සිවුමංසල කොලූගැටයා #188: ලිංමැඩියා මර්දනය කෙසේ කළ හැකිද?

Kaala Bomba One Kara Thibe - by Nalaka Gunawardene (Ravaya Publishers, 2014) book cover

Kaala Bomba One Kara Thibe – by Nalaka Gunawardene (Ravaya Publishers, 2014) book cover

Writing a foreword to my latest collection of Ravaya columns, titled ‘කාල බෝම්බ ඕනෑ කර තිබේ!’ (Wanted: Time Bombs of the Mind!), researcher and public intellectual Dr Udan Fernando comments on two societal trends in post-war Sri Lanka (since 2009).

One is the indulgence — and even perverse ‘celebration’ — of insularity, conflating it for distinctiveness and cultural identity. This is found among certain academics, artistes and social activists.

The other is obsessive nostalgia for, and romanticising of, history – at least, a certain interpretation of historical events and processes. Never mind whatever problems of development and governance of today, these nostalgists seem to contend, we were once a great nation (or the greatest of all).

In my column (published in Ravaya newspaper, 5 October 2014), I discuss how best to counter insularity and unhealthy obsession with history. I also lament, as does Udan, the gradual decline of Lankans with bilingual or trilingual skills which enabled them to connect with each other and the wide world outside their island.

සිවුමංසල කොලූ ගැටයා තීරු ලිපිය ලෙස 2013-14 වකවානුවේ මා ලියූ ලිපි 44ක් ඇතුළත් තුන්වන පොත ‘කාල බෝම්බ ඕනෑ කර තිබේ!’ නමින් ගිය මාසයේ නිකුත් වුණා.

එයට පෙරවදනක් ලිවීමට මා ඇරැයුම් කළේ රාවය හරහා මා හඳුනා ගත් මිතුරකුට. ඔහු ආචාර්ය උදන් ප‍්‍රනාන්දු. ස්වාධීන සමාජ විද්‍යා පර්යේෂකයෙක්. කලක් නෙදර්ලන්තයේ විසීම නිසා ලිබරල් සමාජයක හා නිර්ආගමික රාජ්‍යයක සෘජු අත්දැකීම් ඇති, බොහෝ දේ තුලනාත්මකව දැකිය හැකි අයෙක්.

පෙරවදනේ ඔහු මෙසේ කියනවා. “දියවැඩියාවටත් වඩා දරුණු ලෙස ලංකාවේ පැතිරී ඇති ලෙඩකි ලිංමැඩියාව. එය ලෙඩක් නොව ඉහල තත්ත්වයක් බව උදන් අනන රටක, නාලක වැනි අයට පැවතීම ලෙහෙසි පහසු දෙයක් නොවේ. තම කොස්මොපොලිටන ඌරුව නාලකගේ තීරු ලිපි තුළ නොමසුරුව සනිටුහන් වෙයි. එය ලිංමැඩියා මර්දන ව්‍යාපාරයට කෙරෙන මහගු දායකත්වයක් බවයි මගේ තක්සේරුව.”

මා කිසිදු දේශපාලන මතවාදයක් කරපින්නා ගත් අයකු නොවෙයි. එහෙත් අධිපතිවාදයන්ට නොකැමති, නිතර ප‍්‍රශ්න කරන හා බල සංකේන්ද්‍රණයට එරෙහි දැක්මක් නම් මට තිබෙනවා.

Dr Udan Fernando

Dr Udan Fernando

උදන් මෙය දකින්නේ මෙලෙසයි. “පසුගිය වසර පහ තුල ලාංකේය සමාජයට වැළදී ඇති බරපතල ම රෝගය විය හැක්කේ අතීතකාමයයි. මේ වන විට අතීතකාමය නිධන්ගත රෝගයක් බවට පත් වී ඇත. පෙර එක දවසක තිබුනා යැයි කියන ශ්‍රී විභූතියෙන් බඩගින්නේ හෝ සිට අපි සතුටු වෙමු. ඉතිහාසය හා ඉතිහාසිකරණය නාලක භාවිතා කරන්නේ නිර්මානාත්මක ආකාරයකටය. ඔහුගේ ප්‍රවේශය ඉතිහාසය යම් ප්‍රත්‍යාලෝකනයක් ලෙස සලකා බැලීමය. ඉන් ඉතිහාසය අනවශ්‍ය ලෙස රොමැන්තිකකරණය නොවේ. එලෙස ගත් කල ජාතික ව්‍යාධියක් සුව කරනු පිණිස නාලකගේ තීරු ලිපි පැසසුමට ලක් කළ යුතුය.”

ළිං මැඩියාව ඇති බොහෝ දෙනෙකු තමන්ට එබඳු තත්ත්වයක් ඇතැයි අවබෝධයක් නැහැ. තවත් සමහරුන් එය ඕනෑ කමින් හුවා දක්වමින් ගැන උදම් අනනවා. ලෝකය ගැන වඩාත් දැනුවත් හා සංවේදී අය හෙළා දකිනවා.

මනෝ ලෝකවල සිට සිතැඟි දේ මවා ගන්නට අප කාටත් ඉඩක් තිබෙනවා. එය පෞද්ගලිකත්වය හා මානව නිදහසට අදාල කරුණක්. එහෙත් අප මෙහි කථා කරන්නේ පොදු අවකාශය (public space) හා පොදු උන්නතියට (public interest) අදාලවයි.

ළිං මැඩියන් සේ සිටීමේ පූර්ණ නිදහස ඕනෑම කෙනෙකුට ඇතත්, ළිං මැඩියන් ලෙස අන් සැම (විශේෂයෙන් ළමා හා තරුණ පරපුර) බලෙන් රඳවා තබා ගන්නට නම් කිසිවකුත් අයිතියක් නැහැ. එසේම රාජ්‍ය ප‍්‍රතිපත්ති හා සමාජ ප‍්‍රවණතා අරභයා ළිං මැඩියා මානසිකත්වය මතුවීම ඉතා අහිතකරයි.

දේශපාලකයෝ ළිං මැඩියන්ට හරි ආසයි. තමන් කියන ඕනෑම අභව්‍ය කථාවක්, තර්කයක් හෝ කුමන්ත‍්‍රණවාදයක් වැඳ ගෙන අසා සිට අන්තිමේදී හුරේ දමන මහජනතාවක් හැමදාමත් පවත්වා ගන්නට බහුතරයක් දේශපාලකයන්ට ඕනෑකම ඇති.

උදන්ගේ තර්කයට අනුව ලක් සමාජයේ ලිංමැඩියාවට එක් ප‍්‍රධාන හේතුවක් නම් තනි බසක් පමණක් කථා කරන, එබසින් පමණක් පොත් කියවන හා සන්නිවේදනය කරන බහුතරයක් සිටීමයි.

මෙය සිංහල හා දෙමළ ජන කොටස් දෙකටම පොදු වුවත් සුළු ජන කොට්ඨාශයක් ලෙස දෙමළ ජනයා සිංහලත්, එයට අමතරව ඉංගී‍්‍රසිත් ප‍්‍රගුණ කරන්නට වැඩි උනන්දුවක් ගන්නා බව මගේ නිරීක්‍ෂණයයි.

සන්නිවේදන තාක්‍ෂණ හරහා මින් පෙර නොතිබූ පරිදි ඉංග‍්‍රීසි උගන්නට නව අවස්ථා විවර වී තිබෙනවා. එහෙත් ආකල්පීය හේතු නිසා හෝ කුඩා වියේ ඇති කරනු ලැබූ ඉච්ඡාභංගත්වය නිසා හෝ ඕනෑකමින්ම ඉංග‍්‍රීසිය මග හරින හා එය තවමත් අධිරාජ්‍යවාදී කඩුවක් යයි සිතන අය තරුණ පරපුර අතර පවා සිටිනවා. මෙබඳු පිරිස් අතර ළිංමැඩියාව ප‍්‍රබලයි.

සිංහලට පමණක් සීමා වූ දැනුම් හා ආකල්ප ග‍්‍රහණයක් ඇති විට සිදු වන දෙය උදන් විග‍්‍රහ කරන්නේ මෙලෙසයි.

“ද්වීභාෂා කුසලතාව, 1956 පෙරළියට පිං සිදුවන්නට අපට අහිමි වුනු දෙයකි. එහි ප්‍රතිපලයක් ලෙස සිංහල හා ඉංග්‍රීසි බසින් — විශේෂයෙන් පුවත්පත්වල — ලියවෙන්නේ සහමුලින් ම එකිනෙකට වෙනස් දේය. සිංහල පමණක් කියවන්නෙකුට කියවන්නට ලැබෙන්නේ සීමිත වපසරියක අදහස්ය.”

“අවාසනාවකට බොහෝ සිංහල ලියන්නන් ඇසුරු කරන්නේ සිංහල පොතපත පමණය. සිංහල පමණක් කතා කරන්නන් පමණය. මෙය එක්තරා ආකාරයක විෂම චක්‍රයකි. උදේ පිසූ කිරිබත ම රත් කර දිවා ආහාරයට ගෙන ඉන් ඉතිරි වූ ටික රත් කර රාත්‍රී ආහාරයට ගන්නා විට පිළුණු රසය මතු වීම වැළැක්විය නොහැක. එහෙත් එක භාෂාවකට පමණක් විලංගු ලා ගත් බොහෝ දෙනා එම පිළුණු කිරිබත තලු මරමින් අනුභව කරයි.”

ද්විභාෂිකත්වයේ වැගත්කම පිළිගැනීම හරහා තනි බසක් පමණක් ප‍්‍රගුණ කළ කිසිවකු හෑල්ලූ කිරීමක් සිදු වන්නේ නැහැ. අප කැමති වුණත් නැතත් සමාජ යථාර්ථයන් ඇති සේ දැකීම අවශ්‍ය දෙයක්.

From L to R - A J Gunawardana, Ajith Samaranayake, Tissa Abeysekera

From L to R – A J Gunawardana, Ajith Samaranayake, Tissa Abeysekera

ද්විභාෂිකත්වයේ ද විවිධ මට්ටම් තිබෙනවා. සමහර ද්විභාෂිකයන් භාෂා දෙකක් ව්‍යක්ත ලෙස කථා කරන හා ඒ දෙකෙන්ම නිර්මාණශීලි හෝ විචාරශීලි කාර්යයන්හි නිරත විය හැකි අයයි. ඉංග‍්‍රීසි හා සිංහල දෙබසින්ම ලියූ තිස්ස අබේසේකර මෑත කාලීන හොඳ උදාහරණයක්.

තවත් සමහරුන් භාෂා දෙකක් මනාව දැන එම සංස්කෘතින්ට සමීප වුණත් ඔවුන් ලියන්නේ එයින් එක් බසකින් පමණයි. කලක් මගේ ජේ්‍යෂ්ඨ සගයකු වූ ඉංග‍්‍රීසි පුවත්පත් කතු අජිත් සමරනායකත් ඉංග‍්‍රීසි මහාචාර්ය ඒ. ජේ. ගුණවර්ධනත් දෙදෙනාම සිංහල, සාහිත්‍ය නාට්‍ය හා සිනමා ක්‍ෂෙත‍්‍රයන්ට සමීපව සිටියා. ඔවුන් ඒවායේ නව ප‍්‍රවණතා මනා සේ හඳුනා ගත්තා. එහෙත් ඔවුන් බොහෝ කොටම ලිිව්වේ ඉංග‍්‍රීසියෙන්. (එයත් වැදගත් හා අවශ්‍යයි. මෙරට ඇතැම් මධ්‍යම පංතිකයන්ට දේශීය කලා නිර්මාණ ඉංග‍්‍රීසි පුවත්වත් හරහා හඳුන්වා දුන්නේ මේ දෙපල හා තවත් ඔවුන් වැනි ටික දෙනෙක්.)

Groundviews.org, 19 Sep 2008: Remembering A J Gunawardana: A creative public intellectual

දෙමළ, සිංහල, ඉංග‍්‍රීසි භාෂා තුනෙහිම කලා ක්‍ෂෙත‍්‍ර හැකි පමණින් නිරික්සා ඇගැයීමක් කරන මගේ තවත් ජ්‍යෙෂ්ඨ මිත‍්‍රයෙක් සිටිනවා. ඔහු නිදහසේ මාධ්‍යවේදී හා විචාරක කේ. එස්. සිවකුමාරන්. මෙරට ඉංග‍්‍රීසි පුවත්පත් හැමෙකටම පාහේ ලිපි සපයන ඔහුගේ කුතුහලය හා දැනුම ඉතා පුළුල්.

ළිං මැඩියාව අපේ රටට පමණක් සීමා වූවක් නොවෙයි. හැම රටකම එයින් පෙළෙන අය සිටිනවා. සමහර රටවල එයට තුඩු දෙන සාධක වෙනස්. හොඳ උදාහරණයන් නම් අමෙරිකා එක්සත් ජනපදයයි. දැනුම් මූලාශ‍්‍රයන් ලෙහෙසියෙන් සොයා ගත හැකි වූත් අධ්‍යාපන හා සාක්‍ෂරතා මට්ටම් ඉහල වූත් එරට බොහෝ දෙනා තම රටින් බාහිර ලෝකය ගැන ඇත්තේ සීමිත හා බොහෝ සෙයින් විකෘති වූ වැටහීමක්.

වඩාම ආසන්න අසල්වැසි රටවල් දෙක වන කැනඩාව හා මෙක්සිකෝවෙන් ඔබ්බට නොගිය අමෙරිකානුවන් අති විශාල සංඛ්‍යාවක් සිටිනවා. මීට වසර කිහිපයකට පෙර කළ සමීක්‍ෂණයකින් හෙළි වූයේ සමහර අමෙරිකානුවන් සිතන්නේ යුරෝපය ද තුන්වන ලෝකයේ ම කොටසක් කියා බවයි!

අමෙරිකාව ආන්තික උදාහරණයක්. බටහිර යුරෝපයේ නැතිනම් ඉන්දියාවේ වැසියන් බොහෝ දෙනෙකුට නම් තම රට හා ලෝකය ගැන සෑහෙන අවබෝධයක් තිබෙනවා. ඔවුන් තමන්ගේ ජාතිකාභිමානය ඔස්සේ තම රට ගැන අධිතක්සේරුවකට යන්නේ නැහැ. එසේම කුමන්ත‍්‍රණවාදී තර්ක අවිචාරශීලී ව පිළි ගන්නේ ද නැහැ. (එයට අති සමතුන් වන්නේ පාකිස්ථානය හා බංග්ලාදේශ් රටවල වැසියන්. එරටවල බොහෝ උගතුන් පවා තමන්ගේ රටට වින කරන්නට මුලූ ලොවම කැස කවන බව විශ්වාස කරනවා.)

10 February 2013: සිවුමංසල කොලූගැටයා #104: බලන සැම තැන කුමන්ත‍්‍රණවලින් සපිරි දේශයක්!

ලිං මැඩියාවේ විවිධ පැතිකඩ කලින් කලට මෙරට ප‍්‍රචලිත වනවා. පුරා විද්‍යාත්මකව කිසිදු සාක්‍ෂියක් නැති ජනප‍්‍රවාදයක් වන රාවණා රජු හා ඔහුගේ හපන්කම් ගැන අද දවසේ සංසරණය වන කථා මෙයට උදාහරණයක්.

L to R - Nirmal Ranjith Dewasiri, K S Sivakumaran, Liyanage Amarakeerthi

L to R – Nirmal Ranjith Dewasiri, K S Sivakumaran, Liyanage Amarakeerthi

බොහෝ දෙනා තම රටේ ඉතිහාසය උල්ප්පා දැක්වීමට කැමතියි. එහෙත් අතිශයෝක්තියෙන් ඔබ්බට යන බෙහෙවින් අභව්‍ය සිදුවීම් අපට සැළකිය හැක්කේ ප‍්‍රබන්ධ හැටියට පමණයි. තමන් කැමති ඕනෑම ෆැන්ටසියක් ඇදහීමට පුද්ගල නිදහස ඇතත් එය යොදා ගෙන පොදු අවකාශයේ හා මාධ්‍ය හරහා ජනතාව නොගම යැවීම සාරධර්ම විරෝධීයි.

රාවණා ප‍්‍රවාදයන් ගැන මෙරට බොහෝ සැබෑ පුරාවිද්‍යාඥයන් හා ඉතිහාසඥයන් නිහඬව සිටින පසුබිමක කොළඹ සරසවියේ ඉතිහාසය පිළිබඳ පර්යේෂක ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි එය ප‍්‍රසිද්ධියේ විචාරයට ලක් කිරීම ඉතා වැදගත්. (2014 සැප් 14 රාවයේ පළ වූ ඔහුගේ ලිපිය කියවන්න.)

නිර්මාල් රංජිත් දේවසිරි හා ලියනගේ අමරකීර්ති වැනි ද්විභාෂික වියතුන් අපේ සරසවිවල දුර්ලභයි. ලිංමැඩියාව තවත් ප‍්‍රවර්ධනය කරන මධ්‍යස්ථාන බවට අපේ සරසවි පත්ව ඇත්තේ එනිසායි.

Advertisements

සිවුමංසල කොලූගැටයා #164: දකුණු ආසියාව කුල්මත් කළ හුරුබුහුටි මීනා

This week’s Ravaya column (in Sinhala) is about the Meena Communication Initiative, which used animations and popular culture to discuss serious messages related to the girl child in South Asia.

I covered the same ground in an English column some weeks ago: January 2014: When Worlds Collide 96: Before Malala Came Meena…

Meena and Mithu

මීනා කෙලිලොල් හා හුරුබුහුටි දැරියක්. වයස අවුරුදු 9 – 10ක් පමණ ඇති. ඇයට වැඩිමහලූ අයියා කෙනකුත්, අතදරු වියේ පසු වන නංගි කෙනකුත් ඉන්නවා. ඇගේ මව, පියා සහ ආච්චි සමග පවුල වාසය කරන්නේ සරල ගැමි ගෙදරක. ඔවුන්ගේ ගම්මානය දකුණු ආසියාවේ යම් තැනෙක, ඕනෑම තැනෙක විය හැකියි.

ඇත්තටම කිවහොත් මීනා කාටූන් චරිතයක්. එහෙත් ගෙවී ගිය දශක දෙක පුරා මීනාගේ කථා ටෙලිවිෂන් හා චිත‍්‍රකථා පොත් හරහා රස විදින මිලියන් ගණනක් දකුණු ආසියාවේ දරු දැරියන්ට හා වැඩිහිටියන්ට නම් මීනා ඇතුඵ පවුලේ උදවිය හරියට ජීවමාන චරිත වගෙයි.

එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල හෙවත් යුනිසෙෆ් (Unicef) ආයතනය ලොව දක්‍ෂ කාටූන් ශිල්පීන් හා සන්නිවේදනක පිරිසක් සමග එක්ව නිර්මාණය කළ මීනා කථා මාලාව, මෑත කාලයේ සංවර්ධන පණිවුඩ හා ජනපි‍්‍රය සංස්කෘතිය මනා සේ යා කළ සාර්ථක උත්සාහයක්.

1990දී ලෝකයේ රාජ්‍යයන් විසින් සම්මත කර ගත් ළමා අයිතිවාසිකම් පිළිබඳ ලෝක සම්මුතියේ කියැවෙන විවිධ අයිතීන් දකුණු ආසියාතික දැරියන්ට අදාල වන ආකාරය ගැන මීනා කථාවලින් රසවත්ව විවරණය කරනු ලැබුවා. නීති හෝ පිළිවෙත් ගැන කිසිවක් සඳහන් නොකොට එය මුළුමනින් ම මතු කරන්නේ කථා හරහායි.

දකුණු ආසියාවේ (සාක් කලාපයේ) රටවල ගැහැණු දරුවන් මුහුණ දෙන අභියෝග හා ඔවුන්ට නිසි අයිතීන් හා රැකවරණය ලබා දෙන්නට සමාජයට ඇති වගකීම් ගැන සරලවත්, විචිත‍්‍රවත් කියා දෙන මීනා කථා ඇරඹුණේ 1990 දශකය මුලදී බංග්ලාදේශයෙන්. ඇගේ මාධ්‍ය චාරිකාව මුල් යුගයේ පටන් මහත් ඕනෑකමින් අධ්‍යයනය කළ කෙනකු ලෙස මා එය සැකෙවින් බෙදා ගන්නට කැමතියි.

Meena originator Neill McKee

Meena originator Neill McKee

මීනා චරිතයේ හා කථා මාලාවේ නිර්මාතෘවරයා කැනේඩියානු ජාතික සන්නිවේදක නීල් මැකී (Neill Mckee). 1990 දශකය ඇරැඹෙන විට ඔහු යුනිසෙෆ් ආයතනයේ බංග්ලාදේශ් කාර්යාලයේ සන්නිවේදන ප‍්‍රධානියාව සිටියා.

ගතානුගතික දකුණු ආසියාතික ජන සමාජයන්හි පිරිමි දරුවන්ට ලැබෙන සැළකිල්ල හා ප‍්‍රමුඛත්වය බොහෝ විට එම පවුල්වල ගැහැණු දරුවන්ට නොලැබීම යුනිසෙෆ් අවධානයට ලක්ව තිබුණා. මේ නිසා ගැහැණු දරුවන්ගේ අධ්‍යාපනය, සෞඛ්‍යය, පෝෂණය හා අනාගතය අඩාල වන බවත්, මේ සමාජයීය ආකල්ප ටිකෙන් ටික වෙනස් කළ යුතු බවත් යුනිසෙෆ් තේරුම් ගත්තා.

මෙබඳු කිදා බැස ගත් ආකල්පවලට එක එල්ලේ එරෙහි වීම හෝ පණ්ඩිත විවේචන කිරීම සාර්ථක නොවන බවත් නීල් මැකී දැන සිටියා. කථාන්දර ස්වරූපයෙන්, ලිහිල් විලාසයකින් මේ ගැඹුරු පණිවුඩය ගෙන යාමට යුනිසෙෆ් තීරණය කළා.

මේ වන විට සාර්ක් කලාපයේ රාජ්‍යයන් ද මේ ගැන අවධානය යොමු කර තිබුණා. 1990 වසර ගැහැණු දරුවන් පිළිබඳ සාක් වර්ෂය (SAARC Year of Girl Child) ලෙස නම් කරනු ලැබුවා.

මීනා චෙකොස්ලොවාකියාවේ ප‍්‍රාග් නුවර දී පිළිසිඳ ගෙන, බංග්ලාදේශයේ අගනුවර ඩාකාහිදී උපත ලැබුවා යයි කිව හැකියි. හේතුව මේ අදහස මුලින්ම මැකීගේ මනසට ආවේ ප‍්‍රාග් නුවර සමුඵවකට සහභාගී වන අතර බැවින්.

ආපසු ඩාකා නුවරට පැමිණි මැකී සෙසු කාර්ය මණ්ඩලයත් සමග දිගින් දිගට මේ ගැන සාකච්ඡා කළා. හුරුබුහුටි දැරියක් කථා නායිකාව කර ගෙන, ඇගේ පවුල හා ගම පසුබිම් කර ගත් කාටූන් කථා මාලාවක් නිර්මාණය කරන්නට ඔවුන් තීරණය කළා. මේ සඳහා ආයතනය තුළ අරමුදල් නොසෑහුණු බැවින් විවිධ ආධාර ආයතනවලින් එයට මුදල් සොයා ගන්නට ද මැකී වෙහෙසුණා.

ආණ්ඩු සාමාජිකත්වය දරණ අන්තර් රාජ්‍ය ආයතනයක් ලෙස යුනිසෙෆ් කි‍්‍රයාත්මක වන්නේ රජයන්ගේ අනුදැනුම ඇතිවයි. දකුණු ආසියාවේ කොයි කාටත් තේරෙන, සමීප නමක් සෙවූ යුනිසෙෆ් කණ්ඩායම මීනා නම තෝරාගෙන එයට සාක් රටවල නිල අනුමැතිය ලබා ගත්තා.

Best friends - Meena and Mithu

Best friends – Meena and Mithu

කථා රසය වැඩි කරන්නට මීනාට සුරතල් සතෙකු සිටිය යුතු යයි ඔවුන් තීරණය කළා. මුලින් යෝජනා වූයේ හීලෑ කළ රිලා පැටවෙකු වුවත් එයට ශී‍්‍ර ලංකා රාජ්‍ය නියෝජිතයන් එකඟ නොවු නිසා කටකාර ගිරවකු තෝරා ගත් බව මැකී ලියා තිබෙනවා. මිතූ (Mithu) යයි නමක් දෙනු ලැබු මේ ගිරවා මීනා යන සැම තැනම යන, ඇයට ඉතා ලෙන්ගතු සුරතලෙක්.

මීනාගේ පෙනුම හා ඇඳුම් ද හැම දකුණු ආසියාතික රටකට ම සමීප වීම සඳහා නිර්මාණකරුවන් විශේෂ උත්සාහයක් ගත්තා. සාරියක්, සල්වා කමීසයක් වැනි සංස්කෘතික වශයෙන් එක් රටකට දෙකකට ආවේණික ඇඳුමක් වෙනුවට එතරම් සුවිශේෂි නොවන ලිහිල් කලිසමක් හා කමිසයක් ඇයට ලබා දුන්නා.

මේ පෙනුම ඇතුළු අනෙක් සියුම් කාරණා නිර්ණය කිරීමට පෙර ඉතා පුළුල්ව මත විමසීම් ගවේෂණ කරනු ලැබුවා. සාක් රටවල කුඩා කණ්ඩායම් රැස්වීම් 200ක් පමණ පවත්වා බාල හා වැඩිහිටි 10,000කට වැඩි පිරිසකගේ රුචි අරුචිකම් විමසා බැලූ බව මැකී කියනවා.

මෙතරම් පේ‍්‍රක්‍ෂක පර්යේෂණ මත පදනම්ව නිර්මාණය වූ කාටූන් කථා අපේ කලාපයේ දුර්ලභයි. (එහෙත් වෝල්ට් ඩිස්නි වැනි ලොකු සමාගම් අළුත් නිර්මාණයක් කරන්නට පෙර සැම විටම පුළුල්ව පර්යේෂණ කරනවා.)

මීනා වසන ගම්මානයත් දකුණු ආසියාවේ ඕනෑම රටක තිබිය හැකි ආකාරයේ පෙනුමක් සහිතයි. ගතානුගතික වැඩවසම් මානසිකත්වය ඇති අය මෙන් ම වඩාත් විවෘත මනසකින් යුතු පාසල් ගුරුවරිය වැනි චරිත ද එහි හමු වනවා.

Meena chief animator Ram Mohan

Meena chief animator Ram Mohan

මේ චරිත රූප බවට පත් කොට කාටූන් කථා බිහි කරන්නට යුන්සෙෆ් ඇරයුම් කළේ ඉන්දියාවේ ප‍්‍රවීණතම කාටූන් චිත‍්‍රපට අධ්‍යක්‍ෂවරයෙකු වූ රාම් මෝහන්ටයි ( Ram Mohan). ඔහු 1956 සිට මේ ක්‍ෂෙත‍්‍රයේ නියැලී සිටි කෙනෙක්. උපදේශක මට්ටමින් ඇමරිකාවේ ප‍්‍රකට කාටූන් සමාගමක් වන හැනා-බාබරා චිත‍්‍රාගාරය (Hanna-Barbera Productions) ද ෆිලීපිනයේ ෆිල්කාටූන් සමාගම (Fil-Cartoons) ද සම්බන්ධ කර ගනු ලැබුවා. එහෙත් මේ නිර්මාණය 90%ක්ම දකුණු ආසියාතික නිර්මාණයක්.

‘‘අප විවිධාකාර හැඩතල නිර්මාණය කරමින් විවිධ ජන පිරිස් වලට ඒවා පෙන්නුවා. ඔවුන් වැඩි දෙනෙකු පි‍්‍රය කළ රසය එකතු කොට මීනාගේ පවුල, ගම හා කථා මාලාව බිහි කළා’’ රාම් මෝහන් කියනවා. මෙය වසර දෙකක් ගත වූ සාමුහික ව්‍යායාමයක්.

මුල් ම මීනා කථාව වූයේ Count Your Chicken (කුකුළු පැටවුන් ගණන් කරමු). අයියා (රාජු) පාසල් යවන නමුත් ගැහැණු දරුවෙකු නිසා මීනා පාසල් නොයවා ගෙදර තබා ගන්නවා. ඒත් අයියා පසුපස පාසල දක්වා යන මීනා, පන්ති කාමරයට පිටත සිට පාඩම් අසා සිටිනවා. එසේ දුර සිට උගත් ගණන් කිරීමේ හැකියාව ප‍්‍රායෝගිකව පාවිච්චි කොට කුකුල් හොරකු අල්ලා දෙන මීනා ගැන පැහැදෙන ඇගේ දෙමවුපියෝ ප‍්‍රමාද වී හෝ ඇයත් පාසල් යවනවා.

දෙවැනි කථාවට පාදක වූයේ රසවත් අඹ ගෙඩියක් ගෙදර ගෙනවිත් එයින් වැඩි පංගුව අයියාටත් ඇබිත්තක් පමණක් මීනාටත් දීමේ සිද්ධියයි. ගැහැණු දරුවාට එළිපිටම අඩු සැළකිලි දීමේ සම්ප‍්‍රදාය මේ කථාවෙන් හීන් සීරුවේ අභියෝගයට ලක් කැරෙනවා.

විනාඩි 10-15ක් පමණ දිගට දිවෙන මීනා කාටූන් කථා මුල් වටයේ 13ක් නිර්මාණය කළා. ඒවා ඉංගී‍්‍රසි, හින්දි, උර්දු, බංග්ලා, නේපාලි, දෙමළ, සිංහල වැනි භාෂා ගණනාවකට හඬ කවා එක් එක් රටවල ටෙලිවිෂන් නාලිකාවලට නොමිලයේ බෙදා හරිනු ලැබුවා.

Who's Afraid of the Bully

Who’s Afraid of the Bully

ප‍්‍රතිශක්තිකරණය, සනීපාරක්‍ෂාව, බාල වයස්කරුවන්ගෙන් වැඩ ගැනීම, ආපදාවලින් සුරැකීම, සෙල්ලම් කිරීමට දරු දැරියන්ට ඇති අයිතිය, අඩු වයසින් දැරියන් විවාහ කර දීම, HIV/AIDSවලින් ආරක්‍ෂා වීම වැනි තේමා යටතේ මීනා කාටූන් කථා නිපදවනු ලැබුවා. ඒ හැම එකක්ම සංවේදීව හා නිවැරදිව අදාල කරුණු කථානුසාරයෙන් ඉදිරිපත් කළා. මෙය ලෙහෙසි පහසු වැඩක් නොවෙයි.

ටෙලිවිෂන් කාටූන් මාලාවට අමතරව එම කථා චිත‍්‍ර කථා පොත් පෙළක් ලෙස ද මුද්‍රණය කොට විවිධ භාෂාවලින් බෙදා හරිනු ලැබුවා. බංග්ලාදේශය මුල් කර ගෙන ඇරඹුණත් 1995 වන විට මීනා සන්නිවේදන ව්‍යාපෘතිය සියළු සාක් රටවලට ව්‍යාප්ත වුණා.

එහිදී වැදගත් මෙහෙවරක් ඉටු කළේ මීනා ව්‍යාපෘති කළමනාකරු ලෙස කත්මන්ඩු නුවර යුන්සෙෆ් දකුණු ආසියාතික කලාපීය කාර්යාලයට පත්ව ආ කි‍්‍රස්ටියන් ක්ලාක් (Christian Clark). කලකට පෙර ලෝක ප‍්‍රකට සෙසමි ස්ටී‍්‍රට් ළමා ටෙලිවිෂන් වැඩසටහනේ පිටපත් රචකයෙකු හා කාටුන් ශිල්පියෙකු ද වූ ඔහු කාටුන් හරහා සමාජයට වැදගත් තොරතුරු හා පණීවුඩ දීමේ විභවය මනාව හඳුනාගෙන සිටියා.

‘කිසි විටෙක කථා රසය පලූදු වන ආකාරයෙන් තොරතුරු වැඩි කිරීමට හෝ පණිවුඩ දීමේ අරමුණින් දේශනා පැවැත්වීමට හෝ අප ඉඩ දුන්නේ නැහැ,’ මා හමු වූ විටෙක ඔහු ආවර්ජනය කළා.

කෙටි කලකින් මීනා කථා දකුණු ආසියාව පුරා කෙතරම් ජනපි‍්‍රය වී ද යත් එය ආදර්ශයට ගෙන සාරා නම් අපි‍්‍රකානු කථා මාලාවක් ද පසුව නිර්මාණය කරනු ලැබුවා. ඒ හරහා මෙබඳු ම වැදගත් පණිවුඩ අපි‍්‍රකානු සමාජයන්ට දෙන්නට යුන්සෙෆ් අපි‍්‍රකානු කාර්යාල උත්සාහ කළා. මීනාට වඩා ටිකක් වැඩිමහලූ සාරා දැරියට වයස 13යි. සිංගෝ නම් හුරතල් රිලා පැටියෙකු ඇයට සිටිනවා.

‘කාටූන් චරිත හැටියට මීනා හා සාරා තීරණාත්මක සමාජ සන්නිවේදනයක පෙර ගමන්කරුවන් වුණා. බොහෝ ගතානුගතික සමාජවල විවෘතව එක එල්ලේ සාකච්ඡා කළ නොහැකි ආකල්ප ගැන නැවත සිතා බැලීමකට ඒ හරහා යොමු කළා.’ නීල් මැකී හා කි‍්‍රස්ටියන් ක්ලාක් පසු කලෙක සිය අත්දැකීම් සමාලෝචනය කරමින් ලියා තැබුවා.

කාටූන් නිසා ළමා මනස අයාලේ යනවා යයි සිතන අයට මීනා අළුත් මානයක් පෙන්වා දෙනවා. තවත් කාටූන් නිර්මාණකරුවන් මේ මාර්ගයේ යනවා නම් කෙතරම් අපූරුද?

මීට වසර 15කට පමණ පෙර පාලිත ලක්‍ෂ්මන් ද සිල්වා ළමා අයිතිවාසිකම් විදහා දැක්වෙන කෙටි (විනාඩියේ) කාටුන් මාලාවක් නිර්මාණය කළා. සිබිල් වෙත්තසිංහගේ චිත‍්‍ර යොදා ගෙන කළ මේ නිර්මාණය සීමිත සම්පත් හරහා මීනා ගිය මග යන්නට ගත් දේශීය උත්සාහයක්.

 

Meena: Count your Chickens

Will Meena Leave School?

Meena: Too young to Marry

Posted in Animation, Bangladesh, Campaigns, children, Communicating development, Eco-friendly living, film-makers, film-making, Health, HIV/AIDS, India, Innovation, MDG, Media, Nepal, Pakistan, public interest, Ravaya Column, Sanitation, South Asia, Sri Lanka, Story telling, Sustainable Development, Television, United Nations, women, youth. Tags: , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , . 4 Comments »