දීමට සම්පත් හා බලශක්ති පරිභෝජනය අත්‍යවශ්‍යයි. සංවර්ධන තිරසාර කර ගන්නේ කෙසේ ද යන්න තවමත් විද්වතුන් හා දේශපාලකයන් නිරතුරු සංවාද කරනවා.

අටුව කඩා පුටුව හදනවා වගේ සංවර්ධනයකින් වැඩක් නැති බව අද තේරුම් ගෙන තිබෙනවා. එසේ නම් අටුවත් රැක ගෙන පුටුවකුත් හදා ගන්නේ කෙලෙස ද? ගල් යුගයේ ජීවන රටාවකට ආපසු යන්නට පරිසරවේදීන් ඇතුළු කිසිවකු සූදානම් නැහැ.

පොදු උන්නතියට විද්වත් මත පළ කරන විද්‍යාඥයන්ට රේචල් කාසන්ගෙන් උගත හැකි පාඩම් මොනවා ද? එඞ්වඞ් විල්සන්ගේ උපදේශය: ‘‘ඔබේ කේෂත‍්‍රයේ ගැඹුරින් හා ඕනෑකමින් දැනුම ගවේෂණය කරන්න. පර්යේෂණ කරන්න. සෙසු විද්‍යාඥයන් අතර පිළිගන්නා විද්වත් නිබන්ධන හා සන්නිවේදන කරන්න. ඒ පිළිගැනීම මත පදනම් වී පොදු උන්නතියට වැදගත් හා තම ක්ෂෙත‍්‍රයට අදාළ ප‍්‍රශ්න ගැන තර්කානුකූලව සංවාද කරන්න. ප‍්‍රතිරෝධයන්ට හා විකල්ප මතවාදයන්ට ඉඩ දෙන්න. එහෙත් ඔබේ පදනම ගැන ඔබට විශ්වාස නම් ඒ ස්ථාවරයේ රැඳී සිටින්න!’’

අහුමුළුවල කසුකුසු ගානවා වෙනුවට නොබියව ජන සමාජයේ ප‍්‍රශ්න ගැන කථා කරනවා නම් අපේ විද්වතුන්ටත් මේ ඔවදන ඉතා වටිනවා.