සිවුමංසල කොලු ගැටයා #363: සිනමාවෙන් ජීවන දර්ශනයක් සොයා ගිය ලෙස්ටර් ජේම්ස් පීරිස්

In my Ravaya column published in the printed edition of 6 May 2018, I look back at the long and illustrious career of Sri Lanka’s grand old man of the cinema, Lester James Peries (1919-2018) who died last week. As others assess his major contributions to the Sinhala cinema and in evolving an Asian cinema, I focus on his role as a public intellectual — one who wrote widely on matters of culture and society.

Lester James Peries quote

ලෙස්ටර් ජේම්ස් පීරිස් (1919-2018) සූරීන් රටත් ලෝකයත් හඳුනා ගත්තේ ආසියානු සිනමාවේ දැවැන්තයකු ලෙසයි. ඔහු ගැන කැරෙන ආවර්ජනා හා ප්‍රණාමයන් බොහෝමයක් හුවා දක්වන්නේත් එයයි.

එහි කිසිදු වරදක් නැතත්, ලෙස්ටර් සිනමාකරුවකු පමණක් නොවෙයි. පත්‍ර කලාවේදියකු ලෙස වෘත්තීය ජීවිතය ඇරැඹූ ඔහු ජීවිත කාලය පුරා ඔහුගේ මවු බස වූ ඉංග්‍රීසියෙන් ලේඛන කලාවේ යෙදුණා. ඔහුගේ සියුම් වූත් සංවේදී වූත් චින්තනය මේ ලේඛන තුළින් ද මැනවින් මතු වනවා.

ඉංග්‍රීසි බස ව්‍යක්ත ලෙසත්, හුරුබුහුටි ලෙසත් හැසිරවීමේ සමතකු වූ ඔහු පොදු උන්නතියට කැප වූ බුද්ධිමතකු (public intellectual) ලෙසත් අප සිහිපත් කළ යුතු බව මා සිතනවා. අද තීරු ලිපිය වෙන් වන්නේ ලෙස්ටර්ගේ මේ භූමිකා මදක් විමසා බලන්නයි.

2005දී ආසියානු සිනමා කේන්ද්‍රය ප්‍රකාශයට පත් කළ ‘ලෙස්ටර් ජේම්ස් පීරිස් – දිවිගමන හා නිර්මාණ’ (Lester James Peries: Life and Works) නම් ඉංග්‍රීසි පොතෙහි ලෙස්ටර්ගේ ජීවිතයේ මේ පැතිකඩ ගැන බොහෝ තොරතුරු අඩංගුයි.

එය රචනා කළේ සිනමාවටත්, කලා ක්ෂේත්‍රයටත් සමීපව සිටි මහාචාර්ය ඒ. ජේ. ගුණවර්ධනයි (1932 – 1998). එහෙත් අත්පිටපත පරිපූර්ණ කිරීමට පෙර ඔහු අකාලයේ මිය ගිය පසු එම කාරියට අත ගැසුවේ ඇෂ්ලි රත්නවිභූෂණ හා රොබට් කෲස් දෙදෙනායි.

Prof A J Gunawardana and Lester James Peries (from the cover of LJP: Life and Work)

මේ පොතට ලෙස්ටර් ගැන ශාස්ත්‍රීය ඇගැයීමක් ලියා තිබෙන්නේ සන්නිවේදන මහාචාර්ය විමල් දිසානායකයි. ලෙස්ටර් සිනමාවෙන් කළ හපන්කම් තක්සේරු කරන අතරම ඔහුගේ සමාජ විඥානය, සාංස්කෘතික චින්තනය හා පොදු අවකාශයේ දශක ගණනක් සැරිසැරූ බුද්ධිමතකු ලෙස කළ දායකත්වය ගැනත් එයින් විවරණය කැරෙනවා.

”පොදු උන්නතියට කැප වූ බුද්ධිමතකු ලෙස ලෙස්ටර්, පුවත්පත් ලිපි, රේඩියෝ සාකච්ඡා හා සජීව මහජන සංවාද හරහා සිනමාව, කලාව හා සංස්කෘතික තේමා ගැන නිතර සිය අදහස් ප්‍රකාශක කළා. වාරණය කලාවට කරන අහිතකර බලපෑම්, සිනමා සංරක්ෂණාගාරයක අවශ්‍යතාව හා ළමා සිනමා ධාරාවක් බිහි කිරීමේ වැදගත්කම ආදී විවිධ මතෘකා ගැන විවෘතව පෙනී සිටියා” යයි මහාචාර්ය දිසානායක කියනවා.

තවත් තැනෙක මහාචාර්ය විමල් දිසානායක මෙසේ ලියා තිබෙනවා. ”සිනමාකරුවකු ලෙස සිය නිර්මාණ හරහා ලෙස්ටර් තත්කාලීන සමාජ ප්‍රශ්නවලට ඇති තරම් අවධානය යොමු නොකළා යයි සමහරුන් කියනවා. එහෙත් එය නිවැරැදි හෝ සාධාරණ නැහැ. සිනමා අධ්‍යක්ෂවරයකු ලෙස ලෙස්ටර්ගේ මූලික තේමාව වී ඇත්තේ ලක් සමජයේ මධ්‍යම පාන්තිකයන්ගේ නැගීම හා පිරිහීම ගැනයි. මධ්‍යම පන්තියේ පවුල් ජීවිත අරගලයන්ට පසුබිම් වන සමාජ, ආර්ථීක හා මනෝ විද්‍යාත්මක පසුබිම ඔහු මැනවින් ග්‍රහනය කරනවා. ඒ හරහා රටේ සිදු වෙමින් පවතින සමාජයීය හා සාංස්කෘතික පරිනාමයන් ඔහු විචාරයට ලක් කරනවා. මෑත කාලීන සමාජයේ සෙමින් නමුත් සැබැවින්ම සිදු වන විපර්යාස ගැන ඔහුගේ සිනමා නිර්මාණවල යටි පෙලෙහි බොහෝ නිරීක්ෂණ තිබෙනවා.”

සිය චිත්‍රපටවල දේශපාලන හා සමාජ විචාරය සියුම්ව මතු කළ ලෙස්ටර්, පුවත්පත් ලිපි, විද්වත් සංවාද ආදියෙහි ඊට වඩා ඍජුව සමාජ ප්‍රශ්න විග්‍රහ කළා. එහිදීත් ඔහුගේ බස හැසිරවීම සරලයි. උපාහසය හා හාස්‍යය මුසු කළ ශෛලියක් ඔහුට තිබුණා.

උදාහරණයකට ඔහු වරක් කළ මේ ප්‍රකාශය සලකා බලන්න: ”1956දී රේඛාව චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට කලින් සිංහල චිත්‍රපට 42ක් නිපදවා තිබූණා. එහෙත් ඒ එකක්වත් සැබැවින්ම සිංහල වූයේත් නැහැ. හරිහමන් චිත්‍රපට වූයේත් නැහැ. ඇත්තටම ‘සිංහල සිනමාව’ 1947දී ලැබුවේ වැරැදි ආරම්භයක් (false start).”

දකුණු ඉන්දියානු චිත්‍රපට ගෙඩි පිටින් අනුකරණය කරමින්, මුළුමනින්ම චිත්‍රාගාර තුළ රූපගත කොට නිර්මාණය කෙරුණු එම චිත්‍රපට ගැන කිව යුතු සියල්ල මේ කෙටි විග්‍රහයෙහි ගැබ් වී තිබෙනවා!

මෙරට ජාතික මට්ටමේ සිනමා සංරක්ෂණාගාරයක අවශ්‍යතාව ගැන ලෙස්ටර් මුලින්ම කතා කළේ 1957දී. එය ඔහු ජීවිත කාලය  පුරා යළි යළිත් අවධාරණය කළත් තවමත් බිහි වී නැහැ. ලෙස්ටර්ට ප්‍රනාම පුද කරන සියලුම දේශපාලකයන් බලයේ සිටිද්දී ඒ පිළිබඳ සිය වගකීම් පැහැර හැරියා.

වාණිජ සිනමාව හා කලාත්මක සිනමාව යන ධාරා දෙකෙහි යම් සමබරතාවක් පවත්වා ගැනීමේ වැදගත්කමද ලෙස්ටර් නිතර මතු කළ අවශ්‍යතාවක්. වෙළඳෙපොළ ප්‍රවාහයන් වාණිජ සිනමාව නඩත්තු කළත් කලාත්මක සිනමාවට රාජ්‍ය හා දානපති අනුග්‍රහය ලැබිය යුතු බව ඔහු පෙන්වා දුන්නා.

1977දී පැවැති සම්මන්ත්‍රණයක කතා කරමින් ලෙස්ටර් කළ ප්‍රකාශයක් මහාචාර්ය විමල් දිසානායක උපුටා දක්වනවා: ”සිංහල සිනමාවට වසර 30ක් ගත වීත්, කලාත්මක සිනමා නිර්මාණ සඳහා කිසිදු දිරි ගැන්වීමක් ලැබී නැහැ. මේ තාක් දේශීය වූත් කලාත්මක වූත් සිනමා නිර්මාණ සිදු කර ඇත්තේ සිනමා මාධ්‍යයට මුළු හදවතින්ම කැප වූ හුදෙකලා සිනමාකරුවන් විසින් පමණයි. කලාත්මක චිත්‍රපට අධ්‍යක්ෂනය කරන තරුණ සිනමාවේදීන් එසේ කරන්නේ අසීමිත බාධක හා අභියෝග රැසක් මැදයි. බොහෝ විට ඔවුන්ට ඉතිරි වන්නේ සිනමා විචාරකයන් ටික දෙනකුගේ ප්‍රශංසා පමණයි. ඉනික්බිති ඊළඟ නිර්මාණය කරන්නට වසර ගණනාවක් ගත වනවා. එකී කාලය තුළ ඔවුන් දිවි රැක ගන්නේ කෙසේද යන්න ගැන රාජ්‍යය හෝ සමාජය සොයා බලන්නේ නැහැ. අපේ යයි කිව හැකි සිනමා සම්ප්‍රදායක් පියවරෙන් පියවර හෝ බිහි වන්නේ මේ ධෛර්යවන්ත, හුදෙකලා සිනමාකරුවන් කිහිප දෙනා අතින්.”

ඇත්තටම මේ විසම යථාර්ථය සිනමා දැවැන්තයකු වූ ලෙස්ටර්ටත් බලපෑවා. 1957 – 2006 වකවානුවේ වසර 50ක කාලයක් තුළ ඔහු නිර්මාණය කළේ වෘතාන්ත චිත්‍රපට 20ක් පමණයි. එක් චිත්‍රපටයක් හමාර කර ඊළඟ නිර්මාණය සඳහා මුදල් සොයා ගන්නට වසර ගණන් බලා සිටීමට සිදු වුණා.

එහෙත් ඔහු ඒ ගැන රජයන්ට හෝ සමාජයට දොස් කියමින්, හූල්ලමින් කාලය ගත කළේ නෑ. අභියෝග හා අභිනන්දන දෙකම උපේක්ෂාවෙන් බාර ගත්තා.

2002දී ඉන්දියානු සිනමාකරු බික්රම් සිං (Bikram Singh) අධ්‍යක්ෂණය කළ ‘පීරිස්ගේ ලෝකය’ (The World of Peries) නම් වාර්තා චිත්‍රපටයේ අවසානයේ ලෙස්ටර් මෙසේ කියනවා:

”මා අඩ සියවසක් පමණ කාලයක් තිස්සේ චිත්‍රපට හැදුවා. එය හරියට දිගු කාලීන වන්දනා ගමනක් වගේ. නමුත් මා සළකන හැටියට මගේ ජීවිතය සාර්ථකයි. මගේ සහෝදර ජනයා මට මහත් ආදරයෙන් සලකනවා. මගේ චිත්‍රපට හරහා මා ඔවුන්ට (හරවත්) යමක් ලබාදී ඇතැයි මා සිතනවා.”

Lester James Peries quote

2000දී ජනාධිපති චිත්‍රපට සම්මාන උළෙලේදී කතා කරමින් ලෙස්ටර් සිය ක්ෂේත්‍රය විග්‍රහ කළේ මෙහෙමයි: ”සිනමාව කියන්නේ කලාවක්, කර්මාන්තයක් වගේම ව්‍යාපාරයක්. මේ සාධක තුන තුලනය කර ගැනීම කිසිදු රටක ලෙහෙසි පහසු කාර්යයක් නොවෙයි. අපේ ලාංකික සිනමාවේ අර්බුදයට එක් ප්‍රධාන හේතුවක් වන්නේ ද මේ තුලනය සොයා ගත නොහැකි වීමයි.

”එහෙත් මා තවමත් බලාපොරොත්තු අත්හැර නැහැ. මගේ මුළු ජීවිතයම කේන්ද්‍ර වූයේ සිනමාව වටායි. 1952දී මා බ්‍රිතාන්‍යයේ සිට යළිත් මවු රටට පැමිණ සිනමාකරුවකු නොවූවා නම්, මා සදාකාලිකව පිටුවහලකු (exile) වී සිටින්නට තිබුණා. මගේ අනන්‍යතාව මා සොයා ගත්තේ මෙරටට පැමිණ චිත්‍රපට නිර්මාණය කිරීමෙන්. මේ රටේ තිබෙන අපමණක් ප්‍රශ්න හා අභියෝග මැද වුණත් මගේ රටේම යළිත් උපදින්නට මා තවමත් කැමතියි. ශ්‍රී ලංකාව වැනි රටක් තවත් නැහැ.”

ලෙස්ටර් එහිදී සිහිපත් කළේ ඔහුගේ ජීවිතයේ මුල් අවදියයි. පාසල් අධ්‍යාපනය හමාර කළ ඔහු වයස 20දී (1939) ‘ටයිම්ස් ඔෆ් සිලෝන්’ පත්‍රයේ කර්තෘ මණ්ඩලයට බැඳුණා. එවකට එහි කතුවරයා වූයේ ප්‍රකට ඉන්දියානු පත්‍ර කලාවේදී ෆ්‍රෑන්ක් මොරායස්.

වසර කිහිපයක්ම ලෙස්ටර් ටයිම්ස් පත්‍රයට කලා ක්ෂේත්‍රයේ ලිපි සම්පාදනය කළා. මේ අතරවාරයේ ඔහු නාට්‍ය කණ්ඩායම්වලටදල රේඩියෝවටද සම්බන්ධ වුණා.

ප්‍රකට චිත්‍ර ශිල්පියකු වූ අයිවන් පීරිස් (1921-1988) ලෙස්ටර්ගේ බාල සොහොයුරා. අයිවන් කලා ශිෂ්‍යත්වයක් ලැබ ලන්ඩන් නුවරට ගියේ 1947දී. ඒ සමඟ ලෙස්ටර් ද එහි ගියා.

ලන්ඩන් නුවර ‘ටයිම්ස් ඔෆ් සිලෝන්’ කාර්යාලයේ සේවය කරමින් බ්‍රිතාන්‍ය කලා ක්ෂේත්‍රය පිළිබඳ සතිපතා වාර්තා මෙරට පත්‍රයට ලියා එවූ ඔහු කෙටි චිත්‍රපට අධ්‍යක්ෂණයට යොමු වූයේ එහිදීයි.

ලෙස්ටර් අධ්‍යක්ෂනය කළ කෙටි චිත්‍රපටයක් නරඹා පැහැදීමට පත්ව සිටි බ්‍රිතාන්‍ය වාර්තා චිත්‍රපට අධ්‍යක්ෂ රැල්ෆ් කීන් (1902-1963) පසුව ශ්‍රී ලංකාවේ රජයේ චිත්‍රපට අංශයට බැදුණා. ලෙස්ටර් යළිත් මවු රටට ගෙන්වා ගැනීමට මූලික වූයේ ඔහුයි.

Lester James Peries (1919-2018) as a young writer and filmmaker

1952-55 වකවනුවේ ලෙස්ටර් රජයේ චිත්‍රපට අංශයේ වාර්තා චිත්‍රපට කිහිපයක් නිර්මාණය කිරීමට මුල් වුණා. එහෙත් නිලධාරිවාදය සමග පොරබැදීමෙන් හෙම්බත් වූ ඔහු, ටයිටස් ද සිල්වා (පසුව ටයිටස් තොටවත්ත) සමග එයින් ඉවත් වුණා.

එයින් පසු ඔවුන් රේඛාව චිත්‍රපටය (1956) නිපදවීමට සම්බන්ධ වූ සැටිත් එයින් මෙරට දේශීය සිනමාව නව මඟකට යොමු වූ සැටිත් අප දන්නවා.

කියැවීමෙන්, සංචාරයෙන් හා සමාජ අත්දැකීමෙන් බහුශ්‍රැත වූවත්, ලෙස්ටර් උගතකු ලෙස කිසි විටෙක පෙනී සිටියේ නැහැ. 1985දී කොළඹ සරසවියෙනුත්, 2003දී පේරාදෙණිය සරසවියෙනුත් ඔහුට ගෞරව ආචාර්ය උපාධි පිරිනැමුණා.

ඔහුගේ සමීපතයන් ඔහු දැන සිටියේ හාස්‍යයට ලැදි, ඉතා විනීත ගතිපැවතුම් සහිත එහෙත් දඟකාර මනසක් තිබූ අයෙක් ලෙසයි.

2003 (එනම් වයස 84දී) ගෞරව උපාධිය පිළිගනිමින් පේරාදෙණිය සරසවි උපාධි ප්‍රධානෝත්සවය අමතා කළ කථාවේදී ඔහු මෙසේ ද කීවා: ”සිනමා කර්මාන්තයේ තාක්ෂණය කෙමෙන් ඉදිරියට යනවා. එහෙත් චිත්‍රපට නිර්මාණය යනු හුදෙක් යන්ත්‍ර හා උපාංග සමග කරන හරඹයක් නොවෙයි. කෙතරම් දියුණු උපකරණ හා පහසුකම් තිබුණත් නිර්මාණශීලීත්වය නැතිනම් හොඳ චිත්‍රපට හදන්න බැහැ. එසේම නිර්මාණශීලීත්වය පමණක් සෑහෙන්නේත් නැහැ. මනුෂ්‍යත්වයට ගරු කරන, කතාවේ චරිත පිළිබඳව සානුකම්පිත වන, තමන් පිළිබිඹු කරන සමාජය හා එහි ජනයා ගැන ආදරයක් තිබෙන ජීවන දර්ශනයක් ද හොඳ සිනමාකරුවකුට අවශ්‍යයි. මේ ගුණාංගවලින් තොරව කෙතරම් තාක්ෂණිකව ඉහළ චිත්‍රපට හැදුවත් ඒවායේ හිස් බවක්, විකෘතියක් හෝ ජීවිතයට එරෙහි වීමක් හමු වේවි.”

”වසර 53ක් චිත්‍රපට හැදුවාට පසු මා නොදන්නේ මොනවාදැයි දැන් මා දන්නවා. එහෙත් මා දන්නේ මොනවාද යන්න නම් තවමත් මට පැහැදිලි නැහැ!”

(ලෙස්ටර්ගේ උධෘත සියල්ල මවිසින් අනුවාදය කර මේ ලිපියේ භාවිත කොට තිබෙනවා.)

Lester James Peries quote

Advertisements

සිවුමංසල කොලූගැටයා #156: අයින්ස්ටයින්ගේ ලංකා සංචාරය ගැන තොරතුරු මතු වෙයි

In this week’s Ravaya column (in Sinhala), I share info on Albert Einstein’s short visit to Ceylon in October 1922 on his way to Japan. This is based on a recent talk given by physicist Dr Kirthi Tennakone, who has unearthed this info from Einstein diaries and other archival records.

I’m yet to write this in English, but intend doing so shortly.

Albert & Elsa Einstein - Photo courtesy  Wikimedia Commons

Albert & Elsa Einstein – Photo courtesy Wikimedia Commons

20 වන සියවසේ මහා ප‍්‍රාඥයෙකු හැටියට සැලකෙන ඇල්බට් අයින්ස්ටයින් (1879-1955) කෙටි සංචාරයකට මීට දශක නවයකට පෙර ලංකාවට ආ බව ඔබ දන්නවා ද?

ජර්මනියේ උපත ලබා අමෙරිකාවේදී මිය ගිය මේ මහා මොළකාරයා, ජිවිත කාලයේ නොයෙක් දේශ සංචාරවල යෙදුණා. 1922 ඔක්තෝබර් අගදී ඔහු සිය බිරිඳ එල්සාත් සමග මෙහි ආවේ ජපානයේ දේශන කිරීමට යන අතරතුරේයි. ගුවන් ගමන් නොතිබි ඒ යුගයේ එබඳු සංචාර සිදු කළේ නැව් ගමනින්. බොහෝ නැව් පෙර අපර දෙදිග බලා යද්දී දිනකට හෝ දෙකකට කොළඹ වරායේ නවත්වනවා.

අයින්ස්ටයින්ගේ ලංකා ගමන ගැන වැළලී ගිය තොරතුරු ඉස්මතු කර ගත්තේ ජ්‍යෙෂ්ඨ භෞතික විද්‍යාඥ මහාචාර්ය කීර්ති තෙන්නකෝන් විසින්. කලක් මහනුවර මූලික අධ්‍යයන ආයතනයේ  (IFS) අධ්‍යක්‍ෂවරයා වූ ඔහු දැන් ඇමරිකානු සරසවියක උගන්වනවා.

Prof Kirthi Tennakone

Prof Kirthi Tennakone

මෙරටත්, අමෙරිකාවේත්, ඊශ‍්‍රයාලයේ ජෙරුසලමේ අයින්ස්ටයින් ලේඛනාගාරයේත් ගවේෂණ කිරීමෙන් තොරතුරු මතු කර ගන්නට ඔහුට හැකිව තිබෙනවා. මෑතදී ජාතික විද්‍යා පදනමේ දේශනයකදී ඔහු මේ තොරතුරු ඉදිරිපත් කළා.

අයින්ස්ටයින් හා එල්සා 1922 ඔක්තෝබර් 8 වනදා ප‍්‍රංශයේ මාසේ වරායෙන් ගමනාරම්භ කළා. ඔවුන් රැගත් කිතානෝ මාරු  (Kitano Maru) නම් ජපන් මගී නොෟකාව ඊජිප්තුවේ පෝට් සෙඞ්, කොළඹ, සිංගප්පූරුව, හොංකොං, චීනයේ ෂැංහයි යන වරායන්හි නතර කරමින් සති පහක චාරිකාව හමාර කළේ නොවැම්බර් 17 වනදා ජපානයේ කෝබේ නුවර වරායෙන්.

මේ ගමනට වියදම් කළේ ඔහුට ජපානයට ඇරයුම් කළ සනෙහිකෝ යමාමොතෝ Sanehiko Yamamoto නම් ජපන් ප‍්‍රකාශකයායි. ඔහුගේ තෝකියෝවේ කයිසෝහා Kaizosha ප‍්‍රකාශන සමාගම මුලික වී මාසයකට අධික කාලයක් ජපානයේ විවිධ තැන්වල අයින්ස්ටයින්ට විද්වත් දේශන සංවිධානය කරනු ලැබුවා.

1922 වන විට දශකයක පමණ කාලයක් තිස්සේ හැම වසරක ම භෞතික විද්‍යා නොබෙල් ත්‍යාගයට අයින්ස්ටයින්ගේ නම යෝජනා වුවත් නොබෙල් කමිටුව ඒ හැම වතාවකම හේතු නොදක්වා ත්‍යාගය වෙනත් අයට පිරිනැමුවා.

1919 වන විට තත්ත්වය වෙනස් වුණේ බි‍්‍රතාන්‍ය තාරකා විද්‍යාඥ ආතර් එඩිංටන් පූර්ණ සූර්යග‍්‍රහණයක් නිරීක්‍ෂණය කොට අයින්ස්ටයින්ගේ සාපේක්‍ෂතාවාදයේ න්‍යායාත්මක පදනම තහවුරු කර තිබු නිසයි. එහෙත් මේ වන විට ජර්මනියේ බලධාරින් යුදෙව් සම්භවය සහිත උගතුන්ට කැනහිලිකම් කිරීම අරඹා තිබුණා.  යුදෙව්වකු මෙන් ම අතිශයින් සාමවාදියකු (pacifist) ද වූ අයින්ස්ටයින්ට නොබෙල් ත්‍යාගය නොදෙන ලෙස ජර්මන් වියතුන් හා නිලධාරින් නොබෙල් කමිටුවට රහසේ බලපෑම් කළා.

1922 ඔක්තෝබරයේ ඔහු ජපානය බලා නැව් නගින විට නැවත වාරයක් අයින්ස්ටයින්ගේ නම නොබෙල් ත්‍යාගයට යෝජනා වී තිබුණා. 1921 වසර සඳහා  නොබෙල් ත්‍යාගය 1922 ඔක්තෝබර් මුලදී ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කල යුතුව තිබණත් එය නොවැම්බර් මැද දක්වා අසාමාන්‍ය ලෙස කල් ගියා.  මේ අවිනිශ්චිත බව අයින්ස්ටයින්ට මානසිකව බලපෑවා.

Kitano Maru Japanese shipping liner

Kitano Maru Japanese shipping liner

යුදෙව් බුද්ධිමතුන්ට හා ප‍්‍රභූන්ට ප‍්‍රහාර එල්ල කරන අහිතකර වාතාවරණයක් එවකට යුරෝපයේ පැවති නිසා  කලකට යුරෝපයෙන් ඈත් වී සිටීමේ වැදගත්කම ද අයින්ස්ටයින් තේරුම් ගත්තා.

ඇල්බට් හා එල්සා කොළඹ වරායට ළගා වුණේ 1922 ඔක්තෝබර් 26 වනදා සවස. ‘කිතානෝ මාරු‘ නැව ජෙටියේ ගාල් කළ පසු ඔවුන් හමු වූ මුල් ම ලාංකිකයා වුයේ අයින්ස්ටයින් නමට ලැබී තිබූ ටෙලිග‍්‍රෑම් රැගෙන ආ සිහින්, සුදුවන් රැවුලක් ඇති පුද්ගලයෙක්. සමහර විට වරාය සේවකයකු හෝ නැව් සමාගම් සේවකයකු විය හැකියි. තම කාරිය ඉටු කොට එයට ‘ටිප් ’ එකක් ඉල්ලා සිටි බවත්, මේ මිනිසා ගැන කණගාටුවක් ඇති වූ බවත් අයින්ස්ටයින් දින පොතේ ලියා තිබෙනවා.

අයින්ස්ටයින් යුවල කොළඹ දෙදිනක් ගත කළා. ඔක්තෝබර් 27 වනදා ඔවුන් නගර සංචාරයකට නැවෙන් එළියට ආ විට ඒ සඳහා තිබුණු එක ම ප‍්‍රවාහන ක‍්‍රමය වූයේ රික්ෂෝයි. තවත් මිනිසෙකු ඇද ගෙන යන වාහනයකට අයින්ස්ටයින් කැමති වූයේ නැහැ. ‘රුපියල් දෙකයි – රුපියල් දෙකයි’ යනුවෙන් ඝෝෂා කරමින් ජෙටිය අවට පොර කන රික්ෂෝකරුවන් දුටු අයින්ස්ටයින් මවිත වූවා. එවිට නැවේ නිලධාරියකු කීවේ: ‘ඔබ දැන් ඉන්නේ පෙරදිග රටක. එහි යථාර්ථයට මුහුණ දෙන්න’ කියායි.

වෙනත් විකල්පයක් නැති බැවින් එල්සා හා ඇල්බට් රික්ෂෝවල නැගී වීදි සංචාරය කළා. එදින ඔහු දිනපොතේ ලියුවේ මෙයයි. ‘ලාංකික රික්ෂෝකරුවන් සිරුරෙන් කුඩා වූවත් ඔවුන්ට යොධ සවියක් ඇති බව පෙනෙවා. තවත් මනුෂ්‍යයකුගේ සවියෙන් ගමන් කිරීම මට මහත් පිළිකුල් සහගත කාරියක් වුවත් වෙන් කළ හැකි දෙයක් තිබුණේ නැහැ. එල්සා කීවේ මේ රැකියාවෙන් ඔවුන් පණ ගැට ගසා ගන්නා බවයි.’

Colombo Rickshaw drivers Street Scene in 1906 - Courtesy Lankapura.com

Colombo Rickshaw drivers Street Scene in 1906 – Courtesy Lankapura.com

කොළඹ නගරයේ ‘හින්දු ප‍්‍රදේශ’ හා ‘බෞද්ධ පන්සලක්’ තමන් නැරඹු බව අයින්ස්ටයින් දිනපොතේ ලියනවා. මේ පිටකොටුව ප‍්‍රදේශය හා කැළණිය පන්සල විය හැකි යයි තෙන්නකෝන් අනුමාන කරනවා. නැත්නම් කැළණිය යයි කියා වෙනත් පන්සලක් ඔවුන්ට පෙන්වන්නට ඇත් ද? තෙන්නකෝන්ට එබඳු දෙගඩියාවක් ද තිබෙනවා.

කොළඹ කොටුව ගැන අයින්ස්ටයින් සඳහන් කර ඇත්තේ යන්තමින්. වරාය ගැන පමණයි. තමන් දුටු ස්ථානවලට වඩා මිනිසුන් හා ගැහැණුන් ගැන සාපේක්‍ෂව වැඩිපුර දිනපොතේ ලියා තිබෙනවා.

කොළඹ යාචකයන් ගැන ඔහු ලීවේ මෙයයි. ‘නාඳුනන අයකු දුටු විට රොත්තක් මෙන් එක් රැස් වන මේ යාචකයන් තමන්ගේ දුක් ගැනවිලි ගැන කියමින් සිඟමන් ඉල්ලන්නට ඉතා සමත්. එයින්  ඕනෑම සිතක් උණු විය හැකියි.’

යාචකයින් මෙන් ම මහමග දුටු වෙනත් දුගී පෙනුම ඇති ලාංකිකයන් ගැන ද අයින්ස්ටයින් සානුකම්පිතව ලියනවා. ‘දුඹුරු හෝ කාල වර්ණ සම ඇති මේ අයගේ මුහුණුවල බොහෝ හැගීම් ප‍්‍රකාශ වෙනවා. ඇත්තට ම ප‍්‍රභූ සම්භාවයක් තිබී පසුව අසරණ වූ ගතියක් පෙනෙනවා. දුක්ඛිත පෙනුමට යටින් සියුම් ප්‍රෞඩත්වයක් ද දැකිය හැකියි.’

තවත් සටහනක තමා දුටු ලාංකිකයන් ගැන අයින්ස්ටයින් මෙසේ කියනවා. ‘ඔවුන්ගේ සිරුරු කුඩා වුවත් සවිමත් මුහුණු පියකරු හා ඉවසිලිමත් පෙනුමකින් යුක්තයි. දරුණු හෝ ප‍්‍රචණ්ඩ බවක් පෙනෙන්නට නැහැ. එසේම කඩපිල්වල ලොකු ගාල ගෝට්ටයක් ද නැහැ. පෝට් සේඞ්හිදී අප දුටුවාක් මෙන් කලබලකාරී නොවී සැහැල්ලූවෙන් දිවි ගත කරන බවක් පෙනෙනවා.’

Old Fort Lighthouse Clock Tower Colombo Ceylon c.1910. Photo courtesy Lankapura.com

Old Fort Lighthouse Clock Tower Colombo Ceylon c.1910. Photo courtesy Lankapura.com

කොළඹ ප‍්‍රදෙශ කිහිපයකට ඉතා කෙටි සංචාරයකින් පසුව අයින්ස්ටයින් ලාංකිකයන් ගැන කළ නිරීක්‍ෂණ එතරම් නිවැරදි නොවන බව තෙන්නකෝන් කියනවා. මුළු රටක් ජාතියක් ගැන එසේ ඉක්මන් නිගමන වලට එළඹීම විද්‍යානුකූල නැහැ. වෙනත් බොහෝ පැතිකඩවලින් විවෘත හා රැඩිකල් මනසක් තිබූ අයින්ස්ටයින් ලංකා සංචාරය කරන කාලයේ තවමත් පාරිසරික නියතිවාදය (environmental determinism) නම් සංකල්පය විශ්වාස කළ බව තෙන්නකෝන්ගේ විග‍්‍රහයයි.

මේ සංකල්පයේ හරය නම් මානව සමාජවල ප‍්‍රගතිය ඔවුන් වෙසෙන පරිසරයන් හා දේශගුණය මගින් මුළුමනින් නිර්ණය වන බවයි. (19 වන සියවසේ මතුව ආ මේ සංකල්පය 20 වන සියවස මුලදී ක‍්‍රමයෙන් ප‍්‍රතික්‍ෂෙප වූවා.)

අයින්ස්ටයින් ලංකාවට එන විට මේ මානසිකත්වයෙන් සිටි බව තෙන්නකෝන් කියනවා. සීමිත නීරික්‍ෂණ මත පදනම්ව අයින්ස්ටයින් ලාංකිකයන් ගැන කියා ඇත්තේ මෙබන්දක්: ‘‘(ශීත ඝෘතු පවතින රටවලට වඩා) වසර පුරා සිරුරට දරා ගත හැකි ඝර්ම කලාපීය දේශගුණයක් පවතින ලංකා දුපතේ වැසියන් කලබලයකින් තොරව බොහෝ කොට ම වර්තමානයේ සිදු වන දේ ගැන පමණක් කල්පනා කරනවා. අතීතය හෝ අනාගතය හෝ ගැන ඔවුන් ඉඳහිටවත් මෙනෙහි කරනවා නම් ඒ පැය කාලක් (විනාඩි 15) පසුපසට හෝ ඉදිරියට පමණයි. ගුණයෙන් පිරිහුණු, රළු හා කෑදර යුරෝපීයයන්ට වඩා මොවුන් සංවරශීලියි. එහෙත් යුරෝපීයයන් භෞතික පරිසරය ජය ගන්නේ ඔවුන් සතු එම ගුණාංග නිසාමයි.’‘

කොළඹ වරායේ නැව් වලින් බඩු එහා මෙහා ගෙන යන කම්කරුවන් හා මුහුදේ ගිලී තිබෙන නැව් බඳ පවිත‍්‍ර කරන කිමිදුම්කරුවන් කෙතරම් වෙහෙසී වැඩ කළත් සිනහ වෙමින් හා නිරහංකාරව සිටි බවද අයින්ස්ටයින් වාර්තා කොට තිබෙනවා.

‘නගර සංචාරයේදී අයින්ස්ටයින් යුවල කොළඹ ධනවතුන් ප‍්‍රභූන් හා යුරෝපීය පාලකයන් පදංචිව සිටි ප‍්‍රදේශ ද පසු කර යන්නට ඇති. එහෙත් සාමාන්‍ය ජනයා ගැන උනන්දු වූ ඔහු මේ ප‍්‍රභූන් ගැන කිසිවක් දිනපොතේ ලියා නැහැ’ තෙන්නකෝන් කියනවා.

York Street Colombo Ceylon c.1920s

York Street Colombo Ceylon c.1920s

අයින්ස්ටයින් ඒ වන විට ලෝක ප‍්‍රසිද්ධ චරිතයක් වූවත් ඔහුගේ කෙටි කොළඹ සංචාරය ගැන කිසිදු නිල වාර්තාවක් මේ දක්වා සොයා ගත නොහැකි වූ බව තෙන්නකොන් කියනවා. එසේ ම කොළඹ සිටි දෙදින තුළ කිසිදු නිල උත්සවයකට හෝ සාදයකට ඔහු සහභාගී වූ බවට සාක්‍ෂියක් ද නැහැ. අයින්ස්ටයින්ගේ සංචාරය ගැන මෙරට බි‍්‍රතාන්‍ය පාලකයන් දැන සිටියා විය යුතුයි.

නිල උත්සව පිළිගැනීම් හා පම්පෝරි ගැන තැකීමක් නොකළ අයින්ස්ටයින් දිනපොතේ එබන්දක් සටහන් නොකළා වුවත් වෙනත් වාර්තා පැවතිය හැකි ද?  තමා ජාතික ලේඛනාගාරයේ ගවේෂණය කළත් මේ දක්වා සොයාගත හැකි වූයේ අයින්ස්ටයින් සමග ටයිම්ස් ඔෆ් සිලෝන් පත‍්‍රයේ වාර්තාකරුවකු කළ සාකච්ඡාව හා ගමන ගැන කෙටි පත‍්‍ර වාර්තා පමණක් යයි තෙන්නකෝන් කියනවා.

‘‘ටයිම්ස් ඔෆ් සිලෝන් වාර්තාකරුවා හොඳින් කරුණු අධ්‍යයනය කොට පැමිණ අයින්ස්ටයින් සමග සාකච්ඡා කළ බව එය මනා සේ ලියා ඇති ආකාරයෙන් පැහැදිලියි.  අද මෙන් ඉක්මනින් තොරතුරු සොයාගත නොහැකි වූ ඒ කාලයේ පවා අළුත් ම පර්යේෂණ තත්වය මේ වාර්තාකරුවා දැන සිටි බව පෙනෙනවා’’

දෙදිනක කෙටි නතර වීමකින් පසු කිතානෝ මාරු නැව යළිත් ගමනාරම්භ කළා.  ඔක්තෝම්බර් 29දා මධ්‍යයනයේ කොළඹ වරායෙන් පිටත්ව යද්දී අයින්ස්ටයින් දිනපොතේ ලිව්වේ ‘‘ලංකාව ගස්වැල්වලට නම් පාරාදීසයක්.  එහෙත්  එහි වැසියන් නම් ගෙවන්නේ දුක්බර දිවියක්’’ කියායි.

නොවැම්බර් 2 වනදා නැව සිංගප්පූරුවට ළඟා වුණා.  එහිදී විවිධ නිල හා ශාස්ත‍්‍රිය උත්සව ගණනාවක් සංවිධානය කර තිබූ අතර, ඒවා ගැන අයින්ස්ටයින් දිනපොතේ මෙන් ම වෙනත් (මාධ්‍ය හා අනෙක්) මූලාශ‍්‍රවල ද වාර්තා වී තිබෙනවා.

එතැනින් යාත‍්‍රා කළ නැව නොවැම්බර් 9 වනදා හොංකොං වරායට ද නොවැම්බර් 13 වනදා චීනයේ ෂැංහයි වරායට ද ළඟා වූවා. භෞතික විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගය අයින්ස්ටයින්ට පිරිනමා ඇති බව ඔහු දැන ගත්තේ මේ දෙනුවර අතර මුහුදේ සිටියදී.  ඒ නොවැම්බර් 11 වනදා.

සාම්ප‍්‍රදායිකව වසරේ දෙසැම්බර් 10 වනදා නොබෙල් ත්‍යාග පිරිනමනවා  (සාම ත්‍යාගය නෝර්වේ අගනුවර ඔස්ලෝ නුවරදීත් ඉතිරි සියළු ත්‍යාග ස්වීඩන් අගනුවර ස්ටොකෝම්හිදීත්). එහෙත් තමාට පිරිනැමුණු නොබෙල් ත්‍යාගය පිළිගන්නට අයින්ස්ටයින් ස්ටොකෝම් ගියේ නැහැ.  දිගට ම ජපන්  සංචාරය කර ගෙන ගියා.  ජපානයේ ඉතා ඉහළින් ඔහුට සළකණු ලැබුවා.

පසු දිනෙක අයින්ස්ටයින් තම නොබෙල් ත්‍යාගය එකතු කර ගත්තා. ජර්මනියේ අධික උද්ධමනය නිසා ආර්ථික අහේනියට මුහුණ පා සිටි ඔහුට තෑගි මුදල වෙලාවේ හැටියට ලොකු උපකාරයක් වූවා.

අයින්ස්ටයින් චරිතය හා එවකට පැවති සමාජයීය හා දේශපාලනික තත්ත්වයන් අධ්‍යයනය කළ කීර්ති තෙන්නකෝන් කියන්නේ අයින්ස්ටයින් තම යුගයේ ප‍්‍රවණතා සියුම්ව ග‍්‍රහණය කළ කෙනකු බවයි.  සමහරුන් සිතන තරම් ප‍්‍රායෝගික දේවල් නොතැකූ හා තමන්ගේ ම කල්පනා ලෝකයක ජීවත් වූ අයකු නොවන බවයි.

ඔහුට තියුණු දේශපාලනික හා සාමයික දැක්මක් ද තිබුණා. ඒ ගැන වෙන ම කථා කළ යුතුයි.

Colombo harbor 1914, Ceylon. Image courtesy Lankapura.con

Colombo harbor 1914, Ceylon. Image courtesy Lankapura.con

Street Scene at Main Street, Colombo, 1900s: Image courtesy Lankapura.com

Street Scene at Main Street, Colombo, 1900s: Image courtesy Lankapura.com

සිවුමංසල කොලූගැටයා #124: පුවත්පත් කර්මාන්තයේ පරිනාමීය අභියෝග

Newspapers headed to stormy seas

ශී‍්‍ර ලංකාවේ පුවත්පත් ප‍්‍රකාශනයට අවුරුදු 180ක ඉතිහාසයක් තිබෙනවා. 1802දී ඇරැඹි රජයේ ගැසට් පත‍්‍රය මෙරට මුල් ම වාරික ප‍්‍රකාශනය වූවත් එය පුවත්පතක් හෝ සගරාවක් හෝ නොවෙයි. ඒ ගණයේ ලා සැළකිය හැකි පළමු ප‍්‍රකාශනය 1832දී ඇරැඹුණු Colombo Journal සඟරාවයි.

මෙරට වතු වගාවේ හා වෙළදාමේ නිරතව සිටි බි‍්‍රතාන්‍ය ජාතිකයන් කිහිප දෙනකු විසින් පෞද්ගලික මට්ටමෙන් පළ කළ මේ සඟරාව එවකට බි‍්‍රතාන්‍ය යටත් විජිත පාලනය යම් තාක් දුරට විවේචනය කළ බව වාර්තාගතයි. එකල සිටි ආණ්ඩුකාර විල්මට් හෝර්ටන් ද ආරූඪ නමකින් මෙයට ලිපි ලියූ බව කියැවෙනවා.

මේ පුරෝගාමී ප‍්‍රකාශනය ගැන එතරම් තොරතුරු සොයා ගන්නට නැහැ. එය කල් පැවතුණේ ද නැහැ. බිහි වී වසරකින් පමණ එය නතර වී තිබෙනවා. එක් පර්යේෂකයකු ලියා ඇත්තේ ලන්ඩනයේ යටත් විජිත පරිපාලකයන් විවේචනය කිරීම නිසා උද්ගත වූ උණුසුම් තත්ත්වය හමුවේ හිමිකරුවන් විසින් සඟරාව වසා දැමූ බවයි. එය සැබෑ නම් පාලකයන් හා පුවත්පත් අතර මතවාදී බෙදීම හා ආතතිය අපේ පුවත්පත් ඉතිහාසය තරම් ම පැරණියි.

මෙරට පළමුවන දෙමළ පුවත්පත වූ උදය තාරකායි 1841දී යාපනයෙනුත්, මුල් ම සිංහල පුවත්පත වූ ලංකාලෝකය 1860දී ගාල්ලෙනුත් බිහි වුණා. එදා මෙදා තුර මෙරට භාවිත වන භාෂා තුනෙන් පත්තර හා සඟරා සිය ගණනක් බිහි වී කෙටි හෝ දිගු කලක් පැවත පසුව අභාවයට ගොස් තිබෙනවා.

මීට කලකට පෙර සිංහල පුවත්පත් කලා ඉතිහාසය නමින් කාණ්ඩ නවයකින් යූත් පර්යේෂණාත්මක කෘතියක් කඵකොඳයාවේ පඤ්ඤාශෙඛර නා හිමියන් (1895 – 1977) රචනා කළා. පත්තර කලාව ගැන මට තිබූ දැඩි ඇල්ම නිසා පාසල් සිසුවකුට සිටියදී ම මේ පොත පුස්තකාලවලින් සොයා ගෙන කියවූ සැටි මතකයි.

එම කෘතියේ හොදින් පැහැදිළි කළ ප‍්‍රවණතාවක් නම් බොහෝ පත්තර හා සඟරාවල පැවැත්ම කෙටි කලෙකට සීමා වූ බවයි. කතුවරුන්, ලේඛකයන් හා පාඨකයන්ගේ උද්‍යොගයත් කැපවීමත් තිබූ පමණට ප‍්‍රකාශනයක් වෙළඳපොලෙ සාර්ථක වන්නේ නැහැ. එයට ව්‍යවසායකත්වය, අලෙවියකරණය හා නිසි බෙදා හැරීම වැනි සාධක ගණනාවක් එක් තැන් විය යුතුයි. අපේ රටේ එදත් අදත් බොහෝ පත්තර හා සඟරාවල දුර්වල අංග වන්නේ ද මේවායි.

‘‘පුවත්පත් යනු කලාවක් මෙන් ම කර්මාන්තයක් ද වනවා. බොහෝ පුවත්පත් පවත්වා ගෙන යන්නේ ව්‍යාපාරික මට්ටමින් හිමිකරුවන්ට ලාබයක් ඉපදවීම සඳහායි. එයින් වැදගත් සමාජයීය මෙහෙවරක් ඉටු වුවත් පුවත්පත් ආයතන යනු පුණ්‍යායතන (charities) නොවෙයි.’’

මෙය දශක ගණනාවක් පුරා පෙර අපර දෙදිග ම පුවත්පත් කලාව හා කර්මාන්තය ගැන පුඵල්ව කෙරුණු විග‍්‍රහයක්. කි‍්‍ර. ව. 2000 පමණ වනතුරු මෙය බටහිර රටවල ප‍්‍රායෝගිකව කි‍්‍රයාත්මක වුවත් ගෙවී ගිය වසර දහය දොළහ තුළ ඔවුන්ගේ පුවත්පත් කර්මාන්තය දරුණු අහේනියකට මුහුන දී සිටිනවා.

මීට කලකට පෙර ව්‍යාපාරික මට්ටමේ මාධ්‍ය ආයතන කාරුණිකව හෝ අවඥාවෙන් බැහැර කළ දානපති ආයතන හා පදනම්වල අනුග‍්‍රහය ලැබීම අද ඔවුන් ඕනෑකමින් සළකා බලනවා.

අර්බුදකාරී අවස්ථාවල මෙතෙක් ආ විදියට (Business as Usual) තව දුරටත් පැවතීමට නොහැකි බව පිළිගත් ප‍්‍රායෝගික සත්‍යයක්. සැඩසුළං මාරුතයට ඔරොත්තු දීමට බටහිර පුවත්පත් විවිධාකාරයේ ක‍්‍රමෝපායයන් මෑත වසරවල කි‍්‍රයාත්මක කළා.

උදාහරණ:

• දිනපතා පුවත්පත් ඒ වෙනුවට සති මැද හෝ සති අග පමණක් පළ කැරෙන, වඩාත් පුවත් විග‍්‍රහයන් හා විශෙෂාංග ඇතුළත් ප‍්‍රකාශන බවට පෙරැළීම.

• පුවත්පතේ ප‍්‍රමාණය Broadsheet ප‍්‍රමිතියේ සිට ඊට වඩා හුරුබුහුටි Berliner අතරමැදි ප‍්‍රමාණයට හෝ tabloid කුඩා ප‍්‍රමාණයට මාරු කිරීම.

• පුවත් පළ කිරීම සඳහා රේඩියෝ, ටෙලිවිෂන් හා වෙබ් අඩවි සමග තරග කිරීම මුඵමනින් නවතා දමා ගවේෂණාත්මක වාර්තා, පුවත් විග‍්‍රහයන්, හරවත් මතවාදයන් හා විශෙෂාංග පමණක් පළ කිරීම. (මේ නිසා සමහර ප‍්‍රකාශන දැන් Newspaper වෙනුවට Viewspaper යයි තමන් හදුන්වා ගන්නවා.)

• වඩාත් සාම්ප‍්‍රදායික (= වැඩිමහලූ) පාඨකයන් සඳහා පිටු ගණනින් සීමිත මුද්‍රණයක් තව දුරටත් නිකුත් කරන අතර, අන්තර්ගතය බහුතරයක් දිනපතා යාවත්කාලීන කැරෙන හොඳ වෙබ් අඩවියක් හරහා පළ කිරීම.

• මුද්‍රිත පිටපත් පළ කිරීම මුඵමනින් නවතා දමා ඒ වෙනුවට පුඵල් වෙබ් අඩවියක් හරහා පමණක් පළ කිරීම ඇරඹීම (Newsweek සගරාව මේ වසරේ සිටත්, ඇතැම් ප‍්‍රකට අමෙරිකානු පුවත්පත් දැන් ටික කලක සිටත් මෙය කරනවා.) මේ සමහර වෙබ් අඩවි නොමිළයේ කියවිය හැකි අතර, අනෙක්වා සතිපතා/මාසික ග‍්‍රාහක ගාස්තුවක් ගෙවා කියවිය හැකියි. එහෙත් මේ හරහා ඇති තරම් ආදායමක් උපදවා ගැනීම දියුණු රටවල පවා තවමත් අසීරු කාරියක්. අපේ වැනි රටක (මූල්‍යමය තොරතුරු රැගත් ව්‍යාපාරික ප‍්‍රකාශන හැරුණු කොට) වෙබ් අඩවි ග‍්‍රාහකත්ව ආදායමෙන් පමණක් නඩත්තු කරන පුවත්පතක් ගැන මා නම් දන්නේ නැහැ.

Newsstand Sri Lanka – image courtesy WSJ.com

ජීවී ලෝකයේ හා සොබා දහමේ මෙන් ම මානව සමාජයේ හා වෙළඳපොල ආර්ථිකයේ ද පරිනාමීය ප‍්‍රවාහයන් කි‍්‍රයාත්මක වනවා. මතවාදීව හා දර්ශනවාදී ලෙසින් අප කැමති වුණත් නැතත් යථාර්ථය මෙයයි.

පරිනාමීය කි‍්‍රයාවලියට දැනට පුඵල්ව පිළි ගැනෙන විග‍්‍රහය කළේ චාල්ස් ඩාවින් (1809-1882). පාරිසරික සාධකවලට වඩාත් හොදින් හැඩ ගැසෙන නම්‍යශීලී හා උපක‍්‍රමශීලි ජිවීන් සිය වර්ගයාගේ පැවැත්ම තහවුරු කර ගන්නා අතර එසේ නොකරන ජිවීන් කෙමෙන් වඳ වී යනවා. සොබාදහමේ මෙයට බොහෝ කලක් ගත වූවත් වෙළඳපොල සමාජයේ එය ඉක්මනින් සිදු වන්නක්.

ජෛව පරිනාමයේ එක් ප‍්‍රබල පාඩමක් නම් ශරීරයෙන් විශාල වූ හා සවි ශක්තියෙන් බලවත් වූ හෝ පමණට ම ජීවී විශේෂයකට එයින් විශෙෂ වාසි අත් නොවන බවයි. පෘථිවියේ ජෛව ඉතිහාසයේ දැවැන්ත සතුන් බොහොමයක් කලෙකට පසු වඳ වී ගියා. ඩයිනසෝරයන් වැනි යෝධ උරගයන් රජයන කාලයේ අහුමුඵවල කුඩාවට සිටි ක්ෂීරපායීන් ඔවුන්ගේ තැන ගන්නට මතුව ආවා. (මේ පරිනාමීය පාඩම් මානව සමාජයට අදාල වන සැටි වෙන ම විස්තරාත්මකව කථා කළ යුතුයි.)

පුවත්පත් ප‍්‍රකාශන ක්‍ෂෙත‍්‍රයේ ද ආවේනික පරිනාමීය ප‍්‍රවාහයන් නිර්දය ලෙස කි‍්‍රයාත්මක වේ යැයි මට සිතෙනවා. මෙරට දශක ගණනක් පැවති ප‍්‍රධාන පෙළේ ප‍්‍රකාශන සමාගම් දෙකක් මට මතක ඇති කාලයේ වසා දමනු ලැබුවා (ටයිම්ස් ඔෆ් සිලෝන් හෙවත් පැරණි ලංකාදීපය හා ස්වාධීන පුවත්පත් සමාගම හෙවත් දවස නිවස). ඔවුන්ගේ අභාවයට හේතු වූ සාධක සංකීර්ණයි. එහෙත් කාලානුරූපව හැඩ නොගැසීම හා වෙනස් වන පාඨක රුචි අරුචිකම් හඳුනා නොගැනීම ද එයට දායක වුණා.

මෙරට පුවත්පත් කලාවට වසර 180ක් පිරීම නිමිත්තෙන් 2012දී ලියූ ඉංගී‍්‍රසි ලිපියක මා කීවේ ඉතිහාසයේ මේ පාඩම් අද ප‍්‍රකාශකයන් හා මාධ්‍යවේදීන් සමීපව අධ්‍යයනය කළ යුතු බවයි.

එහි මුඛය පණිවුඩය: ‘‘ඉතිහාසයේ ප‍්‍රබලතම පාඩමක් නම් පාඨකයන් සමග සබැදී ඔවුන් සමග වර්ධනය වන ප‍්‍රකාශන ඉතිරි වෙද්දී එක තැන පල් වන ප‍්‍රකාශන හුදකලා වී, මුඵගැන් වී, අන්තිමේ වඳ වී යනු ඇති බවයි. ඩයිනසෝරයන් අපට දුන් ආදර්ශය නම් ලොකු මහත් වූ පමණට, සැරපරුෂ හා උද්දච්ච වූ පමණට, මහ හඩක් නැගූ තරමට පැවැත්ම තහවුරු නොවන බවයි.’’

පත්තර කලාවේ පැවැත්ම ගැන ලොකු පර්යේෂණ නොකළත් පර්යේෂකයන් රැසක් මුණ ගැසී කථා කිරීමෙන් හා ආසියානු ප‍්‍රකාශකයන් ඇසුරු කිරීමෙන් ලද යම් ප‍්‍රායෝගික අවබෝධයක් මට තිබෙනවා. පත්තර මුද්‍රිත ස්වරූපයෙන් දිගට ම පවතිනවා දකින්නට පෞද්ගලිකව මාත් කැමතියි. එහෙත් එය සාක්ෂාත් කරගන්නට නම් රාවය ඇතුඵ මෙරට ලොකු කුඩා සියඵ මුද්‍රිත ප‍්‍රකාශන කාලානුරූපීව පරිනාමය විය යුතුව තිබෙනවා.

2012 ලිපියේ මා කියා සිටියේ මාධ්‍ය කලාවේ හා කර්මාන්තයේ අනාගතයට බලපාන තීරණාත්මක සාධක තුන වන්නේ නව සන්නිවේදන තාක්‍ෂණය, වෙනස් වන ජනගහන සංයුතිය (demographics) හා වෙළඳ පොළ ආර්ථිකය බවයි. මේ තුන හරිහැටි තුලනය කර ගැනීම අද මුද්‍රිත මෙන් ම විද්්‍යුත් මාධ්‍යයන්ට ද තිබෙන ප‍්‍රබල අභියෝගයක්. විවෘත මනසකින් යුතුව එයට මුහුණදීම හා උපක‍්‍රමශීලී වීම අත්‍යවශ්‍යයි.

සොබා දහමේ ජෛව විවිධත්වය සුරැකෙන්නට ලොකු කුඩා විවිධාකාරයේ ශාක හා සත්ත්ව විශෙෂ රැසක් අවශ්‍ය වනවා සේ ම නූතන මානව සමාජයන්ගේ සංස්කෘතික විවිධත්වය පවත්වා ගන්නට එකිනෙකට වෙනස් ආකාරයේ මාධ්‍ය ද අවශ්‍යයි. එම විවිධත්වය සඳහා මාධ්‍ය අන්තර්ගතය නිර්මාණය කරන ක‍්‍රමය, එයට පදනම් වන දැක්ම හා මතවාදය මෙන් ම බෙදා හරින ක‍්‍රමය ද වැදගත්.

ආයතනගතව හා ව්‍යාපාරික මට්ටමින් සංවිධානගත වූ මාධ්‍යවලට පමණක් කළ හැකි දේත්, පුරවැසි මාධ්‍යකරුවන්ට පමණක් කළ හැකි දේත් තිබෙනවා. මේ දෙවර්ගය ම සමාජ ප‍්‍රගතියට හා පොදු උන්නතියට අවශ්‍ය වනවා. දෙපිරිසට සාමූහිකව කළ හැකි කාරියන් ද තිබෙනවා. අද අපට අවශ්‍ය මේ දෙපිරිස අන්‍යෙන්‍ය සැකයෙන් නොව සහයෝගයෙන් කි‍්‍රය කිරීමයි.

අධිපති/ධනපති මාධ්‍ය හා පුරවැසි මාධ්‍ය යන දෙවර්ගය ම මාධ්‍ය නැමැති පරිසර පද්ධතිය (media ecosystem) තුළ පැවතිය හැකියි. මේ සඳහා යම් තුලනයන් බිහි කර ගැනීම අවශ්‍යයි. හරියට වනාන්තරයක පොළව යට, බිම් මට්ටමේ, ගස් උඩ හා වියන් තලය මතුපිට විවිධ ජීවී විශේෂ තමන්ට ආවේණික අවකාශයක් (niche) සොයා ගෙන ඇති ලෙසට විවිධාකාර මාධ්‍යවලට, අපේ සංකීර්ණ සමාජයේ එක විට පැවතීමට හැකි විය යුතුයි.