සිවුමංසල කොලූගැටයා #126 නෙල්සන් මැන්ඩෙලා: ගමන නොනිමෙයි!

In this week’s Ravaya column (in Sinhala), I pay tribute to Nelson Mandela whose 95th birthday was on 18 July 2013 — which was marked worldwide as Nelson Mandela Day.
See also my English essay published earlier this week:

Waiting for My Own Mandela…not any longer!

(Note: The two cover similar ground, but I don’t translate myself.)

President Nelson Mandela at UN General Assembly Oct 1995 - UNDPI Photo by G  Kinch

‘‘පිටසක්වල බුද්ධිමත් ජීවීන් රැගත් යානයක් පැමිණ ඔබේ ලෝකයේ නායකයා වෙතට අප යොමු කරන්න යැයි ඉල්ලා සිටියොත් මා නොපැකිලාව කියන්නේ නෙල්සන් මැන්ඩෙලා හමු වන්නට කියායි. ඔහු තරම් අපේ මානව සංහතියේ ඉදිරි දැක්ම හා අපේක්‍ෂා සංකේතවත් කළ තවත් නූතන නායකයකු මට නම් සිතා ගන්නට බැහැ.’’

මා එසේ (ඉංගී‍්‍රසියෙන්) ලිව්වේ මීට දශකයකට පමණ පෙර. එය කියවූ බොහෝ දෙනෙකු එයට එකඟ වූයේ දකුණු අපි‍්‍රකානු නායකයා වැනි පරමාදර්ශී චරිතයක් මුඵ ලෝකයේ ම දායාදයක් වන නිසායි. සියඵ මතවාද පසෙක දමා අප නෙල්සන් මැන්ඩෙලා වෙනුවෙන් එක් සිත් වන්නේ එබැවින්.

මැන්ඩෙලා ජනාධිපති සිටියදී වරක් ඔහුට සජීව ලෙස සවන් දීමේ අවස්ථාව මට ලැබුණා. ඒ 1995 ඔක්තෝබරයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට වසර 50ක් පිරීම නිමිත්තෙන් අමෙරිකාවේ නිව්යෝක් නුවර එජා මූලස්ථානයේ පැවැත් වූ රාජ්‍ය නායක මහ සමුඵවේදී. ලෝක ව්‍යාප්තව තරගකාරී මට්ටමින් පිරිනැමෙන මාධ්‍ය ශිෂ්‍යත්වයක් ලබා මා ඒ දිනවල සිටියේ එජා සංවිධානය අධ්‍යයනය කරමින් හා වාර්තා කරමින්.

1995 ඔක්තෝම්බර් 22-24 තෙදින තුළ රාජ්‍ය නායකයන් හා ආණ්ඩු නායකයන් 150කට අධික සංඛ්‍යාවක් එහි පැමිණියා. ඒ අතර කියුබාවේ ෆිදෙල් කැස්ත්‍රෝ, පලස්තීන නායක යසර් අර්ෆත් ආදී විචිත‍්‍ර චරිත සිටියත් මා ඉතා  ඕනෑකමින් සවන් දුන්නේ නෙල්සන්  මැන්ඩෙලාටයි.

මෙබඳු විශෙෂ අවස්ථාවල හැම රාජ්‍ය නායකයාට ම ලැබෙන්නේ විනාඩි 5ක් පමණයි. අන් බොහෝ නායකයන් සාම්ප‍්‍රදායික රාජ්‍ය තාන්ති‍්‍රක කථා කරද්දී තමන්ට ලැබුණු තත්පර 300න් මැන්ඩෙලා උපරිම ප‍්‍රයෝජන ගත් සැටි මට මතකයි.

එය දාර්ශනික වූත්, කාව්‍යමය වූත් කථාවක්. සියඵ දකුණු අප‍්‍රිකානුවන්, සියඵ අපි‍්‍රකානුවන් මෙන් ම දුප්පත් හා අසරණ ලෝකයේ සැම තැනෙක ම වෙසෙන සියඵ දෙනා වෙනුවෙන් ඔහු කථා කළා. එසේ කථා කිරීමේ සදාචාරමය අයිතියක් ඔහුට තිබූ බවට විවාදයක් නැහැ.

නිව්යෝක්හි ගත කළ සති කිහිපයේ මගේ කාමර සගයා වූයේ එවකට 25 හැවිරිදි වූ, දකුණු අපි‍්‍රකානු විද්යුත් මාධ්‍ය සංස්ථාවේ (SABC) නිෂ්පාදක ඩාන්ටේ මෂීලේ (Dante Mashile). 1990දී වර්ණභෙදවාදී ප‍්‍රතිපත්ති අත් හිටු වන විට ඔහුට වයස 20යි. මේ නිසා කඵ සමක් සහිතව ඉපදීම නිසා ම සිය මවු රටේ විදින්නට සිදු වූ අවමන් හා අසාධාරණකම් ගැන අත්දැකීම් හා මතකයන් ඔහුට තිබුණා.

මැන්ඩෙලා ඇතුඵ ANC (African National Congress) පාක්‍ෂිකයන්ගේ දශක ගණනක අරගලය නිසා නොවන්නට තමා වැන්නකුට කිසි දිනෙක SABC නියෝජනය කරමින් පිටරටකට යන්නට හෝ තමන්ගේ කුසලතාවන්ට සරිලන රැකියාවක නිරත වන්නට හෝ ඉඩ නොලැබෙන බව ඩාන්ටේ පුන පුනා කී දෙයක්.

1994 වසර ඩාන්ටේගේ රටේ මෙන් ම මගේ රටේත් දේශපාලන සංධිස්ථානයක් සනිටුහන් කළා.

1994.04.27දා පැවැත් වූ, දකුණු අපි‍්‍රකාවේ සියඵ වැඩිහිටියන්ට සර්වජන ඡුන්ද බලය හිමි වූ මුල් ම මහ මැතිවරණයෙන් ANC ජයග‍්‍රහණය කළා. එහි නායකයා හැටියට මැයි 10දා නෙල්සන් මැන්ඩෙලා දකුණු අපි‍්‍රකානු ජනාධිපති ලෙස දිවුරුම් දී වැඩ ඇරඹුවා.

ශී‍්‍ර ලංකාවේ ජනාධිපතිවරණ ඉතිහාසයේ එදා මෙදා තුර අපේක්‍ෂකයකු ලද ඉහළ ම ඡුන්ද ප‍්‍රතිශතය (62%) ලබමින් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපති බවට පත් වූයේ ඊට මාස කිහිපයකට පසු 1994 නොවැම්බර් 12දා.

1995 ඔක්තෝබර් වන විටදීත් මේ නායකයන් දෙපළ ගැන අපේක්‍ෂා රැසක් ඩාන්ටේ හා මා වැනි තරුණයන් තුළ පැවතුණා. නිව්යෝක් නුවර වැස්ස හා සීතල මැද්දේ හිමිදිරියේ අපේ දෙරටේ නායකයන් එජා සමුඵව අමතනු අසන්නට අප පෙළ ගැසුණේ ඒ නිසායි. ලෝක ඉතිහාසයේ එතෙක් පැවති ලොකු ම නායක හමුවට දැඩි ආරක්‍ෂක රැකවරණ යොදා තිබුණා.

1994-1999 වකවානුවේ පස් අවුරුදු ධූර කාලයක් නිමා කළ මැන්ඩෙලාට ලෙහෙසියෙන් ම තවත් ධූර කාලයකට නීතමය අවසරය තිබුණා. ජන ප‍්‍රසාදය ද පැවතුණා. එහෙත් බොහෝ අපි‍්‍රකානු නායකයන් මෙන් බලලෝභීව තනතුරේ එල්ලී සිටිනු වෙනුවට ඔහු ගෞරවනීය ලෙස විශ‍්‍රාම ගියා.

ඒ වන විට මුඵ ලෝකයට ම ආදර්ශයක් වන ඉතා ප‍්‍රගතිශීලි නව ව්‍යවස්ථාවක් හා තවත් ජන හිතකාමී රාජ්‍ය ප‍්‍රතිපත්ති රාශියක් ඔහු හඳුන්වා දී තිබුණා. ජනපි‍්‍රයත්වය සඳහා සිල්ලර වැඩ කරනවා වෙනුවට දිගු කාලීනව හිතකර ක‍්‍රමීය වෙනස්කම් කිරීමත්, ඒ සඳහා අවශ්‍ය බහු විධ මත සන්ධානයන් ගොඩ නැගීමත් මැන්ඩෙලාගේ සුවිශෙෂී නායකත්වයේ සළකුණක්.

අඩ සියවසක් තිස්සේ වර්ණභේදවාදී රාජ්‍ය තන්ත‍්‍රයට පෑගී, මිරිකී සිටි බහුතරයක් දකුණු අපි‍්‍රකානුවන් තමන්ගෙන් ඉක්මන් ප‍්‍රතිඵල බලාපොරොත්තු වන බව මැන්ඩෙලා දැන සිටියා. එමෙන්ම ඓතිහාසික අකටයුතුකම් හා අසාධාරණයන් ගැන කල්ගත වී හෝ විභාග කිරීමත්, යුක්තිය ඉටු කිරීමත් අවශ්‍ය බව ඔහු තේරුම් ගත්තා.

එසේ වුවත් දකුණු අපි‍්‍රකාව නිජබිම කර ගත්, බුද්ධිමත් හා කාර්යශූර සුදු හම ඇති විශාල පිරිසක් සිටින බවත්, නව දේශය ගොඩ නැංවීමේදී ඔවුන්ගේ අත්දැකීම් හා දක්‍ෂතා නැතිව බැරි බවත් මැන්ඩෙලා දුරදක්නා නුවණින් වටහා ගත්තා.

මුඵ ලෝකයේ ම ප‍්‍රශංසාවට ලක් වූයේ දශක ගණනක් කඵ ජනයා හිංසනයට හා පීඩනයට ලක් කළ සුදු දකුණු අපි‍්‍රකානුවන් (රාජ්‍ය නිලධාරීන්, ආරක්‍ෂක හමුදා හා පොලිස් නිලධාරීන්, වර්ණභෙදවාදය සාධාරණීකරණය කළ අවස්ථාවාදී විද්වතුන්) සියඵ දෙනාට සමාව දීමේ අසාමාන්‍ය කි‍්‍රයාදාමයයි.

රාජ්‍ය බලය හා පාර්ලිමේන්තු බහුතරය යොදා ගෙන සුදු දකුණු අපි‍්‍රකානුවන්ගෙන් පළි ගැනීමට මැන්ඩෙලාට  ඕනෑ තරම් අවකාශ තිබුණා. වර්ණභෙදවාදය යටතේ දැඩි කොන්කිරීම් හා වද දීම්වලට ලක් වූ ANC පාක්‍ෂිකයන් සමහරුන් ද බල කර සිටියේ එබන්දක් කළ යුතු බවයි.

එහෙත් වෛරීය හෝ ද්වේශ සහගත මාර්ගයක් වෙනුවට සමාව දෙමින් පාඩම් උගැනීමේ මාර්ගයට (forgive, but not forget) අමාරුවෙන් වුවත් මේ විශාල රට යොමු කරන්නට මැන්ඩෙලා සමත් වුණා.

ඔහුගේ නායකත්වය යටතේ මේ ආදර්ශවත් මානුෂීය පිළිවෙත් කි‍්‍රයාත්මක කරන්නට තවත් දේශපාලන හා සමාජ නායකයන් ගණනාවක් ඉදිරිපත් වීම තීරණාත්මක ලෙස බලපෑවා. 1984 නොබෙල් සාම ත්‍යාගය ලද, වර්ණභෙදවාදයට ජීවිත කාලය ම එරෙහි වූ කේප්ටවුන්හි ආච්බිෂොප්වරයා ලෙස කටයුතු කළ ඩෙස්මන්ඞ් ටූටූ (Desmond Tutu) ඒ අතර කැපී පෙනුණා. දකුණු අපි‍්‍රකාවේ සත්‍යය සෙවීමේ හා සංහිදියාවේ කොමිසමේ ප‍්‍රධානියා ලෙස 1995-98 කාලයේ ඔහු දැඩි සංයමයකින් යුතුව මෑත ඉතිහාසයේ මානව හිමිකම් උල්ලංඝනයවීම් විමර්ශනය කළා. (South African Truth and Reconciliation Commission)

මැන්ඩෙලා කිසි දිනක මුණ ගැසී කථා නොකළත් ඔහුගේ කථාව ලොවට කී හා ඔහුගේ අරගලයට සහාය දුන් ලේඛකයන් දෙදෙනකු හදුනා ගන්නට මට අවස්ථාව ලැබුණා. මේ දෙදෙනා ම සමේ වර්ණයෙන් සුදු වීම ඔවුන්ගේ කාර්යයට කිසිසේත් බාධාවක් වූයේ නැහැ.

කි‍්‍රස්ටිනා ස්කොට් (Christina Scott) කැනඩාවේ උපත ලබා පසු කලෙක දකුණු අපි‍්‍රකාවට සංක‍්‍රමණය වූ ලේඛිකාවක් හා රේඩියෝ මාධ්‍යවේදිනියක්. ඇය, මැන්ඩෙලා ගැන චරිතාපදානයක් රචනා කළා. ඔහුගේ ජීවිත කථාව හා නිදහසේ අරගලය ගැන සරල ඉංගී‍්‍රසියෙන් කියැවෙන ඒ කෘතිය සඳහා විවිධ අවස්ථාවල ඇය මැන්ඩෙලා හා ඔහුගේ කාර්ය මණ්ඩලය සමග තොරතුරු ගවේෂණය කළා.

මැන්ඩෙලා හා ANC ගැන 1960 දශකය මැද සරසවි සිසුවකුට සිටින කාලයේ පටන් මහත්  ඕනෑකමින් වාර්තා කරන අනෙක් මිතුරා නම් අමෙරිකානු මාධ්‍යවේදී ඩැනී ෂෙක්ටර් (Danny Schechter). වර්ණභේදවාදයට එරෙහි අරගලය බටහිර මාධ්‍ය වලින් දිගට ම වාර්තා කිරීමේ දී ඔහු ඉමහත් සේවයක් කර තිබෙනවා. South Africa Now නම් ටෙලිවිෂන් කාලීන පුවත් වැඩසටහනක් වසර තුනක් (1988-1991) සතිපතා නිෂ්පාදනය කළ ඔහු මැන්ඩෙලා ගැන ගවේෂණාත්මක වාර්තා චිත‍්‍රපට පහක් ද නිපදවා තිබෙනවා.

ඩැනී කියන්නේ මැන්ඩෙලා සිය දිගු ජීවිතය පුරා යථාර්ථයේ අභියෝගවලට ප‍්‍රතිචාර දක්වමින් පරිනාමය වූ බවයි. තරුණ වියේ රාජ්‍ය හිංසනයට එරෙහිව ඔහු යටිබිම්ගත විප්ලවවාදියකු වුණා. මර්දනකාරී රාජ්‍යයට එරෙහිව සැළසුම් හා ආක‍්‍රමණ කළා. ඉනික්බිති දේශපාලන සිරකරුවකු ලෙස ඔහු වඩාත් තර්කානුකූලව හා සානුකම්පිත ලෙසින් සිය රටේ ගැඹුරට කිදා බැස ගත් බෙදීම්වලට මුල අවබෝධ කර ගෙන විසඳුම් ගවේෂණය කළා.

ප‍්‍රතිපත්තිගරුක එහෙත් ප‍්‍රායෝගික නායකයකු ලෙස මැන්ඩෙලා විවිධ මතධාරී කැරලිකරුවන් හා කි‍්‍රයාකාරිකයන් ඒකරාශී කළා. ඔවුන්ගේ සිතුම් පැතුම් හා අපේක්‍ෂා බිඳ වැටෙන්නට නොදී දිගු ගමනක් ගියා. අන්තිමේ දී මුඵ ලෝකයේ ම සම්මානනීය ජ්‍යෙෂ්ඨ පුරවැසියකු හා සදාදරණීය පරමාදර්ශී චරිතයක් බවට පත් වුණා.

ඩැනී කියන හැටියට: ‘‘මැන්ඩෙලා අංග සම්පුර්ණ මිනිසෙකු නොවෙයි. ඔහුගේ චරිතයේ දුර්වල තැන් තිබුණා. ඔහු සමහර විට නාහෙට නාහන කෙනෙක්. යම් අවස්ථාවල ඔහුගේ ස්ථාවරයන්හි පරස්පර විරෝධතා ද තිබුණා. එහෙත් ඔහුගේ අවංක බව හා කැපවීම පිළිබඳ නම් කිසිවකුත් කිසි විටෙක සැක කළේ නැහැ. තම පාක්‍ෂිකයන්ගේ පමණක් නොව විරුද්ධවාදීන්ගේ පවා ගෞරවයට ඔහු ලක් වූයේ මෙසේ විවෘත මනසකින් සත්‍ය ගරුක වීම නිසා යයි මා සිතනවා.’’

මැන්ඩෙලා තමාට වන්දනාමාන කරන වන්දිභට්ට පිරිසක් (cult) බිහි වන්නට ඉඩ දුන්නේ නැහැ. ඒ වෙනුවට තම චින්තනය හා ඉදිරි දැක්ම ප‍්‍රවර්ධනය කරන ලෝක ව්‍යාප්ත පදනමක් (Nelson Mandela Foundation) හා ජාතියේ මතකය සුරකින ආයතනයක් (Nelson Mandela Centre of Memory) බිහි කරන්නට අනුගාමිකයන් හා අනුග‍්‍රාහකයන් යොමු කළා.

වසර 40ක් පමණ තිස්සේ දකුණු අපි‍්‍රකාවේ සමාජයීය හා දේශපාලන ප‍්‍රවණතා විග‍්‍රහ කරන ඩැනී ෂෙක්ටර් කියන්නේ මැන්ඩෙලා ඇතුඵ ANC පරමාදර්ශවාදීන්(idealists) කලක් තිස්සේ සිහින මැවූ සර්ව සාධාරණ හා සමානාත්මතාවය රජයන දකුණු අප‍්‍රිකාවක් තවම බිහි වී නැති බවයි. සුදු ධනපතියන් පමණක් වෙනුවට සුදු, කඵ හා දුඹුරු ධනපතියන්ට දුගී ජනයා සූරාකෑමට මාර්ගය සැළසුවා යයි ඇතැම් දෙනා මැන්ඩෙලාට දොස් කියනවා.

එහෙත් මහා විනාශයක් අභිමුඛව සිටි සුවිසල් රටක් 1994 මැයි මාසයේ බාර ගෙන, වසර 5ක් තුළ එය දේශපාලන වශයෙන් ස්ථාවර මට්ටමට පත් කිරීම ඔහුගේ ලොකු ජයග‍්‍රහණයක්.

දකුණු අපි‍්‍රකාව යනු අපි‍්‍රකා මහාද්වීපයේ විශාලතම ආර්ථිකයයි. අද එය දියුණු වන ලෝකයේ ප‍්‍රබල ආර්ථිකයන් අතර ප‍්‍රමුඛයි. එහෙත් දුගී දුප්පත්කම, අපරාධ හා ප‍්‍රචණ්ඩත්වය හා වෙනත් බොහෝ සමාජයීය හා සංවර්ධනාත්මක අභියෝග රැසක් ඔවුන් හමුවේ තිබෙනවා.

මැන්ඩෙලා විශ‍්‍රාම ගියේ ක‍්‍රමීය විපර්යාසයන් සිදු කොට, ආයතනික ව්‍යුහයක් ඇති කිරීමෙන් පසුවයි. ඔහුගෙන් පසුව බලයට පත් වූ නායකයන්ට ඔහුට තරම් පුඵල් චින්තනයක් හා අධිෂ්ඨාන ශක්තියක් නැති වීම නිසා යම් පසුබෑමක් හට ගත් බව ඇත්තයි. එහෙත් වෛරීය දේශපාලනය හා බෙදුම්වාදී අන්ත ජාතිකවාදය වෙනුවට කොයි කවුරුනුත් හවුල් කරගෙන යන දිගු ගමනකට මුල පිරීම ගැන මැන්ඩෙලාට සුදු-කඵ හැම දකුණු අපි‍්‍රකානුවෙක් ම ප‍්‍රණාමය දක්වනවා.

පසුගිය දශකය තුළ මා තුන් වතාවක් දකුණු අප‍්‍රිකාවේ සංචාරය කොට තිබෙනවා. සුදු-කඵ-දුඹුරු සම ඇති දකුණු අපි‍්‍රකානුවන් රැසක් මුණ ගැසී කථා බහ කොට තිබෙනවා. තම රටේ බරපතල සමාජ හා ආර්ථික ප‍්‍රශ්න ඇතත් ඔවුන් හැම දෙනකු ම අනාගතය පිළිබඳ අපේක්‍ෂා සහගතයි.

යටත්විජිතවාදයෙන් හෝ සුඵතර සුදු පාලනයකින් හෝ නිදහස් වූ වෙනත් අපි‍්‍රකානු රටවල් ගිය මගට වඩා සමබර වූත්, තිරසාර වූත් මාර්ගයකට තම රට යොමු කළේ මැන්ඩෙලා බව ඔවුන් පිළි ගන්නවා. මැන්ඩෙලා ඉතා අමාරුවෙන් පීලි මාරු කොට, මහා ව්‍යසනයක් මග හරවා යොමු කළ සහජීවන මාර්ගයේ දිගට ම යාම බහුවාර්ගික, බහු ආගමික රටක් හැටියට දකුණු අපි‍්‍රකාවට ඇති හොඳම විකල්පය බව ඔවුන් දන්නවා.

1995 මැන්ඩෙලා ලියූ ස්වයං චරිතාපදානයට ඔහු දුන් නම Long Walk to Freedom (නිදහසට ගිය දිගු ගමන). ඒ ගමන වර්ණභේදවාදය හමාර කොට ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක් වීමෙන් පමණක් නතර නොවන බව ඔහු නිතර මතක් කළා.

ඔහුගේ එක් ප‍්‍රකට ප‍්‍රකාශයක් වූයේ මෙයයි. ‘‘නිදහස කරා යන කිසිදු ගමනක් ලෙහෙසි වන්නේ නැහැ. අප ප‍්‍රාර්ථනා කරන කඳු මුදුනට ළගා වීමට පෙර මරණයේ සේයාව පතිත වූ බියකරු නිම්න හරහා අපට යළි යළිත් ඇවිදින්නට සිදුවනු ඇති….’’

දකුණු අපි‍්‍රකානුවන්ට තව බොහෝ දිග ගමනක් යන්නට තිබෙනවා.

සිවුමංසල කොලූගැටයා #118: ලෝකයට ම වස විස බෙදන චීනය

I return to China’s massive environmental woes in my weekend column in Ravaya broadsheet newspaper (in Sinhala).

Last week, we looked at China’s air pollution problems; today, we discuss serious contamination of food and water caused by widespread pollution unchecked by lack of regulation and local level corruption.

We also compare China’s current experience with Japan’s pollution problems in the 1950s and 1960s. The big difference: democratic system in Japan enabled citizens to effective protest industrial excesses, petition courts and force government to enforce strict regulation. Can this happen in China?

Last week’s column: සිවුමංසල කොලූගැටයා #117: පැහැබර අහසක් කිසිදා නොදුටු චීන දරුවෝ

China Environment Pollution

මුදල් වැඩි වූ පමණට රටක් සංවර්ධනය වේද යන්න කලක සිට කැරෙන විවාදයක්. එහෙත් දුගී දුප්පත්කම තව දුරටත් පවතින්නට ඉඩ හැරීම ද ශිෂ්ට සමාජයක් නොකළ යුතු දෙයක් බව අද පිළි ගැනෙනවා.

අධිවේගී ආර්ථික සංවර්ධනය හඹා යන චීනයේ අද මතුව තිබෙන දරුණු වාත දුෂණය ගැන අප ගිය සතියේ කථා කළා. එයට අමතරව ජලය, භූමිය හා ආහාරපාන දුෂණය වීමේ විශාල අභියෝගයන්ට ද අද චීනය මුහුණ දී සිටිනවා.

පාරිසරික ප‍්‍රශ්න කෙමෙන් ගොඩ නැගී එන නිසා ඒවා වඩාත් ප‍්‍රබලව පෙනෙන්ට පටන් ගත්තේ පසුගිය වසර 10-15 කාලය තුළයි. වාත දුෂණය, ජල දුෂණය, ආහාර වස විසවීම ඇතුඵ මහජන සෞඛ්‍යයට හා ජන ජීවිතයට කෙලින්ම වින කරන පාරිසරික ප‍්‍රශ්න රැසක් ඉතා ප‍්‍රබල ලෙසින් චීනයේ මතු වී තිබෙනවා.

2013 වසර චීන පාරිසරික අර්බුදයන් උඩු දුවන, තීරණාත්මක වසරක් විය හැකියි. මීට සති කිහිපයකට පෙර ෂැංහයි නුවර අසබඩ Huangpu ගංගාවේ දහස් ගණනක් මිය ගිය ඌරන් පාවී එන්නට පටන් ගත්තා. ලෝකයට ම සෞඛ්‍ය තර්ජනයක් එල්ල කිරීමේ හැකියාව ඇති අඵත් කුරුඵ උණ ප‍්‍රභේදයක් මේ දිනවල චීනයේ පැතිරෙමින් තිබෙනවා.

මීට පෙර කුරුඵ උණ, සූකර උණ හා SARS රෝගකාරකය ආදිය මතුවී පැතිර ගියේ චීන සත්ත්ව ගොවිපල වලින් බව තහවුරු වී තිබෙනවා. වසංගත රෝග හා පරිසර දුෂණය ද චීනයේ නිපදවා පිටරට යැවීම දැන් මහා පරිමාණයෙන් සිදු වන හැඩයි.

මේවා හුදෙක් තැන තැන සිදු වන හුදකලා පරිසර දුෂණ නොව ක‍්‍රමීය මට්ටමෙන් සමස්ත ජන ජීවිතය ගිළ ගන්නා දැවැන්ත අර්බුදයක් බවට පත් වෙලා. මේ ගැන චීන මධ්‍යම පාන්තික ජනතාව වඩාත් විවෘතව කථා කිරීම හා ප‍්‍රශ්න කිරීම එරට ඒක පාක්‍ෂික, සංවෘත දේශපාලන ක‍්‍රමයට අද ලොකු ගැට`ඵවක් බවට පත්ව තිබෙනවා.

චීනයේ පාරිසරික ප‍්‍රශ්න යනු වන විනාශය, ජෛව විවිධත්වය හීනවීම ආදී හරිත ප‍්‍රශ්නවලට වඩා මහජන සෞඛ්‍යයට සෘජුව බලපාන, ජීවත්වීමේ හා යහපත් සෞඛ්‍යයට ඇති මානව අයිතියට තර්ජනය කරන ආකාරයේ ප‍්‍රශ්නයි.

චීනයේ බොහෝ ප‍්‍රදේශවල ජලය හා ආහාරවලට රසායනික විෂ ද්‍රව්‍ය මුසුවීමේ බරපතල තත්ත්වයක් අද මතු වී තිබෙනවා.

ලෝකයේ පාරිභෝගික අවශ්‍යතා ලාබයට සපයන්නට දිවා රාති දහස් ගණන් භාණ්ඩ නිෂ්පාදනය කරන චීන කර්මාන්ත ශාලා අති විශාල සංඛ්‍යාවක් තිබෙනවා. මෙයින් සමහරක් රජයට අයත් අතර තවත් ඒවා විදේශ ආයෝජකයන් විසින් පිහිට වූ ඒවා.

හැකි ඉක්මනට, හැකි තරම් ලාබෙට බඩු නිපදවන්නේ සේවකයන්ට ඉතා අඩු වැටුප් ගෙවමින් හා අපද්‍රව්‍ය කිසිදු සැළකිල්ලකින් තොරව ඉවත දමමින්. මේ කි‍්‍රයා නියාමනය කරන්නට නීති ඇතත් ඒවා හරිහැටි කි‍්‍රයාත්මක වන්නේ නැහැ. නැතිනම් ව්‍යාපාරිකයෝ අදාල නිලධාරීන්ට පගා ගෙවමින් අධීක්‍ෂණය මොට කරනවා. කෙටි කාලීන ලාබ ලැබුණත් මේ නිසා සිදු වන්නේ මුඵ රට ම වස විසෙන් පිරී යාමයි.

චීනයේ වගා කරන කිසිදු ආහාරයක් බය නැතිව කන්නට බැරි බව එරට උගත් ඉහළ මධ්‍යම පාන්තිකයන් දැන් හොඳාකාර දන්නවා. ඇති හැකි අය දැන් බොහෝ කොට (වඩාත් දැඩි පාරිසරික නියාමනයක් තිබෙන) යුරෝපීය රටවලින් ගෙන එන ආහාර පාන වැඩි මිළක් ගෙවා පරිභෝජනය කරනවා. එහෙත් මෙසේ කළ හැක්කේ ටික දෙනෙකුට පමණයි.

චීනයේ ආහාරවලට වසවිස එකතු වන්නේ හුදෙක් පරිසර දුෂණය හරහා වක‍්‍ර ලෙස පමණක් නොවෙයි. අධික ලාභ ඉපයීමේ තන්හාවෙන් මඩනා ලද ඇතැම් ගොවියෝ හා වෙළෙන්දෝ ඕනෑකමින් ම ආහාරවලට නොයෙක් රසායන ද්‍රව්‍ය මුසු කරනවා. ඒවායින් විසවීමට හැකි යයි ඔවුන් දන්නේ හෝ තකන්නේ හෝ නැහැ.

බිළිඳුන්ට දෙන කිරිපිටිවල මෙලමීන් නැමැති රසායනිකයක් හමු වී මහත් කලබැගෑනියක් හටගත්තේ 2008දී. චීනයේ ම කොටසක් වන, එහෙත් නීති කී‍්‍රයාත්මක කිරීම හා නියාමනය අතින් වඩාත් දියුණු වූත් දුෂණ අඩු වූත් හොංකොං විශෙෂ ප‍්‍රදේශයේ සිට ළදරු කිරිපිටි හැකි තාක් චීනයේ සෙසු ප‍්‍රදේශවලට ගෙන යාම ජයට කැරෙනවා. මේ නිසා දැන් එය පාලනය කරන්නට පවා සිදු වෙලා.

ඉසුරුබර හැම චීන පවුලක් ම ජීවත්වීමට වඩාත් හිතකර ඕස්ටේ‍්‍රලියාව, නවසීලන්තය, බි‍්‍රතාන්‍යය, හෝ කැනඩාව වැනි රටක අමතර පුරවැසිකම ලබා ගෙන දෙවැනි ගෘහස්ථයක් දැන් සැළසුම් කරනවා යයි පසුගියදා ජාත්‍යන්තර පුවත් සගරාවක් වන ‘ටයිම්’ හෙළි කළා.

එම සගරාවේ චීන වාර්තාකාරිය හැටියට වසර කිහිපයක් එහි වාසය කරන හැනා බීච් (Hannah Beech) කීවේ: ‘මා දන්නා හැම සුපිරි පැළැන්තියේ චීන පවුලකට ම රට හැර දා යාමේ ක‍්‍රමානුකූල සැළැස්මක් තිබෙනවා. එය රටට ද්‍රෝහිවීමක් නොව තමන්ගේ පවුලේ සෞඛ්‍යාරක්ෂාව සඳහා කරන මානුෂික තීරණයක්’.

මෑතදී බේජිං නුවර වෙළඳපොළකදී පිරිපුන් බවින් යුතු දොඩම් ගෙඩි කිහිපයක් මිළට ගන්නට තමා උත්සාහ කළ බවත්, ඒවා අදහා ගන්නට බැරි තරම් තැඹිලි පාටින් යුතු වූ නිසා සමීපව පරීක්‍ෂා කළ බවත් හැනා බීච් වාර්තා කරනවා.

ටිකක් කථා බහා කරද්දී වෙළෙන්දා පිළිගත්තේ මේවාට තැඹිලි පාට ඩයි තවරා ඇති බවයි. ‘බය වෙන්න එපා – කෑවාට හානියක් නැහැ’ ඔහු කියා තිබෙනවා. මෙසේ කීවේ නොදන්නාකමට ද සටකපටකමට ද?

ෂැංඩොං ප‍්‍රාන්තයට ගිය ගමනකදී එහි ඇපල් ගොවියකු සමග කළ කථා බහක් ඇය සිහිපත් කරනවා. ඇය සමග සුහද වූ පසු ඔහු අවවාද කළේ ‘ෂැංඩොං සිට එන ඇපල් කන්න එපා. අපි නොයෙක් රසායන යොදා ගෙන ගෙඩි ඉක්මනින් පුෂ්ටිමත් කරනවා. ඒ වගේ ම තත්ත්ව පාලක නිලධාරීන්ටත් ගතමනාවක් දීලා ඔවුන් නිහඩ කරනවා’ කියායි.

හැනා බීච් මේ වාර්තාව ලිව්වේ හුදෙක් පත‍්‍රකලාවේදීනියක ලෙස පමණක් නොවෙයි. ලාබාල දරුවන් සිටින මවක් ද හැටියටයි. තමන්ගේ දරුවන්ට නොදැනුවත්ව ම වස විස දීමෙන් වළකින්නේ කෙසේදැයි ඇය නිතිපතා විපරම් කරනවා.

heilongjiang‘මගේ දරුවන්ට හා ඔවුන්ගේ පාසලේ සෙසු දරුවන්ට එළිමහනේ සෙල්ලම් කරන්නට බැහැ. වාත දුෂණය එතරම් ම දරුණු නිසා. අවුරුදු පහේ දරුවෝ වාත දුෂණ දර්ශකයේ අංක ගැන කථා කරන්නට පටන් අරන්. වායු සමනය කළ නිවාස හා පාසල් ගොඩනැගිලි ඇතුලේ කොටු කර ගෙන අප දරුවන් හදනවා. මගේ තුන් හැවිරිදි තවමත් බහ තෝරන දියණිය උගත් මුල් ම චීන වචනයක් වූයේ පරිසර දුෂණයට එම බසෙහි හමු වන යෙදුමයි. කෙතරම් යසඉසුරු තිබුණත් මෙබඳු ජීවන තත්ත්වයක් නිසා පීඩාවට පත් වනවා නම් එහි තේරුමක් ඇත්ද?’

ඇය මෙන් ම මේ ප‍්‍රශ්න මතු කරන චීන දෙමව්පියන් ලක්‍ෂ ගණනක් අද සිටිනවා. ඔවුන්ට දෙන්නට හරිහමන් අවංක උත්තරයක් චීන රජයට නැහැ.

එසේම වඩාත් උගත්, සන්නිවේදන තාක්‍ෂණ මෙවලම්වලින් සන්නද්ධ වූ චීන මධ්‍යම පාන්තිකයන් මිලියන් 300කට අධික සංඛ්‍යාවක් පෙර මෙන් නොදන්නාකමේ අන්ධකාරයේ ගාල් කොට තැබිය නොහැකියි. රටේ ලෝකයේ සිදු වන්නේ කුමක් ද යන්න ගැන දැන් ඔවුන්ට හොඳ අවබෝධයක් තිබෙනවා.

මේ වසරේ ජනවාරියේ නාගරික ප‍්‍රදේශවල වාත දුෂණය උග‍්‍ර වූ විට ඒ ගැන නිදහසේ තොරතුරු වාර්තා කරන්නට මාධ්‍යවලට බලධාරීන් විසින් ඉඩ දෙනු ලැබුවා. මෙය චීනයේ අඵත් ප‍්‍රවණතාවක්. බොහෝ විට වසංගතයක්, ආපදාවක් හෝ වෙනත් අනතුරක් ගැන සැබෑ තොරතුරු වාර්තාකරණයට චීන කොමියුනිස්ට් පක්‍ෂය හා රාජ්‍ය නිලධාරීන් සීමා දමනවා. එහෙත් ජංගම දුරකථන හා ඉන්ටර්නේට් භාවිතය වඩාත් ප‍්‍රචලිත වෙත් ම මෙබඳු වාරණයන් සාර්ථක නොවන බව දැන් චීන බලධාරීන් තේරුම් අරන්.

අගනුවර හා වෙනත් ප‍්‍රධාන නගරවල පරිසර දුෂණ දත්ත පිළිබඳව සාපේක්‍ෂව යම් විවෘත භාවයක් හටගෙන ඇතත්, සෙසු නගරවල මේ තත්ත්වය ප‍්‍රතිවිරුද්ධ දිසාවට ගමන් කරමින් තිබෙනවා. එනම් තමන්ගේ අකාර්යක්‍ෂමතාවයන් වසා ගන්නට පිණිස පාරිසරික දත්ත නිකුත් කිරීම ප‍්‍රමාද කිරීම හා වසන් කිරීම.

1990 – 2005 වකවානුව තුළ චීනයේ ආර්ථික වර්ධන වේගය සාමාන්‍යයක් ලෙස 8.7%ක් වූවා. 2013දී 7.5% ක වර්ධනයක් ද 2011 – 2015 පස් අවුරුදු සැළසුම් කාලය තුළ සාමාන්‍ය ආර්ථික වර්ධනය 7%ක් වනු ඇතැයි ද අනුමාන කැරෙනවා. තරමක් වර්ධන වේගය අඩු වී ඇතත් තවමත් චීන ආර්ථිකය යන්නේ අධිවේගී ධාවනයෙන්. එය හරියට පාලනයකින් තොරව කඩා ගෙන බිඳ ගෙන පෙරට යන මකරකු වගේ.

චීනයේ මෙන් අධිවේගී ආර්ථික වර්ධනයක් 1950 – 1970 වකවානුවේ ජපානයේ ද සිදු වුණා. දෙවන ලෝක යුද්ධයෙන් පසුබෑමට පත් වුණු ජපානය පරම්පරාවක් ඇතුළත ආර්ථික වශයෙන් හිස එසවූවත් එහි දැඩි පාරිසරික විපාක අත්වින්දා. චීනය මෙන් නොව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ක‍්‍රමයක් පවතින ජපානයේ මේ විපාකවලට එරෙහිව මහජන උද්ඝෝෂණ නැගී ආ විට එයට ඉක්මන් ප‍්‍රතිචාර දක්වන්නට එරට දේශාපලකයන්ට හා නිලධාරීන්ට සිදු වුණා.

මේ දෙරටේ අධිවේගී වර්ධනයේ ක‍්‍රමවේදයන් සමාන වූවත් පාරිසරික විපාකවලට ප‍්‍රතිචාර දැක්වීමේදී නම් ජපානය චීනයට වඩා ඉතා ජනතාවාදී වූ බව කිව යුතුයි. යස ඉසුරු පතා සියල්ල කැප කිරීමේ කෙටි කාලීන ගිජු බවට ජපන් සමාජය යොමු කරන්නට ජපන් සමාගම් තැත් කළත් එරට රාජ්‍ය නිලධාරීන් හා ස්වාධීන අධිකරණයත්, සැබෑ ජනතා සංවිධානත් එම උත්සාහයට ඉඩ දුන්නේ නැහැ.

Video: Japan’s Lessons on the Economy and the Environment: Our Pollution Experience (Sinhala version)