සිවුමංසල කොලූගැටයා #195: අපේ රටේ බලවත්ම පුද්ගලයෝ ජ්‍යොතිර් ඇදුරන්ද?

In this week’s Ravaya column (in Sinhala), published on 23 November 2014, I ask whether astrologers are the most powerful persons in Sri Lanka. This is because all important decisions of the state, including the ceremonial opening of Parliament and scheduling of elections, is done strictly on astrological advice.

Speaking at a recent meeting of the Sri Lanka Rationalists’ Association to discuss my latest book, writer and political commentator Gamini Viyangoda said astrology determines so many personal and public decisions in Sri Lanka. In this obsession, ruling party and opposition party politicians seem united.

Cartoon by Awantha Artigala
Cartoon by Awantha Artigala

‘‘අද අපේ රටේ රාජ්‍ය පාලනයට ජ්‍යොතිෂය සෘජුවම බලපෑම් කරනවා. එයට හේතුව රාජ්‍ය නායකයා මේවා දැඩි ලෙස විශ්වාස කරන්නකු වීම නිසා. එපමණක් නොවෙයි, පාලක හා විරුද්ධ පක්‍ෂ සියල්ලේම පාහේ සිටින බොහෝ නායකයෝ හා අපේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට යන ජනතා නියෝජිතයෝ ජ්‍යෙතිෂයට අනුව තමයි රටේ තීරණාත්මක පියවර හා ප‍්‍රතිපත්ති නිර්ණය කරන්නේ.’’

ප‍්‍රවීණ ලේඛක හා දේශපාලන විචාරක ගාමිණී වියන්ගොඩ මේ ප්‍රකාශය කළේ මගේ අලූත්ම පොත ‘කාල බෝම්බ ඕනෑකර තිබේ’ නිමිත්ත කර ගෙන ශ‍්‍රී ලංකා හේතුවාදීන්ගෙ සංගමය 2014 ඔක්තෝබර් 23දා කොළඹ එන්. එම්. පෙරේරා කේන්ද්‍රයේ පැවැත්වූ සංවාද මණ්ඩපයේදී.

සිවුමංසල කොලූ ගැටයා තීරු ලිපියේ හේතුවාදී දැක්මක් තිබෙනවා. මා හේතුවාදීන්ගෙ සංගමයේ සාමාජිකයකු නොවූවත් ඔවුන්ගේ තර්කානුකූල හා විචාරශීලි ප‍්‍රවේශය මට ද සමීපයි. ඇත්තටම මා මේ තීරු ලිපිය ලියන්නේ හේතුවාදීන් නොවන බහුතරයක් ලාංකිකයන්ගේ මනැස ටිකක් හෝ විවෘත කිරීමේ අරමුණින්.

හේතුවාදීන්ගෙ සංගමයේ වත්මන් සභාපති සූරපාල රණතුංගත්, ලේකම් තාරක වරාපිටියත් මූලික හැඳින්වීමක් කළ පසු හේතුවාදී ක‍්‍රියාකාරිකයන් හා ලේඛකයන් වන ගාමිණි වියන්ගොඩ හා එස්. එම්. බන්දුසීල දෙදෙනා මගේ පොත හා තීරු ලිපි ගැන අදහස් දැක්වූවා.

Rationalists Association of Sri Lanka discussion on කාල බෝම්බ  ඕනෑකර තිබේ book, 23 October 2014
Rationalists Association of Sri Lanka discussion on කාල බෝම්බ ඕනෑකර තිබේ book, 23 October 2014

ගාමිණි වියන්ගොඩ තව දුරටත් මෙසේ කියා සිටියා: ‘‘අපේ මැතිවරණ පවත්වන්නේ, පාලකයාගේ කේන්දරයට වඩාත්ම සුබදායි යයි කියන දිනයක මිස වෙනත් කිසිදු සාධකයක් සළකා බලා නොවෙයි. මේ නිසා පාලකයන්ටත් වඩා ඉහලින් බලපෑම් කිරීමේ හැකියාව සමහරු ජ්‍යෙතිෂකාරයන්ට අද ලැබී තිබෙනවා.’’

‘‘අද අපේ රටේ බොහෝ දෙනකු නොදන්නා හෝ නූගත් හෝ උදවිය නොවෙයි. ආගම් ඇදහීමේදීත්, ජ්‍යොතිෂය ඇතුලූ ගුප්ත විද්‍යා දැඩි ලෙස විශ්වාස කිරිමේදීත් ඔවුන් තම දැන උගත්කම පසෙක තබා ඔහේ කි‍්‍රයා කරනවා.’’

‘‘මා මෙය දකින්නේ මොළය වෙහෙසවීමට ඇති අලසකම ලෙසයි. මොළය වෙහෙසා තර්කානුකූලව හා බුද්ධිගෝචරව යථාර්ථය විග‍්‍රහ කරනවාට වඩා ඉතා ලෙහෙසිනේ මොළය නිද්‍රාශීලීව තබා ගෙන තමන්ගේ වැදගත්ම තීරණ ආගමට හෝ ජ්‍යොතිෂයට හෝ ඒ දෙකටම භාර දීම.’’

‘‘එසේ මොළය නිද්‍රාශීලීවීමට ඉඩ නොදී, අලස නොවී ස්වාධීනව සිතන ටික දෙනකු නිසා තමයි ලෝකය ඉදිරියට යන්නේ. විද්‍යාව හා ශාස්ත‍්‍ර දියුණු වන්නේත්, ශිෂ්ටාචාරය වර්ධනය වන්නේත් එබන්දන්ගේ පිහිටෙන්. අපට තව තවත් අවශ්‍ය මේ අවධි වූ සිහියෙන් සිටින අයයි.’’

‘‘මොළය අලසව නිද්‍රාශීලීව සිටින උදවිය අවධි කිරීමේ ලොකු වගකීමක් අපට තිබෙනවා. සමාජය විවෘත හා විචාරශීලී කිරිමට මග පෙන්වීම තමයි හේතුවාදීන්ගේ සැබෑ කාර්ය භාරය. හේතුවාදීව සිතිය හැකි දේශපාලනික නොවන කාරණා ඕනෑ තරම් තිබෙනවා. හේතුවාදීන් පුළුල් පරාසයකට යොමු කරන්නට සිවුමංසල කොලූ ගැටයා තීරු ලිපිය හා පොත් මහත් සේ උපකාර වනවා.’’

අපේ ඇතැම් දෙනා ක‍්‍රියා කරන ආකාරය දෙස බලන විට ශ්‍රී ලංකා දුපතේ බුද්ධිමත් ජීවීන් සිටිනවා ද යන්න සැක සහිතයි. මේ තරම් සාක්‍ෂරතාවය ඉහළ හා මාධ්‍ය භාවිතය ප‍්‍රචලිත වූ රටක, මේ තරම් ලෙහෙසියෙන් මුලා කළ හැකි ජනතාවක්, හමු වන්නේ ඇයි?

පසුගිය මැයි මාසයේ මට විද්යුත් ලියුමක් එවමින් රාවය පාඨක නිමල් ජයසිංහ මෙසේ කියා සිටියා: ‘‘අද ශ්‍රී ලාංකිකයෝ පුදුම ගණයේ ආත්මාර්ථකාමියෝය. උගුලෙන් බැරිනම් කෙමණෙන් හෝ තම කාර්ය සිදු වන්නේ නම් එයින් සතුටු වන නරුමයෝය. එබැවින් ඔවුන්ට හැම දෙයක්ම ඕනෑය. උදේ පන්සිල් ගෙන ගෙදරින් පිට වන ඔවුන් ශාන්ත අන්තෝනි පල්ලියේ ද ඉටිපන්දමක් දල්වා වැඩට යති. කාගෙන් හෝ වැඩේ කෙරුනොත් ඇති යන සිතුවිල්ලෙන් කල් ගෙවන මොවුන් විමර්ශනශීලී මිනිසුන් හෝ ගැහැණුන් නොවේ. මොවුන්ට මම ආමන්ත්‍රණය කරන්නේ රැළේ යන්නෝ කියලාය!”

මේ විග්‍රහය මටත් පිලිගන්න සිදු වනවා. මෙවැනි අදහස් අද විවෘතව පල කැරෙන්නේ ද කලාතුරකින්.

‘‘හේතුවාදී ලිපි’’ නමින් 2013දී ප‍්‍රකාශිත ග‍්‍රන්ථයට පූර්විකාවක් ලියමින් එහි සංස්කාරක හා ප‍්‍රවීණ ලේඛක අජිත් තිලකසේන මෙසේ කියනවා:

‘‘අපේ රටටත්, කලාපීය රටවල් ගණනාවකටත් බලපාපු 2004 දෙසැම්බර් 26 සුනාමිය මෙහි 50,000ක පමණ ජනයින්හට මරු කැඳවමින්, සිද්ධ කරපු දේපල හානිය ද විශාලයි. මෙය මතක ඇති ඉතිහාසයේ සිද්ධ නොවු බිහිසුනු ස්වාභාවික විපතක් වුවත් එය පුරෝකථනය කරන්න (එනම් කල් තබා අනතුරු ඇඟවීමට) කිසිම ජ්‍යොතිර් ඇදුරෙක්ට පුලූවන් උනේ නෑ!’’

‘‘ජ්‍යොතිර් ඇදුරන්ට, පේනකරුවන්ට ස්ථිරව යමක් කියන්න බැරි බව දැන දැනත්, කියාපු දේවල් බොරු වූ අවස්ථා දැක දැකත්, ඒ පසු පස යන්නන්ගේ අඩුවක් ශ‍්‍රී ලංකා සමාජය තුළ දැක ගන්න නැහැ…. එසේම තම අවශ්‍යතා ඉටු කර ගන්න විවිධ දෙවි දේවතාවන් කරා ගොස් බාරහාර වන ජනයින්ගේ අඩුවක් දැක ගන්නත් නැහැ’’ ඔහු තව දුරටත් කියනවා.

මා කවදත් කියන්නේ මෙයයි. තනි පුද්ගල මට්ටමින් ඕනෑ කෙනෙකුට ඕනෑම අභව්‍ය දෙයක් ඇදහීමට හා ඒ සඳහා තම කාලය හා මුදල් වැය කරන්නට නිදහස තිබෙනවා. එහෙත් එම ඇදහිලි හා විශ්වාස සෙසු සමාජයට බලෙන් ආරෝපණය කිරීමට හෝ රාජ්‍ය ප‍්‍රතිපත්ති හා රාජ්‍ය පාලනයට ඒවා හරහා බලපෑම් කිරීමට හෝ නිදහසක් නැහැ.

මිථ්‍යාවට මුවා වී, ජනයා බියපත් කර මුදල් ගසා කන වංචනික ජ්‍යෙතිෂවේදීන් හා වෙනත් ගුප්ත ශාස්ත‍්‍රකරුවන් මෑතක සිට තමන්ගේ සටකපට කි‍්‍රයා සඟවන්නට තැත් කරන්නේ ‘සාම්ප‍්‍රදායික දැනුම’ නම් තිරයට මුවා වෙමින්.

දේශීය උරුමය හා පාරම්පරික දැනුම වුව වර්තමානයේ තර්කානුකූල විවාදයට ලක් විය යුතුයි. ආසියාවේ බිහි වූ විශිෂ්ඨතම හේතුවාදියෙකු හා නිදහස් චින්තකයෙකු ලෙස සැලකෙන ආචාර්ය ඒබ‍්‍රහම් තෝමස් කොවූර් (1898 – 1978) එදා කී දේ අදටත් හරියටම ගැලපෙනවා. ‘‘තමන්ගේ ආශ්චර්යයන් පරීක්‍ෂා කිරීමට ඉඩ නොදෙන්නා වංචනිකයෙක්. එබඳු දේ විමසීමට ධෛර්යය නොමැත්තා පහසුවෙන් රැවටිය හැකි කෙනෙක්. එබඳු ආශ්චර්යයන් හා මතවාදයන් ඉස්මුදුනින් පිළිගෙන අදහන්නා මෝඩයෙක්.’’

කොවූර් ශ්‍රී ලංකා හේතුවාදී සංගමය ආරම්භ කළේ 1960දී. විවෘත මනසකින් යුත් විචාරශීලී ලාංකිකයන් රැසක් එයට ඇද ගන්නට ඔහු සමත් වුණා. එනයින් බලන විට කොවූර් හේතුවාදී සංගමයෙන් හා ව්‍යාපාරයෙන් ඔබ්බට ගිය විද්‍යාත්මක චින්තන විප්ලවයකට මුල පිරුවා යයි කිව හැකියි. මේ සදහා විද්‍යාව ඉහළට උගත් එහෙත් ඒ උගත්කමින් මනස මොට කර නොගත් බුද්ධිමතුන් ගණනාවක් මෙන්ම සිංහලෙන් හා දෙමලෙන් ජන සමාජයට මේ පණිවුඩ ගෙන යා හැකි ලේඛන හැකියාව ඇති කලාකරුවන් කිහිප දෙනකු ද ඔහු සම්බන්ධ කර ගත්තා.

එයින් මුල් ගණයට වැටුණු අයගෙන් වඩාත් ප‍්‍රකට වූ චරිතයක් වෛද්‍ය කාලෝ ෆොන්සේකා. තරුණ වෛද්‍යවරයකු හැටියට 1970දී පමණ ඔහු ගිනි පෑගීමේ විද්‍යාත්මක පදනම ගවේෂණාත්මකව ඔප්පු කළේ එය කිසිදු හාස්කමක් හෝ දේවබලයක් හෝ නැතිව කළ හැකි බව ප‍්‍රායෝගිකව පෙන්වා දෙමින්.

කොවූර් වටා ඒකරාශී වූ චරිත අතර ප‍්‍රවීණ ලේඛකයන් වූ අජිත තිලකසේන හා අමුණුගොඩ තිලකරත්න ද සිටියා. පසු කලෙක ශ්‍රී ලංකා හේතුවාදී සංගමයේ සභාපති ලෙස ක‍්‍රියා කළ නීතිඥ ධර්මපාල සේනාරත්න තරුණයකු හැටියට හේතුවාදී ව්‍යාපාරයට ඇදී ආවේ ද 1960-1970 යුගයේයි.

Keepers of Rationalist Flame L to R - Abraham Kovoor, Carlo Fonseka, Dharmapala Senaratne
Keepers of Rationalist Flame L to R – Abraham Kovoor, Carlo Fonseka, Dharmapala Senaratne

මෙරට හේතුවාදී ව්‍යාපාරයේ ස්වර්ණමය යුගය වූයේ ද ඒ දශක දෙකයි. එයට එක් හේතුවක් නම් කොවූර් හා ඔහු වටා එක් වූ දක්‍ෂයන් පිරිසයි. එහෙත් එවකට ලක් සමාජය අදට වඩා එදා විවෘත හා බුද්ධිගෝචර වූ බවට ද තර්ක කළ හැකියි. ඒ ඇයි?

1963 ජන සංගණනයට අනුව මෙරට ජනගහනයෙන් සියයට 76.8ක් දෙනා සාක්‍ෂරතාවය ලබා සිටියා. 1971 සංගණනය වන විට එය සියයට 78.5 දක්වා දියුණු වූ අතර මේ වන විට එය සියයට 92ක් පමණ වනවා. මෙරට අධ්‍යාපන මට්ටම් හා ඒවාට යොමු වන ජන සංඛ්‍යාව හා ප‍්‍රතිශතයන් ඉහළ ගොස් ඇති බව පැහැදිලියි.

සන්නිවේදන තාක්‍ෂණයය පැත්තෙන් බැලූ විට ද සංඛ්‍යාත්මකව විශාල වැඩිවීමක් සිදු වී තිබෙනවා. දුරකථන, රේඩියෝ හා පුවත්පත් පරිශීලනය කරන ජන සංඛ්‍යාව හා ප‍්‍රතිශතය වැඩි අතර එදා නොතිබුණු ටෙලිවිෂන් හා ඉන්ටර්නෙට් මාධ්‍යත්, ජංගම දුරකථනත් අද සමාජයේ ස්ථාපිත වෙලා. තොරතුරු හා දැනුම ලබා ගන්නට හා බෙදා ගන්නට හැකියාව මීට වසර 50කට වඩා අද පැහැදිළිව ම වැඩියි.

"Modern" Lankan? Cartoon by Awantha Artigala
“Modern” Lankan? Cartoon by Awantha Artigala

මේ ප‍්‍රමාණාත්මක දියුණවත් සමග ගුණාත්මකව දියුණුවක් ඇති වී තිබේ ද යන්න විවාදත්මකයි. අපේ ඇතැම් අය මෙන් මා යටගියාව ගැන රොමෑන්ටික් ලෙසින් අතිශයොක්තියෙන් දකින්නකු නොවේ. එහෙත් හේතුවාදීන්ගේ ස්වර්ණමය යුගයේ ඔවුන්ගේ සමාජ මෙහෙවරට අනුබල දෙන්නට, දිරි ගන්වන්නට මෙරට බුද්ධිමතුන්, කලාකරුවන්, වෘත්තිකයන් හා පුවත්පත් කතුවරයන් රැසක් ඉදිරිපත්ව සිටියා.

කොවුර් නඬේ ගුරා වූවත් ඔහු ඒ අභීත බුද්ධිමය චාරිකා ගියේ ලොකු කුඩා බොහෝ දෙනාගේ ආශිර්වාදය හා සහයෝගය ඇතිවයි. එවන් පිරිසක් අද සිටී ද?

2012 ජනවාරියේ ලිපියකින් මා කීවේ මෙයයි: “අපේ මවුපියන්ගේ තරුණ අවධියේ කෙටි කලෙකින් ලක් සමාජයේ බුද්ධිමත් ස්ථරයන්ගේ පිළි ගැනීමට පාත‍්‍ර වූ ආචාර්ය කොවූර් බැරි වෙලාවත් අද මුල් වරට මෙරටට පැමිණ ඒ මෙහෙවර ම ඉටු කරන්නට තැත් කළොත් ප‍්‍රතිචාරය කෙබඳු වේවිද?”

“ඔහු කියන දෙයට සවන් දෙනවා වෙනුවට ඔහුගේ සම්භවය, පෙනුම හා පසුබිම ගැන වැඩි අවධානය යොමු වෙයි. රැවුල වවා ගත්, දකුණු ඉන්දියානු සම්භවය ඇති මලයාලි ජාතිකයෙකු අපේ සංස්කෘතික උරුමයට හා ජාතික අනන්‍යතාවයට (සමහර විට ජාතික ආරක්‍ෂාවට පවා!) තර්ජනයක් කරන බවට චෝදනා එල්ල විය හැකියි.”

“නැතහොත් පුවත්පත් සාකච්ඡාවල දී ඔහුට ජාතිද්‍රෝහී, රාජ්‍ය විරෝධි ලේබල් ලෙහෙසියෙන් ඇලවිය හැකියි! අදෘශ්‍යමාන භුත අවතාර හා පිල්ලි වෙනුවට නාඳුනන තුවක්කුකරුවන්ගේ තර්ජනයට ඔහු ලක් විය හැකියි!”

අපි කුමක් කරමුද? මේ ප්‍රශ්නය යලි යලිත් ඇසීමට කාලයයි.

See also:

22 Jan 2012: සිවුමංසල කොලූගැටයා #50: අවිචාරයේ සැඩ සුළගට මැදි වුණු හේතුවාදී පහන් සිළුව

29 Jan 2012: සිවුමංසල කොලූගැටයා #51: ඔබේ විචාර බුද්ධිය දැන් අක‍්‍රීය කරන්න!

18 May 2014: සිවුමංසල කොලූගැටයා #168: නින්දෙන් ඇවිදින ලක් සමාජය හේතුවාදීන්ට අවදි කළ හැකිද?

Cartoon by Awantha Artigala
Cartoon by Awantha Artigala