Can newspapers survive the challenge from digital and online media?
Plenty of printer’s ink has been spent reflecting on this question. I once again addressed it when moderating a panel at the D R Wijewardene commemorative event held on 26 February 2016 at Lakshman Kadirgamar Institute, Colombo.
Wijewardene was Sri Lanka’s first Press Baron. About a century ago, he laid the foundation for his publishing house, Associated Newspapers of Ceylon Limited, which still remains a dominant player.
Many like me, of a certain age and above, seem to have a nostalgic attachment to newspapers. One key question for the print industry: beyond tapping such sentimental appeal (which diminishes over time), can newspapers stay relevant and viable? How can they adapt and evolve to keep serving the public interest?
Perhaps the more pertinent question to ask is: where are the budding D R Wijewardenes of the 21st Century? What are their start-ups and how are their dreams unfolding? Are they trying to balance reasonable profits with public interest journalism?
I discuss these in my Ravaya column (appearing in the print issue of 13 March 2016).
See also my op-ed article in English:
Sunday Observer, 6 March 2016: Can good journalism outlive newspapers?

පුවත්පත් කර්මාන්තයේ අනාගතය කෙබඳු විය හැකිද? ඩිජිටල් හා වෙබ් ප‍්‍රකාශන මාධ්‍යයන්ගේ සමාජ පැතිර යාම වසරක් පාසා වැඩි වීමත් සමග කඩදාසියේ මුද්‍රිත පත්තරවලට තව කොපමණ කලක් ආයුෂ තිබේද?
මේ ප‍්‍රශ්න ගැන මා කලෙක සිට අවධානයෙන් සිටිනවා. යළිත් වරක් මේ තේමාව යටතේ කතා කරන්නට හා සංවාද කරන්නට අවස්ථාවක් මෑතදී මතු වුණා.
ලේක්හවුස් ආයතනය සිය ආදි කර්තෘවර ඞී.ආර්. විජේවර්ධනයන්ගේ 130 වන ජන්ම සංවත්සරය සැමරීමට පෙබරවාරි 26 වැනිදා කොළඹදී රැස්වීමක් සංවිධානය කළා. එහිදී මුද්‍රිත පුවත්පත්වල සුරැකීම හා පරිණාමය මැයෙන් විද්වත් මණ්ඩපයක් පැවැත් වූ අතර, එය මෙහෙයවීමට මට ඇරැයුම් කොට තිබුණා.
මගේ විද්වත් මඩුල්ලේ සිටියේ සන්නිවේදන විශේෂඥ මහාචාර්ය රොහාන් සමරජීව, ප‍්‍රවීණ පත‍්‍රකලාවේදිනී හා සන්ඬේ ඔබ්සර්වර් පත‍්‍රයේ ජ්‍යෙෂ්ඨ කතුවර හැනා ඉබ‍්‍රාහිම්, ශ‍්‍රී ලංකා පුවත්පත් ආයතනයේ ප‍්‍රධානී කුමාර් ලෝපේස් සහ වෙරිටේ රිසර්ච් පර්යේෂණායතනයේ දේශපාලන හා මාධ්‍ය අංශ ප‍්‍රධානී සුමිත් චාමින්දයි.

ශ‍්‍රී ලංකාවේ පුවත්පත් කර්මාන්තය නවීකරණය කරමින් මෙරට මුල්ම සාර්ථක පත‍්‍ර හිමි ව්‍යාපාරිකයා (press baron) වූයේ විජේවර්ධනයි. 1832දී කලම්බු ජර්නල් දෙසතිපතා පත‍්‍රයෙන් ඇරැඹි අපේ පත‍්‍ර කලාව දශක ගණනක් පැවතුණේ සීමිත පිටපත් සංඛ්‍යාවක් ටික දෙනකු අතරට ගෙන ගිය කුඩා කර්මාන්තයක් ලෙසින්.
1910 හෝ 1915 පමණ වන විටත් පුවත්පතක පිටපත් තුන් හාර දහසකට වඩා විකිණුනේ නැහැ. බොහෝ පත‍්‍ර හා සඟරා ඇරඹුණත් වසර දෙක තුනකට වඩා පවත්වා ගත හැකි වූයේ අතළොස්සක් පමණයි. කළුකොඳයාවේ ප‍්‍රඥාශේඛර හිමියන් ලියු පුවත්පත් කලා ඉතිහාසය ග‍්‍රන්ථ මාලාවේ එය මැනවින් විස්තර කැරෙනවා.
කේම්බි‍්‍රජ් සරසවියෙන් නීතිඥයෙකු ලෙස උගෙන මෙරට ආ විජේවර්ධනට දේශපාලන ප‍්‍රතිසංස්කරණ සඳහා ජනමතය ගොඩනැංවීමට ඕනෑ වුණා. බි‍්‍රතාන්‍යයේ ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී අත්දැකීම් මත ඔහු තීරණය කළේ ඒ සඳහා පාර්ලිමේන්තුව, පත‍්‍ර කලාව හා දේශපාලන වේදිකාව ඉතා වැදගත් බවයි.
ඍජු දේශපාලනයට පිවිසෙනවා වෙනුවට ඔහු පත‍්‍ර කලාව හරහා ජනමතය හැසිරවීමේ මාර්ගය තෝරා ගත්තා.
විජේවර්ධන සිය මාධ්‍ය සමාගම ටිකෙන් ටික ගොඩ නැගුවේ ව්‍යාපාරිකව අසාර්ථක වූ පත‍්‍ර මිලට ගැනීමෙන්. මේ අනුව 1914දී දිනමිණ පත‍්‍රයට හිමිකම ලබා ගත්තා. 1918දී ද සිලනීස් (The Ceylonese) නම් පත‍්‍රය හිමිකරගෙන එය සිලෝන් ඬේලි නිවුස් Ceylon Daily News නමින් ප‍්‍රතිසංවිධානය කළා. 1923දී මෙරට පළ වු පැරණිම ඉංග‍්‍රීසි පත‍්‍රය වූ ඔබ්සර්වර් The Observer හිමිකර ගත්තා. තමන්ගේම අලූත් පත්තර බිහි කිරීම ඔහු පටන් ගත්තේ 1930දී සිළුමිණ හරහායි.
විජේවර්ධන ලේඛකයකු නොවෙයි. ජීවිත කාලය පුරාම ඔහු ලිපි දෙක තුනකට වඩා ලිව්වේ නැහැ. එහෙත් එකල සිටි දක්ෂතම පත‍්‍රකලාවේදීන් හා ලේඛකයන් සේවයට බඳවා ගෙන, ශූර කළමනාකරුවන්ගේ උදව්වෙන් ලේක්හවුස් පත‍්‍ර සමාගම ව්‍යාපාරිකව සාර්ථක පත්තර මහ ගෙදර බවට පත් කළා.
පත‍්‍රයේ අන්තර්ගතය මෙන්ම නිමාව හා මුද්‍රණය ගැනත් ඔහු අවධානය යොමු කළා. ඡායාරූප භාවිතය, අධිවේග මුද්‍රණය, රට පුරා නිසි ලෙස බෙදා හැරීම ආදිය සම්බන්ධයෙන් නවෝත්පාදනය කළා. ඔහු 1950 මිය යනවිට දිනමිණ පිටපත් 70,000ක් පමණද, ඬේලි නිවුස් පිටපත් 55,000ක් පමණද අලෙවි වුණා. තරගකාරී සමාගම්වල වෙළඳපොළ ද විජේවර්ධනගේ ඉදිරි දැක්ම නිසා පුළුල් වී තිබුණා.

විජේවර්ධනගේ ධනවාදී ක‍්‍රියා කලාපය හා ඔහු තෝරා ගත් දේශපාලන දැක්ම මෙහිදී අපට අදාල නැහැ. පත්තර යනු දිනපතාම ජනතා මනාපය මත වෙළඳපොළේ අලෙවි කැරෙන භාණ්ඩයක්. එහිදී මාධ්‍ය පාරිභෝගිකයාට ප්‍රයෝජනවත් යමක් ලබා දී එයින් සාධාරණ ලාභ ඉපැයීම මේ කර්මාන්තයේ මූලික හරයයි.
මහජන සේවාවක් කළත් පත්තර යනු පුණ්යායතන නොවෙයි. මේ පසුබිම තුළ විජේවර්ධනගේ ව්‍යාපාරික සාර්ථකත්වය අද වුවත් සමීපව අධ්‍යයනය කිරීම වටිනවා.
විජේවර්ධනගේ කාලයට වඩා අද යථාර්ථය බෙහෙවින් වෙනස්. 1925දී මෙරටට හඳුන්වා දෙන ලද රේඩියෝ මාධ්‍යය හා 1979දී මෙරටට ආ ටෙලිවිෂන් මාධ්‍යය සමග අනුගත වන්නට මුද්‍රිත මාධ්‍යයට හැකි වුණා.
පැය 24 පුරා එසැණින් පුවත් ගෙනෙන විද්‍යුත් මාධ්‍ය හමුවේ සිය අන්තර්ගතයේ ආකෘතිය වෙනස් කිරීමට පත්තරවලට සිදු වුණා. අද බොහෝ පත්තර කරන්නේ හුදෙක් පුවතක් වාර්තා කිරීමෙන් නොනැවතී එය විග‍්‍රහ කිරීම හා වාද විවාදවලට ඉඩක් දීමයි. මේ නිසා බටහිර දැන් newspaper යන නම වෙනුවට viewspaper යන්න භාවිත කැරෙනවා. (පුවත්පත වෙනුවට අදහස්පත).
එහෙත් 1995දී මෙරටට හඳුන්වා දුන් ඉන්ටර්නෙට් මාධ්‍යයෙන් පුවත්පතට එල්ල වන අභියෝගය රේඩියෝ හා ටෙලිවිෂන් දෙකේ අභියෝගයට වඩා ප‍්‍රබලයි.
මේ වන විට අපේ ජනගහනයෙන් 28%ක් පමණ ඉන්ටර්නෙට් භාවිත කරනවා. ඔවුන්ට තොරතුරු හා අදහස් ලබා ගන්නට අනේක විධ මූලාශ‍්‍ර ඉන්ටර්නෙට් හරහා විවර වනවා. මේ අනුව තව දුරටත් පත්තර මත යැපීම අවශ්‍ය නැති යථාර්ථයක් බිහි වෙලා.
ඇත්තටම අද ලොව බොහෝ රටවල දරුවන් හා තරුණ තරුණියන් මුද්‍රිත පත්තර කියවන්නේ නැහැ. සමහරු පත‍්‍රවල වෙබ් අඩවි කියවනවා. එහෙත් බහුතරයක් තොරතුරු ලබා ගැනීමට ගූගල්, ෆේස්බුක් හා වෙනත් වෙබ්ගත මූලාශ‍්‍රයන්ට යොමු වනවා.
මේ නිසා පත්තර අලෙවිය පහත වැටීම ලොව පුරා බොහෝ රටවල ප‍්‍රවණතාවක්. මෙයට එරෙහිව යන්නේ චීනය හා ඉන්දියාවයි. මේ දෙරටේ නම් මුද්‍රිත පත්තරවලට තවමත් හොඳ ඉල්ලූමක් තිබෙනවා. මෑතදී මධ්‍යම පාංතික වූ බොහෝ චීන හා ඉන්දියානු නිවෙස්වල (කියෙව්වත් නැතත්) පත්තරයක් ගැනීම සිරිතක්. පත්තරය කාටත් පෙනෙන්න ගෙයි සාලයේ දමා තිබීම හරහා අපිත් දැන් ඇති හැකි උදවිය යන පණිවුඩය වක්‍රව කියා පානවා.
එහෙත් ඒ දෙරටේ පවා නව පරපුර තොරතුරු සොයා ඩිජිටල් හා වෙබ් මාධ්‍යවලට පිවිසෙනවා. වැඩි ජනතාවක් වෙබ් මූලාශ‍්‍රවලට යන බව දකින දැන්වීම්කරුවන්ද ටිකෙන් ටික ඒවාට දැන්වීම් වැඩියෙන් දීමට පෙළඹෙනවා.
මේ නිසා කල් යත්ම මුද්‍රිත පත්තරවල අලෙවිය මෙන්ම දැන්වීම් ලැබීමද පහත වැටෙනවා. මේ පසුබිම් නිසා දශක ගණනක් සාර්ථකව පවත්වාගෙන ආ නාමධාරී බටහිර පුවත්පත් රැසක් මෑත කාලයේ වසා දමනු ලැබුවා.
සමහරක් පුවත්පත් දිනපතා මුද්‍රණය කරනු වෙනුවට සතියකට වරක් පළ කිරීමට යොමු වුණා. තවත් ඒවා මුද්‍රිත ප‍්‍රකාශනයක් වෙනුවට තනිකරම වෙබ්ගත ප‍්‍රකාශන බවට පරිණාමය වී තිබෙනවා. මෙහි අලූත්ම උදාහරණය බි‍්‍රතාන්‍යයේ ද ඉන්ඩිපෙන්ඩන්ට් (The Independent) පත‍්‍රයයි.
අපේ රටේ පුවත්පත් අලෙවි කැරෙන පිටපත් ගණන ගැන ස්වාධීන දත්ත නැහැ. හැම ප‍්‍රකාශන සමාගමක්ම තමන්ගේ අලෙවිය වැඩි කොට කියනවා. මෑතදී දෙමළ පත‍්‍ර කතුවරයෙක් මට කීවේ දිනකට පිටපත් හත්අට දහසක් විකිණෙන තම පත‍්‍රය දැන්වීම්කරුවන්ට නම් කියන්නේ විසිපන් දහසක අලෙවියක් ඇති බව කියායි.
බොහෝ පත්තර යළිත් මීට සියවසකට පෙර (විජේවර්ධන නවීකරණයට පෙර) තිබූ පරිදි පිටපත් හාර පන් දහසක් විකිණෙන තත්ත්වයට පත්වෙලා. ඒ මිලියන 21ක ජනතාවක් රටේ සිටියදීයි.
මේ පසුබිම තුළ අපේ රටේ බහුතරයක් පත‍්‍ර සමාගම් අද දිගින් දිගටම ව්‍යාපාරික පාඩු ලබනවා. නිෂ්පාදන වියදමවත් පිරිමසා ගන්නට දැන්වීම් ආදායමක් නැහැ. ලාභ ලබන පත‍්‍ර ප‍්‍රකාශන සමාගම් දෙක තුනක් හැරුණු කොට අන් සියල්ල පවත්වා ගෙන යන්නේ ව්යාපාරික අරමුණුවලට නොව දේශපාලන අරමුණු සඳහායි. නැතිනම් (වික්ටර් අයිවන් කලෙක සිට පෙන්වා දෙන පරිදි) කලූ සල්ලි සුදු කිරීම සඳහායි.
මෙවැනි මාධ්‍ය සමාගම්වලට පොදු උන්නතිය වෙනුවෙන් සම්භාව්‍ය පත‍්‍ර කලාවක් කිරීමට සැබෑ වුවමනාවක් නැහැ. එම උතුම් අරමුණ ඇති මාධ්‍යවේදීන් හා කතුවරුන් ටික දෙනකු හෝ එම ආයතනවල සිටියත් ඔවුන්ට වෘත්තියේ ගරුත්වය රැක ගෙන කටයුතු කිරීමට ඉඩක් ද නැහැ.
මහජනතාවට වග නොකියන, වෙනත් අරමුණු සඳහා සමහර විට එළිපිටම පෙනී සිටින පත්තර ගැන ජන ප‍්‍රසාදය ටිකෙන් ටික අඩු වෙමින් පවතිනවා. මෙය මුලු පුවත්පත් කර්මාන්තයටම අහිතකරයි.
ඞී. ආර්. විජේවර්ධන අද ජීවත්ව සිටියා නම් ඔහු කුමක් කරනු ඇත්ද? මේ ප‍්‍රශ්නය අපේ සාකච්ඡාවෙත් මතු වුණා. සියවසකට පසු ඔහු මාධ්‍ය සමාගමක් ගොඩ නගනවා නම් රේඩියෝ, ටෙලිවිෂන් හා වෙබ් තුනම වෙත යොමු වන බවට අදහසක් කිය වුණා.
මා සිතන්නේ මේ ප‍්‍රශ්නය අප වෙනස් ආකාරයකින් ඇසිය යුතු බවයි. එනම් අපේ කාලයේ ඞී. ආර්. විජේවර්ධනලා කොහේද? පවතින තාක්ෂණය හා වෙළඳපොළ සාධකයන් මනාව හසුරුවා ගනිමින් පොදු උන්නතිය උදෙසා පුවත්පත් කලාවේ මූලධර්ම අදාල කර ගන්නා නව ව්‍යාපාර ආකෘතීන් බිහි වෙමින් තිබේද? එසේ නැත්නම් ඒ ඇයි?

මෙහිදී අප සාම්ප‍්‍රදායික පත‍්‍රවල වෙබ් අඩවිවලින් ඔබ්බට ගොස් වෙබ් හරහාම තොරතුරු හා අදහස් ප‍්‍රකාශනය කරන සංවිධානාත්මක මාධ්‍ය හා ව්‍යාපාර මට්ටමෙන් කැරෙන උත්සාහයන් සොයා යා යුතුයි. (බ්ලොග් රචකයන් හා පුරවැසි මාධ්‍යකරුවන් ද මේ නව මාධ්‍ය පාරිසරික පද්ධතියේ වැදගත් භූමිකා ඉටු කරමින් සිටියත් ස්වේච්ඡාවෙන් වැඩකරන ඔවුන්ට යා හැකි දුර පරාසය සීමිතයි.)
අපේ රටේ මෙයට උදාහරණ තවමත් ඇත්තේ අතලොස්සක්. ඒවාද බහුතරයක් ඉංග‍්‍රීසි බසින්. ව්‍යාපාරික පුවත් මනාව වාර්තා කරන හා විග‍්‍රහ කරන LBO.lk yd Economy Next වෙබ් අඩවි මේ ගණයට අයත්. සමාජයීය ප‍්‍රශ්න නවතම ලෙසින් විග‍්‍රහ කරන Roar.lk වෙබ් අඩවියද විභවයක් ඇති උත්සාහයක්.
මා මේ සඳහන් කළ වෙබ් ප‍්‍රකාශන පත‍්‍ර කලාවේ මූලධර්ම ප‍්‍රගුණ කරන, වෘත්තිමය මට්ටමේ මාධ්‍ය ලෙස හඳුනාගත හැකියි. මෙයට අමතරව නොයෙක් පුවත්වෙබ් අඩවි ගණනාවක් තිබෙනවා. ඒවායේ ප‍්‍රමිතිය එක සමාන නැහැ. සමහරක් ආචාර ධර්මීය හා වෘත්තිමය ලෙස ක‍්‍රියා කරන අතර, අනෙක්වා ඕපා¥ප හා අන්තවාදී මත බෙදා හැරීමේ නිරත වෙනවා. මේ හැම එකක් ගැනම සමාජ විද්‍යාත්මක හා ජන සන්නිවේදන පර්යේෂකයන් විවෘත මනසකින් යුතුව පර්යේෂණ කිරීම අවශ්‍යයි.
අපේ කාලයේ විජේවර්ධනලා බිහි වීමට උදව් වන විදියේ ආකල්පමය වෙනසක් අපේ දැන්වීම්කරුවන්, හා දැන්වීම් සමාගම් අතර ද සිදුවිය යුතුයි. මේ පිරිසේ බහුතරයක් නව යථාර්ථයට අනුගත වීමට පැකිලෙන, ගතානුගතික මානසිකත්වයක් ඇති අයයි.
2014දී මෙරට මාධ්‍යවල සමස්ත දැන්වීම් සඳහා කරන ලද වියදම රුපියල් බිලියන 77ක් බව නීල්සන් පර්යේෂණ සමාගම කියනවා. මෙයින් 71%ක් ටෙලිවිෂන් දැන්වීම් සඳහාත්, 20%ක් රේඩියෝ මාධ්‍යයටත් යොමු වූ අතර පත්තරවලට ආයේ 8%ක් පමණයි. ඩිජිටල් හා වෙබ් මාධ්‍යවලට යොමු වූයේ 1%ට අඩු දැන්වීම් ප‍්‍රමාණයක්.
මේ නිසා නව මාධ්‍ය හරහා පොදු උන්නතියට කැප වූ නවෝත්පාදන කිරීමේදී හරිහැටි ආදායම් උපදවා ගැනීමේ ලොකු අභියෝගයක් තිබෙනවා. කියවන වෙබ් පාඨකයන්ගෙන් කුඩා පරිමාණ මුදල් අය කරගැනීම ^Pay wall& ද එතරම් සාර්ථක උපක‍්‍රමයක් නොවෙයි.
මගේ විග‍්‍රහයට අනුව මාධ්‍ය කර්මාන්තයේ ව්‍යාපාරික සාර්ථකත්වය සඳහා තාක්ෂණයට අනුගත වීමටත් වඩා තීරණාත්මක සාධකයක් තිබෙනවා. තාක්ෂණය හා ප්රාග්ධනය වැදගත් වුවත් මහජන විශ්වාසය දිනා ගැනීමට නොහැකි නම් කිසිදු මාධ්යයකට සාර්ථක වීමට බැහැ.
මහජන විශ්වාස නොලබා, ව්‍යාපාරික සාර්ථකත්වය නොමැතිව වෙනත් අන්දමින් නඩත්තු කර ගෙන යන මාධ්‍ය සමාගම් කරන්නේ පුවත්පත් කලාවක් නොව දැන්වීම් කලාවක් හෙවත් ප‍්‍රචාරණයක් ^Propaganda& පමණයි. ඒවාට මාධ්‍ය ආයතන කීමත් වැරදියි.
කලක් දැවැන්ත මාධ්‍ය ආයතන ලෙස පැවති දෙකක් වැහැරී ගොස්, අසාධ්‍ය බවට පත්ව වසා දමනු මගේ ජීවිත කාලය තුළ මා දැක තිබෙනවා. 1985දී ටයිම්ස් ඔෆ් සිලෝන් සමාගමත්, 1990දී ස්වාධීන පුවත්පත් සමාගම (දවස නිවසත්) ඒ ඉරණමට ලක් වුණා.
අවසන් කාලයේ ඒ සමාගම් දෙක නවීන ඕෆ්සෙට් මුද්‍රණ යන්ත‍්‍ර සවි කළත් එයින් වැඩක් වුණේ නැහැ. මේ ආයතන දෙකේ පිරිහීමට සාධක රැසක් දායක වූ අතර පාඨක විශ්වාසය හා සමාජ පිළිගැනීම පිරිහී යාමද එයට හේතු වූවා.
සියලූ පත්තර හා අන් මාධ්‍ය සමාගම්වලට මෙයින් පාඩමක් උගත හැකියි. එනම් කෙතරම් දැවැන්ත වුවද පාඨක/ග‍්‍රාහක විශ්වාසය නැති වූ මාධ්‍ය සමාගමකට දිගු කාලීන පැවැත්මක් නැති බවයි.
කලූ සල්ලිවලින් හෝ හිමිකාර සමාගමේ වෙනත් ව්‍යාපාරවල ආදායමින් හෝ පත්තර යම් කලක් නඩත්තු කර ගෙන යා හැකි වුවත් එසේ ගිය හැකි දුරක් තිබෙනවා. අතළොස්සක් කියවන, කිසිවකුත් විශ්වාස හෝ ගරු නොකරන පත්තරයක් පාඩු පිට දිගටම කර ගෙන යාමේ ඵලය කුමක්ද?
වැඩි වැඩියෙන් පාඨකයන්/ග‍්‍රාහකයන් පත්තරවලින් වෙනත් මාධ්‍යවලට යොමු වන්නේ තාක්ෂණයේ ආකර්ශනය නිසාම නෙවෙයි. ඔවුන්ගේ අවශ්යතාවලට සරිලන අන්තර්ගතයක් දීමට අපේ පත්තර බහුතරයක් අසමත් වීම නිසා යයි මා තර්ක කරනවා. ඉදිරි වසරවල මේ ප‍්‍රවණතා තවත් ප‍්‍රබල වනු ඇති.
මුද්‍රිත පත්තරවලට එහා දිවෙන අනාගතයක් පත‍්‍ර කලාවට තිබෙනවා. ඒ නව මාධ්‍ය ලෝකය හරහා පොදු උන්නතිය ප‍්‍රවර්ධනය වනු දැකීම මගේ ලොකුම පැතුමයි. තව දුරටත් සමාජයට වැඩක් නැති හන මිට්ටන් හා ප‍්‍රචාරකරුවන් වඳ වී ගියාවේ!