#NewConstLK: ව්‍යවස්ථාව හරියට හදා ගනිමු – ලක් වැසි සැමට රැකවරණය සළසමු!

Nalaka Gunawardene sums up why a new Constitution is needed for Sri Lanka. Purawesi Balaya video, April 2017

 

I have just recorded a short (3.5 min) video for Purawesi Balaya (Citizen Power) advocacy group as part of their citizens’ campaign demanding a new Constitution for Sri Lanka to replace the existing one adopted in 1978.

Here is what I say (not a verbatim transcript, but an approximation):

ව්‍යවස්ථාව හරියට හදා ගනිමු! ලක් වැසි සැමට රැකවරණය සළසමු

ව්‍යවස්ථාව යනු රටක ඉහළම නීතියයි. උත්තරීතර නීතියයි.

එය හරියට හදා ගැනීම රටේ නිසි රාජ්‍ය පාලනයට, නීතියේ ආධිපත්‍යයට මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයට ද ඉතා වැදගත්.

උපමිතියකින් මෙය පැහැදිළි කළොත්, රාජ්‍යය නිවෙසක් නම් ව්‍යවස්ථාව යනු එහි වහලයයි.

නිවසේ කෙතරම් විසිතුරු හා වටිනා බඩු තිබුණත්, නිවැසියන් කෙතරම් අගනා ඇඳුම් ඇන්දත් හරිහමන් වහලයක් නැත්නම් සියල්ල නිරාවරණය වෙලා. ඒ කියන්නේ නිවැසියන් හා එහි සියල්ල අනතුරේ!

ශ්‍රී ලංකා රාජ්‍යයේ දැන් පවතින ‘වහලය’ කල් පැන ගිය එකක්. බොහෝ සිදුරු හා පළුදු සහිතයි. සමහර ජන කොටස්වලට හා සුළුතරයන්ට රැකවරණය හොඳටම මදි. සියලු ජනයා යම් යම් ලෙසින් අන්නරක්ෂිතයි.

අපි කුමක් කරමුද?

පරණ වූ ‘වහලය’ තැනින් තැන සිදුරු වසමින් සිටිමුද?

වසින වෙලාවට ලීක් වන තැන්වල යටින් බාල්දි තබමින්, දුව පනිමින් කල් ගෙවමුද?

නැත්නම් වහලයක් අලුතෙන්ම හදා ගනිමුද?

වහලයක් ගසන්නේ පරම්පරාවක් දෙකක් කල් පවතින්න. අලුත් ව්‍යවස්ථාවක් හදන්නෙත් එලෙසම හොඳට කලක් වැඩ ගන්නයි.

එසේ හදන විට පැරණි වැරදිම දැන දැන යළිත් කරනවාද? මෙයයි අප හමුවේ තිබෙන තීරණාත්මක අභියෝගය.

සිතන පතන, පොදු උන්නතිය තකන පුරවැසියකු ලෙස මා ප්‍රමුඛතා තුනක් දකිනවා අලුත් ව්‍යවස්ථාවක් සම්පාදනයේදී අවධානය යොමු කළ යුතු.

Incumbent Maithripala Sirisena is the 5th president of Sri Lanka who has given an election pledge to abolish Executive Presidency, says Purawesi Balaya (Citizen Power), March 2017

පළමුවැන්න: පරිනත රාජ්‍යයක නිසි ලෙස බල විභජනයක් හා බල තුලනයක් තිබිය යුතුයි. එනම් ව්‍යවස්ථාදායකය හෙවත් පාර්ලිමේන්තුවත්, විධායකයත්, අධිකරණයත් අතර නිසි තුලනයක් අවශ්‍යයි. විධායකයට අධික ලෙස බලතල තිබීම මේ තුලනයට හානිකරයි. විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවා යයි මැතිවරණ පොරොන්දු දී බලයට පත් වූ මේ රජය එම පොරොන්දුව දැන් ඉටු කළ යුතුයි.

දෙවැන්න: රට තුළ බලය විමධ්‍යගත කිරීම තවමත් කැරෙන්නේ දෙගිඩියාවෙන්. අපට යා හැකි කුඩාම බිම් මට්ටමේ ඒකකය දක්වාම බලය ගෙන යාමට ව්‍යවස්ථාවෙන් මග පෙන්වීමක් ඕනෑ. එය උතුරට – දකුණට – බටහිරට හා නැගෙනහිරට එක සේ බලය බෙදා දිය යුතුයි.

තෙවැන්න: මානව අයිතිවාසිකම් පිළිබඳ අවබෝධය අද බෙහෙවින් පුළුල් වෙලා. හැත්තෑ අටේ ව්‍යවස්ථාව සම්මත කරන කාලයත් එක්ක බැලුවත් අද වන විට ලෝකය ගොඩක් ඉස්සරහට ඇවිත්. ඒ කාලයේ තිබුණාට වඩා වෙනස් විදියේ අභියෝගත් අද මතු වෙලා තියෙනවා. හැත්තෑ ගණන්වල මඳ වශයෙන් ලෝකය කතා කළ ලිංගික සුළුතරයන්ගේ අයිතිවාසිකම් වාගේ දේවල් අද නොතකා හරින්න බෑ. ඒ අයගේ අයිතිවාසිකම් රැක ගැනීම රාජ්‍යයේ වගකීමක් වෙලා තියෙනවා. මේ නිසා වඩා ප්‍රශස්ත මානව හිමිකම් මාලාවක් හා ඒවා සුරකින රාමුවක්  නව ව්‍යවස්ථාවෙන්  රටට දිය හැකියි – දිය යුතුයි කියා මා සිතනවා.

Watch other videos on Purawesi Balaya YouTube channel

 

RTI Sri Lanka: තොරතුරු යතුරෙන් ‍දොර විවෘත කළාට මදි!

On 21 Feb 2017, Sinhala language broadsheet newspaper Mawbima carried an article based on my recent public talk on the Right to Information (RTI) in Sri Lanka.

RTI is a key to open doors to public information. That's useful, but we must know what to do when we enter...
RTI is a key to open doors to public information. That’s useful, but we must know what to do when we enter…

ජාතික මාධ්‍ය සංසදය විසින් සංවිධානය කරන ලද ‘තොරතුරු පනතට සමාජ සංස්කෘතිය ඉක්මවිය හැකිද’ යන සංවාද සභාවේදී ප්‍රවීණ ලේඛක නාලක ගුණවර්ධන මහතා විසින් කරන ලද දේශනය ඇසුරෙනි.

තොරතුරු පනත සම්මත කර ඇති මේ අවස්ථාවේදී මේ පනතින් වැඩ ගන්නේ කොහොමද? තොරතුරු පනතට ඇති අභියෝග මොනවාද? සමාජයෙන් දේශපාලන තන්ත්‍රයෙන් නිලධාරි තන්ත්‍රයෙන් මේ පනතට ඇතිවිය හැකි ප්‍රතිරෝධ මොනවාද? අපි ඒකට කෙසේ සූදානම් විය යුතුද කියන කාරණාවලට වැඩිපුර අවධානය යොමු කරන්න අවශ්‍යයි.

අපි ලෝකයේ බහුතරයක් සිටින එක්තරා කාණ්ඩයකට ගිය අවුරුද්දේ සම්බන්ධ වුණා. ඒ තොරතුරු නීතියක් තිබෙන රටක වාසය කිරීමයි. ගිය වසරේ මැද වන විට ලෝක ජනගහනයෙන් 88%ක් ඉන්නේ යම් ආකාරයකින් නීතියෙන් තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කරන රටකයි. ඒ වගේ රටවල් 110ක් තියෙනවා. මේ වන විට තවත් රටවල් 40ක් විතර තොරතුරු අයිතිය ලබාගැනීම සම්බන්ධව කතාබහ වෙමින් ඉන්නවා.

State of Right to Information (RTI ) World wide in 2016.
State of Right to Information (RTI ) World wide in 2016.

2017 වසරේ පෙබරවාරි 3 වැනිදා සිට තොරතුරු දැනගැනීමේ පනත ක්‍රියාත්මකයි. එදාම ගැසට් පත්‍රයකින් පනත ක්‍රියාත්මක කරන්න අවශ්‍ය රෙගුලාසි පිටු 26ක ගැසට් සටහනකින් ප්‍රකාශයට පත් කළා. පනත කියවනකොට පෙබ. 3 ගැසට් පත්‍රයේ ඒ නියෝග ටිකත් එක්ක තමයි පනත කියවන්න සහ පනත ක්‍රියාත්මක කිරීම පිළිබඳ දැනුවත් වෙන්න ඕන. ඒක තමයි මෙහි ක්‍රමවේදය මොකක්ද කියලා සඳහන් කරලා තියෙන්නේ.

අගනුවර වගේම දිවයිනේ විවිධ පළාත්වලින් තොරතුරු ඉල්ලීම් ගැන වාර්තා වුණා. ඒ වාර්තා ට්‍රැක් කරන වෙබ් අඩවි පවා දැන් බිහිවෙලා තියෙන්නේ. ඒ වෙබ් අඩවිවලට අනුව තවමත් තොරතුරු පනත ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය ආයතන සූදානම් නැහැ. තොරතුරු නිලධාරියකු නම් කරලා නැහැ. එහෙම වෙලාවට ආයතන ප්‍රධානියා තමයි තොරතුරු නිලධාරියා විදියට ක්‍රියා කළ යුත්තේ. මහජන ඉල්ලීමක් ආවහම භාරගන්න සූදානමක් තවම නැහැ කියලා වාර්තා වුණා. තවත් තැන්වලදී ඉල්ලීම් දෙන්න ගියහම ජනතාවට මේ මේසෙන් අනිත් මේසයට යන්න, මේ කාමරයෙන් අර කාමරයට යන්න කියන නොයෙක් නොයෙක් ප්‍රශ්න මතුවෙලා තිබුණා. මේ වගේ ප්‍රශ්න ක්‍රමයෙන් හදාගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. වැරැදි හොයන්නම බලාගෙන ඉන්න අයට නම් මේවා ලොකු දේවල්. ගිහින් ඔන්න තොරතුරු නීතියක් ගෙනාවා, ක්‍රියාත්මක වුණේ නැහැ. ඔන්න වැඩේ ඉවරයි කියන අයත් පහුගිය දවස්වල දැක්කා. අපි තව මාස තුනක්වත් මේ ගැන බලමු. ඒ අතරේ ජනාධිපති කාර්යාලය පවා තොරතුරු ලබා දෙන්න තවම සූදානම් නැහැ කියලා සන්ඩේ ලීඩර් පත්තරය වාර්තා කළා.

මහජනයාට ප්‍රසිද්ධියට පත් නොකෙරුණු වසර කිහිපයකට කලින් සම්පූර්ණ කර භාරදුන් කොමිෂන් සභා වාර්තා ලබාදෙන්න කියලා තොරතුරු ඉල්ලීමක් ඉදිරිපත් කරන්න ඉද්දමල්ගොඩ පියතුමා ගිහින්. ව්‍යාකූලතාවලින් පසුව ඒ ඉල්ලීම භාර අරගෙන තිබුණා. ඒ කියන්නේ සූදානම තවම හොඳ නැහැ.

කාන්තාවන් 15 දෙනෙක් දැනට කාලයක් තිස්සේ අතුරුදන් වූ තමන්ගේ පවුලේ ඥාතීන් හෝ සැමියන් ගැන කුමක් හෝ ඉල්ලා තොරතුරු ඉල්ලුම් පත්‍රයක් ගොනු කරන්නට උත්සාහ කළ බව ඉන්දියාවේ ද හින්දු පත්තරේ වාර්තා වුණා. ආණ්ඩුවේ නොයෙක් කාර්යාලවලට ගියා. ඔවුන්ට හැඟීමක් තිබුණේ නැහැ කොතැනටද ඉදිරිපත් කරන්න ඕන කියලා. අපිට ඉතිං ඉස්සර වගේම තමයි හරි හමන් උත්තරයක් ලැබුණේ නැහැ කියලා ඒ කාන්තාවන් පසුව කියලා තිබුණා.

තොරතුරු නීතිය යටතේ එහෙම තොරතුරු නොදී ඉන්න බැහැ. නිශ්චිත කාල වකවානුවකින් පසුව නොදුන්නොත් පුරවැසියන්ට ගන්න පුළුවන් ක්‍රියාමාර්ගත් තිබෙනවා.
තමන්ගේ සමීපතමයන්ගේ තොරතුරු සෙවීමේ සිට පොදු උන්නතිය පිළිබඳ තොරතුරු ඉල්ලා සිටීම දක්වා පුළුල් පරාසයක් තුළ තොරතුරු ඉල්ලීම් කරන්න පුළුවන්.

Right to Information in Sri Lanka - what to do next?
Right to Information in Sri Lanka – what to do next?

තොරතුරු නීතිය සමහරුන් යතුරකට සංසන්දනය කරනවා. යතුර අතට ලැබුණාට මදි. ‍ෙදාර ඇරීම විතරකුත් මදි. අපි ‍ෙදාර ඇරගෙන ඇතුළට ගියහම මොනවද කරන්නෙ කියන එක ගැනත් යම්කිසි අවබෝධයක්, පෙර සූදානමක් තියෙන්න ඕන. ඇතුළට යෑමේ වරම තියෙනවා. ඉන් එහාට කරන දේ මොකක්ද කියන එකයි අපට තිබෙන අභියෝගය.

මොකද පාලකයන්ගෙන් තොරතුරු ඉල්ලන සම්ප්‍රදායක් කවදාවත්ම අපේ රටේ තිබුණේ නැහැ. අපිට හිටියේ පූර්ණ බලතල සහිත රජවරු. කිසිම දෙයක් යටත්වැසියන්ට හෙළි කරන්නට කිසිම ආකාරයකින් රජවරු බැඳිලා හිටියේ නැහැ. රජුගේ භාණ්ඩාගාරයේ වියදම් මොනවාද, අන්ත–පුරයේ කාන්තාවන් කී දෙනෙක් ඉන්නවාද, යනාදී කිසිම දෙයක් අහන්න යටත්වැසියන්ට කිසිම අයිතියක් තිබුණේ නැහැ. යටත් විජිත පාලන සමයේදීත් එහෙම අවස්ථාවක් තිබුණේ නැහැ.

ඒ නිසා රජ කාලෙවත් යටත් විජිත කාලෙවත් නිදහසින් අවුරුදු 68ක් යනතුරුත් නොතිබුණු දෙයක් දැන් දීලා තියෙන්නේ. අපට ආණ්ඩුවෙන් පාලකයන්ගෙන් තොරතුරු ඉල්ලීමේ පුරුද්දක් හෝ තොරතුරු ඉල්ලීමට අරගල කිරීමේ පුරුද්දක් ඓතිහාසිකව තිබී නැහැ.

මේක සංකල්පීයව පැනිය යුතු පිම්මක්. මේ හරහා ජනතාව බලාත්මක කරන්න පුළුවන් කියන එකයි මගේ අදහස. බලාපොරොත්තු දැන්මම සුන් කරගත්තොත් කිසි වැඩක් නැහැ.

මේ වගේ අපේ ඓතිහාසික සමාජයීය සංස්කෘතික යම් යම් සීමා කිරීම් ඉක්මවා නැඟී සිටින්න ඕනෑ. ඒක අපි සමාජයක් වශයෙන් ගතයුතු උත්සාහයක්. මේකට ටිකක් දඟලන්න වෙයි. තොරතුරු අයිතිය නීතිගත වීමක් සෑහෙන්නේ නැහැ. ඒකට තොරතුරු සාක්ෂරතාවත් දියුණු කරගන්න ඕනෑ.

පුරවැසියන් ලෙස තොරතුරු ඉල්ලීම ටිකෙන් ටික වැඩි කරගැනීම කරන්න ඕනෑ. වෙන නීති වගේ නොවෙයි. මේක පුරවැසියන් විසින් පාවිච්චි කළ යුතු නීතියක්. බොහෝ නීති තිබෙන්නේ ආණ්ඩුව හා නිලධාරීන් පාවිච්චි කර නොයෙක් දේ ජනතාව මත බලෙන් හෝ කැමැත්තෙන් පටවන්න.

ඉල්ලුම් පැත්ත වැඩි කරන්න කළ හැකි දේ මොනවාද? පනත සහ පනතට අදාළ නියෝග ගැන දැනුවත් වෙන්න ඕනෑ. නොදැනුවත්ව හෝ දැනුවත්ව ඇතැම් දෙනා විසින් පතුරුවන දුර්මත තිබෙනවා පනත පාර්ලිමේන්තුගත වෙලා විවාදයට ගැනෙන කාලය තුළ මේ පනත කියවන්නේවත් නැතිව සමහර ජාතික යැයි කියාගන්නා පත්තර අමූලික බොරු මේ පනත ගැන ලිව්වා. මේ පනත ගෙනාවොත් කිසි දෙයක් ලියන්න බැරිවෙයි. චිත්‍ර කතා පළකරන්න වෙයි කියලා කිව්වා. ඒ වගේ දුර්මත දුරුකරන්න ඕනෑ.

මේ නීතිය භාෂා තුනෙන්ම ලියැවිලා තියෙන්නේ. පිටපතක මිල රු. 21යි. රජයේ ප්‍රකාශක කාර්යාංශයෙන් ගන්න පුළුවන්. ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වෙබ් අඩවියෙන් නොමිලයේම භාගත කරන්න පුළුවනි.

තොරතුරු නීතිය සම්මත කරගත් අසල්වැසි රටවල අත්දැකීම්ද අපට යොදා ගන්න පුළුවන්. විශේෂයෙන්ම ඉන්දියාව ගැන සඳහන් කරන්න ඕනෑ. 2005 තමයි ඉන්දියාව ජාතික වශයෙන් තොරතුරු පනත සම්මත කරගත්තේ. නීතිය සම්මත කරගත්තාට නීති භාවිතයේ අඩුපාඩු තිබෙනවා. බොහෝ පුරවැසියන් මේ නීතිය ගැන කැමැත්තක් නැති බවත්, තොරතුරු ලබාගත් පමණින් එයින් වැඩ ගන්න හා ඒවා තේරුම් ගන්න හැකියාවත් ඒ රටවල තවම ඇත්තේ සීමිත බව දකුණු ආසියාවේ තොරතුරු නීතිය ගැන ආසියා පදනම කළ විමර්ශනයකින් පැහැදිලි වෙනවා.

තොරතුරු ඉල්ලනතුරු නොසිට සෑම පොදු අධිකාරියක්ම ස්වේච්ඡාවෙන් ඒවා ප්‍රකාශයට පත් කිරීමේ සිද්ධාන්තය ඉන්දියාවේ ක්‍රියාත්මක වෙනවා.

ඉන්දියාවේ පාසල් දරුවන් පවා තොරතුරු නීතිය පාවිච්චි කරනවා. ශිෂ්‍යාධාර ප්‍රමාද වන්නේ ඇයි? පාසල් බස්වල සේවා අඩාල වෙන්නේ ඇයි? මදුරු උවදුරට පිළියම් නොකරන්නේ ඇයි? යනාදී ප්‍රශ්නවලට විසඳුම් සොයන්න අවුරුදු 8-9 ළමයින් පවා තොරතුරු නීතිය යොදා ගන්නවා.

Nurturing the demand side of Right to Information (RTI) in Sri Lanka: What can be done?
Nurturing the demand side of Right to Information (RTI) in Sri Lanka: What can be done?
What more can be done to promote RTI demand side in Sri Lanka - ideas by Nalaka Gunawardene
What more can be done to promote RTI demand side in Sri Lanka – ideas by Nalaka Gunawardene

ඉන්දියාවේ ජනතාවගේ තොරතුරු අයිතිය සඳහා වූ ජාතික ව්‍යාපාරයේ ආදි කර්තෘවරයා වන සේකර් සිං මහතා අපේ රටට තොරතුරු අයිති අරගලයේ පාඩම් කිහිපයක් ලබා දුන්නා.

තොරතුරු අයිතිය දේශපාලන යථාර්ථය සමඟ සමීපව බැඳී තිබෙන බැවින් එය වෙනම වෙන් නොකිරීම වගේම ඔවුන් හා අපි කියලා දේශපාලකයන් හා නිලධාරීන් පැත්තකට දාලා ජනතාව එක් පැත්තකට දාන්න එපා කියලා ඔහු කියනවා. ප්‍රගතිශීලී, ප්‍රජාතන්ත්‍රවාදී පියවර සඳහා පෙනී සිටින අය සමඟ මේ ගමනක් යෑම, හොඳ නීති සම්මත කර ඒවා නැත්තා සේ කටයුතු කිරීමට දකුණු ආසියාවේ දේශපාලකයන් ඉතා හොඳින් දන්නා බැවින් ඒ අවකාශය දෙන්න එපා කියලත් ඔහු කියනවා.

දිගටම මහජන බලපෑම් කිරීම, තොරතුරු නීතිය මහජන සුබසාධනයට යොදාගන්නේ කොහොමද යන්න කලාපීය වශයෙන් අත්දැකීම්වලින් නිලධාරීන් දැනුවත් කිරීම, තොරතුරු හා සිද්ධීන් අධ්‍යයන කිරීම අත්දැකීම් සියලුම දෙනා සමඟ බෙදා ගැනීම, සමාජ සාධාරණත්වයට ලැබෙන තල්ලුවක් ලෙස තොරතුරු අයිතිය ඉදිරිපත් කිරීම, හැකි තරම් සහයෝගයෙන් ප්‍රශ්න විසඳන තැනට යොමු කිරීම, ආර්.අයි.ටී. කියන දේ සියලුම ක්ෂේත්‍රවලට අදාළ කරගත හැකි පොදු මෙවලමක් ලෙස දැකීම, තොරතුරු නීතිය පාවිච්චි කිරීම ගැන සියලුම සිවිල් සංවිධාන ජනතාව දැනුවත් කිරීම, රාජ්‍ය ආයතන ප්‍රගාමි තොරතුරු හෙළිදරව් කරනවාද යන්න නිරතුරු විමසිල්ලෙන් සිටීම වගේම තොරතුරු අයිතිය ගැන දුර්මත පැතිරුවත් ඒවාට උත්තර දෙන්න ලෑස්ති වෙන්න කියලත් සිං මහතා කියනවා.

තොරතුරු යතුරෙන් ‍දොර විවෘත කළාට මදි! Nalaka Gunawardene on Right to Information (RTI) challenges in Sri Lanka: Mawbima newspaper. 21 Feb 2017
තොරතුරු යතුරෙන් ‍දොර විවෘත කළාට මදි! Nalaka Gunawardene on Right to Information (RTI) challenges in Sri Lanka: Mawbima newspaper. 21 Feb 2017

තොරතුරු අයිතිය සමාජ සාධාරණත්වය වෙනුවෙන් හොඳ ආරම්භයක් – නාලක ගුණවර්ධන

Nalaka Gunawardene speaks at public forum on Sri Lanka’s new Right to Information (RTI) law. Colombo, 15 Feb 2017
Nalaka Gunawardene speaks at public forum on Sri Lanka’s new Right to Information (RTI) law. Colombo, 15 Feb 2017

On 15 February 2017, I served as main speaker at a public forum in Colombo on Sri Lanka’s newly operational RTI law and its wider socio-cultural and political implications. The event, organized by the National Media Forum (NMF), was attended by a large number of journalists, social activists, lawyers, government officials and other citizens.

Here is one news report on the event, by Lanka News Web:

තොරතුරු අයිතිය සමාජ සාධාරණත්වය වෙනුවෙන් හොඳ ආරම්භයක් – නාලක ගුණවර්ධන

තොරතුරු දැන ගැනීමේ අයිතිය පිලිබඳ ඉදිරියේදී දුර්මත ගොඩනැගීමටත් දියාරු කිරීමටත් හැකියාව ඇති හෙයින් එම තත්ත්වයන්ට මුහුණ දීමට සූදානමින් සිටිය යුතු බව ප්‍රවීණ මාධ්‍යවේදී නාලක ගුණවර්ධන මහතා පැවසීය.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (15) පැවති ජාතික මාධ්‍ය සංසදය මඟින් සංවිධානය කර තිබූ “තොරතුරු පනතට සමාජ සංස්කෘතිය ඉක්මවිය හැකිද?” සංවාද සභාවේ මුඛ්‍ය දේශනය පවත්වමිනි.

පනතේ 20 වැනි වගන්තියට අනුව ප්‍රගාමී තොරතුරු දීම සම්බන්දයෙන් කර ඇති සඳහන ඉතා හොඳ ආරම්භයක් බවයි ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ.පුරවැසියන් තොරතුරු ඉල්ලීමට ප්‍රථම ස්වෙච්ජාවෙන් ඒවා ලබා දිය යුතු බවට වන වගන්තිය පුරවැසියන්ගේ තොරතුරු අයිතිය තහවුරු කරන්නක් බව පෙන්වා දෙන හෙතෙම අවධාරණය කළේ කලාපයේ තොරතුරු නිතිය ක්‍රියාත්මක කිරීමේ අත්දැකීම් ඇති රටවල සහය අපටද ලබා ගත හැකි බවයි.මේ සඳහා පුරවැසියන්ගේ සක්‍රීය දායකත්වයද අවශ්‍ය බව හෙතෙම සඳහන් කළේය.

ඉන්දියානු සමාජයේ තොරතුරු අයිතිය දිනා ගැනීමේ ප්‍රබල අරගලයක් කළ සමාජ ක්‍රියාකාරිකයෙකු වන ෂෙකර් සිං සමාජ ගත කරමින් පවතින කාරණා පිළිබඳවද නාලක ගුණවර්ධන මහතා අදහස් පළ කළේය.ෂේකර් සිං මතු කරන ප්‍රධාන කාරණයක් වන මෙම අයිතිය දිනා ගැනීම වෙනුවෙන් ප්‍රජාතාන්ත්‍රීය, ප්‍රගතිශීලි හැමදෙනාම එක්ව ක්‍රියා කළ යුතු බව ගුණවර්ධන මහතා පෙන්වා දුන්නේය.

දේශපාලන අධිකාරිය හා නිලධාරීන් මේ සම්බන්ධයෙන් නිවැරදිව සක්‍රීයව මැදිහත් වන්නේ පුරවැසියන් ඊට දක්වන ප්‍රතිචාරය මත වන හෙයින් පුරවැසියා මේ පිලිබඳ බලගැන්වීම අවශ්‍ය කරුණක් බව හෙතෙම අවධාරණය කළේය.

L to R - Nalaka Gunawardene, Mandana Ismail Abeywickrema, Priyantha Wedamulla
L to R – Nalaka Gunawardene, Mandana Ismail Abeywickrema, Priyantha Wedamulla

සංවාද සභාව ඇමතූ ජාතික මාධ්‍ය සංසදයේ කැඳවුම්කරු මාධ්‍යවේදිනී මන්දනා ඉස්මයිල් අබේවික්‍රම මහත්මිය ප්‍රකාශ කළේ මෙතෙක් පැවති අත්දැකීම් අනුව තොරතුරු ලබාදීමට ආණ්ඩු සුදානම් නොමැති හෙයින් තොරතුරු පනත ක්‍රියාත්මක කරවාගැනීමට සිදුව ඇත්තේ වෙනසකට ලක් නොවුණු දේශපාලන සංස්කෘතික පසුබිමක හිදිමින් බවයි.පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාද යටතේ පවා තොරතුරු ලබා ගැනීමට නොහැකි දේශපාලන පසුබිමක අපට කටයුතු කිරීමට සිදු වූ බව ඇය පෙන්වා දුන්නේය. එහෙත් මෙම තත්ත්වයන් අභියෝගයට ලක් කළ යුතු බවත් ඊට පුරවැසියා මැදිහත් විය යුතු බවත් ය වැඩිදුරටත් පැවසීය.

Here is the video of my full speech (in Sinhala):

සිවුමංසල කොලූගැටයා #237: ආතර් සී. ක්ලාක්ගේ ළමා කාලයෙන් අපට ආදර්ශ රැසක්

In this week’s Ravaya column, (in Sinhala, appearing in issue of 20 Sep 2015), I share some excerpts from my recent book on the childhood of Sir Arthur C Clarke (1917 – 2008), author, undersea explorer and futurist.

Titled ‘Tharu Atharata Giya Daruwa: Childhood of Arthur C Clarke’, the book is written in story-telling style in conversational Sinhala. It is suitable for readers of all ages, and especially for parents, teachers and children.

Tharu Atharata Giya Daruwa - Childhood of Arthur C Clarke - by Nalaka Gunawardene
Tharu Atharata Giya Daruwa – Childhood of Arthur C Clarke – by Nalaka Gunawardene

Clarke’s accomplishments are known much more than his humble origins and early inspirations in life. He was born in rural England as the First World War was ending, and spent his childhood years in Minehead, Somerset, close to the sea.

Arthur was the eldest in a family of four, who were raised by their dynamic mother, widowed at a young age. Despite cycling 20 km to school and back and helping on the farm, he excelled in studies and pursued serious hobbies – star gazing, mechanical experiments and nature observations.

His experiences were shaped largely by growing up on the family farm, exploring the local beach, and working part-time at the village post office. Early on, he cultivated habits like good time management, thrift, careful storage of everything and multi-tasking – all of which lasted a lifetime. He knew the value and limits of money, respected the dignity of labour, and appreciated honesty and hard work in everyone.

The book is widely illustrated with 74 photographs including many drawn from family albums preserved by the Arthur C Clarke Trust that now manages the Clarke Literary Estate. It also carries some original caricatures drawn by cartoonist and artist Dharshana Karunathilake who designed the book.

See also: ආතර් සී. ක්ලාක් සහ ශ‍්‍රී ලංකාව: නිවැරදි තොරතුරු මෙන්න!

Images courtesy Arthur C Clarke Trust, Sri Lanka

Arthur C Clarke (1917-2008): "He never grew up, but he never stopped growing"
Arthur C Clarke (1917-2008): “He never grew up, but he never stopped growing

ලෝක පූජිත විද්‍යා ලේඛක හා අනාගතවේදී ආතර් සී. ක්ලාක්ගේ ළමා කාලය ගැන අප‍්‍රකට හා රසවත් තොරතුරු කැටි කර ගත් පොතක් මා මෑතදී රචනා කළා.

‘තරු අතරට ගිය දරුවා’ නම් පිටු 120ක මේ පොත ලිවීමට මා ක්ලාක්ගේ පර්යේෂණ සහායක ලෙස වසර 21ක් ක‍්‍රියා කිරීමෙන් ලත් අත්දැකීම් මෙන්ම ක්ලාක්ගේ පවුලේ අය මුණ ගැසී දැන ගත් තොරතුරු හා ඔහුගේ උපන් ගමට ගිය චාරිකාවක තොරතුරු ද යොදා ගෙන තිබෙනවා.

ශ‍්‍රී ලංකාවට මහත් සේ ඇලූම් කළ ක්ලාක් ගැන බොහෝ ලාංකිකයන් හරිහැටි දන්නේ නැහැ. මේ පොතින් මා උත්සාහ කරන්නේ අද කාලයේ ළමුන්, දෙමව්පියන් හා ගුරුවරුන්ට ඔහුගේ ළමා කාලයෙන් ගත හැකි ආදර්ශ හුවා දැක්වීමටයි. අද බෙදා ගන්නේ පොතේ අන්තර්ගතයෙන් ටිකක්.

හැම විශිෂ්ඨ චරිතයක් ම පන්නරය ලබන්නේ තමන්ට ආවේණික වූ පසුබිම හා අභියෝග හරහායි. විශිෂ්ඨයන්ගේ ලාබාල කාලය හා ඔවුන් දුක දිනා ජය ගත් සැටි සැම කල්හි සැම තැනම දිරියවන්තයන්ට ප‍්‍රබෝධක ආවේගයක් ලබා දිය හැකියි.

එසේ ම පරිකල්පනය හා නිර්මාණශීලි බව දරුවන් තුළ උද්දීපනය කරන්නේ කෙසේදැයි දෙමවුපියන්ට හා ගුරුවරුන්ට ගත හැකි ආදර්ශයන් හා ගුරුහරුකම් රැසක් ද ක්ලාක් චරිතයෙ තිබෙනවා.

Bristol channel

ආතර් චාල්ස් ක්ලාක් දරුවා උපන්නේ 1917 දෙසැම්බර් 16 වනදා එංගලන්තයේ සමර්සෙට් ප‍්‍රාන්තයේ මයින්හෙඞ් ගම්මානයේ (Minehead). ඔහුගේ පියා චාල්ස් රයිට් ක්ලාක් හා සීයා තෝමස් ක්ලාක් දෙපල ම තැපැල් සේවයේ නිරත වූ අයයි. මව නෝරා විලිස් ක්ලාක්.

කලක් තිස්සේ බිෂොප්ස් ලිඩියාඞ් (Bishops Lydeard) නම් අල්ලපු ගමේ තැපැල් ස්ථානාධිපති වූයේ මේ ක්ලාක් පවුලේ උදවියයි. ඔවුන් බොහොම සාමාන්‍ය මට්ටමේ ග‍්‍රාමීය පවුලක්.

1914-18 කාලයේ යුරෝපය දෙවනත් කළ පළමුවන ලෝක යුද්ධයට පියා චාල්ස් රයිට් ක්ලාක් ද අනිවාර්ය හමුදා සේවය යටතේ බඳවා ගනු ලැබුවා. හමුදා සේවයේදී ප‍්‍රංශයට යවනු ලදුව යුධ බිමේදී විෂ වායු ප‍්‍රහාරයකට හසු වී තුවාල ලැබූ ඔහු ඉනික්බිති පෙනහළු ආබාධිත තත්ත්වයේ පසු වුණා.

යුද්ධයෙන් පසු ගමට ආ ඔහු තැපැල් කන්තෝරුව වෙනුවට ගොවිපලක් කිරීමට තීරණ කළා. හමුදා සේවයේ සිට නැවත සිවිල් ජීවිතවලට යොමු වන තරුණ තරුණියන්ට එරට රජයෙන් ලබා දුන් මුදල් ආධාර යොදා ගෙන ඔහු බැලිෆන්ට්ස් (Ballifants) නම් ගොවිපලක් මිළට ගත්තා. ආතර් ක්ලාක් දරුවා ලොකු මහත් වූයේ ගමෙන් කිලෝමීටරයක් තරම් දුරින් පිහිටි මේ කුඩා ගොවිපලේයි.

Ballifants Farm in May 2006 - Photo by Nalaka Gunawardene
Ballifants Farm in May 2006 – Photo by Nalaka Gunawardene

නෝරා හා චාල්ස් දෙපලගෙන් එක් අයකුටවත් ගොවිපලක් කිරීමේ පුහුණුව හෝ අත්දැකීම් තිබුණේ නැහැ. එහෙත් අළුත් දෙයක් කිරීමේ අදිටනින් හා උද්‍යොගයෙන් ඔවුන් එයට යොමු වුණා. එය එතරම් සාර්ථක නොවුවත් ප‍්‍රවේශමින් කටයුතු කිරීම හරහා පවුලේ වියදම් පියවා ගන්නට ඔවුන්ට හැකි වුණා. එසේම තමන්ම හදා ගත් අළුත් ආහාරපාන දරුවන්ට දීමට අවස්ථාව ලැබුණා.

පවුලේ වැඩිමහලූ දරුවා වූ ආතර්ට පසුව තවත් සහෝදරයන් දෙදෙනකු සහ සහෝදරියක උපන්නා. පියා යුධ ආබාධිත වූ බැවින් මේ දරුවන් හදා වඩා ගත්තේ මවයි. ඉමහත් දිරියක් හා වැඩ කිරීමේ හැකියාවක් තිබූ කාන්තාවක් වූ ඇය දරුවන්ට අවශ්‍ය මග පෙන්වීමත්, නිදහසත් ලබා දුන්නා.

බැලිෆන්ට්ස් ගොවිපල අක්කර කිහිපයක බිමක් වසා ගත් කුඩා පරිමානයේ ගොවිපලක්. නෝරා හා ඇගේ දරුවන් වෙහෙස වී වැඩ කිරීම හරහා එය නඩත්තු කළා. ශ‍්‍රමිකයන් ගෙන්වා ගත්තේ තමන්ට කළ නොහැකි බර වැඩට පමණයි.

එළදෙනුන්ගෙන් කිරි දෙවීම, කිකිළි බිත්තර එකතු කිරීම, කාලයෙන් කාලයට බැටලූ ලොම් කැපීම හා දිනපතාම සතුන්ට කෑම දැමීම හා ඔවුන්ගේ මඩු පවිත‍්‍ර කිරිම වැනි කාරියන් රැසක් ක්ලාක් දරුවන්ට පැවරුණා. ඔවුන් පාසල් ගියේ උදෙන් අවදි වී පැයක් දෙකක් පමණ ගොවිපලේ වැඩ කිරීමෙන් පසුවයි.

හිරුට කලින් පිබිදීම, කඩිසරව හා උද්‍යොගයෙන් වැඩ කිරීම, කරන හැම දෙයක්ම පිළිවෙලට කිරීම හා කිසි විටෙක අලස නොවීම වැනි චරිත ගති ආතර් ක්ලාක් දරුවා උගත්තේ කුඩා කාලයේ ගොවිපලේදී. මේ ගතිගුණ ඔහුගේ ජීවිත කාලය පුරා පවත්වා ගත්තා.

A Clarke family phot circa 1920 - young Arthur Charles is second from right
A Clarke family phot circa 1920 – young Arthur Charles is second from right. Photo owned by Arthur C Clarke Estate

අගහිඟකම් මැද වුවත් ආත්ම ගෞරවය රැක ගෙන, අභිමානයෙන් යුතුව ජීවත් වීමේ වටිනාකම ක්ලාක් දරුවන් කුඩා වියේදීම වටහා ගත්තා. ඉවත දමන එදිනෙදා ද්රව්යවලින් අතුරු රයෝජන ගැනීම, සකසුරුවම් බව හා නාස්තිය වැළැක්වීම වැනි ගුණාංග, ආතර් සී. ක්ලාක් ලේඛකයාගේ ජීවිතය පුරා දැකිය හැකි වුණා. කඩදාසියක දෙපැත්තම භාවිත කිරීම, ලියුම් කවරයක් දෙතුන් වරක් පාවිච්චිය වැනි පුරුදු මා උගත්තේ ඔහු සමග වැඩ කිරීමෙන්.

බැලිෆන්ට්ස් ගොවිපලේ 1920 දශකය ගෙවී ගියේ විදුලි බලය නොමැතිවයි. දරුවන් ලාම්පු එළියෙන් පාඩම් කළා. එකල ටෙලිවිෂන් මාධ්‍යය ඇරැඹී තිබුනේ නැහැ. මේ නිසා දැනුම හා විනෝදය එක් තැන් කරන ගෘහස්ත ක‍්‍රීඩා තමන් ම හදා ගන්නට නෝරා මාතාව ක‍්‍රියා කළා.

සීත සෘතුවේ රාත‍්‍රී කාලය පැය 15-16ක් දක්වා දිගු වනවා. මේ දිගු සන්ධ්‍යාවන් ගත කරන්නට දරුවෝ නොයෙක් ලෑලි කී‍්‍රඩා (board games) කළා. ඒත් ටික දිනකින් ඔවුන්ට ඒවා එපා වුණා. නිතර නිතර අළුත් ක‍්‍රීඩා නිර්මාණය කරන්න නෝරාට සිදු වුණා.

ඇය දරුවන් සමග කළ එක් ජනප‍්‍රිය ක‍්‍රීඩාවක් වූයේ ගණිත විනෝදයයි. කැල්කියුලේටර් නොතිබි ඒ යුගයේ ඉක්මනින් ගණනය කිරීම් කරන්නට තිබුණේ ස්ලයිඞ් රූල (slide rule) නම් උපකරණයක් හා ලඝුගණක පොත් පමණයි.

වැඩි කිරීම, බෙදීම, එකතු කිරීම හා අඩු කිරීම අවශ්‍ය වන සංකීර්ණ ගණිත ගැටළු නෝරා සිය දරුවන්ට දෙනවා. බොහෝ විට මුලින්ම උත්තරය හදා ගන්නේ ස්ලයිඞ් රූල පාවිච්චි කළ ආතර්. අන්තිමේදී කිසිදු උපකරණයක් නැතිව ගණිතමය ක‍්‍රම මගින් පමණක් උත්තරය සොයා ගන්නා නෝරා, සිය දරුවන් දෙදෙනාගේ උත්තර සමග එය සසඳා බලනවා.

‘‘අප නිතර මේ ගණිත ක‍්‍රීඩා කළා. සන්ධ්‍යාව අවසානයේ අප දිනුවත් පැරදුණත් අම්මා අපට රසකැවිලි දෙනවා. එහෙත් සැබෑ ත්‍යාගය වූණේ පාසලේ වාර විභාගයේදී ඉක්මනින් හා නිවැරදිව ගණන් හැදීමට පුළුවන් වීමයි. ජීවිත කාලය පුරාම ගණිතයට බය නොවී වැඩ කරන්නට අපට හැකි වුණා’’ ආතර් පසු කලෙක ලියා තැබුවා.

Young Arthur C Clarke, aged around 2
Young Arthur C Clarke, aged around 2. Photo owned by Arthur C Clarke Estate

ගොවිපලේත් ඒ ගමේ ම වඩාත් මුහුදට සමීපව පිහිටි මිත්තනියගේ ගෙදරත් ආතර් කල් ගත කළා. කුඩා කාලයේ පටන් ඔහු සාගරයටත්, අහසටත් ඇලූම් කළා. මේ දෙක පසු කලෙක ඔහුගේ වෘත්තිය ජීවිතය මහත් සේ සමීප වූවා.

ආතර් සමාජශීලි හා මිත‍්‍රශීලි චරිතයක් වුවත් තමන්ගේ ම සිහින ලෝකයක තනි වීමේ නැඹුරුවක් ද කුඩා කල පටන් ඔහුට තිබුණා. මුහුදු වෙරළේත්, ගොවිපලේත්, ඇතැම් විට පන්ති කාරමයේත් ඔහු දවල් හීන බැලූවා. වාසනාවකට ඔහුගේ වැඩිහිටියෝ එයට එරෙහි නොවී මේ දරුවාට සිහින මවන්නට ඉඩ දුන්නා.

කුඩා ආතර් රාත‍්‍රී අහස ගැනත් දැඩි කුතුහලයක් හා උනන්දුවක් දැක් වූවා. සරල දුරදක්නයක් වුව මිළදී ගන්නට තරම් වත්කමක් තිබුණේ නැහැ. තමන්ගේ දුරදක්නයක් සාදා ගත් පසු මේ ප‍්‍රශ්නය විසඳුනා. ඔහු අහස නිරීක්‍ෂණ කළේ පාසල් වැඩ කටයුතු හා ගොවිපලේ වැඩට තමන්ගේ දායකත්වය අතපසු නොකරයි.

ප‍්‍රාථමික පන්ති සඳහා ගමේ පාසලට ගිය ඔහු ද්විතියික මට්ටමට අසල ටෝන්ටන් (Taunton) නගරයේ හුයිෂ්ස් ග‍්‍රැමර් ස්කූල් (Huish’s Grammar School) නම් පාසලට ඇතුළු වුණා. ගෙදර සිට පාසලට දුර සැතපුම් හයක් (කිමි 10ක්) පමණ ඇති. උදයේ මේ දුර බයිසිකලයෙන් ගිය ආතර් යළිත් සවසට බයිසිකලයෙන් ම ගෙදර ආවා.

දවසකට කිමි විස්සක් සයිකල් පැදීම නිසා වෙනත් ව්‍යායාම අවශ්‍ය වුයේ නැහැ. ඉතා දුෂ්කර දිනයක හැරෙන්නට සීත සෘතුවේ දැඩි කාලගුණ තත්ත්වයන් යටතේත් ක්ලාක් දරුවන් බයිසිකලෙන් පාසල් ගියා.

ආතර් පාසල් කාලයේදී කණ්ඩායම් ක‍්‍රීඩාවලට උනන්දු වූයේ නැහැ. පිහිනීමේ හැකියාව තිබුණත් තරගකාරී පිහිනුමට ගියේ ද නැහැ. ගොවිපලකින් පාසලට ආ ළමයකු ලෙස ඇතැම් සිසුන්ගේ උසුළු විසුළුවලට ඔහු ලක් වීම මෙයට හේතු වුවා විය හැකියි.

ගොවිපලේ වැඩවලට උදව් වී පාසල් යන ක්ලාක් දරුවන් ‘ගොම ගඳයි’ කියා හෑල්ලූ කිරීමට සමහර ප‍්‍රභූ දරුවන් පුරුදුව සිටියාලූ. ආතර් හා ඔහුගේ සොයුරු සොයුරියන් මෙයින් කම්පා වුයේ නැහැ.

ආතර් වයස 13දී ඔවුන්ගේ රෝගාතුර පියා මිය ගියා. ඒ 1931 මැයි මාසයේදී. එතැන් පටන් පවුල නඩත්තු කිරීමේ මුළු බර ම කරට ගත්තේ මව නෝරායි. නව යොවුන් වියේ පසු වූ ආතර් ගොවිපලේ වැඩට කැමැත්තෙන් ම ඉදිරිපත් වුණා. එසේ ම පියාගේ වියෝවෙන් පසුව පවුලේ වැඩිමහලූ පිරිමියා ලෙස වගකීම් දැරුවා.

ඒ සියල්ල හා පාසලූ වැඩ කරන අතර රාත‍්‍රී අහස නිරික්සීමත් විවිධ විද්‍යාත්මක අත්හදා බැලීම් කිරීමත්, පොත් කියවීමත් ඔහු නිතර කළා. කාලය කළමණාකරණය කිරීම ඔහු කුඩා කාලයේ පටන් ප‍්‍රගුණ කළා.

ආතර්ගේ විද්‍යා අත්හදා බැලීම් යොමු වුණේ රසායන හා භෞතික විද්‍යාවන් පැත්තටයි. එදිනෙදා ද්‍රව්‍ය යොදා ගෙන මල්වෙඩි නිපද වූ ඔහු ඉන් පසු කුඩා රොකට් තනා අහසට යැවීමට තැත් කළා. රොකට්වලට අමතරව සන්නිවේදන උපකරණ සමග විවිධ අත්හදා බැලීම් කරන්නටත් ආතර් බොහෝ උන්නදු වුණා.

කුඩා වියේ පටන් විද්‍යාත්මක පොතපත හා විද්‍යා ප‍්‍රබන්ධ ගැන ආතර් උනන්දු වුණා. පෙළ පොත්වලට අමතරව පාසල් පුස්තකාලයේ තිබූ බොහෝ පොත් ඔහු මහත් ඕනෑකමින් කිය වූවා. ඊට පසු ටවුමේ මහජන පුස්තකාලයේ පොත්පත් සොයා ගෙන කිය වූවා. බාල වියේදී තමා දිනකට පොතක් බැගින් කියවා හමාර කළ බව ඔහු ලියා තිබෙනවා.

ටෝන්ටන් ටවුමේ පිහිටි පොත් සාප්පුව ආතර්ගේ ප‍්‍රියතම ස්ථානයක් වුණා. අදට වඩා අඩු වුවත් එවකට පොත් මිළ ගණන් පවා මේ ගොවිපළ දරුවාට දරා ගත නොහැකි වුණා. එහෙත් එම බාධකය ජය ගන්නට උපක‍්‍රම දෙකක් ඔහු සොයා ගත්තා.

එකක් නම් පොත් සාප්පුවට දිනපතා ගොස් තමන්ට රිසි පොත් කඩින්කඩ සාප්පුවේදීම කියැවීම. ටික දිනකින් හිමිකරුවා මෙය තේරුම් ගත්ත ද එයට බාධා කළේ නැහැ.

දෙවැන්න නම් කියවා නැවත විකිණීමට ඇති (second-hand) පොත් හා සඟරා අඩු මිලට ගැනීම. පාසල් විවේකයේදී යමක් කෑමට බීමට අම්මා අතට දෙන මුදල් වැඩි හරියක් ඉතිරි කර ගෙන ඔහු මේ සඳහා යොදා ගත්තා.

පසු කලෙක ලෝකයේ පිටපත් මිලියන ගණන් අලෙවි වූ පොත් ලියූ ලේඛකයා කුඩා කාලයේ පොත් කියවූයේ මෙලෙස උපක‍්‍රමශීලිව හා සකසුරුවමින්.

තමන්ගේ නිර්පරභූ, ගැමි ආරම්භය ගැන ඔහු කිසි විටෙකත් කරුණු සැඟවූයේ නැහැ. පසු කලෙක ඔහු පසු කලෙක තමන් හඳුන්වා දුන්නේ ස්වෝත්සාහයෙන් හා පරිකල්පනයේ පිහිටෙන් ලොවේ නමක් දිනූ කෙනෙකු හැටියටයි.

පොදුවේ ගත් විට ආතර් සී. ක්ලාක්ගේ පාසල් කාලය සතුටින් හා නිර්මාණශීලිව ගත වූවා. අන් අය තමා ගැන කියන දේ නොතකා තමන්ගේ පාඩුවේ වැඩ කර ගෙන යාමේ පුරුද්ද ඔහු කුඩා කාලයේ ම ඇති කර ගත්තා. එසේ ම අධිෂ්ඨානය, දැඩි අවධානය හා ඉලක්කයන් හඹා යාමත් ඔහු බාල වියේදී ම ප‍්‍රගුණ කළා.

සුරත ප‍්‍රකාශනයක් වන ‘‘තරු අතරට ගිය දරුවා’’ පොත, කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයේදී වට්ටම් සහිතව ලබා ගත හැකියි. ආතර් සී. ක්ලාක් භාරය සතු ඓතිහාසිකව ඡායාරූප රාශියක් ද පොතෙහි තිබෙනවා. පිටු සැළසුම හා නිමාව කාටුන් හා චිත‍්‍ර ශිල්පී දර්ශන කරුණාතිලක විසින්.

The First Flight by young Arthur Clarke, aged 10 in 1927 - at Taunton, UK, in an British Avro 504 biplane owned by Cornwall Aviation Co. - Photo owned by Arthur C Clarke Estate
The First Flight by young Arthur Clarke, aged 10 in 1927 – at Taunton, UK, in an British Avro 504 biplane owned by Cornwall Aviation Co. – Photo owned by Arthur C Clarke Estate

Vidusara news: දෙස් විදෙස් විද්‍යාඥයන් 25කගේ ජීවන අත්දැකීම් ඇතුළත් පොතක්

Vidusara, Sri Lanka’s only weekly science newspaper, carries this news item in its issue of 10 December 2014 on my latest book, just published by Sri Lanka Association for the Advancement of Science (SLAAS):

දෙස් විදෙස් විද්යාඥයන් 25 ගේ ජීවන අත්දැකීම් ඇතුළත් පොතක්

Seekers and Builders of Our World Inspiring Stories of 25 Scientists - by Nalaka Gunawardene
Seekers and Builders of Our World Inspiring Stories of 25 Scientists – by Nalaka Gunawardene

දෙස් විදෙස් විද්‍යාඥයන් 25 දෙනෙකු ගේ ජීවිත කථා අන්තර්ගත Seekers and Builders of Our World: Inspiring Stories of 25 Scientists නමින් යුත් අගනා ග‍්‍රන්ථයක් ඉකුත් දා එළිදැක්විණි. මේ ග‍්‍රන්ථය එළිදක්වන ලද්දේ ඉකුත් සතියේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැති විද්‍යාභිවර්ධන සංගමයේ වාර්ෂික සැසියේ ආරම්භක උත්සවයේ දීය.

විද්‍යාභිවර්ධන සංගමයේ ඇරයුමෙන් මේ ග‍්‍රන්ථය සම්පාදනය කර ඇත්තේ සම්මානලාභි විද්‍යා ලේඛක නාලක ගුණවර්ධන විසිනි.

මහාචාර්ය රමණී ඞී. විජේසේකර, මහාචාර්ය සාගරිකා ඒකනායක, මහාචාර්ය මංජුලා විතානපතිරණ සහ ආචාර්ය ඒ.එම් මුබාරක් යන විද්වතුන් ගෙන් සැදුම් ලත් සංස්කාරක මණ්ඩලයක මාර්ගෝපදේශනය මේ සඳහා ලැබී තිබේ. පිටු සැලසුම් හා සිතුවම් චිත‍්‍ර හා කාටුන් ශිල්පි දර්ශන කරුණාතිලක ගෙනි.

පිටු 350කින් සමන්විත මෙහි ඇතුළත් වන්නේ ලොව දැවෙන ප‍්‍රශ්නවලට විසඳුම් සොයාගනිමින් සහ ලෝකය ජීවත් වීමට වඩාත් සුව පහසු තැනක් කරමින් කැපී පෙනෙන සමාජ මෙහෙයකට දායක වූ විද්‍යාඥයන් 25 දෙනෙකු පිළිබඳ තොරතුරුය.

ඔවුනට විද්‍යායන් වීම සඳහා පොළඹවීමක් ලැබුණු ළමා වියේ සිදුවීම් සහ ඔවුන් ජයගත් ජීවිත අභියෝග කෙරෙහි මේ චරිත කතා සම්පාදනයේ විශේෂ අවධානයක් යොමු කර ඇත.

ඒ අනුව මෙය අනාගතයේ විද්‍යාඥයන් ලෙස ලොවට සේවයක් සැලසීම සඳහා නූතන පරපුර දිරිගන්වන සුලූ කෘතියක් ලෙස හඳුන්වා දිය හැකිය.

නෝමන් බෝර්ලොග්, රේචල් කාසන්, ආතර් සී. ක්ලාක්, ගාමිණී කොරෙයා, ජැක් ඊව් කුස්ටෝ, මාරි කියුරි, පී.ඊ.පී. දැරණියගල, ඇල්බර්ට් අයින්ස්ටයින්, එන්රිකෝ ෆර්ම්, ස්ටීව් ජොබ්ස්, රොබර්ට් කොක්, ඒ.එන්.එස්.කුලසිංහ, වන්ගරි මාතායි, මරියෝ මොලිනා, ලයිනස් පෝලිං, වෙන් හියුසෙන්, සී.වී.රාමන්, සිරි නිවාස රාමනුජන්, විල්හෙල්ම් රොන්ට්ජන්, අබ්දුස් සලාම්, ඬේවිඞ් සුසුකි, සෙල්මන් වැක්ස්මන්, රේ විජේවර්ධන, එඞ්වර්ඞ් ඕ විල්සන් සහ ඞී.ජේ. විමලසුරේන්ද්‍ර යන චරිත මෙහි ඇතුලත් වේ.

ඡායාරූපයේ දැක්වෙන්නේ එක්සත් රාජධානියේ ක්වින්ස් සරසවියේ කාබනික   රසායන විද්‍යා අංශයේ ප‍්‍රධාන මහාචාර්ය ඒ.පී.ද සිල්වා මහතා වෙත විද්‍යාභිවර්ධන සංගමයේ සභාපති ආචාර්ය ඒ.එම්. මුබාරක් මහතා විසින් ග‍්‍රන්ථයේ පිටපතක් පිළිගන්වන ලද අවස්ථාවයි.

මේ ග‍්‍රන්ථයෙහි සීමිත පිටපත් ප‍්‍රමාණයක් අංක 120/10, විද්‍යා මාවත, කොළඹ 7 හි පිහිටි විද්‍යාභිවර්ධන සංගම් කාර්යාලයෙන් රු. 500 ක් වන සහන මිලකට ලබා දීමට කටයුතු යොදා ඇත.

මේ අතර රාජ්‍ය අනුග‍්‍රහයෙන් මෙහි සිංහල මුද්‍රණය පළ කිරීමට ද කටයුතු සූදානම් කර තිබේ.

Vidusara, 10 Dec 2014, page 2
Vidusara, 10 Dec 2014, page 2

කාල බෝම්බ ඕනෑ කර තිබේ! සිවුමංසල කොලූ ගැටයා අළුත්ම තීරු ලිපි එකතුව එළි දකියි

Kaala Bomba One Kara Thibe - by Nalaka Gunawardene (Ravaya Publishers, 2014) book cover
Kaala Bomba One Kara Thibe – by Nalaka Gunawardene (Ravaya Publishers, 2014) book cover

සම්මානලාභී තීරු ලිපි රචක නාලක ගුණවර්ධනගේ අළුත්ම ග‍්‍රන්ථය ‘කාල බෝම්බ ඕනෑ කර තිබේ’ නමින් මේ සතියේ නිකුත් වෙයි. 2013-14 වකවානුවෙහි ඔහු රාවය පුවත්පතේ ලියූ ‘සිවුමංසල කොලූගැටයා’ තීරු ලිපි 44ක් මෙහි ඇතුලත්ය.

21 වන සියවසේ සංකීර්ණ අභියෝගයන්ට නොබියව හා තර්කානුකූලව මුහුණදීමට ලක් සමාජය හැඩ ගැසිය යුතු අන්දම නාලක නොයෙක් මානයන්ගෙන් විග‍්‍රහ කරයි. මතවාදයන්ට නතු නොවී හැම දෙයක් ගැනම විවෘතව ප‍්‍රශ්න කරන ඔහු තම තීරු ලිපි දකින්නේ පාඨකයන්ගේ මනසේ කවදා හෝ පුපුරා යන ‘කාල බෝම්බ’ ලෙසිනි.

“දියවැඩියාවටත් වඩා දරුණු ලෙස ලංකාවේ පැතිරී ඇති ලෙඩකි ලිංමැඩියාව. එය ලෙඩක් නොව ඉහල තත්ත්වයක් බව උදන් අනන රටක, නාලක වැනි අයට පැවතීම ලෙහෙසි පහසු දෙයක් නොවේ” යයි පොතට පෙරවදනක් ලියන විවෘත විශ්වවිද්‍යාලයේ බාහිර කතිකාචාර්ය හා පර්යේෂක ආචාර්ය උදන් ප‍්‍රනාන්දු කියයි.

ප‍්‍රවීණ ගත්කුවර හා දේශපාලන විචාරක ගාමිණී වියන්ගොඩ මෙසේ කියයි. “අද අපේ සමාජය මහා හිඟයකට මුහුණ දී තිබේ. ඒ, විචාරශීලීත්වයයි. සමාජ ප‍්‍රශ්න, ආගමික සහ සංස්කෘතික ප‍්‍රශ්න, සදාචාරමය සහ දේශපාලන ප‍්‍රශ්න යන සෑම ක්ෂේත‍්‍රයකම පෙනෙන්ට ඇත්තේ අවිචාරයයි. බෞද්ධ රටක් යැයි කීවද, බුදුන් වහන්සේගේ ‘කාලාම සූත‍්‍රය’ අද රටටම අමතකව ගොස් ඇති සෙයකි. නාලක ගුණවර්ධනගේ සෑම ලියවිල්ලක්ම ආමන්ත‍්‍රණය කරන්නේ ඒ දරිද්‍රතාවට බව මගේ හැඟීමයි. ඔහු විද්‍යාව ගැන ලියූවත්, සමාජ ප‍්‍රශ්න ගැන ලියූවත්, ඒ සියල්ලෙන් සන්නිවේදනය කෙරෙන්නේ, කෙනෙකුගේ ඇස් අරවන විචාරශීලීත්වයකි.”

රාවය ප‍්‍රකාශනක් වන මේ පොතෙහි මිළ රු. 490කි. කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයෙන් විශේෂ වට්ටමකට ද ඉනික්බිති පොත්හල් වෙතින් ද ලබා ගත හැකි ය.

ශී‍්‍ර ජයවර්ධනපුර සරසවියෙන් 2012 වසරේ හොඳම තීරු ලිපි එකතුව සඳහා විද්‍යොදය සාහිත්‍ය සම්මානය සිවුමංසල කොලූගැටයා මුල් පොතට පිරිනැමුණි.

Sivu Mansala Kolu Getaya - columnhead in Ravaya newspaper
Sivu Mansala Kolu Getaya – columnhead in Ravaya newspaper

තරු අතරට ගිය දරුවා: ආතර් සී. ක්ලාක්ගේ ළමා කාලය පොතක් ලෙසින්

Tharu Atharata Giya Daruwa: Sinhala book on the childhood of Arthur C Clarke, by Nalaka Gunawardene (2014)
Tharu Atharata Giya Daruwa: Sinhala book on the childhood of Arthur C Clarke, by Nalaka Gunawardene (2014)

ලෝක පූජිත විද්‍යා ලේඛක හා අනාගතවේදී ශ‍්‍රීමත් ආතර් සී. ක්ලාක්ගේ ළමා කාලය ගැන හා අප‍්‍රකට හා රසවත් තොරතුරු රැසක් කැටි කර ගත් පොතක් මේ මාසයේ නිකුත් වෙයි.

‘තරු අතරට ගිය දරුවා’ නම් මේ පොත ලියා ඇත්තේ ක්ලාක්ගේ පර්යේෂණ සහායක ලෙස වසර 21ක් ක‍්‍රියා කළ විද්‍යා ලේඛක නාලක ගුණවර්ධනය.

1917 දෙසැම්බර් 16 වනදා එංගලන්තයේ ගම්බද ප‍්‍රදේශයක සාමාන්‍ය පවුලක උපන් ක්ලාක් ජීවිතයේ මුල් වසර 20 ගත කළේ ගමේ පාසලේ හා අසල නගරයේ පාසලේ ඉගෙනුම ලබමිනි. සිව්දරු පවුලක වැඩිමහලූ දරුවා වූ ඔහු කුඩා වියේදී පියා මිය ගිය නිසා පවුලේ ගොවිපල පවත්වා ගෙන යන්නට මවට උදවු වීමට ද ඔහුට සිදු විය.

පාසල් වැඩ හා පවුලේ වගකීම්වලට උර දෙන අතරම පොත් කියවීම, විද්‍යාත්මක අත්හදා බැලීම් හා සොබාදහම ගවේෂණයට ද ඔහු කෙසේ හෝ කාලය සොයා ගත් සැටිත්, අධිෂ්ඨානය හා උද්‍යොගය හරහා ජීවිතය ජය ගත් සැටිත් මේ පොතෙන් විස්තර කෙරෙයි.

ක්ලාක්ගේ පවුලේ අය මුණ ගැසී දැන ගත් තොරතුරු මෙන්ම ඔහුගේ උපන් ගමට ගිය චාරිකාවක තොරතුරු ද නාලක ගුණවර්ධන මේ පොත ලිවීමට පාදක කර ගෙන ඇත.

තම නිර්ප‍්‍රභූ ගැමි සම්භවය පිළිබඳව පසු කලෙක ක්ලාක් අවංකව කළ ආවර්ජනයන් ද සිංහල පාඨකයන් හමුවට එන්නේ මුල් වතාවටය.

ආතර් සී. ක්ලාක් භාරය සතු ඓතිහාසිකව වැදගත් පැරණි ඡායාරූප රාශියක් ද ඔවුන්ගේ අවසරයෙන් පොතෙහි අඩංගු කර තිබේ. පිටු 120ක මේ පොතේ පිටු සැළසුම හා නිමාව කාටුන් හා චිත‍්‍ර ශිල්පී දර්ශන කරුණාතිලක විසිනි.

‘ශ‍්‍රී ලංකාවට මහත් සේ ඇලූම කළ ආතර් සී. ක්ලාක් ගැන බොහෝ ලාංකිකයන් හරිහැටි තොරතුරු දන්නේ නැහැ. මේ පොතින් මා උත්සාහ කරන්නේ විශේෂයෙන් අද කාලයේ ළමුන්, දෙමවුපියන් හා ගුරුවරුන්ට ඔහුගේ ළමා කාලයෙන් ගත හැකි ආදර්ශ හුවා දැක්වීමටයි’’ නාලක ගුණවර්ධන කියයි.

සුරත ප‍්‍රකාශනයක් වන ‘‘තරු අතරට ගිය දරුවා’’ පොත කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයේදී විශේෂ වට්ටම් සහිතව ලබා ගත හැකිය.

See also:

ආතර් සී. ක්ලාක් සහ ශ‍්‍රී ලංකාව: නිවැරදි තොරතුරු මෙන්න!

Arthur C Clarke (1917-2008): "He never grew up, but he never stopped growing"
Arthur C Clarke (1917-2008): “He never grew up, but he never stopped growing”

 

December 2012: My latest book out on Dec 18: ‘ආතර් සී. ක්ලාක් චින්තන චාරිකා’

“ආගමික උමතුවෙන් ලෝකය ගලවා ගැනීමේ එකම මග සියලුම ආගම් ප්‍රතික්ෂේප කිරීමයි” – එස්. එම්. බන්දුසීල

Lakbima Sinhala daily newspaper has just published my long interview with S M Banduseela who is widely recognised as Sri Lanka’s foremost translator of science and science fiction. He is best known as Arthur C Clarke’s Lankan translator.

Parts of this interview appeared earlier in the Sinhala Sunday newspaper Ravaya (24 Nov 2013):  “විද්‍යා ප්‍රබන්ධකරුවන් අයහපත් අනාගතයන් ගැන අපට අනතුරු අඟවනවා!” – එස්. එම්. බන්දුසීල

Those segments are not repeated here. Lakbima has also carried my questions related to Clarke’s views on traditional knowledge, and on religion. Banduseela answers them in his capacity as a leading rationalist and free thinker in Sri Lanka.

Note: Sir Arthur Clarke (1917-2008) was a life-long non-believer: he was against all forms of organised religion (no exceptions!), and considered religions to be the worst form of ‘mind virus‘.

As he often said: “One of the great tragedies of mankind is that morality has been hijacked by religion. So now people assume that religion and morality have a necessary connection. But the basis of morality is really very simple and doesn’t require religion at all. It’s this: “Don’t do unto anybody else what you wouldn’t like to be done to you.” It seems to me that that’s all there is to it.”

See also: Arthur C Clarke’s last story: A world without religion in 2500 A.D.

එස්. එම්. බන්දුසීල හා නාලක ගුණවර්ධන අතර සංවාදයක්

The ascent or descent of Man?
The ascent or descent of Man? Cartoon courtesy Daily Mirror, Sri Lanka

මානව ප්‍රගමනය සඳහා විද්‍යාව හෝ පැරණි සම්ප්‍රදායික දැනුම (traditional knowledge) යන දෙකෙන් එකක් තෝරා ගත යුතු යයි සමහරුන් ලිහිල් තර්කයක් ඉදිරිපත් කරනවා. මෙය කොතරම් ප්‍රායෝගික ?

සම්ප්‍රදායික හා නූතන යනුවෙන් දැනුම් පද්ධති දෙකක් ඇතැයි මම හිතන්නේ නැහැ. ලෝකයේ ඇත්තේ මිනිස් වර්ගයා සොයා ගත් දැනුමයි. ඒ ඒ දැනුම්, අදහස් හා සංකල්ප බිහි  වූයේ  ඒ ඒ පරිසරවල තිබු  අවශ්‍යතාවන්ට අනුවයි. එක් යුගයකදී ප්‍රයෝජනවත් වූ දැනුම් සමුදායක් එම තත්වයන් වෙනස්වී මෙන් පසු  එතරම් වැදගත් නොවන්නට පුළුවනි. උදාහරණයකට ආගමික මතිමතාන්තර වගේ.

සමහර සමාජයන්හි දැනුම සොයා ගැනීම නිරතුරුවම සිදුවන අතර එම සමාජ ඒ නිසාම දියුණුවෙන් දියුණුවට පත් වෙනවා. සමහර සමාජ අලුත් දැනුම සොයා යෑමට උත්සාහ නොකර අතීතකාමයෙන් මුසපත් වී එක තැන ම පල් වෙනවා. දැනුම වේගයෙන් ඉදිරියට යනවා. තාක්ෂණයත් වේගයෙන් දියුණු වෙනවා. අප කළ යුත්තේ මෙම ප්‍රවාහයට එක් වීම මිස අපේ සම්ප්‍රදායික දැනුම සියල්ලට ම වඩා උසස් යයි කියමින් ගෝත්‍රිකයන් මෙන්  ජීවත් වීම නොවෙයි.

ආතර් සී ක්ලාක් ඉතා පැහැදිලිව ම සියලු ආයතනගත ආගම් හා සාමයික දර්ශනයන් ප්‍රතික්ෂේප කළා. දේවවාදයන් නුදුරු අනාගතයේත්, අදේවවාදී අන් සියලු ම ආගම් ඉන් පසුවත් අවභාවිතය නිසා තුරන්ව යන බවට ඔහු ලියා තිබෙනවා. හේතුවාදියෙකු ලෙස ඔබ මෙය විග්‍රහ කරන්නේ කෙසේ ?

ක්ලාක් විද්‍යාවේත් තාක්ෂණයේත් දියුණුව  නිවැරදිව දුටු කෙනෙක්. අනාගතයේ විද්‍යාව විසින් සියලුම ආගමික සංකල්ප බිඳ දමන බව දුටු නිසා ඔහු සියලුම ආගම් ප්‍රතික්ෂේප කළා. මිනිසාට  තමා හා තම පරිසරය පිළිබඳ පැහැදිලි අවබෝධයක් නොතිබූ කාලයක බිහි වූ විවිධ සංකල්ප මෙන් ආගමත් එක් අවස්ථාවකදී මිනිස් සමාජයේ පැවැත්මට ප්‍රයෝජනවත් වෙන්නට ඇති. නමුත් අද එය සම්පූර්ණයෙන් ම මිනිස් සමාජයේ දියුණුවට තර්ජනයක් වී ඇති දෙයක්. ඒ නිසා මිනිසාගේ අනාගත පැවැත්ම ගැන සැලකිලිමත් වන සියලු දෙනාගේ වගකීම වන්නේ ආගමික මතවාද වලින් අන්ධ වී ඇති  සමාජය එයින් මුදවා ගැනීමයි. මේ නිසා අපි ක්ලාක්ගේ ස්ථාවරය ඉතා අගය කළ යුතුයි.

සියලු ආගම් කාරුණිකව ප්‍රතික්ෂේප කරන අතර ක්ලාක් අධ්‍යාත්මික බව (spirituality) අගය කළා. අධ්‍යාත්මික බව හා ආගම් යන දෙක වත්මන් සමාජයේ සමහරුන් පටලවා ගෙන තිබෙනවා නේද?

secularඔව්. අධ්‍යාත්මිකබව මිනිස් සන්තානයේ ගැඹුරෙන් ම ඇති දෙයක්. එයට අයත් වන්නේ ආදරය කරුණාව වැනි මුලික හැඟීම්. ආගම් විසින් කර ඇත්තේ මිනිසා සතුව තිබූ අධ්‍යාත්මික හා සදාචාරාත්මක හැඟීම් පැහැරගෙන එය ඔවුන්ගේ නිපයුමක් ලෙස ඉදිරිපත් කිරීමයි.  වත්මන් සමාජයේ  මතයක් තියෙනවා  ආගමක් අදහන්නේ නැති කෙනෙකුගේ  අධ්‍යාත්මික හෝ සදාචාරාත්මක බවක් නැතැයි කියා. ඇත්තෙන් ම ආගම් විශ්වාස නොකරන අය අතර ඉතා අධ්‍යාත්මික හා සදාචාරත්මක පුද්ගලයන් සිටිනවා. ඔවුන් එසේ වී ඇත්තේ දෙවි කෙනෙකුට හෝ කර්මය වැනි දේකට  බියෙන් නොව මිනිස්කමට උචිත එක ම චර්යා රටාව  එය බව පිළිගන්නා නිසයි.

මට මෙහිදී මතක් වෙනවා ආතර් සී ක්ලාක් ඔහු ලියූ The Fountains of Paradise නම් පොතේ උපුටා දක්වා ඇති ජවහර්ලාල් නේරුගේ කියමනක්. එය නම් 1962 වර්ෂයේ ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමය අමතමින්  අගමැති නේරු කළ ප්‍රකාශයයි. එතුමා කියා සිටියේ “දේශපාලනය හා ආගම යල්පැන ගිය අදහස් බවත් දැන් කාලය පැමිණ ඇත්තේ විද්‍යාව හා අධ්‍යාත්මික ගුණ ධර්ම සඳහා බවත්”. (“Politics and religion are obsolete; the time has come for science and spirituality.”)

ඇත්තෙන් ම ආගමික උමතුවෙන් ලෝකය ගලවා ගැනීමේ එක ම මග වන්නේ සියලුම ආගම් ප්‍රතික්ෂේප කිරීමයි. එසේ නොවුන හොත් ආගමික ගැටුම්වලින් මිනිස් වර්ගයා ම විනාශ වී යෑමට ඉඩ තියෙනවා.

විද්‍යාව හා ආගම් අතර අතාත්වික ආකාරයේ මතුපිට සංසන්දනයක් කරන්නට සමහරුන් තැත් කරනවා. ඇතැම් ආගම් අදහන අයට දැඩි ලෙස උවමනා වී ඇත්තේ නූතන විද්‍යාව මගින්  තමන්ගේ ආගම තහවුරු වෙනවා යයි කියන්නට. මේ ගැන ඔබේ මතය?

මෙය මා දකින්නේ විද්‍යාවේ හා තාක්ෂණයේ වේගවත් දියුණුව  ඉදිරියේ තව දුරටත් පවත්වා ගත නොහැකි තමන්ගේ ආදිකාල්පික මත තහවුරු කිරීමට ගන්නා දුර්වල ප්‍රයත්නයක් හැටියටයි. සෑම ආගමක් ම මිනිසා විශේෂ නිර්මාණයක් ලෙස සැලකුවත්  සත්‍යය නම් මිනිසා යනු සත්ව පරිණාමයේ එක් අවස්ථාවක් පමණක් වීමයි. පරිණාමීය ක්‍රියාවලියේ එක් සතෙකුට පමණක් අදාල වන ‘සත්‍යයන්‘ තියෙන්නට බැහැ. උදාහරණයක් හැටියට මිනිසාට වඩා බුද්ධිමත්  යන්ත්‍රයකට මේ ආගම් අදාල වේ ද? එසේත් නැත්නම් ආගම් වලංගු වන්නේ කාබන්වලින් සැදුණු ජීවින්ට පමණක් ද?

ක්ලාක් මහතා  කියා තියෙනවා ආගම නියෝජනය කරන්නේ මිනිසාගේ නොමේරූ අවස්ථාවක්ය කියා. එතුමාගේ සමහර කෘතිවල මිනිස් වර්ගයා මෙම ළදරු ප්‍රවණතාවන්ගෙන් මිදෙන බවට ඉඟි කර තිබෙනවා. අද දක්නට ලැබෙන ආගමික උන්මාදය දෙස බලන විට පෘථිවියේ අනාගතය සුරක්ෂිත කළ හැක්කේ සියලු ආගම් ඉවත දැමීමේන් බව ඉතා පැහැදිලියි. එසේ නැත්නම් තමන් අදහන දෙය පමණක් සත්‍යයයි විශ්වාස කරන විවිධ කොටස් එකිනෙකා විනාශ කර දමන බවට කිසිම සැකයක් නැහැ.

See also: God, Science, and Delusion: A Chat With Arthur C. Clarke
by Matt Cherry in Free Inquiry magazine, Volume 19, Number 2 (1999)

Arthur C Clarke’s last story: A world without religion in 2500 A.D.

S M Banduseela interview with Nalaka Gunawardene - Daily Lakbima - 17 Dec 2013
S M Banduseela interview with Nalaka Gunawardene – Daily Lakbima – 17 Dec 2013

‘වදකහ සුදියේ සිට ලෝක විනාශය දක්වා’: සිවුමංසල කොලූ ගැටයා දෙවැනි පොත එළි දකියි

Cover of Sivu Mansala Kolu Getaya Book 2 by Nalaka Gunawardene, pub Sep 2013
Cover of Sivu Mansala Kolu Getaya Book 2 by Nalaka Gunawardene, pub Sep 2013

සම්මානලාභී තීරු ලිපි රචක නාලක ගුණවර්ධනගේ අඵත් ම ග‍්‍රන්ථය ‘වදකහ සුදියේ සිට ලෝක විනාශය දක්වා’ නමින් මේ සතියේ එළි දකියි.

2012-13 වකවානුවෙහි රාවය පුවත්පතට ඔහු ලියූ ‘සිවුමංසල කොලූගැටයා’ තීරු ලිපි අතරින් තෝරා ගත් 54ක් මේ පොතෙහි ඇතුළත් ය. මේ පොතට පෙරවදන ලියා ඇත්තේ ප‍්‍රවීණ විද්‍යා ප‍්‍රබන්ධ පරිවර්තක හා හේතුවාදි කි‍්‍රයාකාරික එස්. එම්. බන්දුසීල මහතා ය.

විසි එක්වන සියවසේ වඩාත් සංකීර්ණ වූ ලක් සමාජය මුහුණ දෙන ගැටඵ හා අභියෝග ගැන විවෘත මනසකින් හා සංසන්දනාත්මකව විග‍්‍රහ කිරීමට සමත් නාලක ගුණවර්ධන, දෙස් විදෙස් මාධ්‍ය හා සන්නිවේදන ක්‍ෂෙත‍්‍රයේ වසර 25කට වැඩි පුඵල් අත්දැකීම් ඇති ද්විභාෂික ලේඛකයෙකි.

රාවය ප‍්‍රකාශනයක් වන “වදකහ සුදියේ සිට ලෝක විනාශය දක්වා” මිළ රු. 550කි. එය විශේෂ වට්ටමකට කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයේදී ලබා ගත හැකි ය.

2012දී සිදු වනවා යයි ඇතැම් දෙනා බියපත් වූ ‘ලෝක විනාශය’ හරහා මෙරට සමාජයේ හා ජන මාධ්‍ය ක්‍ෂෙත‍්‍රයේ ආකල්ප මෙන් ම භීතිකා ගැනත් සාකච්ජා කැරෙන ලිපි කිහිපයක් මේ එකතුවෙහි හමු වෙයි.

නව නිපැයුම්කරුවන් මුහුණ දෙන අභියෝග, ඉන්ටර්නෙට් ප‍්‍රගමනය හරහා මතු වන සමාජ ප‍්‍රවණතා, දේශගුණ විපර්යාසවලට ප‍්‍රතිචාර දැක්වීමේ හොඳම ක‍්‍රමෝපාය හා කෘෂි රසායනිකවලට ඇබ්බැහි වූ අපේ ගොවිතැන වැනි කාලීන මාතෘකා ගැන තුලනාත්මකවත්, සරලවත් විග‍්‍රහ කරන කතුවරයා බොහෝ විට තම වෘත්තීය අත්දැකීම් හා සංචාරයන් එයට පාදක කර ගනියි.

විශ්වයේ අන්තිම සිංහල වචනය ගැනත්, ශී‍්‍ර ලංකාව හඳ අහිමි කර ගත් සැටි ගැනත් සුවිශේෂී හෙලිදරවු තවත් ලිපි හරහා මතු වෙයි. ඇන්ටාක්ටිකාවට ගිය ශී‍්‍ර ලාංකිකයන් ගැන මුල් වරට සිංහල මාධ්‍ය හරහා කථා කළේ සිවුමංසල කොලූ ගැටයා තීරු ලිපියයි.

“වැඩවසම් මානසිකත්වයකට කොටු වී, විවිධ කුමන්ත‍්‍රණ ගැන බියපත් වෙමින්, පසුගාමීව සිටින ලක් සමාජය ආත්ම විශ්වාසයකින් යුතුව හා විචාරශීලීව විසි එක් වන සියවසේ සංකීර්ණ ප‍්‍රශ්නවලට මුහුණ දෙනු දැකීම මගේ සිහිනයයි,” නාලක ගුණවර්ධන කියයි.

2012දී පළ කෙරුණු සිවුමංසල කොලූ ගැටයා මුල් තීරු ලිපි එකතුවට මෑතදී පැවැති විද්‍යොදය සාහිත්‍ය සම්මාන උළෙලෙහි ගෙවුණු වසරේ හොඳම තීරුලිපි ග‍්‍රන්ථයට පිදෙන සම සම්මානය පිරිනැමුණි.

‘නව තාක්‍ෂණය හා නව මාධ්‍ය හේතු කොට ගෙන විපර්යාසයට ලක්වන ලෝකයත්, තොරතුරුත් දෘෂ්ටිමය අතීතකාමීකමකින් නිදහස්ව දකින්නට වෑයම් කිරීම මෙහි විශෙෂත්වයයි’ යනුවෙන් සම්මාන හේතු පාඨයේ සඳහන් වී ය.

අතීත උරුමයන් රැක ගන්නා අතර නිර්මාණශීලී හා ගවේෂණාත්මක අයුරින් නූතනත්වය අප සමාජයට අදාල කර ගත හැක්කේ කෙසේ ද යන්නට සිවුමංසල කොලූ ගැටයා ප‍්‍රායෝගික අත්වැලක් සපයයි. හීනමානයක් හෝ අධිමානයක් හෝ නොමැතිව තාත්වික මට්ටමින් විශ්ව ගම්මානයේ ගෞරවනීය සාමාජිකයන් ලෙස ලක් අපට හිමි තැන නිරවුල්ව පාදා ගන්නට ඉගි ලබා දෙයි.

ආතර් සී. ක්ලාක් සහ ශ‍්‍රී ලංකාව: නිවැරදි තොරතුරු මෙන්න!

An introduction (in Sinhala) to Sir Arthur C Clarke’s half century of association with Sri Lanka, written by Nalaka Gunawardene. This is a chapter in the book ‘ආතර් සී. ක්ලාක් චින්තන චාරිකා’ (Mind Journeys with Arthur C Clarke), published in 2012.

See also: UTTAREETHARA: Biographical documentary on Arthur C Clarke (in Sinhala)

චන්ද්‍රිකා තාක්ෂණය ලොවට කියාදුන් තැපැල් කන්තෝරු පවුලේ දරුවා

sir-arthur-clarke-with-sigiriya-in-background-photo-by-rohan-de-silva.jpg

රීමත් ආතර් සී. ක්ලාක් ගැන රී ලංකාවේ බොහෝ දෙනකු තුළ ගෞරවාන්විත හැඟිමක් ඇතත්, ඔහු ගැන නිවැරදි තොරතුරු හා නිරවුල් අවබෝධයක් බොහෝ දෙනකුට නැත. විද්වතුන් හා මාධ්යවේදීන් අතින් ඔහු ගැන වැරදි තොරතුරු නිතර රතිරාවය වෙයි.

මේ අතරින් ඉතා දැඩි ලෙස රචලිත වූ රබන්ධය නම් ඔහු රී ලාංකික පුරවැසියකු වීය යන්නයි. ඇත්ත තත්ත්වය නම් ආතර් චාල්ස් ක්ලාක් උපන්නේත්, මිය ගියේත් බිරතාන් ජාතිකයකු හැටියට බව . සිය උපන් රට ගැන තිබු ඇල්ම හා අභිමානය අඩු නොකර ඔහු, පසු කලෙක රී ලංකාවට ඉත සිතින් ඇලූම් කළේය. එහෙත් ඔහු කිසි දිනෙක රී ලාංකික පුරවැසිකම පැතුවේත් නැත. මෙරට කිසිදු රජයක් ඔහුට එය පිරිනැමුවේත් නැත. (එමෙන්ම සම්මාන පුරවැසි කියා දෙයක් නීතිමය වශයෙන් නැති නිසා එබන්දක් දීම හෝ ලැබීම ගැන කථාවේ කිසිම පදනමක් නැත.)

මේ පුරවැසි/සම්මාන පුරවැසි කථාව කෙතරම් පැතිර ගොස් ඇත්දැයි කිවහොත් එය එසේ නොවී යයි කරුණු හොඳහැටි පහදා දුන් පසුවත් සමහර මාධ් දැන දැන වරද යළිත් වමාරති.

මා රීමත් ක්ලාක්ගේ පෞද්ගලික කාර්යාලයේ සේවය කළ කාලයේ මාධ්යවේදීන්ට, ශිෂ්යයන්ට හා අන් අයට නොමිලේ බෙදා දෙන තොරතුරු කට්ටලයේ ක්ලාක් හා රී ලංකාව ගැන තොරතුරු සටහනක් තිබුණි. මේ එහි සිංහල අනුවාදයයි.

 නාලක ගුණවර්ධන

1917දී බි‍්‍රතාන්‍යයේ සමර්සෙට් ප‍්‍රාන්තයේ මයින්හෙඞ් ගම්මානයේ උපන් ආතර් චාල්ස් ක්ලාක්, මූලික හා ද්වීතියික අධ්‍යාපනය ටෝන්ටන්හි හුයිෂ් ග‍්‍රැමර් ස්කූල් නම් පාසලෙන් ලබා, පසුව ලන්ඩනයේ කිංස් කොලෙඡ් සරසවියෙන් ගණිතය හා භෞතික විද්‍යාව පිළිබඳ පළමුපෙළ උපාධියක් ලබා ගත්තේ ය. බි‍්‍රතාන්‍ය රජයේ ගණකාධිකාරී දෙපාර්තමේන්තුවෙන්, ඉන් පසු රාජකීය ගුවන් හමුදාවේත් (1939 – 1946) සේවය කළ ඔහු 1950 සිට පුර්ණ කාලීන වෘත්තිය ලේඛකයකු හා දේශකයකු හැටියට ක‍්‍රියා කළේ ය.

ඔහුට ශ‍්‍රී ලංකාව ගැන මුල් ම නෙතඟ බැල්ම ලැබුණේ අහම්බෙන් මෙනි. කිමිදීම හා සාගර ගවේෂණය ගැන ක්ලාක් තුළ තිබු ඉමහත් උනන්දුව නිසා 1950 දශකයේ ඔහු ඔස්ටේ‍්‍රලියාවේ මහ බාධක පරයට යන අතරවාරයේ ඔහු රැගත් “හිමාලයා” නෞකාව 1954 දෙසැම්බර් මාසයේ දින බාගයකට කොළඹ වරායට සේන්දු විය.

පසුව 1955 මාස කිහිපයක් තිස්සේ ශ‍්‍රී ලංකාවේ වෙරළ තීරය, නොගැඹුරු සාගරය හා රට තුළ විවිධ ස්ථාන ගවේෂණය කළ ක්ලාක්, මේ ඝර්ම කලාපීය දුපතට මහත් සේ ඇලූම් කරන්නට පටන් ගත්තේ ය. 1956දී ශ‍්‍රී ලංකාවේ කොළඹ නගරයේ පදිංචි වීමට තීරණය කළ ඔහු, හෙක්ටර් එකනායක නම් ලාංකික කිමිදුම්කරුවාත් සමඟ එක්ව “අන්ඩවෝටර් සෆාරීස්” (Underwater Safaris) නම් කිමිදුම් සමාගම ඇරඹී ය. මෙරට වෘත්තීය කිමිදුම් කටයුතුවලත්, කිමිදුම්කරුවන් පුහුණු කිරීමේත්, සාගර ආශ‍්‍රිත සංචාරක කර්මාන්තයේත් පුරෝගාමී මෙහෙවරක් එ හරහා ඉටු කළේ ය.

සමස්ත ඉන්දියානු සාගරයේ ම මුල් වතාවට දිය යට රූප ගත කරන ලද දර්ශන රැගත් Beneath the Seas of Ceylon නම් වාර්තා චිත‍්‍රපටය 1958දී නිර්මාණය කරනු ලැබුවේ ක්ලාක් සහ ඔහුගේ කිමිදුම් සගයන් වූ බි‍්‍රතාන්‍ය ජාතික මයික් විල්සන් හා ලාංකික රොඞ්නි ජොන්ක්ලස් විසිනි.

ශ‍්‍රී ලංකාවේ වර්ණයෙන් නිෂ්පාදිත මුල් ම සිංහල වෘතාන්ත චිත‍්‍රපටය වූ   “රන් මුතු දුව” (1962) සඳහා ආයෝජකයා වූයේත් ආතර් සි. ක්ලාක් ය. දිය යට ජවනිකා රැගත් මුල් ම සිංහල චිත‍්‍රපටය ද වූ එය මයික් විල්සන් විසින් රූපගත කොට, අධ්‍යක්‍ෂණය කරන ලද්දකි. එහි නිෂ්පාදකයා වූයේ ශේෂා පලිහක්කාර ය.

1956 සිට 2008 දක්වා වසර 50කට වැඩි කාලයක් ශ‍්‍රී ලංකාවේ පදිංචිව සිටි ආතර් සී. ක්ලාක්ට 1975දී ශ‍්‍රී ලංකා රජය හඳුන්වා දුන් නව ආගමන ප‍්‍රතිපත්තියක් යටතේ “පදිංචි ආගන්තුකයා” (Resident Guest) යන තත්ත්‍වය හිමි විය. මෙය රටේ ආර්ථික හා සමාජ සංවර්ධනයට දායක වන විදේශිකයන් සඳහා ක‍්‍රියාත්මක වන දිරි ගැන්වීමේ ක‍්‍රමයකි. එහෙත් ඔහු කිසි දිනෙක ශ‍්‍රී ලංකා පුරවැසිභාවය ඉල්ලූම් කළේ හෝ ලැබුවේ හෝ නැත. ඔහු දිවි ඇති තුරු ම බි‍්‍රතාන්‍ය ජාතිකයකු විය.

Sri Lankan President Junius Jayewardene chatting with Arthur C Clarke in Colombo - circa 1980
Sri Lankan President Junius Jayewardene chatting with Arthur C Clarke in Colombo – circa 1980

ශ‍්‍රී ලංකාවේ පදිංචිකරුවකු ලෙස මෙරට අධ්‍යාපනික, විද්‍යා පර්යේෂණ, පරිසර සංරක්‍ෂණ හා සන්නිවේදන තාක්‍ෂණ ක්‍ෂෙත‍්‍රයන්ට ආතර් සී. ක්ලාක් බුද්ධිමය දායකත්වය හා ඇතැම් විට මුල්‍යමය අනුග‍්‍රහය ද ලබා දුන්නේ ය. එයින් සැළකිය යුතු සේවාවන් කිහිපයක් මෙසේ ය:

  • 1979 සිට 2002 දක්වා වසර 23ක් පුරා මොරටුව සරසවියේ කුලපති (Chancellor) තනතුර අඛණ්ඩව හෙබ වීය. ජනාධිපතිරුන් සිවු දෙනෙකු විසින් යළි යළිත් ඔහු මේ තනතුරට පත් කරන ලදී.
  • 1959දී ශ‍්‍රී ලංකා තාරකා විද්‍යා සංගමය (Sri Lanka Astronomical Association) පිහිටුවා එහි ආරම්භක සභාපති ලෙස මෙරට ආධුනික තාරකා විද්‍යා කටයුතු දිරිමත් කරන්නට සහය දුන්නේ ය.
  • 1966දී නිල වශයෙන් ශ‍්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ඇරඹෙන්නටත් පෙර පටන් මෙරට සංචාරක ආකර්ෂණයක් ගැන විදෙස් මාධ්‍ය හරහා විශාල ප‍්‍රසිද්ධියක් ලබා දුන් ඔහු, පසුව සංචාරක මණ්ඩලයට හා සංචාරක සමාගම්වලට බොහෝ උපදෙස් හා යෝජනා නොමිලයේ ලබා දුන්නේ ය.
  • ශ‍්‍රී ලංකාවේ දුරස්ථ සන්නිවේදන ප‍්‍රතිපත්ති හා සැළසුම සඳහා හැකි සෑම විට ම තාක්‍ෂණික උපදෙස් දුන් ක්ලාක්, 1979-1982 කාලයේ මෙරටට ටෙලිවිෂන් මාධ්‍යය හඳුන්වා දීමට නොනිල මට්ටමින් දායක විය.
  • 1984දී මෙරටට නව තාක්ෂණයන් හඳුන්වාදීමට රාජ්‍ය ආයතනයක් ස්ථාපිත කරන විට එයට ඔහුගේ නම දීමට ජේ. ආර්. ජයවර්ධන රජය කළ යෝජනාවට ආතර් සී. ක්ලාක් එකඟ විය. ක්ලාක් මධ්‍යස්ථානයේ අනුග‍්‍රාහකයා (Patron) ලෙස කලක් ගරු තනතුර ද හෙබ වීය. එහෙත් මේ රාජ්‍ය ආයතනයේ පරිපාලනය හෝ පර්යේෂණ කටයුතු කිසිවකට ඔහුගේ සම්බන්ධයක් නොතිබුණි.

ටෙලිවිෂන් මාධ්‍යය හරහා ශ‍්‍රී ලංකාවට ලොව පුරා සුභවාදී ප‍්‍රතිරූපයක් බිහි කිරීමට ආතර් සී. ක්ලාක් දශක ගණනාවක් ස්වෙච්ජාවෙන් කටයුතු කළ බව හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතා වරක් ඉතා කෘතඥපූර්වකව පැවසීය. ඔහු ක්ලාක් හැඳින්වූයේ  “One man cheering squad for Sri Lanka” හැටියට ය.

භෞතික හා පාරභෞතික අබිරහස් පිළිබඳව විද්‍යාත්මකව ගවේෂණය කළ ලෝක ව්‍යාප්ත ටෙලිවිෂන් වැඩසටහන් පෙළක් 1980-1994 වකවානුව තුළ ආතර් සී. ක්ලාක් ඉදිරිපත් කළේ ය. බි‍්‍රතාන්‍ය සමාගමක් විසින් නිෂ්පාදිත මේ වැඩසටහන් සියල්ලේ ආරම්භය හා අවසානය ක්ලාක් රූපගත කළේ ශ‍්‍රී ලංකාවේ පියකරු ස්වභාවික ස්ථාන හා සාංස්කෘතික උරුමයන් පසුබිමේ තබා ගෙන ය. Arthur C. Clarke’s Mysterious World (1980), Arthur C. Clarke’s World of strange Powers (1985) yd Arthur C. Clarke’s Mysterious Universe (1994) යන මේ වැඩසටහන් මාලා  වසර ගණනාවක් පුරා Discovery ඇතුළු තවත් බොහෝ විදේශ ටෙලිවිෂන් සේවා හරහා විකාශය විය. මේ නිසා ඉතා වටිනා සංචාරක ප‍්‍රවර්ධනයක් නොමිලයේ ම ශ‍්‍රී ලංකාවට ලැබුණි.

sir-arthur-clarke-at-swami-rock-trincomalee-sri-lanka-by-rohan-de-silva.jpg

ශී‍්‍ර ලංකාවේ වෙරළ සංරක්‍ෂණය ගැන විශේෂ උනන්දුවක් දැක්වූ ක්ලාක්, හිරිගල්පර (කොරල්) කැඞීමට එරෙහිව පවත්නා නීති හරියාකාර ක‍්‍රියාත්මක කිරීමට මාධ්‍ය හරහා ප‍්‍රබල හඬක් නංවමින් වෙරළ සංරක්‍ෂණ නිලධාරීන්ට හා පර්යේෂකයන්ට නන් අයුරින් උපකාර කළේය.

1979 දී හික්කඩුව සාගර අභයභූමිය ප‍්‍රකාශයට පත් කෙරුණේ කලක් තිස්සේ ඔහු ගෙන ගිය දැනුවත්කිරීම්වල ප‍්‍රතිඵලයක් ලෙසට ය. ශ‍්‍රී ලංකාව අවට මුහුදේ ජීවත් වන තල්මසුන් හා ඩොල්ෆින් සතුන් රැක ගැනීමේ වැදගත්කම මුලින් ම පෙන්වා දුන්නේත් ඔහු ය.

2004 දෙසැම්බර්යේ සුනාමි ව්‍යසනයෙන් දැඩි ලෙස කම්පාවට පත් වූ ක්ලාක්, ශ‍්‍රී ලංකාවට ආධාර කරන ලෙස ලෝකයට ආයාචනය කළේ ය. එමෙන්ම යළි වෙරළබඩ ප‍්‍රදේශ පිළිසකර කරන විට සුනාමියේ “මතක හිටින පරිසර පාඩම්” සිහි තබා ගන්නට යැයි ඔහු රජයෙන් හා ලක් ජනතාවගෙන් මහත්  ඕනෑකමින් ඉල්ලා සිටියේ ය.

මෙකී නොකී විවිධාකාරයෙන් ශ‍්‍රී ලංකාවට ලබා දුන් විද්වත් දායකත්වයට ශ‍්‍රී ලංකා රජය විසින් අවස්ථා තුනකදී ක්ලාක්ට සම්මාන පිරිනමන ලදී.

ශ‍්‍රි ලංකාවේ පදිංචිකරුවකු ලෙසත්, පොදු උන්නතිය කැප වු බුද්ධිමතකු ලෙසත් ආතර් සී. ක්ලාක් විවිධ අවස්ථාවල මෙරට විද්‍යා, කලා, අධ්‍යාපනික හා මානුෂික ක‍්‍රියාකාරකම් සඳහා අතහිත දුන්නේ කිසිදු ප‍්‍රසිද්ධියක් නොමැතිවයි. ශ‍්‍රී ලංකා සත්ත්‍ව සුබසාධන සංගමයේ හා දෙපා අප‍්‍රාණික වූ රෝගීන් (paraplegic) පුනරුත්ථාපනය සඳහා වූ සංගමයේ අනුශාසක ලෙසත්, තවත් විවිධ  සද්කාර්යයන් සඳහා නිහඬ ආධාරකරුවකු ලෙසත් ඔහු ක‍්‍රියා කළේ ය. සර්වෝදය ශ‍්‍රමදාන සංගමයත්, අක්‍ෂිදාන සංගමයත් ඔහුගේ ප‍්‍රශංසාවට ලක් වූ ස්වෙච්ජා ආයතන දෙකකි. ශ‍්‍රී ලංකා හේතුවාදී සංගමයේ අරමුණු සමඟ එකඟ වු ක්ලාක්, හැකි සෑම විට ම හේතුවාදී තර්කානුකූල විමර්ශනය දිරිමත් කළේ ය.

පසු එකතු කිරීම:

2007 දෙසැම්බරයේ ආතර් සී. ක්ලාක්ගේ 90 වන උපන් දිනය ලක් රජය විසින් උත්සවාකාරයෙන් සමරනු ලැබී ය. 2008 මාර්තු 19 වනදා ඔහු මිය ගිය පසු ඔහුගේ උපදෙස් පරිදි සම්පුර්ණයෙන් ම නිර්ආගමික හා කිසිදු රාජ්‍ය මැදිහත්වීමකින් තොර චාම් අවමගුලක් පවත්වන ලදී. ඔහු ඉල්ලා සිටි පරිදි ඔහු රැක බලා ගත් එකනායක පවුලට වෙන් වූ කොළඹ කනත්ත සුසාන භූමි කොටසේ 2008 මාර්තු 22දා ඔහුගේ සිරුර මිහිදන් කරනු ලැබී ය. එදින ශ‍්‍රී ලංකාවේ සියළු ම ටෙලිවිෂන් හා රේඩියෝ නාලිකා සිය විකාශයන් විනාඩි 3කට නිහඬ කරමින් මේ සන්නිවේදකයාට ඔවුන්ගේ ගෞරවය පළ කළෝ ය.

See also one-hour Sinhala documentary on Arthur C Clarke, presented by Nalaka Gunawardene: UTTAREETHARA: Biographical documentary on Arthur C Clarke (in Sinhala)

Sir Arthur Clarke revisits Hikkaduwa beach in southern Sri Lanka in his custom-made Dune Roller, circa 2005
Sir Arthur Clarke revisits Hikkaduwa beach in southern Sri Lanka in his custom-made Dune Roller, circa 2005