සිවුමංසල කොලූගැටයා #229: සමාජ මාධ්‍ය යුගයේ අපේ දේශපාලන සන්නිවේදනය

In this week’s Ravaya column, (in Sinhala, appearing in issue of 26 July 2015), I review how Lankan politicians and political parties are using social media in the run-up to the general election to be held on 17 August 2015.

In particular, I look at how President Maithripala Sirisena and Prime Minister Ranil Wickremesinghe are using Facebook and Twitter (mostly to ‘broadcast’ their news and images, and hardly ever to engage citizens). I also remark on two other politicians who have shown initiative in social media use, i.e. former President Mahinda Rajapaksa and JHU leader Champika Ranawaka (both of who have held live Q&As on social media with varying degrees of engagement).

I raise questions like these: Can political parties afford to not engage 25% of Lankan population now regularly using the web? When would election campaigners – rooted in the legacy media’s practice of controlling and fine-tuning messages – come to terms with the unpredictable and sometimes unruly nature of social media?

While politicians, their campaigners and parties struggle to find their niches on social media, politically conscious citizens need to up their game too. Cyber literacy has been slower to spread than mere internet connectivity in Sri Lanka, and we need enlightened and innovative use of social media in the public interest. Every citizen, activist and advocacy group can play a part.

Can social media communications influence voting patterns?
Can social media communications influence voting patterns?

ජනගහනයෙන් හතරෙන් එකක් පමණ ඉන්ටර්නෙට් භාවිත කරන මට්ටමට එළැඹ සිටින අපේ රටේ මෙම සයිබර් සාධකය මැතිවරණ ප‍්‍රචාරණයට හා ඡන්දදායක මතයට කෙසේ බලපානවාද යන්න විමසීම වැදගත්.

2010 මහ මැතිවරණයේ භාවිත වූවාට වඩා බෙහෙවින් මෙවර මැතිවරණයේ ඉන්ටර්නෙට් භාවිතය සිදුවන බව නම් කල් තබාම කිව හැකියි.

දේශපාලන පක්ෂ, ඡන්ද අපේක්ෂකයන්, සිවිල් සමාජ සංවිධාන හා සාමාන්‍ය පුරවැසියන් යන මේ පිරිස් සතරම වෙබ් අඩවි හා සමාජ මාධ්‍ය වෙත යොමු වීමත් සමග දේශපාලන තොරතුරු හා මතවාද ගලා යෑම පෙර පැවතියාට වඩා වෙනස්වන්නේ කෙලෙසද?

විශේෂයෙන්ම සමාජ මාධ්‍ය හරහා දේශපාලන චරිත හා පක්ෂවලින් ප‍්‍රශ්න කරන්නට හා ඔවුන් අභියෝගයට ලක් කරන්නට හැකි වීම හරහා දේශපාලන සංවාද වඩා හරවත් විය හැකිද? මෙය කෙතරම් පුළුල්ව රටේ සමාජගත වනවාද?

Twitter and Facebook - leading social media platforms
Twitter and Facebook – leading social media platforms

ශ‍්‍රී ලංකාවේ ජනප‍්‍රියතම සමාජ මාධ්‍ය ජාලය ෆේස්බුක් (Facebook). එහි මෙරට ගිණුම් මිලියන් 2.5කට වඩා තිබෙනවා. ව්‍යාජ ගිණුම් හෝ ද්විත්ව ගිණුම් පසෙක තැබුවහොත් අඩු තරමින් මිලියන් 2ක් ලාංකිකයන් ෆේස්බුක් සැරිසරනවා යැයි කිව හැකියි. මෙරට ජනප‍්‍රිය අනෙක් සමාජ මාධ්‍යවන්නේ ට්විටර් (Twitter), වීඩියෝ බෙදා ගන්නා යූටියුබ් (YouTube) හා ඡායාරූප හුවමාරු කැරෙන ඉන්ස්ටග‍්‍රෑම් (Instagram).

මේ හැම සයිබර් වේදිකාවකම මේ දිනවල දේශපාලනයට අදාළ තොරතුරු, මතවාද හා රූප බෙහෙවින් සංසරණය වනවා.

දේශපාලන පක්ෂවලට හා ඡන්ද අපේක්ෂකයන්ට මේ යථාර්ථය නොසලකා සිටීමට බැහැ. එහෙත් බොහෝ පක්ෂවල මැතිවරණ කැම්පේන් හසුරුවන්නේ සාම්ප‍්‍රදායික මාධ්‍ය ගැන දන්නා, එහෙත් නව මාධ්‍ය ගැන හරි අවබෝධයක් නැති හිටපු මාධ්‍යවේදීන් හෝ දැන්වීම් ඒජන්සි විසින්.

පත්තරවල මුදල් ගෙවා ඉඩ මිලට ගැනීමට හා රේඩියෝ-ටෙලිවිෂන් නාලිකාවල ගුවන් කාලය මිලට ගැනීමට මේ උදවිය හොඳහැටි දන්නවා. මුදලට වඩා කාලය, ශ‍්‍රමය හා නිර්මාණශීලී බව අවශ්‍ය වන සමාජ මාධ්‍යවලට නිසි ලෙස ප‍්‍රවේශ වන හැටි මේ අයට වැටහීමක් නැහැ.

සමාජ මාධ්‍යවලටත් මුදල් ගෙවා ඕනැම කෙනකුට තම ප‍්‍රචාරය උත්සන්න කර ගත හැකියි. ෆේස්බුක් ගෝලීය වේදිකාවක් වුවත්, තම භාණ්ඩය හෝ සේවාව හෝ පණිවුඩය නිශ්චිත රටක, නිශ්චිත වයස් කාණ්ඩයකට ඉලක්ක කොට පෙන්වීම කර ගත හැකියි.

එසේම ෆේස්බුක් හා ට්විටර් ගිණුම් සඳහා තොග වශයෙන් ලෝලීන් (fans) හා මනාප (likes) විකුණන විදේශීය සමාගම් තිබෙනවා. අපේ සමහර දේශපාලන චරිත අරඹා ඇති සමාජ මාධ්‍ය ගිණුම්වලට ඔවුන් හීන්සීරුවේ මුදල් ගෙවා මෙසේ තොග පිටින් ලෝලීන් හා මනාප ලබා ගෙන ඇති බව හෙළිව තිබෙනවා. සමහර දේශපාලකයන්ට ශ‍්‍රී ලංකාවේ සිටින Fans ගණනටත් වඩා තුර්කියේ සිටින සංඛ්‍යාව වැඩිවීමට හේතුව එයයි.

20 March 2015: Social Media Analysis: Sri Lankan Politicians and Social Media

මුදල් ගෙවා ලබා ගන්නා සමාජ මාධ් රමුඛත්වය විශ්වසනීය හෝ සාර්ථක වන්නේ නැහැ. මෙය කුලියට ගත් බස් රථවලින් මුදල් ගෙවා සෙනග රැළිවලට ගෙනෙනවාට සමානයිග සයිබර් සාක්ෂරතාව පුළුල් වන විට මෙබඳු උපක‍්‍රම ගැන වැඩි දෙනකු දැන ගන්නවා.

social-media

කෙටි කාලීනවත් දිගු කාලීනවත් වඩාත් සාර්ථක ප‍්‍රවේශය නම් නිරතුරු සමාජ මාධ්‍ය හරහා පුරවැසියන් සමග සාමීචියේ හා සංවාදයේ යෙදී සිටීමයි (මැතිවරණයක් එළැඹි විට පමණක් නොවෙයි).

දේශපාලන නායකයන් හා කැම්පේන්කරුවන් කියන දෙය ඡන්දදායක මහජනතාව වැඳ ගෙන ඔහේ අසා සිටි කාලය ඉවරයි. දැන් මතුව එන්නේ අප කාටත් සංවාද විසංවාද හා තර්ක කළ හැකි නව සන්නිවේදන යථාර්ථයක්.

සමාජ ජාල මාධ්‍ය භාවිත කරන සියලූ ලාංකික දේශපාලකයන් හෝ දේශපාලන පක්ෂ හෝ නිතිපතා ෆලෝ කරන්නට මට හැකි වී නැහැ. එය ලේසි පාසු කාරියක්ද නොවෙයි.

එහෙත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගේ නිල ෆේස්බුක් හා ට්විටර් ගිණුම් ද, අගමැති රනිල් වික‍්‍රමසිංහගේ ට්විටර් ගිණුමද හරහා කුමක් සන්නිවේදනය වේද යන්න ගැන මා විමසිලිමත්ව සිටිනවා.

President Sirisena's verified Facebook page, screen shot on 26 July 2015 at 14.00 Sri Lanka Time
President Sirisena’s verified Facebook page, screen shot on 26 July 2015 at 14.00 Sri Lanka Time

කාර්යබහුල මෙවන් නායකයන්ගේ සමාජ මාධ්‍ය ගිණුම් පවත්වාගෙන යන්නේ ඔවුන්ගේ මාධ්‍ය කණ්ඩායම් විසින්. එය ලොව පුරා සම්ප‍්‍රදායක්. බොහෝ විට මේ ගිණුම් හරහා නායකයා කරන කියන දේ ගැන සංක්ෂිප්ත තොරතුරු හා ඡායාරූප/කෙටි වීඩියෝ බෙදා හැරෙනවා.

මේ අන්තර්ගතයම නිල වෙබ්අඩවි හා මාධ්‍ය ප‍්‍රකාශන හරහා ද නිකුත් කැරෙන නමුත් ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍ය පවා අද කාලේ නායකයන්ගේ සමාජ මාධ්‍ය ගිණුම් හරහා කියැවෙන දේ ගැන අවධානයෙන් සිටිනවා. අවශ්‍ය විටදී යම් දේ එතැනින් උපුටා දක්වනවා.

සමාජ මාධ්‍ය ගත වන දේශපාලන නායකයන් හා ඔවුන්ගේ මාධ්‍ය කණ්ඩායම් මුහුණ දෙන අභියෝග ගණනාවක් තිබෙනවා. මූලික එකක් නම් තමන්ගේ සමාජ මාධ්‍ය ගිණුම් විශ්වාසදායක නිල ගිනුම් (verified accounts) බව තහවුරු කර ගැනීමයි.

ඉන්ටර්නෙට් වෙබ් අඩවි ලිපිනයන් (URLs) මෙන්ම සමාජ මාධ්‍ය ගිණුම් නාමයන් ද මුලින්ම එය ලියාපදිංචි කරන්නාට හිමි කර ගත හැකියි. රාජ්‍ය නිලධාරිවාදය නැති සයිබර් අවකාශයේ අපූර්වත්වය එය වුවත් එය අවභාවිතයට යොදන අයද සිටිනවා.

President Sirisena's verified Twitter account - screen shot taken on 26 July 2015 at 13.45 Sri Lanka time
President Sirisena’s verified Twitter account – screen shot taken on 26 July 2015 at 13.45 Sri Lanka time

 

මෙරට ජනාධිපති හා අගමැති දෙදෙනාගේම නම් පදනම් කර ගෙන ඇරඹූ ව්යාජ ෆේස්බුක් හා ට්විටර් ගිණුම් තිබෙනවා. ඕනෑකමින් අධ්යයනය කළ විට මේවා ව්යාජ බව පෙනී යතත්, බැලූ බැල්මට ජනයා මුලා කිරීමේ හැකියාව තිබෙනවා. මේ නිසා රසිද්ධ පුද්ගලයන් (දේශපාලන නායකයන්, සිනමා තරු, රීඩකයන් ආදීන්) අනන්යතාව තහවුරු කළ සමාජ මාධ් ගිණුම් සකසා ගැනීමත්, එය පැහැදිලිව පෙන්නුම් කිරීමත් වැදගත්.

පසුගිය ජනාධිපතිවරණයේදී කැම්පේන් වැඩට සමාජ මාධ්‍ය යම් පමණකට ඔවුන් යොදා ගත්තද ජනාධිපති සිරිසේන හා අගමැති වික‍්‍රමසිංහ දෙපළටම අනන්‍යතාව තහවුරු කළ සමාජ මාධ්‍ය ගිණුම් තිබුණේ නැහැ. මේවායේ අවශ්‍යතාව අප සමහරක් දෙනා ප‍්‍රසිද්ධ අවකාශයේ පෙන්වා නිතර දුන්නා.

මේ අනුව 2015 මැයි මාසයේ පටන් ජනාධිපති සිරිසේනට තහවුරු කරන ලද නිල ට්විටර් හා ෆේස්බුක් ගිණුම් තිබෙනවා. ප‍්‍රමාද වී හෝ මෙය ලබා ගැනීම හිතකර ප‍්‍රවණතාවක්. එහෙත් වික‍්‍රමසිංහ නමින් ට්විටර් ගිණුම් ගණනාවක් පවතින අතර එයින් කුමක් ඔහුගේ නිල ගිණුම් ද යන්න තහවුරු කර නැහැ. අපට කළ හැක්කේ අනුමාන පමණයි.

මේ දෙදෙනාගේ සමාජ මාධ්‍ය භාවිතය ද ප‍්‍රශස්ත මට්ටමක නැහැ. ගිය වසර අගදී කැම්පේන් කරන විටත්, ජනාධිපති ලෙස තේරී පත් වූ පසුවත් මෛත‍්‍රිපාල සිරිසේන සමාජ මාධ්‍ය භාවිත කරන්නේ තොරතුරු හා ඡායාරූප බෙදාහරින්නට මිස පුරවැසියන් සමග සංවාදයට නොවෙයි.

ජනපතිවරණයට පෙර හා පසු සමාජ මාධ්‍ය හරහා පුරවැසි ප‍්‍රශ්නවලට පිළිතුරු දෙන සජීව සැසි වාරයක් (Live Q&A) කරන මෙන් අප ඉල්ලා සිටියා. මේ වනතුරු එබන්දක් සිදුකර නැහැ. තම ජයග්‍රහනයට උපකාර වූවා යයි ඔහුම ප්‍රසිද්ධියේ පැසසූ සමාජ මාධ්‍ය හරහා පුරවැසි ප්‍රශ්නවලට මුහුණ දීමට ජනපති සිරිසේන පැකිලෙන්නේ ඇයි?

Ranil Wickremesinghe Twitter account - IS THIS OFFICIAL? screen shot taken on 26 July 2015 at 13.55 Sri Lanka time.jpg
Ranil Wickremesinghe Twitter account – IS THIS OFFICIAL? screen shot taken on 26 July 2015 at 13.55 Sri Lanka time.jpg

වික‍්‍රමසිංහ අගමැතිවරයාගේ සමාජ මාධ්‍ය භාවිතය වඩාත් පසුගාමීයි. ඔහුගේ ෆේස්බුක් ගිණුමෙන් මේ දිනවල ප‍්‍රචාරක රැලිවල ඡායාරූප හා කෙටි කෙටි වීඩියෝ බෙදා හරිනවා. එහෙත් රටේ ප‍්‍රශ්න ගැන හෝ ප‍්‍රතිපත්ති/විසඳුම් ගැන කිසිදු සංවාදයක් පෙනෙන්නට නැහැ.

සමාජ මාධ්‍ය භාවිතය හරහා දේශපාලන චරිත ප‍්‍රචාරණයට එහා යන තවත් බොහෝ දේ කළ හැකියි. මැතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයන්ට අදහස් හා යෝජනා ඉල්ලා ලබා ගත හැකියි. රටේ දැවෙන ප‍්‍රශ්න ගැන (සීරුවෙන් හා ප‍්‍රවේශමෙන්) සංවාද කොට මහජන මතය ගැන දළ හැඟීමක් ලද හැකියි. ඡන්දදායකයන්ගේ රුචි අරුචිකම්, ප‍්‍රමුඛතා හා අපේක්ෂා ගැන ගවේෂණය කළ හැකියි.

ඉන්දියාව, ඉන්දුනීසියාව, තායිලන්තය හා පිලිපීනය වැනි ආසියානු රටවල දේශපාලකයන් හා පක්ෂ මෙසේ වඩාත් හරවත් හා පුළුල් ලෙසින් සමාජ මාධ්‍ය යොදා ගන්නවා.

මැතිවරණ ආසන්න වන විට මිලියන් ගණන් වැය කරමින් ජනමත සමීක්ෂණ පැවැත්වීම දැන් අපේ ප‍්‍රධාන දේශපාලන පක්ෂවලත් සිරිතක්. බොහෝ විට සොයා ගැනීම් ප‍්‍රසිද්ධියට පත් නොකරන මේ සමීක්ෂණවලින් කැම්පේන් පණිවුඩ හා අවධාරණය කළ යුතු තැන් ආදිය ගැන යම් ඉඟි ලැබෙන බව ඇත්තයි. එහෙත් සමීක්ෂකයන් අසන හැම ප‍්‍රශ්නයකටම ජනයා අවකංව පිළිතුරු නොදෙන නිසා මේ සමීක්ෂණවල ආවේණික සීමා තිබෙනවා.

එයට වඩා විවෘත ලෙස මත දැක්වීමක් සමාජ මාධ්‍ය තුළ කැරෙනවා. මේවා විශ්ලේෂණය කරන මෘදුකාංග හරහා යම් සමුච්චිත ප‍්‍රවණතා සොයා ගත හැකියි. එබඳු විශ්ලේෂණ දැන් වෙනත් රටවල දේශපාලන පක්ෂ සන්නිවේදකයෝ කරනවා. ඒ හරහා කැම්පේන් පණිවුඩ වඩාත් සමාජගත කර ගත හැකියි.

සමාජ මාධ්‍යවල විභවය තේරුම් ගෙන ඇතැයි පෙනෙන ජාතික මට්ටමේ දේශපාලන චරිත දෙකක් නම් මහින්ද රාජපක්ෂ හා චම්පික රණවකයි. ඔවුන්ගේ දේශපාලන මතවාදයන් කුමක් වෙතත්, මෙරට සෙසු දේශපාලකයන්ට සාපේක්ෂව ඔවුන් සමාජ මාධ්‍ය හරහා යම් පුරවැසි පිරිසක් සමග සන්නිවේදනය කරනවා. නිතිපතා නොවූවත් විටින් විට හෝ පුරවැසි ප‍්‍රශ්නවලට සමාජ මාධ්‍ය හරහා පිළිතුරු ද දෙනවා.

Mahinda Rajapaksa verified Twitter account, screen shot on 26 July 2015 at 14.05 Sri Lanka Time
Mahinda Rajapaksa verified Twitter account, screen shot on 26 July 2015 at 14.05 Sri Lanka Time

ගිය වසරේ මේ දෙපළ පැවැත් වූ ට්විටර් ප‍්‍රශ්නෝත්තර සැසිවලදී දුෂ්කර යැයි සැලකිය හැකි අන්දමේ ප‍්‍රශ්න මා ඉදිරිපත් කළා. රාජපක්ෂ එවන් ප‍්‍රශ්න නොතකා හැර ලෙහෙසි යයි පෙනෙන ප‍්‍රශ්නවලට පමණක් පිළිතුරු දුන්නා. එහෙත් රණවක ආන්දෝලනාත්මක මාතෘකා ගැන පවා තම මතයේ සිට පිළිතුරු සැපයූවා. එම පිළිතුරු ගැන මා සෑහීමකට පත් නොවූවත් ඔහු එසේ සංවාදයේ නියැලීම මා අගය කරනවා.

සමාජ මාධ්‍යවල බොරු පුරාජේරු පම්පෝරි කරන්න අමාරුයි. එය භාවිත කරන සමහර පුරවැසියන් ගරුසරු නොවීමට හා සත්‍යවාදී නොවීමට ද ඉඩ තිබෙනවා. සමහර දේශපාලන කැම්පේන්කරුවන් සමාජ මාධ්‍ය සංවාදවලට ඉඩ නොදෙන්නේ මේ අවදානම නිසා විය හැකියි.

දේශපාලන රැස්වීම් වේදිකාවක කථිකයකුට ඉඳහිට හූ හඬක් ලැබිය හැකි වුවත් ඉන් ඔබ්බට යන අභියෝග මතු වන්නේ නැහැ. ටෙලිවිෂන් දේශපාලන සංවාදවලත් මෙහෙයවන්නා විසින් යම් සමනයක් පවත්වා ගන්නවා. මෙබඳු තිරිංග නැති සමාජ මාධ්‍ය හරහා දුෂ්කර ප‍්‍රශ්න, අවලාද, බොරු චෝදනා හා අපහාස එල්ල විය හැකියි.

එහෙත් පොදු අවකාශයේ සිටින, මහජන නියෝජිතයන් වීමට වරම් පතන දේශපාලකයන් මෙබඳු මහජන රතිචාරවලට මුහුණ දීමේ හැකියාව හා පරිණත බව සමාජ මාධ් හරහා රටටම පෙනෙනවා.

Mahinda Rajapaksa's verified Facebook account, screen shot on 26 July 2015 at 14.02 Sri Lanka Time
Mahinda Rajapaksa’s verified Facebook account, screen shot on 26 July 2015 at 14.02 Sri Lanka Time

සමාජ මාධ්‍ය පරිහරණය කරන පුරවැසි අපටත් වගකීම් තිබෙනවා. අප කැමති දේශපාලන පක්ෂයට හා චරිතවලට සයිබර් සහයෝගය දෙන අතරේ යම් සංයමයක් පවත්වා ගත යුතුයි. ප‍්‍රතිවිරුද්ධ මතධාරීන්ට අසැබි ලෙසින් පහර නොගසා තර්කයට තර්කය මතු කළ යුතුයි. එසේම නොකඩවා ගලා එන විවිධ විග‍්‍රහයන් හා රූප වැඩිදුර පතුරුවන්නට පෙර ඒවා වෛරීය දේශපාලනයට අදාළදැයි මඳක් සිතිය යුතුයි.

මෙරට ඉන්ටර්නෙට් භාවිත කරන්නන්ගෙන් 80%කට වඩා එහි රවේශ වන්නේ ස්මාට් ෆෝන් හරහායි. ස්මාට්ෆෝන් තිබුනාට මදි. ස්මාට් පුරවැසියන් වීමටත් ඕනෑ! වැඩවසම් ගතානුගතිකත්වය හා වෛරීය ජාතිකත්වය පසු කර නව දේශපාල සදාචාරයක් බිහි කරන්නට අප දායක විය යුතුයි!

See also other related columns of mine:

16 March 2014: සිවුමංසල කොලූගැටයා #160: දේශපාලන සන්නිවේදනයෙ ටෙලිවිෂන් සාධකය

23 March 2014: සිවුමංසල කොලූගැටයා #161: සමාජ මාධ්‍යවලට ඇයි මේ තරම් බය?

21 Dec 2014: සිවුමංසල කොලූගැටයා #199: සමාජ මාධ්‍ය, මැතිවරණ හා ඩිජිටල් ප‍්‍රජාතන්ත‍්‍රවාදය

28 Dec 2014: සිවුමංසල කොලූගැටයා #200: ඩිජිටල් තාක්‍ෂණයෙන් මැතිවරණ ක‍්‍රියාදාමය පිරිසුදු කළ ඉන්දුනීසියාව

4 January 2015: සිවුමංසල කොලූගැටයා #201: ශ‍්‍රී ලංකාවේ අරාබි වසන්තයක් හට ගත හැකිද?

11 January 2015: සිවුමංසල කොලූගැටයා #202: 2015 ජනාධිපතිවරණයේ සන්නිවේදන පාඩම්

 

 

සිවුමංසල කොලූගැටයා #165: සමාජ මාධ්‍ය ලක් සමාජයේම කැඩපතක්

In this week’s Ravaya column (in Sinhala), I return to discuss social media in Sri Lanka, with focus on safe practices.

I covered similar ground in English in this column: 30 March 2014:

When Worlds Collide #101: Safely Riding the Social Media Dragon

Social Media challenge
Social Media challenge

‘සමාජ මාධ්‍යවලට ඇයි මේ තරම් බය’ මැයෙන් 2014 මාර්තු 23 වනදා මා කළ විග‍්‍රහයට ලැබුණු එක් ප‍්‍රතිචාරයක් වූයේ ලක් සමාජයේ ‘වරප‍්‍රසාද ලත් ටික දෙනෙකුගේ මාධ්‍යයක්’ ගැන මෙතරම් කථා කළ යුතු ද කියායි.

ඉන්ටර්නෙට් භාවිතය පරිගණක හිමි, නාගරික, ඉසුරුබර උදවියට පමණක් සීමා වූ ප‍්‍රවණාතාවක් යයි ද තමන් වැනි මධ්‍යම පාංතිකයන්ට පවා එහි ආයෝජනය දරා ගත නොහැකි යයි ද සරසවි ඇදුරෙක් මා සමග තර්ක කළා.

ඉන්ටර්නෙට් තවමත් ටෙලිවිෂන් හා රේඩියෝ තරම් මෙරට ප‍්‍රචලිත වී නැති බව සැබෑයි. එහෙත් සමහරුන් සිතන තරම් අතලොස්සකට එය සීමා වී ද නැහැ.

මෙරට ඉන්ටර්නෙට් භාවිතය ගැන ගැන සංඛ්‍යාලේඛන ඕනෑම කෙනකුට බලා ගත හැකි පරිදි නිල මූලාශ‍්‍රවල තිබෙනවා. දත්ත ආශ‍්‍රයෙන් නිගමනවලට එළඹීම වඩා හොඳයි.

විදුලි සංදේශ නියාමන කොමිසමේ අළුත්ම සංඛ්‍යා ලේඛන වලට අනුව 2013සැප්තැම්බර් අග වන විට මෙරට ස්ථාවර ඉන්ටර්නෙට් ගිණුම් 482,651ක් හා ජංගම ඉන්ටර්නෙට් ගිණුම් 1,210,862ක් තිබුණා. මේ දෙක එකතු කළ විට සමස්ත ගිණුම් සංඛ්‍යාව 1,693,513යි. www.trc.gov.lk/index.php/information/statistics.html

එක ගිණුමක් සාමාන්‍යයෙන් දෙදෙනෙකු පාවිච්චි කරනවා යයි උපකල්පනය කළොත් නිතිපතා ඉන්ටර්නෙට් භාවිතා කරන ජන සංඛ්‍යාව මිලියන 3.38ක් පමණ වෙනවා.

අද මෙරට වඩාත් ම ප‍්‍රචලිත සමාජ මාධ්‍යය ෆේස්බුක් Facebook නම් පෞද්ගලික තොරතුරු හා සාමිචී හුවමාරු පොළයි. 2012 අග වන විට මෙරට ෆේස්බුක් ගිණුම් සංඛ්‍යාව 1,515,720ක් වී යයි ජාත්‍යන්තර වෙබ් දත්ත හරහා අපට සොයා ගත හැකියි.

ස්මාට්ෆෝන් හරහා ඉන්ටර්නෙට් සබඳතා ලද හැකිවීම නිසා එය පරිහරණය කරන සංඛ්‍යාව සීඝ‍්‍රයෙන් වැඩිවී තිබෙනවා. එසේම පාසල්, සරසවි, කාර්යාල හා නැණසල/සයිබර් කැෆේ හරහා තමන්ගේම නොවූ පොදු සබඳතා භාවිත කරන සැළකිය යුතු සංඛ්‍යාවක් ද සිටිනවා.

2012 ජන සංගණනයේ මෙරට මුළු ජන සංඛ්‍යාව 20,277,597යි. දළ වශයෙන් ජනගහනයෙන් සියයට 15-20ක් ඉන්ටර්නෙට් භාවිතා කරනවා යයි කිව හැකියි.

එහෙත් නව මාධ්‍යයේ බලපෑම මීටත් වඩා පුළුල් වන්නේ එම භාවිතා කරන්නන් අතර ගුරුවරුන්, පර්යේෂකයන්, මාධ්‍යවේදීන් හා සිසුන් ද සිටින නිසා. ඔවුන් ලබා ගන්නා දැනුම ඔවුන් හරහා තවත් බෙහෝ අයට පැතිරෙනවා.

පරිගණක හා ජංගම දුරකථන හරහා ඉන්ටර්නෙට් පරිශීලනයට කිසිදු විශේෂඥ තාක්‍ෂණික දැනුමක් අවශ්‍ය නැහැ. අද කාලේ වයස පහේ හයේ දරුවොත් එයට සමත්. එහෙත් ඒ හැකියාව පුහුණු කර නොගත් වයස 40න් පමණ වැඩි ලාංකික වැඩිහිටියන් මේ තාක්‍ෂණය ගැන අස්ථාන භීතියකින් පසු වනවා.

‘‘අනේ අපි විද්‍යාව/තාක්‍ෂණය උගත් අය නොවෙයි. අපට මේ කොම්පියුටර්, ඉන්ටර්නෙට් ගැන තේරුමක් නැහැ’’ ආකාරයේ ප‍්‍රකාශ කරන ශාස්ත‍්‍රාලීය උගතුන් හා වෘත්තිකයන් මට නිතර හමු වනවා.

මා ඔවුන්ගෙන් අසන්නේ ඔවුන් භාවිත කරන මෝටර්රථ පිළිබඳ කාර්මික දැනුමක් තිබේ ද කියායි. බොහෝ දෙනාට එබන්දක් නැහැ. එහෙත් වාහනයක එදිනෙදා නඩත්තුව, රැක ගැනීම හා මහමග පදවාගෙන යාම පිළිබඳ අවබෝධයක් තිබෙනවා.

නූතන සන්නිවේදන මෙවලම් හරහා සයිබර් අවකාශයේ සැරිසැරීම සඳහාත් මෙයට සමාන අවම දැනුමක් හා කුසලතා සමුදායක් අවශ්‍යයි. මෙය තව දුරටත් පරිගණකවේදීන්ට පමණක් භාර දිය හැකි වගකීමක් නොවෙයි.

Lankan society's popular perception of Facebook is captured in this cartoon by Awantha Artigala. Courtesy - Daily Mirror
Lankan society’s popular perception of Facebook is captured in this cartoon by Awantha Artigala. Courtesy – Daily Mirror

සයිබර් ලෝකය එයට ම ආවේණික ලක්‍ෂණවලින් යුක්තයි.   එහෙත් එය හඳුනා ගැනීමේදී භෞතික ලෝකය සමග සැසදීම අපට උදව් වනවා. මාර්ග ආරක්‍ෂාව හා සයිබර් ආරක්‍ෂාව අතර සමානකම් රැසක් තිබෙනවා.

මාර්ග ආරක්‍ෂාව සාමුහිකව වගකීමක්. මාර්ග සැළසුම්, ඉදිකිරීම් හා නඩත්තු කරන රාජ්‍ය ආයතන, මාර්ග දෙපස පදිංචි නිවැසියන් හා ව්‍යාපාර, මහපාරේ ගමන් කරන පදිකයන් හා සියළු ආකාරයේ වාහන පදවන රියදුරන් අතර අඩු වැඩි වශයෙන් මේ වගකීම බෙදී යනවා. රථවාහන පොලිසියට පමණක් මාර්ග ආරක්‍ෂාව සැළසිය නොහැකියි.

පාරට බසින හැම විටෙක ම අප සැම දැන හෝ නොදැන යම් අවදානමකට මුහුණ දෙනවා. ඒ අවදානම සාධාරණ පරාසයක් තුළ පවත්වා ගන්නට අප දායක විය යුතුයි. අපේ ආරක්‍ෂාව පිළිබඳ අවධි වූ සිහියෙන්, මාර්ග නීති පිළිපදිමින්, විනීතව හා විනයානුකූලව පාරේ ගමන් කිරීමෙන් එකී අවදානම සමනය කළ හැකියි. එහෙත් අනතුරුවීමේ හැකියාව තවමත් පවතිනවා.

මේ ආකාරයේ යථාර්ථයක් සයිබර් අවකාශයේත් තිබෙනවා. එහි සැළසුම, නිර්මාණය හා නඩත්තුවට තනි අප එතරම් සම්බන්ධ නැති වුවත්, ඒ තුළ සැරිසරන විට ප‍්‍රවේශම්කාරි, ආචාරශීලි හා විනයගරුක වීමේ වගකීම අප සැමට තිබෙනවා. එසේ නොකරන විට අනවශ්‍ය අවදානම්වලට අප මුහුණ දෙනවා.

එසේම කෙතරම් ප‍්‍රවේශම් වුවත් යම් අන්තරායන් තවමත් පැවතිය හැකියි. සයිබර් අවකාශය තුළ නීතිය ක‍්‍රියාත්මක කිරීමේ හා මහජන ආරක්‍ෂාව සැපයීමේ බලධාරින් වඩාත් සක‍්‍රීයව සිටින්නේ මේ නිසා.

එහෙත් හැම ලයිට් කණුවක් හෝ හන්දියක් ගානේ රථවාහන පොලිසියට සිටිය නොහැකි සේ සයිබර් අවකාශයේ හැම තැනක ම බලය ලත් ආරක්‍ෂකයන්ට සැරිසැරිය නොහැකියි. සාමූහික වගකීම හා තනි තනිව අපේ පරෙස්සම ද අවශ්‍යයි.

මහපාරේ මෙන් ම සයිබර් අවකාශයේ ද පරෙස්සමින් සැරිසැරීම වැඩිහිටියන්ට පවා අභියෝගයක් වන පසුබිම තුළ එයට වයසින් නොමේරූ දරුවන්ට ඊටත් වඩා අසීරු කාරියක්. දරුවන් නව තාක්‍ෂණයට වඩා ලෙහෙසියෙන් හුරු වන බව ඇත්තයි. එහෙත් තාක්‍ෂණය හරහා මතුවිය හැකි අවදානම් හා ගත යුතු ආරක්‍ෂක උපක‍්‍රම ගැන ඔවුන්ගේ දැනුම හා අවබෝධය සීමිතයි.

මෙයට නිසි පිළියම නව තාක්‍ෂණයන්ගෙන් ඔවුන් ඈත් කර තැබීම නොවෙයි. පරෙස්සමින් සැරිසැරීමේ හැකියාව වඩාත් ප‍්‍රගුණ කිරීමයි.

මාර්ග අනතුරු හා රථවාහන සොරකම් ආදිය වාර්තා වූ පමණට අප ගෙදරට වී දොරගුලූ ලාගෙන බියෙන් සිටින්නේ නැහැ. මහපාරේ පරෙස්සමින් යන්නා සේ සයිබර් අවකාශයෙත් පරෙස්සමින් සැරිසැරිය යුතුයි. ඉන්ටර්නෙට් හා සමාජ මාධ්‍ය අරභයා ප‍්‍රවේශම්කාරි හා දැනුවත් වූ ලක් සමාජයක් බිහි කර ගැනීම අවශයයි.

අවසන් විනිශ්චයේදී හැම මාධ්‍යයක්ම අදාල ජන සමාජයේ ගති සොබා පිළිබිඹු කරන කැඩපතක් වගෙයි. කැඩපතෙහි අප දකින ඡුායාවට අප කැමති නැති නම් එහි අරුත කුමක් ද?

සයිබර් ආරක්‍ෂාව පිළිබඳව විවෘත හා පුළුල් සමාජ සංවාදයක් අපට අවශ්‍යයි. සමාජ මාධ්‍ය ගැන සංවාදවලට අපේ සමාජ විද්‍යාඥයන් සම්බන්ධ වනවා මදි. මාධ්‍යවලිනුත් මේ ගැන විමසන්නේ තාක්‍ෂණවේදීන්ගෙන් හා ඉංජිනේරුවන්ගෙන්. ඒ අය මේ ප‍්‍රශ්නයේ තාක්‍ෂණික පැතිකඩ විග‍්‍රහ කළත් සමාජයීය බලපෑම විනිවිද දකින්නේ කලාතුරකින්.

Dr Harini Amarasuriya
Dr Harini Amarasuriya

මේ ගැන විවෘතව අදහස් දක්වා ඇති සමාජ විද්‍යාඥයින් ටික දෙනාගෙන් මගේ අවධානයට යොමු වූයේ ආචාර්ය හරිනි අමරසූරියගේ විග‍්‍රහයක්. විවෘත සරසවියේ සමාජ විද්‍යාව පිළිබඳ ජේ්‍යෂ්ඨ කතිකාචාරිනියක් වන ඇය කියන්නේ අප කැමති වුවත් නැතත් සමාජ මාධ්‍ය අද ලක් සමාජයේ සීඝ‍්‍රයෙන් පැතිරෙන බවයි.

‘‘එය මෙවලමක් පමණයි. එයින් වැඩක් හෝ අවැඩක් සිදුවීම රඳා පවතින්නේ භාවිත කරන අය අතේ. අපේ ළමයින් හා තරුණ තරුණියන් මේ සමග වැඩියෙන් කාලය ගත කරන නිසා එය නැණවත්ව ප‍්‍රවේශමින් පරිහරණය කරන සැටි පෙන්වා දීම වැදගත්.’’

Facebook සමාජ මාධ්‍යයට නැගෙන චෝදනා ගැන ඇගේ මතය: ‘‘අප ඇසිය යුත්තේ ෆේස්බුක් එකේ වරද කුමක් ද කියා නොවෙයි. අපේ සමාජයේ වැරදි මොනවා ද කියායි.’’

මනෝවිද්‍යාත්මකව හෝ සමාජ විද්‍යාත්මකව හෝ බලන විට තහංචි, සීමා දණ්ඩන පෙරටු කර ගත් ප‍්‍රවේශයක් මේ ප‍්‍රශ්නයට කිසිසේත් නොගැලපෙන බව ඇය අවධාරණය කරනවා. නව යොවුන් වියේ හා තරුණ වියේ පසු වන අය සමාජ මාධ්‍ය හරහා එකිනෙකා සමග සාමිචියේ යෙදීම බෙහෙවින් සාමාන්‍ය දෙයක් බවත්,මේ යථාර්ථයට ලක් සමාජය මුහුණදිය යුතු බවත් ඇය කියනවා.

සමාජ මාධ්‍ය එන්නට පෙර SMS හරහාත් ඊට කලින් තැපෑල හරහාත් තරුණ තරුණියන් සන්නිවේදනය කළා. මෙය නීති විරෝධී හෝ සමාජ විරෝධී ක‍්‍රියාවක් නොවෙයි. (එසේම තැපෑලෙන් පෙම් හසුන් හුවමාරු වූවා කියා කිසිවකු තැපැල් සේවය තහනම් කරන්නට කීවේත් නැහැ!)

කෙන්ද කන්ද කොට මහා ප‍්‍රශ්නයක් බවට පත් කර නොගෙන සමාජ මාධ්‍යවලට අපේ සමාජය ප‍්‍රශස්තව බද්ධ විය යුත්තේ කෙසේදැයි විමසා බැලීමයි වඩාත් වැදගත් හා අවශ්‍ය වන්නේ.

සමාජ මාධ්‍ය පොදු උන්තතියට උපක‍්‍රමශීලිව යොදා ගැනීමේ පුරෝගාමීන් හැටියට දකුණු කොරියාව, මැලේසියාව, ඉන්දුනිසීයාව හා තායිලන්තය දැක්විය හැකියි. ලිංගික ප‍්‍රචණ්ඩත්වය, කම්කරු අයිතිවාසිකම්, පාරිසරික ප‍්‍රශ්න, පාරිභෝගික උද්ඝෝෂණ ආදී බොහෝ කරුණු සම්බන්ධයෙන් ඒ රටවල සමාජ කි‍්‍රයාකාරිකයන් සමාජ මාධ්‍ය දක්‍ෂ ලෙස යොදා ගන්නවා.

මධ්‍යම පාතිකයන් මිලියන් 300කට වඩා වෙසෙන ඉන්දියාවේද සමාජ මාධ්‍ය හා ඉන්ටර්නෙට් භාවිතය ජන සමාජයට පුළුල් වශයෙන බලපෑම් කිරීම ඇරඹිලා. විශේෂයෙන් අල්ලස හා දුෂණයට එරෙහිවත් කාන්තාවන්ට නිසි රැකවරණය සඳහාත් මෑත කාලයේ ඉන්දියාව හරහා පැතිර ගිය මහා පරිමාණයේ ජනතා උද්ඝෝෂණ තීව‍්‍ර කළේ සමාජ මාධ්‍ය භාවිතයයි. 2014ඉන්දියානු මහා මැතිවරණයේදී සමාජ මාධ්‍ය තීරණාත්මක සාධකයක් විය හැකියි.

ඉන්ටර්නෙට් මෙරටට හඳුන්වා දුන් මුල් කාලයේම මා යෝජනා කළ ඔවදනක් සමාජ මාධ්‍යවලටත් අදාලයි.

දැන ගියොත් ඉන්ටර්නෙට්.

නොදැන ගියොත් අතරමග.

එයට දැන් යමක් එකතු කළ හැකියි.

අවධියෙන් ගියොත් ඉන්ටර්නෙට්

අවසිහියෙන් ගියොත් මංමුලාවේ!

facebook-cartoon-dave-coverly

සිවුමංසල කොලූගැටයා #152: ජන වී රැක ගන්නට වෙර දරන ඉන්දියානු ගොවියෝ

In this week’s Ravaya column, I feature Indian agricultural scientist and activist Dr Anupam Paul, who is committed to organic farming and preserving traditional varieties of rice (folk rice).

He was in Colombo in December 2013 when I had an interesting interview on the uphill struggle to sustain in-situ conservation efforts working with a handful of committed farmers who still grow folk rice varieties instead of hybrid ones promoted by the Green Revolution.

For more info in English, see his paper:
Indigenous Rice: Ignored in Conventional Agriculture

Rice: Not just a good, but a whole way of life. Image courtesy http://anupamfolkrice.blogspot.com
Rice: Not just a good, but a whole way of life. Image courtesy http://anupamfolkrice.blogspot.com

ලෝකයේ සමස්ත ජනගහනයෙන් තුනෙන් එකක් පමණ දෙනා නිතිපතා බත් ආහාරයට ගන්නවා. මේ නිසා සහල් යනු ලෝකයේ වැදගත් ආහාරයක්.

වී වගා කිරීම මීට වසර 8,200 – 13,500කට පමණ පෙර චීනයෙන් ඇරැඹී ටිකෙන් ටික දකුණු හා අග්නිදිග ආසියානු රටවලට පැතිර ගිය බව ජාන විශ්ලේෂණයෙන් සොයා ගෙන තිබෙනවා. වී ශාකය හා එයින් ලැබෙන සහල් හුදෙක් ආහාරයක් හැටියට පමණක් නොව මේ රටවල ජන සංස්කෘතියේ කොටසක් බවට ද පත් වුණා.

අපේ දිවයිනෙහි වී වගාව ඇරැඹුණේ කවදාදැයි හරියට කිව නොහැකි වුවත් එය අපේ ම රටට ආවේණික ශාකයක් තරමට අද අපට සමීපයි. ඉන්දියාව, බුරුමය, තායිලන්තය, වියට්නාමය, කාම්බෝජය වැනි රටවල තත්ත්වයන් එයයි.

සාම්ප‍්‍රදායික වී ප‍්‍රභේද රැක ගනිමින් ඒවා ගොවීන් අතර ප‍්‍රවර්ධනය කරන්නට වෘත්තීය හා පෞද්ගලික මට්ටමින් කැප වී සිටින අසාමාන්‍ය ගණයේ ඉන්දියානු කෘෂි විද්‍යාඥයෙක් මට ළඟදී හමු වුණා.

ආචාර්ය අනුපම් පෝල්ගේ (Dr Anupam Paul) නිල තනතුර බටහිර බෙංගාල ප‍්‍රාන්තයේ කෘෂිකර්මය පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ. ප‍්‍රාන්ත රජයේ කෘෂි ජෛවවිවිධත්ව සංරක්ෂණ ගොවිපලක් ද ඔහු යටතේ පාලනය වනවා.

සොබාවික පරිසරයේ ජෛව විවිධත්වය තරම් ම කෘෂි ජෛව විවිධත්වය (agro-biodiversity) ද වටිනා බව ඔහුගේ විශ්වාසයයි. අපේ ආහාර සුරක්ෂිතභාවය තහවුරු කර ගන්නට කෘෂි ජෛව විවිධත්වය රැක ගත යුතු යැයි ද ඒ සඳහා එහි ප‍්‍රධානතම භාරකරුවන් වන ගොවීන් සමඟ පර්යේෂකයන් හා නිලධාරින් සමීපව ක‍්‍රියා කළ යුතු යැයි ද ඔහුගේ අදහසයි.

ඉන්දියාවේ වී වගාව බහුලව කැරෙන ප‍්‍රදේශයක වෙසෙන ඔහුගේ වැඩි අවධානය යොමුව ඇත්තේ සාම්ප‍්‍රදායික වී ප‍්‍රභේද වෙතයි. ඔහු ඒවා හඳුන්වන්නේ ජන වී ප‍්‍රභේද  (folk rice varities) යනුවෙන්.

හරිත විප්ලවය හරහා දෙමුහුන් වී ප‍්‍රභේද හඳුන්වා දීමට පෙර ඉන්දියාව පුරා ජන වී ප‍්‍රභේද 82,000ක් පමණ තිබු බවත්, බටහිර බෙංගාලයේ පමණක් එබඳු ප‍්‍රභේද 5,500ක් වූ බවත් ඔහු කියනවා. එහෙත් රාජ්‍ය කෘෂි ප‍්‍රතිපත්තිය යටතේ දෙමුහුන් වී ප‍්‍රභේද කිහිපයක් පමණක් මුළු භාරතය පුරා ම ප‍්‍රවර්ධනය කෙරුණු නිසා මේ ජන වී ප‍්‍රභේද භාවිතයෙන් ඉවත්ව ගියා. මේ වන විට බෙංගාලයේ සොයා ගත හැක්කේ ජන වී ප‍්‍රභේද 250ක් පමණයි.

කෘෂි ජෛව විවිධත්වය රැක ගැනීමේ හොඳම ක‍්‍රමය නම් ඒවා වගා කිරීමයි. ඓතිහාසිකව අතිවිශාල බෝග ප‍්‍රභේද සමුදායක් බිහි වූයේ හා පැවත ආයේ රාජ්‍ය මැදිහත්වීමකින් නොව රට පුරා විහිදුණු ගොවීන් තමන් ලැදි බෝග ප‍්‍රභේද කන්නයෙන් කන්නයට වගා කළ නිසයි.

මෙයට අමතරව නූතන ජාන බැංකු හරහා ද වඳ වී යාමේ තර්ජනයට ලක් වූ බෝග ප‍්‍රභේද රැක ගත හැකි නමුත් එය හැම රටක ම හා හැම බෝගයකට ම කළ හැක්කක් නොවෙයි. එසේ ම බීජවල ජෛවී බව කෘත‍්‍රිම පරිසරයක දිගට ම පවත්වා ගැනීම ද අභියෝගයක්.

ඉන්දියාවේ ජාතික පැලෑටි ජාන සම්පත් සංරක්ෂණ ආයතනයේ වී ප‍්‍රභේද 80,000ක් පමණ තැන්පත් කර ඇතැයි නිල වාර්තා කියතත්, ඒවායේ සාඵල්‍යය බව ගැන සහතික වීමට බැරි යැයි පෝල් කියනවා. ‘‘ජන වී පැවතිය යුත්තේ විවෘත පරිසරයේ, කුඹුරුවල, ගොවීන්ගේ භාරකාරත්වය යටතේයි. සුළු වී ගොවියා කරන කාර්යය වායුසමීකරණය කළ රසායනාගාරවලට කළ නොහැකියි!’’

Dr Anupam Paul in Colombo. Photo by Nalaka Gunawardene
Dr Anupam Paul in Colombo. Photo by Nalaka Gunawardene

ඉන්දියාව පුරා තිබෙන රජයට අයත් ගොවිපල 150න් කාබනික ගොවිතැන කැරෙන එක ම ගොවිපල භාරව සිටින්නේත් අනුපම් පෝල්. 1950දී ඇරැඹූ මේ ගොවිපල කල්කතාවෙන් කිමී 86ක් උතුරට වන්නට නාඩියා ප‍්‍රදේශයේ අක්කර 15ක් වසා පැතිරෙනවා. කෘෂි රසායනික කිසිවක් නොමැතිව සොබාවික පොහොර හා සොබාවික ක‍්‍රම පමණක් යොදා ගනිමින් ජන වී ප‍්‍රභේද වගා කොට හොඳ අස්වනු නෙළා ගන්නා ක‍්‍රම මේ ගොවිපලේ අත්හදා බලනවා. එහිදී ගොවීන් හා විද්‍යාඥයින් සමසමව කටයුතු කරන බවත්, දෙපිරිස ම එකිනෙකාගෙන් අළුත් දේ උගන්නා බවත් ඔහු කියනවා.

බංකුරා නම් ස්ථානයේ පිහිටි (VRIHI) බීජ සංරක්ෂණ කේන්ද්‍රයේ (www.vrihi.org) ජන වී ප‍්‍රභේද 750ක් සුරැකෙන අතර නාඩියා සංරක්ෂණ ගොවිපලේ ජන වී ප‍්‍රභේද 207ක් වගා කිරීම හරහා සුරකිනවා.

‘‘ජන වී ප‍්‍රභේද නූතන අවශ්‍යතාවලට සරිලන තරම් අස්වනු ලබා නොදෙනවා යැයි සමහරුන් කියනවා. මා එය පිළිගන්නේ නැහැ. ඇතැම් ජන වී ප‍්‍රභේද, හරිත විප්ලවයේ දෙමුහුන් වී තරම් ම ඵලදාව ලබා දීමට සමත්’’ පෝල් කියනවා.

ඔහු අවධාරණය කරන්නේ වෙල් යායක සමස්ත ජෛවීය නිෂ්පාදනය (total biological production) සැළකිල්ලට ගත යුතු බවයි. දෙමුහුන් වී ප‍්‍රභේද වැඩිපුර සහල් ප‍්‍රමාණයක් ලබා දුන්නත් ඒවායේ පිදුරු ප‍්‍රමාණය අඩුයි. වගා බිමට වැඩියෙන් රසායන පොහොර දැමීම අවශ්‍යයි. කෘෂිරසායන යොදන කුඹුරක මිරිදිය මාළුන් ඇති කිරීම වැනි අතුරු ඵලදායක් ලද නොහැකි බව ද ඔහු පෙන්වා දෙනවා. එහෙත් කාබනිකව ජන වී වවන විට මේ සියල්ල කළ හැකියි.

සමස්ත ඉන්දීය මට්ටමින් ජන වී රැක ගැනීම තමාට තනිව කළ නොහැකි වුවත් බෙංගාල ප‍්‍රාන්ත මට්ටමින් හෝ එය කිරීමට පෝල් වෙර දරනවා. 2001දී ඇරැඹි මේ ප‍්‍රයත්නය හරහා මේ වන විට ජන වී ප‍්‍රභේද 127ක් එයට උනන්දුව හා කැපවීම ඇති ගොවීන් 80 දෙනෙකු අතර බෙදා දී ඒවා වගා කිරීම සිදු වෙනවා.

බටහිර බෙංගාලය පුරා මේ වන විට ජන වී ප‍්‍රභේද සුළු පරිමාණයෙන් වවන ස්ථාන 15ක් ඇතැයි ද එය කන්නයෙන් කන්නයට පවත්වා ගෙන යාම ලොකු අභියෝගයක් යැයි ද ඔහු කියනවා.

‘‘අද රට පුරා තරුණ තරුණියෝ ගොවිතැනට කැමති නැහැ. මවුපිය උරුමයෙන් ලද ගොවිකම වෙනුවට නගරයේ රැකියා සොයා ගෙන යාම හෝ පිටරට රැකියාවලට යාම බහුලව සිදු වනවා. ඉන්දියානු ගොවිතැනේ අනාගතය අවිනිශ්චිතයි.’’

ඉන්දියාවේ ප‍්‍රගතිශීලි ගොවීන් මෙන් ම සංවේදී විද්‍යාඥයන් ද ජන වී ප‍්‍රභේද ගොවිතැන් කිරීම හරහා රැක ගැනීමේ වැදගත්කම වටහා ගෙන තිබෙනවා. එහෙත් කෘෂි විද්‍යාව උගන්වන කිසිදු ඉන්දියානු සරසවියක් තවමත් ජන වී ගැන අවධානය යොමු නොකරන බව පෝල් කියනවා.

දැන් අප‍්‍රකට එහෙත් තවමත් ගොවීන් ටික දෙනකු වගා කරන ජන වී ප‍්‍රභේද අතර සුවිශේෂ ගුණාංග තිබෙනවා. දිගටි හාල් ඇට, කෙටි හාල් ඇට, විවිධාකාරයේ සුවඳවත් සහල් වර්ග, සීත පරිසරයක වැවෙන වර්ග, නියඟයට හා අධික උෂ්ණත්වයට ඔරොත්තු දෙන වර්ග ආදි වශයෙන් ජන වී ප‍්‍රභේදවලට ආවේණික ලක්ෂණ හමු වනවා. තවත් සමහර ජන වී ප‍්‍රභේද ජලයට යට වී දින ගණනක් පැවතිය ද විනාශ වන්නේ නැහැ.

එක් වී ඇටයක් තුළ සහල් ඇට දෙකක් හෝ තුනක් ඇති ජන වී ප‍්‍රභේද තිබෙනවා. ජුගාල් (jugal) නමින් හඳුන්වන ජන වී ප‍්‍රභේදයේ වී ඇටයක් තුළ සහල් ඇට දෙකක් තිබෙනවා. සටීන් (sateen) ජන වී තුළ සහල් ඇට තුනක් හමු වනවා.

Anupam Paul talking about the traditional crop seeds at the First Bangalore Seed Festival, Sep 2013
Anupam Paul talking about the traditional crop seeds at the First Bangalore Seed Festival, Sep 2013

‘‘ජන වී ප‍්‍රභේදවල විවිධත්වයේ හා විචිත‍්‍රත්වයේ ඉඟියක් මෙයින් ලැබෙනවා. මේවා (අවභාවිතය නිසා) වඳ වී ගියොත් කෙතරම් තැත් කළත් නවීන විද්‍යාවට යළි බිහි කළ නොහැකියි. දැනට මේවා වගා කරන්නේ බටහිර බෙංගාලයේ ගොවීන් ටික දෙනකු පමණයි. මේ ගොවීන් සංඛ්‍යාව වැඩි කර ගැනීම අපේ ලොකු ම අරමුණයි,’’ ඔහු කියනවා.

‘‘මෙබඳු ගති ලක්ෂණ හරිත විප්ලවයෙන් හඳුන්වා දුන් වී ප‍්‍රභේදවල දකින්නට නැහැ. එම ගති සොබා ලබා දෙන ජාන, සාම්ප‍්‍රදායික වී වලින් වෙන් කොට නවීන වී ප‍්‍රභේදවලට මුසු කළත් එතරම් සාර්ථක වී නැහැ. සොබාදහම වසර මිලියන් ගණනක් පුරා බිහි කළ වී ප‍්‍රභේද ඉක්මවා යන්නට අපේ විද්‍යාවට තවමත් නොහැකියි.’’ පෝල් කියනවා.

සමහර ජන වී ප‍්‍රභේද ඉතා කුඩා පරිමාවක් ආහාරයට ගැනීම සෑහෙනවා. උදාහරණයක් නම් පච්චපෙරුමාල් වී ප‍්‍රභේදය. එහි තන්තු (fibre) ප‍්‍රමාණය වැඩියි. යකඩ හා විටමින් බී තිබෙනවා. ආහාරයට ගත් විට ප‍්‍රතිඔක්සිකරණයවීම සිදු වන නිසා පිළිකා ඇති වීම වැළැක්වීමට එය උපකාර වෙතැයි ඔහු කියනවා.

මේ අතර දෙමුහුන් වී ප‍්‍රභේදවලින් ලබා ගත හැකි වූ අධික වී අස්වැන්න කෙමෙන් අඩු වීමට පටන් ගෙන ඇතැයි පෝල් කියනවා. මෙයින් කැළැඹුණු ගොවීන් පෙර තිබු අස්වනු ලබා ගැනීමට වඩ වඩාත් කෘෂිරසායනික යෙදීම කරනවා. එහෙත් පසේ සාරවත් බව අඩු වී ගිය භූමියෙන් එක දිගට වැඩි අස්වනු ලබා ගැනීමට නොහැකියි.

දෙමුහුන් වී වර්ග, ලවණ මුසු වූ බිම්වල හෝ අර්ධ ශුෂ්ක ප‍්‍රදේශවල වගා කිරීමට ද නොහැකියි. එහෙත් එබඳු දුෂ්කර පරිසරවල වැවීමේ හැකියාව ඇති සමහර ජන වී ප‍්‍රභේද තිබෙනවා.

දෙමුහුන් වී ප‍්‍රභේදවල තව සීමා තිබෙනවා. ඒවා වැවීමට වැඩිපුර ජල ප‍්‍රමාණයක් අවශ්‍යයි. හරිත විප්ලවය හඳුන්වා දුන් බෝරෝ වී (Boro Rice) වැවීමට එක් කිලෝවක් සඳහා ජලය ලීටර් 3,000 – 4,000 පමණ කුඹුරට යෙදිය යුතුයි. ජල හිඟයකට මුහුණ දෙන අද මේ අවශ්‍යතාව පිරිමසා ගැනීම ලෙහෙසි නැහැ.

සියවස් ගණනක් තිස්සේ ජන වී (වගා කිරීම හරහා) රැක ගත්තේ රාජ්‍ය ආයතන හෝ විද්‍යාඥයන් නොව කුඩා පරිමාණයේ ගොවීන්. ඔවුන්ට නිලධාරි බලපෑම් හා වෙළඳපොල බාධක නැතිනම් තව දුරටත් එය කළ හැකියි. එහෙත් හැම කාරියකට ම මැදිහත් වීමේ වත්මන් රාජ්‍ය පාලන ක‍්‍රමය යටතේ ගොවීන්ට සාම්ප‍්‍රදායික බීජ සංරක්ෂණය පෙර තරම් ලෙහෙසි නැහැ.

ජීව විද්‍යාඥයන් හොඳින් දන්නා පරිදි  ඕනෑ ම ජීවි (ශාක හා සත්ත්ව) විශේෂයක පැවැත්ම හා සවිමත් ජාන පදනම රඳා පවතින්නේ එහි ප‍්‍රභේද වැඩි සංඛ්‍යාවක් සොබාවිකව පරිසරයේ රැඳී තිබීම හරහායි. හරිත විප්ලවය නිසා වගා කරන බෝගවල ප‍්‍රභේද විශාල ලෙස අඩු වූවා පමණක් නොව ඒවායේ වල් ප‍්‍රභේද (crop wild relatives) ද ක්ෂීන වී ගොසින්.

Dr Vandana Shiva. image courtesy seedfreedom.in
Dr Vandana Shiva. image courtesy seedfreedom.in

අනුපම් පෝල් ඇතුළු කාබනික වගාවේ හා ජන වී සංරක්ෂණයේ නිරත වූ බොහෝ දෙනකුට ආදර්ශය හා ප‍්‍රබෝධක ආවේගය ලැබෙන්නේ ආචාර්ය වන්දනා ශිවා (Dr Vandana Shiva) නම් ප‍්‍රකට ක‍්‍රියාකාරිනිය හරහායි. ඇය ඇරැඹූ නව්ධාන්‍ය (Navdanya.org) නම් සාමූහිකත්වයේ පෝල් යාවජීව සාමාජිකයෙක්.

වන්දනා ශිවා ඔහුට වරක් මෙසේ කීවා: ‘‘ඔබ රජයේ සේවකයකු ලෙස කෘෂි සමාගම්වල අවශ්‍යතාවලට අනුකූලව කටයුතු කෙරෙතැයි බලාපොරොත්තු වෙනවා. එසේ නොකරන ඔබ ඇත්තට ම කඩාකප්පල්කරුවෙක්!’’

ගොවිතැන් කරන බෝගවල ජාන විවිධත්වය රැක ගන්නට පරිසරවේදීන් ඇති තරම් උනන්දු නොවීම ඛේදවාචකයක් බව පෝල් කියනවා. ‘‘වන ජීවි විවිධත්වය වගේ ම කෘෂි බෝග විවිධත්වයත් අපේ පැවැත්මට අතවශ්‍යයි. එය හීන වී නැති වී ගියොත් අපට ආහාර සුරක්ෂිතභාවය අහිමි වනවා පමණක් නොව අපේ ජන සංස්කෘතියේ වැදගත් අංග ද විනාශ වනවා.’’

Indian Ecologist Dr Debal Deb speaks of conserving folk rice

See also:

18 August 2013: සිවුමංසල කොලූගැටයා #130: “හරිත විප්ලවය නිසා අපේ ගොවිතැන මංමුලා වුණා!” – රේ විජේවර්ධන

9 Sep 2012: සිවුමංසල කොලූගැටයා #82: රසායනික පොහොර ‘දෙවොලේ’ සිරගත වූ අපේ ගොවියා

16 Sep 2012: සිවුමංසල කොලූගැටයා #83: රසායනික පොහොර උගුලෙන් කාම්බෝජය ගලවා ගත් විප්ලවවාදියා

21 Aug 2011: සිවුමංසල කොලූගැටයා #28: සැබෑ හරිත විප්ලවයක් සොයා ගිය රේ විජේවර්ධන

28 Aug 2011: සිවුමංසල කොලූගැටයා #29: වෙලට නොබැස පොතෙන් ගොවිතැන් කරන කෘෂි විද්‍යාඥයෝ