සිවුමංසල කොලූගැටයා #171: දුම්වැටියේ මායාව හා යථාර්ථය

In this week’s Ravaya column (in Sinhala), I explore the formidable policy dilemmas posed by tobacco control in Sri Lanka. I argue that it isn’t a simple or simplistic battle between ‘good’ and ‘evil’ as anti-tobacco activists would make us believe.

There is no doubt that tobacco kills many smokers — and some non-smokers, too. Yet starting, continuing or quitting smoking is a personal lifestyle choice which, at least in democracies, governments can’t legislate. As long as tobacco remains a legitimate trade, education and persuasion must complement legal regulation.

I covered similar ground in English in a recent column: When Worlds Collide #109: Huffing and puffing over Tobacco in Sri Lanka

May 31 is World No Tobacco Day

දුම්කොළ පිටු දැකීම සඳහා ලෝක දිනය (World No Tobacco Day) යළිත් වරක් මැයි 31 වනදා සමරනු ලැබුවා.

එයට මූලික වන ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) කියන හැටියට දුම් කොළ භාවිතය (දුම්පානය හා දුම්කොළ විකීම) නිසා හට ගන්නා බරපතල රෝග නිසා වසරකට අඩු තරමින් මිලියන් හයක් (ලක්‍ෂ 60ක්) දෙනා අකාලයේ මිය යනවා. මේ අතරින් ලක්‍ෂ හයක් සෘජුව නොව දුම් පානය කරන්නන් අසල සිටීම නිසා නිෂ්කී‍්‍රය නැතහොත් අනියම් දුම් පානයට ලක් වන අයයි.

‘‘දුම් පානය හා දුම් කොළ ඇබ්බැහිකම දැන් ලෝකයේ වළක්වා ගත හැකි සාධකයකින් ඇති වන විශාලතම සෞඛ්‍ය තර්ජනයයි. මෙය පාලනය කර නොගතහොත් 2030 වන විට වසරකට ලොව පුරා මිලියන අටක් (ලක්‍ෂ 80ක්) මිය යනු ඇති. ඔවුන්ගෙන් බහුතරයක් (80%කට වඩා) සිටින්නේ අඩු හා මධ්‍යම ආදායම් ලබන රටවලයි’’ WHO කියනවා.

ශ‍්‍රී ලංකාවේත් මහජන සෞඛ්‍යයට ප‍්‍රබල තර්ජනයක් දුම් කොළ හරහා එල්ල වනවා. 2009දී සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නිල ප‍්‍රකාශනයකට (Brief Profile on Tobacco Control in Sri Lanka) අනුව වසරකට දුම්පානය නිසා හට ගන්නා රෝගාබාධ නිසා අවම වශයෙන් 20,000ක් දෙනා අකාලයේ මිය යනවා. සාමාන්‍යයක් ලෙස ගත හොත් දිනකට 56 දෙනකු බැගින්.

එසේම දුම්කොළ ඇබ්බැහිකමින් මතු වන දිගු කාලීන ආබාධවලට ප‍්‍රතිකාර කිරිමට රජයේ සෞඛ්‍ය සේවයට අති විශාල මුදලක් වැය වනවා.

2009 වාර්තාවලට අනුව මෙරට වැඩිහිටි පිරිමින්ගෙන් 39%ක්ද වැඩිහිටි කාන්තාවන්ගෙන් 2.6%ක් ද නිතිපතා දුම්පානය කරනවා. දුම්කොළ පාලනය සඳහා වන ලෝක සම්මුතියට Framework Convention on Tobacco Control (FCTC) ශ‍්‍රී ලංකා රජය අත්සන් කළේ 2003දී. එනම් එය WHO ලෝක සෞඛ්‍ය සම්මේලනයේදී සම්මත කර ගත් වසරේමයි. මේ වන විට ලොව රටවල් 178ක් එයට බැඳී සිටිනවා.

සම්මුතියට අනුකූල වෙමින් බොහෝ පොදු ස්ථානවල දුම්පානය නීතියෙන් තහනම් කොට තිබෙන අතර දුම්කොළ වෙළඳ දැන්වීම්, අනෙකුත් ප‍්‍රචාරණය හා අනුග‍්‍රාහකත්ව ද තහනම්. මේ සඳහා ජාතික දුම්කොළ හා මත්පැන් අධිකාරියක් (NATA) 2006 වසරේ පාර්ලිමේන්තු පනතකින් පිහිටුවනු ලැබුවා.

දුම් පානය පාලනය කිරීමේ අළුත්ම ක‍්‍රමෝපාය නම් සිගරට් පැකට්ටුවල රූපමය අනතුරු ඇඟවීමක් මුද්‍රණය කළ යුතුය යන්නයි. මෙය මීට මාස කිහිපයකට පෙර පාර්ලිමේන්තුවේ සම්මත වී ගැසට් කරනු ලැබුවේ පැකට්ටුවේ මතු පිටින් 80%ක් එවන් අනතුරු ඇඟවීමකට යෙදවිය යුතුය කියායි.

එහෙත් එයට අභියෝග කරමින් මෙරට දුම්වැටි ඒකාධිකාරය හිමි ලංකා දුම් කොළ සමාගම (CTC) අභියාචනාධිකරණය වෙත ගියා. දෙපාර්ශවයේම තර්ක සලකා බලා අධිකරණය තීරණය කළේ රූපමය අනතුරු ඇඟවීම මතු පිටින් 50-60%ක් දක්වා යොදා ගෙන කළ යුතු බවයි.

මෙම තීරණය සෞඛ්‍ය අමාත්‍යවරයා පිළිගත් නමුත් ප‍්‍රශ්නය එතැනින් මුළුමනින් විසඳී නැති බවත් පෙනෙනවා. රූපමය අනතුරු ඇඟවීම 80%ක් ම කළ යුතු යයි තරයේ කියා සිටින ක‍්‍රියාකාරිකයන් සිටිනවා.

WHO encourages pictorial warnings

මෙරට වෛද්‍ය වෘත්තිය නියෝජනය කරන ප‍්‍රධානතම වෘත්තික සංවිධානය වන ශ‍්‍රී ලංකා වෛද්‍ය සංගමය (SLMA) කියන්නේත් 80% අනතුරු ඇඟවීමට ඔවුන් සම්පූර්ණ සහයෝගය දෙන බවයි.

දුම් පානයට එරෙහිව අරගල කරන වෛද්‍යවරුන් හා අනෙකුත් ක‍්‍රියාකාරිකයන්ගේ අවංක බව හා කැපවීම ගැන කිසිදු විවාදයක් නැහැ. කිසිදා දුම්පානය නොකළ හා නිෂ්ක‍්‍රීය දුම්පානයෙන් නිතර බැට කා ඇති ඇදුම රෝගියකු වන මා, දුම්කොළ නිවාරණයට පෞද්ගලිකව පක්‍ෂයි. එහෙත් සමාජ අරගල කළ යුත්තේ යථාර්ථවාදීව හා ප‍්‍රායෝගික තලයක සිටයි.

සිගරට් පැකට්ටුවල වාචික හා රූපමය අනතුරු ඇගවීම් ප‍්‍රදර්ශනය කිරීම කලක් තිස්සේ දියුණු බටහිර හා ආසියාතික රටවල කැරෙන මහජන අධ්‍යාපන උපක‍්‍රමයක්. එහෙත් මෙරටට මේ උපක‍්‍රමය ගැලපෙනවා ද යන්න ප‍්‍රශ්නයක්.

හේතුව ආර්ථික සාධක නිසා අපේ දුම්බොන්නන් බහුතරයක් සිගරට් මිළට ගන්නේ සිල්ලරට. වරකට එකක් හෝ කිහිපයක් බැගින්. මුළු පැකට්ටුවම එකවර මිලට ගන්නේ 5%ක් පමණක් බවත්, අතිබහුතරය (95%) සිල්ලරට ගන්නා බවත් අම්බා පර්යේෂණායතනය (Amba Research) නම් වූ ආර්ථික විශ්ලේෂණ සමාගම හා කොළඹ කොටස් වෙළඳපොල හවුලේ 2013 ඔක්තෝබරයේ නිකුත් කළ වාර්තාවක කියනවා.

ඒ කියන්නේ මෙතරම් වෙර දරා රූපමය අනතුරු ඇඟවීම් මෙරට පටන් ගත්ත ද බහුතරයක් දුම් බොන්නන් අතට අය පත් නොවනු ඇති බවයි! මීට වඩා ප‍්‍රායෝගික විය හැක්කේ සිගරට් විකුණන හැම තැනකම ප‍්‍රබල රූපමය අවවාදයක් හා අනතුරු ඇඟවීමක් කාටත් පෙනෙන සේ ප‍්‍රදර්ශනය කිරිමයි.

සිගරට් වෙළඳාම ගැන මහජන සෞඛ්‍ය ක්‍ෂෙත‍්‍රයේ බරපතල විරෝධතා තිබුණත් එය නීති විරෝධී ව්‍යාපාරයක් නොවෙයි. සිගරට් රටේ නීතිවලට අනුකූලව නිපදවා, නීති රීතිවලින් ඉඩදී ඇති පරිදි බෙදා හැර අලෙවි කැරෙන භාණ්ඩයක්. දුම්කොළ සමාගම් සූක්‍ෂම ලෙසින් කලා, ක‍්‍රීඩා හා වෙනත් ක්‍ෂෙත‍්‍රවලට බලපෑම් කරන බවට තර්කයක් කලක සිට තිබෙනවා. එහෙත් මෑත වසරවලදී අනියම් ප‍්‍රචාරණය පවා නීතිරීති මගින් දැඩි ලෙස සීමා කොට තිබෙනවා.

දැන් නීතියෙන් කළ හැකි වැඩ කොටස සංතෘප්ත වී ගෙන එන බවත්, ඉතිරිය දැනුවත් කිරීම හා නම්මවා ගැනීම හරහා සිදු විය යුතු බවත් පිළිගත යුතුයි.

SLMA සභාපති වෛද්‍ය පාලිත අබේකෝන් හා එහි දුම්පානය හා මත්පැන් පිළිබඳ විද්වත් කමිටුවේ සභාපති මහාචාර්ය නාරද වර්ණසූරිය මෑතදී පුවත්පත් ප‍්‍රකාශයක කීවේ ‘‘මෙරට මත්පැන්, මත්ද්‍රව්‍ය හා චර්යාව සම්බන්ධ අන් සියලූ සාධකවලට වඩා විශාල හානියක් වන්නේ දුම් පානයෙන් නිසා එයට ප‍්‍රමුඛතාවයක් දීම අවශ්‍යයි.’’

රාජ්‍ය නොවන සංවිධානයක් වන මත්පැන් හා මත්ද්‍රව්‍ය තොරතුරු කේන්‍ද්‍රය (ADIC) මෙරට දුම්පානය හා මත්පැන් පානය ගැන වසරකට දෙවතාවක් බැගින් වෙනම සමීක්‍ෂණ පවත්වනවා. 1998 සිට සිදු කර ඇති සමීක්‍ෂණ ප‍්‍රතිඵල අනුව පෙනෙන්නේ දුම්පානය කරන ජන ප‍්‍රතිශතය ටිකෙන් ටික අඩුවන බවයි. එසේම ලාබාල හා තරුණ කොටස් අතර එය වඩාත් අඩු බව ද පෙනෙනවා.

Sri Lanka tobacco use trend 2000-2012 as seen in ADIC surveys [Full reports at: http://www.adicsrilanka.org/publication/]
Sri Lanka tobacco use trend 2000-2012 as seen in ADIC surveys. Full reports at: http://www.adicsrilanka.org/publication/
දැනට ප‍්‍රකාශිත අන්තිම සමීක්‍ෂණය කළේ 2013 ජූලි මාසයේ මෙරට දිස්ත‍්‍රික්ක 10කයි. වයස 14ට වැඩි පිරිමි 2,465 දෙනකු එයට හවුල් කර ගනු ලැබුවා. එහි ප‍්‍රතිඵලවලින් මෙරට දුම්පානයේ ප‍්‍රවණතා ගැන දළ ඉඟියක් ලද හැකියි.

දැනට දුම්පානය කරන අයගේ ප‍්‍රතිශතය සාම්පලයෙන් 32.5%ක් වුණා. එහෙත් වයස 40ට වැඩි පිරිස අතර එය 36.7%ක් වූ අතර වයස 15-24 අතර පිරිසේ දුම්පානය කළේ 26.9%ක් පමණයි.

දුම්බොන අයගෙන් සියයට 70ක් දෙනා දිනපතාම සිගරට් බොනවා. බහුතරයක් (තුනෙන් දෙකක්) එබඳු අය සිගරට් 5ක් හෝ ඊට අඩුවෙන් දිනකට පානය කරනවා.

සිගරට් බොන අයගෙන් තුනෙන් එකකටම ඒ සඳහා හරිහමන් හේතුවක් නැහැ. තවත් 31% කීවේ පුරුද්දට දුම් බොන බවයි. ඉතිරි හේතුන් වූයේ සන්තෝෂයට (19%), සමාජශීලි වන්නට (14%), ප‍්‍රශ්න අමතක කරන්නට (3.4%) හා මිතුරු බලපෑම් නිසා (1.1%).

දැනට දුම්පානය කරන අයගෙන් 60%ක්ම යම් අවස්ථාවක එම ඇබ්බැහිකම නතර කිරීමට උත්සාහ කර ඇතත් එය සාර්ථක වී නැහැ. මෙයින් පෙනෙන්නේ සෞඛ්‍ය අධ්‍යාපනය හා සදාචාරාත්මක සාධක ඉක්මවා යන මානසික හා සමාජයීය සාධක මෙහි ක‍්‍රියාත්මක වන බවයි. මේවා සියුම්ව ග‍්‍රහණය කිරීම වැදගත්.

හැම සමීක්‍ෂණයක ම එයට ආවේණික වූ සීමාවන් තිබෙනවා. එහෙත් හුදෙක් මතවාදයන් හා ආවේග මත දුම්වැටි විරෝධී ව්‍යාපාරයන් ගොඩනංවනවා වෙනුවට ADIC ඇතුළු විවිධ ආයතන සිදු කර ඇති සමීක්‍ෂණ හා මෙරට වෙළඳපොළ යථාර්ථය මත පදනම් වීම වඩාත් සාර්ථක ප‍්‍රතිඵල ලබාදිය හැකියි.

දුම් පානය ගැන විවාදයට එක් වෙමින් ප‍්‍රවීන ලේඛක, තීරුලිපි රචක හා නිවහල් චින්තකයකු වන ගාමිණී වියන්ගොඩ 2014 මැයි 31 රාවයේ කීවේ: ‘‘ මගේ තර්කය වන්නේ දුම් පානය සම්බන්ධයෙන් තිබිය යුත්තේ සෞඛ්‍ය සහ ආර්ථික විද්‍යා ගැන සැළකිලිමත්වීම මිස, ආගමික හෝ සදාචාර කොක්කක එල්ලීම නොවන බව පමණි. එහෙත් වෙනත් ලෞකික තහංචි සේම මේ දුම්පාන විරෝධයත් අප වෙත එන්නේ, එක්තරා ආගමික/පාරිශුද්ධවාදී හැඟීමකිනි. වරද ඇත්තේ එතැනයි.’’

මෙයට මාත් එකඟයි. සෞඛ්‍ය විද්‍යාත්මකව දුම්පානයට එරෙහි වීමට ඕනෑවටත් වඩා ප‍්‍රබල සාක්‍ෂි සමුදායක් තිබියදී අපේ වෛද්‍යවරුන් හා සමාජ ක‍්‍රීයාකාරිකයන් මෙසේ සදාචාරය ඈඳා ගැනීම අනවශ්‍ය ලෙස මේ සංවාදය ව්‍යාකූල කිරීමක්.

සමාජයක් ලෙස අපට කළ හැක්කේ පොදු අවකාශයන්හි නිෂ්ක‍්‍රීය දුම්පානයේ අවදානම තුරන් කිරීමත්, දුම්පානයෙන් අත්මිදෙන්නට යන්තමින් හෝ ඕනෑකමක් ඇති අයට (අනවශ්‍ය සුචරිතවාදී කථා නොකියා) එයට අවශ්‍ය මනෝවිද්‍යාත්මක හා සෞඛ්‍යමය අත්වැලක් සැපයීමත් පමණයි.

දුම්වැටි විරෝධය හුදෙක් ලය හෝ හෘද විශේෂඥ වෛද්‍යවරුන්ට පමණක් කළ හැකි දෙයක් නොවෙයි. දුම්බොන්නන්ගේ මානසිකත්වය හරි හැටි තේරුම් ගැනීමට මනෝ විද්‍යාඥයන් හා සමාජ විද්‍යාඥයන්ගේ සහාය අවශ්‍යයි. මෙය අපේ කාලයේ ප‍්‍රබල සන්නිවේදන අභියෝගයක් ලෙස සලකමින්, සුචරිතවාදය වෙනුවට සියුම් තර්ක හරහා දුම්පානය කරන අය සමග සංවාදශීලි විය යුතුයි. ඔවුන් සැවොම ඉක්මනින් තම චර්යාව වෙනස් නොකරන බවත් සිහිතබා ගත යුතුයි.

ප‍්‍රශස්ත සන්නිවේදනයේ මූලික අවශ්‍යතාවයක් වන්නේ තමන් අමතන්නාගේ අවධානය යොමු කරවා ගෙන ඉන් පසු ඔවුන්ගේ සිත් දිනා ගැනිමයි. අනගාරික ධර්මපාලයන් මීට සියවසකට පෙර කළා යයි කියන ආකාරයේ පරුෂ වචන යොදා ගෙන බැන වැදීම අද සංකීර්ණ සමාජයන්හි පිළිගත හැකි හෝ සාර්ථක ක‍්‍රමයක් නොවෙයි. (එකල පවා එය සාර්ථක වූවා ද යන්න සැක සහිතයි!)

දුම් පානය කරන්නවුන් මෝඩයන්වත්, පාපතරයන්වත් නොවෙයි. ඔවුන්ට නිග‍්‍රහ කිරීමෙන් හෝ සමච්චල් කිරීමෙන් හෝ ඒ පුරුද්දෙන් ඔවුන් අත්මිදෙනු වෙනුවට බොහෝ විට සිදු වන්නේ ඔවුන්ගේ අධිෂ්ඨානය තවත් තිරසාර වීමයි.

දුම්කොළ සමාගමට බෙදන හැන්දෙන් ම දුම්කොළයට ඇබ්බැහි වූවන්ට ද බෙදීම නිසි ක‍්‍රමෝපායක් නොවන බවත්, වඩාත් සංවේදී හා සංවිධානාත්මක වූ සන්නිවේදනයක් අවශ්‍ය බවත් දුම්කොළ විරෝධීන් අවබෝධ කර ගත යුතුයි.

Infographic courtesy Gulf News
Infographic courtesy Gulf News