RTI Sri Lanka: තොරතුරු යතුරෙන් ‍දොර විවෘත කළාට මදි!

On 21 Feb 2017, Sinhala language broadsheet newspaper Mawbima carried an article based on my recent public talk on the Right to Information (RTI) in Sri Lanka.

RTI is a key to open doors to public information. That's useful, but we must know what to do when we enter...
RTI is a key to open doors to public information. That’s useful, but we must know what to do when we enter…

ජාතික මාධ්‍ය සංසදය විසින් සංවිධානය කරන ලද ‘තොරතුරු පනතට සමාජ සංස්කෘතිය ඉක්මවිය හැකිද’ යන සංවාද සභාවේදී ප්‍රවීණ ලේඛක නාලක ගුණවර්ධන මහතා විසින් කරන ලද දේශනය ඇසුරෙනි.

තොරතුරු පනත සම්මත කර ඇති මේ අවස්ථාවේදී මේ පනතින් වැඩ ගන්නේ කොහොමද? තොරතුරු පනතට ඇති අභියෝග මොනවාද? සමාජයෙන් දේශපාලන තන්ත්‍රයෙන් නිලධාරි තන්ත්‍රයෙන් මේ පනතට ඇතිවිය හැකි ප්‍රතිරෝධ මොනවාද? අපි ඒකට කෙසේ සූදානම් විය යුතුද කියන කාරණාවලට වැඩිපුර අවධානය යොමු කරන්න අවශ්‍යයි.

අපි ලෝකයේ බහුතරයක් සිටින එක්තරා කාණ්ඩයකට ගිය අවුරුද්දේ සම්බන්ධ වුණා. ඒ තොරතුරු නීතියක් තිබෙන රටක වාසය කිරීමයි. ගිය වසරේ මැද වන විට ලෝක ජනගහනයෙන් 88%ක් ඉන්නේ යම් ආකාරයකින් නීතියෙන් තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කරන රටකයි. ඒ වගේ රටවල් 110ක් තියෙනවා. මේ වන විට තවත් රටවල් 40ක් විතර තොරතුරු අයිතිය ලබාගැනීම සම්බන්ධව කතාබහ වෙමින් ඉන්නවා.

State of Right to Information (RTI ) World wide in 2016.
State of Right to Information (RTI ) World wide in 2016.

2017 වසරේ පෙබරවාරි 3 වැනිදා සිට තොරතුරු දැනගැනීමේ පනත ක්‍රියාත්මකයි. එදාම ගැසට් පත්‍රයකින් පනත ක්‍රියාත්මක කරන්න අවශ්‍ය රෙගුලාසි පිටු 26ක ගැසට් සටහනකින් ප්‍රකාශයට පත් කළා. පනත කියවනකොට පෙබ. 3 ගැසට් පත්‍රයේ ඒ නියෝග ටිකත් එක්ක තමයි පනත කියවන්න සහ පනත ක්‍රියාත්මක කිරීම පිළිබඳ දැනුවත් වෙන්න ඕන. ඒක තමයි මෙහි ක්‍රමවේදය මොකක්ද කියලා සඳහන් කරලා තියෙන්නේ.

අගනුවර වගේම දිවයිනේ විවිධ පළාත්වලින් තොරතුරු ඉල්ලීම් ගැන වාර්තා වුණා. ඒ වාර්තා ට්‍රැක් කරන වෙබ් අඩවි පවා දැන් බිහිවෙලා තියෙන්නේ. ඒ වෙබ් අඩවිවලට අනුව තවමත් තොරතුරු පනත ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය ආයතන සූදානම් නැහැ. තොරතුරු නිලධාරියකු නම් කරලා නැහැ. එහෙම වෙලාවට ආයතන ප්‍රධානියා තමයි තොරතුරු නිලධාරියා විදියට ක්‍රියා කළ යුත්තේ. මහජන ඉල්ලීමක් ආවහම භාරගන්න සූදානමක් තවම නැහැ කියලා වාර්තා වුණා. තවත් තැන්වලදී ඉල්ලීම් දෙන්න ගියහම ජනතාවට මේ මේසෙන් අනිත් මේසයට යන්න, මේ කාමරයෙන් අර කාමරයට යන්න කියන නොයෙක් නොයෙක් ප්‍රශ්න මතුවෙලා තිබුණා. මේ වගේ ප්‍රශ්න ක්‍රමයෙන් හදාගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. වැරැදි හොයන්නම බලාගෙන ඉන්න අයට නම් මේවා ලොකු දේවල්. ගිහින් ඔන්න තොරතුරු නීතියක් ගෙනාවා, ක්‍රියාත්මක වුණේ නැහැ. ඔන්න වැඩේ ඉවරයි කියන අයත් පහුගිය දවස්වල දැක්කා. අපි තව මාස තුනක්වත් මේ ගැන බලමු. ඒ අතරේ ජනාධිපති කාර්යාලය පවා තොරතුරු ලබා දෙන්න තවම සූදානම් නැහැ කියලා සන්ඩේ ලීඩර් පත්තරය වාර්තා කළා.

මහජනයාට ප්‍රසිද්ධියට පත් නොකෙරුණු වසර කිහිපයකට කලින් සම්පූර්ණ කර භාරදුන් කොමිෂන් සභා වාර්තා ලබාදෙන්න කියලා තොරතුරු ඉල්ලීමක් ඉදිරිපත් කරන්න ඉද්දමල්ගොඩ පියතුමා ගිහින්. ව්‍යාකූලතාවලින් පසුව ඒ ඉල්ලීම භාර අරගෙන තිබුණා. ඒ කියන්නේ සූදානම තවම හොඳ නැහැ.

කාන්තාවන් 15 දෙනෙක් දැනට කාලයක් තිස්සේ අතුරුදන් වූ තමන්ගේ පවුලේ ඥාතීන් හෝ සැමියන් ගැන කුමක් හෝ ඉල්ලා තොරතුරු ඉල්ලුම් පත්‍රයක් ගොනු කරන්නට උත්සාහ කළ බව ඉන්දියාවේ ද හින්දු පත්තරේ වාර්තා වුණා. ආණ්ඩුවේ නොයෙක් කාර්යාලවලට ගියා. ඔවුන්ට හැඟීමක් තිබුණේ නැහැ කොතැනටද ඉදිරිපත් කරන්න ඕන කියලා. අපිට ඉතිං ඉස්සර වගේම තමයි හරි හමන් උත්තරයක් ලැබුණේ නැහැ කියලා ඒ කාන්තාවන් පසුව කියලා තිබුණා.

තොරතුරු නීතිය යටතේ එහෙම තොරතුරු නොදී ඉන්න බැහැ. නිශ්චිත කාල වකවානුවකින් පසුව නොදුන්නොත් පුරවැසියන්ට ගන්න පුළුවන් ක්‍රියාමාර්ගත් තිබෙනවා.
තමන්ගේ සමීපතමයන්ගේ තොරතුරු සෙවීමේ සිට පොදු උන්නතිය පිළිබඳ තොරතුරු ඉල්ලා සිටීම දක්වා පුළුල් පරාසයක් තුළ තොරතුරු ඉල්ලීම් කරන්න පුළුවන්.

Right to Information in Sri Lanka - what to do next?
Right to Information in Sri Lanka – what to do next?

තොරතුරු නීතිය සමහරුන් යතුරකට සංසන්දනය කරනවා. යතුර අතට ලැබුණාට මදි. ‍ෙදාර ඇරීම විතරකුත් මදි. අපි ‍ෙදාර ඇරගෙන ඇතුළට ගියහම මොනවද කරන්නෙ කියන එක ගැනත් යම්කිසි අවබෝධයක්, පෙර සූදානමක් තියෙන්න ඕන. ඇතුළට යෑමේ වරම තියෙනවා. ඉන් එහාට කරන දේ මොකක්ද කියන එකයි අපට තිබෙන අභියෝගය.

මොකද පාලකයන්ගෙන් තොරතුරු ඉල්ලන සම්ප්‍රදායක් කවදාවත්ම අපේ රටේ තිබුණේ නැහැ. අපිට හිටියේ පූර්ණ බලතල සහිත රජවරු. කිසිම දෙයක් යටත්වැසියන්ට හෙළි කරන්නට කිසිම ආකාරයකින් රජවරු බැඳිලා හිටියේ නැහැ. රජුගේ භාණ්ඩාගාරයේ වියදම් මොනවාද, අන්ත–පුරයේ කාන්තාවන් කී දෙනෙක් ඉන්නවාද, යනාදී කිසිම දෙයක් අහන්න යටත්වැසියන්ට කිසිම අයිතියක් තිබුණේ නැහැ. යටත් විජිත පාලන සමයේදීත් එහෙම අවස්ථාවක් තිබුණේ නැහැ.

ඒ නිසා රජ කාලෙවත් යටත් විජිත කාලෙවත් නිදහසින් අවුරුදු 68ක් යනතුරුත් නොතිබුණු දෙයක් දැන් දීලා තියෙන්නේ. අපට ආණ්ඩුවෙන් පාලකයන්ගෙන් තොරතුරු ඉල්ලීමේ පුරුද්දක් හෝ තොරතුරු ඉල්ලීමට අරගල කිරීමේ පුරුද්දක් ඓතිහාසිකව තිබී නැහැ.

මේක සංකල්පීයව පැනිය යුතු පිම්මක්. මේ හරහා ජනතාව බලාත්මක කරන්න පුළුවන් කියන එකයි මගේ අදහස. බලාපොරොත්තු දැන්මම සුන් කරගත්තොත් කිසි වැඩක් නැහැ.

මේ වගේ අපේ ඓතිහාසික සමාජයීය සංස්කෘතික යම් යම් සීමා කිරීම් ඉක්මවා නැඟී සිටින්න ඕනෑ. ඒක අපි සමාජයක් වශයෙන් ගතයුතු උත්සාහයක්. මේකට ටිකක් දඟලන්න වෙයි. තොරතුරු අයිතිය නීතිගත වීමක් සෑහෙන්නේ නැහැ. ඒකට තොරතුරු සාක්ෂරතාවත් දියුණු කරගන්න ඕනෑ.

පුරවැසියන් ලෙස තොරතුරු ඉල්ලීම ටිකෙන් ටික වැඩි කරගැනීම කරන්න ඕනෑ. වෙන නීති වගේ නොවෙයි. මේක පුරවැසියන් විසින් පාවිච්චි කළ යුතු නීතියක්. බොහෝ නීති තිබෙන්නේ ආණ්ඩුව හා නිලධාරීන් පාවිච්චි කර නොයෙක් දේ ජනතාව මත බලෙන් හෝ කැමැත්තෙන් පටවන්න.

ඉල්ලුම් පැත්ත වැඩි කරන්න කළ හැකි දේ මොනවාද? පනත සහ පනතට අදාළ නියෝග ගැන දැනුවත් වෙන්න ඕනෑ. නොදැනුවත්ව හෝ දැනුවත්ව ඇතැම් දෙනා විසින් පතුරුවන දුර්මත තිබෙනවා පනත පාර්ලිමේන්තුගත වෙලා විවාදයට ගැනෙන කාලය තුළ මේ පනත කියවන්නේවත් නැතිව සමහර ජාතික යැයි කියාගන්නා පත්තර අමූලික බොරු මේ පනත ගැන ලිව්වා. මේ පනත ගෙනාවොත් කිසි දෙයක් ලියන්න බැරිවෙයි. චිත්‍ර කතා පළකරන්න වෙයි කියලා කිව්වා. ඒ වගේ දුර්මත දුරුකරන්න ඕනෑ.

මේ නීතිය භාෂා තුනෙන්ම ලියැවිලා තියෙන්නේ. පිටපතක මිල රු. 21යි. රජයේ ප්‍රකාශක කාර්යාංශයෙන් ගන්න පුළුවන්. ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වෙබ් අඩවියෙන් නොමිලයේම භාගත කරන්න පුළුවනි.

තොරතුරු නීතිය සම්මත කරගත් අසල්වැසි රටවල අත්දැකීම්ද අපට යොදා ගන්න පුළුවන්. විශේෂයෙන්ම ඉන්දියාව ගැන සඳහන් කරන්න ඕනෑ. 2005 තමයි ඉන්දියාව ජාතික වශයෙන් තොරතුරු පනත සම්මත කරගත්තේ. නීතිය සම්මත කරගත්තාට නීති භාවිතයේ අඩුපාඩු තිබෙනවා. බොහෝ පුරවැසියන් මේ නීතිය ගැන කැමැත්තක් නැති බවත්, තොරතුරු ලබාගත් පමණින් එයින් වැඩ ගන්න හා ඒවා තේරුම් ගන්න හැකියාවත් ඒ රටවල තවම ඇත්තේ සීමිත බව දකුණු ආසියාවේ තොරතුරු නීතිය ගැන ආසියා පදනම කළ විමර්ශනයකින් පැහැදිලි වෙනවා.

තොරතුරු ඉල්ලනතුරු නොසිට සෑම පොදු අධිකාරියක්ම ස්වේච්ඡාවෙන් ඒවා ප්‍රකාශයට පත් කිරීමේ සිද්ධාන්තය ඉන්දියාවේ ක්‍රියාත්මක වෙනවා.

ඉන්දියාවේ පාසල් දරුවන් පවා තොරතුරු නීතිය පාවිච්චි කරනවා. ශිෂ්‍යාධාර ප්‍රමාද වන්නේ ඇයි? පාසල් බස්වල සේවා අඩාල වෙන්නේ ඇයි? මදුරු උවදුරට පිළියම් නොකරන්නේ ඇයි? යනාදී ප්‍රශ්නවලට විසඳුම් සොයන්න අවුරුදු 8-9 ළමයින් පවා තොරතුරු නීතිය යොදා ගන්නවා.

Nurturing the demand side of Right to Information (RTI) in Sri Lanka: What can be done?
Nurturing the demand side of Right to Information (RTI) in Sri Lanka: What can be done?
What more can be done to promote RTI demand side in Sri Lanka - ideas by Nalaka Gunawardene
What more can be done to promote RTI demand side in Sri Lanka – ideas by Nalaka Gunawardene

ඉන්දියාවේ ජනතාවගේ තොරතුරු අයිතිය සඳහා වූ ජාතික ව්‍යාපාරයේ ආදි කර්තෘවරයා වන සේකර් සිං මහතා අපේ රටට තොරතුරු අයිති අරගලයේ පාඩම් කිහිපයක් ලබා දුන්නා.

තොරතුරු අයිතිය දේශපාලන යථාර්ථය සමඟ සමීපව බැඳී තිබෙන බැවින් එය වෙනම වෙන් නොකිරීම වගේම ඔවුන් හා අපි කියලා දේශපාලකයන් හා නිලධාරීන් පැත්තකට දාලා ජනතාව එක් පැත්තකට දාන්න එපා කියලා ඔහු කියනවා. ප්‍රගතිශීලී, ප්‍රජාතන්ත්‍රවාදී පියවර සඳහා පෙනී සිටින අය සමඟ මේ ගමනක් යෑම, හොඳ නීති සම්මත කර ඒවා නැත්තා සේ කටයුතු කිරීමට දකුණු ආසියාවේ දේශපාලකයන් ඉතා හොඳින් දන්නා බැවින් ඒ අවකාශය දෙන්න එපා කියලත් ඔහු කියනවා.

දිගටම මහජන බලපෑම් කිරීම, තොරතුරු නීතිය මහජන සුබසාධනයට යොදාගන්නේ කොහොමද යන්න කලාපීය වශයෙන් අත්දැකීම්වලින් නිලධාරීන් දැනුවත් කිරීම, තොරතුරු හා සිද්ධීන් අධ්‍යයන කිරීම අත්දැකීම් සියලුම දෙනා සමඟ බෙදා ගැනීම, සමාජ සාධාරණත්වයට ලැබෙන තල්ලුවක් ලෙස තොරතුරු අයිතිය ඉදිරිපත් කිරීම, හැකි තරම් සහයෝගයෙන් ප්‍රශ්න විසඳන තැනට යොමු කිරීම, ආර්.අයි.ටී. කියන දේ සියලුම ක්ෂේත්‍රවලට අදාළ කරගත හැකි පොදු මෙවලමක් ලෙස දැකීම, තොරතුරු නීතිය පාවිච්චි කිරීම ගැන සියලුම සිවිල් සංවිධාන ජනතාව දැනුවත් කිරීම, රාජ්‍ය ආයතන ප්‍රගාමි තොරතුරු හෙළිදරව් කරනවාද යන්න නිරතුරු විමසිල්ලෙන් සිටීම වගේම තොරතුරු අයිතිය ගැන දුර්මත පැතිරුවත් ඒවාට උත්තර දෙන්න ලෑස්ති වෙන්න කියලත් සිං මහතා කියනවා.

තොරතුරු යතුරෙන් ‍දොර විවෘත කළාට මදි! Nalaka Gunawardene on Right to Information (RTI) challenges in Sri Lanka: Mawbima newspaper. 21 Feb 2017
තොරතුරු යතුරෙන් ‍දොර විවෘත කළාට මදි! Nalaka Gunawardene on Right to Information (RTI) challenges in Sri Lanka: Mawbima newspaper. 21 Feb 2017

තොරතුරු අයිතිය සමාජ සාධාරණත්වය වෙනුවෙන් හොඳ ආරම්භයක් – නාලක ගුණවර්ධන

Nalaka Gunawardene speaks at public forum on Sri Lanka’s new Right to Information (RTI) law. Colombo, 15 Feb 2017
Nalaka Gunawardene speaks at public forum on Sri Lanka’s new Right to Information (RTI) law. Colombo, 15 Feb 2017

On 15 February 2017, I served as main speaker at a public forum in Colombo on Sri Lanka’s newly operational RTI law and its wider socio-cultural and political implications. The event, organized by the National Media Forum (NMF), was attended by a large number of journalists, social activists, lawyers, government officials and other citizens.

Here is one news report on the event, by Lanka News Web:

තොරතුරු අයිතිය සමාජ සාධාරණත්වය වෙනුවෙන් හොඳ ආරම්භයක් – නාලක ගුණවර්ධන

තොරතුරු දැන ගැනීමේ අයිතිය පිලිබඳ ඉදිරියේදී දුර්මත ගොඩනැගීමටත් දියාරු කිරීමටත් හැකියාව ඇති හෙයින් එම තත්ත්වයන්ට මුහුණ දීමට සූදානමින් සිටිය යුතු බව ප්‍රවීණ මාධ්‍යවේදී නාලක ගුණවර්ධන මහතා පැවසීය.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (15) පැවති ජාතික මාධ්‍ය සංසදය මඟින් සංවිධානය කර තිබූ “තොරතුරු පනතට සමාජ සංස්කෘතිය ඉක්මවිය හැකිද?” සංවාද සභාවේ මුඛ්‍ය දේශනය පවත්වමිනි.

පනතේ 20 වැනි වගන්තියට අනුව ප්‍රගාමී තොරතුරු දීම සම්බන්දයෙන් කර ඇති සඳහන ඉතා හොඳ ආරම්භයක් බවයි ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ.පුරවැසියන් තොරතුරු ඉල්ලීමට ප්‍රථම ස්වෙච්ජාවෙන් ඒවා ලබා දිය යුතු බවට වන වගන්තිය පුරවැසියන්ගේ තොරතුරු අයිතිය තහවුරු කරන්නක් බව පෙන්වා දෙන හෙතෙම අවධාරණය කළේ කලාපයේ තොරතුරු නිතිය ක්‍රියාත්මක කිරීමේ අත්දැකීම් ඇති රටවල සහය අපටද ලබා ගත හැකි බවයි.මේ සඳහා පුරවැසියන්ගේ සක්‍රීය දායකත්වයද අවශ්‍ය බව හෙතෙම සඳහන් කළේය.

ඉන්දියානු සමාජයේ තොරතුරු අයිතිය දිනා ගැනීමේ ප්‍රබල අරගලයක් කළ සමාජ ක්‍රියාකාරිකයෙකු වන ෂෙකර් සිං සමාජ ගත කරමින් පවතින කාරණා පිළිබඳවද නාලක ගුණවර්ධන මහතා අදහස් පළ කළේය.ෂේකර් සිං මතු කරන ප්‍රධාන කාරණයක් වන මෙම අයිතිය දිනා ගැනීම වෙනුවෙන් ප්‍රජාතාන්ත්‍රීය, ප්‍රගතිශීලි හැමදෙනාම එක්ව ක්‍රියා කළ යුතු බව ගුණවර්ධන මහතා පෙන්වා දුන්නේය.

දේශපාලන අධිකාරිය හා නිලධාරීන් මේ සම්බන්ධයෙන් නිවැරදිව සක්‍රීයව මැදිහත් වන්නේ පුරවැසියන් ඊට දක්වන ප්‍රතිචාරය මත වන හෙයින් පුරවැසියා මේ පිලිබඳ බලගැන්වීම අවශ්‍ය කරුණක් බව හෙතෙම අවධාරණය කළේය.

L to R - Nalaka Gunawardene, Mandana Ismail Abeywickrema, Priyantha Wedamulla
L to R – Nalaka Gunawardene, Mandana Ismail Abeywickrema, Priyantha Wedamulla

සංවාද සභාව ඇමතූ ජාතික මාධ්‍ය සංසදයේ කැඳවුම්කරු මාධ්‍යවේදිනී මන්දනා ඉස්මයිල් අබේවික්‍රම මහත්මිය ප්‍රකාශ කළේ මෙතෙක් පැවති අත්දැකීම් අනුව තොරතුරු ලබාදීමට ආණ්ඩු සුදානම් නොමැති හෙයින් තොරතුරු පනත ක්‍රියාත්මක කරවාගැනීමට සිදුව ඇත්තේ වෙනසකට ලක් නොවුණු දේශපාලන සංස්කෘතික පසුබිමක හිදිමින් බවයි.පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාද යටතේ පවා තොරතුරු ලබා ගැනීමට නොහැකි දේශපාලන පසුබිමක අපට කටයුතු කිරීමට සිදු වූ බව ඇය පෙන්වා දුන්නේය. එහෙත් මෙම තත්ත්වයන් අභියෝගයට ලක් කළ යුතු බවත් ඊට පුරවැසියා මැදිහත් විය යුතු බවත් ය වැඩිදුරටත් පැවසීය.

Here is the video of my full speech (in Sinhala):

සිවුමංසල කොලුගැටයා #284: දකුණු ආසියානු රජයන්ගේ මාධ්‍ය මර්දනයේ සියුම් මුහුණුවර හඳුනා ගනිමු

East-West Center 2016 International Media Conference in New Delhi, India, from September 8 to 11, 2016
East-West Center 2016 International Media Conference in New Delhi, India, from September 8 to 11, 2016

In this week’s Ravaya column (in Sinhala, appearing in the print issue of 18 Sep 2016), I discuss new forms of media repression being practised by governments in South Asia.

The inspiration comes from my participation in the Asia Media Conference organized by the Hawaii-based East-West Center in New Delhi, India, from September 8 to 11, 2016. Themed “South Asia Looking East”, it drew over 350 participants from across Asia and the United States.

Speeches and discussions showed how governments are more concerned about international media rights watch groups tracking the imprisonment and physical harassment of media and journalists. So their tactics of repression have changed to unleash bureaucratic and legal harassment on untamed and unbowed journalists. And also to pressurising advertisers to withdraw.

Basically this is governments trying to break the spirit and commercial viability of free media instead of breaking the bones of outspoken journalists. And it does have a chilling effect…

In this column, I focus on two glaring examples that were widely discussed at the Delhi conference.

In recent months, leading Bangladeshi editor Mahfuz Anam has been sued simultaneously across the country in 68 cases of defamation and 18 cases of sedition – all by supporters of the ruling party. Anam was one of six exceptional journalists honoured during the Delhi conference “for their personal courage in the face of threats, violence and harassment”.

In August, an announcement was made on the impending suspension of regional publication of Himal Southasian, a pioneering magazine promoting ‘cross-border journalism’ in the South Asian region. The reason was given as “due to non-cooperation by regulatory state agencies in Nepal that has made it impossible to continue operations after 29 years of publication”.

Bureaucracy is pervasive across South Asia, and when they implement commands of their political masters, they become formidable threats to media freedom and freedom of expression. Media rights watch groups, please note.

”බලවත් රජයක් හා ස්වාධීන මාධ්‍ය අතර ගැටුමකදී නිරන්තරයෙන්ම පාහේ මුල් වට කිහිපය ජය ගන්නේ රජයයි. බලපෑම් හා පීඩන කළ හැකි යාන්ත්‍රණ රැසක් රජය සතු නිසා. එහෙත් අන්තිමේදී ස්වාධීන මාධ්‍ය ජය ලබනවා!”

”කියවන විට ලිවීම සිය මාධ්‍ය කලාව ලෙස නිර්වචනය කර ගත් කීකරු මාධ්‍යවලට නම් කිසිදු රටක රජයකින් හෝ වෙනත් බල කේන‍ද්‍රවලින් තාඩන පීඩන එල්ල වන්නේ නැහැ. එහෙත් එසේ නොකරන, පොදු උන්නතිය වෙනුවෙන් පෙනී සිටින මාධ්‍යවලට (free press) පන්න පන්නා හිරිහැර කරන සැටි දේශපාලකයන් මෙන්ම නිලධාරී තන්ත්‍රය හොඳහැටි දන්නවා. හීලෑ කර ගත නොහැකි මාධ්‍යවේදීන් හා කතුවරුන් හිරේ දැමීම, ඔවුන්ට පහරදීම හෝ මරා දැමීම බරපතළ ලෝක විවේචනයට ලක් වන නිසා ඊට වඩා සියුම් අන්දමින් මාධ්‍යවලට හිරිහැර කිරීමට දකුණු ආසියානු ආණ්ඩු දැන් නැඹුරු වී සිටිනවා, මාධ්‍ය නිදහසට එල්ල වන ප්‍රකට තර්ජන (භෞතික ප්‍රහාර හා නිල ප්‍රවෘත්ති පාලනයන්) ගැන ඇස යොමා ගෙන සිටින ජාත්‍යන්තර ආයතනවලට පවා මේවා හරිහැටි ග්‍රහණය වන්නේ නැහැ!”

මේ වටිනා විග්‍රහයන්ට මා සවන් දුන්නේ 2016 සැප්තැම්බර් 8-11 දින කිහිපය තුළ ඉන්දියාවේ නවදිල්ලියේ පැවති ජාත්‍යන්තර මාධ්‍ය සමුළුවකදී (East-West Center 2016 International Media Conference).  අමෙරිකාවේ හවායිහි පිහිටි ඊස්ට්-ටෙස්ට් කේන‍ද්‍රය තවත් කලාපීය හා ඉන්දීය පාර්ශ්වකරුවන් සමග සංවිධානය කළ මේ සමුළුවට රටවල් හතළිහකින් පමණ 350කට වැඩි මාධ්‍යවේදී පිරිසක් සහභාගි වුණා.

මා එහි ගියේ ආරාධිත කථීකයෙක් හා එක් සැසි වාරයක මෙහෙයවන්නා ලෙසින්.

තොරතුරු අයිතිය, විද්‍යුත් ආවේක්ෂණය, සමාජ මාධ්‍ය, ගවේෂණාත්මක මාධ්‍යකරණය, පාරිසරික වාර්තාකරණය ආදී විවිධ තේමා යටතේ සැසිවාර හා සාකච්ඡා රැසක් තිබුණත් වැඩිපුරම අවධානය යොමු වුණේ මාධ්‍ය නිදහසට එල්ල වන පීඩන හා තර්ජන ගැනයි.

මෙය දේශපාලන සංවාදයකට සීමා නොවී මාධ්‍යවල වෘත්තියභාවය, ආචාරධර්මීය ක්‍රියා කලාපය හා මාධ්‍ය-රජය තුලනය ආදී පැතිකඩද කතාබහ කෙරුණා.

Mahfuz Anam speaks at East West Center Media Conference in Delhi
Mahfuz Anam speaks at East West Center Media Conference in Delhi

සමුළුවේ ප්‍රධාන භූමිකාවන් රඟපෑවේ (සහ මාධ්‍ය නිදහස උදෙසා අරගල කිරීම සඳහා පිරිනැමුණු විශේෂ සම්මානයක් හිමි කර ගත්තේ) මෆූස් අනාම් (Mahfuz Anam) මාධ්‍යවේදියායි.ඔහු බංග්ලාදේශයේ අද සිටින ජ්‍යෙෂ්ඨතම එසේම ලොව පිළිගත් පුවත්පත් කතුවරයෙක්. කලක් යුනෙස්කෝ සංවිධානයේ තනතුරක් හෙබ වූ ඔහු සියරට ආවේ මාධ්‍ය ක්ෂේත්‍රයේ සක්‍රිය වීමටයි.

ඔහු එරට මුල්පෙළේ පුවත්පතක් වන Daily Star කතුවරයා මෙන්ම ප්‍රකාශකයාද වනවා. ඩේලි ස්ටාර් බංගල්දේශයේ වඩාත්ම අලෙවි වන ඉංග්‍රීසි පුවත්පතයි. එය මීට වසර 25කට පෙර අනාම් ඇරඹුවේ එරට මිලිටරි පාලනයකින් යළිත් ප්‍රජාතන්ත්‍රවාදී මාවතට පිවිසි පසුවයි.

ප්‍රජාතන්ත්‍රවාදය, පුරවැසි අයිතිවාසිකම්, විවෘත ආණ්ඩුකරණය හා රාජ්‍ය විනිවිදභාවය වැනි පරමාදර්ශයන් වෙනුවෙන් ඔහුත්, ඔහුගේ පුවත්පතත් කවදත් පෙනී සිටිනවා.

බංග්ලාදේශයේ අතිශයින් ධ්‍රැවීකරණය වී ඇති පක්ෂ දේශපාලනය ඔහු විවෘතවම විවේචනය කරනවා. මේ නිසා දේශපාලකයන් ඔහුට කැමති නැහැ. මීට පෙරද නොයෙක් පීඩනයන් එල්ල වුවත් ඔහුගේ මාධ්‍ය කලාවට ලොකුම තර්ජනය මතු වී ඇත්තේ ෂේක් හසීනා වත්මන් අගමැතිනියගේ රජයෙන්.

බලයේ සිටින ඕනෑම රජයක් සහේතුකව විවේචනය කිරීම අනාම්ගේ ප්‍රතිපත්තියයි. අධිපතිවාදී රාජ්‍ය පාලනයක් ගෙන යන හසීනා අගමැතිනියට මෙය කිසිසේත් රුස්සන්නේ නැහැ. ඇය, ඇගේ ආන්දෝලනාත්මක පුත්‍රයා හා දේශපාලන අනුගාමිකයන් ඩේලි ස්ටාර් පත්‍රයට හිරිහැර කිරීමට පටන් ගත්තේ මීට වසර 3කට පමණ පෙරයි.

එහෙත් එය උත්සන්න වූයේ 2016 පෙබරවාරියේ. එරට ටෙලිවිෂන් නාලිකාවක් සමඟ කළ සාකච්ඡාවකදී අනාම් එක්තරා පාපෝච්චාරණයක් කළා. වත්මන් අගමැතිනිය 2007දී විපක්ෂ නායිකාව ලෙස සිටියදී ඇයට එරෙහිව මතු වූ දුෂණ චෝදනා සිය පුවත්පතේ පළ කිරීම ගැන ඔහු කණගාටුව ප්‍රකාශ කළා.

එවකට එරට පාලනය කළේ හමුදාව විසින් පත් කළ,  ඡන්දයකින් නොතේරුණු රජයක්. එම රජය හසීනා අගමැතිනියට එරෙහිව මතු කළ දූෂණ චෝදනා, නිසි විමර්ශනයකින් තොරව සිය පත්‍රයේ පළ කිරීම කර්තෘ මණ්ඩල අභිමතය අනිසි ලෙස භාවිත කිරීමක් (poor editorial judgement) බව ඔහු ප්‍රසිද්ධියේ පිළිගත්තා.

එම දූෂණ චෝදනා එරට වෙනත් බොහෝ මාධ්‍යද එවකට පළ කරන ලද නමුත් මෙසේ කල් ගත වී හෝ ඒ ගැන පසුතැවීමක් සිදු කර ඇත්තේ ඩේලි ස්ටාර් කතුවරයා පමණයි.

කතුවරුන් යනු අංග සම්පූර්ණ මිනිසුන් නොවෙයි. ඔවුන් අතින් ද වැරදි සිදු වනවා. ඒවා පිළිගෙන සමාව අයැද සිටීම අගය කළ යුත්තක්.

එහෙත් මේ  පාපොච්චාරණයෙන් හසීනා පාක්ෂිකයෝ දැඩි කෝපයට පත් වූවා. මහජන ඡන්දයෙන් නොව බලහත්කාරයෙන් බලයේ සිටි රජයක් එකල විපක්ෂ නායිකාවට කළ චෝදනා පත්‍රයේ පළ කිරීම ඇය දේශපාලනයෙන් ඉවත් කිරීමට කළ කුමන්ත්‍රණයක කොටසක් බව ඔවුන් තර්ක කළා.

අනාම් මේ තර්කය ප්‍රතික්ෂේප කරනවා. 2007-8 හමුදාමය රජයට එරෙහිව තමන් කතුවැකි 203ක් ලියමින් ප්‍රජාතන්ත්‍රවාදය යළි ස්ථාපිත කරන මෙන් ඉල්ලා සිටි බව ඔහු මතක් කරනවා. එසේම දූෂණ චෝදනා මත හසීනා අත්අඩංගුවට ගත් විට එයට එරෙහිව ප්‍රබල විරෝධතා මතු කළේත් තම පත්‍රය බව ඔහු කියනවා. (2008දී හසීනාගේ අවාමි ලීගය යළි බලයට පත් වූ විට එම චෝදනා සියල්ල කිසිදු  විභාග කිරීමකින් තොරව අත්හැර දමනු ලැබුවා.)

Mahfuz Anam, center, the editor of The Daily Star, Bangladesh’s most popular English-language newspaper, outside a court in Rangpur District, March 2016
Mahfuz Anam, center, the editor of The Daily Star, Bangladesh’s most popular English-language newspaper, outside a court in Rangpur District, March 2016 [Photo courtesy The New York Times]
පෙබරවාරි ටෙලිවිෂන් සාකච්ඡාවෙන් පසු සති කිහිපයක් තුළ රටේ විවිධ ප්‍රදේශවල උසාවිවල අනාම්ට එරෙහිව අපහාස නඩු හා රාජ්‍ය ද්‍රෝහිත්වය (sedition) අරභයා නඩු දුසිම් ගණනක් ගොනු කරනු ලැබුවා. මේ එකම නඩුවකටවත් බංග්ලාදේශ රජය සෘජුව සම්බන්ධ නැහැ. නඩු පැමිණිලිකරුවන් වන්නේ හසීනාගේ පාක්ෂිකයෝ.

මේ වන විට අපහාස නඩු 68ක් හා රාජ්‍ය ද්‍රෝහිත්වයට එරෙහි  නඩු 18ක් විභාග වෙමින් තිබෙනවා. මේවාට පෙනී සිටීමට රට වටේ යාමටත් වග උත්තර බැඳීමටත් ඔහුට සිදුව තිබෙනවා.

නඩු පැවරීමට අමතරව වෙනත් උපක්‍රම හරහාද තම පත්‍රයට හිරිහැර කරන බව අනාම් හෙළි කළා. පත්‍රයට නිතිපතා දැන්වීම් ලබා දෙන ප්‍රධාන පෙළේ සමාගම් රැසක් රාජ්‍ය බලපෑම් හමුවේ නොකැමැත්තෙන් වුවත් එය නතරකොට තිබෙනවා. මේ නිසා ඩේලිස්ටාර් දැන්වීම් ආදායම 40%කින් පහත වැටිලා.

”එහෙත් මධ්‍යම හා කුඩා පරිමානයේ දැන්වීම්කරුවන් දිගටම අපට දැන්වීම් දෙන බවට ප්‍රතිඥා දී තිබෙනවා. මේ ව්‍යාපාරිකයන්ගේ කැපවීම අගය කළ යුතුයි. ආණ්ඩු බලයට නතු නොවී, බිය නොවී, ස්වාධීන මාධ්‍යවලට අනුග්‍රහය දක්වන ව්‍යාපාර ඉතිරිව තිබීම අපට ලොකු සවියක්” අනාම් ප්‍රකාශ කළා.

කුඩා හා මධ්‍යම පරිමාන දැන්වීම් කරුවන්ට අමතරව බංගලාදේශයේ වෘත්තිකයන්, බුද්ධිමතුන් හා කලාකරුවන්ද ඩේලිස්ටාර් හා එහි කතුවරයා වෙනුවෙන් කථා කරනවා. සෙසු (තරඟකාරී) මාධ්‍ය කෙසේ වෙනත් මහජනයා මෙසේ ස්වාධීන මාධ්‍යවල නිදහස වෙනුවෙන් කථා කිරීම ඉතා වැදගත්.

මාධ්‍ය නිදහස රැකීමට වීදි උද්ඝෝෂණ කළාට පමණක් මදි. අන්තවාදීන්ගේ හා මර්දනකාරී ආණ්ඩුවල පීඩනයට ලක් වන මාධ්‍ය ආයතනවලට ප්‍රසිද්ධියේ සහාය දැක්වීම ද අවශ්‍යයි.

නවදිල්ලි සමුළුවේ අවධානයට ලක් වූ තවත් මාධ්‍ය මර්දනයක් නම් නේපාලයේ කත්මණ්ඩු අගනුවරින් පළ කැරෙන හිමාල් (Himal) සඟරාවේ අර්බුදයයි.

Kanak Mani Dixit (left) and Kunda Dixit struggling to save Himal South Asian magazine
Kanak Mani Dixit (left) and Kunda Dixit struggling to save Himal South Asian magazine

හිමාලයට සාමුහිකව හිමිකම් කියන භූතානය, ඉන්දියාව, නේපාලය, ටිබෙටය, පකිස්ථානය හා චීනය යන රටවල් කෙරෙහි මුලින් අවධානය යොමු කළ මේ ඉංග්‍රීසි සඟරාව, වසර කිහිපයකින් සමස්ත දකුණු ආසියාවම ආවරණය කැරෙන පරිදි Himal Southasian නමින් යළි නම් කළා.

සාක් කලාපයේ රටවල (විශේෂයෙන් ඉන්දියාවේ) හොඳ කාලීන පුවත් සඟරා ඇතත් දකුණු ආසියාව ගැන පොදුවේ කථා කරන එකම වාරික ප්‍රකාශනය මෙයයි. ජාතික දේශසීමාවලින් ඔබ්බට ගොස් සංසන්දනාත්මකව හා තුලනාත්මකව සමාජ, ආර්ථීක, දේශපාලනික හා සංස්කෘතික ප්‍රශ්න ගවේෂණය කිරීම දශක තුනක් තිස්සේ හිමාල් සඟරාව ඉතා හොඳින් සිදු කරනවා.

2016 අගෝස්තු 24 වනදා හිමාල් සඟරාවේ ප්‍රකාශකයන් වන දකුණු ආසියානු භාරය (Southasia Trust) විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ නේපාල රජයේ ආයතනවලින් දිගින් දිගටම මතුව ඇති බාධක හා අවහිර කිරීම් නිසා කණගාටුවෙන් නමුත් සඟරාව පළ කිරීම නතර කරන බවයි.

”හිමාල් නිහඬ කරනු ලබන්නේ නිල මාධ්‍ය වාරණයකින් හෝ සෘජු භෞතික පහරදීමකින් හෝ නොවෙයි. නිලධාරිවාදයේ දැඩි හස්තයෙන් අපට හිරිහැර කිරීමෙන්. කිසිදු දැනුම් දීමකින් හෝ චෝදනාවකින් තොරව අපට ලැබෙන ආධාර සියල්ල අප කරා ළඟා වීම වළක්වා තිබෙනවා. අපේ සියලු ගිණුම් වාර්තා ඉහළ මට්ටමක ඇති බවත්, සියලු කටයුතු නීත්‍යනුකූල බවත් රාජ්‍ය ආයතන සහතික කළත්, අපට එල්ල වන පරිපාලනමය බාධක අඩු වී හෝ නතර වී නැහැ” එම නිවේදනයේ සඳහන් වුණා.

වෘත්තීය කර්තෘ මණ්ඩලයක් මඟින් සංස්කරණය කැරෙන, ලිපි ලියන ලේඛකයන්ට ගරුසරු ඇතුව ගෙවීම් කරන, දැන්වීම් ඉතා සීමිත මේ සඟරාවේ නඩත්තු වියදම පියවා ගත්තේ දෙස් විදෙස් දානපති ආධාරවලින්. සඟරාවට ආධාර ළඟා වීම වැළැක්වීම හරහා එය හුස්ම හිරකර මරා දැමීම එහි විරද්ධවාදීන්ගේ උපක්‍රමයයි.

මෙසේ කරන්නේ ඇයි? හිමාල් සඟරාවේ ආරම්භකයා හා අද දක්වාත් සභාපතිවරයා නේපාල ක්‍රියාකාරීක හා මගේ දිගු කාලීන මිත්‍ර කනක් මානි ඩික්සිත් (Kanak Mani Dixit). 2012 අගෝස්තු 12 මගේ තීරු ලිපියෙන් සිංහල පාඨකයන්ට ඔහුගේ ප්‍රතිපත්තිමය අරගලයන් මා හඳුන්වා දුන්නා.

සිවුමංසල කොලූගැටයා #78: කනක් මානි ඩික්සිත් – හිමාල කඳු සොළවන පුංචි වැඩකාරයා

කනක්ගේ මාධ්‍ය විවේචන හමුවේ දැඩි ලෙසි උරණ වී ඔහුට නිලබලයෙන් පහර දීමට මූලිකව සිටින්නේ නේපාලයේ බලය අයථා ලෙස භාවිත කිරීම විමර්ශනය කරන රාජ්‍ය කොමිසමේ ප්‍රධානියා වන ලෝක්මාන් සිං කාර්කි.

2013 දී කාර්කි මේ තනතුරට පත් කරන විට ඔහු එයට නොසුදුසු බව කනක් ප්‍රසිද්ධියේ පෙන්වා දුන්නා. එහෙත් දේශපාලකයන් පත්වීම ස්ථීර කළ අතර එතැන් පටන් මේ නිලධාරීයා නිල බලය අයථා ලෙස යොදා ගනිමින් සිය විවේචකයන්ට හිරිහැර කිරීම ඇරඹුවා.

2016 අප්‍රේල් මාසයේ දූෂණ චෝදනා මත කනක් ඩික්සින් අත් අඩංගුවට ගෙන ටික දිනක් රඳවා තැබුණා. මේ ගැන එරට හා විදෙස් මාධ්‍ය හා මානව හිමිකම් සංවිධාන දැඩි විරෝධය පළ කළා. අන්තිමේදී කනක් සියලු චෝදනාවලට නිදොස් කොට නිදහස් කරනු ලැබුවේ නේපාල ශ්‍රේෂ්ඨාධිකරණය විසින්.

කනක්ට සෘජුව හිරිහැර කිරීම ඉන් පසු අඩු වූවත් ඔහු සම්බන්ධ මාධ්‍ය ප්‍රකාශන, ස්වේච්ඡා ආයතන හා සිවිල් සමාජ සංවිධානවලට නොයෙක් බලපෑම් කිරීම දිගටම සිදු වනවා.

හිමාල් සඟරාවට හා දකුණු ආසියාව භාරයට හිරිහැර කිරීම මේ ප්‍රහාරයන්ගේ එක් පියවරක්. මේ අත්තනෝමතික නිලධාරියාට දේශපාලන බලයද ඇති නිසා අන් නිලධාරීන්  ඔහුට එරෙහි වීමට බියයි.

රාජ්‍ය තන්ත්‍රයේ මුළු බලය යොදා ගෙන පුංචි (එහෙත් නොනැමෙන) සඟරාවකට හිරිහැර කරන විට එයට එරෙහිව හඬක් නැගීමට බොහෝ නේපාල මාධ්‍ය ආයතන  පැකිලෙනවා. එයට හේතුව මර්දකයා තමන් පසුපස ද එනු ඇතැයි බියයි. මේ අතින් නේපාල තත්ත්වය බංග්ලාදේශයට වෙනස්.

පොදු උන්නතිය වෙනුවෙන් නිර්ව්‍යාජව පෙනී සිටින මාධ්‍ය ආයතනයක් හා කතුවරයෙක් මර්දනයට ලක් වූ විට ඔවුන් වෙනුවෙන් හඬ නැගීම ශිෂ්ඨ සමාජයක කාගේත් වගකීමක්. හිමාල් සඟරාව හා කනක් ඩික්සින් වෙනුවෙන් මේ හඬ වැඩිපුරම මතුව ආයේ ඔහුගේ මෙහෙවර අගයන සෙසු දකුණු ආසියාතික රටවලින්.

මේ ලිපිය ආරම්භයේ මා උපුටා දැක්වූ පලමු උධෘතය මෆූස් අනාම්ගේ. ඊළඟ උධෘතය කනක්ගේ  සොහොයුරු කුන්ඩා ඩික්සිත්ගේ. මෆූස්, කනක් හා කුන්ඩා වැනි කතුවරුන්ට සහයෝගිතාව දැක්වීම නවදිල්ලි සමුළුව පුරාම දැකිය හැකි වුණා.

අවසානයේ මාධ්‍ය ජය ගන්නා තුරු මර්දනයට ලක් වන මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ සහයෝගයෙන් සිටීම ඉතා වැදගත්.

Right to Information (RTI): Sri Lanka can learn much from South Asian Experiences

Nalaka Gunawardene speaks at RTI Seminar for Sri Lanka Parliament staff, 16 Aug 2016
Nalaka Gunawardene speaks at RTI Seminar for Sri Lanka Parliament staff, 16 Aug 2016

 

On 16 August 2016, I was invited to speak to the entire senior staff of the Parliament of Sri Lanka on Right to Information (RTI) – South Asian experiences.

Sri Lanka’s Parliament passed the Right to Information (RTI) law on 24 June 2016. Over 15 years in the making, the RTI law represents a potential transformation across the whole government by opening up hitherto closed public information (with certain clearly specified exceptions related to national security, trade secrets, privacy and intellectual property, etc.).

This presentation introduces the concept of citizens’ right to demand and access public information held by the government, and traces the evolution of the concept from historical time. In fact, Indian Emperor Ashoka (who reigned from c. 268 to 232 Before Christ) was the first to grant his subjects the Right to Information, according to Indian RTI activist Venkatesh Nayak, Coordinator, Commonwealth Human Rights Initiative (CHRI). Ashoka had inscribed on rocks all over the Indian subcontinent his government’s policies, development programmes and his ideas on various social, economic and political issues — including how religious co-existence.

Nalaka Gunawardene speaks at RTI Seminar for Parliament staff, Sri Lanka - 16 Aug 2016
Nalaka Gunawardene speaks at RTI Seminar for Parliament staff, Sri Lanka – 16 Aug 2016

Therefore, adopting an RTI law signifies upholding a great Ashokan tradition in Sri Lanka. The presentation looks at RTI good practices and implementation experiences in India, Nepal, Bangladesh, Pakistan and Maldives – all these South Asian countries passed an RTI law before Sri Lanka, and there is much that Sri Lanka can learn from them.

The presentation ends acknowledging the big challenges in implementing RTI in Sri Lanka – reorienting the entire public sector to change its mindset and practices to promote a culture of information sharing and transparent government.

 

 

සිවුමංසල කොලූගැටයා #273: තොරතුරු නීතිය සඳහා අරගලයේ පුරෝගාමියෝ හා නියමුවෝ

Parliament of Sri Lanka - Photo by Kolitha de Silva, from Wikimedia Commons
Parliament of Sri Lanka – Photo by Kolitha de Silva, from Wikimedia Commons

Sri Lanka’s Parliament debated the Right to Information (RTI) bill for two days (23 – 24 June 2016) before adopting it into law. No member opposed it, although some amendments were done during the debate.

A large number of Lankans and a few supportive foreigners share the credit for Sri Lanka becoming the 108th country in the world to have its own RTI (or freedom of information) law.

How we reached this point is a case study of campaigning for policy change and law reform in a developing country with an imperfect democracy.

In this week’s Ravaya column (appearing in the print issue of 3 July 2016), I recall the key pioneers, promoters and enablers. The long journey deserves greater documentation and analysis, but I hope this quick tribute initiates such chronicling.

See also earlier columns related to RTI:

26 June 2016:  සිවුමංසල කොලූගැටයා #272: මහජන තොරතුරු අයිතිය අශෝක අධිරාජයාගේ ඓතිහාසික දායාදයක්

1 May 2016: සිවුමංසල කොලූගැටයා #266: තොරතුරු නීතියේ වැඩිම ප‍්‍රයෝජන සාමාන්‍ය පුරවැසියන්ටයි!

22 November 2015: සිවුමංසල කොලූගැටයා #246: තොරතුරු අයිතිය විවෘත ආණ්ඩුකරණයට මුල් පියවරයි

දශක දෙකට වැඩි කලක් ගෙන ගිය බුද්ධිමය හා දේශපාලනමය අරගලයක ප්‍රතිඵලයක් ලෙස තොරතුරු දැන ගැනීම පිළිබඳ නීතිය (RTI Law) 2016 ජුනි 24දා පාර්ලිමේන්තුවේ ඒකච්ඡන්දයෙන් සම්මත වූවා.

ඒ සමග තොරතුරු නීතියක් හඳුන්වා දෙන ලෝකයේ 108 වන රට බවට ශ්‍රී ලංකාව පත්ව සිටිනවා.

මෙය යහපාලන රජයේ පොරොන්දුවක් ඉටු කිරීමක්. එමෙන්ම 2015 අප්‍රේල් මාසයේ 19 වන සංශෝධනයෙන් ව්‍යවස්ථාවට එක් කරන ලද තොරතුරු දැන ගැනීමේ මූලික අයිතිවාසිකම ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට ක්‍රමවේදයක් හඳුන්වා දීමක්.

මේ මොහොතේ අප වැඩි අවධානය යොමු කළ යුත්තේ දිනා ගත් තොරතුරු අයිතිය තහවුරු කිරීමට හා නිසි ලෙස ක්‍රියාත්මක කිරීමටයි. එසේ ඉදිරිය දෙස බලන අතර අප මෙතෙක් ආ ගමන දෙස හැරී බැලීම ද වටිනවා.

තොරතුරු අයිතිය දිනා ගන්නට විවිධාකාරයෙන් දායක වූ සියලු දෙනාට ලක් සමාජයේ ප්‍රණාමය හිමි විය යුතුයි. අද මා තැත් කරන්නේ එයින් ප්‍රමුඛයන් කිහිප දෙනකු සිහිපත් කරමින් ඔවුන්ගේ පුරෝගාමී මෙහෙවර අගය කිරීමටයි.

ශ්‍රී ලංකාවේ තොරතුරු අයිතිය පිළිබඳ සංවාදයේ හා ක්‍රියාවලියේ පිය සටහන් කෙටියෙන් වුවද ලේඛනගත කිරීමේ හොඳ උත්සාහයක් විකල්ප වෙබ් අඩවිය ගෙන තිබෙනවා. බලන්න: http://www.vikalpa.org/?p=27152

එයට අනුව මේ උත්සාහය ඇරඹුණේ 1994දී. 1994 අගෝස්තු පාර්ලිමේන්තු මැතිවරණයේදී පොදු පෙරමුණට සහාය දැක්වූ මාධ්‍ය සංවිධාන හා සිවිල් සංවිධාන කිහිපයක් කළ ඉල්ලීම්වලට අනුව එවකට මාධ්‍ය (තොරතුරු), සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ධර්මසිරි සේනානායක ‘ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රතිපත්ති’ ගැන කැබිනට් පත්‍රිකාවක් 1994 පිළියෙළ කළා.

විකල්ප වෙබ් අඩවිය කියන්නේ එහි තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළි ගන්නා බවත්, ඒ සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රැකවරණය ලබා දෙන බවත් සඳහන් වූ බවයි. තොරතුරු අයිතියට දේශපාලන මට්ටමේ ප්‍රතිඥාවක් මෙරට ලැබුණු මුල් වතාව එයයි.

මා දන්නා තරමට තොරතුරු අයිතිය මෙරට නිල ලේඛනයක මුල්වරට යෝජනා කරනු ලැබුවේ 1996 මැයි මාසයේ. ඒ මාධ්‍ය නිදහස හා භාෂණ නිදහසට බලපාන නීති සංශෝධනය කිරීම ගැන උපදෙස් දීමට පත් කරන ලද විද්වත් කමිටුවේ අවසන් වාර්තාවෙයි.

එම කමිටුව ප්‍රවීණ නීතිඥ ආර්. කේ. ඩබ්ලියු. ගුණසේකරගේ සභාපතිත්වයෙන් ක්‍රියාත්මක වූ නිසා වඩාත් ප්‍රකටව ඇත්තේ ගුණසේකර කමිටුව ලෙසයි. එහි සෙසු සාමාජිකයන් වූයේ ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක, ආචාර්ය රොහාන් එද්රිසිංහ, ආචාර්ය ජයම්පති වික්‍රමරත්න, ලූෂන් රාජකරුණානායක, ජාවඩ් යුසූෆ්, වික්ටර් ගුණවර්ධන හා සූරියා වික්‍රමසිංහයි.

භාෂණ නිදහසට ව්‍යවස්ථාමය සහතික වීම් නමැති දෙවන පරිච්ඡේදයේ මෙසේ සඳහන් වුණා. (ඉංග්‍රීසි මුල් කෘතියෙන් පරිවර්තනය මගෙන්): ‘1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තොරතුරු දැන ගැනීමේ අයිතිය නිශ්චිත වශයෙන් සඳහන් කර නැතත්, එහි භාෂණ නිදහස පිළිබඳ අයිතීන් විග්‍රහ කරද්දී අධිකරණය එයට තොරතුරු නිදහසද අඩංගු වන බව නිර්ණය කර තිබේ. එසේ වුවද තොරතුරු අයිතිය වඩාත් විස්තරාත්මකව නීතිගත කිරීම වැදගත් හා අවශ්‍ය යයි අපි අදහස් කරමු. (1980දී ශ්‍රී ලංකාව අපරානුමත කොට ඇති) සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර ප්‍රඥප්තියේ තොරතුරු අයිතිය විග්‍රහ කර ඇත්තේ ඕනෑම මාධ්‍යයක් හරහා තොරතුරු ඉල්ලීමට, ලැබීමට හා බෙදා හැරීමට ඇති අයිතියක් ලෙසයි. හැකි තාක් සීමා කිරීම්වලින් තොරව මෙම අයිතිය ලබා දිය යුතුය.’

අවාසනාවකට ගුණසේකර කමිටු වාර්තාවේ බොහෝ වැදගත් නිර්දේශ අඩංගු වුවත් එයින් බහුතරයක් ක්‍රියාත්මක වූයේ නැහැ. එයට අවශ්‍ය දේශපාලන කැපවීම හීන වී ගිය නිසා විය යුතුයි.

2014 නොවැම්බරයේ ගුණසේකරයන් වියෝ වූ අවස්ථාවේ ප්‍රකාශයක් නිකුත් කළ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඔහුගේ මෙහෙවර ඉහළින් අගය කළා. ‘අද දක්වාත් මාධ්‍ය නිදහස තහවුරු කිරීමට අවශ්‍ය නීතිමය සංශෝධන පිළිබඳ මූලිකම හා වැදගත්ම ලේඛනය වන්නේ 1996 නිකුත් වූ ගුණසේකර කමිටු වාර්තාවයි.’ එහි සඳහන් වුණා.

තොරතුරු අයිතිය දිනා ගන්නට වසර 20ක් පුරා පෙරමුණු කිහිපයක බුද්ධිමය අරගලයක් හා උත්සාහයන් සිදු වුණා. සැමදෙනා අතර සැම විට සම්බන්ධීකරණයක් නොතිබුණත්, පොදු අරමුණක් ලෙස තොරතුරු අයිතිය නීතිමය වශයෙන් පිළිගැනීම වෙනුවෙන් ඔවුන් කැපවී සිටියා.

No more with us: L to R - Dharmasiri Senanayake, R K W Goonesekere, Justice Mark Fernando, Victor Gunewardena, Tilak Jayaratne
No more with us: L to R – Dharmasiri Senanayake, R K W Goonesekere, Justice Mark Fernando, Victor Gunewardena, Tilak Jayaratne

මා ඔවුන් කාණ්ඩ කිහිපයකට බෙදා හඳුනා ගන්නවා.

  1. ප්‍රගතිශීලී නීතිඥයන් හා විනිසුරුවරුන්

තොරතුරු අයිතියට අදාළ ප්‍රඥාන්විත නඩු තීන්දු ලබා දීම හරහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මාක් ප්‍රනාන්දු (1941-2009) වැදගත් භූමිකාවක් ඉටු කළා. මෙරට භාෂණ නිදහස හා නීතිය ගැන කළ විග්‍රහයක ආචාර්ය අසංග වැලිකල ගිය වසරේ සිහිපත් කළේ විමල් ප්‍රනාන්දුට එරෙහිව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව :1996- නම් මූලික අයිතිවාසිකම් නඩුවේදී ප්‍රනාන්දු විනිසුරුවරයා දුන් තීන්දුවයි.

භාෂණ නිදහස තුළ තොරතුරු ලැබීමට හා බෙදා හැරීමට ඇති අයිතියද ගැබ්ව තිබෙන බවට මේ තීන්දුව තර්ක කළා. එහෙත් නඩු තීන්දු හා නඩු වාර්තා පමණක් මානව අයිතීන් තහවුරු කිරීමට නොසෑහෙන බව වැලිකල පෙන්වා දෙනවා. මන්ද සෑම විනිසුරුවරයාම ලිබරල් දැක්මකින් නීති විග්‍රහ නොකරන නිසා.

තොරතුරු අයිතිය මූලික අයිතිවාසිකමක් හා එයටම වෙන් වූ පනතක් ලෙස නීතිගත වීම අවශ්‍ය වූයේ එබැවින්. තොරතුරු අයිතිය වෙනුවෙන් විවිධ අවස්ථාවල මතවාදීව පෙනී සිටි නීතිවේදීන් අතර ජයන්ත ද අල්මේදා ගුණරත්න, එස්.ජී. පුංචිහේවා, ඩබ්ලිව්. ජේ. බැසිල් ප්‍රනාන්දු, ක්‍රිෂාන්ත වැලිඅමුණ, ජගත් ලියනආරච්චි හා කේ. ඩබ්ලිව්. ජනරංජන සිටිනවා.

ගුණසේකර කමිටුවේ සාමාජිකයකු වූ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න, 2015දී තොරතුරු නීතිය කෙටුම්පත් කිරීමේ විද්වත් කමිටුවේ සභාපතිවරයා වුණා. විසි වසරකට පසුව හෝ එම කමිටු නිර්දේශය ක්‍රියාත්මක කිරීමට ඔහුට නායකත්වය දීමට හැකිවීම සුවිශේෂ සිද්ධියක්.

  1. මාධ්‍යවේදීන් හා කතුවරුන්

තොරතුරු අයිතිය හුදෙක් මාධ්‍යවලට පමණක් නොව සමස්ත සමාජයටම එක ලෙස උපකාර වන්නක්. එහෙත් එහි වැදගත්කම කල් තබා හඳුනා ගත් පුරෝගාමීන් අතර මාධ්‍යවේදීන් ගණනාවක්ම සිටියා.

මෙරට සිටි ප්‍රවීණතම ඉංග්‍රීසි මාධ්‍යවේදියකු වූ වික්ටර් ගුණවර්ධන (1927-2002) ගුණසේකර කමිටුවේ සාමාජිකයකු ද වූවා. පැරණි සන්ඩේ ටයිම්ස් පත්‍රයේ කතුවරයාව සිට පසුව මාර්ග ආයතනයේ අධ්‍යක්ෂවරයකු වූ ඔහුට මාධ්‍ය නීතිය පිළිබඳ පුළුල් දැනුමක් තිබුණා. තොරතුරු නීතිය මෙරටට අවශ්‍ය හා වැදගත් ඇයිද යන්න ගැන පොදු අවකාශයේ මුලින්ම හඬ නැගූවන් අතර ඔහු සිටියා.

ගුණසේකර කමිටුවේ සිටි අනෙක් මාධ්‍යවේදියා ලූෂන් රාජකරුණානායක. තීරු ලිපි රචකයකු ලෙස තවමත් සක්‍රීය ඔහු මුල් යුගයේ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේද මූලිකයෙක් වුණා.

සමහර මාධ්‍යවේදීන් තම මාධ්‍ය හරහා තොරතුරු  අයිතිය වෙනුවෙන් දිගටම පෙනී සිටියා. සන්ඩේ ටයිම්ස් වත්මන් කර්තෘ සිංහ රත්නතුංග එයින් එක් අයෙක්. ඔහු මාධ්‍ය නිදහස හා සමාජයීය වගකීම පිළිබඳ කොළඹ ප්‍රකාශනයේ (1998) ද මූලිකයෙක්.

ඔහුගේ තවත් දායකත්වයක් නම් මානව හිමිකම් පිළිබඳ තීරු ලිපියකට දිගු කලක් තිස්සේ තම පත්‍රයේ ඉඩ දීමයි. එය ලියන නීතිඥ කිෂාලි පින්ටෝ ජයවර්ධන දශක දෙකක් පුරා තොරතුරු අයිතිය ප්‍රවර්ධනය කළ අයෙක්. සම්මත වූ තොරතුරු නීතිය කෙටුම්පත් කිරීමට ද ඇය දායක වූවා.

තොරතුරු අයිතියට දැඩි අවධානය යොමු කළ තවත් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු නම් රාවය ආරම්භක කර්තෘ වික්ටර් අයිවන්. රටේ දැනටමත් පවතින වත්කම් හා බැරකම් නීතිය හරහා පොදු උන්නතියට අදාළ තොරතුරු ඉල්ලා සිටිය හැකි බවත්, එහෙත් එය ලැබීමට නිලධාරිවාදී බාධා මතු වන බවත් ඔහු බොහෝ අවස්ථාවල පෙන්වා දී තිබෙනවා. රාජ්‍ය හා ශාස්ත්‍රීය මූලාශ්‍රවලින් ගවේෂණාත්මක ලෙස තොරතුරු සොයා ගෙන, සමාජ-ආර්ථීක-දේශපාලනික ප්‍රශ්න ගැන කාලීන විග්‍රහයන් කිරීමේ පූර්වාදර්ශ රැසක් වික්ටර් අයිවන් අපට ලබා දෙනවා.

මාධ්‍ය නිදහස සඳහා සක්‍රීයව පෙනී සිටින මාධ්‍ය සංවිධාන අතර තොරතුරු නීතිය කලක් තිස්සේ ප්‍රමුඛතාවක් වී පැවතියා. එම උද්ඝෝෂණවලට නායකත්වය දුන් හා සහභාගි වූ සැම නමින් සඳහන් කිරීමට මෙහි ඉඩක් නැහැ. එහෙත් ප්‍රබලව හා දිගටම ඒ වෙනුවෙන් පෙනී සිටි වරුණ කරුණාතිලක, සුනන්ද දේශප්‍රිය, ශාන් විජේතුංග, රංග කලන්සූරිය ආදීන් අප සිහිපත් කළ යුතුයි.

නව මාධ්‍ය හරහා තොරතුරු අයිතිය ගැන මෑත වසරවල හඬ නැංවූවන් අතර සම්පත් සමරකෝන්, සජීව විජේවීර හා සංජන හත්තොටුව සිටිනවා.

L to R - Kishali Piono Jayawardena, Dr Jayampathy Wickramaratne, Dr Rohan Edrisinha, Wijayananda Jayaweera, Dr P Sarawanamuttu
L to R – Kishali Piono Jayawardena, Dr Jayampathy Wickramaratne, Dr Rohan Edrisinha, Wijayananda Jayaweera, Dr P Saravanamuttu
  1. පර්යේෂකයන් හා බුද්ධිමතුන්

තොරතුරු අයිතිය සඳහා නීතිවේදීන් හා මාධ්‍යවේදීන් ගෙන ගිය දිගු අරගලයට සරසවි ඇදුරන් හා සරසවිවලින් බැහැර පොදු උන්නතියට කැප වූ බුද්ධිමතුන් ගණනාවකගේ ද දායකත්වය ලැබුණා.

මාධ්‍ය පර්යේෂක තිලක් ජයරත්න (1943-2012) මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතු වනවා. රාජ්‍ය මාධ්‍යයක් (ගුවන් විදුලි සංස්ථාව) හරහා ජනතාවට තොරතුරු ලබා දීමට හැකි තාක් උත්සාහ ගත් ඔහු පසු කලෙක මාධ්‍ය ප්‍රතිසංස්කරණවල මූලික අවශ්‍යතාව ගැන පුළුල්ව ලිපි ලේඛන රචනා කළා. ඔහු තොරතුරු අයිතිය දුටුවේ මාධ්‍ය ප්‍රතිසංස්කරණවල එක් පියවරක් ලෙසයි.

නීති ක්ෂේත්‍රයේ පර්යේෂකයන් ලෙස ආචාර්ය රොහාන් එද්රිසිංහ හා ආචාර්ය අසංග වැලිකල තොරතුරු නීති සම්පාදනයට හා ප්‍රවර්ධනයට බෙහෙවින් දායක වුණා. දේශපාලන විද්‍යාඥ හා මානව හිමිකම් ක්‍රියාකාරික ආචාර්ය පාකියසෝති සරවනමුත්තු හා සන්නිවේදන සංවර්ධනය සඳහා යුනෙස්කෝවේ අධ්‍යක්ෂවරයා ලෙස කලක් ක්‍රියා කළ විජයානන්ද ජයවීර තොරතුරු නීති සංවාදවල වැදගත් භූමිකාවක් තවමත් ඉටු කරනවා.

සන්නිවේදන විශේෂඥ හා නව මාධ්‍ය පර්යේෂක මහාචාර්ය රොහාන් සමරජීව, නීතිඥයකු ද වනවා. ඔහු තොරතුරු නීති කෙටුම්පත් විචාරයට ලක් කරන අතර නව සන්නිවේදන තාක්ෂණයන් හරහා තොරතුරු අයිතිය වඩාත් තහවුරු කර ගන්නා ක්‍රමවේද ගැන අප දැනුවත් කරනවා.

වෙරිටේ ආයතනයේ පර්යේෂණ අධ්‍යක්ෂ ගිහාන් ගුණතිලක මෑත වසරවල තොරතුරු අයිතිය විග්‍රහ කරමින් මෙරට පළවූ හොඳම අත්පොතක කතුවරයායි. තොරතුරු අයිතියේ ඉතිහාසය හා සංකල්පීය පරාසය ඔහු හොඳින් පහදා දෙනවා. http://unesdoc.unesco.org/images/0024/002441/244113E.pdf

තොරතුරු අයිතියේ සංවාදයට බුද්ධිමය තලයක කොටුවීමට ඉඩ නොදී එය සිවිල් සමාජ ක්‍රියාකාරීත්වය හරහා සමාජගත කළ කිහිප දෙනෙක්ද සිටිනවා. පුරවැසි බලය ප්‍රකාශකයකු වන ප්‍රවීණ ලේඛක ගාමිණී වියන්ගොඩ හා සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරයේ ලේකම් සූරියා වික්‍රමසිංහ ඒ අතර කැපී පෙනෙනවා.

L to R - Dr Rohan Samarajiva, Gamini Viyangoda, Sinha Ratnatunga, Dr Asanga Welikala, Victor Ivan
L to R – Dr Rohan Samarajiva, Gamini Viyangoda, Sinha Ratnatunga, Dr Asanga Welikala, Victor Ivan

4. දේශපාලකයෝ හා සමාජ ක්‍රියාකාරිකයෝ

අවසන් වශයෙන් තොරතුරු නීතිය සැබෑ කර ගැනීමට දේශපාලනමය කැප වීම තීරණාත්මකව බලපෑවා.

2001-2004 රජය යටතේ තොරතුරු නීතියක් කෙටුම්පත් කොට එයට කැබිනට් අනුමැතියද ලැබ තිබුණා. එහෙත් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබුවා. එම 2003 කෙටුම්පතට නායකත්වය දුන්නේ එවකට හා දැන් යළිත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ.

ඉනික්බිති එළැඹි 2005-2014 අඳුරු දශකය තුළ තොරතුරු නීතියක් ගෙන ඒමට උත්සාහයන් කිහිපයක් කෙරුණා. 2010දී එවකට අධිකරණ අමාත්‍ය මිලින්ද මොරගොඩ ගත් උත්සාහයත්, 2010 සැප්තැම්බර් හා යළිත් 2011 ජුනි මාසයේ කරූ ජයසූරිය මන්ත්‍රීවරයා (දැන් කතානායක) ගත් උත්සාහයත් පසුගිය රජය විසින් ව්‍යර්ථ කරනු ලැබුවා.

මාධ්‍ය ඇමති ගයන්ත කරුණාතිලක හා නියෝජ්‍ය ඇමති කරුණාරත්න පරණවිතාන 2016 ජුනි 24 වනදා සම්මත කර ගත් තොරතුරු නීතිය දශක දෙකකට වැඩි කලක් එම සංකල්පය වෙනුවෙන් පෙනී සිටි සැමගේ සාමූහික ජයග්‍රහණයක්.

දැන් අභියෝගය නම් එය රැක ගනිමින් මනාව ක්‍රියාත්මක කිරීමයිග තොරතුරු අයිතිය සවිමත් වන්නේ පුරවැසි අප එය භාවිත කරන තරමටයි!

සිවුමංසල කොලූගැටයා #272: මහජන තොරතුරු අයිතිය අශෝක අධිරාජයාගේ ඓතිහාසික දායාදයක්

An Ashoka Pillar
An Ashoka Pillar

Sri Lanka’s Parliament is debating the Right to Information (RTI) Bill on June 23 – 24.

Over 15 years in the making, the RTI law represents a potential transformation across the whole government by opening up hitherto closed public information (with certain clearly specified exceptions related to national security, trade secrets, privacy and intellectual property, etc.).

While the media benefits from RTI, it is primarily a law for ordinary citizens to demand and receive information related to everyday governance (most of it at local levels). RTI changes the default mode of government from being classified to open.

In this week’s Ravaya column (appearing in the print issue of 26 June 2016), I point out that although the modern-day concept of Right to Information (also known as Freedom of Information) arose in Europe in the 18th century, there are comparable precedents in the East that date back to over two millennia.

Indian Emperor Ashoka (who reigned from c. 268 to 232 Before Christ) was the first to grant his subjects the Right to Information (RTI), according to Indian RTI activist Venkatesh Nayak, Coordinator, Commonwealth Human Rights Initiative (CHRI).

Speaking at a seminar on RTI in Colombo last month, Nayak said that Ashoka had inscribed on rocks all over the Indian subcontinent his government’s policies, development programmes and his ideas on various social, economic and political issues — including how religious co-existence.

“He insisted that the inscriptions should be in the local language and not in a courtly language like Sanskrit. And considering the fact that few of his subjects were literate, he enjoined officials to read out the edits to people at public gatherings,” Nayak added.

Therefore, adopting an RTI law signifies upholding a great Ashokan tradition in Sri Lanka. And implementing it would be a huge challenge – reorienting the entire public sector to change its mindset and practices to promote a culture of information sharing and transparent government.

See also: 1 May 2016: සිවුමංසල කොලූගැටයා #266: තොරතුරු නීතියේ වැඩිම ප‍්‍රයෝජන සාමාන්‍ය පුරවැසියන්ටයි!

The Hindustan Times image - by Jayanto
The Hindustan Times image – by Jayanto

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත් කෙටුම්පත ජුනි 23-24 දෙදින තුළ පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිතයි.

2016 මාර්තු 24 වනදා සභාගත කරන ලද කෙටුම්පත, ඉනික්බිති ශ්‍රේෂ්ඨාධිකරණයේ විමර්ශනයට ලක් වී උපවගන්ති පහක යම් සංශෝධන කරනු ලැබුවා.

මේ කෙටුම්පත ලෝකගේ හත් වන හොඳම තොරතුරු නීතිය බවට කැනඩාවේ නීතිය හා ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ කේන්ද්‍රය (Centre for Law and Democracy) නම් විද්වත් ආයතනය සංසන්දනාත්මකව ඇගැයීමට ලක් කොට තිබෙනවා. එය ලොකු සංශෝධනවලින් තොරව සම්මත වනු ඇතැයි අපේ පැතුමයි.

මේ පනත් කෙටුම්පත අංග සම්පූර්ණ හෝ පරමාදර්ශී එකක් නොවූවද බොහෝ දුරට ප්‍රගතිශීලී යයි සැලකිය හැකියි. එය 1994න් ඇරඹි ප්‍රයත්නයක් මල්ඵල ගැන්වීමක්. මේ පනත නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට සහාය වීම ප්‍රජාතන්ත්‍රවාදයට ළැදි සැමගේම යුතුකමක් හා වගකීමක් වනවා.

තොරතුරු අයිතිය (Right to Information/Freedom of Information) පිළිබඳ සංකල්පය නූතන යුගයේ මතුව ආයේ යුරෝපයේ 18-19 වන සියවස්වල සිදු වූ දේශපාලනික හා දාර්ශනික පිබිදීම නිසායි. පොදු අවකාශය (Public Space) හා පොදු ජනයාට රාජ්‍ය පාලනය ගැන විමර්ශනයට අයිතිය (Public access and scrutiny) යන සංකල්ප අපට උරුම වූයේ යුරෝපීය චින්තකයන්ගෙන්.

එසේම නවීන ලෝකයේ මුල්ම තොරතුරු අයිතිය පිළිබඳ නීතිය සම්මත කර ගත්තේ එවකට ස්වීඩනයේ පාලනය යටතේ පැවති ෆින්ලන්තයේ. ඒ 1766දී. එනම් හරියටම වසර 250කට පෙර.

එහෙත් ජනසම්මතවාදී පාලකයන් සිය පාලනය ගැන ජනතාවට තොරතුරු හෙළි කිරීමේ ඉතිහාසය මීට වඩා පැරණියි. සැබැවින්ම එය පෙරදිග සම්ප්‍රදායක් බව මෑතදී මා හමු වූ ඉන්දියානු විද්වතෙක් පෙන්වා දුන්නා.

නවදිල්ලියේ පිහිටි පොදු රාජ්‍ය මණ්ඩලීය මානව හිමිකම් කේන්ද්‍රයේ සම්බන්ධීකාරක වෙන්කටේෂ් නායක් (Venkatesh Nayak) තොරතුරු අයිතිය පිළිබඳ විශේෂඥයෙක් මෙන්ම ක්‍රියාකාරිකයෙක්. ඔහු කියන්නේ තොරතුරු අයිතියේ පුරෝගාමියකු ලෙස ක්‍රිස්තු පූර්ව තුන් වන සියවසේ භාරතයේ රජකම් කළ අශෝක අධිරාජයා හඳුනාගත හැකි බවයි.

Right to Information - Venkatesh Nayak quote
Right to Information – Venkatesh Nayak quote

අශෝක අධිරාජයාගේ රාජ්‍ය පාලනයේ එක් පිළිවෙතක් වූයේ රටේ ප්‍රතිපත්ති හා නීතිරීති පොදු ජනතාවට ප්‍රකාශ කිරීමට ප්‍රසිද්ධ ස්ථානවල සෙල්ලිපි රැගත් (අශෝක ස්ථම්භ නමින් ප්‍රකට) කුලුනු ඉදිකිරීමයි. සියවස් විසිතුනකට පසුවත් මේ ස්ථම්භ රැසක් තවම ඉතිරිව තිබෙනවා.

මේවා අධ්‍යයනය කළ පුරාවිද්‍යාඥයන් සොයා ගත්තේ ඒවායේ භාෂාව පළාතෙන් පළාතට වෙනස්වන බවයි.

‘අධිරාජයාගේ රාජ සභාවේ භාවිත වුණේ සම්භාව්‍ය සංස්කෘත භාෂාවයි. එහෙත් රටවැසියන්ට තොරතුරු දෙන විට එයට සීමා නොවී, එක් එක් පළාතෙහි වැඩිපුරම භාවිත වන ප්‍රාදේශීය භාෂාවලින් එය ප්‍රකාශ කරන්නට තරම් අශෝක අධිරාජයා සැලකිලිමත් වී තිබෙනවා. එදිනෙදා පරිපාලනමය තොරතුරුවලට අමතරව ආගම් අතර සහජීවනය ආදී කරුණු ද මේ සෙල්ලිපිවල හමු වනවා’ යයි නායක් කියනවා.

එසේම අකුරු කියවීමේ හැකියාව එතරම් ප්‍රචලිත නොවූ එකල එම තොරතුරු හඬ නඟා රටවැසියන්ට කියැවීමටද අධිරාජයා විධිවිධාන යොදා තිබුණා. මෙයින්ද පෙනෙන්නේ සිය වැසියන් සමග ප්‍රශස්ත සන්නිවේදනයක යෙදීමට අශෝක අධිරාජයාට තිබූ සැබෑ වුවමනාවයි.

අශෝක අධිරාජයා මෙරටට බුදුදහම දායාද කිරීම මූලික නිමිත්ත කර ගත් පොසොන් පොහොය සමරනු ලැබුවේ ඉතා මෑතදී. මහජනයාට රාජ්‍ය තොරතුරු ලබාදීමේ උතුම් අශෝක සම්ප්‍රදායට අනුගතවීමට තොරතුරු නීතිය හරහා අපට අවස්ථාව උදා වනවා.

Ancient Right to Information: Ashoka Pillars
Ancient Right to Information: Ashoka Pillars

තොරතුරු අයිතිය ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකමක් ලෙස පිළිගෙන තොරතුරු නීතිය හරහා එය ප්‍රායෝගිකව තහවුරු කිරීම ප්‍රජාතන්ත්‍රවාදයේ හොඳ ඉදිරි පියවරක්.

එහෙත් එය විවෘත ආණ්ඩුකරණයට යොමු වන ප්‍රගතිශීලී මෙඟහි එක් කඩඉමක් පමණයි.

තොරතුරු පනත තොරතුරු අර්ථ දක්වන්නේ පුළුල් ලෙසින්. පනතේ 43 වන වගන්තියට අනුව, මේ සියල්ල එයට හසු වනවාථ සටහන්, ලේඛන, සංදේශ, විද්‍යුත් තැපැල්, මත, උපදේශ, මාධ්‍ය නිවේදන, චක්‍රලේඛ, ලොග් සටහන්, ගිවිසුම්, වාර්තා, ප්‍රවෘත්ති පත්‍ර, සාම්පල්, ආදර්ශක, හුවමාරු වන ලිපි, නීති කෙටුම්පත්, පොත්, පිඹුරු, සිතියම්, චිත්‍ර, රූප සටහන්, සේයාපට, ක්ෂුද්‍ර සේයා පට, ශබ්ද පටිගත කිරීම්, වීඩියෝ පට, යන්ත්‍ර මගින් කියවිය හැකි වාර්තා, විද්‍යුත් ලිපි, පරිගණක වාර්තා හා ඒවායේ පිටපත්.

ඒ අනුව මේ සියලු මූලාශ්‍ර නිසි ලෙස සංරක්ෂණය කිරීම හා කළමනාකරණය කිරීම අදාළ සියලු පොදු ආයතනවල වගකීමක් බවට පත්වනවා. පනත ක්‍රියාත්මක වන අවස්ථාවේ පවතින තොරතුරු මූලාශ්‍ර වසර 10ක් යන තුරුත්, ඉනික්බිති බිහි කැරෙන තොරතුරු මූලාශ්‍ර වසර 12ක් යන තුරුත් සංරක්ෂණය කළ යුතු වනවා.

ඇතැම් පොදු ආයතනවල මනා සේ වාර්තා තබා ගැනීම සිදු නොවන බව අප දන්නවා. තොරතුරු නීතියත් සමග ඒ තත්ත්වය වෙනස් විය යුතුයි. තොරතුරු රැක ගන්නවා මෙන්ම ලෙහෙසියෙන් සොයා ගත හැකි ලෙසට ගබඩා වීමත් වැදගත්. මෙය මහජනයාට මෙන්ම රාජ්‍ය නිලධාරීන්ටද තමන්ගේ වැඩකටයුතුවලට මහෝපකාරී වනු ඇති.

තොරතුරු පනත යටතේ මේ රටේ ඕනෑම බාල-මහලු පුරවැසියකුට පොදු ආයතනයක ඇති තොරතුරක් ඉල්ලා සිටිය හැකියි. එම තොරතුරු, පනතේ 5 වන වගන්තියේ සඳහන් ව්‍යතිරේඛවලට (එනම් තොරතුරු දිය නොහැකි සාධකවලට) අදාළ නොවේ නම් එය නිශ්චිත කාල සීමාවක් තුළ ලබාදීමට පොදු ආයතන බැඳී සිටිනවා. මෙහිදී තමන්ට ඒ තොරතුරු අවශ්‍ය ඇයිද යන්න ඉල්ලුම්කාර පුරවැසියා කීමට අවශ්‍ය නැහැ.

ව්‍යතිරේඛ වන්නේ පුද්ගලිකත්වය අනවසරයෙන් ආක්‍රමණය වන අවස්ථා, රාජ්‍ය ආරක්ෂාවට බරපතළ ලෙස හානිදායක වන අවස්ථා, ආර්ථීක වශයෙන් සංවේදී තොරතුරු, බුද්ධිමය දේපළ පනත යටතේ ආරක්ෂිත වාණිජ රහස්, විභාග රහස්, අපරාධ විමර්ශනයට අදාළ තොරතුරු ආදියයි. මෙබදු ව්‍යතිරේඛ ලොව සැම තොරතුරු නීතියකම හමුවනවා.

Jagath Liyana Arachchi
Jagath Liyana Arachchi

මේ ගැන විමර්ශනයක යෙදුණු නීතිඥ ජගත් ලියනආරච්චි මෙසේ කියනවා: “පනත තුල පවතින ප‍්‍රතිපාදන ප‍්‍රවේශමෙන් පරීක්‍ෂා කිරීමේ දී පැහැදිලි වන එක්තරා කරුණක් වන්නේ පනත ගෙන එන්නේ තොරතුරු ලබා දීමට බවයි. තොරතුරු ලබා දීමට ව්‍යතිරේඛ ලබා දී තිබෙන්නේ යම් යම් කරුණු සම්බන්ධයෙන් දැඩි ලෙස අගතිදායක අවස්ථාවන් හිදී පමණි. කෙසේ නමුත් පනත් කෙටුම්පතේ දක්වා තිබෙන්නේ ‘මහජන බැඳියාවන්හි වැදගත්කම එම තොරතුරු හෙළිදරව් කිරීමෙන් වන හානියට වඩා වැඩි නම් එවැනි තොරතුරු සඳහා වන ඉල්ලීමක් ප‍්‍රතික්ෂේප නොකළ යුතු’ බවයි. ඒ අනුව තොරතුරු ලබා දීම හා ලබා නොදීම සම්බන්ධ පැහැදිලි ප‍්‍රතිපත්තියක් පවතී.”

තොරතුරු නීතිය සම්මත වී මාස 6ක කාලයක් තුළ එය ක්‍රියාත්මක කිරීමේ සූදානම සියලුම අදාළ පොදු ආයතන ලබා ගත යුතුයි. මේ සඳහා සෑම ආයතනයක්ම තොරතුරු නිලධාරියකු අනුයුක්ත කළ යුතුයි. මෙය රාජ්‍ය සේවකයන්ට අලුත් අත්දැකීමක්. ඒ සඳහා යම් පුහුණුවක්ද අවශ්‍ය වනවා.

සමස්ත රාජ්‍ය ක්ෂේත්‍රයට මේ සූදානම ලබාදීම හා පනත ක්‍රියාත්මක කිරීමේ වගකීමට මුල් වීම පැවරෙන්නේ මාධ්‍ය අමාත්‍යාංශයටයි. (තොරතුරු නීතිය හුදෙක් මාධ්‍යවලට සීමා නොවන, සමස්ත පුරවැසියන්ටම එක හා සමානව ප්‍රයෝජනවත් නීතියක් වුවත්.)

රාජ්‍ය තන්ත්‍රය සූදානම් වන අතරේ, තොරතුරු අයිතිය නිසි ලෙස ප්‍රයෝජනයට ගැනීමට පුරවැසියන්ටද යම් පෙළගැස්මක් අවශ්‍ය වනවා. තොරතුරු නීතිය යටතේ එදිනෙදා ප්‍රශ්නවලට විසඳුම් සොයාගත හැක්කේ කෙසේද යන්න ගැන සමස්ත ලක් සමාජයම දැනුවත් විය යුතුයි.

තොරතුරු අයිතිය ගැන ජනමත සමීක්ෂණයක් 2014 සැප්තැම්බරයේ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා විසින් සිදු කරනු ලැබුවා. මේ අයිතිය ගැන මහජන දැනුවත්බව, ආකල්ප හා අපේක්ෂා ගැන 450ක මහජන නියැදියක් හරහාත්, අමතරව 85ක රාජ්‍ය සේවකයන් සමග සාකච්ඡා හරහාත් විමර්ශනය කළා.

දිවයින පුරාම මහජනයාගෙන් 90%කටත් වඩා තොරතුරු අයිතිය පැවතිය යුතු බව  කියා සිටියා. එය නීතියෙන් තහවුරු කළ යුතු බවත්, අති බහුතරයක පිළිගැනීම වුණා. එයට හේතුව ලෙස දක්වන ලද සාධක නම්ථ වංචා හා දූෂණ අඩු කිරීමත මහජනයාට ඇතිවන පහසුවත කොයි කාටත් එක ලෙස තොරතුරු දත හැකිවීමත නීතිවිරෝධී ක්‍රියා අඩු කිරීම හා වඩාත් ප්‍රශස්ත තීරණ ගත හැකි වීමයි.

මහජන මුදලින් නඩත්තු කරන ආයතනවලින් මේ වන තුරු තොරතුරු ලබා ගන්නට ගත් උත්සාහයන් ගැන විමසන ලදුව 32%ක් ලබා ගත නොහැකි වූ බවත්, තවත් 30.8%ක් මහත් දුෂ්කරතාවෙන් තොරතුරු ලබා ගත් බවත් කියා සිටියා. ලෙහෙසියෙන් තොරතුරු ලබා ගෙන ඇත්තේ 34.3%ක් පමණයි. මෙය කිසිසේත් සතුටුදායක තත්ත්වයක් නොවෙයි.

සමීක්ෂණයට පාත්‍ර වූ රාජ්‍ය සේවක සංඛ්‍යාව කුඩා නිසා පුළුල් නිගමනවලට ඒම අපහසුයි. තොරතුරු අයිතිය ගැන පූර්ව දැනුමක් තිබුණේ ඔවුන්ගේ 47%කට පමණයි. එනම් බහුතරයක් (53%) එබන්දක් අසාවත් තිබුණේ නැහැ. එසේම 40%කට ටිකක් වැඩි ප්‍රතිශතයක් රාජ්‍ය නිලධාරීන් විශ්වාස කළේ මහජනයාට තොරතුරු දීම හරහා විවිධ ව්‍යාකූලතා මතුවිය හැකි බවයි.

‘මෙවන් ඍණ ආකල්ප හඳුනාගෙන ඒවාට ක්‍රමානුකූලව ප්‍රතිචාර දැක්වීම ඉතා වැදගත්. තොරතුරු අයිතිය නීතිගත කිරීම ප්‍රායෝගිකව සාර්ථක වනුයේ එය පිළි ගන්නා, එයට කැප වූ රාජ්‍ය සේවයක් බිහි කිරීම හරහායි.’ මේ සමීක්ෂණ ප්‍රතිඵල විග්‍රහ කරමින් ට්‍රාන්ස්පේරන්සි ආයතනය කියනවා.

මිලියන 1.5ක් පමණ ලාංකිකයන් අයත් රාජ්‍ය සේවය යනු විවිධ තනතුරු, වෘත්තිකයන් හා මට්ටම්වලින් සැදුම්ලත් එකක්. ජාතික, පළාත් හා පළාත් පාලන මට්ටමින් ගත් විට විවිධාකාරයේ මහජන ආයතන 4,800කට වැඩි සංඛ්‍යාවක් තිබෙනවා.

තොරතුරු නීතිය ක්‍රියාත්මක කිරීමේදී මේ සියල්ලේ නව පෙළගැස්මක් අවශ්‍යයි. තොරතුරු නිසි ලෙස ලේඛනගත කිරීම, ගබඩා කිරීම, කළමනාකරණය හා බෙදා හැරීම සම්බන්ධයෙන් මහජන ආයතනවල වඩාත් කාර්යක්ෂම ක්‍රමෝපායන් හඳුන්වා දීමට සිදුවනවා. මේ හරහා රාජ්‍ය සේවකයන්ට මෙන්ම මහජනයාටත් වාසි සැලසෙනවා.

තොරතුරු නීතිය ගැන බිය විය යුත්තේ අකාර්යක්ෂම හෝ දූෂිත නිලධාරීන් පමණයි. තමන්ගේ රාජකාරිය නිසි ලෙස ඉටු කරන අවංක නිලධාරීන්ට එයින් කිසිදු ප්‍රශ්නයක් නැහැ. එසේම ඇතැම් රාජ්‍ය ආයතන මේ නීතිය එන්නටත් පෙර පටන්ම තමන්ගේ සියලු තොරතුරු ස්වකැමැත්තෙන්ම මහජන පරිශීලනයට මුදා හැර තිබෙනවා. විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව මීට හොඳ උදාහරණයක්.

එසේම තොරතුරු නීතිය ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන්නේද නැහැ. රහසිගත ආරක්ෂක තොරතුරු පනතේ ව්‍යාතිරේඛ මගින් ආවරණය කැරෙන නිසා.

2005 සිට ජාතික මට්ටමින් තොරතුරු නීතිය ක්‍රියාත්මක කරන ඉන්දියාවේ අත්දැකීම් සම්පිණ්ඩනය කරමින් වෙන්කටේෂ් නායක් කියන්නේ මෙයයි. ඉන්දියාවේ තොරතුරු නීතිය නිසා ජාතික ආරක්ෂාවට හෝ විදේශ ප්‍රතිපත්තිවලට කිසිදු හානියක් සිදු වී නැහැ. එසේම පාර්ලිමේන්තුවේ ගරුත්වයට කැළලක් වී නැහැ. අධිකරණයේ ස්වාධීනත්වය පළුදු වී නැහැ. වෙළඳ රහස් හෙළිදරව් කර නැහැ. පුරවැසියන්ගේ පුද්ගලිකත්වයට අනවසර පිවිසීම් සිදු වීද නැහැ.

න්‍යෂ්ටික අවිවලින් සන්නද්ධ ඉන්දියාවේ ජාතික ආරක්ෂාවට තොරතුරු නීතිය කිසිදු බලපෑමක් කර නැති නම් අප එබන්දක් ගැන බියවීම හේතු සහගත නැහැ.

තොරතුරු නීතිය සම්මත වූ පමණින්ම අපේ සමාජ, දේශපාලන හා ආර්ථීක ප්‍රශ්නවලට විසඳුම් ලැබෙන්නේ නැහැ. තොරතුරු අයිතිය නිර්මාණශීලීව හා අධිෂ්ඨාන පූර්වකව භාවිත කිරීම හරහායි වඩාත් වගවීම සහිත ආණ්ඩුකරණයක් හා වඩාත් විවෘත සමාජයක් බිහි වන්නේ.

ඕනෑම රටක තොරතුරු නීතියක් සාර්ථක වන්නේ එයින් එරට පුරවැසියන් වැඩ ගන්නා පමණටයි. ආවේග, අනුමාන, ඇදහිලි හා කුමන්ත‍්‍රණවාදී ප‍්‍රබන්ධ මත පදනම් වී නිගමනවලට එළඹීමට හුරුව සිටින අපේ සමාජය තොරතුරු, දත්ත, සාක්ෂි හා හරවත් විග‍්‍රහයන් හරහා ඉදිරියට ගෙන යාමේ දැවැන්ත අභියෝගය අප හමුවේ තිබෙනවා.

See also:

7 March 2015: Echelon March 2015 column: Beyond RTI – Towards Open Government

සිවුමංසල කොලූගැටයා #266: තොරතුරු නීතියේ වැඩිම ප‍්‍රයෝජන සාමාන්‍ය පුරවැසියන්ටයි!

In this week’s Ravaya column (appearing in the print issue of 1 May 2016), I return to the topic of Sri Lanka’s new Right to Information (RTI) law that has recently been tabled in Parliament.

Over 15 years in the making, the RTI law is to be debated in June and expected to be adopted with multi-party consensus. The law represents a transformation across government by opening up hitherto closed public information (with certain cleared specified exceptions).

While media can also benefit from RTI, it is primarily a law for ordinary citizens to demand and receive information related to everyday governance (most of it at local levels). For this, citizens need to understand the RTI process and potential benefits. Media can play a major role in explaining RTI law, and promoting its use in many different ways to promote the public interest and to nurture a culture of evidence-based advocacy for good governance and public accountability.

In this column, I look at how RTI can benefit citizens, and share examples from other South Asian countries where even school children are using RTI to solve local level problems that affect their family, school or local community.

RTI Law is like a key that opens government information
RTI Law is like a key that opens government information

වසර 15ක පමණ සිවිල් සමාජ අරගලයකින් පසුව ශ‍්‍රී ලංකාවේ තොරතුරු අයිතිය තහවුරු කැරෙන නව නීතිය කෙටුම්පතක් ලෙස පාර්ලිමේන්තුවේ සභාගත කොට තිබෙනවා. ඉදිරි සති කිහිපය තුළ මෙය විවාදයට ගෙන සම්මත වීමට නියමිතයි.

2015 අපේ‍්‍රල් මාසයේ සම්මත වූ 19 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් දැනටමත් තොරතුරු දැන ගැනීමේ අයිතිය මෙරට මූලික මානව අයිතියක් ලෙස පිළිගෙන හමාරයි. මේ නීතිය කරන්නේ එය ප‍්‍රායෝගිකව ක‍්‍රියාත්මක කිරීමට අවශ්‍ය ක‍්‍රමවේදය බිහි කිරීමයි.

එසේම තොරතුරු අයිතියට අදාළ වන්නේ කුමන රාජ්‍ය ආයතන හා කිනම් ආකාරයේ තොරතුරුද, හෙළිදරව් කළ නොහැකි තොරතුරු වර්ග මොනවාද (ව්‍යතිරේක) හා හෙළිදරව් කළ යුතු තොරතුරු නොදී සිටින රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව පුරවැසියන්ට ගත හැකි පරිපාලනමය ක‍්‍රියාමාර්ග මොනවාද ආදිය මේ පනතෙන් විස්තර කැරෙනවා.

මේ කෙටුම්පත භාෂා තුනෙන්ම පාර්ලිමේන්තුවේ වෙබ් අඩවියෙන් බලාගත හැකියි. http://www.parliament.lk/uploads/bills/gbills/english/6007.pdf

මේ හැකියාව තිබියදීත් පනත් කෙටුම්පත නොකියවා අනුමාන හෝ  ඕපාදුප මත පදනම් වී මේ ගැන දුර්මත පතුරු වන අයත් සිටිනවා. (මෑතදී මට දුරකථනයෙන් කතා කළ එක් ජාතික පුවත්පතක මාධ්‍යවේදියෙක් ඇසුවේ තොරතුරු පනත මගින් මාධ්‍යවේදීන්ට හා සෙසු පුරවැසියන්ට දඬුවම් දීමට අදහස් කරනවාද කියායි!)

තොරතුරු අයිතිය හා නීතිය ගැන මීට පෙර කිහිප වතාවක් අප මේ තීරු ලිපියේ සාකච්ඡා කළා. යළිත් මේ තේමාවට පිවිසෙන්නේ තවමත් මේ සංකල්පය ලක් සමාජයට ආගන්තුක නිසායි.

ලෝකයේ මුල්ම තොරතුරු නීතිය සම්මත වී 2016ට වසර 250ක් සපිරෙනවා. 1766දී එම නීතිය හඳුන්වා දුන්නේ ස්වීඩනයේ. එදා මෙදාතුර රටවල් 100කට වැඩි ගණනක තොරතුරු නීති සම්මත කරගෙන තිබෙනවා.

අපේ සාර්ක් කලාපයේ තොරතුරු නීතියක් නොමැතිව සිටි එකම රට ශ‍්‍රී ලංකාවයි. ශිෂ්ට සම්පන්න ජන සමාජයකට හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍ය පාලනයකට අත්‍යවශ්‍ය යැයි සැලකෙන මේ නීතිය ප‍්‍රමාද වී හෝ අපට ලැබීම හොඳයි. එහෙත් මේ නීතිය සාර්ථක වන්නේ එය ගැන සමස්ත ජන සමාජයම දැනුවත් හා උද්‍යෝගිමත් වූ විට පමණයි.

බොහෝ නීති පනවන්නේ රජයට යම් ඉලක්ක හා අරමුණු සාක්ෂාත් කර ගන්න. එහෙත් තොරතුරු නීතිය මහජනයා අතට ලැබෙන, ඔවුන් බලාත්මක කළ හැකි නීතියක්.

A009-001(1)

තොරතුරු නීතිය මාධ්‍යවේදීන් සඳහා යයි මතයක් පවතිනවා. හිටපු ජනාධිපතිවරයා වරක් කතුවරුන් අමතමින් කීවේ ‘ඔබට තොරතුරු නීතියක් මොකටද?  ඕනෑ දෙයක් මගෙන් අහන්න’ කියායි!

මාධ්‍යවේදීන්ටද තොරතුරු නීතිය උපකාර වෙතත් තමන්ට අවශ්‍ය සැඟවුණු තොරතුරු සොයා යෑමේ උපක‍්‍රම ඔවුන් සතුව තිබෙනවා. එවැනි ආයතනික හෝ සිවිල් බලයක් නොමැති සාමාන්‍ය පුරවැසියන්ට රාජ්‍ය ආයතන සතු තොරතුරු ඉල්ලා ලබාගන්නට අයිතියක් තහවුරු කරන්නේ තොරතුරු නීතිය මගින්.

මහජන මුදලින් නඩත්තු කැරෙන මහජන සේවයට පිහිටුවා ඇති රාජ්‍ය ආයතනවල ක‍්‍රියාකලාපය විමර්ශනය කිරීමට එම මහජනයාට ඇති අයිතිය තහවුරු කිරීමයි  තොරතුරු නීතිය මගින් කරන්නේ.

ඕනෑම රටක තොරතුරු නීතියක් සාර්ථක වන්නේ එහි තමන්ට තිබෙන ප‍්‍රායෝගික වැදගත්කම හා එය භාවිතය ගැන මහජනයා දැනුවත් වූ තරමටයි.

නීතිඥ ගිහාන් ගුණතිලක 2014දී ලියූ, ශ‍්‍රී ලංකා පුවත්පත් ආයතනය පළ කළ තොරතුරු නීතිය පිළිබඳ අත්පොතෙහි මේ ප‍්‍රයෝජන උදාහරණ කිහිපයකින් පැහැදිලි කරනවා.

උදාහරණ 1: අපේ නිවෙස ඉදිරියෙන් දිවෙන පාර අබලන් වී තිබූ නිසා එය පිළිසකර කරනු ලබනවා. එහෙත් එහි ප‍්‍රමිතිය හා නිමාව සැක සහිතයි. මේ ගැන පුරවැසියන් ලෙස අපට කුමක් කළ හැකිද?

තොරතුරු අයිතිය යටතේ පාර පිළිසකර කිරීමට අදාළ පළාත් පාලන ආයතනයෙන් හෝ මාර්ග සංවර්ධන අධිකාරියෙන් හෝ විමසිය හැකි වනවා. ඒ සඳහා කොපමණ මහජන මුදල් ප‍්‍රතිපාදන වෙන් කළාද, කොන්ත‍්‍රාත් දීමට ටෙන්ඩර් කැඳ වූවාද, වැය කළ මුදල් ද්‍රව්‍යවලට හා වේතනවලට බෙදී ගියේ කෙසේද ආදි සියල්ල හෙළි කිරීමට අදාළ ආයතනයට සිදු වනවා.

බොහෝ විට මේ තොරතුරු පිටු රැසකින් සමන්විත ෆයිල් එකක් විය හැකියි. එය ලද පසු අධ්‍යයනය කොට මහජන මුදල් නිසි ලෙස වැය වී ඇත්ද හා එසේ නැතිනම් ඇයිද යන්න දත හැකියි. මේ දක්වා සැකය හා අනුමානය පදනම් කර ගෙන කළ තර්ක හා චෝදනා මින් පසු තොරතුරු සාක්ෂි මත පදනම්ව කළ හැකි වනවා.

උදාහරණ 2: හැම වසරකම රටේ මහත් ආන්දෝලනයක් ඇතිකරන ක‍්‍රියාදාමයක් නම් රජයේ පාසල්වලට දරුවන් ඇතුළු කර ගැනීමයි. ක‍්‍රමවේදයක් ස්ථාපිත කොට තිබෙත්, නිසි පාරදෘශ්‍යභාවයක් නැති නිසා අක‍්‍රමිකතා හා දුෂණ රැසකට ඉඩ පෑදී තිබෙනවා.

තොරතුරු නීතිය යටතේ මේ ක‍්‍රමවේදය ගැන  ඕනෑම රජයේ පාසලකින් විස්තරාත්මක තොරතුරු ඉල්ලා සිටීමට පුරවැසි අපට හැකි වනවා. දරුවන් ඇතුළු කිරීමට යොදා ගත් නිර්ණායක මොනවාද, ඉල්ලූම් කළ සමස්ත සංඛ්‍යාව අතරින් තෝරා ගත් දරුවන් ඒ නිර්ණායක සියල්ල සපුරා සිටියාද, ප‍්‍රතික්ෂේප කිරීමට නිශ්චිත හේතු මොනවාද ආදි සියලූ තොරතුරු හා තීරණ හෙළි කරන ලෙස තොරතුරු නීතිය යටතේ අපට බල කළ හැකියි.

උදාහරණ 3: ගොවිතැන් වැඩිපුර කරන ප‍්‍රදේශයක ගොවීන්ට ජලය ලබා දීමට නව ඇළ මාර්ග ඉදි කිරීමට මහජන මුදල් වෙන් කැරෙනවා. එය එසේ කළ බවත්, මාධ්‍ය හරහා වාර්තා වනවා. එහෙත් මාස හා වසර ගණනක් ගෙවී ගියත් ඇළ මාර්ග ඉදි වන්නේ නැහැ. කුමක් වූවාදැයි නොදැන ගොවීන් වික්ෂිප්තව සිටිනවා.

තොරතුරු නීතිය යටතේ තව දුරටත් නොදන්නාකමින් හා අවිනිශ්චිත බවින් කල් ගෙවිය යුතු නැහැ. වාරි ඇළ මාර්ග සඳහා වෙන් කළ ප‍්‍රතිපාදනවලට කුමක් වූවාද,  එය වෙනත් දෙයකට යොදා ගත්තාද, නැතිනම් වැය නොකිරීම නිසා යළිත් භාණ්ඩාගාරයට ගියාද, එසේ නම් ඒ සඳහා වගකිව යුත්තේ කවුද ආදි මේ සියල්ල ගැන පරිපාලන තොරතුරු  ඕනැම පුරවැසියකු ඉල්ලා සිටියොත් හෙළි කිරීමට අදාළ රාජ්‍ය ආයතනයට සිදු වනවා. එහිදී තොරතුරු ඉල්ලීම පීඩාවට පත් ගොවීන්ට පමණක් නොව සියලූ පුරවැසියන් සතු අයිතියක්.

උදාහරණ 4: රටේ බහුතරයක් ජනයා සෞඛ්‍ය සේවා සඳහා යන්නේ රජයේ රෝහල්වලට. මහජන මුදලින් නඩත්තු කැරෙන රාජ්‍ය සෞඛ්‍ය සේවා පද්ධතියේ අඩුපාඩු තිබෙනවා. වාර්ෂිකව සෞඛ්‍ය ක්ෂේත‍්‍රයට අති විශාල මුදලක් වෙන් කළත්, පරිපාලන දුර්වලතා නිසා හැම විටම නිසි ප‍්‍රතිඵල ලැබෙන්නේ නැහැ.

තමන්ට අදාළ රජයේ රෝහලක කටයුතු සිදු වන ආකාරය ගැන සෑහීමකට පත්විය නොහැකි නම් ආයතනයේ පරිපාලන තොරතුරු ඉල්ලීමට නව නීතිය යටතේ පුරවැසියන්ට අයිතියක් ලැබෙනවා.

බෙහෙත් හිඟය, රෝග විනිශ්චයට උපකාර වන පරීක්ෂණ පහසුකම් ක‍්‍රියාත්මක නොවීම, වෛද්‍යවරුන් අනුයුක්ත නොකිරීම ආදි  ඕනෑම කරුණක් ගැන අනුමාන හා සැකයක් මත පදනම් වී චෝදනා කරනු වෙනුවට සැබෑ තොරතුරු ලබා ගෙන, ඒවා විමර්ශනය කොට වඩාත් නිවැරදි නිගමනවලට එළැඹීමට හැකි වනවා.

තවත් උදාහරණ  ඕනෑ තරම් අපට පරිකල්පනය කළ හැකියි.

Cartoon by Awantha Artigala, Daily Mirror newspaper Sri Lanka
Cartoon by Awantha Artigala, Daily Mirror newspaper Sri Lanka

රජයේ ආයතනයක ඇති වන පුරප්පාඩු පිරවීමේදී නිසි ක‍්‍රමවේදයක් අනුගමනය කළාද කියා දැන ගැනීමට එම තනතුරුවලට ඉල්ලූම් කළ, එහෙත් නොලද  ඕනෑම කෙනකුට හැකි වනවා. පොලිසිය සමග කැරෙන ගනුදෙනුවලදී දැනට වඩා පාරදෘශ්‍ය වීමට පොලිස් තන්ත‍්‍රයට තොරතුරු නීති හරහා බල කළ හැකියි.

තොරතුරු ඉල්ලා සිටින මහජනයා නොතකා සිටීමට හෝ අනවශ්‍ය ලෙස කල් දමමින් රස්තියාදු කිරීමට ඇති අවකාශ ඇහිරීම අලූතෙන් පිහිටුවීමට නියමිත තොරතුරු කොමිසමේ වගකීමයි. ව්‍යතිරේකවලට සම්බන්ධ නොවූ වෙනත්  ඕනෑම තොරතුරක් නොදී සිටින (මධ්‍යම, පළාත් සභා හා පළාත් පාලන ආයතන මට්ටමේ) රාජ්‍ය ආයතන ගැන මෙකී තොරතුරු කොමිසමට පැමිණිලි කළ හැකි වනවා.

තොරතුරු නීතිය මෙවලමක් කර ගෙන යහපාලනය ඉල්ලා සිටීම පුරවැසි අප සැමගේ යුතුකමක් හා වගකීමක්.

තොරතුරු නීතිය ප‍්‍රාන්ත මට්ටමින් 1990 දශකයේ මැද භාගයේ පටන්ද ජාතික මට්ටමින් 2005 සිටද ක‍්‍රියාත්මක වන ඉන්දියාවේ එම නීතිවලින් වැඩිපුරම ප‍්‍රයෝජන ගන්නේ සාමාන්‍ය පුරවැසියෝ. මාධ්‍ය හෝ සිවිල් සංවිධානවලට වඩා ඉදිරියෙන් සිටින්නේ ඔවුන්.

තොරතුරු අයිතිය බාල මහලූ, උගත් නූගත් හැම පුරවැසියෙකුටම හිමි වන්නක්. ඡන්ද බලය මෙන් යම් වයස් සීමාවකින් ඔබ්බට ගිය පසු ලැබෙන්නක් නොවෙයි.

foi-laws

ඉන්දියාවේ පාසල් සිසුන් හා ළාබාල දරුවන් පවා තොරතුරු නීතියෙන් ප‍්‍රයෝජන ගන්නවා. මේ ගැන රසවත් උදාහරණයක් ගිය වසරේ වාර්තා වුණා.

දකුණු ඉන්දියාවේ හයිද්‍රාබාද් නුවරට සමීප නිසාමාබාද් දිස්ත‍්‍රික්කයේ වයස 10-12 අතර පාසල් සිසුන් තොරතුරු නීතිය යටතේ මහජන තොරතුරු ඉල්ලා අවස්ථා හතරකදී සාර්ථකව එය ලබා ගත්තා.

දස හැවිරිදි මනෝජ්ට තිබූ ප‍්‍රශ්නය බීඩි එතීමේ නිරත වූ මව්පියන්ගේ දරුවන්ට කම්කරු දෙපාර්තමේන්තුව දෙන ඉන්දියානු රුපියල් 1,000ක වාර්ෂික ශිෂ්‍යාධාරය නොලැබීමයි. මව්පියන් සුසුම් හෙළමින් සිටින අතර මනෝ්ජ් මේ අසාධාරණයට අදාළ තොරතුරු ඉල්ලා කම්කරු දෙපාර්තමේන්තුවට ගියා. මෙයින් කලබලයට පත් කම්කරු නිලධාරීන් ශිෂ්‍යාධාර හිඟ මුදල් ලබා දී ප‍්‍රමාදයට හේතු දක්වන ලියුමක් ද මේ දරුවාට යැව්වා.

මෙයින් දිරිමත් වූ මනෝජ් තම ප‍්‍රදේශයේ පුරාවිද්‍යාත්මක වැදගත්කම ගැන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් තොරතුරු ඉල්ලා එය ලබා ගත්තා. එයද තොරතුරු නීතිය යටතේයි.

මේ දෙස බලා සිටි ඔහුගේ පාසල් සගයෝ වෙනස් ප‍්‍රශ්න ගැන තොරතුරු ඉල්ලීම් ගොනු කරන්න පටන් ගත්තා. කවීතා නම් ළාබාල දැරිය තම ගමට හරියට බස් සේවාවක් නොතිබීමට හේතු විමසා සිටියා. අදාළ නිලධාරීන් ප‍්‍රතිචාර නොදැක් වූ විට ඇය තොරතුරු නීති ඉල්ලීමක් ගොනු කළා.

ප‍්‍රාන්ත රජයට හිමි බස් සමාගම මුලින් කීවේ එම මාර්ගයේ බස් ධාවනය පාඩු ලබන බවයි. එහෙත් දැරිය ඉල්ලූ තොරතුරුවලින් එය එසේ නොවන බව ගම්වාසීන්ට පෙනී ගියා. අන්තිමේදී බස් සේවය නැවත ස්ථාපිත කිරීමට රාජ්‍ය බස් සමාගමට සිදු වුණා. මේ නිසා ඒ ගමින් අවට පාසල්වලට යන ශිෂ්‍ය සංඛ්‍යාව වැඩිවුණා.

මෙවන් උදාහරණ විශාල ගණනක් ගෙවී ගිය දශකයේ ඉන්දියාවෙන් වාර්තාගතයි. අපට වඩා සාක්ෂරතාවෙන් අඩු ඉන්දීය මහජනයා මෙතරම් නිර්මාණශීලීව හා ධෛර්යමත්ව තොරතුරු නීතිය තම ප‍්‍රශ්න විසඳීමට යොදා ගන්නා සැටි තොරතුරු නීතිය ලැබීමට ආසන්න ලක් සමාජයට මාහැඟි ආදර්ශයක්.

සිවුමංසල කොලූගැටයා #208: තොරතුරු අයිතිය තහවුරු කරන්නට තොරතුරු සාක්ෂරතාව අත්‍යවශ්‍යයි!

In this week’s Ravaya column (in Sinhala), I discuss the history and current state of play in relation to right to information (RTI). This is in the context of the new Lankan government planning to introduce an RTI law.

To review the work of government at all levels, citizens/voters need to access public sector information – about decisions, proceedings, budgets, expenditures, problems and performance. Close to 100 countries now have laws guaranteeing people’s RTI.

Sadly, Sri Lanka is lagging behind all other SAARC countries, five of which have already enacted RTI laws and two (Afghanistan and Bhutan) have draft bills under consideration. Attempts to introduce RTI in Sri Lanka were repeatedly thwarted by the previous government, which cited various excuses for avoding such a progressive law.

In this column, I also argue that RTI’s effectiveness depends on imagination, innovation and persistence on the part of all citizens. Its best results will accrue in a society and political culture where evidence and analysis are respected. Sri Lanka is not there yet.

RTI will be a significant milestone in a long journey that must continue.

ACT

තොරතුරු අයිතිය නීතිගත කෙරෙන කෙටුම්පතක් ළඟදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කැරෙනවා. මෙය නව රජයේ එක් යහපාලන ප‍්‍ර‍්‍රතිඥාවක් ඉටු කිරීමක්.

තොරතුරු දැන ගැනීමේ අයිතිය (Right to Information) ශිෂ්ට හා ප‍්‍රජාතන්තවාදී සමාජවල මුලික අංගයක් වී තිබෙනවා. ජාතික ආරක්‍ෂාවට බලපෑමක් කළ හැකි රහස්‍ය තොරතුරු හැර රාජ්‍ය පරිපාලනයට හා පලාත්පාලනයට සම්බන්ධ එදිනෙදා තොරතුරු පැහැදිලි ක‍්‍රමවේදයක් හරහා ඕනෑම පුරවැසියකුට ලබා ගත හැකි වීම මෙහි අරමුණයි.

ලෝකයේ රටවල් සියයකට වැඩි සංඛ්‍යාවක් තොරතුරු නීති පනවා තිබෙනවා. දකුණු ආසියාවේ මේ සම්බන්ධයෙන් වඩාත් පසුගාමීව තිබෙන්නේ ශී‍්‍ර ලංකාවයි. සාක් රටවල් අටෙන් පහක (ඉන්දියාව, පකිස්ථානය, බංගලාදේශය, නේපාලය, මාලදිවයින) එම නීති සම්මත වී කි‍්‍රයාත්මක වන අතර රටවල් දෙකක (ඇෆ්ගනිස්තානය, භූතානය) නීති කෙටුම්පත් විවාද කරමින් සිටිනවා.

තොරතුරු අයිතිය හුදෙක් මාධ්‍යවලට හෝ සිවිල් සමාජ සංවිධානවලට හෝ සීමා වූවක් නොවෙයි. මිලියන 21ක් වන අප සියලූ දෙනාගේ අයිතියක්. ඒ නිසා එය හරිහැටි සාක්ෂාත් කර ගන්නේ කෙසේද යන්න මෙනෙහි කිරීම වැදගත්.

තොරතුරු ගලනය මා දකින්නේ ජල ගලනයට සමාන සංසිද්ධියක් ලෙසයි. වාරි ජලය රඳවා තබන ජලාශයක සොරොවු විවර කිරීමත් සමඟ ජලය යටිගංබලා ගලා යනවා. එවිට එයින් ප‍්‍රයෝජන ගන්නට නම් ඇළ මාර්ග හරිහැටි තිබීම හා සූදානමක් පැවතීම අවශ්‍යයි.

කලක් තිස්සේ නිලධාරිවාදී බැමි මඟින් අවුරා තිබූ මහජනයාට අදාළ තොරතුරු මේ නව නීතිය හරහා ගලා යාමට සැලැස්වූ විට එයින් හරිහැටි ප‍්‍රයෝජන ගන්නට ද නිසි සූදානමක් හා කුසලතා තිබිය යුතුයි. එසේ නැතිනම් තොරතුරු ප‍්‍රවාහය පොදු උන්නතියට යොදා ගන්නට බැරි වනවා.

National Right to Ino laws status - as of 2013 Source: http://home.broadpark.no/~wkeim/foi.htm
National Right to Ino laws status – as of 2013 Source: http://home.broadpark.no/~wkeim/foi.htm

තොරතුරු අයිතිය පිළිබඳ සංකල්පය මුලින්ම මතුව ආවේ 18 වන සියවසේ යුරෝපයේයි. එයට පදනම වැටුණේ පොදු ජනයාට රාජ්‍ය පාලනය විමසීමේ අයිතිය තහවුරු වීමත් සමගයි. ප‍්‍රභූවරුන්, උගතුන් හෝ වෙනත් වරප‍්‍රසාද ලත් පිරිස්වලට සීමා නොවී හැම පුරවැසියකුටම තම රට පාලනය කිරීම පිළිබඳව තොරතුරු දැන ගැනීමට හා ඒ ගැන විමර්ෂණයට අයිතියක් ඇතිබව ලිබරල් මතවාදී යුරෝපීයයන් පිළිගත්තා.

මේ අනුව ක‍්‍රියා කරමින් ලෝකයේ මුල්ම තොරතුරු දැනගැනීමේ නීතිය හඳුන්වා දුන්නේ 1766දී ස්වීඩනයේ. රාජාණ්ඩු මෙන්ම ප‍්‍රජාතන්ත‍්‍රික ආණ්ඩු පවතින යුරෝපීය රටවල මේ සංකල්පය පිළිගෙන නීතිගත කරනු ලැබුවා. එය ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මූලික අංගයක් ලෙස ගෝලීයකරණය වූයේ 20 වන සියවස දෙවන භාගයේ.

එයට දායක වූ වැදගත් සිදුවීමක් නම් 1948දී මානව හිමිකම් පිළිබඳ විශ්ව ප‍්‍රඥප්තිය එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී සම්මත කරගනු ලැබීමයි. මේ වන විට ශ‍්‍රී ලංකාව ද ඇතුලූ ලෝකයේ අති බහුතරයක් රාජ්‍ය මේ ප‍්‍රඥප්තියේ මානව හිමිකම් දැක්ම හා මූලධර්ම නිල වශයෙන් පිළිගෙන තිබෙනවා. www.un.org/en/documents/udhr/

වගන්ති 30කින් සමන්විත සංක්ෂිප්ත ලේඛනයක් වන මෙහි 19 වන වගන්තිය කියන්නේ තමන් කැමති මතයක් දැරීමට හා එය ප‍්‍රකාශ කිරීමට හැම මානවයකුටම මූලික නිදහසක් ඇති බවයි. බලපෑමකින් තොරව එසේ මත දැරීමටත්, තොරතුරු ලබා ගැනීමට හා බෙදා හැරීමටත්, ඕනෑම මාධ්‍යයක් හරහා දේශසීමා ඉක්මවා ක‍්‍රියා කිරීමටත් මානව අයිතියක් තිබෙන බව එයින් පැහැදිලිව කියනවා.

Article 19 of Universal Declaration of Human Rights
Article 19 of Universal Declaration of Human Rights

අප මීට පෙර ද විග‍්‍රහ කළ පරිදි ආසියාවේ තොරතුරු අයිතිය පිළිගෙන නීතිගත කිරීමේ පෙරගමන්කරුවකු වූයේ ඉන්දියාවයි. එය දශකයකට වඩා සිවිල් සමාජ ක‍්‍රීයාකාරකයන්ගේ උද්ඝෝෂණවල ප‍්‍රතිඵලයක්.

ඇත්තටම මෙබඳු නීතියක ප‍්‍රායෝගික වැදගත්කම මුලින්ම හඳුනා ගත්තේ ඉන්දියාවේ බිම් මට්ටමේ සමාජ ක‍්‍රියාකාරිකයන් (නගරයේ සිටින ප‍්‍රතිපත්ති මට්ටමේ ක‍්‍රියාකාරිකයන් නොවේ). මහජන සුබසාධනය හා ග‍්‍රාමීය යටිතල පහසුකම් නඩත්තුවට වෙන් කැරෙන රාජ්‍ය මුදල් ප‍්‍රතිපාදන අකාර්යක්ෂම හා දුෂිත ලෙසින් භාවිත කිරීම 1980 දශකයේ හා 1990 දශකයේ එරට ප‍්‍රබල ප‍්‍රශ්නයක් වූවා.

ග‍්‍රාම හා ප‍්‍රාන්ත මට්ටමේ දේශපාලකයන් හා නිලධාරීන් කරන කියන දේ විමර්ෂණයට මහජනයාට බලය ලබා ගැනීමටයි තොරතුරු අයිතිය අවශ්‍ය වූයේ. එයට ප‍්‍රාන්ත මට්ටමින් නීති පැනවීම තමිල්නාඩුව (1997), ගෝව (1997), රාජස්ථානය (2000), දිල්ලිය (2001), මහාරාෂ්ට‍්‍රය (2002) සිදු වුණා. (ඉන්දියාවේ ප‍්‍රාන්ත බොහොමයක් ශ‍්‍රී ලංකාවට වඩා භූමියෙන් හා ජනගහනයෙන් විශාලයි.) ජාතික මට්ටමේ තොරතුරු නීතියක් සම්මත කර ගත්තේ 2005දී.

ඉන්දියානු තොරතුරු නීතිය යටතේ එරට ඕනෑම පුරවැසියකුට (මධ්‍යම, ප‍්‍රාන්ත හෝ පළාත්පාලන මට්ටමේ) රජයේ ආයතනයකින් තොරතුරු ඉල්ලා සිටිය හැකියි. එය දින 30ක් ඇතුළත ලබා දීමට එම ආයතන නීතියෙන් බැඳී සිටිනවා. එසේ නොවුවහොත් හෝ ලබා දුන් තොරතුරු ගැන සෑහීමකට පත් විය නොහැකි නම් හෝ පැමිණීලි කිරීමට මධ්‍යම තොරතුරු කොමිසමක්ද (Central Information Commission) පිහිටුවා තිබෙනවා.

රජයේ විධායකය, පාර්ලිමේන්තුව හා අධිකරණය යන අංග ත‍්‍රිත්වයේම තොරතුරු මේ නීතියට ආවරණය වනවා. එසේම රාජ්‍ය මුදල් ප‍්‍රතිපාදන ලබන අර්ධ රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධානවල තොරතුරුද පුරවැසියන්ට මේ හරහා ඉල්ලා සිටිය හැකියි.

තොරතුරු අයිතිය නීතිගත වීම හොඳ ආරම්භයක් පමණයි. තොරතුරු අයිතිය නීතිගත වීමෙන් පසු බිහි වන නව යථාර්ථයට අනුගත වීමට සමස්ත රාජ්‍ය තන්ත‍්‍රය ද අලූත් දිශානතියකට යොමු වීම අවශ්‍යයි. යටත් විජිත පාලන සමයේ සිට මහජනයාට කරුණු වසන් කිරීමේ අරමුණින් ක‍්‍රියාත්මක වූ රාජ්‍ය පරිපාලනය වඩාත් විවෘත හා පාරදෘශ්‍ය කිරීමට නීතිමය රාමුවක් පමණක් නොව ආකල්පමය වෙනසක් අත්‍යවශ්‍යයි.

RTI Activist bb

2005 තොරතුරු අයිතිය නීතිගත වීමත් සමඟ ඉන්දියාවේ සියලූ රාජ්‍ය ආයතන සිය තොරතුරු පරිගණක ගත කළ යුතු බවටත්, හැකි සෑම විටම එසේ ඩිජිටල්කරණය වූ තොරතුරු නිල වෙබ් අඩවි හරහා ඕනෑම කෙනකුට ලෙහෙසියෙන් බැලිය හැකි ලෙස ඉන්ටර්නෙට් ගත කළ යුතු බවත් තීරණය වුණා. මෙය ක‍්‍රියාත්මක වීම තොරතුරු ගලනයට මහත් සේ දායක වී තිබෙනවා.

එසේම පසුගිය සතියේ සම්මුඛ සාකච්ඡාවේදී ආචාර්ය රාජේෂ් ටැන්ඩන් කී පරිදි තොරතුරු ලද හැකි වීම හරහා යහපාලනයට දායක වීමේ ප‍්‍රායෝගික අවස්ථා හා විභවය ගැන පුරවැසියන්ට හා සිවිල් සංවිධානවලට නිසි දැක්මක්, පරිකල්පනයක් හා කැප වීමක් අවශ්‍යයි.

තොරතුරු සාක්ෂරතාව (information literacy) මෙහිදී වැදගත් හා තීරණාත්මක වෙනවා. තොරතුරු යටතේ බොහෝ දේ රාජ්‍ය තන්ත‍්‍රය තුළ තිබෙනවා. රැස්වීම් වාර්තා, ටෙන්ඩර් මණ්ඩල තොරතුරු, අයවැය ප‍්‍රතිපාදන, මූල්‍ය වියදම් වාර්තා, විගණන වාර්තා ආදිය පමණක් නොව විද්‍යාත්මකව රැස් කරන ලද දත්ත ද එයට ඇතුළත්.

මේ දෙවැනි කාණ්ඩයට ජන සංගණන හා අනෙකුත් රාජ්‍ය සමීක්ෂණවල සම්පූර්ණ තොරතුරු හා විශ්ලේෂණත්, අස්වනු සංඛ්‍යා ලේඛන, විදේශ වෙළදාම් (ආනායන- අපනයන) සංඛ්‍යා ලේඛන ආදියද අයත් වනවා.

නූතන තොරතුරු බොහොමයක ස්වභාවය නම් ඒවා තාක්ෂණික ස්වභාවයකින් යුක්ත වීමයි. සමහරක් තොරතුරු තේරුම් ගැනීමට විශේෂඥ දැනුමක් හා කුසලතා අවශ්‍යයි. මෑත වසරවල රාජ්‍ය අංශය පරිගණක භාවිතය වැඩිවීමත් සමඟ තොරතුරු ඩිජිටල් ආකාරයෙන් පවත්වා ගැනීම ඇරඹී තිබෙනවා. එහෙත් සමස්ත රාජ්‍ය ක්ෂේත‍්‍රයට බලපාන ඩිජිටල් දත්ත ප‍්‍රමිතීන් තවමත් දක්නට නැහැ.

මේ නිසා ඩිජිටල් දත්ත විවිධ තාක්ෂණික පරිමානයන් හා මෘදුකාංගයන් යටතේ පවතිනවා. මේවා ලබා ගන්නා සමාජ ක‍්‍රියාකාරිකයන් හෝ පර්යේෂකයන් ඒ දත්ත විශ්ලේෂණය කරන විට නොගැලපීම්වලට (data incompatibility) මුහුණ දෙනවා.

තොරතුරු අයිතිය නීතිගත වීමේ නිසි ඵල නෙලා ගන්නට නම් අප සැවොම අපේ තොරතුරු සාක්ෂරතාව දියුණු කර ගත යුතුයි. එසේ නොවුවහොත් තොරතුරු ප‍්‍රවාහයට හසු වී අප ගසා ගෙන යාමේ අවදානමක් තිබෙනවා.

තොරතුරු සාගතය ගැන කලක් තිස්සේ පැමිණීලි කරමින් සිටින අපේ සමාජ රියාකාරිකයන් හා මාධ්යවේදීන් තොරතුරු ගලනය උත්සන්න වූ විට එයට කෙසේ හැඩ ගැසේද?

හුදෙක් ආවේගයන් හෝ අනුමානයන් හෝ මත පදනම් නොවී සංඛ්‍යාලේඛන හා විශ්වාස කටයුතු මූලාශ‍්‍ර හරහා නිගමනවලට එළඹීම අද කාලේ අත්‍යවශ්‍ය කුසලතාවක්. අපේ සමහරුන් පිලූණු වූ දත්ත හෝ වැරදි නිරීක්ෂණ (පක්ෂග‍්‍රාහී) හෝ යොදා ගෙන යම් වැරදි ස්ථාවරයන්ට එළඹෙනු නිතර දත්නට ලැබෙනවා.

(සුලභ උදාහරණයක්: ශ‍්‍රී ලංකාව කෘෂිකාර්මික රටක් යැයි පුන පුනා කීවත් තව දුරටත් එය සංඛ්‍යා ලේඛනවලින් තහවුරු වන්නේ නැහැ. මහබැංකු වාර්ෂික වාර්තාවට අනුව 2013දී දළ ජාතික නිෂ්පාදනයට කෘෂිකර්මයේ දායකත්වය 10.6% පමණයි. ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට අනුව 2013දී කෘෂිකර්මාන්තයට සම්බන්ධ ජීවිකාවක නියැලි මෙරට රැකියා නියුක්තිකයන්ගේ ප‍්‍රතිශතය 22.5%යි. මේ සංඛ්‍යා ලේඛන රහසිගත නොව විවෘතව ඒ ආයතනවල ප‍්‍රකාශනවල අඩංගුයි.)

තවත් උදාහරණයක්: ජංගම දුරකථන භාවිතය ජනගහණයෙන් 100කට ගිණුම් 105 දක්වා ඉහළ ගොස් තිබියදීත් තවමත් සමහරුන් කියන්නේ මෙය නාගරික හා වරප‍්‍රසාද ලත් අයගේ තාක්ෂණයක් බවයි.

මේ තොරතුරු මහජනයාට දැනටමත් විවෘතව තිබියදීත් ඒවා පරිශීලනය නොකරන උදවිය තොරතුරු අයිතියෙන් නිසි ප‍්‍රයෝජන ගනියිද?

Do we know how to cope with all this info?
Do we know how to cope with all this info?

තොරතුරු ගලනය විධිමත් වීමත් සමඟ එය ක‍්‍රම ක‍්‍රමයෙන් වඩාත් විවෘත වූත්, වගකීම් සහිත වූත් රාජ්‍ය පාලනයකට හැසිරවීම අප හමුවේ විශාල අභියෝගයක්.

සිල්ලර මට්ටමේ රාජ්‍ය තොරතුරු මෙන්ම තොග මට්ටමේ රාජ්‍ය තොරතුරු ද ඉලක්කගත ඉල්ලීම් හරහා ලබා ගෙන ඒවා සූක්ෂම ලෙස විමර්ෂණය කොට නොගැලපීම්, සැක කටයුතු තැන් හෝ අක‍්‍රමිකතා හඳුනා ගැනීමේ හැකියාව පුරවැසියන් හැටියට අප ප‍්‍රගුණ කළ යුතුයි.

වර්තමානයේ රාජ් ක්ෂෙතරයේ බොහෝ අකටයුතුකම් හා අකරමිකතා සිදු කැරෙන්නේත් සුක්ෂම හා සටකපට ලෙසින්. මේ නිසා ගවේෂණාත්මක මාධ්යකරුවන්ගේ හා රහස් පරීක්ෂකයන්ගේ කුසලතා ගොන්න වඩාත් අවශ් වනවා.

විද්වත් ස්වරූපයකින් පවතින සමහර රාජ්‍ය දත්ත ද විකෘති කොට කෙන්ද කන්ද කළ අවස්ථා පසුගිය දශකයක කාලයේ අප දුටුවා. ආර්ථික වර්ධනය ගැන මෑත වසරවල මහ බැංකුව මහත් උජාරුවෙන් හුවා දැක්වූ සමහර සංඛ්‍යා ලේඛන, සැබෑ තත්ත්වය වැඩිකොට පෙන්වීමක් බව දැන් තහවුරු වී තිබෙනවා. මෙබඳු අවස්ථාවල විද්වත් රාජ්‍ය තොරතුරු විචාරශීලීව කියැවීමේ හැකියාව මාධ්‍ය හා සිවිල් ක‍්‍රියාකාරිකයන්ට තිබිය යුතුයි.

අවසාන විනිශ්චයේදී විවෘත හා වගකීම් සහිත රාජ්‍යකරණයක් (open and accountable government) බිහි වීමට රාජ්‍ය නායකයාගේ අවංක ප‍්‍රතිඥා පමණක් සෑහෙන්නේ නැහැ. කලක් රහසිගතව හා ඇතැම් විට වංචනිකව පැවත ආ රාජ්‍ය පරිපාලනය විවෘත කර ගැනීමට පුරවැසි සැමගේ මැදිහත්වීම, සංශයවාදී බව හා තොරතුරු සාක්ෂරතාව අවශ්‍යයි.

දැන ගියොත් යහපාලනය. නොදැන ගියොත් අතරමඟ!