Threatening the mirror…
In this week’s Ravaya column (in Sinhala), I return to the oft-discussed topic of social media in today’s Lankan society.
If media mirror the realities of its land and times, don’t social media reflect its society as well? And if some among us don’t like what is expressed by fellow citizens using social media platforms, could it be that many inconvenient issues and questions – excluded in the mainstream media – are being raised?
Yes, we need to discuss the social, cultural and political implications of growing social media use. However, that debate will not be served by insular and insecure mindsets that see every aspect of globalization as a threat or conspiracy.
බීබීසී සිංහල සේවයේ වැඩ කරන ලාංකික මාධ්‍යවේදියෙක් විටින් විට මට දුරකථනයෙන් කථා කොට පසුබිම් කරුණු විමසනවා. සමහර අවස්ථාවල සම්මුඛ සාකච්ඡා ද ලබා ගන්නවා. නව මාධ්‍ය ගැන ඔහුට කුතුහලයක් ඇතත් ඔහු ඒ ගැන සැම විටම බලන්නේ වපර ඇසකින්.
අපේ හැම සංවාදයක්ම ඉක්මනින් යොමු වන්නේ ‘මේ සමාජ මාධ්‍යවලට ආචාර ධර්ම හෝ සමාජ වගකීමක් නැහැ නේද?’ යන්නටයි.
වරක් මා ඔහුගෙන් ඇසුවේ ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍ය සියල්ලම ආචාර ධර්මවලට අනුව සැම විටම කටයුතු කරනවා ද කියායි. බීබීසීයට යන්නට පෙර මුළු වෘත්තීය කාලයම රජයේ ගුවන් විදුලියේ වැඩ කළ ඔහු එවිට කීවේ ‘‘රාජ්‍ය මාධ්‍ය නම් සැම විටම වගකීමෙන් කටයුතු කරන නමුත් සමහර FM නාලිකා එසේ නොකරන’’ බවයි.
ඔහුගේ තර්කයට අනුව මෙරට මාධ්‍ය රැසක් අතරින් වගකීමෙන් කටයුතු කරන්නේ රාජ්‍ය නාලිකා පමණයි! පෞද්ගලික රේඩියෝ නාලිකා හා සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් හිතුමතයට තොරතුරු හා අසත්‍යයන් පතුරුවන බවත්, සංයමයකින් තොර බවත් ඔහු කියනවා.
රජයේ මාධ්‍ය බලයේ පවතින රජයට සුවචව, කීකරුව ක‍්‍රියා කරන බව නම් සැබෑයි. එහෙත් ඒවා ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ අයිතියට ගරු කරනවා ද හෝ ආචාර ධර්මීය රාමුවක ක‍්‍රියා කරනවා ද යන්න නම් අතිශයින් විවාදාත්මකයි.
බීබීසී ගතානුගතිකයා උදාහරණයක් ලෙස මා ගත්තේ වාරණවලින් තොර මාධ්‍ය පරිසරයකට ගිය පසු පවා අපේ සමහර ඇත්තන්ට තමන් ජීවිත කාලයක් පුරා පටවා ගත් මතවාදී පොට්ටනි බිමින් තබන්නට බැරි සැටි පෙන්වීමටයි. එසේම අළුත් හැම දෙයක්ම හෙළා දකින හෝ ප‍්‍රතික්‍ෂෙප කරන හෝ පුරුද්ද පිළිබිඹු කිරීමටයි.
සමාජ මාධ්‍ය හරහා විවිධාකාරයේ පුරවැසි මාධ්‍යකරුවන් අළුත්ගම සිදුවීම් ගැන තොරතුරු හා මත දැක්වීම් බෙදා ගත් අකාරය ගැන ප‍්‍රධාන ප‍්‍රවාහයේ සමහර උදවිය ලියූ කතුවැකි හා කළ වෙනත් ප‍්‍රකාශයන් මට සිහිපත් කළේ බීබීසී ගිය ලාංකික හණමිටිකාරයායි.
29 June 2014: සිවුමංසල කොලූගැටයා #174: සමාජ මාධ්‍ය ඇවිලෙන ගින්නට පිදුරු දැමීමක්ද?
වෙබ්ගත සමාජ මාධ්‍යවලට දොස් තැබීම මේ දිනවල ජනප‍්‍රිය රැල්ලක් වෙලා. ඒ ගැන දන්නා – නොදන්නා බොහෝ දෙනා සමාජ මාධ්‍ය විවේචනය කරන්නේ හරියට රටේ සියළු දොස්වලට හේතුව සමාජ මාධ්‍ය භාවිතය කියන්නාක් මෙන්.
ඇත්තටම සමාජ මාධ්‍ය ගැන ගැඹුරු හා මැදහත් සංවාදයක් අවශ්‍යයි. එහෙත් බොරුවට නිදා සිටින උදවිය අවදි කළ නොහැකි සේ තමන්ගේ මතයට දැඩි ලෙස එල්බ සිටින අයත් සමග හරවත් සංවාද කිරීම ද අපහසුයි.
සෙසු මාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍ය හරහා ද අප දකින්නේ ලක් සමාජයේ පවතින යථාර්ථය, විවිධත්වය හා විසමතායි. ඒ නිසා එය කැඩපතක්.
කැඩපතකින් අප දකින පිළිබිඹුවට අප නොකැමති නම් කැඩපතට දොස්කීම හෝ තර්ජනය කිරීම නිෂ්ඵල ක‍්‍රියාවක්.
පණිවුඩය රැගෙන එන්නට පහර දෙන්න එපා (Don’t attack the messenger) යයි කියමනක් කලක සිට ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍ය අරභයා කියනවා. එසේම සමාජ මාධ්‍ය ගැන කිව හැක්කේ අමිහිරි සංවාද ඇසු දුටු පමණින් ඒවා සිදු වන වේදිකාවට ගිනි තබන්නට එපා යන්නයි.
සමාජ මාධ්‍ය ගණයෙහි ලා ගැනෙන බ්ලොග් අඩිවි, ෆේස්බුක්, ට්වීටර්, යූ ටියුබ් ඇතුළු වෙනත් වේදිකාවල සන්නිවේදනය කරන්නේ මේ රටේ සාමාන්‍ය ජනතාවයි. ඔවුන් පුරවැසි මාධ්‍යවේදීන් වනවා ද නැද්ද යන්න ගැන අපට විවාද කළ හැකියි.
පුරවැසි මාධ්‍යකරණයේ එක් මූලික ලක්‍ෂණයක් වන්නේ කිසිදු අවසරයක්, පාලනයක් නැතිව කෙලින් ම අදහස් දැක්වීම. අප අද කාලේ එය ඉන්ටර්නෙට් හරහා කරන සන්නිවේදනයක් ලෙස හඳුනා ගත්ත ද එයට සංකල්පමය වශයෙන් ඊට වඩා දිගු ඉතිහාසයක් තිබෙනවා.
සීගිරියේ කැටපත් පවුරේ කුරුටු ගී/ලිපි ලිව්වේ අවසර ලබා ගෙන නොවෙයි. සීගිරි බිතු සිතුවම්වල සිටින අප්සරාවන් ගැන සියවස් ගණනක් පුරා එහි ගිය ඇතැම් දෙනා තමන්ගේ අදහස් හා හැගීම් එහි ලියා තිබෙනවා. සීගිරි කුරුටු ගී/ලිපි ලියූ හැම අයකු ම මීට සියවස් ගණනකට පෙර මෙරට විසූ පුරවැසි මාධ්‍යවේදීන්!
4 August 2013: සිවුමංසල කොලූගැටයා #128: සීගිරි කැටපත් පවුරෙන් ඇරැඹුණු පුරවැසි මාධ්‍යවේදය
අද වෙබ් හා ඩිජිටල් තාක්‍ෂණයන් හරහා එම පහසුකම් හැසිරවීමේ හැකියාව ඇති ඕනෑ ම කෙනෙකුට තමන්ගේ අදහස්, මතවාදයන් ඉක්මනින් ලෝකයට ම බෙදිය හැකියි.
මේ නූතන පුරවැසි මාධ්‍යකරණයේ ආගමනය සිදු වුයේ 1990 දශකය අග භාගයේ පටන්. (පුරවැසි මාධ්‍යවේදයේ පැහැදිලි නිර්වචනය නම් වැටුප් නොලබා, දොරටු පාලකයන් නැතිව අදහස් ප‍්‍රකාශනයයි. එසේ නොවන පුවත් වෙබ් අඩවි හා විවිධ දේශපාලන වෙඞ් අඩවි මේ ගණයට වැටෙන්නේ නැහැ.)
බ්ලොග්කරුවන් බහුතරයකුත්, අනෙක් සයිබර් වේදිකා යොදා ගන්නා අයගෙන් සමහරකුත් පමණක් නිරතුරුව හා ඉලක්කයක් ඇතිව සන්නිවේදනය කරනවා. ඉතිරි අය ඉඳහිට හිතට එන සිතිවිල්ලක් හෝ හසු වූ ඡායාරූපයක් බෙදා හදා ගන්නා උදවියයි.
එහෙත් ජන සමාජයම සලිත කරවන අලූත්ගම හෝ වැලිවේරිය ම්ලේච්ඡත්වය වැනි සිදුවීමක් ඇතිවූ විට සාමාන්‍යයෙන් පොදු අවකාශයේ සන්නිවේදනය නොකරන බොහෝ දෙනා ද ඒ ගැන සංවාදවලට පිවිසෙනවා.
පොදු ජන ආවේග තීව‍්‍ර වූ විටෙක මත දැක්වීමට හෝ තමන් රිසි මත බෙදා ගැනීමට බොහෝ දෙනා පෙළඹෙනවා. මෙය අදහස් ප‍්‍රකාශනයට හා තොරතුරු ග‍්‍රහණයට සියළු මානවයන්ට ඇති මූලික අයිතියක් ප‍්‍රගුණ කිරීමක්. ඒ සඳහා කාගෙන්වත් අවසර ඕනෑ නැහැ.
අලූත්ගම ප‍්‍රචණ්ඩත්වයට පෙර හා පසු සමාජ මාධ්‍ය ගැන මෙරට ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍යකරුවන් කළ විග‍්‍රහයන් හා ලියූ කතුවැකිවලින් පෙනී යන්නේ තමන්ට නුපුරුදු අලූත් මාධ්‍යයක් හා සමාජ ප‍්‍රවණතාවක් ගැන ඔවුන් සැකයෙන්, භීතියෙන් සිටින බවයි.
එසේම තමන්ට බලපවත්නා නිල හා නොනිල සීමාවන් එලෙසින් අදාල නොවන නව මාධ්‍ය ගැන කුහක ඉරිසියාවක් ඔවුන් තුළ ඇති. ජාතික ආරක්‍ෂාව, සංස්කෘතිය හා සදාචාරය ගැන තර්ක අතර සැඟවුණු සැබෑව එයයි.
සමාජ මාධ්‍ය තමන්ගේ තරගකරුවකු ලෙස සමහර ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍ය සැළකීම මුළුමනින්ම වැරදි වැටහීමක් මත පදනම් වූ ස්ථාවරයක්. සමාජ මාධ්‍ය ආයතනික හෝ වාණිජමය මාධ්‍ය අංගයක් නොවෙයි. එය කැමති කෙනෙකුට ගොඩ විය හැකි වේදිකාවක් පමණයි.
Speakers’ Corner, Hyde Park, London
ඕනෑම කෙනකුට නැගී කථාවක් පැවැත්විය හැකි ලෑලි පෙට්ටි ලන්ඩන් නුවර හයිඞ්පාක් උද්‍යානයේ තිබෙනවා. අනේකවිධ මතධාරින් එතැනට පැමිණ විවිධාකාර කථා කරනවා. සමහරුන්ට පේ‍්‍රක්‍ෂක පිරිසක් එක් රැස් වෙතත් අනෙක් අය ඔහේ හුදකලාව කථා කරනවා. එය එරට අදහස් ප‍්‍රකාශනයට ඇති නිදහසේ කොටසක්.
හයිඞ්පාක් පෙට්ටි උඩ කරන කථා නිසා තමන්ට අභියෝග එල්ල වෙතැයි බීබීසීය හෝ එරට ප‍්‍රධාන ප‍්‍රවාහයේ රේඩියෝ හා ටෙලිවිෂන් නාලිකා සිතන්නේ නැහැ. සමහර වෙලාවට ජනතාවගේ සිතුම් පැතුම් ගැන ඉඟියක් ලබන්නට ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍යවේදීන් ද හයිඞ්පාක් වෙත පැමිණ කියන දේ අසා සිටිනවා. වැඩ වර්ජන අවස්ථාවල ඔවුන් සමහරුන් ද ලෑලි පෙට්ටියට ගොඩ වී කථා පවත්වනවා.
උපමිතියක් ලෙස ගත හොත් සමාජ මාධ්‍ය යනු ලෝක ව්‍යාප්ත සයිබර් උද්‍යානයක තිබෙන ලෑලි පෙට්ටි වගෙයි. එයට ගොඩවන්නට හා කථා කරන්නට අවසර ඕනෑ නැහැ. දෙපාවාරු ඇත්නම්, කට හඬ තිබේනම් ඕනෑම කෙනකුට කළ හැකියි.
එසේම එහි නැගී කුණුහරුප හෝ අපභ‍්‍රංශ කීවොත් ප්‍රෙක්‍ෂකයෝ නික්ම යාවි. නැත්නම් හූ කියා පලවා හරීවි. අන්තවාදී සන්නිවේදන ජනතාව හරහා ම සමනය වන නොනිල සංසිද්ධියක් වෙබ්ගත සමාජ මාධ්‍ය තුළ ක‍්‍රියාත්මක වනවා. Wisdom of the crowd යයි මෙය හැඳින්වෙනවා.
සමාජ මාධ්‍ය හෙළා දැකීම, තහනම් කිරිම හෝ අනවශ්‍ය ලෙස නියමනය කිරීම වෙනුවට සමාජ මාධ්‍ය හරවත් ලෙස කාලීන සමාජ සංවාදවලට අමතර වේදිකාවක් කර ගත හැකියි.
ඉන්දියාවේ නව අගමැති නරේන්‍ද්‍ර මෝඩි හා ඔහුගේ රජය මේ ගැන විශේෂ උනන්දුවක් දක්වනවා. සියළු රාජ්‍ය ආයතන, වෙබ් අඩිවි පවත්වා ගන්නවාට අමතරව ප‍්‍රකට සමාජ මාධ්‍ය හරහා ද ජනතාවට සමීප විය යුතු බව නව රජයේ පිළිවෙතයි. මෙයට තාක්‍ෂණික හෝ උපක‍්‍රමීය උපදෙස් අවශ්‍ය නම් අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හා වෙනත් රාජ්‍ය ආයතනවලට එය ලබා දීමට විශේෂ සයිබර් උපදේශක බලකායක් ද පිහිටුවා තිබෙනවා.
අපේ රටේ ද රාජ්‍ය ආයතන සමාජ මාධ්‍ය හරහා ජනතාව සමග සන්නිවේදන සවිමත් කළ යුතු බවට ජනාධිපතිවරයා මෑතදී කියා තිබුණා. එහෙත් මෙය ප‍්‍රායෝගිකව ක‍්‍රියාත්මක කරන්නට අවශ්‍ය දැක්ම, කැපවීම හා හැකියාව තිබේද?
මෙරට රාජ්‍ය ආයතනවලට නිල වශයෙන් මේ ගැන උපදෙස් දෙන්නේ පරිගණක හා තොරතුරු තාක්‍ෂණ ඒජන්සියයි (ICTA). රාජ්‍ය වෙබ් අඩවි වඩා විධිමත් ලෙසින් හා ත‍්‍රීභාෂාමය වශයෙන් සකස් කිරීමට ඔවුන් දායක වී ඇතත් සමාජ මාධ්‍ය ගැන ඔවුන්ට නිසි දැක්මක් ඇතැයි පෙනෙන්නේ නැහැ. ට්විටර් සයිබර් වේදිකාවේ නිල ගිණුමක් ඔවුන්ට ඇතත් (@icta_srilanka ), එය ඇරැඹූ දා සිට 2014 ජුලි 9 වනතුරු ප‍්‍රකාශිත ට්විට් සංඛ්‍යාව 338යි.
ටෙලිකොම් නියාමන කොමිසම ඊටත් වඩා පිටුපසින්. 2013 සැප්තැම්බරයේ ඇරැඹූ නිල ට්විටර් ගිනුමෙන් (@TRCSL ) 2014 ජුලි 9 වන තුරු නිකුත් කර ඇත්තේ පණිවුඩ දෙකක් පමණයි. ඒවා ද අත්හදා බලන මට්ටමේයි.
මේ ආයතනවලට සාපේක්‍ෂව ජනාධිපති රාජපක්‍ෂගේ නිල ට්විටර් ගිනුම (@PresRajapaksa ) සක‍්‍රීයයි. 2014 ජුලි 9 වන විට ඒ හරහා ට්විට් පණිවුඩ 2,360ක් නිකුත් කර තිබෙනවා. එසේම ඒවා සිංහල, දෙමළ හා බහුතරයක් ඉංග‍්‍රීසියෙන් ලියැවී තිබෙනවා. ඔහු වචන මෙන්ම පින්තූර ද බෙදා ගන්නවා.
ලෝකයේ රාජ්‍ය නායකයන් ට්විටර් ගිනුම් (නිල) භාවිත කරන ආකාරය නිරික්සා සැසඳීම් කැරෙනවා. මේ අනුව බොහෝ නායකයන් ට්විටර් යොදා ගන්නේ ද රේඩියෝ හා ටෙලිවිෂන් මෙන් තම තොරතුරු හා මතයන් ප‍්‍රකාශයට පත් කිරීමේ මූලික අරමුණටයි. ඒ හැරුණු විට සංවාදවලට ඉඩ තබන්නේ නායකයන් ටික දෙනකු පමණයි.
Cartoon by Gihan De Chickera, Daily MIrrir, Sri Lanka