සිවුමංසල කොලූගැටයා #168: නින්දෙන් ඇවිදින ලක් සමාජය හේතුවාදීන්ට අවදි කළ හැකිද?

In this week’s Ravaya column (in Sinhala), I introduce a recent anthology of rationalist essays compiled and edited by leading Sinhala language writer Ajith Thilakasena. I was asked to talk about the book at a recent meeting of the Sri Lanka Rationalists’ Association. Since I too have contributed a chapter, I cannot review the book; this is merely an exploration of the book’s provocative contents.

I have covered similar ground in an English op-ed in January 2012:
Can Rationalists Awaken the Sleep-walking Lankan Nation?

Hethuwaadi Lipi (Rationalist Essays in Sinhala). Edited by Ajith Thilakasena. Sarasavi Publishers, Sri Lanka. 2014

Hethuwaadi Lipi (Rationalist Essays in Sinhala). Edited by Ajith Thilakasena. Sarasavi Publishers, Sri Lanka. 2014

 

අජිත් තිලකසේන සූරීන් මෙරට සිටින ප‍්‍රතිභාපූර්ණ නිර්මාණශීලී ලේඛකයෙක්. දක්‍ෂ ප‍්‍රබන්ධ රචකයකු, කවියකු වනවාට අමතරව ඔහු වඩාත් සරල ලෙසින් සිංහල බස ලිවීමට පිලි සහ හල් කිරීම් සමරූපීකරණය කිරීමේ සම්ප‍්‍රදායක් යෝජනා කොට එය ප‍්‍රගුණ කරන්නෙක්.

මෙයට සමාන්තරව තිලකසේන සූරීන් අදීන හා අතිශයින් විචාරශීලී චින්තනයක් ඇති හේතුවාදියකු ද වනවා. ඔහු සංස්කරණය කළ ‘‘හේතුවාදී ලිපි’’ නම් කෘතිය එළි දැක්වීමේ රැස්වීමක් මාර්තු මස අගදී හේතුවාදී සංගමයේ අනුග‍්‍රහයෙන් කොළඹදී පවත්වනු ලැබුවා. එහිදී මේ අළුත් පොත ගැනත්, පොදුවේ මෙරට හේතුවාදී සාහිත්‍යය ගැනත් කථා කිරීමට එස්. එම්. බන්දුසීල සූරීන්ට හා මට ඇරැයුම් කොට තිබුණා.

අප දෙදෙනාගේ ම ලිපි ‘‘හේතුවාදී ලිපි’’ සංග‍්‍රහයේ තිබෙනවා. මේ නිසා පොත පිළිබඳව විචාරයක් අපට කළ නොහැකි වුවත් සරසවි ප‍්‍රකාශනයක් වන මෙය හඳුන්වාදීම හා එහි කාලීන වැදගත්කම පෙන්වාදීම අපේ කථාවල මූලික හරය වූවා.

පසුගිය දශක කිහිපයක් තුළ මෙරට පුවත්පත් හා සඟරාවල පළ වූ හේතුවාදී හා විචාරශීලි ලිපි රැසක් ද මේ පොතේ එකතු කොට තිබෙනවා. මුල් අවස්ථාවේ එම ලිපි කියවීමට නොලැබුණු පාඨකයන්ටත්, ඒවා යළි කියවනු රිසි අයටත් මේ පොත මාහැඟි සංග‍්‍රහයක්.

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, මහාචාර්ය කාලෝ ෆොන්සේකා, මහාචාර්ය ඔස්මන්ඞ් ජයරත්න, වෛද්‍ය රූමි රූබන්, ආචාර්ය ඒබ‍්‍රහම් ටී. කොවූර්, එස්. එම්. බන්දුසීල හා ආචාර්ය කාවන් රත්නතුංග වැනි විද්වතුන්ගේ ලිපි මේ පොතේ හමු වනවා. එසේ ම මෙරට මාධ්‍ය හරහා හේතුවාදී විමර්ශන හා මත දැක්වීම්වලට ප‍්‍රකට තිලක් සේනාසිංහ, තිඹිරියාගම බණ්ඩාර, කේ ආර් අභයසිංහ, තාරක වරාපිටිය, සුසිලා දොඩංගොඩ හා කේ ඒ ඞී වංශරත්න වැනි ලේඛක ලේඛිකාවන්ගේ ලිපි ද එහි අඩංගුයි.

පොතේ පරිච්ෙඡ්ද 27 සමන්විත වන්නේ ලිපි 20කින් සහ දේශන හා සම්මුඛ සාකච්ඡාසටහන් 7කින්. එයට අමතරව ලේඛනගත විය යුතු කෙටි සටහන් 31ක් ද හේතුවාදී චින්තනයට අදාල සරල ඉංග‍්‍රීසි – සිංහල ශබ්දමාලාවක් ද පොතේ තිබෙනවා.

Ajith Thilakasena

Ajith Thilakasena

සංස්කාරක අජිත් තිලකසේන හේතුවාදී හා විචාරශීලී චින්තනයක් අපට අවශ්‍ය ඇයි ද යන්න පූර්විකාවේ මැනවින් පහදා දෙනවා.

‘‘ජ්‍යෙතිර් ඇඳුරන්ට, පේනකරුවන්ට ස්ථිරව යමක් කියන්න බැරි බව දැන දැනත්, කියාපු දේවල් බොරු වූ අවස්ථා දැක දැකත්, ඒ පසු පස යන්නන්ගේ අඩුවක් ශ‍්‍රී ලංකා සමාජය තුළ දැක ගන්න නැහැ…. එසේම තම අවශ්‍යතා ඉටුකර ගන්න විවිධ දේවි දේවතාවන් කරා ගොස් බාරහාර වන ජනයින්ගේ අඩුවක් දැක ගන්නත් නැහැ’’ ඔහු කියනවා.

පූර්විකාවේ ඔහු මෙසේ ද කියනවා. ‘‘60දශකය ආරම්භ වෙනවාත් එක්කම ඒබ‍්‍රහම් ටී. කොවූර් දැඩි ආගමික හික්මීම්වලටත්, මිථ්‍යා විශ්වාසවලටත් ගැලී සිටි ලක් වැසි ජනතාවගේ චින්තන ලෝකය ආක‍්‍රමණය කළා. ඔවුන්ගේ පිළිගැනීම් දැඩි ප‍්‍රශ්න කිරීම් මාලාවකට ලක් කළා. මෝහාන්ධකාරයේ ගැලී සිටි ජනතාවගේ ගැටලූවලට බුද්ධියෙන් හා විද්‍යාවෙන් පිළිතුරු සොයා තම නිගමන පොදු මහජනතාවට තේරෙන බසින් සහ නිරවුල් සුගම ශෛලියකින් ඉදිරිපත් කරන්නට හැකි වීම කොවුර් සතු වූ විශිෂ්ට ගුණාංගයක්.’’

1964දී කොවූර් මුල් වරට ප‍්‍රසිද්ධ කළ 23 ආකාරයේ අභියෝග පත‍්‍රය මේ පොතේ නැවත පළ කොට තිබෙනවා. අනාවැකි කීමේ හැකියාව, දේව බල හෝ වෙනත් අද්භූත බල හෝ ප‍්‍රාතිහාර්යජනන ශක්ති ඇතැයි කියා ගන්නා ඕනෑම කෙනෙකුට ‘‘හැකි නම් කර පෙන්වන්න’’ යය මේ අභියෝග ඉදිරිපත් කළේ රුපියල් දස ලක්‍ෂයක් ද ත්‍යාගයක් ලෙස පිරිනමමින්. එහෙත් එදා මෙදා තුර එතෙර මෙතෙර කිසිවකුත් මේ අභියෝග භාර ගෙන නැහැ.

Dr Abraham T Kovoorකොවූර්ගේ තවත් වැදගත් ලිපියක් මේ පොතේ අඩංගුයි. 1960ගණන්වල මහාචාර්ය කේ. එන්. ජයතිලක නූතන තාරකා විද්‍යාව හා බෞද්ධ ඉගැන්වීම් සසඳමින් මේ දෙකෙහි සමාන්තර බවක් පෙන්වා දීමට උත්සාහ කළා. Buddhist Cosmologyහෙවත් බෞද්ධ විශ්වවේදය නමින් හුවා දක්වන්නට තැත් කළ එය, සැබෑ නොවන බව බෞද්ධ ධර්ම ග‍්‍රන්ථ අධ්‍යයනයෙන් පසු කොවූර් සාවධානව හා ආචාරශීලීව පෙන්වා දුන්නා.

එසේ කරමින් කොවූර් කීවේ මෙයයි:‘‘අභාවයට ගිය හෝ තවමත් පවත්නා ආගම් අතුරෙන් අනාත්ම ධර්මයන්, නිර්මානී දෙවියකු නොසිටීමත්, අනගි සදාචාර ශික්‍ෂාත් නිසා බෞද්ධ දර්ශනය වඩාත් හේතුවාදීයි. එහෙත් බුද්ධිමය වංචා මාර්ගයෙන් සත්‍ය කරුණු විකෘති කොට බුද්ධාගමට බලකණු සපයන්න යාමෙන් එයට යහපතට වඩා සිද්ධ වන්නේ අයහපතක්.’’

22 Jan 2012: සිවුමංසල කොලූගැටයා #50: අවිචාරයේ සැඩසුළගට මැදිවුණු හේතුවාදී පහන්සිළුව

බොරු ඇදහිලි ගැන මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් 1968වසරේ පේරාදෙණිය සරසවියේ අධ්‍යාපනවේදීන්ගේ සංගමය අමතා කළ දේශනයක සටහන් ද මෙහි වැදගත් පරිච්ෙඡ්දයක්. සාහිත්‍ය විචාරයට පමණක් නොව තියුණු ලෙස සමාජ විචාරයටත් ඔහු යොමු වූ සැටි මෙයින් මනාව පෙනෙනවා.

‘‘දෙවිවරුන් විසින් ද යකුන් වැනි භූතයන් විසින් ද කරන ලදැයි විශ්වාස කළ බොහෝ දේ ස්වභාවයෙන් සිදු වන දේ ලෙස සළකා ඒවා හසුරුවන්නට විද්‍යාව උපයෝගී කර ගත හැකි බව දැන් පිළිගෙන තිබේ. මනුෂ්‍යයාගේ ප‍්‍රශ්න මනුෂ්‍යයාට ම පාලනය කළ හැකි යයි ඔහු පිළිගනී. එකිනෙකාගේ සමාජ හා ආර්ථික තත්ත්වය වෙනස් වන්නේ පෙර කරන ලද පින් පව් අනුව යයි එදා තිබුණු විශ්වාසය දැන් මිථ්‍යාවක් බවට පත් වී තිබේ.’’

‘‘සත්‍යය, මුසාව, රැවටීම, අවංකකම – මෙවැනි යහගුණ හා නුගුණ අවශ්‍ය වන්නේ පරලොව උදෙසා ද එසේ නැත්නම් තමා ජීවත්වන සමාජයේ ඔවුනොවුන් අතර පැවතිය යුතු සම්බන්ධය උදෙසා ද? මානව භක්තිය ඇති කෙනකුට තවත් කෙනකු බොරුවෙන් රැවටීමට හෝ ඔහුගේ ජීවිතය විනාශ කර දැමීමට හෝ ශක්තියක් නැත…. පරලොව උදෙසා අවශ්‍ය බව කියන පින් පව් මෙලොව සමාජ ජීවිතය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වූ චර්යාධර්ම වශයෙන් පෙන්වා දිය හැකිය.’’

මෙතැනදී සරච්චන්ද්‍රයන් මතු කරන්නේ ප‍්‍රායෝගික වූත්, නිර්ආගමික වූත් දර්ශනයක්. හේතුවාදීන්ගේ චින්තනයේ හරයත් මෙයයි.

හේතුවාදීන් යනු ආගම් විරෝධීන් යයි සරල ලෙස ලඝු කිරීම යම් තරමකට සම කළ හැකි වන්නේ මාක්ස්වාදීන් යනු රාජ්‍ය විරෝධීන් යයි කලකට පෙර ඇතැම් දෙනා තුළ තිබූ දුර්මතයටයි. මේ දෙක ම වැරදියි.

හේතුවාදයේ මූලික ප‍්‍රවේශය නම් කියන්නා කෙසේ කීවත් අසන්නා සංශයවාදීව හා විචාරශීලිව හැම දෙයක් ම ප‍්‍රශ්න කිරීමයි. එහිදී ආගම්, සාමයික දර්ශන, දේශපාලන මතවාද, විද්‍යාත්මක සොයා ගැනීම් ඇතුළු අන් හැම දෙයක්මත් ප‍්‍රශ්න කිරීමට පාත‍්‍ර වනවා.

දේශපාලන මතවාද හා ආර්ථික ක‍්‍රමවේද සියුම්ව විවේචනය කිරීමට සමත් අපේ බොහෝ උගතුන් පවා ආගම් අරභයා එවන් විචාරශීලි බවක් පෙන්වන්නේ නැහැ. සාමයික හා ආගමික ඉගැන්වීම් යයි පූජකයන් විග‍්‍රහ කරන හැම දෙයක්ම දොහොත් මුදුනින් පිළි ගැනීම බොහෝ විට කරනවා. බුදු දහමේ නම් මෙසේ නොකරන මෙන් තරයේ අවවාද කොට තිබෙනවා (කාලාම සූත‍්‍රය).

Cartoon courtesy Daily Mirror newspaper, Sri Lanka

Cartoon courtesy Daily Mirror newspaper, Sri Lanka

හේතුවාදීන් කරන්නේ දේශපාලනික, ආර්ථික හා වෙනත් ක්‍ෂෙත‍්‍රයන් මෙන්ම සියළු ආගමික හා සාමයික ඉගැන්වීම් හා විග‍්‍රහයන් ද විචාරශීලීව හා තර්කානුකූලව විමර්ශනය කිරීමයි (එනම් කාලාම සූත‍්‍රය හරිහැටි පිළිපැදීමයි!).

මෑතදී මිය ගිය ප‍්‍රකට ඉන්දියානු ලේඛක කුෂ්වාන්ත් සිං (1915-2014) වරක් දලයි ලාමාතුමා සමග කළ සංවාදයක් සිංහලට පෙරළා මේ පොතෙහි ඇතුළත් කොට තිබෙනවා. පාප්තුමා හැරුණු කොට රාජ්‍ය නායක මට්ටමේ සිටින ලොව එකම සාමයික නායකයා වූත්, ලොව ඉතාම ප‍්‍රකට බෞද්ධ නායකයා වූත්, නොබෙල් සාම ත්‍යාගලාභී දලයි ලාමාතුමා බුදුදහම හා නූතනත්වය තුලනය කරන්නට මහත් සේ වෙර දරන කෙනෙක්.

එම තනතුරට පත් 14වැනියා වන ඔහු ඊට පෙර සිටි දලයි ලාමාතුමාගේ නැවත ඉපදීමක් සේ නිර්ණය කරනු ලැබ දලයි ලාමා ලෙස පත් කර ගනු ලැබුවේ 1950දී. 1959දී චීනය විසින් ටිබෙටය ආක‍්‍රමණය කොට අල්ලා ගත් පසු ඉන්දියාවට පලා ගිය දලයි ලාමාතුමා හා අනුගාමිකයන්ට එදා පටන් ඉන්දීය රජයේ විශේෂ රැකවරණය ලැබෙනවා.

ජේ්‍යෂ්ඨ ඉන්දීය මාධ්‍යවේදියකු ලෙස දලයි ලාමාතුමා සමග සාකච්ඡා කරන කුෂ්වාන්ත් සිං, පුනරුත්පත්තිය ගැන තමා කිසිසේත් විශ්වාස නොකරන බව කියනවා. මේ ගැන කලබල හෝ කෝප නොවී ඉතා සන්සුන් ලෙසින් දලයි ලාමා සිං සමග සංවාද කරනවා. ජීවිතයේ දුක සැප, මරණය ආදිය ගැන දෙදෙනාගේ අදහස් හොඳට ම වෙනස්. නිර්ආගමික වූ සිං, ලෞකික දර්ශනයකින් ලෝකය විග‍්‍රහ කරනවා. එකිනෙකාට ගරු කරමින් එහෙත් එකඟ නොවෙමින් මේ කරන කථා බහ කියැවීම ම මනසට ප‍්‍රබෝධයක්.

වෙනත් බොහෝ ආගමික හා සාමයික නායකයන්ට වඩා පුළුල් වූ මනසක් හා හාස්‍යලොලී පෞරුෂයක් දලයිලාමාට ඇති බව පෙනී යනවා. කථාව අවසානයේ පුනරුත්පත්තිය කිව හැකි (එනම් පසුගිය ආත්ම මතකයට නගා ගත හැකි)එකදු මුස්ලිම් දරුවකු ගැන දන්නවාදැයි සිං අසනවා. (ඉස්ලාම් ධර්මයේ නැවත ඉපදීමක් කියැවෙන්නේ නැහැ.)

එතැනදී දලයි ලාමා මහ හයියෙන් සිනාසෙමින් මෙසේ පිළිතුරු දෙනවා. ‘‘එතන ඇත්තක් තියෙනවා තමා. ඒ උනත් මම පුනරුත්පත්තිය විශ්වාස කළේ නැත්නම් මට වැඩ නැතුව යනවා!!’’

මේ තරම් නිර්ව්‍යාජ හා විවෘත ලෙස තම ධර්මය ගැන කථා කළ හැකි ආගමික නායකයන් ඉන්නේ කී දෙනා ද?

‘‘හේතුවාදී ලිපි’’ පොතෙහි ඇත්තේ ආගම් ගැන විචාරශීලීව විමසීම පමණක් නොවෙයි. සමහර ලේඛකයෝ ඇදහිලි හා ජන විශ්වාස (නාඩි වාක්‍ය, පිරිත් නූල්, අංජනම් එළි, අල්ලේ රේඛා මගින් සාස්තර කීම, කේන්දර බැලීම ආදිය)ගැන ප‍්‍රශ්න කරනවා – විවෘතව මත දක්වනවා. තවත් ලිපිවලින් අද්භූත හෝ පාරභෞතික යයි සැළකෙන (භූතයෝ, යකුන්, අවතාර, ආවේශවීම)ආදී සංසිද්ධීන් විග‍්‍රහ කැරෙනවා.

‘‘දේශීය දැනුම’’ හා ‘‘සාම්ප‍්‍රදායික ඥානය’’ වැනි කඩතුරාවලට මුවා වෙමින් කිසිදු තාර්කික ප‍්‍රශ්න කිරීමකින් හෝ නීතිමය නියාමනයකින් තොරව ලක් සමාජයේ කැරෙන ගුප්ත ව්‍යාපාරයන්ගේ පදනම සමහර ලිපි මගින් සියුම් ලෙස විමර්ශනය කරනවා.

පොතට ලිපි සපයා ඇති වෛද්‍යවරුන් තමන්ගේ ක්‍ෂෙත‍්‍රයට අදාල කාලීන මාතෘකා ගැන නිවහල් මත දක්වනවා. විශ්ව ශක්තියෙන් හෝ යාඥා බලයෙන් බරපතල (පිළිකා ඇතුළු) නිදන්ගත රෝග සුව කළ හැකි ද? කැඩුම් බිඳුම් ප‍්‍රකෘති තත්ත්වයට පත් කළ හැකි ද?

යන්නන් වාලේ අන් අය පසුපස යාම නිසා බුද්ධියෙන් මෙතරම් දියුණු යුගයක පවා ප‍්‍රාථමික සිතුම් පැතුම්වලට ඇබ්බැහිව එල්බෙමින් සිටින අති විශාල පිරිසක් ලොව සිටින බව මහාචාර්ය කාලෝ ෆොන්සේකා සිය ලිපියේ කියනවා.

ඔහු එය අවසන් කරන්නේ මෙසේයි. ‘‘මගේ පෞද්ගලික අදහස්වල හැටියට මගේ කිසිදු වැඩක් නැකතට කරලා නැහැ. පොරොන්දම් බලලා නැහැ. ජ්‍යෙතිෂය පසුපස හති දම දමා දුවලා නැහැ. මම මෙතෙක් කටයුතු කරලා තියෙන්නේ ඕවා සියල්ල මිථ්‍යා කාරණා හැටියට සළකලායි.’’

පූර්විකාවේදී අජිත් තිලකසේනයන් තව වැදගත් කරුණක් මතු කරනවා. මෙරට ඉතිහාසයේ වාර්තාගත ලොකුම ව්‍යසනය වූ 2004 දෙසැම්බර් 26 වනදා සුනාමිය පුරෝකථනය කරන්නට කිසිදු ජ්‍යොතිර් ඇදුරකුටවත් හැකි වූයේ නැහැ.

ඔහු කියන හැටියට ‘‘ජ්‍යොතීර් ඇදුරන්ට, පේනකරුවන්ට ස්ථිරව යමක් කියන්න බැරි බව දැන දැනත්, කියන දේවල් බොරු වූ අවස්ථා දැක දැකත් ඒ පසුපස යන්නන්ගේ අඩුවක් ශ‍්‍රී ලංකා සමාජය තුළ දැක ගන්න නැහැ.’’

පුර්විකාවේ ඔහු මෙසේ ද කියනවා. ‘‘බෞද්ධ සංස්කෘතිය ශ‍්‍රී ලංකා සමාජය තුළ හිමි කර ගෙන ඇති තැන ප‍්‍රශ්න කළ යුතු නෑ. එහෙත් ආගම (ඇදහිල්ල) ඇතුළත් විය යුත්තේ කෙනකුගේ පුද්ගලික පරිමණ්ඩලයට. ආගමක් ඇදහීම හෝ නොඇදහීම ඔහුගේ/ඇයගේ කැමැත්ත පරිදි විය යුතුයි….’’

රාජ්‍යය නිර්ආගමික වීමේ වැදගත්කම ඔහු පෙන්වා දෙනවා. ‘‘ආණ්ඩුවට ආගමක් නැහැ’’ යන්න ප‍්‍රථම අගමැති ඞී. එස්. සේනානායක කී බව මතක් කරමින් ඔහු කියන්නේ, ‘‘එක් ආගමකට ප‍්‍රමුඛස්ථානය දෙන වගන්තියක් 1972ව්‍යවස්ථාවට ඇතුළත් කිරීම ඛේදයක්. එයට මුල් වූයේ මාක්ස්වාදී නායකයෙක් වීම උත්ප‍්‍රාසය දනවන්නක්. එයින් පස්සේ හැම ආණ්ඩුවක්ම ක‍්‍රියාවෙන් ‘සර්ව ආගමික’ වුණා.’’

Ceylon Rationalist Association: 1970 Memorandum on a New Constitution for Sri Lanka (letter from Dr Abraham T Kovoor to Dr. Colvin R. De Silva, Minister of Constitutional Affairs)

පූර්ණ ආගමික වූ මහත්මා ගාන්ධි පවා කටයුතු කළේ ඉන්දියාව ඓහික (secular) රාජ්‍යයක් කරනු සඳහායි. ඇදහිල්ල පුද්ගලික දෙයක් කොට ඔහු සැළකුවා. ආගමික ආයතනය නඩත්තුවට රාජ්‍ය භාණ්ඩාගාරයෙන් මුදල් ප‍්‍රතිපාදන වෙන් කිරීම ගාන්ධි අනුමත කළේ නැති බවත් තිලකසේනයන් සිිහිපත් කරනවා.

මේ අයුරින් පුළුල් මහජන සංවාදයට ලක් විය යුතු තේමා රැසක් මේ පිටු 166ක කුඩා පොතේ අඩංගුයි. නමින් ‘‘හේතුවාදී ලිපි’’ වුවත් හේතුවාදී තලයෙන් ඔබ්බට මේ විචාරශීලී දැක්ම ගෙන යාම හදිසි කාලීන අවශ්‍යතාවයක් බව නම් පැහැදිලියි.

පොත රැගෙන කියවා බලන්න!

See also:

25 Sep 2011: සිවුමංසල කොලූගැටයා #33: නොබියව ඇත්ත කතා කළ ජනතාවාදී විද්‍යාඥයා, මහාචාර්ය ඔස්මන්ඞ් ජයරත්න

22 Jan 2012: සිවුමංසල කොලූගැටයා #50: අවිචාරයේ සැඩසුළගට මැදිවුණු හේතුවාදී පහන්සිළුව

29 Jan 2012: සිවුමංසල කොලූගැටයා #51: ඔබේ විචාර බුද්ධිය දැන් අක‍්‍රීය කරන්න!

18 March 2012: සිවුමංසල කොලූගැටයා #58: විනාශයක් ළග එනවා –  ඒකට අපි සැරසෙනවා!

25 March 2012: සිවුමංසල කොලූගැටයා #59: වදකහ සුදියේ සිට ලෝක විනාශය දක්වා…

24 March 2013: සිවුමංසල කොලූගැටයා #110: ජාතියේ ව්‍යාධියට ප්‍රතිකාර කරන අපූරු ජීවකයා: කාලෝ ෆොන්සේකා

18 Dec 2013: “ආගමික උමතුවෙන් ලෝකය ගලවා ගැනීමේ එකම මග සියලුම ආගම් ප්‍රතික්ෂේප කිරීමයි” – එස්. එම්. බන්දුසීල

6 April 2014: සිවුමංසල කොලූගැටයා #163: අභීත පෑනෙන් භාරතය කිති කැවූ කුෂ්වාන්ත් සිං

Posted in Education, Future, heritage, Humour, India, Poverty, public interest, Ravaya Column, Science communication, Secularism, South Asia, Sri Lanka, Violence, Writing. Tags: , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , . 1 Comment »

සිවුමංසල කොලූගැටයා #119: ඔබේ වාරය ද – මගේ වාරය ද?

In this week’s Ravaya column (in Sinhala), I pose a simple yet important question: why can’t Lankans wait for their turn? Why don’t we, as a society, practise ‘first time-first served’ principle? Why is everyone pretending to be a VIP seeking to jump their turn?

I then cite personal experiences from my travels to show how it works in more mature democracies where everyone — including the heads of state and real VIPs — respect people’s rights when out in public space. At the risk of name dropping, I cite examples of how Queen Elizabeth II travels around in London, and how the Dalai Lama was occupying the opposite room at my New Delhi hotel…

L to R - D S Senanayake, Queen Elizabeth II, Dalai Lama

L to R – D S Senanayake, Queen Elizabeth II, Dalai Lama

එදිනෙදා ජීවිතයේ සරල සිදුවීම්වලින් අපේ සමාජයේ ගති සොබා ගැන දළ හැඟීමක් ලද හැකියි.

මෙන්න මෑතදී පැය විසි හතරක් ඇතුළත මා ලද අත්දැකීම් දෙකක්.

මුල් සිදුවීමේදී සුපර්මාකට් එකක බඩු මිළට ගන්නට මගේ වාරය එන තුරු මම පෝලිමේ ඉන්නවා. එතරම් පිරිසක් හෝ දිග පෝලිම් නැහැ. ඊළඟට මගේ වාරය. ඔන්න එකපාරට ම නෝනා කෙනෙක් ඇවිත් පෝලිම පැනලා මගේ ඉදිරියෙන් හිට ගන්නවා. ඇයට වැරදීමක් ද?

තත්පර කිහිපයක් බලා සිට මා කරුණාවෙන් ඇයට පෙන්වා දෙනවා මෙතැන පෝලිමක් තිබෙන බව. එවිට (ඇගේ සැමිය විය හැකි) පිරිමියකුත් ඇයට එකතු වෙනවා. පෝලිමක් ඇතැයි කීම ගැන මේ දෙන්නාට ම ලොකු නුරුස්නා ගතියක් හට ගන්නවා. මොනවාදෝ කියමින්, රවමින් වෙනත් කවුන්ටරයක් සොයා ගෙන යනවා.

ඊට පසුවදා උදේ මම එළවලූ කඩයක තෝරා ගත් එළවලූ කූඩයට ගෙවන්නට තවත් කෙටි පෝලිමකට එකතු වෙනවා. මගේ වාරය ඇවිත් කූඩය තරාදිය ළඟින් තබනවාත් සමඟ ම වයස 17-18ක් පමණ යෞවනියක් මැදට පනිනවා. දෙහි ගෙඩි කිහිපයක් මිලට ගන්න.

දරුවාගේ වයස නිසාදෝ මාත් එතරම් ගණන් නොගෙන බලා සිටිනවා. එතකොට මගේ පිටු පසින් කාන්තා කටහඬක් ඇසෙනවා. ‘‘දුවේ, මේ මහත්තයා අපට ඉස්සර වෙලා හිටියෙ. එය ඉවර වෙනකන් ඉන්න.’’

ඒ කාන්තාව දැරියගේ මව විය යුතුයි. ඇය දෙස හැරී බැලූ මම සිනහවකින් ඇයට ස්තුති කළා.

ඇඳුමෙන් හෝ පෙනුමින් මිනිස්සුන්ගේ තරාතිරම මැනිය නොහැකි වූවත්, පෙරදින රාත‍්‍රියේ උද්දච්ච ලෙසින් පෝලිම් පැන්න මැදිවියේ කාන්තාවට වඩා චාම් හා අවිහිංසක බවක් මේ කාන්තාව තුළ මා දුටුවා. ජීවන මට්ටම හා අධ්‍යාපන මට්ටම කුමක් වෙතත් ඇය ඒ මොහොතේ තම කලබලකාර දියණියට දුන් අවවාදය ඉතා ආදර්ශවත්.

කලබලකාරී ජීවිත ගත කරන අප බොහෝ දෙනා හැකිතාක් ඉක්මනින් අපේ දෛනික කටයුතු කර ගන්නට කැමතියි. එහෙත් පොදු අවකාශයේ — එනම් මහාමාර්ගයේ, රජයේ කාර්යාලවල, වෙළඳසැල් තුළ — අපේ වාරය එන තුරු සිටීම ශිෂ්ට සමාජයේ හැමගෙන් බලාපොරොත්තු වන සංයමයක්.

ඉංග‍්‍රීසියෙන් මෙය හඳුන්වන්නේ ‘First come, first served’ කියායි (පැමිණි අනුපිළිවෙළට සේවය ලබා දීම). මීට පරම්පරාවකට පෙර මෙරට තිබූ අසාමාන්‍ය ගණයේ මහා පෝලිම් දැන් නැතත්, යම් විනාඩි ගණනක් හෝ තමන්ගේ වාරය එළඹෙන තුරු සිටීමට අපට සිදු වනවා. එතැන දී තමන්ගේ නිලය, ධනය, අධ්‍යාපනික පසුබිම ආදී සාධක අදාළ නැහැ. එබඳු අවස්ථාවල ඒ සාධක අනිසි ලෙස මතු නොකළ යුතුයි.

ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියකු වූ එච්. ඒ. ජේ. හුලූගල්ල ලියූ ඞී. එස්. සේනානායක චරිතාපදානයේ එක් තැනෙක සඳහන් සරල සිදුවීමක් මට සිහි වනවා. ලේඛකයා එය යොදා ගන්නේ අපේ මුල් අගමැතිරයා කෙතරම් නිරහංකාර හා ගුණගරුක චරිතයක් ද යන්න පෙන්වීමට.

කොළඹ කොල්ලූපිටියේ ගේ‍්‍රබියල් බාබර් සාප්පුවෙන් කොණ්ඩය කපා ගැනීමට යාම ඞී එස්ගේ සිරිතක්ව තිබුණා. එය අරලියගහ මන්දිරයට ආසන්නයි. දිනක් බාබර් සාප්පුවට ඞී. එස්. ගොඩවදින විට කොණ්ඩය කපා ගැනීමට තවත් එක් අයකු බලා සිටියා. ඒ තැනැත්තා පාර්ලිමේන්තු නිල වාර්තාව වන හැන්සාඞ් ප‍්‍රකාශනයේ එවකට කර්තෘවරයා වූ ජී. ඊ. පී. ද එස්. වික‍්‍රමරත්න.

කාර්යබහුල අගමැතිවරයාට පෝලිමේ නොසිට කොණ්ඩය කපා ගන්නට යැයි වික‍්‍රමරත්න යෝජනා කළා. එහෙත් ඞී. එස්. එයට එකඟ නොවී තමන්ගේ වාරය එළඹෙන තුරු පත්තරයක් බලමින් සිටි බව වික‍්‍රමරත්න ගෞරවයෙන් සිහිපත් කරනවා.

අද තරම් රාජ්‍ය පාලනය සංකීර්ණ නොවූවත්, එදා අගමැතිවරයාටත් ඇති තරම් රාජකාරි තිබුණා. නිල බලය යොදා ගෙන බාබර් කෙනකු අරලියගහ මන්දිරයට ගෙන්වා ගන්නට හැකියාව තිබිය දී ඞී. එස්. කළේ තමන්ගේ ප‍්‍රියතම බාබර් ළඟට ගොස් තම වාරය එළඹෙන තෙක් සිටීමයි!

අද කාලේ කනිෂ්ඨ පළාත් පාලන සභිකයකු පවා මෙබඳු නිහතමානී ක‍්‍රියාවක් කරනු ඇතැයි විශ්වාසි කරන්නට අමාරුයි.

පෙරඅපර දෙදිග වඩාත් පරිනත සමාජවල කොයි කාටත් පොදු ස්ථානවලදී හා පොදු සේවාවල දි එක හා සමාන ලෙස සැළකීම පුඵල් ලෙස අනුගමනය කැරෙන සම්ප‍්‍රදායක්. මෙය පාලකයන්, සෙසු ප‍්‍රභූන්, විද්වතුන් හා වෙනත් නාමධාරී හා බලධාරී/නිලධාරී කොයි කාටත් පොදුයි. එයට ඉංගී‍්‍රසියෙන් egalitarian කියනවා. එහි සිංහල අරුත සමානාත්මවාදී යන්නයි. (මෙය දේශපාලන සංකල්පයක් නොව ශිෂ්ට සමාජයක මූලික ගුණාංගයක්.)

බි‍්‍රතාන්‍යයේ වත්මන් අගමැතිවරයා ලන්ඩනයේ උමං දුම්රියේ ගමන් කරන සැටි හා අසුනක් නොලැබීම නිසා සිට ගෙන ගිය සැටි ඡයාරූපයක් පසුගියදා ජාත්‍යන්තර මාධ්‍ය හරහා අපි දුටුවා.

David Cameron travelling by London Underground

British PM David Cameron travelling by London Underground

සමානාත්මවාදය ඉහළින් ප‍්‍රගුණ කරන බටහිර රටවල ඇමතිවරුන්, උසස් රාජ්‍ය නිලධාරීන් හා හමුදා නිලධාරීන් අති බහුතරයක් සිවිල් සමාජයේ හා පොදු ස්ථානවලදී තමන්ගේ වාරය එළැඹෙන තුරු කිසිදු කලබලයකින් තොරව සිටිනු මා දැක තිබෙනවා. (එය එසේ නොවන්නේ බරපතල ආරක්‍ෂක අවශ්‍යතාවයක් ඇති අමෙරිකානු ජනාධිපතිවරයා වැනි අයට පමණයි.)

එයට හොඳ උදාහරණයක් මා දුටුවේ 2008 දිනෙක මධ්‍යම ලන්ඩනයේ ඇවිද යන විටයි. අතුරු පාරක පදිකයන්ට පාර පනින්නට නියමිත තැනකින් මගේ බි‍්‍රතාන්‍ය මිතුරකුත් මාත් පාර හරහා ගියා. ඒ සඳහා මඳකට නතර වුණු වාහන කිහිපය අතර හැඩයෙන් අමුතු, අවලස්සන විශාල මෝටර් රථයක් ද වූවා.

අපට ඉඩ දී නැවතත් ඒ වාහන ඉදිරියට ඇදෙන විට මගේ මිතුරා කීවේ ‘ඒ තමයි අපේ රැජින – අර විශාල වාහනය ඇය තුළ සිටිනවා’ කියායි. බි‍්‍රතාන්‍යය ඇතුළු රටවල් 16ක රාජ්‍ය නායිකාව වන රැජින, එක් පරිවාර රියක් පමණක් පෙරටු කර ගෙන ලන්ඩන් වීදි හරහා යන්නේ සෙසු පදිකයන්ට හා ජනතාවට කිසිදු හිරිහැරයක් නොකරයි!

2005 ජූලියේ ලන්ඩනයේ තැන් කිහිපයකට ත‍්‍රස්තවාදී ප‍්‍රහාර එල්ල වී වසර 3ක් පමණ ගත වී තිබුණා. බි‍්‍රතාන්‍ය රැජින යනු දිවා රැයේ සුවිශේෂ ආරක්‍ෂාව ලබා දෙන රාජ්‍ය නායිකාවක්. එහෙත් මට දැන ගන්නට ලැබුණු පරිදි මහජනයාට කිසිදු හිරිහැරයක් නොකර සූක්‍ෂම ක‍්‍රම හරහා එම ආරක්‍ෂාව ඇයට ලබා දෙන්නට මාලිගාවේ ඉල්ලීම මත බි‍්‍රතාන්‍ය ආරක්‍ෂක හමුදා කි‍්‍රයා කරනවා.

ලන්ඩනය ඇගේ රාජධානියේ අගනුවර පමණක් නොව ලෝකයට ම වැදගත් හා ජනපි‍්‍රය නගරයක් බවත් එය ඇගේ බූදලයක් නොවන බවත් පරිනත නායිකාවක් වන මහ රැජින ඉතා හොඳින් දන්නවා.

පදිකයන්ට නියමිත තැනින් අප පාර පනින තුරු මඳකට ඉවසන්නට බි‍්‍රතාන්‍ය රැජිනටත් හැකි වූවාට එබඳු ඉවසීමක් හා සංයමයක් ඇත්තේ අපේ රටේ කීයෙන් කී දෙනාට ද?

අපේ රටේ මාර්ග නීති පිළිපැදීම ගැන නිසි විනයක් හා නීතිය කි‍්‍රයාත්මක කිරීමක් කරන්නට හරස් වන එක් සාධකයක් නම් අන් සැම දෙනාට වැඩි කලබලයක් ඇති ප‍්‍රභූ (VIP) වාහනයි. මේවා බහුතරයක් දේශපාලකයන් රැගෙන යතත් සමහරක ගමන් කරන්නේ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් හෝ සුපිරි රාජ්‍ය නිලධාරීන්. තමන්ගේ වාරය ගැන හෝ මාර්ග නීති පිළිපැදීම ගැන හෝ කිසිදු තැකීමක් මොවුන්ට නැහැ.

‘අද අපට තිබෙන ලොකු ප‍්‍රශ්නයක් නම් හැම දෙනාම තමන් VIP යයි සිතා පාරේ ගමන් කිරීමයි.’ මේ ගැන කලක සිට සැළකිලිමත් වන ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් මා සමග කීවා.

සැබෑ ප‍්‍රභූන් කවුදැයි තෝරා බේරා ගන්නට මහමග රාජකාරි කරන පොලිස් නිලධාරීන්ටත් අසීරුයි. ඒ අතර අපේ ඇත්තන්ගේ හැසිරීම දකින ශී‍්‍ර ලංකාවේ තිබෙන විදේශ තානාපති කාර්යාලවල සමහර වාහනත් VIP ආකල්පයෙන් ගමන් කරන්නට හදනවා. එතැනදී ඔවුන් අනිසි ලෙස තානාපති වරප‍්‍රසාද පිටුපස සැගවෙනවා.

පරිවාර රථයක් හා සැබෑ ඪෂඡු වරප‍්‍රසාද සහිතව මහ මග ගමන් කළ හැක්කේ කුමන තනතුරු ධාරීන්ට ද යන්න ඉන්දියාවේ නම් පැහැදිලිව ප‍්‍රකාශයට පත් කොට තිබෙනවා. මේ නිසා හැමෝට ම VIP ලේබල් අලවා ගන්නට බැහැ.

පෙරදිගින් තවත් අත්දැකීමක්. මීට තෙවසරකට පමණ පෙර නවදිල්ලියට ගිය විටෙක මා නැවතුණේ එනුවර විද්වතුන් හා පර්යේෂකයන්ට නවාතැන් දෙන හැබිටැට් (Habitat) මධ්‍යස්ථානයේ. එදින මගේ කාමරයට ඉදිරිපස කාමරයේ සිටියේ ලෝකයේ සම්භාවනීය (පිටමං කළ) රාජ්‍ය නායකයකු හා සාමයික නායකයකු වන දලයි ලාමාතුමායි. දශක ගණනක් තිස්සේ ඔහුට ප‍්‍රභූ වරප‍්‍රසාද සහිතව ඉඳුම් හිටුම් දෙන්නේ ඉන්දීය රජයයි. ඒ දිල්ලියට කි.මී. 500ක් උතුරින් පිහිටි දරම්සාලහිදී.

දලයි ලාමාතුමා දිල්ලියේ දී මුණගැසීම දුසිම් ගණන් බැතිමතුන් හා මිතුරන් ඇදී ආවා. මේ නිසා හෝටල් කොරිඩෝව තරමක් කලබලකාරී වුණා. මේ ගැන සංවේදී වූ එතුමාගේ ආරක්‍ෂක නිලධාරීන් දිනකට දෙතුන් වතාවක් බැගින් මට කණගාටුව ප‍්‍රකාශ කළා.

ප‍්‍රභූ ආරක්‍ෂකයන් පිළිබිඹු කරන්නේ ඔවුන් රකින ප‍්‍රභූවරයාගේ ආකල්පයි.

තවමත් වැඩවසම් මානසිකත්වය ඇති අපේ වැනි සමාජවලට මෙය ආගන්තුකයි. ඓතිහාසික වශයෙන් අපව හුරු කර ඇත්තේ ඥානවෘධ, වයෝවෘද්ධ හා තපෝවෘද්ධ යන තුන් ආකාරයේ ම වැඩිහිටියන්ට ගරු කිරීමට පමණක් නොව කුලවතුන්, ධනවතුන් හා සෙසු සමාජ බලවතුන්ටත් අනවශ්‍ය ලෙස බය පක්‍ෂපාත වන්නටයි. අප්පො පාරේ දුර එනු දුටු අප්පු කාණුවට බැසිය යුතු කාලයක් ද තිබුණා.

21 වන සියවසේ තවමත් අප මේ වැඩවසම් පිළිවෙත් දිගට ම ගෙන යා යුතුද?