සිවුමංසල කොලුගැටයා #283: ලක් සමාජය වංචනිකයන්ගෙන් බේරා ගැනීමට බුද්ධිමය ප්‍රතිශක්තිකරණයක් ඕනෑ!

STS Forum Sri Lanka

STS Forum Sri Lanka

Sri Lanka’s first Science and Technology for Society (STS) Forum took place from 7 to 10 September in Colombo. Organized by the Prime Minister’s Office and the Ministry of Science, Technology and Research, it is one of the largest gatherings of its kind to be hosted by Sri Lanka.

What sets STS Forums apart is that they are not merely events where scientists talk to each other.  That surely will happen, but there will be many more voices and, hopefully, much broader conversations.

In this week’s Ravaya column (in Sinhala, appearing in the print issue of 11 Sep 2016), I look at Sri Lanka’s appalling lack of scientific literacy.

As Dr Neil deGrasse Tyson, American astrophysicist, cosmologist and science communicator, says, “Scientific literacy is an intellectual vaccine against the claims of charlatans who would exploit ignorance.”

Sri Lanka takes justified pride in its high literacy levels and equally high coverage of vaccination against infectious diseases. But we cannot claim to have a high level of scientific literacy.

A healthy dose of scepticism is essential to safeguard ourselves from superstitions, political claims and increasingly sophisticated – but often dishonest – product advertising. That’s what scientific literacy builds inside our minds.

I argue that unless we make scientific literacy an integral part of everyone’s lives, ambitious state policies and programmes to modernize the nation could well be jeopardized. Progress can be undermined — or even reversed — by extremist forces of tribalism, feudalism and ultra-nationalism that thrive in a society that lacks the ability to think critically.

See also my English op-ed: Scientific Literacy: ‘Mind Vaccine’ Sri Lanka Urgently Needs

Dr Neil deGrasse Tyson: One man worth cloning if that were feasible...

Dr Neil deGrasse Tyson: One man worth cloning if that were feasible…

විද්‍යාව, තාක්ෂණය හා සමාජය ගැන ජාත්‍යන්තර සමුළුවක් සැප්තැම්බර් 7 – 10 වකවානුව තුළ කොළඹදී පැවැත්වෙනවා.

”විද්‍යාව හා තාක්ෂණය තිරසාර සංවර්ධනයට නිසි ලෙස යොදා ගැනීම” මෙහි ප්‍රධාන තේමාවයි. ඒ යටතේ අනුතේමා හා මාතෘකා රැසක් වටා සැසිවාර පැවැත්වෙනවා.

අග්‍රාමාත්‍ය කාර්යාලය හා විද්‍යා – තාක්ෂණ අමාත්‍යාංශය සංවිධානය කරන මේ සමුළුව හුදෙක් විද්‍යාඥයන් හා තාක්ෂණවේදීන් එක් රැස් කරන තවත් අවස්ථාවක් පමණක් නොවෙයි.

මේ අයට අමතරව ප්‍රතිපත්ති සම්පාදකයන්, නව නිපැයුම්කරුවන්, විද්‍යා සන්නිවේදකයන්, විද්‍යා ගුරුවරුන්  හා ශිෂ්‍යයන් ද මෙයට සම්බන්ධ වනවා. ඇතැම් සැසිවාරවල අදහස් දක්වන්නේද මේ වඩාත් පුළුල් පිරිසෙන් තෝරා ගත් කථීකයන්.

මහජනයා සඳහා විද්‍යාව (citizen science) යන තේමාව යටතේ සැසිවාර කිහිපයක් සැළසුම් කිරීමට සංවිධායකවරුන් මට ඇරැයුම් කළා.

සාමාන්‍යයෙන් විද්‍යාත්මක සමුළුවලදී විද්‍යාව හා සෙසු සමාජය අතර සබඳතා ගැන එතරම් අවධානයක් යොමු කරන්නේ නැහැ. විද්වතුන් අතර කෙරෙන කථාබහ මාධ්‍ය වාර්තාකරණයට හසු වන්නේ ද සීමිතවයි.

එසේ බලන විට මේ සමුළුව අන් බොහෝ ඒවාට වඩා ඉදිරියෙන් සිටිනවා.

සාකච්ඡා කැරෙන අභ්‍යාවකාශ තාක්ෂණය, පරිගණ තාක්ෂණය, නැනෝ තාක්ෂණය, ජාතික නවොත්පාදන ප්‍රතිපත්තිරාමුව ආදී තේමා සියල්ල රටේ ආර්ථීක හා සමාජ සංවර්ධනයට දායක කරගත හැකි ක්ෂේත්‍රයන්.

එහෙත් විද්‍යාත්මක චින්තනය හා විවෘත මනසක් රටේ ස්ථාපිත නොවන තාක් කල් මේ කුමන තාක්ෂණයක් ප්‍රවර්ධනය කළත් එතරම් වැඩක් නැහැ. මන්ද තර්කානුකූලව සිතීමට හා ක්‍රියාකිරීමට නොහැකි සමාජයක් ලෙහෙසියෙන් වංචනිකයන් හා දේශපාලන අවස්ථාවාදීන්ට රවටා ගත හැකි නිසා.

වත්මන් සංකීර්ණ සමාජයේ ප්‍රවේශමින් දිවි ගෙවීමට බාල මහලු කොයි කාටත් යම් අවම විද්‍යාත්මක දැනුමක් හා චින්තනයක් අවශ්‍යයි.

එය පාසලේ හෝ සරසවියේ විෂ්‍ය නිර්දේශ අනුව උගන්වන විද්‍යාවන් නොවෙයි. එසේ විධිමත් ලෙස විද්‍යා විෂයයන් ඉගෙනීමට අවස්ථාවක් ලැබෙන්නේ අපේ ජනගහනයෙන් සාපේක්ෂව සීමිත පිරිසකට පමණයි.

එහෙත් මිලියන 21ක සියලු ලාංකිකයන්ට මූලික මට්ටමේ විද්‍යාත්මක අවබෝධයක් ලබා දීම වැදගත්.

මෙහිදී අවශ්‍ය වන්නේ විශේෂඥ දැනුම නොව විද්‍යාත්මකව සිතීම හා  එය එදිනෙදා ජීවිතයට අදාළ කර ගැනීමයි. ”විද්‍යාත්මක සාක්ෂරතාවය” (scientific literacy) ලෙස හඳුන්වන්නේ එයයි.

එහි නිර්වචනය නම් විද්‍යාත්මක සංකල්ප හා ක්‍රියාදාමයන් ගැන මූලික දැනුමක් හා අවබෝධයක් ලැබීම හා එය පෞද්ගලික ජීවිතයේ තීරණ ගැනීමට මෙන්ම වෘත්තීය හා සංස්කෘතික ක්‍රියාකාරකම්වලට පාදක කර ගැනීමයි.

අද ලොව සිටින දක්ෂතම හා වඩාත් ප්‍රකට විද්‍යා සන්නිවේදකයකු වන අමෙරිකානු තාරකා භෞතික විද්‍යාඥ ආචාර්ය නීල්ඩිග්‍රාස් ටයිසන් (Dr Neil deGrasse Tyson) එය වඩාත් සිත් කාවදින ලෙසින් මෙසේ කියනවා.

”විද්‍යාත්මක සාක්ෂරතාවය හරියට මනසට ලබා දෙන බුද්ධිමය එන්නතකට සමානයි. අපේ නොදැනුවත්කම හරහා අප රවටන්නට බලා සිටින සටකපට තක්කඩියන්ගෙන් බේරීමට හොඳම උපක්‍රමයයි.”

ආසියාවේම ඉහළ සාක්ෂරතාවයක් ගැහැණු, පිරිමි දෙපිරිසටම ලබා ගැනීම ගැන සමාජයක් ලෙස අප ආඩම්බර වනවා. එසේම බෝවන රෝග වළක්වා ගැනීමට එන්නත් හරහා ප්‍රතිශක්තිකරණය ලබා දීම අතින්ද රටේ මුළු ජනගහනයම පාහේ ආවරණය කිරීමට අපේ සෞඛ්‍ය සේවාව සමත්ව සිටිනවා.

untitled-614

එහෙත් අපේ විද්‍යාත්මක සාක්ෂරතාව ගැන නම් කිසිසේත්ම සෑහීමකට පත් වන්නට බැහැ. උගත්කම, වත්කම, සමාජ තරාතිරම හා වෘත්තිමය පසුබිම කුමක් වෙතත් තර්කානුකූලව සිතීමට හැකියාව ඇත්තේ අප අතර ටික දෙනකුට පමණයි.

මෙහි රෝග ලක්ෂණ හෙවත් විපාක  ඕනෑ තරම් අප සමාජයේ දැකිය හැකියි.

22 Jan 2012: සිවුමංසල කොලූගැටයා #50: අවිචාරයේ සැඩ සුළගට මැදි වුණු හේතුවාදී පහන් සිළුව

29 Jan 2012: සිවුමංසල කොලූගැටයා #51: ඔබේ විචාර බුද්ධිය දැන් අක‍්‍රීය කරන්න!

එක් පසෙකින් ජ්‍යොතිෂවේදීන්, දේවාල කපුවන්, විශ්ව ශක්තිකාරයන්, බලිතොවිල් කාරයන් හා වෙනත් ගුප්ත ශාස්ත්‍ර අලෙවි කරන්නන් පසුපස යමින් පෞද්ගලික ජීවිතයේ අවශ්‍යතා සඳහා ඉක්මනින්, කෙටික්‍රම (ෂෝට් කට්) සොයන්නෝ එමටයි. ඒ අතර ඕනෑතරම් පොතේ උගතුන්ද සිටිනවා.

විශ්වාස හා ඇදහිලි මත පදනම් වු වංචනික ක්‍රියා කෙතරම් අප සමාජයේ එළිපිට සිදු කැරෙනවා ද? විභාග ජය, රැකියා ජය, විවාහයන් හා ව්‍යාපාර සාර්ථකත්වය වැනි විවිධාකාර ජීවන අභියෝගවලට උපකාර ලබා දෙන බවට පොරොන්දු වන දැන්වීම් ඉරිදා පුවත්පත්වලත්, ඇතැම් ටෙලිවිෂන් නාලිකා තීරයේ පහළිනුත් ප්‍රසිද්ධියේ පළ කරනවා.

ඊටත් එහා යන ප්‍රබල ගුරුකම්ල අණවින හා කොඩිවින ද තිබෙනවා. මේවායේ සේවය ලබා ගන්නට විශාල වශයෙන් මුදල් ගෙවන බොහෝ දෙනෙකු සිටියත්, ඒ ගැන කථා කරන්නට ඉදිරිපත් වන්නේ ඉතා ටික දෙනයි.

මේවාට යොමු වන්නෝ මොහොතක් සිතා බැලුවොත් තමන් කරන දෙයෙහි නිශ්ඵල බව පෙනී යාවි. උදාහරණයකට දේව අනුග්‍රහයෙන් විභාග සමත් විය හැකි නම් කපුවන්ගේ දරුවන් ප්‍රසිද්ධ විභාග සියල්ලෙන් උසස්ම ප්‍රතිඵල ගත යුතුයි නේද? ගුප්ත ශාස්ත්‍රකරුවන් ඉතා ඉසුරුමත් විය යුතුයි නේද?

මීට අමතරව රටේ රාජ්‍ය නායකයා තම ග්‍රහණයට හසු කර ගෙන, රාජ්‍යයේ සියලු වැදගත් තීරණවලට ජ්‍යොතිෂවේදීන් බලපෑම් කළ සැටිත්, අන්තිමේදී ඔවුන්ගේ උපදෙස් මත කලින් ජනපතිවරණයක් පවත්වා හිටපු නායකයා සිය ධූර කාලයෙන් වසර දෙකක් අහිමි කර ගත් සැටිත් අප දන්නවා.

23 Nov 2014: සිවුමංසල කොලූගැටයා #195: අපේ රටේ බලවත්ම පුද්ගලයෝ ජ්‍යොතිර් ඇදුරන්ද?

අනෙක් පසෙකින් ඕනෑම  කුමන්ත්‍රණවාදී තර්කයන් කිසිදු විමර්ශනයකින් තොරව විශ්වාස කරන ලාංකිකයන් සංඛ්‍යාව අති විශාලයි. මෙයට උදාහරණ ඕනෑ තරම් තිබෙනවා.

රටේ බහුතර ජන කොටස වඳ බවට පත් කිරීමේ උත්සාහයන් ගැන, නැතිනම්  සමස්ත ශ්‍රී ලංකාවටම කර ඇතැයි කියන සාපයන් ගැන ප්‍රබන්ධ කථා පැතිර යන්නේ අධිවේගයෙන්.

එයට සමාන්තරව රටේ ආරක්ෂාවට, ආර්ථීකය හා රජයට එරෙහිව විවිධ ජාත්‍යන්තර කුමන්ත්‍රණ දිග හැරෙනවාය යන්න අපේ බොහෝ දෙනා විශ්වාස කරනවා. මේ කිසිවක් සඳහා සාක්ෂි ඉල්ලා සිටින්නේ නැහැ.

Words of Dr Abraham Thomas Kovoor (1898 – 1978), rationalist

Words of Dr Abraham Thomas Kovoor (1898 – 1978), rationalist

හැම තරාතිරමකම ලාංකිකයන් නොමඟ යැවීම මෙතරම් පහසු වී ඇත්තේ ඇයි? පොතේ උගතුන් මුලා කිරීම මින් පර නොවූ විරූ ලෙස අද පසහු වී ඇත්තේ ඇයි?

තාක්ෂණය ප්‍රචලිත වීම හරහා අද ඉන්ටර්නෙට් භාවිතය, ස්මාට්ෆෝන් භාවිතය පුළුල් වුවත්  ඒ නව මාධ්‍ය හරහා ද අපේ බොහෝ දෙනා තොරතුරු හා අදහස් හුවමාරු කර ගන්නේ කිසිදු විචාර බුද්ධියකින් තොරවයි.

අතේ තිබෙන ස්මාට්ෆෝන් එක තරම්වත් ස්මාට් නැති අය එමට හමු වනවා! තම තමන්ගේ මෝඩකම්වල ආදීනව ඔවුන්ටම විඳින්නට ඉඩ දී අප බලා සිටිමුද?

එහෙත් තනි පුද්ගලයන්ට එහා යන බිහිසුණු යථාර්ථයක් මෙහි තිබෙනවා. එනම් සමාජයක් ලෙස අයාලේ යැවීමට, රවටවා ගැනීමට සටකපට ඕනැම අයකුට හැකි වීමයි.

මිථ්‍යාව හා අවිචාරය විසින් වෙලා ගත් සමාජයක් දිගටම පවතිනු දැක්මට අවස්ථාවාදී දේශපාලකයන් හා තන්හාධික ව්‍යාපාරිකයන් යන දෙපිරිසම කැමතියි.

please-turn-off-your-brain-cells

කියන ඕනෑම ප්‍රලාපයක්, ගෙඩි පිටින් අදහන ජනතාවක් ගෝත්‍රවාදය, වැඩවසම්වාදය හා ජාතිකවාදය වැනි අන්තවාදී සංකල්ප වෙත හරවා ගැනීම ඉතා පහසුයි.

එක් පසෙකින් එවන් ජනතාවක් රවටා දේශපාලකයන් ඔවුන්ගේ ඡන්දය (හා අනාගතය) ඩැහැ ගන්නා අතර අනෙක් පසින් මෝඩ ජනතාව මුලා කර වංචනික වෙළඳෙ ප්‍රචාරණ හරහා ව්‍යාපාරිකයන් ඔවුන්ගේ මිළමුදල් හීන්සීරුවේ ලබා ගන්නවා. (සුදු වෙන්න, ස්මාට් වෙන්න, ඇඟ නොවෙහෙසා ෆිට් වෙන්න, කඩිනම් ප්‍රතිකර්ම කෙතරම් අද දවසේ මාධ්‍ය හරහා ප්‍රසිද්ධියේම අලෙවිකරණය කරනවාද?)

විද්‍යාත්මක සාක්ෂරතාවය අවශ්‍ය වන්නේ මේ සැමගෙන් බේරී, අපේ ඡන්දය, මිළ මුදල්, පණ කෙන්ද හා ආත්ම ගරුත්වය රැක ගැනීමටයි.

විද්‍යාත්මක  සාක්ෂරතාවය අනවශ්‍ය ලෙස සංකීර්ණ කර ගත යුතු නැහැ. එයට තුඩු දෙන ඔවදන් අපේ ජන විඥානයේම තිබෙනවා. ”කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි’ යන්න එවැන්නක්.

විද්‍යාත්මක චින්තනය ප්‍රගුණ කර ගත්තෝ කිසිවක් එකවර පිළි ගන්නේ නැහැ. ප්‍රශ්න කරනවා. සාක්ෂි සොයනවා. භෞතික සිද්ධියක් නම් එය හොඳින් නිරීක්ෂණය කරනවා. අත්හදා බැලිය හැකි නම් එසේ කරනවා. හැම දෙයක්ම සංශයවාදීව (skeptically) විමර්ශනය කරනවා.

එසේ කොට යමක් තේරුම් ගෙන පිළිගත්තද නව දැනුමට හා නව විග්‍රහයන්ට ඔවුන් විවෘතයි. ඔවුන්ගේ මනස එක තැන පල් වෙන්නේ නෑ.

විද්‍යාත්මක සාක්ෂරතාව හෙවත් චින්තනයට පෙරදිග, බටහිර ක්‍රියා වෙනසක් නැහැ. පෙරදිගින් බිහි වූ බුදුදහම වැනි සාමයික චින්තන ක්‍රමවලත්, බටහිර තර්ක ශාස්ත්‍රඥයන්ගේ ඉගැන්වීම්වලත් අවධාරණය කරන්නේ ඕනෑම දෙයක් ඉතා හොඳින් විමර්ශනය කිරීමේ අවශ්‍යතාවයයි.

Arthur C Clarke quote on balancing traditions and modernity (Sinhala translation from UNESCO Kalinga Award acceptance speech, 1962)

Arthur C Clarke quote on balancing traditions and modernity (Sinhala translation from UNESCO Kalinga Award acceptance speech, 1962)

ශ‍්‍රීමත් ආතර් සී. ක්ලාක් අඩ සියවසක් පුරා මෙරට වාසය කරමින් නිතර ලක් සමාජයට අවවාද කළේත් මෙයයි.

විද්‍යාව ජනප්‍රිය කිරීමට ලෝක මට්ටමින් කරන විද්වත් දායකත්වය සඳහා යුනෙස්කෝ පිරිනමන කාලිංග සම්මානය 1961දී හිමි වූයේ ක්ලාක්ටයි. එය ලබා ගනිමින් ඔහු 1962 සැප්තැම්බරයේ නවදිල්ලියේදී කළ කථාවේ අවසාන වැකි කිහිපය අඩසියවසක් ගත වී තවමත් අපට අදාල කර ගත හැකියි.

“තර්කානුකූලව හා සාක්ෂි මත පදනම් වූ චින්තනයක් පෙර අපර දෙදිග සියලු රටවලට අවශ්‍යයි. එය වඩාත් හදිසි අවශ්‍යතාවක් වන්නේ දියුණු වෙමින් පවතින රටවලයි. ආසියාවේ හා අප්‍රිකාවේ බොහෝ රටවල මිලියන් ගණනක් ජනයා භෞතික, මානසික හා ආධ්‍යාත්මික දරිද්‍රතාවයේ ඇද බැඳ තබන ප්‍රබල සාධක දෙකක් තිබෙනවා. එනම් අන්ධ භක්තිය හා මිථ්‍යා විශ්වාසයි.

 “විද්‍යාව එහි සාංස්කෘතිකමය හා තාක්ෂ‚ක යන මුහුණුවර දෙකෙන් ම මේ පසුගාමී සාධකවලට එරෙහි වනවා. ගතානුගතිකත්වයේ යදම් බිඳ දමා මුළු මහත් ජාතීන් වඩා යහපත් ජීවන තත්ත්වයන් වෙත කැඳවා ගෙන යන්නට විද්‍යාත්මක චින්තනය මඟ පෙන්වනවා.

 “විවෘත මනසින් යුතුව හා විචාරශීලිව හැම දෙයක් ම ප්‍රශ්න කිරීම විද්‍යාවේ ක්‍රමවේදයයි. ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්ෂ හරහා මතු වන දේ අපේ එල්බ ගත් විශ්වාසවලට පටහැනි වන විට දී පවා එය පිළිගැනීම විද්‍යාවේ විනයයි.

 “එහෙත් අන්තවාදියාගේ ආදර්ශ පාඨය වන්නේ කරුණු හා තර්ක ඉදිරිපත් කරන්නට එපා – මගේ තීරණය අවසාන විනිශ්චයයියන්නයි. එබඳු අධිපතිවාදයක් විද්‍යාවේ නැති නිසා අන්තවාදීන්ට විද්‍යාවේ තැනක් ද නැහැ.

 “මිථ්‍යා විශ්වාස හා ඇදහිලි ඕනෑ තරම් පෙරදිග රටවල හමු වනවා. සමහරක් ඒවා අහිංසක නොමඟ යාම් වූවත් ඇතැම් ඒවා පුද්ගලයන්ට හා ජන සමාජයන්ට ඉතා අහිතකරයි…හැම රටක හා ජාතියක ම අතීතයේ ආයාසයෙන් ප්‍රතිකේෂප කළ යුතු ඇතැම් උරුමයන් ද තිබෙනවා.

 “ගැඹුරට විග්‍රහ කළ විට විද්‍යාව යනු තර්කානුකූලව සිතීම හා විචාරශීලිව ලෝකය හා සමාජය දෙස බැලීමයි. අප ඉවත ලිය යුත්තේ කුමක් ද හා තව දුරටත් පවත්වා ගනිමින් ප්‍රවර්ධනය කළ යුත්තේ කුමක් ද යන්න එබඳු චින්තන ක්‍රමවේදයකින් අපට වෙන් කර ගත හැකියි. අනාගතයට දිවෙන අවිනිශ්චිත මාර්ගයෙහි අපට හොඳම මඟ පෙන්වන්නන් ත්‍රිත්වය වනුයේ විද්‍යාත්මක චින්තනය, සහජයෙන් අප ලබන ප්‍රඥාව හා අමාරුවෙන් ප්‍රගුණ කර ගත යුතු දුරදක්නා නුවණයි.”

ශ්‍රී ලංකාවේ විද්‍යාත්මක  සාක්ෂරතාවය ප්‍රවර්ධනය කිරීමේ වගකීම විධිමත් අවධ්‍යාපන ක්ෂේත්‍රයට (පාසල් හා සරසවි) සීමා කළ නොහැකියි. ඒ සඳහා සිවිල් සමාජ පෙළගැස්මක්, මාධ්‍ය ප්‍රබුද්ධයන්ගේ දායකත්වයක් හා වෘත්තිකයන්ගේ සහභාගිත්වයක් අවශ්‍යයි.

පරම්පරාවකට පෙර ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන සමාජගත කරන්නට කලාකරුවන්ල විද්වතුන් හා වෙනත් බොහෝ අය හවුල් වුණා. බුද්ධි ප්‍රතිශක්තිකරණයටත් එවන් ප්‍රයත්නයක් ඕනෑ!

Read also: සිවුමංසල කොලූගැටයා #96: ආතර් සී. ක්ලාක් නැවත කියවමු!

සිවුමංසල කොලූගැටයා #145: තුන්වන ලෝකයට බුද්ධිමය පහන්ටැඹක් වූ ආචාර්ය ගාමිනී කොරෙයා

In this week’s Ravaya column (in Sinhala), I pay tribute to Dr Gamani Corea (1925 – 2013), Lankan economist, diplomat, international civil servant and public intellectual.

For an English version, see: When Worlds Collide #91: Gamani Corea – Champion of the Global South

Dr Gamani Corea - photo courtesy The Hindu

Dr Gamani Corea – photo courtesy The Hindu

අදීනව හා අභිතව, එහෙත් සියුම් හා උපක‍්‍රමශීලී ලෙසින් දේශීයත්වය හා අපේ අනන්‍යතාවය බාහිර ලෝකයට ප‍්‍රක්‍ෂෙපනය කරමින් සංකීර්ණ නූතන සමාජයේ තානාපති හා විදේශ සබඳතා පවත්වා ගැනීම ලොකු අභියෝගයක්.

ප‍්‍රතිපත්ති ගරුක හා ස්වාධීන විදේශ පිළිවෙතක් අනුගමනය කිරීම නිසා 1960-1970 දශකවලදී ශී‍්‍ර ලංකාවට ලෝකයේ බොහෝ රටවල ගෞරවාදරය හිමි වුණා. මෙරටින් බිහි වූ විද්වතුන් හා තානාපතිවරුන් අන්තර් රාජ්‍ය සංවිධානවල ඉහළ තනතුරු හොබවමින් උපන් රටට කීර්තියක් මෙන් ම දියුණු වන ලෝකයට ම මඟ පෙන්වීමක් ද ලබා දුන්නා. මේ අය අතර දැවැන්තයකු වූයේ මෑතදී මිය ගිය ආචාර්ය ගාමිනී කොරෙයා (1925-2013) යි.

කොරෙයාගේ අභාවයත් සමඟ ලෝකයේ නන් දෙසින් නිකුත් කෙරුණු ශෝක පණිවුඩ හා ගුණ සමරු දෙස බලන විට ඔහු කෙතරම් කීර්ති නාමයක් දිනා සිටියා ද යන්න පැහැදිලි වනවා.

මෙරට ඉසුරුබර ප‍්‍රභූ පවුලක ඉපිද, ලංකා විශ්ව විද්‍යාලයේත්, ඉනික්බිති ඔක්ස්ෆර්ඞ් හා කේම්බි‍්‍රජ් යන බි‍්‍රතාන්‍ය සරසවි දෙකෙහිත් උසස් අධ්‍යාපනය ලැබූ කොරෙයා, 1952-1973 වකවානුවේ ලක් රජයේ විවිධ ඉහළ තනතුරු හෙබ වූවා. ආර්ථික විශේෂඥයකු ලෙස අඵතින් නිදහස ලැබූ ලංකාවේ ජාතික සැළසුම් හා මූල්‍ය ප‍්‍රතිපත්ති සම්පාදනයට මූලික වූ ඔහු, පැවති හැම රජයක් යටතේ ම වෘත්තීය ගෞරවය රැක ගනිමින් සේවය කළා.

මෙරට නිල් – කොළ – රතු හැම දේශපාලන පක්‍ෂයක ම හොඳහිත හා ගෞරවය ලැබ සිටි ඔහු, දෙවරක් මෙරට මුදල් ඇමති ධූරය ප‍්‍රතික්‍ෂෙප කොට තිබෙනවා. (1965 ඩඞ්ලි සේනානායක රජයේ හා 1988 ජයවර්ධන රජයේ අවසාන වසරේ.)

ජාතික සැළසුම් මහ ලේකම් කාර්යාලයේ අධ්‍යක්‍ෂ, මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ අධ්‍යක්‍ෂ, හා සැළසුම් හා ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් වැනි තීරණාත්මක තනතුරු දැරීමෙන් පසුවයි ඔහු 1970 දශකයේ ජාත්‍යන්තර තලයට ප‍්‍රවේශ වූයේ. ඒ වන විට ඔහු ලක් රජය නියෝජනය කරමින් විවිධ එක්සත් ජාතීන්ගේ සම්මේලනවලට සහභාගි වී අත්දැකීම් රැසක් හිමි කර ගෙන සිටියා.

කොරෙයා යුරෝපීය රටවල් ගණනාවකට අනුයුක්ත කළ ලංකා තානාපති හැටියට 1973දී පත් කරනු ලැබුවත් එහි කටයුතු කළෙ මාස කිහිපයයි. වෙළදාම හා සංවර්ධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මේලනය (UNCTAD, http://www.unctad.org) නම් අන්තර්-රාජ්‍ය සංවිධානයේ මහ ලේකම් තනතුරට ඔහු තෝරා පත් කර ගනු ලැබුවා. එය එජා සංවිධාන ජාලයේ ඉහළ තනතුරක්. (පසු කලෙක ජයන්ත ධනපාල උප මහලේකම් තනතුරකට පත් වන තුරු එජා සංවිධානයේ ඉහළට ම ගිය ලාංකිකයා වූයේ ගාමිනී කොරෙයායි.)

Gamani Corea, Secretary General of UNCTAD (1974-1984)

Gamani Corea, Secretary General of UNCTAD (1974-1984)

1964දී ඇරැඹුණු UNCTAD සංවිධානය ජාත්‍යන්තර වෙළදාම, ආයෝජනය හා සංවර්ධනය ගැන ප‍්‍රතිපත්ති නිර්දේශ කරන, මේ ක්‍ෂෙත‍්‍ර අරභයා දියුණු හා දියුණු වන රටවල් අතර යම් තුලනයක් පවත්වා ගන්නට අරමුණු කළ ආයතනයක්. විශේෂයෙන් 1970 – 80 දශක දෙකේදී නව ලෝක ආර්ථික රටාවක් බිහි කිරීමේ උතුරු – දකුණ සංවාදවලදී UNCTAD තීරණාත්මක බුද්ධිමය හා තානාපති මෙහෙරවක් ඉටු කළා. එම මෙහෙවරේ නායකත්වය දැරූවේ 1974-1984 කාලය තුළ (එක පිට එක) ධුර කාල හතරක් එහි මහලේකම් තනතුර දැරූ කොරෙයායි.

ඉසුරුබර රටවල් සමඟ ගැටුම් ඇති කර නොගෙන, සාධාරණත්වය හා සමානාත්මතාවය සඳහා ආචාරධර්මීය කතිකාවතක් දිගට ම පවත්වා ගන්නට ඔහු සමත් වුණා. දියුණු රටවල් (ගෝලීය උතුර) හා දියුණු වන රටවල් (ගෝලීය දකුණ) අතර මේ දිගුකාලීන සංවාදය, සංවේදීතාවන් හා තුලනයන් රැසක් පවත්වා ගත යුතු ඉතා අසීරු කාරියක්.

ධනවත් රටවල මුදල් බලයට හා ප‍්‍රබල තානාපති බලපෑම්වලට නතු නොවී, එමෙන්ම සමහර රැඩිකල්වාදී දකුණේ රටවල ආක‍්‍රමණකාරී හා කලබල ප‍්‍රවේශයන්ට ද ඉඩ නොදී කාගේත් හොඳහිත රැක ගනිමින් වැඩ කිරීමට කොරෙයා අතිශයින් දක්‍ෂයකු වූ බව ඔහුගේ සමකාලීනයන් සිහිපත් කරනවා.

ඔහුට සමාන්තරව ජිනීවා නුවර ගෝලීය සංවාදවලට එකතු වූ තවත් ආර්ථික විශෙෂඥයෙක් නම් වත්මන් ඉන්දීය අගමැති ආචාර්ය මන්මෝහන් සිං. මේ දෙදෙනා අතර දශක ගණනක සමීප මිතු දමක් පැවතුණා.

කොරෙයා ගැන අනුස්මරණ නිවේදනයකින් වත්මන් UNCTAD කාර්යාලය කියා සිටියේ ‘‘ලෝකයේ දුගී රටවලට වඩාත් සාධාරණ, දිගු කාලීන සංවර්ධනයකට පිවිසීමට උපකාර වන විදියේ ගෝලීය ආර්ථික ප‍්‍රතිසංස්කරණ ඇති කිරීම සඳහාත්, ජාතීන් අතර වෙළදාමේදී එම රටවලට වඩාත් වාසි සහගත වන පරිසරයක් බිහි කරන්නටත් ඔහු ඉමහත් බුද්ධිමය දායකත්වයක් ලබා දුන්නා’’ කියායි.

ඔහුගේ ජිනීවා සගයකු වූ ජ්‍යෙෂ්ඨ ඉන්දීය පුවත්පත් කලාවේදී චක‍්‍රවර්ති රාඝවන් මෙසේ ආවර්ජනය කළා: ‘‘තුන්වන ලෝකයේ රටවලට ලෝක ආර්ථික ක‍්‍රමය තුළින් වඩාත් හිතකර තත්ත්වයන් උදා කිරීමට කුමක් කළ යුතු ද යන්න ගැන කොරෙයාට තියුණු හා දිගු කාලීන දැක්මක් තිබුණා. එය ආර්ථික විද්‍යා න්‍යායවලට සීමා නොවී, ප‍්‍රායෝගික හා උපායමාර්ගික මට්ටමට විහිදුණා. ඔහු ඇරැඹූ යම් කි‍්‍රයාදාමයන් ඵල දරන්නට වසර හෝ දශක ගණනක් ගත වුණා.’’

මෙබඳු දිගු කාලීන ප‍්‍රතිපත්තිමය විප්ලවයකට හොඳ උදාහරණයක් නම් අත්‍යවශ්‍ය ඖෂධ පිළිබඳ ක‍්‍රමවේදයක් බිහි කිරීමයි. ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ සමීපව කි‍්‍රයා කරමින්, බහුජාතික ඖෂධ සමාගම්වලට නතු නොවී එම ප‍්‍රතිපත්ති සැකසීමට ලාංකික ඖෂධවේදී මහාචාර්ය සේනක බිබිලේට අවශ්‍ය පසුබිම සකසා දුන්නේ ගාමිනී කොරෙයා සහ UNCTAD සංවිධානයයි. පසුව ආචාර්ය කුමාරයියා බාලසුබ‍්‍රමනියම් බිබිලේ නැවතු තැනින් ඒ ගමන ඉදිරියට ගෙන ගියේ ද UNCTAD හරහායි.

රාඝවන් සිහිපත් කරන හැටියට කොරෙයා කිසි විටෙක තදබල හෝ සැරපරුෂ ලෙස කථා කළේ නැහැ. අතිශයින් ආචාරශීලී හා සුහද ලෙස එහෙත් බුද්ධිමය ස්ථාවරයන්ගෙන් නොසැළී ඔහු ආන්දෝලනාත්මක සමුඵ සැසිවාරයන් හැසිර වූ බවත්, අමෙරිකාව හා යුරෝපීය ප‍්‍රජාව තුළින් මතුව ආ උද්දච්චකම ඔහු හීන්සීරුවේ නිශේධනය කළ බවත් රාඝවන් කියනවා.

මේ නිසා ධනවත් රටවලට කොරෙයා රිස්සුවේ  නැතත්, ඔවුන් පවා ඔහුගේ අවංක බව හා බුද්ධි මහිමය අගය කළා.

පසු කලෙක ලංකා තානාපති සේවයට ආලෝකයක් ගෙන දුන් විදේශ ඇමැති ලක්ෂ්මන් කදිරගාමර් මෙන් ම ගාමිනී කොරෙයාත් ඉංගී‍්‍රසි බස ව්‍යක්තව හා සියුම්ව හැසිරවීමට ගජ හපනෙක්. ඔහු කී සමහර වදන් කලක් ගත වීත් ලෝක ආර්ථික හා දේශපාලන තලයන්හි තවමත් ප‍්‍රතිරාවය වනවා.

මා ඇසූ එක් කොරෙයා කියමනක්: ‘‘තුන්වන ලෝකයේ බොහෝ රටවලට සැබැවින් සිටින්නේ එක ම එක මුදල් ඇමතිවරයෙක්. ඒ තමයි ලෝක බැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල!’’ (මේ ආයතන ද්විත්වය UNCTAD ප‍්‍රතිසංස්කරණවලට කැමති නොවී දිගින් දිගට ම කොරෙයා සමඟ වාදවලට පැටඵණා.)

පූර්ණකාලීන එජා සංවිධාන සේවයෙන් ඉවත් වූ පසුවත් ඔහු විවිධ රජයන්, ලෝක ආයතන හා සිවිල් සංවිධානවල ගරු තනතුරු හා උපදේශක තනතුරු රැසක් දරමින් තවත් කලක් ජිනීවා නුවර රැදී සිටියා. වයස 75 පමණ වනතුරු ඔහු සකි‍්‍රය වෘත්තීය දිවි පෙවෙතක් ගත කළා.

තිරසාර සංවර්ධනය ගැන ගෝලීය චින්තනයක් ගොඩ නැංවීමට 1970 හා 1980 දශකවල මුල් සංවාද රැසකට ද ඔහු සහභාගී වූවා. එබඳු සංවාදවලදී අන්ත හරිතවාදය මෙන් ම අන්ත ධනවාදයටත් එකඟ නොවී යම් සමබර ප‍්‍රවේශයන් වෙත ලෝකයේ ආණ්ඩු යොමු කළා. මේ මෙහෙවර නිසා 1992 බ‍්‍රසීලයේ රියෝ නුවර පැවති මිහිතල සමුඵවට ගිය ශී‍්‍ර ලංකා රාජ්‍ය දුත පිරිසේ විශෙෂ උපදේශකයකු ලෙස ඔහු පත් කරනු ලැබුවා.

ලෝක සංවිධානවල තනතුරුවලට පත් වන බොහෝ ලාංකිකයන් උඩගු හා උද්දච්ච බවින් පිරී යනවා. එහෙත් කොරෙයා හැමදාමත් ඉතා නිහතමානී, මිත‍්‍රශීලී චරිතයක් වුණා. මෙය මා අත්දුටුවේ වයස 24ක තරුණ මාධ්‍යවේදියකු ලෙස එවකට 65 හැවිරිදි ඔහුගෙන් සම්මුඛ සාකච්ඡාවක් ලබා ගන්නට ගිය විටදීයි. ඒ 1990 අග භාගයේදී.

හොංකොං නුවරින් පළ කෙරුණු Asia Technology කලාපීය විද්‍යා සඟරාවේ නියෝජිතයකු ලෙස මා ඔහු මුණ ගැසුණේ ආසියාවේ දියුණු වන රටවල ආර්ථික සංවර්ධනයට විද්‍යාව හා තාක්‍ෂණය කෙසේ යොදා ගත හැකි ද යන්න ගැන ඔහුගේ අදහස් විමසීමටයි. ඉන් පෙර කිසිදු හැඳුනුම්කමක් නොතිබුණත් මා සාදරයෙන් පිළිගත් ඔහු මහත් උද්‍යොගයෙන් හා සුහද ලෙසින් මා සමඟ කථා කළා. 1950දී ඇරැඹි කොළඹ ක‍්‍රමය (Colombo Plan) නම් කලාපීය සහයෝගිතා සංවිධානයට විද්‍යා හා තාක්‍ෂණය පිළිබඳ නව අරමුණක් ආරෝපනය කළ යුතු යයි ඔහු යෝජනා කළා.

විද්‍යාව හා තාක්‍ෂණය හරිහැටි ජාතික සංවර්ධනයට යොදා ගන්නා රටවල් අන් රටවල් අභිබවා ඉදිරියට යන බවත්, එමගින් සිය ජනයාගේ ජීවන මට්ටම් දියුණු කරන බවත් ඔහු පෙන්වා දුන්නා. අද මෙය ප‍්‍රකට කරුණක් වුවත් මීට දශක දෙක හමාරකට පෙර මෙබඳු දැක්මක් බොහෝ ආර්ථික විද්‍යාඥයන්ට තිබුණේ නැහැ.

එසේ ම මතුව එන දැනුම් සමාජය ගැන ඔහු අනාගතවේදීව කථා කළා. ඒ වන විට ඉන්ටර්නෙට් හා පරිගණක තිබුණේ මූලික හා සීමිත අවධියකයි. එහෙත් එහි විප්ලවකාරී විභවය හා වැදගත්කම ඔහු කල් තබා දුටුවා.

අපේ සංවාදය පැයක් පමණ පැවතුණා. එය අවසානයේ ඔහුගේ ඡුායාරූපයක් ගන්නට මට  ඕනෑ වුණා. එයට ඔහු එකඟ වූයේ තරමක දෙගිඩියාවකින්. ‘මගේ නාසය හුඟක් විශාලයි. හැම ඡායාරූපයක ම වැඩිපුර පෙනෙන්නේ එයයි!’ ඔහු සිනාසෙමින් කීවා. ‘එහෙත් ඔබේ ලොකු නාසය ජේ. ආර්. ගේ තරම් ප‍්‍රකට නැහැ නේද?’ මාත් සැහැල්ලූවෙන් උත්තර දුන්නා.

ගාමිණී කොරෙයා සමඟ මා කළ සාකච්ඡාවේ කොටස් 1990 නොවැම්බර් Asia Technology කලාපයේ පළවුණා. මා වැනි ලාබාලයකුට ගරුසරු ඇතිව සැළකූ මේ ජ්‍යෙෂ්ඨයා ඉන් පසුවත් දෙතුන් විටක් මට විවිධ සභාවලදී මුණ ගැසුණා. ඒ හැම විටක ම සුහදව සුවදුක් විමසන්නට තරම් ඔහු කාරුණික වුණා.

කථාවට වැටුණාම ඇත්තට ම ඔහු කුඩා දරුවකු මෙන් නිර්ව්‍යාජයි. ආඩම්බරයක් ඇත්තේ ම නැහැ. මේ ගතිගුණය ඔහු ඇසුරු කළ සැවොම සනාථ කරනවා. අඩුවෙන් පිරුණු කළගෙඩි මහත් ඝෝෂා නඟන අපේ සමාජයේ පිරුණු කළයක් වූ ගාමිනී කොරෙයා හැමදාමත් සැහැල්ලූවෙන් හා සිනාවෙන් කල් ගත කළා.

එහෙත් මා ඔහු හමු වූ අවසන් දිනයේ නම් ඔහු සිටියේ වික්ෂිප්තව හා ශෝකබරිතවයි. ටික කලකට මා ජිනීවා නුවරට අනුයුක්ත කොට සිටියා. මගේ ප‍්‍රධානියා වීටස් ප‍්‍රනාන්දු එනුවර ලාංකිකයන්ගේ අවුරුදු සාදයකට මා කැඳවා ගෙන ගියා. ඒ 1993 අපේ‍්‍රල් 23 වනදා. ලලිත් ඇතුලත්මුදලිගේ ඝාතනය පිළිබඳ ප‍්‍රවෘත්තිය අපට ලැබුණේත් එදා සවසයි.

ජිනීවාහි වසන ජ්‍යෙෂ්ඨතම ලාංකිකයකු ලෙස ටික වේලාවකට කොරෙයා එම සාදයට පැමිණියත්, ඔහු බෙහෙවින් සලිත වී සිටිනු මා දුටුවා. එතරම් කථාබහ කළේත් නැහැ. ජිනීවා සාදයේ සමහරුන් නටන ගයන අතරේ අප ටික දෙනකු සමඟ කොරෙයා නිසොල්මනේ බලා සිටියා.

නිදහසෙන් පසු ලංකාවේ ගමන්මග තීරණය කරන්නට සමීපව දායක වූ ඔහු මොකද්ද මේ අපේ රටට වෙන්නේ යන ප‍්‍රශ්නය මෙනෙහි කරන්නට ඇති. ඒ අතර සැතපුම් දහස් ගණනක් දුරින් පිහිටි කොළඹදී මගේ පරම්පරාවේ ඇත්තන්ගේ අනාගතය බෙහෙවින් අවිනිශ්චිත වී තිබුණා.

Dr Gamani Corea interviewed by Nalaka Gunawardene - Asia Technology, Nov 1990

Dr Gamani Corea interviewed by Nalaka Gunawardene – Asia Technology, Nov 1990

සිවුමංසල කොලූගැටයා #71: රියෝ සමුළුව – තිරසාර අනාගතයකට හුදකලා චාරිකාවක්?

This week’s Ravaya column (in Sinhala) is a preview of a key challenge being taken up at the UN Conference on Sustainable Development being held in Rio de Janeiro, Brazil, this month. I raise the question: how can Sri Lanka transform its economy into a green economy in pursuit of sustainable development?

I explored similar ground in my English column on 10 June 2012: When Worlds Collide #19: How Green is the Lankan Economy?

Rio+20 UN Conference Logo

පරිසරය හා සංවර්ධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහා සමුළුවක් බ‍්‍රසීලයේ රියෝ ද ජනෙයිරෝ නුවර පැවැත් වෙනවා. ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරින්, අමාත්‍යවරුන් හා රාජ්‍ය නායක මට්ටමින් පවත්වන අන්තර්-රාජ්‍ය රැස්වීම්වලට අමතරව විද්‍යාඥයන්, පරිසරවේදීන් හා වෙනත් විද්වතුන් එක් රැස් කරන සාකච්ඡ, වැඩමුළු, සම්මන්ත‍්‍රණ රාශියක් ද මේ දිනවල එම නගරයේ සංවිධානය කැරෙනවා.

1955 සිට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රාජ්‍ය මට්ටමින් සාමාජිකත්වය දරණ (සහ ඒ සඳහා වාර්ෂිකව සාමාජික ගාස්තුවක් මහජන මුදලින් ගෙවන) ලක් රජය ද මේ සමුළුවට රාජ්‍ය මට්ටමින් සහභාගි වනවා.

මෙය හුදෙක් හරිත ප‍්‍රශ්න පිළිබඳ පාරිසරික සමුළුවක් නොවෙයි. ලෝකයේ දුගී දුප්පත්කම, සමාජ අසමානතා හා විසමතා දුරු කිරීමට ආර්ථික සංවර්ධනය අත්‍යවශ්‍ය බවත්, එම සංවර්ධනය තිරසාර කරගැනීමට ක‍්‍රමවේදයන් සකසා ගත යුතු බවත් රියෝ සමුළුවේදී එයට සහභාගි වන රටවල් ප‍්‍රතිපත්ති මට්ටමින් පිළි ගන්නවා.

ලක් රජයේ ඇතැම් කොටස්කරුවන් නොදන්නාකමට එක්සත් ජාතීන්ගේ සංවිධානය හෙළා දැක්කත්, මේ සමුළුවේ වැදගත්කම අවබෝධ කරගත් මෙරට පරිසර අමාත්‍යාංශය හා විදේශ කටයුතු අමාත්‍යාංශය මාස ගණනාවක් තිස්සේ ඒ සඳහා නිල සුදානමක් සිදු කළා. එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වය දරණ රටවල් 193න් එකක් හැටියට රියෝ සමුළුවේදී ශ‍්‍රී ලංකාව ද තිරසාර සංවර්ධනය සම්බන්ධයෙන් දේශීය මට්ටමේ ප‍්‍රගතිය හා ඉදිරි දැක්ම කැටි කැරෙන වාර්තාවක් ඉදිරිපත් කරනු ඇති.

මානව හිමිකම් සුරැකීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ රාමුව තුළ අනවශ්‍ය ලෙස ගැටුම් ඇති කර ගන්නා ලක් රජය, අනාගත මානව සුබසිද්ධිය ගැන ලෝක මට්ටමින් කථාබහ කරන මේ සමුළුවේදී වඩාත් සුබවාදී ලෙසින් සහභාගි වීම අගය කළ යුතුයි.

රියෝ සමුළුවේ එක් ප‍්‍රධාන තේමාවක් වන්නේ වර්තමාන ආර්ථික රටාව වඩාත් පරිසරයට හා මානවයන්ට හිතකර එකක් බවට පත්කර ගන්නේ කෙසේ ද යන්නයි. මෙයට Green Economy හෙවත් හරිත ආර්ථිකය යයි කීව ද මෙහිදී ‘හරිත’ යන්න විග‍්‍රහ කැරෙන්නේ වඩාත් පුළුල් අරුතින්. අපේ ඇතැම් හරිතවේදීන් බහුලව යොදා ගන්නා ගස්කොළ, වනසතුන් හා සොබාදහම යන පටු අරුතින් නොවෙයි.

එක්සත් ජාතීන්ගේ පාරිසරික වැඩසටහන (UNEP) හරිත ආර්ථිකය විග‍්‍රහ කරන්නේ “මානව උන්නතිය හා සමාජ සාධාරණත්වය ප‍්‍රවර්ධනය කරන අතර ම පාරිසරික අවදානම් අඩු කරමින් සොබා සම්පත් නැණවත්ව පරිහරණය කරන අන්දමේ ආර්ථික ක‍්‍රමයක්” හැටියටයි.

එබදු ආර්ථිකයක මූලික ගුණාංග හා අරමුණ තුනක් හදුනාගෙන තිබෙනවාථ

• පාෂාණිභූත ඉන්ධන (පෙට‍්‍රල්, ගල් අගුරු හා ගෑස්) වඩාත් අඩුවෙන් දහනය කරමින්, මිහිතලය උණුසුම් කරන කාබන් ඩයොක්සයිඞ් අඩුවෙන් පිට කරන ආර්ථිකයක්.

• සොබා සම්පත් අරපිරිමැස්මෙන් භාවිත කරන, නාස්තිය අවම කළ, වඩාත් කාර්යක්ෂම ආර්ථිකයක්.

• සංවර්ධනයේ ප‍්‍රතිලාභ දුප්පත් හා පොහොසත් හැම අතර සාධාරණව බෙදා ගන්නා ආර්ථිකයක්.

මෙයින් තෙවැනි අරමුණ ඉටු කර ගැනීම ලෙහෙසි පහසු කාරියක් නොවේ. සියවස් ගණනාවක් තිස්සේ යුතෝපියානු (Utopian) ඉලක්කයක් ලෙස සැළකුණු මේ සමානාත්මතාවය, ධනවාදය තුළන් හෝ සමාජවාදය තුළින් හෝ ළගා කර ගන්නට නොහැකිව තිබෙනවා. මේ සදාතනික පැතුමට හරිත ආර්ථිකයෙන්වත් නව ජවයක් ලැබෙයි ද? එය කියන්නට බැහැ. එයට මුල් වන්නේ දේශපාලනික හා සමාජයීය සාධක නිසා.

ඉහත පළමු හා දෙවැනි අරමුණු සඳහා නම් විද්‍යාව හා තාක්ෂණය නැණවත්ව හා ක‍්‍රමවත්ව යොදා ගත හැකියි. එහෙත් හරිත ආර්ථිකයක් වසරකින් හෝ දශකයකින් එකවර පැන නැෙඟන්නේ නැහැ. එය සෙමෙන් හා ක‍්‍රමයෙන් ගොඩ නැඟිය යුතු ක‍්‍රමීය වෙනසක්. සොබාදහම රැක ගැනීමට පමණක් ලඝු කළොත් එය සිදු වන්නේත් නැහැ. හරිත ආර්ථිකයකට යොමු වීම හරහා රටක, ප‍්‍රජාවක මෙන් ම පවුලක ආර්ථිකයකටත් ලාබදායී හා ප‍්‍රයෝජනවත් විය යුතුයි.

විශේෂයෙන් බලශක්ති සම්බන්ධයෙන් හරිත ආර්ථිකයකට යොමු වීමේ වැඩි නැඹුරුවක් ඇතැයි UNEP කියනවා.මෙයට එක් ප‍්‍රධාන හේතුවක් නම් ඉහළ යන තෙල් මිළයි. ඛනිජ තෙල් වඩාත් පිරිමැසුම්දායක ලෙස භාවිතා කරන අතර පුනර්ජනනීය ඉන්ධන ප‍්‍රභවයන් (Renewable energy sources) වෙත යොමු වීමේ හදිසි අවශ්‍යතාවය අද ලෝකයට ම තේරුම් ගොස් තිබෙනවා.

සූර්ය, සුළං හා ජෛව ඉන්ධන බලශක්තිය වඩාත් කාර්යක්ෂමව ජනනය කොට, ගබඩා කොට, ප‍්‍රයෝජනයට ගැනීමේ තාක්ෂණයන් දියුණු කරන්නට ඉන්දියාව, චීනය, ජපානය, අමෙරිකාව, බ‍්‍රසීලය වැනි රටවල් අද විශාල ලෙස පර්යේෂණ කරනවා. මුදල් ආයෝජනය කරනවා.

එහෙත් හරිත ආර්ථිකයක් බිහිවීමට නවීන තාක්ෂණයන් හා ක‍්‍රමවේදයන් පමණක් සෑහෙන්නේ නැහැ. එයට හිතකර ප‍්‍රතිපත්ති රාමුවක් හා සමස්ත රාජ්‍ය ක්ෂේත‍්‍රයේ ම කැපවීම අවශ්‍යයි. මෙරට පුනර්ජනනීය බලශක්ති ප‍්‍රවර්ධනය කරන පෞද්ගලික සමාගම් මෙන් ම ස්වෙච්ඡ ආයතනවලටත් කලක් තිස්සේ තිබෙන ගැටළුවක් නම් එබදු පැහැදිලි හා හිතකර ප‍්‍රතිපත්ති රාමුවක් නොතිබීමයි.

මේ තත්ත්වය කෙමෙන් හොඳ අතට හැරෙන බව ද කිව යුතුයි. විදුලි හා බලශක්ති අමාත්‍යාංශය පුනර්ජනනීය බලශක්තිය නිපදවන තනි පුද්ගලයන්ගෙන් හා සමාගම්වලින් අතිරික්ත විදුලිය ලබා ගැනීමට කැමති වීම එක් මෑත හොඳ ප‍්‍රවණතාවක්. Net Metering ලෙස හැදින්වෙන මෙය ජාතික විදුලිබල ජනන ජාලය මත දැනට ඇති පීඩනය යම් තරමකට හෝ සැහැල්ලූ කිරීමට උදවු වනු ඇති.

Ernst “Fritz” Schumacher

තිරසාර සංවර්ධන ගැනත්, අළුත් ආර්ථික ක‍්‍රමයක දැඩි අවශ්‍යතාවය ගැනත් මීට වසර 40කට පෙර පෙන්වා දුන් ජර්මානු-බි‍්‍රතාන්‍ය ආර්ථික විද්‍යාඥ අර්න්ස්ට් ෂූමාකර්ගේ (Ernst Schumacher) ජන්ම ශත සංවත්සරය සමරන්නට මාර්තුවේ කොළඹදී වැඩමුළුවක් පැවැත් වුණා. අසීමිත ලෙස ආර්ථික වර්ධනය පසුපස හඹා යාම සොබා සම්පත්වලට හා මානව සමාජයට දිගු කාලීනව දරා ගත නොහැකි බව කල් තබා වටහා ගෙන ලෝකයට අනතුරු ඇගවූ අසාමාන්‍ය ගණයේ විද්වතකු හැටියට ෂූමාකර් පිළි ගැනෙනවා.

එහෙත් “පුංචි නම් ලස්සනයි” (Small is Beautiful) නමින් 1973දී ඔහුගේ වඩාත් ම ප‍්‍රකට කෘතිය ලියූ වකවානුවේ එබදු සංකල්ප මතු කරන්නන් දෙස බොහෝ දෙනා බැලූවේ සැකයෙන් හා අවඥාවෙන්. මානව චින්තනය වෙනස් කරන්නට අසම්මත ලෙස සිතු හා අදහස් පළ කළ බොහෝ දෙනා මෙන් ෂූමාකර් ද තමන් ජීවත් වූ යුගයට වඩා ඉදිරියෙන් සිටි බව කොළඹ වැඩමුළුවේ කථිකයන් කියා සිටියා.

එහිදී කථා කළ බලශක්ති සංසදයේ විධායක අධ්‍යක්ෂක හා බලශක්ති අමාත්‍යාංශයේ උපදේශක අසෝක අබේගුණවර්ධන කීවේ මෙරට බලශක්ති ජනනයට සිදු කැරෙන කාබන් ඩයොක්සයිඞ් විමෝචනය ටිකෙන් ටික සීමා කිරීමේ උවමනාව හදුනාගෙන ඇති බවත්, ඒ සඳහා 2020න් පසුව ක‍්‍රමානුකූලව යොමු වනු ඇති බවත්. එහෙත් මේ ඉලක්කය වෙත ළගා වීමට හරස්වන තාක්ෂණික හා ආර්ථික බාධක ඉවත් කළ යුතුව ඇතැයි ද ඔහු සඳහන් කළා. (මේ බාධක මොනවාදැයි ඔහු විස්තර කළේ නැහැ.)

තිරසාර සංවර්ධනයට මෙරට තිබෙන ලොකු ම බාධකයක් ලෙස හදුනාගෙන ඇත්තේ රජයේ විවිධ ආයතන අතර සම්බන්ධිකරණයක් නැති විමයි. මේ සම්බන්ධිකරණය ඇති කිරීමට තිරසාර සංවර්ධනය සඳහා ජාතික කවුන්සිලයක් (National Council for Sustainable Development) 2008දී පිහිටුවනු ලැබුවා. ජනාධිපතිවරයාගේ සභාපතිත්වයෙන් යුත් එහි ආර්ථික ක්ෂේත‍්‍රයට අදාළ අමාත්‍යාංශ 22ක් නියෝජනය වනවා. රජයේ පාරිසරික ප‍්‍රතිපත්ති හා හරිත ලංකා පාරිසරික වැඩසටහන ක‍්‍රියාත්මක කිරීමට සහය වීම මේ කවුන්සිලයේ වගකීමයි.

හරිත ලංකා වැඩසටහන යටතේ පුළුල් ඉලක්ක 10ක් ප‍්‍රකාශයට පත් කොට තිබෙනවා. සැමට පිවිතුරු වාතය ලබා දීම, වගකීමක් සහිත ඉඩම් පරිහරණය, නාගරික ප‍්‍රදේශවල පාරිසරික තත්ත්ව පාලනය, කාර්මික ක‍්‍ර‍්‍රියාවලින් ඇති වන පාරිසරික බලපෑම් කළමණාකරණය, දේශගුණ විපර්යාසවලට මුහුණදීම ආදිය ඒ අතර තිබෙනවා.

නම සඳහන් නොකිරිමේ එකගත්වය මත පරිසර අමාත්‍යාංශයේ ජේ්‍යෂ්ඨ නිලධාරියකු කීවේ මේ උතුම් අරමුණු සදඟා රජයේ සෙසු අමාත්‍යාංශ හා ආයතන ඒකරාශි කොට සම්බන්ධිකරණය කිරිම ඉතා අපහසු වී ඇති බවයි. ඉඩම්, ජලය, කෘෂිකර්මාන්තය, බලශක්ති ජනනය, කර්මාන්ත, ප‍්‍රවාහනය ආදී ප‍්‍රධාන ප‍්‍රවාහයේ ක‍්‍රියාකාරකම් සියල්ල සිදු වන්නේ පරිසර අමාත්‍යාංශයෙන් පරිබාහිරවයි.

මේ යථාර්ථය තුළ තිරසාර සංවර්ධනයක් ඇති කරන්නට නම් සොබා සම්පත් කළමණාකරණය කරන හෝ පාරිසරික බලපෑම් ඇතිකරන හෝ දැවැන්තයන්ගේ දායකත්වය අත්‍යවශයි. එය හුදෙක් පරිසර දිනයකට, මිහිතල දිනයකට හෝ හරිත ලියවිල්ලකට සීමා නොවිය යුතුයි.

මෑත උදාහරණයක් ගනිමු. හරිත ලංකා වැඩසටහනේ එක් ඉලක්කයක් නම් 2016 වන විට මෙරටට අවශ්‍ය ඛනිජ තෙල් ප‍්‍රමාණයෙන් 10%ක් ජෛව ඉන්ධනවලින් (biofuel) නිපදවා ගැනීමයි. (පෙට‍්‍රල් වාහනවල එන්ජින් වෙනස්කමක් නොකොට, එන්ජින්වලට හානියක් ද නොවී 10-15%ක් ඊතයිල් මද්‍යසාරය මිශ‍්‍ර කළ හැකියි. වාහනවල ඛනිජ තෙල් බිල අඩු කර ගන්නට ඒවාට මධ්‍යසාර මිශ‍්‍ර කිරිම විද්‍යාත්මකව අත්දුටු ක‍්‍රමයක්.)

එහෙත් මෑතදී මාධ්‍ය වාර්තා කලේ මෙරට අතිරික්ත බඩඉරිගු ටොන් 10,000ක් කැනඩාවට හා තායිවානයට විකිණූ බවයි. එය අපේ කෘෂිකර්මයේ හා ජාත්‍යන්තර වෙළදාමේ ජයග‍්‍රහණයක් ලෙස හුවා දක්වා තිබුණා. බඩඉරිගු ටොන් 10,000 අලෙවියෙන් මෙරට කොපමණ විදේශ විනිමයක් ලැබෙනවා දැයි ප‍්‍රකාශිත නැතත්, මේ අතිරික්තය ජෛව ඉන්ධන නිපදවීමට යොදා ගත්තා නම් කොපමණක් වටිනා ඛනිජතෙල් සඳහා ආදේශ කළ හැකිව තිබුණා ද?

බඩඉරිගු පැසවීමෙන් ජෛව ඉන්ධන මද්‍යසාර නිපදවා ගත හැකියි. රියෝ සමුළුවට බ‍්‍රසීලයට යන අපේ නිලධාරින්ට හා අමාත්‍යවරුන්ට එරට ජෛව ඉන්ධන අත්දැකීම දැක බලා ගත හැකි නම් අගෙයි. බහුලව වවන උක් යොදා ගෙන ජෛව ඉන්ධන නිපදවා ඛනිජතෙල්වලට මිශ‍්‍ර කිරීම බ‍්‍රසීලය ඇරඹුවේ 1976දී. අද දියුණු වන රටවල් අතර ජෛව ඉන්ධන බහුලව ම භාවිතා කරන රටත්, ඒ සදහා හොදම තාක්ෂණික හැකියාව ඇති රටත් බ‍්‍රසීලයයි.

තිරසාර සංවර්ධනය කරා යන ගමන පරිසර අමාත්‍යාංශයට පමණක් තනිව යා හැකි හුදකලා චාරිකාවක් නොවෙයි. පරිසර අමාත්‍යාංශයට හැක්කේ ඒ සඳහා ගමන් මග හෙළි පෙහෙළි කොට, පෙර ගමන්කරුවන් වීම හා මාර්ගෝපදේශනයයි. අන්තිමේදී එය පාළු මාවතක් බවට පත් නොකර තිරසාර අනාගතයකට දිවෙන සක‍්‍රිය මාර්ගයක් කිරීමේ වගකීම රාජ්‍ය ක්ෂේත‍්‍රයේ මෙන් ම පෞද්ගලික හා විද්වත් ක්ෂේත‍්‍රවල ආයතන හා තීරක හැම දෙනාට පැවරෙනවා.

අභියෝගයේ බැරුම්කම හරිහැටි හදුනා ගෙන, මනා පෙළගැස්මකින් තිරසාර ගමන ගයොත් රියෝ සමුළුවෙන් ඔබ්බට ශ‍්‍රීලංකාවට බොහෝ දුර යා හැකියි. එහෙත් හිස් වදන් හා ප‍්‍රකාශවලට සීමා වී එක තැන පල් වුණොත්, සමුළුවෙන් සමුළුවට ගොස් එක ම තනුව වාදනය කරන පිරිසක් බවට පත්වීමේ අවදානම ද තිබෙනවා.

දැන ගියොත් රියෝ. නොදැන ගියොත් අනාථයි!